Friday, May 26, 2023

මොළයට චිප් එකක්!


ඊලොන් මස්ක්ගේ නියුරෝලින්ක් සමාගම විසින් ඊයේ (මැයි 25) ට්විටර් හරහා දැනුම් දී ඇති පරිදි ඔවුන්ට මිනිසුන් යොදාගෙන පර්යේෂණ කිරීම සඳහා ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ (FDA) අනුමැතිය ලැබී තිබෙනවා. මුල් ට්විටර් පණිවිඩයෙහි මේ පිළිබඳ මීට වඩා වැඩිමනත් විස්තරයක් සඳහන්ව නැතත්, ලෝකයේ ප්‍රධාන ජනමාධ්‍ය ගණනාවක් විසින් ප්‍රමුඛ ප්‍රවෘත්තියක් සේ වාර්තා කරමින් විස්තර ඇති පරිදි මෙම අනුමැතිය ලැබී තිබෙන්නේ මිනිස් මොළයට විද්‍යුත් පරිපථයක් සම්බන්ධ කර ඒ හරහා පරිගණයකයක් මගින් මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමේ සහ මිනිස් මොළය ජාලගත කිරීමේ ක්‍රියාවලියක මුල් අදියරකටයි. මේ ක්‍රමයෙන් අන්ධයන්ට පෙනීම ලබා දීම, කොරුන් ඇවිදවීම මෙන්ම දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම වැනි දේ කිරීමේ ශක්‍යතාවයක් තිබෙනවා.

ජනමාධ්‍ය වලින් මෙවැනි පුවත් වලට මුල් තැනක් දෙන්නේ මෙතෙක් මිනිස් මොළයේ උදවුවෙන් පමණක් කළ හැකි වූ ක්‍රියාකාරකම් ගණනාවක් ස්වයංකරණය කිරීමේ හැකියාව වේගයෙන් වැඩිදියුණු වෙමින් තිබෙන හා ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති වෙමින් තිබෙන පසුබිමකයි. මෙම "විප්ලවය" සාමාන්‍ය මිනිසුන්ට එකවර ඇඟට දැනෙන්න පටන් ගත්තේ සාමාන්‍ය පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිදි චැට්ජීපීටී ප්‍රචලිත වීමත් සමඟයි. 

අධ්‍යාපන ආයතන වලට චැට්ජීපීටී දැනටමත් විශාල අභියෝගයක් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධ්‍යාපන ආයතනයක් විසින් (හැම රටකම නොවේ!) රචනා චෞරත්වයට (plagiarism) එරෙහිව දැඩි ස්ථාවරයක සිටිනවා. මෙය කොයි තරම් බරපතල වරදක්ද යන්න පිළිබඳව ඇමරිකානු සිසුවෙකුටනම් කුඩා කාලයේ සිටම පුහුණුවක් ලැබෙනවා. ඒ නිසා, ඔවුන් සාමාන්‍යයෙන් මෙම වරදට පෙළඹෙන්නේ නැහැ. එහෙත් එම පුහුණුව නොමැති, වෙනත් රටවලින් ඇමරිකාවට අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණෙන සිසුන් විසින් බොහෝ විට රචනා චෞරත්වය සිදු කරන්නේ මෙම වරදෙහි බරපතලකම තබා අඩු වශයෙන් තමන් මෙවැනි වරදක් කරන බව හෝ නොදැනයි. එක්තරා දුරකට මෙය සංස්කෘතික ප්‍රශ්නයක්.

චැට්ජීපීටී යුගයට කලින්ම අන්තර්ජාලය තොරතුරු වලින් පිරී ගියා. ගූගල් සෙවුමක දුරින් ඕනෑ තරම් දේ තිබුණු නිසා රචනා චෞරත්වයටද විශාල අවකාශයක් විවර වුනත් එවැනි ක්‍රියාකාරකම් පහසුවෙන්ම හඳුනාගත හැකි මෘදුකාංගද සමාන්තරව දියුණු වීම නිසා යම් අයෙකුට තමන් නොදැන හෝ මේ බරපතල වරද කර ඇත්නම් ඒ බව කලින් හඳුනා ගැනීමේ මාර්ග විවෘත වුනා. එමෙන්ම අවශ්‍ය අයෙකුට මේ වරද කරන්නන් අපහසුවකින් තොරව හඳුනාගත හැකි වුනා. 

චැට්ජීපීටී ප්‍රචලිත වීමත් සමඟ මේ තත්ත්වයෙහි වෙනසක් වී තිබෙනවා. එකම ප්‍රශ්නයට වුවත් එයින් දෙවරකදී එකම පිළිතුර නොලැබෙන නිසා මේ හරහා සිදු විය හැකි රචනා චෞරත්වය හඳුනා ගැනීම පහසු නැහැ. පැහැදිලි සැකයක් ඇති වුවත් ඒ බව තහවුරු කර ගැනීමේ හැකියාවක් නැහැ. මෙය අධ්‍යාපන ආයතන වලට අභියෝගයක්.

කෙසේ වුවත්, ඇමරිකාවේ අධ්‍යාපන ආයතන මෙම අලුත් තත්ත්වය හඳුනා ගනිමින් අනුවර්තය වෙමින් සිටිනවා. තාක්ෂනය වැඩි දියුණුවීම හා ප්‍රචලිත වීම නොවැලැක්විය හැකි අතර එසේ කළ යුතුද නැහැ. සිදුවිය යුත්තේ පවත්නා ආයතන හැකි ඉක්මණින් අලුත් තාක්ෂනය වැළඳගෙන අවශ්‍ය පරිදි අනුවර්තනය වීමයි. එසේ නොකරන ආයතනයකට වෙළඳපොළ තුළ පැවැත්මක් නැහැ. බොහෝ අධ්‍යාපන ආයතන වල ප්‍රවේශය වී තිබෙන්නේ සිසුන් මෙවැනි අලුත් මෙවලම් භාවිතයට ගැනීම දිරිමත් කරමින් හා ප්‍රවර්ධනය කරමින් එවැනි මෙවලම් පුද්ගල සංවර්ධනය පිණිස වඩා ඵලදායී ලෙස යොදා ගත හැකි ආකාරය පිලිබඳව මාර්ගෝපදේශනය කිරීමයි. 

චැට්ජීපීටී යනු වේගයෙන් සිදුවෙමින් තිබෙන ස්වයංකරණ විප්ලවයක එක් කුඩා කොටසක් පමණයි. මීට පෙර මිනිසුන්ගේ කායික ශ්‍රමය හා මානසික ශ්‍රමය යොදා ගෙන ඉටු කළ බොහෝ දේ මේ වන විට යන්ත්‍ර විසින් සිදු කරමින් සිටිනවා. බොහෝ දේවල් තවමත් මිනිසුන් අතින් සිදු වන්නේ තාක්ෂනය නැතිකමට වඩා ශ්‍රමය තව දුරටත් ලාබදායී නිසයි. යාන්ත්‍රික ශ්‍රමයේ පිරිවැය මිනිස් ශ්‍රමයේ (කායික මෙන්ම මානසික) පිරිවැය ඉක්මවා ගිය වහාම තත්ත්වය වෙනස් වෙනවා. මෙය නොවැලැක්විය හැකි පරිවර්තනයක්.

මේ තාක්ෂනික පරිවර්තනය එකවර වේගවත් වීම සඳහා බලපා තිබෙන දේශපාලනික සාධකයක්ද තිබෙනවා. ඒ ලෝකය පුරා හමා ගිය ජාතිකවාදී රැල්ලයි. මෙයම වෙනත් අයුරකින් කිවහොත් මේ පරිවර්තනය මෙතෙක් ප්‍රමාද කරනු ලැබූයේ කාලයක් තිස්සේ ලෝකය පුරා හමා ගිය ජාත්‍යන්තරවාදී රැල්ලයි. 

යම් හෙයකින් ඇමරිකාව වැනි දියුණු, විශාල රටක්, එහෙමත් නැත්නම් සියලුම බටහිර සංවර්ධිත රටවල් ඇතුළත් "සංවර්ධිත කලාපය" සෙසු ලෝකයෙන් වෙන් වී තමන්ගේ ආර්ථිකයන් සංවෘතව පවත්නා ගත්තේනම් මීට බොහෝ කලකට පෙර ශ්‍රමයේ පිරිවැය අවශ්‍ය තීරණාත්මක සීමාව පසු කර ගොස් මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර ආදේශ වෙනවා. එහෙත්, මෙම සංවර්ධිත කලාපයට බාහිරව වූ ලෝකයෙන් දිගින් දිගටම සෘජුව හෝ වක්‍රව ලාබ ශ්‍රමය පොම්ප වූ නිසා, ප්‍රතිපරිසිද්ධික තත්ත්වයට සාපේක්ෂව, ස්වයංකරණය වෙනුවෙන් සිදු කෙරෙන ආයෝජන සිදුවුනේ අඩු වේගයකින්. 

උදාහරණයක් විදිහට ලංකාව වැනි රටවල ඇඟලුම් කම්හල් හරහා ඇඳුම් නිපදවා ගැනීමේ විකල්පය ඇමරිකාව සතු නොවූයේනම් ඇමරිකානුවන් ඇඳුම් නොඇඳ ඉන්නේ නැහැ. එසේනම් ඒ ඇඳුම් ඇමරිකාව තුළම නිපදවෙනවා. නමුත් මෙහිදී ලංකාව වැනි රටකින් ලබා ගන්නා තරම් අඩුවට ශ්‍රමය මිල දී ගැනීමට හැකි නොවන නිසා පිරිවැය ඉහළ යනවා. එයින් සිදුවන්නේ ස්වයංකරණය දිරිගැන්වීමයි. අවසාන වශයෙන් ඇමරිකන් ශ්‍රමිකයා මේ කර්මාන්තයෙන් ඉවත් වන නමුත් එවැනි ප්‍රතිපරිසිද්ධික තත්ත්වයකදී ඇමරිකන් ශ්‍රමිකයා වෙනුවට වෙනත් රටක ශ්‍රමිකයෙකු ආදේශ වන්නේ නැහැ. ඒ තැන ගන්නේ යන්ත්‍රයක් විසින්. 

ජාත්‍යන්තරකරණය තුළ ඉහත ස්වයංකරණ ක්‍රියාවලියේ වේගය සීමා වුනත්, තවත් තීරණාත්මක සීමාවකින් පසුව ස්වයංකරණයට ජාත්‍යන්තරකරණ අභියෝගය නොසලකා හැරිය හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙය සංස්කෘතීන් අතර ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන සීමාවක්.

වත්මන් ලෝකයේ සංවර්ධනය සේ හඳුනාගන්නා දේවල් බොහොමයක තිඹිරිගෙය බටහිර සංස්කෘතියයි. මෙය බටහිර සංස්කෘතික ආධිපත්‍යයක් සේ යම් අයෙකුට විස්තර කළ හැකි වුවත්, එවැනි ආධිපත්‍යයක් ඇත්නම් එය ඇති වී තිබෙන්නේ පරිණාමික තරඟය ජයගැනීම තුළයි. මෙම ප්‍රමුඛ සංස්කෘතිය නියෝජනය කරන රටවලට මෙහි නිසග වාසිය ලැබෙන අතර එම සංස්කෘතිය හා අනුගත වන තරමට වෙනත් රටවලටද එම වාසිය වඩා වැඩියෙන් ලැබෙනවා. 

මෙයම වෙනත් විදිහකින් කිවුවොත්, සංවර්ධනය හඹා යද්දී තමන්ගේ සංස්කෘතියේ තිබෙන එයට උපකාරී නොවන අංග අතහැර දමන්නට බටහිර නොවන රටකට සිදු වෙනවා. එසේ නැත්නම්, පරිණාමික වාසියක් නොමැති එවැනි අංග තවදුරටත් පවත්වා ගැනීම වෙනුවෙන් මිලක් ගෙවන්නට සිදු වෙනවා. වේගයෙන් ස්වයංකරණය සිදුවන වත්මන් යුගයේදී මෙසේ ගෙවන්නට සිදුවන මිල විශාල මිලක්. 

ජාත්‍යන්තරකරණ රැල්ල ආපසු හැරවුණේ ඔය පරිවර්තනය ඔය ආකාරයෙන් සිදු නොවූ නිසයි. බොහෝ දෙනෙක් තමන්ගේ සංස්කෘතියේ අංග වෙනස් වනු දැකීමට දක්වන ප්‍රතිරෝධය විසින් අවසාන වශයෙන් සිදුවන්නේ ප්‍රමුඛ සංස්කෘතිය හා අනෙකුත් සංස්කෘතීන් අතර ආදායම් පරතරය පුළුල් කිරීමයි. ස්වයංකරණ පෙරහැර එද්දී යම් අවස්ථාවක මේ පරතරය වේගයෙන් ඉහළ ගොස් සංවර්ධිත රටවල් හා අනෙකුත් රටවල් අතර කවදාවත් නොතිබුණු ආකාරයේ උස තාප්පයක් හැදෙන්න පුළුවන්. 

එක උදාහරණයක් විදිහට ඇමරිකාවේ කෘෂිකර්මය ගත්තොත් මහා පරිමාණ වගාබිම් කලකට පෙර සිටම මුළුමනින්ම මෙන් කාර්මීකරණය වී ඇතත් වෙනත් ඇතැම් කෘෂිකාර්මික කටයුතු සඳහා තව දුරටත් මිනිස් ශ්‍රමය අවශ්‍ය වුනා.  මෙම ශ්‍රමයෙන් සැලකිය යුතු කොටසක් සංක්‍රමණිකයින් විසින් සැපයූවා. ලංකාවේ සන්දර්භයෙන් උදාහරණයක් ගත්තොත්, තේ දළු කැඩීම සඳහා යොදවන මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය ආදේශ කිරීම අපහසු නැහැ. නමුත්, යාන්ත්‍රික ශ්‍රමය යොදාගෙන ගහක අඹ කඩන එක ඒ තරම් පහසු නැහැ. අමු අඹ ඉතිරි කර ඉදුණු අඹ පමණක් කඩන එක යන්ත්‍රයකට පහසුවෙන් කළ නොහැකි දෙයක්. එහෙත් දැන් මේ වගේ සංකීර්ණ කටයුතු පවා තාක්ෂනය යොදාගෙන කළ හැකියි. කැමරා මගින් ගහේ ඇපල් ගෙඩියෙන් ගෙඩිය නිරීක්ෂණය කර අවශ්‍ය පමණ පැසුණු ඇපල් ගෙඩි පමණක් කඩා එකතු කර ගැනීම සඳහා ඩ්‍රෝන යන්ත්‍ර යොදා ගත හැකියි. 

අනෙක් අතින් මෙතෙක් වෘත්තිකයින් විසින් කළ කටයුතු බොහොමයක් ඉතා ඉක්මණින් කෘතීම බුද්ධි යන්ත්‍ර විසින් අත්පත් කර ගැනීමට නියමිතයි. එහිදී පහළ යන ශ්‍රම අවශ්‍යතාවය හේතුවෙන් මුලින්ම සිදු වනු ඇත්තේ සංවර්ධිත ලෝකය හා බාහිර ලෝකය අතර තාප්පය තවත් උස් වී සංක්‍රමණයට තිබෙන ඉඩප්‍රස්තා සීමා වීමයි.

ස්වයංකරණය නිසා මිනිස්සුන්ට රස්සා නැති වෙයිද?

රස්සා නැති වෙනවානම් එහි බලපෑම වැඩියෙන්ම දැනෙනු ඇත්තේ සංවර්ධිත ලෝකයට පිටත රටවලටයි. මොකද වැඩි වැඩියෙන් ස්වයංකරණය වෙනවා කියන්නේ රට ඇතුළේ තිබෙන ශ්‍රමය ප්‍රමාණවත් වෙනවා කියන එක. ඒ නිසා රටක් ස්වයංකරණය  වී ගෙන යද්දී වැඩි වශයෙන් ප්‍රතිස්ථාපනය වෙන්නේ රටට පිටින් ලබා ගන්නා ශ්‍රමය වීමටයි වැඩි ඉඩක් තිබෙන්නේ. 

හැබැයි ඔය විදිහට රටට පිටින් ලබා ගන්නා ශ්‍රමය ප්‍රතිස්ථාපනය කළත් යම් වෙලාවට රට ඇතුළේ තිබෙන ශ්‍රමය වුනත් අවශ්‍ය නැති වෙලා ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ප්‍රශ්නයට රටකට මුහුණ දෙන්න වෙනවා නේද?

අනිවාර්යයෙන්ම ප්‍රශ්නය මතු වෙනවා. නමුත්, ප්‍රශ්නය මතු වෙන්නේ ප්‍රශ්නයට විසඳුම්ද එක්ක. විසඳුම ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබෙනවා. අවසාන වශයෙන් කොයි පැත්තට යනවද කියන එක තීරණය කරන්නේ දේශපාලනය.

සරල පැහැදිලි කිරීමක් විදිහට ස්වයංකරණයේ අනාගතය කියා කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සියල්ලම මෙන් යන්ත්‍ර මගින් හදන තත්ත්වයක්. ඒ නිසා, මිනිස් ශ්‍රමය අවශ්‍ය නැතුව යනවා. හැබැයි යන්ත්‍ර විසින් භාණ්ඩ හා සේවා කොයි තරම් හැදුවත් ඒ භාණ්ඩ හා සේවා වලට වටිනාකම් දෙන්නේ මිනිස්සු. වටිනාකම ලැබෙන්නේ එම භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේදී. මිනිස්සු භාණ්ඩ හා සේවා මිල දී ගන්නනම් මිනිස්සු අතේ සල්ලි තියෙන්න ඕනෑ. මිනිස්සු අතේ සල්ලි නැත්නම් භාණ්ඩ හා සේවා වල වටිනාකමක් නැතිව යනවා. වටිනාකමක් නැත්නම් හදන එකේ තේරුමක් නැහැ. 

දැන් ප්‍රශ්නය යන්ත්‍ර මගින් හදන භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා මිනිස්සුන්ට සල්ලි කොහෙන්ද කියන එක. එක ක්‍රමයක්නම් හැමෝම වගේ ප්‍රාග්ධනයේ අයිතිකරුවන් වීම. යන විදිහට එහෙම දෙයක් වෙන්න ඉඩකඩ අඩුයි. හැමෝම ප්‍රාග්ධනයේ අයිතිකරුවන් විය හැකි වුවත් ප්‍රාග්ධනය සමානව බෙදී යාමේ ඉඩක් නැහැ. ඒ නිසා, වැඩි ප්‍රාග්ධනයක් තිබෙන පිරිස "ලොක්කෝ" වෙන එක වලක්වන්න බැහැ. හැබැයි ඒ වගේ ක්‍රමයක් පවතින්නනම් ඔය "ලොක්කෝ" ටික තමන්ගේ ආදායමෙන් කොටසක් අනෙක් අයටත් බෙදලා දෙන්න වෙනවා. විශ්වීය මූලික ආදායම් සංකල්පය (UPI) වගේ දේවල් වලින් වෙන්නේ ඔය වගේ දෙයක්. ඔය ක්‍රමයට ගියොත්නම් යම් පිරිසක් වහල්ලු තමයි. 

ඕක වෙන්න පුළුවන් වෙනත් ක්‍රමයකුත් තිබෙනවා. භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා මිනිස් ශ්‍රමය අඩුවෙන් අවශ්‍ය වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ කාලය ඉතිරි වෙනවා කියන එක. මේ ඉතිරි වන කාලය යොදවන්නේ මොන වගේ දේවල් වලටද? 

කාලය ඉතුරු වන තරමට මිනිස්සු තමන් සතුටු වන දේවල් වෙනුවෙන් ඒ කාලය යොදවනවා. ක්‍රීඩා කරන්න, චිත්‍රපට නාට්‍ය බලන්න, සිංදු අහන්න වගේ දේවල්. තව අවන්හලකට ගිහින් කාලා බීලා සතුටු වෙන්න. වැඩි වැඩියෙන් කාලය ඉතුරු වෙනවා කියන්නේ ඔය වගේ දේවල් වලට ඉල්ලුම විශාල ලෙස වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ අනෙක් මිනිසුන් සතුටු වන දේවල් කරලා සල්ලි හොයන්න ඕනෑ තරම් අවස්ථා තිබෙනවා කියන එකයි. "ලොක්කෝ" ටිකක් එකතු වෙලා "පොඩ්ඩන්ට" නිකම් සල්ලි බෙදුවොත් නොවිය හැකි වුනත්, එහෙම සල්ලි නිකම් ලැබෙන්නේ නැත්නම් මිනිස්සුන්ට සල්ලි හොයන්න මොනවා හෝ කරන්න වෙනවා. යන්ත්‍ර වලින් හැදුවත් භාණ්ඩ හා සේවා වලට වටිනාකමක් දෙන්නේ මිනිසුන්ම නිසා අවසාන වශයෙන් වෙන්නේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මිනිස් ශ්‍රමයේ මිල ඉහළ යන එක.

විනෝදාස්වාද කටයුතු හා අදාළ නිෂ්පාදන වගේ දේවල් වුනත් මිනිස් ශ්‍රමය නැතුව යන්ත්‍ර වලින්ම කරන්න පුළුවන් වෙයි. නමුත් මිනිස් ශ්‍රමය යොදාගෙන කරන දේවල් වලට වෙනම ප්‍රීමියම් මාකට් එකක් හැදෙයි. නිකම් බිත්තර වලට වඩා ඕගනික් බිත්තර මිල වැඩියි වගේ. උදාහරණයක් විදිහට මිනිස් වේටර්ලා ඉන්න අවන්හලකින් කෑම ගන්න එක මිල අධික, සුඛෝපභෝගී දෙයක් වෙන්න පුළුවන්. එතකොට කවුරු හෝ කියන්න පුළුවන් "අපේ දහවෙනි විවාහ සංවත්සරයට අපි මිනිස් වේටර්ලා ඉන්න අවන්හලකට ගිහිං මිනිස් කෝකියෝ හදපු කෑම වේලක් කමු!" වගේ කතාවක්. 

ඔය විදිහට ශ්‍රම වෙළඳපොළ නැවත සකස් විය හැකි නිසා ශ්‍රමය පමණක් තිබෙන කෙනෙකුට වුවත් මහන්සි වෙලා උඩට ගිහින් ප්‍රාග්ධනයේ හිමිකරුවෙකු වීමේ අවස්ථාව තවදුරටත් ඉතිරි වෙයි. නමුත්, විශ්වීය මූලික ආදායම් ක්‍රමය වගේ දේවල් පුළුල් වන තරමට ඕකේ අනෙක් පැත්ත වීමේ අවදානම ඉහළ යනවා. ප්‍රායෝගිකව සිදු විය හැක්කේ, දැන් වගේම, ඔය අන්ත දෙකේ අතරමැදි තත්ත්වයක්. 

පසුගිය සතියේ (මැයි 16) ඇමරිකාවේ සිදු වුනු තවත් වැදගත් දෙයක්නම් සෙනෙට් කමිටුවක් විසින් කෘතීම බුද්ධි ක්‍රියාකාරකම් නියාමනය කිරීම පිළිබඳව මෙහි නියැලෙන ප්‍රධාන සමාගම් වලින් අදහස් විමසීමයි. මේ හා අදාළ නීති මාලාවක් මේ වෙද්දීත් හැදෙමින් තිබෙනවා. මෙම අවස්ථාවේදී චැට්ජීපීටී හඳුවාදුන් ඕපන්ඒඅයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් පළ කළ අදහස තරමක් අනපේක්ෂිත එකක්. ඔහු විසින් ඉල්ලා සිටියේ සිදුවිය හැකි වැරදි වලක්වා ගැනීම සඳහා රජය විසින් කෘතීම බුද්ධි ක්‍රියාකාරකම් නියාමනය කළ යුතු බවයි. කෘතීම බුද්ධිය භාවිතය වර්ධනය වීම මෙන්ම ඒ හරහා රාජ්‍ය මැදිහත්වීම් ඉහළ යාමද පැහැදිලිව පෙනෙන්නට තිබෙන ප්‍රවණතාවක්. 

Thursday, May 25, 2023

ලබන සතියේ මොනවා වෙයිද?


රටේ ආර්ථිකය හා අදාළ වැදගත් ප්‍රතිපත්ති තීරණ කිහිපයක්ම ලබන සතිය තුළ ගැනීමට යම් ඉඩක් තිබෙනවා. හරියටම කියනවානම් ආනයන පාලන සීමාවන් ඉවත් කිරීම හෝ එය කරන ආකාරය දැනුම් දීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීම හා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම යන තුනෙනේ එකක් හෝ වැඩි ගණනක් ඉදිරි සතිය මැද වන විට සිදු විය හැකියි. 

ලබන සතිය වැදගත් ඇයි?

ලබන සතිය තුළ සිදුවන සුවිශේෂී දෙය මැයි මාසය හා අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් වීමයි. මේ අනුව, උද්ධමනය 25% ආසන්න මට්ටමකට පහත වැටී තිබීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. තවත් මාසයකට පසුව මෙම අගය 12% ආසන්න මට්ටමකට පහත වැටිය හැකි ඇති අතර රටේ ජනතාව හා වෙළඳපොළ කෙරෙහි වැඩිම බලපෑමක් කෙරෙනු ඇත්තේ උද්ධමනය එම මට්ටමට පහත වැටීම බැවින් ඉහත සඳහන් වැදගත් තීරණ ගැනීමට වැඩිම ඉඩක් තිබෙන්නේ තවත් සති පහකට පසුව වුවත්, එම තීරණ වලින් එකක් හෝ කිහිපයක් ඉදිරි සතිය තුළ ගනු ලැබීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි.

පොලී අනුපාතික යම් ඉහළ මට්ටමක තිබුණත් පසුගිය කාලය මුළුල්ලේම පොලී අනුපාතික පැවතුනේ උද්ධමන අගයට වඩා පහළිනුයි. ඒ කියන්නේ මූර්ත පොලී අනුපාතික තිබුණේ සෘණ පැත්තේ. ඉදිරි සතියේදී මෙම තත්ත්වයේ යම් වෙනසක් වෙනවා. ඒ නිසා, මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික වල සංකේතාත්මක අඩු කිරීමක් (1%කින් හෝ 0.5%කින්) කිරීමට යම් ඉඩක් තිබෙනවා. 

ඩොලරයක ගැනුම් මිල මේ වන විට පැහැදිලි ලෙසම රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. පවතින තත්ත්වයන් තුළ මේ සමතුලිතතාව ආපසු හැරවී යාමේ ලොකු ඉඩක් පෙනෙන්න නැහැ. අරමුදල සමඟ ඇති කරගත් එකඟතාව අනුව විණිමය අනුපාතය හා අදාළ සියළු සීමාවන් ක්‍රමිකව එකින් එක ඉවත් කිරීම සඳහා වසරක කාලයක් තිබෙන අතර (මාර්තු සිට) එය කරන ආකාරය ජූනි අවසානයට පෙර දැනුම් දිය යුතුයි. මේ සඳහාද තවත් මාසයක කාලයක් තිබුණත් විණිමය වෙළඳපොළෙහි පවතින ප්‍රවණතා අනුව මේ මාසය අවසානයේදී යම් ලිහිල් කිරීම් ප්‍රකාශයට පත් වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි. 

විණිමය වෙළඳපොළ සීමා සියල්ල ඉවත් කිරීමෙන් පසුවද ඩොලරයක මිල ස්ථාවරව තබා ගත හැකි තත්ත්වයක් දැනටමත් ඇති වී තිබුණත්, මෙම සමතුලිතතාවය තනිකරම මෙන් රඳා පවතින්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ලබා ගැනීමට අපේක්ෂිත සහනය මතයි. එම කටයුත්ත අවසන් වන තුරු කිසිවකුට නිදහසේ පැත්තකට හැරී නිදාගන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසියක් ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරලියට එන්නට (දැනටමත් පැමිණ තිබීමට) සැලකිය යුතු ඉඩක් තිබෙනවා. මේ කාරණයේදී පසුගිය සතියේ ඩොලර් බිලියන තුනක IMF වැඩසටහනකට ගිය, මේ වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කටයුතු කරමින් සිටින ඝානාව දෙස බැලිය හැකියි. එක් එක් රටේ තත්ත්වය සුවිශේෂී වුවත්, ඝානාවේ තත්ත්වය සෑහෙන තරමකින් ලංකාවේ තත්ත්වයට සමානයි. 

ඝානාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටින්නේ සාර්ථක ලෙස දේශීය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමෙන් පසුවයි. දෙරට විදේශ ණයහිමියන් බොහෝ දුරට එකම කණ්ඩායමක් නිසා ඝානාව කළ දේ ලංකාවට කළ නොහැක්කේ ඇයි කියා අහන්නට සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

ඝානාව බිල්පත් ප්‍රතිව්‍යුහගත කළේ නැහැ. එහෙත්, බැඳුම්කර වලින් 85%ක්ම ස්වේච්ඡා පදනම මත ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. මෙහිදී මුල් මුදල කප්පාදු කිරීමක් (හෙයාකට්) සිදු වී නැති අතර කල් පිරීමේ කාලය දිගු කිරීම හා කූපන් පොලී සීමා කිරීම මගින් අවශ්‍ය ඉලක්කයට ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් ලබන සතියේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළත් ඒ හේතුවෙන් රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික අඩු නොවෙන්න පුළුවන්. ඒ, බැංකු පද්ධතිය තුළ විශාල අතිරික්ත ද්‍රවශීලතාවක් නොමැති නිසා. සාමාන්‍ය අවස්ථාවකදී මෙන් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සමාන්තරව බැංකු පද්ධතියට ද්‍රවශීලතාව සැපයීම සඳහා මහ බැංකුවට මේ වෙලාවේ විශාල අවකාශයක් නැහැ. අනෙක් පැත්තෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමටද සුරැකුම්පත් ආයෝජකයින් මුහුණ දෙනවා. 

මෙය එක්තරා ආකාරයක ග්‍රිඩ්ලොක් තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම පවතින තුරු පොලී අනුපාතික අඩු වෙන්නේ නැහැ. පොලී අනුපාතික අඩු වන තුරු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම තිබෙනවා. මේ තත්ත්වය වෙනස් විය හැක්කේ බාහිර වෙනසකින් පමණයි. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළ පමණින්, මේ මොහොතේ පවතින තත්ත්වයන් අනුව, මේ අවශ්‍ය වෙනස සිදු වෙන්නේ නැහැ.

මේ තත්ත්වය වෙනස් විය හැකි එක් ක්‍රමයක් වන්නේ රජයට සැලකිය යුතු විදේශ ණයක් ලැබී දේශීය ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය පහත වැටීමයි. එවැන්නක් සිදු වුවහොත් රජයේ දේශීය ණය සඳහා ඉල්ලුම අඩු වී පොලී අනුපාතික පහත වැටෙනවා. එසේ නැත්නම් රජයට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය නිවේදනය කරන්නට සිදු වෙනවා. ඝානා රජය විසින් ඔවුන්ගේ භාණ්ඩාගාර බැඳුම්කර වලින් 85%ක් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ඉතිරි 15% සඳහා පොලී සහ මුල් මුදල් පිළිවෙලට ගෙවාගෙන යනවා. 

මාර්තු මාසය වන විට පෙර වසරේ මාර්තු මාසයට සාපේක්ෂව පෞද්ගලික අංශයට දෙන ණය 5.1%කින් පහත වැටී තිබුණා. විශේෂයෙන්ම විදේශ බැංකු ඒකක වලින් ලබා දෙන ණය 20.6%කින් අඩු වී තිබුණා. මෙම හැකිලීම් මේ වන විට මීටත් වඩා වැඩි විය යුතුයි. පසුගිය සතියේ ආනයන සඳහා ලබා දෙන ණය පිළිබඳ සීමාවන් ලිහිල් කිරීම නිසා ඉහත තත්ත්වයේ යම් ක්‍රමික වෙනසක් සිදු වීමට නියමිත වුවත් එම වෙනස වැඩි වශයෙන් බලපානු ඇත්තේ විණිමය අනුපාතිකයට මිස පොලී අනුපාතික වලට නෙමෙයි.

මේ වන විට ඉල්ලුම් පීඩන විශාල ලෙස අඩු වී ඇති තත්ත්වය තුළ පුළුල් මුදල් සැපයුම, විශේෂයෙන්ම පෞද්ගලික අංශයට ලබා දෙන ණය, යම් තරමකින් වර්ධනය වෙන්නට ඉඩ හැරීමේ ලොකු වැරැද්දක් නැහැ. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහන්නේත් නැතිව, වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි කර පොලී අනුපාතික පහළ දමාගත හැකි එක් ක්‍රමයක් වන්නේ සංචිත අනුපාතය අඩු කිරීමයි.

Monday, May 22, 2023

අප්‍රේල් ජාතික උද්ධමනය 33.6%යි!


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේ ලංකාවේ උද්ධමනය 33.6% ලෙස වාර්තා වී තිබෙනවා. මෙය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි සටහන් වූ 35.3%ට වඩා අඩු අගයක් වන අතර මාසයක් තුළ 49.2% සිට 15.6%කින් පහත වැටීමක්.  

ආහාර උද්ධමනය 42.3% සිට 27.1% දක්වා අඩු වී ඇති අතර අනෙකුත් සෑම කාණ්ඩයකම උද්ධමනයෙහි විශාල අඩුවීම් දැකිය හැකියි. උද්ධමනය අඩු වීමට අමතරව දර්ශක අගයෙහිද, එනම් මිල මට්ටමෙහිද, 1%ක අඩු වීමක් පෙන්නුම් කරනවා.

දැනට පවතින ප්‍රවණතාව අනුව, ජූලි මාසයේදී උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙනවා. මැයි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් වීමට නියමිත අතර අපගේ ඇස්තමේන්තුව වනුයේ එම අගය 25% ආසන්න මට්ටමක පවතිනු ඇති බවයි. ජූනි මාසය වෙද්දී මෙම අගය 12% පමණ දක්වා පහත වැටෙනු ඇති බව අපගේ ඇස්තමේන්තුවයි. ඒ අනුව, ඒ වන විට පොලී අනුපාතික වලද විශාල අඩුවීමක් සිදු විය යුතුයි.

පසුගිය සතියේදී ආනයන ඉල්ලුම කෙරෙහි බලපෑ ඇතැම් සීමාවන් ඉවත් කරනු ලැබුවද ඩොලරයක සාමාන්‍ය මිල අද දිනයේ නැවතත් 300 සීමාවෙන් පහළට ලිස්සා ගොස් තිබීමෙන් පෙනෙන්නේ බැංකු පද්ධතිය තුළට සැලකිය යුතු විදේශ විණිමය ප්‍රවාහ ගලා එමින් ඇති බවයි. මෙම තත්ත්වය තුළ උද්ධමනය කෙරෙහි විණිමය අනුපාතයෙන් පීඩනයක් ඇති වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබෙන්නේ වසර අවසානයේදී උද්ධමනය 12%-18% සීමාවේ තිබෙනු ඇති බවයි. එහෙත්, උද්ධමනය ඊට වඩා අඩු වන බව ඉතාම පැහැදිලියි. මෙහි එක් "අහිතකර" ප්‍රතිඵලයක් වන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතයද ඇස්තමේන්තුගත අගයට වඩා අඩුවීම නිසා ණය සේවාකරණ ඉලක්ක තව දුරටත් සීමා වීමයි. 

Saturday, May 20, 2023

ඉන්දියාව දෙදාහේ නෝට්ටු ඉවත් කර ගනී!


ඉන්දියාවේ මහ බැංකුව විසින් ඊයේ (මැයි 19) දින සියළුම බැංකු වෙත නිවේදනයක් නිකුත් කරමින් රුපියල් දෙදාහේ නෝට්ටු සංසරණයෙන් ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බව දැනුම් දුන්නා. රුපියල් දෙදාහේ නෝට්ටුව ඉන්දියාවේ විශාලතම මුදල් නෝට්ටුවයි. 

මේ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි බැංකු විසින් කවුන්ටර හරහා සහ ATM යන්ත්‍ර මගින් දෙදාහේ නෝට්ටු නිකුත් කිරීම නැවැත්විය යුතුයි. එමෙන්ම බැංකු වලට ලැබෙන දෙදාහේ නෝට්ටු වෙනම තෝරා බේරා ඉවත් කර මහ බැංකු ශාඛාවක් වෙත භාර දී අඩු වටිනාකම් නෝට්ටු වලට මාරු කර ගත යුතුයි. 

සාමාන්‍ය පුද්ගලයින්ට ඔවුන් සතු දෙදාහේ නෝට්ටු මාරු කර ගැනීම සඳහා බැංකු විසින් පහසුකම් සැලසිය යුතුයි. ඔවුන්ට එම නෝට්ටු තමන්ගේ ගිණුමක තැන්පත් කිරීමට හෝ අඩු වටිනාකම් නෝට්ටු වලට මාරු කිරීමට පුළුවන්. කෙසේ වුවත්, මෙහිදී දෙදාහේ නෝට්ටු අවලංගු කිරීමක් සිදු වන්නේ නැහැ.

මීට පෙර, 2016 වසරේදී ඉන්දියාව රුපියල් 500 හා රුපියල් 1000 නෝට්ටු අවලංගු කළා. එයින් අපේක්ෂා කළේ නෝට්ටු නොවන ගනුදෙනු දිරිමත් කිරීම සහ නීති විරෝධී ගනුදෙනු සීමා කිරීම වුවත්, ප්‍රායෝගිකව මේ තීරණයෙන් දැනෙන බලපෑමක් සිදු වූයේ නැහැ. 

මෙසේ එකවරම මුදල් නෝට්ටු අවලංගු කිරීම නිසා ගනුදෙනු සඳහා ප්‍රමාණවත් මුදල් රටේ නැති වී ඇති වූ අවුල වලක්වා ගනු ලැබුවේ රුපියල් දෙදාහේ නෝට්ටුවක් අලුතෙන් නිකුත් කර සංසරණයට එකතු කිරීමෙන්. ඉන් පසුව, නැවතත් පන්සීයේ හා දාහේ නෝට්ටුද නිකුත් කරනු ලැබුවා. 

අවසාන වශයෙන් සිදු වූයේ දෙදාහේ නෝට්ටු යනු ගනුදෙනු සඳහා භාවිතා නොවන, අවිධිමත් ලෙස සල්ලි ගොඩ ගසා ගත හැකි මෙවලමක් බවට පත් වීමයි. උදාහරණයක් ලෙස මැතිවරණ වියදම් සීමා කෙරෙන නීති වලින් ගැලවී වැඩිපුර වියදම් කිරීම සඳහා දේශපාලනඥයින් විසින් දෙදාහේ නෝට්ටු ගොඩ ගසාගෙන සිටින බව පැවසෙනවා.

මුදල් සැපයුම ප්‍රසාරණය වීම පාලනය කිරීම සඳහා ඉන්දියාව පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික 6.5% දක්වා ඉහළ දැම්මා. පෙර වසරේ (2022) අප්‍රේල් මාසයේදී 7.8% දක්වා ඉහළ ගොස් තිබුණු ඉන්දියාවේ උද්ධමනය වසරකට පසුව 4.7% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. එහෙත්, වර්ධනය යම් තරමකින් සීමා වීමෙන් පසුවද ණය ඉල්ලුම තවමත් 15% ඉක්මවන වේගයකින් වර්ධනය වෙනවා. මෙම තීරණය හේතුවෙන් සංසරණයේ ඇති මුදල් නැවත බැංකු පද්ධතිය වෙත පැමිණීම මුදල් ප්‍රසාරණයද සීමා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල වේගයෙන් කඩා වැටෙද්දී ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ගේ රුපියල් විදේශ මුදල් වලට මාරු කළා. මෙහිදී ජනප්‍රියම මුදල් ඒකකය වූයේ ඇමරිකන් ඩොලරය වුවත් ඇමරිකන් ඩොලර් හොයා ගැනීම අසීරු වූ අය වෙනත් විදේශ මුදල් ඒකක වලටද රුපියල් මාරු කළා. ඇතැම් ශ්‍රී ලාංකිකයින් සතුව දැනටත් ඉන්දියානු රුපියල් දෙදාහේ නෝට්ටු තිබෙනවා විය හැකියි. 

ඉන්දීය මහ බැංකුවේ නිවේදනය: https://www.rbi.org.in/scripts/NotificationUser.aspx?Id=12505

Friday, May 19, 2023

ඩොලරයක මිල කීයක් වෙයිද?

ඉහත ප්‍රශ්නය ගොඩක් අය නැවත නැවත අහන ප්‍රශ්නයක්. ප්‍රශ්නය අහන අයට මේ ප්‍රශ්නය අහන්න ඕනෑ තරම් හේතු තිබෙනවා. නමුත්, විණිමය අනුපාතය නිදහසේ තීරණය වෙන්න ඉඩ දෙනවානම්, කෙටිකාලීනව එය කීයක් වෙයිද කියලා කිසිම කෙනෙකුට කියන්න බැහැ. ඒ නිසා, ඔය ප්‍රශ්නයට පිළිතුරු හොයන්න ඕනෑවට වඩා මහන්සි වෙන එකේ තේරුමක් නැහැ. ඒක හරියට මාස හයකට පස්සේ දවසක වහියිද පායයිද කියලා දැන් හිතනවා වගේ දෙයක්. 

මෙය කාසියක් උඩ දැමූ විට වැටිය හැකි පැත්ත හෝ ලොතරැයියක දිනුම් අංකය කියනවා වගේ දෙයකට සමාන නොකර ඉහත උදාහරණය ගත්තේ හිතාමතාමයි. අදාළ මාසයේ සාමාන්‍ය කාලගුණ තත්ත්වය වගේ දේවල් ගැන හිතලා මාස හයකට පස්සේ දවසක වහියිද පායයිද කියන එක ගැන යම් අදහසක් ගන්න පුළුවන්. නමුත් හරියටම කියන්න බැහැ. තව ඕනෑනම් ක්‍රිකට් තරඟයකදී කණ්ඩායමක් විසින් ලබා ගන්න ඉඩ තිබෙන මුළු ලකුණු ප්‍රමාණය වගේ දෙයකට වුනත් සමාන කරන්න පුළුවන්. 

පහත ප්‍රස්ථාරයේ තිබෙන්නේ කැනේඩියන් ඩොලරය සහ ඇමරිකන් ඩොලරය අතර විණිමය අනුපාතය. කොයි තරම් අඩු වැඩි වීම් වුනත්, අවුරුදු හතර පහක කාලයක් සැලකුවොත් ඔය අනුපාතය ස්ථිරව තිබෙන බව ප්‍රස්ථාරය දිහා බැලුවහම පැහැදිලිව පේනවා. ඒකට හේතුව දිගුකාලීනව රටවල් දෙක අතර ක්‍රය ශක්ති සාම්‍යය වෙනස් නොවීම. 

ඇමරිකාව මුදල් ප්‍රතිපත්ති සැලසුම් හදන්නේ රටේ උද්ධමනය 2% මට්ටමේ තියාගන්න. ඒ නිසා, ඇමරිකන් ඩොලරයක අගය සාමාන්‍ය වශයෙන් වසරකට 2%කින් පිරිහෙනවා. කැනඩාව විසින් කැනඩාවේ උද්ධමනයත් 2% මට්ටමේම තියා ගන්න නිසා කැනේඩියන් ඩොලරයත් සාමාන්‍ය වශයෙන් වසරකට 2%කින් පිරිහෙනවා. ඒ නිසා, දිගුකාලීනව ඔය මුදල් ඒකක දෙකේ වටිනාකම් අඩු වෙන්නේ එකම අනුපාතයකින්. එක මුදලක් අනෙක් මුදලට වඩා වැඩියෙන් බාල්දු වෙන්නේ නැහැ. දිගුකාලීනව විණිමය අනුපාතය වෙනස් වෙන්නෙත් නැහැ. 

නමුත් කෙටිකාලීනව විණිමය අනුපාතය විශාල ලෙස විචලනය වෙනවා. එම විචලනය වීම් වලට දෙරටෙන් එක් රටක්වත් මැදිහත්වීම් කරන්නේ නැහැ. එක රටක බඩු සාපේක්ෂව ලාබ වෙද්දී අනෙක් රට ඒ රටෙන් වැඩියෙන් ආනයන කරනවා. ඒ වෙනුවෙන් ගෙවන්න අනෙක් රටේ මුදල් වැඩියෙන් අවශ්‍ය වන නිසා එම මුදලට තිබෙන ඉල්ලුම ඉහළ ගිහින් විණිමය අනුපාතය වෙනස් වෙලා නැවතත් රටවල් දෙකේ බඩු මිල සමාන වෙනවා. ඇමරිකාව හා කැනඩාව අතර වෙළඳාම නිදහසේ සිදුවන නිසා මේ නිවැරදි වීම ඉතා ඉක්මණින් සිදු වෙනවා. 

හැබැයි ඔය විදිහේ නිවැරදි වීම් සිදු වෙද්දී විණිමය අනුපාතය විචලනය වෙනවා. මේ විචලනය වීම් ඇතුළේම තමයි දිගුකාලීනව ක්‍රය ශක්ති සාම්‍යය ඇති වී විණිමය අනුපාත නියම මට්ටමට එන යාන්ත්‍රනය තියෙන්නේ. විචලනය වීම් වලට බාධා කළොත් වෙන්නේ ඔය නිවැරදි වීම සිදුවෙන්න කල් යන එක. 

යම් හෙයකින් කැනේඩියන් ඩොලරයක මිල සාමාන්‍ය අගයට වඩා ගොඩක් ඉහළ ගියොත් එය කාලයත් එක්ක අඩුවෙයි කියලා පහසුවෙන් පුරෝකථනය කරන්න පුළුවන්. මිල ගොඩක් පහළ ගියොත් කාලයත් එක්ක එය වැඩි වෙන බව හිතාගන්නත් අමාරු නැහැ. නමුත් කෙටිකාලීන විචලනයන් කාටවත්ම නිවැරදිව පුරෝකථනය කරන්න බැහැ.

ඔය කතාව අදාළ විණිමය අනුපාතය නිදහසේ පාවෙන විට පමණයි. ඕකේ අනෙක් අන්තය වන ස්ථිර විණිමය අනුපාත ක්‍රමයේදී විණිමය අනුපාතය ගැන අවිනිශ්චිතතාවය ඉතාම අඩුයි. වෙනසක් වෙන්නේ අදාළ බලධාරීන් විසින් එය වෙනස් කළොත් පමණයි. මෙහිදී පුරෝකථනය කරන්න තියෙන්නේ බලධාරීන් විසින් කුමක් කරයිද කියන එක. විශාල පිරිසක් විසින් තනි තනිව ස්වාධීනව ගන්නා තීරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල පුරෝකථනය කරන්න බැරි වුනත්, බලධාරියෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ තීරණ පුරෝකථනය කරන්න උත්සාහයක් දරන්න පුළුවන්. ගොඩක් අය තීරණ ගන්නේ ඔවුන් ඊට කලින් තීරණ අරන් තිබෙන ආකාරයට. 

ලංකාවේ විණිමය අනුපාතය පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් කියා කිවුවත් එය කවදාවත්ම නිදහසේ පාවෙලා නැහැ. මහ බැංකුව හැමදාම අඩු වැඩි වශයෙන් මැදිහත් වුනා. දැනටත් මැදිහත් වෙනවා. ඒ නිසා, යම් තරමකින් වෙන්න යන දේ පුරෝකථනය කරන්න පුළුවන්. මෙහිදී පුරෝකථනය කරන්න වෙන්නේ මහ බැංකුවේ අදාළ බලධාරීන් කුමක් කරයිද කියන එක. මේක ලංකාව කරපු "වැරද්දක්" හෝ "හොර වැඩක්" නෙමෙයි. ලංකාව භාවිතා කළ විණිමය අනුපාත ක්‍රමය "පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමය". වැඩේ අවුල් වුනේ ඔය "පාලිත" කෑල්ලේ සීමාව ඉක්මවන්න යාමෙන්.

සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළ දැන් ලංකාව සඳහා යෝජනා වී තිබෙන්නේත් කලින් තිබුණු පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයම තමයි. නමුත් මේ "පාලිත" කොටස සීමාව ඉක්මවන එක වලක්වන්න වැඩපිළිවෙල තුළ සීමාවන් නියම කර තිබෙනවා. ඒ නිසා, සෑහෙන දුරකට විණිමය අනුපාතය තීරණය වෙන්නේ නිදහසේ. මහ බැංකුවට මැදිහත්වීම් කරන්න ඉඩ තිබුණත් එම මැදිහත්වීම් වල සීමාව කලින්ම තීරණය කරලයි තියෙන්නේ. සීමාව පනින්න බැහැ. ඉතුරු ටික වෙන්නේ වෙළඳපොළට අවශ්‍ය විදිහට. 

මේ වැඩේ හරියට වෙයි කියන උපකල්පනය යටතේ, මේක ලංකාවේ ගොඩක් අයට ටිකක් අළුත් අත්දැකීමක් වෙයි. මොකද විණිමය අනුපාතයේ කෙටිකාලීන විචලනය වීම් ලංකාවට පුරුදු දෙයක් නෙමෙයි. ඒ නිසාම, මේ වගේ කෙටිකාලීන විචලනයන් දිහා බලලා ඇතැම් අය රටේ ආර්ථිකය ගැන ලොකු නිගමන වලට එනවා.

මේ දවස් වල ඩොලරයක මිල පහත වැටෙද්දී සමහර අය සතුටු වෙනවා. හුරේ දානවා. තව ටික දවසකින් ඩොලරයක මිල නැවත ඉහළ ගියොත් වෙන කණ්ඩායමක් සතුටු වෙයි. නමුත් ඩොලරයක මිල කියා කියන්නේ සතුටු විය යුතු හෝ දුක් විය යුතු දෙයක් නෙමෙයි. විණිමය අනුපාතය ඕනෑවට වඩා අවප්‍රමාණය වීමෙන් වගේම අධිප්‍රමාණය වීමෙනුත් වෙන්නේ අයහපතක්. එය නියම තැන තිබිය යුතුයි. මේ නියම තැන කාටවත් හරියටම තීරණය කරන්න බැහැ. අඩු වශයෙන් මහ බැංකුවටවත් බැහැ. 

ඩොලරයක නියම මිල තීරණය කරන්නේ වෙළදපොළ විසින්. මහ බැංකුවට වුනත් ඒ නියම මිල කීයද කියලා දැන ගන්න වෙන්නේ වෙළඳපොළ දිහා බලලා. වෙළඳපොළ ඒ නියම මිල හොයා ගන්නේ නිදහසේ උච්ඡාවචනය වීම මගින්. කැනේඩියානු හා ඇමරිකානු ඩොලර් අතර විණිමය අනුපාතයේ කෙටිකාලීන විචලනයන් දිහා බලපුවහම මේ උච්ඡාවචනය වීම් පැහැදිලිව පේනවා. ඒ වගේ, උච්ඡාවචනය වීම් කලින් අනුමාන කරන්න බැහැ.

මෙයින් කියන්නේ විණිමය අනුපාතයේ කෙටිකාලීන උච්ඡාවචනය වීම් කාටවත්ම, කිසිම ආකාරයකින් පුරෝකථනය කරන්න බැහැ කියන එක නෙමෙයි. ඒ වැඩේ කරන අය ඉන්නවා. නමුත් මෙය සෑහෙන දුරකට සූදුවක් සහ යම් තරමකට කුසලතාවයක්. වැඩේට විශේෂ කුසලතාවයක් තිබෙන කෙනෙකුට ඔය සූදුවෙන් වාසි ගන්න පුළුවන්. නමුත් හැමෝටම බැහැ. වෙන විදිහකට කිවුවොත් සාමාන්‍ය පුද්ගලයෙකුට ඔය වාසිය ගන්න අමාරුයි. ඒකට හේතුව, විණිමය ගනුදෙනුවකින් වාසියක් ලබා ගත හැකි අවස්ථාවක් කවුරු හෝ විසින් දැකලා එම වාසිය ගත්ත ගමන්ම ඒ හේතුව නිසාම වාසි ගැනීමේ අවස්ථාවද නැති වී යාම. 

කොටස් වෙළඳපොළ කෙටිකාලීන ආයෝජන වලින් වාසි ගැනීමත් ඔය වගේම දෙයක්. සමහර අයට වාසි ගත හැකි වුවත් පොදුවේ හැමෝටම මේ වැඩේ කරන්න බැහැ. මොකද හැම විටම වෙළඳපොළ මිල සකස් වෙන්නේ කාටවත් විශේෂ වාසියක් ගන්න බැරි විදිහට. වාසියක් ගන්න ඉඩක් තියෙන්නේ මිල එම මිලෙන් පොඩ්ඩක් එහා මෙහා වුනොත් පමණයි. නමුත් කවුරු හෝ කෙනෙක් ඒ වෙනසේ වාසිය ගත්ත ගමන් නැවත මිල නියම තැනට එනවා. 

විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම කෙරෙහි බලපාන්නේ ආනයන අපනයන ඉල්ලුම පමණක් නෙමෙයි. ප්‍රාග්ධන වෙළඳපොළ තුළ සිදුවන දේවලුත් ඒ කෙරෙහි බලපානවා. ඇතැම් ආනයන සීමා තවදුරටත් පවතින තත්ත්වයක් යටතේ වුවත් මේ වෙලාවේ වාණිජ බැංකු ඇතුළේ තිබෙන්නේ ඩොලර් අතිරික්තයක්. කාලයක් තිස්සේ තිබුණු ලොකු "වල" (ශුද්ධ ඩොලර් හිඟය) දැන් වැහිලා. නමුත් මහ බැංකුවේ වල තවම වැහිලා නැති නිසා සමස්තයක් ලෙස තවමත් බැංකු පද්ධතියේ ඩොලර් හිඟයක් තිබෙනවා. ඒ වලත් ක්‍රමයෙන් වැහෙමින් තිබෙනවා. 

අපනයන ආදායම් වලට අමතරව බැංකු පද්ධතිය ඇතුළට එන ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක ඉපැයීම් වගේ දේවල් ගැන අපි කතා කරලා තිබෙනවා. මේ සියලුම විදේශ විණිමය ලැබීම් ගත්තහම මේ වෙද්දී ආනයන වියදම් වලට වඩා වැඩියි. ඊට අමතරව මේ වෙද්දී නැවතත් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ආයෝජන විදිහට එහෙමත් ටික ටික ඩොලර් එන්න පටන් අරගෙන තිබෙනවා. මෙයින් පෙනෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණ අවදානමක් ලොකුවට නැති බව වගේම ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාමේ අවදානමක්ද නැති බවයි. එවැනි අවදානම් පෙනෙන්න ඇත්නම් කවුරුවත් ඩොලර් රුපියල් කරන්නේ නැහැ. 

විදේශ විණිමය වෙළඳපොළ ගනුදෙනු සියල්ල සිදු වෙන්නේ එතැන් ගනුදෙනු ලෙස නෙමෙයි. බොහෝ දෙනෙකු විසින් අවදානම අඩු කරගැනීම සඳහා ඉදිරි සුරැකුම් ගනුදෙනු වල නිරත වෙනවා. ඒ කියන්නේ ඉදිරි දිනකදී අවශ්‍ය වන ඩොලර් කලින්ම මිල දී ගන්නවා. ඉදිරි දිනක ලැබෙන්න තිබෙන ඩොලර් කලින්ම විකුණනවා. මේ වගේ ගනුදෙනු සිදු වෙන්නේ අදාළ දිනය වන විට පවතිනු ඇතැයි දෙපාර්ශ්වය විසින් විශ්වාස කරන විණිමය අනුපාතය මතයි. ඉදිරි සුරැකුම් විණිමය අනුපාතය අනාගතයේ අදාළ දිනයේ එතැන් විණිමය අනුපාතය පිලිබඳව අද කළ හැකි හොඳම පුරෝකථනය සේ සැලකෙනවා.

පහත තිබෙන්නේ මේ වන විට (මැයි 19) වෙළඳපොළේ ඉදිරි සුරැකුම් ගනුදෙනු සිදුවන විණිමය අනුපාත.

මාසයකට පසු විණිමය අනුපාතය - රුපියල් 312.67

මාස තුනකට පසු විණිමය අනුපාතය - රුපියල් 321.31

මෙම පුරෝකථන නිවැරදි බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. මෙම ගණන් වලින් පෙන්වන්නේ වෙළඳපොළ ඩොලර් ගනුදෙනු කරන්නන් අදාළ දිනයේ සිතූ ආකාරයයි. පසුගියේ සතියේ (මැයි 12) මෙම ගනුදෙනු සිදු වුයේ මීට වඩා තරමක් වැඩි මිලකටයි. 

මාසයකට පසු විණිමය අනුපාතය - රුපියල් 320.88

මාස තුනකට පසු විණිමය අනුපාතය - රුපියල් 327.48

හරියටම නිවැරදි නැති වුවත්, ඉදිරි සුරැකුම් ගනුදෙනු වල නියැලෙන්නන් සාමාන්‍ය පුද්ගලයින්ට වඩා විණිමය අනුපාතයේ හැසිරීම ගැන වැඩි අවබෝධයක් ඇති සහ විණිමය ගනුදෙනු පිළිබඳ පළපුරුද්දක් ඇති අයයි.

Thursday, May 18, 2023

ඩොලරය 300 සීමාවෙන් පහළට?


මහ බැංකු දත්ත අනුව අද (මැයි 18) ඩොලරයක සාමාන්‍ය ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා (රුපියල් 299.2144). ලංකාවේ විණිමය වෙළඳපොළ කුඩා වෙළඳපොළක්. සුළු හිඟයක් නිසා මිල සැලකිය යුතු ලෙස ඉහළ යනවා වගේම සුළු අතිරික්තයක් නිසා මිල සැලකිය යුතු ලෙස පහළ යන්නත් පුළුවන්. 

මිල පහළ යාමෙන් පෙනෙන්නේ වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගැනීමට වඩා විකිණීමට උනන්දු වන බවයි. මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට අනවශ්‍ය අතිරික්ත ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගන්නවා විය යුතුයි.

බැංකු පද්ධතිය ඇතුළේ කලක සිටම තිබුණේ බැංකුවක් බංකොලොත් කළ හැකි තරමේ ශුද්ධ විදේශ විණිමය හිඟයක්. වත්මන් මහ බැංකු අධිපතිවරයා වැඩ භාරගත් පසුගිය (2022) අප්‍රේල් මාසයේ සිට මෙම (2023) ජනවාරි මාසය තෙක් ක්‍රමයෙන් අඩු වූ මෙම ශුද්ධ විදේශ විණිමය හිඟය පසුගිය පෙබරවාරි මාසයේදී ශුද්ධ විදේශ විණිමය අතිරික්තයක් බවට පත් වුනා. ඒ නිසා, මේ වෙද්දී වාණිජ බැංකු වල විදේශ විණිමය අවදානම මුළුමනින්ම නොවේනම් බොහෝ දුරට පහ වෙලා. 

ඉහත ගණනයේදී ස්වෛරිත්ව බැඳුම්කර වල සහ සංවර්ධන බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන ඩොලර් පිළිබඳව කෙසේ සලකා ඇත්දැයි මා හරියටම දන්නේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය බැංකු වලද ඩොලර් වත්කම් අහිමි වීමක් සිදු විය හැකියි. එම පාඩුව දරා ගත හැකි එකක් වනු ඇති බව මගේ විශ්වාසයයි.

තමන්ට අනාගතයේදී ඩොලර් අවශ්‍ය වෙන්නේ නැත්නම්, වෙළඳපොළේ ඩොලර් විකුණන්නත් බැරිනම්, වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගන්න පෙළඹෙන්නේ ආයෝජනයක් ලෙස වාසියක් ඇත්නම් පමණයි. නමුත් මේ වෙලාවේ එවැනි වාසියක් නැහැ. රුපියල් ඩොලර් නොකර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක ඊට වඩා වාසියි. ඒ නිසා, වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගෙන සංචිත පවත්වා ගන්න උනන්දු වන්නේ නැහැ. 

මහ බැංකුවට අඩු මිලකට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත හැකිනම් වැඩි මිලකට ඩොලර් මිල දී ගත යුතුයි කියා යෝජනා කරන්න බැහැ. පවතින තත්ත්වය තුළ ආනයන සීමාවන් ඉවත් කිරීම සුදුසු වුවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු ඒ සඳහා කල් ගන්නවා වෙන්න පුළුවන්. එය නරක ප්‍රවේශයක් නෙමෙයි. මොන අයුරකින් හෝ වැඩේ ගැස්සුනොත් සිදු වන දේ ගැනත් සිතිය යුතු නිසා හදිස්සි නොවී ඔය මාස කිහිපයත් බලන එක නරක නැහැ. 

Friday, January 13, 2023

ශ්‍රමික ප්‍රේෂණ වල ලොකු වැඩිවීමක්!


දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ වල සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි අතර එම ප්‍රමාණය ඩොලර් මිලියන 475.6ක් ලෙස සටහන් වෙනවා. මෙය පෙර මාසයට සාපේක්ෂව 23.7%ක වැඩිවීමක් වන අතර, පෙර වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 46.2%ක ඉහළ යාමක්. මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 104ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත්ව ඇති අතර, ඊට සමාන්තරව නිල සංචිත ඉහළ ගොස් තිබෙනවා.