Wednesday, January 12, 2022

S&P ආයතනය ලංකාව තවත් පහළට දමයි!


ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 500ක ස්වෛරිත්ව බැඳුම්කර ණයක් පියවන්නට සැරසෙමින් සිටියදී S&P ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම CCC+ කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබෙනවා. එම ආයතනයට අනුව ලංකාවේ දිගුකාලීන ණය ආපසු ගෙවීමේ හැකියාව ඉතා වේගයෙන් ක්ෂය වෙමින් පවතිනවා. මෑතකදී රජය විසින් ලබා දුන් සහන පැකේජය හේතුවෙන්ද රජයේ ණය ගෙවීමේ හැකියාව තවදුරටත් දුර්වල වී ඇති බව ඔවුන්ගේ අදහසයි. මෙම ආයතනයේ ඇස්තමේන්තු අනුව 2022 ආර්ථික වර්ධනය 2.2% මට්ටම දක්වා පහත වැටෙනු ඇති අතර 2022-2025 කාලය තුළ ආර්ථික වර්ධනය 2.7% මට්ටමේ පැවතීමට නියමිතයි.

මේ වන විට ලංකාව වැටී තිබෙන CCC කාණ්ඩයද වැටිය හැකි නරකම තැන නෙමෙයි. S&P ආයතනය විසින් ණය පැහැර හැරීමෙන් පසුව දමන D කාණ්ඩයට ඉහළින් තවත් කාණ්ඩ තුනක් තිබෙනවා. එම කාණ්ඩයකට වැටීමෙන් අදහස් වන්නේ "ණය පැහැර හැරීමක් වහාම සිදු විය හැකි හා එයින් ගැලවී වී සිටීමට ඉතාම කුඩා ඉඩක් පමණක් ඇති" බවයි. 

මූඩිස් ආයතනය විසින් මේ වන විට ලංකාව වර්ග කර තිබෙන්නේ Caa2 කාණ්ඩය යටතේ. එයද S&P ආයතනයේ CCC කාණ්ඩයට සමාන කළ හැකි කාණ්ඩයක්. කෙසේ වුවද, ෆිච් රේටිං සමාගම විසින් සති කිහිපයකට පෙර ලංකාව CC කාණ්ඩය දක්වා පහත හෙළුවා. ණය පැහැර හැරීමට පෙර ඊට පහළින් තිබෙන්නේ තවත් එක් කාණ්ඩයක් පමණයි. ෆිච් රේටිං සමාගමට අනුව මේ වන විටද ලංකාව ඉන්නේ "ණය පැහැර හැරීමක් වහාම සිදු විය හැකි හා එයින් ගැලවී වී සිටීමට ඉතාම කුඩා ඉඩක් පමණක් ඇති" තත්ත්වයකයි.

සුපුරුදු පරිදිම මහ බැංකුව විසින් මේ පහත දැමීම පිළිබඳව විරුද්ධත්වය පළ කර නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Tuesday, January 11, 2022

අපනයන ඇත්තටම වැඩි වෙලාද?

පසුගිය ඔක්තෝබර් මාසයේදී ලංකාවේ අපනයන ආදායමෙහි වාර්තාගත වැඩි වීමක් දකින්නට ලැබෙනවා. මාසය තුළ වාර්තා වී තිබෙන අපනයන ආදායම ඔක්තෝබර් මාසයකදී වාර්තා වී තිබෙන ඉහළම අගයයි. ඒ කියන්නේ ලංකාව ගොඩද? මේ පෙනෙන්නේ සුබ අනාගතයක පෙර මග ලකුණුද?

මෙය හොඳ තත්ත්වයක්. එහෙත් විශිෂ්ඨ තත්ත්වයක් හෝ ලංකාවේ පැත්තෙන් සිදු වී තිබෙන සුවිශේෂී වර්ධනයක් නෙමෙයි.

Chart 1: World merchandise trade volume and value, 2015Q1 - 2021Q3
(Index, 2019 = 100)


Source: WTO and UNCTAD.
Note: World trade refers to average of world exports and imports.

ලෝක වෙළඳ සංවිධානයට අනුව, 2021 තෙවන කාර්තුවේදී ලෝක වෙළඳාමේ ඩොලර් අගය වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කරනවා. මෙය පෙර වසරේ තෙවන කාර්තුවට සාපේක්ෂව 24%ක වැඩි වීමක්. ලෝක වෙළඳ පරිමාව වසංගතයට පෙර මට්ටම ඉක්මවා වර්ධනය වීම හා මිල මට්ටම් විශාල ලෙස ඉහළ ගොස් තිබීම මේ වර්ධනයට හේතු වී තිබෙනවා. ඔක්තෝබර් මාසය තුළදීද මේ ප්‍රවණතාව දැකිය හැකි අතර ලෝක වෙළඳ සංවිධානයේ ඇස්තමේන්තු අනුව වසරේ අවසන් මාස දෙක තුළද ජාත්‍යන්තර වෙළඳාම විශාල ලෙස වර්ධනය වී තිබෙනවා.

මෙසේ ලෝක ආනයන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල අපනයන ආදායම් විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. එම සංවිධානය විසින්ම සකස් කර ප්‍රසිද්ධ කර ඇති පහත ප්‍රස්ථාරය අනුව, 2021 ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ අපනයන ආදායම පහළ ගොස් තිබෙන්නේ රටවල් හතක පමණයි. අපනයන ආදායම ඉහළ ගිය රටවල් අතරින් පහළින්ම සිටින රට ලංකාවයි. ඇත්තටම සිදු වී තිබෙන්නේ ලෝක වෙළඳාමෙහි ලංකාවේ අපනයන ආදායමේ භාගය සැලකිය යුතු ලෙස පහළ වැටීමයි. 

Chart 2: Merchandise export growth of selected economies, January-October 2021
(% change over same period in 2019)

a January-November.
b January-September.
Source: National statistics accessed through Trade Data Monitor (TDM).

අසුබවාදී පුවත් වාර්තා කිරීම අපේ අරමුණ නොවූවත් ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දිය යුතුයි.

Friday, January 7, 2022

රන් සංචිත වලින් බාගයක්ම විකුණලා!


පසුගිය දෙසැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ඉතිරිව තිබුණු රන් සංචිත වලින් 54%ක්ම විකුණා දමා තිබෙනවා. මේ අනුව, මේ වන විට ලංකාව සතු රන් සංචිත ප්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 175.4ක් පමණයි.

මේ ආණ්ඩුව බලයට පත් වන විට (2019 වසර අවසානයේදී) ලංකාව සතුව තිබුණු රන් සංචිත වල වටිනාකම ඩොලර් මිලියන 954.9ක්. එම සංචිත වලින් විශාල ප්‍රමාණයක් 2019 වසර තුළ විකුණා දැමීමෙන් පසුව 2020 වසර අවසානයේදී ඉතිරිව තිබුණු රන් සංචිත වල වටිනාකම ඩොලර් මිලියන 408.9 දක්වා පහත වැටුනා. පසුගිය (2021) නොවැම්බර් මාසය අවසාන වන විටද මහ බැංකුව සතුව ඩොලර් මිලියන 382.2ක් වටිනා රන් සංචිත තිබුණා. පසුගිය මාසය තුළ එම සංචිත වලින්ද බාගයකටත් වඩා විකුණා දමා තිබෙනවා.

නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 1,588ක් වූ මුළු සංචිත ප්‍රමාණය වසර අවසානය වෙද්දී ඩොලර් බිලියන 3,138 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් වාර්තා කර ඇතත් එසේ සංචිත ඉහළ ගියේ කෙසේදැයි පැහැදිලි කර නැහැ. ඇතැම් විශ්ලේෂකයන් විසින් අනුමාන කර තිබුණේ මාස ගණනාවකට පෙර චීනය සමඟ අත්සන් කළ විණිමය හුවමාරු ගිවිසුම හරහා ලබා ගත හැකි යුවාන් බිලියන දහයේ ඩොලර් වටිනාකම සංචිත වලට එකතු කර මේ ගණන පෙන්වා ඇති බවයි.

චීන යුවාන් පහසුවෙන් ඩොලර් ගෙවීම් සඳහා යොදා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, එම මුදල් ලැබුණත් ඩොලර් ගෙවීම් කිරීම තව දුරටත් ප්‍රශ්නයක් වෙනවා. තවත් සතියකින් පමණ ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 500ක පමණ ස්වෛරිත්ව බැඳුම්කරයක් පියවිය යුතුව තිබෙනවා. යම් හෙයකින් වෙනත් මාර්ගයකින් ද්‍රවශීල ඩොලර් සංචිත බිලියන 1.5ක් ලැබී සංචිත ඉහළ ගියේනම් මහ බැංකුව විසින් ඉතිරිව තිබුණු සොච්චම් රන් සංචිත වලින්ද අඩකට වැඩි ප්‍රමාණයක් මුදල් කළේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මේ අනුව පෙනෙන්නේ ඩොලර් සංචිත ඉහළ යාම සම්බන්ධව ඇතැම් විශ්ලේෂකයන්ගේ අනුමානය නිවැරදි විය හැකි බවයි.

Saturday, January 1, 2022

නින්දෙන් ඇහැරෙන උද්ධමන බිල්ලා


පසුගිය වසර අවසන්ව ඇත්තේ 12.1%ක උද්ධමනයක් වාර්තා කරමින්. ආහාර උද්ධමනය 22.1% තරම් ඉහළ අගයක්. වසරේ පළමු මාස 9 තුළම උද්ධමන දර්ශකය 4.4%කින් පමණක් ඉහළ යාමත්, අවසන් තෙමස තුළ පමණක් 7.4%කින් ඉහළ යාමත් අවධානය යොමු කළ යුතු කරුණක්. ඒ අනුව, අවසන් තෙමස තුළ පැවති උද්ධමනය සමාන කළ හැක්කේ 32.8%ක වාර්ෂික උද්ධමන අනුපාතයකටයි. මේ සංඛ්‍යාව දෙස බලා 2020 වසර තුළ උද්ධමනයේ දිශානතිය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්.

ඉහළ යන උද්ධමනය මිත්‍යාවන් ගණනාවක් බිඳ දමනවා. පළමුවැන්න, මුදල් සැපයුම ඉහළ දමමින් උද්ධමන රකුසාගෙන්ද බේරී සිටිය හැකි බවට පළ කෙරුණු අදහසයි. හිටපු මහ බැංකු අධිපතිවරයාද මේ න්‍යායේ ප්‍රකාශකයෙක්ව සිටියා. වත්මන් අධිපතිවරයා විසින් ධුරය භාර ගැනීමෙන් පසුව මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනයට හේතු වන බව පිළි ගනිමින් කතා කළත්, අවශ්‍ය අවස්ථාවේ මුදල් සැපයුම අඩු කර ගැනීමේ හැකියාව මහ බැංකුව සතු නිසා මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනයට හේතු නොවන ඇති බව අවධාරණය කළා.

අධිපති කබ්රාල්ට අනුව මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි කිරීම ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සැත් පිහියකින් රෝගියෙකුගේ සිරුර කැපීම වැනි දෙයක්. කපන්න වගේම රෝගියාට හානියක් නොවන සේ අවශ්‍ය අවස්ථාවේ කැපුම මහන්නත් වෛද්‍යවරයාට පුළුවන්. අධිපති ධුරයට කබ්රාල් පත් වීමෙන් පසුව ගත වූ තෙමස තුළ 32.8%ක වාර්ෂික උද්ධමනයකට සමාන අනුපාතයකින් මිල මට්ටම් ඉහළ යාම තුළ පෙනී යන්නේ මහන එක කපන තරම්ම ලේසි නැති බවයි.

උද්ධමනය විසින් බිඳ දමන දෙවන මිථ්‍යාව ඩොලරයේ මිල පාලනය කිරීමෙන් උද්ධමනය පාලනය කළ හැකි බවයි. මෙය සම්පූර්ණ බොරුවක්ම නොවන අර්ධ සත්‍යයක්. ආනයන සීමා කිසිවක් නැත්නම් ඩොලරයේ මිල පාලනය කිරීමෙන් උද්ධමනය පාලනය කළ හැකියි. එහෙත්, ආනයන සීමා ඇති විට ඩොලරයේ මිල පාලනය කළ පමණින් දේශීය වෙළඳපොළෙහි ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවය සමතුලිත නොවන නිසා මුදල් සැපයුම ඉහළ මට්ටමක පවතින තුරු භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නොවැලැක්විය හැකියි.

බඩු මිල ඉහළ යාමට හේතුව ඉහළ බදු යන්නද, අඩු වශයෙන් ලංකාවේ සන්දර්භයේදී, මෙවැනිම මිථ්‍යාවක්. බදු වැඩියෙන් අය කරද්දී අයවැය හිඟය පහළ ගොස් සල්ලි අච්චු ගැසීමේ අවශ්‍යතාවය අඩු වන නිසා බදු හේතුවෙන් සෘජු ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ බලපෑම නිශේධනය වෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ බදු වැඩි කර, ඩොලරයද ඉහළ යන්න ඉඩ දී තිබියදීත්  උද්ධමනය මේ අයුරින් ඉහළ නොගොස් බඩු මිල පාලනය වී තිබුණේ උද්ධමනයට මුදල් සැපයුමේ බලපෑම ඔය දෙකෙන්ම සිදුවන බලපෑමට වඩා වැඩි නිසයි.

මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන මැදිකාලීන සාර්ව-ආර්ථික සැලසුම අනුව උද්ධමනය 4-6% අතර පවත්වා ගැනීම රජයේ සැලසුමයි. පසුගිය වසර 12ක කාලය තුළ ලංකාවේ උද්ධමනය මේ සීමාව තුළ හෝ ආසන්නයේ රඳවා ගැනීමට හැකි වී තිබෙන අතර 2009 ජනවාරි මාසයෙන් පසුව උද්ධමනය කිසි විටෙකත් ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් වී නැහැ. ගැලවිල්ලට කවර හේතු ඉදිරිපත් කළ හැකි වුවත්, 12.1%ක උද්ධමනය විසින් පෙන්වා දෙන්නේ පැහැදිලි ලෙසම මහ බැංකුව සිය වගකීම් ඉටු කිරීමට අසමත්ව ඇති බවයි.

මේ තරම් ඉහළ මට්ටමකට ගොස් තිබෙන උද්ධමනය විසින් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකද ප්‍රශ්න කෙරෙනවා. මේ වන විටද වාණිජ බැංකු විසින් 6% පොලියට මහ බැංකුවෙන් අරමුදල් ලබා ගනිමින් සිටින අතර එම අරමුදල් තෙමස් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර 8.16%ක පොලියක් උපයනවා. වාණිජ බැංකු වල ප්‍රමුඛ පාරිභෝගිකයින්ද 9.18%ක පොලියකට ණය ලබා ගනිමින් සිටින අතර මෙය පවතින උද්ධමනයට වඩා 3%කින් පමණ අඩු පොලියක්. මේ තත්ත්වය යටතේ, සාමාන්‍ය පුද්ගලයින්ට උද්ධමනය විශාල ප්‍රශ්නයක් වුවත්, සීමිත පිරිසකට "කල්ල මරේ" තත්ත්වයක් ඇති වී තිබෙනවා.