Monday, July 31, 2017

ලාංකිකයින් වෛද්‍ය උපාධි ගන්නේ කුමන රටවලින්ද?

ලංකාවේ රජයේ සරසවි වල ප්‍රධාන වෛද්‍ය පීඨ අටෙන් එකකින් හෝ කොතලාවල වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ගන්නා අයෙකුට වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස ලියාපදිංචි වීම සාපේක්ෂව පහසු කටයුත්තකි. එහෙත්, විදේශ වෛද්‍ය උපාධියක් ගන්නා අයෙකු ඒ සඳහා පළමුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri Lanka Medical Council) විසින් පවත්වන විභාගයක් (ERPM- Examination for Registration to Practice Medicine) සමත් විය යුතුය. මෙය Act 16 Examination ලෙසද හැඳින්වුණේය.

ලෝකයේ පිළිගත් බටහිර වෛද්‍ය පීඨ වල උගන්වන න්‍යායාත්මක කරුණු වල විශාල වෙනස්කම් නැතත්, සාර්ථක ලෙස කිසියම් රටක වෛද්‍ය වෘත්තියේ යෙදීමට එම රටේ සෞඛ්‍ය සේවය පිළිබඳවත්, ලෙඩරෝග හා සංස්කෘතික කරුණු පිළිබඳවත් දැනුමක් වෛද්‍යවරයෙකුට අවශ්‍ය වේ. ඒ නිසා, බොහෝ විට කිසියම් රටක වෛද්‍ය උපාධියක් ලබාගත් අයෙකුට, වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය කොතරම් ඉහළ වුවත්, වෙනත් රටක වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කරන්නට අවසර ලැබෙන්නේ එම රටට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුවය.

ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බොහෝ දෙනෙකු මුදල් ගෙවා හෝ ඇතැම් විට ශිෂ්‍යත්ව මත විදෙස් වෛද්‍ය උපාධි ලබාගනිති. ඔවුන් අතරින් ලංකාවේ වෛද්‍ය වරයෙකු ලෙස ලියාපදිංචි විය හැක්කේ ඉහත විභාගය සමත් වන අයට පමණි.



ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංඛ්‍යාලේඛණ අනුව, 2005 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා වසර හයක කාලය තුළ විදෙස් වෛද්‍ය උපාධිධාරීන් 1078 දෙනෙකුට ඉහත විභාගයට පෙනී සිටීම අනුමත වී ඇති අතර ඔවුන්ගෙන් 1015 දෙනෙකු විභාගයට පෙනී සිට තිබේ. විභාගයට පෙනී සිටි අයගෙන් හරි අඩක් එනම් 508 දෙනෙකු විභාගය සමත් වී තිබේ.

අයදුම්කරුවන්ගෙන් 51%ක් පමණම උපාධි ලබා ඇත්තේ රුසියාවෙනි. තවත් 8%ක් පමණ පැරණි සෝවියට් දේශයේ අනෙකුත් රටවලින් වෛද්‍ය උපාධි ලබාගෙන ඇති අතර 33%ක් උපාධි ලබාගෙන ඇත්තේ ඉන්දියාවෙන්, පකිස්ථානයෙන්, බංග්ලා දේශයෙන් හා නේපාලයෙනි. බටහිර රටවලින් (එංගලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන්) වෛද්‍ය උපාධි ලබාගෙන ඇත්තේ 2.6%ක් පමණි. තවත්, 2.4%ක් අප්‍රිකානු හා මැදපෙරදිග රටවලින්ද, 2.3%ක් චීනයෙන්ද වෛද්‍ය උපාධි ලබාගෙන තිබේ.

ඉහත කාලය තුළ වසරකට විභාගයට පෙනී සිට ඇති සාමාන්‍ය ගණන 169 දෙනෙකු වුවත්, මේ වසරේදී (2017) මෙම විභාගයට 598 දෙනෙකු පෙනී සිට ඇත. මෙයින් පෙනෙන්නේ විදෙස් වෛද්‍ය උපාධි ලබා ලංකාවට ආපසු පැමිණෙන ගණන පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස වැඩි වී ඇති බවයි. විභාගය අසමත්ව නැවත පෙනී සිටින්නන් විශාල පිරිසක්ද මේ අතර සිටින බව සිතිය හැකිය.

උපාධිය ලබාගත් රට මෙම විභාගය සමත් වීමට ඇති හැකියාව පිළිබඳ නිර්ණායකයක් බව පෙනෙන්නට නැත.



Sunday, July 9, 2017

අධ්‍යාපන සේවා වෙළඳපොළ වඩා කාර්යක්ෂම කළ හැකිද?


පසුගිය ලිපියෙන් අපි වැඩිහිටි සිසුන් වෙනුවෙන් ඉංග්‍රීසි කතාව පුහුණු කිරීම සඳහා පන්ති පවත්වන වෙළඳපොළ ගැන කතා කළෙමු. මේ වෙළඳපොල නියාමනය නොවන්නකි. මෙහි පාරිභෝගිකයින් තමන්ගේ මුදල් හා කාලය ඇතුළු වෙනත් දේ කැප කරමින් ස්ව කැමැත්තෙන් ඉංග්‍රීසි කතාව ඉගෙන ගන්නා අයයි. ඔවුන් එසේ කරන්නේ ඒ වෙනුවෙන් තමන් දරන ආවස්ථික පිරිවැයට සරිලන ලාබයක් ඔවුන්ට ලැබෙන බැවිනි. එවැනි වාසියක් නැති අය ආවස්ථික පිරිවැයක් දරමින් ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට නොපෙළඹෙති.

මුදල් අයකර ඉංග්‍රීසි කතාව උගන්වන පන්තියක් පැවැත්වීමට නිශ්චිත අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැත. එහෙත්, මේ වෙළඳපොළේ ගුරුවරුන් ලෙස සිටින්නේ ඉංග්‍රීසි කතාව ඉගැන්වීමට නිපුණතාවයක් ඇති අයයි. එවැනි නිපුණතාවයක් නැති අය වෙළඳපොළ තුළ ස්වභාවිකවම ප්‍රතික්ෂේප වේ. රට පුරා ඉංග්‍රීසි කතාව උගන්වන පන්ති පැවැත්වෙන තැන්ද ස්වභාවික ලෙසම නිශ්චය වෙයි. එය සිදුවන්නේ පාරිභෝගික ඉල්ලුම අනුවය. ඇතැම් ගුරුවරු තමන්ගේ නගරයේ පමණක් පන්ති කරද්දී තවත් අය රටපුරා නගර ගණනක පන්ති කරති.

රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට උවමනාවක් නැත. මේ අයගෙන් කොටසක් පවුල් පසුබිම හෝ වෙනත් හේතුවක් නිසා ඉංග්‍රීසි කොහොමටත් කතා කළ හැකි අයයි. තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙනීමට යොමු නොවන්නේ ඒ සඳහා වැය කළ යුතු ආවස්ථික පිරිවැය එයින් ලැබෙන වාසි වලට වඩා අඩු බැවිනි. ආවස්ථික පිරිවැය අඩුනම් තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගන්නට යොමු වනු ඇත.

මෙවැනි අවස්ථාවක ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගැනීමට රටේ සියලු දෙනාටම ඉඩප්‍රස්ථා සැලසීම සඳහා රජයක් මැදිහත් වන්නට ඉඩ තිබේ. මෙහිදී, රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට කැමැත්තෙන් සිටින බොහෝ දෙනෙකුට ඒ සඳහා ඉඩප්‍රස්ථා නැති බැවින් නිදහස් වෙළඳපොළ තුළ සිදුවන "වැරැද්ද" හරි ගස්වා සමාජ සාධාරණත්වය ඇති කරන්නට තමන් දන්නා බව රජය සිතයි. දැන් මේ වෙළඳපොළෙහි සිදු වන්නේ කුමක්ද?

පළමුව රජයට මේ කටයුත්ත කිරීමට අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් ඇති කර නිලධාරීන් පිරිසක් පත් කරන්නට සිදු වේ. අදාළ අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව සඳහා වෙනත් සම්පත්ද සම්පාදනය කර ගත යුතුය. ඉන්පසුව අවශ්‍ය ගුරුවරුන් බඳවා ගන්නට සිදුවේ. මෙය කරන්නට සිදු වන්නේ අධ්‍යාපන සුදුසුකම් හා කිසියම් තරඟ විභාගයක ප්‍රතිඵල වැනි දෙයක් දෙස බලමිනි. අවසාන වශයෙන් රජයට අවශ්‍ය සියලු දෙනාටම "නොමිලේ" ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට ඉඩප්‍රස්ථා සැලැස්වීමට හැකි වේ.

ඉහත කටයුතු සියල්ල සඳහා සැලකිය යුතු පිරිවැයක් දරන්නට රජයට සිදුවේ. ඒ සඳහා අරමුදල් අවශ්‍ය වෙයි. ලංකාවේ ක්‍රමයට සාමාන්‍යයෙන් රජය විසින් මේ අරමුදල් එකතු කර ගන්නේ වක්‍ර බදු හරහාය. වක්‍ර බදු ඉහළ යන විට රටේ ජනතාවට සිය පරිභෝජනය සීමා කරන්නට සිදු වේ. ඒ අනුව, නොමිලේ ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට ලැබීමේ ඉඩප්‍රස්ථාව සඳහා රටේ සියලුම අයට සිය පරිභෝජනයෙන් කොටසක් කැප කරන්නට සිදු වේ.

දැන් මේ "නොමිලේ" පැවැත්වෙන පන්ති වලින් යහපතක් සැලසෙන්නේ කාටද?

කලින් මුදල් ගෙවා ඉංග්‍රීසි ඉගෙනගත් අයට දැන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට පුළුවන. ඒ අයට කලින් මුදල් ගෙවීමෙන් පසුවද වාසියක් තිබුණේය. දැන් ඔවුන් ලබන වාසිය වැඩි වී තිබේ. එහෙත්, ඒ අතරම කලින් නොතිබුණු පිරිවැයක්ද දැන් ඔවුන්ට දරන්නට සිදු වේ. මෙහි ශුද්ධ ප්‍රතිඵලය කිසියම් වාසියක් විය හැකිය.

කලින් රැකියා නොතිබුණු පිරිසකට දැන් රැකියා ලැබී තිබෙනවා විය හැකිය. ඔවුන්ටද වාසියක් සිදු වී තිබේ. එය ඔවුන් ගෙවන අමතර බදු මුදලට වඩා වැඩි විය යුතුය.

කලින් මුදල් නොමැතිකම නිසා ඉංග්‍රීසි පන්ති යන්නට නොසිතූ පිරිසකට දැන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. ඔවුන්ගෙන් කොටසකට මේ දැනුම හේතුවෙන් රැකියා ලැබෙන්නටද ඉඩ තිබේ. එය වාසියකි.

කෙසේ වුවද, "නොමිලේ" ලැබෙන නිසා බොහෝ දෙනෙක් ඉංග්‍රීසි කතාව ඉගෙන ගත්තත් ඒ සියල්ලන්ටම ඒ හේතුව නිසා රැකියා ලැබෙන්නේ නැත. ඔවුන්ට අවසාන වශයෙන් තමන් ගෙවූ බදු වලට සරිලන තරමේ වාසියක් නොලැබේ.

කලින් ටියුෂන් කළ ගුරුවරුන්ට දැන් ඉල්ලුමක් නැත. ඔවුන්ගෙන් ඇතැමෙක්ට රජයේ රැකියා ලැබී තිබෙන්නට ඉඩ ඇතත් එයින් ලැබෙන වේතනය පෙර ලැබූ ආදායමට වඩා අඩු විය හැකිය. මේ අයට ගෙවන්නට සිදුවන අමතර බදු හා අහිමි වූ ටියුෂන් ආදායම ලෙස අවාසි වර්ග දෙකකි.

ඉංග්‍රීසි පන්ති නොමිලේ පැවැත්වුනද ඉංග්‍රීසි ඉගෙනීම සඳහා ගත කළ යුතු කාලය ඇතුළු වෙනත් ආවස්ථික පිරිවැය නැති වන්නේ නැත. ඒ නිසා, රටේ බොහෝ දෙනෙකු තව දුරටත් මේ ඉංග්‍රීසි පන්ති වලට සහභාගී වන්නේ නැත. එහෙත්, ඒ අයටද බදු බරට කර ගහන්නට වේ. මෙය ඔවුන්ට සිදුවන අවාසියකි.

අවසාන වශයෙන් රජයේ මැදිහත්වීම නිසා සුළු පිරිසකට වාසියක් සැලසෙන නමුත් විශාල පිරිසකට සිදුවන්නේ අවාසියක් නිසා ශුද්ධ ලෙස සිදු වන්නේ සමාජ අතිරික්තය අඩු වීමකි.

නිදහස් වෙළඳපොළකට වෙනස් වන තත්වයන් හමුවේ හැඩගැසී අකාර්යක්ෂමතාවයන් ඉවත් කිරීමට ඇති හැකියාව සමඟ රජයකට අලගු තියන්නටවත් නුපුළුවන. ප්‍රවාහන ගාස්තු හා ප්‍රවාහනය සඳහා ගත වන කාලය මේ වෙළපොලෙහි කාර්යක්ෂමතාවයට බලපාන ස්වභාවික බාධාවකි. මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කර වෙළඳපොල යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්නේ තාක්ෂනය විසිනි. ස්කයිප් හරහා පැවැත්වෙන ඉංග්‍රීසි ටියුෂන් පන්ති වලින් පෙන්වන්නේ නිදහස් වෙළඳපොළකට මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කිරීමට ඇති ස්වභාවික හැකියාවයි.


නියාමනයක් නැති, අධ්‍යාපනය විකුණන වෙළඳපොලක පවතින තවත් ස්වභාවික බාධාවක් වන්නේ නිෂ්පාදකයා (ගුරුවරයා) හා පාරිභෝගිකයා (ශිෂ්‍යයා) අතර ඇති තොරතුරු අසමමිතියයි. තමන් මුදල් ගෙවා ලබා ගන්නා භාණ්ඩයේ ගුණාත්මක භාවය ගැන ශිෂ්‍යයා දැනගන්නේ මුදල් ගෙවීමෙන් පසුවය. ඒ වන විට භාණ්ඩය පරිභෝජනය කර අවසන් නිසා එය ආපසු දීමේ හැකියාවක් ශිෂ්‍යයා සතුව නැත. "පළමු දිනය නොමිලේ" ඉගෙන ගන්නට ලැබීම මෙයට විසඳුමක් ලෙස ස්වභාවිකව බිහි වී ඇති විසඳුමකි.


රජයක් කිසියම් හේතුවක් නිසා නිදහස් වෙළඳපොළක් නියාමනය කිරීමට යොමු වන්නේනම් එසේ කළ යුත්තේ නිදහස් වෙළඳපොල ක්‍රියාකාරීත්වයට ඉඩ නොසලසන ස්වභාවික බාධාවන් ඇත්නම් ඒවා හඳුනාගෙන ඉවත් කිරීම සඳහා මිස නැති අකාර්යක්ෂමතාවයන් ඇති කිරීම සඳහා නොවේ.