Sunday, November 13, 2016

අයවැය නව නිෂ්පාදනය- නාට්‍ය විචාරයක්

අයවැය නාට්‍යයේ අළුත් නිෂ්පාදනය පාර්ලිමේන්තුවේදී රඟදැක්විණි. වෙනදා වගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පිටපත ලියා තිබුණු අතර මුදල් ඇමතිවරයා සුපුරුදු පරිදි දෙබස් වරද්දමින් ප්‍රධාන චරිතය රඟපෑවේය. ඉකොනොමැට්ටා ආර්ථික විද්‍යාව මිස නාට්‍ය විචාරය හදාරා නැතත් මේ නාට්‍යය ගැන මොනවා හෝ නොලියාම බැරිය.

ප්‍රේක්ෂකයින්ගේ විසිල් බලාගෙන පිටපතට එකතු කර ඇති මුං ඇට, කඩල ජෝක් කෑලි වලින් අවධානය බිඳ නොගෙන අපි කෙලින්ම නාට්‍යයේ මූලික තේමාවට යමු.

රාජ්‍ය අයවැයක මූලික අරමුණ එළඹෙන වසරේ රජයේ ආදායම් වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමයි. පහත ඇත්තේ අයවැයේ හරය වන රජයේ ආදායම් වියදම් වල සාරාංශයයි.



මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය ඇස්තමේන්තු අනුව එළඹෙන 2017 වසරේදී රජයේ ආදායම මේ වසරට සාපේක්ෂව 26.5%කින් වැඩි වනු ඇත. මේ අනුව, බදු ආදායම 27.2%කින්ද, අනෙකුත් ආදායම් හා ප්‍රදාන 22.6%කින්ද වැඩි වීමට නියමිතය.

ආදායම 26.5%කින් වැඩි වෙද්දී රජය සිය වියදම් වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ 17%කින් පමණි. එයින්ද, පුනරාවර්තන වියදම් 9.9%කින් සුළුවෙන් වැඩි වන්නට ඉඩ හැරෙනු ඇති අතර ප්‍රාග්ධන වියදම් 41.6%කින් වැඩි කෙරෙනු ඇත. මේ අතරින් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් කෙරෙන ආයෝජන 22.6%කින්ද, යටිතලපහසුකම් ආයෝජන 47.3%කින්ද වැඩි කෙරෙනු ඇත. මෙසේ පුනරාවර්තන වියදම් සීමා කර ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම නිසා ඉදිරි වසර වලදී රජයේ ආදායම් වැඩිවී අයවැය හිඟය ක්‍රමයෙන් අඩුවනු ඇත.

බැලූ බැල්මට අයවැයේ මූලික ආකෘතියේ කියන්නට වැරැද්දක් නැත. එහෙත්, ප්‍රශ්නය තියෙන්නේ මේ සංඛ්‍යාලේඛණ තියෙන්නේ අයවැය නාට්‍ය පිටපතේ මිස සැබෑ ලෝකයේ නොවීමයි.

රාජ්‍ය ආදායම් 26.5%කින් වැඩි කර ගැනීම ප්‍රායෝගිකව ලඟා විය හැකි ඉලක්කයක් නොවේ. සාමාන්‍යයෙන් රටේ ආර්ථිකය වර්ධනය වන විට රජයේ ආදායම එම වේගයෙන් හෝ තරමක් වැඩි වේගයකින් වර්ධනය වේ. මේ අනුව, රජයේ ආදායමේ 5-6% ප්‍රමාණයේ වර්ධනයක් සිදු වනු ඇත. එමෙන්ම, උද්ධමනය හේතුවෙන් මිල මට්ටම් ඉහළ යන විට එයට අනුපාතිකව හෝ තරමක් අඩු වේගයකින් රජයේ ආදායම් ඉහළ යයි. මෙයද එක් කළ විට 10%ක පමණ ආදායම් වර්ධනයක් ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවේ. බදු ඉහල දැමීම මඟින් මේ ප්‍රතිශතය තවත් තරමක් වැඩි කර ගත හැකිවුවත්, 26.5% මට්ටමට යාම හිතන තරම් පහසු කරුණක් නොවේ.

ලංකාවේ බදු බොහොමයක්ම වක්‍ර බදුය. මේ බදු වැඩි කරන විට ඉල්ලුම අඩුවන නිසා බදු වැඩි කරන අනුපාතයෙන්ම බදු ආදායම් වැඩි නොවේ. ඕනෑවට වඩා බදු වැඩි කළොත් බදු ආදායම අඩු වන්නට වුවද පුළුවන. ප්‍රායෝගිකව රජයේ ආදායම් වැඩි වේයැයි සිතිය හැක්කේ 10-12% පමණ ප්‍රමාණයකිනි. එසේනම්, අයවැය හිඟය අපේක්ෂිත මට්ටමේ පවත්වාගනිමින් ඇස්තමේන්තුගත වියදම් ඒ අයුරින්ම කළ නොහැකි නිසා ඒ වියදම් වලින් කොටසක් කපන්නට සිදු වනු ඇත. මෙසේ කිරීමේදී, ප්‍රායෝගිකව කතුරට අහුවෙන්නේ නාස්තිකාර පුනරාවර්තන වියදම් නොවේ. කිසියම් හෝ අනාගත ප්‍රතිලාභයක් ලබාදෙන ප්‍රාග්ධන වියදම්ය. මෙය අද ඊයේ නොව වසර ගණනාවක් තිස්සේම ලංකාවේ සිදුවන දෙයකි.

මුදල් ඇමති වසරකට වරක් අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරයි. නාට්‍ය විචාරකයෝ මේ යෝජනා විශ්ලේෂණය කරති. කෙසේ වුවද, ඒ යෝජනා කියන හැටියට ක්‍රියාත්මක නොවේ. කිසිවකු පසු විපරමක් නොකරති. ඊළඟ වසරේ නැවතත් මේ දෙයම සිදු වේ.

පහතින් ඇත්තේ 2015 නොවැම්බරයේදී වත්මන් මුදල් ඇමති වරයා විසින් ඉදිරිපත් කළ 2016 වසර සඳහා වූ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තු හා එම ඇස්තමේන්තු 2016 නොවැම්බර් වන විට වෙනස් වී ඇති ආකාරයයි. සෑම වසරකම සිදුවන මේ දෙය මෙවරද එසේම සිදුවන්නට ලොකු ඉඩක් තිබේ. 



මේ වසරේ රජයේ ආදායම 38.5%කින් වැඩිවනු ඇතැයි 2015 නොවැම්බර් අයවැය කතාවේදී කියවුණත් වසරකට පසු කියන විදිහට ආදායම වැඩිවීමට නියමිතව ඇත්තේ 9.4%කින් පමණි. මුල් ඇස්තමේන්තුවට සාපේක්ෂව රජයේ ආදායම 19%කින් අඩු වී ඇත. එසේනම්, වියදමද අඩු නොකර නොහැක. කෙසේ වුවද, වියදම අඩුවන්නේ 16.5%කින් පමණි. එයින්ද, පුනරාවර්තන වියදම් අඩුවන්නේ මුල් ඇස්තමේන්තුවට වඩා 4.5%කින් පමණි. ප්‍රාග්ධන වියදම් 42.4%කින් අඩු වී ඇති අතර අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කර ඇත්තේ මුලින් කිවු ගණනට වඩා 45.2%ක් අඩුවෙනි. යටිතලපහසුකම් ආයෝජනද 41.5%කින් අඩු වී ඇත. එසේනම්, ලබන වසරේදී කියන විදිහටම කටයුතු සිදුවෙයිද?

නාට්‍ය පිටපතක් පමණක්ම වන ලංකාවේ අයවැය ගැන කතා කරන්නට කාලය යෙදවීමත් තේරුමක් නැති වැඩකි.


(Image: http://www.asiantribune.com/node/88206)

7 comments:

  1. මෙවැනි කෙටි නමූත් ඉතාමත් නිවැරදි විචාරයක් පාර්ලිමේන්තුවේ දී ඇසීමට නොහැකි ඇයි?

    ReplyDelete
  2. බැඳුම්කර ලිපිපෙළ ඉවර නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. එයම මාතෘකාව ගැන ලියද්දී කියවන අය ටික ටික අඩුවෙමින් යනවා, ඇනෝ. ඇත්තටම මීට කලින් ආර්ථික අර්බුදය ගැන ලියන්න ගත් ලිපි ටිකත් දිගටම ලියනවනම් තව සෑහෙන කාලයක් ලියන්න පුළුවන්. ඒ නිසාත්, අයවැය ගැන ලියන්න කියා කිහිප දෙනෙක් ඉල්ලපු නිසාත් පොඩි බ්‍රේක් එකක් ගත්තා විතරයි. බැඳුම්කර ලිපිපෙළ නැවැත්තුවේ නැහැ. ඊළඟ කොටස සඳහා සංඛ්‍යාලේඛණ වගුවක් හදන්න ටිකක් වෙලාව හොයාගන්න ඕනෑ.

      Delete
  3. ඉකොන් රජයේ අදායම සහ වියදම අතර පරතරය පියවගන්නේ දේශීය සහ විදේශීය ණයවලින් නේද? එතකොට 2015 දී ආදායම 2017 වනවිට වියදම 2787. පරතරය 740 යි. 2016 දී අදායම 1658 වන විට වියදම 2328. පරතරය 670. 2015 දී පරතරය සපුරා ගැනීමට 740 ක් ණය ගැනීමට සැලසුම් කලානම් වියදම අදායමේ පහල යාම තෙක් අඩු නොකොට 670 ක් පමණක් ණය ගැනීමෙන් කල හැකියි නේද? එම නිසා ආදායමේ පහල යාමේ ඔබ සඳහන් කල පරිදි ප්‍රතිශතයකින් නොව absolute අගයකින් පහල යායුතු මුත් එසේ නොවන කල්හී ණය මඟින් එම පරතරය පියවා ගන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. ඉයන්, මා ඉහත ලිපියේ අවධානයට ලක් කළ මූලික කරුණු මේවාය.

      1. ලංකාවේ රජය වාර්ෂිකව ඉදිරි වසර සඳහා අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේදී රජයේ ආදායම් ඇස්තමේන්තු හිතාමතාම වැඩියෙන් පෙන්වයි. (නිලධාරීන් මෙසේ කරන්නේ ඇයි යන කරුණ විස්තරාත්මකව පැහැදිලි කිරීමටද බැරිකමක් නැත. එය පැහැදිලි කරන්නට දැනට බලාපොරොත්තුවක් නැත.) මා මෙහිදී කතා කරන්නේ පොදුවේ ලංකාවේ රජය ගැන මිස වත්මන් එජාප ආණ්ඩුව පමණක් ගැන නොවේ. එමෙන්ම, මෙය මුදල් ඇමතිවරයා හෝ දේශපාලඥයින් විසින්ම කරන දෙයක්ද නොවේ. මා ලිපියේ සඳහන් කර ඇති පරිදි මුදල් ඇමතිවරයා බොහෝ දුරට ලියා ඇති නාට්‍ය පිටපතක දෙබස් කියන නළුවෙකි. පිටපත මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේය. එහෙත්, මුදල් ඇමතිවරයා අමාත්‍යංශයේ ප්‍රධාන විධායකයා නිසා ඔහුට එහි වගකීමෙන් ගැලවෙන්නටද නුපුළුවන. මේ ඇස්තමේන්තු හැමදාමත් විශාල පරතරයකින් වරදිනවානම් ඒවා හදන නිලධාරීන් ප්‍රශ්න කිරීම මුදල් ඇමතිවරයා විසින් කළ යුතු දෙයකි.

      2. ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේ අයිතමයන් ගැන වාද විවාද කරනු මිස විපක්ෂය, මාධ්‍ය හෝ මහජනතාව පෙර වසරේ කියූ දේ ඒ අයුරින්ම සිදුවුනේදැයි පසුවිපරමක් කරන්නේ නැත. අයවැය ඇස්තමේන්තු හදන අය සෑම වසරකම මෙහි වාසිය ගනිති.

      3. ඇස්තමේන්තුගත ආදායම නොලැබෙන විට ඇස්තමේන්තුගත වියදම් පවත්වාගැනීම සඳහා (ඔබ කියා ඇති පරිදිම) වැඩියෙන් ණය ගන්නට සිදුවේ. එවිට ණය බර වැඩිවන අතර මැදිකාලීනව හා දිගුකාලීනව රට අර්බුදයකට යන අතරම කෙටිකාලීනව බලයේ සිටින ආණ්ඩුව විවේචනයට ලක්වේ. එසේ නොකර ඇස්තමේන්තුගත වියදම් සීමා කළ විටද බලයේ සිටින ආණ්ඩුවේ ජනප්‍රියතාවයට බලපායි. ඒ නිසා මුදල් ඇමතිවරයා විසින් කළ යුත්තේ නිවැරදි අයවැය ඇස්තමේන්තුවක් වෙනුවෙන් සිය නිලධාරීන් මත පීඩනය යෙදවීමයි. එය එසේ සිදුනොවේනම් විපක්ෂය, මාධ්‍ය හා ජනතාව විසින් මුදල් ඇමතිවරයාව ප්‍රශ්න කළ යුතුය. එය සිදු නොවන තාක් මේ බොරුව දිගටම සිදු කෙරෙනු ඇත.

      (ඉතිරි කොටස පහළ)

      Delete
    2. ඔබේ කමෙන්ටුවට ආවොත්, මට තේරෙන පරිදි ඔබ කියන්නේ රජයේ ආදායම් අඩුවන විට ණය ගැනීම් වැඩි නොකර වියදම් අඩු කිරීම සිදු කර ඇති බවයි. මා ඉදිරිපත් කර ඇති හා ඔබ විසින් උපුටා දක්වා ඇති සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලි වන පරිදි 2016 සඳහා වූ 2015 ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 389කින් අඩු වන විට, වියදම් රුපියල් බිලියන 459කින්ම අඩු කර තිබේ. මේ නිසා ආරම්භයේදී ඇස්තමේන්තුගත අයවැය හිඟය වූ රුපියල් බිලියන 740, රුපියල් බිලියන 670 දක්වා අඩු වී තිබේ. අයවැය හිඟය මූල්‍යනය කරගත යුත්තේ දේශීය හා විදේශීය ණය ගැනීම මඟිනි. ඒ නිසා, මෙසේ අයවැය හිඟය අඩු කරගැනීම මඟින් (බැලූ බැල්මටම පෙනෙන පරිදි) ණය ගැනීම් සීමා වී ඇත්නම් එය යහපත් ප්‍රතිඵලයකි. අයවැය හිඟය අඩු කිරීම හොඳ වුවත් පහත කරුණු නිසා ඒ සඳහා ආණ්ඩුවට ලකුණු දීමේදී සැලකිලිමත් විය යුතුය.

      1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම නිසා ආණ්ඩුවට තවත් වැඩිපුර ණය ගෙන වියදම් ඇස්තමේන්තු කළ අයුරින් පවත්වා ගත නොහැකිය. රජයේ වියදම් සීමා කිරීමෙන් අයවැය හිඟය අඩුකළ බව රජය ජා.මූ.අ.ට පෙන්විය යුතුය.

      2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම මඟින් ඇති කෙරුණු බාධාවට අමතරව වෙළඳපොළ සාධක හා දේශපාලනික හේතු නිසා රජය මීට වඩා ණය ගන්නට බැරි තැනකට පත්වී තිබේ. ඒ අනුව, ඇත්තටම සිදු වී ඇතිබව පෙනෙන්නේ ණය නොගැනීමට වඩා ණය නොලැබීමයි.

      3. මුල් ඇස්තමේන්තුවට අනුව අපේක්ෂිත අයවැය හිඟය වූ රුපියල් බිලියන 740න් රුපියල් බිලියන 557ක්ම මූලනය කරගන්නට බලාපොරොත්තු වුණේ (ශුද්ධ) දේශීය ණය ගැනීම් මඟිනි. එහෙත්, සංශෝධිත ඇස්තමේන්තුව අනුව (ශුද්ධ) දේශීය ණය රුපියල් බිලියන 275ක් පමණි. දේශීය ණය ගැනීම් මෙසේ අඩු කරන්නට සිදුවී ඇත්තේ වෙළදපොළ සාධක අනුව මුල් ඇස්තමේන්තුවට යන්නටනම් පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යන්නට ඉඩහරින්නට සිදුවන බැවිනි. එවිට, රජයේ වියදම් නැවතත් වැඩිවන නිසා තවත් වටයකින් ණය ගන්නට සිදුවේ. මේ ප්‍රමාණයට ණය ගෙනත්, මුල් ඇස්තමේන්තුවේ පොලී වියදම වූ රුපියල් බිලියන 520 රුපියල් බිලියන 603ක් දක්වා රුපියල් බිලියන 83කින් වැඩි වී තිබේ. මෙය 'බැඳුම්කර මගඩියේ' ප්‍රතිඵලයක්යැයි අදහස් ඉදිරිපත් වී ඇතත් මා එවැනි චෝදනාවක් හෝ යෝජනාවක් කිරීමට ඉක්මන් වන්නේ නැත. ඒ ගැන මගේ ලිපිපෙළ තවම අවසන් නැත. කෙසේවුවද, මේ ආණ්ඩුව පත්වූ දින සිට දේශීය ණය ගැනීම් වැඩි කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පොලී අනුපාතික ඉහළ ගියේය. දේශීය වෙළදපොළේ ණය ඉල්ලුම සීමිත නිසා මේ වන විටත් රජය මහ බැංකුවට සැලකිය යුතු ලෙස භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකීණීමට (සල්ලි අච්චු ගැසීමට) පටන් ගෙන තිබේ. මේ මාර්ගය භයානක බව ආණ්ඩුව දන්නා නිසා අකමැත්තෙන් වුවත් දේශීය ණය ගැනීම් සීමා කරන්නට රජයට සිදු වී තිබේ.

      Delete
    3. 4. දේශීය ණය ගැනීම් සීමා කරන විට ඒ අඩුව පුරවා ගැනීමට විදේශ ණය ගන්නට සිදුවේ. රජයට විදේශ ණය ගැනීමද හිතන තරම් පහසු නැත. පසුගිය කාලයේ විදේශීය වාණිජ ණය ගත්තේ රටේ ඉහළ ආර්ථික වර්ධනය ඇතුළු සාර්ව ආර්ථික දත්ත විකුණමිනි. එහෙත්, දැන් එසේ විකිණිය හැකි සාර්ව ආර්ථික දර්ශක නැත. ඒ නිසා, වාණිජ ණය ගන්නවානම් ගන්නට වෙන්නේ කලින්ටත් වඩා ගිණි පොලියකටය. විදේශ ණය ගැනීම් වලදී ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ණය වෙත ප්‍රමුඛතාවය දී තිබෙනවාට වඩා එසේ කරන්නට සිදුවී තිබේ. මුල් ඇස්තමේන්තුවේ තිබූ ශුද්ධ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 183 සිට රුපියල් බිලියන 395 දක්වා රුපියල් බිලියන 212කින් වැඩි වී ඇති බව පෙනුණත් මේ සංඛ්‍යා පිටුපසද සැඟවුණු කතාවක් තිබේ. ඇත්තටම රජයේ දළ විදේශ ණය ගැනීම් මුල් ඇස්තමේතුවේ රුපියල් බිලියන 519ක්ව පැවති අතර සංශෝධිත ඇස්තමේන්තුවේ එය රුපියල් බිලියන 540කි. වෙනස රුපියල් බිලියන 21කි. එසේනම්, රුපියල් බිලියන 212ක් දක්වා මේ ගණන වැඩි වුනේ කොහොමද?

      මුල් ඇස්තමේන්තුව අනුව රජය විසින් වසර තුළදී රුපියල් බිලියන 336ක විදේශ ණය ආපසු ගෙවීමට නියමිතව තිබුණි. එහෙත්, දැන් ඒ ප්‍රමාණය රුපියල් බිලියන 145 දක්වා අඩු වී තිබේ. මේ අනුව, වසර තුළදී විදෙස් ණය ගෙවන්නට බලාපොරොත්තු වන්නේ මුලින් කී ගණනට වඩා රුපියල් බිලියන 191ක් අඩුවෙනි. ඒ නිසා, දළ විදේශ ණය සැලකිය යුතු ලෙස වැඩි වී නැතත් ශුද්ධ විදේශ ණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. මේ අනුව පැහැදිලි වන්නේ අයවැය හිඟය අඩුවීම සැලසුම්සහගතව ණය අඩුවෙන් ගැනීමට වඩා, සැලසුම්ගත පරිදි ණය ලබා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් බවයි.

      කෙසේ වුවද, කවර ආකාරයකින් හෝ අයවැය හිඟය අඩුවෙන් තබා ගැනීම අගය කළ යුතුය. මා ලිපියෙන් පෙන්වා දී ඇති පරිදි කප්පාදුවට වැඩිපුරම හසුවී ඇත්තේ ප්‍රාග්ධන වියදම්ය. පුනරාවර්තන වියදම් බොහෝ දුරට එසේමය. පවතින තත්ත්වය යටතේ පුනරාවර්තන වියදම් එක් වර සැලකිය යුතු ලෙස අඩුකිරීම කළ නොහැකි දෙයක් බැවින් ප්‍රාග්ධන වියදම් කපනු හැර කෙටිකාලීනව කළ හැකි දෙයක්ද නැත.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.