Thursday, January 17, 2019

මහබැංකුව කෝටි නමදාහක් සල්ලි අච්චු ගහයි!


ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන පරිදි "2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා" මහ බැංකුව විසින් රුපියල් බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා. "ජාතික අවශ්‍යතාව සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා" මහා භාණ්ඩාගාරය විසින් කර ඇති මෙම ඉල්ලීම සඳහා මුදල් මණ්ඩලය විසින් එකඟතාව පළ කළ බවයි එම නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.

සාමාන්‍යයෙන් මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම කියන එකෙන් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමයි. එසේ නැතිව, පැරණි මුදල් නෝට්ටු වෙනුවට අළුත් මුදල් නෝට්ටු නිකුත් කිරීම මුදල් අච්චු ගැසීමක් ලෙස සැලකෙන්නේ නැහැ. රටේ මුදල් ඉල්ලුම සපුරමින් සැලසුම් සහගතව බැංකු පද්ධතිය හරහා ක්‍රමිකව අලුත් මුදල් සංසරණයට එකතු කිරීමත් මුදල් අච්චු ගැහීමක් වුවත් එය පාලනයක් ඇතිව සිදුවන්නක්. මේ නිවේදනය අනුව පෙනෙන පරිදි මේ රුපියල් බිලියන 90 මහ බැංකුවේ මුදල් ප්‍රසාරණ සැලසුමක කොටසක් නෙමෙයි. රජයේ ඉල්ලීම මත "නොකර බැරි නිසා" කරන්නක්. ඔය සල්ලි අච්චු ගැහිල්ල මැතිවරණයකට යන්න බලාගෙන කරන වැඩක් වෙන්නත් පුළුවන්. 

මහ බැංකුව විසින් මේ ආකාරයට  මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම හෝ බලකිරීම මත මුදල් අච්චු ගැසීම අලුත් දෙයක් නෙමෙයි. පසුගිය ආණ්ඩුව බලයට පත් වූ මුල් දෙවසරක පමණ කාලය තුළත් මේ වැඩේ ජයටම සිදුවුණා. එහි ප්‍රතිඵලයක් විදිහට 2006 පමණ වන විට රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගියා. රාජපක්ෂ ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීම සීමා කර විශාල ලෙස විදේශ ණය ගන්න පෙළඹුනේ එයින් පසුවයි.

ආණ්ඩුවක් ආදායමට වඩා වියදම් කරන තාක් කල් ඒ අඩුව කොහෙන් හෝ පියවා ගන්නත් වෙනවා. එසේ කිරීමේදී දේශීය වෙළඳපොළෙන් හෝ විදේශීය වෙළඳපොළෙන් ණය ගන්න සිදු වෙනවා. දේශීය ණය වැඩි වැඩියෙන් ගනිද්දී ඒ විදිහට ණය ගැනීම වඩ වඩා අසීරු වෙනවා. එවිට පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ අරින්න වෙනවා. පොලී අනුපාතික ඉහළ යන විට රජයේ වියදම් තවත් ඉහළ ගිහින් අයවැය හිඟය තවත් පුළුල් වෙනවා.

මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධනය සාමාන්‍ය මට්ටමට වඩා පහත වැටිලයි තිබෙන්නේ. පහුගිය කාලයේ ආර්ථික වර්ධනය රටට දරා ගත නොහැකි මට්ටමකට ඉහළ ගිහින් තිබුණු නිසා යම් නිවැරදි වීමක් අවශ්‍යව තිබුණත් දැන් ඒ නිවැරදි වීම සිදු වෙලා ඉවරයි. ආර්ථිකය මේ වන විට තිබිය යුතු මට්ටමෙන් පහළට වැටී තිබෙන බව පැහැදිලියි. එහෙම වෙලාවක පොලී අනුපාතික ඉහළ යාමෙන් වෙන්නේ ආර්ථික වර්ධනය තවත් පහළ වැටීමයි. පොලී අනුපාතික ගොඩක් ඉහළ ගියොත් ඇතැම් විට ආර්ථිකය හැකිලෙන්න වුවත් බැරි කමක් නැහැ.

සල්ලි අච්චු ගැහීම මෙයට තාවකාලික "විසඳුමක්". හැබැයි එය තුවාලයක් කහනවා වගේ විසඳුමක්.

භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ සම්ප්‍රදායික අර්ථයෙන් නිකම්ම නිකම් කඩදාසියක්. දැන්නම් කඩදාසියක්වත් නැහැ. ඩේටා බේස් එකක රෙකෝඩ් එකක් විතරයි. මේ කඩදාසියේ නැත්නම් රෙකෝඩ් එකේ ආණ්ඩුව විසින් අනාගතයේ පොලියක් එක්ක කිසියම් මුදලක් ආපහු දෙන බවට වන පොරොන්දුවක් තිබෙනවා. ඒ පොරොන්දුව මත ආණ්ඩුව කාගෙන් හෝ මුදල් අරගෙන ඒ විදිහට ගත්ත මුදල් රටේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට වියදම් කරනවා. 

අපි හිතමු මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තේ රටේ සමාගමක් හෝ පුද්ගලයෙක් විසින් කියලා. ඒ පුද්ගලයා හෝ සමාගම ඒ මුදල උපයාගෙන තියෙන්නේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලයි. ඒ නිසා, රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් නිකම්ම කඩදාසි වුවත්, ඒ කඩදාසි සමඟ හුවමාරු කරගෙන රජයට මුදල් දෙන පුද්ගලයා හෝ සමාගම විසින් ඒ මුදලට සමාන කිසියම් නිෂ්පාදනයක් කරලා තියෙනවා. ඒ නිසා, එවැනි භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් උද්ධමනකාරී වෙන්නේ නැහැ. 

නමුත්, මහ බැංකුව රටේ අනෙක් පුද්ගලයින් හෝ සමාගම් මෙන් මුදල් උපයන්නේ නැහැ. මහ බැංකුව කරන්නේ කිසිදු සැබෑ නිෂ්පාදනයකට දායක නොවී මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමයි. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට යොදවන්නේ මේ මුදල්. මේ වැඩේ ඕනෑ තරම් ලොකුවට කළ හැකියි. රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම වගේම මහ බැංකුව විසින් අලුත් මුදල් නෝට්ටු නිෂ්පාදනය කිරීමත් ඉතා පහසුවෙන් කළ හැකි දේවල්. එය පුද්ගලයෙක් හෝ සමාගමක් විසින් කිසියම් නිෂ්පාදනයක් කර ආදායම් උපදනවා වගේ අමාරු නැහැ. 

මේ ආකාරයට අච්චු ගැසූ සල්ලි ආණ්ඩුව විසින් අත දිග හැර වියදම් කිරීමේ ප්‍රතිඵලය වන්නේ රටේ සංසරණය වන මුදල් ප්‍රමාණයේ තරමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් නොමැති නිසා මිල මට්ටම් ඉහළ යාමයි. නමුත්, රටේ මුදල් ප්‍රමාණය ඉහළ ගොස් මුදලේ වටිනාකම අඩු වී ඇති බව මිනිස්සුන්ට තේරෙන්න කලක් යන නිසා සාමාන්‍යයෙන් උද්ධමනය ඉහළ යන්නේ මුදල් අච්චු ගසා අවුරුදු දෙකකට පමණ පසුවයි. 2004 හා 2005 වසර වල සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස 2006දී ලංකාවේ උද්ධමනය 30% පමණ දක්වා ඉහළ ගියා. ඉන්පසුව, පසුගිය ආණ්ඩුව සල්ලි අච්චු ගැසීම නවත්වා විදේශ ණය වැඩි වැඩියෙන් ගන්න පෙළඹුණා.

විදේශ ණය ගත්තත්, ඒ විදිහට ණය ලෙස ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් රටේ සංචිත වලට එකතු කර ගත්තොත් මිල මට්ටම් ඉහළ යාම හෙවත් උද්ධමනය වහ ගන්න බැහැ. මහ බැංකුව විදේශ ව්‍යවහාර මුදල් මිල දී ගන්නා විට රුපියල් එළියට ඇවිත් මුදල් සංසරණය ඉහළ යනවා. එවිට මිල මට්ටම් වැඩි වෙනවා.

නමුත් විදේශ ණය සේ ලබා ගත් මුදල් සංචිත වලට එකතු කර නොගත්තොත් රටේ සංසරණය වන විදේශ මුදල් ඉහළ යාම නිසා රුපියල ශක්තිමත් වෙනවා. විදේශ ආනයන වඩා ලාබදායී වෙනවා. එවිට ආනයන ඉහළ ගිහින් ආනයන හා අපනයන අතර පරතරයක් හැදෙනවා. සංසරණයේ තිබුණු විදේශ මුදල් ආනයන වෙනුවෙන් එළියට යනවා. විදේශ ආනයන වඩා ලාබ නිසා දේශීය නිෂ්පාදන වැටෙනවා. නමුත්, භාණ්ඩ හා සේවා පිටරටින් එන නිසා රටේ භාණ්ඩ හා සේවා ඉල්ලුම සැපිරෙනවා. තවත් විදිහකින් කිවුවොත් මහ බැංකුව මුදල් අච්චු ගසා නැති නිසා මුදල් සැපයුම වැඩි වෙලා නැතත්, විදේශ ණය ලෙස ගත් මුදලින් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම නිසා රටේ භාණ්ඩ හා සේවා සැපයුම ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටම් පහළ යනවා. ඔන්න ඕක තමයි සරලව පහුගිය ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වුනේ.

පහුගිය ආණ්ඩුව කාලයේ රටේ විදේශ සංචිත ඉහළ ගිය බව කාට හෝ පෙන්වා දෙන්න පුළුවන්. ඇත්ත. නමුත්, ඒ කාලයේ ලබාගත් විදේශ ණය ප්‍රමාණය ඊට වඩා ගොඩක්ම වැඩියි. සංචිත වලට එකතු නොවූ ඒ ණය හරහා වක්‍ර ලෙස සිදුවුනේ කිසිදු වියදමක් හෝ මහන්සියක් නැතිව, නිෂ්පාදනයක්ද නැතිව, රටේ භාණ්ඩ හා සේවා පරිභෝජනය ඉහළ දමන්න හැකි වීමයි. ඒ දවස් වල පෙනෙන්නට තිබුණු සෞභාග්‍යයේ රහස එයයි. ප්‍රශ්නය වන්නේ මේ විදිහට ණයට ගෙන පරිභෝජනය කළ විට එහි වියදම පොලියත් සමඟ පසුව ගෙවන්නට සිදු වීමයි.

පොඩි පොඩි සාධනීය වෙනස්කම් ටිකක් සිදුවුනත් මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුවත් ඔය සෙල්ලම ලොකුවට වෙනස් වුනේ නැහැ. මේ ආණ්ඩුව රජයේ වියදම් යම් තරමකින් අඩු කළා. ආදායම් යම් තරමකින් වැඩි කරගත්තා. ඒත් මේ ආණ්ඩුව දිගටම දිවුවේත් හිඟයක් පවත්වා ගනිමිනුයි. අයවැය හිඟයක් සමඟ දුවන සෑම වසරකදීම රටේ ණය තවතවත් ඉහළ යනවා. ඒ අනුව, මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවත් වසරින් වසර ණය වැඩි වෙන එක දිගටම සිදු වුණා. ඒ වගේම මේ ආණ්ඩුවත් දේශපාලනික හේතු මත ආණ්ඩුවේ වියදම් තවත් ඉහළ නංවන ඇතැම් තීරණ ගත්තා.

අනෙක් පැත්තෙන් ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් ගොඩයාම සඳහා වුවත් මේ ආණ්ඩුවෙන් ප්‍රමාණවත් දෙයක් සිදුවුණේ නැහැ. රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරියත් එය කළේ නොකරම බැරිවෙන වෙලාවල් වලදී පමණයි. මේ ආණ්ඩුව යටතේත් බොහෝ විට සිදු වී තිබෙන්නේ තවත් විදේශ ණය අරගෙන රුපියල අවප්‍රමාණය වීම යම් තරමකින් හෝ පාලනය කරගන්න උත්සාහ කරන එකයි. ඒ වෙනුවෙන් විදේශ සංචිත වැය කිරීම පවා සිදු වෙලා තිබෙනවා. අවසාන වශයෙන් පසුගිය වසර හතරක කාලය ඇතුළත වෙලා තියෙන්නෙත් විදේශ ණය ප්‍රමාණය වගේම දේශීය ණය ප්‍රමාණයත් ඉහළ යාමයි. පසුගිය ආණ්ඩුවේ කාලයට සාපේක්ෂව ණය වර්ධන වේගයේ යම් අඩුවක් පමණයි වෙනසකට කියලා පේන්න තියෙන්නේ.

දැන් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න වෙලා තියෙන්නේ ඇයි?

ආණ්ඩුවට ණය ලෙස ගන්න තරම් මුදල් රටේ දේශීය වෙළඳපොළේ නැහැ. එහෙමනං තිබුණු සල්ලි වලට මොකද වුනේ?

පහුගිය මාස ගණන තිස්සේම මහ බැංකුව විසින් කළේ සංචිත විකුණන එකයි. දේශපාලන අර්බුදය තිබුණු දින පණහ ඇතුළත පමණක් ඩොලර් බිලියනයකට කිට්ටුව විකුණලා තිබුණනේ. කොහොම වුවත් සංචිත විකිණීම පටන් ගත්තේ ඊටත් කලින්. ඔය විදිහට සංචිත විකුණමින් රුපියල කෘතිමව රැකගන්න දැඟලීම තමයි ගොඩක් අවුල් වලට මුල.

මහ බැංකුව විසින් ඩොලර් එකක් එළියට දමන හැම වෙලාවෙම රුපියල් 180ක් විතර ඇතුළට ගන්නවනේ. එතකොට ඩොලර් බිලියනයක් එළියට දමන කොටස රටේ රුපියල් බිලියන 180ක හිඟයක් ඇති වෙනවා. ඉතිං කොහෙද ආණ්ඩුවට ණය ගන්න සල්ලි ඉතුරු වෙන්නේ. අන්තිමට ආණ්ඩුවට ණය දෙන එක මහ බැංකුවටම කරන්න වෙලා. 

ඉදිරි මාස කිහිපය ඇතුළත රෝලක් ගහලා ආණ්ඩුව මහ බැංකුවේ ණය පියවන කතාවකුයි මහ බැංකුවේ නිවේදනයේ තියෙන්නේ. ඒ කොටස පහළ තියෙනවා. 

"ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීම තුළින් ඇති විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිවිපාකයන් සලකා බැලීමෙන් පසු, රජයේ ණය ලබා ගැනීමේ වැඩසටහනේ අපේක්ෂිත මූල්‍යයන ක්‍රියාමාර්ගයන් සාක්ෂාත් කර ගැනීමට හැකිවීමත් සමග පෙබ‍රවාරි මාසයේ දී මෙම ගනුදෙනුවේ කොටසක් ආපසු ගෙවීමටත් ඉතිරි කොටස 2019 පළමු කාර්තුව තුළ ආපසු ගෙවීමටත් රජය විසින් එකඟ වී ඇත."

10 comments:

  1. ඔය කිව්වා විදිහට රජය ගෙව්වේ නැත්තම් මොකක්ද මහබැංකුවට කරන්න පුළුවන්? තනි ඉලක්කමක උද්දමනයක් (5%) පවත්වා ගැනීමේ මහා බැංකුවේ ඉලක්කයට මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ සිදුවුනේ පළමු වතාවට නෙමෙයි. නමුත්, ඔයිට කලින් සද්ද නැතුවම රජයට සල්ලි අච්චු ගහලා දුන්නා මිසක් ඔය වගේ නිවේදන නිකුත් කළ බවක් මතක නැහැ. නිවේදනයක් නිකුත් කිරීමෙන් පෙනෙන්නේ රජය ආපසු ණය ගෙවන බවට සෑහෙන සහතිකයයක් තිබෙන බවයි. ඒ නිසාත්, මේ වෙලාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය ඉතා අඩු මට්ටමක තිබෙන නිසාත් මහ බැංකුවේ උද්ධමන ඉලක්ක මග හැරෙන එකක් නැහැ කියා මම හිතනවා. කොහොම වුනත් රජය ණය ගෙවන්න යන්නේ විදේශ ණයක් අරගෙනයි. ඒ කියන්නේ ප්‍රශ්නය අනාගතයට තල්ලු කරනවා කියන එකයි.

      Delete
  2. මහ ලොකු ආර්ථික කතා නම් තේරෙන්නෙ නෑ.. ඕකට මට තේරෙන එකම විසදුම රටේ භාණ්ඩ හා සේවා නිශපාදනය වැඩි කිරීම නේද? එකම කොස් ගෙඩිය රුපියල් දහයට ගත්තත් සීයට ගත්තත් රුපියලේ වටිනාකම අඩුවෙනව මිසක් කොස් ගෙඩිය ලොකු වෙන්නේ නෑනේ.. ඇයි කිසිම ආණ්ඩුවක් රටේ නිශ්පාදනය වැඩි කරන්න කටයුතු නොකරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔබේ උදාහරණය ඉතාම හොඳ උදාහරණයක්, කමි. කීයක් ගෙවා ගත්තත් කොස් ගෙඩිය එකමයි. ඊළඟ ප්‍රශ්නය ඇයි කිසිම ආණ්ඩුවක් කොස් ගෙඩිය ලොකු නොකරන්නේ කියන එක. සරල පිළිතුර ආණ්ඩුවකට කොස් ගෙඩිය ලොකු කරන්න හැකියාවක් නොමැතිකමයි. ප්‍රායෝගිකව වෙන්නේ එහි අනිත් පැත්තයි. ඒ නිසා, ආණ්ඩුවේ ඔළුගෙඩි මාරු කිරීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ කොස් ගෙඩිය ලොකු කරන්න පොරොන්දු වී එහි හිලවුවට කොස් ගෙඩියෙන් කොටසක් ගැනීමයි. නමුත්, ආණ්ඩුවක් නැතත් මිනිහෙක් ගහට සාත්තු කරන විට කොස් ගෙඩිය ලොකු වෙනවා. කොස් ගෙඩියේ වටිනාකම වැඩි වන තරමට මිනිහෙක්ට කොස් ගෙඩියට සාත්තු කරන්න තිබෙන උනන්දුව වැඩි වෙනවා. කොස් ගෙඩියේ වටිනාකම ඉහළ යන්නේ එහි හුවමාරු වටිනාකම වැඩිවන තරමටයි. හුවමාරු වටිනාකම වැඩි වන්නේ නිදහස් ගනුදෙනු වැඩිපුර සිදුවන තරමටයි. ආර්ථිකයේ කිසිම ගනුදෙනුවක් සිදු වෙන්නේ නැත්නම් ගෙදර පරිභෝජනයට අවශ්‍ය කොස් ටික ගහේ හැදෙන එකෙන් අයිතිකාරයා සතුටු වෙනවා. ඉතුරු කොස් ටික වැල වෙලා වවුලෝ කනවා. නැත්නම් කුණුවෙලා ගහ යට වැටෙනවා.නමුත්, අයිතිකාරයා එය ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ. මොකද ඔහුට අවශ්‍ය තරමට ගහේ කොස් හැදෙනවා. ඒ ඇති. මහන්සි වෙලා වැඩිපුර සාත්තු කළොත් තව කොස් හැදෙයි. නමුත්, ඒ කොස් අන්තිමට අපතේ යන නිසා එය තේරුමක් නැති වැඩක්.

      කොස් ගෙඩිය ලොකු කිරීම සඳහා ධනවාදී විසඳුම වෙන්නේ නිදහස් ගනුදෙනු වලට හැකි තරම් ඉඩ සැලසීමයි. එවිට කොස් ගෙඩි ගහ යට වැටිලා කුණුවෙලා අපතේ යන්නේ නැහැ. කොස් ගෙඩියක් ඔය විදිහටම තව කෙනෙකුගේ ගහ යට වැටී පැල පොල් වෙන පොල් ගෙඩි දෙකක් එක්ක හුවමාරු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔහුට හෝ ඇයට කොස් එක්ක කන්න පොල් ලැබෙනවා. අනිත් කෙනාට පොල් එක්ක කන්න කොස් ලැබෙනවා. නිදහස් ගනුදෙනුවෙන් දෙන්නාටම වෙන්නේ වාසියක්. ඔය වගේ ගනුදෙනු ඉහළ යන විට කොස් ගහේ අයිතිකාරයාට ගහ යට වැටී කුණුවෙන කොස් එක්ක හුවමාරු කරලා හාල්, කරවල, කුරක්කන්, බතල වගේ තවත් දේවල් ලබා ගන්න පුළුවන් වෙනවා. ලෙඩට බේත්, ප්‍රවාහන පහසුකම් වගේ සේවාවන් ලබාගන්නත් පුළුවන්. ඒ නිසා කොස් ගෙඩිය එකම වුනත් එහි වටිනාකම වැඩියි. එවැනි හුවමාරු සිදු නොවනවානම් එහි තිබෙන්නේ තම්බාගෙන කෑමේ වටිනාකම පමණයි.

      ධනවාදී ආර්ථිකයක් ඇතුළේ ඔය ආකාරයට කොස් ගෙඩියක් සමඟ හුවමාරු කර ලබා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන තරමට කොස් ගෙඩියේ වටිනාකමත් ඉහළ යනවා. නමුත්, එක අවස්ථාවකදී තමන් ආශා කරන තමන් සතුව නැති හැම දේම ගන්න ගහේ කොස් මදි වෙනවා. එවිට කොස් ගහේ අයිතිකාරයා කොස් ගහට සාත්තු කරන්න පෙළඹෙනවා. ඒ සාත්තු නිසා කොස් ගෙඩිය ලොකු වෙනවා. නැත්නම් වැඩිපුර කොස් හැදෙනවා. එවිට ඔහුට හෝ ඇයට කලින් ගත්තාට වඩා වැඩිපුර භාණ්ඩ හා සේවා හුවමාරු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ භාණ්ඩ හා සේවා නිපදවන අයට වැඩිපුර කොස් ලැබෙනවා. කාටත් වෙන්නේ වාසියක්.

      ඔය විදිහට කොස් ගහට සාත්තු කරගෙන යද්දී එක අවස්ථාවක් එනවා තවත් සාත්තු කළා කියා ගෙඩි ලොකු නොවන. ඒ අවස්ථාවට ආවට පස්සේ කොස් සමග හුවමාරු කර ලැබෙන දේවල් නිසා ලැබෙන සතුට කොස් ගහට සාත්තු කිරීමේ මහන්සියට වඩා අඩු වෙනවා. එතැනින් කොස් ගහට සාත්තු කිරීම නවතිනවා. මේ සීමාව දන්නේ ගහට සාත්තු කරන පුද්ගලයා. ආණ්ඩුව හෝ වෙන කෙනෙක් ඒ සීමාව දන්නේ නැහැ.

      සමාජවාදී ක්‍රමයට වෙන්නේ එක් එක් පුද්ගලයා කොස් ගහට සාත්තු කළ යුතු ආකාරය ආණ්ඩුව විසින් තීරණය කිරීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව කොස් ගෙඩියකින් කෑල්ලක් ඉල්ලා ගන්නවා. එහෙත් බොහෝ විට ගහට සාත්තු කළ යුතු තරම ගහේ අයිතිකාරයා තරමට ආණ්ඩුව දන්නේ නැති නිසා එක්කෝ අඩුවෙන් නැත්නම් වැඩියෙන් සාත්තු කෙරෙනවා. දෙකෙන්ම වෙන්නේ අවාසියක්. යම් ආකාරයකින් ආණ්ඩුව කොස් ගෙඩිය පොඩ්ඩක් ලොකු කළත්, එහි හිලවුවට ආණ්ඩුවට දෙන්න වෙන කොස් කෑල්ල ඊට වඩා ගොඩක් ලොකුයි.

      Delete
    2. //එකම කොස් ගෙඩිය රුපියල් දහයට ගත්තත් සීයට ගත්තත් රුපියලේ වටිනාකම අඩුවෙනව මිසක් කොස් ගෙඩිය ලොකු වෙන්නේ නෑනේ..//
      මේ උදාහරණයේදී කොස්ගෙඩිය ලොකු වෙලාද නැත්නම් පොඩි වෙලාද කියන එක තීරණය වෙන්නේ අදාළ මුදලේ ක්‍රය ශක්තිය වෙනස් වීම මතයි. කොස් ගෙඩිය දහයේ සිට සීයට යද්දී පොල් ගෙඩියකුත් දහයේ සිට සීයට ගියොත් කොස් ගෙඩිය පරණ කොස් ගෙඩියමයි. නමුත්, පොල් වැඩි වෙලා තියෙන්නේ දහයේ සිට පණහ දක්වානම් දැන් පොල් ගෙඩියක් වෙනුවට පොල් ගෙඩි දෙකක් ගන්න පුළුවන් නිසා අළුත් කොස් ගෙඩිය පරණ කොස් ගෙඩි දෙකක් තරමට වටිනවා. මොකද කොස් ගෙඩිය කොස් ගෙඩියම වුවත් ඒ සමඟ හුවමාරු කර ගත හැකි පොල් ගෙඩිය දැන් ගෙඩි දෙකක් වෙලා. ඔය ආකාරයටම පොල් ගෙඩිය දහයේ සිට දෙසීයට ගියොත් කොස් ගෙඩියේ හුවමාරු වටිනාකම පොල් ගෙඩියේ සිට පොල් බෑයක් දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ කොස් ගෙඩිය පොඩි වෙලා. රුපියල් ගණන මත වෙනස් නොවුනත් හුවමාරු වටිනාකම මත එකම කොස් ගෙඩියේ වටිනාකම වෙනස් වෙනවා. උද්ධමනයක් නැත්නම් රුපියල් වෙනස් මතත් වෙනස් වෙනවා. උද්ධමනය නිසා රුපියල් සීයට කොස් ගෙඩි දහයක් ගන්න තිබුණු පුළුවන් කම කොස් ගෙඩි එකක් දක්වා අඩු වුනා කියන්නේ ආණ්ඩුව ඉතුරු කොස් ගෙඩි නමයම පැහැර ගත්තා කියන එකයි.

      Delete
    3. ඔයිට අමතරව ඔය කොස් ගෙඩිය දිහා පරිසරවාදී දෘෂ්ඨියකින් බලල "හැම දෙයක්ම සල්ලි නෙමෙයි. කොස් ගෙඩියක් ගහ යට වැටුණහම ඒක කාලා ජීවත් වන සත්තු ගැනත් හිතන්න ඕනෑ" කියලා කාට හරි කියන්න පුළුවන්. කවුරුහරි කෙනෙක් එහෙම හිතනවානම් ඔහුට හෝ ඇයට තමන්ට කොස් ගෙඩිය එක්ක හුවමාරු කරලා ලැබෙන පොල් ගෙඩි දෙක කැප කරලා කොස් ගෙඩිය ගහ යට කුණුවෙන්න අරින එකට ධනවාදය බාධාවක් නෙමෙයි. පොල් ගෙඩි දෙක පරිභෝජනය කිරීමෙන් ලැබෙන සතුටට වඩා කොස් ගෙඩිය කුරුල්ලෝ කන එකෙන් ලැබෙන සතුට වැඩිනම් ඔහුට හෝ ඇයට එහෙම කරන්න පුළුවන්. ඒ වගේම බඩගින්නේ ඉන්න කෙනෙක්ට කොස් ගෙඩිය නිකම් දෙන්න හිතනවානම් එය කරන්නත් පුළුවන්. නමුත්, එහෙම කරන්න කැමති නැති කෙනෙකුටත් කොස් ගෙඩිය සත්තුන්ට කන්න දෙන්න කියා බල කරන්න හෝ කන්න නැති කෙනෙක්ට නිකම් දෙන්න කියා බල කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ධනවාදය එක් එක් පුද්ගලයාගේ සතුටට ඉඩ හරින වගේම අනෙක් පුද්ගලයාගේ සතුටට බාධා නොකරන ක්‍රමයක්. ආණ්ඩු මැදිහත් වී කරන්නේ එක් අයෙකුගේ සතුටට බාධා කර තවත් අයෙකු සතුටු කිරීමයි. බොහෝ විට ප්‍රායෝගිකව වෙන්නේ එක් අයෙක් සතුටු කරන්න දෙදෙනෙකු අසතුටු කරන්න වීමයි.

      Delete
    4. ෆඃ.. කොස් උස්මුරුත්තා උනා.. :D රට කරවන එක කොස් දිරවනවටත් වඩා අමාරු වැඩක් නොවැ?

      Delete
    5. "ආණ්ඩු මැදිහත් වී කරන්නේ එක් අයෙකුගේ සතුටට බාධා කර තවත් අයෙකු සතුටු කිරීමයි. බොහෝ විට ප්‍රායෝගිකව වෙන්නේ එක් අයෙක් සතුටු කරන්න දෙදෙනෙකු අසතුටු කරන්න වීමයි."

      සමහර ආණ්ඩු වලට ඒවාගේ වැඩ කරන්න වෙනවා, පැවැත්ම වෙනුවෙන්. හරියට රනිල් සුමන්තිරම්ට පෙඩරල් නොකිය පෙඩරල් දෙනවා වගේ.

      Delete
  3. ලොව ඉහළම මූර්ත පොලී අනුපාතය ලංකාවේ

    http://www.lankadeepa.lk/business/%E0%B6%BD%E0%B7%9C%E0%B7%80-%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%B8-%E0%B6%B8%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA--%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A/9-544298

    මේක පැහැදිලි කරන්න පුලුවන්ද? ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මූර්ත පොලී අනුපාතිකය කියන්නේ නාමික (සාමාන්‍ය) පොලී අනුපාතිකයෙන් උද්ධමනය අඩු කර විට ඉතිරි වන අනුපාතිකය. කාට හෝ 5% පොලියක් ලැබෙද්දී උද්ධමනයත් 5%නම් රුපියල් 100ට 105ක් ලැබුණත් ඒ 105හේ වටිනාකම කලින් 100මයි. ඒ නිසා, ආයෝජකයෙකුගේ සැබෑ ප්‍රතිලාභය වන්නේ මූර්ත පොලී අනුපාතිකයයි. රටක මූර්ත පොලී අනුපාතිකය ඉහළ යන තරමට වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය ආකර්ෂණය වෙනවා. අනික් අතට අවදානම් ඉහළ යන කොට ප්‍රාග්ධනය එන එක අඩු වෙනවා. මේ වෙලාවේ ලංකාවේ මූර්ත පොලී අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක තිබීමෙන් පෙනෙන්නේ ආයෝජකයින් ලංකාවට ණය දීම කොයි තරම් අවදානම් කටයුත්තක් සේ සලකනවද කියන එකයි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.