Monday, February 29, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -2


පළමු කොටස

පෙර ලිපියෙන් මම ජාත්‍යන්තර වෙළඳාමට අදාළ 'පරිපූර්ණ වාසිය' නම් වූ සංකල්පය හඳුන්වා දුන්නෙමි. ඒ සඳහා මා උදාහරණයට ගත්තේ ප්‍රමාණයෙන් සමාන ආර්ථිකයන් ඇති රටවල් දෙකකි. මගේ උදාහරණයේදී මා රටවල් දෙකේ ජනගහණය සමාන ලෙස සැලකුවද, එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැත. උදාහරණයක් ලෙස ගලවංකාවේ ජනගහණය 100ක් නොවී 1000ක් වීනම් සහ එක් පුද්ගලයෙකුගේ නිෂ්පාදන හැකියාව අල ග්‍රෑම් 300ක් හා මාළු ග්රෑම් 100ක් වූයේනම් ලැබෙන්නේද එකම ප්‍රතිඵලයයි. මෙහිදී අදාළ වන්නේ ආර්ථිකයේ ප්‍රමාණයයි. කෙසේ වුවද, ප්‍රමාණයෙන් වෙනස් ආර්ථිකයන් දෙකක් අතර සිදුවන වෙළඳාම මගේ පළමු ආකෘතිය මඟින් තේරුම් ගැනීමට නොහැකි විය හැකිය.

ප්‍රමාණයේ වෙනස ගැන කතා කිරීමට පෙර මේ උදාහරණයේදී දෙරටටම වාසි ලැබුණේ කෙසේද යන කරුණ සාකච්ඡා කළ යුතුය. යම් රටක ආර්ථිකයක් හුදෙකලාව ඇති විට එහි විවිධ භාණ්ඩ හා සේවාවන්හි සාපේක්ෂ මිල මට්ටම් සකස් වන්නේ රට තුළ එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා නිෂ්පාදන සාධක වල ඵලදායීතාව අනුවය. ඒ අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

රටවල් දෙකටම වාසියක් ලැබීමට හේතු වූයේ මේ වෙනසයි. මාළු කිලෝඑක අල කිලෝ 0.333 කට වැඩි ඕනෑම මිලක් අල්ලංකාවට වාසිදායකය. මාළු කිලෝඑක අල කිලෝ 3 කට වඩා අඩු ඕනෑම මිලක් ගලවංකාවට වාසිදායකය. මේ පරාසය තුළ ඕනෑම මිලකට රටවල් දෙක අතර ගණුදෙණුවක් සිදුවීමේ ඉඩකඩක් පවතී. මගේ උදාහරණයේදී එය සිදුවුනේ මාළු කිලෝඑකකට අල කිලෝඑකක් යන පදනමිනි. එහිදී, දෙරටේම ජාතික ආදායම් දෙගුණ විය. වෙනත් අයුරකින් කිවහොත් දෙරටටම සමාන වාසියක් ලැබුණේය.

රටවල් දෙකක් අතර සිදුවන ගණුදෙණුවලදී ඉහත උදාහරණයේ මෙන් හැම විටම දෙරටටම සම වාසි සිදුනොවේ. උදාහරණයක් වශයෙන් හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 0.333-1.00 අතර (0.5 හෝ 0.75 වැනි) අනුපාතයකින්නම් ගලවංකාවට වැඩි වාසි ලැබේ. එමෙන්ම, හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 1.00-3.00 අතර (1.5 හෝ 2.5 වැනි) අනුපාතයකින්නම් අල්ලංකාවට වැඩි වාසි ලැබේ. එය තීරණය වන්නේ දෙපාර්ශ්වය අතර සිදුවන හෙට්ටු කිරීම් මතය. කෙසේ වුවද, කවර තත්ත්වයක් යටතේ වුවද ස්වේච්ඡාවෙන් කරන ගනුදෙණුවකින් එහි එක් පාර්ශ්වයකටවත් අවාසියක් සිදු නොවේ. සිදු විය හැක්කේ ලැබෙන වාසියේ අඩු වැඩි වීමකි.

සාමාන්‍යයෙන් ඕනෑම රටකට තවත් රටකට සාපේක්ෂව පරිපූර්ණ වාසියක් ඇති නිෂ්පාදන යම් ප්‍රමාණයක් තිබේ. ජාත්‍යන්තර වෙළඳාම වාසිදායක වන්නේ එවැනි පරිපූර්ණ වාසි ඇති විට පමණක්ද? එමෙන්ම, රටවල් දෙකේ ආර්ථික ප්‍රමාණයෙන් අසමාන වූ විට සිදු වන්නේ කුමක්ද?

යම් රටකට කිසිදු නිෂ්පාදනයක් හා අදාළව පරිපූර්ණ වාසියක් නැතත් 'තුලනාත්මක වාසියක්' ඇති නිසා එවැනි තත්ත්වයක් යටතේ වුවද ජාත්‍යන්තර වෙළඳාමෙන් සිදුවන්නේ වාසියකි. දැන් අපි මේ 'තුලනාත්මක වාසිය' නම් වූ සංකල්පය ගැන කතා කරමු.

මේ දෙවන ආකෘතියේද අල්ලංකාව පළමු ආකෘතියේ අල්ලංකාවට සමානය. ජනගහණය 100කි. එයින් 25 දෙනෙකු මාළු අල්ලද්දී 75 දෙනෙකු අල ගලවති. අල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් (පෙර මෙන්ම) මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 1 බැගින් කිලෝ 75 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3 බැගින් කිලෝ 75 කි.

අල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 3කට හුවමාරු වේ.

මේ දෙවන ආකෘතියේ අල්ලංකාව වෙළඳාම් කරන්නේ හොල්ලංකාව නම් වූ වඩා විශාල ආර්ථිකයක් ඇති රටක් සමඟය. එහිද ජනගහණය 100කි. එහෙත්, හොල්ලංකාවේ වැසියෙකු අල මෙන්ම මාළු නිෂ්පාදනය අතින්ද අල්ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. හොල්ලංකාවේ 50 දෙනෙකු මාළු අල්ලද්දී 50 දෙනෙකු අල ගලවති. හොල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 2.25 බැගින් කිලෝ 112.5 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3.5 බැගින් කිලෝ 175 කි.

හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට (3.5/2.25) හුවමාරු වේ.

මේ රටවල් දෙක අතරින් අල වලින් මෙන්ම මාළු වලින්ද පරිපූර්ණ වාසිය ඇත්තේ හොල්ලංකාවටය. එසේනම්, හොල්ලංකාව සමඟ ගණුදෙනු කිරීමෙන් අල්ලංකාවට වාසියක් ලබා ගත නොහැකිද?

පරිපූර්ණ වාසියක් නැතත් අල්ලංකාවට තුලනාත්මක වාසියක් ලබා ගැනීමට බාධාවක් නැත.

අල්ලංකාවේ අල කිලෝ 1ක් හුවමාරුවන්නේ මාළු කිලෝ 3කටය. හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට හුවමාරු වේ. මාළු කිලෝ 3ක් දී අල්ලංකාවෙන් අල කිලෝවක් ගන්නවාට වඩා මාළු කිලෝ 1.556 කට හොල්ලංකාවෙන් අල කිලෝවක් ගැනීම අල්ලංකාවට වාසිදායකය. එමෙන්ම, අල කිලෝවකට හොල්ලංකාවෙන්  මාළු කිලෝ 1.556ක් ගන්නවාට වඩා අල්ලංකාවෙන් මාළු කිලෝ 3ක් ගැනීම හොල්ලංකාවට වාසිදායකය. ඒ නිසා, අල කිලෝවකට මාළු කිලෝ 1.556-3.00 අතර, දෙරට එකඟවන ඕනෑම අනුපාතයකට හුවමාරුවක් කිරීම දෙරටටම වාසිදායකය. මෙසේ එකඟවන අනුපාතය අපි අල කිලෝවකට මාළු කිලෝ 2.333 වැනි අතරමැදි ගණනක් ලෙස සලකමු.

දැන් අල වලට පරිපූර්ණ මෙන්ම තුලනාත්මක වාසියක්ද ඇති හොල්ලංකාව අල ගලවයි. මාළු වලට පරිපූර්ණ වාසියක් නැතත්, තුලනාත්මක වාසියක් ඇති අල්ලංකාව මාළු අල්ලයි.

අල්ලංකාව මාළු කිලෝ 300ක් (3.0x 100)නිපදවයි.
හොල්ලංකාව අල කිලෝ 350ක් (3.5x 100) නිපදවයි.

අල්ලංකාව හොල්ලංකාවට මාළු කිලෝ 210ක් අපනයනය කර අල කිලෝ 90ක් (210/2.333 = 90) ආනයනය කරයි.

දැන් අල්ලංකාවේ පරිභෝජනය මාළු කිලෝ 90ක් (300 - 210) සහ අල කිලෝ 90 කි. වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 75ක් සහ අල කිලෝ 75 ක් විය. මේ අනුව, අල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

හොල්ලංකාවේ සිදුවන්නේ කුමක්ද? එහි පරිභෝජනය මාළු කිලෝ 210ක් සහ අල කිලෝ 135 කි (225-90). වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 175ක් සහ අල කිලෝ 112.5 ක් විය. මේ අනුව, හොල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

මේ උදාහරණයේදී රටවල් දෙකේම අල හා මාළු පරිභෝජනය එකම ප්‍රතිශතයකින් වැඩි වුවද එය හැම විටම එසේ සිදු නොවේ. හුවමාරු අනුපාතය වෙනස් වන විට දෙරටේ වාසි අවාසි වෙනස් වෙයි. එහෙත්, සමස්තයක් වශයෙන් දෙරටටම හැම විටම සිදුවන්නේ වාසියකි.

(Image: www.yourarticlelibrary.com)

Saturday, February 27, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -1


රටවල් දෙකක් අතර ඇති කර ගන්නා වෙළද ගිවිසුමකින් ඒ එක් එක් රටේ විවිධ අංශ වලට සිදුවන බලපෑම හැදෑරීම සංකීර්ණ, කාලය ගත වන වැඩකි. එට්කා ගිවිසුමට පක්ෂ වීමට, විරුද්ධ වීමට හෝ මධ්‍යස්ථව අදහස් දැක්වීමට සදාචාරාත්මක වගකීමක් ඇති ආර්ථික විද්‍යාඥයින් ඕනෑ තරම් සිටින පසුබිමක, විනෝදාංශයක් වශයෙන් කරන කටයුත්තක් වෙනුවෙන් එවැනි ලොකු කාලයක් යෙදවීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් මට නැත. එහෙත්, එට්කා ගිවිසුම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාම විෂයයෙහි උනන්දුවක් ඇති වී ඇති මේ වෙලාවේ, ඒ හා අදාළ මූලික විෂය කරුණු කිහිපයක් කතා කිරීමනම් එතරම් මහන්සියක් විය යුතු කටයුත්තක් නොවේ.

රටවල් දෙකක් අතර වෙළඳාම නිදහස් කිරීම හොඳද නරකද යන්න සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙකු සාකච්ඡා කරන මාතෘකාවක් නොවේ. එය තරමක හෝ ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයෙකුට "කුකුළාගේ කරමල රතුද නැත්නම් සුදුද?" ආකාරයේ, පිළිතුර පිළිබඳ අවිනිශ්චිතතාව අඩු, ප්‍රශ්නයකි. ආර්ථික විද්‍යාඥයෙකු මෙවැනි කරුණක් අරභයා විමසන ප්‍රශ්න වන්නේ "කුකුළාගේ කරමල සුදුවීමට ඇති ඉඩකඩ මොනවාද?" හෝ "කුකුළාගේ කරමල සුදුවුනේ ඇයි?" වැනි ප්‍රශ්නයි.

ජාත්‍යන්තර වෙළඳාම හා අදාළ මූලික සංකල්ප දෙකක් වන්නේ 'පරිපූර්ණ වාසිය (absolute  advantage)' සහ 'තුලනාත්මක වාසිය (comparative advantage)' යන තත්ත්වයන්ය. මේ ලිපියේ අරමුණ මේ සංකල්ප දෙකෙන් පළමුවැන්න පැහැදිලි කිරීමයි. 


දැන් අපි අපේ පළමු සරල ආකෘතියට යමු.

ගලවංකාව සහ අල්ලංකාව කියා රටවල් දෙකක් තිබේ. මේ රටවල් දෙක ජනගහණය අතින් සමානය. එක් රටක 100 බැගිනි. රටවල් දෙකේම ජනජීවිතය හා ආහාර පුරුදු සමානය. රටවැසියෝ එක්කෝ ඉබේ වැවී ඇති අල ගලවති. නැත්නම් මාළු අල්ලති. ඉන්පසු අල සහ මාළු යොදා හදන කෑමක් කා ඇල්වතුර බී නිදාගනිති. රටවල් දෙකේම තත්ත්වය මේ කරුණු අනුව සමානය. කෙසේ වුවද, අල සහ මාළු නිෂ්පාදනය කිරීමට වැය කළ යුතු ශ්‍රමය (නිෂ්පාදන සාධක) අතින් රටවල් දෙක සමාන නැත.

පළමුව අපි අල්ලංකාවට යමු. මෙහි වැසියෙකුට දවසක් මහන්සි වී මාළු කිලෝ 3ක් ඇල්ලිය හැකිය. නැත්නම් අල කිලෝවක් ගැලවිය හැකිය. ඕනෑම අල ගලවන්නෙකුට මාළු අල්ලන්නෙකු වීමට හෝ මාළු අල්ලන්නෙකුට අල ගලවන්නෙකු වීමට හැකි නිසා අල්ලංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම අල කිලෝවකි. නැත්නම්, මාළු කිලෝ තුනකි. ඒ අනුව,
අල්ලංකාව තුල අල කිලෝවක් මාළු කිලෝ තුනකට හුවමාරු වේ. 

අල්ලංකාවේ අල වවන්නෝ අල ග්‍රෑම් 250ක් මාළු ග්‍රෑම් 750කට හුවමාරු කරති. මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 2250ක් අල ග්‍රෑම් 750කට (අල වවන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ අල්ලංකාවේ කවුරුත් අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

ගලවංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. එහි වැසියෙකුට දවසක් මහන්සි වී අල කිලෝ 3ක් ගැලවිය හැකිය. නැත්නම් මාළු කිලෝවක් ඇල්ලිය හැකිය. ගලවංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම මාළු කිලෝවකි. නැත්නම්, අල කිලෝ තුනකි.
ඒ අනුව, ගලවංකාව තුල මාළු කිලෝවක් අල කිලෝ තුනකට හුවමාරු වේ.

ගලවංකාවේ මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 250ක් අල ග්‍රෑම් 750කට හුවමාරු කරති. අල වවන්නෝ අල ග්‍රෑම් 2250ක් මාළු ග්‍රෑම් 750කට (මාළු අල්ලන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ ගලවංකාවේ වැසියනුත් අල්ලංකාවේ වැසියන් මෙන්ම අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

මේ රටවල් දෙකෙන් අල්ලංකාවට ගලවංකාවට සාපේක්ෂව මාළු නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. එමෙන්ම, ගලවංකාවට අල්ලංකාවට සාපේක්ෂව අල නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. මෙහිදී පරිපූර්ණ වාසියක් ලෙස හැඳින්වෙන්නේ සමාන නිෂ්පාදන සාධක යොදවා එක් රටකට වෙනත් රටකට වඩා වැඩි නිෂ්පාදනයක් කිරීමට ඇති හැකියාවයි.


තමන්ට පරිපූර්ණ වාසියක් ඇති භාණ්ඩයක් නිපදවා වෙනත් රටකට විකිණීමෙන් ඕනෑම රටකට වාසියක් ලැබේ. උදාහරණයක් වශයෙන් අල්ලංකාවේ සියල්ලෝම මාළු අල්ලද්දී ගලවංකාවේ සියල්ලෝම අල ගලවතැයි සිතමු. දැන් අල්ලංකාවේ මාළු කිලෝ 300ක්ද ගලවංකාවේ අල කිලෝ 300ක්ද නිපදවේ. අල්ලංකාවේ මාළු වලින් කිලෝ 150ක් ගලවංකාවේ අල කිලෝ 150ක් සමඟ හුවමාරු කරයි.

අන්තිමේදී අල්ලංකාවේ වැසියෙකු තමන් අල්ලන මාළු කිලෝ තුනෙන් කිලෝ 1.5ක් ගලවංකාවේ වැසියකුගේ අල කිලෝ 1.5ක් වෙනුවෙන් හුවමාරු කරයි.  අල්ලංකාවේ මෙන්ම ගලවංකාවේ වැසියෝත් අල කිලෝ 1.5ක් සහ මාළු කිලෝ 1.5ක් බැගින් පරිභෝජනය කරති. රටවල් දෙක අතර වෙළඳාම නිසා දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වී තිබේ. මෙහිදී, කිසිවෙකුට අවාසියක් වී නැත.

දෙවන සංකල්පය වන තුලනාත්මක වාසිය පිළිබඳව ඊළඟ ලිපියෙන් කතා කරමු.


(Image: lexleader.net)

Thursday, February 25, 2016

ලාහය, ලාභයට හේතුව සහ ලාභය නැති කිරීමේ මාර්ගය


ප්‍රදීප්ගේ පසුගිය ප්‍රතිචාරය ගැන කතා කිරීම බොහෝ සේ කල් පසුවිය. ඇත්තටම මට කතා කරන්නට අවශ්‍ය එහි කොටස් කිහිපයක් ගැන පමණි.

"මෙවැනි තත්වයක් මෙම වෙළද පොලතුල ඇතිකිරීමට සිදුවී ඇත්තේ සමාගම් සහ බහුතරයක් මිනිසුන් ලාභය ලැබිමේ අපේක්ෂාවෙන් පමණක් කටයුතු කිරීම නිසාය. අපි මොහොතකට මිනිසුන් ලාභය පිලිබදව අපේක්ෂා නොකර මිනිසුන්ගේ යහපත පිලිබදව සිතන්නේයැයි සිතමු. එවිට සිදුවනු ඇත්තේ නව නිශ්පාදනයන් සිදුවීම සදහාවන පෙළඹිම අඩුවීමක්ද නැතහොත් නව නීශ්පාදනයන් වෙගවත් වීමක්ද?"

ඔහු කියන්නේ මිනිසුන් සහ සමාගම් පෞද්ගලික ලාභ වෙනුවෙන් කටයුතු නොකර මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නේනම් අවසන් ප්‍රතිඵලය වඩා හොඳ එකක් වනු ඇති බවයි. මෙයට මට දෙන්නට ඇති සරලම පිළිතුර මිනිසුන් සාමාන්‍යයෙන් එසේ කටයුතු නොකරන බවයි. ඇතැම් අවස්ථා වල ඇතැම් මිනිසුන් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය නොතකා වෙනත් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන අවස්ථා ඇතත් සමස්තයක් වශයෙන් මිනිස්සු එසේ ක්‍රියා නොකරති. එහෙත්, තමන්ගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් බොහෝ විට බොහෝ දෙනා කටයුතු කරති.

අපට මැටි වලින් රන් පිළිම තැනිය නොහැකිය. රන් නැත්නම් අපට කළ හැක්කේ වඩා හොඳ මැටි පිළිමයක් සැදීමයි. ස්වභාවිකව පරිණාමය වන මිනිසා හෝ මිනිස් සමාජය බලහත්කාරයෙන් පරිවර්තනයකට ලක් කළ නොහැකිය. නිදහස් වෙළඳපොළ ක්‍රමයකින් කරන්නේ වත්මන් සමාජයේ බොහෝ පුද්ගලයින් බොහෝ අවස්ථා වලදී සිය පෞද්ගලික වාසිය වෙනුවෙන් කටයුතු කරන්නේය යන පදනම මත, ඔවුන් එසේ කළත් අවසන් ප්‍රතිපලය හොඳ එකක් වන ක්‍රමවේදයක් තහවුරු කිරීමයි.

ලාභ වලට නැවත පැමිණියහොත් පළමුව ලාභයේ ඇති වැරැද්ද කුමක්දැයි විමසන්නට සිදුවේ. අප ඉතාම සරල උදාහරණයකට ගියහොත් මා සිටවන කෙසෙල් ගසක ලොකු කැනක් වැටුණොත් මට ලාභයක් වෙයි. කෙසෙල් ගස වඳ පීදුනොත් පාඩුවක් වෙයි. ඇතැම් විටක, මා සිටවන කෙසෙල් ගස් දිගින් දිගටම වඳ බහිද්දී මගේ අසල්වැසියාගේ වත්තේ දිගින් දිගටම ලොකු කෙසෙල්කැන් වැටෙන්නට පුළුවන. මගේ වැස්සීගේ පැටවුන් අඩු මාසෙන් ගබ්සා වෙද්දී අල්ලපු ගෙදර වැස්සී අවුරුදුපතා පැටවූ දමන්නට පුළුවන. මෙවැනි අවස්ථාවක මගේ අසල්වැසියාගේ ලාභය ගැන මා අසතුටු වේනම් එය ඊර්ශ්යාවට වඩා වැඩි දෙයක් නොවන බව ඉතා පැහැදිලිය.

ලාභය පිලිබඳ ප්‍රශ්නය වඩා සංකීර්ණ වන්නේ නිෂ්පාදන කාර්යයේදී එක් අයෙකුගේ ශ්‍රමය වෙනත් අයෙකු විසින් මිල දී ගන්නා විටය. මා දවස් පඩියට අල්ලපු වත්තේ කෙසෙල් හිටවද්දී මගේ අසල්වැසියා කෙසෙල් විකුණා විශාල ලාභයක් ලබයි. මෙහිදී මා මගේ කැමැත්තෙන් දවස් පඩියට වැඩ කරන්නේ එසේ වැඩකිරීම මට වාසියක් ඇති නිසාය. කෙසේවුවද, මට වැඩිපුර මුදලක් ගෙවනවානම්, එනම් මගේ ලාභය වැඩි වනවානම්, මා වඩා සතුටුය.

අසල්වැසියාගේ පැත්තෙන් ගත් විට මගේ ශ්‍රමයට ඔහු ගෙවන මුදල ආයෝජනයකි. මේ මුදල ආයෝජනය කිරීමේදී ඔහු අවදානමක් ගනී. ඔහුගේ භූමි සම්පතද මේ සඳහා යොදවයි. භෞතික ශ්‍රමයක් නොවුවත් යම්කිසි ශ්‍රමයක්ද යොදවයි. මේ සියල්ල වෙනුවෙන් ඔහුට ආපසු ගෙවීමක් ලැබිය යුතුය. මේ හා අදාළව ප්‍රදීප්ද එකඟ වේ. මෙහි පෙනෙන්නට ඇති ප්‍රශ්නය මේ සියළු කාර්යයන් සඳහා ලැබිය යුතු 'සාධාරණ' ලාභයට අමතරව මගේ අසල්වැසියා තවත් වැඩිපුර ලාභයක් ලබන්නේද යන්නයි. එමෙන්ම, එසේ වැඩිපුර ලාභයක් ලබයිනම් ඒ ලාභයෙන් කොටසක් මටත් ලැබෙන ආර්ථික ක්‍රමයක් වඩා සාධාරණ නොවන්නේද යන්නයි.

ඉහත උදාහරණය ඉතා සරලය. එහෙත්, විශාල සමාගමක සිදුවන කාර්යයද මීට වඩා බොහෝ සේ සංකීර්ණ නැත. කවරෙකු හෝ තමන්ට හිමි 'සාධාරණ' ලාභයට වඩා වැඩි ලාභයක් ලබනවානම් එය වැළැක්විය යුතුය. නිදහස් ආර්ථික ක්‍රමයකින් කරන්නේ මෙයයි. ඒ සඳහා මිනිසුන්ගේ ලාභ ලැබීමේ අපේක්ෂාවන් බාධාවක් නොවේ. ඇත්තටම මේ අසාධාරණ ලාභ නැති වෙන්නේම මිනිසුන්ගේ ලාභ ලැබීමේ අපේක්ෂාවන් නිසාය.

නිදහස් වෙළඳපොළක් යනු තමන් කැමති (භාණ්ඩ හෝ සේවා) නිෂ්පාදන කාර්යයකට දායක වී නිසි ලාභයක් ලැබීමට සියල්ලන්ටම ඉඩප්‍රස්තා ඇති සමාජයකි. මගේ අසල්වැසියා අසාධාරණ ලාභයක් ලබන්නේයැයි මොහොතකට සිතමු. වැඩි කල් නොයා, මේ බව වෙනත් අයට පෙනේ. එවිට වෙනත් අයද ඔහු කරන දෙයම කිරීමට පෙළඹේ. එවිට මගේ අසල්වැසියාට මගේ ශ්‍රමය මිල දී ගැනීමට තරඟයකට මුහුණ දීමට සිදුවේ. වෙනත් අයෙකු වැඩි දවස් පඩියක් ගෙවනවානම් මා මගේ අසල්වැසියාට අඩු මිලකට ශ්‍රමය විකුණන්නේ නැත. අවසානයේදී මගේ දවස් පඩිය ඉහළ යයි. මගේ අසල්වැසියාගේ ලාභය අඩුවෙයි. 

මෙය සිදුවන්නේ සමාජයේ බොහෝ දෙනෙකු ලාභ අපේක්ෂාවෙන් කටයුතු කිරීම නිසා මිස එසේ නොකිරීම නිසා නොවේ. මට අඩු වැටුපකට වැඩ කිරීමට වෙන්නේ බොහෝ දෙනෙකු ලාභ අපේක්ෂාවෙන් කටයුතු නොකරන්නේනම්ය. 

එමෙන්ම, කිසියම් අයුරකින් සියල්ලන්ටම මෙසේ සමාන ඉඩප්‍රස්තා නොලැබේනම් එවිටද ඇතැම් අයට අසාධාරණ ලාභ ලැබිය හැකිය. අනිසි ලාභ නැති වන්නේ තරඟය නිසාය. අනිසි ලාභ වලට හේතුව ප්‍රමාණවත් තරඟකාරිත්වයක් නැතිවීමයි.


"ඹෟෂධ (හෝ වෙනත් ඕනෑම ක්ෂෙත්‍රයක) සමාගම් තමන් අතර දැනුම හුවමාරු කරගනු ලබන ක්‍රමවේදයක් හෝ සියලු සමාගම් වෙනුවෙන් පරියේෂණ සිදුකරනු ලබන ආයතන කිහිපයක් නිර්මාණය කරවා ගැනීම මගින් බහුතරයක්වන ජනතාවට ලබාගතහැකි ලාභය වැඩිකල හැකියැයි මම දකිමි."

මේ ගැන කියන්නට ඇත්තේද ඉහත කරුණමය. ස්වේච්ඡාවෙන් දැනුම හුවමාරු කරගැනීමක් සිදු නොවේනම් එය බලහත්කාරයෙන් කළ හැකි ක්‍රමයක් නැත. කළ හැකි එකම දෙය රජය මුල් වී පර්යේෂණ කිරීමයි. මෙය ඕනෑ තරම් අත්හදා බලා ඇති දෙයකි. එයින් වැඩක් වෙන්නේම නැතැයි කිව නොහැකි නමුත්, සමස්තයක් වශයෙන් ලාභ මුල් කරගත් සමාගම් අතින් සිදුවන තරමේ වටිනාකම එකතු කිරීමක් සිදු වී නැත.

"මෙම නිර්මාණය වන නව දැනුම යම් නිශ්චිත කාලයක් දක්වා සමාජයට ලබාදීම ප්‍රමාද කරමින් සිටින්නේ එම දැනුම සොයා ගැනිම වෙනුවෙන් එම ආයතනය විසින් සිදුකරන ලද වියදම පියවා ගැනිම සදහාය. ඒ මගින් එම ක්ෂෙත්‍රයේ සිදුවිය හැකි වර්ධනයට යම් බාධාවක් ඇතිවිය හැකි බව මම සිතමි."
 


පේටන්ට් අහෝසි කළහොත් යම් නව නිර්මාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව එක් වරම බොහෝ දෙනෙකුට ලැබෙන නිසා එක් වරම බොහෝ දෙනෙකුට වාසියක් සිදුවනු ඇත. එහෙත්, ඉන්පසු පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම අධෛර්යමත් වන නිසා නව නිෂ්පාදන බිහිවීම අඩුවනු ඇත. මේ නිසා ක්ෂණිකව වාසියක් ලැබුණත් දිගුකාලීනව සිදුවන්නේ අවාසියකි.

කෙසේවුවද, පේටන්ට් නැති කිරීම නිසා පර්යේෂණ සඳහා සිදුකෙරෙන වියදම් විශාල ලෙස අඩු වනු ඇතත් බොහෝ දේ කවදා හෝ දිනෙක අහම්බෙන් හෝ සොයාගැනෙනු ඇත. පේටන්ට් මඟින් කෙරෙන්නේ කෘතීම ලෙස මෙය ඉක්මන් කිරීමකි. අනෙක් අතට පෞද්ගලික දේපල අයිතිය පිළිගන්නා සමාජයකට වුවද පෞද්ගලික දේපලක් යනු කුමක්ද යන්න පිළිබඳව (සෛද්ධාන්තිකව) නිශ්චිත නිර්වචනයක් නැත. බොහෝ විට බුද්ධිමය දේපලක් යනු කුමක්ද යන ගැටළුව මතුවේ. මෙය නිශ්චිත පිළිතුරක් දීමට අපහසු ප්‍රශ්නයකි.

මේ ලිපිය පළ කිරීමෙන් පසු එහි අයිතිය ඇත්තේ මටද? නැත්නම් සමාජයටද? නීතිය අමතක කළහොත් මෙයට "හරි" පිළිතුරක් දීම පහසු නැත. එවැනි ගැටළුකාරී ප්රශ්න වලට ලබාදෙන පිළිතුරුද කලින් කලට සිදුවන සමාජ තේරීම්ය.


උඩින් මාතෘකාවට ආපසු පැමිණියහොත්,
-ලාභය යනු යම් නිෂ්පාදන  කාර්යයකදී යොදාගන්නා නිෂ්පාදන සාධක වල ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ගෙවිය යුතු පිරිවැය වෙන් කළ පසු ඉතිරි වන අමතර ලාභයයි.
-ලාභයට හේතුව කිසියම් වෙළඳපොළ දුර්වලතාවයකි.
-ලාභය නැති කිරීමේ මඟ වෙළඳපොළ බාධක ඉවත් කර තරඟකාරිත්වය ඇති කිරීමයි.
-ලාභ ලැබීමට මිනිසුන්ගේ ඇති ස්වභාවික කැමැත්තට බාධා නොකර ඉඩදුන් විට තරඟකාරිත්වය නිසා සියල්ලන්ටම ලැබෙන්නේ තමන් යොදවන නිෂ්පාදන සාධක වල ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ලැබිය යුතු මිල පමණි.


(Image: www.netpicks.com)

Thursday, February 18, 2016

සමාගම් වල ලාභ: වෙනත් අයෙකුගේ අදහස්...


යම් තැනක සංඛ්‍යාලේඛණ අනුව හෝ බොහෝ දෙනෙකු පිළිගන්නා සම්මත අනුව න්‍යායාත්මකව නිවැරදි නොවන දෙයක් ඇති විට මා එය පෙන්වා දෙන නමුත් මා සිතන ආකාරය සමඟ සම්පාත නොවූ පමණින් පුද්ගලයින් සිතන ආකාරය පිළිබඳව මා සාමාන්‍යයෙන් විරුද්ධ වන්නේ නැත. අප එකිනෙකා සිතන ආකාරයන් අනන්‍යය. පහතින් ඇත්තේ මගේ පසුගිය ලිපියේ ඇති කරුණු ගැන වෙනත් අයෙකු සිතන කරුණුය. ඔහුගේ අදහස් මගේ අදහස් සමඟ හරියටම නොගැලපුනත්, ඔහු සිතන දේ ඔහු නිරවුල්ව සටහන් කර ඇති නිසාත්, ඒ වෙනුවෙන් ඔහු මහන්සි වී ඇති නිසාත්, මා දන්නා තරමින් ඔහුට ඔහුගේම වියුණුවක් නොමැති නිසාත් ඔහුගේ අදහස් වලට වැඩි ඉඩක් දිය යුතුයැයි සිතේ. මේ ගැන මගේ ප්‍රතිචාර පසුව පළ කරමි.

පහතින් ඇති අදහස් ප්‍රදීප් මංගලගේය. ඉදිරියේදීත් වැඩිදෙනෙකුට යම් අයුරකින් බලපාන කරුණක් ගැන වෙනත් අයෙකුගේ අදහස් වලට වුවද මගේ වියුණු වල ප්‍රමුඛ තැනක් දීමට මා සූදානම්ය.

***

සමාගම් මගින් අධික ලාභය ලැබීම පිලිබදව සහ ඒ වෙනුවෙන් දරන අවධානම පිලිබදව කරුණු දක්වා ඇති ලිපිය පිලිබදව වෙනත් මානයකින් බලනවිට දක්නට ලැබෙන කරුණු කිහිපයක් පැවසීම සුදුසුයැයි සිතුනි.

සමාජය තුල යම් තරගකාරිත්වයක් තිබිම මගින් නව නිපැයුම් සිදුවන බවත් එවැනි නව නිපයුම් සිදුකිරිම මගින් පවතින තත්වයන් තුල වැඩි ලාභයක් ලබා ගැනීම සදහා සමාගම්වලට වැඩි ඉඩක් ඇතිබවත් ඔබ විසින් සදහන්කර ඇත.සමහර අවස්ථාවලදි පරික්ෂණ වල ප්‍රතිඵල අනුව අපේක්ෂිත ලාභය ලැබිය නොහැකි බවත් මෙහි පැහැදිලිකර දක්වා ඇත. මෙම ලිපිය මගින් ඔබ පැහැදිලිකර ඇත්තේ දැනට පවතින ආර්ථික තත්වයන් අනුව වැඩිම පිරිසකට ලාභයක් ලැබෙන පරිදි හෝ අලාභයක් සිදුනොවන පරිදි ආර්ථික තත්වයන් ක්‍රියාත්මකවන ආකාරයයි.

සාමාන්‍යයෙන් යම් සමාගමක් නව නිශ්පාදනයක් පිලිබදව අධ්‍යනය කිරීමේදි ඒ වෙනුවෙන් යෙදවෙන දැනුම ඉතිහාසය විසින් නිර්මාණය කරන ලද හා ගොඩ නංවන ලද දැනුමක්ය. (ඖෂධ සමාගම් නව නිශ්පාදන සිදුකිරිමේදි ඩොල්ටන්ගේ සොයාගැනිම් වෙනුවෙන් යොදවන ලද ශ්‍රමයද,ප්‍රසන්න බද්දේවිතාන විසින් එම කරුණු පැහැදිලි කිරිමට දරන මහන්සියද,විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ මහන්සියද,අනෙකුත් දැනුම පොත්වල පලකර ඇති පිරිස්වල ශ්‍රමයද, එවැනි පර්යේෂකයින් ඇතිකිරීම සදහා සහ පර්යේෂණ කිරීම සදහා සමාජය දක්වන ලද සමාජීය කැපකිරීමද,...... ආදී ලෙස සමස්ථ සමාජයම අදාල වේ) ඒ සියලු දැනුම එකතු කරමින් විශ්ලේෂණය කර සිදුකරනු ලබන පරික්ෂණයක ප්‍රතිඵලයක් මත නව දැනුමක් නිර්මාණය විය හැකිය. මෙම නිර්මාණය වන නව දැනුම යම් නිශ්චිත කාලයක් දක්වා සමාජයට ලබාදීම ප්‍රමාද කරමින් සිටින්නේ එම දැනුම සොයා ගැනිම වෙනුවෙන් එම ආයතනය විසින් සිදුකරන ලද වියදම පියවා ගැනිම සදහාය. ඒ මගින් එම ක්ෂෙත්‍රයේ සිදුවිය හැකි වර්ධනයට යම් බාධාවක් ඇතිවිය හැකි බව මම සිතමි.

මෙවැනි තත්වයක් මෙම වෙළද පොලතුල ඇතිකිරීමට සිදුවී ඇත්තේ සමාගම් සහ බහුතරයක් මිනිසුන් ලාභය ලැබිමේ අපේක්ෂාවෙන් පමණක් කටයුතු කිරීම නිසාය.

අපි මොහොතකට මිනිසුන් ලාභය පිලිබදව අපේක්ෂා නොකර මිනිසුන්ගේ යහපත පිලිබදව සිතන්නේයැයි සිතමු. එවිට සිදුවනු ඇත්තේ නව නිශ්පාදනයන් සිදුවීම සදහාවන පෙළඹිම අඩුවීමක්ද නැතහොත් නව නීශ්පාදනයන් වෙගවත් වීමක්ද?

නව නිශ්පාදන සදහාවන පෙළඹවීම අඩුවීය හැක්කේ ඒ සදහා යෙදෙන ආයෝජනය අඩුවීමෙන්ය. මෙම සමාජ හා වෙළදපොළ තත්වයන්තුල ආයෝජනයන් අඩුවන්නේ සිදුකරනු ලබන නව නිශ්පාදනයෙන් මගින් අපේක්ෂිත ලාභය වැඩි නව නිපැයුම් සදහා වැඩි ආයෝජනයක් යෙදවෙන බැවිනි. එවිට අඩු ලාභයක් හෝ සමස්ත අලාභයක් (පවතින සමාජ හා ආර්ථික අර්ථ දැක්වීම් අනුව සිදුවන) සිදුවිය හැකි නව නිපැයුම් සදහාවන අවධානය සහ ආයෝජනය සිමා සහිත වන්නේය.

ඹෟෂධ (හෝ වෙනත් ඕනෑම ක්ෂෙත්‍රයක)සමාගම් තමන් අතර දැනුම හුවමාරු කරගනු ලබන ක්‍රමවේදයක් හෝ සියලු සමාගම් වෙනුවෙන් පරියේෂණ සිදුකරනු ලබන ආයතන කිහිපයක් නිර්මාණය කරවා ගැනීම මගින් බහුතරයක්වන ජනතාවට ලබාගතහැකි ලාභය වැඩිකල හැකියැයි මම දකිමි. මෙහිදි තමන් සිදුකරනු ලබන නිශ්පාදනයේ අනුපාතයට හෝ තමන්ගේ ලාභයේ යම් අනුපාතයක් මෙවැනි පරියේෂණ සදහා යොදවන ක්‍රමවේදයක් සකස්කල හැකිය. එවිට යම් පරික්ෂණයක් සිදුකිරීම මගින් සිදුවිය හැකි සමස්ථ අලාභයේ මට්ටම ඉතාමත් අල්ප වනු ඇත. (යම් පරියේෂණයක් සිදුකිරීම මගින් සමස්ථ අලාභයක් සිදුවේයැයි මම නොසිතමි. සිදුවිය හැක්කේ යම් නිශ්චිත ආයතනයක පමණක් තාවකාලික අලාභයක් ලැබිම සිදුවිමය)

-ප්‍රදීප් මංගල 


(Image: www.123rf.com)

Tuesday, February 16, 2016

ඔසු සමාගම් වල ඒකාධිකාරය බිඳහෙළිය යුතුද?


මිනිස් ජීවිතයක වටිනාකම අසීමිත නැතත් ඉතා විශාලය. ලිපිටෝර් වැනි රෝගයක් සෑදීමේ ඉඩකඩ අඩුකර ගැනීමට උදවු කරන (එහෙත් ඇතැම් එන්නත් මෙන් ඉතා ඉහල සම්භාවිතාවකින් රෝග නිවාරණය නොකරන) ඔසුවක් භාවිතා කිරීම වාසිදායක වන්නේ එසේ කිරීම නිසා වැඩි වන අපේක්ෂිත ආයු කාලයේ වටිනාකම ඔසුවේ මිලට වඩා වැඩිනම් පමණි. ඔසුවේ මිල ඉතා අධිකනම් සහ එහි ඵලදායීතාව සීමිතනම්, ඔසුව මිලදී ගැනීමට මුදල් වැය කරනවාට වඩා හෘදයාබාධයක් සෑදීමේ අවදානම ගැනීම වඩා වාසිදායකය.

රුධිරයේ LDL කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ලෙස අඩු කරන, හෘදයාබාධ සැදීමේ අවදානම 25-45% පමණ මට්ටමකින් අඩු කරන 'ලිපිටෝර්' නම් ජනප්‍රිය වෙළඳනාමය යටතේ දශක දෙකක පමණ කාලයක් තිස්සේ අලෙවිවන, ඇටෝර්වැස්ටටීන් කැල්සියම් ලොව එතෙක් මෙතෙක් අලෙවි වූ ජනප්‍රියම ඔසුවකි. ෆයිසර් සමාගම පේටන්ට් බලපත්‍රය මඟින් ලැබුණු ඒකාධිකාරය අහෝසි වීමෙන් පසුව ලිපිටෝර් මිල කලින් පැවති මිලෙන් හතරෙන් එකක් පමණ දක්වා පහත වැටී ඇත. වෙනත් විදිහකින් කියනවානම්, ෆයිසර් සමාගම පේටන්ට් බලපත්‍රය මඟින් එම සමාගමට ලැබුණු ඒකාධිකාරය නිසා පසුගිය කාලයේ විශාල ලාභයක් ලබා තිබේ. 

එසේනම්, මේ ලාභය අසාධාරණද?

ලිපිටෝර් මිල මුල සිටම අද පවතින මිලට පැවතියේනම්, තවත් බොහෝ දෙනෙකු මේ ඔසුව භාවිතා කර වැඩි කලක් ජීවත් විය හැකිව තිබිණි. එය වැළකුණේ ෆයිසර් සමාගමට වැඩි ලාභයක් උපයා ගැනීමට අවශ්‍ය වූ නිසාය. කෙසේවුවද, වැඩි මිල ගෙවමින් වුවද බොහෝදෙනෙකු ලිපිටෝර් මිලදී ගනිමින් සිය අපේක්ෂිත ආයුකාලය වැඩිකරගෙන තිබේ. ෆයිසර් සමාගම විසින් ලිපිටෝර් නිෂ්පාදනය කර නොතිබුණානම් අද ජීවත් වන බොහෝ දෙනෙකු මේ වන විට ජීවතුන් අතර නැත.

වැඩි මිල ගෙවා ලිපිටෝර් මිල දී ගත් සැම කෙනෙක්ම එසේ කර ඇත්තේ එමඟින් වැඩිවන තමන්ගේ අපේක්ෂිත ආයුකාලයේ වටිනාකම ගෙවන මිලට වඩා වැඩි නිසාය. ඒ නිසා ලිපිටෝර් මිලදී ගත් සියල්ලන්ටම සිදුවී ඇත්තේ වාසියකි.

ලිපිටෝර් මිලදී නොගත් අය එසේ කර ඇත්තේ එමඟින් වැඩිවන තමන්ගේ අපේක්ෂිත ආයුකාලය ගෙවන මිලට වඩා අඩු නිසාය. ඔවුහු යම් හෙයකින් පැවති වැඩි මිල ගෙවා ලිපිටෝර් මිල දී ගත්තෝනම් වන්නේ අවාසියකි. එහෙත්, ඔවුන් එසේ වැඩි මිල ගෙවා මිලදී ගෙන නොමැති නිසා ඔවුන්ට වාසියක් හෝ අවාසියක් වී නැත. ෆයිසර් සමාගම ලාභයක් ලබා තිබේ. සමස්තයක් වශයෙන් ලිපිටෝර් මිල දී ගත් පාරිභෝගිකයින්ටත්, ෆයිසර් සමාගමටත් වාසියක් වී ඇති අතර ලිපිටෝර් මිල දී නොගත් පාරිභෝගිකයින්ට වාසියක් හෝ අවාසියක් වී නොමැති නිසා සමස්තයක් වශයෙන් සිදුවී ඇත්තේ වාසියකි.

පර්යේෂණ කර ඔසුවක් අළුතින් වෙළඳපොළට ඉදිරිපත් කිරීම ඉතාම වියදම් අධික එමෙන්ම අවදානම් සහගත කටයුත්තකි. විශාල මුදලක් සහ කාලයක් වැයකර නිපදවන බොහෝ බෙහෙත් වර්ග වලින් අවශ්‍ය ප්‍රතිඵලය නොලැබෙන බව අන්තිමේදී පෙනීයයි. සඵලදායී බෙහෙතක් නිපදවීම ඉතා අසීරු කාර්යයකි.

යම් සමාගමක් විසින් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් සඳහා විශාල පිරිවැයක් දරා සඵලදායී ඔසුවක් කෙසේ හෝ නිපදවා ගැනීමෙන් පසු වෙනත් අයෙකු විසින් එය නිෂ්පාදනය කිරීම සාපේක්ෂව අඩු පිරිවැය කාර්යයකි. මෙසේ එක් සමාගමක් විසින් නිපදවූ ඔසුවක් වෙනත් බොහෝ සමාගම් විසින්ද තරඟකාරී ලෙස නිපදවන විට එහි මිල එහි ආන්තික පිරිවැය දක්වා පහත වැටිය හැකිය. එවිට, ඔසුව වැඩි දියුණු කළ මුල් සමාගමට තමන් මුලින් කළ ආයෝජනය පියවා ගැනීමට නොහැකි වේ.

මෙය වෙනත්, උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්නේනම්, සංගීත තැටියක් එළිදැක්වීම රුපියල් ලක්ෂ ගණනක් වැය වන කරුණකි. බාහිර නිෂ්පාදකයෙකු විසින් ලාබයක් ලැබීමේ අරමුණින් මෙය කරන්නේයැයි සැලකුවහොත් නිෂ්පාදකයා විසින් ගීත රචකයාට, ගායකයාට මෙන්ම සංගීත කණ්ඩායමට මුදල් ගෙවිය යුතුය. දෘශ්‍ය රූප එකතු කිරීම සඳහා නළු නිලියන් ඇතුළු තවත් පිරිසකට මුදල් ගෙවිය යුතුය. කාර්මික ශිල්පීන්ට, සංගීත භාණ්ඩ, චිත්‍රාගාර පහසුකම් ආදියේ පිරිවැයද දැරිය යුතුය. එමෙන්ම, මේ සංගීත තැටිය ජනප්‍රිය නොවුනහොත් මේ වියදම පියවා ගත නොහැකි වීමේ අවදානමද ගත යුතුය.

කෙසේවුවද, මේ සංගීත තැටිය එක රැයින් ජනප්‍රිය වුවහොත්, වෙනත් අයෙකුට එහි අමතර පිටපතක් නිපදවීමට නිපදවීමට යන්නේ ඉතා සුළු මුදලකි. හිස් තැටියක් ගත් විට මුල් තැටිය පහසුවෙන් පිටපත් කර ගත හැකිය. ඒ නිසා, පිටපතක් ඉතා සුළු මුදලකට අලෙවි කළ හැකිය. බොහෝ දෙනෙකු එසේ කරන්නේනම්, මුල් නිෂ්පාදකයාට එය වැඩි මිලකට විකිණිය නොහැක. ඒ නිසා, ඔහු ආයෝජනය කළ මුදල පියවා ගැනීමටද නොහැකි වේ.

ඖෂධ සමාගම් සම්බන්ධවද තත්ත්වය මෙසේය. තමන් විසින් පර්යේෂණ කර ඔසුවක් නිපදනවාට වඩා පැත්තකට වී බලා සිට වෙනත් අයෙකු වැඩි දියුණු කරන, වෙළඳපොළ ඉල්ලුමක් ඇති ඔසුවක් ඒ අයුරින්ම නිපදවීම වඩා වාසිදායක නිසා කිසිවෙකු අළුත් ඔසු නිපදවනු පිණිස පර්යේෂණ කරන්නට නොපෙළඹේ. ඒ නිසා, ආඬි හත් දෙනාගේ කැඳ හැලිය මෙන් අන්තිමේදී අළුත් නිෂ්පාදනයක් බිහි නොවේ. මෙය නිදහස් වෙළඳපොළ ක්‍රමයක් යටතේ ස්වයංක්‍රීයව විසඳුමක් නොලැබෙන ප්‍රශ්නයකි. පේටන්ට් බලපත්‍ර ලබාදීම මඟින් කරන්නේ නිදහස් වෙළඳපොළ ක්‍රමයක ඇති මේ අඩුපාඩුවට විසඳුමක් දීමයි.

අළුත් නිෂ්පාදනයක් පේටන්ට් කළ විට වසර විස්සක් යන තුරු (දැනට ඇති ජාත්‍යන්තර සම්මතය අනුව) එම නිෂ්පාදනය වෙනත් අයෙකුට නිපදවිය නොහැකිය. මේ නිසා තරඟකාරී මිලකට වඩා වැඩි ඒකාධිකාරී මිලක් අය කරමින් වැඩි ලාභයක් උපයා ගැනීමේ අවස්ථාව නිෂ්පාදකයෙකුට තිබේ. මේ වැඩි ලාභය නව නිපැයුමක් වෙනුවෙන් මුදල් යෙදවීමට පර්යේෂකයෙකුව දිරිමත් කරයි. කෙසේවුවද, වසර විස්සකට ඒකාධිකාරයක් පවත්වා ගත හැකි වූ පමණින් ලාභය අනිවාර්ය වන්නේ නැත. මෙවැනි ආයෝජනයක ඇති අවදානම ඉතා විශාලය. සඵලදායී ඔසුවක් නිපදවීම ලොතරැයි දිනුමක් වැන්නකි.

ලිපිටෝර් වලට ලැබුණු වෙළඳපොළ සාර්ථකත්වය නිසා තවත් බොහෝ නව නිපැයුම් දිරි ගැන්වුනේය. මේ ඇතැම් ඒවා සාර්ථක විය. බොහොමයක් ඒවා අසාර්ථක විය.

ලිපිටෝර් මඟින් හෘදයාබාධ සැදීමේ අවදානම අඩුකළත් මේ අවදානම දැනටත් ඉතා විශාලය. බොහෝ රටවල වැඩිම මරණ ගණනකට හේතුව හෘදයාබාධයි. ඒ නිසා වඩා හොඳ ඔසුවකට තවමත් හොඳ වෙළඳපොළ අවස්ථාවක් තිබේ. ලිපිටෝර් මඟින් LDL සැලකිය යුතු ලෙස අඩු කළත් HDL වැඩි කරන්නේ සුළු වශයෙනි. ඒ අනුව, HDL මට්ටම ඉහළ දැමීම මඟින් හෘදයාබාධ අඩු කිරීම අරමුණු කරගත් ඔසුවක් වැඩි දියුණු කිරීමට සමාගම් රැසක්ම මුල පිරුවේය.

ඉලයි-ලිලී සමාගම ඒ අතරින් එක් සමාගමකි. ඉතා විශාල මුදලක් ආයෝජනය කර, කාලයක් පර්යේෂණ කරමින් ඔවුන් නිපදවූ 'එවස්ට්‍රපිබ්' මේ අරමුණ ඔස්සේ සෑහෙන දුරක් ගමන් කළේය. මූලික මට්ටමේ පිරික්සුම් වලදී පෙනී ගියේ එමඟින් HDL කොලෙස්ටරෝල් ප්‍රමාණය දෙගුණයක් පමණ දක්වා වැඩි කළ හැකි බවයි. ඔසුව අනුමත කර ගැනීමේ අසීරු අදියර රැසක්ම එය පසු කළේය.

කෙසේවුවද, ඔසුව සඵලදායී එකක් ලෙස සැලකිය හැක්කේ එමඟින් හෘදයාබාධ වැළඳීමේ සම්භාවිතාව අඩු කළ හැකිනම් පමණි. මෙය පරීක්ෂා කළ හැකි හොඳම ක්‍රමය සසම්භාවී පාලිත පරීක්ෂණයක් සිදු කිරීමයි. මෙහිදී, මේ පරීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන, හෘදයාබාධ වැළඳීමේ ඉහළ අවදානමක් ඇති හෝ වරක් වැළඳුන විශාල පිරිසක් තෝරාගෙන ඔවුන්ව අහඹු ලෙස කණ්ඩායම් දෙකකට බෙදනු ලැබේ. තමන් අයත් වන්නේ කවර කණ්ඩායමකටද යන්න ඔවුහු නොදනිති. මෙයින් එක් කණ්ඩායමකට අයත් පිරිසට අදාළ ඔසුව ලබා දෙන අතර අනෙත් කණ්ඩායමට ලබාදෙන්නේ ඒ ඔසුවටම සමාන බොරු ඔසුවකි. තමන් භාවිතා කරන්නේ ඇත්ත ඔසුවද නැත්නම් බොරු ඔසුවද යන්න කිසිවෙකු නොදනිති.


නියමිත කාලයකට පසු කණ්ඩායම් දෙකෙහි හෘදයාබාධ සැදීමේ ප්‍රතිශත වල සැලකිය යුතු වෙනස්කමක් ඇත්නම් ඒ මේ ඔසුව නිසා විය යුතුය. කණ්ඩායම් දෙකට පුද්ගලයින් බෙදන්නේ අහඹු ලෙස නිසා, මේ කණ්ඩායම් ප්‍රමාණවත් ලෙස විශාලනම්, අනෙකුත් සියළු සාධක වල තිබිය හැකි බලපෑම් සමාන විය යුතුය.

ඉලයි-ලිලී සමාගම විසින් රටවල් 37ක රෝගීන් 12,095 ක් යොදාගෙන විශාල මුදලක් වැය කර සිදු කර සසම්භාවී පාලිත පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව පෙනීගිය පරිදි මේ නව ඔසුව මඟින් HDL ප්‍රමාණය 129%කින් ඉහළ නැංවීමටත්, LDL ප්‍රමාණය 36%කින් පහත හෙලීමටත් සමත් විය. එය වැඩි දියුණු කිරීමෙන් බලාපොරොත්තු වූ මූලික කාර්යය මෙසේ ඉතා සාර්ථකව සිදුවුණත් එමඟින් අපේක්ෂා කළ අවසන් කාර්යය ඉටුවී තිබුණේ නැත. 'එවස්ට්‍රපිබ්' මඟින් අවශ්‍ය පරිදි කොලෙස්ටරෝල් පාලනය කළද එමඟින් හෘදයාබාධ අඩුකිරීමක් සිදුවී නැත.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉලයි-ලිලී සමාගමට 'එවස්ට්‍රපිබ්' ව්‍යාපෘතිය අතහැර දැමීමේ දුෂ්කර එහෙත් ගත යුතුම තීරණය ගන්නට විය. සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන හත අටකින්ම පහළ වැටුණේය. මේ ඔසු සමාගම් ඔවුන්ට ලබා ගත හැකි ඉහළ ලාභ වෙනුවෙන් ගන්නා අවදානමයි.

මේ ව්‍යාපෘතිය නිසා ඉලයි-ලිලී සමාගම විශාල අලාභයක් ලැබුවත් එමඟින් හෘදයාබාධ පිළිබඳ අපේ දැනුමට වැදගත් දෙයක් එකතු වී තිබේ. දැන් පෙනී යන පරිදි HDL මට්ටම ඉහළ නැංවීමෙන් හෘදයාබාධ අඩු කළ නොහැක. HDL සහ හෘදයාබාධ අතර ඇති සම්බන්ධතාව නිවැරදිව අවබෝධ කරගැනීම අනාගතයට භාර, ඇතැම් විට තවත් ඩොලර් මිලියන ගණනක් වැය කළ යුතු, කටයුත්තකි.



පේටන්ට් හිමිකම් හේතුවෙන් ඇතැම් සමාගම් වලට ලැබෙන ඒකාධිකාරය නිසා ඔවුන්ට තරඟකාරී වෙළඳපොලක ලබනවාට වඩා වැඩි ලාභයක් ලැබීමට ඉඩ සැලසී තිබේ. මේ වැඩි ලාභය ඔවුන් ලබන්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළ ක්‍රමයක් පැවතීම නිසා නොවේ. තරඟකාරී වෙළඳපොළක් ඇති වීම කෘතීම ලෙස වලක්වා ඇති නිසාය. එසේ කිරීමට සිදුවී ඇත්තේ නිදහස් වෙළඳපොළ ක්‍රමයක පවතීයැයි අප විශ්වාස කරන අඩුපාඩුවකට විසඳුමක් වශයෙනි.

මෙයට විකල්ප විසඳුමක් වන්නේ මෙවැනි ඔසු වැඩි දියුණු කිරීම, නිෂ්පාදනය සහ වෙළඳාම රජය මඟින් සිදු කිරීමයි. එසේ කළ පමණින් නිෂ්පාදන පිරිවැය අඩුවීමක් සිදුනොවේ. රජය පෞද්ගලික අංශය තරමටම කාර්යක්ෂමනම් (සාමාන්‍යයෙන් එය එසේ නැත.) නිෂ්පාදන පිරිවැය සමාන වනු ඇත. රජය මඟින් මෙවැනි කටයුත්තක් කිරීමේදී බොහෝ විට අවසන් නිෂ්පාදනය එහි ආන්තික පිරිවැය පමණක් පියවෙන අඩු මිලකට අලෙවි කෙරෙනු ඇති අතර වැඩිදියුණු කිරීම් සඳහා වැයවන මූලික ස්ථිර පිරිවැය මහජන මුදලින් පියවෙනු ඇත. පෞද්ගලික අංශයේ දායකත්වයෙන් දැන් සිදුවන දෙයට සාපේක්ෂව මෙහි ඇති ප්‍රධානම වෙනස වන්නේ ඔසුවක් භාවිතා කරන අය විසින් ගෙවිය යුතු එහි සැබෑ මිලෙන් කොටසක් රජය විසින් එය භාවිතා නොකරන අයගෙන් අය කර ගෙන රජය විසින් දැරූ ඔසුවේ සමස්ත නිෂ්පාදන වියදමේ අඩුව පියවා ගනු ලැබීමයි.

(Image: http://usatoday30.usatoday.com/)

Thursday, February 11, 2016

කොළඹ: ඉක්මන් මරණයකට අගනා නගරයක්!


"මගෙ පුතු හරි හපනා -හෙට කොළඹට යනවා
පනම් තුනක් ලබලා- මටත් එකක් දෙනවා"

ලංකාවේ ඒක පුද්ගල ගෘහස්ත ආදායම වැඩිම නගරය කොළඹයි. සියවස් ගණනක සිටම ගම් පළාත් වල ඉපදුණු අයගේ අපේක්ෂාවේ නගරය වුනේ කොළඹය. ඒක ඒ දවස්වල සිට අද දක්වාම එහෙමය. කොළඹ හැරුණු විට ලංකාවේ ඇති දෙවන ප්‍රධානම නගරය ලෙස සැලකිය හැක්කේ මහනුවරයි.

අනෙක් අතට මොණරාගල හා හම්බන්තොට කාලයක සිටම සැලකුණේ ලංකාවේ දුෂ්කරම ප්‍රදේශ ලෙසය. පසුගිය කාලයේනම් මේ තත්ත්වයේ තරමක වෙනසක් සිදුවිය.

මොණරාගල හා හම්බන්තොට ජීවිතය කොළඹ හා මහනුවර වැනි නාගරික ප්‍රදේශයක ජීවිතයට වඩා ඇත්තටම දුෂ්කරද?

පහත වගුවේ ඇත්තේ 1981 හා 2001 වසර වල පැවැත්වූ ජන සංගණන අනුව ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයේ වැසියෙකුගේ අපේක්ෂිත ආයුකාලයයි. සංගණන දත්ත සාමාන්‍යයෙන් නිරවද්‍යතාව අතින් වෙනත් සමීක්ෂණ දත්ත වලට වඩා බොහෝ නිවැරදිය. 2012 වසරේදීද සංගණනයක් පැවැත්වූ නමුත් එම සංගණනය ඇසුරින් මේ සංඛ්‍යාලේඛණ තවමත් සකස් කර නොමැති බව පෙනේ.



1980-2000 අතර දශක දෙකක කාලය තුළ ආයු අපේක්ෂාවේ ප්‍රාදේශීය විෂමතාවන්ගේ රටාව සැලකිය යුතු ලෙස වෙනස් වී නැත. මේ කාලය තුළ සමස්තයක් ලෙස පිරිමින්ගේ ආයු අපේක්ෂාව සුළු වශයෙනුත් ගැහැණුන්ගේ ආයු අපේක්ෂාව තරමක් වැඩියෙනුත් ඉහළ ගොස් තිබේ.

විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එහි ආයු අපේක්ෂාව වෙනත් දිස්ත්‍රික්ක වලට වඩා විශාල ලෙස අඩුය. කොළඹට අමතරව පසුපසින්ම සිටින දිස්ත්‍රික්කය මහනුවරයි. ආයු අපේක්ෂාව අතින් ඉදිරියෙන් සිටින්නේ හම්බන්තොට හා මොනරාගල වැනි දුෂ්කර ලෙස සැලකෙන දිස්ත්‍රික්කයි.


මෙයට හේතුව කුමක්ද? කොළඹ ඇතැයි සිතන වැඩි පහසුකම් වැඩි පිරිසක් අතර බෙදීයාමද? නැත්නම් වැඩි ආදායම් විෂමතාවයද? කාර්ය බහුල ජීවන රටාවද? ආහාර පුරුදු වල වෙනස්කම්ද? නැත්නම් අපිරිසිදු වාතයද?

මේ කවරක් වුවද, ඉසුරු සොයා නගරයට ඇදෙන්නන් ඒ වෙනුවෙන් ගෙවන මිලට සිය ජීවිත කාලයෙන් සැලකිය යුතු වසර ගණනක්ද ඇතුළත් වන බවනම් පැහැදිලිය.


(Image: www.srilanka-guide.org)

Sunday, February 7, 2016

රාම රාජ්‍යය සහ රෝම රාජ්‍යය

නීතිවිරෝධී ලෙස හෝ යුරෝපා රටකට පැනගැනීම බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිහිනයකි. ඉතාලිය එවැන්නන්ගේ ජනප්‍රිය ගමනාන්තයකි.

නීති විරෝධී ලෙස මෙන්ම නීත්යානුකූලවද බොහෝ ශ්‍රී ලාංකිකයෝ වෙනත් රටවලට සංක්‍රමණය වෙති. ඒ සඳහා මුල් වන හේතු විවිධාකාර විය හැකිවුණත් ඒ අතරින් ආර්ථික හේතු ප්‍රධාන වේ. බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඉතාලිය වැනි යුරෝපා රටකදී ලංකාවේදී ඔවුන් කරන රැකියාවට සමාන රැකියාවක් කර ඊට වඩා බෙහෙවින්ම වැඩි වැටුපක් ලබා ගැනීමට පුළුවන්කම තිබේ.

ඉතාලියේදී වැඩි වැටුපක් ලැබූ පමණින්ම යමෙකුගේ ආර්ථික තත්ත්වය ලංකාවේදී ඔහුගේ හෝ ඇයගේ ආර්ථික තත්ත්වයට වඩා යහපත් වන්නේ නැත. ඒ, යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම සඳහා ඉතාලියේදී ගෙවිය යුතු මිල ලංකාවේදී එයට සමාන භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා යන වියදමට වඩා වැඩි නිසාය.

වැටුප් හා බඩුමිල යන දෙකම එකම අනුපාතයකින් වැඩිනම්, ලංකාවේදී යම් වැටුපක් ලබා ඒ මුළු මුදලම සාමාන්‍යයෙන් වියදම් කරන අයෙකුට ඉතාලි යාමෙන් විශේෂ වාසියක් නොසැලසේ. එහෙත්, ඉතාලියේ වැටුප් හා ලංකාවේ වැටුප් අතර අනුපාතය බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල අනුපාතයට වඩා වැඩිය. ඒ නිසා, ශ්‍රී ලාංකිකයෙකුට ඉතාලියට ගොස් ඔහු හෝ ඇය ලංකාවේදී කරනවාට සමාන රැකියාවක් කිරීමෙන්, සමාන හෝ වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමෙන් පසුවද මුදලක් ඉතිරි කර ගත හැකිය.

පහත වගුවේ ඇත්තේ 2016 පෙබරවාරි මාසය දක්වා මාස 18ක කාලය තුල ලංකාවේත්, ඉතාලියේත් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට ගෙවිය යුතු සාමාන්ය මිලගණන් සහ ලැබිය හැකි ආදායම් සැසඳීමකි.


ඉන්දියානු ශ්‍රමිකයෙකුට ලංකාවේ ශ්‍රම වෙළඳපොළ ආකර්ෂණීය වීමට හෝ නොවීමටද මෙයට සමාන කරුණු හේතුවේ. පහත වගුවේ ඇත්තේ ඉහත දත්ත ලබාගත් මූලාශ්‍රය (http://www.numbeo.com/) ඇසුරින්ම ඉන්දියාවේ සහ ලංකාවේ ආදායම් සහ වියදම් සැසඳීමකි. කෙසේ වුවද, මේ මූලාශ්‍රයේ ඇති සාමාන්‍ය ආදායම එතරම් නිවැරදි නොවිය හැකි බව මගේ අදහසයි.

යුරෝවක් රුපියල් 161ක් සහ ඉන්දියානු රුපියලක් ශ්‍රී ලංකා රුපියල් 2.13ක් ලෙස සලකා ඇත.




Monday, February 1, 2016

ලාභය වරදක්ද?


මා හයවන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදී මගේ පියා ලැබූ ස්ථාන මාරුවක් සමඟ අපි තවත් වරක් පදිංචිය වෙනස් කළෙමු. මෙවර අප වාසයට පැමිණි  කුලී නිවසේ සැලකිය යුතු තරම් ලොකු ගෙවත්තක්ද තිබුණේය. වසරක් පමණ ගතවන විට වත්ත පුරා කෙසෙල් වගාවක් ව්‍යාප්ත කර ගැනීමට මට හැකිවිය. මෙය සාපේක්ෂව සරල කාර්යයක් විය.

අප වාසයට පැමිණෙන විටත් වත්තේ කෙසෙල් පඳුරු තුනක් තිබුණේය. එකක් ඇඹුල් කෙසෙල් පඳුරකි. අනෙත්වා සීනි කෙසෙල්ය. සීනි කෙසෙල් ඉතා වේගයෙන් පඳුරු දමන කෙසෙල් වර්ගයකි. වැඩි සාත්තුවක් නොලැබූ මේ කෙසෙල් පඳුරු වල විවිධ ප්‍රමාණයේ කෙසෙල් ගස් සෑහෙන ප්‍රමාණයක් තිබුණේය. පඳුරු ඕනෑවට වඩා ලොකු වූ නිසා ඒවායේ වැටුණේ මන්දපෝෂණයට ලක් වූ කෙට්ටු කෙසෙල්කැන්ය. මේ එක් කෙසෙල්කැනක ඇවරි හතර පහකට වඩා හැදුනේ නැත.

මට කරන්නට තිබුණේ පහසු කටයුත්තකි. ඒ, මේ වැඩිපුර කෙසෙල් පැල ප්‍රවේශමෙන් උදුරාගෙන වත්තේ වෙනත් තැනක සිටවීමයි. වත්තේ තිබුණු වැලි සහිත ලෝම පසේ කෙසෙල් පැලයක් සිටවීමට ප්‍රමාණවත් වලක් කපා ගැනීමට විශාල මහන්සියක් දැරිය යුතු නොවීය. අලවංගුවක් සහ උදැල්ලක් යොදාගනිමින් මේ කාර්යය කිරීම ආරම්භයේදී තරමක් වෙහෙසකර වුවත්, එක දිගටම කරද්දී ශිල්පීය ප්‍රාගුණ්‍යය වර්ධනය වී වැඩේ පහසු වුණේය. මුලදීනම් කෙසෙල් පැල කිහිපයක අලය තුවාල විය. මේ අයුරින් සීනි කෙසෙල් පඳුරු දහයක් පමණත්, ඇඹුල් කෙසෙල් පඳුරු දෙක තුනකුත් අළුතින් හදා ගැනීමට හැකි විය.

වසරක් පමණ යනවිට මහන්සියේ ප්‍රතිඵල ටික ටික ලැබෙන්නට විය. තවත් ටික කලක් යද්දී මේ කෙසෙල් පැල පඳුරු දමා ඇතැම් මාස වල කෙසෙල්කැන් දෙක තුනක්ම කපා ගත හැකි තරමට වැඩේ නැගලා ගියේය. ඇඹුල් කෙසෙල් පැලයක් ඉඳහිට වඳ බැස්සත් සීනි කෙසෙල් සාමාන්‍යයෙන් වඳ බසින්නේත් නැත.

ලොකුවට හැදුණු කෙසෙල්කැනක් නිවස කිට්ටුවම තිබුණු සිල්ලර කඩයට විකිණිය හැකිය. මෙහිදී, මා මුලින්ම එහි ගොස් කෙසෙල්කැනක් පැසී ඇති බව කියා එය අවශ්‍යදැයි විමසිය යුතුය. කඩේ කෙසෙල්කැන් තුන හතරක් එල්ලා ඇත්නම් මේ ප්‍රශ්නය ඇසීමේත් තේරුමක් නැත. එසේ පෙනෙන්නට නැතත්, මිලදී ගත් නොඉදුණු කෙසෙල්කැන් කඩය පිටුපස තිබිය හැකිය. කෙසේ වුවත්, බොහෝ විට "දවස් දෙක තුනකින් ගුණසිරිව එවන්නම්!" වැනි සතුටුදායක පිළිතුරක් ලැබුණේය.

මේ කියූ ලෙසින්ම දින දෙකතුනකින් වක් පිහියකින් පිටේ දාඩිය සූරමින් ගුණසිරි පැමිණේ. ඔහු කඩේ මුදලාලිගේ සේවකයාය.

"කෝ, අර කෙහෙල්කැනක් තියෙනවයි කිවුව නේද?"

කෙසෙල් පඳුර පෙන්වූ විට ගුණසිරි සීරුමාරුවට කෙසෙල්කැන කපාගනී.

"මේ කෙහෙල් කඳ කොහාටද දාන්න ඕනෑ?"

වත්තේ මායිමක් පෙන්නූ විට ඒ වැඩෙත් ඔහු කරදෙයි. ඉන්පසු, වැඩි කතාවක් නැතිව කෙසෙල්කැන උරහිසට ගන්නා ගුණසිරි බර අඩි තබමින් ඉක්මන් ගමනින් ආපසු යයි.

"එන්නං!"

"ගිහිං එන්නං" කියන එක කෙටි කර ඒ කියන්නේ "යන්නං" කියන එකය.

ඇතැම් විට මා පාසැල් ගොස් පැමිණෙන විට උදය වරුවේ මේ ටික සිදු වී තිබේ. ගෙදර එන විට කෙසෙල්කැන නැත. සිදුවී ඇති දෙය කාගෙන්වත් අහන්නට අවශ්‍ය නැත.

මේ වැඩේ අවසන් වූ පසු කරන්නට තවත් වැඩක් තිබේ. ඒ අලවංගුවක් ගෙන ඉතිරි වී ඇති කෙසෙල් අලය ගලවා දැමීමයි. එසේ නොකළොත් කෙසෙල් පඳුර වඳ බහින්නට ඉඩ තිබේ.

කෙසෙල්කැනට ලැබෙන මුදල තවමත් අවිනිශ්චිතය. ගුණසිරිව එවන විට මුදලාලි කෙසෙල්කැන දැකලාවත් නැත. මේ ගැන මුලින්ම විමසන විට එහි ප්‍රමාණය ගැනද ඔහු විමසයි.

"ලොකු එකක්ද?"

මේ ප්‍රශ්නයට කොහොමත් පිළිතුරු දෙකක් තිබුණේ නැත. මගේ කෙසෙල්කැන් කොහොමත් ලොකුය. ඒ නිසා ලැබෙන පිළිතුරෙන් මුදලාලිට වැඩක් නැත. කඩේ කෙසෙල්කැනක් පෙනෙන්නට ඇත්නම් ප්‍රමාණය විස්තර කිරීම පහසුය.

"අර ඇඹුලට වඩා පොඩ්ඩක් විතර පොඩියි!"

ඒ පොඩ්ඩේ තරම මුදලාලිට දැනගන්නට ලැබෙන්නේ ගුණසිරි කෙසෙල්කැන කරෙන් බෑවාට පසුවය.

"අර කෙහෙල් කැනේ සල්ලි?"

ගණන් එකතු කරමින් සිටින මුදලාලි ඔළුව උස්සා බලයි.

"පොඩ්ඩක් ඉන්න"

මුදලාලි කතාබහක් නැතුව කඩය පිටුපසට යයි. ඒ ඔහු පසුපස පැමිණීමට කරන සංඥාවකි.

"එකසිය විසිතුනක් තියෙනවා. ගණන් කරල බලන්න."

මේ කෙසෙල්කැනේ ගෙඩි ගණන ගණන් කිරීමට මට ලැබෙන පළමු අවස්ථාවයි. කෙසෙල්කැන කරකවමින් ගෙඩි ගණන් කිරීමට ටික වෙලාවක් ගතවේ. ඇත්තටම ගෙඩි එකසිය තිස්හයක් ඇත. ඒත්, මල් ඇවරියේ නවයට මුදල් ලැබෙන්නේ නැත. ඩබල් ගෙඩි හතරකි. ඒවා දෙකකට ගණන් ගැනෙන්නේද නැත.

"හරි!"

ගාණ හදන විට තුනද හැලී එකසිය විස්සට රවුම් වෙයි. කෙසෙල් ගෙඩියකට සත විසිපහක් හෝ තිහක් ලැබේ.

රුපියල් තිහක් හෝ තිස්හයක් ලොකු ගණනකි. මෙය උපයා ගැනීමට මා ලොකු මහන්සියක් වී නැත. කෙසෙල් පඳුරෙන් පැලයක් ගලවා වෙනත් තැනක සිටෙවුවා පමණි. ඒ වුණත්, ඩබල් ගෙඩි හතර සහ මල් ඇවරියේ ගෙඩි නමය ගැනනම් දුකය. ඒ ටිකත් ගණන් කළානම් තවත් රුපියල් තුන හතරක් එකතු වේ. ඩබල් ගෙඩි කොහොමත් විකුණන්නේ තනි ගෙඩියේ ගාණටය. ඊටත්, ඒ ගෙඩි විකිණීමත් වඩා අමාරු විය යුතුය. ඩබල් ගෙඩි කන්නේ පිරිමි විතරය. "බඩේ නිඹුල්ලු හැදෙන නිසා" ගෑණු ඒවා කන්නේ නැත. එතකොට මල් ඇවරිය? ඇයි ඒක අතාරින්නේ? සමහර විට මුදලාලිගේ ලාබය මේ මල් ඇවරිය සහ රවුම් කිරීමේදී අත හැරිය ගෙඩි තුන විය හැකිය. ඒ මනුස්සයටත් කීයක් හරි තියෙන්න එපායැ...

කෙසෙල්කැන කඩය ඉදිරිපස එල්ලෙන්නේ ටික දවසක් ගත වී එහි මුල් ඇවරි පාට වැටෙන විටය. කඩේ ඉදිරිපිට රස්තා පාර දාන තරුණයෙකු සමහර විට මෙය එල්ලන විටම ඉඳුල් කරයි.

"මුදලාලි, කෙහෙල් ගෙඩියක් කෑවා!"

කෙසෙල් ලෙල්ල කුණු ගොඩට විසි කරන මේ තරුණයා සාක්කුවට අත දමයි.

"රුපියලක් දෙන්න!"

සීනි රාත්තලක් අරගෙන ආපසු යන්නට හදන මගේ කන් එකවර විශාල වේ. නිකං අකුණක් ගැහුවා වගේය.

"මොනව රුපියලක්? යකෝ එතකොට මේ කෙහෙල්කැනෙන් මුදලාලිට රුපියල් සීයකටත් වැඩිය හම්බවෙනවනේ? මොන අසාධාරණයක්ද ඒ?"

කෙහෙල්ගෙඩි විකිණෙන්නේ ඒ කාලයේ නිහාල් නෙල්සන්ගේ කැසට් විකිණුනා වගේය. කෙසේවුවද, කෙසෙල්කැනේ පුෂ්ටිමත් ගෙඩි විකිණෙද්දී එහි සාරසොබාවද ටික ටික අඩුවේ. ඒ දෙස ඇහැ ගහන පිරිසද ක්‍රමයෙන් අඩු වී ගොස්, කළෙක බැබලි බැබලී තිබුණු මේ කෙසෙල්කැන අර පහුගිය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ ගාණට වැටේ. දැන් අර රස්තා තරුණයෙකු කෙහෙල් ගෙඩියක් කඩා ගත්තත් ඒ, කෙහෙල්කැන වට කිහිපයක් කරකවා තෝරා බේරා ගැනීමෙන් පසුවය.

"කීයද මුදලාලි කෙහෙල් ගෙඩියක්?"

මෙවැනි තරුණයෙකු දැන් කෙහෙල් ගෙඩියක් එකවරම කඩාගන්නේත් නැත.

"සත පණහක් දෙන්නකෝ!"

සත පණහක්? ඒ මොකද? මුදලාලිට තිබුණනේ රුපියල ගානේ විකුණන්න? කලින් රුපියල ගානෙනේ විකුණුවේ? 


කඩේ එල්ලා තිබුණත් මේ මගේ කෙසෙල් පඳුරේ හැදුණු කෙසෙල් ගෙඩියකි. කෙසෙල් ගෙඩිය බාල්දු වීම ගැන මට ඇත්තේ කණගාටුවකි. එතකොට මුදලාලිට හිතපු තරම් ලාබයක් නැද්ද?

තවත් ටික දවසක් යන විට වේලී ඇකිලුනු කෙහෙල්කැනේ බණ්ඩාර වහල්ල වටේ තැනින් තැන ඉතිරි වී ඇති, ඉදී බෙරි වුනු කෙහෙල් ගෙඩි එල්ලා වැටෙන්නට පටන්ගන්නේ ව්‍යාඝ්‍රයෙකුව ගිල දැම්මත් ඔළුව උස්සාගත නොහැකි තරමේ අබල දුබල කමක් ප්‍රදර්ශනය කරමිනි. මේ දෙස බලන කෙනෙකු දැන්නම් තවත් නැත. මේ අළුත් කෙසෙල් කැනක් එහි එල්ලීමට කාලයයි. කාලො අයං තෙ නවො කදලිඵලාය!

ඉතිරි වී ඇති කෙසෙල් ගෙඩිද සමඟ වේලී ඇකිලුනු බණ්ඩාර වහල්ල කුණු ගොඩට විසිවේ. කපුටන්ට ආහාර වන ඉතිරි කෙසෙල් ගෙඩි වලින් මුදලාලිට කිසිදු මුදලක් නොලැබේ.

***

අයෙකුගේ නිෂ්පාදනයක් අඩු මිලට මිල දී ගෙන වෙනත් අයෙකුට වැඩි මුදලකට විකුණන ව්‍යවසායකයෙකු නීතිමය වරදක් නොකරයි. එහෙත්, එවැන්නෙකු කරන්නේ සදාචාරාත්මක වරදක්ද? මෙය බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නයකි. පහතින් ඇත්තේ මා වෙනත් තැනෙක පළ කළ ලිපියකට ප්‍රතිචාරයක් ලෙස පාඨකයෙකු ඇසු ප්‍රශ්නයක් සහ එයට මා ලබා දුන් පිළිතුරයි. (මෙහි පළවන්නේ ආර්ථික විද්‍යාවට අදාළ කොටස පමණි.)



"නීතිය විසින් සමහර වැරදි සම්බන්ධයෙන් සිදුකරන අර්ථකතනයන් මාහට ගැටලුකාරිය උදාහරණයක් ලෙස යම් පුද්ගලයකුගෙන් දේපලක් සොරකම් කිරීම හෝ වංචනිකව ලබා ගැනීම හෝ මංකොල්ල කෑම අපරාධමය වරදක්ය. එහෙත් පුද්ගලයකුට යම් ව්‍යාපාරයක් සදහා මුදල් යොදවා එම ව්‍යාපාරයට සම්බන්ධ ශ්‍රමිකයින්ට මුදල් ගෙවිමෙන් පසු භාණ්ඩ විකුණා විශාල ලාභයක් ලැබීම වරදක් නොවේය. (උදා - එක් මිනිසකු සකස් කරන භාණ්ඩයක් එම පුද්ගලයාගෙන් රු 100කට ගෙන එම භාණ්ඩය රු 25 වියදම්කර ප්‍රවාහනය කර තවත් පුද්ගලයකුට රු 250කට විකුණයි. විකිණිම කරන පුද්ගලයාට රු 50ක් ගෙවා රු 100 යෙදවු ආයෝජකයා රු 175ක් නැවත තමන් අතට ලබා ගනියි (ලාභය රු 75) මෙම ක්‍රියාව මගින් වරදක් සිදුවන බවක් නීතීය පිලිගන්නේ නැත. මෙම ලාභය වෙනුවෙන් යම් බදු මුදලක් පමණක් රජය ලබා ගනියි. මට ඇති ගැටලුවනම් ආයෝජනය කරන පුද්ගලයා යොදවන්නේ මුදල් පමණි. ලාභය යනු ඔහුගේ ශ්‍රමය වෙනුවෙන් වන කොටසද නැතිනම් යම් වරදක් එතැන සිදුවන්නේද? (ආයෝජකයින් මුදල් යොදවන්නේ පාඩු ලැබීමට නොවේ, සමහර ආයෝජකයින් පාඩු ලබයි, සමස්ථයක් ලෙස සම්පුර්ණ ආයෝජනයන් සැලකිමේදි ඇත්තේ සමස්ථ ලාබයක්ය)"

මා මේ බ්ලොග් එක ඇරඹුවේම මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කිරීමටය. එක් අතෙකින් මෙවැනි සරල දේවල් මුලින් විස්තර නොකිරීම ගැන මට මා ගැනම කණගාටුවක් තිබේ. අනෙක් අතට, වෙනත් කරුණු ගැන නොලිවුවානම්, ඇතැම් විට මේ ප්‍රශ්නය අසන්නට ඔබ මෙහි එන්නේද නැත. 

ඔබේ විස්තරය ඉතා පැහැදිලි, හොඳ විස්තරයකි. ඒ නිසා විශ්ලේෂණය කිරීම පහසුය. 'වරදක්' යන වචනය ගත්තොත් මෙය සාපේක්ෂ සංකල්පයකි. ඔබ වරදක් සේ දකින දෙයක් මා එසේ නොදකින්නට පුළුවන. එවිට පුද්ගල සම්බන්ධතා සුමට ලෙස සිදුනොවේ. මෙය අප දෙදෙනාටම ප්‍රශ්නයකි. වරද කුමක්ද යන කරුණ ගැන අප දෙදෙනා එකඟතාවයකට පැමිණීම මෙයට විසඳුමකි. උදාහරණයක් ලෙස පන්සල් ගෙනයාමට අවසරයකින් තොරව ඔබේ වත්තේ මල් කැඩීම මා වරදක් ලෙස නොදකිද්දී ඔබ එසේ දැකිය හැකිය. නීතිය යනු සමාජයක් මෙසේ එකඟ වන කරුණු සමූහයකි. යම් කරුණක් සම්බන්ධව බොහෝ දෙනෙකුට සම්මුතියකට පැමිණීම අපහසුය. ඒ නිසා, එක් පුද්ගලයෙකු වරදක් ලෙස දකින දෙයක් අදාළ සමාජයේ නීතිය අනුව වරදක් නොවිය හැකිය. 

එහෙත්, ඒ සමාජයේ බොහෝ දෙනෙකු වරදක් ලෙස සිතන දෙයක් එහි නීතිය අනුවද වරදක් බවට පත්වේ. ඉහත උදාහරණයේ ඇති කරුණ නීතිමය වරදක් නොවූවත් සදාචාරාත්මක වරදක් ලෙස ඔබ සලකනවා විය හැකිය. ආගමික හෝ සදාචාරාත්මක වැරදි හැමවිටම නීතිමය වැරදි සමඟ ස
ම්පාත නොවේ. 


දැන් ඉහත කරුණට ආපසු ආවොත්, මෙවැන්නක් වරදක්යයි ඔබ සිතනවානම් ඔබ එවැනි ලාභයක් ලැබෙන කටයුත්තක නොයෙදීමට ඉඩ තිබේ. එවැන්නක් කළද, වරදකාරී හැඟීමකින් එය කරනු ඇත. ඒ නිසා, එය සැබවින්ම ඔබට අනුව වරදකි. එහෙත්, එසේ නොසිතන අයට එය වරදක් නොවේ. මෙය නීතිමය වරදක් වී නැත්තේ එය සදාචාරාත්මක වරදක් බව බොහෝ දෙනෙකු නොසිතන නිසාය. එසේ නොවන්නේ ඇයිද යන කරුණ මට ආර්ථික විද්‍යා මූලධර්ම ඇසුරෙන් පැහැදිලි කළ හැකිය.

මම මේ විදිහට නම් ටිකක් යොදාගන්නම්.
සෝමලතා- භාණ්ඩය සකස්කර රු 100ට විකුණයි.
රාමන්- රුපියල් 25කට භාණ්ඩය ප්‍රවාහනය කරයි.
පැට්‍රීෂියා- රුපියල් 250කට භාණ්ඩය මිල දී ගනී.
නවුෆර්- රුපියල් 50ක කුලියකට ඉහත ගනුදෙනුව සඳහා මැදිහත් වේ.
රත්නායක- පැත්තක සිට රුපියල් 100ක් යොදවා රුපියල් 75ක ලාභයක් ලබයි.
භාණ්ඩය- කෙසෙල්කැනක් යැයි සිතමු.

තවමත් මෙහි ඇත්තේ ඔබ සඳහන් කළ කරුණු පමණි. මේ කතාවේ රත්නායක ආයෝජකයාගේ සහ ව්‍යවසායකයාගේ කාර්යයන් දෙකම කරයි. 

දැන් අපි මේ ගනුදෙනුවෙන් එක් එක් පුද්ගලයාට ලැබෙන ලාභය බලමු.

 
සෝමලතා- කෙසෙල්කැන රු 100ට විකුණන්නේ එසේ කිරීමෙන් ඇයට ලාභයක් ලැබෙන නිසාය. ලාභයක් නැත්නම් ඇයට මෙය ප්‍රතික්ෂේප කළ හැකිය. ඇගේ නිෂ්පාදන වියදම සහ ශ්‍රමයේ වටිනාකම රුපියල් 75ක් නම් ඇයට රුපියල් 25ක ලාභයක් තිබේ. 

 
රාමන්- රුපියල් 25කට කෙසෙල්කැන ප්‍රවාහනය කර දෙන්නේ ඒ ගණනට ප්‍රවාහනය කර දීමෙන් ඔහුට ලාභයක් ලැබෙන නිසාය. රාමන් මෙය කර තියාගෙන යයි. ඔහු එදින එය නොකළොත් ඔහුට වෙනත් වැඩක් නොලැබේ. ඒ නිසා රාමන්ට ලැබෙන වාසිය රුපියල් 25කි.

 
පැට්‍රීෂියා- රුපියල් 250කට භාණ්ඩය මිල දී ගනී. ඇයට ගෙදර උත්සවයකට කෙසෙල්කැනක් අවශ්‍යය. මේ කෙසෙල්කැන ඇයට නොලැබුනානම් ඇයට වෙනත් අයෙකුගෙන් කෙසෙල්කැනක් මිලදී ගැනීමට රුපියල් 275ක් වැයවේ. ඒ නිසා ඇගේ ලාභය රුපියල් 25කි.

 
නවුෆර්- රුපියල් 50ක කුලියකට ඉහත ගනුදෙනුව සඳහා මැදිහත් වේ. රත්නායක මේ සඳහා ඔහුට කතා කරන විට නවුෆර් රුපියල් 25ක කුලියකට වෙනත් වැඩක් භාර ගැනීමට සූදානම් වුණා පමණි. මේ වැඩෙන් ඔහුට වැඩිපුර රුපියල් 25ක් ලැබේ.

 
රත්නායක- සෝමලතාට රුපියල් 100ක් අතින් ගෙවයි. රාමන්ට සහ නවුෆර්ට ගෙවන්නේ පැට්‍රීෂියාගෙන් ලබාගත් මුදලිනි. ඒ අනුව, ඔහු රුපියල් 100ක් ආයෝජනය කර රුපියල් 75ක ලාභයක් ලබයි. එය ලබා ගැනීම සඳහා රත්නායක කළේ කුමක්ද?

-රත්නායක අවදානමක් ගත්තේය. ප්‍රවාහනය කරන විට පැට්‍රීෂියා රුපියල් 275කට වෙනත් අයෙකුගෙන් කෙසෙල්කැනක් මිල දී ගෙන තිබුණානම් සිදුවන්නේ කුමක්ද?
වෙනත් කෙනෙකුට කෙසෙල්කැන විකුණන්නට වෙන්නේ රුපියල් 200කට යැයි සිතමු. මේ අවදානම 50%ක් යැයි
සිතමු. එසේ වුණානම් ඔහුගේ ලාභය රුපියල් 25ක් පමණි. ඒ කියන්නේ ඔහුගේ අපේක්ෂිත ලාභය වූයේ රුපියල් 50කි. (25 සහ 75 සාමාන්‍ය අගය). දැන් ඔහුගේ රුපියල් 75න් 25ක් ඒ අනුව ලැබුණේ ඔහුගේ 'වෙලාව හොඳ' නිසාය. (සම්භාවිතාව අනුවය) මෙය රුපියල් 25ක පාඩුවක් විය හැකිව තිබුණි.

 
-මේ රුපියල් 100 පොලියට දුන්නානම් ඔහුට රුපියල් 25ක් ලබාගන්නට තිබුණේය. (වෙනත් අයුරකින් කියනවානම්, මේ රුපියල් 100 ඔහුගේම මුදල් නොවී, ඔහු ගත්තේ සැබෑ ආයෝජකයා වන හේමලතාගෙන් පොලියටනම් ඔහු හේමලතාට රුපියල් 25ක් ගෙවිය යුතුය.)

 
-ඉතිරි රුපියල් 25 ඔහුට ලැබෙන්නේ ඔහු ව්‍යවසායකයෙකු වශයෙන් කළ ඉතාම වැදගත් කාර්යය නිසාය. ඔහුට ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගත හැකි විය. ඒ නිසා, සෝමලතා, රාමන්, පැට්‍රීෂියා, නවුෆර්, හේමලතා යන පස් දෙනාටම රුපියල් 25 බැගින් වාසි විය. ඔහුට රුපියල් 50ක වාසියක්ද සිදුවිය.

ව්‍යවසායකයා කියන්නේ ඉතාම වැදගත් පුද්ගලයෙකි. රැකියා ජනනය කරන්නේ ව්‍යවසායකයාය. ඔහු කිසිම සදාචාරාත්මක වරදක් නොකරයි. ඒ බව බොහෝ දෙනෙකු නිවැරදිව තේරුම් ගන්නා නිසා ව්‍යවසායකත්වය මඟින් මුදල් ඉපැයීම කිසිදු රටක (මා දන්නා පරිදි) නීතිමය වරදක් නොවේ. රටක් දියුණු වන්නේ මෙවැනි ව්‍යවසායකන් වැඩි වූ තරමටය.

මේ කොටසේ ඔබට අපැහැදිලි හෝ අවුල් සහගත යමක් ඇත්නම් කරුණාකර අහන්න. මට මෙය තවදුරටත් පැහැදිලි කළ හැකිය. 


(මෙයින් අනතුරුව මේ පාඨකයා ඔහු සිතන ආකාරය වැඩි දුරටත් පැහැදිලි කර තිබුණේය. ඒ ගැන ඉදිරියේදී අදහස් දක්වමි.)