Wednesday, January 27, 2016

ලංකාවේ විදේශ ණය මල්ල

පසුගිය ජූලි මස අවසානය වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන තිබුණු මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7990.8කි. මෙයින් රුපියල් බිලියන 4851.0ක් දේශීය ණයයි. ඉතිරි රුපියල් බිලියන 3139.9 විදේශීය ණයයි.

රට ඇතුළෙන් එකතු කර ගත්තත්, පිටින් එකතු කරගත්තත් ණය ණයමය. එහෙත්, මේ දෙකේ වෙනස්කම්ද තිබේ. රජයට අළුතින් රුපියල් මුද්‍රණය කර දේශීය ණය පියවිය හැකිය. එහෙත්, විදේශීය ණය ගෙවිය යුත්තේ ඩොලර් වලිනි. ශ්‍රී ලංකා රජයට ඩොලර් මුද්‍රණය කිරීමට නුපුළුවන. ඩොලර් උපයාගත යුතුය.

රුපියල අවප්‍රමාණය වන විට ඩොලරයක් මිලදී ගැනීමට යන රුපියල් ගණන වැඩි වේ. එවිට, අළුතින් ණය නොගත්තත් තියෙන ණය නිකම්ම වැඩි වේ. උදාහරණයක් ලෙස ඩොලරයක මිල 10%කින් වැඩි වුවහොත්, අළුතින් විදේශ ණය නොගත්තත්,  දැනට ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 314.0කින් වැඩි වේ. ඒ නිසා බැලූ බැල්මටම පෙනෙන්නේ දේශීය ණය අඩුවෙන් හානිකර බවයි.

රජය දේශීය ණය ලබාගන්නේ මහ බැංකුවෙන්, අනෙකුත් බැංකු වලින්, පෞද්ගලික සමාගම් වලින් සහ පුද්ගලයින්ගෙන්ය. මහ බැංකුවෙන් සහ අනෙකුත් බැංකු වලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,864.3කි.

රජයට අමතරව මේ කණ්ඩායම්ද විදේශ වලට ණය වී ඇත. ඒ නිසා රජයේ දේශීය ණයද වැඩි කොටසක් අවසාන වශයෙන් වක්‍ර ලෙස විදේශීය ණයයි. මේ ආකාරයෙන් අපේ ආර්ථිකය රෝලට ණය ආර්ථිකයකි.

පහතින් ඇත්තේ පසුගිය 2015 ජූනි අවසානයේදී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයයි.

රජය - ඩොලර් මිලියන 24,330
මහ බැංකුව - ඩොලර් මිලියන 2,353
අනෙකුත් බැංකු- ඩොලර් මිලියන 8,538
අන්තර් සමාගම් ණය - ඩොලර් මිලියන 2,645
අනෙකුත් අංශ - ඩොලර් මිලියන 5,667 (තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ආයතන විසින් ලබාගෙන ඇති ණය මෙහි ඇතුළත්ය.)
එකතුව- ඩොලර් මිලියන 43,535

මහ බැංකුව සහ අනෙකුත් බැංකු විසින් ලබාගෙන ඇති ඩොලර් ණය ප්‍රමාණය රුපියල් වලට හැරවූ විට බැංකු අංශයෙන් රජය විසින් ලබාගෙන ඇති ණය ප්‍රමාණයට කිට්ටුය. ඉතිරි කොටසද එසේමය.

රජය විසින් කෙළින්ම ලබා ගන්නා ණය වලට අමතරව මහ බැංකුව, රාජ්‍ය බැංකු, තෙල් සංස්ථාව ආදිය හරහාද වක්‍රව විදේශ ණය රැගෙන ඇති ආකාරය මෙයින් බලා ගත හැකිය.

අවසාන වශයෙන් රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 43,535කි. රටේ ජනගහණයෙන් මේ ගණන බෙදූ විට එක් අයෙකුට ඩොලර් 2,096ක් වැටේ.



මේ ණය අළුතින් ගත් ණය නොවේ. ආණ්ඩුව මාරු වීමට පෙර, 2014 අවසානයේදීත්, එක් අයෙකුට ඩොලර් 2,070ක් වෙන්නට ලංකාව පිටරටට ණය වී සිටියේය. ඇතැම් අය ලොකුවට කතා කළ අපේ විදේශ සංචිත මේ ණය වලින් සීයට විස්සක්වත් ගෙවන්නට ප්‍රමාණවත් වුනේ නැත.

පසුගිය කාලයේ විදේශ ණය (ඩොලර් වලින් ගණන් බැලූ විට) විශාල ලෙස වැඩි වුනේ නැත. අළුත් රජය පසුගිය කාලයේ වැඩිපුර ගෙන ඇත්තේ දේශීය ණයයි. එහෙත්, පසුගිය වසර තුළ රුපියල 10%කින් පමණ පිරිහුණේය. ඒ නිසා රුපියල් වලින් ගණන් බැලූ විට අළුත් ණය නැතත්, විදේශ ණය 10%කින් පමණ වැඩි වී තිබිය යුතුය.


(Image: www.sundaytimes.lk)

Monday, January 25, 2016

ලංකාතිලකගේ වික්‍රම

පසුගිය 2015 අවුරුද්දේ ලංකාතිලකගේ සම්පූර්ණ ආදායම රුපියල් 71,157කි. ඒ කියන්නේ මාසයකට රුපියල් 5,930කි. මේ ආදායමට ලංකාතිලක වැඩකර උපයන මුදල වගේම, ඔහුගේ ඉඩකඩම් වල ආදායමත්, ලංකාතිලක ගැන අනුකම්පා කර ඇතැම් අය නොමිලේ දෙන සුළු මුදලක්ද ඇතුළත්ය.

ලංකාතිලකගේ ආදායම හැම අවුරුද්දකම කීයකින් හෝ වැඩි වේ. එහෙත්, ඔහුගේ වියදම ඊට වඩා වේගයෙන් වැඩිවේ. ලංකාතිලක ජීවත්වන රටේ ඇමති වරයෙක්ගේ පවුලටම ජීවත් වීමට මසකට රුපියල් 2,500ක මුදලක් ප්‍රමාණවත් වුවත් ලංකාතිලකට එමෙන් දෙගුණයකටත් වැඩි රුපියල් 5,930ක මුදලද ප්‍රමාණවත් නැත. ඒ නිසා ලංකාතිලක හැම අවුරුද්දකම කීයක් හෝ ණය වේ. ඒ ණය පොලියත් සමඟ ගෙවන්නට ලංකාතිලක තවත් ණය ගනී. වැඩිපුර මහන්සි වී වැඩ කර ආදායම වැඩි කර ගන්නවාට හෝ ලැබෙන ආදායමට හරියන විදිහට ජීවත් වනවාට වඩා මේ ක්‍රමය හොඳය. ලංකාතිලකගේ පවුලේ උදවිය වැඩිපුර මහන්සි වෙන්නට කැමති නැත. අඩුවෙන් වියදම් කරන්නත් කැමති නැත.

ලංකාතිලකගේ ණය දිනෙන් දින ඉහළ යයි. ඒ ගැන ලංකාතිලකගේ පවුලේ කාටවත් ගාණක්වත් නැත. පසුගිය 2015 වසර මුලදී ලංකාතිලක ණය වී සිටි මුදල රුපියල් 351,928කි. මේ මුදල ඔහුගේ මාසික ආදායම මෙන් 59 ගුණයකටත් වඩා වැඩි වුවත් ලංකාතිලක එය ප්‍රශ්නයක් ලෙස සිතුවේ නැත. ලංකාතිලක කියන්නේ එවැනි එළ කොල්ලෙකි.

පොඩි අවුලකට තියෙන්නේ ගත් ණයට පොලිය සමඟ ණය වාරික නොවරදවා ගෙවිය යුතු වීමයි. එය පැහැර හැරියොත් අළුතින් ණය ගැනීම අමාරු වේ. ලංකාතිලක මේ තරම් ණය වී හිටියත් ඔහුට තවතවත් ණය ගැනීමේ හැකියාව ඇත්තේ ඔහු කවදාවත් ණය ගෙවීම පැහැර හැර නැති නිසාය. එහෙත්, අළුතින් ගන්නා ණය වලට ගෙවිය යුතු පොලියනම් එන්න එන්නම වැඩිවේ.

පසුගිය 2015 වසර තුළදී ලංකාතිලක විසින් පොලිය ලෙස රුපියල් 25,055ක්ද ණය වාරික ලෙස තවත් රුපියල් 31,238ක්ද ගෙවා තිබේ. ඒ කියන්නේ මාසයකට රුපියල් 1,705ක පොලී මුදල් සහ 3,370ක ණය වාරික මුදලකි. ණයවාරික සහ පොලිය ගෙවීමෙන් පසු ලංකාතිලක අතේ ඉතිරි වුනේ ඔහුගේ ආදායමින් 14.4%ක් හෙවත් මසකට රුපියල් 855ක් පමණි. මෙයින් මාසයේ සියළු වියහියදම් පියවාගන්නට බැරි බවත්, එමෙන් තුන්ගුණයක් පමණ වූ (ලංකාතිලකගේ ස්ථිර සේවකයින් වන) ලංකාතිලක ජූනියර්ලාගේ පඩිනඩි ඇතුළු අනිත් හැම කෙහෙම්මලම කරන්නට වෙන්නේ අළුතින් ණය ගැනීමෙන් බවත් තේරුම් ගන්නට ඉකොනොමික්ස් දැනගත යුතු නැත.

ලංකාතිලකගේ අයියණ්ඩිලා, අපුච්චලා සහ නැන්දලා මෙන්ම ලංකාතිලකද ණය ගන්නට කිසි බයක් හෝ ලැජ්ජාවක් නැත. මේ වන විට ලංකාතිලක කොපමණ ණය වී ඇත්දැයි ඔහුවත් හරියටම නොදනී. පසුගිය ජූලි මාසය අවසන් වන විට ඔහුගේ ණය රුපියල් 384,709 දක්වා ඉහළ ගොස් තිබුණේය.

ලංකාතිලක ජීවත්වන රටේ ජනගහනය මිලියන 20.771ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ලංකාතිලක වැනි පුද්ගලයින් මිලියන 20.771කගේ පෞද්ගලික අයවැය විස්තර එකතු කළ විට ලංකාතිලක ජීවත්වන රටේ ආණ්ඩුව දැන් සිටින තත්ත්වය තේරුම් ගැනීමට පුළුවන.

***
"නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය, 2014 වසරේ දෙසැම්බර් මස අවසානයට පැවති රුපියල් බිලියන 7,309.9 සිට 2015 වසරේ ජූලි මස අවසානයට රුපියල් බිලියන 7,990.8 දක්වා රුපියල් බිලියන 599.9කින් වැඩි විය."

(උපුටාගැනීම: පිටුව 84, මෑතකාලීන ආර්ථික ප්‍රවණතා, ශ්‍රී ලංකා මහ බැංකුව)


(Image: www.sundaytimes.lk)

Saturday, January 23, 2016

නෝනාගේ පස්ස පැත්තේ තිබුණු පොල්ල කුමක්ද?

එළඹෙන මාර්තු 17 දිනට ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයගෙන දශක දෙකකි. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් අවසන් තරඟයෙන් ජයගෙන ලෝක කුසලානය ජයගත් මොහොත ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු කලකට පසු සතුටු වූ මොහොතකි. මේ ජයග්‍රහණයේ පළමු සුබ ලකුණ දැකගන්නට ලැබුණේ තරඟයේ ආරම්භයේදීමය. අර්ධ අවසාන හෝ අර්ධ අවසාන පූර්ව වට වලදී නොලැබුණු කාසියේ වාසිය අර්ජුන රණතුංගට මේ තරඟයේදී ලැබුණේය.

අර්ජුන රණතුංග ඔහුගේ හැකියාව උපයෝගී කරගෙන කාසි වාසි ලබාගන්නා අවස්ථා ඕනෑ තරම් තිබුණත් මේ අවස්ථාවේදීනම් කාසියේ වාසිය ලැබුණේ ඔහුගේ හැකියාව නිසා නොවේ. වාසනාවටය. පෙර පිනටය. දෙවියන්ගේ කැමැත්තටය. එහෙමත් නැත්නම්, අහඹු ලෙස සම්භාවිතාව අනුවය. ඔය කොයි වචනය යෙදුවත් එයින් කියවෙන්නේ අප නොදන්නා, අපට පාලනය කළ නොහැකි හේතුවකින් එය සිදු වූ බවයි.

උඩ දැමූ කාසියක් බිම වැටුණු විට උඩ පැත්තේ තිබෙනු ඇත්තේ අගයද සිරසද කියා කිසිවෙකුට නිශ්චිතව කියන්නට නොහැකිය. එහෙත්, විශාල වාර ගණනක් එක දිගටම මේ පරීක්ෂණය කළහොත් අගය හා සිරස වැටෙන්නේ ආසන්නව සමාන වාර ගණනක් බව ඕනෑම කෙනෙකුට පරික්ෂා කර තහවුරු කර ගත හැකි දෙයකි.

මේ අගය හා සිරස යන වචන දෙක මා මුලින්ම ඉගෙන ගත්තේ නවවන ශ්‍රේණියේදී නව ගණිතය විෂයයට සම්භාවිතාව ඉගෙන ගනිද්දීය. උඩ දමන්නට ගත් සතයකටනම් ඔය කාලයේදීවත් අගයක් නොතිබුණත් සත විසිපහකටනම් අදට සාපේක්ෂව යම්කිසි අගයක් තිබුණේය. ඒ නැතත්, අඩු වශයෙන් සතයේ වගේම සත විසිපහේත් එහි නාමික අගය ටංකනය කර තිබුණේය. අගය කෙසේ වෙතත් රූප පෙට්ටි වලට තුන් හුලස් සිරස් රිංගන්නට පෙර යුගයක් වූ ඔය කියන කාලයේදී මේ කාසි වල තුන්හුලස් තබා වෙනත් කවරාකාරයේ හෝ කැපී පෙනුණු සිරසක්නම් පෙනෙන්නට නොතිබුණේය.

එසේ කැපී පෙනුණු සිරසක් නොතිබුණත් හොඳින් බැලු විට මේ කාසි බොහොමයක සිරස් තුනක්ම තිබුණේය. ඒ, රාජ්‍ය ලාංඡනය ඇතුලෙ සිටි ඉරමාමාගේ, හඳමාමාගේ සහ සිංහ මී මුත්තාගේ සිරස් තුනයි. ඉරමාමාත් හඳමාමාත් දෙදෙනාම එකවර බැස ගොස් සිටියත් සිංහයාගේ කකුල් දෙකට යටින් දෙන්නා කෙසේ හෝ ඔළුව උස්සාගෙන සිටියේය.

අළුත් කාසි වල මෙසේ සිරස් තුනක් තිබුණත්, තරමක් පරණ කාසිවල තිබුණේ එක් හිසක් පමණි. ඒ සිංහයාගේ හිසයි. සිරස් අඩු වුණත් ඒ අඩුව මකන්නට ඔටුන්නක්නම් තිබුණේය.

පාසැල් පෙළ පොතේ ඔය විදිහට අගය හා සිරස කියා කියා තිබුණත් අර්ජුනලාගේ සෙල්ලම අපි කරන විට අපි ඕකට කිවුවේ නෝනාපොල්ල දැමීම කියාය. ජනරජ ලාංඡනය නැත්නම් රාජ්‍ය මුද්‍රාව සටහන් වී ඇති පැත්ත නෝනාය. අගය සටහන් වී ඇති පැත්ත පොල්ලයි. ඔය නෝනා කවුද කියා හොයන්නට හෝ නෝනාගේ පස්ස පැත්තේ ඇති පොල්ල හොයන්නට ඒ දවස්වල අපට එතරම් උවමනාවක් තිබුණේ නැත.

ඔය කියන කාලය වන විට නෝනා කෙනෙක් හොඳින් පෙනෙන්නට සිටි අළුත්ම කාසිය වූයේ අතරින් පතර දකින්නට ලැබුණු, 1957 වසරේදී නිකුත් කළ සත දෙකේ කාසියකි. මේ කාසියේ 1953දී ඔටුණු පළන් දෙවන එලිසබෙත් රැජිනගේ සිරස ටංකනය කර තිබුණේය. මේ නෝනාගේ සිරස දකින්නට හැකි ලංකාවේ භාවිතා වූ එකම කාසිය සතදෙකේ කාසියයි. කෙසේවුවද, මේ කාසියේ නෝනා හිටියත් පොල්ලක්නම් පෙනෙන්නට නොතිබුණේය. නෝනාගේ සිරස හොඳින් පෙනෙන්නට තිබුණු බැවින් සිරස හා අගය යන භාවිතයනම් මේ කාසියට අදාළව නිවැරදිය.

දෙවන එලිසබෙත් රැජිනගේ මෞලි මංගල්‍යයට පෙර අඩසියවසක පමණ කාලය තුළ නිකුත් කෙරුණු කාසි වල අදාළ කාලයේ බ්‍රිතාන්‍ය කිරීටය හෙබවූ හත්වන එඩ්වඩ්, පස්වන ජෝජ් සහ හයවන ජෝජ් රජවරුන්ගේ මුහුණු ඇලවී තිබුණු බැවින් ඒ කාලයටද සිරස හා අගය යෙදුම ගැලපුනත් මේ කාසි වල සිටි නෝනෙක්නම් නැත.

කාසියේ සිටි නෝනාව හොයා ගැනීමට මුලින්ම රුපියල් සත භාවිතය ඇරඹී කාසි නිකුත් කෙරෙනු 1870 කාලයට යන්නට සිදුවේ. එම වසරේ සිට 1901 දක්වා නිකුත් කෙරුණු කාසිවල පිටුපස පැත්තේ අපට මේ නෝනා හමුවේ. ඇය අදාළ කාලයේ බ්‍රිතාන්‍ය කිරීටය හෙබවූ වික්ටෝරියා රැජිනයි.

දැන් නෝනා සිටී. එතකොට පොල්ල? පොල්ල හොයාගන්නට මේ කාසි වල සිටින නෝනා පැත්ත අනිත් පසට හරවා කාසි වල අගය සටහන් වී ඇති පැත්ත බැලිය යුතුය. එවිට, පොල්ල කෙසේ වෙතත් දාර පොල්ගසක්නම් හමුවේ. මේ පොල්ගස නෝනා වෙනුවට වෙනත් මහත්තුරුන් කාසිවල පිටුපසට පැමිණීමෙන් පසුවද, අඩු වශයෙන් 1942 පමණ වන තුරු ලංකාවේ භාවිතා වූ කාසි වල දකින්නට ලැබුණු සංකේතයකි.

කෙසේවුවද, නෝනා සහ පොල්ල කෙසේවෙතත් නෝනා සහ පොල්ගහ දෙකම සහිත කාසි නිකුත් කෙරුණේ 1870 සිට 1901 දක්වා කාලයේදීය. එහෙත්, මේ කාසි තවත් දශක කිහිපයක්ම භාවිතයේ තිබෙන්නට ඇත.

බොහෝ විට මුල් කාලයේදී කාසියක් උඩ දමා අසන්නට ඇති ප්‍රශ්නය "නෝනද පොල්ගහද?" යන්නයි. පසුව මෙය හදිසියට "නෝනද පොල්ලහද?" වී, එයින් පසුව "නෝනද පොල්ලාද?" වී, එයින්ද පසුව "නෝනද පොල්ලද?" වන්නට ඇතැයි සිතිය හැකිය.





(Image: http://coins.lakdiva.org/british_ceylon)

Wednesday, January 20, 2016

ඇමරිකන් ඩොලරයද බාල්දු වේ!

පසුගිය වසර 153ක කාලය තුළ ලංකාවේ ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල වැඩි වී ඇති ආකාරය අපි පසුගිය ලිපියකින් විමසා බැලුවෙමු. එහිදී, අපට පෙනී ගියේ බොහොමයක් ආහාර ද්‍රව්‍ය වල මිල මේ කාලය තුළ දහස් ගුණයකටත් වැඩියෙන් ඉහළ ගොස් ඇති බවයි.

ආහාර ද්‍රව්‍ය වල මිල දහස් ගුණයකටත් වැඩියෙන් වැඩිවීම යනු රුපියලේ අගය දහස් ගුණයකටත් වැඩියෙන් අඩුවීමයි. වෙනත් විදිහකින් කිවහොත් අද රුපියල් පණහක් ඒ කාලයේ සතපහක් තරම්වත් නොවටිනා බවයි. රුපියල හොඳටම බාල්දු වී ඇති බවයි.

රුපියල මෙසේ දිගින් දිගටම බාල්දු වෙන්නේ උද්ධමනය නිසාය. උද්ධමනයට හේතුව රටේ නිෂ්පාදනය වැඩිවන ප්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් සැපයුම වැඩි වීමයි. මෙසේ දිගින් දිගටම ඕනෑවට වැඩියෙන් මුදල් මුද්‍රණය කර සංසරණයට එකතු කරන්නේ රජයේ අයවැය හිඟය පියවා ගැනීමටය. රජයේ අයවැය හිඟය පියවා ගැනීමට මුදල් අළුතින් මුද්‍රණය කිරීමට සිදුවන්නේ රජයේ වියදම ආදායම ඉක්මවද්දී  මේ අඩුව පිරවීමට ණය ගැනීමට මහ බැංකුව වෙත හැරෙනු හැර වෙනත් මාර්ගයක් නැති වූ විටය.

රුපියල මෙසේ එන්න එන්නම බාල්දු වෙද්දී ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවිය යුතු මිල හෙවත් විණිමය අනුපාතිකය එන්න එන්නම වැඩිවේ. ඒ කියන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වන බවයි. එහෙමනම් රුපියල වගේ ඩොලරය බාල්දු වෙන්නේ නැද්ද? ඇමරිකාවේ ඔය කියන උද්ධමන, අයවැය හිඟ නැද්ද?

ඇත්තටම රුපියල වගේම ඩොලරයද බාල්දු වේ. ඇමරිකාව වගේම ලෝකයේ තවත් බොහොමයක් රටවල අයවැය හිඟයන් පවතී. ඒ වගේම උද්ධමනයද පවතී. ඒ නිසා රුපියල වගේම අනෙකුත් මුදල් ඒකකත් බාල්දු වේ. මෙය පැහැදිලි වන්නේ කාලයත් සමඟ ඩොලරයකින් මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණයට සිදුවූ දෙය, එහෙමත් නැත්නම් ඇමරිකාවේ බඩුමිල ඉහළ ගිය ආකාරය විමසා බැලූ විටය.

ලංකාවේ ලක්මිණිපහණ පුවත්පත ඇරඹුණු කාලයට කිට්ටුව 1860දී ඇමරිකාවේ බඩුමිල මෙහි තිබේ. පසුගිය නොවැම්බරයේදී ඇමරිකාවේ බඩුමිල මෙහි තිබේ. පහත වගුවේ ඇත්තේ මේ වසර 155 තුළ ඇමරිකාවේ ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල සංසන්දනයකි.



මේ අනුව පෙනී යන්නේ අදාළ කාලය තුළ ඇමරිකාවේ බඩුමිල සාමාන්‍ය වශයෙන් 26 ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි. මේ බඩු මල්ලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය 26 ගුණයකින් බාල්දු වී ඇති බවයි. අද ඩොලරයක් එදා නිකල් එකක් තරම්වත් නොවටිනා බවයි.

ඇමරිකානු ඩොලරයත් මෙසේ බාල්දු වී ඇත්නම් මේ නිකලයක් නොවටින ඩොලරය හමුවේ අපේ රුපියලට ඔළුව නමන්නට වී ඇත්තේ ඇයි?

ඩොලරය බාල්දු වී ඇතත් රුපියල තරමට බාල්දු වී නැත. රුපියලේ වටිනාකම 1066 ගුණයකින් අඩුවන විට ඩොලරයේ වටිනාකම අඩුවී ඇත්තේ 26 ගුණයකින් පමණි. ඒ කියන්නේ රුපියල ඩොලරයට වඩා 40 ගුණයකින් පමණ (1066/26) වැඩිපුර බාල්දු වී තිබේ.

රුපියල ඩොලරයට වඩා 40 ගුණයකින් බාල්දුවන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම 40 ගුණයකින් අඩුවේ. එවිට විණිමය අනුපාතිකය 40 ගුණයකින් වැඩිවේ.

රුපියල බාල්දු වුණත්, එසේ බාල්දු වෙන්නේ ඩොලරය බාල්දු වන තරමටමනම් විණිමය අනුපාතිකය වෙනස් නොවේ. ශ්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරයට, බ්‍රිතාන්‍ය පවුමට හා ජපන් යෙන් එකට සාපේක්ෂව බොහෝ සේ බාල්දු වී තිබුණත් ඉන්දියානු, පකිස්තානු හා බංග්ලාදේශ මුදල් ඒකක වලට සාපේක්ෂව ඒ තරම්ම බාල්දුවී නැත්තේ මේ කාලය තුළ ඒ රටවල මුදල් ඒකකද ලංකාවේ රුපියල තරමටම නැතත් ඒ කිට්ටුවට බාල්දු වී ඇති නිසාය.

Sunday, January 17, 2016

මැල්තුසියානු උගුලෙන් ගැලවීම


මේ වන විට ලෝක ජනගහණය බිලියන 7.3 ඉක්මවා තිබේ. එහෙත්, මෙයට වසර 217කට පෙර, සිය නිල් පැහැති ලන්දේසි හමුදා නිල ඇඳුම ගලවා ඉංග්‍රීසි හමුදාවේ රතු නිල ඇඳුම ඇඳගෙන ලංකාවේ අවසන් ඉංග්‍රීසි හමුදා ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළ පියරේ ෆෙදෙරික් ද මියුරන් වෙතින් ලංකාවේ පළමු සිවිල් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ ෆෙඩ්රික් නෝර්ත් වෙත බලය මාරු වන කාලය වන විටත් සමස්ත ලෝකයේ හෝමෝ සේපියන්ස් ජනගහණය පැවතියේ බිලියනයකට වඩා අඩුවෙනි. එහෙත්, එවකට පැවති ජනගහණය ඒ වන විට ඉතිහාසයේ වාර්තා වූ විශාලම හෝමෝ සේපියන්ස් ජනගහණයයි.

ජනගහණ වර්ධනය ගැනත්, මානව සංහතියේ අනාගතය ගැනත් විවිධ අදහස් පළවුනු මේ කාලයේදී "ජනගහණ මූලධර්මය පිලිබඳ රචනාවක්" නම් වූ, ජේ. ජොන්සන් නම් වූ පුද්ගලයෙකු විසින් රචිත පොතක් ලන්ඩනයේදී ප්‍රකාශයට පත් විය. ආරූඪ නම් වලින් පොත් පළකිරීම අදාළ කාලයේ සාමාන්‍ය ප්‍රවණතාවක් විය. වැඩි කල් නොයා දැනගන්නට ලැබුණේ මේ ජොන්සන් සැබෑවටම තෝමස් රොබර්ට් මැල්තුස් නම් වූ ඇන්ග්ලිකන් දේවගැතිවරයා බවයි.

මේ කාලය වන විට ජේම්ස් වොට් විසින් වාෂ්ප එන්ජිම නිර්මාණය කරනු ලැබ එය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමද සුළුවෙන් වුවත් සිදුවෙමින් තිබුණේය. වාෂ්ප එන්ජිමේ ජවයෙන් විද්‍යා පුනරුදයට ශක්තිය ලැබෙද්දී මානව සංහතියේ අනාගතය ගැන බොහෝ දෙනා සුබ සිහින දකින්නට පටන් ගෙන තිබුණේය. එහෙත්, මැල්තුස් දුටුවේ මෙවැනි උතෝපියානු සිහිනයක් නොවේ. මිනිසා සදාකාලිකවම සාගින්නෙන්, ලෙඩරෝගවලින් පීඩා විඳිමින් ගතකරන දුක්ඛිත, ප්‍රති-උතෝපියානු අනාගතයකි. කෙසේවුවද, ජනගහණ වර්ධනය පිළිබඳව මුලින්ම මෙවැනි විධිමත් න්‍යායක් ඉදිරිපත් කළේ මැල්තුස් විසිනි.

මැල්තුස්ගේ රචනාවේ ඔහුගේ න්‍යායය ඉතා පැහැදිව සරල බසින් විස්තර කර තිබේ. එය තර්කානුකූලය. ඒ වන විට සිදුකළ හැකිව තිබුණු නිරීක්ෂණ සමඟ සෑහෙන දුරකට සැසඳේ.

මැල්තුස් කතාව පටන් ගන්නේ සියල්ලන්ටම වාගේ එකඟ විය හැකි සරල උපකල්පන දෙකකිනි.

"පළමුව, මිනිසාගේ පැවැත්මට ආහාර අවශ්‍යය. දෙවනුව, විරුද්ධ ලිංගිකයින් අතර ඔවුනොවුන්ට ඇති ආකර්ෂණය අද [1798දී] ඇති මට්ටමින්ම දිගටම පවතිනු ඇත."

ඔහුගේ න්‍යායය අනුව, ඉහත සරල උපකල්පන දෙක නිවැරදිනම්, මනුෂ්‍ය සංහතියට යැපීමට අවශ්‍ය ආහාර ප්‍රමාණය වැඩිවන වේගයට වඩා වේගයෙන් ජනගහණය වර්ධනය වීම නිසා කාලයෙන් කාලයට මිනිස් සංහතියට සම්පත් හිඟයන්ට මුහුණ පෑමට සිදුවේ.

"මිනිසාගේ පැවැත්මට අවශ්‍ය සම්පත් වැඩිපුර ඇති, මිනිසුන්ගේ හැසිරීම් වඩා යහපත්, ඒ නිසාම යුරෝපයේ නූතන රාජ්‍යයන් සියල්ලන්ටම වඩා අඩු වයස් විවාහයන්ට බාධා අඩු, ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහණය වසර විසිපහෙන් විසිපහට දෙගුණ වන බව පෙනෙන්නට තිබේ."

ඉහත නිරීක්ෂණය අනුව, මැල්තුස් විසින් විශේෂ බාධාවක් නොවේනම් ජනගහණය සෑම වසර විසිපහකටම වරක් දෙගුණ වන බව පෙන්වා දෙයි. එහෙත්, මෙසේ ජනගහණය දෙගුණ වන විට ආහාර නිෂ්පාදනය වැඩි කළ හැක්කේ නිශ්චිත ප්‍රමාණයකින් පමණි.

"ලෝක ජනගහණය මිලියන සියයක්යැයි අපි සිතමු. මිනිස් ජනගහණය 1,2,4,8,16,32,64,128,256,512... අනුපාත වලින් වර්ධනය වනු ඇති නමුත් ආහාර නිෂ්පාදනය වැඩි වනු ඇත්තේ 1,2,3,4,5,6,7,8,9,10... අනුපාතයන්ගෙනි. සියවස් දෙකයි කාලකින් ආහාර අවශ්‍යතාවය සහ නිෂ්පාදනය අතර අනුපාතය 512:10 වනු ඇත. සියවස් තුනකින් 4096:13 ලෙස වැඩි වනු ඇත."

ඔහු පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ මෙය සිදුවිය නොහැක්කක් බවයි. එසේනම්, සිදුවිය හැක්කේ ජනගහණය ස්වභාවික සමතුලිතතාවකට පැමිණීමයි. ජනගහණය මේ සමතුලිත මට්ටම ඉක්මවූ විට වසංගත, දුර්භික්ෂ, යුද්ධ ආදිය මඟින් ජනගහණය නැවත අඩු වේ. මිනිසාගේ ජීවන තත්ත්වය දිගින් දිගටම සුඛිත මුදිතව පැවතීමේ හැකියාවක් නැත. ආහාර හිඟයක් නැතිව, සාමකාමීව ගතවන කාලවලදී ජනගහණය වැඩියෙන් වර්ධනය වේ. එවිට, ආහාර සැපයුම ප්‍රමාණවත් නොවීම නිසා එය නිවැරදි වන තුරු දුෂ්කර කාලයක් ගත කරන්නට සිදුවේ. මෙය චක්‍රයකි.

"මෙය සිදුවන්නේ මේ ආකාරයෙනි. ආරම්භයේදී යම් රටක ආහාර සැපයුම ඒ රටේ ජනගහණයට යාන්තමින් ප්‍රමාණවත් වීයැයි සිතමු. ඉහත විස්තර කළ පරිදි, ජනගහණය ආහාර නිෂ්පාදනයට වඩා වේගයෙන් වර්ධනය වනු ඇත. කලින් මිලියන හතක පිරිසක් පරිභෝජනය කළ ආහාර දැන් මිලියන හතහමාරක් හෝ අටක් අතර බෙදිය යුතුය. [මේ කාලයේ එංගලන්තයේ ජනගහණය මිලියන හතක් වූ බව සමකාලීන ඇස්තමේන්තුව වන්නට ඇත. 1801දී එංගලන්තයේ සිදුකළ පළමු සංගණනය අනුව එවිට ජනගහණය මිලියන 8.1ක් විය.] මෙසේ වූ විට, වඩාත්ම පීඩාවට පත්වනු ඇත්තේ දුප්පත් ජනතාවයි. රටේ කම්කරුවන් ගණන අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වන නිසා කම්කරු වැටුප් පහළ යනු ඇති අතර බඩු මිල වැඩි වනු ඇත. මේ නිසා කලින් පැවති ජීවන තත්ත්වය පවත්වා ගැනීමට කම්කරුවන්ට ඉතා විශාල පැය ගණනක් වැඩිපුර වැඩ කිරීමට සිදුවනු ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ පවුලක් නඩත්තු කිරීම පහසු කටයුත්තක් නොවන නිසා විවාහවීම අධෛර්යය වීමෙන් ජනගහණ වර්ධනය ඇණහිටිනු ඇත. මේ අතර, අඩු වැටුපකට වැඩ කිරීමට සූදානම් කම්කරුවන් ඕනෑතරම් සිටින නිසාත් නිෂ්පාදන වැඩි මිලකට විකිණිය හැකි නිසාත් ඉඩම් හිමියන් විසින් වගා කළ හැකි සෑම බිම් අඟලක්ම වගා කිරීම නිසා නිෂ්පාදනය ඉහළ යනු ඇත. එවිට, ආහාර සැපයුම නැවතත් ජනගහණයේ අවශ්‍යතාවය සමඟ සම්පාත වන බැවින් කම්කරුවන්ගේ ජීවිත නැවතත් යහපත් වනු ඇත. එවිට ඔවුන් නැවතත් විවාහ වී දරුවන් හැදීමෙන් නැවතත් ජනගහණය වැඩි වනු ඇත."

මැල්තුස් මේ පොත ලියන කාලය වනතුරු ඇත්තටම සිදුවුණේ මේ කියා ඇති දෙයට තරමක් කිට්ටු දෙයකි. ඒ වන තුරු තාක්ෂණ දියුණුව මඟින් සිදුකර තිබුණේ ජනගහණ වර්ධනයට උදවු කිරීමයි. මෙසේ ජනගහණය වැඩි වුනත් ඒකීය පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වෙනස් වුනේ නැත. ජනගහණය වැඩි වන විට වරින්වර කිසියම් අයුරකින් එය සීමා විය. උදාහරණයක් වශයෙන් එකොළොස්වන සියවසේ සිට දහතුන්වන සියවස දක්වා ජනගහණය වර්ධනය වුවත් දහතුන්වන සියවසේදී යුරෝපයේ පැවති දරුණු දුර්භික්ෂය හා මහාමාරිය වසංගතය නිසා ලෝක ජනගහණය විශාල ලෙස අඩුවිය. දහතුන්වන සියවසේ ආරම්භයේදී පැවති ලෝක ජනගහණය නැවත ඒ මට්ටමට පැමිණීමට සියවස් දෙකක් ගතවිය.


කෙසේවුවද, 1800ට පෙර කාලයේදීත් මිනිස් ජනගහණය වර්ධනය විය. එහෙත්, එය සිදු වූයේ සෙමිනි. වසර දසදහසකට පමණ පෙර කෘෂිකාර්මික යුගය ආරම්භවෙද්දී ලෝක ජනගහණය මිලියන 4ක් පමණ වූ අතර වසර හත්දහසකට පෙරද මිලියන පහකට වඩා වැඩි නොවීය. ඉන් පසුව ජනගහණ වර්ධනය තරමක් වේගවත් විය. වසර පන්දහසකට පෙර මිලියන 14 දක්වාත්, වසර තුන්දහසකට පෙර මිලියන 50 දක්වාත් ලෝක ජනගහණය වැඩිවිය. තවත් වසර පන්සියයකින් එය මිලියන 100ක් විය. ක්‍රි.ව. 1800 වන විටද මිලියන 800ක් පමණ වූ ලෝක ජනගහණය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වූයේ පසුගිය සියවස් දෙක තුළය.

ඉංග්‍රීසින් විසින් ලංකාවේ ලන්දේසීන් සතු වූ ප්‍රදේශ අත්පත් කරගන්නා කාලයේ එංගලන්තය තාක්ෂණය අතින් පැරණි චීනය, ග්‍රීසිය හෝ පර්සියාවට වඩා තරමක් ඉදිරියෙන් සිටියේය. එහෙත්, ඒ කාලයේදීත් එංගලන්තයේ සාමාන්‍ය වැසියෙකුගේ ජීවන තත්ත්වය සියවස් තිස් හතකට පෙර බැබිලෝනියාවේ ජීවත් වූ වැසියෙකුගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වුණේ නැත.

මැල්තුස්ගේ උපකල්පනයන් වැරදුනේ පසුගිය දෙසියවස තුළ සිදුවූ තාක්ෂණ දියුණුව සහ වෙනත් ඇතැම් වෙනස්කම් නිසාය.


(Images: http://themisescircle.org/features/from-the-malthusian-trap-to-the-industrial-revolution/)

Wednesday, January 13, 2016

ආර්ථිකය වර්ධනය වන්නේ කොහොමද?

රටක ආර්ථිකයක් ඉදිරියට යන ආකාරය ඉතා සරල ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කළ හැකිය. සරල වුවත්, මෙය ආර්ථික විද්‍යාවේදී බොහෝ විට භාවිතා කරන, ආර්ථික වර්ධනය සිදුවන ආකාරය පැහැදිලි කිරීමට ප්‍රමාණවත් ආකෘතියකි.

යම් කාලයක් තුළ රටක සිදුවන සමස්ත නිෂ්පාදනය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතය මඟිනි. මෙහි නිෂ්පාදනය යන්නට භාණ්ඩ මෙන්ම සේවාවන්ද ඇතුළත්ය. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලික සාධක සියල්ල කොටස් තුනක් යටතේ වර්ග කළ හැකිය.

-ශ්‍රමය,
-ප්‍රාග්ධනය, හා
-තාක්ෂණය වශයෙනි.

භූමිය, උපකරණ, යන්ත්‍ර සූත්‍ර ආදී සියල්ල ඇතුළත් වන්නේ ප්‍රාග්ධනය යන්නටය.

ප්‍රාග්ධනය හෝ ශ්‍රමය යන දෙකෙන් ඕනෑම එකක් වැඩියෙන් ඇති විට නිෂ්පාදනය වැඩි වේ. එහෙත්, මෙසේ වැඩි වන ප්‍රමාණය එන්න එන්නම අඩුවේ. ඒ නිසා මේ දෙක අතර සමතුලිතතාවක් තිබීම වැදගත්ය. එවැනි සමතුලිතතාවක් ආරම්භයේදී නොපැවතියද කල්යාමේදී ස්වභාවිකවම එවැනි සමතුලිතතාවක් ඇති වේ.

හේනක් හෝ කුඹුරක් කොටන්නට අත් හතරක් එකතු වූ විට අත් දෙකකින් කෙරෙනවාට වඩා වැඩක් කෙරෙන බව පැහැදිලිය. තවත් දෑතක් එකතු වූ විට නිෂ්පාදනය තවත් වැඩිවේ. වෙනත් නිෂ්පාදනයක් හා අදාළවද මෙය සත්‍යයකි. ශ්‍රමය වැඩි වන විට නිෂ්පාදනය වැඩි වේ. ප්‍රාග්ධනය හා තාක්ෂණය නොවෙනස්ව තිබියදී ශ්‍රමය වැඩියෙන් යෙදවීමෙන් නිෂ්පාදනය වැඩි කළ හැකි වුවත් මෙය කාර්යක්ෂමව සිදුවන්නේ එක් සීමාවක් දක්වා පමණි.

වී වගා කළ හැකි කුඹුරු කෑල්ලක් වගේම කුඹුරක් සකස් කිරීමේදී උපකාරී කරගන්නා උදැල්ලක් වැනි උපකරණයක්ද ප්‍රාග්ධනයේ කොටසකි. තියෙන්නේ පොඩි කුඹුරු කෑල්ලක් සහ එක් උදැල්ලක් පමණක්නම් දෙවැනියෙකුට කුඹුරු කෙටිල්ලට උදවු වීමට සිදුවන්නේ පළමුවෙනියා විවේක ගන්නා වෙලාවට පමණි. එහෙත්, එසේ උදවු වීමෙන්ද නිෂ්පාදනයට යම් දායකත්වයක් දෙන්නට පුළුවන. නමුත්, මේ දායකත්වය පළමුවැන්නාගේ දායකත්වයට වඩා අඩුය.

ශ්‍රමය සහ තාක්ෂණය නොවෙනස්ව තිබියදී ප්‍රාග්ධනය වැඩි කළ විට සිදුවන්නේද මෙයයි. දෙදෙනෙකු වැඩ කරන තැනක උදළු තුනක් ඇත්නම් තෙවන උදැල්ලෙන්ද නිෂ්පාදනයට යම් වාසියක් සැලසේ. පළමු උදළු දෙකෙන් එකක මිට ගැලවුණු විට එය හදා හදා කාලය ගත නොකර තෙවන උදැල්ල ගෙන වැඩේ කරගෙන යන්නට පුළුවන් නිසා නිෂ්පාදනය යම් තරමකින් හෝ වැඩි වේ. එහෙත්, තෙවන උදැල්ල නිසා එකතු වන වැඩිපුර නිෂ්පාදනය දෙවන උදැල්ලෙන් එකතු වූ ප්‍රමාණයට වඩා අඩුය.

පරිගණක මෘදුකාංග වැඩිදියුණු කිරීම වැනි නිෂ්පාදනයක් හා අදාළවද මෙය මෙසේම බලපායි. මෘදුකාංග ඉංජිනේරුවන් මෙන්ම අළුත් පරිගණක එකතු කිරීමෙන් නිෂ්පාදනය වැඩි කළ හැකි වුවත් මේ සාධක දෙක අතර නිසි සමතුලිතතාවක් නැත්නම් නිෂ්පාදනය වැඩිවන්නේ ඉතා කුඩා ප්‍රමාණයකිනි. ඇතැම් රජයේ ආයතන වල ඇතැම් පුරප්පාඩු සඳහා සුදුසුම අය විෂය භාර ඇමති වරයාගේ ගම් පළාතෙන්ම බිහිවීමට හේතුව තවමත් කිසිවෙකු න්‍යායාත්මකව පැහැදිලි කර නැතත් මෙය ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. මෙසේ සුදුසුකම් ඇති බොහෝ දෙනෙකුට එකවර අහම්බයෙන් පත්වීම් ලැබෙන ඇතැම් අවස්ථා වල අළුතින් බඳවාගන්නා අයට පුටු මේසවත් නැත. එවැනි බඳවාගැනීම් වලින් නිෂ්පාදනය ඉහළ නොයන බව කිවයුතු නැත.

වාෂ්ප එන්ජිම සොයාගන්නා කාලය දක්වා දීර්ඝ ඉතිහාසය තුළ ලෝකයේ කොයි කොටසේත් හෝමෝ සේපියන්ස්ලාගේ ජීවන තත්ත්වය තිබුණේ අද තත්ත්වයට සාපේක්ෂව ඉතා පහත් මට්ටමකය. මේ කාලයේ ශ්‍රමය වුණේ අතපයේ ශක්තියයි. මේ මූලික ශ්‍රමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුනත් ශක්තිමත්ම පුද්ගලයෙකුට වුවද නිෂ්පාදන කාර්යයක් සඳහා යෙදවිය හැකිව තිබුණු උපරිම ශක්තිය අද ඇති මූලික මට්ටමේ යන්ත්‍රයකට යෙදවිය හැකි ශ්‍රමයට වඩා අඩුය. එමෙන්ම, ප්‍රාග්ධන සම්පත් හා තාක්ෂණය පැවතියේද මූලික මට්ටමකය.

කාර්මික පුනරුදයට පෙර ඉතිහාසයේත් සාපේක්ෂව ආර්ථික දියුණුවක් ලැබූ රටවල් තිබුණේය. ඒ කාලයේ වැඩිම දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කළේ වැඩිම ජනගහනයක් සිටි, වැඩිම ශ්‍රමයක් යෙදවිය හැකිව තිබුණු රටවල්ය. ඉන්දියාව හා චීනය උදාහරණයි. මෙවැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය ඒ කාලයේ වෙනත් රටවල එම නිෂ්පාදිතයට වඩා වැඩි වුවත්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය තව දුරටත් අඩු මට්ටමක පැවති නිසා රටේ සාමාන්‍ය වැසියෙකුගේ ජීවන තත්ත්වය එතරම් ඉහළ ගියේ නැත.

රටක ජනගහනය වැඩිවන විට සමස්ත නිෂ්පාදිතය වැඩි වුවත් එය බෙදිය යුතු කටවල් ගණනද වැඩි වේ. මේ වන විට, මිල දී ගැනීමේ හැකියාව අනුව චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකාවේ එම අගයට ආසන්නව සමානය. එහෙත්, චීනයේ ජනගහණය ඇමරිකාවේ ජනගහණය මෙන් සිවු ගුණයකටත් වඩා වැඩි නිසා චීනෙකුගේ සාමාන්‍ය ආදායම ඇමරිකානුවෙකුගේ සාමාන්‍ය ආදායමෙන් හතරෙන් එකකටත් වඩා අඩුය.

ඉතිහාසයේ වැඩි කාලයක් වුනේත් මෙවැන්නකි. වැඩි ජනගහණයක් සිටි රටවල පාලකයාට සහ පාලකයාගේ සමීපතම පිරිසකට තමන්ගේ ජීවන තත්ත්වය හොඳ මට්ටමකින් පවත්වා ගැනීමට මෙන්ම අදාළ කාලයට සාපේක්ෂව දැවැන්ත නිර්මාණ ඉදි කිරීමටත් හැකියාව ලැබුණත් රටේ සාමාන්‍ය වැසියන් ගෙවුවේ අදට සාපේක්ෂව දුක්ඛිත ජීවිතයකි.

ශ්‍රමය වැඩිපුර යෙදවීමෙන් ආර්ථිකයක් දියුණු කිරීමටනම් ජනගහණයද වැඩිවිය යුතුය. එවිට, සමස්ත නිෂ්පාදනය ඉහළ ගියත් එය බෙදාගැනීමට සිටින පිරිසද ඉහළ යන නිසා තනි පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ඉහළ නොයයි.

මේ තත්ත්වය වෙනස් කළේ තාක්ෂණ දියුණුවයි. තාක්ෂණය මඟින් ශ්‍රමය සහ ප්‍රාග්ධනය නොවෙනස්ව තිබියදීම සමස්ත නිෂ්පාදිතය ඉහළ දමා ගැනීමට ඉඩ සලසයි. මෙහිදී, ජනගහණය වැඩිවීමක් අවශ්‍ය නොවන නිසා සමස්ත නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායමද ඉහළ යයි. අදත්, ලෝක ආර්ථිකය ඉදිරියට යන්නේ ප්‍රධාන වශයෙන්ම තාක්ෂණය නිසාය.

(Image: http://hallingblog.com/2010/05/11/source-of-economic-growth/)

Monday, January 11, 2016

සියවස් එකහමාරක් තුළ බඩු මිල ඉහළ ගිය හැටි


ලංකාවේ පළමු ලියාපදිංචි පුවත්පත වූ ලක්මිණිපහණ පළමු කලාපය එළිදැක්වී ඇත්තේ 1862 සැප්තැම්බර් මස 11 වන දිනය. මා මේ පුවත්පත කියවා නැත. කෙසේවුවද, මෑතකදී පළවූ දිනමිණ විශේෂාංගයක මේ පළමු ලක්මිණිපහණ කලාපයේ අන්තර්ගතය පිලිබඳ විස්තරයක් අඩංගුය. අදාල ලිපියේ ඇති තොරතුරු අතරින් මගේ විශේෂ අවධානයට ලක්වූයේ ඒ වන විට පැවති ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පිලිබඳ විස්තරයයි.

කඩල පළමුවෙනි තරමේ ඒවා සිලින් 8, දෙවෙනි තරමේ ඒවා බුසල සිලින් 7 පැන්ස 6.

කඩල බුසලක් රාත්තල් 60ක් පමණ වේ. එනම් කිලෝග්‍රෑම් 27.25 පමණය. ඒ අනුව, කඩල කිලෝවක මිල සත 14 1/4-14 3/4 අතර වී ඇත.

සුදුහාල් පළමුවෙනි ත‍රමේ ඒවා සිලින් 6 පනම් 4, දෙවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6.

කාරහාල් පළමුවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 3, දෙවෙනි තරමේ ඒවා සිලින් 6, පැන්ස 2 1/2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6.

මෙහි ඇත්තේ හාල් බුසලක මිල විය යුතුය. ඒ අනුව සුදු හාල් කිලෝවක් සත 10 1/2 - 12 අතරත් කාර හාල් කිලෝවක් සත 11 3/4 - 12 අතරත් පැවතී ඇත.

තිරිඟු පිටි රාත්තල තුට්ටු 10 හෙවත් සත 15කි. පාන් ගෙඩිය තුට්ටු 6 හෙවත් සත 9කි. 

පොල් පළමුවෙනි තරමේ ඒවා 100 සිලින් 8 හා දෙවෙනි තරමේ ඒවා සිලින් 7 වේ.ඒ අනුව, පොල් ගෙඩියක මිල සත 3 1/2 - 4 අතරය.

පොල්තෙල් සේරුව පැන්ස 10 1/2කි. පොල්තෙල් සේරුවක මිලිලීටර 1024ක් පමණ ඇත. පැන්ස 10 1/2 යනු පනම් 7ක් හෙවත් සත 43 3/4කි. ඒ අනුව, පොල්තෙල් මිලිලීටර 750ක් සත 32කි.

ලුණු බුසල සිලින් 4කි. ලුණු බුසලක් රාත්තල් 50ක් පමණ වේ. එනම් කිලෝග්‍රෑම් 22.7 පමණය. ඒ අනුව, ලුණු කිලෝවක මිල සත 8 3/4ක් පමණ වී ඇත.

මේ අයුරින් වියලි මිරිස්, සුදුළූනු, රටළූනු, මෙරටළූනු, කහ, කොත්තමල්ලි සහ අර්තාපල් වැනි තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයකම ඒ කාලයේ මිල මේ පුවත්පතේ සටහන් වී තිබේ.

මේ ආහාර ද්‍රව්‍ය සමහරක පසුගිය දෙසැම්බර් අවසානයේ සාමාන්‍ය වෙළඳපොළ මිල ගණන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක. පහත වගුවේ ඇත්තේ 1862 සැප්තැම්බර සහ 2015 දෙසැම්බර් අතර කාලය තුළ මේ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් වෙනස් වී ඇති ආකාරයයි. 




මේ ආහාර ද්‍රව්‍ය වල මිලගණන් අදාළ කාලය තුළ සාමාන්‍ය වශයෙන් 1066 ගුණයකින් වැඩි වී තිබේ. එහෙත්, මෙය එක් අයුරින්ම සිදුවී නැත. සමස්තයක් වශයෙන් ගත් කළ ආනයනික ආහාර ද්‍රව්‍ය වල මිලගණන් වැඩිවී ඇත්තේ රට තුල නිපදවන ආහාර ද්‍රව්‍ය වල මිලගණන් වැඩි වී ඇති අනුපාතයට වඩා අඩුවෙනි.

සියවස් එකහමාරකට පෙර අර්තාපල් හා රටළූණු මුළුමනින්ම පාහේ ආනයනය කරන්නට ඇතැයි විශ්වාස කළ හැක. ඒ නිසා වත්මන් මිල ගණන් සසඳා ඇත්තේ එම ද්‍රව්‍ය වල ආනයනික ප්‍රහේද වල මිලගණන් සමඟය. සංඛ්‍යාලේඛණ අනුව දේශීය අර්තාපල් හා රටළූණු වල මිල ආනයනික මිලට වඩා සැලකිය යුතු ලෙස වැඩිය.

සමස්තයක් වශයෙන් දහස් ගුණයකින් පමණ මිල ඉහළ යාමෙන් පෙන්නුම් කරන්නේ රුපියලේ අගය ආහාර ද්‍රවය වලට සාපේක්ෂව පිරිහී ඇති ආකාරයයි. ඒ අතර ඇති වෙනස්කම් මඟින් පෙන්වන්නේ සැපයුම් සාධක ඇතුළු වෙනත් සාධක වල බලපෑමයි.

දේශීය නිෂ්පාදන වල මිලගණන් වලට සාපේක්ෂව ආනයනික ද්‍රව්‍ය වල මිල අඩුවෙන් වැඩිවීමෙන් පෙන්නුම් කරන්නේ රට තුල ආහාර නිෂ්පාදන තාක්ෂණයේ සිදුවූ දියුණුව රටින් පිටත සිදුවී ඇති දියුණුවට වඩා අඩු බවයි. ඒ නිසා දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැය වඩා විශාලය. එමෙන්ම, තෙල් මිල විශාල ලෙස වැඩිවීම මධ්‍යයේ වුවද ප්‍රවාහන හා ඇසිරුම් තාක්ෂණයේ දියුණුව නිසා රටින් පිට නිපදවන භාණ්ඩ ආනයනය කිරීම සාපේක්ෂව අඩු පිරිවැය කාර්යයක් වීමද මෙයට යම් තරමකින් ඉවහල් වූවා විය හැකිය.

ආදේශක ලෙස සැලකිය හැකි රතුළූණු සහ රටළූණු වල මිල වෙනස්වීම් කැපී පෙනේ. 1862දී ආනයනික රටළූණු විකිණී ඇත්තේ දේශීය රතුළූණු මෙන් හත් ගුණයක මිලකටය. එහෙත්, මේ වන විට රතුළූණු මිල රටළූණු මිලට වඩා වැඩිය.

එමෙන්ම, තිරිඟු පිටි වල මිල වැඩි වී ඇත්තේ අඩුවෙන් වුවත්, හාල් මිල සහ පාන් මිල වැඩි වී ඇත්තේ ආසන්න වශයෙන් එකම අනුපාතයකිනි. මෙයින් පෙන්වන්නේද දේශීය නිෂ්පාදන පිරිවැය සාපේක්ෂව වැඩි බවයි.

කාලයත් සමඟ රට තුළ ආනයනික ආහාර ද්‍රව්‍ය වඩා ආකර්ෂනීය වීමත්, අපේ කෘෂිකාර්මික අපනයන විදේශිකයින්ට අඩුවෙන් ආකර්ෂණීය වීමත් මේ මිලගණන් වෙනස් වී ඇති ආකාරය මඟින් පැහැදිලි කෙරේ. පුළුල් වන සෘණ වෙළඳ ශේෂය සඳහා මේ වෙනසද දායක වන්නට ඇත.

(Image: www.elakiri.com)

Saturday, January 9, 2016

ලංකාවේ ආදායම් විෂමතාවය

සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලංකාවේ ගෘහස්ත ආදායම් හා වියදම් පිලිබඳ සමීක්ෂණය දැන් තෙවසරකට වරක් පැවැත්වේ. අවසන් වරට 2012/13දී සිදු කළ මේ සමීක්ෂණයේ අවසන් වාර්තාව අනුව ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 45,878කි. පෙර සමීක්ෂණය සිදුකළ 2009/10දී මෙය රුපියල් 36,451ක් විය.

ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍යයෙන් 3.9 දෙනෙකු වාසය කරයි. මේ අනුව, මේ සමීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව ගණනය කර ඇති ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819කි. 2009/10දී මෙය රුපියල් 9,104ක් විය.

බැලූ බැල්මට පෙනෙන්නේ ඒක පුද්ගල ගෘහස්ථ ආදායම 29.8%කින් වැඩි වී ඇති බවයි. එහෙත්, මේ වසර තුන තුල 22.9%කින් මිල මට්ටම වැඩිවීම නිසා රුපියලේ දේශීය වටිනාකමේ සිදුවූ පිරිහීම සැලකූ විට ආදායම සැබෑ ලෙසම වර්ධනය වී ඇත්තේ 5.6%කිනි.

මේ අයුරින්ම, 2006/07 සමීක්ෂණය අනුව ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 6,462ක් වූ නිසා 2009/10 දක්වා වසර තුන තුළ ආදායමේ සිදුවූ නාමික වර්ධනය 40.9%ක් වුවත්, මිල මට්ටමේ වැඩි වීම 42.4%ක් වූ නිසා සැබෑවටම සිදුවී ඇත්තේ ආදායමේ අඩු වීමකි.

වසර හය තුළම නාමික ආදායම 82.9%කින් වැඩි වී ඇතත් මිල මට්ටමද 75.0% කින් වැඩි වී ඇති නිසා, වසර හයටම මූර්ත ආදායම වර්ධනය වී ඇත්තේ 4.0%කින් පමණි. එනම් වසරකට 0.6%කින් පමණි.

සමස්තයක් ලෙස ගත් විට රටේ සාමාන්‍ය ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819ක් වුවත් ආදායම් විෂමතාවය ඉතා විශාලය. නාගරික ගෘහස්ථ ඒකක වල ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය අගය රුපියල් 17,262ක් වෙද්දී, ග්‍රාමීය ගෘහස්ථ ඒකක වල එය රුපියල් 10,843කි. වතු ගෘහස්ථ ඒකක වල මෙය රුපියල් 7,100ක් පමණි. කොළඹ දිස්ත්‍රික්කයේ මෙම සාමාන්‍යය රුපියල් 19,346ක් වුවත් මාතලේ, නුවරඑළිය, යාපනය, මන්නාරම, මුලතිවු, කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක එකොළහේ එම අගය කොළඹ අගයෙන් අඩකටත් අඩුය. මේ දිස්ත්‍රික්ක සියල්ලම වාගේ සුළුතර-බහුතර හෝ සැලකිය යුතු සුළුතර ජනගහනයක් සිටින දිස්ත්‍රික්ක වීම සැලකිල්ලට ගතයුතු කරුණකි.

රටේ ගෘහස්ථ ආදායමෙන් 52.9%ක් රැඳෙන්නේ වැඩිම ආදායම් ලබන 20% අතේය. ඉතා විශාල ආදායම් විෂමතාවක් ඇති ඇමරිකාවේද මේ ප්‍රතිශතය (2012දී) 49.9%ක් පමණි. පහළම ආදායම් ලබන 40% වෙත සම්ප්‍රේෂණය වන්නේ මුළු ආදායමින් 13.7%ක් පමණි. මැදි ආදායම් ලබන 40% වෙත 33.3%ක් රැඳේ.

නාගරික අංශය තුළ ආදායම් විෂමතාවය මෙයටත් වඩා වැඩිය. එහි ඉහළම 20% විසින් 71.2%ක් ලබා ගනිද්දී පහළම 40% වෙත ලැබෙන්නේ 5.9%ක් පමණි. මැද 40%ට 23.0%කි. ග්‍රාමීය අංශයේ ඉහළ 20%, මැද 40% හා පහළ 40% අතර 47.2%, 36.8% සහ 16.0% ලෙස ආදායම් බෙදේ. වතු අංශයේ මේ බෙදීම 28.5%, 44.1% සහ 27.5% ලෙසිනි. වතු අංශයේ ආදායම් විෂමතාව අඩුවෙන් ඇත්තේ එම අංශයේ ඉහළ ආදායම් ලාභීන්ගේ ආදායමද එතරම් ඉහළ නැති නිසාය.

මේ සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලි වන්නේ රටේ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල ගෘහස්ථ ඒකක වෙත සම්ප්‍රේෂණය වන රටාවයි. ඉහළ යන ඒක පුද්ගල ආදායම නිසා මුලින්ම සිදුවන්නේ ඉහළ ආදායම් ලබන ස්ථර වල ආදායම තවත් වැඩි වීමයි. නාගරික මැදි ආදායම් ලබන කණ්ඩායම් සහ ඉහළ ආදායම් ලබන ග්‍රාමීය කොටස් වෙත දෙවනුව ආදායම සම්ප්‍රේෂණය වේ. වතු ගෘහස්ථ ඒකක වෙත මේ ආදායම් වර්ධනය දැනී ඇත්තේ ඉතා සුළුවෙනි.

රටක ආදායම් විෂමතාවය ප්‍රශ්නයකි. එයට විසඳුම් සෙවිය යුතුය. එහෙත්, එය කළ යුත්තේ වැඩි ආදායම් ලබන කොටස් පීඩාවට පත්කර ඔවුන්ගේ ජීවන තත්ත්වය පහත හෙලීමෙන් නොවේ. අඩු ආදායම් ලබන කොටස් වල ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔවුන්ට අවස්ථා සැලසීමෙනි.

මෙය සිදු කළ හැක්කේ ව්‍යවසායකත්වයට දිරි දෙන මූල්‍ය පරිසරයක් සකස් කිරීමෙනි. කෙසේවුවද, පහලම සමාජ ස්ථර හා අදාළවනම් ආහාර සුරක්ෂිතතාව සහ මූලික අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැනි දෑ පළමුව තහවුරු විය යුතු බව මේ සමීක්ෂණයේ අනෙකුත් තොරතුරු අනුව පෙනේ.

(Image: www.skai.gr)

Thursday, January 7, 2016

සතපහ ඇගේ බාප්පලා හා සීයලා

සතපහේ උපත ගැන අපි පෙර ලිපියකින් කතා කළෙමු. මේ ලිපියෙන් කතා කරන්නේ සතපහේ උපත හා සමාන්තරව සිදුවූ රුපියල් සත භාවිතය ඇරඹෙන විට ලංකාවේ භාවිතා වෙමින් තිබූ වෙනත් මුදල් ඒකක ගැනය. මේ මුදල් වර්ග ගැන වෙනත් තැන් වලද විස්තරාත්මකව ලියැවී ඇති අතර, පනම්, තුට්ටු, අලුක්කාල් වැනි වචන දැනටත් භාවිතයේ ඇත.

කෙසේවුවද, මගේ ලිපියේ මූලික අරමුණ ලංකාවේ පැරණි කාසි ගැන කතාකිරීම නොවේ. රුපියල් සත ලංකාවට හඳුන්වා දුන් තැන් පටන් රුපියලේ වටිනාකම වෙනස් වූ ආකාරය සාකච්ඡා කිරීමය. රුපියල් සත වල බාප්පලා හා සීයලා ගැන කතා කරන්නේ ඒ සඳහා ආරම්භයක් වශයෙනි. රුපියල් සත ඉපදෙන විට මියගොස් සිටි රුපියල් සත වල මී මුත්තන් සහ කිරිකිත්තන් ගැන මෙහි කතා කරන්නේ නැත.

උඩරට ගිවිසුම අත්සන් කෙරුණු 1815 වසරට පෙර සියවස් කිහිපයක්ම ලංකාවේ ඒකීය පාලනයක් නොතිබුණේය. ඒ නිසා රට පුරාම පිළිගත් එක් මුදල් ඒකකයක් තිබුණේද නැත. 1802 වසරේදී ලංකාවේ ඉංග්‍රීසින් විසින් පාලනය කළ ප්‍රදේශ බ්‍රිතාන්‍යයේ යටත්විජිත පිලිබඳ රාජ්‍ය ලේකම් යටතට පත් වූ තැන් සිට අදාළ ප්‍රදේශ වල ගිණුම් කටයුතු සිදු කෙරුණේ රික්ස්ඩොලර්, පනම් සහ පයිසා වලිනි. උඩරට ගිවිසුමෙන් අනතුරුව දිවයින පුරාම මේ භාවිතය ක්‍රියාත්මක විය.


1825 මාර්තු 23 දින පැනවූ බ්‍රිතාන්‍ය රජයේ නියෝගයක ප්‍රතිපාදන අනුව එම වසරේම ජූලි මස 4 දින පැනවූ රෙගුලාසි අංක 8 මඟින් ලංකා රජය ඇතුළු සියළුම යටත් විජිත වල මහා බ්‍රිතාන්‍යයේ පවුම්, සිලිං සහ පැන්ස භාවිතා කිරීමටත්, රජයේ ගිණුම් අදාල මුදල් ඒකක වලින් සටහන් කිරීමටත් නියෝග කෙරිණි. කෙසේවුවද, ඒ වන විට භාවිතයේ පැවති රික්ස්ඩොලර්, පනම්, පයිසා, ෆාර්දින් මෙන්ම ඕලන්ද යුගයේදී නිකුත් කරනු ලැබ තවදුරටත් භාවිතයේ තිබූ තඹසල්ලිද (Dutch challie) උපරිම ගණුදෙනු සීමාවන්ට යටත්ව තවදුරටත් වලංගු විය.
මේ අතර 1835 අගෝස්තු මාසයේදී අංක 17 දරන ඉන්දියානු පණත මඟින් ඉන්දියාව පුරා රුපියල් හඳුන්වා දෙනු ලැබීය. "කොම්පැනි රුපියල්" ලෙස හැඳින්වුණු මේ රිදී රුපියල් 1836 සැප්තැම්බර් 26 දින ආණ්ඩුකාර විල්මට්-හෝර්ටන් විසින් ගත් තීරණයක් අනුව ලංකාව තුළද හඳුන්වාදෙනු ලැබීය. ඒ සමඟම මේ ඉන්දියානු රුපියල් ඉතා සීඝ්‍රයෙන් ලංකාව තුළද ජනප්‍රිය විය. කලක් ගතවන විට රික්ස්ඩොලර් සහ එංගලන්ත රිදී කාසි භාවිතයෙන් ඉවත්ව ඒ වෙනුවට රුපියල් ආදේශ විය. එහෙත්, රුපියලට ලංකාව තුළ 1872 වසර වනතුරුම නීත්‍යානුකූල පදනමක් නොවීය. මේ ව්‍යාකූල තත්ත්වය නිරවුල් කරමින්, 1871 මැයි මස 23 දාතමැති ප්‍රකාශනයක් අනුව, රුපියල් හා එයින් සියයෙන් පංගු වන සත 1872 ජනවාරි මස පළමු දින සිට ලංකාවේ වලංගු මුදල් ඒකක බවට පත් විය. මුල් වරට සතපහේ, සතයේ හා සතබාගයේ තඹ කාසි නිකුත් කිරීමද මේ සමඟම සිදුවිය.

රුපියල හඳුන්වාදුන් අළුත භාවිතයේ පැවති වටිනාම කාසියක් වූ බ්‍රිතාන්‍ය පවුමක වටිනාකම රුපියල් දහයක් විය. වටිනාකම අඩුම අලුක්කාලක වටිනාකම සත කාලක් පමණ වුවත් මේ කාලයේ රුපියල් අස්සේ අලුක්කාල් ගහන්නට බැරි කමක් තිබුණේ නැත. රුපියල් සත හමුවේ මනුස්සකම නැති වී යන බව සමහර අය කියති. ඒ බව කෙසේ වෙතත්, රුපියල් සත ලංකාවේ නීත්‍යානුකූල මුදල් ඒකකය බවට පත්වීමෙන් අනතුරුව ඒ වන විට මහජනතාවගේ අතේ ගැවසුණු රුපියලේ බාප්පලා සහ සීයලා රැසක් ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් විය.

පහතින් ඇත්තේ රුපියලට පැරදී එසේ භාවිතයෙන් ඉවත්වූ කාසි වර්ග කිහිපයක සිංහල නම, ඉංග්‍රීසි නම, සැබෑ හුවමාරු වටිනාකම සහ ඇතැම් කාසි වල ප්‍රායෝගික භාවිතයේදී පැවති හුවමාරු වටිනාකමයි.

-පවුම (Pound): වටිනාකම රුපියල් 10කි.
-පතාගය/රිදීපහ (Rix-dollar): වටිනාකම සත 75කි.
-සිලිම (Shilling): පනම්අට ලෙසද හැඳින්විණි. වටිනාකම සත 50කි.
-පනම (Fanam): සැබෑ වටිනාකම සත 6 1/4කි. භාවිත වටිනාකම සත 6ක් විය. එහෙත්, පනම්හතරේ කාසියක භාවිත වටිනාකම එහි සැබෑ වටිනාකම වන සත 25ක් විය.
-තුට්ටුව (Stuiver/ Pice): සැබෑ වටිනාකම සත 1 9/16කි. භාවිත වටිනාකම සත 1 1/2 කි. තුට්ටු හයේ කාසියක් 'සට්ටලිය' ලෙස හැඳින්විණි. එහි සැබෑ වටිනාකම සත 9 6/16 ක්ද, භාවිත වටිනාකම සත 9ක් ද විය.
-සල්ලිය (English Challie): සැබෑ වටිනාකම සත 25/64කි. භාවිත වටිනාකම සත 1/2 කි.
-තඹසල්ලිය (Dutch Challie): සැබෑ වටිනාකම සත 25/48කි. භාවිත වටිනාකම සත 1/2 කි.
-අලුක්කාල (1/2 Dutch Challie): සැබෑ වටිනාකම සත 25/96කි. භාවිත වටිනාකම සත 1/4 කි.

මේ අනුව, "පනම් අටෙන් මට වැඩි කර දුන්න" කියන විට කතා කරන්නේ සහ පණහක වැටුප් වර්ධකයක් ගැනය. "තුට්ටුවෙ වාසියවත් මට ලැබෙන්නේ ඔහෙලා වගේ අයගෙන්නේ" කියන විට ලැබෙන වාසිය සත 1 9/16කි. "සිලිං තුනයි වැල උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ- සත දහයක් අඩු කරලා දෙන්නම් ගන්නවාද මැගි අක්කේ" කියන විට මැගි අක්කාට ලැබෙන වට්ටම 6.67%කි.

1872දී රුපියල ලංකාවේ නීත්‍යානුකූල මුදල් ඒකකය වන විට රුපියල් 10ක් බ්‍රිතාන්‍ය පවුමක් සමඟත්, රුපියල් 1.83ක් ඇමරිකානු ඩොලරයක් සමඟත් හුවමාරු විය. රුපියල සියවස සැමරූ 1972 ආරම්භයේදී රුපියල් 14.45ක් බ්‍රිතාන්‍ය පවුමක් සමඟත්, රුපියල් 5.96ක් ඇමරිකානු ඩොලරයක් සමඟත් හුවමාරු විය. තවත් වසර 44කට පසු, මේ වන විට බ්‍රිතාන්‍ය පවුමක් මිලදී ගැනීමට රුපියල් 214ක් අවශ්‍ය වන අතර ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීමට රුපියල් 146ක් අවශ්‍යය.


(Image: www.abccoinsandtokens.com)


Tuesday, January 5, 2016

මහ බැංකුවට කළ හැකි දේ සහ නොකළ හැකි දේ

මහ බැංකුව ගැන බොහෝ දෙනෙක් අසා තිබේ. ඒ අසා ඇති ආකාරයට මහ බැංකුව මහා බලගතු ආයතනයකි. වෙනත් පුද්ගලයින් හෝ ආයතන වලට මෙන් මහ බැංකුවට සල්ලි හොයන්නට මැරීගෙන දඟලන්නට අවශ්‍ය නැත. ඒ මහ බැංකුවට අවශ්‍ය ප්‍රමාණයක් මුදල් නෝට්ටු මුද්‍රණය කරගත හැකි නිසාය. වෙනත් අයටත් ඔය වැඩේ කරන්නට බැරි නැත. එහෙම කරන අයත් සිටී. හැබැයි එහෙම කර අහුවුණොත් සෑහෙන කාලයකට සල්ලි වෙනුවට ගණන් කරන්න වෙන්නේ යකඩ කූරුය.

කොයිතරම් බලගතු ආයතනයක් වුණත් මහ බැංකුවට කළ හැකි දේවල් මෙන්ම නොකළ හැකි දේවල්ද තිබේ.

"නිෂ්පාදිත ධාරිතාවට වඩා ඉල්ලුම වැඩි නම් ඇයි ඉල්ලුම අඩු කරන්න මුදල් සීමා කරන්නෙ? කල යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිර්‍රිම නොවේද?"

කතාව ඇත්තය. කළ හැකිනම් හොඳම දෙය නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමයි. ප්‍රශ්නය වන්නේ එය කියන තරම් ලේසි නැති වීමයි.

ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනක් තිබේ. ඒ කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශයි. අළුත්ම වර්ගීකරණය අනුවනම් අංශ වැඩි ගණනක් තිබුණත් අපේ සාකච්ඡාව ගෙනයන්නට මෙය ප්‍රමාණවත්ය.

දැන් අපි කොහේ හෝ තියෙන අර සුරංගගේ ගම වගේ සුන්දර ගමකට යමු. මේ ගමේ ජෝකපාලට පොඩි කුඹුරු කෑල්ලක් තිබේ. අක්කර කාලක්වත් නැත. කුඹුර අස්වැද්දුවා කියා තෙල්, පෝර වල ගාණවත් ආවරණය නොවන නිසා කලක සිට කුඹුර පුරන් වී තිබේ. ජෝකපාලගේ දුව හන්දියේ බියුටි සැලූන් එකක වැඩ කරයි. ජෝකපාලාලගේ වයසේ අය කොණ්ඩ රැවුල් කපන්නට එහි නොගියත් තරුණ වයසේ අය වැඩිපුර යන්නේ එතැනටය. ජෝකපාලගේ මස්සිනා මාතුපාල හන්දියේ වී මෝලේ අර්ධ කාලීන රැකියාවක් කරයි. ඔහුට වී මෝලෙන් කැඳවීමක් ලැබෙන්නේ වැඩ වැඩි වෙලාවට පමණි.

දැන් මෙහි කුඹුරු කෑල්ල දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික අංශයේ කොටසකි. වී මෝල නියෝජනය කරන්නේ කර්මාන්ත අංශයයි. බියුටි සැලූන් එක සේවා අංශයේ කොටසකි. වී මෝලටත්, බියුටි සැලූන් එකටත් වැඩ තියෙන්නේ පාරිභෝගිකයින් එන ප්‍රමාණයටය.  පාරිභෝගිකයින්ගෙන් ප්‍රමාණවත් ඉල්ලුමක් නැත්නම් මේ තැන් වල නිෂ්පාදනය සීමා වේ.

හදිසියේම ආණ්ඩුව මාරු වේ. අළුත් ආණ්ඩුව ඡන්දයට පෙර පොරොන්දු වූ පරිදි අඩු ආදායම් ලාභීන්ට මුදලින් සහනාධාරයක් දෙන්නට පටන් ගනී. එහෙත්, රජයට මේ සඳහා මුදල් නැති නිසා භාණ්ඩාගාර බිල්පත් විකුණයි. මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී. මෙය ප්‍රසාරණාත්මක (ලිහිල්) මුදල් ප්‍රතිපත්තියකි.

පෙර කී ගමේ සිටින වැඩිදෙනෙක් අඩුආදායම්ලාභීන්ය. වේලක් නොකා වේලක් කමින් සිටි මේ අයගේ අතේ දැන් මුදල් ගැවසේ. බියුටි සැලූන් එකට ඉල්ලුම වැඩිවේ. එහි සෙනඟ නැති වෙලාවක් නැත. හාල් වලටත් ඉල්ලුම වැඩිවේ. අතේ සල්ලි ඇති නිසා කවුරුත් කිසි ලෝබකමක් නැතිව සල්ලි වියදම් කරති. හාල් මිල වැඩි වේ. බියුටි සැලූන් එකේ සේවා ගාස්තුත් වැඩි වේ.

අඩුආදායම්ලාභියෙක් නොවූ ජෝකපාලගේ ආදායම වැඩි වී නැත. එහෙත් හාල් මිල වැඩි වී ඇති නිසා ඔහුගේ වියදම වැඩි වී තිබේ. දැන් හාල් වල ගානේ හැටියට කුඹුර කරන එක ලාබය. ඔහු කුඹුර අස්වද්දයි. තවත් අය මෙසේ කරති. රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි වේ. වී කොටාගන්නට මෝලට එන පිරිස වැඩිවේ. ඒ නිසා කර්මාන්ත අංශයේ නිෂ්පාදනයද වැඩිවේ. වැඩිපුර පිරිස් බියුටි සැලූන් එකට එන නිසා සේවා අංශයද දියුණු වේ. රටේ දල දේශීය නිෂ්පාදනය වැඩිවේ.

කෙසේවුවද, මෙහිදී නිෂ්පාදන ධාරිතාවේ වෙනසක් වුනේ නැත. නිෂ්පාදන ධාරිතාව නොවෙනස්ව තිබියදී කලින් පාවිචියට නොගැනුණු ධාරිතාව ප්‍රයෝජනයට ගැනුණු බැවින් නිෂ්පාදනය වැඩිවිය. මෙසේ මුදල් සැපයුම වැඩිකිරීම මඟින් කොයිතරම් දුරකට නිෂ්පාදනය ඉහළ දැමිය හැකිද? අළුතින් කුඹුරු අස්වැද්දිය හැක්කේ කුඹුරු ඉඩම් ඇති ප්‍රමාණයටය. එයද වැඩි කලක් කළ නොහැක. තෙල්, පෝර වලට ඉල්ලුම වැඩි වන විට ඒවායේ මිලද ඉහළ යයි. එවිට කුඹුර කිරීම නැවතත් පාඩු ලබන වැඩක් බවට පත්වේ. කුඹුරු නැවත පුරන් වේ. වී මෝලේ ඉල්ලුමද නැවත අඩුවේ. ජෝකපාලගේ දියණිය ඉල්ලුම වැඩිවූ මුල් කාලයේ උදේ සිට රෑ  වන තුරු වැඩකර පාරිභෝගික ඉල්ලුම සැපිරුවත් කලක් යන විට ඇයට මෙසේ එකදිගට මහන්සි වන එක එපාවේ. සැලූන් එකේ සේවාවන් සඳහා අයකරන මිල වැඩි වන විට ඉල්ලුම නැවත අඩුවේ. අන්තිමේදී නිෂ්පාදනය මුලින් තිබුණු තැනටම වැටේ. භාණ්ඩ හා සේවා වල මිල වැඩිවී ආදායම් වැඩිවූ ප්‍රමාණයටම වියදම්ද වැඩිවීම පමණක් සිදුවේ.

සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වලින් මෙන්ම රාජ්‍යමූල ප්‍රතිපත්ති වලින්ද වෙන්නේ මෙවැනි දෙයකි. රටේ මුදල් ගැවසීම වැඩි කර භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම වැඩි කළ විට මුලදී නිෂ්පාදකයින් දිරිමත් වී සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන මට්ටමට වඩා වැඩි නිෂ්පාදනයක් කරයි. එහෙත්, මෙසේ තමන්ගේ සාමාන්‍ය ධාරිතාවට වඩා වැඩියෙන් කෙනෙකුට (හෝ යන්ත්‍රයකට) තාවකාලිකව වැඩ කළ හැකි වුවත් එය දිගින් දිගටම කළ නොහැක. එක්තරා සීමාවකට පැමිණි විට නිෂ්පාදනය තවදුරටත් වැඩි නොවේ. සාමාන්‍ය ධාරිතාවට වැඩියෙන් දිගටම වැඩකිරීම නිසා ජෝකපාලගේ දුව අසනීප වීමටත්, වී මෝලේ යාන්ත්‍රික දෝෂ ඇති වෙන්නටත් පුළුවන. එවිට නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමටත් වඩා අඩුවී ආර්ථිකය කඩා වැටෙන්නටත් පුළුවන. මේ නිසා දිගින් දිගටම මුදල් සැපයුම තවතවත් වැඩිවුණොත් ඉල්ලුමට ගැලපෙන සැපයුමක් නැති නිසා මිල ඉහළ යාමක් පමණක් සිදුවේ.

දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වන්නේ නිෂ්පාදන ධාරිතාව වැඩිවීමත් සමඟය. එහෙත්, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම මහ බැංකුවට හෝ රජයට සෘජුවම කළ හැකි දෙයක් නොවේ. එය සිදුවන්නේ තාක්ෂණ දියුණුව සමඟය. වැඩි අස්වැන්නක් ලබාදෙන වී වර්ග බිහි කරගත් විට ජෝකපාලගේ කුඹුරු කෑල්ලෙන් වුවත් වියදම් ආවරණය වන වැඩි අස්වැන්නක් ගන්නට පුළුවන. වඩා කාර්යක්ෂම වී මෝලක් ගත් විට කෙටි කලකින් වැඩි වී ප්‍රමාණයක් සහල් කළ හැකිය. අළුත් උපකරණ භාවිතයෙන් ජෝකපාලගේ දුවටත් කෙටි කාලයකින් වැඩි පාරිභෝගික පිරිසකට සේවා සැපයිය හැකිය.

තාක්ෂනය අළුත් කරගැනීමට පර්යේෂණ සිදු කළ යුතුය. මෙය කල් ගතවන, වියදම් අධික, අවදානම් සහිත කටයුත්තකි. ඇමරිකාව වැනි රටක ආර්ථිකයක් ඉදිරියට යන්නේ හැම වසරකම පර්යේෂණ කර, තාක්ෂණය අලුත් කර ගැනීමෙන් ඵලදායිතාව ඉහළ නංවා ගන්නා නිසාය. මෙය අසීරු කාර්යයක් නිසා දියුණු ආර්ථිකයක නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරගත හැක්කේ වසරකට 2% පමණ ප්‍රමාණයකින් පමණි.

කෙසේවුවද, තාක්ෂනය අතින් ඇමරිකාවට වඩා බොහෝ පසුපසින් සිටින චීනය, ඉන්දියාව හෝ ලංකාව වැනි රටකට පර්යේෂණ සඳහා මුදල් වැය නොකර වෙනත් රටක් විසින් දැනටම සොයාගෙන ඇති තාක්ෂණයන් වෙත මාරුවීමේ හැකියාව ඇති නිසා ඉහළ ආදායම් මට්ටමට ළඟා වනතුරු 8-10% මට්ටමේ ආර්ථික වර්ධනයක් වුවද පවත්වා ගැනීම බැරිදෙයක් නොවේ. සාමාන්‍යයෙන් දියුණු රටවල ඇති තාක්ෂනය නොදියුණු රටවල් කරා පැමිණෙන්නේ බහුජාතික සමාගම් සහ වෙනත් සෘජු විදෙස් ආයෝජන හරහාය. පළමුව එසේ පැමිණෙන තාක්ෂනය පසුව දේශීය ව්‍යවසාය වෙතද කාන්දු වේ.

රජයකට හෝ මහ බැංකුවට රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට සෘජුව මැදිහත් විය නොහැකි වුවත් විදෙස් ආයෝජන හා දේශීය පර්යේෂණ දිරිමත් කිරීම මඟින් ඒ සඳහා වක්‍ර ලෙස දායක විය හැකිය.

Monday, January 4, 2016

මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර හතකට අධික කාලයක් පුරා පවත්වාගෙන ගිය ලිහිල් මුදල් ප්‍රතිපත්තියෙන් ඉවත් වී දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වී තිබේ. මහ බැංකුව විසින් පසුගිය බදාදා නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය අනුව, 2016 ජනවාරි මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 6% සිට 7.5% දක්වා 1.5%කින් ඉහළ දමා තිබේ. එහෙත්, ප්‍රතිපත්ති පොලී අනුපාතික වල වෙනසක් කර නැත.

රටක මහ බැංකුවක ප්‍රධානම කාර්යය වන්නේ අදාළ රටේ ජාතික මුදල් ඒකකයේ අගය සුරක්ෂිත කිරීමයි. මිල ස්ථායීතාව පවත්වාගැනීම කියන්නේද මෙයටය. ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ යම් රටක උද්ධමනය 'අවශ්‍ය ප්‍රමාණයට' වඩා වැඩි වන්නට ඉඩ නොදී ස්ථාවරව පවත්වා ගැනීමයි. උද්ධමනය මහ බැංකුව මඟින් නිදහස් කරන මුදල් ප්‍රමාණයට කෙලින්ම සම්බන්ධ නිසා මුදල් සැපයුමට තිරිංග යෙදීමෙන් උද්ධමනය පාලනය කිරීමට පුළුවන. දැඩි මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ මෙසේ ආර්ථිකයට මුදල් ගලා ඒම සීමා කරන ප්‍රතිපත්තියකි. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ එසේ මුදල් ගලා ඒම දිරිමත් කරන ප්‍රතිපත්තියකි.

රටක ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට යන්නේ නිෂ්පාදනය වැඩිවීමෙනි. නිෂ්පාදනය වැඩි කිරීමටනම් එක්කෝ වැඩි වැඩියෙන් මූලික සම්පත් ලැබිය යුතුය. උදාහරණයක් ලෙස, සවුදි අරාබි ආර්ථිකය ඉදිරියට යන්නේ සවුදියේ තෙල් ලිං වල තවමත් හොඳින් තෙල් උනන නිසාය. ඒත්, හැම රටකටම හැම කාලයකම මෙවැනි ස්වීප් ඇදෙන්නේ නැත. දිගුකාලීනව බොහොමයක් ආර්ථිකයන් වර්ධනය වෙන්නේ ඵලදායීතාව දිගින් දිගටම ඉහළ නංවා ගැනීම නිසාය. මෙතැනදී,  ඵලදායීතාව කියා කියන්නේ දැනට තිබෙන මූලික සම්පත් වලින්ම වැඩි අගයක් ඇති නිෂ්පාදන සිදුකිරීමයි. මෙය සිදු කළ හැකි වන්නේ තාක්ෂණ දියුණුවේ උපකාරයෙනි. ඒ හැරුණු විට, රාජ්‍යමූල හෝ මුදල් ප්‍රතිපත්ති මඟින් දිගුකාලීනව සෘජු ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැක.

දිගුකාලීනව ලොකු දෙයක් කළ නොහැකි වුවත්, මුදල් හා රාජ්‍යමූල ප්‍රතිපත්ති මඟින් රටක කෙටිකාලීන ආර්ථික වර්ධනයට බලපෑමක් කළ හැකිය. ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් පොම්ප කර ආයෝජන හා පරිභෝජන වියදම් තාවකාලිකව දිරිමත් කිරීම මඟින් (කෘතිමව වියදම් වැඩි කරවීම මඟින්) ආර්ථික වර්ධනය තරමක් වැඩි කරගැනීමටත්, රැකියා වියුක්තිය අඩු කරගැනීමටත් පුළුවන. එහෙත්, මෙය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ආයෝජනය හෝ පරිභෝජනය වැඩිකිරීමට නිෂ්පාදනය වැඩිවීමක් සිදු විය යුතුය. නිෂ්පාදනය වැඩිවීමක් සිදු නොවන්නේනම් රටේ මුදල් වැඩි වුණත්, වැඩි වන ඉල්ලුමට ගැලපෙන තරමේ සැපයුමක්  සිදු නොවන නිසා අවසානයේදී සිදුවන්නේ මිල මට්ටම වැඩිවීම (උද්ධමනය) පමණි. ඒ නිසා, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුත්තේ යම් රටක නිෂ්පාදන ධාරිතාව තිබියදී අවශ්‍ය තරම් ඉල්ලුමක් නොතිබීම නිසා ධාරිතාවේ මට්ටමට නිෂ්පාදනයක් සිදුනොවන විටය. පසුගිය කාලයේ ඇමරිකාවේ තිබුණේ එවැනි තත්ත්වයකි.

2008 වසරේ ඔක්තෝබර් මස සිටම මහ බැංකුව විසින් පවත්වාගෙන ගියේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියකි. මහ බැංකුව මෙසේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමෙන් පෙනී ගියේ අදාළ කාලය තුළ මහ බැංකුවේ ස්ථාවරය අනුව උද්ධමනය තර්ජනයක් නොවූ බවයි. එමෙන්ම, රටේ නිෂ්පාදන ධාරිතාව නිෂ්පාදනය පැවති මට්ටමට වඩා වැඩි බවයි.

කොළඹ පාරිහෝගික මිල දර්ශකයේ වැඩිවීම අනුව මේ කාලය තුළ උද්ධමනය මෙසේ විය.
2009- 5.0%
2010- 6.8%
2011- 4.9%
2012- 9.2%
2013- 4.7%
2014- 2.1%
2015- 2.8%

මේ දත්ත අනුව, සමස්තයක් ලෙස ගත් විට මේ කාලය තුළ උද්ධමනය අඩු මට්ටමක පැවතී ඇත. ඒ නිසා ඒ කාලය තුළද රුපියලේ වටිනාකම අඩුවුනත් එය සිදුවුනේ සෙමිනි. ලංකාවේ වෘත්තීය සමිති, මාධ්‍ය හා රජයට සම්බන්ධ නැති දේශපාලන පක්ෂ මෑත දශක කිහිපය තුළ උද්ධමනය ප්‍රශ්නයක් ලෙස දැක ඇත්තේ එය 15% මට්ටමටවත් වැඩි වූ විටය. තනි අංකයේ උද්ධමනයක් ලංකාවේදී නරක දෙයක් ලෙස සැලකෙන්නේ නැත. අනෙක් අතට මහ බැංකුවේ ප්‍රකාශිත දිගුකාලීන ඉලක්කය උද්ධමනය 4-6% සීමාවේ රඳවා ගැනීමයි. මේ අනුව, අදාල කාලයේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තේරුම් ගතහැකිය.

එමෙන්ම, 2014 මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය වැඩි වී ඇත්තේ මෙසේය.
2009- 3.5%
2010- 8.0%
2011- 8.2%
2012- 6.3%
2013- 7.2%
2014- 7.4%

මේ සංඛ්‍යා නරක සංඛ්‍යා නොවේ. ඒ අනුවපෙනී යන්නේ පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට උදවු වී ඇති බවය.

දැන් මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් වෙත මාරු වී ඇත. මෙමඟින් ආර්ථික වර්ධනයට බාධා කෙරේ. ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙවැනි තීරණයක් ගන්නට වෙන්නේ එසේ නොකළහොත් සිදුවන හානිය ඊට වඩා වැඩි බව පෙනෙන විටය.

මෙසේ සිදුවිය හැකි ලොකු හානිය කුමක්ද? උද්ධමනය දැනටනම් ඇත්තේ පහළ මට්ටමකය. එහෙත්, ඉදිරියේදී උද්ධමනය වැඩිවීමේ ලකුණු මහ බැංකුව විසින් නිරීක්ෂණය කර තිබේ. මෙයට එක් හේතුවක් වන්නේ පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නිසා මේ වන විට අවශ්‍ය මට්ටමත් ඉක්මවා මුදල් සැපයුම ප්‍රසාරණය වීමයි. අනෙක් අතට, ඩොලරයේ අගය ඉහළ යාම නිසා ආනයනික භාණ්ඩ වල මිල වැඩිවීමේ බලපෑමද උද්ධමනය වැඩි වීමට හේතු විය හැකිය. මෙයට අමතරව, මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම මඟින් ප්‍රාග්ධනය රටෙන් පිටතට ගලායාම සීමා කිරීමටද අපේක්ෂා කරන බව පෙනේ.

(Image: www.livescience.com)

Friday, January 1, 2016

සතපහක උපත

සමහර දේවල් වල සතපහක වටිනාකමක් නැත. ලංකාවේ සතපහත් එවැනි දෙයකි. ලංකාවේ සතපහ මේ වන විට පත් වී ඇති තත්ත්වය එසේ වුවද, මේ සතපහට උජාරු අතීතයක් තිබේ. සතපහ බිහි වූ කාලයේදී තුට්ටුවක් නොවටිනා දේවල් අතර සතපහක් හෝ වටිනා දෙයක් යනු වටිනා දෙයකි.

ඉකොනොමැට්ටාගේ යාළුවෙකුට ඒ යාළුවාගේ පාසැල් යාළුවන් ආදරයට ඇමතුවේ සතපහ යනුවෙනි. ඒ, ඉකොනොමැට්ටාගේ යාළුවාගේ වටිනාකම ඒ දිනවල සතපහක වටිනාකමට සමාන වූ නිසා නොවේ. හදිසියේවත් රවුමට තිබුණානම් දෙවරක් නොසිතා හතරැස් කරන්නට හිතෙන ඔහුගේ හතරැස් මූණේ ඒ තරම් වටිනාකමක් පසුකාලීනව හඳුනාගත් අප ඇතුළු කාටවත් පෙනුණේ නැත. ඔහුට මෙසේ ආදරයට ඇමතුවේ සතපහක ලෝහ වටිනාකම සතපහකට වැඩි වූ නිසා සතපහේ කාසි උණුකර ඇණ හැදීම ප්‍රශ්නයක් වී තිබුණු මේ කාලයේ අපේ පොර ලාබෙට හදා ගත හැකිව තිබුණු හොඳම ඇණයක් වී සිටි නිසාද නොවේ. යාළුවාගේ ජපන් පැණි කොමඩු ගෙඩියක් වැනි පැණි බේරෙන හතරැස් මූණ නිසාය.

(Image: http://www.kcci.com/news/check-out-this-hot-food-trend-square-watermelons/26695364)

සතපහේ විශේෂත්වය වුණේම මේ හතරැස් හැඩයයි. ලංකාවේ මෑත කාලයේදී නිකුත් කෙරුණු එකම හතරැස් කාසිය සතපහයි. සතපහේ ලෝහයත්, ඒ නිසාම වර්ණයත්, රාජ්‍ය මුද්‍රාව වගේම රටේ නමත් වෙනස් වෙද්දී මේ හතරැස් හැඩය පමණක් සෑහෙන කාලයක් වෙනස් නොවී තිබුණේ අපේ පොර පහු වී හරහට උස යනවිට ඔහුගේ සුන්දර හතරැස් මූණ රවුම් නොවී තිබුණු ආකාරයටමය. දවාලෙ පායන චන්ද්‍රයා රෑට බැසයන්නට පෙර හතරැස් කිරීමට වුවත් හැකියාවක් තිබුණු ඔහුගේ යාළුවන් කිසිවෙකුටත් පොරගේ හතරැස් මූණේ හතරැසනම් එක අංශකයකින් හෝ වෙනස් කරන්නට බැරි විය.

(Image: http://dawgama.deviantart.com/art/Square-Moon-119094851)

අපේ පොරගේ හතරැස් මුහුණට රවුම් මුහුණක් තිබුණු ඔහුගේ පෙම්වතිය පුරුදු වී සිටියාක් මෙන් සතපහේ කාසියේ හතරැසටද අප හුරු වී සිටියත් අපේ සතපහ උපත ලැබුවේ මේ හතරැස අත මිට මොලවාගෙන නොවේ. මුලින්ම, මෙලොව එළිය දුටු සතපහේ කාසියට තිබුණේ ඉකොනොමැට්ටාගේ අළුත් ප්‍රොෆයිල් මූණ වැනි රවුම් මූණකි. සතපහ මූණ හතරැස් කරගත්තේ වයස විසිඑකක් වී වැඩිහිටියෙකු වෙන කාලයේදීය.

සතපහේ කාසියේ ඉතිහාසය ලංකාවේ රුපියල් සත භාවිතයේ ඉතිහාසය තරමටම පැරණිය. සතපහේ කාසියක් මුලින්ම නිකුත් කෙරුණේ 1870 වසරේදීය. ඒ සමඟ නිකුත් කෙරුණු කාසි කිහිපය අතරින් වටිනාම කාසිය වූයේ සතපහයි.


මේ තියෙන්නේ 1870දී එසේ නිකුත් කළ සතපහේ කාසියයි. මේ කාසිය ඇතුළු කාසි කිහිපයක් මුලින්ම නිකුත් වන්නේ 1869 ජූනි මස 18 දාතමැති ඉංග්‍රීසි රජයේ ප්‍රකාශනයක් (proclamation) අනුවය. එහෙත්, මේ ප්‍රකාශනය මඟින් රුපියල් හා සත ලංකාවේ වලංගු නිත්‍යානුකූල මුදල් ඒකකය බවට පත් වන්නේ නැත. එය සිදුවන්නේ 1871 මැයි මස 23 දාතමැති ප්‍රකාශනයක් අනුවය. මෙමඟින් රුපියල් හා සත 1872 ජනවාරි මස පළමු දින සිට ලංකාවේ වලංගු මුදල් ඒකක බවට පත් විය.

එදා මෙදාතුර ගතවුණු හරියටම වසර 144ක කාලය තුළ, කාසි හා නෝට්ටු වල බාහිර ස්වභාවයේත්, දේශීය හා බාහිර වටිනාකම් වලත් සිදුවුණු වෙනස්වීම් හැරුණු විට, මුදල් ඒකකයේ මූලික ආකෘතියේ වෙනස්කම් රහිතව රුපියල් හා සත ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස පැවතී ඇත. එය තවත් වසර ගණනාවක් එලෙසම පවතිනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු!