Wednesday, October 3, 2018

ඩොලර් එක ඇත්තටම ශක්තිමත් වෙලාද?

පහුගිය දවස්වල රුපියලට වෙච්චි ඇබැද්දිය ගැන නැවත විස්තර කරන්න ඕනෑ නෑනේ. අගෝස්තු 31 සිට සැප්තැම්බර් 28 දක්වා කාලය තුළ පමණක් ඇමරිකන් ඩොලරයක රුපියල් අගය 161.47 සිට 169.24 දක්වා 4.8%කින් ඉහළ ගියා. පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා වෙද්දී ඇමරිකන් ඩොලරයක මිල 152.85ක් පමණයි. එදා ඉඳලා බැලුවොත් පහුගිය මාස නවයක කාලයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව 10.72% කින් අවප්‍රමාණය වෙලා.

මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත දත්ත අනුව මේ කාලය ඇතුළත රුපියල ඩොලරයට සාපේක්ෂව 10.17% කින් අවප්‍රමාණය වෙලා. දත්ත කොයි පැත්තෙන් අරගෙන බැලුවත් රුපියල ඩොලරයට සාපේක්ෂව දුර්වල වී තිබීම පැහැදිලිව පෙනෙන කරුණක්.

මෙයට හේතුව පහුගිය කාලයේ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීම බව අපට අහන්න ලැබුණු කතාවක්. කොහොමටත් ඉතින් රුපියල ඩොලරයට සාපේක්ෂව දුර්වල වෙනවා කියන්නේ ඩොලරය රුපියලට සාපේක්ෂව ශක්තිමත් වෙනවා කියන එකයි. ඒකනම් අමුතුවෙන් කියන්න තරම් විශේෂ දෙයක් නෙමෙයි. නමුත්, මේ කතාව කියන අයට අනුව රුපියල පැත්තකින් තියලා වෙන නිර්ණායක අනුව බැලුවත් ඇමරිකන් ඩොලරය ශක්තිමත් වෙලා. ඇත්තටම එහෙම වෙලාද?

ඇමරිකන් ඩොලරය රුපියල හෝ වෙනත් එවැනි ව්‍යවහාර මුදලක් ශක්තිමත් වෙලාද නැත්නම් දුර්වල වෙලාද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ වෙනත් නිර්ණායකයකට සාපේක්ෂව පමණයි. එහෙම නැතුව ඩොලරයක නිරපේක්ෂ වටිනාකමක් ගැන කතා කරන්න බැහැ. නිරපේක්ෂ පදනමකින් බලනවානම් ඩොලර් එකට එදත් ඩොලර් ශත සීයයි. අදත් ඩොලර් ශත සීයයි.

ඩොලර් එකක වටිනාකම රැඳී තිබෙන්නේ එහි හුවමාරු අගය මතයි. එහෙම නැත්නම් ඩොලර් එකක් කියන්නේ කියන්න තරම් ප්‍රයෝජනයක් නැති නිකම්ම නිකම් කොළ කෑල්ලක් විතරයි. වෙනත් ඕනෑම ෆියට් මුදලක් ගත්තත් ඒවායේ වටිනාකම රැඳී තිබෙන්නේ මිනිස්සුන්ගේ විශ්වාසය මතයි. 

ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ නොවැටී තිබෙන තාක් කල් මිනිස්සු තමන්ට හා වෙනත් අයට වැඩක් තිබෙන භාණ්ඩ හා සේවා ආදිය මේ නොවටිනා කොළ කෑලි සමඟ හුවමාරු කරන්න පැකිළෙන්නේ නැහැ. නමුත්, ඒ විශ්වාසය යම් විදිහකින් නැති වුනොත් ව්‍යවහාර මුදල් ඒකක බිලියන ගණනක් තිබුණත් පාන් ගෙඩියක් තරම් දෙයක්වත් මිලදී ගන්න බැරි වෙන්න පුළුවන්. කලකට පෙර සිම්බාබ්වේ මුදල් ඒකකයට වුණේ එවැනි දෙයක්.

ව්‍යවහාර මුදලක වටිනාකම නිර්ණය කළ හැකි හොඳම නිර්ණායකය වන්නේ යම් මුදලකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය කොපමණද යන්නයි. ක්‍රය ශක්තිය කියන්නේත් මෙයටමයි.

සාමාන්‍යයෙන් රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය කාලයත් එක්ක ඉහළ යනවා. ආර්ථික වර්ධනය කියා කියන්නේ මෙයටයි. රටේ නිපදවන හා හුවමාරු වන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගය හා අලුත් මුදල් සංසරණයට එකතු වන වේගය සමානනම් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදලේ අගය නොවෙනස්ව තිබෙනවා. උද්ධමනයක් කියා එකක් නැහැ. රටක නිපදවන භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව කිසියම් ව්‍යවහාර මුදලක අගයට අදාළ මුදලේ දේශීය අගය කියලත් කියන්න පුළුවන්.

කිසියම් රටක සංසරණයට අලුතින් එකතු කෙරෙන මුදල් ප්‍රමාණය දැනට තිබෙන මුදල් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගයට වඩා අඩුනම් මේ භාණ්ඩ හා සේවා මිල දී ගන්න අවශ්‍ය පමණ මුදල් රටේ නැති නිසා ඒ භාණ්ඩ හා සේවා විකිණීම අසීරු වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ භාණ්ඩ මිල පහළ යාමයි. මෙහිදී මුදල් ඒකකයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යනවා. ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදල ශක්තිමත් වෙනවා.

නමුත්, බොහෝ රටවල් වල බොහෝ විට වෙන්නේ මෙහි අනිත් පැත්තයි. ඒ කියන්නේ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් මුදල් සැපයුම ඉහළ යනවා. එහෙම වෙන්නේ එසේ කිරීම රජයයන්ට වාසිදායක නිසයි. වෙනත් අයෙක් ඉතා මහන්සියෙන් වැඩ කරලා ඩොලරයක් උපයන විට රජය මහන්සියක් නැතිව පහසුවෙන් ඩොලරයක් මුද්‍රණය කරගන්නවා. මේ ඩොලර් දෙකේම මිල දී ගැනීමේ හැකියාව සමානයි.

භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩිවන වේගයට වඩා වේගයෙන් රටේ මුදල් ප්‍රමාණය ඉහළ ගියාම භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම වැඩි වෙලා මිල ඉහළ යනවා. එවිට ඩොලරයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය, එනම් එහි ක්‍රය ශක්තිය පහළ යනවා. භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදල දුර්වල වෙනවා.

වෙනත් රටවල වගේම ඇමරිකාවෙත් ආර්ථිකය වර්ධනය වන වේගයට වඩා වැඩියෙන් අලුත් මුදල් සංසරණයට එකතු කෙරෙනවා. ඒ නිසා ඇමරිකාවේ වුවත් භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් වසරින් වසර ඉහළ යනවා. ඇමරිකන් ඩොලරයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය වසරින් වසර පහළ යනවා. වෙනත් විදිහකින් කිවුවොත් ඇමරිකන් ඩොලරය ඇමරිකාවේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව වසරින් වසර දුර්වල වෙනවා. එය ශක්තිමත් වෙන්නේ ඉතාම කලාතුරකින්.

පහත පළමු වගුවේ තිබෙන්නේ 2001 මුලදී ඇමරිකාවේ සංසරණය වූ ඩොලරයක දේශීය වටිනාකම වසරින් වසර පහල ගිය ආකාරයයි. දත්ත සියල්ල ඇමරිකාවේ කම්කරු සංඛ්‍යාලේඛණ කාර්යාංශයෙන්. ඇමරිකන් ඩොලරය රටේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව ශක්තිමත් වී තිබෙන්නේ 2014 වසරේදී පමණයි. අනෙක් සෑම අවුරුද්දකම වෙලා තියෙන්නේ ඇමරිකන් ඩොලරය දුර්වල වෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2001 ඇමරිකන් ඩොලරයක දැන් (2018 අගෝස්තු) වටිනාකම ඩොලර් ශත 68 කටත් වඩා අඩුයි. 2001දී ඩොලරයකින් ගත් බඩු ප්‍රමාණය ගන්න දැන් ඩොලර් 1.48ක් අවශ්‍යයි.



කොහොම වුනත් ඔය පහුගිය කාලයේ ඩොලරය ශක්තිමත් වුනා කියා කියන අය කියන්නේ ඔය කතාව නෙමෙයිනේ. ඒ අය කියන්නේ වෙනත් විදේශ මුදල් වලට සාපේක්ෂව මේ අවුරුද්දේදී ඩොලරය ශක්තිමත් වුනා කියන එකයි. ඩොලරය රට ඇතුළේ දුර්වල වෙද්දී එහෙම වෙන්න පුලුවන්ද?

බැරිකමක් නැහැ. මේ අවුරුද්දේ මුල සිට ගත වුනු මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයේ දේශීය අගය 1.70%කින් අඩු වෙලා තිබෙනවා. නමුත්, ඊට වඩා වේගයකින් වෙනත් රටක ව්‍යවහාර මුදලක දේශීය අගය අඩු වුනොත් එවැනි මුදලකට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙන්න පුළුවන්. ප්‍රාග්ධන ගලායෑම්, මහ බැංකු මැදිහත්වීම් වැනි වෙනත් හේතු මතත් එය වෙන්න පුළුවන්.

හරි. වෙන්න පුළුවන් කියා කියමුකෝ. එහෙමනං ඇත්තටම එහෙම වෙලාද?

පහත දෙවන වගුවේ තිබෙන්නේ වෙනත් මුදල් ඒකක ගණනාවකින් ඇමරිකන් ඩොලරයක මිල. දත්ත සියල්ල ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවෙන්. වසර මුල සිට ගත වූ මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයක බාහිර අගය වෙනස් වූ ආකාරය මේ වගුවේ පෙන්වා තිබෙනවා.



වගුවේ දත්ත වලින් පෙනෙන පරිදි යුරෝ, චීන යුවාන්, ජපන් යෙන්, කැනේඩියානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර්, නවසීලන්ත ඩොලර් ආදී මුදල් ඒකක ගණනාවකට සාපේක්ෂව පහුගිය කාලයේ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වී තිබෙනවා. නමුත්, මෙක්සිකන් පෙසෝ, නෝර්වීජියානු ක්‍රෝනර්, තායි බාත් ආදියට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය සුළුවෙන් හෝ දුර්වල වෙලාත් තිබෙනවා. එහෙමනම් ඇත්තටම ඇමරිකන් ඩොලරයේ බාහිර අගයට මොකද වෙලා තිබෙන්නේ.

ඇතැම් මුදල් ඒකක වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයේ බාහිර අගය ශක්තිමත් වෙද්දී වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව එම බාහිර අගය දුර්වල වන විට සමස්තයක් ලෙස සිදුවුණේ කුමක්ද කියා තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඇමරිකාවේ ප්‍රධාන වෙළඳපාර්ශ්වකාර රටවල් වල මුදල් ඒකක වලට සාපේක්ෂව එහි බාහිර අගය බරිත සාමාන්‍ය අගයක් ලෙස ගණනය කරලා ප්‍රසිද්ධ කරනවා. ඒ අනුව, පහුගිය මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයේ බාහිර අගය සමස්තයක් ලෙස 5.62%කින් ඉහළ ගිහින් තිබෙනවා.

කොහොම වුනත් ලංකාවේ ඩොලරය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 10.17% කින්ම (ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 10.72% කින්ම) දුර්වල වෙලා තිබෙන නිසා එයට හේතුව ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීමම කියා කියන්න බැහැ. ඇමරිකන් ඩොලරය වෙනත් රටවල් වලට සාපේක්ෂව ශක්තිමත් වීම හා රුපියල දුර්වල වීම අතර සම්බන්ධයක් නැතැයි කිව නොහැකි වුවත් එය ඉතා දුර්වල සම්බන්ධයක්.

රුපියල පාවෙන්නට ඉඩ ඇරපු 2001 වසරේ සිට එය දිගින් දිගටම දුර්වල වුවත් එහෙම වුණේ ඇමරිකන් ඩොලරය දිගින් දිගටම ශක්තිමත් වූ නිසා නොවෙයි. ඇමරිකන් ඩොලරයේ බාහිර අගය ඇතැම් කාලවල් වලදී දුර්වල වෙනවා වගේම නැවත ශක්තිමත් වෙනවා. එය නිතර සිදුවන ඉතා සාමාන්‍ය දෙයක්. ඇමරිකන් ඩොලරය ශක්තිමත් වන බොහෝ අවස්ථා වලදී රුපියල දුර්වල වුවත් ඇමරිකන් ඩොලරය දුර්වල වන විට රුපියල ශක්තිමත් වන බවක් බොහෝ විට දකින්න ලැබෙන්නේ නැහැ. එවැනි වකවානු වලදීත් වෙන්නේ රුපියල දුර්වල වන එකමයි.

පහත තෙවන වගුවෙන් පෙන්වා තිබෙන පරිදි රුපියලේ අගය තීරණය වන්නේ ඇමරිකන් ඩොලරයේ බාහිර අගය මතනම් මේ වන විට ඇමරිකන් ඩොලරයක මිල තිබිය යුත්තේ 2001දී තිබුණු මට්ටමේමයි. නමුත්, මේ වන විට ඩොලරයක රුපියල් මිල එමෙන් දෙගුණයක් පමණ වෙලා.



දිගින් දිගටම කියා තිබෙන පරිදි ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සිදුවිය යුතු දෙයක් ලෙසයි මම සලකන්නේ. නමුත් ඒ ඩොලරය පහුගිය කාලය තුළ විශාල ලෙස ශක්තිමත් වෙලා තිබෙන නිසා නෙමෙයි. රුපියල මේ වන විටත් පවතින විණිමය අනුපාතිකයෙන් පෙන්වනවාට වඩා දුර්වල වෙලා තිබෙන නිසා. අවප්‍රමාණය වීම හරහා සිදුවෙන්නේ ඒ දුර්වලකම පෙනෙන්න ගැනීමයි. සිදුවිය යුත්තේ මූලිකාංග අනුව රුපියල ශක්තිමත් වෙන්න ඉඩහැරීම මිසක් දැනටමත් දුර්වල වී අවසන්ව තිබෙන රුපියල ශක්තිමත්ව තිබෙන බව පෙන්වන්න අමාරුවෙන් උත්සාහ ගැනීම නෙමෙයි. එසේ කිරීමෙන් වෙන්නේ රුපියල තවතවත් දුර්වල වෙන්න ඉඩ සැලසීමක් පමණයි.

ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියල අවප්‍රමාණය වනවා කියන එක වැඩිම වුණොත් අර්ධ සත්‍යයක් පමණයි.

14 comments:

  1. ඉකොනොමැට්ටා,

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඊයේ කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඉදිරියේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5 ක් ඉක්මවූ මුදල් ප්‍රමාණයක් රැස් කර ගැනීමට සැලසුම් සකස් කර ඇති බව පැවසූවා.

    මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට මහ බැංකුව සතුව පවතින නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.3 ක් බවත් එක්සත් ජනපද ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක්, ඩොලර් මිලියන 250 ක් බැගින් වූ පැන්ඩා හා සමුරායි බැඳුම්කර නිකුතු දෙකක් හා චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් ලැබීමට නියමිත ඩොලර් බිලියන 1 ක ණය මුදලක් මගින් මෙම අරමුදල් එක්රැස් කර ගැනීමට නියමිත බවය.

    චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් පැමිණීමට නියමිත ඩොලර් බිලියන 1 ක ණය මුදල ඉදිරි සතිය තුළ ලැබෙනු ඇති බව මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ආර්ථික කළමනාකරණය කියල හැමදාම වගේ කළේ හිර වෙනකොට කොහෙන් හරි ණයක් අරන් රෝල ගහන එකනේ. මේ පාරත් අලුතින් ණය අරගෙන වෙළඳපොළට ඩොලර් දමලා රුපියල අවප්‍රමාණය වෙන එක පාලනය කර ගනියි. ඊට පස්සේ ඒ ණය ගෙවන්න වෙනකොට නැවතත් ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. එහෙම ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ රුපියල කඩා වැටෙනවා කියල දැන් කෑගහන අයට වෙන්නත් පුළුවන්.

      Delete
  2. ඔබතුමා කලින් ලිපියක සඳහන් කරා ඩොලරයේ අගය වැඩිවීම ලංකාවේ නිෂ්පාදන අංශයට (විශේෂයෙන් තේ, රබර් වැනි අපනයන නිෂ්පාදන) සම්බන්ධ ජනතාවට වාසි දායකයි කියල. නමුත් සමස්ථයක් වශයෙන් ගත්තහම ඒ කථාව එතරම් ප්‍රයෝගික නෑ කියලයි මට හිතෙන්නෙ.
    උදාහරණ කිහිපයක් ගත්තොත් 2018-07-24 දුම්ගැසූ රබර් ශීට් එකකට රුපියල් 280ක් ලැබෙනකොට 2018-09-11 ලැබෙන්නෙ 265ක්. ඒ වගේම පසුගිය කාලය පුරාම තේ සඳහා ගෙවන මිලත් සීග්‍ර ලෙස පහල ගිහින් තියනව (ජනවාරි සිට අගෝස්තු දක්වා $4.16 සිට $3.34) මෙලෙස මිස උච්චාවචනය වෙන්න වෙනත් සාධක ගණනාවක් බලපානව. මේ හේතු නිසා බොහෝ දුරට අර නිෂ්පාදන වලට සම්බන්ධවෙන පිරිසට නියම වාසිය ලැබෙන්නෙ නෑ. පසුගිය වසර තුල ඩොලරයට සාපේක්ෂව රුපියල 10%කින් අවප්‍රමාණය උනත් වතු ක්ෂේත්‍රයේ කම්කරුවකුගේ වැටුප ඊට අනුරූපව වැඩිවෙලා නෑ. ඒ වගේම අමු තේ දළු කිලෝවක් සඳහා ලැබෙන මිලද වැඩිවීමක් පෙන්නන්නෙ නෑ. (10% කින් කෙසේවෙතත් සැලකියයුතු මට්ටමකින් හෝ)
    එහෙම බැලුවොත් ඇත්තටම රුපියල අවප්‍රමාණ වීමේ වාසිය ලැබිය යුත්තන්ට ලැබිල නෑ. අනිත් කාරනාව ලංකාවේ සිල්ලර වෙළඳාම මෙහෙයවන්නේ මධ්‍යම පාන්තිකයන්. ඔවුනට රුපියල අවප්‍රමාණ වීම දැඩිව දැනෙන නිසා ඔවුන් භාණ්ඩ හා සේවා මිල අවප්‍රමානයේ ප්‍රමාණයට අනුරූපව ඉහල දමනවා. මෙයිනුත් තැලෙන්නේ ඉහත සඳහන් කල පිරිසමයි.

    අනෙක් කරුණ රජයන්ගේ අදුරදර්ශී වැඩපිළිවෙල නිසා ලංකාවේ නිෂ්පාදනය කල හැකි දේවල් පවා ආනයනයකිරීම සිදු කරනව. රජය විසින් නාස්ති කරන මුදල් යොදවා පාඩු ලබන රජයට අයත් සංස්ථා නවීකරණය කර ලාභ ලබන තත්වයට පත්කළ හැකියි. සීනි කම්හල වහල සීනි රටින් ගෙන්වන, කඩදාසි කම්හල බංකොලොත් කරල කඩදාසි රටින් ගෙන්වන, කොටින්ම කිව්වොත් කොහුලණුත් චීනෙන් ගෙන්වන ආර්ථික ක්‍රමයක් යටතේ ලංකාව ගොඩගන්න හරිම අමාරුයි.

    තව එක දෛවෝපගත සිද්ධියක් කියන්න ඕනි. එදා සිරිමාවොගේ "පොළු" ක්‍රමය නැතිකරල ආර්ථිකය විවෘත කරපු ජේ ආර් ගෙ බෑනට අද ආයෙත් "පොළු" දාන්න සිද්ධවෙලා තියනව.









    ReplyDelete
    Replies
    1. 1. පළමු කරුණ ගැන කතා කළොත් බාහිර හේතු මත ජාත්‍යන්තර වෙළඳපොලේ තේ මිල අඩු වුනොත් ලංකාවේ තේ අපනයනකරුවෙකුට ලැබෙන මිල අඩු වෙනවා. එයට විණිමය අනුපාතිකයේ සම්බන්ධයක් නැහැ. ඔය විදිහටම බාහිර හේතු මත ජාත්‍යන්තර වෙළඳපොලේ තේ මිල වැඩි වුනොත් ලංකාවේ තේ අපනයනකරුවෙකුට ලැබෙන මිල වැඩි වෙනවා. එය දෙපැත්තටම වෙන්න පුළුවන්. දෙකෙන් කොයි දේ වුනත් ඩොලර් එක ඉහළ යාම අපනයනකරුවෙකුට වාසියක්.

      2. ඔබ දෙවනුව මෙසේ ලියනවා.

      "අනිත් කාරනාව ලංකාවේ සිල්ලර වෙළඳාම මෙහෙයවන්නේ මධ්‍යම පාන්තිකයන්. ඔවුනට රුපියල අවප්‍රමාණ වීම දැඩිව දැනෙන නිසා ඔවුන් භාණ්ඩ හා සේවා මිල අවප්‍රමානයේ ප්‍රමාණයට අනුරූපව ඉහල දමනවා."

      මෙය ඔබ කියන පරිදි සිදු වෙන්න පුළුවන්. මෙහිදී තේ කම්කරුවෙකුට හෝ විදෙස් ශ්‍රමිකයෙකුට ඩොලර් එක වැඩි වීම නිසා ලැබෙන වාසියෙන් කොටසක් අතරමැදි ව්‍යාපාරිකයෙකුට යන්න පුළුවන්. නමුත් මේ අතරමැදි ව්‍යාපාරිකයාත් ලාංකිකයෙක්. ඒ නිසා ලැබෙන වාසිය රට ඇතුළේම එක් අයෙකුගෙන් වෙන අයෙකුට යන එකයි වෙන්නේ.

      3. "රජය විසින් නාස්ති කරන මුදල් යොදවා පාඩු ලබන රජයට අයත් සංස්ථා නවීකරණය කර ලාභ ලබන තත්වයට පත්කළ හැකියි. සීනි කම්හල වහල සීනි රටින් ගෙන්වන, කඩදාසි කම්හල බංකොලොත් කරල කඩදාසි රටින් ගෙන්වන, කොටින්ම කිව්වොත් කොහුලණුත් චීනෙන් ගෙන්වන ආර්ථික ක්‍රමයක් යටතේ ලංකාව ගොඩගන්න හරිම අමාරුයි."

      මේ කර්මාන්ත වැහිලා තිබෙන්නේ ඒවායේ නිෂ්පාදන වියදම් වලට වඩා අඩුවෙන් අදාළ භාණ්ඩ ආනයනය කළ හැකි නිසයි. එසේ වී තිබෙන්නේ රටේ උද්ධමනයට අනුරූපව ඩොලර් එක වැඩි වෙලා නැති නිසයි. උද්ධමනය වැඩි වෙන විට සේවක වැටුප් වැඩි කරන්නේ වෙනවා. එවිට නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. නමුත් ඩොලර් එක වැඩි වුනේ නැත්නම් ආනයනික භාණ්ඩ වල මිල වැඩි වෙන්නේ නැහැ. එවිට දේශීය නිෂ්පාදන වලට තරඟ කරන්න බැරිව යනවා. කර්මාන්ත පාඩු ලබන විට නිකම්ම වැහිලා යනවා.

      පිළිතුර ප්‍රමාද කළේ පෝස්ට් එකක්ම දමන්න හිතාගෙනයි. නමුත්, එය කල් යන නිසා අන්තිමට මෙහිම ලිවුවා.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. රුපියලේ සිදුවන අනිසි අවප්‍රමාණය වීම වැළැක්වීමට මහ බැංකුව තීරණය කරයි
    පරණ news එකක්. ලංකාව යන විදිහ එක්ක පරණ එකේ දිනය වෙනස් කරන්න විතරයි තියෙන්නේ.අලුතින් ලියන්න ඕනේ නෑ.

    http://biz.adaderana.lk/%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%99%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%85%E0%B7%80/

    ReplyDelete
  5. It should have been beeter if table 2 comparison was done with 2015 figures, so it can be seen really usd is getting stronger against all currencies.

    ReplyDelete
    Replies
    1. US Dollar is 7.25% stronger compared to January 2015 against a basket of currencies. You can see this through the numbers in Table 3 (79.72 to 85.5). During the same period Sri Lanka Rupee has depreciated by 24.5% against the US Dollar which clearly shows that it has depreciated by around 17% against other currencies too. In comparison, during 2005-2014 US dollar weakened by 6.1% yet the Rupee depreciated by 32.1%, which means a 38%+ depreciation against other currencies. Same thing happened during the years before 2005. Depreciation of Sri Lankan Rupee has very little association with a Dollar's value relative to other currencies and driven mostly by excessive money printing in Sri Lanka than the other trade partners of USA.

      Delete
  6. බොහොම හොඳ ලිපියක්. සත්‍ය තේරුම් ගැනීමට හැකි වුණා. බොහොම ස්තුතියි.

    ReplyDelete
  7. ඉකො,
    මෙ නිව්ස් එක විදියට අපිට "ඩොලර් බිලියනයක ණය මුදලක්" ලැබෙනවා,

    වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ලැබීමට නියමිතව තිබුණු ඩොලර් බිලියනයක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟම මෙලෙස රුපියලේ අගය ඉහළ ගොස් ඇති බවයි.

    මෙහම ලැබිලත් රුපියලේ අගය RS 1 පමණක් ද වෙනස්වෙන්න?
    ලංකාවට ඩොලර් බිලියන 100 කටත් වැඩි ඩොලර් ආවත් මහලොකු වෙනසක් වෙන්නනේ නැද්ද ?
    ලංකාව මෙ තරමටම කෙල වෙලාද ?

    http://biz.adaderana.lk/%E0%B6%A0%E0%B7%93%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%92/

    ReplyDelete
    Replies
    1. මොකද අපේ GDP එකත් ඩොලර් බිලියන 100 ට අඩුය...ඒ කියන්නේ GDP එක double උනත් ලොකු වෙනසක් නැද්ද?
      (Reply සහ Comment දෙකම දැම්මේ එකම පුද්ගලයා ය. :D )

      Delete
    2. ඇනෝ, ඔබ කියන විදිහටම ලංකාවේ GDP එක ඩොලර් බිලියන 100කට අඩුයි. එතකොට ඩොලර් බිලියනයක් කියන්නේ එයින් 1%කට අඩු ප්‍රමාණයක්. ඩොලර් බිලියනයක් එක වර මාකට් එකට ආවොත් විණිමය අනුපාතිකයට ලොකු බලපෑමක් වෙනවා. නමුත්, එවැනි ප්‍රමාණයක් මාකට් එකට එන විට මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගෙන එක වර විණිමය අනුපාතිකය විශාල ලෙස වෙනස් වන එක වලක්වනවා. ඉන් පසුව, ඩොලර් අවශ්‍ය වන වෙලාවට ටික ටික වෙළඳපොළට සපයනවා. අද වුණේ කුමක්ද කියලා මා දන්නේ නැහැ. නමුත්, එවැනි දෙයක් වෙන්න පුළුවන්.

      Delete
  8. This web page can be a stroll-by for all of the info you wanted about this and didn’t know who to ask. Glimpse right here, and also you’ll positively discover it. casino online

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.