Sunday, February 24, 2019

සංචිත අනුපාතය තවත් පහළට...


පසුගිය සතියේ පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රැස්වීමේදී, මාර්තු 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වාණිජ බැංකු වල තැන්පතු මත වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5% දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මීට පෙර පසුගිය වසර අවසානයේදී මේ අනුපාතය 7.5% මට්ටමේ සිට 6% මට්ටම දක්වා අඩු කළා. මා හිතන විදිහට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉතිහාසයේ කිසි දිනක 5% මට්ටමට අඩු කර නැහැ.

වාණිජ බැංකු වල තිබෙන තැන්පතුකරුවන්ගේ මුදල් වලින් යම් අවම ප්‍රතිශතයක් ණය සේ නැවත නිකුත් නොකර මහ බැංකුවේ රඳවා තැබිය යුතුයි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියා කියන්නේ එයටයි. මේ අනුපාතය පාලනය කිරීම මගින් රටේ මුදල් සැපයුම පාලනය කළ හැකියි.

බැංකු වලින් ණය සේ නිකුත් කරන මුදල් වලින් වැඩි ප්‍රමාණයක් කවුරු හෝ විසින් වියදම් කරන නිසා නැවතත් බැංකු පද්ධතිය තුළටම ආපසු එනවා. එවිට බැංකුවකට එම මුදල් නැවතත් ණය සේ නිකුත් කළ හැකියි. මේ අනුව, එකම රුපියල බැංකු විසින් කිහිප වරක්ම ණය සේ නිකුත් කරනවා. මෙය හඳුන්වන්නේ මුදල් ගුණනය කිරීම ලෙසයි. මහ බැංකුව විසින් නිකුත් කරන රුපියලක් හේතුවෙන් රටේ මුදල් සැපයුම කොපමණ ඉහළ යනවාද කියන එක තීරණය වන්නේ මේ ආකාරයට මුදල් ගුණනය වන අනුපාතය හෙවත් මුදල් ගුණකය මතයි. මුදල් ගුණකය තීරණය වන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මතයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ මුල් කාලයේදී මහ බැංකුවට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමිය හැකි අවම සීමාවක් තිබුණා. ඒ අනුව, මුල් කාලයේදී, බැංකු ජංගම ගිණුම් ශේෂයෙන් 10%ක් හා ඉතිරි කිරීම් ගිණුම් ශේෂයෙන් 5%ක් හෝ මහ බැංකුව විසින් නියම කරන ඊට වඩා වැඩි අනුපාතයක් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාපිත තැන්පතු සේ රඳවන්න වාණිජ බැංකු වලට සිදු වුනා.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%ක් කියන එකෙන් අදහස් වෙන්නේ වාණිජ බැංකුවක් වෙත තැන්පතු සේ පැමිණෙන රුපියල් 100කින් ණය සේ නිකුත් කළ හැක්කේ රුපියල් 90ක් පමණක් බවයි. මේ ණය නැවතත් තැන්පතුවක් සේ බැංකු පද්ධතිය තුළට පැමිණි විට එයින් 90% එනම් රුපියල් 81ක් නැවතත් ණය සේ නිකුත් කළ හැකියි. මේ ක්‍රියාවලිය කෙළවර වෙන්නේ රුපියල් 100 මෙන් කිහිප ගුණයක් ණය සේ නිකුත් කිරීමෙන් පසුවයි.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10% සිට 5% දක්වා පහත හෙළූ විට පළමු වටයේ නිකුත් කරන ණය ප්‍රමාණය රුපියල් 95 දක්වාත්, දෙවන වටයේදී රුපියල් 90.25 දක්වාත් ආදී වශයෙන් ඉහළ යනවා. ඒ කියන්නේ මුදල් ගුණකය ඉහළ යනවා.

රටක ආර්ථිකයට අළුත් මුදල් නිකුත් කිරීමේ හැකියාව තිබෙන්නේ මහ බැංකුවටයි. එය අපි සල්ලි අච්චු ගැහීම කියා හඳුන්වනවා. ඒ ක්‍රියාවලිය ගැන මා වරින් වර විස්තර කර තිබෙනවා. මේ විදිහට මහ බැංකුව විසින් අලුතින් නිකුත් කරන මුදල් රටේ බැංකු පද්ධතිය විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා ගුණනය කරන නිසා, මහ බැංකුව අච්චු ගහන සෑම රුපියලකින්ම මුදල් සැපයුම රුපියල් ගණනාවකින් ඉහළ යවනවා. උදාහරණයක් විදිහට මුදල් ගුණකය 5නම් මහ බැංකුව රුපියල් බිලියනයක් අච්චු ගැසූ විට මුදල් සැපයුම රුපියල් බිලියන 5කින් ඉහළ යනවා. මුදල් ගුණකය 7නම් මහ බැංකුව රුපියල් බිලියනයක් අච්චු ගැසූ විට මුදල් සැපයුම රුපියල් බිලියන 7කින් ඉහළ යනවා.

මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළූ විට වාණිජ බැංකු වලට මහ බැංකුවේ සංචිත සේ රඳවා තිබුණු මුදල් බිලියන ගණනක් නිදහස් කරගන්න ලැබෙනවා. ඉන් පසු එම මුදල් ණය සේ නිකුත් කිරීමත්, ඒ ණය නැවත බැංකු පද්ධතියට ආපසු පැමිණි විට නැවත නැවතත් නිකුත් කිරීමත් හරහා රටේ මුදල් සැපයුම ඉහළ යනවා. මෙහිදී මහ බැංකුව විසින් අළුතින් මුදල් අච්චු ගැහීමක් සිදු නොවුනත්, දැනට නිකුත් කර තිබෙන මුදල් ප්‍රමාණය ඉහළ අනුපාතයකින් ගුණනය වීම නිසා මුදල් සැපයුම ඉහළ යනවා. එහි බලපෑම උද්ධමනකාරී එකක්.

මේ වෙලාවේ මේ ආකාරයට මුදල් සැපයුම ඉහළ යවන්න මහ බැංකුව පෙළැඹී තියෙන්නේ රටේ දළ ජාතික නිෂ්පාදිතය එහි විභව මට්ටමෙන් පහළට වැටී තිබීම මත පදනම්වයි. 2009දී සිවිල් යුද්ධය අවසන් වීමට ආසන්න කාලයේ හා එයින් පසුව ලංකාවේ ආර්ථික වර්ධනය එහි විභව මට්ටම ඉක්මවා ඉහළ ගියා. එවිට, එය ස්වභාවිකවම නැවත නියම පථයට වැටිය යුතුයි. 2013 පමණ සිට එය සිදු වුණා. නමුත්, මේ වන විට එම ස්වභාවික නිවැරැදි වීමෙන් නොනැවතී ආර්ථික වර්ධනය එහි විභව මට්ටමද ඉක්මවා පහත වැටී තිබෙනවා.

(Image: https://www.peakprosperity.com/blog/86445/money-creation-banks-crash-course-chapter-7)

8 comments:

  1. මෙහෙම සංචිත ප්‍රතිශතය අඩු කරපුවහම බැංකු කඩාවැටීමේ අවදානම වැඩි වෙනවද? ණය පොලි අනුපාතිකය ඉහල අගයක පවත්වා ගන්නේ ඇයි? එක ඉදිරියේදී අඩු වෙයිද?

    ReplyDelete
    Replies
    1. //මෙහෙම සංචිත ප්‍රතිශතය අඩු කරපුවහම බැංකු කඩාවැටීමේ අවදානම වැඩි වෙනවද? ණය පොලි අනුපාතිකය ඉහල අගයක පවත්වා ගන්නේ ඇයි? එක ඉදිරියේදී අඩු වෙයිද?//

      ඔබ අසා ඇති ප්‍රශ්න වලට සරල පිළිතුරු දෙන එක අමාරුයි. මේ ප්‍රශ්න මහ බැංකුව හා භාණ්ඩාගාරය වැනි තැන් වල සිටින ප්‍රතිපත්ති සම්පාදකයින්ට පවා තිබෙන ප්‍රශ්න කියා මම හිතනවා. පළමු ප්‍රශ්නයට දෙන්න පුළුවන් සරල පිළිතුර ඔව් කියන එකයි. අවදානම වැඩි නොවනවා කියන්න බැහැ. නමුත්, යම් අවදානම් වැඩිවීමක් වුවත් එය විශාල අවදානමක් කියා මම හිතන්නේ නැහැ. මේ ගැන ප්‍රතිපත්ති සම්පාදකයින් සලකා බලා ඇති බව සැකයක් නැහැ. දෙවන ප්‍රශ්නයත් තරමක් සංකීර්ණයි. රටේ ආර්ථික වර්ධනය අවශ්‍ය පමණට සිදු නොවන විට හරිනම් පොලී අනුපාතික අඩු කළ යුතුයි. නමුත්, රජයේ අයවැය හිඟයත් එක්ක ඒ විදිහට පොලී අනුපාතික අඩු කර අවශ්‍ය පමණ ණය ගන්න බැහැ. දේශීය හා විදේශීය ප්‍රාග්ධනය (ණය) ආකර්ශනය කරගන්නනම් පොලී අනුපාතික ඉහළින් තබාගත යුතුයි. එය ආර්ථික වර්ධනයට හානිකර වුවත් කරන්න දෙයක් නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩක් පේන්න නැහැ. වත්මන් ආණ්ඩුව ඉන්නේ මැතිවරණයකට මුහුණ දීමට සූදානම් වෙමින් බව පැහැදිලියි. ඒ නිසා, ආණ්ඩුවේ වියදම් තවත් වැඩි වී යවය හිඟය ඉහළ යාමේ අවදානමක් හා ඒ නිසා පොලී අනුපාතික තවත් ඉහළ යාමේ ඉඩක් මිස එහි අනිත් පැත්ත පේන්න නැහැ.

      Delete
  2. තේරුම් ගන්න ටිකක් අමාරුයි... ඒත් මං හිතන්නෙ ලියන්න පුලුවන් සරලම විදියට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය කරුණක් ඇත්නම් කියන්න. වැඩිදුර පැහැදිලි කිරීමක් කළ හැකියි.

      Delete
  3. "2009දී සිවිල් යුද්ධය අවසන් වීමට ආසන්න කාලයේ හා එයින් පසුව"
    ලංකාවේ සිවිල් යුද්ධයක් පැවති බව ඔබ කියන්නේ කරුණු කරණා සහිතවද නැතිනම් ඔබේ රටේ ජනමාධ්‍ය එසේ කියන නිසාද ?

    ReplyDelete
    Replies
    1. "LTTE ත්රස්තවාදීන් විසින් ඇතිකරන ලද සිවිල් යුද්ධයක්" කියන එක ලංකාවේ රුපවාහිනී නාලිකා හැම එකක් ම වගේ කියනවා. වෙනසක් විදියට මම දකින්නේ
      "LTTE ත්රස්තවාදීන් විසින් ඇතිකරන ලද" යනුවෙන් කීම පමණකි.

      ඔබ මෙඉන් අදහස් කරන්නේ කුමක්ද ?

      Delete
    2. //ලංකාවේ සිවිල් යුද්ධයක් පැවති බව ඔබ කියන්නේ කරුණු කරණා සහිතවද නැතිනම් ඔබේ රටේ ජනමාධ්‍ය එසේ කියන නිසාද ?//
      මා කියන්නේ කරුණු කාරණා සහිතවයි.

      Delete
    3. @Joseph,

      The definition of Civil War (Intrastate war in polemology {War studies}) is;

      "War between organized groups within the same state or country. The aim of one side may be to take control of the country or a region, to achieve independence for a region or to change government policies. The term is a kind of a translation of the Latin term "Bellum Civile" which was used to refer to the many kinds of internal wars of the Roman Republic in the 1st century BC.

      (සිවිල් යුද්ධයක් යනු, එකම ජාතික රාජ්‍යයක් හෝ ජන රජයක් හෝ තුල සංවිධානාත්මක කණ්ඩායම් අතර හෝ අල්පතර ලෙසින් පෙරදී එක්සත්ව පැවති ජාතික රාජ්‍යයකින් බිඳුනු රටවල් දෙකක් අතර යුද්ධයක් වෙයි. එක් පාර්ශවයක ඉලක්කය වන්නේ රටෙහි හෝ ප්‍රදේශයෙහි හෝ පාලනය සියතට ගැනීම, ප්‍රදේශයට නිදහස ලබාගැනුම හෝ, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කෙරුම විය හැක. මෙම පදය, ක්‍රිපූ පළමු සියවසෙහි විවිධ රෝමානු ජනරජයේ සිවිල් යුද්ධ හැඳින්වීමට “බෙල්ලුම් චිවීලේ” ලෙසින් භාවිතා කොට ඇත.)

      කෙසේ නමුත් බටහිර යුධ සහ දේශපාලන අර්ථ දැක්වීම්වල අනුව නම් ලන්කාවේදී 'තමිළීළ විඩුතලෛප් පුලිකල්' (දෙමළ ඊළාම් විමුක්ති කොටි) නමැති ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයවන ලද ත්‍රස්තවාදය දශක තුනක කාලයක් පැවති ශි‍්‍ර ලංකාවේ පැවති දික්ගැස්සුණු ගැටුමක් ලෙස සැලකිය හැක.

      ලංකාව තුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ගොන්නට ජනතා විමුක්ති පෙරමුණ ද අයත්වෙති. 1971 රාජ්‍ය විරෝධි කැරැල්ල මෙන්ම 1988-1989 කාලයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඔස්සේ ඔවුන් ජන ජීවිතයට කල බලපෑම් ත්‍රස්තවාදයම වෙයි.

      ජවිපෙ විසින් ඇරඹූ 1971 රාජ්‍ය විරෝධි කැරැල්ල උතුරේ සටන්කාමී දමිළ තරුණයන් මන්මත් කරමින් වඩාඅත් බලසම්පන්න ලෙස දෙමළ ජනතාව තමන් වෙනම ජාතියක් ය යන හැඟීම සහ එම අරමුණ සාධනය කර ගැනීම සඳහා යුධ සටන්කාමීත්වය වෙත පිවිසීම ආරම්භ වුනි. ඒ අනුව 1975 වනවිට යුධවාදී දෙමළ තරුණයන් ආයුධ සන්නද්ධව සංවිධානගත වීම ආරම්භ විය. එම වර්ෂයේදීම යාපනයේ නගරාධිපතිව සිටි නිදහස් පක්ෂයේ ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය කළ අතර එය දෙමළ සටන්කාමී තරුණයන්ගේ පළමු දේශපාලන ඝාතනය විය. එම ඝාතනය කල විසි හැව්‍ රිදි වේළුපිළ්ළඉ පිරපාහරන් නමැත්තා සටන්කාමීන් අතර විශිෂ්ටයකු ලෙස ඔවුන් සිතුවා.

      එකලම උතුරුකරයේ ජන රැල්ල වටහාගත් අවස්ථාවාදී ද්‍රවිඩ සංගමය, ෆෙඩරල් (දෙමළ රාජ්‍ය) පක්ෂය, ලංකා කම්කරු සංගමය එකතු වී 1976 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවීමෙන් දේශපාලන වශයෙන් ද ගැටුම දැල්වූ අතරම 1974 දී යාපනයේ දෙමළ භාෂා පර්යේෂණ සමුළුවට එල්ල වූ මැර ප‍්‍රහාරයත් තරුණයන් නව දෙනෙකු මරුමුවට පත්වීමත් විශාල තරුණයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමත් හරහා දෙමළ දේශපාලන පක්ෂ වඩාත් සටන්කාමී සහ රනකාමී ලෙස දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තුළින් 1976 වඩුක්කොඩෙයි ආසනයේ සම්මේලනයක් කැඳවා දමිළ ජනතාවගේ නිදහස වෙනුවෙන් තනිකර 100% ශුද්ධ ලෙස දමිළයින්ගෙන් සැදුම්ලත් ශුද්ධවූ ඊළාම් රාජ්‍යයක් ඇතිකර ගත යුතු බව ප‍්‍රථම වරට ප‍්‍රකාශ කළා. ඒ අනුව 1970 දශකය මැද භාගයේ සිට 1984 දක්වා උතුරේ සටන්කාමීන් හා දේශපලකයින් උතුරෙ සින්හල ව්‍යාපරිකයින්, සිසුන් හා සින්හල වැසියන් එලවා දැමීමත් නිවාස සහ ව්‍යාපාර ගිනිබත් කිරීමත් සමහරුන්ව මරා දැමීමත් සිදුකලා. එමෙන්ම උතුරේ දමිළ වැසියන් ගත්විට ආරම්භයේ දී මධ්‍යස්ථ දෙමළ දේශපාලඥයින් හා පොලිස් ඔත්තුකරුවන් ඉලක්ක බවට පත් වුනා, ඉන් අනතුරුව 1984 සිට උතුරු නැගෙනහිර දෙපළාතේ මෙනම් ආසන්න අනුරාධපුර පොලොන්නරුව, මොණරාගල මාඅයිම් ආසන්න සිංහල වැසියන් පවුල්පිටින් දහස් ගණනක් සමූල ඝාතනය කිරීම අරඹන අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුරය ආදී ප‍්‍රදේශ ඉලක්ක කොට ගෙන බෝම්බ පුරුවමින් අහින්සක නිරායුධ සිවිල් වැසියන් තවත් දහස් ගනනක් මරාදමමින් ත‍්‍රස්තවාදීන් කි‍්‍රයාත්මක විය.

      ඇල්ෆ‍්‍රඩ් දොරේඅප්පා 1975 දි ඝාතනය කිරීමත් සමඟ උතුරේ ඊළාම් සටන් ආරම්භ විය. 1978 -1983 එල්ටීටීඊ හා ටෙලෝ කණ්ඩයම් දෙකම යාපනයේ පොලිස් නිලධාරීන් හා ඔත්තුකරුවන් ඝාතනය නොනවත්වාම සිදු කරන ලදී. යුද්ධය මදින් මද වර්ධනය වූ අතර කොළඹ තුළ ත‍්‍රස්තවාදී කි‍්‍රයා ඇතිකරන තත්වයට ලත් විය.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.