Friday, May 20, 2016

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (දෙවන කොටස)

මෙම ලිපියේ පළමු කොටස අවසානයේ මා පළ කළ රූප සටහන් දෙකෙන් පෙන්වා දුන්නේ පසුගිය වසර පහළොවක කාලය තුළ ලංකාවේ ආනයන වියදම හා අපනයන ආදායම අතර පරතරය, එනම් වෙළඳ ශේෂය, ඉතා වේගයෙන් පුළුල් වූ ආකාරයයි. පසුගිය 2015 වසර තුළ ලංකාවේ නයන වියදම ඩොලර් මිලියන 18,935 ක් වූ අතර අපනයන ආදායම ලෙස ලැබුණේ ඩොලර් මිලියන 10,505 ක් පමණි. මේ අනුව, වෙළඳ හිඟය ඩොලර් මිලියන 8,430 ක් විය.


අයවැය හිඟය ගැන කතා කරන විට අප කතා කරන්නේ රජයේ ආදායම් හා වියදම් අතර පරතරය ගැනය. රජය දේශීය හෝ විදේශීය ණය ලබා ගන්නේ මේ පරතරය පියවීමටය. රාජ්‍ය ණය තොගය වසරින් වසර ඉහළ යන්නේ නිදහස ලැබූ මුල් කාලයෙන් පසුව සෑම වසරකම ලංකාවේ රාජ්‍ය වියදම් රාජ්‍ය ආදායම් ඉක්මවූ බැවිනි. අවසන් වරට රජයේ ආදායම වියදම ඉක්මවා අයවැය අතිරික්තයක් පෙන්වූයේ 1955දීය.

සිංගප්පූරුව වැනි රටවල බොහෝ විට ඇත්තේ අයවැය අතිරික්තයකි. එසේ සාමාන්‍යයෙන් අයවැය අතිරික්තයක් පවත්වා ගන්නා රටකට ආර්ථිකය කිසියම් අයුරකින් දුර්වල වන 'වැහි කාලයට' පායන කාලයේ සිංදු කියමින් සිටි පලඟැටියාට මෙන් අනුන්ගෙන් කෑම හිඟමනේ යන්නට අවශ්‍ය නොවන්නේ තමන්ගේම ඉතිරි කිරීම් ප්‍රමාණවත් තරම් තිබෙන නිසාය.

වෙළඳ හිඟය යනු අයවැය හිඟය මෙන් රජයේ ආදායම් හා වියදම් වලට පමණක් අදාළ දෙයක් නොවේ. එය පදනම් වන්නේ මුළු රටේම අපනයන ආදායම් හා
ආනයන වියදම් මතය. අයවැය හිඟය හා වෙළඳ හිඟය අතර ඇත්තේ සෘජු සම්බන්ධතාවයක් නොවූවත් ලංකාවේ වෙළඳ හිඟය පිලිබඳ කතාවද අයවැය හිඟය පිලිබඳ කතාවට වඩා ලොකුවට වෙනස් නැත. දැඩි ලෙස ආනයන සීමා කළ 1977දී හැරුණු විට 1967 සිටම ලංකාවේ වාර්ෂික ආනයන වියදම අපනයන ආදායම ඉක්මවීය.

ආනයන වියදම දිගින් දිගටම අපනයන වියදම ඉක්මවනවානම් මේ හිඟය පියවෙන යාන්ත්‍රණයක්ද තිබිය යුතුය. පෙර කී පරිදි, රජයට රුපියල් 'මුද්‍රණය කිරීමට' හෝ බදු මඟින් උපයා ගැනීමට හැකි වුවත් ඒ තරම් පහසුවෙන් විදෙස් විණිමය හිඟය පියවා ගත නොහැකිය. මේ රජය මෙන්ම, පසුගිය රජයයන්ද සෘජු විදෙස් ආයෝජන ගැන කතා කරන්නට කැමතිය. එහෙත්, කතා කළ පලියට සෘජු විදෙස් ආයෝජන එන්නේ නැත. මහජන මුදල් යොදවා ප්‍රවර්ධන වැඩසටහන් කළ පළියට ආයෝජන සිදුවන්නේත් නැත. සාමාන්‍යයෙන් වසරක් තුළ ලංකාවට ලැබෙන සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය වෙළඳ හිඟයට සාපේක්ෂව සොච්චමකි. උදාහරණයක් ලෙස පසුගිය 2015 වසර තුළ ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 681ක් පමණි. මෙය එම වසරේ වෙළඳ හිඟයෙන් 8%ක් පමණි. 

උපාය මාර්ගයක් ලෙස සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා කළ යුත්තේ ආයෝජන සඳහා ගැලපෙන, ආයෝජකයින්ට වැඩිපුර ලාභ ලැබිය හැකි, ආර්ථික වටපිටාවක් සකස් කිරීමයි. එවිට, කිසිදු ප්‍රවර්ධනය කිරීමකින් තොරවම වුවද ආයෝජකයින් පැමිණෙනු ඇත.

සෘජු විදෙස් ආයෝජන ලැබී නැත්නම්, ලංකාවේ වෙළද හිඟය ආවරණය වන්නේ කෙසේද? වෙළඳ හිඟය මඟින් පෙන්වන්නේ භාණ්ඩ වෙළඳපොළේ
සමතුලිතතාවයයි. මෙයට අමතරව ලංකාව සහ විදෙස් රටවල් අතර සේවා වෙළඳාමක්ද සිදුවේ. පසුගිය වසරේ ලැබුණු ශුද්ධ සේවා ආදායම ඩොලර් මිලියන 228කි. කෙසේවුවද, ලංකාවේ සේවා වෙළඳපොළ එතරම් විශාල නැතිවා පමණක් නොව බොහෝ විට පෙර වසරේ පැවතියාක් මෙන් අතිරික්තයක් පෙන්වන්නේද නැත.

ලංකාවේ වෙළඳ හිඟය ප්‍රධාන වශයෙන්ම පියවෙන්නේ මැද පෙරදිග ප්‍රධාන විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ වලිනි. පසුගිය වසර තුළ මෙසේ ලැබුණු  මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 6,193කි. මේ මුදල ඉතා විශාල මුදලක් බව නොකිවමනාය. ලංකාවේ බොහෝ දෙනෙකු භුක්ති විඳින සෞභාග්‍යය ගොඩ නැඟී ඇත්තේ මේ ශ්‍රමිකයින් හිස් ගැසුම් අවදානම් දරමින් උපයන විදෙස් විණිමය මත බව මම පසුව කරුණු සහිතව පෙන්වා දීමට බලාපොරොත්තු වෙමි. සිතන්න! අපේ සමස්ත අපනයන ආදායමම ඩොලර් මිලියන 10,505 ක් පමණක් වන විට විදෙස් ප්‍රේෂණ වලින් ඩොලර් මිලියන 6,193ක් ලංකාවට ලැබේ. අපනයන ආදායමෙන් විශාල කොටසක් නිෂ්පාදන පිරිවැය බැවින් එහි ඇති අතිරික්තය එතරම් විශාල නැත. උදාහරණයක් ලෙස තේ කිලෝවක් විකුණා ඩොලර් තුනක් ලැබෙන විට එහි නිෂ්පාදන වියදම ලෙස ඩොලර් දෙකක් හෝ දෙකයි පණහක් වැය වී තිබිය හැකිය. ඇඟළුම් වල තත්ත්වයද එසේමය. එහෙත්, ප්‍රේෂණ යනු තනිකරම ලංකාවට රටේ ආර්ථිකයෙන් බාහිරව ලැබෙන මුදලකි. ඒ නිසා ගෙවුම් ශේෂයට ඇති බලපෑම සමාන වුවත් මේ ඩොලර් දෙවර්ගය සමාන නැත.

කෙසේවුවද, මෙසේ ලැබෙන ප්‍රේෂණ වලින් අනතුරුවද වෙළඳ ශේෂයේ හිඟය සම්පූර්
යෙන් පියවෙන්නේ නැත. වෙළඳ ශේෂය, ශුද්ධ සේවා ආදායම හා ශුද්ධ ප්‍රේෂණ වල එකතුව ජංගම ගිණුමේ ශේෂයයි. පසුගිය වසරේදී මේ ශේෂය ඩොලර් මිලියන 2,008 ක හිඟයක් විය. පෙර කී පරිදි, සෘජු විදෙස් ආයෝජන මඟින් පියවුණේ එම හිඟයෙන් ඩොලර් මිලියන 681ක් පමණි.

ඉහත තත්ත්වය පසුගිය වසරට පමණක් අදාළ සුවිශේෂී තත්ත්වයක් නොවේ. කලක සිටම ලංකාව මේ විදෙස් විණිමය හිඟයෙන් බැටකයි. එක් පසෙකින් අයවැය හිඟයයි. අනෙක් පසෙන් ගෙවුම් ශේෂ ප්‍රශ්නයයි.

ඉහත ප්‍රශ්න දෙකටම ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ට 'එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු බාවන' විසඳුමක් තිබේ. ඒ අයවැය හිඟය පියවීමට විදේශ ණය ගැනීමයි. රජයට මුදල්ද රටට ඩොලර්ද ලැබේ. වැඩේ ගොඩය! හැබැයි අදටය. හෙට ප්‍රශ්නය තවත් උග්‍ර වේ.

විදේශ ණය පියවීමට විදේශ විණිමය අවශ්‍යය. ඒ නිසා, බදු වැඩි කිරීම වැනි ක්‍රමයකින් රජයේ ආදායම් වැඩි කරගැනීම පමණක් ප්‍රමාණවත් නැත. විදේශ විණිමය සොයා ගැනීමටද අවශ්‍යය. දැන් රටට විදේශ විණිමය අවශ්‍ය වන්නේ ආනයන සඳහා පමණක් නොවේ. රජයේ ණය ගෙවීම සඳහාත් විදේශ විණිමය අවශ්‍යය. මෙය චක්‍රීයව සිදුවෙද්දී ගෙවුම් ශේෂ ප්‍රශ්නය මෙන්ම ණය ප්‍රශ්නයද තවතවත් උග්‍ර වේ. 

"එකක් කඩතොළු මකා ගන්නට ගිහින් මට වුනු කාරියා
දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා"

මගේ පියා නිතර කියන ඔන්න ඔහොම කතාවක් අසා ඇතත් ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නැත.


ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් විට විදෙස් විණිමය හොයා ගැනීම පහසු නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට අවශ්‍ය වන්නේ එවිටය. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන්නේ ණය දීමක්ම නොවේ. විදෙස් විණිමය ලබා දීමකි.

ඔබ බදු වැඩි කර අරමුදල් සොයාගන්න. අපි ඔබට එසේ සොයාගන්නා රුපියල් ඩොලර් කර ගැනීමට උදවු කරන්නම්. හැබැයි තාවකාලිකව!
 

6 comments:

  1. සරල එහෙත් ඉතා පැහැදිලි විග්‍රහයක්. ස්තුතියි.

    ReplyDelete
  2. Apanayana vidamada anayana vidamada.pl refer

    ReplyDelete
  3. පැහැදිලි විස්තරයක්.....

    පොඩි පඩි වලට ගෑණුන්ව රට පටවන එක ප්‍රොමොට් කරන්නෙ නැතුව, ලංකාවේ කලා උපාධිය වගේ ඒවා අඩු කරලා ඒ ප්‍රතිපාදනත්, වෲතිකයන්, පුහුනු ශ්‍රමිකයන් බිහි කිරීම වැනි දේට රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවාසයකත්වය ප්‍රමෝට් කරනව නම මිඩ්ල් ඊස්ට් මාකට් එකෙන් අපේ වෙලද ශේෂය ගොඩ දා ගන්න පුලුවන් වෙයි....

    ඒත් තෙල් මිල බහින හින්දා මිඩ්ල් රිස්ට් වලත් දැන් ජොබ්ස් අඩුයි...

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.