Sunday, October 2, 2016

අධ්‍යාපනය සුබසාධනය කළ යුත්තේ ඇයි?

නිදහස් වෙළඳපොළ ක්‍රමය යටතේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ නිදහස් තේරීමක් යනු ඔහුට හෝ ඇයට වඩාත්ම හොඳ තීරණයයි. එය එසේ වන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට වඩාත්ම හොඳ තේරීම එම පුද්ගලයාට වඩා හොඳින් වෙනත් පුද්ගලයෙකු නොදන්නා බැවිනි. ඒ නිසා කිසියම් වෙළඳපොළක නිදහස් සමතුලිතතාවයට බාධා නොකළ තරමට සමස්තයක් ලෙස සියළු පාර්ශ්වයන්ගේ යහපත උපරිමයක් වන සමතුලිතතාවයක් ඇති වේ. මිල පාලනය, නියාමනය, බදු හෝ සුබසාධනය මඟින් බොහෝ විට සිදුවන්නේ ඉහත ප්‍රසස්ථ තත්ත්වයෙන් මේ සමතුලිතතාවය අපගමනය වීමයි.

කෙසේ වුවද, පාරිභෝගිකයෙකුට තේරීමක් ඇති ඇතැම් වෙළඳපොළවල් වල මේ සාමාන්‍ය තත්ත්වයට වඩා සුවිශේෂී තත්ත්වයක් තිබෙන්නට පුළුවන. අධ්‍යාපනය හා සෞඛ්‍යය යනු එවැනි වෙළඳපොළවල් දෙකකි.

අප වෙළඳපොළෙන් කෙසෙල්ගෙඩියක් හෝ පොල් ගෙඩියක් ගන්නා විට අප ගෙවන මිලට අපට ලැබෙන දෙය ගැන අපට හොඳ අවබෝධයක් තිබේ. ඇඳුමක් තෝරන විට යමෙකු කැමති පාට හෝ මෝස්තරය වඩා හොඳින් දන්නේ එය විකුණන වෙළෙන්දා නොව මිල දී ගන්නා පාරිභෝගිකයාය. මේ වෙළඳපොළවල් වල තොරතුරු අසමමිතිය විශාල ප්‍රශ්නයක් නොවේ.

අප මූලික අධ්‍යාපනය හෝ සෞඛ්‍යය හා අදාළ මිල දී ගැනීම් කරන විට මේ තත්ත්වය බොහෝ විට වෙනස් වේ. මෙහිදී යමෙකුට වඩාත්ම හොඳ තේරීම පාරිභෝගිකයාට වඩා හොඳින් සැපයුම්කරු දැන සිටීමේ ඉඩකඩ ඉතා විශාලය. වඩා හොඳ "දැනුම" ගැන ගුරුවරයා තරමට ශිෂ්‍යයෙකු නොදනී. එමෙන්ම, වඩා හොඳ "ප්‍රතිකාරය" ගැන තබා "ප්‍රතිකාර ගත යුතු රෝගය" ගැන වුවද බොහෝ විට රෝගියාට වඩා හොඳින් වෛද්‍යවරයා දනී. මේ තොරතුරු අසමමිතියෙන් ප්‍රයෝජන ගෙන සිය පාරිභෝගිකයා "රවටා" මූල්‍ය හෝ මූල්‍යමය නොවන වාසියක් ලබා ගැනීමේ හැකියාව ගුරුවරයෙකු හෝ වෛද්‍යවරයෙකු සතුව තිබේ. ගුරුවරුන්ගේ හා වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම ගැන කෙරෙන කතිකාවන් අනෙක් ක්ෂේත්‍ර වලට වඩා වැඩි වන්නේ ඒ නිසාය. කෙසේ වුවද, සැපයුම්කරුවන් අතර තරඟය වැඩි වූ තරමට මේ හැකියාව අඩු වේ. මේ කරුණ යම් තරමකට බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයටද අදාළය. බොහෝ රටවල අධ්‍යාපනය, සෞඛ්‍යය හා මූල්‍ය සේවා සැපයීම නියාමනයකට ලක් කෙරෙනේ ඒ නිසාය.

අධ්‍යාපනය හා විශේෂයෙන්ම හා යම් තරමකට සෞඛ්‍යය හා අදාළ තවත් ගැටළුවක් තිබේ. අධ්‍යාපනය තනිකරම  පෞද්ගලික ආයෝජනයක් වූ විට යමෙකු ඒ සඳහා ආයෝජනය කරන්නේ තමන්ගේ අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ වැය කෙරෙන පිරිවැයට සමාන වන මට්ටම දක්වා පමණි. එහෙත්, මේ මට්ටම සමාජයක් ලෙස ගත් විට ප්‍රසස්ථ ආයෝජන මට්ටම නොවේ. එක් පුද්ගලයෙකුගේ අධ්‍යාපන මට්ටම ඉහළ ගිය විට එහි ප්‍රතිඵල ඔහුට හෝ ඇයට සම්බන්ධයක් නැති අය ඇතුළු තවත් බොහෝ පිරිසකට ලැබේ. උදාහරණයක් ලෙස වෙනත් අයට ලැබෙන මේ වාසි අතර කණ්ඩායම් ලෙස කරන කටයුතු වල කාර්යක්ෂමතාවය වැඩි වීම, අපරාධ අඩු වීම නිසා සමාජය වඩා සුරක්ෂිත වීම වැනි දේ දැක්විය හැකිය. සෞඛ්‍යය හා අදාළවනම් ලෙඩ රෝග පැතිරීම අඩුවීම නිසා ඇතැම් බෝවන රෝග වැළඳීමේ ඉඩකඩ අඩුවීම මෙසේ වෙනත් අයට ලැබෙන වාසියකි.

මෙසේ වෙනත් අයට 'නොමිලේ' ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් නිදහස් වෙළඳපොළ ක්‍රමයක් යටතේ ඒ අය මිලක් ගෙවන්නේ නැත. ඒ නිසා, අධ්‍යාපනය සඳහා නිදහස් වෙළඳපොළක සිදුකෙරෙන ආයෝජන පුද්ගලයෙකු සඳහා ප්‍රසස්ථ මට්ටම වුවත් සමස්ථ සමාජයම සැලකූ විට ප්‍රසස්ථ මට්ටම නොවේ. අධ්‍යාපනය කිසියම් මට්ටමකට සුබසාධනය කිරීම මේ ප්‍රශ්නයට විසඳුමකි.

කෙසේවුවද, නිසි හැදෑරීමකින් අනතුරුව ඉහත මූලධර්මය අනුව ප්‍රසස්ථ මට්ටමට අධ්‍යාපනය සුබසාධනය කළ විට එම ආයෝජනය නැවත අය කර ගැනීම ගැටළුවක් වන්නේ නැත. ක්‍රමය තුළ ස්වයංක්‍රීයවම අදාළ ප්‍රතිලාභ සමාජයට ලැබේ. ඒ නිසා, ඔබ නොමිලේ ලබාගත් දෙය වෙනුවෙන් යමක් කළ යුතුයැයි කිසිවකුට මතක් කරන්නට අවශ්‍ය නොවේ. සුබසාධනයේ වාසිය ලබා ගන්නා අයෙකු පසුකාලීනව කෙතෙක් ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කළද සමාජයට මේ වාසි නොලැබී නොයයි.

යම් හෙයකින් එය එසේ සිදු නොවේනම්, එයින් පෙනෙන්නේ සුබසාධන ආකෘතියේ කිසියම් වරදක් ඇති බවයි. එමෙන්ම, සුබසාධන බරපැන වැටෙන්නේ සමස්ථ සමාජයේ උරමත බැවින් එය සමාජයට වාසිදායකනම් සමාජය විසින් එම පිරිවැය නොදැරෙන්නට හේතුවක් නැත. ඒ නිසා, අධ්‍යාපනය සුබසාධනය කළ යුත්තේ ඇයි යන කරුණ සමාජයට කරුණු සහිතව (සංඛ්‍යාත්මක විශ්ලේෂණයන් සමඟ) පෙන්වාදීම සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින අයට කළ හැකි වඩා ප්‍රතිඵලදායක කටයුත්තකි.


(Image: www.sundaytimes.lk)

2 comments:

  1. //අධ්‍යාපනය හා විශේෂයෙන්ම හා යම් තරමකට සෞඛ්‍යය හා අදාළ තවත් ගැටළුවක් තිබේ. අධ්‍යාපනය තනිකරම පෞද්ගලික ආයෝජනයක් වූ විට යමෙකු ඒ සඳහා ආයෝජනය කරන්නේ තමන්ගේ අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ වැය කෙරෙන පිරිවැයට සමාන වන මට්ටම දක්වා පමණි.//මේක හැමවිටම සත්‍ය කාරණයක් නොවේ . උදාහරණයක් ලෙස වෛද්‍ය උපාදිය ලබාගැනීමට ලංකාවෙන් පිටරට යන අයෙකුට රුපියල් ලක්‍ෂ 10 සිට 25 දක්වා මුදලක් වැයවේ . එහෙත් එම මුදල වෙළඳ ආයෝජනයක් සඳහා යෙදෙව්වොත් ලැබෙන ප්‍රතිලාභයට තරම් වැටුපක් සහ හෝ ආදායමක් ලංකාචේ දොස්තර කෙනෙකුට ලැබීමට ඇති අවස්ඨාව අවමය !

    ReplyDelete
    Replies
    1. හේතු ගණනාවක් නිසා මම එසේ සිතන්නේ නැහැ.
      1. රුපියල් ලක්‍ෂ 10 සිට 25 දක්වා මුදලක් ව්‍යාපාරයක යොදවා හිතන තරම්ම ලොකු ලාභයක් ලබන්න බැහැ. ලංකාවේ ගොඩක් ව්‍යාපාරිකයින් කරන ආයෝජනයට හා ගන්නා අවදානමට සාපේක්ෂව ලැබෙන ලාභය ලොකු එකක් නෙමෙයි. බොහෝ විට එවැනි ලොකු ලාභ ලැබිය හැක්කේ මොනවා හෝ 'සැඟවුණු දෙයක්' තියෙන කෙනෙකුටයි. මේ සැඟවුණු දෙය වීමට වැඩිපුරම ඉඩ තියෙන්නේ ලංකාවේ දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණය සමඟ තිබෙන කිසියම් සම්බන්ධතාවයක්.
      2. මේ මුදල අධ්‍යාපනය සඳහා යොදවන පුද්ගලයින්ට වෙළඳ ව්‍යාපාරයක් සාර්ථකව කිරීමේ කුසලතාවය සාපේක්ෂව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා එවැන්නක ආයෝජනය කිරීම අනිවාර්යයෙන්ම ඇනගැනීමක් බව දන්නවා වෙන්න පුළුවන්.
      3. ජීවිත කාලය තුළ සිදුවන ආදායම් වැඩි වීම සැලකූ විට වෛද්‍යවරයෙකුට රුපියල් ලක්‍ෂ 10 සිට 25 වැනි ප්‍රමාණයක ආයෝජනයක් පියවා ගන්න අසීරු වෙන්න තියෙන්නේ ඉතා සුළු ඉඩක්. (කොහොම වුණත් රජයේ සරසවියක ඉගෙනුම ලබන අයෙකුට කෙලින්ම ලැබෙන වාසියනම් එවැන්නකුට නැහැ.)
      4. ඇතැම් විට මේ වාසිය වෙනත් ආකාරයකින් ලැබෙනවා විය හැකියි. උදාහරණ: ලොකු දෑවැද්දක් ලබාගැනීමේ හැකියාව, සංක්‍රමණය වීමේ ඉඩකඩ පුළුල් වීම.
      5. පසුව ලැබෙන ආදායම ඇත්තටම අඩුවුණත් තීරණය ගන්න වෙලාවේ හිතාගෙන ඉන්න අපේක්ෂිත ආදායම ගොඩක් ලොකු එකක් වෙන්න පුළුවන්.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.