Monday, November 7, 2016
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (තෙවන කොටස)
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ගැන ලිපි මාලාවේ පළමු ලිපියෙන් මම භාණ්ඩාගාර බිල්පත් ගැන සරල හැඳින්වීමක් කළෙමි. ඒ අනුව, භාණ්ඩාගාර බිල්පතක් අනන්‍යව හඳුනාගත හැකි කරුණු වන්නේ එහි කල් පිරෙන දිනය හා මුහුණත වටිනාකමයි. ඒ හැර, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුණු නිශ්චිත පොලී අනුපාතික නැත. භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කිරීමෙන් ලැබෙන පොලිය තීරණය වන්නේ එය මිල දී ගැනීමේදී ගෙවන මුදල අනුවය. (බැඳුම්කර ගැන අපි පසුව කතා කරමු.)
කල් පිරීමට වසරක් ඇති, මුහුණත වටිනාකම රුපියල් මිලියන 100ක් වන භාණ්ඩාගාර බිල්පතක් ඔබ රුපියල් මිලියන 90කට මිල දී ගතහොත් ඔබට ලැබෙන මුළු පොලී මුදල රුපියල් මිලියන 10ක් වන අතර පොලී අනුපාතිකය 10/90= 11.11% ක් වේ. එම බිල්පතම ඔබ රුපියල් මිලියන 91කට මිල දී ගතහොත් ඔබට ලැබෙන මුළු පොලී මුදල රුපියල් මිලියන 9ක් වන අතර පොලී අනුපාතිකය 9/91= 9.89% ක් වේ.
ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළඳපොළ කටයුතු සිදු වන ආකාරයත්, ලංකාවේ එය සිදු වන ආකාරය ඇමරිකානු ක්‍රමයෙන් වෙනස් වන ආකාරයත් මම දෙවන ලිපියේ පැහැදිලි කළෙමි. මේ ක්‍රම දෙකේදීම, කිසියම් ලන්සු තබන්නෙකු විසින් තමන් අපේක්ෂා කරන පොලී අනුපාතිකය අනුව මුහුණත වටිනාකම ඒකක 100ක් සඳහා ගෙවන්නට කැමති මිල ලන්සු තබයි. ඒ මිල පහත පරිදි ගණනය කළ හැකිය.
P = F /(1+r)
මෙහි P යනු කිසියම් ආයෝජකයෙකු දකින බිල්පතේ වත්මන් වටිනාකම වන අතර F යනු වසරකින් අතට ලැබෙන මුදලක් වන භාණ්ඩාගාර බිල්පතේ මුහුණත වටිනාකමයි. අදාළ මුදල ගෙවා බිල්පත මිලදී ගන්නා ආයෝජකයාට ලැබෙන පොලී අනුපාතිකය r වේ. උදාහරණයක් ලෙස 10%ක පොලියක් ලබා ගැනීම සඳහා (r = 10/100 = 0.1), රුපියල් 100ක මුහුණත වටිනාකමක් ආසන්න වශයෙන් රුපියල් 90.91කට මිල දී ගත යුතුය (=100/(1+0.1)). එමෙන්ම, 5%ක පොලියක් ලබා ගැනීම සඳහා (r = 5/100 = 0.05), රුපියල් 100ක මුහුණත වටිනාකමක් ආසන්න වශයෙන් රුපියල් 95.24කට මිල දී ගත යුතුය (=100/(1+0.05)).
ඉහත සමීකරණය මඟින් අනාගතයේ ලැබෙන මුදලක අද වටිනාකම සොයා ගත හැකිය. මේ මුදල ලැබෙන්නේ වසරකින් නොව වසර n කාලයකින්නම් අදාළ සමීකරණය මෙවැන්නකි.
P = F /(1+r)^n
දැන් අපි ඉහත සමීකරණය යොදාගෙන ප්‍රතිලාභය ලෙස පිළිවෙලින් වසර දෙකකින් හා තුනකින් මුහුණත වටිනාකම රුපියල් 100ක් පමණක් ලැබෙන සුරැකුම්පත් මිලදීගෙන 10% ක පොලියක් ලැබීම සඳහා අද එම සුරැකුම්පත් මිලදී ගත යුතු මිල සොයා බලමු.
කල්පිරෙන්නේ වසර දෙකකින්නම් එම මිල රුපියල් 82.64 කි (100/1.1^2).
කල්පිරෙන්නේ වසර තුනකින්නම් එම මිල රුපියල් 75.13 කි (100/1.1^3).
අද රුපියල් 751,314.80 ක් ගෙවා රුපියල් මිලියනයක මුහුණත වටිනාකමක් හා වසර තුනක කල් පිරීමේ කාලයක් ඇති (කල්පිරීමේදී ලැබෙන මුහුණත වටිනාකම හැර වෙනත් ප්‍රතිලාභයක් නැති) සුරැකුම්පතක් මිලදී ගන්නා අයෙකුට වසර තුනක් අවසානයේදී සිය මුල් ආයෝජනයට පොලිය ලෙස රුපියල් 248,685.20ක මුදලක් ලැබේ. එහෙත්, ඒ කල් පිරුණු පසුවය. මුහුණත වටිනාකම පමණක් ප්‍රතිලාභයක් ලෙස හිමිවන සුරැකුම්පතක කල් පිරෙන දිනට පෙර වටිනාකම හැමවිටම එහි මුහුණත වටිනාකමට වඩා අඩුය.
දැන් ඉහත කී සුරකුම්පතේ වසරකට පසු වටිනාකම කොපමණද?
ඉතා පැහැදිලිවම එහි වටිනාකම එහි මුහුණත වටිනාකමට වඩා අඩු විය යුතුය. මුල් වසර සඳහා රුපියල් 751,314.80ක ආයෝජනය මත 10%ක පොලියක් ලැබී ඇතැයි සැලකුවහොත් මේ වටිනාකම රුපියල් 826,446.28ක් (751,314.80*1.10) විය යුතුය. මෙසේ සුරැකුම්පතක වටිනාකම තක්සේරු කරන ගිණුම්කරණ ක්‍රමවේදය හැඳින්වෙන්නේ එකතු වූ පොලිය පදනම (accrued interest basis) යනුවෙනි.
කලකට පෙර ගිණුම්කරණයේදී ප්‍රචලිතව තිබුණු ඉහත ක්‍රමවේදය එතරම් නිවැරදි ක්‍රමවේදයක් නොවේ. ඒ, සුරැකුම්පතක් කල් පිරීමට පෙර එහි නියම වටිනාකම ලෙස සැලකිය හැක්කේ එම අවස්ථාවේදී ඒ සුරැකුම්පත විකිණිය හැකි මිල බැවිනි. මේ පදනම මත සුරකුම්පතක වටිනාකම ගණනය කරන ක්‍රමවේදය වෙළදපොළ මිල පදනම (mark to market basis) ලෙස හැඳින්වේ.
දැන් මේ වෙළදපොළ මිල කුමක්ද?
වසරකට පෙර නිකුත් කළ තෙවසරක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතක් කල් පිරීමට තවත් ඉතිරිව ඇත්තේ දෙවසරක් පමණි. ඒ නිසා, එය එදින නිකුත් කරන දෙවසරකින් කල් පිරෙන, සමාන මුහුණත වටිනාකමක් ඇති සුරැකුම්පතකින් කිසිම අයුරකින් වෙනස් නැත. ඒ නිසා, වසරකට පෙර නිකුත් කළ තෙවසරක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතක හෝ වසර තුනකට පෙර නිකුත් කළ වසර පහක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතක වෙළඳපොළ මිල එදින අළුතින් නිකුත් කළ දෙවසරක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතක මිලට සමානය.
දැන් අපි පහත උදාහරණය බලමු.
ඔබ වසර තුනක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතක් 10%ක පොලියට මිල දී ගත්තේය. එනම් මුහුණත වටිනාකම රුපියල් මිලියනයක් රුපියල් 751,314.80කටය (1,000,000/1.1^3). වසරකට පසු නිකුත් කරන දෙවසරක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතකට ලැබෙන පොලිය 5%කි. එනම් එහි මිල රුපියල් 907,029.48 කි (1,000,000/1.05^2). ඒ අනුව, වසරකට පෙර රුපියල් 751,314.80කට මිලදී ගත් සුරැකුම්පත කල් පිරෙන්නට වසර දෙකක් ඉතිරිව තිබියදී රුපියල් 907,029.48කට විකිණිය හැකිය. එසේනම්, ඇත්තටම ලැබුණු පොලිය කීයද?
එය 20.72% (=907,029.48/751,314.80-1) කි!
සුරැකුම්පතක් මිලදී ගැනීමෙන් පසු වෙළඳපොළ පොලී අනුපාතික අඩු වුවහොත්, කල් පිරීමට පෙර සුරැකුම්පත අලෙවි කර තමන්ට කල් පිරීමේදී ලැබෙන්නට නියමිත ප්‍රතිලාභයට වඩා විශාල ප්‍රතිලාභයක් ලැබිය හැකිය. සුරැකුම්පත කල් පිරෙන්නේ දිගු කාලයකට පසුවනම් ඉතාම සුළු පොලී අනුපාතික වෙනසකින් වුවද ලාභය විශාල ලෙස වැඩි වේ.
හදිසියේම දවසක් ඇතුළත වසරක කල් පිරීමේ කාලයක් ඇති භාණ්ඩාගාර බිල්පතක සඵල පොලී අනුපාතිකය 10% සිට 9% දක්වා 1%කින් අඩු වුනේයැයි සිතමු. දැන් ඔබට ඔබ රුපියල් 909,090.91 (=1,000,000/1.10) කට මිලදී ගත් භාණ්ඩාගාර බිල්පතක් අනෙක් අතට රුපියල් 917431.19 (=1,000,000/1.09) කට විකිණිය හැකිය. එමඟින් ඔබ දිනකට උපයන පොලිය රුපියල් 8,340.28 කි. මෙය දිනකට 0.92%ක් හෙවත් වසරකට 2703% ක ප්‍රතිලාභයකි!
වසර 30ක් වැනි දිගු කාලයකින් කල් පිරෙන සුරැකුම්පතක වටිනාකම ඉතා සුළු පොලී අනුපාතික වෙනසකට වුවත් විශාල ලෙස සංවේදී වේ.
(මතු සම්බන්ධයි)
3 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
මේ සමීකරණය අදාළ වෙන්නේ කූපන් එකක් අමුණලා නැති බිල්පත් වලට නේද?
ReplyDeleteඔව්, ඇනෝ. එකපාරට කූපන් වලට ගියාම සංකීර්ණ වැඩි නිසා කූපන් නැති ඒවායින් පටන්ගත්තේ. කූපන් ගෙවීම් ඉදිරි කොටසේදී එකතු කරනවා. කොහොම වුනත් මූලික මූලධර්ම ගොඩක් කූපන් ඇති හා නැති දෙවර්ගයටම පොදුයි.
DeleteNice post Econo,
ReplyDeleteThank you very much. Explain further as time permits. Interesting article dude !