Friday, August 17, 2018

ව්‍යාපාර චක්‍ර (තෙවන කොටස)


පසුගිය ලිපි දෙකෙන් අපි කතා කතා කළේ ව්‍යාපාර චක්‍ර කියන්නේ මොනවාද කියන එක හා ව්‍යාපාර චක්‍රයකදී ආර්ථිකයක් තාවකාලිකව අස්ථාවර වී නැවතත් ස්වභාවික ලෙසම ස්ථාවර වෙන්නේ කොහොමද කියන එකයි. මේ විදිහට ආර්ථිකයක් තාවකාලිකව අස්ථාවර වීම රටේ සමස්ත ඉල්ලුමේ හා සමස්ත සැපයුමේ නොගැලපීමක් ඇති වීම හා එය නැවත සමතුලිත වීමක් ලෙසත් විස්තර කළ හැකියි.

රටක සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම අතර නොගැලපීමක් ඇති විය හැකි ආකාර හතරක් තිබෙනවා. මේ අවස්ථා හතරේදී දැකිය හැක්කේ එකම රෝග ලක්ෂණ නෙමෙයි.

පළමු ආකාරය:  සමස්ත ඉල්ලුම එසේම තිබියදී සමස්ත සැපයුම ඉහළ යාම
දෙවන ආකාරය:  සමස්ත ඉල්ලුම එසේම තිබියදී සමස්ත සැපයුම පහළ යාම
තෙවන ආකාරය:  සමස්ත සැපයුම එසේම තිබියදී සමස්ත ඉල්ලුම ඉහළ යාම
සිවුවන ආකාරය:  සමස්ත සැපයුම එසේම තිබියදී සමස්ත ඉල්ලුම පහළ යාම

මෙහි පළමු හා සිවුවන අවස්ථා වලදී ඉල්ලුමට වඩා සැපයුම වැඩි නිසා මිල මට්ටම් පහත වැටී උද්ධමනය අඩුවෙනවා. ඉතිරි අවස්ථා දෙකේදී මිල මට්ටම් වේගයෙන් ඉහළ ගොස් උද්ධමනය වැඩි වෙනවා. ඒ වගේම, පළමු හා දෙවන අවස්ථා වලට මුල් වෙන්නේ සමස්ත සැපයුමේ ඇතිවන තාවකාලික කම්පනයන්.

උදාහරණයක් ලෙස කෘෂිකාර්මික නිෂ්පාදිතය හා අදාළව  කාලගුණ චක්‍ර වල බලපෑම නිසා සාමාන්‍ය අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් ලැබීම හෝ අස්වනු පාළු වීම දැක්විය හැකියි. ඒ වගේම විදේශ අංශය දෙස බැලුවොත් රබර් වගේ අපනයන නිෂ්පාදනයක් සඳහා ලෝක ඉල්ලුම හදිසියේ වැඩි වී ජාත්‍යන්තර මිල ගණන් එකවර විශාල ලෙස ඉහළ යාම හෝ රටකින් තෙල් වැනි ස්වභාවික සම්පතක් හමු වීම දැක්විය හැකියි.

සමස්ත ඉල්ලුමේ විචලනයන් ඇති වන ආකාරය ඊට වඩා තරමක් සංකීර්ණයි. එක පැත්තකින් මෙයට හේතුව රටේ සමස්ත ඉල්ලුම හා සැපයුම ගැන හරියටම දැන ගැනීමේ හැකියාවක් තනි පුද්ගලයෙකුට නැතිවීම කියා කියන්න පුළුවන්. උදාහරණයක් ලෙස සමහර වෙලාවට කවර හෝ හේතුවක් නිසා තෙල් හිඟයක් ඇති වෙයි කියා බොහෝ දෙනෙකුට හිතුනහම පැට්‍රෝල් ෂෙඩ් ඉදිරිපිට පෝලිම් ගැහෙන එක පෙන්වන්න පුළුවන්.

මේ ගොඩක් අය පැට්‍රෝල් මිල දී ගන්නේ තමන්ට ඒ වෙලාවේ පැට්‍රෝල් අවශ්‍ය නිසාම නෙමෙයි. මේ විදිහට පැට්‍රෝල් දැනට අවශ්‍ය නැති අයත් කලින්ම ටැංකි පුරවා ගැනීම නිසා එකවර පැට්‍රෝල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යනවා වගේම දවසකට දෙකකට පසුව පැට්‍රෝල් ඉල්ලුම සාමාන්‍ය මට්ටමට වඩා පහත වැටීමත් අනිවාර්යයයෙන්ම සිදු වෙනවා. හැමෝගෙම ටැංකි පිරුණට පස්සේ තව කොහාට පැට්‍රෝල් ගහන්නද?

ව්‍යාපාර චක්‍ර වල ක්‍රියාකාරීත්වය යම් තරමකින් අවබෝධ කරගත්තට පස්සේ මේ ව්‍යාපාර චක්‍ර වල බලපෑම අවම කරන්න මිනිස්සුන්ට අවශ්‍යතාවයක් ඇති වීම අමුතු දෙයක් නෙමෙයි. අවිනිශ්චිතතාවන් අඩු වෙනවට ගොඩක් මිනිස්සු කැමතියි. මහ බැංකු වල මුදල් ප්‍රතිපත්ති හා රජයයන්හි රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ඉස්සරහට පනින්නේ ඔන්න ඔය කැමැත්ත ප්‍රයෝජනයට ගනිමිනුයි.

කොහොම වුනත් මහ බැංකුවට හෝ රජයට රටක සමස්ත සැපයුම වෙනස් කරන්න අමාරුයි. ඔවුන්ට කළ හැක්කේ සමස්ත ඉල්ලුම පාලනය කිරීම පමණයි. එය කළ හැක්කේත් තාවකාලිකව පමණයි. මෙහිදී වෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සැපයුම ගැන හරියටම නොදන්න මිනිස්සුන්ගේ තීරණ වලට බලපෑමක් කිරීමෙන් මිනිසුන්ගේ තීරණ වෙනස් කර ඒ මඟින් සමස්ත ඉල්ලුම වෙනස් කිරීමයි.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා බදු අඩු කළ විට මිනිසුන්ගේ ආදායම කලින් මට්ටමේදීම තියෙද්දී ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යනවා. බදු වැඩි නොකර, රජයේ වියදම් වැඩි කළ විට වෙන්නේත් මිනිස්සුන්ගේ අතට වැඩිපුර සල්ලි එන එකයි. ඒ වගේම, මහ බැංකුව විසින් පොලී අනුපාතික පහළ දමා රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය වැඩි කළ විට මිනිස්සු වැඩිපුර ණය ගන්න පෙළඹෙනවා. එවිට වෙන්නෙත් අතට ලැබෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන එකයි.

ස්වභාවික තත්ත්වයන් යටතේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වී මිල දී ගැනීමේ හැකියාව ඉහළ යන්නේ රටේ නිෂ්පාදිතය වැඩි වන අවස්ථා වලදීයි. සමාගමක් වැටුප් වැඩි කරන්නේ හෝ පාරිතෝෂික දෙන්නේ ලාභ වැඩි වන විට. ලාභ වැඩි වන්නේ නිෂ්පාදනය ඉහළ ගිය වෙලාවටයි. නමුත්, ඉහත ආකාරයෙන් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හෝ මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් මිනිස්සු අතට සල්ලි එන්නේ රටේ සමස්ත නිෂ්පාදනය ඒ විදිහටම තියෙද්දීයි.

කොහොම වුනත් මේ විදිහට සල්ලි අතට එනකොට මිනිස්සු වැඩියෙන් මිල දී ගන්න පෙළඹෙන නිසා රටේ සමස්ත ඉල්ලුම ඉහළ යනවා. අසමතුලිතතාවය ඇති වී තිබෙන්නේ සමස්ත ඉල්ලුමේ අඩුවක් නිසානම් ඒ අසමතුලිතතාවය ඉක්මනින් නැති වී යනවා. මේ විදිහට නැවත ඉහළ ගිය ඉල්ලුම සමඟ ගැලපිය හැකි සමස්ත සැපයුමක් රටේ තිබෙන නිසා මිල මට්ටම නියම තැනට නැවත එනවා.

හැබැයි ඔය විදිහට ඉල්ලුම හා සැපයුම නැවත සමතුලිත වීමෙන් පසුව රජය හා මහ බැංකුව විසින් අර කලින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ආපසු හැරවිය යුතුයි. ඒ කියන්නේ නැවත රජයේ වියදම් කප්පාදු කර, බදු වැඩි කර, පොලී වැඩි කර මිනිසුන්ගේ වියදම් කිරීමේ හැකියාව සීමා කළ යුතුයි. එහෙම නොකළොත්, රටේ සමස්ත ඉල්ලුම සාමාන්‍ය සැපයුම් මට්ටමටත් වඩා වැඩි වෙලා ධන නිපැයුම් පරතරයක් ඇති වෙනවා.

ඉල්ලුම සැපයුමට වඩා පහත වැටී තිබෙන්නේ ඉල්ලුමේ අඩුවක් නිසා නොව සැපයුම හදිසියේ ඉහළ යාම නිසා වෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවක මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කළොත් වෙන්නේ උඩින් කියූ දෙයම නෙමෙයි. සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වල හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල බලපෑම ආර්ථිකයට එන්නත් කලින්ම වාගේ සැපයුම් කම්පන වල බලපෑම ස්වභාවිකවම වගේ නැති වී යන නිසා ඔය වගේ වෙලාවක මුදල් සැපයුම වැඩි කළොත් බොහෝ විට වෙන්නේ ඒ හේතුවෙන්ම අසමතුලිතතාවයක් ඇති වෙන එකයි.

මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා ව්‍යාපාර චක්‍ර වල බලපෑම පාලනය කරන්න උත්සාහ කරන එක ලෝකයේ සෑම රටක්ම වාගේ කරන දෙයක්. මෙය ප්‍රතිඵලදායක නොවන බව කියන්න බැරි වුනත් මේ විදිහට ව්‍යාපාර චක්‍ර පාලනය කරන්න යාමේදී නොසැලකිල්ලෙන් හෝ අත්වැරදීම් නිසා ප්‍රශ්නය තවත් උග්‍ර වූ අවස්ථා ගැන උදාහරණ ඕනෑ තරම් තියෙනවා.

මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පළමුව ව්‍යාපාර චක්‍රයේ තමන් සිටින්නේ කොතැනද කියන එක නිවැරදිව දැන ගත යුතුයි. ඒ සඳහා රටේ විභව දළ දේශීය නිෂ්පාදිතය කුමක්ද කියා හරියට දැනගත යුතුයි. උදාහරණයක් ලෙස රටේ විභව ආර්ථික වර්ධන වේගය 5%නම් හා සැබෑ වේගය 6%නම් ඒ වගේ වෙලාවක තියෙන්නේ ධන නිපැයුම් පරතරයක් නිසා අවශ්‍ය වන්නේ දැඩි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ආර්ථික වර්ධනය අඩු කිරීමයි.

නමුත්, ඔය වගේ වෙලාවක නිමැවුම් පරතරය වැඩි වී නැති බවත්, විභව ආර්ථික වර්ධන වේගය 7% දක්වා වැඩි වී ඇති බවත් කවුරු හෝ හිතුවොත් පෙනෙන්නේ සෘණ නිමැවුම් පරතරයක් තිබෙන බවයි. ඒ මත පදනම්ව මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කළොත් අන්තිමට වෙන්නේ තිබෙන ධන නිමැවුම් පරතරය තවත් වැඩි වී රටේ ආර්ථිකය එහි ස්ථාවර සමතුලිතාවයෙන් තවත් ඈතට ගමන් කිරීමයි.

(Image: https://www.teacherspayteachers.com/Product/Mini-BusinessEconomic-Unit-on-Business-Cycle-incl-activities-quiz-answer-keys-3425921)

Tuesday, August 14, 2018

ව්‍යාපාර චක්‍ර (දෙවන කොටස)


පළමු කොටසින් අපි කතා කළේ ව්‍යාපාර චක්‍රයක දැකිය හැකි අදියර හතර පිළිබඳවයි. මෙයින් අදියර දෙකකදී, රටක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන පථය එහි දිගුකාලීන ගමන් මාර්ගයෙන් ඉවතට අපගමනය වෙනවා. ඉතිරි අදියර දෙකේදී නැවත එම ගමන් මාර්ගය දිශානුභිමුකව ගමන් කරනවා. මේ විදිහට රටක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන පථය කාලයෙන් කාලයට එහි දිගුකාලීන ගමන් මාර්ගයෙන් පිටතට හා ඒ දෙසට විචලනය වන්නේ ඇයි?

මේ ගැන පැහැදිලි කෙරෙන ප්‍රවාද ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රවාද බොහොමයක් එකිනෙකට පටහැනි ඒවා නෙමෙයි. මේ සංසිද්ධිය පසුපස තිබෙන ක්‍රියාවලියේ වෙනස් මාන වෙතට අවධානය හෙළීම පමණයි මේවායේ වෙනස.

නිපැයුම් පරතරය ධන අගයක් ගන්නවා කියන්නේ රටේ සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩි නිෂ්පාදනයක් වෙනවා කියන එකයි. මේක කොහොමද වෙන්නේ?

මේ දවස් වල ලංකාවේ උසස් පෙල විභාගය පැවැත් වෙනවා. මේ වගේ කඩඉම් විභාගයක් කිට්ටු වෙද්දී බොහෝ සිසු සිසුවියන් අධ්‍යාපන කටයුතු සඳහා දවසේ වැඩි වෙලාවක් යොදවනවා. සමහර විට පැය හත අටක්... දහයක් දොළහක්... නිදා ගන්නේ වෙනදා කාලයට වඩා අඩු කාලයක්. රූපවාහිනිය සමඟ ගත කරන කාලය, ක්‍රීඩා කරන කාලය වගේ දේවල් අඩු කරනවා.

ඉහත තත්ත්වය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. මේ වගේ කට්ටක් කන එක මාසයක් දෙකක් එක දිගට කරන්න පුළුවන් වුනත් හැමදාම කරන්න බැහැ. ඒ නිසා, විභාගය ඉවර වුනු ගමන් ඔය ඔක්කොම කණපිට ගැහෙනවා.

සමහර රැකියා කරන අයට සමහර කාල වලට වැඩ වැඩියි. ගණකාධිකාරීවරයෙක් ගත්තොත් වසරේ අවසන් ගිණුම් හදන කාලයට. අලෙවිකරුවෙක් ගත්තොත් තමන්ගේ අලෙවි ඉලක්ක පරීක්ෂා කෙරෙන කාල පරාසයක අන්තිම කිට්ටුව වෙද්දී. මේ වගේ කාලයකට වැඩි පැය ගණනක් මැරීගෙන වැඩ කරන කෙනෙක් එයින් පස්සේ විවේකයක් ගන්නවා. 

ඉදි කිරීම් වැඩපොළක් වගේ එකක් ගත්තොත් වැඩේ ඉවර කරල බාර දෙන දවස කිට්ටු වෙද්දී තාවකාලික සේවකයින් දමාගෙන, ඉන්න සේවකයින්ට අතිකාල ගෙවමින් රෑ දවල් නැතුව බරටම වැඩ කළත් හැමදාම ඔය විදිහට වැඩ කරන්නේ නැහැ. ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය නිපදවන ඇඟලුම් කම්හලක් ගත්තත්, ඇනවුමක් නැව්ගත කළ යුතු දවස (ෂිප්මන්ට් එකක්) කිට්ටු වෙද්දී තත්ත්වය ඔය වගෙයි.

ඉහත විස්තර කළ පරිදි, පුද්ගලයෙක් හෝ ආයතනයක් තමන්ගේ සාමාන්‍ය ධාරිතාවට වඩා වැඩියෙන් වැඩකරන කාල පරිච්ඡේද තියෙනවා. හැබැයි එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි.

මේ විදිහට තමන්ගේ ධාරිතාව ඉක්මවලා කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් වැඩ කරන්නේ එසේ කිරීමේ වාසියක් තිබෙන වෙලාවට. නිෂ්පාදන ක්‍රියාවලියක නිරතවෙන ආයතනක් ගත්තොත් මේ විදියට වැඩ කරන්නේ පෙළඹෙන්නේ තමන් නිපදවන භාණ්ඩයට හෝ සේවාවට සාමාන්‍ය ඉල්ලුමට වඩා විශාල ඉල්ලුමක් තිබෙන වෙලාවට.

ධාරිතාව ඉක්මවා නිෂ්පාදනය කරන විට පිරිවැය ඉහළ යනවා. මෙයට හේතුව වන්නේ නිෂ්පාදන සාධක වෙනුවෙන් ගෙවිය යුතු මිල වැඩි වීමයි. උදාහරණයක් විදිහට ශ්‍රමය ගත්තොත්, වැඩියෙන් නිපදවන්න වැඩියෙන් ශ්‍රමය අවශ්‍ය වෙනවා. මේ අමතර ශ්‍රමය හොයා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවන ක්‍රමය දැනට ඉන්න සේවකයන්ගෙන් වැඩි වෙලාවක් වැඩ ගැනීම. දෙවන ක්‍රමය අලුත් සේවකයින් බඳවා ගැනීම.

දැනට ඉන්න සේවකයන්ගෙන් වැඩිපුර වැඩ ගැනීමේදී අතිකාල ගෙවීම් ආදී ලෙස වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඒ වගේම, යම් සීමාවකින් පසුව එක දිගටම වැඩ කරද්දී මේ අයගේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය පහළ වැටීමකුත් සිදුවන නිසා භාණ්ඩ හෝ සේවා ඒකකයක් වෙනුවෙන් වැය කළ යුතු ශ්‍රම ඒකක ගණන ඉහළ යනවා. 

අලුත් සේවකයින් බඳවා ගැනීමත් ආකාර දෙකකට සිදු වෙන්න පුළුවන්. එකක් අලුතින්ම නුපුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම. එවැන්නෙකුගේ කාර්යක්ෂමතාවය දැන් සිටින සේවකයෙකුගේ මට්ටමේ නැති නිසා, මේ අයට සාපේක්ෂව අඩු වැටුපක් ගෙවුවා වුනත් භාණ්ඩ හෝ සේවා එක් ඒකකයක් හදන්න වැඩි වියදමක් යන්න පුළුවන්. 

එහෙම නැතුව පුහුණු ශ්‍රමිකයන් බඳවා ගන්නවානම් එය කරන්න වෙන්නේ තරඟකාරී සමාගමක සේවකයින්ට වැඩි වැටුප් ගෙවීමට පොරොන්දු වීම මඟිනුයි. හැබැයි මේ වගේ වෙලාවක වෙනත් සමාගම් විසිනුත් මේ දෙආකාරයටම සේවකයින් බඳවා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා, තමන් සමඟ දැනට ඉන්න සේවකයින් තරඟකාරී සමාගමකට යන එක වළක්වාගන්න ඔවුන්ටත් වැඩි වැටුප් ගෙවන්න සිදු වෙනවා. ඒ වගේම, මේ වගේ වෙලාවක සමාගම් අතර පවතින තරඟය නිසා රැකියා විරහිතව සිටින නුපුහුණු ශ්‍රමිකයෙක් වුවත් හිතන තරම් අඩු වැටුපකට බඳවා ගන්න බැහැ.

නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වැනි දේ ගැන සැලකුවත් තිබෙන්නේ මේ වගේම තත්ත්වයක්. කලින් සැපයුම්කරුවන් ගණනාවකගේ මිල ගණන් හා අමුද්‍රව්‍ය වල තත්ත්වය පරීක්ෂා කර මිල අඩු, තත්ත්වයෙන් ඉහළ සැපයුම්කරුවන්ගේ අමුද්‍රව්‍ය විතරක් මිල දී ගත්තත් දැන් ඒ ප්‍රමාණය මදි නිසා තත්ත්වයෙන් තරමක් බාල, මිලෙන් වැඩි අමුද්‍රව්‍ය වුවත් මිල දී ගන්න වෙනවා. ඒ වගේම, දැනට ඉන්න සැපයුම්කරුවන්ට පහසුවෙන් වෙනත් නිෂ්පාදකයෙකුට භාණ්ඩ අලෙවි කරන්න පුළුවන් නිසා ඔවුන්ටත් වැඩි මිලක් ගෙවන්න සිද්ධ වෙනවා.

සමස්තයක් ලෙස මේ ආකාරයට නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා විකුණන්න වෙන්නේ වෙනදාට වඩා වැඩි මිලකටයි. නමුත්, මේ අදියරේදී රටේ භාණ්ඩ හා සේවාවන්ට විශාල ඉල්ලුමක් තිබෙන නිසා ගාණ ටිකක් වැඩි වුනත් විකුණගන්න පුළුවන්.

ධන නිපැයුම් පරතරයක් ඇති වී ගොඩ නැගෙන මුල් කාලයේදී හෙවත් රූප සටහනේ D හා A අතර කොටසින් පෙන්වන හතරවන අදියරේදී ඉහත ආකාරයේ තත්ත්වයක් ඇති වී රටේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යනවා. ඒ කියන්නේ උද්ධමනය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වෙනවා. 

භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී සමාගම් වලට ලාභ පෙනෙන්න ගන්න නිසා ඔවුන් නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින් අලුත් සේවකයින් බඳවා ගන්නවා. ඒ නිසා විරැකියා අනුපාතිකය පහළ යනවා. නිෂ්පාදනය වේගයෙන් වැඩිවන නිසා ආර්ථික වර්ධනය වේගවත් වෙනවා.

කලින් විරැකියාවෙන් පෙළුණු අයට අලුතින් රැකියා ලැබී ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යනවා. කලින් සේවය කළ අයගේත් වැටුප් ඉහළ ගොස් වියදම් කිරීමේ හැකියාව වැඩි වෙනවා. සමාගම් වල ආදායම් ඉහළ යාම නිසා කොටස් හිමියන්ගේ ආදායම් වැඩි වී ඔවුනුත් වැඩියෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්න පෙළඹෙනවා. පරිභෝජන වියදම් පමණක් නෙමෙයි ආයෝජනය කිරීමුත් වැඩි වෙනවා. මෙහෙම වෙනකොට භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම නැවත වටයකින් ඉහළ යනවා. උද්ධමනය තවත් වැඩි වෙනවා. විරැකියාව තවත් අඩු වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය වී නිපැයුම් පරතරය පුළුල් වෙනවා. 

හැබැයි ඉහත තත්ත්වය දිගටම පවතින්නේ නැහැ. ඒ තත්ත්වය ආපසු හැරවෙන්නේ ඒ ක්‍රියාවලිය තුළමයි.

මුලදී සේවකයින්ගේ ආදායම් ඉහළ ගියත්, මිල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යන නිසා ඔවුන්ට එසේ ලැබෙන මුදලින් මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එවිට, ඔවුන්ට ජීවන තත්ත්වය කලින් මට්ටමේ පවත්වා ගන්න වැඩි වැටුප් අවශ්‍ය වෙනවා. සමාගම් වලට සේවක වැටුප් ක්‍රමයෙන් වැඩි කරන්න වෙද්දී ඔවුන්ගේ ලාබ අඩු වෙන්න පටන් ගන්නවා. මේ විදිහටම අමුද්‍රව්‍ය ආදියට ගෙවන මිල ගණනුත් ඉහළ යන නිසා නිෂ්පාදන වියදම් ඉහළ ගියත්, එයට අනුරූපීව මිල ඉහළ දැමීම තවදුරටත් කළ නොහැකි දෙයක් වෙනවා. එහෙම මිල වැඩි කළොත් වෙන්නේ සේවක වැටුප් තවත් වැඩි කරන්න වෙන එකයි. ඒ නිසා එය හරියන දෙයක් නෙමෙයි. මේ ටික වෙන්නේ වක්‍රයේ A ස්ථානයට පැමිණි විටයි.

තත්ත්වය ඔය වගේ වුනාම සමාගම් වලට වියදම් අඩු කරන්න වෙනවා. මේ වෙලාවට ඇමරිකාව වගේ සෛද්ධාන්තික ධනවාදයකට කිට්ටු ආර්ථික ක්‍රමයක් තියෙන රටක සේවකයින් ඉවත් කරනවා. මුලින්ම ඉවත් කරන්නේ වඩා අකාර්යක්ෂම සේවකයින්වයි. ඉතිරි සේවකයින්ගේත් පාරිතෝෂික දීමනා වැනි වරප්‍රසාද අඩු කෙරෙනවා. ඇතැම් විට වැටුප් පවා අඩු කෙරෙන්න බැරි කමක්ම නැහැ. එහෙම කළා කියලා මේ වගේ වෙලාවක සේවකයින් අස් වෙලා යන්නේ නැහැ. මොකද එහෙම ගිහින් වෙනත් රැකියාවක් හොයා ගැනීම පහසු නැති නිසා.

අන්තිමේදී විරැකියාව ඉහළ ගිහින්, රැකියා කරන අයගේත් ආදායම් අඩුවී රටේ භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. සමාගම් වල ලාභ අඩු වෙන නිසා ඔවුන් අලුත් ආයෝජන ගැන හිතන්නෙත් අඩුවෙන්. ඒ නිසා ආයෝජන භාණ්ඩ වලට තිබෙන ඉල්ලුමත් අඩු වෙනවා. මේ විදිහට රටේ සමස්ත ඉල්ලුමම පහළ වැටෙන්න ගත්තහම භාණ්ඩ හා සේවා විකුණාගැනීම සඳහා නිෂ්පාදකයින්ට මිල පහත දමන්න සිදු වෙනවා. ගොඩක් නිෂ්පාදකයින් මේ විදිහට කරන කොට රටේ උද්ධමනය අඩුවෙන්න පටන් ගන්නවා. නිෂ්පාදනය අඩු වී ආර්ථික වර්ධන වේගය අඩුවෙන්න පටන් ගන්නවා.  විරැකියා අනුපාතය ඉහළ යන්න පටන් ගන්නවා. 

රූප සටහනේ A සහ B කොටසෙන් දැක්වෙන පළමු අදියරේදී සිදුවන මේ සිදුවීම් මාලාව B වලින් පෙන්වන සමතුලිතතාවයට පැමිණීමෙන් පසුව නවතින්නේ නැහැ. මෙයට හේතුව ධනවාදී ආර්ථිකයක් මෙහෙයවන කෙනෙක් නැති වීමයි. ධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක වන්නේ තනි පුද්ගලයින් විශාල පිරිසකගේ ස්වාධීන තීරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි.

සාමාන්‍යයෙන් මිනිස්සු තමන්ට ලබා ගත හැකි එහෙත් අතේ නැති දෙයක් නොලැබෙනවාට වඩා අතේ දැනට තිබෙන දෙයක් නැති වෙනවට බයයි. එය මිනිස් ස්වභාවය. සමාගම් වෙනුවෙන් තීරණ ගන්නෙත් මිනිසුන් නිසා මෙය සමාගම් ක්‍රියාකාරී වන විදිහෙනුත් යම්තාක් දුරට පෙනෙනවා. 

උදාහරණයක් විදිහට පැයක් දණ ගහගෙන හිටියොත් රුපියල් දාහක් දෙනවා කිවුවොත් එසේ කරන්න අකැමැති වන අයගෙන් සෑහෙන දෙනෙක්, පැයක් දණ ගහගෙන හිටියේ නැත්නම් රුපියල් දාහක් ගන්නවා කිවුවොත් වැඩේ කරනවා. චර්යාත්මක ආර්ථික විද්‍යා පර්යේෂණ වලදී නැවත නැවත තහවුරු වී තිබෙන ඉහත හැසිරීම ඉංග්‍රීසින් දහනවවන සියවසේ මුලදී ලංකාවේ ආර්ථිකය වෙනස් කරන කාලයේදීත් අත් දැකපු දෙයක්. වැටුපක් ලබමින් තේ වතු, කෝපි වතු, මාර්ග සංවර්ධන කටයුතු ආදියේ සේවය කරන්න කැමති නොවුණු සිංහලයින් බොහෝ දෙනෙක් ඇඟ බද්ද දැම්මට පස්සේ බදු ගෙවිල්ල වෙනුවට තෝරාගත්තේ නියමිත දින ගණන වැඩ කරන එකයි.

ඔය විදිහටම ලාබ පෙනෙද්දී ක්‍රියාකාරී වෙනවාට වඩා ඉතා ඉක්මණින් අලාභ පෙනෙද්දී මිනිස්සු ක්‍රියාත්මක වෙනවා. මෙයට සමාගම් වෙනුවෙන් තීරණ ගන්න මිනිස්සුත් ඇතුළත්. ඒ නිසා, සමාගමක් රූප සටහනේ C ස්ථානයට වැටුනහම සේවකයින් බඳවා ගන්න තිබෙන උනන්දුවට වඩා A ස්ථානය කිට්ටු වෙද්දී සේවකයින් ඉවත් කරන්න උනන්දුව වැඩියි. ඒ වගේම, භාණ්ඩ හා සේවා වල මිල වැඩි කරන්න කලින් වෙනත් තරඟකාරී සමාගමක් ඉස්සර වෙනකම් බලා ඉන්න ගොඩක් සමාගම් භාණ්ඩ හා සේවා වල මිල අඩු කිරීමේදී බලන්නේ අනෙක් තරඟකාරී සමාගම් වලට වඩා ඉස්සර වෙන්නයි. 

තනි තනි සමාගම් විසින් වෙන වෙනම සේවකයින් ඉවත්කිරීම, මිල අඩු කිරීම වගේ තීරණ අනෙක් අයට වඩා කලින් ගන්න උත්සාහ කිරීම නිසා කෙටි කාලයක් තුළ එක පාරටම විරැකියාව ඉහළ ගිහින්, දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙලා, මිල මට්ටම් අඩු වෙලා ආර්ථිකය A වල ඉඳලා C දක්වාම වැටෙන එක බොහෝ විට සිදු වෙන දෙයක්. C වලට වැටෙනවා කියන්නේ සෘණ නිපැයුම් පරතරයක් ඇති වෙනවා කියන එකයි. හැබැයි ඉතිං ඔය C ස්ථානයට වැටුනට පස්සේ ආර්ථිකය නැවත නියම පථයට එන එකත් ස්වභාවිකවම සිදු වෙනවා.

රූප සටහනේ C ස්ථානයට වැටුනහම විරැකියා අනුපාතය ඉතාම ඉහළයි. පුහුණු ශ්‍රමිකයෝ පවා ඉන්නේ රැකියාවක් නැතුවයි. ඔය වෙලාවට අඩු වැටුපකට කාර්යක්ෂම සේවකයින් බඳවා ගත හැකියි. ඒ වගේම, සැපයුම්කරුවන් ඉන්නේ අමුද්‍රව්‍ය විකුණාගන්න බැරුවයි. ඔවුන් සමඟ හෙට්ටු කර අමුද්‍රව්‍ය අඩු මිලකට ගන්න පුළුවන්. 

රටේ ආර්ථිකය මේ තත්ත්වයට පැමිණියාම අලුත් ව්‍යවසායකයෝ ව්‍යාපාර ආරම්භ කරනවා. දැනට ඉන්න ව්‍යවසායකයින් අලුත් ආයෝජන කරන්න පටන් ගන්නවා. රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය නැවතත් ක්‍රමයෙන් ඉහළ යනවා. සේවක වැටුප් ඉහළ යනවා. ගෘහස්ථ ඒකක වල ආදායම් ඉහළ යද්දී මිල දී ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. එවිට භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම වැඩි වෙලා සමාගම් වලට නැවතත් මිල ඉහළ දමන්න අවස්ථාව ලැබෙනවා. 

කලින් වගේම මේ අවස්ථාවේදීත් C සිට D දක්වා ඇවිත් වැඩේ නවතින්නේ නැහැ. ආර්ථිකය D පහුකරගෙන ගිහින් A දක්වාම වර්ධනය වෙනවා. හැබැයි ඉතිං මේ උඩට යන කොටසේදී සමාගම් හා පුද්ගලයින් තීරණ ගන්නේ බොහොම සීරුමාරුවට හිතා බලලයි. පහළට වැටෙන කොටසේදී වගේ හදිස්සියෙන් නෙමෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් A සිට C දක්වා වැටෙන්න යන කාලය වගේ හතර ගුණයක පමණ කාලයක් යනවා නැවත C සිට A දක්වා එන්න.

දැන් මේ විස්තරය ඔබ සැලකිල්ලෙන් කියෙවුවනම්, පසුගිය අවුරුදු වලදී රටේ ආර්ථික වර්ධනය සිදු වූ රටාව හැර, කිසියම් වෙලාවක රටක නිපැයුම් පරතරය ධනද සෘණද කියා තීරණය කරන්න උදවු වෙන තවත් දේවල් තිබෙන බව පැහැදිලි විය යුතුයි. මෙහි කතා කළ උද්ධමනය හා විරැකියා අනුපාතය ඒ අතරින් ප්‍රධානයි. සාමාන්‍යයෙන් රටක උද්ධමනය ව්‍යාපාර චක්‍රයේ (නිපැයුම් පරතරයේ) දිශාවටත්, විරැකියා අනුපාතය එයින් ප්‍රතිවිරුද්ධ දිශාවටත් විචලනය වෙනවා. ඒ නිසා, නිපැයුම් පරතරය ගැන සැකයක් ඇති විට අපිට උද්ධමනය හා විරැකියා අනුපාතය දෙසත් බලන්න පුළුවන්. ඊට අමතරව මෙවැනි තවත් විචල්‍යයනුත් ගණනාවක් තිබෙනවා.

ව්‍යාපාර චක්‍ර (පළමු කොටස)

ධනවාදී ආර්ථිකයක් දිගුකාලීනව කිසියම් නියත වේගයකින් (එහි ශක්‍ය වර්ධන වේගයෙන්) වර්ධනය වන අතරතුරේදී වරින් වර, චක්‍රීය ලෙසට මේ රේඛීය වර්ධන පථයෙන් අපගමනය වන බවත්, එසේ අපගමනය වීමෙන් අනතුරුව නැවතත් ස්වභාවිකවම පුරුදු පාරට ආර්ථිකය වැටෙන යාන්ත්‍රණයක් තිබෙන බවත් සියවසකට පමණ පෙර සිටම නිරීක්ෂණ ඇසුරින් දැන සිටි හා ප්‍රවාදගත කළ දෙයක්. මේ චක්‍රීය අපගමනය වීම හඳුන්වන්නේ ව්‍යාපාර චක්‍ර වශයෙනුයි. මෙය පැහැදිලි කෙරෙන රූප සටහනක් පහත තිබෙනවා.


ඉහත රූප සටහනේ නිල් පාට ඊතලයකින් ලකුණු කර තිබෙන ඉහළට යොමු වුණු ප්‍රවණතාවයෙන් පෙන්වන්නේ ආර්ථිකයේ දිගුකාලීන සාමාන්‍ය වර්ධන වේගයයි. විභව වර්ධන වේගය කියා කියන්නේ මෙයටයි. 

කෙසේ වුවත්, රූප සටහන දෙස බැලූ විට පැහැදිලි වන පරිදි මේ විභව ආර්ථික වර්ධන වේගයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් වර්ධනය වන අවස්ථා මිස හරියටම ඒ වේගයෙන් වර්ධනය වන අවස්ථා නැති තරම්. ඒ නිසා, කිසියම් මොහොතක රටක "තිබිය යුතු දළ දේශීය නිෂ්පාදිතය", එහෙමත් නැත්නම් විභව දළ දේශීය නිෂ්පාදිතය හා ඇත්තටම තිබෙන දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනසක් තිබෙනවා. මේ වෙනස නැත්නම් පරතරය නිපැයුම් පරතරය ලෙස හඳුන්වන්න පුළුවන්. 

අර්ථදැක්වීම අනුවම විභව දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ සාමාන්‍ය අගයක් නිසා නිපැයුම් පරතරයේ ධන හා සෘණ අපගමනයන් දිගුකාලීනව සමතුලිත විය යුතුයි. ඒ කියන්නේ ධන පැත්තට හෝ සෘණ පැත්තට අපගමනය වීමෙන් පසුව එහි අනිත් පැත්තත් සිදු වී නැවත කලින් පාරටම වැටිය යුතුයි. එහෙම වෙන්නේ නැත්නම්, අප විභව දළ දේශීය නිෂ්පාදිතය ගණනය කළ විදිහ නිවැරදි වෙන්න බැහැ. 

ඒ වගේම ව්‍යාපාර චක්‍රයක එක කොටසකදී ආර්ථිකය සාමාන්‍ය වේගයට වඩා වේගයෙන් වර්ධනය වෙනවා. තවත් කොටසකදී ආර්ථිකය හැකිලෙනවා. එසේ නැත්නම් සාමාන්‍ය වේගයට වඩා අඩු වේගයකින් වර්ධනය වෙනවා. 

වර්ධන වේගය කියන්නේ මේ වගේ ප්‍රස්ථාරයක පෙන්වන රූප සටහනේ බෑවුම. සරල රේඛීය ප්‍රස්ථාරයක බෑවුම නියත බව අප දන්නා දෙයක්. ඒ නිසා, මේ රූප සටහනේ පෙන්වන විභව ආර්ථික වර්ධන වේගය නියතයක්. නමුත්,  උඩ රූප සටහනේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය නිරූපණය කරන ආකාරයේ නිර්-රේඛීය වක්‍රයක බෑවුම නියත නැහැ. එයත් චක්‍රීය ලෙස වෙනස් වෙනවා. A සිට C දක්වා කොටසේදී බෑවුම තිබෙන්නේ පහළටයි. C සිට A දක්වා බෑවුම ඉහළටයි. 

වැඩිමනත් දෙයක් ලෙස, ගණිතය තරමක් ඉහළට හැදෑරූ අය දන්නා පරිදි මේ වගේ වක්‍රයක ශ්‍රිතය අවකලනය කළාම එහි බෑවුමේ ශ්‍රිතය ලැබෙනවා. සයින් වක්‍රයක් අවකලනය කළාම ලැබෙන්නේ කෝසයින් (කොස්) වක්‍රයක්. කෝසයින් වක්‍රයක් කියන්නේ කාල පමාවක් සහිතව පුනරාවර්තනය වන සයින් වක්‍රයක් වගේම එකක්. මේ කොටස බර වැඩිනම් අමතක කරලා දමන්න. කතාව තේරුම් ගන්න මේ කොටස අවශ්‍ය නැහැ.

කොහොම හරි මෙහි වැදගත් කරුණ වන්නේ වක්‍රය සෘණ හෝ ධන වීමත්, වක්‍රයේ බෑවුම සෘණ හෝ ධන වීමත් කියන්නේ දෙකක් බවයි. ඒ අනුව, අපට මේ රූප සටහනේ දැකිය හැකි චක්‍රීය රටාවේ කොටස් හතරක් හඳුනාගත හැකියි.

අදියර 1: A සිට B දක්වා: වක්‍රය ධන බෑවුම (අවකල ශ්‍රිතය) සෘණ 
අදියර 2: B සිට C දක්වා: වක්‍රය සෘණ බෑවුමත් සෘණ
අදියර 3: C සිට D දක්වා: වක්‍රය සෘණ එහෙත් බෑවුම ධන
අදියර 4: D සිට A දක්වා: වක්‍රය සෘණ බෑවුමත් සෘණ

දැන් මෙහි තිබෙන්නේ ගණිතමය පැහැදිලි කිරීමක්. මේ වගේ කතාවක් ඔය හැඩයේ ඕනෑම වක්‍රයක් හා අදාළව කියන්න පුළුවන්. නමුත්, අපිට වැදගත් වෙන්නේ මේ කතාව ආර්ථික වර්ධනයට අදාළ වන ආකාරයයි. මෙහි වක්‍රයේ උසෙන් පෙන්වන්නේ කිසියම් අවස්ථාවක රටේ දළ දේශීය නිෂ්පාදිතය. එහි බෑවුමෙන් පෙන්වන්නේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන වේගය. මේ දෙක එකිනෙකට සම්බන්ධ වුවත් වෙනස් කරුණු දෙකක්. 

අදියර 1: A සිට B දක්වා: ආර්ථිකය පසු බෑමකට ලක් වෙමින් තිබුණත්, නිමැවුම් පරතරය ධන එකක්. ඒ ධන පරතරය අඩු වෙන එකයි වෙමින් තියෙන්නේ. මේ වෙලාවේ සිදුවෙමින් තිබෙන්නේ සිදු විය යුතු නිවැරදි වීමක් නිසා ආර්ථික වර්ධනය අඩු වුණත් කලබල වෙන්න දෙයක් නැහැ. මේ නිවැරදි වීමෙන් දිගුකාලීනව සිදුවන්නේ යහපතක්.

අදියර 2: B සිට C දක්වා: ආර්ථිකය පසු බෑමකට ලක් වෙමින් තිබෙන අතරම, සෘණ නිමැවුම් පරතරයක් වර්ධනය වෙමින් තිබෙනවා. දැන් සිදු වෙමින් තිබෙන්නේ සමතුලිතතාවයෙන් ඈතට ආර්ථිකය ගමන් කිරීමයි. මෙය සැලකිලිමත් විය යුතු කරුණක්.

අදියර 3: C සිට D දක්වා: ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන නමුත් තවමත් තිබෙන්නේ සෘණ නිමැවුම් පරතරයක්. ඒ සෘණ පරතරය අඩු වෙන එකයි වෙමින් තියෙන්නේ. දැන් සිදු වෙමින් තිබෙන්නේ සමතුලිතතාවය දෙසට ආර්ථිකය ගමන් කිරීමයි. හොඳ තත්ත්වයක්.

අදියර 4: D සිට A දක්වා: ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන අතර සමතුලිත මට්ටම ඉක්මවා ධන නිමැවුම් පරතරයක් ගොඩ නැගෙමින් තිබෙනවා. ආර්ථික දර්ශක බොහොමයක් ඉතා හොඳ තත්ත්වයක් පිළිබිඹු කළත් මේ තියෙන තත්ත්වය ස්ථාවර එකක් නෙමෙයි. නිමැවුම් පරතරය ඉහළ ගිය තරමට එය ස්වභාවිකව නිවැරදි වන විට සිදුවිය හැකි හානියත් වැඩියි.

පැහැදිලි කිරීමේ පහසුවට උඩ පළමු රූප සටහනේ සුමට සයින් වක්‍රයක් වගේ එකක් ඇඳල තිබුණත් සැබෑ දත්ත දෙස බැලුවහම ඔය වගේ සුමට වක්‍රයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔය සයින් වක්‍රය වගේ එක මේ සංකල්පය පැහැදිලි කිරීමේ පහසුවට ගොඩක් අය යොදාගන්න එකක් පමණයි. විභාගයකට පිළිතුරු ලිවීමේදී එවැන්නක් යොදා ගැනීම ප්‍රශ්නයක් නොවූවත්, ආර්ථිකය කළමණාකරණය කරන කෙනෙක් එයින් ඔබ්බට ගිහින් මේ වක්‍රයේ හැසිරීම වඩා හොඳින් තේරුම් ගත යුතුයි.

සැබෑ වක්‍රය කරුණු කිහිපයක් නිසාම ඉහත වක්‍රයෙන් වෙනස් වෙනවා. පළමුව, මේ වක්‍රයේ සංඛ්‍යාතය එහෙමත් නැත්නම් වක්‍රයක් සම්පූර්ණ වීමට යන කාලය හරියටම නියතයක් නෙමෙයි. එය විශාල ලෙස අඩු වැඩි වෙනවා. දෙවනුව, ආර්ථිකයක් වර්ධනය වන වේගය වගේ හතරපස් ගුණයක වේගයෙන් එය කඩා වැටෙනවා. ඒ නිසා, දිගුකාලීනව ආර්ථිකයක් A සහ C අතර, එනම් පළමු හා දෙවන අදියර වල සිටිනවා වගේ හතර ගුණයක පමණ කාලයක් C සහ A අතර, එනම් තෙවන හා සිවුවන අදියර වල සිටිනවා. තෙවනුව, මේ වෙනස් වීම් උඩ රූපසටහනේ වගේ සුමටව සිදු නොවන නිසා බොහෝ අවස්ථා වලදී අප සිටින්නේ කුමන අදියරේද කියන එක නිර්ණය කරන්න අපහසුයි. ඒ නිසා, මේ කියපු කතා සියල්ල දන්න අය අතර වුවත් ආර්ථිකයේ පවතින තත්ත්වය පිළිබඳව එකඟ නොවීම් තිබෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 1961-2005 අතර කාලය තුළ විචලනය වූ ආකාරය ඇසුරෙන්, විභව ආර්ථික වර්ධන වේගය 4.5%ක් ලෙස සලකමින් පිළියෙල කර තිබෙන පහත රූප සටහන දිහා බැලුවහම මුලින් විස්තර කිරීම සඳහා යොදාගත් රූප සටහනේත්, සැබෑ දත්ත මත පදනම් වූ රූප සටහනකත් වෙනස දැක ගත හැකියි. ඒ වුණත්, මේ වෙනස නිසා ඉහතින් කී කරුණු කිසිවක් වෙනස් වන්නේ නැහැ.



ධනවාදී ආර්ථිකයක් කවර හෝ හේතුවක් නිසා එහි දිගුකාලීන පථයෙන් ඔබ්බට අපගමනය වුනාම නැවත ස්වභාවිකවම නිවැරදි පථයට ආපසු පැමිණෙන යාන්ත්‍රනය කුමක්ද? මේ වගේ වෙලාවක මුදල් ප්‍රතිපත්ති වලින් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලින් සිදුවන කාර්ය භාරය කුමක්ද? මේ කරුණු අපි දෙවන කොටසකට ඉතිරි කරමු.