Sunday, January 17, 2016
මැල්තුසියානු උගුලෙන් ගැලවීම
මේ වන විට ලෝක ජනගහණය බිලියන 7.3 ඉක්මවා තිබේ. එහෙත්, මෙයට වසර 217කට පෙර, සිය නිල් පැහැති ලන්දේසි හමුදා නිල ඇඳුම ගලවා ඉංග්‍රීසි හමුදාවේ රතු නිල ඇඳුම ඇඳගෙන ලංකාවේ අවසන් ඉංග්‍රීසි හමුදා ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළ පියරේ ෆෙදෙරික් ද මියුරන් වෙතින් ලංකාවේ පළමු සිවිල් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ ෆෙඩ්රික් නෝර්ත් වෙත බලය මාරු වන කාලය වන විටත් සමස්ත ලෝකයේ හෝමෝ සේපියන්ස් ජනගහණය පැවතියේ බිලියනයකට වඩා අඩුවෙනි. එහෙත්, එවකට පැවති ජනගහණය ඒ වන විට ඉතිහාසයේ වාර්තා වූ විශාලම හෝමෝ සේපියන්ස් ජනගහණයයි.
ජනගහණ වර්ධනය ගැනත්, මානව සංහතියේ අනාගතය ගැනත් විවිධ අදහස් පළවුනු මේ කාලයේදී "ජනගහණ මූලධර්මය පිලිබඳ රචනාවක්" නම් වූ, ජේ. ජොන්සන් නම් වූ පුද්ගලයෙකු විසින් රචිත පොතක් ලන්ඩනයේදී ප්‍රකාශයට පත් විය. ආරූඪ නම් වලින් පොත් පළකිරීම අදාළ කාලයේ සාමාන්‍ය ප්‍රවණතාවක් විය. වැඩි කල් නොයා දැනගන්නට ලැබුණේ මේ ජොන්සන් සැබෑවටම තෝමස් රොබර්ට් මැල්තුස් නම් වූ ඇන්ග්ලිකන් දේවගැතිවරයා බවයි.
මේ කාලය වන විට ජේම්ස් වොට් විසින් වාෂ්ප එන්ජිම නිර්මාණය කරනු ලැබ එය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමද සුළුවෙන් වුවත් සිදුවෙමින් තිබුණේය. වාෂ්ප එන්ජිමේ ජවයෙන් විද්‍යා පුනරුදයට ශක්තිය ලැබෙද්දී මානව සංහතියේ අනාගතය ගැන බොහෝ දෙනා සුබ සිහින දකින්නට පටන් ගෙන තිබුණේය. එහෙත්, මැල්තුස් දුටුවේ මෙවැනි උතෝපියානු සිහිනයක් නොවේ. මිනිසා සදාකාලිකවම සාගින්නෙන්, ලෙඩරෝගවලින් පීඩා විඳිමින් ගතකරන දුක්ඛිත, ප්‍රති-උතෝපියානු අනාගතයකි. කෙසේවුවද, ජනගහණ වර්ධනය පිළිබඳව මුලින්ම මෙවැනි විධිමත් න්‍යායක් ඉදිරිපත් කළේ මැල්තුස් විසිනි.
මැල්තුස්ගේ රචනාවේ ඔහුගේ න්‍යායය ඉතා පැහැදිව සරල බසින් විස්තර කර තිබේ. එය තර්කානුකූලය. ඒ වන විට සිදුකළ හැකිව තිබුණු නිරීක්ෂණ සමඟ සෑහෙන දුරකට සැසඳේ.
මැල්තුස් කතාව පටන් ගන්නේ සියල්ලන්ටම වාගේ එකඟ විය හැකි සරල උපකල්පන දෙකකිනි.
"පළමුව, මිනිසාගේ පැවැත්මට ආහාර අවශ්‍යය. දෙවනුව, විරුද්ධ ලිංගිකයින් අතර ඔවුනොවුන්ට ඇති ආකර්ෂණය අද [1798දී] ඇති මට්ටමින්ම දිගටම පවතිනු ඇත."
ඔහුගේ න්‍යායය අනුව, ඉහත සරල උපකල්පන දෙක නිවැරදිනම්, මනුෂ්‍ය සංහතියට යැපීමට අවශ්‍ය ආහාර ප්‍රමාණය වැඩිවන වේගයට වඩා වේගයෙන් ජනගහණය වර්ධනය වීම නිසා කාලයෙන් කාලයට මිනිස් සංහතියට සම්පත් හිඟයන්ට මුහුණ පෑමට සිදුවේ.
"මිනිසාගේ පැවැත්මට අවශ්‍ය සම්පත් වැඩිපුර ඇති, මිනිසුන්ගේ හැසිරීම් වඩා යහපත්, ඒ නිසාම යුරෝපයේ නූතන රාජ්‍යයන් සියල්ලන්ටම වඩා අඩු වයස් විවාහයන්ට බාධා අඩු, ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහණය වසර විසිපහෙන් විසිපහට දෙගුණ වන බව පෙනෙන්නට තිබේ."
ඉහත නිරීක්ෂණය අනුව, මැල්තුස් විසින් විශේෂ බාධාවක් නොවේනම් ජනගහණය සෑම වසර විසිපහකටම වරක් දෙගුණ වන බව පෙන්වා දෙයි. එහෙත්, මෙසේ ජනගහණය දෙගුණ වන විට ආහාර නිෂ්පාදනය වැඩි කළ හැක්කේ නිශ්චිත ප්‍රමාණයකින් පමණි.
"ලෝක ජනගහණය මිලියන සියයක්යැයි අපි සිතමු. මිනිස් ජනගහණය 1,2,4,8,16,32,64,128,256,512... අනුපාත වලින් වර්ධනය වනු ඇති නමුත් ආහාර නිෂ්පාදනය වැඩි වනු ඇත්තේ 1,2,3,4,5,6,7,8,9,10... අනුපාතයන්ගෙනි. සියවස් දෙකයි කාලකින් ආහාර අවශ්‍යතාවය සහ නිෂ්පාදනය අතර අනුපාතය 512:10 වනු ඇත. සියවස් තුනකින් 4096:13 ලෙස වැඩි වනු ඇත."
ඔහු පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ මෙය සිදුවිය නොහැක්කක් බවයි. එසේනම්, සිදුවිය හැක්කේ ජනගහණය ස්වභාවික සමතුලිතතාවකට පැමිණීමයි. ජනගහණය මේ සමතුලිත මට්ටම ඉක්මවූ විට වසංගත, දුර්භික්ෂ, යුද්ධ ආදිය මඟින් ජනගහණය නැවත අඩු වේ. මිනිසාගේ ජීවන තත්ත්වය දිගින් දිගටම සුඛිත මුදිතව පැවතීමේ හැකියාවක් නැත. ආහාර හිඟයක් නැතිව, සාමකාමීව ගතවන කාලවලදී ජනගහණය වැඩියෙන් වර්ධනය වේ. එවිට, ආහාර සැපයුම ප්‍රමාණවත් නොවීම නිසා එය නිවැරදි වන තුරු දුෂ්කර කාලයක් ගත කරන්නට සිදුවේ. මෙය චක්‍රයකි.
"මෙය සිදුවන්නේ මේ ආකාරයෙනි. ආරම්භයේදී යම් රටක ආහාර සැපයුම ඒ රටේ ජනගහණයට යාන්තමින් ප්‍රමාණවත් වීයැයි සිතමු. ඉහත විස්තර කළ පරිදි, ජනගහණය ආහාර නිෂ්පාදනයට වඩා වේගයෙන් වර්ධනය වනු ඇත. කලින් මිලියන හතක පිරිසක් පරිභෝජනය කළ ආහාර දැන් මිලියන හතහමාරක් හෝ අටක් අතර බෙදිය යුතුය. [මේ කාලයේ එංගලන්තයේ ජනගහණය මිලියන හතක් වූ බව සමකාලීන ඇස්තමේන්තුව වන්නට ඇත. 1801දී එංගලන්තයේ සිදුකළ පළමු සංගණනය අනුව එවිට ජනගහණය මිලියන 8.1ක් විය.] මෙසේ වූ විට, වඩාත්ම පීඩාවට පත්වනු ඇත්තේ දුප්පත් ජනතාවයි. රටේ කම්කරුවන් ගණන අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වන නිසා කම්කරු වැටුප් පහළ යනු ඇති අතර බඩු මිල වැඩි වනු ඇත. මේ නිසා කලින් පැවති ජීවන තත්ත්වය පවත්වා ගැනීමට කම්කරුවන්ට ඉතා විශාල පැය ගණනක් වැඩිපුර වැඩ කිරීමට සිදුවනු ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ පවුලක් නඩත්තු කිරීම පහසු කටයුත්තක් නොවන නිසා විවාහවීම අධෛර්යය වීමෙන් ජනගහණ වර්ධනය ඇණහිටිනු ඇත. මේ අතර, අඩු වැටුපකට වැඩ කිරීමට සූදානම් කම්කරුවන් ඕනෑතරම් සිටින නිසාත් නිෂ්පාදන වැඩි මිලකට විකිණිය හැකි නිසාත් ඉඩම් හිමියන් විසින් වගා කළ හැකි සෑම බිම් අඟලක්ම වගා කිරීම නිසා නිෂ්පාදනය ඉහළ යනු ඇත. එවිට, ආහාර සැපයුම නැවතත් ජනගහණයේ අවශ්‍යතාවය සමඟ සම්පාත වන බැවින් කම්කරුවන්ගේ ජීවිත නැවතත් යහපත් වනු ඇත. එවිට ඔවුන් නැවතත් විවාහ වී දරුවන් හැදීමෙන් නැවතත් ජනගහණය වැඩි වනු ඇත."
මැල්තුස් මේ පොත ලියන කාලය වනතුරු ඇත්තටම සිදුවුණේ මේ කියා ඇති දෙයට තරමක් කිට්ටු දෙයකි. ඒ වන තුරු තාක්ෂණ දියුණුව මඟින් සිදුකර තිබුණේ ජනගහණ වර්ධනයට උදවු කිරීමයි. මෙසේ ජනගහණය වැඩි වුනත් ඒකීය පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වෙනස් වුනේ නැත. ජනගහණය වැඩි වන විට වරින්වර කිසියම් අයුරකින් එය සීමා විය. උදාහරණයක් වශයෙන් එකොළොස්වන සියවසේ සිට දහතුන්වන සියවස දක්වා ජනගහණය වර්ධනය වුවත් දහතුන්වන සියවසේදී යුරෝපයේ පැවති දරුණු දුර්භික්ෂය හා මහාමාරිය වසංගතය නිසා ලෝක ජනගහණය විශාල ලෙස අඩුවිය. දහතුන්වන සියවසේ ආරම්භයේදී පැවති ලෝක ජනගහණය නැවත ඒ මට්ටමට පැමිණීමට සියවස් දෙකක් ගතවිය.
කෙසේවුවද, 1800ට පෙර කාලයේදීත් මිනිස් ජනගහණය වර්ධනය විය. එහෙත්, එය සිදු වූයේ සෙමිනි. වසර දසදහසකට පමණ පෙර කෘෂිකාර්මික යුගය ආරම්භවෙද්දී ලෝක ජනගහණය මිලියන 4ක් පමණ වූ අතර වසර හත්දහසකට පෙරද මිලියන පහකට වඩා වැඩි නොවීය. ඉන් පසුව ජනගහණ වර්ධනය තරමක් වේගවත් විය. වසර පන්දහසකට පෙර මිලියන 14 දක්වාත්, වසර තුන්දහසකට පෙර මිලියන 50 දක්වාත් ලෝක ජනගහණය වැඩිවිය. තවත් වසර පන්සියයකින් එය මිලියන 100ක් විය. ක්‍රි.ව. 1800 වන විටද මිලියන 800ක් පමණ වූ ලෝක ජනගහණය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වූයේ පසුගිය සියවස් දෙක තුළය.
ඉංග්‍රීසින් විසින් ලංකාවේ ලන්දේසීන් සතු වූ ප්‍රදේශ අත්පත් කරගන්නා කාලයේ එංගලන්තය තාක්ෂණය අතින් පැරණි චීනය, ග්‍රීසිය හෝ පර්සියාවට වඩා තරමක් ඉදිරියෙන් සිටියේය. එහෙත්, ඒ කාලයේදීත් එංගලන්තයේ සාමාන්‍ය වැසියෙකුගේ ජීවන තත්ත්වය සියවස් තිස් හතකට පෙර බැබිලෝනියාවේ ජීවත් වූ වැසියෙකුගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වුණේ නැත.
මැල්තුස්ගේ උපකල්පනයන් වැරදුනේ පසුගිය දෙසියවස තුළ සිදුවූ තාක්ෂණ දියුණුව සහ වෙනත් ඇතැම් වෙනස්කම් නිසාය.
(Images: http://themisescircle.org/features/from-the-malthusian-trap-to-the-industrial-revolution/)
8 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
ඉතාමත් කුතුහලය අවුස්සන ලිපියක්. බොහොම ස්තූතියි.
ReplyDeleteමැල්තුස්ගේ අදහස් චාල්ස් ඩාවින් ඇතුළු තවත් බොහෝ දෙනෙකුගේ අදහස් වලට බලපෑම් කළා. ඔහුගේ අදහස් තවමත් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වී නැහැ.
Deleteඔව් ඔව් මේකනං මටත් නියමෙටම ඔලුවට වැටුණා. වටිනා කියන ලිපියක්.
ReplyDeleteඑහෙමනං එච්චරයි.
Deleteමේ වගේ වැදගත්, රසවත් ලිපි වැඩි පාඨක පිරිසක් කරා ළඟ වෙන්න ඕනි . කියවීමේ පිපාසෙන් ඉන්න ඒත් කියවන්න හරිහමන් දෙයක් නැති පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ නිසා ජාතික පත්තරේක ආර්ථික විද්‍යා තීරුවක් විදිහට හරි මේ ලිපි පෙළ තෝරා ගනීවා කියා පතනවා. බලමු මොනා හරි කරන්න
ReplyDeleteඔහොම හිමීට යමු නේද? කියවන්න උනන්දුවක් තියෙන අය කොහොම හරි එකතුවෙයි.
Deleteමේක චක්‍රයක් වගේනේ.දැන් ඔය අධික ජනගහන වර්ධනයක් තියෙන චීනය වගේ රටවල් වල ස්භාවික අනතුරු බහුල වෙන්නෙත් මේ හේතු නිසාම වෙන්නත් ඇතිනේ.
ReplyDeleteස්වභාවික අනතුරු ඇතිවීමනම්, මනෝජ්, ජනගහණය අඩුද වැඩිද කියන එක මත තීරණය වෙන්නේ නැහැ. ඒත් වරින්වර සිදුවන ස්වභාවික අනතුරු නිසාත් ජනගහණය පාලනය වීමක් වෙනවා තමයි.
Delete