Friday, November 4, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දෙවන කොටස)


පසුගිය ලිපියෙන් මම ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළඳපොළෙහි කටයුතු සිදුවන ආකාරයත්, ලංකාවේ එය සිදුවන ආකාරය ඇමරිකාවේ සිදුවන ආකාරයෙන් වෙනස්වන ආකාර කිහිපයක් ගැනත් කතා කළෙමි. මෙහිදී, මා ඇමරිකාවෙන් පටන්ගන්නේ ලංකාවට සාපේක්ෂව ඇමරිකානු ක්‍රමය වඩා හොඳයයි සිතන නිසා ලංකාවේ ක්‍රමයේ ඇති සාපේක්ෂ අඩුපාඩු පෙන්වා දීමටය. වෙනත් රටවල් ගැන කතා නොකරන්නේ ලංකාව හා ඇමරිකාව හැර වෙනත් රටවල මේ කටයුත්ත සිදුවන ආකාරය ගැන මා වැඩි හැදෑරීමක් කර නොමැති නිසාය.

ලංකාවේ නැති, ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියේ එක් ලක්ෂණයක් වන්නේ තරඟකාරී නොවන ලන්සු ඉදිරිපත් කිරීමේ හැකියාවයි. එහෙත් ප්‍රායෝගිකව වෙන්දේසියට ඉදිරිපත්වන මෙවැනි ලන්සු ප්‍රමාණය මුළු ලංසු ප්‍රමාණයෙන් 1% කටත් අඩුය. උදාහරණයක් ලෙස අවසන් වරට එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් වසරක කල් පිරීමේ කාලයක් ඇති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කළේ පසුගිය ඔක්තෝබර් මස 11 වෙනිදාය. මේ වෙන්දේසිය සඳහා ඩොලර් බිලියන 20 ක ($ 20,000,000,000) මුහුණත වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කෙරුණේය. ඒ සඳහා ඉදිරිපත් කෙරුණු තරඟකාරී නොවන ලන්සු ප්‍රමාණය ඩොලර් 169,708,300ක් පමණක් විය. මෙය මුළු අවශ්‍යතාවයෙන් 0.85%ක් පමණි. ඉතිරි 99.15% ම නිකුත් කෙරුණේ තරඟකාරී පදනමකිනි. මෙය සුවිශේෂී තත්ත්වයක් නොවේ. සාමාන්‍ය තත්ත්වයයි. ඒ නිසා මෙතැන් සිට මා කරන පැහැදිලි කිරීම් වලදී විශේෂ වැදගත් කමක් නැති තැන්වල මේ තරඟකාරී නොවන ලන්සු නොසලකා හරිමි.

තරඟකාරී නොවන ලන්සු ඉදිරිපත් කරන්නන් එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් (වෙළඳපොළ ඉල්ලුම මත) තීරණය කරන ඕනෑම පොලී අනුපාතිකයක් භාරගැනීමට සූදානම් නිසා ඔවුන් ඉල්ලන බිල්පත් ප්‍රමාණය මුලින්ම වෙන් කිරීමෙන් පසු පෙර කී අවසන් වෙන්දේසියට ඉදිරිපත් කළ ඩොලර් බිලියන 20ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයෙන් ඉතිරිවන්නේ ඩොලර් 19,830,291,700 ක බිල්පත් පමණි. මේ බිල්පත් මිලදී ගැනීම සඳහා එමෙන් 3.5 ගුණයක පමණ එනම් ඩොලර් 69,109,210,000 ක පමණ තරඟකාරී ලන්සු ඉදිරිපත් වී තිබුණේය. ඒ පහත පරිදිය.

ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින්:                                 $ 57,995,000,000
වෙනත් අය විසින් ප්‍රාථමික ගණුදෙනුකරුවන් හරහා:      $10,634,000,000
වෙනත් අය විසින් සෘජුවම:                                                 $440,210,000

ඔවුන් එකිනෙකා ඉදිරිපත් කළ මිල ගණන් (ඩොලර් 100ක මුහුණත් වටිනාකමක් සඳහා) 99.37 සිට ක්‍රමයෙන් අඩුවන වෙනස් මිල ගණන්ය. ප්‍රාථමික ගණුදෙනුකරුවන් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නේ වෙනත් අයට නැවත විකුණා ලාභයක් ලබා ගැනීමට නිසා ඔවුන් බොහෝ විට බලන්නේ අඩු මිලකට මේ සුරැකුම්පත් ගන්නටය. ඔවුන්ට සාපේක්ෂව වෙනත් ආයෝජකයෝ වැඩි මිලක් ගෙවීමට ඉදිරිපත් වෙති.

ඉහත පරිදි වැඩි ලන්සු ප්‍රමාණයක් ලැබුණත් එක්සත් ජනපද භාණ්ඩාගාරය මුලින් වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් (හෝ අඩු ප්‍රමාණයක්) නිකුත් කරන්නේ නැත. එසේ කිරීම දූෂණ වලට දොර ඇරීමකි. ප්‍රායෝගික හේතු මත නිකුත් කරන සුරැකුම්පත් ප්‍රමාණය වෙනස් විය හැක්කේ ඉතාම සුළු වශයෙනි. උදාහරණයක් ලෙස ඉහත වෙන්දේසියේදී නිකුත් කළ මුළු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඩොලර් 20,000,186,300 කි. මෙය මුලින් ඉදිරිපත් කළ ගණනට වඩා වැඩි වන්නේ 0.00093%කින් පමණි. (ලංකාවේදීනම් මෙය 1000% දක්වා වැඩිවන්නට  මෙන්ම 0%ක් වන්නටද පුළුවන් බව අපි දනිමු.)

ඉහත බිල්පත් වෙන් කෙරුණේ පහත පරිදිය.

ප්‍රාථමික ගණුදෙනුකරුවන් වෙත:                                            $10,606,268,000 (18.3%)
ප්‍රාථමික ගණුදෙනුකරුවන් හරහා පැමිණි වෙනත් අය වෙත:        $8,784,000,000 (82.6%)
සෘජුව පැමිණි වෙනත් අය වෙත:                                                   $480,210,000 (91.7%)

ඉහත සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි, ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට ලැබී ඇත්තේ ඔවුන් ඉල්ලා සිටි සුරැකුම්පත් ප්‍රමාණයෙන් පහෙන් එකකටත් වඩා අඩුවෙනි. එහෙත් වෙනත් අයට ඉල්ලා සිටි ප්‍රමාණයට ආසන්නවම බිල්පත් ලැබී තිබේ.

මෙය මෙසේ සිදුවන්නේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට වෙනස් ලෙස සැලකීම නිසා නොවේ. ඉහත වෙන්දේසියෙන් පසු එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් කළේ, ඩොලර් 100ක මුහුණත වටිනාකමක් සඳහා ඩොලර් 99.312444 කට වඩා වැඩි මුදලක් ගෙවන්නට ඉදිරිපත් වන අයට ඔවුන් ඉල්ලා සිටි මුළු බිල්පත් ප්‍රමාණය නිකුත් කිරීමයි. ප්‍රාථමික ගණුදෙනුකරුවන්  බොහෝ විට ලන්සු තබා ඇත්තේ මේ ගණනට වඩා අඩුවෙන් නිසා ඔවුන්ගේ ලන්සු බොහොමයක්ම පිළිගැනී නැත.

දැන් එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් මේ මිල, එනම් 99.312444, තීරණය කළේ කෙසේද? එය ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලයි. ඒ මිල මීට වඩා වැඩි කළහොත් වෙන්දේසියට ඉදිරිපත් කළ මුළු බිල්පත් ප්‍රමාණය විකුණාගත නොහැකි වේ. අඩු කළහොත්, බිල්පත් මිලදී ගන්නට වැඩි පිරිසක් ඉදිරිපත් වන නිසා බිලියන 20ක බිල්පත් ඔවුන් අතර බෙදා දිය යුතු ආකාරය ගැටළුකාරී වේ. 'නියම මිල' තීරණය කළ පසු ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිසා මෙවැනි ප්‍රශ්න පැන නොනඟී.

මා දැන් මෙය සරල උදාහරණයකින් නැවතත් පැහැදිලි කරන්නම්. බිලියන විස්සක (එනම් ඩොලර් මිලියන 20,000ක) භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉදිරිපත් වූ මිල ගණන් පහත පරිදියයි සිතමු. ගණන් සියල්ල ඩොලර් මිලියන වලිනි (දැන් ඉදිරිපත් කරන ගණන් සැබෑ ගණන් නොවේ.)

99.37      2000
99.36      2000
99.35      2000
99.34      2000
99.33      2000
99.32      5000
99.31   10000
99.30   15000
99.29   10000
99.28     5000
99.27     2000
99.26     2000
99.25     2000
99.24     2000
99.22     2000
99.21     2000


මෙය ඇත්තටම, ආර්ථික විද්‍යා භාෂාවෙන්, එක්සත් ජනපද භාණ්ඩාගාරය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රයයි. එයින් පිළිබිඹු වන්නේ අදාළ දින අදාළ පරිණත කාලය සහිත සුරැකුම්පත් සඳහා ඇති ඉල්ලුමයි. එක්සත් ජනපද භාණ්ඩාගාරයට මේ ඉල්ලුම වෙනස් කිරීම අපහසුය. ඔවුන්ට කළ හැක්කේ සැපයුම තීරණය කිරීම පමණි. එවිට, ස්වයංක්‍රීයව මිල තීරණය වේ.

එක්සත් ජනපද භාණ්ඩාගාරය විකුණන්නේ ඩොලර් මිලියන 2000ක සුරැකුම්පත් පමණක්නම් 99.37කට විකිණිය හැකිය. මේ මිල 99.33 දක්වා අඩු කළ විට ඩොලර් මිලියන 10000ක සුරැකුම්පත්ද, 99.32කට ඩොලර් මිලියන 15000ක සුරැකුම්පත්ද විකිණිය හැකිය. කලින් දැනුම් දුන් පරිදි ඩොලර් මිලියන 20000ක සුරැකුම්පත් විකිණීමටනම් 99.31 දක්වා මිල පහත හෙළිය යුතුය. එම මිලට, ඇත්තටම ඩොලර් මිලියන 25000ක් වුවත් විකිණිය හැකිය. එහෙත්, එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් වෙන්දේසි කරන බව පෙර දැනුම් දී ඇත්තේ ඩොලර් මිලියන 20,000ක සුරැකුම්පත් පමණක් නිසා කිසියම් වෙන් කිරීමක් සිදු කළ යුතුය. එය සිදු කෙරෙන්නේ පහත පරිදිය.

-99.32ක් හෝ වැඩි මිලක් යෝජනා කළ අයට ඔවුන් ඉල්ලූ මුළු බිල්පත් ප්‍රමාණයම ලැබේ.
-99.30ක් හෝ අඩු මිලක් යෝජනා කළ අයට කිසිවක් නොලැබේ.
-99.31ක් යෝජනා කළ අයට ඉල්ලූ ප්‍රමාණයෙන් 50%ක් ලැබේ.
-කෙසේවුවද, වැඩි මිලක් යෝජනා කළ අයටද සමතුලිත මිල වන 99.31ටම බිල්පත් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

ලංකාවේදී මෙය සිදුවන ආකාරයේ ඇති තවත් ප්‍රධාන වෙනස් කමක් වන්නේ එක් එක් ගැනුම්කරුට බිල්පත් නිකුත් කරන්නේ ඔවුන් යෝජනා කළ මිලට මිස සමතුලිත මිලට නොවීමයි. බැලූ බැල්මටම පෙනෙන්නේ මෙය රජයට වාසිදායක බවයි.

ඇමරිකානු ක්‍රමය අනුව බිල්පත් සියල්ලම අලෙවි වන්නේ 99.31කට වුවත් ලංකාවේ ක්‍රමයට මේ මිල 99.37-99.31 අතර වෙනස් වන එකකි. ඒ අනුව ඉහත උදාහරණයේ බිල්පත් විකිණෙන බරිත සාමාන්‍ය මිල 99.3325කි.

බැලූ බැල්මටම පෙනෙන පරිදි රජයට වැඩි මිලකට බිල්පත් විකුණාගත හැකිය. එහෙත්, මෙහිදී සිදුවන දෙය මීට වඩා සංකීර්ණ එකකි.

මේ බිල්පත් මිලදී ගන්නා ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ මූලික අරමුණ වෙනත් අයට බිල්පත් විකුණා ලාභයක් ලැබීමයි. මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 99.37කට මිලදීගත් ප්‍රාථමික ගැනුම්කරුවකු ලාභයක් ලබන්නට ඊට වඩා වැඩි මිලකට මේ බිල්පත් විකිණිය යුතුය. එහෙත්, එම බිල්පත්ම 99.31කට මිලදීගත්  ප්‍රාථමික ගැනුම්කරුවකුට 99.32 වැනි මුදලකට වුවත් මේ බිල්පත් විකිණිය හැකි නිසා බොහෝ විට ද්විතියික වෙළඳපොළ මිල 99.31-99.37 අතර 99.34 වැනි අගයක් වීමට ඉඩ තිබේ. එවිට, 99.37 වැනි මිලකට මිලදී ගත් ප්‍රාථමික ගැනුම්කරුවකුට සිදුවන්නේ තමන්ගේ බිල්පත් පාඩුවට විකිණීමටය. මේ නිසා, වෙන්දේසියට ඉදිරිපත් වීමේදී බිල්පත් හිමි වීමේ අවස්ථාව ලැබෙන තරමේ ඉහළ මිලක් යෝජනා කරන අතරම, එම අවස්ථාව යාන්තමින් ලැබෙන තරමේ හැකිතාක් අඩු මිලක් ඉදිරිපත් කිරීමටද ඔවුන්ට සිදුවේ.

ඇමරිකානු ක්‍රමය යටතේ මෙය මෙසේ සිදු නොවේ. ඔබ කොතරම් වැඩි මිලක් යෝජනා කළත් වෙනත් අයෙකුට ලබාගත හැකි අවම මිලම ඔබටත් ලැබෙන නිසා ලන්සු තබන්නන් හැම විටම බලන්නේ බිල්පත් හිමි කර ගැනීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට හැකි උපරිම ලන්සුව තැබීමටය.

ලංකාවේ ක්‍රමයේදී සිදුවන ජයග්‍රාහකයාගේ ශාපය (winner's curse) නිසා වෙන්දේසියේදී ඉහළ ලන්සු තැබීම අධෛර්යමත් වන අතර සියල්ලන්ම උත්සාහ කරන්නේ වෙන්දේසියේ තීරණාත්මක (cutoff) මිලට හැකිතාක් ආසන්න මිලක් යෝජනා කිරීමටය. මෙය පහසු නැත. ප්‍රශ්නය වඩාත් සංකීර්ණ වන්නේ ලංකාවේ ප්‍රාථමික වෙන්දේසියට මහ බැංකුව විසින් ඉදිරිපත් කරන සුරැකුම්පත් ප්‍රමාණය ලන්සු ලබා ගැනීමෙන් පසුව ලන්සු තබන්නනට සාපේක්ෂව අහඹු ලෙස (මහ බැංකුවේ අභිමතය පරිදි) අඩු හෝ වැඩි කරන බැවිනි. මේ නිසා ලන්සු තබන්නනට ඉතා විශාල අවිනිශ්චිතතාවයකට මුහුණ දෙන්නට සිදුවේ. මේ අවිනිශ්චිතතාවය අවම කර ගත හැකි, නීත්‍යානුකූල නොවන ක්‍රමයක් වන්නේ කෙසේ හෝ මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබාගැනීමයි. එසේ කළ හැකි අයෙකුට විශාල ලාභයක් ලැබීමේ අවස්ථාව තිබේ. මෙය ඇමරිකාවේ හෝ එංගලන්තයේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසි ක්‍රමය තුළ නොමැති තත්ත්වයකි.

මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රාථමික ගණුදෙනුකරුවන් අතර විශාල ඉල්ලුමක් ඇති වන්නේ ඉහත පදනමිනි.

(මතු සම්බන්ධයි)
 

නැවත දැනුම්දෙන තුරු කමෙන්ට්ස් ඉකොනොමැට්ටාගේ අනුමැතියට යටත් කර ඇති අතර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි තෝරාගත් කමෙන්ට්ස් පමණක් ඉඩක් ලැබුණු විට පල කෙරෙනු ඇත.

(Image: Wikipedia)

9 comments:

  1. ඔන්න අද තමයි මට වැඩේ තේරුම් ගියේ. තැන්කිව් ඉකෝන්

    ReplyDelete
    Replies
    1. මෙය මුළු කතාවේ එක් සුළු කොටසක් පමණයි. කතාව තව ගොඩක් දිගයි. :)

      Delete
  2. පැහැදිලි කරගැනීමක් අවශ්‍යයි
    තරඟකාරී නොවන ලන්සු කියන්නේ ලංකාවේ තියෙන ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් වලට සමානද?

    ReplyDelete
    Replies
    1. නෑ. මේ දෙක පැහැදිලිවම දෙකක්. ඇමරිකාවේ ප්‍රාථමික වෙන්දේසියට (සාමාන්‍ය පුද්ගලයෙක් වන) මට ඩොලර් දාහක ලන්සුවක් තැබිය හැකියි. එහෙත් මම ඩොලර් දාහක සුරැකුම්පත් ඉල්ලූ පමණින් ඩොලර් බිලියන විස්සක මුළු නිකුතුවේ සමතුලිත මිලට කිසිම දැනෙන බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා මම මිලක් නියම කිරීම තේරුමක් නැති දෙයක්. එසේ කළත් මට වෙන්නේ ලොකු ගණන් ලන්සු තියන අයගේ ඉල්ලුම මත තීරණය වන මිල භාරගන්නයි. ඇමරිකාවේ තරඟකාරී නොවන ලන්සු තබන්නේ මා වැනි සාමාන්‍ය පුද්ගලයින් හෝ වෙනත් සුළු ආයෝජකයින්. මෙවැනි ලන්සු ගණනින් වැඩි වුවත් වටිනාකමින් ඉතාම සුළු ප්‍රමාණයක්. මේ තරඟකාරී නොවන ලන්සු නිදහසේ මිල තීරණය වීමට උදවුවක් මිසක් බාධාවක් නෙමෙයි. ලංකාවේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් කියන්නේ නිදහස් වෙළඳපොළ මිල තීරණය වීම විකෘති කිරීමක්. එවැන්නක් ඇමරිකාවේ වෙන්නේ නැහැ. එහිදී හරියටම වෙන දෙය සහ මේ ක්‍රමය ඇති වීමේ පදනම ගැන පසුව ලියන්නම්. එයින් කරන්නේ මහ බැංකුවට (රජයට) අවශ්‍ය පරිදි නිදහස් වෙළඳපොළ සමතුලිත මිල කෘතීම ලෙස වෙනස් කිරීමක්. බොහෝ විට එහි පාඩුව පැටවෙන්නේ මහ බැංකුව යටතේ ඇති සේවක අර්ථ සාධක අරමුදලට (එනම් රටේ වැඩ කරන ජනතාවට) හෝ ඇතැම් විට මහ බැංකුවට (පසුව උද්ධමනය වැඩි වූ විට රටේම ජනතාවට) හෝ රාජ්‍ය බැංකුවකට. එහෙත් යම් තත්ත්වයන් යටතේ එය කිරීම හොඳ දෙයක් වෙන්නත් පුළුවන් (ප්‍රාථමික ගණුදෙනුකරුවන් කාටලයක් ලෙස ක්‍රියාත්මක වී කෘතිමව මිල ඉහළ දමන විට).

      Delete
    2. බොහොම ස්තුතියි. සෘජු ක්‍රමය පිළිබඳව ඔබගේ පැහැදිලි කිරීම ආවම තව ප්‍රශ්න අහන්න බලාපොරොත්තු වෙනවා

      Delete
  3. හොඳ පැහැදිලි කිරීමක්. දිගටම ලියන්න.
    අපිට දැනගන්න අවශ්‍ය අතුරු මාතෘකා තිබුනොත් අසන්නන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. කැමති ප්‍රශ්නයක් අහන්න. දේශපාලනික නොවන තාක්ෂණික කරුණක්නම් බොහෝවිට මට පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි කියා සිතනවා. ඒවායිනුත් ඇතැම් දේවල් පැහැදිලි කරන්න අනුපිළිවෙලින් මුල සිට යන්න වෙනවා. එවැන්නක් තිබුණොත් සටහන් කරගෙන පසුව පිළිතුරු දෙන්නම්.

      Delete
  4. පොඩි අතුරු ප්‍රශ්නයක්.(ප්‍රශ්න ගොඩක් අහන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට)
    ප්‍රාථමික වෙළඳුන් 16ක් පමණක් ඉන්න තත්වයක, සාමාන්‍ය ජනතාවටත් සෘජුව සහබාගි වෙන්න ඉඩ නැති තැනක කෙලින්ම ඇමරිකාවේ ක්‍රමයට ගියොත් (හැමෝටම එකම ගානට විකුණන මිලකට) වෙනම ප්‍රශ්නයක ඇතිවෙන්න ඉඩ තියෙනව නේද තරඟකාරීත්වය අඩු කිරීම තුලින්?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ ක්‍රමයෙන් කිසිම අයුරකින් තරඟකාරිත්වය අඩු වෙන්නේ නැහැ. එය තමයි සාමාන්‍යයෙන් නිදහස් වෙළඳපොලක භාණ්ඩයක මිල (බොහෝ විට) තීරණය වන ආකාරය. මා කැමති කමිසයකට රුපියල් 2000ක් දක්වා මුදලක් ගෙවන්න මා සූදානම් වුණත්, එහි මිල 1250ක් පමණක්නම් මට ඒ මිලට එය මිලදී ගත හැකියි. ඒ වෙනත් බොහෝ දෙනෙක් ඒ කමිසයට රුපියල් 2000ක් ගෙවන්න කැමති නැති නිසා. රුපියල් 2000කට කමිස 5ක් විකුණනවාට වඩා රුපියල් 1250කට කමිස 500ක් විකුණන එක නිෂ්පාදකයාට වාසි නිසා. කොහොම වුනත්, ලංකාවේ ක්‍රමයත් මහා අමුතු, අසමාන්‍ය ක්‍රමයක් නෙමෙයි. එයත් වෙනත් රටවල ඇතැම් විට භාවිතා වන ක්‍රමයක්. මා ඇමරිකානු ක්‍රමයෙන් පටන් ගත්තේ ඒ සමඟ සැසඳීමෙන් සිදුවී ඇති තත්ත්වය පැහැදිලි කරන්න පහසු වන නිසා.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.