Sunday, July 28, 2024

සංචිත මුදල් සැපයුම සහ පාරිභෝගික මිල දර්ශකය

 


මේ හා පළ කරන රේඛා ප්‍රස්ථාරයෙහි පෙන්වා තිබෙන්නේ 2019 වසර මුල සිට 2024 මැද දක්වා කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම (රුපියල් මිලියන වලින්) සහ පාරිභෝගික මිල දර්ශකය (2021=100) වෙනස් වූ ආකාරය. නිල් පාට ඉර සංචිත මුදල් සැපයුම. තැඹිලි පාට ඉර පාරිභෝගික මිල දර්ශකය.

සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ  සංචිත මුදල් සැපයුම වැඩි වීමයි. උද්ධමනය ලෙස සලකන්නේ වසරක කාලයක් තුළ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් ඇති ප්‍රතිශතයයි. 

සල්ලි අච්චු ගහද්දී උද්ධමනය වැඩි වන බව දැන් ගොඩක් අය දන්නා සාමාන්‍ය කරුණක්. මේ විචල්‍යයින් දෙක අතර සම්බන්ධය ඒ තරම්ම සරල නැතත්, ඉහත ප්‍රස්ථාරය දෙස බැලූ විට එම සම්බන්ධය පහසුවෙන් නිරීක්ෂණය කිරීම අසීරු කරුණක් නෙමෙයි. 

මේ වන විට සංචිත මුදල් සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යනු ලබන අතර සාමාන්‍ය මිල මට්ටමද ස්ථාවරව පවතිනවා. ඒ නිසා, උද්ධමනයක් නැති තරම්.

උද්ධමනය අඩු වී ඇතත් බඩු මිල කලින් මට්ටමට පහත වැටී නැත්තේ ඇයි කියන එකත් මේ ප්‍රස්ථාරය ඇසුරෙන්ම තේරුම් ගන්න පුළුවන්. සංචිත මුදල් සැපයුම තව දුරටත් වේගයෙන් වැඩි වෙන්නේ නැතත් එය කලින් මට්ටමට පහත වැටී නැහැ. 

මෙහි පෙන්වා නැතත්, සංචිත මුදල් සැපයුම මිල මට්ටම කෙරෙහි බලපාන්නේ පුළුල් මුදල් සැපයුම හරහා. පුළුල් මුදල් සැපයුමට රටේ ජනතාවට අයිති ස්ථිර තැන්පතු ආදී බැංකු තැන්පතු සියල්ල ඇතුළත්. මෙම තැන්පතු සඳහා පසුගිය කාලයේදී සැලකිය යුතු පොලියක් ලැබී මුදල් ප්‍රමාණයේ විශාල ගුණනය වීමක් සිදු වී තිබෙනවා. මුදල් සැපයුම කලින් මට්ටමට පහත වැටෙන්නටනම් එසේ සිදු වූ ප්‍රසාරණය ආපසු හැරිය යුතුයි. ඒ කියන්නේ පසු ගිය අවුරුදු වල ගෙවූ පොලී සියල්ල නැවත අය කරගන්නවා වගේ වැඩක්. එවැන්නක් යනු සිදු වන හෝ සිදු කළ හැකි දෙයක් නෙමෙයි. 

ඉහත හේතුව නිසා මුදල් සැපයුම ඉහළ යාම පාලනය කළ හැකි වුවත් එය පෙර මට්ටමට පහත දමා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ නිසාම, බඩු මිල පෙර මට්ටමට පහත වැටීමද සිදු නොවන දෙයක්. නමුත්, මේ වෙද්දී පොලී අනුපාතික උද්ධමන වේගයට වඩා වැඩි නිසා මිල ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් වත්කම් ඉහළ යමින් තිබෙනවා. ඒ හරහා මිල ඉහළ යාමේ අවාසිය ක්‍රමයෙන් නිශේධනය වෙමින් තිබෙනවා.

මහ බැංකුව විසින් විදේශ සංචිත තර කර ගැනීමට විදේශ විණිමය මිල දී ගැනීම සඳහා රුපියල් නිකුත් කරද්දී සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. මෙය වලක්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් රජයට ලබා දී ඇති ණය රජයෙන් ආපසු ලබා ගන්නට සිදු වෙනවා. එවිට එසේ ආපසු ලැබෙන රුපියල් වලින් විදේශ විණිමය මිල දී ගනිමින් සංචිත මුදල් සැපයුම ස්ථාවරව තියා ගන්න පුළුවන්. මහ බැංකුව විසින් දැන් කරමින් සිටින්නේ එයයි.

මේ වැඩේ මේ විදිහට වෙන්නනම් රජය විසින් මහ බැංකුවට කලින් ගත් ණය ආපසු ගෙවිය යුතුයි. එසේ කරන්නනම් එක්කෝ රජයේ ආදායමෙන් යම් මුදලක් ඉතිරි කර ගන්නට සිදු වෙනවා. එසේ නැත්නම් වෙනත් පාර්ශ්වයකින් එම මුදල ණයට ගන්නට සිදු වෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා රජයේ ආදායමෙන් කොටසක් ඉතිරි කරගෙන ප්‍රාථමික අයවැය අතිරික්තයක් නඩත්තු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වන්නේ ඒ නිසා. 

ඒ වගේම, මහ බැංකුවට නැවත උද්ධමනය ඇති නොකර විදේශ සංචිත තර කර ගත හැකි වන්නේ රජය විසින් මහ බැංකුවෙන් ණයට ගත් මුදල් ආපසු ගෙවන්නේනම් පමණයි. රුපියල ශක්තිමත්ව  තබාගෙන, ඩොලරයක මිල ඉහළ යාම සීමා කර ගන්නටනම් ශක්තිමත් විදේශ සංචිතයක් අවශ්‍ය වෙනවා. ඒ අනුව, ඩොලරයක මිල පහළින් තියෙන්නෙත් ප්‍රාථමික අයවැය අතිරික්තයේ උදවුවෙන්ම බව පැහැදිලි වෙනවා ඇති. එක පැත්තකින් බදු වැඩි වී තිබුණත්, එහි ප්‍රතිඵලයක් විදිහට ඩොලරයක මිල පහළ ගොස් ඒ හරහා බඩු මිල පාලනය වීමෙන් බදු වැඩි වීමේ අවාසියත් යම් තරමකින් හෝ නිශේධනය වෙනවා.

Sunday, June 23, 2024

ක්‍රය ශක්ති සාම්‍යය


"ක්‍රය ශක්ති සාම්‍යය" කියන සංකල්පය පැහැදිලි කරමින් ලිපියක් ලියන මෙන් ඉල්ලීම් කිහිපයක් වරින් වර ඇවිත් තිබෙනවා. ක්‍රය ශක්ති සාම්‍යය ගැන පසු ගිය වසර ගණනාවත් තුළ ලිපි ගණනාවක කතා කර තිබෙනවා. නමුත් මේ ගැන මූලික දැනුමක් නැති, අලුතෙන් අපව කියවන්න පටන් ගත් අය වෙනුවෙන් මූලික සංකල්පය පැහැදිලි කරමින් අලුත් ලිපියක් පළ කිරීම අවශ්‍යතාවයක් පේන්න තිබෙනවා. මේ ලිපිය ලියන්නේ මේ ගැන දැනටමත් හොඳ අවබෝධයක් තිබෙන අය වෙනුවෙන් නෙමෙයි. 

අපි මෙවැනි තැනකින් පටන් ගනිමු. මේ වෙද්දී ඇමරිකන් ඩොලරයක මිල ආසන්න වශයෙන් රුපියල් 300ක් පමණ වෙනවා. එයින් අදහස් වන්නේ ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියලක වටිනාකම මෙන් 300 ගුණයක් බවයි. ඇමරිකන් ඩොලරයක වටිනාකම කියන්නේ කුමක්ද? රුපියලක වටිනාකම කියන්නේ කුමක්ද?

ඇමරිකන් ඩොලරයක නෝට්ටුවකින් හෝ රුපියලක කාසියකින් අපට සෘජු ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසාම, මේ වගේ කාසි හා නෝට්ටු වල නෛසර්ගික වටිනාකමක් නැති තරම්. මෙවැනි මුදලක වටිනාකමක් තිබෙන්නේ ඒවා සමඟ හුවමාරු කර භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාවක් තිබීම නිසායි. ක්‍රය ශක්තිය (purchasing power) කියන වචනයෙන් අදහස් වෙන්නේ කිසියම් මුදලක ඇති භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ ශක්තිය.

කිසියම් මුදල් ඒකකයක ක්‍රය ශක්තිය ඇසුරෙන් අපට එම මුදල් ඒකකයේ වටිනාකම තක්සේරු කරන්න පුළුවන්. උදාහරණයක්‌ විදිහට කීල්ස් සුපර් වෙළඳසැලක බිත්තර දහයක මිල රුපියල් 650ක් පමණ වෙනවා. ඒ කියන්නේ රුපියල් 650ක් සමඟ බිත්තර දහයක් හුවමාරු කර ගන්න පුළුවන්. බිත්තර කියන්නේ සෘජු ප්‍රයෝජනයක් තිබෙන දෙයක්. රුපියල් වගේ නෙමෙයි. 

රුපියල් වලට සෘජු වටිනාකමක් නැතත්, රුපියල් සමඟ හුවමාරු කර සෘජු වටිනාකමක් තිබෙන බිත්තර ලබා ගන්න පුළුවන්. ඒ නිසා, බිත්තර වලට සාපේක්ෂව රුපියල් වල වටිනාකම අර්ථදක්වන්න පුළුවන්.

බිත්තර 10 = රුපියල් 650

බිත්තර 1 = රුපියල් 65

බිත්තර 2 = රුපියල් 130

බිත්තර 12 = රුපියල් 780

රුපියල් වලට වගේම ඇමරිකන් ඩොලර් වලටත් තිබෙන්නේ නාමික වටිනාකමක්. රුපියල් සමඟ හුවමාරුවට කීල්ස් සුපර් වෙළඳසැලකින් බිත්තර ලබා ගත හැකිවාක් මෙන්ම ඇමරිකන් ඩොලර් සමඟ හුවමාරුවට ඇමරිකාවේ වෝල්මාට් වැනි සුපිරි වෙළඳසැලකින් බිත්තර ලබාගන්න පුළුවන්. 

ඇමරිකානු ඩොලර් 2.06ක මුදලකට වෝල්මාට් සුපිරි වෙළඳසැලකින් බිත්තර දුසිමක් මිල දී ගත හැකියි. මේ අනුසාරයෙන් අපට බිත්තර වලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක වටිනාකම අර්ථ දක්වන්න පුළුවන්.

බිත්තර 12 = ඇමරිකන් ඩොලර් 2.06

දැන් ඔය ඇමරිකාවේ වෝල්මාට් බිත්තර සහ ලංකාවේ කීල්ස් බිත්තර අතර ලොකු වෙනසක් නැහැනේ. කොයිවත් බිත්තර. එහෙමනම්, ඇමරිකාවෙන් ගත්තත් ලංකාවෙන් ගත්තත් බිත්තර දුසිමක වටිනාකම සමාන විය යුතුයි. ඕක තමයි ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මයේ පදනම.

ඇමරිකාවේ බිත්තර 12 = ලංකාවේ බිත්තර 12

නමුත් අපි ඇමරිකාවේ හා ලංකාවේ මේ බිත්තර හුවමාරු වෙන විදිහ ගැන දන්නවා.

ඇමරිකාවේ බිත්තර 12 =  ඇමරිකන් ඩොලර් 2.06

ලංකාවේ බිත්තර 12 = රුපියල් 780

එහෙමනම් අපිට පහත නිගමනයට එන්න පුළුවන්.

ඇමරිකන් ඩොලර් 2.06 = රුපියල් 780

ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 780/2.06 = රුපියල් 379

මෙයින් අදහස් වෙන්නේ කුමක්ද? ඇමරිකාවේ හා ලංකාවේ බිත්තර සමාන සේ සලකලා බිත්තර වල වටිනාකමට සාපේක්ෂව විණිමය අනුපාතය ගණනය කළොත් ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 379ක් විය යුතුයි.

නමුත් ඇමරිකන් ඩොලරයක වෙළඳපොළ මිල රුපියල් 379ක් නෙමෙයිනේ. එය රුපියල් 300ක්. එහෙමනම් රුපියල් වල හා ඇමරිකන් ඩොලර් වල වටිනාකම් සංසන්දනය කරන එකේ මොකක් හරි අවුලක් තිබෙනවා.

හැබැයි ඔය මිල ගණන් වල මොකක් හරි අවුලක් තියෙන්නත් පුළුවන්නේ. ඒ නිසා, වඩා නිවැරදි වෙළඳපොළ විණිමය අනුපාතයද නැත්නම් බිත්තර විණිමය අනුපාතයද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඒ නිසා අපි බිත්තර වෙනුවට වෙන දෙයක් අරගෙන බලමු.

ලංකාවේ පැට්‍රෝල් ලීටරයක මිල = රුපියල් 355

ඇමරිකාවේ පැට්‍රෝල් ගැලුමක සාමාන්‍ය මිල = ඇමරිකන් ඩොලර් 3.447

ඇමරිකාවේ පැට්‍රෝල් ලීටරයක සාමාන්‍ය මිල = ඇමරිකන් ඩොලර් 3.447/3.785 = 0.911

මේ අනුව, 

ඇමරිකන් ඩොලර් 0.911 = රුපියල් 355

ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 355/0.911 = රුපියල් 389.68

මේකත් බිත්තර විණිමය අනුපාතයට කිට්ටුවෙන් යනවා. ඒ කියන්නේ බිත්තර මිල අනුව බැලුවත්, පැට්‍රෝල් මිල අනුව බැලුවත්, ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වෙළඳපොළ වටිනාකම තිබෙන්නේ ඕනෑවට වඩා වැඩි මට්ටමක. රුපියලේ සැබෑ ක්‍රය ශක්තිය පෙනෙන මට්ටමට වඩා අඩුයි.

වෙනත් ආකාරයකින් පැහැදිලි කළොත්, ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 300 ලෙස සැලකුවොත්, රුපියල් 618ක මුදලකට ඇමරිකාවෙන් බිත්තර 12ක් මිල දී ගන්න පුළුවන්. නමුත් ලංකාවේ බිත්තර මිල ඊට වඩා වැඩියි. ඒ කියන්නේ බිත්තර මිල අනුව රුපියල පෙනෙන තරම්ම ශක්තිමත් නැහැ. 

අපි තවත් උදාහරණයක් ලෙස කොකා කෝලා ලීටර 2 බෝතලයක් සලකමු. මෙහි කීල්ස් මිල රුපියල් 450ක් වන අතර වෝල්මාට් මිල ඇමරිකන් ඩොලර් 1.98ක්. ඒ අනුව විණිමය අනුපාතය කුමක් විය යුතුද?

ඇමරිකන් ඩොලර් 1.98 = රුපියල් 450

ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 450/1.98 = රුපියල් 227

මේ උදාහරණයේදී ඉහත තත්ත්වය කණපිට හැරිලා. කොකා කෝලා ලීටර 2 බෝතලයක මිල අනුව බැලුවොත් රුපියලක සැබෑ ක්‍රය ශක්තිය පේනවට වඩා ගොඩක් වැඩියි.ඩොලරය රුපියල් 300 සේ සැලකුවොත් ඇමරිකාවෙන් කොකා කෝලා ලීටර 2 බෝතලයක් මිල දී ගන්න රුපියල් 594ක් යනවා. නමුත් ලංකාවෙන් රුපියල් 450කට මිල දී ගන්න පුළුවන්. 

පොදුවේ සේවා මිල ගණන් දෙස බැලූ විට දැකිය හැක්කේත් මීට සමාන තත්ත්වයක්. ඒ කියන්නේ රුපියලේ සැබෑ ක්‍රය ශක්තිය වෙළඳපොළ විණිමය අනුපාතය තුළින් පිළිබිඹු වෙනවාට වඩා වැඩි බව. ඇතැම් වෙබ් අඩවි වල (උදාහරණයක් විදිහට www.mylifeelsewhere.com), ඇමරිකාවේ භාණ්ඩ හා සේවා ගණනාවක් අරගෙන මෙවැනි සංසන්දනයන් කර තිබෙනවා. පහත තිබෙන්නේ එම වෙබ් අඩවියෙන් ලබා ගත් තොරතුරු කිහිපයක්. මම මේ මිල ගණන් වල නිරවද්‍යතාවය පරීක්ෂා කර නැහැ. 

වතුර බෝතලයක්:

ලංකාවේ රුපියල් 100.65යි 

ඇමරිකාවේ ඩොලර් 1.98යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 50.83


පාන් ගෙඩියක්:

ලංකාවේ රුපියල් 177.88යි 

ඇමරිකාවේ ඩොලර් 3.43යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 51.86යි.


කිරි ගැලුමක්:

ලංකාවේ රුපියල් 1823.21යි 

ඇමරිකාවේ ඩොලර් 3.93යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 463.92යි.


වොක්ස්වාගන් ගොල්ෆ් 1.4 මෝටර් රථයක්:

ලංකාවේ රුපියල් 10,066,459යි 

ඇමරිකාවේ ඩොලර් 31,580යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 318.76යි.


සැතපුම් පහක ටැක්සි ගාස්තුව:

ලංකාවේ රුපියල් 938යි 

ඇමරිකාවේ ඩොලර් 17.71යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 52.96යි.


50mbps අන්තර්ජාල සම්බන්ධතාවක්:

ලංකාවේ රුපියල් 4280යි 

ඇමරිකාවේ ඩොලර් 67.34යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 63.56යි.


පෞද්ගලික පෙර පාසැලක මාසික ගාස්තුව:

ලංකාවේ රුපියල් 7546යි 

ඇමරිකාවේ ඩොලර් 1344යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 5.61යි.


සමස්තයක් ලෙස ගත්තහම බිත්තර, පැට්‍රෝල් වැනි පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් අනුව රුපියලේ ක්‍රය ශක්තිය වෙළඳපොළ විණිමය අනුපාතය තුලින් පිළිබිඹු වෙනවාට වඩා අඩු වුනත්, වෙනත් බොහොමයක් භාණ්ඩ හා සේවා මිල ගණන් අනුව රුපියලක ක්‍රය ශක්තිය පේනවාට වඩා ගොඩක් වැඩියි. 

වෙනත් විදිහකට කිවුවොත් ඇමරිකන් ඩොලරයක් ලංකාවේදී වටින තරමට ඇමරිකාවේදී වටින්නේ නැහැ. ඒ නිසා, රුපියල් 300 බැගින් ගෙවා ඇමරිකන් ඩොලර් මිල දී ගෙන ඇමරිකාවට එන කෙනෙකුට ඒ ඩොලර් ටිකෙන් ලංකාවේදී රුපියල් වලින් මිල දී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිල දී ගන්න බැහැ. අනෙක් අතට ලංකාවට ඇවිත් 300 අනුපාතයට ඩොලර් රුපියල් කරන කෙනෙකුට ඇමරිකාවේදී මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මිල දී ගන්න පුළුවන්. විශේෂයෙන්ම සේවා හා අදාළව. 

මෙයින් පෙනී යන්නේ වෙළඳපොළ විණිමය අනුපාතය යොදාගෙන රට රටවල ජීවන තත්ත්වය සංසන්දන්දය කරන එක වැරදි බවයි. උදාහරණයක් විදිහට නාමික (වෙළඳපොළ) විණිමය අනුපාතය අනුව ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 81,632ක්. ලංකාවේ එම අගය ඩොලර් 3,830ක් පමණයි. මෙම ගණන් අතර අනුපාතය 21.3ක්. ඒ කියන්නේ ඇමරිකානුවෙකුට ශ්‍රී ලාංකිකයෙකු මෙන් 21.3 ගුණයක භාණ්ඩ හා සේවා පරිභෝජනය කළ හැකිද? ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වය 21.3 ගුණයකින් අඩුද?

සරල පිළිතුර නැහැ. ඉතා පැහැදිලිවම ඇමරිකානුවෙකුගේ ජීවන තත්ත්වය ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වයට වඩා වැඩියි. ඇමරිකානුවෙකුගේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාවත් වඩා වැඩියි. හැබැයි අනුපාතය 21.3ක් තරම් ඉහළ එකක් නෙමෙයි.

උදාහරණයක් විදිහට ඇමරිකාවේ පෞද්ගලික පෙර පාසැලක මාසික ගාස්තුව ඩොලර් 1344 වෙද්දී ලංකාවේ එම ගාස්තුව රුපියල් 7546ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකාවේ ඩොලර් එකකින් කරන වැඩේට ලංකාවේදී වැය වන්නේ රුපියල් 5.61ක් පමණයි. රුපියල් 300ක් යන්නේ නැහැ. 

එහෙමනම් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාව අනුව ඇමරිකානුවෙකුගේ ජීවන තත්ත්වය ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වයට වඩා කොයි තරම් වැඩිද? 

මෙය නිවැරදිව සංසන්දනය කිරීම සඳහා "ක්‍රය ශක්ති සාමාන්‍ය විණිමය අනුපාතය" යොදා ගන්නවා. මෙය ඉහත භාණ්ඩ හා සේවා මිල ගණන් සසඳා හදාගත් විණිමය අනුපාත වල බරිත සාමාන්‍ය අගයක්. මේ විණිමය අනුපාතය ඇසුරෙන් රට රටවල ඒක පුද්ගල ආදායම් නැවත ඇස්තමේන්තු කළ හැකියි. මෙම අගය ක්‍රය ශක්ති සාම්‍ය ඒක පුද්ගල ආදායම ලෙස හැඳින්වෙනවා. 

ලෝක බැංකු දත්ත අනුව 2022 ලංකාවේ ක්‍රය ශක්ති සාම්‍ය ඒක පුද්ගල ආදායම ඩොලර් 14,099ක්. නමුත් නාමික විණිමය අනුපාතය අනුව එම අගය 3,354ක් පමණයි. ඒ කියන්නේ ලංකාවේ සැබෑ ජීවන තත්ත්වය වෙළඳපොළ විණිමය අනුපාතයෙන් පිළිබිඹු වෙනවාට වඩා 4.2 ගුණයකින් වැඩියි. වෙනත් විදිහකින් කිවුවොත් ඩොලරයක ක්‍රය ශක්ති සාමාන්‍ය විණිමය අනුපාතය 4.2 ගුණයකින් අඩුයි. ඒ කියන්නේ ඇමරිකානුවෙකුගේ ජීවන තත්ත්වය ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වයට සාපේක්ෂව 5.1 ගුණයකින් මිසක් 21.3 ගුණයකින් වැඩි නැහැ. 

Friday, July 28, 2023

ණය ප්‍රතිව්‍යුහගත කිරීම 97%ක් සාර්ථකයි!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වටයේ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබූ ඩොලර් මිලියන 814.7ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 791.4ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති අතර එම අයදුම්පත් සියල්ල  ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබෙනවා. මෙය 97.1%ක සාර්ථකත්වයක්.

නිකුත් කර තිබුණු ඩොලර් මිලියන 837.6ක සංවර්ධන බැඳුම්කර වලින් තනි පුද්ගල ආයෝජකයින් සතු කොටස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ. එම ප්‍රමාණය ඩොලර් මිලියන 22.9ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 2.7%ක්. එම ප්‍රමාණයද සැලකිල්ලට ගතහොත් ප්‍රතිව්‍යුහගත කෙරෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 94.5%ක්. 

සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කිරීමේදී ණයහිමියන්ට විකල්ප තුනක් ලැබුණා. මේ එක් එක් විකල්පය තෝරාගෙන ඇති ප්‍රතිශතය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. එමෙන්ම, කිසිදු විකල්පයක් තෝරා ගෙන නැති 3%කට ආසන්න ණයහිමියන් කවුද යන්නත් පැහැදිලි නැහැ. මොවුන් බොහෝ විට විදේශ ණයහිමියන් විය හැකියි. ඔවුන්ට මුල් ගිවිසුමේ කොන්දේසී අනුව ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙන බැවින් රජයට එරෙහිව නඩු මගට යාමේ අරමුණක් නැත්නම් මෙය තාර්කික නොවන තීරණයක්. එහෙත්, විවිධ හේතු මත මෙවැනි අවස්ථාවකදී 3%ක් වැනි පිරිසක් තාර්කික නොවන ලෙස කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයක්. 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කළ හැකි කාලය අගෝස්තු 11 දක්වා කල් දමා ඇති අතර අගෝස්තු 16 දින ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමට නියමිතයි.

Saturday, July 8, 2023

අඩු වූ අවදානම් අධිභාරය


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳ වූ අවිනිශ්චිතතා ඉවත් වීමෙන් පසුව ද්වීතියක වෙළඳපොළ බැඳුම්කර ඵලදා අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. එම පහත වැටීම ඵලදා වක්‍රය පුරාම දැකිය හැකියි.

වසර-2 බැඳුම්කර:

මේ සතිය - 16.36%

පෙර සතිය - 25.63%

අඩු වීම - 9.57%


වසර-3 බැඳුම්කර:

මේ සතිය - 15.84%

පෙර සතිය - 24.59%

අඩු වීම - 8.75%


වසර-4 බැඳුම්කර:

මේ සතිය - 15.57%

පෙර සතිය - 23.48%

අඩු වීම - 7.91%


වසර-5 බැඳුම්කර:

මේ සතිය - 15.22%

පෙර සතිය - 22.16%

අඩු වීම - 7.94%


වසර-6 බැඳුම්කර:

මේ සතිය - 15.03%

පෙර සතිය - 21.43%

අඩු වීම - 6.40%


වසර-8 බැඳුම්කර:

මේ සතිය - 14.73%

පෙර සතිය - 20.66%

අඩු වීම - 5.93%


වසර-10 බැඳුම්කර:

මේ සතිය - 14.56%

පෙර සතිය - 19.43%

අඩු වීම - 4.87%


වසර-15 බැඳුම්කර:

මේ සතිය - 14.10%

පෙර සතිය - 18.82%

අඩු වීම - 4.72%


වසර-20 බැඳුම්කර:

මේ සතිය - 14.68%

පෙර සතිය - 18.16%

අඩු වීම - 3.48%


වසර-30 බැඳුම්කර:

මේ සතිය - 14.81%

පෙර සතිය - 17.96%

අඩු වීම - 3.15%

මෙසේ ඵලදා අනුපාතික අඩු වීම යනු බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යාමයි. පහත තිබෙන්නේ බැඳුම්කර වර්ග කිහිපයක මිල සතියක් තුළ ඉහළ ගොස් ඇති ආකාරයයි.

බැඳුම්කර වර්ගය: 11.00%2025A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 91.15

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 75.96

වැඩි වීම - 20.0%


බැඳුම්කර වර්ගය: 06.75%2026A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 81.38

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 66.43

වැඩි වීම - 22.5%


බැඳුම්කර වර්ගය: 05.35%2026A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 77.71

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 62.79

වැඩි වීම - 23.8%


බැඳුම්කර වර්ගය: 18.00%2032A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 119.33

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 89.49

වැඩි වීම - 33.3%


බැඳුම්කර වර්ගය: 20.00%2029A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 122.07

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 91.95

වැඩි වීම - 32.8%

මේ අයුරින් බැඳුම්කර මිල එක් වරම විශාල ලෙස ඉහළ යාම යනු බැඳුම්කර හිමියන්ගේ වත්කම් වල අගය ක්ෂණිකව ඉහළ යාමක්. මෙහි වාසිය සේවක අර්ථසාධක අරමුදලට, බැංකු වලට මෙන්ම අනෙකුත් සියලුම බැඳුම්කර හිමියන්ට ලැබෙනවා. කොටස් වෙළඳපොළ තුළ නිරුපණය වන්නට ඇත්තේ මෙසේ වත්කම් ඉහළ යාමේ බලපෑමයි.

පසුගිය වසර අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදල සතු වූ බැඳුම්කර වල වටිනාකම පැවතුණේ ගැනුම් මිලට වඩා 38%ක් හා මුහුණත වටිනාකමට වඩා 40%ක් පහළින්. බැංකු වල අලාභයද (unrealized losses) මීට ආසන්නව පැවතුණා විය යුතුයි. මෙම පාඩුව මුළුමනින්ම ආවරණය වීමටනම් පොලී අනුපාතික තවත් 4%-7%කින් පමණ පහළ යා යුතුයි. 

Monday, June 26, 2023

දවස් පහේදී විය හැකි දේ...


දවස් පහක් බැංකු වහලා කියා කිවුවත් ඇත්තටම වෙලා තියෙන්නේ කොහොමටත් තිබුණු නිවාඩු දින අතරට විශේෂ බැංකු නිවාඩු දිනයක් එකතු කරන එකයි. කොහොම වුනත්, අවසාන ප්‍රතිඵලය විදිහට එක දිගට බැංකු නිවාඩු දින පහක් ලැබෙනවා. මේ දින පහ ඇතුළත රජය විසින් දේශීය ණය ප්‍රතිසංවිධානය කර අවසන් කිරීමට උත්සාහ දරන බව පේනවා. 

මෙහිදී විය හැකි දේ පිළිබඳව විස්තරාත්මක ලිපියක් බදාදා පමණ පළ කරන්න හිතාගෙන හිටියත් ඇතැම් පාඨක ප්‍රතිචාර අනුව මේ ගැන ඊට පෙර යමක් කිව යුතු බව පෙනෙනවා. නිදහසින් පසු කාලයක් තිස්සේ විශාල රජයක් නඩත්තු කරමින් සිදු කළ රාජ්‍ය මැදිහත් වීම් වල ප්‍රතිඵලයක් විදිහට පසුගිය වසරේ මුල් කාලයේ රටේ ආර්ථිකයේ ලොකු කඩා වැටීමක් සිදුවුනා. එයින් පසුව ගත වූ වසරකට වැඩි කාලය තුළ රටේ ආර්ථිකය ස්ථායීත්වය කරා සෑහෙන දුරක් ගමන් කර තිබෙනවා. මෙතෙක් ජයගෙන තිබෙන අභියෝග හා සැසඳූ විට මේ සති අන්තය තුළ පනින්න තිබෙන කඩුල්ල ගොඩක් උස එකක් නෙමෙයි. 

මේ සතිය අවසන් වන විට උද්ධමනය 12% ආසන්න මට්ටමකට පහත වැටී ඇති බව දැන ගන්න ලැබෙයි. ඇතැම් විට ආහාර උද්ධමනය තනි අංකයක් වී තිබිය හැකියි. ඉදිරි මාසය අවසන් වන විට උද්ධමනය කොහොමටත් තනි අංකයක් දක්වා අඩු වෙනවා. මීට සමාන්තරව පොලී අනුපාතිකද පහත වැටීමට තිබෙන ප්‍රධානම බාධාවක් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳව ඇති අවිනිශ්චිතතාවයයි.

දේශපාලනික ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය ගැන කලින් වැඩි දෙයක් කියන්නට නොහැකි වුවත්, අදාළ දේශපාලනික හා නීතිමය කටයුතු අපේක්ෂිත පරිදි අවසන් වුවහොත්, ලොකු වැස්සක් වැස පෑව්වාක් මෙන්, මේ දින පහේ නිවාඩුව අවසන් වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳව කාලයක් තිස්සේ පැවති අවිනිශ්චිතතා ඉවත් වී පොලී අනුපාතික ක්ෂණයකින් පහත වැටෙන්නට ඉඩ තිබෙනවා. 

පසුගිය සතියේදී සාර්ථක ලෙස සැම්බියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කෙරුණා. එහිදී ණය (මුහුණත අගය) කපා හැරීමක් සිදු වූයේ නැහැ. ඊට පෙර චාඩ් රාජ්‍යයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කෙරුණා. එහිදීද ණය (මුහුණත අගය) කපා හැරීමක් සිදු වූයේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලංකාවට ඉදිරිපත්ව ඇති කොන්දේසි ඉහත රටවලට ඉදිරිපත් වූ තරම්ම දැඩි කොන්දේසි නෙමෙයි. ඒ නිසා, ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේදී බොහෝ විට සිදු විය හැක්කේ පරිණත කාලය දිගු කිරීමක් හා පොලී අනුපාතික සීමා කිරීම මගින් ණය වල වත්මන් අගය පහත හෙලා ගනු ලැබීමක් (NPV reduction) පමණයි. 

ලංකාවේ විදේශ ණය වුවද කපා හරිනු ලැබීමේ ඉඩක් ලොකුවට පෙනෙන්නට නොමැති පසුබිමක දේශීය ණය කපා හරිනු ලැබීමක් කිසිසේත්ම සිදු විය නොහැකියි. සිදු වීමට ඉඩ ඇත්තේ පරිණත කාලය දිගු වන පරිදි ස්වේච්ඡා ණය හුවමාරුවක් පමණයි. 

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කෙරෙන බව කලින්ම පැහැදිලිව කියා තිබෙන දෙයක්. මෙය සිදු වන්නේ අලුත් මහ බැංකු පනත සම්මත කර ගනු ලැබීමට සමාන්තරවයි. එම බිල්පත් දිගුකාලීන කල් පිරීමක් සහිත ණය ලෙස පර්වර්තනය කිරීමට හෝ වෙනත් ආකාරයක පරිවර්තනයකට ලක් කිරීමට ඉඩ තිබෙනවා. සති අන්තය අවසන් වෙද්දී මේ ගැන වැඩි විස්තර දැන ගන්න ලැබෙයි. 

දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් වලින් සැලකිය යුතු කොටසක් මිල දී ගෙන තිබෙන්නේ මහ බැංකුව විසිනුයි. ඒ නිසා, එම බිල්පත් ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව වෙළඳපොළේ ඉතිරි වන්නේ සැලකිය යුතු තරම් අඩු බිල්පත් ප්‍රමාණයක්. මූල්‍ය වෙළඳපොළ සුමට ක්‍රියාකාරිත්වය සඳහා මෙන්ම මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහාද යම් බිල්පත් ප්‍රමාණයක් ගනුදෙනු විය යුතුයි. ඒ නිසා, දැනට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හැර අනෙකුත් බිල්පත් හා අදාළව මේ සතිය අවසානයේදී හෝ ඉන් පසුව කිසිදු වෙනසක් සිදු වනු ඇතැයි මා සිතන්නේ නැහැ. මෑතකදී ඝානාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ අවස්ථාවේදීද බිල්පත් සම්බන්ධව කිසිවක් කළේ නැහැ. 

කෙසේ වුවද, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පමණක් ප්‍රතිව්‍යුහගත කළද වාණිජ බැංකු කෙරෙහි යම් තාක්ෂනික බලපෑමක් සිදු විය හැකියි. එක පැත්තකින් වාණිජ බැංකු ඔවුන්ගේ බිල්පත් ඇපයට තබා මහ බැංකුවෙන් ණය ගන්නවා. අනෙක් පැත්තෙන් මහ බැංකුවේ මුදල් තැන්පත් කර ඒ වෙනුවෙන් තාවකාලිකව මහ බැංකුව සතු බිල්පත් වල අයිතිය පවරා ගන්නවා. ඒ නිසා, මහ බැංකුව සතු බිල්පත් වල සිදුවන ආකෘතිමය වෙනසක බලපෑම වාණිජ බැංකු වල ගිණුම් තුළද පිළිබිඹු විය යුතුයි. ඒ අනුව පරිගණක දත්ත යාවත්කාලීන විය යුතුයි. බැංකු නිවාඩු දින තුළ සිදු වුවහොත් මේ වෙනස්කම් අවුලක් නැතිව කර ගැනීම පහසුයි. 

භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ ඉහත තත්ත්වය සෑහෙන තරමකින් පැහැදිලියි. මීට අමතරව භාණ්ඩාගාර බැඳුම්කර යම් ප්‍රමාණයක පරිණත කාලය දිගු වෙන පරිදි ස්වේච්ඡා හුවමාරුවක් සිදු විය හැකියි. ඝානාවේ සිදු වූයේ එවැන්නක්. භාණ්ඩාගාර බැඳුම්කර වැඩි ප්‍රමාණයක අයිතිය තිබෙන්නේ වාණිජ බැංකු හා සේවක අර්ථසාධක අරමුදල සතුවයි. මෙවැන්නක් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ කෙසේ වුවත් වාණිජ බැංකු වල කැමැත්ත ලබා ගැනීම තරමක අභියෝගයක්. විශාල පාඩුවක් වන්නේනම් බැංකු වලින් මේ කැමැත්ත ලැබෙන්නේ නැහැ.

එක්කෝ මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය විසින් මේ පිළිබඳව දැනටමත් වාණිජ බැංකු හා කතා කර අනියම් එකඟතාවයක් ලබාගෙන තිබෙනවා විය හැකියි. එය එසේනම්, සති අන්තයේදී කළ යුතුව තිබෙන්නේ තාක්ෂණික කටයුත්තක් පමණයි. එහෙත්, එවැන්නක් සිදු වී නැත්නම් සති අන්තය තුළ දෙපාර්ශ්වය අතර අදාළ සාකච්ඡා ආරම්භ වීමට ඉඩ තිබෙනවා. වෙනත් රටවල අත්දැකීම් අනුව, මෙවැනි සාකච්ඡා දවසකින් දෙකකින් අවසන් වී නැහැ. ඔය දෙකෙන් කොයි එක සිදු වුනත් බැඳුම්කර හුවමාරුවක් සිදු වනු ඇත්තේ බැංකු වල කැමැත්ත ඇතිව පමණයි. වෙනස තිබෙන්නේ මෙම එකඟතාවය ලබා ගැනීම සඳහා ගත විය හැකි කාලයේ.

කොහොම වුනත්, රටේ බැංකු පද්ධතිය කඩා වැටී රට විසාලා මහනුවරක් වනු දකින්නට කැමති අය රටේ ඕනෑ තරම් සිටින බව බොහෝ දෙනෙකුට රහසක් නෙමෙයි. පාඨක ප්‍රතිචාර දෙස බැලුවත් එවැනි දේශපාලන අභිලාශ ඇති අය හඳුනාගත හැකියි. ඉහත පරිවර්තනය සිදු වන සංක්‍රාන්තික සමය බැංකු පද්ධතිය පිළිබඳ විශ්වාසය බිඳ දැමීම සඳහා කටයුතු කරන සංවිධානාත්මක කල්ලියකට හෝ අසංවිධානත්මක එකමුතුවකට පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි කාලයක්. ඊට අමතරව මෙවැනි සංක්‍රාන්තික අවස්ථාවක මුදල් යහමින් ඇති අයෙකුට තොරතුරු අනෙක් අයට පෙර ලබා ගැනීම මගින් විශාල අනිසි වාසියක් ලැබිය හැකියි. එය වැළැක්විය හැක්කේ අදාළ කටයුතු මුළුමනින්ම අවසන් වන තුරු බැංකු හා කොටස් වෙළඳපොළ වසා තැබීමෙන් පමණයි. 

මහ බැංකුව විසින් පොලී අනුපාතික වෙනස් කරන අවස්ථාවක වුවත් මෙවැනි තත්ත්වයක් තිබෙනවා. කිසිවෙකුට අදාළ තීරණය කලින් දැනගන්නට ඉඩ නොතබා කලින් දැනුම් දී ඇති නිශ්චිත මොහොතක සියල්ලන්ටම එකවර මෙවැනි ප්‍රතිපත්ති තීරණ පිළිබඳව දැනුම් දෙන්නේ ඒ නිසා. ලෝකයේ වෙනත් රටවල මහ බැංකු කටයුතු කරන්නේද එලෙසයි. එතෙක්, මෙම තීරණය ගැන දන්නා මහ බැංකුවේ නිලධාරීන් විසින් දැඩි වගකීමකින් යුතුව තීරණය පිළිබඳ රහස්‍යභාවය රකිනවා.

මහ බැංකුවේ නිලධාරීන් මෙන්ම වාණිජ බැංකු වල අදාළ නිලධාරීන්ද රහස්‍යභාවය අවශ්‍ය පරිදි රැකීම පිළිබඳව ආචාර ධාර්මික පළපුරුද්දක් ඇති අයයි. එහෙත් අවාසනාවකට මෙන් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් සියලු දෙනාම එවැන්නන් නෙමෙයි. එමෙන්ම සාමාන්‍ය මූලධර්මයක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු රහසිගතව නොව, පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතුයි. 

ඉහත කී ප්‍රශ්න දෙකම එනම් ඇතැම් අය අනිසි ලාබ සොයන්නට යාමේ ඉඩකඩ සහ තවත් අය අනිසි බිය පැතිරවීමේ ඉඩකඩ ඇති වන්නේ ස්වේච්ඡා ණය හුවමාරුවක් සිදු විය හැකි සංක්‍රාන්ති කාලය තුළ පමණයි. අදාළ නීතිමය කටයුතු අවසන් වීමෙන් පසුව සිදු වී ඇති දේ සියල්ලන්ටම දැන ගත හැකි නිසා කොටස් වෙළඳපොළ හා බැංකු නැවත විවෘත වීමෙන් පසුව කිසිවෙකුට විශේෂ වාසියක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. 

කෙසේ වුවත්, දින පහක කාලය තුළ අවශ්‍ය නීතිමය කටයුතු අවසන් කර ගැනීමේ දේශපාලනික අභියෝගය මෙන්ම වාණිජ බැංකු හා දැනටමත් එකඟතාවයන් ඇති කරගෙන නැත්නම් එවැනි එකඟතා ඇති කර ගැනීමේ අභියෝගයද ඉතිරිව තිබෙනවා.

Sunday, June 25, 2023

සැම්බියාවට ලැබුණු ණය සහනය


මේ වන විට සොයා ගත හැකි තොරතුරු වලට අනුව, සැම්බියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම එම රටට ඉතාම වාසිදායක අයුරින් සිදු වී තිබෙනවා. මෙහිදී නාමිකව ණය කපා හැරීමක් (haircut) සිදු වී නැතත්, ණය ආපසු ගෙවන කාලය සාමාන්‍ය අගයක් ලෙස වසර 12කින් පමණ කල් දැමීම හා පොලී අනුපාතික දැඩි ලෙස සීමා කිරීම හරහා 40%ක පමණ ණය කප්පාදුවකට සමාන කළ හැකි වාසියක් සැම්බියාවට ලැබී තිබෙනවා. මෙම තොරතුරු නිල තොරතුරු නොවන බවද සටහන් කළ යුතුයි. නිල වශයෙන් මෙම තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. 

ඇති කරගෙන තිබෙන එකඟතාව අනුව, සැම්බියාවට සිය විදේශ ණය ආපසු ගෙවීම සඳහා වසර 20ක කාලයක් ලැබෙනවා. ඒ අනුව, ණය ගෙවා අවසන් කරන්නේ 2043 වසරේදී. මෙම වසර 20න් 14ක්ම, එනම් 2037 වසර දක්වා සැම්බියාව විසින් ගෙවීමට නියමිතව ඇත්තේ 1%ක පොලියක් පමණයි. ඉන් පසුව, ගෙවිය යුතු පොලිය 2.5% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. සැම්බියාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයෙන් ලබා ගෙන ඇති ණය වෙනුවෙන් ගෙවිය යුතු වූ සාමාන්‍ය පොලිය 3.9%ක් පමණ බව සලකා බලද්දී මෙය විශාල පොලී කප්පාදුවක් ලෙස සැලකිය හැකියි. 

ඉදිරි වසර තුනක කාලය තුළ, එනම් 2026දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩ සටහන අවසන් වන තුරු, සැම්බියාව විසින් විදේශ ණය ආපසු ගෙවීමක් සිදු වන්නේ නැහැ. එම කාලය තුළ ආපසු ගෙවන්නේ 1%ක පොලී මුදලක් පමණයි. ඉන්පසු, 2035 දක්වා වසර දොළහක් වසරකට 0.5% බැගින් ණය ආපසු ගෙවීම සිදු වනවා. එහෙත් මෙහිදී ගෙවී අවසන් වන්නේ ප්‍රතිව්‍යුහකරණයට ලක්වන ණය ප්‍රමාණයෙන් 6%ක් පමණක් බැවින්, ඉතිරි ණය ප්‍රමාණය 2036-2043 වසර අට තුළ ගෙවන්නට සිදු වන බවකුයි පෙනී යන්නේ. 

සාමාන්‍ය පොලී අනුපාතිකය 5% සේ සලකා වට්ටම් කළ විට ශුද්ධ වත්මන් අගය (NPV) පදනම මත සැම්බියාවේ ණය බර 40%කින් පමණ පහළ යනවා. කෙසේ වුවද, යම් හෙයකින් සැම්බියාවේ ආර්ථිකය අපේක්ෂා කරන මට්ටමට වඩා හොඳින් වර්ධනය වී ණය ආපසු ගෙවීමේ හැකියාව ඉහළ ගියහොත් ඉහත ගනුදෙනුව ණයහිමියන්ට වඩා වඩා වාසිදායක ලෙස වෙනස් වෙනවා. එහිදී පොලී අනුපාතික 4%ක උපරිමයක් දක්වා ඉහළ යනවා.

ඉහත එකඟතාවයන් ඇති කර ගෙන තිබෙන්නේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟයි. සැම්බියාවේ විදේශ බැඳුම්කරහිමියන් ඇතුළු වාණිජ ණයහිමියන්ටද මෙම පදනම අනුව තමන්ගේ ප්‍රතිලාභ ලබා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා ඉදිරි කාලයේදී ඔවුන්ව එකඟ කරගත යුතුයි.

සැම්බියාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "පොදු රාමුව (common framework)" යටතේ. මේ යටතේ මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කළ, ලෝකයේ දිළිඳුම රටක් වන, චාඩ් රාජ්‍යයට ඒ සඳහා මාස දොළහක කාලයක් ගත වූ අතර සැම්බියාව මාස දහයක කාලයක් තුළ මේ කාර්යය අවසන් කළා. ඝානාවේ හා ඉතියෝපියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම්ද පොදු රාමුව යටතේ සලකා බැලෙන නමුත් වඩා ඉහළ ආදායම් තලයක සිටින ලංකාවට පොදු රාමුව අදාළ වෙන්නේ නැහැ.

පොදු රාමුව අදාළ නොවන නිසා ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඉහත රටවල් තරමටම දැඩි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් ඉහත රටවල් තරමටම විශාල ණය සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අඩු කාලයක් තුළ අවසන් කර ගැනීමේ හැකියාව තිබෙනවා. 

ඉහත හැම රටකම මෙන් ණය තිරසාරත්වය නැති වීමට ප්‍රධාන හේතුව සේ හඳුනාගෙන තිබෙන්නේ රාජ්‍ය ආදායම රටේ ආදායමට අනුපාතිකව ඉහළ මට්ටමක තිබුණත්, රටේ ආදායම පහළ මට්ටමක තිබීම හේතුවෙන් ණය වාරික හා පොලී ගෙවීමට තරම් රජයේ ආදායම ප්‍රමාණවත් නොවීමයි. එම රටවලින් වෙනස්ව ලංකාවේ මූලික ප්‍රශ්නය රටේ ආදායම ණය ගෙවිය හැකි මට්ටමක තිබියදී එම ආදායමෙන් රජය විසින් එකතු කර ගන්නා කොටස ප්‍රමාණවත් නොවීමයි. ඒ නිසා, ඉහත රටවල් සඳහා සකස් කර ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ වලට සාපේක්ෂව, ලංකාව සඳහා වන වැඩපිළිවෙළෙහි වැඩි අවධාරණයක් සිදු කර තිබෙන්නේ රජයේ ආදායම් ඉහළ නංවා ගෙන හැකි ඉක්මණින් ණය ආපසු ගෙවීම කෙරෙහියි. 

Friday, June 23, 2023

සැම්බියාව සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කරයි!


සැම්බියාව විසින් ඔවුන්ගේ ඩොලර් බිලියන 6.3ක ද්විපාර්ශ්වික ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට සමත්ව සිටින බව නිවේදනය කර තිබෙනවා. ඩොලර් බිලියන 22ක ආර්ථිකයක් ඇති සැම්බියාව ඩොලර් බිලියන 32.8ක ණය කන්දක් ගොඩ ගසාගෙන සිටි අතර එයින් ඩොලර් බිලියන 18.6ක් පමණම විදේශ ණයයි. 2020 නොවැම්බර් 13 දින සැම්බියාව විසින් ණය ගෙවීම පැහැර හරිනු ලැබුවා. ඉන් පසුව එකතු වූ නොගෙවු පොලී ඩොලර් බිලියන 1.2ක්ද ඉහත ගණනට ඇතුළත්. 

ඉහත ණය වලින් මේ වන විට ප්‍රතිව්‍යුහගත කරනු ලැබ ඇත්තේ ද්විපාර්ශ්වික ණයයි. එම ණය වසර තුනක සහන කාලයකින් පසුව වසර විස්සක කාලයක් තුළ ආපසු ගෙවීම ඇති කරගෙන තිබෙන එකඟතාවයි. සහන කාලය තුළ පොලිය පමණක් ආපසු ගෙවීමට නියමිතව අතර පොලිය සීමා කිරීමක්ද සිදු වනවා. කෙසේ වුවද, සැම්බියාවේ ආර්ථිකය වඩා යහපත් වුවහොත් සැම්බියාව විසින් වඩා වැඩි පොලියක් ගෙවිය යුතු අතර ණය වාරිකද වඩා කලින් ආපසු ගෙවිය යුතුයි. මේ හා අදාළ විස්තරාත්මක තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නැහැ. 

ඉහත ද්විපාර්ශ්වික ණය වලට අමතරව ඩොලර් බිලියන 6.7ක වාණිජ ණයද මෙම කොන්දේසි යටතේම ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමට නියමිතයි. එහෙත්, කිසිදු ආකාරයක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නැහැ. ඒ සඳහා විදේශ ණයහිමියන්ගේ එකඟත්වය ලැබී තිබෙනවා. 

සැම්බියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට ගියේ පසුගිය අගෝස්තු මාසයේදී. ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමට එතැන් සිට මාස දහයකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. සැම්බියාවේ ලොකුම ද්විපාර්ශ්වික ණයහිමියා වූයේත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම කල් යන්නට ප්‍රධානම හේතුව වූයේත් චීනයයි.