Wednesday, October 12, 2016

රාජ් රාජරත්නම්

රාජ් රාජරත්නම් ගැන ලංකාවේ මාධ්‍ය වල වරින් වර බොහෝ දේ ලියැවී තිබේ. කොළඹදී ඉපදුනු රාජ් සිය ජීවිතයේ මුල් වසර තෙළෙස ලංකාවේම ගත කළේය. සිය දෙමවුපියන් සමඟ එංගලන්තයට සංක්‍රමණය වන තුරු ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය හැදෑරුවේය. එංගලන්තයේදී පාසැල් අධ්‍යාපනය නිමකළ ඔහු සසෙක්ස් සරසවියෙන් ඉංජිනේරු විද්‍යා මූලික උපාධියක්ද පසුව ඇමරිකාවේ පෙනිසිල්වේනියා සරසවියෙන් කළමනාකරණ පශ්චාත් උපාධියක්ද ලබා ගත්තේය. වර්ෂ 1986දී ඇමරිකානු පුරවැසිභාවය ලබා ගත්තේය.

චේස් බැංකුවේ ණය අංශයේ නිලධාරියෙකු ලෙස සේවය ඇරඹු රාජ් පසුව ආයෝජන බැංකුකරණයේ සහ වත්කම් කළමනාකරණයේ යෙදුණු නීධම් සහ සමාගමේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස සේවයට බැඳී, ක්‍රමයෙන් උසස්වීම් ලබමින් එහි සභාපති වරයා බවට පත්විය. මේ අතර නීධම් සමාගම යටතේ ගොඩ නංවනු ලැබූ අනුසමාගමක් මිලදී ගත් රාජ් එය ගැලියන් සමූහ ව්‍යාපාරය ලෙස නම් කර ඉතා කෙටි කලකින් එම සමාගම දැවැන්ත වත්කම් කළමනාකරණ සමාගමක් බවට පත් කළේය.

ගැලියන් යන නමේ තේරුම විශාල නාවික යාත්‍රාවක් යන්නයි. ගැලියන් සමාගමද එවැන්නක්ම විය. ඒ නිසා මේ සමාගම මෙහෙයවූ කප්පිත්තා වූ රාජ්ගේ වත්කම්ද විශාල ලෙස ඉහළ ගියේය. වර්ෂ 2008 වන විට ඇමරිකාවේ 262 වන ධනවතා වූ රාජ්, 2009 වන විට 236 වන ධනවතා බවට පත් විය. ඒ වන විට ඔහුගේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 1.8ක් විය. මෙය ඒ වන විට ලංකාවේ ඉපදුණු පුද්ගලයෙකු සතු වූ ඉහළම වත්කමයි. ලංකාවේ ආයෝජන සිදුකිරීම සඳහා රාජ් රාජරත්නම්ව පෙළඹවීමට සිදු කෙරුණු උත්සාහයන් ගැන මෙන්ම, එල්ටීටීඊ සංවිධානයට මුදල් ආධාර දීම ගැන චෝදනාද ඒ කාලයේ ලංකාවේ මාධ්‍ය වල කතා කෙරුණේය.

රාජ්ගේ ගැලියන් නැව කෙතරම් විශාල වුවත් රාජ් එය යාත්‍රා කරවූයේ සම්මත නාවික ගමන් මඟක නොවේ. ඒ නිසා මේ යාත්‍රාව ගල්පරයක හැපී විනාශ වුණේ රාජ්ටද බරපතල තුවාල ඇති කරමිනි. 2009 ඔක්තෝබරයේදී අභ්‍යන්තර වෙළඳාම (insider trading) යන වරදට ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය විසින් රාජ්ට එරෙහිව චෝදනා ගොනු කළ අතර දෙවසරක නඩු විභාගයකින් පසුව හරියටම වසර පහකට පෙර 2011 ඔක්තෝබර් 13 දින ඔහුව 11 වසරක සිර දඬුවමකට යටත් කෙරුණේය. ඔහු දැනටත් මේ සිර දඬුවම ගෙවමින් සිටී.

රාජ් රාජරත්නම් නඩුව අඩුම වශයෙන් කරුණු දෙකක් නිසා සුවිශේෂී එකකි. පළමුව, රාජ්ට පැනවුණු දඬුවම මේ වන තුරු අභ්‍යන්තර වෙළඳාම සිදු කිරීම වෙනුවෙන් ලබාදුන් ඉහළම දඬුවමයි. දෙවැන්න රාජ්ට එරෙහිව සාක්ෂි සොයා ගැනීමට එෆ්බීඅයි ආයතනය කටයුතු කළ ආකාරයයි. 

මෑතක් වන තුරුම අභ්‍යන්තර වෙළඳාම යන චචනය ලංකාවේ බොහෝ දෙනෙකුට හුදු පුරුදු වචනයක් නොවීය. මේ වචනය ලංකාවේ බොහෝ දෙනෙකු පළමු වරට අසන්නට ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පසුවය. කලක් තරමක් යටපත්ව තිබූ මේ සිද්ධිය අදාළ සමාගමේ වාර්ෂික ලාභ ඇතුළත් ගිණුම් ප්‍රකාශන ප්‍රසිද්ධ වීමත්, ඉන් අනතුරුව මහ බැංකුවේ අධීක්ෂන වාර්තාවක් මාධ්‍ය වෙත ලැබීමත් සමඟ නැවත වටයකින් කතාබහට ලක්වී ඇත. මේ අළුත් ලිපිලේඛණ වල සඳහන් තොරතුරු සාකච්ඡා කරන්නට පෙර අපි රාජ් රාජරත්නම් සිද්ධිය ඇසුරින් අභ්‍යන්තර වෙළඳාම යන සංකල්පය හඳුනාගනිමු. මෙය මේ සඳහා විශේෂයෙන් තෝරාගත්තේ රාජ් රාජරත්නම් උපතින් ශ්‍රී ලාංකිකයෙකු වීම නිසා නොවේ. රාජ් රාජරත්නම් සිද්ධිය සරසවි පාඨමාලාවල අභ්‍යන්තර වෙළඳාම යන සංකල්පය පැහැදිලි කිරීමට යොදාගන්නා පාඨ ග්‍රන්ථ උදාහරණයක්ද වන බැවිනි.

අභ්‍යන්තර වෙළඳාම හෝ වෙනත් 'වරදක්' වරදක් වන්නේ කිසියම් සමාජයකට, සංස්කෘතියකට හා කාලයකට සාපේක්ෂවය. වැරදි නිරපේක්ෂ නැත. ඉකොනොමැට්ටාගේ පෞද්ගලික අත්දැකීම් අනුව අභ්‍යන්තර තොරතුරු ලබාගැනීම හා ඒ මත සිදුකෙරෙන අභ්‍යන්තර වෙළඳාම යනු ලංකාවේ සංස්කෘතියේ මෙන්ම වෙළදපොළ ගනුදෙනු වලද සාමාන්‍ය අංගයකි. මා දන්නා තරමින් අභ්‍යන්තර වෙළඳාම කරන්නෙකුට දඬුවම් පැමිණවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නැත.

එහෙත්, ඇමරිකාවේ තත්ත්වය එසේ නොවේ. වෙළඳපොල තරඟකාරිත්වය තුලින් කාර්යක්ෂමතාවය කරා යාමට සැදී පැහැදී සිටින ඇමරිකානු සමාජය මේ තරඟකාරිත්වයට බාධා පමුණුවන භාවිතාවන් වැරදි ලෙස හඳුනාගනී. කිසියම් ගනුදෙනුවක් සඳහා උනන්දුවක් දක්වන තරඟකරුවන් අතරෙන් එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට එයට සම්බන්ධ වන අනෙක් තරඟකරුවන්ට නොලැබෙන තොරතුරක් ලැබේනම් ඒ තොරතුරෙන් වාසියක් ගැනීමේ අවස්ථාවක්ද ඇති නිසා අනෙක් තරඟකරුවන්ට අවාසියක් සිදුවේ.

ලංකාවේ පොදු ආයතන වල ටෙන්ඩර් බෝඩ් වල සාමාජිකයෙකුව සිටීමේ සිට පෞද්ගලික ආයතන වල ටෙන්ඩර් පිළියෙළ කිරීම් දක්වා පුළුල් පරාසයක මගේ අත්දැකීම් අනුව ටෙන්ඩරයක් සඳහා ඉදිරිපත් වීමට පෙර ලංකාවේ සැපයුම්කරුවෙකු කරන පළමු දෙය හැකිතාක් අභ්‍යන්තර තොරතුරු සොයාගැනීමයි.  මේ සඳහා සැපයුම්කරුවකු සතුව ඇති පෞද්ගලික සම්බන්ධතා සුලභව යොදා ගැනේ. බොහෝ විට ලංකාවේදී  ටෙන්ඩරයක 'ස්පෙසිෆිකේෂන්' හැදෙන්නේම කිසියම් නිශ්චිත සැපයුම්කරුවෙකු ඉලක්ක කරගනිමිනි. මෙවැනි කටයුතු සඳහා සහභාගී වූ කාලයේදී අභ්‍යන්තර වෙළඳාම ගැන මා දැන් දන්නා දේ කිසිවක් දැන නොසිටියෙමි. මෙවැනි දේ ඇමරිකාවේ සාමාන්‍ය දේවල් නොවේ.

රාජ් රාජරත්නම් තමන් ලංකාවේ සමාජයෙන් උගත් දේ ඇමරිකාවට ගෙන ගියා වන්නට පුළුවන. ඔහු සමඟ පෙනිසිල්වේනියා සරසවියේ උගත් 'බැචාලා' වැනි පෞද්ගලික මිතුරෝ බොහෝ ආයතන වල සේවය කළහ. රාජ් එවැනි ආයතන වල කොටස් මිල දී ගත්තේ මේ මිතුරන් හරහා වෙනත් අයට 'එළියට නොයන' එම සමාගම් වල තොරතුරු ලබාගෙන ඒ තොරතුරු සිය ආයෝජන තීරණ වලට පදනම් කරගනිමිනි. මේ තොරතුරු ලබාගැනීම් රාත්‍රී භෝජන සඳහා හෝ කෝපි කෝප්පයක් සඳහා එක් වද්දී වක්‍රව මෙන්ම ඇතැම් විට සෘජුවමද සිදුවිය. මෙසේ තමන් වරදක් කරන බව දැනුවත්ව හෝ නොදැනුවත්ව පිටතට තොරතුරු ලබාදුන් බොහෝ දෙනෙකු දකුණු ආසියානු සම්භවයක් ඇත්තෝ වූහ.

තමන් විසින්ම අභ්‍යන්තර තොරතුරු එකතු කිරීමෙන් නොනැවතුණු රාජ් සිය සමාගමේ පහළ සේවකයින්ද ඔවුන්ගේ පෞද්ගලික සම්බන්ධතා උපයෝගීකරගෙන එසේ තොරතුරු එක්රැස්කිරීම දිරිමත් කළේය. මෑතකදී වේල්ස් ෆාර්ගෝ ආයතනයේ සිදුවූ ඉලක්ක හඹා යාම පිණිස ව්‍යාජ ගිණුම් තැනීම එම ආයතනයේ ආයතනික සංස්කෘතියේ කොටසක් වූවා සේම වෙනත් සමාගම් වල අභ්‍යන්තර තොරතුරු හඹා යාම ගැලියන් සමාගමේ ආයතනික සංස්කෘතියේ කොටසක් විය. එම සමාගමේ ලාභ හා වත්කම් ඉතා කෙටිකලක් තුළ සීඝ්‍රයෙන් ඉහළ යාමේ රහස වූයේ එයයි.

මෙය එෆ්බීඅයි ආයතනයට ඉව වැටුණත් මෙවැනි සියුම් වරදක් කරන්නෙකු 'බෙල්ල මුලින් අල්ලා ගැනීම' පහසු වැඩක් නොවේ. එෆ්බීඅයි ආයතනය මේ කටයුත්ත පටන් ගත්තේ 1998 තරම් ඈතකදීය. එම වසරේදී ඉන්ටෙල් ආයතනයේ සේවය කළ ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවක් වූ රූමි ඛාන් විසින් කිසියම් තොරතුරක් අඩංගු ලියවිල්ලක් ගැලියන් සමාගමට ෆැක්ස් කරනු එෆ්බීඅයි ආයතනය විසින් රහසිගතව කැමරාගත කර තිබේ. පසුව රාජ් රාජරත්නම් වෙත දැලක් එළීමට එෆ්බීඅයි ආයතනය විසින් මෙම රූමි ඛාන් නමැත්තියව ඉත්තෙකු ලෙස යොදාගැනුණේය. කෙසේ වුවද, රාජ් රාජරත්නම්ට එරෙහිව නිශ්චිත සාක්ෂි එක්රැස් කර ඔහුට හා තවත් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර වරදකරු කිරීමට වසර දොළහක පමණ කාලයක් ගතවිය. මෙහිදී එෆ්බීඅයි ආයතනය විසින් සිදු කළ දුරකතන ටැප් කිරීම් වැනි දේ පෞද්ගලික නිදහස යන පදනමින් අභියෝගයට පවා ලක්විය.

අභ්‍යන්තර වෙළඳාම කිරීමේ වරදට කිසිවෙකු වරදකරු කිරීම ඉතා අමාරු හා කල් ගතවන කටයුත්තකි. එහෙත්, රාජ් රාජරත්නම් අභ්‍යන්තර වෙළඳාම කිරීමට වරදකරු වූ එකම ඇමරිකානුවා නොවේ. පසුගිය වසර කිහිපය තුළ ඇමරිකානුවන් අනූවකට වැඩි ගණනක් මේ වරදට වරදකරු කරනු ලැබ තිබේ. කැමති කෙනෙකුට පහළ සබැඳිය ක්ලික් කර ඩයල් ටික බලාගන්නට පුළුවන.

http://www.bloomberg.com/graphics/2016-insider-trading/


(Image: http://www.cnbc.com/id/100991730)

Monday, October 10, 2016

දිගුකාලීන ආයෝජනයක් වන පෙර පාසැල් අධ්‍යාපනය

ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම දරුවන්ට පාසැල් අධ්‍යාපනය නොමිලයේ ලබා ගැනීමේ අවස්ථාව ඇතත් පෙර පාසැල් අධ්‍යාපනය සම්බන්ධව එවැනි නිශ්චිත ප්‍රතිපත්තියක් නැත. කෙසේවුවද බොහෝ ප්‍රදේශ වල අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් 'හෙඩ් ස්ටාර්ට්' නම් වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

පෙර පාසැල් අධ්‍යාපනයේ වටිනාකම පෙන්වා දෙනු ලැබූ ඉතා වැදගත් පර්යේෂණ අධ්‍යයනයක් වූයේ 1962-67 අතර සිදු කෙරුණු 'පෙරී පෙරපාසැල් ව්‍යාපෘතියයි'. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල වලින් 'හෙඩ් ස්ටාර්ට්' වැඩ සටහනට සැලකිය යුතු බරක් වැටුණේය.

මෙහිදී මිචිගන් ප්‍රාන්තයේ ඉප්සිලාන්ටි ප්‍රදේශයේ වාසය කළ, පාසැල් හැර යාමේ අවදානම ඉතා ඉහළ මට්ටමක වූ, අප්‍රිකානු ඇමරිකන් දරුවන්ගෙන් වයස 3-4 පිරිසක් තෝරා ගෙන ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගත් අඩකට නොමිලේ පෙර පාසැල් අධ්‍යාපනය ලබා දෙනු ලැබීය. පර්යේෂණයේ අරමුණ වූයේ පෙර පාසැල් අධ්‍යාපනය ලැබූ කණ්ඩායමේත්, එසේ නොලැබූ කණ්ඩායමේත් පසුකාලීන කාර්ය සාධන ප්‍රතිඵල සසඳා බැලීමයි.

පාසැල් අධ්‍යාපනය ඇරඹීමෙන් පසු පෙර පාසැල් පුහුණුව ලැබූවන් ඉදිරියෙන් සිටීම ඉතා පැහැදිලි කරුණකි. ඒ නිසා, නිවැරදි සැසඳීමක් කළ හැක්කේ පාසැල් අධ්‍යාපනය නිමකර කලකට පසුවය. ඒ අනුව, මේ කණ්ඩායම් දෙකෙහි වයස අවරුදු 27ක් වන විට සිදුකළ එවැනි සැසඳීමකින් පෙනී ගියේ පෙරපාසැල් අධ්‍යාපනය සඳහා කරන ආයෝජනයන්හි සමාජ ප්‍රතිලාභ ඉතා විශාල බවයි. 




-පෙර පාසැල් ගිය සිසුන් පාසැල් හැර ගියේ අඩුවෙනි. ඔවුන් වසර 11.9ක් පාසැල් යද්දී අනෙක් කණ්ඩායම පාසැල් ගියේ වසර 11ක් පමණි.

-ඔවුන්ගෙන් 65%ක් 12 වසරක අධ්‍යාපනය (ලංකාවේ උසස්පෙළ මට්ටම) සාර්ථකව අවසන් කළ අතර අනෙක් කණ්ඩායමේ එය කළේ 45%ක් පමණි.

-ඔවුන්ගේ 43%ක් විවාහ වී දරුවන් හදද්දී අනෙක් කණ්ඩායමේ එසේ කළේ 17%ක් පමණි. ඉතිරි අය දරුවන් බිහි කළේ අවිවාහකවය.

-ඔවුන්ගේ අඩුවයස් දරු උපත් ප්‍රතිශතය අඩකින් අඩු විය.

මේ කණ්ඩායම් වල වයස අවුරුදු 40 වෙද්දී නැවතත් මෙවැනි සැසඳීමක් සිදු කෙරුණේය. පහත ඇත්තේ ඒ වන විට තත්ත්වයයි.

-ඔවුන්ගෙන් වරක් හෝ බන්ධනාගාරගතව සිටියේ සැලකිය යුතු අඩු ප්‍රමාණයකි.

-කණ්ඩායමේ මධ්‍යස්ථ ආදායම අනෙක් කණ්ඩායමට වඩා 42%කින් වැඩි විය.

-රජයෙන් සහනාධාර ගැනීම 26%කින් අඩුවිය. 


 

මෙවැනි වාසි තිබුණද වඩා වැදගත් වන්නේ ඒ වාසි වැයකළ මුදලට වඩා වැඩිද යන්නයි. මේ ගැන සිදුකළ අධ්‍යයන අනුව පෙනී ගියේ වැය කළ සෑම ඩොලරයකටම ඩොලර් 12.60ක ප්‍රතිලාභ ලැබී ඇති බවයි.

මේ සම්පූර්ණ ප්‍රතිලාභ නොවේ. වයස 40 වන විට ලැබී ඇති ප්‍රතිලාභයි. එමෙන්ම, මේ ගණනය කිරීම් කර ඇත්තේ උද්ධමනය හේතුවෙන් සිදුවන මුදලේ අගය පිරිහීම සඳහා ගැලපීමක් කරමිනි.

වැඩිම වාසියක් ලැබී තිබුණේ අපරාධ මර්දනය සඳහා යන වියදම් ඉතිරි වීමෙනි. සුබසාධන වියදම් ඉතිරි වීම, අධ්‍යාපන වියදම් අඩුවීම මෙන්ම බදු ආදායම ඉහළ යාමද මේ ප්‍රතිලාභ අතර වේ. 

 

(Images: http://www.highscope.org/content.asp?contentid=219)

Sunday, October 2, 2016

අධ්‍යාපනය සුබසාධනය කළ යුත්තේ ඇයි?

නිදහස් වෙළඳපොළ ක්‍රමය යටතේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ නිදහස් තේරීමක් යනු ඔහුට හෝ ඇයට වඩාත්ම හොඳ තීරණයයි. එය එසේ වන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට වඩාත්ම හොඳ තේරීම එම පුද්ගලයාට වඩා හොඳින් වෙනත් පුද්ගලයෙකු නොදන්නා බැවිනි. ඒ නිසා කිසියම් වෙළඳපොළක නිදහස් සමතුලිතතාවයට බාධා නොකළ තරමට සමස්තයක් ලෙස සියළු පාර්ශ්වයන්ගේ යහපත උපරිමයක් වන සමතුලිතතාවයක් ඇති වේ. මිල පාලනය, නියාමනය, බදු හෝ සුබසාධනය මඟින් බොහෝ විට සිදුවන්නේ ඉහත ප්‍රසස්ථ තත්ත්වයෙන් මේ සමතුලිතතාවය අපගමනය වීමයි.

කෙසේ වුවද, පාරිභෝගිකයෙකුට තේරීමක් ඇති ඇතැම් වෙළඳපොළවල් වල මේ සාමාන්‍ය තත්ත්වයට වඩා සුවිශේෂී තත්ත්වයක් තිබෙන්නට පුළුවන. අධ්‍යාපනය හා සෞඛ්‍යය යනු එවැනි වෙළඳපොළවල් දෙකකි.

අප වෙළඳපොළෙන් කෙසෙල්ගෙඩියක් හෝ පොල් ගෙඩියක් ගන්නා විට අප ගෙවන මිලට අපට ලැබෙන දෙය ගැන අපට හොඳ අවබෝධයක් තිබේ. ඇඳුමක් තෝරන විට යමෙකු කැමති පාට හෝ මෝස්තරය වඩා හොඳින් දන්නේ එය විකුණන වෙළෙන්දා නොව මිල දී ගන්නා පාරිභෝගිකයාය. මේ වෙළඳපොළවල් වල තොරතුරු අසමමිතිය විශාල ප්‍රශ්නයක් නොවේ.

අප මූලික අධ්‍යාපනය හෝ සෞඛ්‍යය හා අදාළ මිල දී ගැනීම් කරන විට මේ තත්ත්වය බොහෝ විට වෙනස් වේ. මෙහිදී යමෙකුට වඩාත්ම හොඳ තේරීම පාරිභෝගිකයාට වඩා හොඳින් සැපයුම්කරු දැන සිටීමේ ඉඩකඩ ඉතා විශාලය. වඩා හොඳ "දැනුම" ගැන ගුරුවරයා තරමට ශිෂ්‍යයෙකු නොදනී. එමෙන්ම, වඩා හොඳ "ප්‍රතිකාරය" ගැන තබා "ප්‍රතිකාර ගත යුතු රෝගය" ගැන වුවද බොහෝ විට රෝගියාට වඩා හොඳින් වෛද්‍යවරයා දනී. මේ තොරතුරු අසමමිතියෙන් ප්‍රයෝජන ගෙන සිය පාරිභෝගිකයා "රවටා" මූල්‍ය හෝ මූල්‍යමය නොවන වාසියක් ලබා ගැනීමේ හැකියාව ගුරුවරයෙකු හෝ වෛද්‍යවරයෙකු සතුව තිබේ. ගුරුවරුන්ගේ හා වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම ගැන කෙරෙන කතිකාවන් අනෙක් ක්ෂේත්‍ර වලට වඩා වැඩි වන්නේ ඒ නිසාය. කෙසේ වුවද, සැපයුම්කරුවන් අතර තරඟය වැඩි වූ තරමට මේ හැකියාව අඩු වේ. මේ කරුණ යම් තරමකට බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයටද අදාළය. බොහෝ රටවල අධ්‍යාපනය, සෞඛ්‍යය හා මූල්‍ය සේවා සැපයීම නියාමනයකට ලක් කෙරෙනේ ඒ නිසාය.

අධ්‍යාපනය හා විශේෂයෙන්ම හා යම් තරමකට සෞඛ්‍යය හා අදාළ තවත් ගැටළුවක් තිබේ. අධ්‍යාපනය තනිකරම  පෞද්ගලික ආයෝජනයක් වූ විට යමෙකු ඒ සඳහා ආයෝජනය කරන්නේ තමන්ගේ අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ වැය කෙරෙන පිරිවැයට සමාන වන මට්ටම දක්වා පමණි. එහෙත්, මේ මට්ටම සමාජයක් ලෙස ගත් විට ප්‍රසස්ථ ආයෝජන මට්ටම නොවේ. එක් පුද්ගලයෙකුගේ අධ්‍යාපන මට්ටම ඉහළ ගිය විට එහි ප්‍රතිඵල ඔහුට හෝ ඇයට සම්බන්ධයක් නැති අය ඇතුළු තවත් බොහෝ පිරිසකට ලැබේ. උදාහරණයක් ලෙස වෙනත් අයට ලැබෙන මේ වාසි අතර කණ්ඩායම් ලෙස කරන කටයුතු වල කාර්යක්ෂමතාවය වැඩි වීම, අපරාධ අඩු වීම නිසා සමාජය වඩා සුරක්ෂිත වීම වැනි දේ දැක්විය හැකිය. සෞඛ්‍යය හා අදාළවනම් ලෙඩ රෝග පැතිරීම අඩුවීම නිසා ඇතැම් බෝවන රෝග වැළඳීමේ ඉඩකඩ අඩුවීම මෙසේ වෙනත් අයට ලැබෙන වාසියකි.

මෙසේ වෙනත් අයට 'නොමිලේ' ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් නිදහස් වෙළඳපොළ ක්‍රමයක් යටතේ ඒ අය මිලක් ගෙවන්නේ නැත. ඒ නිසා, අධ්‍යාපනය සඳහා නිදහස් වෙළඳපොළක සිදුකෙරෙන ආයෝජන පුද්ගලයෙකු සඳහා ප්‍රසස්ථ මට්ටම වුවත් සමස්ථ සමාජයම සැලකූ විට ප්‍රසස්ථ මට්ටම නොවේ. අධ්‍යාපනය කිසියම් මට්ටමකට සුබසාධනය කිරීම මේ ප්‍රශ්නයට විසඳුමකි.

කෙසේවුවද, නිසි හැදෑරීමකින් අනතුරුව ඉහත මූලධර්මය අනුව ප්‍රසස්ථ මට්ටමට අධ්‍යාපනය සුබසාධනය කළ විට එම ආයෝජනය නැවත අය කර ගැනීම ගැටළුවක් වන්නේ නැත. ක්‍රමය තුළ ස්වයංක්‍රීයවම අදාළ ප්‍රතිලාභ සමාජයට ලැබේ. ඒ නිසා, ඔබ නොමිලේ ලබාගත් දෙය වෙනුවෙන් යමක් කළ යුතුයැයි කිසිවකුට මතක් කරන්නට අවශ්‍ය නොවේ. සුබසාධනයේ වාසිය ලබා ගන්නා අයෙකු පසුකාලීනව කෙතෙක් ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කළද සමාජයට මේ වාසි නොලැබී නොයයි.

යම් හෙයකින් එය එසේ සිදු නොවේනම්, එයින් පෙනෙන්නේ සුබසාධන ආකෘතියේ කිසියම් වරදක් ඇති බවයි. එමෙන්ම, සුබසාධන බරපැන වැටෙන්නේ සමස්ථ සමාජයේ උරමත බැවින් එය සමාජයට වාසිදායකනම් සමාජය විසින් එම පිරිවැය නොදැරෙන්නට හේතුවක් නැත. ඒ නිසා, අධ්‍යාපනය සුබසාධනය කළ යුත්තේ ඇයි යන කරුණ සමාජයට කරුණු සහිතව (සංඛ්‍යාත්මක විශ්ලේෂණයන් සමඟ) පෙන්වාදීම සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින අයට කළ හැකි වඩා ප්‍රතිඵලදායක කටයුත්තකි.


(Image: www.sundaytimes.lk)