Tuesday, October 16, 2018

රාජපක්ෂ ණය


අද දිනයේ (ඔක්තෝබර් 15) රුපියල තරමක් අධිප්‍රමාණය වී තිබෙනවා. පසුගිය සති කිහිපය මුළුල්ලේ සිදුවුනේ රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමයි. එය වැළැක්වීමට රජය වගේම මහ බැංකුවත් විවිධ පියවර ගත්තා. අද සිදු වූ වෙනසට හේතුව වෙළඳපොල සාධක වල ප්‍රතිඵලයක්ද, මහ බැංකු මැදිහත්වීමක්ද, රජය විසින් විදේශ ණයක් ලබා ගැනීමේ ප්‍රතිඵලයක්ද කියා මා දන්නේ නැහැ.

ලංකාව මේ වන විට මුහුණ දෙන ගෙවුම් ශේෂ අර්බුදයට පාර කැපුණේ පසුගිය ආණ්ඩුව කාලයේ බව මා කියා තිබෙනවා. එයට හේතු වුණේ විදේශ ණය අරගෙන වෙළඳපොළට ඩොලර් මුදාහැරීම හරහා රුපියල ඕනෑවට වඩා ශක්තිමත් මට්ටමක තැබීම හේතුවෙන් රටේ අපනයන ආර්ථිකයට වර්ධනය වීමට තිබුණු ඉඩ වසරක් ගණනාවක් තිස්සේ අහුරා දැමීමයි. මේ තත්ත්වය යටතේ ඉන්දියානු හා චීන ආනයන වලින් ලංකාවේ කඩවල රාක්ක පිරෙන්න ගත්තා. රට පුරා දිලිසුණේ ණයට ගත් සමෘද්ධියයි.

ඒ එක්කම පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2004-2014 කාලයේ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 102.3% සිට 71.3% දක්වා අඩු වුන බවත් අපි දන්නවනේ. එහෙමනම් මේ කතා දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද?

සීසර්ගේ දේ සීසර්ට දිය යුතුයි කියනවනේ. ඒ වගේ රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වුනු දේ වල හොඳ වගේම නරකත් තිබෙනවා. රටේ ආර්ථිකය හා අදාළව ගත්තොත් හැම හොඳ දෙයක්ම කළේ රාජපක්ෂ ආණ්ඩුව නොවනවාක් වගේම හැම නරක දෙයක්ම කළේත් රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයි.

ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය දැන් තියෙන අදියරට ගෙන ගියේ පහුගිය ආණ්ඩුව වුවත්, ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයට වගකිවයුත්තේ රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයි. රාජ්‍ය ණය අර්බුදය රාජපක්ෂ ආණ්ඩුවට ඊට පෙර ආණ්ඩු වලින් උරුම වූවක්. පහුගිය ආණ්ඩුව ලංකාවේ වෙනත් ආණ්ඩු වලට වඩා විශාල ලෙස වැඩි වේගයකින් රාජ්‍ය ණය ප්‍රමාණය වර්ධනය වෙන්න ඉඩ දී නැති බව මම මීට පෙරත් පෙන්වා දී තිබෙන කරුණක්.

රාජපක්ෂ ණය ගැන තවත් විවේචන තිබෙනවා. ලබාගත් ණය ඵලදායී කටයුතු වෙනුවෙන් වැය නොකෙරුණු බව එක් විවේචනයක්. මේ විවේචනය අඩු වැඩි වශයෙන් අනෙක් ආණ්ඩු වලටත් කළ හැකි එකක්. රජයේ ආයෝජන වල ඵලදායීතාව හොයන එක පහසු කටයුත්තක් නෙමෙයි.

ඒ වගේම, රාජපක්ෂ ආණ්ඩුවේ විවේචකයින් විසින් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ සහනදායී ණය වෙනුවට වැඩි පොලියට වානිජ ණය ලබාගත් බවයි. කතාවනම් සම්පූර්ණ ඇත්ත. නමුත්, මගේ අදහස ඔය කාලයේ කවර ආණ්ඩුවක් බලයේ සිටියත් ඔයිට වඩා වෙනස් දෙයක් කරන්න ඉඩ නොතිබුණු බවයි. ලංකාව මැදි ආදායම් තත්ත්වයට ගියාට පස්සේ සහනදායී ණය ලබා ගැනීම අමාරු වීමෙන් පසුව වාණිජ ණය වලට නොයා සිටීම පහසු කටයුත්තක් වුණේ නැහැ.

රාජපක්ෂ ආණ්ඩුව රට ආර්ථික අර්බුදයකට තල්ලු කළේ වැඩිපුර විදේශ ණය ගැනීම හරහා නෙමෙයි. එසේ ගත් ණය යොදාගෙන රුපියල කෘතිමව පහළින් තබා ගැනීම හරහායි. ඔවුන් එසේ කළ බව ඒ කාලයේ ආර්ථිකය මෙහෙයවූ අය දැනටත් පාරම්බාන කරුණක්.

පහුගිය ආණ්ඩු කාලයේ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය වැඩි වුනේ නැතත්, මේ සංඛ්‍යාලේඛණය පෙන්වන තරම් පහළට වැටුනේනම් රුපියල කෘතිමව පහළින් තබා ගැනීම නිසයි. මෙය මම සංඛ්‍යාලේඛණ ඇසුරෙන්ම පැහැදිලි කරන්නම්.

දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය අඩු වෙන එක හේතු දෙකක් මත සිදු විය හැකියි. රාජ්‍ය ණය අඩුවීම නිසා හෝ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වීම නිසා. 2004-2014 කාලය තුළ රාජ්‍ය ණය අඩු වුනේ නැහැ.

ඇත්තටම සිදු වුනේ 2004-2014 කාලය තුළ රුපියල් බිලියන 2,140 සිට 7,391 දක්වා 3.45 ගුණයකින් රාජ්‍ය ණය ඉහළ යාමයි. නමුත්, ඔය කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2,091 සිට 10,361 දක්වා 4.96 ගුණයකින් ඉහළ ගියා. වසරකට 13.20%ක සාමාන්‍ය වේගයකින් රාජ්‍ය ණය වැඩි වෙද්දී, 17.36%ක වාර්ෂික වේගයකින් නාමික ද.දේ.නි. ඉහළ ගිය නිසා ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස ගත්තහම රාජ්‍ය ණය 102.3% සිට 71.3% දක්වා පහළ ගියා.

සංඛ්‍යාලේඛණ දිහා බැලුවහම ඉහත කී අඩුවීම දේශීය ණය වලින් වගේම විදේශීය ණය වලිනුත් පෙන්වනවා. දේශීය ණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 54.7% සිට 41.3% දක්වා ප්‍රතිශතාංක 13.4%කින් පහළ යන කොට විදේශ ණය ප්‍රමාණය 47.6% සිට 30.0% දක්වා 17.6%කින්ම පහළ ගියා. නමුත්, ඔය දෙවනු කී පහළ යාම දිහා අපි වඩා සැලකිල්ලෙන් බැලිය යුතුයි. මොකද මේ ණය රුපියල් ණය නෙමෙයි. සැසඳීම කරන්නේ ඩොලර් ණය පවතින විනිමය අනුපාතිකය යටතේ රුපියල් වලට හරවලා.

අප විසින් සංසන්දනයට ලක් කළ 2004 හා 2014 වසර වලදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් වලින් බැලුවොත් මිලියන 9,522 සිට මිලියන 23,755 දක්වා 2.49 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. මෙය 9.57%ක වාර්ෂික වර්ධනයක්. ඔය කාලයේ ඩොලරයේ මිල රුපියල් 104.61 සිට 131.05 දක්වා 1.25 ගුණයකින් ඉහළ ගිහින් තිබෙනවා. ලංකාවේ විදේශ ණය රුපියල් වලින් බැලුවහම 3.13 ගුණයකින් වැඩි වී තිබෙන්නේ මේ කරුණු දෙකේම එකතුවක් ලෙසයි. මෙයින් පැහැදිලි වන පරිදි, ඩොලරයක රුපියල් මිල මීට වඩා වැඩි වුනානම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ලංකාවේ රාජ්‍ය ණය මීට වඩා වැඩි වෙනවා.

ඉහත සංඛ්‍යාලේඛණ සියල්ලම ගත්තේ මහ බැංකු වාර්තා වලින්. මේ ලිපියේ මතුකර පෙන්වන කරුණට යන්න කලින් රාජ්‍ය ණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස බැලීමේ පදනම කුමක්ද කියා අප විමසිය යුතුයි.

සරලව කියනවානම් ද.දේ.නි. කියන්නේ රටක සමස්ත ආදායම. බදු අනුපාතික නියතව තිබුණොත් රටේ ආදායම වැඩි වන විට රජයේ ආදායමත් ඉහළ යනවා. රජයේ ආදායම වැඩිවන විට ණය ගෙවීමේ හැකියාවත් ඉහළ යනවා. ඒ නිසා, රටේ (හා රජයේ) ආදායම වැඩි වන අනුපාතයට හෝ අඩු අනුපාතයකින් රාජ්‍ය ණය ඉහළ යාමේ ලොකු අවදානමක් නැහැ.

කොහොම වුනත්, ඉහත තර්කයේ අඩුපාඩු තියෙනවා. රටක ජාතික ආදායම උපයන්නේ වගේම රජය බදු එකතු කරන්නෙත් රටේ ව්‍යවහාර මුදලින්. නමුත්, ලංකාවේ විදේශ ණය රුපියල් ණය නෙමෙයි. ලංකාවේ මහ බැංකුවට රුපියල් මුද්‍රණය කරන්න පුළුවන් වුනත් ඩොලර් මුද්‍රණය කරන්න බැහැ. ඒ නිසා, රජයේ ආදායම් ඉහළ ගියත් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගැනීමේ අමතර ප්‍රශ්නයටත් මුහුණ දෙන්න වෙනවා.

ඇමරිකාවත් චීනය ජපානය වගේ රටවල් වලින් ණය අරගෙන තියෙනවා. නමුත්, ඒ ණය යෙන් ණය හෝ යුවාන් ණය නෙමෙයි. ඩොලර් ණය. ඒ නිසා, ඇමරිකාවට මේ ණය ආපසු ගෙවන්න අමාරුම වුනොත් ඩොලර් මුද්‍රණය කරලා ණය ගෙවන්න පුළුවන්. එහෙම කළොත් ඩොලර් එකේ වටිනාකම අඩු වෙනවා තමයි. ඒ වුණත්, එයින් අන්තිමේදී අමාරුවේ වැටෙන්නෙත් ණය දුන් අයමයි. ඒ අයට ආපසු ලැබෙන ඩොලර් වල යෙන් වටිනාකම නැත්නම් යුවාන් වටිනාකම අඩු වුනොත් ණය දී කළ ආයෝජනයේ පලක් නැති වෙනවා.

ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාවේ රුපියල අවප්‍රමාණය වන විට වෙන්නේ ණය ආපසු ගෙවන්න ඩොලර් හොයා ගැනීම වඩා වියදම් අධික දෙයක් වීමයි. ඩොලර් වලින් හෝ යෙන් වලින් ණය දුන් අයට ඒ මුදල් වලින්ම ණය එක්කම පොලියත් ආපසු ලැබෙන නිසා අවදානමක් නැහැ.

දැන් අපි ආපහු අප මුලින්ම ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ වලට ගියොත්, 2004-2014 අතර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.96 ගුණයකින් ඉහළ ගියා. මෙය 17.36%ක වාර්ෂික වර්ධන වේගයක්.

මතක තියාගන්න අපි මේ කතා කරන්නේ ලංකාවේ නාමික ද.දේ.නි. ගැන. නාමික ද.දේ.නි. කියන්නේ කිසියම් රටක කිසියම් වසරක් තුළ නිපදවන භාණ්ඩ හා සේවාවන් සියල්ලේ වටිනාකම. එය ගණනය කරන්නේ පවතින වෙළඳපොල මිල ගණන් අනුව.

නාමික ද.දේ.නි. හේතු දෙකක් මත වැඩිවන බව මා මීට පෙර පැහැදිලි කර තිබෙන දෙයක්. පළමුවැන්න රටේ නිපදවන භාණ්ඩ හා සේවාවන් ප්‍රමාණය ඉහළ යාම. එයට අපි රටේ මූර්ත ද.දේ.නි. වැඩිවීම එහෙමත් නැත්නම් සරලව ආර්ථික වර්ධනය කියා කියනවා. දෙවැන්න ඒ විදිහට නිපදවන භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහළ යාම. මෙයට කියන්නේ උද්ධමනය කියලයි. උද්ධමනය නිසාත් රටක නාමික ද.දේ.නි. වැඩි වෙනවා. 

රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ලංකාවේ ආර්ථිකය පිම්මක් පැන්නා. එයට හේතු වුනේ ඒ කාලය තුළ වසර 26ක් පැවති යුද්ධය අවසන් වීම. මේ ගැන විස්තර කර ලියන්න හිටි දේවල් ලියන්න තවමත් වෙලාවක් ලැබුණේ නැහැ.

යුද්ධය අවසන් කරන්න දේශපාලන නායකත්වය සැපයූවේ රාජපක්ෂ ආණ්ඩුවයි. ඒ නිසා, ඒ හේතුවෙන් ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය වීමේ ගෞරවයත් ඒ ආණ්ඩුවට හිමි විය යුතුයි. නමුත්, ඒ හැර ඒ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ ද.දේ.නි. කොයි තරම් ඉහළ ගියාද කියන එක විවාදාත්මක කරුණක්. ඒ ගැන කතා කිරීමත් අපි පස්සට තියමු.

රාජපක්ෂ දශකයේදී ලංකාවේ මූර්ත ද.දේ.නි. 1.86 ගුණයකින් ඉහළ ගියා. මෙය 6.39%ක වාර්ෂික වර්ධනයක්. 1977 සිට රාජපක්ෂ යුගය දක්වා ලංකාව පවත්වාගත් සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 5%කට වඩා වැඩි නැති බව මා කලින් පෙන්වා දී ඇති දෙයක්. 

රටේ මූර්ත ද.දේ.නි. ඉහළ යන විට රජයේ බදු ආදායම් ඉහළ ගිහින් ණය ගෙවීමේ හැකියාව ඉහළ යාම අපේක්ෂා කළ හැකි දෙයක්. රාජපක්ෂ දශකයේදී රජයේ බදු ආදායම් ඒ ආකාරයටම ඉහළ නොගිය නමුත් ඒ ගැන කතා කිරීමත් අපි පසුවට තියමු.

ඉහත ආකාරයෙන් ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දශකයක් තුළ 1.86 ගුණයකින් ඉහළ යද්දී ඒ භාණ්ඩ හා සේවාවන් වල මිල 2.67 ගුණයකින් ඉහළ ගියා. ඒ කියන්නේ 10.31%ක සාමාන්‍ය උද්ධමන වේගයක් මේ කාලයේදී පැවතුණා. නාමික දදේනි වර්ධනය කියන්නේ ආර්ථික වර්ධනයේත් උද්ධමනයේත් සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය. නාමික දදේනි 4.96 ගුණයකින් ඉහළ ගියේ ඔය විදිහටයි.

දැන් මෙයින් පෙනෙනවා ඇති රටක උද්ධමනය ඉහළ යන තරමට දදේනි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය පහළ යන බව. ඒ වගේම අලුතින් මුදල් මුද්‍රණය කරන තරමට රටක උද්ධමනය ඉහළ යනවා කියන එකත්  මෙහි පළවන ලිපි දිගටම කියවන අය නොදැන ඉන්න විදිහක් නැහැනේ. රාජපක්ෂ දශකයේදී රාජ්‍ය ණය ප්‍රමාණය දදේනි ප්‍රතිශතයක් ලෙස 71.3% දක්වා අඩු වූ බව නිරීක්ෂණය කරන්නෙකුට මේ කරුණ බැහැර කරන්න බැහැ.

උද්ධමනය හේතුවෙනුත් නාමික දදේනි වැඩි වනවානම් දදේනි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ගණනය කිරීමේ අවුලක් නැද්ද?

ඇත්තටම නැහැ. රටේ ආර්ථිකය වර්ධනය නොවී මිල ගණන් පමණක් වැඩි වුනත් රජයට ලැබෙන බදු මුදල් ප්‍රමාණය ඉහළ යනවා. මොකද බදු අය කරන්නේ පවතින මිල ගණන් යටතේ ප්‍රතිශතයක් ලෙස නිසා. ඒ නිසා, රජයේ ණය ගෙවීමේ හැකියාවත් ඉහළ යනවා. එහෙම බලද්දී රටේ උද්ධමනය වැඩි වීමට අනුපාතිකව රාජ්‍ය ණය ඉහළ යාමේ විශාල අවුලක් නැහැ. (මෙහිත් අවුල් නැත්තේ නැහැ. ඒවා ගැන දැනට කතා නොකර ඉමු.) හැබැයි ඉතින් ඔය කොයි ආකාරයෙන් රජයේ ආදායම් ඉහළ ගියත් මේ සියලු ආදායම් රුපියල් ආදායම් නිසා රට ඇතුළේ ඩොලර් නැත්නම් ප්‍රශ්නයක් වෙනවා.

උද්ධමනය නිසා රුපියලේ වටිනාකම එන්න එන්නම අඩු වෙනවා. 2004දී රුපියල් 100ක් ගෙවා මිල දී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිල දී ගන්න 2014 දී රුපියල් 266.83ක් ගෙවිය යුතු තරමටම ඒ කාලයේදී උද්ධමනය හේතුවෙන් රුපියල පිරිහුණා. ඒ නිසා, 2004 රුපියල් හා 2014 රුපියල් සමාන සේ සැලකීම නිවැරදි නැහැ.

අප කලින් පෙන්වා දුන් පරිදි 2004දී ලංකාවේ දදේනි රුපියල් බිලියන 2,091ක්. 2014දී රුපියල් බිලියන 10,361ක්. නමුත්, 2004 රුපියල් වලින් බැලුවොත් 2014 ලංකාවේ දදේනි රුපියල් බිලියන 3,883ක් පමණයි. එය 10,361ක් සේ පෙනෙන්නේ මිල ගණන් 2.67 ගුණයකින් වැඩි වූ නිසයි.

මේ විදිහටම බැලුවොත් ලංකාවේ රජයේ දේශීය ණය ප්‍රමාණය 2014දී රුපියල් බිලියන 4,278ක් වුවත්, 2004 රුපියල් වලින් බැලුවොත් 1,603ක් පමණයි. ඒ කියන්නේ 1.40 ගුණයක වැඩි වීමක්. මෙය ඒ කාලයේදී ලංකාවේ මූර්ත දදේනි වර්ධනය වූ 1.86 අනුපාතයට වඩා අඩුයි. ඒ නිසා, රාජපක්ෂ දශකය තුළ ලංකාවේ රජයේ දේශීය ණය ප්‍රමාණය දදේනි ප්‍රතිශතයක් ලෙස 54.7% සිට 41.3% දක්වා අඩු වුණා කියන එක පැහැදිලි කරුණක්.

විදේශීය ණය දිහා මේ විදිහටම බලන්න බැහැ. ඒ ණය රුපියල් ණය නොවන නිසා උද්ධමනය හේතුවෙන් රජයේ බදු ආදායම් ඉහළ ගියා කියා ණය ගෙවීම පහසු වෙන්නේ නැහැ. 2004දී ලංකාවේ විදේශ ණය ඩොලර් මිලියන 9,522ක්. 2014 වෙද්දී 23,755ක්. 

ලංකාවේ තරමටම නැතත් ඇමරිකාවේත් උද්ධමනය තිබෙනවා. ඒ නිසා, 2004දී ඇමරිකන් ඩොලර් 100කින් මිලදී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිලදී ගන්න 2014දී ඇමරිකන් ඩොලර් 123.39ක් අවශ්‍ය වුනා. මේ අනුව බැලුවහම 2004 සිට 2014 දක්වා ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 9,522 සිට 23,755 දක්වා ඉහළ ගොස් තිබුණත් 2004 ඩොලර් වලින් බැලුවොත් 2014 විදේශ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 19,252ක් පමණයි. වැඩිවීම 2.02 ගුණයක්. එය 7.29% ක වාර්ෂික වර්ධන වේගයක්.

රාජපක්ෂ දශකයේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6.39%ක් වූ බව අප කලින් කිවුවනේ. උද්ධමනයේ බලපෑම ඉවත් කළොත් ඒ කාලයේ දේශීය ණය වර්ධනය වුණේ 3.44%ක වේගයකින්. දදේනි ප්‍රතිශතයක් ලෙස දේශීය ණය පහළ ගියේ ඒ නිසයි. නමුත්, උද්ධමන බලපෑම ඉවත් කිරීමෙන් පසුවත් සාමාන්‍ය විදේශ ණය වර්ධන වේගය ආර්ථික වර්ධන වේගයට වඩා වැඩියි. එයින් පැහැදිලිව පෙනෙන්නේ දදේනි ප්‍රතිශතයක් ලෙස විදේශ ණය අඩුවීම විණිමය අනුපාතිකය පහළින් තබාගැනීම නිසා පෙනෙන මායාවක් පමණක් බවයි. මූර්ත ඩොලර් වලින් බැලුවොත් රාජපක්ෂ දශකය තුළ ලංකාවේ විදේශ ණය දදේනි ප්‍රතිශතයක් ලෙස 47.6% සිට 51.9% දක්වා 4.3%කින් ඉහළ ගිහින්.

විදේශ ණය මේ විදිහට දදේනි ප්‍රතිශතයක් ලෙස 4.3%කින් ඉහළ ගියත් ඔය කාලය තුළ දේශීය ණය ප්‍රමාණය 13.4කින් පහළ ගියානේ. ඒ නිසා, විණිමය අනුපාතිකය පහළින් තබාගැනීමේ බලපෑම ඉවත් කළොත් දදේනි ප්‍රතිශතයක් ලෙස 2014 දී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙන්වන 71.3% සිට 93.2% දක්වා ඉහළ යනවා. නමුත්, එය වුවත් 2004දී වූ 102.3% ප්‍රතිශතයට වඩා අඩුයි. 

මේ කරුණු හරහා මා නැවතත් පෙන්වා දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළේ ණය අර්බුදයක් නොවන බවයි. වත්මන් ආණ්ඩුව දැන් මුහුණ දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ ගෙවුම් ශේෂ අර්බුදයටයි. ඩොලරයක මිල අවශ්‍ය පමණට ඉහළ යන්න දුන්නොත් වසර දෙක තුනකින් ඒ අර්බුදයෙන් මිදෙන්න බැරිකමක් නැහැ. 

Wednesday, October 3, 2018

ඩොලර් එක ඇත්තටම ශක්තිමත් වෙලාද?

පහුගිය දවස්වල රුපියලට වෙච්චි ඇබැද්දිය ගැන නැවත විස්තර කරන්න ඕනෑ නෑනේ. අගෝස්තු 31 සිට සැප්තැම්බර් 28 දක්වා කාලය තුළ පමණක් ඇමරිකන් ඩොලරයක රුපියල් අගය 161.47 සිට 169.24 දක්වා 4.8%කින් ඉහළ ගියා. පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා වෙද්දී ඇමරිකන් ඩොලරයක මිල 152.85ක් පමණයි. එදා ඉඳලා බැලුවොත් පහුගිය මාස නවයක කාලයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව 10.72% කින් අවප්‍රමාණය වෙලා.

මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත දත්ත අනුව මේ කාලය ඇතුළත රුපියල ඩොලරයට සාපේක්ෂව 10.17% කින් අවප්‍රමාණය වෙලා. දත්ත කොයි පැත්තෙන් අරගෙන බැලුවත් රුපියල ඩොලරයට සාපේක්ෂව දුර්වල වී තිබීම පැහැදිලිව පෙනෙන කරුණක්.

මෙයට හේතුව පහුගිය කාලයේ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීම බව අපට අහන්න ලැබුණු කතාවක්. කොහොමටත් ඉතින් රුපියල ඩොලරයට සාපේක්ෂව දුර්වල වෙනවා කියන්නේ ඩොලරය රුපියලට සාපේක්ෂව ශක්තිමත් වෙනවා කියන එකයි. ඒකනම් අමුතුවෙන් කියන්න තරම් විශේෂ දෙයක් නෙමෙයි. නමුත්, මේ කතාව කියන අයට අනුව රුපියල පැත්තකින් තියලා වෙන නිර්ණායක අනුව බැලුවත් ඇමරිකන් ඩොලරය ශක්තිමත් වෙලා. ඇත්තටම එහෙම වෙලාද?

ඇමරිකන් ඩොලරය රුපියල හෝ වෙනත් එවැනි ව්‍යවහාර මුදලක් ශක්තිමත් වෙලාද නැත්නම් දුර්වල වෙලාද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ වෙනත් නිර්ණායකයකට සාපේක්ෂව පමණයි. එහෙම නැතුව ඩොලරයක නිරපේක්ෂ වටිනාකමක් ගැන කතා කරන්න බැහැ. නිරපේක්ෂ පදනමකින් බලනවානම් ඩොලර් එකට එදත් ඩොලර් ශත සීයයි. අදත් ඩොලර් ශත සීයයි.

ඩොලර් එකක වටිනාකම රැඳී තිබෙන්නේ එහි හුවමාරු අගය මතයි. එහෙම නැත්නම් ඩොලර් එකක් කියන්නේ කියන්න තරම් ප්‍රයෝජනයක් නැති නිකම්ම නිකම් කොළ කෑල්ලක් විතරයි. වෙනත් ඕනෑම ෆියට් මුදලක් ගත්තත් ඒවායේ වටිනාකම රැඳී තිබෙන්නේ මිනිස්සුන්ගේ විශ්වාසය මතයි. 

ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ නොවැටී තිබෙන තාක් කල් මිනිස්සු තමන්ට හා වෙනත් අයට වැඩක් තිබෙන භාණ්ඩ හා සේවා ආදිය මේ නොවටිනා කොළ කෑලි සමඟ හුවමාරු කරන්න පැකිළෙන්නේ නැහැ. නමුත්, ඒ විශ්වාසය යම් විදිහකින් නැති වුනොත් ව්‍යවහාර මුදල් ඒකක බිලියන ගණනක් තිබුණත් පාන් ගෙඩියක් තරම් දෙයක්වත් මිලදී ගන්න බැරි වෙන්න පුළුවන්. කලකට පෙර සිම්බාබ්වේ මුදල් ඒකකයට වුණේ එවැනි දෙයක්.

ව්‍යවහාර මුදලක වටිනාකම නිර්ණය කළ හැකි හොඳම නිර්ණායකය වන්නේ යම් මුදලකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය කොපමණද යන්නයි. ක්‍රය ශක්තිය කියන්නේත් මෙයටමයි.

සාමාන්‍යයෙන් රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය කාලයත් එක්ක ඉහළ යනවා. ආර්ථික වර්ධනය කියා කියන්නේ මෙයටයි. රටේ නිපදවන හා හුවමාරු වන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගය හා අලුත් මුදල් සංසරණයට එකතු වන වේගය සමානනම් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදලේ අගය නොවෙනස්ව තිබෙනවා. උද්ධමනයක් කියා එකක් නැහැ. රටක නිපදවන භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව කිසියම් ව්‍යවහාර මුදලක අගයට අදාළ මුදලේ දේශීය අගය කියලත් කියන්න පුළුවන්.

කිසියම් රටක සංසරණයට අලුතින් එකතු කෙරෙන මුදල් ප්‍රමාණය දැනට තිබෙන මුදල් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගයට වඩා අඩුනම් මේ භාණ්ඩ හා සේවා මිල දී ගන්න අවශ්‍ය පමණ මුදල් රටේ නැති නිසා ඒ භාණ්ඩ හා සේවා විකිණීම අසීරු වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ භාණ්ඩ මිල පහළ යාමයි. මෙහිදී මුදල් ඒකකයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යනවා. ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදල ශක්තිමත් වෙනවා.

නමුත්, බොහෝ රටවල් වල බොහෝ විට වෙන්නේ මෙහි අනිත් පැත්තයි. ඒ කියන්නේ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් මුදල් සැපයුම ඉහළ යනවා. එහෙම වෙන්නේ එසේ කිරීම රජයයන්ට වාසිදායක නිසයි. වෙනත් අයෙක් ඉතා මහන්සියෙන් වැඩ කරලා ඩොලරයක් උපයන විට රජය මහන්සියක් නැතිව පහසුවෙන් ඩොලරයක් මුද්‍රණය කරගන්නවා. මේ ඩොලර් දෙකේම මිල දී ගැනීමේ හැකියාව සමානයි.

භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩිවන වේගයට වඩා වේගයෙන් රටේ මුදල් ප්‍රමාණය ඉහළ ගියාම භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම වැඩි වෙලා මිල ඉහළ යනවා. එවිට ඩොලරයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය, එනම් එහි ක්‍රය ශක්තිය පහළ යනවා. භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදල දුර්වල වෙනවා.

වෙනත් රටවල වගේම ඇමරිකාවෙත් ආර්ථිකය වර්ධනය වන වේගයට වඩා වැඩියෙන් අලුත් මුදල් සංසරණයට එකතු කෙරෙනවා. ඒ නිසා ඇමරිකාවේ වුවත් භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් වසරින් වසර ඉහළ යනවා. ඇමරිකන් ඩොලරයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය වසරින් වසර පහළ යනවා. වෙනත් විදිහකින් කිවුවොත් ඇමරිකන් ඩොලරය ඇමරිකාවේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව වසරින් වසර දුර්වල වෙනවා. එය ශක්තිමත් වෙන්නේ ඉතාම කලාතුරකින්.

පහත පළමු වගුවේ තිබෙන්නේ 2001 මුලදී ඇමරිකාවේ සංසරණය වූ ඩොලරයක දේශීය වටිනාකම වසරින් වසර පහල ගිය ආකාරයයි. දත්ත සියල්ල ඇමරිකාවේ කම්කරු සංඛ්‍යාලේඛණ කාර්යාංශයෙන්. ඇමරිකන් ඩොලරය රටේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව ශක්තිමත් වී තිබෙන්නේ 2014 වසරේදී පමණයි. අනෙක් සෑම අවුරුද්දකම වෙලා තියෙන්නේ ඇමරිකන් ඩොලරය දුර්වල වෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2001 ඇමරිකන් ඩොලරයක දැන් (2018 අගෝස්තු) වටිනාකම ඩොලර් ශත 68 කටත් වඩා අඩුයි. 2001දී ඩොලරයකින් ගත් බඩු ප්‍රමාණය ගන්න දැන් ඩොලර් 1.48ක් අවශ්‍යයි.



කොහොම වුනත් ඔය පහුගිය කාලයේ ඩොලරය ශක්තිමත් වුනා කියා කියන අය කියන්නේ ඔය කතාව නෙමෙයිනේ. ඒ අය කියන්නේ වෙනත් විදේශ මුදල් වලට සාපේක්ෂව මේ අවුරුද්දේදී ඩොලරය ශක්තිමත් වුනා කියන එකයි. ඩොලරය රට ඇතුළේ දුර්වල වෙද්දී එහෙම වෙන්න පුලුවන්ද?

බැරිකමක් නැහැ. මේ අවුරුද්දේ මුල සිට ගත වුනු මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයේ දේශීය අගය 1.70%කින් අඩු වෙලා තිබෙනවා. නමුත්, ඊට වඩා වේගයකින් වෙනත් රටක ව්‍යවහාර මුදලක දේශීය අගය අඩු වුනොත් එවැනි මුදලකට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙන්න පුළුවන්. ප්‍රාග්ධන ගලායෑම්, මහ බැංකු මැදිහත්වීම් වැනි වෙනත් හේතු මතත් එය වෙන්න පුළුවන්.

හරි. වෙන්න පුළුවන් කියා කියමුකෝ. එහෙමනං ඇත්තටම එහෙම වෙලාද?

පහත දෙවන වගුවේ තිබෙන්නේ වෙනත් මුදල් ඒකක ගණනාවකින් ඇමරිකන් ඩොලරයක මිල. දත්ත සියල්ල ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවෙන්. වසර මුල සිට ගත වූ මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයක බාහිර අගය වෙනස් වූ ආකාරය මේ වගුවේ පෙන්වා තිබෙනවා.



වගුවේ දත්ත වලින් පෙනෙන පරිදි යුරෝ, චීන යුවාන්, ජපන් යෙන්, කැනේඩියානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර්, නවසීලන්ත ඩොලර් ආදී මුදල් ඒකක ගණනාවකට සාපේක්ෂව පහුගිය කාලයේ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වී තිබෙනවා. නමුත්, මෙක්සිකන් පෙසෝ, නෝර්වීජියානු ක්‍රෝනර්, තායි බාත් ආදියට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය සුළුවෙන් හෝ දුර්වල වෙලාත් තිබෙනවා. එහෙමනම් ඇත්තටම ඇමරිකන් ඩොලරයේ බාහිර අගයට මොකද වෙලා තිබෙන්නේ.

ඇතැම් මුදල් ඒකක වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයේ බාහිර අගය ශක්තිමත් වෙද්දී වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව එම බාහිර අගය දුර්වල වන විට සමස්තයක් ලෙස සිදුවුණේ කුමක්ද කියා තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඇමරිකාවේ ප්‍රධාන වෙළඳපාර්ශ්වකාර රටවල් වල මුදල් ඒකක වලට සාපේක්ෂව එහි බාහිර අගය බරිත සාමාන්‍ය අගයක් ලෙස ගණනය කරලා ප්‍රසිද්ධ කරනවා. ඒ අනුව, පහුගිය මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයේ බාහිර අගය සමස්තයක් ලෙස 5.62%කින් ඉහළ ගිහින් තිබෙනවා.

කොහොම වුනත් ලංකාවේ ඩොලරය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 10.17% කින්ම (ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 10.72% කින්ම) දුර්වල වෙලා තිබෙන නිසා එයට හේතුව ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීමම කියා කියන්න බැහැ. ඇමරිකන් ඩොලරය වෙනත් රටවල් වලට සාපේක්ෂව ශක්තිමත් වීම හා රුපියල දුර්වල වීම අතර සම්බන්ධයක් නැතැයි කිව නොහැකි වුවත් එය ඉතා දුර්වල සම්බන්ධයක්.

රුපියල පාවෙන්නට ඉඩ ඇරපු 2001 වසරේ සිට එය දිගින් දිගටම දුර්වල වුවත් එහෙම වුණේ ඇමරිකන් ඩොලරය දිගින් දිගටම ශක්තිමත් වූ නිසා නොවෙයි. ඇමරිකන් ඩොලරයේ බාහිර අගය ඇතැම් කාලවල් වලදී දුර්වල වෙනවා වගේම නැවත ශක්තිමත් වෙනවා. එය නිතර සිදුවන ඉතා සාමාන්‍ය දෙයක්. ඇමරිකන් ඩොලරය ශක්තිමත් වන බොහෝ අවස්ථා වලදී රුපියල දුර්වල වුවත් ඇමරිකන් ඩොලරය දුර්වල වන විට රුපියල ශක්තිමත් වන බවක් බොහෝ විට දකින්න ලැබෙන්නේ නැහැ. එවැනි වකවානු වලදීත් වෙන්නේ රුපියල දුර්වල වන එකමයි.

පහත තෙවන වගුවෙන් පෙන්වා තිබෙන පරිදි රුපියලේ අගය තීරණය වන්නේ ඇමරිකන් ඩොලරයේ බාහිර අගය මතනම් මේ වන විට ඇමරිකන් ඩොලරයක මිල තිබිය යුත්තේ 2001දී තිබුණු මට්ටමේමයි. නමුත්, මේ වන විට ඩොලරයක රුපියල් මිල එමෙන් දෙගුණයක් පමණ වෙලා.



දිගින් දිගටම කියා තිබෙන පරිදි ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සිදුවිය යුතු දෙයක් ලෙසයි මම සලකන්නේ. නමුත් ඒ ඩොලරය පහුගිය කාලය තුළ විශාල ලෙස ශක්තිමත් වෙලා තිබෙන නිසා නෙමෙයි. රුපියල මේ වන විටත් පවතින විණිමය අනුපාතිකයෙන් පෙන්වනවාට වඩා දුර්වල වෙලා තිබෙන නිසා. අවප්‍රමාණය වීම හරහා සිදුවෙන්නේ ඒ දුර්වලකම පෙනෙන්න ගැනීමයි. සිදුවිය යුත්තේ මූලිකාංග අනුව රුපියල ශක්තිමත් වෙන්න ඉඩහැරීම මිසක් දැනටමත් දුර්වල වී අවසන්ව තිබෙන රුපියල ශක්තිමත්ව තිබෙන බව පෙන්වන්න අමාරුවෙන් උත්සාහ ගැනීම නෙමෙයි. එසේ කිරීමෙන් වෙන්නේ රුපියල තවතවත් දුර්වල වෙන්න ඉඩ සැලසීමක් පමණයි.

ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියල අවප්‍රමාණය වනවා කියන එක වැඩිම වුණොත් අර්ධ සත්‍යයක් පමණයි.