මේ හා පළ කරන රේඛා ප්‍රස්ථාරයෙහි පෙන්වා තිබෙන්නේ 2019 වසර මුල සිට 2024 මැද දක්වා කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම (රුපියල් මිලියන වලින්) සහ පාරිභෝගික මිල දර්ශකය (2021=100) වෙනස් වූ ආකාරය. නිල් පාට ඉර සංචිත මුදල් සැපයුම. තැඹිලි පාට ඉර පාරිභෝගික මිල දර්ශකය.
සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ සංචිත මුදල් සැපයුම වැඩි වීමයි. උද්ධමනය ලෙස සලකන්නේ වසරක කාලයක් තුළ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් ඇති ප්‍රතිශතයයි.
සල්ලි අච්චු ගහද්දී උද්ධමනය වැඩි වන බව දැන් ගොඩක් අය දන්නා සාමාන්‍ය කරුණක්. මේ විචල්‍යයින් දෙක අතර සම්බන්ධය ඒ තරම්ම සරල නැතත්, ඉහත ප්‍රස්ථාරය දෙස බැලූ විට එම සම්බන්ධය පහසුවෙන් නිරීක්ෂණය කිරීම අසීරු කරුණක් නෙමෙයි.
මේ වන විට සංචිත මුදල් සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යනු ලබන අතර සාමාන්‍ය මිල මට්ටමද ස්ථාවරව පවතිනවා. ඒ නිසා, උද්ධමනයක් නැති තරම්.
උද්ධමනය අඩු වී ඇතත් බඩු මිල කලින් මට්ටමට පහත වැටී නැත්තේ ඇයි කියන එකත් මේ ප්‍රස්ථාරය ඇසුරෙන්ම තේරුම් ගන්න පුළුවන්. සංචිත මුදල් සැපයුම තව දුරටත් වේගයෙන් වැඩි වෙන්නේ නැතත් එය කලින් මට්ටමට පහත වැටී නැහැ.
මෙහි පෙන්වා නැතත්, සංචිත මුදල් සැපයුම මිල මට්ටම කෙරෙහි බලපාන්නේ පුළුල් මුදල් සැපයුම හරහා. පුළුල් මුදල් සැපයුමට රටේ ජනතාවට අයිති ස්ථිර තැන්පතු ආදී බැංකු තැන්පතු සියල්ල ඇතුළත්. මෙම තැන්පතු සඳහා පසුගිය කාලයේදී සැලකිය යුතු පොලියක් ලැබී මුදල් ප්‍රමාණයේ විශාල ගුණනය වීමක් සිදු වී තිබෙනවා. මුදල් සැපයුම කලින් මට්ටමට පහත වැටෙන්නටනම් එසේ සිදු වූ ප්‍රසාරණය ආපසු හැරිය යුතුයි. ඒ කියන්නේ පසු ගිය අවුරුදු වල ගෙවූ පොලී සියල්ල නැවත අය කරගන්නවා වගේ වැඩක්. එවැන්නක් යනු සිදු වන හෝ සිදු කළ හැකි දෙයක් නෙමෙයි.
ඉහත හේතුව නිසා මුදල් සැපයුම ඉහළ යාම පාලනය කළ හැකි වුවත් එය පෙර මට්ටමට පහත දමා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ නිසාම, බඩු මිල පෙර මට්ටමට පහත වැටීමද සිදු නොවන දෙයක්. නමුත්, මේ වෙද්දී පොලී අනුපාතික උද්ධමන වේගයට වඩා වැඩි නිසා මිල ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් වත්කම් ඉහළ යමින් තිබෙනවා. ඒ හරහා මිල ඉහළ යාමේ අවාසිය ක්‍රමයෙන් නිශේධනය වෙමින් තිබෙනවා.
මහ බැංකුව විසින් විදේශ සංචිත තර කර ගැනීමට විදේශ විණිමය මිල දී ගැනීම සඳහා රුපියල් නිකුත් කරද්දී සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. මෙය වලක්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් රජයට ලබා දී ඇති ණය රජයෙන් ආපසු ලබා ගන්නට සිදු වෙනවා. එවිට එසේ ආපසු ලැබෙන රුපියල් වලින් විදේශ විණිමය මිල දී ගනිමින් සංචිත මුදල් සැපයුම ස්ථාවරව තියා ගන්න පුළුවන්. මහ බැංකුව විසින් දැන් කරමින් සිටින්නේ එයයි.
මේ වැඩේ මේ විදිහට වෙන්නනම් රජය විසින් මහ බැංකුවට කලින් ගත් ණය ආපසු ගෙවිය යුතුයි. එසේ කරන්නනම් එක්කෝ රජයේ ආදායමෙන් යම් මුදලක් ඉතිරි කර ගන්නට සිදු වෙනවා. එසේ නැත්නම් වෙනත් පාර්ශ්වයකින් එම මුදල ණයට ගන්නට සිදු වෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා රජයේ ආදායමෙන් කොටසක් ඉතිරි කරගෙන ප්‍රාථමික අයවැය අතිරික්තයක් නඩත්තු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වන්නේ ඒ නිසා.
ඒ වගේම, මහ බැංකුවට නැවත උද්ධමනය ඇති නොකර විදේශ සංචිත තර කර ගත හැකි වන්නේ රජය විසින් මහ බැංකුවෙන් ණයට ගත් මුදල් ආපසු ගෙවන්නේනම් පමණයි. රුපියල ශක්තිමත්ව තබාගෙන, ඩොලරයක මිල ඉහළ යාම සීමා කර ගන්නටනම් ශක්තිමත් විදේශ සංචිතයක් අවශ්‍ය වෙනවා. ඒ අනුව, ඩොලරයක මිල පහළින් තියෙන්නෙත් ප්‍රාථමික අයවැය අතිරික්තයේ උදවුවෙන්ම බව පැහැදිලි වෙනවා ඇති. එක පැත්තකින් බදු වැඩි වී තිබුණත්, එහි ප්‍රතිඵලයක් විදිහට ඩොලරයක මිල පහළ ගොස් ඒ හරහා බඩු මිල පාලනය වීමෙන් බදු වැඩි වීමේ අවාසියත් යම් තරමකින් හෝ නිශේධනය වෙනවා.