Sunday, July 31, 2016
වැට් වැඩි වන විට බඩු මිල වැඩි වන්නේ ඇයි?
වැට් වැනි බදු වැඩි වන විට බඩු මිල ඉහළ යාම බොහෝ දෙනෙකුට පෙනෙන පරිදි සරල කරුණකි. එහි මහා ලොකු නොතේරෙන දෙයක් බැලූ බැල්මට පෙනෙන්නට නැත. එහෙත්, ඇත්තටම මෙය පෙනෙන තරම්ම සරල දෙයක් නොවේ.
මා පෙර ලිපියකින් පැහැදිලි කර පරිදි කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අළුතින් බද්දක් පැනවූ විට හෝ පවතින බද්දක් වැඩි කළ විට, ඒ බද්දේ බර බොහෝ විට සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා මත නොපැටවී, පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යයි. මෙසේ බෙදී යන අනුපාතය තීරණය වන්නේ අදාළ භාණ්ඩය සඳහා වන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය ප්‍රධාන කරුණු කිහිපයක් මතය. ඒ අනුව, සෛද්ධාන්තිකව අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක මිල බදු ඉහළ දැමීමෙන් පසුවද නොවෙනස්ව පැවතිය හැකිය.
උදාහරණයක් ලෙස කිසියම් වෛද්‍යවරයෙකු විසින් සපයන සේවාවක් සඳහා එම වෛද්‍යවරයාගේ පාරිභෝගිකයින් විසින් දැනට අය කරන මිල වන රුපියල් දහස ගෙවන්නට කැමති වුවත් ඊට වඩා සතයක්වත් ගෙවන්නට සූදානම් නැත්නම්, එම සේවාව සඳහා අය කරන මිල මත පැනවෙන බද්දක බරෙන් කොටසක් සිය පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමේ හැකියාවක් අදාළ වෛද්‍යවරයාට නැත. ඒ නිසා එවැනි වෛද්‍යවරයෙකුට අදාළ බද්දේ බර සම්පූර්ණයෙන්ම දරාගැනීමට සිදුවේ.
රටේ සියළුම (හෝ බොහොමයක්) භාණ්ඩ හා සේවා මත හදිසියේම වැට් වැනි බද්දක් පැනවූ විට හෝ එවැනි බද්දක් වැඩි කළ විට සිදු වන්නේ කුමක්ද?
උදාහරණයක් ලෙස හදිසියේම රටේ සියළු භාණ්ඩ හා සේවා මත 10%ක වැට් බද්දක් පැනවූයේයැයි සිතමු. මේ බද්ද භාණ්ඩ හා සේවාවන්හි මිලට සෘජුවම එකතු වී රටේ බඩු මිල 10%කින් ඉහළ යාමේ හැකියාවක් පවතීද?
මෙය තේරුම් ගැනීමේ පහසුව සඳහා එය එසේ වීයැයි අපි මොහොතකට සිතමු. දැන් කිසියම් පුද්ගලයෙකු විසින් පෙර මිල දී ගත් භාණ්ඩ හා සේවාවන් ඒ අයුරින්ම මිලදී ගැනීම සඳහා ඔහුට හෝ ඇයට 10%ක් වැඩිපුර ගෙවන්නට සිදුවේ. මේ පුද්ගලයාගේ ආදායම නිශ්චිතනම් සහ පෙර එය මුළුමනින්ම වියදම් කළේනම්, මෙසේ වැඩි වූ පිරිවැය හමුවේ මුල් පරිභෝජන මට්ටම පවත්වා ගත හැක්කේ ණය වීමෙන් පමණි.
රටක එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් ගණනාවකට මේ අයුරින් වෙනකෙකුට ණය වී සිය පරිභෝජන මට්ටම පවත්වා ගත හැකිය. එහෙත්, කෙනෙකු රුපියලක් ණයට ගන්නා හැම විටකම රුපියලක් ණයට දෙන්නට අයෙක්ද සිටිය යුතුය. මෙසේ ණය දීම නිසා අත ඇති මුදල් සීමා වන නිසා ඒ පුද්ගලයාට සිය පරිභෝජනය අඩු කිරීමට සිදු වේ. මේ අනුව, රටේ සෑම භාණ්ඩයක හා සේවාවකම මිල එක් වර ඉහළ ගියහොත්, පුද්ගල ආදායම් වෙනස් නොවන පසු බිමක, භාණ්ඩ හා සේවා සඳහා වන සමස්ත ඉල්ලුම අනුපාතිකව අඩු විය යුතුය.
මෙසේ ක්ෂණිකව භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම අඩු වූ විට රටක භාණ්ඩ හා සේවා අතිරික්තයක් ඇති වේ. එවිට, නිෂ්පාදකයෝ මිල අඩු කිරීම මඟින් අළුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වති. ඒ නිසා, වැඩි වූ බද්දේ බර හේතුවෙන් රටේ භාණ්ඩ හා සේවාවන්හි සැලකිය යුතු මිල වැඩි වීමක් සිදු නොවේ. ඒ අනුව, වැට් වැඩි වූ රටේ බඩු මිල අනුපාතිකව වැඩි වේනම්, රටේ සමස්ත ඉල්ලුම නොවෙනස්ව පවත්වා ගත හැකි තරමේ ආදායම් වැඩි වීමක්ද සිදු විය යුතුය.
එය එසේ සිදු වනවාද?
මෙය තීරණය වන්නේ වැඩි කළ වැට් මුදල් හරහා රජය විසින් එකතු කර ගන්නා ආදායම වියදම් කරන ආකාරය අනුවය. උදාහරණයක් ලෙස, ඒ මුදලින් පැරණි විදෙස් ණයක් පියවේනම් රට තුළ එවැනි ආදායම් වැඩි වීමක් නොවේ. එහෙත්, එම මුදලින් රටේ (මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය සේවකයින් වැනි) කිසියම් පිරිසකගේ වැටුප් වැඩි කෙරේනම් හෝ රාජ්‍ය සේවකයින් අළුතින් බඳවා ගැනේනම්, එම පිරිසගේ ආදායම් වැඩි වී මිල දී ගැනීමේ හැකියාව වැඩි වන නිසා සමස්ත ඉල්ලුම ඉහළ ගොස් බඩු මිලද වැඩි වේ. එවිට අවසාන වශයෙන් සිදු වන්නේ මේ පිරිසගේ වැඩි වූ පරිභෝජනය වෙනුවෙන් රටේ ඉතිරි කොටසට සිය පරිභෝජනය අඩු කරන්නට සිදු වීමයි.
වැට් වැඩි කළ විට බඩු මිල ඉහළ යාමට හේතු වන්නේ එම වැඩි කිරීමම නොවේ. රජය විසින් එසේ එකතු කර ගන්නා මුදල් නැවත කිසියම් පිරිසක් වෙත සම්ප්‍රේෂණය වී, ඔවුන්ගේ ආදායම් වැඩි වී රටේ සමස්ත ඉල්ලුමද ඉහළ යාමයි. එහෙත්, කණගාටුවට කරුණ වන්නේ වැට් වැඩි කිරීමට එරෙහි වන පිරිස්ම, රජයේ වියදම් වැඩි කරවන ඉල්ලීම්ද දිගින් දිගටම කිරීමයි.
රජය බදු පනවන්නේ සිය වියදම් ආවරණය කර ගැනීමටය. බදු මඟින් මේ වියදම් ආවරණය කර ගැනීම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි. එමඟින් බඩු මිල ඉහළ යා හැකිය.
රජයේ වියදම් එසේම පවතිද්දී ඉහළ දැමූ බද්දක් නැවත පහත හෙළූ විට හෝ ඉවත් කළ විට කුමක් සිදු වේද? මෙය දේශපාලනික වශයෙන් ජනප්‍රිය කටයුත්තක් විය හැකිය. එහෙත්, බද්ද අහෝසි කළ පමණින් එය පැනවීමට මුල් වූ රජයේ ආදායම් වියදම් පරතරය වෙනස් නොවේ. ප්‍රායෝගිකව මේ අඩුව පිරවෙන්නේ එතරම් පාරදෘශ්‍ය ක්‍රමයක් නොවන 'සල්ලි අච්චු ගැසීමෙනි'.
සල්ලි අච්චු ගැසීම හෙවත් මහ බැංකුවට රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලෙවි කිරීම සිදු කර ලැබෙන ආදායම වියදම් කළ විට සිදු වන්නේද රටේ කිසියම් සීමිත පිරිසකගේ ආදායම් වැඩි වී, සමස්ත ඉල්ලුම ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමයි. ඒ නිසා, වැට් බද්ද අඩු හෝ අහෝසි කළ විට සිදු වේයැයි පෙනෙන භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වීම මායාවක් පමණි.
(Image: )
Labels:
අයවැය හිඟය,
උද්ධමනය,
ප්‍රත්‍යස්ථතාවය,
බදු,
මුදල් සැපයුම
Thursday, July 28, 2016
මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමයි!
අද (ජූලි 28) සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් (0.5% බැගින්) පිළිවෙලින්, 7% සහ 8.5% දක්වා ඉහළ නංවා තිබේ. මේ මඟින් අදහස් කරන්නේ රටේ ණය ඉල්ලුම අඩු කර, භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඩු කිරීම මඟින් ඉදිරියේදී ඇති විය හැකි උද්ධමන තර්ජනයට මුහුණ දීමට සූදානම් වීමටය.
නැඟී එන උද්ධමන තර්ජනය මහ බැංකුව විසින් නිවැරදිව හඳුනා ගෙන ඒ සඳහා ගත හැකි ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගයක් ගෙන තිබේ. කෙසේ වුවද, උද්ධමනය තර්ජනයක් බවට පත් වීමට හේතු වූ ප්‍රධාන සාධක වල දිශානතියනම් වෙනස් වන අයුරක් නොපෙනේ.
සැලකිය යුතු ලෙස බදු ඉහළ නැංවීමෙන් පසුවත්, රජයේ ආදායම් හා වියදම් පරතරය දිනෙන් දින ඉහළ යනු මිස අඩු වන බවක් නොපෙනේ. මේ අඩුව පිරවෙන්නේ දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම මඟින් ලබා ගන්නා ණය වලිනි. එහෙත්, මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණිය හැක්කේ ඒවා සඳහා රට තුළ (හෝ රටින් පිටත) ඉල්ලුමක් ඇත්නම් පමණි. එසේ නොමැති විට, 'කාටවත් ඕනෑ නැති' මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මිල දී ගන්නට වෙන්නේ රටේ මහ බැංකුවටය. මහ බැංකුවට අළුතින් මුදල් මුද්‍රණය කිරීමේ හැකියාව ඇති නිසා රටේ සල්ලි නැතත් මහ බැංකුවේ සල්ලි නැති වෙන්නේ නැත.
පසුගිය 2015 අවසානයේ සිට 2016 මාර්තු අවසානය දක්වා ගත වූ තෙමස තුළ පමණක් රජය විසින් මහ බැංකුවෙන් ලබාගෙන ඇති ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 229.9 සිට රුපියල් බිලියන 406.6 දක්වා රුපියල් බිලියන 176.7 කින් (එනම් 77%කින්) වැඩි වී තිබේ. මෙය ඉතා විශාල වැඩි වීමක් බව නොකිවමනාය. එතැන් සිට ගත වී ඇති සිවුමස තුළ මෙසේ අළුතින් මුද්‍රණය කර රජය හරහා සංසරණයට එකතු වී ඇති මුදල් ප්‍රමාණය තවත් වැඩි වී තිබිය හැකිය.
මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණා රජයට තාවකාලිකව ගොඩ යන්නට පුළුවන. එහෙත්, එහි ප්‍රති විපාකය වන්නේ ගොනු පසු පස එන ගැල මෙන් වසරකට හෝ දෙකකට පසුව නැඟ එන උද්ධමනයයි. රටේ නිෂ්පාදනය වැඩි නොවන පසුබිමක, රජය විසින් මහ බැංකුවෙන් ලබා ගන්නා අළුත් මුදල් වියදම් කරන්නට පටන් ගත් විට රටේ ඇති නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයට ඇති ඉල්ලුම වැඩි වී මිල ඉහළ යයි. මෙයින් පීඩාවට පත් වන්නේ රජයට මෙන් මහ බැංකුවේ මුද්‍රණ යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාවක් නොමැති, දුක් මහන්සියෙන් වැඩ කර මුදලක් උපයාගත යුතු රටේ සාමාන්‍ය ජනතාවයි.
උද්ධමනයට මූලික හේතුව රටේ සමස්ත නිෂ්පාදනයට වඩා සමස්ත ඉල්ලුම වැඩි වීම නිසා, නිෂ්පාදනය වැඩි කළ නොහැකි පසුබිමක උද්ධමනය පාලනය කළ හැක්කේ ඉල්ලුම අඩු කිරීමෙනි. රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය අඩු කිරීමෙන් සමස්ත ඉල්ලුම අඩු කළ හැකිය. පොලී අනුපාතික ඉහළ දැමූ විට රටේ ජනතාවගේ (සහ සමාගම් වල) ණය ඉල්ලුම අඩු වේ. එවිට, ඔවුන් අත වියදම් කිරීමට ඇති මුදල් සීමා වන නිසා භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමද අඩු වේ. එමෙන්ම, තැන්පතු පොලී වැඩි වන විට සාමාන්‍ය ජනතාවගේ බැංකු තැන්පතු වැඩි වන නිසා එයින් සිදුවන්නේද වියදම් කරන මුදල් ප්‍රමාණය අඩු වීමයි.
කෙසේ වුවද, පොලී අනුපාතික ඉහළ දැමූ පමණින් රජයේ වියදම් අඩු වන්නේ නැත. ඒ නිසා භාණ්ඩ හා සේවා සඳහා වන රජයේ ඉල්ලුම අඩු වන්නේද නැත. එක් අතකින්, පොලිය ඉහළ දැමූ විට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණා ගැනීම පහසු වෙයි. අනෙක් අතින්, තැන්පතු ලෙස බැංකු කරා ඇදෙන මුදල් වලින් සැලකිය යුතු කොටසක් බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන නිසා රජයට දේශීය ණය ලබා ගැනීම පහසු වේ. ඒ නිසා, අවසාන වශයෙන් වෙන්නේ රජයේ වියදම් වෙනුවෙන් රටේ ජනතාවගේ වියදම් සීමා කරන්නට සිදු වීමයි.
රටේ ජනතාවගේ වියදම් අඩු වනු යනු සමාගම් වල ආදායම් අඩු වීමයි. එමෙන්ම, ණය පොලී අනුපාතික ඉහළ ගිය විට රටේ පෞද්ගලික ආයෝජනද අඩු වේ. මෙහි සමස්ත ප්‍රතිපලය වන්නේ ආර්ථික වර්ධනය තවත් සීමා වීමයි. වත්මන් ආර්ථික වර්ධන වේගය ලංකාවේ ආර්ථික වර්ධන වේගයේ දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩුවෙන් ඇති අවස්ථාවක උද්ධමන තර්ජනයට මුහුණ දීම සඳහා ආර්ථික වර්ධනයට තව දුරටත් බාධා පමුණුවන ක්‍රියා මාර්ගයක් ගැනීමට මහ බැංකුවට සිදු වී තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයකි. මෙයින් පෙනෙන්නේ රටේ වත්මන් ආර්ථික උපාය මාර්ග කෙතරම් දුර්වල හා අවුල් සහගතද යන්නයි.
මේ සිදුවන්නේ හත් පොළේ ගා ගැනීමක්ද?
(Image: english.readsrilanka.com)

මහ බැංකුව,
මුදල් ප්‍රතිපත්ති,
මුදල් සැපයුම,
රාජ්‍ය ණය
Friday, July 1, 2016
සංක්‍රමණයට දොරටු විවර කළොත්?
ජාත්‍යන්තර වෙළඳාම නිසා එයට සම්බන්ධ වන දෙරටේම වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන ආකාරය අපි පෙර ලිපි වලින් කතා කළෙමු. මේ වාසියේ ප්‍රභවය වන්නේ එක් එක් රටෙහි ඇති නිෂ්පාදන සාධක එම රටට පරිපූර්ණ වාසියක් හෝ තුලනාත්මක වාසියක් ඇති ක්ෂේත්‍ර කරා විතැන් වීම හේතුවෙන් ඇති වන කාර්යක්ෂමතාවයයි. රටක් විදෙස් භාණ්ඩ හා සේවාවන්ට විවෘත වීමෙන් පසු, තවදුරටත් අකාර්යක්ෂම ක්ෂේත්‍රයන්හි රැඳී සිටීනම් මේ වාසි අඩුවිය හැකි අතර එසේ රැඳී සිටින පිරිස් වලට අවාසියක් සිදුවීමටද ඉඩ තිබේ.
අල්ලංකාවට හා ගලවංකාවට නැවත ගියොත්, ජාත්‍යන්තර වෙළඳාමට විවෘත වීමෙන් පසුව එක් එක් රටේ ඒක පුද්ගල පරිභෝජනය දෙගුණ විය හැකි නමුත් ඒ සඳහා ඉහත කී ලෙස වඩා ඵලදායී ක්ෂේත්‍ර කරා සම්පත් විතැන් වීම අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත්, මෙය හිතන තරම්ම පහසුවෙන් සිදු නොවිය හැකිය. කුසලතා පිලිබඳ ගැටළු, සමාජ ආකල්ප ආදිය නිසා ඇතැම් අය තමන්ගේ රැකියාව වෙනස් කිරීමට කැමති නැත. විදෙස් භාණ්ඩ වල බලපෑම නිසා එවැන්නන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්නට පුළුවන.
මෙතෙක් අප කතා කළේ රටවල් අතර භාණ්ඩ හා සේවා සංචරණයට ඇති බාධා ඉවත් වීමේ වාසි පමණි. එසේනම්, අල්ලංකාව හා ගලවංකාව අතර ශ්‍රම හුවමාරුවට ඉඩකඩ විවර කළහොත් කුමක් වෙයිද?
මෙය තීරණය වන්නේ එක් එක් රටේ තුලනාත්මක වාසියෙහි ප්‍රභවය කුමක්ද යන්න මතය. අල්ලංකාවේ වැසියෙකුට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණක් වෙද්දී, ගලවංකාවේ වැසියෙකුට දිනකට මාළු කිලෝ තුනක් නිපදවිය හැකිව ඇත්තේ කෙසේද? එමෙන්ම, අල්ලංකාවේ වැසියෙකුට වැඩිපුර මාළු නිපදවිය හැකිව ඇත්තේ කෙසේද?
මේ වෙනසට හේතුව අදාළ රටේ භූ සැකැස්මට, පිහිටීමට හෝ කාලගුණයට අදාළ කරුණක්නම් නිෂ්පාදනය සඳහා යොමු වන පුද්ගලයා කවරෙකු වුවද තත්ත්වයෙහි වෙනසක් නොවේ. අනෙක් අතට, මේ වෙනසට හේතුව කර්මාන්තයෙහි නියැලෙන්නන්ගේ කුසලතා වෙනස්කම් වන්නටද පුළුවන.
පළමුව, එක් එක් රටෙහි තුලනාත්මක වාසියට හේතුව අදාළ රටේ භූ සැකැස්මට, පිහිටීමට හෝ කාලගුණයට අදාළ කරුණක්යැයි සිතමු. එසේනම්, අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට සිය කුසලතා ඔප් නංවා ගැනීම මඟින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරගෙන, විදෙස් ආනයන සමඟ තරඟ කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා, නිදහස් වෙළඳාම ඇරඹුණු පසු සිය රැකියාව වෙනස් නොකළහොත් ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ යයි.
එහෙත්, සංක්‍රමණයටද දොරටු විවර වුවහොත් ඔවුන්ට තවත් තෝරාගැනීමක් ඉතිරි වේ. ඒ, රැකියාව වෙනස් නොකර රට වෙනස් කිරීමයි. මේ තත්ත්වය යටතේදී, අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට සිය රැකියාව වෙනස් නොකර රට වෙනස් කිරීමෙන්ද සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය තෙගුණයකින් වැඩි කර ගත හැකිය. අවසානයේදී, පෙර අවස්ථාවේදී මෙන්ම දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වේ. (මේ දෙගුණවීම මේ ලිපියේ උදාහරණයට පමණක් අදාළය. එය කවර හෝ වැඩිවීමක් විය හැකිය.) මේ අවස්ථාවේදී, සංක්‍රමණයට අමතරව දෙරට අතර අල හා මාළු වෙළඳාමද තව දුරටත් සිදු විය යුතුය.
ගිවිසුම් මඟින් කෘතීම බාධා නැති කළද, භාණ්ඩ හා සේවා වෙළඳාමට ප්‍රවාහන ගාස්තු, කල් තබා ගැනීමේ සීමාවන් වැනි ස්වභාවික බාධා ඇති අයුරින්, සංක්‍රමනයටද ස්වභාවික බාධාවන් තිබේ. තමන්ට හුරුපුරුදු වටපිටාවෙන් බැහැරව ජීවත් වන්නට බොහෝ දෙනෙකු මැලි වන අතරම, වෙනත් රටකින් පැමිණෙන වෙනස් සංස්කෘතියට අයත් පිරිස් සමඟ මුසු වීමටද බොහෝ දෙනෙකු අකමැත්තක් දක්වති. මෙයට අමතරව සංක්‍රමණය හා අදාළ මූලික පිරිවැය දරා ගැනීමටද සංක්‍රමනිකයෙකුට සිදුවේ. ඒ නිසා, කිසියම් පුද්ගලයෙකු වෙනත් රටකට සංක්‍රමණය වීමට පෙළඹෙන්නේ එසේ කිරීමෙන් ලැබෙන ආර්ථික වාසි ඉහත කී සියළු මුදලින් මැනිය හැකි හා එසේ මැනීම අපහසු වෙනත් පිරිවැය (monetary and emotional costs) ඉක්මවන්නේනම් පමණි.
තුලනාත්මක වාසියට හේතුව කුසලතා වෙනස්කම් පිළිබඳ ප්‍රශ්නයක්නම්?
සංක්‍රමණයට ඉඩකඩ නොමැතිනම් දැන් අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට රැකියා වෙනස් නොකර සිය කුසලතා දියුණු කර ගැනීමේ විකල්පයක්ද තිබේ. එය නිසියාකාරව සිදු වුවහොත්, එක් එක් රටෙහි තුලනාත්මක වාසි නැති නිෂ්පාදනයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයද ඉහළ යාමෙන්, තුලනාත්මක වාසි නැතිව යන නිසා අල හා මාළු හුවමාරු කරගැනීමක් අවශ්‍ය වන්නේද නැත. කෙසේවුවද, එසේ කුසලතා වර්ධනය කර ගැනීම කෙටිකාලීනව කළ නොහැක්කකි.
මේ දෙවන තත්ත්වය යටතේදී, සංක්‍රමණයට ඉඩ සැලසීම ජාත්‍යන්තර වෙළඳාමට විකල්පයකි. අල්ලංකාවේ අල වවන්නෙකුට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණක් වුවත්, ගලවංකාවේ අල වවන්නෙකුට අල්ලංකාවට පැමිණ අල කිලෝ තුනක් නිපදවිය හැකිය. මේ අයුරින්ම, ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට නිපදවිය හැක්කේ මාළු කිලෝවක් පමණක් වුවත්, අල්ලංකාවේ මාළු අල්ලන්නෙකුට ගලවංකාවට පැමිණ මාළු කිලෝ තුනක් නිපදවිය හැකිය. මෙසේ, ගලවංකාවේ මාළු හා අල්ලංකාවේ අල නිෂ්පාදනය ඉහළ ගිය විට එම භාණ්ඩ අනෙක් රටෙන් ආනයනය කිරීමේ අවශ්‍යතාවය අඩුවී හෝ නැති වී යයි.
කෙසේ වුවද, තවදුරටත් අල වවන අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ තවදුරටත් මාළු අල්ලන ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට දැන් තර්ජන දෙකකි. එක් පසෙකින් අඩු මිලට එන ආනයන වල තරඟයයි. අනෙක් පසින්, තමන්ට වඩා තෙගුණයක් කාර්යක්ෂම විදෙස් ශ්‍රමිකයින්ගේ තරඟයයි.
මේ බලපෑම් ක්ෂණික හා විශාලනම් එක් වර සිය ජීවන තත්ත්වයෙහි සිදුවන පහත වැටීමට මුහුණ දීම ඔවුන්ට ඉතා අසීරු කරුණක් වනු ඇත. එහෙත්, මේ වෙනස සිදුවන්නේ සාපේක්ෂව හෙමින්නම්, මුලින්ම පැමිණෙන සංක්‍රමණිකයින් සමඟ එක්ව වැඩ කිරීමෙන් ඔවුන්ගේ ඉහළ කාර්යක්ෂමතාවයට හේතු වූ කරුණු හඳුනාගෙන තමන්ගේද කුසලතා වර්ධනය කර ගැනීමට ඔවුන්ට කාලයක් ලැබේ. ඒ අතරම, මෙය මෙසේ සිදුවීමටනම්, සංක්‍රමණිකයින් තමන්ගේ අකාර්යක්ෂමතාවයන්ට තර්ජනයක් බව පෙනෙන්නට තරම් සැලකිය යුතු සංක්‍රමණයක් රට තුළට සිදු වීමද අවශ්‍යය.
(Image: http://www.fibre2fashion.com/_resources/industry-articles/45/4453/1_files/image001.jpg)
Labels:
ආනයන,
ජාත්‍යන්තර වෙළඳාම,
තුලනාත්මක වාසිය,
පරිපූර්ණ වාසිය,
විවෘත ආර්ථිකය,
සංක්‍රමණය
Subscribe to:
Posts (Atom)