Monday, June 12, 2017

කොටස් වෙළඳපොළ ලාභ


පහතින් ඇත්තේ දෙසතියකට පෙර පාඨකයෙකු ඇසූ ප්‍රශ්නයකි.

"සම්පත් බැංකුවේ නවීන Annual report - http://www.sampath.lk/images/annual_reports/ar2016.pdf

මේකට අනුව ධම්මික පෙරේරා ට,
----------------------------
Dividend per Share -Rs.18.75
Net asset value per share -Rs. 251.38
Market value per share at the yearend -Rs. 260.40
No of Shares(For Mr. Dhamika) - 26463803
Dividend per Share Monthly income -41349692 (26463803 * 18.75)/12
Total Share income - 6891174301.20 (26463803 * 260.40)
If He open fix deposits(Annual 10%) Monthly income - 5742645251 ((26463803 * 260.40)*10)/12
Difference -5701295559 (5742645251 - 41349692 )

මොකක්ද Mr ධම්මික පෙරේරා ට Stock Market වැදගත් ?"

 

සම්පත් බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව අනුව මෙහි ඇති සංඛ්‍යාලේඛණ නිවැරදිය. එහි හයවන පිටුවේ මේ සංඛ්‍යාලේඛණ පළ කර තිබේ.

ඔහුගේ ප්‍රශ්නය මට වෙනත් අයුරකින් (වඩා සරලව) මෙසේ සටහන් කළ හැකිය. ධම්මික පෙරේරා තමන් සතු අරමුදල් ස්ථිර තැන්පතුවක දැම්මොත් ඔහුට 10%ක පොලියක් ලැබේ. එහෙත්, කොටස් වෙළදපොල ආයෝජනය කිරීමෙන් ඔහුට ලැබී ඇත්තේ ඊට වඩා අඩු ප්‍රතිලාභ අනුපාතිකයකි. එසේනම්, ධම්මික පෙරේරා විසින් පාඩු ලබමින් කොටස් වෙළදපොළ ආයෝජනය කර ඇත්තේ ඇයි?

ඉහත කමෙන්ටුවේ කොටස් වෙළදපොල ප්‍රතිලාභ ගණනය කර ඇති ආකාරයේ වරදක් තිබේ. එහිදී, ප්‍රතිලාභ ලෙස සලකා ඇත්තේ ධම්මික පෙරේරාට සිය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ලාභාංශ ආදායම පමණි. එය එක් කොටසකට රුපියල් 18.75කි.

කොටස් වෙළඳපොල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය ගණනය කිරීමේදී ලාභාංශ අනුපාතිකය මෙන්ම කොටසක මිල වෙනස්වීම නිසා හිමිවන ප්‍රාග්ධන ලාභය හෝ අලාභයද සලකා බැලිය යුතුය. වාර්ෂික වාර්තාවේ ඇති දත්ත අනුව 2016 වසර තුළ සම්පත් බැංකුවේ කොටසක මිල රුපියල් 248.00 සිට 260.40 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව 2016 වසර මුල සම්පත් බැංකුවේ කොටස් මිලදීගත් අයෙකු එක් කොටසක් සඳහා වැය කර ඇත්තේ රුපියල් 248.00ක මුදලකි. ඒ වෙනුවෙන් ඔහුට හෝ ඇයට රුපියල් 18.75ක් ලාභාංශ ලෙස හිමිවේ. මෙය 7.56%ක ප්‍රතිලාභ අනුපාතිකයකි.

මේ ලාභාංශ ලබා ගැනීමෙන් අනතුරුව ආයෝජකයාට දැන් සිය කොටස් එහි වත්මන් වෙළඳපොළ වටිනාකම වන රුපියල් 260.40කට විකුණා තවත් රුපියල් 12.40ක (260.40-248.00) ලාභයක් ලැබිය හැකිය. මෙය අනුපාතයක් ලෙස 5.00%කි. මේ අනුව, ආයෝජනය වෙනුවෙන් ලැබෙන මුළු ප්‍රතිලාභය 12.56%කි. වෙනත් ලෙසකින් කිවහොත් එක් කොටසකට රුපියල් 31.15කි (=18.75 + 260.40 - 248.00).

2015 වසර අවසානයේදී වසරක කාලයක් සඳහා භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමෙන් ලබා ගත හැකි වූ පොලිය 7.30% ක් වූ අතර වාණිජ බැංකු වල එක් අවුරුදු ස්ථිර තැන්පත් පොලී අනුපාතික පැවතුනේද ආසන්න වශයෙන් ඒ මට්ටමේය. මේ අනුව, වසර මුලදී රුපියල් 248.00ක් (සැබවින්ම එහි ගුණාකාරයක්) භාණ්ඩාගාර බිල්පත් වල (හෝ ස්ථිර තැන්පතුවක) ආයෝජනය කළේනම් හිමි වන ප්‍රතිලාභය රුපියල් 18.10ක් පමණි. ඒ අනුව, කොටස් වෙළඳපොළ ප්‍රතිලාභය ඊට වඩා 72%කින් වැඩිය.

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය නොකර කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීමෙන් ධම්මික පෙරේරා සිය අරමුදල් වෙනුවෙන් 72%කින් වැඩි ආදායමක් උපයා ඇති අතර ඔහු ගත් අවදානම වෙනුවෙන් ලැබී ඇති ප්‍රතිලාභය නරක නැත. එමෙන්ම, අවදානම සැලකූ විට ඒ ප්‍රතිලාභය අසාමාන්‍යද නැත.

සමාගමක් විසින් ගෙවන ලාභාංශ ප්‍රමාණය නිශ්චිත නැත. සමාගම පාඩු ලැබුවොත් ලාභාංශ කිසිවක් නැත. ඇතැම් විට සමාගම ලාභ ලැබුවද ලාභාංශ නොගෙවා ලාභය නැවත ආයෝජනය කිරීමට අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය තීරණය කරන්නට පුළුවන. ෆේස්බුක් සමාගම දිගින් දිගටම ලාභ ලැබුවත් මෙතෙක් කල් සිය ආයෝජකයින්ට කිසිදු ලාභාංශයක් ගෙවා නැත. එහෙත්, ෆේස්බුක් සමාගමේ කොටස් මිල දිගින් දිගටම විශාල ලෙස වැඩි වී ඇති බැවින් ආයෝජකයින්ට එයින් පාඩුවක් වී නැත.

කෙසේ වුවද, සමාගමක කොටස් මිල ඉහළ නොගොස් පහත වැටෙන්නටද ඉඩ ඇති අතර එසේ වුවහොත් ලාභ අඩුවීම පමණක් නොව මුල් ආයෝජනයෙන් කොටසක්ද අහිමි වීමේ අවදානමක් තිබේ. කොටස් වෙළදපොල ඉහළ ප්‍රතිලාභ ලැබෙන්නේ මේ අවදානමට හිලවුවක් වශයෙනි.

14 comments:

  1. කොටස් විකුණා මුදල් කිරීමේදී 1.12% ප්‍රතිශතයක් කොටස් වෙළඳපොලින් අය කරගනු ලබයි

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔබ මේ කියන්නේ කොටස් හුවමාරු ගාස්තු (SEC fee) සහ තැරැව්කරුවන්ගේ කොමිස් මුදල් ලෙස අය කරන මුදල ගැන වෙන්න ඇති. ලංකාවේ දැන් අයකරන ප්‍රතිශතය හරියටම දන්නේ නැතත් එය ඔබ කියන ගණන වෙන්න ඇති කියා හිතනවා. තමන්ට හිමි කොටස් විකුණන විට වගේම මිල දී ගන්නා විටත් මෙවැනි පිරිවැයක් දරන්න වෙනවා. ප්‍රාග්ධන ලාභය හරියටම ගණනය කිරීමේදී ඔබ මෙහි පෙන්වා දෙන එවැනි අමතර ගාස්තු අඩු කළ යුතුයි. ධම්මික පෙරේරා සතු කොටස් ප්‍රමාණය වැනි විශාල කොටස් ප්‍රමාණයක් විකුණන විට තැරැව්කාර සමාගම් සමඟ හෙට්ටු කර ඔවුන් අය කරන සම්මත කොමිස් මුදලින් කොටසක් අඩු කර ගැනීමේ හැකියාවකුත් තිබෙනවා.

      Delete
  2. // ෆේස්බුක් සමාගම දිගින් දිගටම ලාභ ලැබුවත් මෙතෙක් කල් සිය ආයෝජකයින්ට කිසිදු ලාභාංශයක් ගෙවා නැත.//

    එතකොට ෆේස්බුක් සමාගමේ කරන ආයෝජන කරන කොටස්කරුවෙක්ට තමන්ගේ කොටස් වලින් ලාභයක් ලබා ගැනීමට අවශ්‍ය නම් කල යුත්තේ ඒ කොටස් විකුණා දැමීමද ?

    ReplyDelete
    Replies
    1. ලාභය මුදල් කර "අතේ ඇති ලාබයක්" කර ගැනීමටනම් කොටස් විකිණිය යුතුයි. ඒ නැතත්, එය "පොතේ ඇති ලාබයක්" ලෙස තිබෙනවා. ෆේස්බුක් වැනි මිල තවත් වැඩි වන බව පෙනෙන්නට ඇති සමාගමක කොටස් විකුණා මුදල් කරනවාට වඩා නොවිකුණා එසේම කලක් තබා ගැනීම වාසියි.

      Delete
  3. පලමුව පෑන් ඒසියා බැන්කුවේ පාලන බලය ලබා ගත් දම්මික පෙරෙරා පසුව සම්පත් බැන්කුවේද පාලන බලය ලබාගත්තේය.

    එක් සමාගමක මෙවන් විශාල කොටස් අත්පත් කරගත් පසු එය නිසා කොටස් මිල දී ගත් පුද්ගලයාට ලැබෙන පාලන බලයේ වටිනාකමක් නැත්ද? ඒ ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. පාලන බලයේත් සැලකිය යුතු වටිනාකමක් තිබෙනවා. ඇමරිකාව වැනි ඉන්සයිඩර් ට්‍රේඩින් කිරීමට එරෙහි දැඩි නීති ඇති රටකට සාපේක්ෂව ලංකාව වැනි රටකදී මේ බලය ගොඩක් වැඩියි. ධම්මික පෙරේරා විසින් මුලින්ම ලංකාවේ සෙරමික් කර්මාන්තය තනිකරම වගේ තමන්ගේ අතට ගත්තා. ඉන් පසුව කලක සිට වෙනත් අංශත් ඒ අයුරින්ම තම අතට ගැනීමට උත්සාහ කරනවා.

      Delete
  4. Thanks you explain this . :)

    ReplyDelete
    Replies
    1. විනිමය අනුපාත අඩු වැඩි වීම හා එය කෘතිමව පාලනය කිරීම ආර්ථිකයට බලපාන ආකාරය ගෙන විස්තරාත්මක ලිපියක් ලියන්න පුලුවන්ද?

      Delete
    2. මේ දවස් කිහිපය පොඩි වැඩක හිර වෙලා ඉන්නේ, ජීවන්ත. එය අවසන් වූ විට මේ ගැන බලන්නම්!

      Delete
  5. "කොටස් වෙලදපොල නැවතුම" කියන්නේ මොකක්ද් පැහැදිලි කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. මේ කුමක්ද කියා හරියටම පැහැදිලි නැහැ. ඔබ මෙය හොයාගත්තේ කොහෙන්ද? මේ කියන්නේ දවස අවසානයේ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසන් වන අවස්ථාව ගැන වෙන්න පුළුවන්.

      Delete
  6. Company eke chairmen wenna apit kotas argen puluwanda kochchara kotas gnna onida ekta

    ReplyDelete
    Replies
    1. සමාගමක සභාපති වෙන්න කොටස් 50%ක ඡන්ද අවශ්‍යයි. ඡන්ද ලැබෙන්නේ කොටස් ගණන අනුව මිස අයිතිකරුවන් ගණන අනුව නෙමෙයි. කොටස් 10ක් තිබෙන කෙනෙකුට ඡන්ද 10ක් හා කොටස් 100ක් තිබෙන කෙනෙකුට ඡන්ද 100ක් ආදී වශයෙන්. කොටස් 50% ක් හිමි අය කැමතිනම් එක කොටසක් පමණක් තිබෙන කෙනෙකුට වුනත් සමාගමක සභාපති විය හැකියි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.