Friday, December 8, 2017

පොල් හා ඩොලර්


ඊයේ ලංකාවට කතා කළ විට අපේ ගෙදර අය මැසිවිලි නැඟුවේ පොල් ගෙඩිය රුපියල් 120ට ගොස් ඇති බව කියමිනි. අපේ ගෙදර වත්තේ පොල් ගස් සෑහෙන ගණනක් තිබුණත්, පොල් පරිභෝජනයද සැලකිය යුතු ඉහළ මට්ටමක තිබෙන නිසා හමස් වලු කාලයට ඇතැම් විට කඩෙන් පොල් මිල දී ගන්නට සිදුවේ. මෙය වැඩිපුරම සිදුවන්නේ කිසියම් කාලගුණික හේතුවක් නිසා පොල් පලදාව පහළ යන අවුරුදු වලදීය. සාමාන්‍යයෙන් ලංකාවේ පොල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේද අපේ ගෙදර අයට පොල් කඩෙන් මිල දී ගන්නට අවශ්‍ය වන දවස් වලටමය.

ඉහත සිදු වීම අහම්බයක් නොවේ. ලංකාවේ බොහෝ ගෙවල් වල, නාගරික ගෙවල් වල පවා, අඩු ගානේ පොල් ගහක් හෝ තිබේ. ගෙවල් සෑහෙන ගණනක නිවසේ පරිභෝජනයට ප්‍රමාණවත් පොල් නිෂ්පාදනයක් සාමාන්‍යයෙන් සිදුවන නිසා ඒ ගෙවල් වල අයට සාමාන්‍යයෙන් කඩෙන් පොල් මිල දී ගන්නට අවශ්‍ය වන්නේ නැත. එහෙත්, කිසියම් හේතුවක් නිසා පොල් පලදාව පහළ යන අවස්ථා වලදී මෙවැනි නිවෙස් බොහොමයක පදිංචිකරුවන්ට තමන්ගේ පොල් පරිභෝජන අවශ්‍යතාවයෙන් කොටසක් මිල දී ගන්නට සිදු වේ. 

රටේ බොහෝ දෙනෙක් මෙසේ කරන විට ලංකාවේ වෙළඳපොළේ සමස්ත පොල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යයි. මේ ඉල්ලුම සපුරාලන්නට වෙන්නේ මහා පරිමාණ පොල් නිෂ්පාදකයන්ටය. මහා පරිමාණ කියා කිවුවත් ලංකාවේ ලොකුම පොල් වතු පවා ඒ තරම්ම ලොකු නැත.

කාලගුණය නිසා පොල් පලදාව පහත වැටීම මහා පරිමාණ පොල් නිෂ්පාදකයින්ටද බලපායි. ඒ නිසා, ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළේ පොල් ඉල්ලුම ඉහළ යාමත්, පොල් සැපයුම පහත යාමත් බොහෝ විට සිදුවන්නේ එකවරය. මෙහි ප්‍රතිඵලය වන්නේ වෙළඳපොළේ පොල් මිල ඉල්ලුම් හා සැපයුම් සාධක දෙකම මත විශාල ලෙස ඉහළ යාමයි.

මෙය තරමක් දුරට සුවිශේෂී තත්ත්වයකි. සාමාන්‍යයෙන් පරිභෝජනය පහළ යන විට භාණ්ඩයක් සඳහා වන සමස්ත ඉල්ලුම පහළ යයි. එහෙත්, පොල් සැලකූ විට මිල ඉහළ යාම හා ගෙදර වත්තේ පොල් පලදාව අඩුවීම නිසා ගෘහස්ථ පොල් පරිභෝජනය අඩු වෙද්දී පවා, වෙළඳපොළට විශාල පාරිභෝගික පිරිසක් අලුතින් එකතු වීම හේතුවෙන් සමස්ත වෙළඳපොළ ඉල්ලුම ඉහළ යා හැකිය. මේ අයුරින්ම, පොල් පලදාව ඉහළ යන කාල වලදී බොහෝ නිවැසියන්ට කඩෙන් පොල් මිල දී ගන්නට අවශ්‍ය නොවන නිසා සමස්ත වෙළඳපොළ ඉල්ලුම විශාල ලෙස පහත වැටේ. එහෙත්, එයින් අදහස් වන්නේ රටේ නිවාස ඒකක වල පොල් පරිභෝජනය පහළ ගොස් ඇති බව නොවේ. 



පසුගිය දවස් වල ඇතැම් අය පොල් මිල හා ඇමරිකන් ඩොලරයක මිල සමාන වී ඇති බව පවසමින් වත්පොතේ ප්‍රතිචාර දක්වා තිබෙනු දකින්නට හැකි විය. පොල් හා ඇමරිකන් ඩොලර් යනු මීකිරි හා තක්කාලි සෝස් වැනි එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති කරුණු දෙකකි. එසේනම්, මෙවැනි සැසඳීමක අරමුණ කුමක්ද?

ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ මේ වන විට තනිකරම වාගේ දේශීය වෙළඳපොළකි. ලංකාවේ ප්‍රධාන අපනයන තේ, රබර් හා පොල් බව අප ඉගෙනගෙන මේ වන විට දශක ගණනාවක් අවසන්ව ඇති අතර පොල් තවදුරටත් ලංකාවේ ප්‍රධානම අපනයන භෝගයක් නොවේ. ලංකාවේ පොල් නිෂ්පාදනය ප්‍රධාන වශයෙන්ම යොදාගැනෙන්නේ ලංකාව තුළ කෙරෙන පරිභෝජනය සඳහාය. එමෙන්ම, ලංකාවට පොල් ආනයනය කිරීමක් සිදුවන්නේද නැති තරම්ය. ස්ථිරවම නොදන්නා නමුත් වෘක්ෂලතා ආරක්ෂණ පණත (1999 අංක 35) අනුව ලංකාවට පොල් ආනයනය කිරීමට නීතිමය බාධාවන්ද පවතින බව මගේ අදහසයි. සරල ලෙස කියනවානම් ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ බොහෝදුරට සංවෘත වෙළඳපොළකි. පොල් මිල කලින් කලට විශාල ලෙස උච්චාවචනය වීමට හේතු වන්නේ වෙළඳපොළේ මේ සංවෘත ස්වභාවයයි.

කෙසේවුවත්, ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ සංවෘත වෙළඳපොළක් වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාමට ඇති කෘතීම බාධාවන් නොවේ. එය ස්වභාවික, වඩාත් පැහැදිලිව කියනවානම් සංස්කෘතික හා පාරිසරික, හේතු මත සිදු වී ඇති දෙයකි. ලංකාවේ පාරිභෝගිකයන්ගේ ආහාර රුචිකත්වයේ ඇති සුවිශේෂිතාවයන් නිසා ලංකාවේ සිල්ලර සහල් වෙළඳපොළෙහිද මීට ආසන්න තත්ත්වයක් දැකිය හැකිය.

ලංකාවේ කිසිවෙකුත් රුපියල් මිස ඇමරිකන් ඩොලර් ගෙවා පොල් මිල දී ගන්නේ නැත. පොල් ආනයනය කිරීමක් සිදු නොවන නිසා මෙය වක්‍ර ආකාරයකින් සිදුවන්නේද නැත. එසේනම්, පොල් මිල හා ඇමරිකන් ඩොලරයක මිල සැසඳීමේ අරමුණ කුමක්ද?

ඇමරිකන් ඩොලර් කියන්නේ (ඇමරිකාවේදී කෙසේවුවත්) ලංකාවේදී වටිනාකමේ සංකේතයකි. ඇමරිකන් ඩොලරයක් මිලදී ගැනීමට ලාංකිකයෙකු විසින් ගෙවිය යුතු රුපියල් ගණන දිගින් දිගටම ඉහළ යයි. රුපියල අවප්‍රමාණය වීම ලෙස හැඳින්වෙන මෙයට හේතුව ශ්‍රී ලංකා රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම දිගින් දිගටම අඩු වීමයි.

ශ්‍රී ලංකා රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම මෙන්ම එහි අභ්‍යන්තර (දේශීය) වටිනාකමද දිගින් දිගටම අඩු වේ. මෙය හැඳින්වෙන්නේ උද්ධමනය යනුවෙනි. උද්ධමනය හේතුවෙන් කිසියම් භාණ්ඩයක් මිල දී ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු විසින් ගෙවිය යුතු රුපියල් ගණන "සාමාන්‍ය වශයෙන්" දිගින් දිගටම ඉහළ යයි. එහෙත්, මේ අයුරින් කිසියම් නිශ්චිත භාණ්ඩයක මිල උද්ධමනය නිසා ඉහළ යන අතරම, ඉල්ලුම් සැපයුම් සාධක මත එහි මිල උච්චාවචනය වීමද සිදුවන බැවින් උද්ධමනයේ බලපෑම කෙටිකාලීනව නොපෙනෙන්නටද පුළුවන.

පොල් ගෙඩියක් වැනි නිශ්චිත භාණ්ඩයක මිල උච්චාවචනය වීමට එකම හේතුව උද්ධමනය නොවේ. එහෙත්, කාලයත් සමඟ පොල් ගෙඩියක මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ඇත්නම් හා ඒ ප්‍රවණතාවය වෙනත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමට අනුරූපනම්, එයට හේතුව උද්ධමනයි. එසේත් නැත්නම්, රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම දිගින් දිගටම අඩුවීමයි.

ශ්‍රී ලංකා රුපියල වැනි කිසියම් දේශීය ව්‍යවහාර මුදලක බාහිර (විදේශීය) වටිනාකම හා එහි අභ්‍යන්තර (දේශීය) වටිනාකම වෙනස්වන්නේ එකිනෙකින් වියුක්තව නොවේ. රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම අඩුවීම දිගුකාලීනව එහි බාහිර (විදේශීය) වටිනාකම තුළද පිළිබිඹු විය යුතුය. එහෙත්, විවිධ හේතු නිසා කෙටිකාලීනව එය එසේ සිදු නොවන්නට පුළුවන.

රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම අඩුවීම නිසා ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීමට ගෙවිය යුතු රුපියල් ගණන දිනෙන් දිනම ඉහළ යයි. රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම අඩුවීම නිසා පොල් ගෙඩියක් මිල දී ගැනීමට ගෙවිය යුතු රුපියල් ගණනත් දිනෙන් දිනම ඉහළ යයි. මේ දෙකම සමානුපාතික ලෙස සිදු වේනම් පොල් ගෙඩියක ඩොලර් මිල වෙනස් වන්නට හේතුවක් නැත.

යම් හෙයකින් පොල් ගෙඩියක ඩොලර් මිල විශාල ලෙස වෙනස් වී ඇති බව පෙනේනම් එයින් අදහස් වන්නේ එක්කෝ මෙය උද්ධමනයට සම්බන්ධයක් නැති තාවකාලික තත්ත්වයක් බවයි. එසේ නැත්නම්, පවතින විණිමය අනුපාතිකයේ කිසියම් වැරැද්දක් ඇති බවයි. එසේත් නැත්නම්, ලංකාවේ පොල් නිෂ්පාදන කර්මාන්තයේ කිසියම් ආකෘතිමය ප්‍රශ්නයක් ඇති බවයි.

මහා බැංකු දත්ත අනුව, අද (දෙසැම්බර් 08) වන විට ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීමට ගෙවිය යුතු සාමාන්‍ය මිල රුපියල් 155.07කි. ඇතැම් වාර්තා අනුව, ඇතැම් තැන්වල පොල් ගෙඩියක් රුපියල් 150ක් තරම් ඉහළ මිලකට විකිණේ. මෙය ඇමරිකන් ඩොලරයක මිලට ආසන්න අගයකි. කෙසේ වුවද, නිවැරදි සැසඳීමක් කිරීම සඳහා එකම තැනකින් සංසන්දනාත්මක දත්ත ලබාගත යුතුය. පොල් ගෙඩියක සිල්ලර මිල හා අදාළව එවැනි දත්ත ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකිය.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, නොවැම්බර් අවසාන සතියේදී එම දෙපාර්තමේන්තුව විසින් දත්ත එකතු කරන වෙළඳසැල් වල පොල් ගෙඩියක් විකිණුනු සිල්ලර මිලගණන් රුපියල් 65-110 අතර පරාසයේ තිබී ඇති අතර සාමාන්‍ය අගය රුපියල් 86.02කි. මෙය ඇමරිකන් ඩොලරයක රුපියල් මිලෙන් අඩකට වඩා මඳක් වැඩි, ඩොලරයක රුපියල් අගයට බොහෝ අඩු මිලක් වුවත් පසුගිය කාලයේ පොල් ගෙඩියක් විකිණුනු සිල්ලර මිලට වඩා බොහෝ වැඩි මිලකි.

පහත වගුවේ ඇත්තේ පසුගිය වසර 13ක පමණ කාලය තුළ මැයි හා නොවැම්බර් අවසාන සති වලදී සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් අලෙවි වූ  සාමාන්‍ය සිල්ලර මිල හා අදාළ මාස අවසානයේදී ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු වූ සාමාන්‍ය මිලයි.



වගුවේ දත්ත පරීක්ෂා කළ විට පැහැදිලිව පෙනෙන්නේ පසුගිය වසර 13ක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරයක මිල ඉහළ යනවාට වඩා ඉතා විශාල අනුපාතිකයකින් පොල් මිල ඉහළ ගොස් ඇති බවයි. ඇමරිකන් ඩොලරයක මිල 55.6%කින් ඉහළ යද්දී, පොල් ගෙඩියක මිල 413.6%කින් ඉහළ ගොස් ඇත! 

වගුවේ දත්ත වලින් පෙනෙන පරිදි, 2007 මැයි මාසයට පෙර ලංකාවේදී ඇමරිකන් ඩොලරයක් මාරු කර පොල් ගෙඩි 6ක් ගන්නට පුළුවන්කම තිබුණත් දැන් එසේ ලැබෙන මුදල පොල් ගෙඩි දෙකක් ගන්නටවත් ප්‍රමාණවත් නැත. මේ අනුව පෙනෙන්නේ පොල් වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයද බාල්දු වී ඇති බවයි.

ශ්‍රී ලංකා රුපියල මෙන්ම ඇමරිකන් ඩොලරයද එන්න එන්නම බාල්දු වේ. ඒ ලංකාවේ මහ බැංකුව මෙන්ම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවද දිනපතාම වාගේ අලුත් මුදල් සංසරණයට එකතු කරන බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලරයේ දේශීය වටිනාකමද එන්න එන්නම අඩු වේ. එසේ තිබියදී, ශ්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරය හමුවේ එන්න එන්නම බාල්දු වන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වෙනවාට වඩා වැඩි වේගයකින් රුපියල බාල්දු වන බැවිනි.

අපගේ සංසන්දනය සඳහා යොදාගත් 2005 මැයි සිට 2017 නොවැම්බර් අතර කාලය තුළ ඇමරිකන් ඩොලරයක දේශීය අගය 21.11%කින් අඩු වී තිබේ. එසේ වෙද්දී රුපියලේ දේශීය අගය 60.04%කින් අඩු වී තිබේ. වෙනත් අයුරකින් කියනවානම්, 2005 මැයි මාසයේදී ඇමරිකන් ඩොලරයකින් මිල දී ගත් බඩු මිල දී ගන්නට දැන් ඇමරිකන් ඩොලර් 1.26ක් අවශ්‍ය වන අතර  2005 මැයි මාසයේදී රුපියලකින් මිල දී ගත් බඩු මිල දී ගන්නට දැන් රුපියල් 2.50ක් අවශ්‍ය වේ.

වගුව අනුව 2005 මැයි මාසයේදී පොල් ගෙඩියක මිල රුපියල් 16.75ක් වූ අතර නාමික විණිමය අනුපාතිකය අනුව එය ඇමරිකන් ඩොලර් 0.1676ක පමණ මිලකි. එක් එක් ව්‍යවහාර මුදලේ දේශීය අගය පිරිහීම සැලකූ විට 2017 නොවැම්බර් අවසානයේදී මේ මිල සමාන කළ හැක්කේ රුපියල් 41.92ක මිලකට හා ඇමරිකන් ඩොලර් 0.2124ක මිලකටය. මේ පදනම මත, 2017 නොවැම්බර් වන විට ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 197.32ක් විය යුතුය. එහෙත්, අදාළ කාලය තුළ රුපියලේ අභ්‍යන්තර අගය පිරිහීමට සාපේක්ෂව එහි බාහිර අගය පිරිහී නැති නිසා 2017 නොවැම්බර් අවසානයේදී රුපියල් 155.48ක් ගෙවා ඇමරිකන් ඩොලරයක් මිල දී ගත හැකිව තිබුණේය. මේ අනුව, අදාළ කාලය තුළ රුපියල පිරිහී ඇත්තේ ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන මට්ටමට වඩා 26.9%ක් අඩුවෙනි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද? 

ඇමරිකන් ඩොලරයක් ගෙවා 2005 මැයි මාසයේදී ලංකාවේ නිපදවන භාණ්ඩයක් මිල දී ගත් විදේශිකයෙකු දැන් එම භාණ්ඩයම මිලදී ගැනීම සඳහා ඩොලර් 1.27ක් ගෙවිය යුතුය. අනෙක් අතට, 2005 මැයි මාසයේදී රුපියල් 197.32ක් ගෙවා ආනයනික භාණ්ඩයක් මිලදී ගත් ලාංකිකයෙකුට දැන් එම භාණ්ඩයම රුපියල් 155.48ක් ගෙවා මිල දී ගත හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආනයන ඉහළ යාමත්, අපනයන පහළ යාමත්, අඩු මිලට විකිණෙන ආනයන හමුවේ දේශීය නිෂ්පාදන කර්මාන්ත බිඳ වැටීමත්, වෙළඳ ශේෂ හිඟය ඉහළ යාමත් තේරුම් ගැනීමට අපහසු නැත.

අප විසින් සලකා බැලූ කාලය තුළ පොල් ගෙඩියක රුපියල් මිල 413.6%කින්ද, ඩොලර් මිල 230.1%කින්ද ඉහළ ගොස් තිබේ. එහෙත්, රුපියලේ හා ඩොලරයේ දේශීය වටිනාකම් අඩුවීම සැලකූ විට පොල් මිල ඉහළ යා යුතුව තිබුණේ රුපියල් වලින්නම් 150%කින් හා ඩොලර් වලින්නම් 26%කින් පමණි. ඒ අනුව, රටේ අනෙකුත් භාණ්ඩ හා සේවාවන් වලට සාපේක්ෂවද පොල් මිල සැලකිය යුතු තරමින් ඉහළ ගොස් ඇති බව පැහැදිලිය. උද්ධමනයේ බලපෑම මත පොල් ගෙඩියක මිල රුපියල් 42 ඉක්මවන්නට හේතුවක් නැතත්, වෙළඳපොළේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල එමෙන් දෙගුණයකටත් අධිකය. මෙයට ප්‍රධාන හේතුව සැපයුමේ තාවකාලික පහත වැටීමක් බව පෙනෙන්නට ඇතත්, දත්ත පරීක්ෂා කළ විට පෙනෙන්නේ එය එකම හේතුව විය නොහැකි බවයි. 

සලකා බැලුණු පසුගිය කාලය තුළ ලංකාවේ පහළ ආදායම් ස්ථර වල ආදායම් සැලකිය යුතු තරමින් ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් පොල් සඳහා ඇති වෙළඳපොල ඉල්ලුමද ක්‍රමයෙන් ඉහළ ගොස් ඇතැයි සිතන්නට පුළුවන. එහෙත්, එසේ වැඩිවන ඉල්ලුමට සාපේක්ෂව දේශීය පොල් සැපයුම ඉහළ ගොස් තිබීමට හේතුවක් නොපෙනේ. මෙය ඉදිරි කාලයේදීද දකින්නට ලැබෙනු ඇතැයි සිතිය හැකි ප්‍රවණතාවයකි. ඒ නිසා, වෙනත් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව පොල් මිල ක්‍රමයෙන් ඉහළ යන්නට ඇති ඉඩකඩ අපට තේරුම් ගත හැකිය. ඒ නිසා, වත්මන් ඉහළ මිල තාවකාලික සැපයුම් කම්පන තත්ත්වයක් වුවත්, එම තත්ත්වය සාමාන්‍ය අතට හැරුණු පසුවද පොල් ගෙඩියක මිල රුපියල් 42කට වඩා අඩු මට්ටමකට නොපැමිණෙන්නට ඉඩ තිබේ.

අනෙක් අතට, ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ හා පසුගිය කාලයේ යම් අඩුවීමක් දකින්නට ලැබුණත් තවමත් දිගින් දිගටම ලබා ගන්නා විදේශ ණය නිසා ඉදිරි කාලයේදීද විණිමය අනුපාතිකය ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගත හැකි තරමට පිරිහේයැයි සිතිය නොහැකිය. එහි ප්‍රතිඵලය වන්නේ පොල් ගෙඩියක ඩොලර් මිල ක්‍රමයෙන් ඉහළ යාමයි. මේ නිසා, මෙවර නැතත් සැපයුම් කම්පනයක් නිසා පොල් මිල ඉහළ යන ඊළඟ අවස්ථාවේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල ඇමරිකන් ඩොලරයක මිල ඉක්මවන්නට ඉඩ තිබේ.

Saturday, November 4, 2017

සමාන වැටුප් සමානද?



වෙළඳපොළ ආර්ථිකයක් ඇති රටක සියලුම ශ්‍රමිකයින්ට සමාන වැටුප් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට, කිසියම් ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප තීරණය වන්නේ අදාළ ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය මතය. එහෙත්, මෙය ස්වභාවික ලෙසම සිදුවන දෙයක් මිස කිසිවකුගේ සැලසුමක් අනුව සිදුවන්නක් නොවේ.

එසේනම්, ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය තීරණය වන්නේ කෙසේද? ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය යනු අදාළ ශ්‍රමිකයා කිසියම් නිෂ්පාදන කාර්යයකට සම්බන්ධ වීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකමයි. මෙය හඳුන්වන්නේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය වශයෙනි. ශ්‍රමිකයා විසින් තමන් විසින් ලබා දෙන ශ්‍රමයේ ප්‍රමාණය තීරණය කරයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගන්නා තාක්ෂනය හා ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය අනුව මේ ශ්‍රමිකයා විසින් එකතු කළ ශ්‍රමය හේතුවෙන් ඉහළ යන නිෂ්පාදිතය තීරණය වෙයි. පාරිභෝගිකයෝ නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම තීරණය කරති.

වෙළඳපොළ ආර්ථිකයක් තුළ කිසියම් නිෂ්පාදන කාර්යයක නියැලෙන සමාගම් කටයුතු කරන්නේ තමන්ගේ ලාභ හැකිතාක් වැඩි කර ගැනීම ඉලක්ක කර ගනිමිනි. එවැනි සමාගමකට කිසියම් ශ්‍රමිකයෙකුගේ ශ්‍රමයේ ඵලදායීතාවය ඉක්මවන වැටුපක් ශ්‍රමිකයෙකුට ගෙවිය නොහැකිය. ඒ නිසා, ලබා ගන්නා වැටුපට ප්‍රමාණවත් තරම් නිෂ්පාදන දායකත්වයක් ලබා නොදෙන ශ්‍රමිකයින්ගේ වැටුප් අඩු කිරීමට හෝ ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට සමාගමකට සිදු වේ. එබැවින්, නිදහස් වෙළඳපොළක අකාර්යක්ෂම සේවකයෙකුට දිගුකාලීන පැවැත්මක් නැත.

නිදහස් වෙළඳපොළක නිෂ්පාදන කාර්යයක නියැලෙන සමාගමකට සිය ශ්‍රමිකයින්ගේ ඵලදායීතාවයට සරිලන වැටුපක් නොගෙවා සිය ලාභ ඉහළ නංවා ගත හැකිද? මෙයද දිගුකාලීනව සිදු නොවිය හැක්කකි.

සමාගම් ලාභ වැඩි කර ගැනීමට උත්සාහ කරනවාක් මෙන්ම ශ්‍රමිකයෝ හැකිතාක් සිය වැටුප් වැඩි කර ගැනීමට උත්සාහ දරති. ඒ නිසා, දැනට සේවය කරන සමාගමෙන් සිය නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුපක් නොලැබෙන විට වැඩි වැටුප් ගෙවන වෙනත් තරඟකාරී සමාගමක් වෙත යාමට ශ්‍රමිකයෝ පෙළඹෙති. අදාළ කර්මාන්තයේ ඒකාධිකාරයක් නැත්නම් තමන්ගේ ඵලදායීතාවයට සරිලන වැටුපක් හිමිවන තුරු ශ්‍රමිකයෙකුට සමාගම් අතර මාරු විය හැකිය. මේ නිසා කිසියම් ශ්‍රමිකයෙකුට සිය නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුපක් නොලැබී යන්නේද නැත.

ශ්‍රමිකයින් වැඩි වැටුප් සෙවීමේත්, සමාගම් විසින් වැඩි ලාබ සෙවීමේත් ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් සියලුම ශ්‍රමිකයන්ගේ වැටුප් ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායීතාවයට සමාන වෙයි.

ඇතැම් විට කිසියම් ශ්‍රමිකයෙකු වෙනත් ආයතනයක් තුළ දැන් සේවය සපයන ආයතනයේදීට වඩා ඵලදායී වන්නට පුළුවන. වෙනත් අයුරකින් කියනවානම් දැන් සපයන ශ්‍රමයම වෙනත් ආයතනකට ලබාදී වැඩි නිෂ්පාදිත වටිනාකමක් එකතු කරන්නටත්, වැඩි වැටුපක් ලබන්නටත් ශ්‍රමිකයෙකුට හැකි වන්නට පුළුවන. ඒ, නිෂ්පාදන තාක්ෂනය සමාගමෙන් සමාගමට වෙනස් විය හැකි නිසාය. මෙවැනි හැකියාවක් ඇති විටද ශ්‍රමිකයෝ රැකියා මාරු කරති. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ කිසිවෙකුගේ මධ්‍යගත සැලසුමකින් තොරවම, එක් එක් ශ්‍රමිකයා තමන්ට වඩාත්ම කාර්යක්ෂම විය හැකි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීමයි.

භාණ්ඩයක හෝ සේවාවක මිල තීරණය කරන්නේ පාරිභෝගිකයින් විසින් නිසා සමාගමකට හිතුමතේ මිල වැඩි කර ලාභ වැඩි කරගත නොහැකිය. එසේ කළහොත්, පාරිභෝගිකයින් වෙනත් තරඟකාරී සමාගමක් වෙත යොමු වන්නට ඉඩ ඇති නිසා දැනට ලැබෙන ආදායමත් අඩු වී පාඩු විඳින්නට විය හැකිය. එමෙන්ම, කිසියම් ශ්‍රමිකයෙකුට ඔහුගේ හෝ ඇයගේ නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුප් නොගෙවා ලාබ ලැබීමේ හැකියාවක්ද නැත. එසේ කළහොත්, ඔවුන් සමාගමෙන් ඉවත් වී වෙනත් තරඟකාරී සමාගමකට සේවය සපයන්නට ඉඩ තිබේ. 

නිදහස් වෙළඳපොළක කිසියම් නිෂ්පාදන කාර්යයක නියැලෙන තරඟකාරී සමාගමකට සාමාන්‍යයෙන් උපයාගත හැක්කේ සිය ප්‍රාග්ධන ආයෝජනයට සරිලන ලාභයක් පමණි. මේ නිසි ලාභයනම් කිසියම් අයෙකු විසින් එකතු කළ ප්‍රාග්ධනය හේතුවෙන් ඉහළ ගිය නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකමයි. මෙය හඳුන්වන්නේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය වශයෙනි. ප්‍රාග්ධනය සපයාගෙන තිබෙන්නේ බැංකු ණයක් වැනි ක්‍රමයකින්නම් මේ කොටස ණය පොලී ලෙස වැයවේ. එසේ නැත්නම් කොටස් හිමියන්ගේ ලාභ ලෙස ඉතිරි වේ. ඊට වඩා වැඩි ලාභයක් ලබා ගත හැක්කේ තමන්ගේ ව්‍යවසායකත්වය තුළින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමෙන් පමණි. සමාගමක සැබෑ ලාභ ලෙස සැලකිය හැක්කේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය වෙන් කිරීමෙන් පසුවද තවත් ලාභ ඉතිරි වන්නේනම් එවැනි අතිරික්ත ඉතිරියක් පමණි.

වෙළඳපොළ ආර්ථිකයක වඩාත්ම වැදගත් පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ පාරිභෝගිකයාය. පළමුව භාණ්ඩයක හෝ සේවාවක මිලත්, දෙවනුව සමාගම් වල ලාභත්, තෙවනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභත් තීරණය කරන්නේ පාරිභෝගිකයා විසිනි. ඒ නිසා වෙළදපොළ තරඟය යනු පාරිභෝගිකයා සතුටෙන් තැබීමට කරන තරඟයකි. වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ සමාජයේ සියලු දෙනා විසින්ම අනෙකාව සතුටෙන් තබන්නට මහන්සි වෙන, අනෙකාගේ රුචිඅරුචිකම් ගැන සොයා බලන්නට උනන්දු කරවන සමාජ සැකසුමකි. එසේ නැතුව, තමන් තනියෙන් ගොඩ යන්නට හදන ක්‍රමයක් නොවේ.

වෙළඳපොළ ආර්ථිකයක් තුළ ඕනෑම නිෂ්පාදන කාර්යයක යෙදෙන අයෙකුට තමන්ගේ ශ්‍රමය, ප්‍රාග්ධනය හෝ ව්‍යවසායකත්වය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ඉහළ යන්නේ අනෙකා ධනවත් වූ තරමටය. ඒ නිසා, කවුරු හෝ ධනවත් වන විට ධනවාදියෙකු සතුටු වේ. වැඩි දෙනෙකු ධනවත් වන විට වැඩියෙන් සතුටු වේ.

ධනවාදය තුළ සියලු මිනිසුන්ගේ රුචිඅරුචිකම් සමාන නොවන බව පිළිගැනේ. ඒ නිසා, එකම භාණ්ඩයට හෝ සේවාවට විවිධ පුද්ගලයින් විසින් වෙනස් වටිනාකම් දීම ධනවාදියෙකුට ප්‍රශ්නයක් නොවේ. 

එහෙත්, ඉහත තත්ත්වය භෞතිකවාදියෙකු විසින් දකින්නේ විඥානවාදී අදහසක් ලෙසිනි. භෞතිකවාදියෙකු වූ කාල් මාක්ස්ටද පුද්ගලයින්ගේ රුචිඅරුචිකම් වල වෙනස්වීම් මත භාණ්ඩයක වටිනාකම (හා මිල) තීරණය වීම පිළිගත නොහැකි කරුණක් විය. ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය ඇතැම් දේවල් මුදලට නොවිකිණෙන අතර එතරම් විශාල ප්‍රයෝජ්‍ය අගයක් නැති දේවල් සැලකිය යුතු මිලකට විකිණෙන්නේ ඇයිද යන්න ඔහුට ගැටලුවක් විය. ඒ නිසා, භාණ්ඩයක සැබෑ මිල සඳහා පුද්ගලයින් මත තීරණය නොවන නිරපේක්ෂ අර්ථදැක්වීමක් සොයන්නට ඔහු උත්සාහ කළේය.

කාල් මාක්ස්ගේ උත්සාහය ගොන්පාර්ට් එකක් නොවේ. ඔහු එතෙක් මේ හා අදාළව සියවස් ගණනක් පුරා සිදු කෙරුණු අධ්‍යයනයන් හදාරා සිටි, තමන් ජීවත්ව සිටි කාලයේ නිෂ්පාදන බලවේග හැසිරුණු ආකාරය ගැන පැහැදිලි දැනීමක් තිබූ විද්වතෙකි. එහෙත්, ඔහු පළමුව භෞතිකවාදයේත් වඩා සීමිත අවස්ථාවක් ලෙස සැලකිය හැකි ද්‍රව්‍යවාදය තුළත්, දෙවනුව "සියලුම මිනිසුන් සමානය" යන දාර්ශනික (හෝ ආගමික) විශ්වාසය තුළත් හිර වී සිටියේය. ඒ නිසා, ඔහුගේ සම්පූර්ණ ප්‍රවාදයම ගොඩ නැඟුණේ මේ සීමාවන් ඇතුළේය. මාක්ස්වාදයේ මූලික උපකල්පන සමඟ එකඟ විය හැකි අයෙකුට එහි අනෙකුත් ගොඩනැඟුම් සමඟ එකඟ වීම අපහසු කරුණක් නොවේ.

මාක්ස්ගේ ප්‍රවාදය අනුව ස්වභාව ධර්මයේ ඇති දෙයක ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබුණත් ආර්ථික වටිනාකමක් නැත. එවැනි භාණ්ඩයකට ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඒ වෙනුවෙන් වැය කරන මිනිස් ශ්‍රමයේ ප්‍රමාණයටය. උදාහරණයක් ලෙස පැත්තක තිබෙන ලොකු කළුගලක ආර්ථික වටිනාකමක් නැති අතර කිසියම් අයෙකු කුළුගෙඩි පහර යොදා ඒ ලොකු ගල කුඩා සක්ක කැබලි බවට පරිවර්තනය කළ විට සක්ක කැබලි වලට ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ ඒ වෙනුවෙන් වැය කළ ශ්‍රමය නිසාය. මේ වටිනාකම ගල් කැඩීම වෙනුවෙන් වැය කළ ශ්‍රමයට, එනම් ශ්‍රමිකයෙකු හෝ ශ්‍රමිකයින් විසින් ශ්‍රමය යෙදවූ පැය ගණනට සමානුපාතිකය.

සියලුම මිනිසුන් සමානනම් සියලුම මිනිසුන්ගේ පැයක ශ්‍රමයේ වටිනාකමද සමාන විය යුතුය. මේ පදනම මත, මාක්ස්වාදියෙකුට ඕනෑම භාණ්ඩයක ආර්ථික වටිනාකම එම භාණ්ඩය නිපදවීම සඳහා වැය කළ මිනිස් පැය ගණන අනුව තීරණය කළ හැකිය. එමෙන්ම, වෙනස් භාණ්ඩ වල එකිනෙකට සාපේක්ෂ වටිනාකම්ද තීරණය කළ හැකිය.

කෙසේ වුවද, මේ ප්‍රවාදය සමඟ ඉදිරියට යන මාක්ස්ට මුහුණ දෙන්නට වන පළමු ප්‍රශ්නය සියලුම මිනිසුන් එක තරමට කාර්යක්ෂම නොවීමයි. එක් ශ්‍රමිකයෙකු පැයකට ගල් පෙට්ටියක් කඩන විට දෙවැන්නෙකු ඒ සඳහා පැය දෙකක් ගත කරයි. ඉහත මූලික ප්‍රවාදය අනුව, දෙවැන්නා විසින් කඩන ගල් දෙගුණයක් වටින්නේ විය යුතුය. එහෙත්, එය එසේ විය නොහැකිය. 

මෙයට විසඳුමක් ලෙස කාල් මාක්ස් විසින් නිෂ්පාදනය සඳහා යෙදවිය යුතු සාමාන්‍ය ශ්‍රමය යන අදහස ඉදිරිපත් කරයි. මේ අනුව, පළමුවැන්නා හා දෙවැන්නා විසින් කඩන ගල් ආර්ථික වටිනාකම අනුව වෙනස් ලෙස නොසැලකේ. දෙදෙනා විසින් එකතුව පැයක් තුළ ගල්පෙට්ටි 1.5ක් කඩන නිසා ගල් පෙට්ටියක වටිනාකම ශ්‍රම ඒකක 1.33ක් (=2/1.5) ලෙස සැලකීම විසඳුමකි. ඒ අනුව, මේ දෙදෙනාටම ඔවුන්ගේ පැයක ශ්‍රමය වෙනුවෙන් ගල් පෙට්ටි 1.33ක වටිනාකමට සමාන මුදලක් ගෙවීම මාක්ස්වාදීන්ගේ ක්‍රමයයි. එහෙත්, ධනවාදී ආර්ථිකයකනම් සිදුවන්නේ දෙවැන්නාට පළමුවැන්නා මෙන් දෙගුණයක ආදායමක් ලැබීමයි.

දෙවනුව මතු වන ප්‍රශ්නය වන්නේ කිසිවකුට වැඩක් නැති කාර්යයක් සඳහා යොදවන ශ්‍රමය වෙනුවෙන්ද මුදල් ගෙවිය යුතුද යන්නයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මාක්ස්වාදය තුළ "ඵලදායී නිෂ්පාදන කාර්යයක් සඳහා වැය කෙරෙන ශ්‍රමය" යනුවෙන් විශේෂණයක් යෙදේ. මේ අනුව, මාක්ස්වාදී ආර්ථිකයක් යටතේ ශ්‍රමිකයින්ට තමන් විසින් ලබා දෙන නිෂ්පාදන දායකත්වය මත නොව ශ්‍රමය වැය කරන කාලය අනුව වැටුප් හිමිවේ. එහෙත්, ඒ සඳහා ඵලදායී නිෂ්පාදන කාර්යයක යෙදීමද අවශ්‍ය වේ.

මේ "ඵලදායී නිෂ්පාදන කාර්යයක්" යන්න තවත් අතුරු ප්‍රශ්නයක් මතු කරයි. වෙළඳපොළ ආර්ථිකයක් තුළ සිදුකෙරෙන කිසියම් නිෂ්පාදන කාර්යයක ඵලදායීත්වය වෙළඳපොළ යාන්ත්‍රණය තුළම පරීක්ෂාවට ලක් වේ. ධනවාදී ආර්ථිකයක විකිණිය නොහැකි භාණ්ඩයක් නිපදවීමට යොදන ශ්‍රමය ඵලදායී නොවන ශ්‍රමයකි. එහෙත්, සමාජවාදී ආර්ථිකයක මෙවැනි පරීක්ෂාවක් සිදුවිය හැකි ස්වභාවික යාන්ත්‍රණයක් නැති නිසා රටේ නිෂ්පාදන සැලසුම මධ්‍යගත ලෙස සැලසුම් කරන අයෙකුට මෙය තීරණය කරන්නට සිදුවේ.

ඉහත උදාහරණයේ ගල් කඩන්නන් දෙදෙනා මෙන් සමාජවාදී රටක පැයක් තුළ ගල් පෙට්ටියක් කඩන අයෙකුටත්, ගල් පෙට්ටි දෙකක් කඩන අයකුටත් ලැබෙන්නේ සමාන වැටුපකි. මෙහි ප්‍රතිඵලය වන්නේ දෙවැන්නා අධෛර්යමත් වී ඔහුත් පළමුවැන්නා මෙන් අඩුවෙන් ගල් කඩන්නට පෙළඹීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සිදුවිය හැකිව තිබුණු නිෂ්පාදනයක් සිදු නොවීමයි. සමාජවාදී ආර්ථිකයන් අකාර්යක්ෂම වන්නේ මේ හේතුව නිසාය.

වෙළඳපොළ යාන්ත්‍රණයක් යටතේ සමාගම් විසින් නිෂ්පාදන කාර්යයෙහි නියැලෙන විට හැම විටම ලාබ වැඩි කරගැනීමට උත්සාහ කළත්, රජය විසින් මධ්‍යගත ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවන විට එවැන්නක් සිදු නොවේ. එහෙත්, එසේ වූ පමණින් ශ්‍රමිකයින් වැඩි වාසි හොයන්නට උත්සාහ කිරීම නවත්වන්නේ නැත. සමාජ ක්‍රමය ධනවාදී වුවත්, සමාජවාදී වුවත් ස්වඅභිමතාර්ථය පිණිස කටයුතු කිරීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි.

ධනවාදී රටකදී මෙන් සමාජවාදී රටකදී ශ්‍රමිකයෙකුට රැකියා ස්ථානය මාරු කර වැටුප් වැඩි කර ගත නොහැකිය. සමාජවාදී රටවල පමණක් නොව ධනවාදී රටවල පවා රජයේ රැකියා කරන්නන්ට ලැබෙන්නේ නිශ්චිත වැටුපකි. එය ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායීතාවය අනුව වෙනස් වන්නේ නැත. එසේ නැත්නම්, වෙනස් වන්නේ ඉතා අඩුවෙනි. මෙවැනි තත්ත්වයක ශ්‍රමිකයින් රැකියා තෝරාගන්නේ කවර පදනමකින්ද? ආර්ථික සාධක මෙහිදී වැදගත් වන්නේ නැද්ද?

පැරණි සෝවියට් දේශයේ ශ්‍රමිකයින්ගේ හැසිරීම අධ්‍යයනය කරමින් සිදු කර ඇති පර්යේෂණ අනුව පෙනී යන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ ආර්ථික සාධක වෙනත් ආකාර වලින් ක්‍රියාත්මක වී ඇති බවයි. ලංකාවේ වත්මන් රාජ්‍ය සේවය දෙස බැලූ විටද මේ තත්ත්වයන් හඳුනාගත හැකිය. සමාන වැටුප් ලැබෙන සමාජ ආකෘතියක් යටතේ වැඩි ආදායම් ඉපැයීම සඳහා ශ්‍රමිකයින් ක්‍රියාකර ඇති ආකාර තුනක් මෙසේය.

1. අඩු පැය ගණනක් වැඩ කිරීම: මෙසේ කිරීමෙන් පැයක ශ්‍රමයේ වටිනාකම ඉහළ යයි.
2. වෙනත් නීත්‍යානුකූල නොවන ආදායම් ඉපැයීම: අල්ලස් ආදිය 
3. පොදු දේපොළ හොරකම් කිරීම 

මෙහිදී සිදු වී ඇත්තේ ශ්‍රමිකයින්ට වැඩි වැටුප් ගෙවන තැන් සෙවීම තේරීමක්ව නොතිබුණු පසුබිමක ඔවුන් විසින් අඩුවෙන් වැඩ කළ හැකි, වෙනත් ආදායම් හෙවිය හැකි හා පොදු දේපොළ හොරකම් කරන්නට ඉඩ සැලසෙන රැකියා හොයන්නට උත්සුක වීමයි. මේ කටයුතු වලදී කාර්යක්ෂම වූ අය සමාන වැටුප් ලබන්නන් අතරින් "වඩා සමාන වැටුප්" ලබා තිබේ.

Thursday, November 2, 2017

ජෙරමි පවල් ෆෙඩරල් සංචිත බැංකුවේ ලොකු පුටුවට!


ඇමරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවේ මීළඟ සභාපති ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෙරමි පවල්ව නම් කර තිබේ. සෙනෙට් සභාව විසින් මේ පත්වීම අනුමත කරනු ලැබුවහොත්, ලබන පෙබරවාරි මාසයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ වත්මන් සභාපතිනිය වන ජැනට් යෙලන්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසුව එම ධුරයට ජෙරමි පවල් පත් වීමට නියමිතය.

ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපිත කරනු ලැබුවේ 1914 වසරේදී වූ අතර එවකට එහි ප්‍රධාන තනතුර අධිපතිධුරය ලෙස හැඳින්වුනේය. 1948 වසරේදී මෙම ධුරය සභාපති ධුරය ලෙස වෙනස් කෙරුණු අතර එවකට ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානියා වූ හත්වන අධිපතිවරයා තාවකාලික සභාපතිවරයා ලෙස නම් කෙරුණේය.එතැන් සිට තවත් අට දෙනකු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ලෙස කටයුතු කර තිබේ.

වත්මන් සභාපතිනි ජැනට් යෙලන් එම තනතුරට පත් වුනු ප්‍රථම කාන්තාවයි. ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක වන ජැනට් යෙලන් ෆෙඩරල් සභාපති ධුරය භාර ගැනීමට පෙර හාවඩ් සරසවිය ඇතුළු ප්‍රධාන පෙළේ සරසවි කිහිපයකම මහාචාර්යවරියක ලෙස කටයුතු කළාය. ඈ විවාපත්ව සිටින්නේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝජ් අකර්ලොෆ් සමඟය.

ජැනට් යෙලන්ට පෙර 2006-2014 අතර ෆෙඩරල් සභාපති ධුරය දැරූ බෙන් බර්නැංකිද, ඔහුට පෙර 1987-2006 අතර එම තනතුර දැරූ ඇලන් ග්‍රීන්ස්පෑන්ද ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධාරීන් වූ අතර ඊටත් පෙර එම ධුරය දැරූ පෝල් වෝකර් හාර්වඩ් සරසවියෙන් දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබුණු අයෙක් විය. මීළඟ සභාපති ලෙස නම් කර ඇති ජෙරමි පවල් ආර්ථික විද්‍යාව පිළිබඳ සරසවි උපාධියක් ලබා නැති අයෙකු වීම විශේෂත්වයකි. එහෙත්, ඔහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති අයෙකි.

ජෙරමි පවල් මෙතෙක් ෆෙඩරල් සභාපති ධුරයට පත් වූ බොහෝ දෙනෙකුට වඩා වත්කම් හිමි ධනවතෙකුද වේ. ඔහු මීට පෙර ආයෝජන බැංකුකරුවෙකු ලෙසද, භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ලෙසද සේවය කර ඇත.

Sunday, October 29, 2017

ආර්ථික විද්‍යාව වඩා මානුෂික කළ රිචඩ් තේලර්


මෙයට දශක දෙකකට පමණ පෙර ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනු ප්‍රමුඛ අපේක්ෂිකාවගේ උද්‍යෝග පාඨය වූයේ ධනවාදයට මානුෂික මුහුණුවරක් දීමයි. මෙමඟින් ඈ විසින් ජනගත කළ අදහස වූයේ ධනවාදය මානුෂික නොවන බවයි.

ධනවාදය අමුතුවෙන් මානුෂික කරන්නට අවශ්‍ය නැත. ධනවාදයේ පදනමම මානුෂික වීමයි. එය "වඩා හොඳ" සමාජයක් තැනීමේ අරමුණින් මිනිස් ස්වභාවය කෘතීම ලෙස වෙනස් කරන්නට උත්සාහ කරන අමානුෂික ක්‍රමයක් නොවේ. මිනිස් ස්වභාවය හඳුනාගනිමින් එයට ඉඩදෙන ක්‍රමයකි.

ඉහත අපේක්ෂිකාවට එම උද්‍යෝග පාඨය ඉදිරිපත් කරන්නට වුනු පසුබිම තේරුම් ගැනීමට අපහසු නැත. නිදහසින් පසු මාරුවෙන් මාරුවට ලංකාව පාලනය කළ සමාජවාදී ආණ්ඩු විසින් ප්‍රචලිත කර තිබුණේත්, තවමත් ප්‍රචලිත කරන්නේත් එම අදහසයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හා කලා කෘති ආදිය හරහා ජනගත කරන ප්‍රමුඛ මතයද එයයි.

ලංකාවේ සමාජවාදී ආණ්ඩු වලට ප්‍රතිසංස්කරණ නොකර තව දුරටත් ඉදිරියට යන්නට නොහැකි මට්ටමට ආර්ථිකය වරින් වර බිඳ වැටෙන විට ඇතැම් ධනවාදී ප්‍රතිසංස්කරණ ගෙන ආවත් ආර්ථිකයේ රාජ්‍ය මූලික මධ්‍යගත සැලසුම් ස්වභාවය මේ දක්වාත් එසේම පවතී. ජේ ආර් ජයවර්ධන විසින් නොකරම බැරි නිසා ආර්ථිකය යම් තරමකින් විවෘත කළත් එහි රාජ්‍ය මූලික ස්වභාවය හැත්තෑ හතේදී තබා අද දක්වාත් වෙනස් වී නැත.

ජේ ආර් විසින් හඳුන්වාදුන් සීමිත ප්‍රතිසංස්කරණ හේතුවෙන් වුවද ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත්තේය. මේ සීමිත ප්‍රතිසංස්කරණ වලට පවා මුලදී විරෝධය දැක්වූ ශ්‍රීලනිපයට දශක දෙකක් පමණ විපක්ෂයේ සිටීමෙන් පසු තව දුරටත් සිය පක්ෂයේ යල් පැනගිය ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යා නොහැකි බව අවබෝධ වී තිබුණේය.

ඉහත සඳහන් කළ ජනාධිපති අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා කුමාරණතුංග විසින් අදාළ උද්‍යෝග පාඨය ඉදිරිපත් කරන්නට ඇත්තේ තම පක්ෂය විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කළ ප්‍රතිසංස්කරණ ආපසු නොහරවන බවට පොරොන්දුවක් නොදී ඇයට ඉදිරි ගමනක් ගැන සිතිය නොහැකිව තිබුණු නිසා මිස ධනවාදය අමානුෂිකයැයි ඇය සිතූ නිසා නොවිය හැකිය.

ධනවාදය තුළ පිළිගැනෙන මූලික මිනිස් ස්වභාවයක් වනුයේ මිනිසුන් ස්ව අභිමතාර්ථය පිණිස කටයුතු කරන බවයි. එසේ කටයුතු නොකරන සත්ත්ව වර්ගයක් පරිණාමීය ක්‍රියාවලිය තුළදී වඳවී නොයා ඉතිරි විය නොහැකිය. මෙයින් අදහස් වන්නේ මිනිසුන්ට සාමූහිකව කටයුතු කරන්නට ස්වභාවික පෙළඹීමක් නැති බව හෝ අනෙක් මිනිසුන්, ගහවැල, සතුන් ඇතුළු ස්වභාව ධර්මය ගැන සැලකිලිමත් වන්නට පෙළඹීමක් නැති බව නොවේ. මිනිස්සු ඒ සියලු දේ කරති. එහෙත්, ඒ හැමවිටම වාගේ සෘජුව හෝ වක්‍රව මුල් වන්නේ ස්ව අභිමතාර්ථයයි.

ආර්ථික විද්‍යාවේදී පිළිගැනෙන සරල මූලධර්මයක් වන්නේ මිනිසුන් තාර්කික තීරණ ගන්නා බවයි. තාර්කික තීරණයක් යනු තමන්ගේ යහපත පිණිස හේතු වන තීරණයි.

කෙසේ වුවද, අප කවුරුත් දන්නා පරිදි ඕනෑම කෙනෙක් තාර්කික නොවන "මෝඩ" තීරණ ගන්නා අවස්ථා තිබේ. එමෙන්ම, බොහෝ විට අතාර්කික තීරණම ගන්නා සුළු පිරිසක්ද අප අතර සිටිති. එසේනම්, මිනිසුන් තාර්කික තීරණ ගන්නේය යන උපකල්පනය නිවැරදිද?

ඉහත උපකල්පනය මත පදනම්ව කරන විශේලේෂණ නිවැරදි වීම සඳහා සෑම පුද්ගලයෙකුම සෑම අවස්ථාවකදීම තාර්කික තීරණ ගැනීම අත්‍යවශ්‍ය නැත. පුද්ගලයින් බහුතරයක් බොහෝ අවස්ථා වල තාර්කික තීරණ ගැනීම ප්‍රමාණවත්ය. පුද්ගලයින් බහුතරයක් බොහෝ අවස්ථා වල තාර්කික තීරණ ගැනීම මානුෂික ස්වභාවයයි.

කෙසේ වුවත්, ඇතැම් තත්ත්වයන් යටතේ බොහෝ මිනිසුන් අතාර්කික ලෙස හැසිරෙති. මේ බව ආර්ථික විද්‍යාඥයින් මුල සිටම දැන සිටියත් තාර්කික තීරණ මෙන් නොව අතාර්කික තීරණ පුරෝකථනය කිරීම අසීරුය. ඒ නිසා පුද්ගලයින්ගේ අතාර්කික තීරණ ආකෘතිගත කිරීම අසීරුය.

මෙවර ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබූ චිකාගෝ සරසවියේ මහාචාර්ය රිචඩ් තේලර් මේ අසීරු කටයුත්තට අත ගැසූ අයෙකි. නොබෙල් ත්‍යාගය කියා කීවත් වෙනත් විෂයයන් සඳහා ලබා දෙන නොබෙල් ත්‍යාගයන්ට සමාන්තරව ආර්ථික විද්‍යාව සඳහා ලබා දෙන ත්‍යාගය පිරිනමන්නේ ස්වීඩනයේ මහ බැංකුවයි. රිචඩ් තේලර් විසින් මෙසේ ලැබූ ත්‍යාග මුදල ස්වීඩිෂ් ක්‍රෝනා මිලියන නවයක්, එනම් රුපියල් මිලියන 160ක පමණ මුදලකි.

රිචඩ් තේලර් විසින් පෙන්වා දුන්නේ මිනිසුන්ගේ ඇතැම් අතාර්කික තීරණ වුවද පුරෝකථනය කිරීමේ හැකියාවක් ඇති බවයි. මේ සඳහා ඔහු මනෝ විද්‍යාවේ මූලධර්ම ආර්ථික විද්‍යාව සමඟ බද්ධ කළේය. චර්යාත්මක ආර්ථික විද්‍යාව බිහිවන්නේ මිනිසුන්ගේ මෙවැනි අතාර්කික ලෙස පෙනෙන හැසිරීම් විග්‍රහ කරමිනි.

චර්යාත්මක ආර්ථික විද්‍යාවේදී හඳුනා ගැනෙන, මිනිසුන් තාර්කික නොවන ලෙස හැසිරීමට හේතුවන කරුණු කිහිපයක් පහත දැක්වේ.

සීමිත විශ්ලේෂණ හැකියාව: මිනිසුන් බොහෝ තීරණ ගන්නේ ලොකුවට විශ්ලේෂණ කරමින් නොවේ. හදිසියට තීරණ ගැනීමේදී සියලුම කරුණු සලකා බලන්නට වෙලාවක් නැත. එමෙන්ම, මිනිසුන් යනු පරිගණක නොවේ. ඒ නිසා බොහෝ මිනිසුන්ට මනසින් ලොකු ගණනය කිරීම් කළ නොහැකිය. මේ නිසා, තමන්ට හොඳම දෙය කියා සිතා මිනිසුන් විසින් ඇතැම් විට තෝරාගන්නේ හොඳම දෙය නොවේ. ලොතරැයි වලට ඇති ඉල්ලුම උදාහරණයකි.

සාධාරණත්වය පිළිබඳ අදහස: මිනිසුන් මූලික වශයෙන් ස්ව අභිමතාර්ථය පිණිස කටයුතු කළත් ඔවුන්ට සාධාරණත්වය පිළිබඳ හැඟීමක්ද තිබේ. ආර්ථික විද්‍යා විද්‍යාගාර පර්යේෂණ වලින් පෙනෙන පරිදි මිනිසුන්ට ඉඩ ලැබුණු පමණින් ඔවුන් දොඩම් ගොඩම බදා ගන්නේ නැත. තමන්ට යම් අවාසියක් වුවත් වෙනත් අයගේ යහපත සලකමින් එය විඳ දරා ගන්නට බොහෝ මිනිසුන් කැමතිය. යාචකයෙකුට කීයක් හෝ දෙන හැම දෙනාම එසේ කරන්නේ ප්‍රදර්ශනාත්මකව හෝ පිං පිණිසම නොවේ.

ස්වයං පාලනය පිළිබඳ ගැටළු: තමන්ගේ ඇතැම් තීරණ තමන්ගේ අයහපතට හේතුවන බව දැන සිටියත් එවැනි තීරණ නොගෙන සිටීම ඇතැම් මිනිසුන්ට අපහසුය. සුරා පොදක් තොල ගන්නට හෝ පැණිරස කන්නට ඇති කැමැත්ත උදාහරණයි.

තරමක් පමා වී වුවත් රිචඩ් තේලර්ට අපේ සුබ පැතුම්!

Saturday, September 16, 2017

හැදෙන පිපිරෙන මිල බුබුළු


ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මේ වන විට මිල බුබුලක් වර්ධනය වෙමින් පවතින බව මේ දින වල සාකච්ඡාවට බඳුන් වන කරුණකි. මේ ගැන කතා කරන්නට පෙර මිල බුබුලක් යනු කුමක්දැයි හඳුනාගත යුතුය.

මේ ගැන කතා කරන ඇතැම් අය මෙය ඔවුන් කොහෙන් හෝ අහුලාගෙන ඇති "ධනවාදයේ ව්‍යුහාත්මක අවධි" ගැන සම්බන්ධ කරමින් කතා කළත් මිල බුබුළු වල ඉතිහාසය සියවස් ගණනක් ඈතට දිව යන්නකි. දැනට නිශ්චිත වාර්තා ඇති, බොහෝ දෙනෙකු දන්නා ඕලන්දයේ ටියුලිප් බුබුල ඇති වී, වර්ධනය වී, බිඳ වැටුණේ කාල් මාක්ස් ඉපදෙන්නටත් සියවස් දෙකකට කලිනි. ඒ වන විට යුරෝපයේ කාර්මික විප්ලවය හෝ ඇරැඹී නොතිබුණේය.

දහසයවන සියවසේ අගභාගය වන විට එවකට ලෝක බලවතුන් වූ ස්පාඤ්ඤයට හා පෘතුගාලයට අභියෝගයක් වෙමින් ජාත්‍යන්තර වෙළඳාමේ ආධිපත්‍යය ඕලන්දය විසින් හිමි කර ගනිමින් සිටි අතර ඕලන්දයේ ස්වර්ණමය යුගය ඇරඹුනේය. පෘතුගීසීන් විසින් පාලනය කළ ලංකාවේ පහතරට ප්‍රදේශ වල පාලනය ලන්දේසීන් සතුවීමද මේ රැල්ලටම සිදුවූවක් වුවත් මේ කතා කරන කාලය ඊට පෙර කාලයකි.

ජාත්‍යන්තර වෙළඳාම හරහා පොහොසතුන් වී සිටි ලන්දේසීන් සිය ධනවත්කම ප්‍රදර්ශනය කරමින් මන්දිර ගොඩ නගද්දී ඕලන්දය එවකට ලෝකයේ වැඩියෙන්ම නාගරිකරණය වූ රටක් බවට පත් විය. මේ අලුත් ධනවතුන් සිය ධනවත්කම ප්‍රදර්ශනය කළ හැකි සංකේත වෙනුවෙන් ලොකු මිලක් ගෙවන්නට සූදානම්ව සිටියේය.

දැන් ලෝකයේ ප්‍රධානම ටියුලිප් අපනයනකරු නෙදර්ලන්තය (පැරණි ඕලන්දය) වුවත්, මේ කාලය වන විට ඕලන්දයේ ටියුලිප් නොතිබුණේය. ටියුලිප් ශාකය තුර්කියෙන් ඕලන්දයට පැමිණෙන්නේ 1593 වසරේදීය. ඉතා වර්ණවත් මල් සහිත මේ ශාකයට ඕලන්දයේ ඉහළම ධනවතුන් අතර සැලකිය යුතු ඉල්ලුමක් ඇති විය.

ලංකාවට සෙල්ටෙල් පැමිණි කාලයේ සිදුවුනාක් මෙන් ටික කළක් යද්දී තමන්ගේ වත්තේ ටියුලිප් පඳුරක් තිබීම ඕලන්ද වැසියෙකුගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන සංකේතයක් බවට පත් විය. ඒ සමඟම තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන්නට අවශ්‍ය වූ තවත් බොහෝ දෙනෙකුට වත්තේ ටියුලිප් පඳුරක් වවන්නට අවශ්‍ය විය. මේ නිසා, ටියුලිප් අල වලට විශාල ඉල්ලුමක් ඇති විය.

ඉල්ලුමක් ඇති විට ඉල්ලුම හඳුනාගන්නා නිෂ්පාදකයෝ සැපයුම ඉහළ දමති. එහෙත්, ටියුලිප් ශාකයකින් වසරක් තුළ බල්බ එකකට හෝ දෙකකට වඩා ලබාගත නොහැකිය. මේ නිසා, ඉල්ලුම වැඩි වන වේගයෙන් සැපයුම වැඩි වුණේ නැත.

ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති වූ විට ඒ වෙනස සමනය කරන්නේ මිල යාන්ත්‍රණයයි. ඒ අනුව, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන තුරු ටියුලිප් බල්බ වල මිල ඉහළ ගියේය. මිල ඉහළ යනවිට ධනවත්කමේ සංකේතයක් ලෙස ටියුලිප් වල වටිනාකම තවත් ඉහළ යයි. එවිට, ඉල්ලුම නැවත වටයකින් වැඩි වේ. නමුත්, සැපයුම සීමිතය. මේ නිසා, කෙටි කලක් තුළ මිල ඉතා වේගයෙන් ඉහළ යන්නට විය. මුල් කාලයේදී මේ අයුරින් ඉතා විශාල මිලකට අලෙවි වුණේ දුර්ලභ ටියුලිප් ප්‍රභේදයි. සාමාන්‍ය ටියුලිප් ප්‍රභේද අලෙවි වුණේ සාපේක්ෂව අඩු මිලකටය.

කෙසේවුවද, 1630 පමණ වන විට ටියුලිප් ඉල්ලුමේ ස්වභාවය වෙනස් වන්නට විය. මුල් කාලයේදී ටියුලිප් බල්බ මිල දී ගත් අය එසේ කළේ ඒවා තමන්ගේ වත්තේ රෝපණය කිරීමේ අරමුණින් වුවත්, මිල වෙනස් වන වේගය අනුව මේ කාලය වන විට ටියුලිප් බල්බ මිලදී ගෙන ටික කලකට පසු නැවත විකිණීම ඉතා හොඳ ආයෝජනයක් බවට පත් වී තිබුණේය. ඒ නිසා, ටියුලිප් බල්බ ඇත්තටම අවශ්‍ය නොවූ අයත් කෙටි කලකින් මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස සිතමින්, ඇතැම් විට සිය දේපොළ උගස් කර ණය ගනිමින්, ටියුලිප් බල්බ මිල දී ගන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය ටියුලිප් ප්‍රභේද වල මිල පවා විශාල ලෙස ඉහළ ගියේය.

ටියුලිප් වෙළඳපොළේ මිල බුබුලක් ඇති වීම නිසා ඇතැම් දුර්ලභ ටියුලිප් බල්බ වල මිල ධනවත් වෙළෙන්දෙකුගේ වාර්ෂික ආදායම තරමට, එසේත් නැත්නම් වඩුවෙකුගේ වසර 20ක ආදායම තරමට ඉහළ ගියේය. මිල බුබුලක් ඇති වන්නේද ඉල්ලුම හා සැපයුම මත වුවත්, සැපයුමට වඩා විශාල වේගයකින් ඉල්ලුම ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා ටික කලක් යද්දී මේ ඉල්ලුම අඩු වන්නට පටන් ගනී. එවිට, මිල වැඩි වන වේගය ක්‍රමයෙන් අඩුවී එහි උපරිමය කරා ළඟා වේ. ඉන්පසුව මිල ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගනී.

මෙය සිදුවන විට, නැවත විකිණීම සඳහා භාණ්ඩය මිල දී ගත් අය සිය අලාහ අවම කර ගැනීම පිණිස හැකි ඉක්මණින් එය විකුණා දමන්නට උත්සාහ කරන නිසා එක වර සැපයුම විශාල ලෙස ඉහළ යයි. එහෙත්, ඒ වන විට අදාළ භාණ්ඩයට සැලකිය යුතු ඉල්ලුමක් තව දුරටත් නැත. එහි ප්‍රතිඵලයද ඉල්ලුම හා සැපයුම අතර විශාල අසමතුලිතතාවයකි. ඒ අනුව, නැවතත් මිල යාන්ත්‍රනය ක්‍රියාත්මක වීම නිසා භාණ්ඩයේ මිල ක්ෂණිකව විශාල ලෙස පහත වැටේ. එවිට, ඉක්මණින් ධනවත් වන්නට බලාගෙන දේපොළ උගස් තබා භාණ්ඩය මිල දී ගත් අයට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වේ.

ඕලන්දයේ සිදු වුනේද මෙයයි. 1637 පෙබරවාරි මාසය වන විට ටියුලිප් බල්බ වල මිල එහි උපරිමය කරා ළඟා වූ අතර ඉන්පසු ටියුලිප් බුබුල බිඳ වැටුණේය. බල්බයක මිල ඉතා කෙටි කලක් තුළ 90%කින් පමණ පහත වැටුණේය. 1638 මැයි මාසයේදී සිංහල හමුදා වල උදවුවෙන් ලන්දේසීන් විසින් එවකට පෘතුගීසින් සතුව පැවති මඩකලපුව කොටුවේ බලය අල්ලාගන්නා විට ටියුලිප් බුබුල බිඳ වැටී වසරක් ගත වී තිබුණේය.

මෙවැනි මිල බුබුළු දැනටත් දුලබ නැත. කොටස් වෙළඳපොළ, නිවාස වෙළඳපොළ හා විදේශ විණිමය වෙළඳපොළ වැනි තැන්වල සමපේක්ෂණය නිසා ඇති වන මිල බුබුළු කලින් කලට දැකිය හැකිය.

මිල බුබුලක් ඇති වීමේ ආරම්භක අවස්ථාව මූල්‍ය උපකරණයකට හෝ වෙනත් කිසියම් භාණ්ඩයකට ඇති ඉල්ලුම කෙටි කලක් තුළ ස්වභාවික ලෙස විශාල ලෙස වැඩිවීම හේතුවෙන් සිදුවන මිල ඉහළ යාමයි. මෙය ස්ථිර ඉල්ලුමක් නිසා සිදුවන දෙයක් මිස බුබුලක් නොවේ. මෙවැනි මිල ඉහළ යාමක් මිල බුබුලක් බවට පත් වන්නේ මිල ඉහළ යාමේ වාසිය ලබා ගැනීමේ අරමුණින්ම අදාළ මූල්‍ය උපකරණය හෝ භාණ්ඩය මිලදී ගන්නන් නිසාය.

ඉහත පරිදි මිල බුබුළු හඹන්නන් බොහෝ විට එසේ කරන්නේ කොයි මොහොතක හෝ බුබුල පුපුරන බව දැන දැනමය. එය එවැන්නන් විසින් ගන්නා අවදානමකි.

මිල බුබුලක් පිපිරීම රටක ආර්ථිකයට කෙටිකාලීන බලපෑමක් කරන්නට ඉඩ ඇතත් ඒ හේතුවෙන් ආර්ථිකයක් ගොඩගන්නට නොහැකි පරිදි බිඳ වැටෙන්නේ නැත. ටියුලිප් බුබුල පුපුරා ගිය පමණින් ඕලන්දයේ ස්වර්ණමය යුගය අවසන් නොවූ අතර ඔවුන් ලංකාවේ සිය ආධිපත්‍යය පැතිරවුයේ ටියුලිප් බුබුල පිපිරී දශක කිහිපයකට පසුවය. එමෙන්ම අඩු වශයෙන් ටියුලිප් බල්බ නිපදවීමේ කර්මාන්තය හෝ බිඳ වැටුනේ නැත. නෙදර්ලන්තය අදටත් ලෝකයේ ප්‍රධානම ටියුලිප් අපනයනකරු ලෙස සැලකිය යුතු විදේශ විණිමයක් උපයයි.

බුබුළු පිපිරීම යනු බුබුළු ඇතිවීම නිසා සිදුවන තාවකාලික මිල වෙනස්වීම නැවත නිවැරදි කරන ස්වභාවික යාන්ත්‍රණයක් මිස "ධනවාදයේ කඩාවැටීමක්" හෝ වෙනත් අමුතු දෙයක් නොවේ. මිල බුබුලක් බිඳ වැටුණද අදාළ භාණ්ඩයේ දිගුකාලීන ඉල්ලුම මත තීරණය වන මිල මට්ටමේ එය තව දුරටත් රැඳේ. ඒ නිසා, මිල බුබුළු වලට ඕනෑවට වඩා බිය විය යුතු නැත.

Sunday, August 27, 2017

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයට විසඳුමක්ද?

ලංකාව කලක සිට ණය අර්බුදයක සිරවී සිටින බව දැන් කවුරුත් දන්නා කතාවකි. පසුගිය මාර්තු මාසය අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,702.8ක් විය. එයින් රුපියල් බිලියන 5,626.2ක් දේශීය ණය වූ අතර ඉතිරි රුපියල් බිලියන 4,076.7 විදේශ ණයයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ලංකාවට ණය අර්බුදයෙන් ගොඩ යන්නට හැකි වෙයිද?

මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසියකදී ආසන්න වශයෙන් වසර 10ක පමණ කල් පිරීමේ කාලයක් (වසර 9කුත් මාස 10ක්) සහිත බැඳුම්කර අවසාන වරට (ජූලි 27 දින) නිකුත් කලේ 10.59%ක සඵල පොලී අනුපාතිකයකටය. ඒ අනුව, වසර දහයක කාලයකට දේශීය ණය ලබා ගැනීමේදී රජය විසින් මේ වන විට ගෙවිය යුතු පොලී අනුපාතිකය 10.59%ක් ලෙස සැලකිය හැකිය. මෙහිදී නිකුත් කළ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 11ක් වූ අතර, ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කළේනම් මේ පොලී අනුපාතිකය මීට වඩා වැඩි විය හැකිව තිබුණේය.

පසුගිය මැයි මස 4 වන දින රජය විසින් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක වටිනාකමකින් යුත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කළේය.  ඒ, 6.20%ක පොලී අනුපාතිකයකටය. මේ පොලී අනුපාතිකය රජය විසින් විදේශ ණය ලබා ගැනීමේදී ගෙවිය යුතු පොලී අනුපාතිකය ලෙස සැලකිය හැකිය.

ණය ප්‍රතිව්‍යුගතකිරීම යන්නෙන් අදහස් වන්නේ වඩා වාසිදායක ණයක් ගෙන සාපේක්ෂව අවාසිදායක ණයක් පියවීමයි. උදාහරණයක් ලෙස, ඉදිරි වසර 10 තුළ විණිමය අනුපාතිකය දැනට පවතින මට්ටමේම තිබෙනු ඇතැයි විශ්වාස කළ හැකිනම් 10.59%ක පොලියකට රුපියල් වලින් ණය ගන්නවාට වඩා 6.20%ක පොලියකට ඩොලර් වලින් ණය ගැනීම වාසිදායකය. එහෙත්, විණිමය අනුපාතිකය එසේ ස්ථිරව නොතිබෙන බව අපි දනිමු. පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් යටතේ ඉදිරි වසර 10 තුළ රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු තරමින් පිරිහෙනු ඇති බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු කරුණක් නොවේ. ඒ නිසා, රුපියල් ණය හා ඩොලර් ණය ගැනීමේ වාසි හා අවාසි එතරම් පහසුවෙන් සැසඳිය නොහැකිය.

රජය විසින් අද (අගෝස්තු 27) ඩොලරයක් ණයට ගත්තොත් රජයට ඒ ඩොලරය මාරු කර රුපියල් 151ක් ලබා ගත හැකිය. ඉන් පසු ඒ මුදල රට ඇතුළත කැමති ආකාරයකින් වියදම් කළ හැකිය. එසේ නැත්නම් එම ඩොලරය රුපියල් වලට මාරු නොකර වෙනත් රටකින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම වෙනුවෙන් වැය කළ හැකිය. ඒ දෙකෙන් කුමක් කළත්, වසර 10කින්  පසුව 6.20%ක පොලියද සමඟ ඩොලර් ඩොලර් 1.825ක පමණ මුදලක් ආපසු ගෙවන්නට රජයට සිදු වේ.

අනෙක් අතට රජය විසින් අද රුපියල් 151ක් ණයට ගත්තොත් රජයට ඒ වෙනුවෙන් වසර 10ක් තුළ එකතු වන 10.59%ක පොලියද සමඟ රුපියල් 413.18ක් ආපසු ගෙවන්නට සිදු වේ. එසේනම්, වඩා වාසිදායක මේ විකල්ප දෙකෙන් කොයි එකද?

මෙය තීරණය වන්නේ වසර දහයකට පසු ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා රජය විසින් වැය කළ යුතු රුපියල් ගණන මතය. වසර දහයකට පසු ඩොලරයක විකුණුම් මිල රුපියල් 226.41ක් නම් ඩොලරයේ ණය ආපසු ගෙවන්නට රජයට රුපියල් 413.18ක් වැය කරන්නට වේ. මෙය රුපියල් වලින් ණය ගත්තත් රජයට ගෙවන්නට සිදුවන මුදලයි. රුපියල වසර දහයකින් එතරම් අවප්‍රමාණය වන්නට ඉඩක් නැත්නම් ඩොලර් වලින් ණය ගැනීම රජයට වාසිදායකය. රුපියල ඊට වඩා අවප්‍රමාණය වන්නට ඉඩ ඇත්නම් රුපියල් වලින් ණය ගැනීම වාසිදායකය.

ඉහත කරුණ කවුරුත් නොදන්නා රස රහසක් නොවේ. රාජ්‍ය ණය කළමනාකරණය භාරව සිටින මහා භාණ්ඩාගාරයේ හා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොඳින්ම දන්නා සරල කරුණකි. ඔවුහු නිබඳවම මේ සැසඳීම කරමින් වඩා වාසිදායක ණය මිශ්‍රණයක් පවත්වා ගැනීම සඳහා කටයුතු කරති. ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඔවුන්ට අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නොවේ. 

විදෙස් ණය යනු හැම විටම ඉහත උදාහරණයේ මෙන් ඇමරිකන් ඩොලර් ණයම නොවේ. සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන විට සැසඳීමේ පහසුවට ඇමරිකන් ඩොලර් වලින් ඉදිරිපත් කළත් රජයේ විදෙස් ණය කළඹට පවුම්, යුරෝ, යෙන් වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදලින් ගත් ණයද ඇතුළත්ය.

රජයට ලැබෙන බදු ආදායම් මුළුමනින්ම වාගේ ලැබෙන්නේ රුපියල් වලිනි. එහෙත්, රජයේ ඇතැම් වියදම් කරන්නට වෙන්නේ ඩොලර් වලින් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකිනි. මේ විදේශ ව්‍යවහාර මුදල් රජයට මහ බැංකුවෙන් හෝ වෙනත් බැංකුවකින් මිල දී ගන්නට සිදු වේ. එසේ කළ හැක්කේ රටේ කවරෙකු හෝ විදේශ ව්‍යවහාර මුදල් උපයන්නේනම් පමණි.

රටකට විදේශ ව්‍යවහාර මුදල් ලැබෙන ප්‍රධානම ප්‍රභවය අපනයන ආදායමයි. එසේ ලැබෙන විදේශ ව්‍යවහාර මුදල් ආනයන වියදම් සඳහාද වැය කළ යුතුය. රජයට බැංකු පද්ධතිය හරහා දිගින් දිගටම විදේශ ව්‍යවහාර මුදල් ලබා ගත හැක්කේ රටේ අපනයන ආදායම ආනයන වියදම ඉක්මවන්නේනම් පමණි. එහෙත් අප දන්නා පරිදි ලංකාවේ ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයකට කිට්ටුය. කෙසේ වුවත්, අපනයන වලින් ලැබෙන ප්‍රමාණයට අමතරව ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ලෙසද ලංකාවට සැලකිය තරමින් විදේශ ව්‍යවහාර මුදල් ලැබේ.

පහත වගුවේ ඇත්තේ 2016 වසරේදී ලංකාව සමඟ අඩු වශයෙන් ඩොලර් මිලියන 500ක වෙළඳ පරිමාවක් පවත්වාගෙන ඇති රටවල ආනයන, අපනයන හා වෙළඳ ශේෂයන්ය. මේ වගුව දෙස බැලූ විට ලංකාව හා ලෝකය අතර ඇති ආර්ථික සම්බන්ධතාව කවර ආකාරයේ එකක්ද යන්න ගැන පැහැදිලි අදහසක් ගන්නට පුළුවන.



ලංකාවට වෙළඳාම හරහා වැඩිම විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එරටින් ලැබෙන අපනයන ආදායම ලංකාවේ ඇමරිකන් ආනයන වියදම මෙන් 5.2 ගුණයක් වන අතර පසුගිය වසර තුළ ඇමරිකා එක්සත් ජනපදය සමඟ කළ වෙළෙඳාම නිසා ලංකාවට ඩොලර් මිලියන 2,271ක අතිරික්ත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබී තිබේ.  ඇමරිකාවෙන් ලැබෙන්නේ ඇමරිකන් ඩොලර්ය.

එක්සත් රාජධානියට ලංකාවෙන් යවන අපනයන ප්‍රමාණයද එම රටින් ගෙන්වන අපනයන භාණ්ඩ වල වටිනාකම මෙන් 3.2 ගුණයකි. මේ අනුව, එක්සත් රාජධානිය සමඟ කරන වෙළඳාම නිසාද ලංකාවට ඩොලර් මිලියන 700 ඉක්මවන අතිරික්ත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබී තිබේ.  මෙසේ එක්සත් රාජධානියෙන් ලැබෙන්නේ ස්ටර්ලින් පවුම්ය. මේ ආකාරයෙන්ම ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපීය සංගමයේ රටවල් සමඟ කරන වෙළඳාම නිසා ලංකාවට සැලකිය යුතු යුරෝ ප්‍රමාණයක්ද ලැබේ.

ඇමරිකාවෙන් හා යුරෝපයෙන් විදෙස් වෙළඳාම හරහා ලංකාව ලබාගන්නා අතිරික්ත ඩොලර්, පවුම් හා යුරෝ ප්‍රමාණයට අමතරව එම කලාප වල රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් විසින් 2016 වසර තුළ තවත් ඩොලර් මිලියන 1,815 ක මුදලක් ලංකාවට එවා තිබේ. මේ සියල්ල එකතු කළ විට බටහිර රටවල් සමඟ කරන ගනුදෙනු හරහා ලංකාවට වසරකට ඩොලර් මිලියන 6000-7000ක පමණ අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේයැයි සිතිය හැකිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ වෙළඳාමෙන් ලංකාවට ඩොලර් මිලියන 885ක පමණ ශුද්ධ අවාසියක් සිදු වී ඇතත් මැද පෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රමිකයින් විසින් වසර තුළ ඩොලර් මිලියන 3,889ක පමණ මුදලක් ප්‍රේෂණය කර ඇති බව සැලකූ විට එම කලාපයේ රටවලින්ද ලංකාවට තවත් ඩොලර් මිලියන 3000ක පමණ අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේයැයි සිතිය හැකිය.

මෙසේ ලැබෙන අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ලංකාව විසින් වැය කරන්නේ චීනය හා ඉන්දියාව ප්‍රමුඛ ආසියානු කලාපයේය. චීන ආනයන එහි යවන අපනයන ප්‍රමාණය මෙන් 21 ගුණයකි. ඒ නිසා, චීන ආනයන වෙනුවෙන් ලංකාව ඩොලර් මිලියන 4000 ඉක්මවන අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් සෙවිය යුතුය. ඉන්දියාව සමඟ කරන වෙළඳාම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 3000ක් ඉක්මවා විදේශ ව්‍යවහාර මුදල් සෙවිය යුතුය. මේ දෙරටින් ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන්නේම නැති තරම් වන අතර යම්තාක් දුරකට එහි අනිත් පැත්ත වෙන්නේයැයි සිතිය හැකිය. සිංගප්පූරුව, ජපානය ඇතුළු අනෙකුත් දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් සමඟද ලංකාව විශාල වෙළඳ අවාසියක් පවත්වා ගනී. මේ ඇතැම් රටවලින් ලංකාවට කිසියම් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුණත් ඒ මුදල අදාළ රටවල් සමඟ ඇති ද්විපාර්ශ්වික වෙළඳ අවාසිය පියවන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නැති මුදලකි.

ඉහත විස්තරය සාරාංශගත කළහොත්, ලංකාව විසින් කරන්නේ බටහිර හා මැදපෙරදිග රටවල් සමඟ ගණුදෙනු කර උපයන විදේශ ව්‍යවහාර මුදල් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ වියදම් කිරීමයි. ජාත්‍යන්තර වෙළඳාම තුළ ලංකාව ඇමරිකාව, යුරෝපය හා මැදපෙරදිග රටවල් මත යැපේ. ඒ රටවලට යවන අපනයන නැත්නම් ලංකාවට යන එන මං නැත. අනිත් අතට ඉන්දියාව හා චීනය ඇතුළු ආසියාතික රටවල් ලංකාව මත යැපෙන රටවල්ය. මේ රටවල් සමඟ කරන වෙළඳාමට යම් හෙයකින් බාධා පැමිණුනොත් අමාරුවේ වැටෙන්නේ එම රටවල් මිස ලංකාව නොවේ. ලංකාවේ වෙළඳපොළ කුඩා එකක් වීම වෙනම කරුණකි.

ජපානය සිටින්නේද ඉහත ගොඩවල් දෙකෙන් ඉන්දියාව හා චීනය සිටින ගොඩේය. ජපන් ආනයන වෙනුවෙන් ලංකාව වැය කරන මුදල එරටින් ලැබෙන අපනයන ආදායම මෙන් 5.7 ගුණයකි.

රටවල් දෙකක් අතර සිදුකරන වෙළඳාමේදී දිගින් දිගටම එක් රටකට අවාසියක් වීම සිදු විය නොහැක්කක් නොවුවත්, එසේ වන විට ඒ හරහා ඇති වන අසමතුලිතතාවය බොහෝ විට වෙනත් අයුරකින් මතු වේ. ආර්ථික කරුණු වලට පරිබාහිර දේශපාලනික කරුණු මත පදනම් වෙමින් ඇතැම් බටහිර රටවල් ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීමද එක්තරා දුරකට මේ වෙළඳ අසමතුලිතාවයේ ප්‍රතිඵලයකි.

ලංකාවේ අපනයන ලොකුවට මිලදී නොගන්නා චීනය හෝ ජපානය වැනි රටකට එම රටවලින් ලංකාවට එන ආනයන පරිමාව පවත්වා ගැනීම සඳහා වෙනත් කිසියම් අයුරකින් ලංකාවට අරමුදල් පොම්ප කරන්නට සිදු වේ. එසේ නොකළහොත්, බටහිර හා මැදපෙරදිග රටවලින් ලැබෙන විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණය ලංකාවේ චීන හෝ ජපන් ආනයන ප්‍රමාණය සීමා කරන සාධකයක් බවට පත් වේ. එම රටවලට මේ සීමාව මඟ හරිමින් සිය අපනයන (ලංකාවේ ආනයන) තව දුරටත් වර්ධනය කර ගත හැකි එක් ක්‍රමයක් වන්නේ ලංකාවට ණය ලෙස නැවත අරමුදල් සැපයීම මඟින් වෙළඳ ශේෂයේ හිඟය නිසා ඇති වන අසමතුලිතතාවයෙන් කොටසක් සමනය කිරීමයි. මේ ණය කිසියම් සහනදායී පදනමකින් ලබා දුන්නත් ලංකාවට සිදු කරන අපනයන වලින් ඒ අවාසිය සමනය වන්නේනම් එම රටවලට ප්‍රශ්නයක් නැත. (ඉන්දියාව උත්සාහ කරන්නේනම් එවැනි දෙයක්වත් නොකර දේශපාලනික බලපෑම් හරහාම වැඩේ ගොඩ දා ගැනීමටය.)

ජපානයෙන් හෝ චීනයෙන් ණය ගැනීමෙන් තාවකාලිකව ලංකාවේ රාජ්‍ය ණය ප්‍රශ්නය විසඳා ගත හැකි වුවත්, එම රටවල් ලංකාවේ අපනයන විශාල ලෙස මිලදී නොගැනීම නිසා ලංකාවට යෙන් හෝ යුවාන් පැමිණෙන මාර්ග නැත. ජපානයෙන් ශ්‍රමික ප්‍රේෂණ ලෙස සීමිත මුදලක් පැමිණියත් චීනයෙන් එසේ ලැබෙන්නේද නැත. ඒ නිසා, මේ රටවලින් ලබා ගන්නා ණය ගෙවන්නට ලංකාවට යෙන් හෝ යුවාන් මිලදී ගන්නට වෙන්නේද බටහිර රටවලින් ලැබෙන ඩොලර්, පවුම් හා යුරෝ වැය කරමිනි. ඒ නිසා යෙන් හෝ යුවාන් ණය ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ එම ව්‍යවහාර මුදල් හා ඩොලර්, පවුම්, යුරෝ වැනි ව්‍යවහාර මුදල් අතර විණිමය අනුපාතිකයට ඉදිරියේදී කුමක් වේද යන්නයි.


ඇමරිකන් ෆෙඩරල් සංචිත බැංකුවෙන් දත්ත ලබාගත හැකි, යෙන් විණිමය අනුපාතිකය පාවෙන්නට හරිනු ලැබූ, 1971 වසරේ සිට සමස්තයක් ලෙස ජපන් යෙන් මුදල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අධිප්‍රමාණය විය. 1971 ජනවාරි 1 දින ජපාන යෙන් 1000ක් මිල දී ගැනීමට ඇමරිකන් ඩොලර් 2.875ක් අවශ්‍ය වුවත්, 2012 ජනවාරි 1 දින වන විට ඒ සඳහා ඇමරිකන් ඩොලර් 12.53ක් අවශ්‍ය විය. මෙය 4.36 ගුණයක වැඩි වීමකි.

ලංකාව 1977දී ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ ජපානයෙන් සිදු කරන ආනයන විශාල ලෙස ඉහළ ගියේය. එහෙත් එයට සමාන්තරව ලංකාව ජපානයට සිදුකරන අපනයන ඉහළ ගියේ නැත. මේ හරහා සිදුවූ අසමතුලිතතාවය යම් තරමකින් සමනය වුණේ ජපානයෙන් සහනදායී පොලී අනුපාතිකයකට ලැබුණු ණය නිසාය. කෙසේ වුවද, සහනදායී පොලී අනුපාතිකයකට ණය ලැබීම යනු හැම විටම වාසියක්ම නොවේ. පසුගිය දශක කිහිපය තුළ ජපාන යෙන් මුදල අනෙක් බොහෝ විදෙස් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව විශාල ලෙස අධිප්‍රමාණය වීම නිසා අවසානයේදී ජපානයෙන් ලබාගත් සහනදායී ණය හේතුවෙන් සිදුවුණේ වාසියක් නොව විශාල අවාසියකි. ලංකාවේ රාජ්‍ය ණය බර මේ තරම් වැඩි වීමට ජපානයෙන් ලබාගත් සහනදායී ණයද එක් හේතුවකි.

මෙය පැහැදිලි කිරීම සඳහා 1982 වසරේදී ලංකාව 0.5%ක ඉතා සහනදායී පොලී අනුපාතිකයක් යටතේ වසර 30කින් ආපසු ගෙවීමට ජපානයෙන් යෙන් 1000ක ණයක් ලබා ගත්තේයැයි සිතමු. පොලී අනුපාතිකය ඉතා අඩු නිසා 2012දී ආපසු ගෙවිය යුතුව තිබුණේ ජපන් යෙන් 1161ක් පමණි. 

1982දී ජපන් යෙන් එකක් ශත 8කි. මේ අනුව, ජපන් යෙන් 1000ක් යනු 1982දී රුපියල් 80කි. 2012 වන විට ජපන් යෙන් එකක් රුපියල් 1.60ක් විය. ඒ නිසා, ජපන් යෙන් 1161ක් ආපසු ගෙවන්නට රජය විසින් රුපියල් 1857.60ක් වැය කළ යුතු විය. යෙන් ණය නොගෙන 1982දී 11%ක පොලියට රුපියල් ණය ගත්තේනම් හෝ 2%ක පොලී අනුපාතිකයකට ඩොලර් ණය ගත්තේනම් 2012දී ආපසු ගෙවන්නට වෙන්නේ ආසන්න වශයෙන් මීට සමාන මුදලකි. (කෙසේ වුවත්, 1982දී ආණ්ඩුවට 11%ක පොලී අනුපාතිකයකට දේශීය ණය ගැනීමේ හැකියාවක්නම් නොතිබුණේය.)

ජපාන යෙන් මුදල වෙනත් විදෙස් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව දිගින් දිගටම අධිප්‍රමාණය වීම නිසා ජපන් ණය අඩු පොලියකට ලැබුණත් පෙනෙන තරම්ම වාසිදායක නොවන බව රාජ්‍ය ණය කළමණාකරනය කරන නිලධාරීන් විසින් තේරුම් ගැනීමෙන් පසුව දශකයකට පමණ පෙර එවැනි ණය සීමා කෙරුණේය. 

මේ අතර ද්‍රවශීලතා උගුලක කලක සිටම හිරවී ආර්ථික වර්ධනය නැවතී ඇති ජපානයේ ආර්ථිකය නැවත උත්තේජනය කිරීමට  ජපානය උත්සාහ ගනිමින් සිටියදී මෑත වසර කිහිපය තුළ ජපාන යෙන් මුදල යම් තරමකින් අවප්‍රමාණය විය. ඒ නිසා, මේ වන විට ජපාන ණය පෙර මෙන් ප්‍රශ්නකාරී නැත. තත්ත්වය හඳුනාගනිමින් රජය නැවතත් කිසියම් ප්‍රමාණයකට ජපන් ණය ලබාගෙන තිබේ. එහෙත්, යෙන් විණිමය අනුපාතිකය ඉදිරි කාලය තුළ කෙසේ හැසිරෙනු ඇත්දැයි කිසිවකුට ස්ථිරව කිව නොහැකිය.

ලංකාව අපනයන මඟින් හෝ ප්‍රේෂණ මඟින් යෙන් උපයන්නේනම් විණිමය අනුපාතිකය වෙනස් වීම එතරම් ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලංකාවට යෙන් ණය ආපසු ගෙවන්නට වෙන්නේ ඩොලර්, පවුම් හෝ යුරෝ සමඟ යෙන් හුවමාරු කර යෙන් මිල දී ගැනීම මඟිනි. එසේ තිබියදී, සහනදායී පොලී අනුපාතිකයකට ගන්නට හැකි වුවත් ඕනෑවට වඩා යෙන් ණය ගොඩ ගසාගැනීම යනු ලංකාව විසින් විශාල අවදානමක් ගැනීමකි. හොඳ වෙලාවට මෙතෙක් කල් බලයට පත් වූ රාජ්‍ය නායකයින් කිසිවෙකුට මෙවැනි විහිළු අදහස් පහළ වී නැත.

Thursday, August 17, 2017

දුම්වැටි භාවිතය අඩු වෙලාද?


"යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී" ඇති බවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් කර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධව අපි පසුගිය අප්‍රේල් මාසයේදී පැහැදිලි කිරීමක් කළෙමු. එහිදී අප විසින් පෙන්වා දෙනු ලැබුවේ 2016 අවසන් කාර්තුවේදී දුම්කොළ සමාගමේ ආදායම හා දුම්වැටි අලෙවියෙන් රජය ලබන බදු ආදායම පෙර කාර්තුවට සාපේක්ෂව විශාල ලෙස අඩුවී තිබුණත් එයට ප්‍රධාන හේතුව බව පෙනෙන්නේ අලෙවි නියෝජිතයින් විසින් බදු ඉහළ දැමීමට පෙර දුම්වැටි විශාල තොග මිලදී ගෙන ගබඩා කර ගැනීම හේතුවෙන් තෙවන කාර්තුව තුළ දුම්වැටි අලෙවිය විශාල ලෙස ඉහළ යාම බවයි. මේ තොග අවසන් වන විට දුම්වැටි සමාගමේ අලෙවි ආදායම් මෙන්ම රජයේ බදු ආදායමද ඉහළ යනු ඇති බවට අපි අනාවැකි පළ කළෙමු.

දුම්කොළ සමාගම විසින් දින තුනකට පෙර 2017 මුල් අර්ධය සඳහා වන විගණනය නොකළ ගිණුම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව, 2017 පළමු මාස 6 ඇතුළත දුම්කොළ සමාගමේ දළ ආදායම් රුපියල් බිලියන 67.2 දක්වා පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව රුපියල් බිලියන 7.6කින්ද, රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 51.9 දක්වා රුපියල් බිලියන 7.2කින්ද වැඩි වී තිබේ.

පසුගිය වසරේ තෙවන කාර්තුව තුළ දුම්වැටි වෙළඳ නියෝජිතයින් විසින් තොග ගබඩා කර ගැනීම නිසා දුම්වැටි අලෙවිය සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් රජයට ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 28.0 දක්වා ඉහළ ගියේය. බදු වැඩි කිරීමෙන් අනතුරුව, සිවුවන කාර්තුව තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 14.8 දක්වා අඩු වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවුණේ අවශ්‍ය දුම්වැටි තොග කලින්ම අලෙවි වී තිබීමයි. සෞඛ්‍ය ඇමතිවරයා විසින් රටේ දුම්පානය 48%කින් අඩු වී ඇති බව ප්‍රකාශ කළේනම් ඒ සඳහා පදනම් වන්නට ඇත්තේ රජයේ බදු ආදායමේ සිදුවූ ඉහත අඩු වීමයි.

මේ වසරේ දෙවන කාර්තුව තුළ පමණක් දුම්වැටි වලින් රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 28.1කි. මෙය 2016 අවසන් කාර්තුවේ බදු ආදායම මෙන් දෙගුණයකට ආසන්නය. ඒ අනුව, සෞඛ්‍ය ඇමතිවරයාගේ පරණ තර්කය අනුවනම් නිගමනය කළ යුත්තේ රටේ දුම්වැටි භාවිතය සමසක් තුළ දෙගුණ වී ඇති බවයි. 

එහෙත්, එය නිවැරදි තර්කයක් නොවේ. දුම්කොළ සමාගමේ ලාබ හෝ රජයේ බදු ආදායම් මත පදනම්ව රටේ දුම්වැටි භාවිතය වෙනස් වී ඇති ආකාරය නිවැරදිව පුරෝකථනය කිරීම කළ නොහැක්කකි. එහෙත්, දුම්වැටි භාවිතය විශාල ලෙස අඩු වී ඇති බවක්නම් මේ සංඛ්‍යාලේඛණ අනුව නොපෙනේ.

බදු වැඩි කළද දුම්කොළ සමාගමේ ආදායම්, ලාබ මෙන්ම එමඟින් රජය උපයා ඇති බදු ආදායමද වෙනත් වසර වලදී මෙන්ම වැඩි වී ඇති බවනම් පැහැදිලිය. දුම්කොළ සමාගමේ ලාබ ඉහළ යාම නිසා නිෂ්පාදන බදු වලට අමතරව එම සමාගම විසින් රජයට ගෙවන ආදායම් බදුද 2017 පළමු අර්ධය තුළ පෙර වසරේ මුල් අර්ධයට සාපේක්ෂව රුපියල් බිලියනය ඉක්මවා වැඩි වී තිබේ.

Friday, August 11, 2017

මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති


මේ සටහන ලියන්නේ පාඨකයෙකුගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යනු මොනවාදැයි පැහැදිලි කිරීමටය.

සාමාන්‍යයෙන් බොහෝ රටවල ආර්ථිකයන් දිගුකාලීනව වර්ධනය වෙයි. ප්‍රාග්ධනය හා ශ්‍රමය යන නිෂ්පාදක සාධක වර්ධනය වීම ආර්ථික වර්ධනයට හේතු වන නමුත් රටක් සතු මේ නිෂ්පාදන සාධක ප්‍රමාණය සාමාන්‍යයෙන් වසරක් වැනි කාලයක් තුල විශාල ලෙස වෙනස් වන්නේ නැත. ඒ නිසා, නවීන ආර්ථිකයක් වර්ධනය වීමට වැඩි වශයෙන්ම හේතු වන්නේ කාර්යක්ෂමතාවය ඉහළ යාමයි. මෙහිදී කාර්යක්ෂමතාවය වැඩිවීම ලෙස හඳුන්වන්නේ කිසියම් ආර්ථිකයක් විසින් දැනට තිබෙන නිෂ්පාදන සාධක ප්‍රමාණයම උපයෝගී කරගෙන වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලබාගැනීමයි.

කාර්යක්ෂමතාවය වැඩි වන්නේ වෙනස් ලෙස සිතිය හැකි පුද්ගලයින්ගේ ව්‍යවසායකත්වය හරහාය. මෙය සිදුවන්නේ තාක්ෂනය දියුණු වීම හරහාය. මෙහිදී තාක්ෂනය යන වචනයෙන් හඳුන්වන්නේ පරිගණක වැනි දේ පමණක්ම නොවේ. කිසියම් ආයතනයක මානව සම්පත් කළමනාකරණය පිළිබඳ නව අදහසක් වුවද මෙයට ඇතුළත් විය හැකිය. විචල්‍ය සේවා කාල, නිවසේ සිට වැඩ කිරීම වැනි මෑතකාලීන සංකල්ප උදාහරණයි. එහෙත්, බොහෝ විට තාක්ෂණ දියුණුව සිදුවන්නේ නව නිර්මාණ හරහාය. ඒ නිසා තාක්ෂනය දියුණු කිරීමට කිසියම් රටක් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කටයුතු වල ආයෝජනය කළ යුතුය.

නිෂ්පාදන සාධක නිසා සිදුවන ආර්ථික වර්ධනයේත්, තාක්ෂනය නිසා සිදුවන ආර්ථික වර්ධනයේත් එක් විශේෂ වෙනසක් තිබේ. නිෂ්පාදන සාධක එක් රටකින් වෙනත් රටකට සම්ප්‍රේෂණය වූ විට ඒවා මුල් රටට අහිමි වේ. උදාහරණයක් ලෙස ලංකාවේ තිබුණු කර්මාන්ත ශාලාවක් මැලේසියාවට ගෙන ගියොත් හෝ එය ලංකාවට අහිමි වේ. එහෙත්, මැලේසියාවේ ඇති කිසියම් තාක්ෂණයක් ලංකාවට පැමිණීම නිසා මැලේසියාවට එය අහිමි නොවේ. ඒ නිසා, කිසියම් රටක් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කටයුතු වල ආයෝජනය කර තාක්ෂනය වැඩි දියුණු කළ විට අනෙක් රට වලටද එහි වාසිය ලැබේ. 

ඉහත වාසිය වැඩිපුරම තිබෙන්නේ තාක්ෂනය අතින් පසුගාමී, අඩු ආදායම් ලබන රටවලටය. එවැනි රටවලට දියුණු රටවල තාක්ෂනය ලබාගැනීමෙන් වසරක් තුළ කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩි කරගැනීමට හැකියාව තිබේ. ජපානය, කොරියාව හා සිංගප්පූරුව වැනි රටවල ආර්ථිකයන් එක් කාලයක් තුළ ඉතා වේගයෙන් වර්ධනය වුනේ මෙසේ දියුණු රටවල් අනුගමනය කරමින් කෙටි කලක් තුළ කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ බැවිනි.

එහෙත්, ඉහත රටවල ආර්ථිකයන් දියුණු වීමෙන් පසුව දැන් පෙර මෙන් වේගයෙන් එම ආර්ථිකයන් වර්ධනය නොවේ. ඒ, තාක්ෂනය අතින් ඉදිරියටම පැමිණ සිටින රටවලට තාක්ෂනය පහසුවෙන් ලබා ගන්නට පුරෝගාමීන් නැති නිසාය. එසේ පෙරමුණට පැමිණි රටවලට පර්යේෂණ හා වැඩි දියුණු කිරීම් වල ආයෝජනය කරමින් තමන් විසින්ම තාක්ෂනය දියුණු කරගන්නට සිදු වේ. සංවර්ධිත රටවල් වල ආර්ථිකයන් සංවර්ධනය නොවූ රටවල් වල ආර්ථිකයන් තරම් වේගයෙන් වර්ධනය නොවන්නේ ඒ නිසාය.

කෙසේ වුවද, තාක්ෂනය හේතුවෙන් කිසියම් රටක ආර්ථිකය දිගුකාලීනව ආසන්න ලෙස නිශ්චිත වේගයකින් වර්ධනය වුවත් මෙය ඒකාකාරී ලෙස සිදු නොවේ. ඕනෑම රටකට වරින් වර ආර්ථික අවපාත වලට මුහුණ දෙන්නට සිදු වේ. පසුව මේ ආර්ථිකයන් ටික කලක් වේගයෙන් වර්ධනය වී නැවත මුල් තත්ත්වයටම පැමිණෙන නමුත් මෙසේ කෙටිකාලීනව සිදුවන ආර්ථික වර්ධනයේ උච්චාවචනයන් නිෂ්පාදන සාධක වල හෝ තාක්ෂණයේ සිදුවන වෙනස්කම් වලින් පැහැදිලි කළ නොහැකිය. ආර්ථිකයේ මේ කෙටිකාලීන වෙනස්වීම් ව්‍යාපාර චක්‍ර (business cycles) ලෙස හැඳින්වේ.

ව්‍යාපාර චක්‍ර පිළිබඳ කේන්සියානු දැක්ම වන්නේ කිසියම් රටක සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම අසමතුලිතවීම ව්‍යාපාර චක්‍ර වලට හේතු වන බවයි. මේ අදහස අනුව ආර්ථික අවපාතයක් ඇතිවීම පහත පරිදි විස්තර කළ හැකිය.

රටක නිෂ්පාදන සාධක හා තාක්ෂනය තිබෙන ප්‍රමාණය අනුව කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය. එහෙත්, කවර හෝ හේතුවක් නිසා රටේ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම මෙසේ නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණයට වඩා අඩු වී තිබේ. (කවර හෝ කියා කියන්නේ මේ හේතු විස්තර කරන්නට ගොස් කතාව වඩා සංකීර්ණ කළ යුතු නැති නිසාය.) සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදන ශක්‍යතාවයේ තරමට නිෂ්පාදනය කළොත් එම භාණ්ඩ හා සේවා විකුණා ගන්නට නොහැකිව පාඩු ලබන්නට සිදු වේ. ඒ නිසා, ඔවුන් නිෂ්පාදනය කරන්නේ අඩුවෙනි. ඇතැම් සමාගම් වැසී යයි. තවත් සමාගම් වලට සේවකයින් අඩු කිරීමට සිදු වේ. එවිට රටේ නිවාස ඒකක වල ආදායම් තවත් අඩු වී සමස්ත ඉල්ලුම තවත් අඩුවේ. අසමතුලිතතාවය තවත් වැඩි වේ. ඉල්ලුම අඩු නිසා භාණ්ඩ හා සේවා මිල අඩුවී උද්ධමනය අඩු වෙයි. ඇතැම් විට අවධමනයක් ඇති වේ. මේ නිසා සමාගම් වල ලාභ තවත් අඩුවී තවත් සමාගම් වැසී විරැකියාව ඉහළ යයි.

ඇතැම් විට මෙහි අනිත් පැත්තද සිදු වේ. එනම්, රටේ සමස්ත ඉල්ලුම රටේ ශක්‍ය නිෂ්පාදන ධාරිතාව ඉක්මවයි. එවිට, සැපයුමට වඩා ඉල්ලුම වැඩි නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වේ. මේ කතා කරන්නේ මුදල් සැපයුම වැඩි වීම නිසා දිගුකාලීනව උද්ධමනය වැඩි වීමට අමතරව කෙටිකාලීනව සිදුවන සංද්ධියක් ගැනය. ඉහළ මිල ගණන් හා අධික පාරිභෝගික ඉල්ලුම නිසා ධෛර්යමත් වන සමාගම් දැනට සිටින සේවකයින්ට අතිකාල ගෙවමින් හා අලුත් සේවකයින් බඳවා ගනිමින් වැඩිපුර නිෂ්පාදනය කිරීමට පෙළඹේ. එවිට නිවාස ඒකක වල ආදායම් ඉහළ යාමෙන් ඉල්ලුම තවත් වැඩි වේ. විරැකියාව පහළ යද්දී උද්ධමනය ඉහළ යයි. ආර්ථිකය ශක්‍ය මට්ටමට වඩා වැඩියෙන් වර්ධනය වෙයි. බැලූ බැල්මට මෙය හොඳ තත්ත්වයක් මෙන් පෙනුණත් එක්තරා ආකාරයක තාවකාලික අසමතුලිතතාවයක් නිසා සිදුවන්නක් බැවින් ආර්ථිකය කොයි වෙලාවේ හෝ කඩා වැටී නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණේ. මෙවැනි ඕනෑවට වඩා වැඩි ආර්ථික වර්ධනයක් බොහෝ විට කෙළවර වන්නේ විශාල ආර්ථික අවපාතයකින් නිසා මේ තත්ත්වයද සැලකෙන්නේ වලක්වාගත යුතු තත්ත්වයක් ලෙසිනි.

කේන්ස් විසින් යෝජනා කළේ ව්‍යාපාර චක්‍ර වල හානිය අවම කර ගැනීමට රජය ආර්ථිකයට මැදිහත් විය යුතු බවයි. මේ අදහස ලොව පුරා දේශපාලනඥයින් විසින් ඉතා කැමැත්තෙන් වැළඳගත්තේය. අද වන විට ලෝකයේ හැම රටක්ම වාගේ අඩු වැඩි වශයෙන් මේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති පිළිපදී.

මේ අදහස අනුව, රටේ සමස්ත ඉල්ලුම විභව නිෂ්පාදනය ලෙස හැඳින්වෙන ආර්ථිකයේ සාමාන්‍ය නිෂ්පාදන ශක්‍යතා මට්ටමට වඩා පහළ ගිය විට රජය හෝ මහා බැංකුව මැදිහත් වී සමස්ත ඉල්ලුම වැඩි කර එය සමස්ත සැපයුම සමඟ ගැලපිය යුතුය. රජය විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති (fiscal policy) ලෙසත් මහ බැංකුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග මුදල් ප්‍රතිපත්ති (monetary policy) ලෙසත් හැඳින්වේ.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලට අයත් වන්නේ රජය විසින් සහනාධාර ආදිය හරහා නිවාස ඒකක වෙත කිසියම් අයුරකින් මුදල් සම්ප්‍රේෂණය කිරීම හා බදු අඩු කිරීමයි. එවිට, නිවාස ඒකක සතු අරමුදල් ඉහළ යන නිසා සමස්ත ඉල්ලුම වැඩි වනු ඇති බව අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, මෙය කරන විට රජයේ ආදායම් පහළ ගොස් වියදම් වැඩි වන නිසා අයවැය හිඟයක් ඇති වේ. ඒ නිසා, මෙය සමනය කර ගැනීමට ආර්ථික අවපාතය අවසන් වූ පසු පෙර මට්ටමටත් වඩා සහනාධාර කැපීමත්, බදු වැඩි කිරීමත් කරන්නට සිදු වේ. එසේ නොකළහොත් නැවත ආර්ථික අවපාතයක් ඇති වූ විට රජයට සම්පත් හිඟයකට මුහුණ දෙන්නට සිදු වේ.

මුදල් ප්‍රතිපත්ති වලට අයත් වන්නේ මහා බැංකුව විසින් රටේ මුදල් සැපයුම වැඩි කර නිවාස ඒකක සතු අරමුදල් ඉහළ යැවීමයි. මෙය ප්‍රධාන වශයෙන්ම කරන්නේ පොලී අනුපාතික පහළ දැමීම මඟිනි. තවත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගණනාවක් තිබේ. 

පොලී අනුපාතික පහළ ගිය විට ඉතිරිකිරීම් අධෛර්යමත් වන අතර ණය ගැනීම් ඉහළ යයි. ඒ නිසා, නිවාස ඒකක වල වැඩිපුර අරමුදල් රැඳේ. මේ හේතුවෙන් සමස්ත ඉල්ලුම වැඩි වී මිල මට්ටම් ඉහළ යයි. එවිට සමාගම් නැවතත් දිරිමත් වන නිසා නිෂ්පාදනය නැවත ඉහළ යයි. කෙසේ වුවද, නිෂ්පාදනය ශක්‍ය මට්ටමට පැමිණි විට මහ බැංකුව විසින් මෙම ක්‍රියාවලිය ආපසු හරවා එළියට දැමූ අමතර මුදල් ආපසු එකතු කර නොගතහොත් උද්ධමනය පාලනය කරගත නොහැකි තරමට ඉහළ යයි. මේ සඳහා පොලී අනුපාතික ඉහළ දමන්නට සිදුවේ.

ඉහතින් විස්තර කළ පරිදි ව්‍යාපාර චක්‍ර වල බලපෑම අඩු කිරීම සඳහා රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මඟින් කලයුත්තේ ප්‍රති චක්‍රයක් ක්‍රියාත්මක කිරීම වුවත් ප්‍රායෝගිකව රජයයන් හා මහ බැංකු විසින් වැඩිපුර උනන්දු වන්නේ චක්‍රයේ පළමු කොටස ක්‍රියාත්මක කිරීමට පමණි. එමෙන්ම ලංකාව වැනි රටවල රජයයන් විසින් නිවාස ඒකක වෙත මුදල් සම්ප්‍රේෂණය කරනවා වෙනුවට කරන්නේ රජය විසින්ම සෘජුව වියදම් කිරීමයි. ඇත්තටම එහිදී වෙන්නේත් රටේ කිසියම් නිවාස ඒකක ටිකකට මුදල් සම්ප්‍රේෂණය වීමකි. 

රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති චක්‍ර වල පළමු කොටස ආණ්ඩු වල ජනප්‍රියතාවයට හේතු වන නමුත් දෙවන කොටස එසේ නොවේ. ඒ නිසා, එළියට මුදල් දමන තරමට රජය හෝ මහබැංකුව විසින් මුදල් ආපසු ඇතුළට ගන්නේ නැත. මෙහි ප්‍රතිඵලය රජයේ අයවැය හිඟය දිගටම පැවතීමයි හා මුදල් සැපයුම එන්න එන්නම වැඩි වීමයි. දිගින් දිගටම පවතින අයවැය හිඟයක් අවසාන වශයෙන් පියවෙන්නේද මහබැංකුවේ මුදල් වලින් නිසා මෙවැනි තත්ත්වයක අවසාන ප්‍රතිඵලය උද්ධමනය දිගටම ඉහළ මට්ටමක පැවතීම හා විණිමය අනුපාතිකය එන්න එන්නම දුර්වල වීමයි. රුපියල ඩොලරයට සාපේක්ෂව හැම වසරකම වාගේ අවප්‍රමාණය වීමට මෙය ප්‍රධාන හේතුවකි.

(Image: https://www.slideshare.net)

Tuesday, August 1, 2017

ලාංකිකයින් වෛද්‍ය උපාධි ගන්නේ කුමන සරසවි වලින්ද?


සෑම වසරකම විදේශ උපාධිධාරී වෛද්‍යවරුන් විශාල පිරිසක් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර ලංකාවේ වෛද්‍ය වෘත්තියට ඇතුලත් වෙති. මේ සිසුන් අධ්‍යාපනය ලබන්නේ ගුණාත්මක භාවය අතින් කොතැනක ඇති සරසවි වලද? ඒ වෙනුවෙන්, ඔවුන් කොපමණ මුදලක් වැය කරවනවාද?

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දත්ත අනුව, 2005-2010 අතර ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කළ විදේශ උපාධිධාරීන්ගෙන් 61%ක්ම ඔවුන්ගේ වෛද්‍ය උපාධි ලබාගෙන තිබුණේ වෛද්‍ය පීඨ අටකිනි. මේ අටෙන් පහක්ම රුසියන් සරසවි වල වෛද්‍ය පීඨ වන අතර ඉතිරි තුන බංග්ලාදේශ, නේපාල් හා ඉන්දියානු සරසවි වලට අනුබද්ධ වෛද්‍ය පීඨයි.

පහතින් ඇත්තේ මෙසේ ශ්‍රී ලාංකික සිසුන් වැඩිම පිරිසක් වෛද්‍ය උපාධි ලබාගන්නා විදෙස් වෛද්‍ය පීඨ හා ඒ සඳහා වැය කරන මුදලයි. සරසවි ලැයිස්තුගත කර ඇත්තේ 2005-2010 අතර වැඩිම සිසුන් පිරිසක් වෛද්‍ය උපාධි ලබා ලංකාවට පැමිණි අනුපිළිවෙළ අනුවය.

1.  KURSK STATE MEDICAL UNIVERSITY (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 136 ( මුළු සිසුන් ගණනින් 12.6% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 51%
webometrics ශ්‍රේණිගත කිරීම- 10,016
4icu.org ශ්‍රේණිගත කිරීම- 6,492
වසර හයක වියදම- ඩොලර් 37,200 (මෙයට පාඨමාලා ගාස්තු, නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ඇතුළත්ය.)
මූලාශ්‍රය: http://www.kurskeducation.com/fees-structure

2. University of Science and Technology Chittagong (BANGLADESH)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 122 ( මුළු සිසුන් ගණනින් 11.3% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 47%
webometrics ශ්‍රේණිගත කිරීම- 10,359
4icu.org ශ්‍රේණිගත කිරීම- 5,722
වසර හයක වියදම- ඩොලර් 35,900 (පාඨමාලා ගාස්තු හා පීඨයට ගෙවන අනෙකුත් ගාස්තු පමණි. නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ආදිය ඇතුළත් නැත.)
මූලාශ්‍රය: http://ustc.virtualdesignbd.com/index.php/article/load/94

3.  Nizhny Novgorod STATE MEDICAL ACADEMY (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 96 ( මුළු සිසුන් ගණනින් 8.9% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 44%
webometrics ශ්‍රේණිගත කිරීම- 7,153
4icu.org ශ්‍රේණිගත කිරීම- 5,809
වසර හයක වියදම- ඩොලර් 37,620 (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ඇතුළත්ය.)
මූලාශ්‍රය: https://static.secure.website/wscfus/193394/5607696/mbbs-in-russia-nizhny-novgorod-state-medical-university.pdf

4. Manipal College of Medical Sciences (NEPAL)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 76 ( මුළු සිසුන් ගණනින් 7.0% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 71%
webometrics ශ්‍රේණිගත කිරීම-
15,862
4icu.org ශ්‍රේණිගත කිරීම- සොයාගත නොහැකි විය.  
වසර හයක වියදම- ඩොලර් 75,000 (පාඨමාලා ගාස්තු පමණි.)
මූලාශ්‍රය: https://www.manipal.edu.np/mcoms/admission/fee-structure.html

5.  People's Friendship University (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 66 ( මුළු සිසුන් ගණනින් 6.1% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 70%
webometrics ශ්‍රේණිගත කිරීම- 2,178
4icu.org ශ්‍රේණිගත කිරීම- 1,217
වසර හයක වියදම- ඩොලර් 54,300 (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ඇතුළත්යැයි සිතමි. පාඨමාලා ගාස්තු පමණක් ඩොලර් 47,400කි.)
මූලාශ්‍ර: http://www.ruseducation.in/peoples-friendship-university-of-russia.html, http://www.rudn.ru/en_new/?pagec=1362

6. Manipal University (INDIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 64 ( මුළු සිසුන් ගණනින් 5.9% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 58%
webometrics ශ්‍රේණිගත කිරීම- 1,681
4icu.org ශ්‍රේණිගත කිරීම- 1,654
වසර හයක වියදම- ඩොලර් 207,700 (පාඨමාලා ගාස්තු පමණි.)
මූලාශ්‍රය: https://manipal.edu/mu/admission/international-students/undergraduate-admissions0/course-fee.html

7. St. Petersburg State Medical University (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 51 ( මුළු සිසුන් ගණනින් 4.7% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 34%
webometrics ශ්‍රේණිගත කිරීම-  සොයාගත නොහැකි විය.
4icu.org ශ්‍රේණිගත කිරීම- සොයාගත නොහැකි විය.
වසර හයක වියදම- ඩොලර් 28,220 (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම්, වෛද්‍ය රක්ෂණ ගාස්තු හා තවත් අමතර ගාස්තු කිහිපයක් ඇතුළත්ය.)
මූලාශ්‍ර: http://www.medstudies.org/mechnikov/

8. Tver State Medical University (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 49 ( මුළු සිසුන් ගණනින් 4.5% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 35%
webometrics ශ්‍රේණිගත කිරීම-  12,969
4icu.org ශ්‍රේණිගත කිරීම- 4,838
වසර හයක වියදම- ඩොලර් 30,700 පමණ (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම්, වෛද්‍ය රක්ෂණ ගාස්තු හා තවත් අමතර ගාස්තු කිහිපයක් ඇතුළත්ය.)
මූලාශ්‍ර: http://www.medstudies.org/mechnikov/


(Image: http://gmfadmission.in/mbbs-in-abroad/)

Monday, July 31, 2017

ලාංකිකයින් වෛද්‍ය උපාධි ගන්නේ කුමන රටවලින්ද?

ලංකාවේ රජයේ සරසවි වල ප්‍රධාන වෛද්‍ය පීඨ අටෙන් එකකින් හෝ කොතලාවල වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ගන්නා අයෙකුට වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස ලියාපදිංචි වීම සාපේක්ෂව පහසු කටයුත්තකි. එහෙත්, විදේශ වෛද්‍ය උපාධියක් ගන්නා අයෙකු ඒ සඳහා පළමුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri Lanka Medical Council) විසින් පවත්වන විභාගයක් (ERPM- Examination for Registration to Practice Medicine) සමත් විය යුතුය. මෙය Act 16 Examination ලෙසද හැඳින්වුණේය.

ලෝකයේ පිළිගත් බටහිර වෛද්‍ය පීඨ වල උගන්වන න්‍යායාත්මක කරුණු වල විශාල වෙනස්කම් නැතත්, සාර්ථක ලෙස කිසියම් රටක වෛද්‍ය වෘත්තියේ යෙදීමට එම රටේ සෞඛ්‍ය සේවය පිළිබඳවත්, ලෙඩරෝග හා සංස්කෘතික කරුණු පිළිබඳවත් දැනුමක් වෛද්‍යවරයෙකුට අවශ්‍ය වේ. ඒ නිසා, බොහෝ විට කිසියම් රටක වෛද්‍ය උපාධියක් ලබාගත් අයෙකුට, වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය කොතරම් ඉහළ වුවත්, වෙනත් රටක වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කරන්නට අවසර ලැබෙන්නේ එම රටට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුවය.

ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බොහෝ දෙනෙකු මුදල් ගෙවා හෝ ඇතැම් විට ශිෂ්‍යත්ව මත විදෙස් වෛද්‍ය උපාධි ලබාගනිති. ඔවුන් අතරින් ලංකාවේ වෛද්‍ය වරයෙකු ලෙස ලියාපදිංචි විය හැක්කේ ඉහත විභාගය සමත් වන අයට පමණි.



ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංඛ්‍යාලේඛණ අනුව, 2005 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා වසර හයක කාලය තුළ විදෙස් වෛද්‍ය උපාධිධාරීන් 1078 දෙනෙකුට ඉහත විභාගයට පෙනී සිටීම අනුමත වී ඇති අතර ඔවුන්ගෙන් 1015 දෙනෙකු විභාගයට පෙනී සිට තිබේ. විභාගයට පෙනී සිටි අයගෙන් හරි අඩක් එනම් 508 දෙනෙකු විභාගය සමත් වී තිබේ.

අයදුම්කරුවන්ගෙන් 51%ක් පමණම උපාධි ලබා ඇත්තේ රුසියාවෙනි. තවත් 8%ක් පමණ පැරණි සෝවියට් දේශයේ අනෙකුත් රටවලින් වෛද්‍ය උපාධි ලබාගෙන ඇති අතර 33%ක් උපාධි ලබාගෙන ඇත්තේ ඉන්දියාවෙන්, පකිස්ථානයෙන්, බංග්ලා දේශයෙන් හා නේපාලයෙනි. බටහිර රටවලින් (එංගලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන්) වෛද්‍ය උපාධි ලබාගෙන ඇත්තේ 2.6%ක් පමණි. තවත්, 2.4%ක් අප්‍රිකානු හා මැදපෙරදිග රටවලින්ද, 2.3%ක් චීනයෙන්ද වෛද්‍ය උපාධි ලබාගෙන තිබේ.

ඉහත කාලය තුළ වසරකට විභාගයට පෙනී සිට ඇති සාමාන්‍ය ගණන 169 දෙනෙකු වුවත්, මේ වසරේදී (2017) මෙම විභාගයට 598 දෙනෙකු පෙනී සිට ඇත. මෙයින් පෙනෙන්නේ විදෙස් වෛද්‍ය උපාධි ලබා ලංකාවට ආපසු පැමිණෙන ගණන පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස වැඩි වී ඇති බවයි. විභාගය අසමත්ව නැවත පෙනී සිටින්නන් විශාල පිරිසක්ද මේ අතර සිටින බව සිතිය හැකිය.

උපාධිය ලබාගත් රට මෙම විභාගය සමත් වීමට ඇති හැකියාව පිළිබඳ නිර්ණායකයක් බව පෙනෙන්නට නැත.



Sunday, July 9, 2017

අධ්‍යාපන සේවා වෙළඳපොළ වඩා කාර්යක්ෂම කළ හැකිද?


පසුගිය ලිපියෙන් අපි වැඩිහිටි සිසුන් වෙනුවෙන් ඉංග්‍රීසි කතාව පුහුණු කිරීම සඳහා පන්ති පවත්වන වෙළඳපොළ ගැන කතා කළෙමු. මේ වෙළඳපොල නියාමනය නොවන්නකි. මෙහි පාරිභෝගිකයින් තමන්ගේ මුදල් හා කාලය ඇතුළු වෙනත් දේ කැප කරමින් ස්ව කැමැත්තෙන් ඉංග්‍රීසි කතාව ඉගෙන ගන්නා අයයි. ඔවුන් එසේ කරන්නේ ඒ වෙනුවෙන් තමන් දරන ආවස්ථික පිරිවැයට සරිලන ලාබයක් ඔවුන්ට ලැබෙන බැවිනි. එවැනි වාසියක් නැති අය ආවස්ථික පිරිවැයක් දරමින් ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට නොපෙළඹෙති.

මුදල් අයකර ඉංග්‍රීසි කතාව උගන්වන පන්තියක් පැවැත්වීමට නිශ්චිත අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැත. එහෙත්, මේ වෙළඳපොළේ ගුරුවරුන් ලෙස සිටින්නේ ඉංග්‍රීසි කතාව ඉගැන්වීමට නිපුණතාවයක් ඇති අයයි. එවැනි නිපුණතාවයක් නැති අය වෙළඳපොළ තුළ ස්වභාවිකවම ප්‍රතික්ෂේප වේ. රට පුරා ඉංග්‍රීසි කතාව උගන්වන පන්ති පැවැත්වෙන තැන්ද ස්වභාවික ලෙසම නිශ්චය වෙයි. එය සිදුවන්නේ පාරිභෝගික ඉල්ලුම අනුවය. ඇතැම් ගුරුවරු තමන්ගේ නගරයේ පමණක් පන්ති කරද්දී තවත් අය රටපුරා නගර ගණනක පන්ති කරති.

රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට උවමනාවක් නැත. මේ අයගෙන් කොටසක් පවුල් පසුබිම හෝ වෙනත් හේතුවක් නිසා ඉංග්‍රීසි කොහොමටත් කතා කළ හැකි අයයි. තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙනීමට යොමු නොවන්නේ ඒ සඳහා වැය කළ යුතු ආවස්ථික පිරිවැය එයින් ලැබෙන වාසි වලට වඩා අඩු බැවිනි. ආවස්ථික පිරිවැය අඩුනම් තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගන්නට යොමු වනු ඇත.

මෙවැනි අවස්ථාවක ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගැනීමට රටේ සියලු දෙනාටම ඉඩප්‍රස්ථා සැලසීම සඳහා රජයක් මැදිහත් වන්නට ඉඩ තිබේ. මෙහිදී, රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට කැමැත්තෙන් සිටින බොහෝ දෙනෙකුට ඒ සඳහා ඉඩප්‍රස්ථා නැති බැවින් නිදහස් වෙළඳපොළ තුළ සිදුවන "වැරැද්ද" හරි ගස්වා සමාජ සාධාරණත්වය ඇති කරන්නට තමන් දන්නා බව රජය සිතයි. දැන් මේ වෙළඳපොළෙහි සිදු වන්නේ කුමක්ද?

පළමුව රජයට මේ කටයුත්ත කිරීමට අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් ඇති කර නිලධාරීන් පිරිසක් පත් කරන්නට සිදු වේ. අදාළ අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව සඳහා වෙනත් සම්පත්ද සම්පාදනය කර ගත යුතුය. ඉන්පසුව අවශ්‍ය ගුරුවරුන් බඳවා ගන්නට සිදුවේ. මෙය කරන්නට සිදු වන්නේ අධ්‍යාපන සුදුසුකම් හා කිසියම් තරඟ විභාගයක ප්‍රතිඵල වැනි දෙයක් දෙස බලමිනි. අවසාන වශයෙන් රජයට අවශ්‍ය සියලු දෙනාටම "නොමිලේ" ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට ඉඩප්‍රස්ථා සැලැස්වීමට හැකි වේ.

ඉහත කටයුතු සියල්ල සඳහා සැලකිය යුතු පිරිවැයක් දරන්නට රජයට සිදුවේ. ඒ සඳහා අරමුදල් අවශ්‍ය වෙයි. ලංකාවේ ක්‍රමයට සාමාන්‍යයෙන් රජය විසින් මේ අරමුදල් එකතු කර ගන්නේ වක්‍ර බදු හරහාය. වක්‍ර බදු ඉහළ යන විට රටේ ජනතාවට සිය පරිභෝජනය සීමා කරන්නට සිදු වේ. ඒ අනුව, නොමිලේ ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට ලැබීමේ ඉඩප්‍රස්ථාව සඳහා රටේ සියලුම අයට සිය පරිභෝජනයෙන් කොටසක් කැප කරන්නට සිදු වේ.

දැන් මේ "නොමිලේ" පැවැත්වෙන පන්ති වලින් යහපතක් සැලසෙන්නේ කාටද?

කලින් මුදල් ගෙවා ඉංග්‍රීසි ඉගෙනගත් අයට දැන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට පුළුවන. ඒ අයට කලින් මුදල් ගෙවීමෙන් පසුවද වාසියක් තිබුණේය. දැන් ඔවුන් ලබන වාසිය වැඩි වී තිබේ. එහෙත්, ඒ අතරම කලින් නොතිබුණු පිරිවැයක්ද දැන් ඔවුන්ට දරන්නට සිදු වේ. මෙහි ශුද්ධ ප්‍රතිඵලය කිසියම් වාසියක් විය හැකිය.

කලින් රැකියා නොතිබුණු පිරිසකට දැන් රැකියා ලැබී තිබෙනවා විය හැකිය. ඔවුන්ටද වාසියක් සිදු වී තිබේ. එය ඔවුන් ගෙවන අමතර බදු මුදලට වඩා වැඩි විය යුතුය.

කලින් මුදල් නොමැතිකම නිසා ඉංග්‍රීසි පන්ති යන්නට නොසිතූ පිරිසකට දැන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. ඔවුන්ගෙන් කොටසකට මේ දැනුම හේතුවෙන් රැකියා ලැබෙන්නටද ඉඩ තිබේ. එය වාසියකි.

කෙසේ වුවද, "නොමිලේ" ලැබෙන නිසා බොහෝ දෙනෙක් ඉංග්‍රීසි කතාව ඉගෙන ගත්තත් ඒ සියල්ලන්ටම ඒ හේතුව නිසා රැකියා ලැබෙන්නේ නැත. ඔවුන්ට අවසාන වශයෙන් තමන් ගෙවූ බදු වලට සරිලන තරමේ වාසියක් නොලැබේ.

කලින් ටියුෂන් කළ ගුරුවරුන්ට දැන් ඉල්ලුමක් නැත. ඔවුන්ගෙන් ඇතැමෙක්ට රජයේ රැකියා ලැබී තිබෙන්නට ඉඩ ඇතත් එයින් ලැබෙන වේතනය පෙර ලැබූ ආදායමට වඩා අඩු විය හැකිය. මේ අයට ගෙවන්නට සිදුවන අමතර බදු හා අහිමි වූ ටියුෂන් ආදායම ලෙස අවාසි වර්ග දෙකකි.

ඉංග්‍රීසි පන්ති නොමිලේ පැවැත්වුනද ඉංග්‍රීසි ඉගෙනීම සඳහා ගත කළ යුතු කාලය ඇතුළු වෙනත් ආවස්ථික පිරිවැය නැති වන්නේ නැත. ඒ නිසා, රටේ බොහෝ දෙනෙකු තව දුරටත් මේ ඉංග්‍රීසි පන්ති වලට සහභාගී වන්නේ නැත. එහෙත්, ඒ අයටද බදු බරට කර ගහන්නට වේ. මෙය ඔවුන්ට සිදුවන අවාසියකි.

අවසාන වශයෙන් රජයේ මැදිහත්වීම නිසා සුළු පිරිසකට වාසියක් සැලසෙන නමුත් විශාල පිරිසකට සිදුවන්නේ අවාසියක් නිසා ශුද්ධ ලෙස සිදු වන්නේ සමාජ අතිරික්තය අඩු වීමකි.

නිදහස් වෙළඳපොළකට වෙනස් වන තත්වයන් හමුවේ හැඩගැසී අකාර්යක්ෂමතාවයන් ඉවත් කිරීමට ඇති හැකියාව සමඟ රජයකට අලගු තියන්නටවත් නුපුළුවන. ප්‍රවාහන ගාස්තු හා ප්‍රවාහනය සඳහා ගත වන කාලය මේ වෙළපොලෙහි කාර්යක්ෂමතාවයට බලපාන ස්වභාවික බාධාවකි. මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කර වෙළඳපොල යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්නේ තාක්ෂනය විසිනි. ස්කයිප් හරහා පැවැත්වෙන ඉංග්‍රීසි ටියුෂන් පන්ති වලින් පෙන්වන්නේ නිදහස් වෙළඳපොළකට මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කිරීමට ඇති ස්වභාවික හැකියාවයි.


නියාමනයක් නැති, අධ්‍යාපනය විකුණන වෙළඳපොලක පවතින තවත් ස්වභාවික බාධාවක් වන්නේ නිෂ්පාදකයා (ගුරුවරයා) හා පාරිභෝගිකයා (ශිෂ්‍යයා) අතර ඇති තොරතුරු අසමමිතියයි. තමන් මුදල් ගෙවා ලබා ගන්නා භාණ්ඩයේ ගුණාත්මක භාවය ගැන ශිෂ්‍යයා දැනගන්නේ මුදල් ගෙවීමෙන් පසුවය. ඒ වන විට භාණ්ඩය පරිභෝජනය කර අවසන් නිසා එය ආපසු දීමේ හැකියාවක් ශිෂ්‍යයා සතුව නැත. "පළමු දිනය නොමිලේ" ඉගෙන ගන්නට ලැබීම මෙයට විසඳුමක් ලෙස ස්වභාවිකව බිහි වී ඇති විසඳුමකි.


රජයක් කිසියම් හේතුවක් නිසා නිදහස් වෙළඳපොළක් නියාමනය කිරීමට යොමු වන්නේනම් එසේ කළ යුත්තේ නිදහස් වෙළඳපොල ක්‍රියාකාරීත්වයට ඉඩ නොසලසන ස්වභාවික බාධාවන් ඇත්නම් ඒවා හඳුනාගෙන ඉවත් කිරීම සඳහා මිස නැති අකාර්යක්ෂමතාවයන් ඇති කිරීම සඳහා නොවේ.

Friday, June 30, 2017

අධ්‍යාපනය විකිණීම වැරදිද?


ඇතැම් අය සිතා සිටින්නේ අධ්‍යාපනය යනු මිල කළ නොහැකි, විකිණිය නොයුතු, හා කිසියම් පිරිසක් (රජය) විසින් මධ්‍යගතව සැලසුම් කළ යුතු, වෙනත් භාණ්ඩ හා සේවා වලට වඩා වෙනස් දෙයක් බවයි. එසේ සිතන අයට කිසිදු සැලසුම්කරුවෙකු නැතිව අධ්‍යාපන සේවා වෙළදපොලක් කාර්යක්ෂමව පැවතිය හැකි බව සිතාගන්නට නොහැකිය. ඒ නිසා ඔවුහු අධ්‍යාපන සේවා සැපයීම "හරියට" සැලසුම් කිරීම සඳහා රජයට කැමැත්තෙන්ම මුදල් ගෙවති. ඉන් පසුව, තමන් අපේක්ෂා කළ අරමුණ ඉටු නොවන විට සැලසුම්කරුට චෝදනා කරති. 

එහෙත්, වැරැද්ද බොහෝ විට තිබෙන්නේ සැලසුමේ හෝ සැලසුම්කරුගේ නොව අධ්‍යපනය "හරියට" සැලසුම් කරන්නට යන ආකෘතියේ බව තේරුම් නොගනිති. අධ්‍යාපන සේවා සැපයීම මධ්‍යගතව සැලසුම් නොකර එය කාර්යක්ෂමව සිදු විය නොහැකි බවට වන අදහස කෙතරම් ජනගතව ඇත්දැයි විමසූ විට පෙනෙන්නේ කාලයක් තිස්සේ සැලසුම් සහගත ලෙස වැරදි න්‍යායයන් ප්‍රචලිත කිරීම සඳහා ගැනුණු සංවිධානාත්මක උත්සාහයන් හේතුවෙන් සිදුවී ඇති බලපෑමේ තරමයි.

අඩු වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධ වන ඕනෑම ක්‍රියාවලියක් තුළ මිල සාධකය තිබේ. එය පැහැදිලිව පෙනෙන්නට නැත්නම් සැඟවී තිබේ.

ගුරුවරයෙකු විසින් සිසුවෙකුට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය එහි මූලික ලක්ෂණ අනුව වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොලෙහි විකිණීමේ අවස්ථාවකින් කිසිසේත්ම වෙනස් නොවේ. මෙහිදී ගුරුවරයා නිෂ්පාදකයාය. ඔහු පිරිවැයක් දරමින් අධ්‍යාපන සේවා නිෂ්පාදනය කරයි. සිසුවා වැඩිහිටියෙක්නම් ඔහු පාරිභෝගිකයාය. වැඩිහිටියෙක් නොවේනම් පාරිභෝගිකයා ඔහුගේ මව, පියා හෝ වෙනත් වැඩිහිටි භාරකරුවෙකු විය හැක.

දෙදෙනෙකු අතර ස්වේච්ඡා ගනුදෙනුවක් සිදුවන සෑම විටකම පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද සතුටු වෙති. දෙදෙනාටම වාසිද සැලසේ. නිෂ්පාදකයාට ලාභ ආන්තිකයක් ලැබෙන අතර පාරිභෝගිකයාට පාරිභෝගික අතිරික්තයක් හිමි වේ. අපි ගනුදෙනු කිහිපයකදී මෙය සිදුවන ආකාරය විමසා බලමු.

ආරම්භයක් ලෙස අපි පහත උදාහරණය දෙස බලමු.

වැඩිහිටි සිසුවෙකු ඉංග්‍රීසි කතාකිරීම ඉගෙන ගැනීමට පෞද්ගලික පන්තියකට යයි. මේ අවස්ථාවේදී, සිසුවා ගුරුවරයාට කිසියම් නිශ්චිත මුදලක් ගෙවයි. ගුරුවරයා එම මුදල ලබාගෙන සිසුවාට ඉංග්‍රීසි උගන්වයි. දැනට මේ සරල උදාහරණය ගන්නේ වඩා සංකීර්ණ උදාහරණ වෙත පසුව යන්නට ප්‍රවේශයක් වශයෙනි.

මෙහි සිසුවා පාරිභෝගිකයාය. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගැනීම වෙනුවෙන් පිරිවැයක් දරයි. ඔහු ගුරුවරයාට ගෙවන මුදල මේ පිරිවැයෙහි කොටසකි. එහෙත්, එම මුදල ඔහුගේ මුළු පිරිවැය නොවේ. පන්තියට යාමට ඔහුට වැය වන බස් ගාස්තුද එහි කොටසකි. පාඨමාලාවට අදාළ පොත් හා ලිපි ද්‍රව්‍ය වෙනුවෙන් තවත් මුදලක් වැය වේ. ගුරුවරයාට ගෙවන මුදලට අමතරව සිසුවා විසින් මේ වියදම්ද දැරිය යුතුය. මේ සියල්ලේ එකතුවද ඔහුගේ මුළු පිරිවැය නොවේ. අතින් මුදලක් නොගියත්, පන්තියට සහභාගී වීමට හා ගෙදරදී අභ්‍යාස කිරීමට ගතවන කාලයද ඔහුගේ ආවස්ථික පිරිවැයේ කොටසකි. එම කාලය තුළ ඔහුට වෙනත් යමක් කර කිසියම් මුදලක් ඉපැයීමේ ඉඩක් ඇත්නම් එයද පිරිවැයට එකතු විය යුතුය. ඒ කාලය තුළ ටෙලිනාට්‍යයක් බලන්නට තිබුණු අවස්ථාව මඟ හැරීමද එහිම කොටසකි. ඒ නිසා ඇති වන අසතුට කිසියම් නිශ්චිත මුදලක් නැති වූ විට ඇතිවන අසතුටට සමාන කළ හැකිය.

මේ සියලු පිරිවැය දරාගෙන සිසුවා ඉංග්‍රීසි ඉගෙන ගන්නේ එයින් ඔහුට ලැබෙන ලාභය වැය කරන පිරිවැයට වඩා වැඩි බැවිනි. ඉංග්‍රීසි කතා කරන්නට පුළුවන් වූ විට වඩා හොඳ රැකියාවක් කරන්නට ඉඩ සැලසේ. එවිට ආදායම ඉහළ යයි. මෙය ජීවිත කාලය පුරාවට දිගටම, එසේ නැත්නම් විශ්‍රාම යන තුරු ලැබෙන සෘජු මුදල් වාසියකි. ඊට අමතරව ඉංග්‍රීසි කතා කළ හැකි වූ විට සමාජයේ තැනක් ලැබේ. මේ හේතුවෙන් මුදල් නොලැබුනත් එමඟින් ලැබෙන සතුට කිසියම් මුදලකට සමාන කළ හැකිය.

ඉහතින් විස්තර කළ වාසි හා අවාසි සිසුවාගෙන් සිසුවාට වෙනස් වේ. අයෙකුගේ වාසි අවාසි වලට වඩා වැඩිය. ඔහු පන්තියට යයි. තවත් අයෙකුගේ වාසි වලට වඩා අවාසි වැඩිය. ඔහු පන්තියට නොයයි. අයෙකුගේ වාසි හා අවාසි සමානය. ඔහුට ගියත් එකයි නැතත් එකයි වගේය. ඒ නිසා යන්නත් පුළුවන. නොයන්නත් පුළුවන.

දැන් පන්ති ගාස්තු වැඩි වුනොත් වෙන්නේ කුමක්ද? සියලුම පාරිභෝගිකයින්ගේ එනම් ඉංග්‍රීසි කතා කරන්නට කැමැත්තෙන් සිටි අයගේ වියදම් කොටස ඉහළ යයි. වාසි කොටසේ වෙනසක් නොවේ. ඒ නිසා කලින් ශුද්ධ වාසියක් තිබුණු ඇතැම් අයට දැන් ශුද්ධ අවාසියක් සිදු වේ. ඒ නිසා පන්තියට එන සිසුන් ගණන අඩු වේ. මේ අයුරින්ම, පන්ති ගාස්තු අඩුවන විට පැමිණෙන සිසුන් ගණන වැඩි වේ.

පන්ති ගාස්තු වෙනස් නොවී බස් ගාස්තු වැඩි වූ විටද මේ අයුරින්ම පන්තියට ඇති ඉල්ලුම අඩු වේ. එහෙත් එහි බලපෑම පෙර මෙන් සියලු සිසුන්ට එකසේ ඇති එකක් නොවේ. මේ වෙලාවේ පන්තියට ආසන්නව සිටින, පයින් හෝ බයිසිකලයකින් එන සිසුන් පන්තියෙන් හැලෙන්නේ නැත. ඒ වෙනුවට පන්තියට වඩා දුරින් සිටින සිසුන් පිරිසක් හැලේ.

දැන් අපි මෙහි නිෂ්පාදකයා වන ගුරුවරයාගේ පැත්ත බලමු. පන්තිය වෙනුවෙන් ඔහුට තැනක් කුලියට ගන්නට සිදු වේ. ඒ සඳහා ඔහු මුදලක් ගෙවිය යුතුය. එහි පැමිණෙන්නට ප්‍රවාහන වියදම්ද දැරිය යුතුය. උගන්වන්නට සහ ඒ සඳහා සූදානම් වීමට ඔහු වැය කරන්නේ ඔහුට වෙනත් දෙයක් සඳහා වැය කළ හැකි කාලයයි. ඔහු ඉංග්‍රීසි පන්තිය කරන්නේ පන්ති ගාස්තු ලෙස එකතුවන මුදලින් මේ සියලු වියදම් පියවී ලාබයක් ඇත්තේනම් පමණි.

ගුරුවරයාට සිය ලාබ වැඩි කර ගැනීමට පන්ති ගාස්තු ඉහළ දැමිය හැකි වුවත් එය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ගාස්තු ඕනෑවට වඩා වැඩි කළොත්, එක් සිසුවෙකුගෙන් ලැබෙන මුදල ඉහළ ගියත් පැමිණෙන සිසුන් ගණන අඩු වීම නිසා ලැබෙන ආදායම පහළ යන්නට පුළුවන. බස් ගාස්තු ඉහළ ගිය විට ඇතැම් සිසුන් පන්තියෙන් ගිලිහෙන්නට පුළුවන. කෙසේවුවද, ඈතක තිබූ වෙනත් පන්තියකට ගිය සිසුන් මේ පන්තියට එන්නට වුවද ඉඩ තිබේ. එසේ වුවහොත් ඉල්ලුම ඉහළ යයි.

දැන් මේ පන්තියේ පන්ති ගාස්තු තීරණය වන්නේ එහි පැමිණෙන හෝ නොපැමිණෙන එක් එක් සිසුවාගේ අපේක්ෂිත වාසි හා ආවස්ථික පිරිවැය මෙන්ම ගුරුවරයාගේ ආවස්ථික පිරිවැයද මතය. මේ එක් දෙයක් හෝ වෙනස් වීමෙන් පන්ති ගාස්තු වෙනස් විය හැකිය. ඒ හැම විටකම සිදු වන්නේ සියලු දෙනාටම සතුටු විය හැකි ප්‍රසස්ථ මට්ටමකට මිල ස්වභාවිකවම වෙනස් වීමයි. එය ගුරුවරයා විසින් වෙනස් කරන බව පෙනෙන්නට තිබුණත් ඇත්තටම එය සමස්ත පද්ධතියේම අන්තර් සම්බන්ධතා මත සිදුවන්නකි.

වැඩිහිටි සිසුන්ට ඉංග්‍රීසි කතා කිරීම උගන්වන පංති කිසිවකුගේ නියාමනයකට ලක් නොවන නිසා මධ්‍යගත සැලසුම්කරුවෙකු නැතුවම මේ වෙලදපොල කාර්යක්ෂමව පවතී. ඒ කාර්යක්ෂමතාවය පවත්වා ගැනෙන්නේ මිල සාධකය හරහාය. කාමර කුලී වැඩි වන විට ගුරුවරුන්ගේ ලාභ අඩු වේ. එවිට, පන්ති ගාස්තු වැඩි කරන්නට සිදු වේ. පන්ති ගාස්තු වැඩි වන විට සිසුන්ගෙන් කොටසක් හැලේ. එවිට, දක්ෂ ගුරුවරයෙකුට වෙළඳපොළේ තවදුරටත් රැඳී සිටිය හැකි වුවත් සාපේක්ෂව අදක්ෂ ගුරුවරයෙකුට (වඩා අකාර්යක්ෂම නිෂ්පාදකයෙකුට) ප්‍රමාණවත් සිසුන් පිරිසක් නැති නිසා පන්තිය පවත්වාගෙන යාම අසීරු වේ. මිල සාධකය හරහා අදක්ෂ ගුරුවරුන් ස්වභාවිකම වෙළඳපොලෙන් ඉවත් කරයි. දක්ෂ ගුරුවරුන් ඉතුරු කරයි. මෙය කරන්නට රජයේ අමාත්‍යංශයක මහජන මුලින් යැපෙන නිලධාරීන් පිරිසක් බදු මුදලින් නඩත්තු කිරීමට අවශ්‍ය නැත.

කිසියම් නගරයක පන්තියක් කරන දක්ෂ ගුරුවරයෙකුට විශාල සිසුන් පිරිසක් ආකර්ශනය වෙයි.  ලාභ ඉහළ යයි. මෙය දකින තවත් අයට ඉංග්‍රීසි පන්ති පටන් ගන්නට හිතේ. නගරයේ දෙවන ඉංග්‍රීසි පන්තියක් ඇරඹේ. මේ ගුරුවරයා පළමු ගුරුවරයා තරම් දක්ෂ නැතත් පන්තියේ තදබදය අඩුය. ගුරුවරයා සමඟ පෞද්ගලිකව කතා කරන්නට වැඩි ඉඩක් ලැබේ.

දැන් සිසුන්ට තෝරා ගැනීමක් තිබේ. පළමු ගුරුවරයා ගුරුවරයෙකු ලෙස වඩා සාර්ථක වුවත් සිසුන් සිය ගණනක් සිටින පන්තියකට වඩා අඩු සිසුන් ගණනක් සිටින පන්තියකට කැමති සිසුන් දෙවන ගුරුවරයා වෙත යයි. පන්තියේ ප්‍රමාණය ප්‍රශ්නයක් ලෙස නොසිතන අය පළමු ගුරුවරයා ලෙස රැඳේ. සිසුන් වඩා කැමති කුඩා පන්තියකටද නැත්නම් ලොකු පන්තිකටද කියා පරීක්ෂා කර අදාළ පන්තියට සිසුන් යොමු කිරීම සඳහා බදු මුදලින් යැපෙන නිලධාරියෙකු අවශ්‍ය නැත.

අලුත් ආයතනයකට ඉංග්‍රීසි උගත් පිරිස් අවශ්‍ය වී රැකියා අවස්ථා වැඩි වන විට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ඇති වාසි වැඩි වේ. එවිට ඉංග්‍රීසි ඉගෙන ගන්නට ඇති ඉල්ලුම වැඩි වේ. රජයේ නිලධාරියෙකු සමීක්ෂණයක් කර මේ බව දැනගෙන අලුත් ඉංග්‍රීසි පන්තියක් පටන් ගත යුතු බව ඇමතිවරයාට යෝජනා කරන්නට අවශ්‍ය නැත. ඉල්ලුම වැඩි වන විට ස්වභාවිකවම අලුතින් ඉංග්‍රීසි පන්ති ඇති වේ. එය සිදු වන්නේ මිනිසුන්ට ස්වභාවිකමව ඇති ලාභ ලැබීමේ ආශාව තුලිනි. රජය විසින් බාධා නොකරන තාක් කල් සිසුන්ගේ අවශ්‍යතා වලට සරිලන තරමේ අධ්‍යාපනයක් ස්වභාවික ලෙසම ඔවුන්ට ලැබේ. නියාමකයෙකු නැතත් වෙළඳපොළ යාන්ත්‍රනය විසින් වෙළඳපොල නියාමනය කරයි.

අදක්ෂ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්නා සිසුවෙකුට කලක් පන්ති ගියත් හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැක. දක්ෂ ගුරුවරයාගේ පන්තියට යන අයට ඉතා ඉක්මනින් ඉංග්‍රීසි ප්‍රවීණතාවය ලැබේ. රැකියා සඳහා වන සම්මුඛ පරීක්ෂණයේදී වැඩි වශයෙන් තේරෙන්නේ දක්ෂ ගුරුවරයාගේ පන්තියේ අයයි. ඒ නිසා ඒ පන්තියට ස්වභාවික ලෙසම ඉල්ලුම වැඩි වේ. අදක්ෂ ගුරුවරයාගේ පන්තියට ඉල්ලුම අඩු වේ. ප්‍රමාණවත් සිසුන් ගණනක් නැති නිසා ඔහුගේ වියදම නොපියවේ. ඒ නිසා ඒ පන්තිය වැසී යයි. මෙසේ වැසී යන්නේ ගුණාත්මක භාවයෙන් අඩු සේවාවක් සපයන ගුරුවරයාගේ පන්තියයි.

කෙසේවුවද, වැසී ගිය පන්තියේ ගුරුවරයාට අනෙක් ගුරුවරයාට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් තිබෙන්නට පුළුවන. ගුරුවරයෙකුගේ අධ්‍යාපන සුදුසුකම් වලින් ඔහු ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැන ඉඟි කරන නමුත් හැමවිටම වැඩි අධ්‍යාපන සුදුසුකම් වලින් වැඩි ගුණාත්මක භාවයක් අදහස් කෙරෙන්නේ නැත. නියාමනයක් නැති වෙළඳපොළ යාන්ත්‍රණය තුල ගුණාත්මක භාවයෙන් වැඩි අධ්‍යපනයක් ලබා දෙන ගුරුවරුන් ඉතිරි වී එසේ නොකරන අය ස්වභාවිකවම ඉවත් වේ. ගුණාත්මක භාවය එක් එක් (වැඩිහිටි) සිසුවා හෙවත් මුදල් ගෙවන පාරිභෝගිකයා විසින් තීරණය කරන්නක් මිස සියලු දෙනා පොදුවේ එකඟ වන දෙයක් නොවේ. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැනි දෙයක් සම්බන්ධව සියලු දෙනාට පොදුවේ එකඟ වීම අසීරුය. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා වෙනස් නිසා ගුණාත්මක භාවය පිළිබඳ සියලු දෙනාටම පොදු නිර්ණායක නැත.

එහෙත් මධ්‍යගත සැලසුම්කරුවෙකු ලෙස ක්‍රියාකරන රජයේ නිලධාරියෙකුට ප්‍රායෝගිකව සියලු සිසුන්ගෙන් ඔවුන් අපේක්ෂා කරන ගුණාත්මක භාවය කුමක්ද කියා විමසීමේ හැකියාවක් නැත. එසේ විමසුවද එය කාලය සමඟ නොවෙනස්ව තිබෙන දෙයක් නොවේ. ඒ නිසා ඔහුට කළ හැක්කේ අධ්‍යාපන සුදුසුකම් වැනි ගුණාත්මක භාවය ගැන ඉඟි කරන කිසියම් නිර්ණායකයක් යොදාගැනීමටය. මේ නිලධාරියා අපක්ෂපාතී හා අවංක (පගාවට වැඩ නොකරන) එමෙන්ම මහන්සි වී වැඩ කරන (කාලය අපතේ නොයවන) නිලධාරියෙක් වන්නට පුළුවන. එසේ වූ පමණින් ඔහු කාර්යක්ෂම නිලධාරියෙක් වන්නේ නැත. බදු මුදල් වැය කරමින් ඔහු මහන්සි වන්නේ වෙළදපොළ යාන්ත්‍රණයට ස්වභාවික ලෙසම කළ හැකි දෙයක් "වඩා හොඳින්" කරන්නටය.

තනි පුද්ගලයෙකු වන රජයේ නිලධාරියෙකු (හෝ කණ්ඩායමක්) කොයි තරම් දක්ෂ සැලසුම්කරුවෙකු (හෝ සැලසුම්කරුවන්) වුවත් ඔහුට (ඔවුන්ට) එය කළ නොහැකිය. ලක්ෂ ගණනක් සිතන පතන ආකාරය පිළිබඳ දත්ත හා ඒ සිතන ආකාරය අනාගතයේ වෙනස්වන ආකාරය නිවැරදිව පුරෝකථනය කළ හැකි ආකෘති ඔහු සතුව නැත. ඒ නිසා, ඔහුට සැලසුම් හදන්නට වෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ලෙස ඔහු අදහස් කරන දෙය මත පදනම්වය. මෙය රටේ සිසුන් හා ගුරුවරුන් බොහෝ දෙනෙක් ගුණාත්මක භාවය ලෙස දකින දෙයම නොවේ. ඔහුට වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙකු ගුරු තනතුරකට තෝරා ගත හැකි වුවත්, වැඩි ඉගෙන්වීමේ හැකියාවක් ඇති අයෙකු තෝරා ගැනීම අසීරුය.

දැන් අපි අවසානයට කතා කළ නගරයට නැවත ගියහොත් ඒ නගරයේදී වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති එහෙත් අදක්ෂ ගුරුවරයාගේ පන්තිය වැසී ගොස් අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති දක්ෂ ගුරුවරයාගේ පන්තිය ඉතිරි විය. මේ හේතුවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩුවන බව රජය විසින් හඳුනා ගන්නට පුළුවන. එයට පිළියමක් ලෙස රජය විසින් ඉංග්‍රීසි කතා කිරීම උගන්වන ගුරුවරුන් සඳහා අවශ්‍ය වන මූලික අධ්‍යාපන සුදුසුකම් නියම කරන්නට පුළුවන. එසේ කළ විට, දක්ෂ ගුරුවරයාට ඉංග්‍රීසි පන්ති කිරීමේ හැකියාව නැති වේ.

දැන් දක්ෂ ගුරුවරයා නැති නිසා අදක්ෂ ගුරුවරයාට සිසුන් පිරිසක් සිටී. ඒ නිසා, ඔහුට පන්තිය පවත්වාගෙන යා හැකිය. පන්තියට පැමිණෙන සිසුන් අතරින් ඉගෙන ගැනීමේ දක්ෂතාවය වැඩි සිසුහු ගුරුවරයා අදක්ෂ වුවත් කෙසේ හෝ ඉගෙන ගනිති. එහෙත් අදක්ෂ සිසුන්ට අනෙක් ගුරුවරයා මෙන් "ඉංග්‍රීසි පෙවීමේ" හැකියාවක් ඔහුට නැත. ඒ නිසා අන්තිමේදී පන්තියේ ඉතිරි වන්නේ සාපේක්ෂව දක්ෂ සිසුන් පමණි. රජයේ නියාමනය හේතුවෙන් අනෙක් සිසුන්ට ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගැනීමට තිබුණු අවස්ථාව නැති වේ.

අලුතින් ඇරඹුණු ආයතනයට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි කතා කිරීමට මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදනයට අදාළ වෙනත් කුසලතාවයක් හෝ ගුණාංගයක් (උදාහරණයක් ලෙස වඩු කර්මාන්තය පිළිබඳ දක්ෂතාවය හෝ උස අඩි හයක් වීම) ඇති අයයි. ඉංග්‍රීසි උගත් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට එන විට ඒ අය අතරින් තමන්ට අවශ්‍ය අනෙක් කුසලතාවන් ඇති අය ප්‍රමාණවත් පිරිසක් හඳුනා ගන්නට ආයතනයට හැකි වුවත් දැන් එන ඉංග්‍රීසි කතා කළ හැකි සීමිත පිරිස අතර ඒ කුසලතාව ඇති අය නැත. ඒ නිසා, ඉංග්‍රීසි කතා කළ හැකි වුවත් මේ අයට රැකියා නොලැබේ. රැකියා නොලැබෙන නිසා ඉංග්‍රීසි පංතියට ඇති ඉල්ලුමද අඩු වී එය පවත්වා ගැනීම අසීරු වී වැසී යයි. අවශ්‍ය සේවකයින් සොයාගත නොහැකි නිසා අලුතින් ඇරැඹු ආයතනයද උපන්ගෙයිම මිය යයි.

කිසියම් නගරයක කොයි තරම් දක්ෂ ගුරුවරයෙකුගේ ඉංග්‍රීසි පන්තියක් තිබුනත් ඒ පන්තියට රටේම සිටින සිසුන් පැමිණෙන්නේ නැත. ඒ ප්‍රවාහනය සඳහා වැය වන මුදලේ හා කාලයේ ආවස්ථික පිරිවැය පන්තියට ඇති දුර සමඟ වැඩි වන බැවිනි. නියාමනයක් නැති වෙළදපොළ යාන්ත්‍රණයට මේ ප්‍රශ්නයටද විසඳුම් තිබේ. සිසුන්ගේ ප්‍රවාහන වියදම වැඩි වන විට සිසුන් ගුරුවරයා වෙත යනු වෙනුවට ගුරුවරයා සිසුන් වෙත යයි. දක්ෂ ඉංග්‍රීසි ගුරුවරුන් නගර ගණනක පන්ති කරන්නේ ඒ නිසාය.

ගුරුවරයෙකුට වෙනත් නගරයකට ගොස් පන්තියක් කිරීමට වැඩි ආවස්ථික පිරිවැයක් දරන්නට සිදු වේ. එක පැත්තකින් ප්‍රවාහන වියදම්ය. අනෙක් පැත්තෙන් ප්‍රවාහනය වෙනුවෙන් ගත වන කාලය තුළ තමන් සිටින නගරයේ තවත් පන්තියක් කිරීමට ඇති අවස්ථාවයි. මේ නිසා ගුරුවරයකු වෙනත් නගරයක පන්ති කරන්නේ විශාල ඉල්ලුමක් ඇත්නම් පමණි. ඒ නගරයේම සිටින ගුරුවරයෙකුට සංසන්දනාත්මක වාසියක් ඇති නිසා සිසුන් ගණන අඩු වුවත් පන්තියක් පවත්වාගෙන යන්නට පුළුවන.

ඉහත පැහැදිලි කිරීම අනුව ගුරුවරයෙකුට වැඩිපුර සිසුන් සිටීම යනු හැමවිටම වැඩිපුර ලාබ තිබීම නොවේ. අඩු සිසුන් ගණනක් සිටින ගමේ ගුරුවරයාගේ පන්තියෙන් හා වැඩි සිසුන් පිරිසක් සිටින පිටින් එන ගුරුවරයාගේ පන්තියෙන් ලැබෙන ලාබ සමාන වන්නට පුළුවන. ගුරුවරයෙකු වෙනත් නගරයක පන්තියක් කිරීම ගැන හිතන්නේ තමන් සිටින නගරයේ දෙවන (හෝ තවත් අමතර) පන්තියක් වෙනුවෙන් ඇති ඉල්ලුම විශාල ලෙස අඩුනම් පමණි. මේ යාන්ත්‍රණය තුල රටේ සිටින දක්ෂම ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමේ හැකියාව බොහෝ නගර වල සිසුන්ට හිමි වේ. එවැනි ගුරුවරයෙකු විශාල පැය ගණනක් මහන්සි නොබලා වැඩ කරන්නේ තමන්ගේ මහන්සියට සරිලන ලාබයක් ඇති බැවිනි. එහෙත්, අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම වෙනුවෙන් කියා රජය විසින් ගුරුවරයෙකුට සිටිය යුතු උපරිම සිසුන් ගණන සීමා කළහොත් දක්ෂ ගුරුවරයෙකු වෙනත් නගර වලට ගොස් පන්ති කිරීම නවතී.

වෙළඳපොළ යාන්ත්‍රණයට රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට අවශ්‍ය සිසුන් සිටින තැන් වලට ගුරුවරුන් යොමු කිරීමේ ස්වභාවික හැකියාවක් තිබේ. එය සිදුවන්නේ ස්වාභිමතාර්ථය වෙනුවෙන් කටයුතු කිරීමට වැඩිහිටි සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ඇති හැකියාව මත මිල යාන්ත්‍රනය හරහාය. රජය මැදිහත් නොවන තුරු මෙය කාර්යක්ෂම ලෙස සිදු වේ.

කිසියම් නගරයක අලුතින් ආයතනයක් ඇරැඹී ඉංග්‍රීසි කතා කළ අය හැකි අයට ඇති ඉල්ලුම වැඩි වන විට එම නගරයේ පන්ති වලට සිසුන් වැඩි වේ. එවිට එම නගරය රටේ සිටින දක්ෂ ගුරුවරුන්ට ආකර්ශනීය වී ස්වභාවික ලෙසම ඔවුන් එහි ඇදේ. ආයතනය අලුතින් පටන් ගැනෙන බව දැනගෙන ගුරුවරුන් එහි යොමු කිරීම සඳහා බදු මුදලින් නඩත්තු වන නිලධාරීන් අවශ්‍ය නැත. මධ්‍යගත සැලසුම්කරුවෙකුට දක්ෂ ගුරුවරුන් තෝරාගැනීමේ හැකියාවක් නැතුවාට අමතරව ඒ ඒ නගරයට අවශ්‍ය ප්‍රමාණයට හා වඩාත්ම සුදුසු ගුරුවරුන් යොමු කිරීමේ හැකියාවක්ද නැත.

නැවතත් කියනවානම්, මධ්‍යගත සැලසුම්කරුවෙකුට වඩාත්ම කාර්යක්ෂම ගුරුවරුන් හරියටම තෝරා ගැනීමේ හැකියාවක් නැතිවා පමණක් නොව, නිදහස් වෙළඳපොළක ස්වභාවිකව සිදුවන අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් යොමු කිරීම හෝ අවශ්‍ය පුද්ගලයින් යොමුකිරීමේ හැකියාවද නැත. මෙය සැලසුම්කරු වෙනස් කිරීමෙන් විසඳිය නොහැකි ක්‍රමයේ ප්‍රශ්නයකි. වඩා හොඳ සැලසුම්කරුවන් සිටින්නට පුළුවන් වුවත්, ඉතා සුවිශේෂී තත්ත්වයන් යටතේ හැර සැලසුම්කරුවෙකුට නිදහස් වෙළඳපොළක ස්වභාවිකව සිදුවන දෙයට වඩා හොඳින් සැලසුම් කළ නොහැකිය.

එහෙත්, රජයයන් විසින් හැමවිටම පෙන්වන්නේ රජයකට නිදහස් වෙළඳපොළට වඩා හොඳින් සම්පත් කළමනාකරණය කළ හැකි බවයි. මෙය පෙන්වමින් රජයයන් විසින් ඒ වෙනුවෙන් බදු මුදල් එකතු කරයි. එහෙත්, එය එසේ සිදු නොවන විට බදු ගෙවන්නන් හා රජය අතර ප්‍රශ්න ඇති වේ. රජයයන් වෙනස් වීමෙන් මෙවැනි ප්‍රශ්න කෙළවර වේ. හිටපු සැලසුම්කරුවන් වෙනුවට අලුත් සැලසුම්කරුවෝ පැමිණෙති. එහෙත් ප්‍රශ්නය වන්නේ සැලසුම්කරුවන් කවුද යන්න නොව සැලසුම්කරුවන් සිටීම නිසා ප්‍රශ්නය එයින් නො විසඳේ.

මෙය වෙනස් වන්නටනම් නිදහස් වෙළඳපොළකට වඩා හොඳින් මධ්‍යගත සැලසුම් කරන රජයකට සම්පත් කළමනාකරණය කළ හැකි බවට සමාජයේ ඇති විශ්වාසය නැති විය යුතුය. එහෙත්, කාලයක් තිස්සේ රජයයන් විසින් ප්‍රචලිත කර ඇති මේ මතය සමාජයෙන් ඉවත් කිරීම පහසු නොවනවා පමණක් නොව කිසිදු රජයක් එයට කැමති වන්නේද නැත. මේ මතය ප්‍රචලිත කිරීම සඳහා රජයයන් විසින් යොදාගන්නා ප්‍රමුඛ උපාංගය "නිදහස් අධ්‍යපනය" ලෙස හඳුන්වන නිදහස නැති කරන අධ්‍යාපනය වීම මෙහි ඇති උත්ප්‍රාසයයි.

සාමාන්‍ය තත්ත්වය වන්නේ මධ්‍යගත සැලසුම් නොතිබීම නිසා එවැන්නක් අවශ්‍ය වන හැම විටකම අදාළ සැලසුම හේතුවෙන් නිදහස් වෙළඳපොලක සිදුවනවාට වඩා කාර්යක්ෂම ලෙස සම්පත් කළමනාකරණය සිදුවන්නේ කෙසේද යන්න පෙන්වීම සැලසුම්කරුවන් විසින් කළ යුතු දෙයකි. එසේ අවශ්‍ය වන සුවිශේෂී තත්ත්වයන් තිබෙන්නට පුළුවන. මේ ලිපියේ උදාහරණයේ පාරිභෝගිකයා ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගන්නට අපේක්ෂා කරන වැඩිහිටි සිසුවෙකි. ඔහු වැය කරන්නේ තමන්ගේම මුදල්ය. ගනුදෙනුවට තෙවන පාර්ශ්වයන් සම්බන්ධ වන තරමට විශ්ලේෂණය වඩා සංකීර්ණ වේ. එවැනි, වඩා සංකීර්ණ අධ්‍යාපන සේවා වෙළඳපොළවල් ගැන ඉදිරියේදී කතා කරමු.