Showing posts with label මුදල් සැපයුම. Show all posts
Showing posts with label මුදල් සැපයුම. Show all posts

Saturday, January 1, 2022

නින්දෙන් ඇහැරෙන උද්ධමන බිල්ලා


පසුගිය වසර අවසන්ව ඇත්තේ 12.1%ක උද්ධමනයක් වාර්තා කරමින්. ආහාර උද්ධමනය 22.1% තරම් ඉහළ අගයක්. වසරේ පළමු මාස 9 තුළම උද්ධමන දර්ශකය 4.4%කින් පමණක් ඉහළ යාමත්, අවසන් තෙමස තුළ පමණක් 7.4%කින් ඉහළ යාමත් අවධානය යොමු කළ යුතු කරුණක්. ඒ අනුව, අවසන් තෙමස තුළ පැවති උද්ධමනය සමාන කළ හැක්කේ 32.8%ක වාර්ෂික උද්ධමන අනුපාතයකටයි. මේ සංඛ්‍යාව දෙස බලා 2020 වසර තුළ උද්ධමනයේ දිශානතිය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්.

ඉහළ යන උද්ධමනය මිත්‍යාවන් ගණනාවක් බිඳ දමනවා. පළමුවැන්න, මුදල් සැපයුම ඉහළ දමමින් උද්ධමන රකුසාගෙන්ද බේරී සිටිය හැකි බවට පළ කෙරුණු අදහසයි. හිටපු මහ බැංකු අධිපතිවරයාද මේ න්‍යායේ ප්‍රකාශකයෙක්ව සිටියා. වත්මන් අධිපතිවරයා විසින් ධුරය භාර ගැනීමෙන් පසුව මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනයට හේතු වන බව පිළි ගනිමින් කතා කළත්, අවශ්‍ය අවස්ථාවේ මුදල් සැපයුම අඩු කර ගැනීමේ හැකියාව මහ බැංකුව සතු නිසා මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනයට හේතු නොවන ඇති බව අවධාරණය කළා.

අධිපති කබ්රාල්ට අනුව මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි කිරීම ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සැත් පිහියකින් රෝගියෙකුගේ සිරුර කැපීම වැනි දෙයක්. කපන්න වගේම රෝගියාට හානියක් නොවන සේ අවශ්‍ය අවස්ථාවේ කැපුම මහන්නත් වෛද්‍යවරයාට පුළුවන්. අධිපති ධුරයට කබ්රාල් පත් වීමෙන් පසුව ගත වූ තෙමස තුළ 32.8%ක වාර්ෂික උද්ධමනයකට සමාන අනුපාතයකින් මිල මට්ටම් ඉහළ යාම තුළ පෙනී යන්නේ මහන එක කපන තරම්ම ලේසි නැති බවයි.

උද්ධමනය විසින් බිඳ දමන දෙවන මිථ්‍යාව ඩොලරයේ මිල පාලනය කිරීමෙන් උද්ධමනය පාලනය කළ හැකි බවයි. මෙය සම්පූර්ණ බොරුවක්ම නොවන අර්ධ සත්‍යයක්. ආනයන සීමා කිසිවක් නැත්නම් ඩොලරයේ මිල පාලනය කිරීමෙන් උද්ධමනය පාලනය කළ හැකියි. එහෙත්, ආනයන සීමා ඇති විට ඩොලරයේ මිල පාලනය කළ පමණින් දේශීය වෙළඳපොළෙහි ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවය සමතුලිත නොවන නිසා මුදල් සැපයුම ඉහළ මට්ටමක පවතින තුරු භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නොවැලැක්විය හැකියි.

බඩු මිල ඉහළ යාමට හේතුව ඉහළ බදු යන්නද, අඩු වශයෙන් ලංකාවේ සන්දර්භයේදී, මෙවැනිම මිථ්‍යාවක්. බදු වැඩියෙන් අය කරද්දී අයවැය හිඟය පහළ ගොස් සල්ලි අච්චු ගැසීමේ අවශ්‍යතාවය අඩු වන නිසා බදු හේතුවෙන් සෘජු ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ බලපෑම නිශේධනය වෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ බදු වැඩි කර, ඩොලරයද ඉහළ යන්න ඉඩ දී තිබියදීත්  උද්ධමනය මේ අයුරින් ඉහළ නොගොස් බඩු මිල පාලනය වී තිබුණේ උද්ධමනයට මුදල් සැපයුමේ බලපෑම ඔය දෙකෙන්ම සිදුවන බලපෑමට වඩා වැඩි නිසයි.

මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන මැදිකාලීන සාර්ව-ආර්ථික සැලසුම අනුව උද්ධමනය 4-6% අතර පවත්වා ගැනීම රජයේ සැලසුමයි. පසුගිය වසර 12ක කාලය තුළ ලංකාවේ උද්ධමනය මේ සීමාව තුළ හෝ ආසන්නයේ රඳවා ගැනීමට හැකි වී තිබෙන අතර 2009 ජනවාරි මාසයෙන් පසුව උද්ධමනය කිසි විටෙකත් ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් වී නැහැ. ගැලවිල්ලට කවර හේතු ඉදිරිපත් කළ හැකි වුවත්, 12.1%ක උද්ධමනය විසින් පෙන්වා දෙන්නේ පැහැදිලි ලෙසම මහ බැංකුව සිය වගකීම් ඉටු කිරීමට අසමත්ව ඇති බවයි.

මේ තරම් ඉහළ මට්ටමකට ගොස් තිබෙන උද්ධමනය විසින් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකද ප්‍රශ්න කෙරෙනවා. මේ වන විටද වාණිජ බැංකු විසින් 6% පොලියට මහ බැංකුවෙන් අරමුදල් ලබා ගනිමින් සිටින අතර එම අරමුදල් තෙමස් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර 8.16%ක පොලියක් උපයනවා. වාණිජ බැංකු වල ප්‍රමුඛ පාරිභෝගිකයින්ද 9.18%ක පොලියකට ණය ලබා ගනිමින් සිටින අතර මෙය පවතින උද්ධමනයට වඩා 3%කින් පමණ අඩු පොලියක්. මේ තත්ත්වය යටතේ, සාමාන්‍ය පුද්ගලයින්ට උද්ධමනය විශාල ප්‍රශ්නයක් වුවත්, සීමිත පිරිසකට "කල්ල මරේ" තත්ත්වයක් ඇති වී තිබෙනවා. 

Thursday, January 17, 2019

මහබැංකුව කෝටි නමදාහක් සල්ලි අච්චු ගහයි!


ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන පරිදි "2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා" මහ බැංකුව විසින් රුපියල් බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා. "ජාතික අවශ්‍යතාව සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා" මහා භාණ්ඩාගාරය විසින් කර ඇති මෙම ඉල්ලීම සඳහා මුදල් මණ්ඩලය විසින් එකඟතාව පළ කළ බවයි එම නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.

සාමාන්‍යයෙන් මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම කියන එකෙන් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමයි. එසේ නැතිව, පැරණි මුදල් නෝට්ටු වෙනුවට අළුත් මුදල් නෝට්ටු නිකුත් කිරීම මුදල් අච්චු ගැසීමක් ලෙස සැලකෙන්නේ නැහැ. රටේ මුදල් ඉල්ලුම සපුරමින් සැලසුම් සහගතව බැංකු පද්ධතිය හරහා ක්‍රමිකව අලුත් මුදල් සංසරණයට එකතු කිරීමත් මුදල් අච්චු ගැහීමක් වුවත් එය පාලනයක් ඇතිව සිදුවන්නක්. මේ නිවේදනය අනුව පෙනෙන පරිදි මේ රුපියල් බිලියන 90 මහ බැංකුවේ මුදල් ප්‍රසාරණ සැලසුමක කොටසක් නෙමෙයි. රජයේ ඉල්ලීම මත "නොකර බැරි නිසා" කරන්නක්. ඔය සල්ලි අච්චු ගැහිල්ල මැතිවරණයකට යන්න බලාගෙන කරන වැඩක් වෙන්නත් පුළුවන්. 

මහ බැංකුව විසින් මේ ආකාරයට  මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම හෝ බලකිරීම මත මුදල් අච්චු ගැසීම අලුත් දෙයක් නෙමෙයි. පසුගිය ආණ්ඩුව බලයට පත් වූ මුල් දෙවසරක පමණ කාලය තුළත් මේ වැඩේ ජයටම සිදුවුණා. එහි ප්‍රතිඵලයක් විදිහට 2006 පමණ වන විට රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගියා. රාජපක්ෂ ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීම සීමා කර විශාල ලෙස විදේශ ණය ගන්න පෙළඹුනේ එයින් පසුවයි.

ආණ්ඩුවක් ආදායමට වඩා වියදම් කරන තාක් කල් ඒ අඩුව කොහෙන් හෝ පියවා ගන්නත් වෙනවා. එසේ කිරීමේදී දේශීය වෙළඳපොළෙන් හෝ විදේශීය වෙළඳපොළෙන් ණය ගන්න සිදු වෙනවා. දේශීය ණය වැඩි වැඩියෙන් ගනිද්දී ඒ විදිහට ණය ගැනීම වඩ වඩා අසීරු වෙනවා. එවිට පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ අරින්න වෙනවා. පොලී අනුපාතික ඉහළ යන විට රජයේ වියදම් තවත් ඉහළ ගිහින් අයවැය හිඟය තවත් පුළුල් වෙනවා.

මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධනය සාමාන්‍ය මට්ටමට වඩා පහත වැටිලයි තිබෙන්නේ. පහුගිය කාලයේ ආර්ථික වර්ධනය රටට දරා ගත නොහැකි මට්ටමකට ඉහළ ගිහින් තිබුණු නිසා යම් නිවැරදි වීමක් අවශ්‍යව තිබුණත් දැන් ඒ නිවැරදි වීම සිදු වෙලා ඉවරයි. ආර්ථිකය මේ වන විට තිබිය යුතු මට්ටමෙන් පහළට වැටී තිබෙන බව පැහැදිලියි. එහෙම වෙලාවක පොලී අනුපාතික ඉහළ යාමෙන් වෙන්නේ ආර්ථික වර්ධනය තවත් පහළ වැටීමයි. පොලී අනුපාතික ගොඩක් ඉහළ ගියොත් ඇතැම් විට ආර්ථිකය හැකිලෙන්න වුවත් බැරි කමක් නැහැ.

සල්ලි අච්චු ගැහීම මෙයට තාවකාලික "විසඳුමක්". හැබැයි එය තුවාලයක් කහනවා වගේ විසඳුමක්.

භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ සම්ප්‍රදායික අර්ථයෙන් නිකම්ම නිකම් කඩදාසියක්. දැන්නම් කඩදාසියක්වත් නැහැ. ඩේටා බේස් එකක රෙකෝඩ් එකක් විතරයි. මේ කඩදාසියේ නැත්නම් රෙකෝඩ් එකේ ආණ්ඩුව විසින් අනාගතයේ පොලියක් එක්ක කිසියම් මුදලක් ආපහු දෙන බවට වන පොරොන්දුවක් තිබෙනවා. ඒ පොරොන්දුව මත ආණ්ඩුව කාගෙන් හෝ මුදල් අරගෙන ඒ විදිහට ගත්ත මුදල් රටේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට වියදම් කරනවා. 

අපි හිතමු මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තේ රටේ සමාගමක් හෝ පුද්ගලයෙක් විසින් කියලා. ඒ පුද්ගලයා හෝ සමාගම ඒ මුදල උපයාගෙන තියෙන්නේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලයි. ඒ නිසා, රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් නිකම්ම කඩදාසි වුවත්, ඒ කඩදාසි සමඟ හුවමාරු කරගෙන රජයට මුදල් දෙන පුද්ගලයා හෝ සමාගම විසින් ඒ මුදලට සමාන කිසියම් නිෂ්පාදනයක් කරලා තියෙනවා. ඒ නිසා, එවැනි භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් උද්ධමනකාරී වෙන්නේ නැහැ. 

නමුත්, මහ බැංකුව රටේ අනෙක් පුද්ගලයින් හෝ සමාගම් මෙන් මුදල් උපයන්නේ නැහැ. මහ බැංකුව කරන්නේ කිසිදු සැබෑ නිෂ්පාදනයකට දායක නොවී මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමයි. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට යොදවන්නේ මේ මුදල්. මේ වැඩේ ඕනෑ තරම් ලොකුවට කළ හැකියි. රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම වගේම මහ බැංකුව විසින් අලුත් මුදල් නෝට්ටු නිෂ්පාදනය කිරීමත් ඉතා පහසුවෙන් කළ හැකි දේවල්. එය පුද්ගලයෙක් හෝ සමාගමක් විසින් කිසියම් නිෂ්පාදනයක් කර ආදායම් උපදනවා වගේ අමාරු නැහැ. 

මේ ආකාරයට අච්චු ගැසූ සල්ලි ආණ්ඩුව විසින් අත දිග හැර වියදම් කිරීමේ ප්‍රතිඵලය වන්නේ රටේ සංසරණය වන මුදල් ප්‍රමාණයේ තරමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් නොමැති නිසා මිල මට්ටම් ඉහළ යාමයි. නමුත්, රටේ මුදල් ප්‍රමාණය ඉහළ ගොස් මුදලේ වටිනාකම අඩු වී ඇති බව මිනිස්සුන්ට තේරෙන්න කලක් යන නිසා සාමාන්‍යයෙන් උද්ධමනය ඉහළ යන්නේ මුදල් අච්චු ගසා අවුරුදු දෙකකට පමණ පසුවයි. 2004 හා 2005 වසර වල සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස 2006දී ලංකාවේ උද්ධමනය 30% පමණ දක්වා ඉහළ ගියා. ඉන්පසුව, පසුගිය ආණ්ඩුව සල්ලි අච්චු ගැසීම නවත්වා විදේශ ණය වැඩි වැඩියෙන් ගන්න පෙළඹුණා.

විදේශ ණය ගත්තත්, ඒ විදිහට ණය ලෙස ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් රටේ සංචිත වලට එකතු කර ගත්තොත් මිල මට්ටම් ඉහළ යාම හෙවත් උද්ධමනය වහ ගන්න බැහැ. මහ බැංකුව විදේශ ව්‍යවහාර මුදල් මිල දී ගන්නා විට රුපියල් එළියට ඇවිත් මුදල් සංසරණය ඉහළ යනවා. එවිට මිල මට්ටම් වැඩි වෙනවා.

නමුත් විදේශ ණය සේ ලබා ගත් මුදල් සංචිත වලට එකතු කර නොගත්තොත් රටේ සංසරණය වන විදේශ මුදල් ඉහළ යාම නිසා රුපියල ශක්තිමත් වෙනවා. විදේශ ආනයන වඩා ලාබදායී වෙනවා. එවිට ආනයන ඉහළ ගිහින් ආනයන හා අපනයන අතර පරතරයක් හැදෙනවා. සංසරණයේ තිබුණු විදේශ මුදල් ආනයන වෙනුවෙන් එළියට යනවා. විදේශ ආනයන වඩා ලාබ නිසා දේශීය නිෂ්පාදන වැටෙනවා. නමුත්, භාණ්ඩ හා සේවා පිටරටින් එන නිසා රටේ භාණ්ඩ හා සේවා ඉල්ලුම සැපිරෙනවා. තවත් විදිහකින් කිවුවොත් මහ බැංකුව මුදල් අච්චු ගසා නැති නිසා මුදල් සැපයුම වැඩි වෙලා නැතත්, විදේශ ණය ලෙස ගත් මුදලින් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම නිසා රටේ භාණ්ඩ හා සේවා සැපයුම ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටම් පහළ යනවා. ඔන්න ඕක තමයි සරලව පහුගිය ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වුනේ.

පහුගිය ආණ්ඩුව කාලයේ රටේ විදේශ සංචිත ඉහළ ගිය බව කාට හෝ පෙන්වා දෙන්න පුළුවන්. ඇත්ත. නමුත්, ඒ කාලයේ ලබාගත් විදේශ ණය ප්‍රමාණය ඊට වඩා ගොඩක්ම වැඩියි. සංචිත වලට එකතු නොවූ ඒ ණය හරහා වක්‍ර ලෙස සිදුවුනේ කිසිදු වියදමක් හෝ මහන්සියක් නැතිව, නිෂ්පාදනයක්ද නැතිව, රටේ භාණ්ඩ හා සේවා පරිභෝජනය ඉහළ දමන්න හැකි වීමයි. ඒ දවස් වල පෙනෙන්නට තිබුණු සෞභාග්‍යයේ රහස එයයි. ප්‍රශ්නය වන්නේ මේ විදිහට ණයට ගෙන පරිභෝජනය කළ විට එහි වියදම පොලියත් සමඟ පසුව ගෙවන්නට සිදු වීමයි.

පොඩි පොඩි සාධනීය වෙනස්කම් ටිකක් සිදුවුනත් මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුවත් ඔය සෙල්ලම ලොකුවට වෙනස් වුනේ නැහැ. මේ ආණ්ඩුව රජයේ වියදම් යම් තරමකින් අඩු කළා. ආදායම් යම් තරමකින් වැඩි කරගත්තා. ඒත් මේ ආණ්ඩුව දිගටම දිවුවේත් හිඟයක් පවත්වා ගනිමිනුයි. අයවැය හිඟයක් සමඟ දුවන සෑම වසරකදීම රටේ ණය තවතවත් ඉහළ යනවා. ඒ අනුව, මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවත් වසරින් වසර ණය වැඩි වෙන එක දිගටම සිදු වුණා. ඒ වගේම මේ ආණ්ඩුවත් දේශපාලනික හේතු මත ආණ්ඩුවේ වියදම් තවත් ඉහළ නංවන ඇතැම් තීරණ ගත්තා.

අනෙක් පැත්තෙන් ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් ගොඩයාම සඳහා වුවත් මේ ආණ්ඩුවෙන් ප්‍රමාණවත් දෙයක් සිදුවුණේ නැහැ. රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරියත් එය කළේ නොකරම බැරිවෙන වෙලාවල් වලදී පමණයි. මේ ආණ්ඩුව යටතේත් බොහෝ විට සිදු වී තිබෙන්නේ තවත් විදේශ ණය අරගෙන රුපියල අවප්‍රමාණය වීම යම් තරමකින් හෝ පාලනය කරගන්න උත්සාහ කරන එකයි. ඒ වෙනුවෙන් විදේශ සංචිත වැය කිරීම පවා සිදු වෙලා තිබෙනවා. අවසාන වශයෙන් පසුගිය වසර හතරක කාලය ඇතුළත වෙලා තියෙන්නෙත් විදේශ ණය ප්‍රමාණය වගේම දේශීය ණය ප්‍රමාණයත් ඉහළ යාමයි. පසුගිය ආණ්ඩුවේ කාලයට සාපේක්ෂව ණය වර්ධන වේගයේ යම් අඩුවක් පමණයි වෙනසකට කියලා පේන්න තියෙන්නේ.

දැන් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න වෙලා තියෙන්නේ ඇයි?

ආණ්ඩුවට ණය ලෙස ගන්න තරම් මුදල් රටේ දේශීය වෙළඳපොළේ නැහැ. එහෙමනං තිබුණු සල්ලි වලට මොකද වුනේ?

පහුගිය මාස ගණන තිස්සේම මහ බැංකුව විසින් කළේ සංචිත විකුණන එකයි. දේශපාලන අර්බුදය තිබුණු දින පණහ ඇතුළත පමණක් ඩොලර් බිලියනයකට කිට්ටුව විකුණලා තිබුණනේ. කොහොම වුවත් සංචිත විකිණීම පටන් ගත්තේ ඊටත් කලින්. ඔය විදිහට සංචිත විකුණමින් රුපියල කෘතිමව රැකගන්න දැඟලීම තමයි ගොඩක් අවුල් වලට මුල.

මහ බැංකුව විසින් ඩොලර් එකක් එළියට දමන හැම වෙලාවෙම රුපියල් 180ක් විතර ඇතුළට ගන්නවනේ. එතකොට ඩොලර් බිලියනයක් එළියට දමන කොටස රටේ රුපියල් බිලියන 180ක හිඟයක් ඇති වෙනවා. ඉතිං කොහෙද ආණ්ඩුවට ණය ගන්න සල්ලි ඉතුරු වෙන්නේ. අන්තිමට ආණ්ඩුවට ණය දෙන එක මහ බැංකුවටම කරන්න වෙලා. 

ඉදිරි මාස කිහිපය ඇතුළත රෝලක් ගහලා ආණ්ඩුව මහ බැංකුවේ ණය පියවන කතාවකුයි මහ බැංකුවේ නිවේදනයේ තියෙන්නේ. ඒ කොටස පහළ තියෙනවා. 

"ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීම තුළින් ඇති විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිවිපාකයන් සලකා බැලීමෙන් පසු, රජයේ ණය ලබා ගැනීමේ වැඩසටහනේ අපේක්ෂිත මූල්‍යයන ක්‍රියාමාර්ගයන් සාක්ෂාත් කර ගැනීමට හැකිවීමත් සමග පෙබ‍රවාරි මාසයේ දී මෙම ගනුදෙනුවේ කොටසක් ආපසු ගෙවීමටත් ඉතිරි කොටස 2019 පළමු කාර්තුව තුළ ආපසු ගෙවීමටත් රජය විසින් එකඟ වී ඇත."

Friday, November 16, 2018

රුපියල් බිලියන සීයක් හිඟ වුනේ කොහොමද?


මුළු රටේම අවධානය දේශපාලන අර්බුදය වෙත යොමු වී තියෙද්දී මහ බැංකුව විසින් තරමක් වෙනස් ආකාරයේ මුදල් ප්‍රතිපත්ති තීරණයක් වෙත යොමු වෙලා තිබෙනවා. තීරණයක් කියා කිවුවත් තීරණ දෙකක්. තවත් පැහැදිලිව කිවුවොත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති තීරණ දෙකක්.

එක පැත්තකින් බැංකු විසින් පවත්වාගත යුතු සංචිත අනුපාතිකය 7.5% සිට 6% දක්වා පහත දමමින් විශාල මුදල් ප්‍රමාණයක් ආර්ථිකය වෙත මුදා හැරලා තිබෙනවා. මෙය මුදල් ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමක්. අනෙක් පැත්තෙන් තැන්පතු පොලී අනුපාතික 0.75%කිනුත්, ණය පොලී අනුපාතික 0.5%කිනුත් ඉහළ දමා මුදල් ප්‍රතිපත්තිය දැඩි කරලා තියෙනවා. මහ බැංකුව කියන්නේ මේ තීරණ දෙක එකිනෙක උදාසීන වන බවයි.

මේ වගේ අමුතු මුදල් ප්‍රතිපත්තියක් කරා මහ බැංකුව යොමු වෙලා තියෙන්නේ ඇයි? කියන විදිහට මේ තීරණයට එළැඹිලා තියෙන්නේ දිගින් දිගටම පවතින ද්‍රවශීලතා හිඟයට පිළියමක් ලෙසයි.

මේ කියන ද්‍රවශීලතා හිඟය කුමක්ද? මෙයින් සරලව කියන්නේ රටේ රුපියල් හිඟයක් තිබෙන බවයි. ඒ කියන්නේ රටේ පවතින මුදල් ඉල්ලුම මුදල් සැපයුමට වඩා ගොඩක් වැඩි බවයි. ප්‍රමාණාත්මකව ගත්තොත්, ඊයේ (නොවැම්බර් 16 බ්‍රහස්පතින්දා) වන විට ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 182ක්. 

රටේ මුළු සංචිත මුදල් ප්‍රමාණයම රුපියල් බිලියන 1,030ක්. ඒ කියන්නේ ඒ ප්‍රමාණයෙන් 18%ක අමතර මුදල් ඉල්ලුමක් රටේ තියෙනවා කියන එකයි. මෙය සුළුපටු නැහැ. එහෙම වුනේ කොහොමද?

මේ ද්‍රවශීලතා හිඟය ඇති වුණේ දේශපාලන අර්බුදය පටන් ගැනීමෙන් පසුව නෙමෙයි. ඔක්තෝබර් 25 වන විටත් රුපියල් බිලියන 122ක ද්‍රවශීලතා හිඟයක් තිබුණා. පසුගිය සති තුනට මේ හිඟය රුපියල් බිලියන 60කින් වැඩි වෙලා. ද්‍රවශීලතා හිඟයක් තිබෙන විට වාණිජ බැංකු විසින් කරන්නේ ඔවුන් සතු භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුවට තාවකාලිකව විකුණලා මුදල් ලබා ගන්න එකයි. සාමාන්‍යයෙන් මෙය කරන්නේ දෛනික පදනමකින්. හවසට විකුණන භාණ්ඩාගාර බිල්පත් පසුදා උදේ නැවත මිල දී ගන්නවා. ප්‍රතිවිකුණුම් කියන්නේ මේවාටයි.

මහ බැංකුවක් සාමාන්‍යයෙන් ප්‍රතිවිකුණුම් ගනුදෙනු වලට යන්නේ වාණිජ බැංකුවකට කෙටිකාලීනව, බොහෝ විට දවසකට, මුදල් අපහසුතාවක් ඇති වූ විට තාවකාලිකව ප්‍රශ්නය විසඳාගන්න ඉඩ සැලසීමක් ලෙසයි. ද්‍රවශීලතා හිඟයක් දිගින් දිගටම පවතිනවා කියන්නේ ආර්ථිකයේ දිගටම පවතින අසමතුලිතතාවයක් තිබෙනවා කියන එකයි. 

මෙවැනි අසමතුලිතතාවයක් විසඳිය හැකි ආකාර දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය වන්නේ ඉල්ලුමට ගැලපෙන පරිදි මුදල් සැපයුම වැඩි කිරීමයි. එය පසුකාලීනව උද්ධමනය ඉහළ යාමට හේතු වෙනවා. දෙවන ක්‍රමය වන්නේ මුදල් ඉල්ලුම අඩු වන තරමට පොලී අනුපාතික ඉහළ දැමීමයි. එහි ප්‍රතිඵලය ආර්ථික වර්ධනය අඩාල වීමයි.

මේ වෙලාවේ ලංකාවේ ආර්ථික වර්ධනය සාමාන්‍ය මට්ටමටත් අඩුවෙනුයි සිදු වෙන්නේ. ඒ නිසා, පොලී අනුපාතික තවත් ඉහළ දැමීම කරන්න අමාරුයි. අනික් පැත්තෙන් මුදල් සැපයුම ඉහළ දැමීම උද්ධමනය ඉහළ යන්න හේතු වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් මේ දෙපැත්තම සලකලා අතරමැදි තීරණයකටයි එළැඹිලා තියෙන්නේ. කියන විදිහට මෙය දැඩිත් නැති, ලිහිලුත් නැති උදාසීන මුදල් ප්‍රතිපත්තියක්.

මේ ආකාරයට ද්‍රවශීලතා හිඟයක් ඇති වුනේ කොහොමද? මෙය වෙන්නනම් එක්කෝ රටේ මුදල් සැපයුම අඩු විය යුතුයි. නැත්නම් මුදල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යා යුතුයි. සිංහල අවුරුදු සතිය වගේ කාලයක තාවකාලිකව ඉහළ ගියත් මුදල් ඉල්ලුම එක වර විශාල ලෙස ඉහළ යන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බොහෝ විට හේතු වෙන්නේ මුදල් සැපයුමේ සිදුවන වෙනස්කම්.

මහ බැංකුව විසින් මුදල් සැපයුම අඩු කළොත් ද්‍රවශීලතා හිඟයක් ඇති වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් තමන් සතු භාණ්ඩාගාර බිල්පත් හෝ විදේශ විණිමය විකුණා රුපියල් එකතු කර ගන්නා විට මුදල් සැපයුම අඩු වෙනවා. මෙයින් පළමුවැන්න සිදු වී නැහැ. පසුගිය තෙසතිය තුළ මහ බැංකුව විසින් කරලා තියෙන්නේ රුපියල් බිලියන 16කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමයි. ඒ කියන්නේ ඒ හරහා තවත් රුපියල් බිලියන 16ක් මුදල් වෙළඳපොළට එකතු කරලා. රුපියල් බිලියන 60කින් හිඟය ඉහළ ගිහින් තියෙන්නේ එහෙම තියෙද්දීයි. එහෙමනම් ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 60 කින් නෙමෙයි 76කින්ම වැඩි වෙලා.

ද්‍රවශීලතා හිඟය වැඩි වෙන්න පුළුවන් අනෙක් ආකාරය මහ බැංකුව විසින් හෝ විදේශිකයින් විසින් ඩොලර් (හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලක්) ගෙවා රුපියල් මිල දී ගැනීමයි. පසුගිය සති තුන ඇතුළත විදේශිකයෝ ලංකාවට ඩොලර් විශාල මුදලක් අරගෙන ඇවිත් රුපියල් කළාද? 

ඇත්තටම වෙලා තිබෙන්නේ එහි අනිත් පැත්තයි. පසුගිය සති තුනේ විදේශිකයින් විසින් කොටස් වෙළඳපොළේ තමන් සතු ආයෝජන වගේම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල කර තිබූ ආයෝජනත් විශාල ලෙස මුදල් කර රටින් ගෙනයන එකයි කර තිබෙන්නේ. මේ ප්‍රමාණය රුපියල් බිලියන 23.6ක්. ඒ කියන්නේ එපමණ රුපියල් ප්‍රමාණයක් මුදල් වෙළඳපොළට එකතු වී තිබෙනවා. එහෙමනම් ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 100 කින් පමණ වැඩි වෙලා. ඔය කාලය ඇතුළත ආනයන, ණය ගෙවීම්  ආදිය සඳහා තවත් ඩොලර් මිල දී නොගැනෙන්න හේතුවක් නැහැ. එහෙමනම් මේ ඇස්තමේන්තුව අවම ඇස්තමේන්තුවක්.

පසුගිය සති තුන ඇතුළත ද්‍රවශීලතා හිඟය මේ තරමින් ඉහළ යන්නනම් මහ බැංකුව සංචිත වලින් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් විකුණා දමා තිබිය යුතුයි. ඒ ප්‍රමාණය හා අදාළ සංඛ්‍යාලේඛණය සොයා ගැනීමේ ක්‍රමයක් නැහැ.

පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වලදී මාසයකට ඩොලර් මිලියන 300 පමණ බැගින් මහ බැංකුව විසින් සංචිත විකුණා තිබෙනවා. ඒ කියන්නේ ඒ මාස දෙකේ රුපියල් බිලියන 100ක් පමණ වෙළඳපොළෙන් එකතු කරගෙන තිබෙනවා. පසුගිය සති තුනේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 100 කින් පමණ වැඩි වෙලා තිබීමෙන් පෙනෙන්නේ පසුගිය සති තුන ඇතුළත ඩොලර් මිලියන 600කට ආසන්න සංචිත ප්‍රමාණයක් මහ බැංකුව විසින් විකුණා දමා ඇති බවයි. 

ඇතැම් විට නොවැම්බර් මුල එක වරම ඩොලරයක මිල පොඩ්ඩක් අඩු වුනේ මහ බැංකු මැදිහත් වීමක් නිසා වෙන්න පුළුවන්. නමුත්, දවස් දෙකකින් පසුව නැවතත් ඩොලරයක මිල ඉහළ යන්න පටන් ගත්තා. එසේ කර තිබියදීත් පසුගිය සති තුන තුළ ඩොලරයක මිල රුපියල් හතරකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. 

ලංකාවේ වාණිජ බැංකු විසින් මහ බැංකුවේ පවත්වා ගත යුතු සංචිත ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් බිලියන 400ක් පමණ. සංචිත අනුපාතය 7.5% සිට 6.0% දක්වා අඩු කළ විට මේ මුදලින් රුපියල් බිලියන 80ක් පමණ නිදහස් වෙනවා. ඉන් පසුවත් තව රුපියල් බිලියන 100ක පමණ ද්‍රවශීලතා හිඟයක් ඉතිරි වෙයි. එය පියවෙනු ඇත්තේ කොයි වෙලාවක හෝ ඩොලර් ණයක් ලැබුණු විටක තමයි. 

Wednesday, October 3, 2018

ඩොලර් එක ඇත්තටම ශක්තිමත් වෙලාද?

පහුගිය දවස්වල රුපියලට වෙච්චි ඇබැද්දිය ගැන නැවත විස්තර කරන්න ඕනෑ නෑනේ. අගෝස්තු 31 සිට සැප්තැම්බර් 28 දක්වා කාලය තුළ පමණක් ඇමරිකන් ඩොලරයක රුපියල් අගය 161.47 සිට 169.24 දක්වා 4.8%කින් ඉහළ ගියා. පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා වෙද්දී ඇමරිකන් ඩොලරයක මිල 152.85ක් පමණයි. එදා ඉඳලා බැලුවොත් පහුගිය මාස නවයක කාලයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව 10.72% කින් අවප්‍රමාණය වෙලා.

මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත දත්ත අනුව මේ කාලය ඇතුළත රුපියල ඩොලරයට සාපේක්ෂව 10.17% කින් අවප්‍රමාණය වෙලා. දත්ත කොයි පැත්තෙන් අරගෙන බැලුවත් රුපියල ඩොලරයට සාපේක්ෂව දුර්වල වී තිබීම පැහැදිලිව පෙනෙන කරුණක්.

මෙයට හේතුව පහුගිය කාලයේ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීම බව අපට අහන්න ලැබුණු කතාවක්. කොහොමටත් ඉතින් රුපියල ඩොලරයට සාපේක්ෂව දුර්වල වෙනවා කියන්නේ ඩොලරය රුපියලට සාපේක්ෂව ශක්තිමත් වෙනවා කියන එකයි. ඒකනම් අමුතුවෙන් කියන්න තරම් විශේෂ දෙයක් නෙමෙයි. නමුත්, මේ කතාව කියන අයට අනුව රුපියල පැත්තකින් තියලා වෙන නිර්ණායක අනුව බැලුවත් ඇමරිකන් ඩොලරය ශක්තිමත් වෙලා. ඇත්තටම එහෙම වෙලාද?

ඇමරිකන් ඩොලරය රුපියල හෝ වෙනත් එවැනි ව්‍යවහාර මුදලක් ශක්තිමත් වෙලාද නැත්නම් දුර්වල වෙලාද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ වෙනත් නිර්ණායකයකට සාපේක්ෂව පමණයි. එහෙම නැතුව ඩොලරයක නිරපේක්ෂ වටිනාකමක් ගැන කතා කරන්න බැහැ. නිරපේක්ෂ පදනමකින් බලනවානම් ඩොලර් එකට එදත් ඩොලර් ශත සීයයි. අදත් ඩොලර් ශත සීයයි.

ඩොලර් එකක වටිනාකම රැඳී තිබෙන්නේ එහි හුවමාරු අගය මතයි. එහෙම නැත්නම් ඩොලර් එකක් කියන්නේ කියන්න තරම් ප්‍රයෝජනයක් නැති නිකම්ම නිකම් කොළ කෑල්ලක් විතරයි. වෙනත් ඕනෑම ෆියට් මුදලක් ගත්තත් ඒවායේ වටිනාකම රැඳී තිබෙන්නේ මිනිස්සුන්ගේ විශ්වාසය මතයි. 

ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ නොවැටී තිබෙන තාක් කල් මිනිස්සු තමන්ට හා වෙනත් අයට වැඩක් තිබෙන භාණ්ඩ හා සේවා ආදිය මේ නොවටිනා කොළ කෑලි සමඟ හුවමාරු කරන්න පැකිළෙන්නේ නැහැ. නමුත්, ඒ විශ්වාසය යම් විදිහකින් නැති වුනොත් ව්‍යවහාර මුදල් ඒකක බිලියන ගණනක් තිබුණත් පාන් ගෙඩියක් තරම් දෙයක්වත් මිලදී ගන්න බැරි වෙන්න පුළුවන්. කලකට පෙර සිම්බාබ්වේ මුදල් ඒකකයට වුණේ එවැනි දෙයක්.

ව්‍යවහාර මුදලක වටිනාකම නිර්ණය කළ හැකි හොඳම නිර්ණායකය වන්නේ යම් මුදලකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය කොපමණද යන්නයි. ක්‍රය ශක්තිය කියන්නේත් මෙයටමයි.

සාමාන්‍යයෙන් රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය කාලයත් එක්ක ඉහළ යනවා. ආර්ථික වර්ධනය කියා කියන්නේ මෙයටයි. රටේ නිපදවන හා හුවමාරු වන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගය හා අලුත් මුදල් සංසරණයට එකතු වන වේගය සමානනම් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදලේ අගය නොවෙනස්ව තිබෙනවා. උද්ධමනයක් කියා එකක් නැහැ. රටක නිපදවන භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව කිසියම් ව්‍යවහාර මුදලක අගයට අදාළ මුදලේ දේශීය අගය කියලත් කියන්න පුළුවන්.

කිසියම් රටක සංසරණයට අලුතින් එකතු කෙරෙන මුදල් ප්‍රමාණය දැනට තිබෙන මුදල් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගයට වඩා අඩුනම් මේ භාණ්ඩ හා සේවා මිල දී ගන්න අවශ්‍ය පමණ මුදල් රටේ නැති නිසා ඒ භාණ්ඩ හා සේවා විකිණීම අසීරු වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ භාණ්ඩ මිල පහළ යාමයි. මෙහිදී මුදල් ඒකකයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යනවා. ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදල ශක්තිමත් වෙනවා.

නමුත්, බොහෝ රටවල් වල බොහෝ විට වෙන්නේ මෙහි අනිත් පැත්තයි. ඒ කියන්නේ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් මුදල් සැපයුම ඉහළ යනවා. එහෙම වෙන්නේ එසේ කිරීම රජයයන්ට වාසිදායක නිසයි. වෙනත් අයෙක් ඉතා මහන්සියෙන් වැඩ කරලා ඩොලරයක් උපයන විට රජය මහන්සියක් නැතිව පහසුවෙන් ඩොලරයක් මුද්‍රණය කරගන්නවා. මේ ඩොලර් දෙකේම මිල දී ගැනීමේ හැකියාව සමානයි.

භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩිවන වේගයට වඩා වේගයෙන් රටේ මුදල් ප්‍රමාණය ඉහළ ගියාම භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම වැඩි වෙලා මිල ඉහළ යනවා. එවිට ඩොලරයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය, එනම් එහි ක්‍රය ශක්තිය පහළ යනවා. භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදල දුර්වල වෙනවා.

වෙනත් රටවල වගේම ඇමරිකාවෙත් ආර්ථිකය වර්ධනය වන වේගයට වඩා වැඩියෙන් අලුත් මුදල් සංසරණයට එකතු කෙරෙනවා. ඒ නිසා ඇමරිකාවේ වුවත් භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් වසරින් වසර ඉහළ යනවා. ඇමරිකන් ඩොලරයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය වසරින් වසර පහළ යනවා. වෙනත් විදිහකින් කිවුවොත් ඇමරිකන් ඩොලරය ඇමරිකාවේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව වසරින් වසර දුර්වල වෙනවා. එය ශක්තිමත් වෙන්නේ ඉතාම කලාතුරකින්.

පහත පළමු වගුවේ තිබෙන්නේ 2001 මුලදී ඇමරිකාවේ සංසරණය වූ ඩොලරයක දේශීය වටිනාකම වසරින් වසර පහල ගිය ආකාරයයි. දත්ත සියල්ල ඇමරිකාවේ කම්කරු සංඛ්‍යාලේඛණ කාර්යාංශයෙන්. ඇමරිකන් ඩොලරය රටේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව ශක්තිමත් වී තිබෙන්නේ 2014 වසරේදී පමණයි. අනෙක් සෑම අවුරුද්දකම වෙලා තියෙන්නේ ඇමරිකන් ඩොලරය දුර්වල වෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2001 ඇමරිකන් ඩොලරයක දැන් (2018 අගෝස්තු) වටිනාකම ඩොලර් ශත 68 කටත් වඩා අඩුයි. 2001දී ඩොලරයකින් ගත් බඩු ප්‍රමාණය ගන්න දැන් ඩොලර් 1.48ක් අවශ්‍යයි.



කොහොම වුනත් ඔය පහුගිය කාලයේ ඩොලරය ශක්තිමත් වුනා කියා කියන අය කියන්නේ ඔය කතාව නෙමෙයිනේ. ඒ අය කියන්නේ වෙනත් විදේශ මුදල් වලට සාපේක්ෂව මේ අවුරුද්දේදී ඩොලරය ශක්තිමත් වුනා කියන එකයි. ඩොලරය රට ඇතුළේ දුර්වල වෙද්දී එහෙම වෙන්න පුලුවන්ද?

බැරිකමක් නැහැ. මේ අවුරුද්දේ මුල සිට ගත වුනු මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයේ දේශීය අගය 1.70%කින් අඩු වෙලා තිබෙනවා. නමුත්, ඊට වඩා වේගයකින් වෙනත් රටක ව්‍යවහාර මුදලක දේශීය අගය අඩු වුනොත් එවැනි මුදලකට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙන්න පුළුවන්. ප්‍රාග්ධන ගලායෑම්, මහ බැංකු මැදිහත්වීම් වැනි වෙනත් හේතු මතත් එය වෙන්න පුළුවන්.

හරි. වෙන්න පුළුවන් කියා කියමුකෝ. එහෙමනං ඇත්තටම එහෙම වෙලාද?

පහත දෙවන වගුවේ තිබෙන්නේ වෙනත් මුදල් ඒකක ගණනාවකින් ඇමරිකන් ඩොලරයක මිල. දත්ත සියල්ල ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවෙන්. වසර මුල සිට ගත වූ මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයක බාහිර අගය වෙනස් වූ ආකාරය මේ වගුවේ පෙන්වා තිබෙනවා.



වගුවේ දත්ත වලින් පෙනෙන පරිදි යුරෝ, චීන යුවාන්, ජපන් යෙන්, කැනේඩියානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර්, නවසීලන්ත ඩොලර් ආදී මුදල් ඒකක ගණනාවකට සාපේක්ෂව පහුගිය කාලයේ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වී තිබෙනවා. නමුත්, මෙක්සිකන් පෙසෝ, නෝර්වීජියානු ක්‍රෝනර්, තායි බාත් ආදියට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය සුළුවෙන් හෝ දුර්වල වෙලාත් තිබෙනවා. එහෙමනම් ඇත්තටම ඇමරිකන් ඩොලරයේ බාහිර අගයට මොකද වෙලා තිබෙන්නේ.

ඇතැම් මුදල් ඒකක වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයේ බාහිර අගය ශක්තිමත් වෙද්දී වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව එම බාහිර අගය දුර්වල වන විට සමස්තයක් ලෙස සිදුවුණේ කුමක්ද කියා තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඇමරිකාවේ ප්‍රධාන වෙළඳපාර්ශ්වකාර රටවල් වල මුදල් ඒකක වලට සාපේක්ෂව එහි බාහිර අගය බරිත සාමාන්‍ය අගයක් ලෙස ගණනය කරලා ප්‍රසිද්ධ කරනවා. ඒ අනුව, පහුගිය මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයේ බාහිර අගය සමස්තයක් ලෙස 5.62%කින් ඉහළ ගිහින් තිබෙනවා.

කොහොම වුනත් ලංකාවේ ඩොලරය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 10.17% කින්ම (ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 10.72% කින්ම) දුර්වල වෙලා තිබෙන නිසා එයට හේතුව ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීමම කියා කියන්න බැහැ. ඇමරිකන් ඩොලරය වෙනත් රටවල් වලට සාපේක්ෂව ශක්තිමත් වීම හා රුපියල දුර්වල වීම අතර සම්බන්ධයක් නැතැයි කිව නොහැකි වුවත් එය ඉතා දුර්වල සම්බන්ධයක්.

රුපියල පාවෙන්නට ඉඩ ඇරපු 2001 වසරේ සිට එය දිගින් දිගටම දුර්වල වුවත් එහෙම වුණේ ඇමරිකන් ඩොලරය දිගින් දිගටම ශක්තිමත් වූ නිසා නොවෙයි. ඇමරිකන් ඩොලරයේ බාහිර අගය ඇතැම් කාලවල් වලදී දුර්වල වෙනවා වගේම නැවත ශක්තිමත් වෙනවා. එය නිතර සිදුවන ඉතා සාමාන්‍ය දෙයක්. ඇමරිකන් ඩොලරය ශක්තිමත් වන බොහෝ අවස්ථා වලදී රුපියල දුර්වල වුවත් ඇමරිකන් ඩොලරය දුර්වල වන විට රුපියල ශක්තිමත් වන බවක් බොහෝ විට දකින්න ලැබෙන්නේ නැහැ. එවැනි වකවානු වලදීත් වෙන්නේ රුපියල දුර්වල වන එකමයි.

පහත තෙවන වගුවෙන් පෙන්වා තිබෙන පරිදි රුපියලේ අගය තීරණය වන්නේ ඇමරිකන් ඩොලරයේ බාහිර අගය මතනම් මේ වන විට ඇමරිකන් ඩොලරයක මිල තිබිය යුත්තේ 2001දී තිබුණු මට්ටමේමයි. නමුත්, මේ වන විට ඩොලරයක රුපියල් මිල එමෙන් දෙගුණයක් පමණ වෙලා.



දිගින් දිගටම කියා තිබෙන පරිදි ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සිදුවිය යුතු දෙයක් ලෙසයි මම සලකන්නේ. නමුත් ඒ ඩොලරය පහුගිය කාලය තුළ විශාල ලෙස ශක්තිමත් වෙලා තිබෙන නිසා නෙමෙයි. රුපියල මේ වන විටත් පවතින විණිමය අනුපාතිකයෙන් පෙන්වනවාට වඩා දුර්වල වෙලා තිබෙන නිසා. අවප්‍රමාණය වීම හරහා සිදුවෙන්නේ ඒ දුර්වලකම පෙනෙන්න ගැනීමයි. සිදුවිය යුත්තේ මූලිකාංග අනුව රුපියල ශක්තිමත් වෙන්න ඉඩහැරීම මිසක් දැනටමත් දුර්වල වී අවසන්ව තිබෙන රුපියල ශක්තිමත්ව තිබෙන බව පෙන්වන්න අමාරුවෙන් උත්සාහ ගැනීම නෙමෙයි. එසේ කිරීමෙන් වෙන්නේ රුපියල තවතවත් දුර්වල වෙන්න ඉඩ සැලසීමක් පමණයි.

ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියල අවප්‍රමාණය වනවා කියන එක වැඩිම වුණොත් අර්ධ සත්‍යයක් පමණයි.

Friday, May 11, 2018

තෙල් අඩුවන විට ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොවන්නේ ඇයි?


තෙල් මිල වැඩි වන විට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යයි. එහෙත්, තෙල් මිල අඩු වන විට ත්‍රිරෝද රථ ගාස්තු පහළ නොයයි. මේ අයුරින්ම, තිරිඟු පිටි මිල ඉහළ යන විට පාන්, බනිස්, ආප්ප ආදියේ මිල ඉහළ යන නමුත් මෙසේ වැඩි වූ මිල තිරිඟු පිටි මිල නැවත පහළ ගියත් අඩු වන්නේ නැත. එහෙම වෙන්නෙ ඇයි?

කෙටි පිළිතුර වන්නේ මෙයට හේතුව මහ බැංකුව විසින් දිගින් දිගටම අලුතින් මුදල් සංසරණයට එකතු කිරීම බවයි. එහෙත්, එය හරියටම වෙන්නේ කොහොමද? මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි නොකර නිශ්චිතව තබා ගත්තොත් තෙල් මිල අඩු වන විට ත්‍රිරෝද රථ ගාස්තු පහළ යයිද?

පාන්, බනිස්, ආප්ප ආදියේ මිල හෝ ත්‍රිරෝද රථ ගාස්තු තීරණය වන්නේ තනිකරම නිෂ්පාදන පිරිවැය මත පදනම්ව නොවේ. ඉල්ලුම හා සැපයුම මතය. නිෂ්පාදකයින් මෙන්ම පාරිභෝගිකයින්ද විශාල පිරිසකගෙන් සමන්විත, කර්මාන්තයට ඇතුළු වීමට හෝ එයින් පිටවීමට විශාල බාධා නැති, පාන්, බනිස්, ආප්ප ආදිය නිෂ්පාදනය කිරීම මෙන්ම ත්‍රිරෝද රථ සේවා සැපයීමද තරඟකාරී පදනමක සිදු වන්නේයැයි සැලකිය හැකිය.

තරඟකාරී වෙළඳපොළක නිෂ්පාදකයින්ට සාමාන්‍ය ලාභ මිස සුපිරි ලාභ ලැබිය නොහැකිය. ඒ නිසා, නිෂ්පාදකයින්ට ලැබෙන්නේ ඔවුන්ගේ ආවස්ථික පිරිවැයට අනුරූප ආර්ථික ලාභ පමණි. මේ ලාභය සුපිරි ලාභයක් බවට පත් වුවහොත් අලුත් පිරිස් කර්මාන්තයට ඇදී විත්, තරඟය නිසා මිල පහත වැටේ. එවිට සුපිරි ලාභ නැති වී යයි.

ඉන්ධන මිල ඉහළ ගිය විට ත්‍රිරෝද රථ සේවා සපයන්නන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ආර්ථික ලාභය සෘණ අගයක් බවට පත් වේ. එසේ වුවද, මෙහෙයුම් වියදම් ආවරණය වන්නේනම් නිෂ්පාදකයෙකුට කෙටිකාලීනව කර්මාන්තයේ දිගටම රැඳී සිටිය හැකිය.

උදාහරණයක් වශයෙන් කිලෝමීටර හතරක ගමනකට සාමාන්‍ය ගාස්තුව රුපියල් සියයක්යැයි සිතමු. මේ ගමන සඳහා වැය වන ඉන්ධන වල පිරිවැය රුපියල් විස්සකට වඩා වැඩි නොවේ. ඒ අනුව, මේ සේවාව සැපයීමෙන් නිෂ්පාදකයාට රුපියල් අසූවක පමණ මෙහෙයුම් ලාභයක් ලැබිය හැකිය. එහෙත්, සේවාසපයන්නාගේ ශ්‍රමයේ පිරිවැය හා ත්‍රිරෝද රථය වෙනුවෙන් වැය කර ඇති ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැය ඇතුළු අනෙකුත් වියදම් සැලකූ විට මෙහි ආර්ථික ලාභය ශුන්‍යයකි. එය එසේ නොවේනම්, අලුත් සේවා සපයන්නෙකු අඩු මිලට මේ සේවාව නොසපයන්නට හේතුවක් නැත.

හදිසියේම ඉන්ධන මිල 25%කින් ඉහළ ගියහොත් මෙහෙයුම් වියදම රුපියල් පහකින් ඉහළ යයි. එවිට මෙහෙයුම් ලාභය රුපියල් පහක අලාභයක් බවට පත් වේ. එහෙත්, එසේ වුනා කියා සේවා සපයන්නකුට වහාම රැකියාවෙන් ඉවත් විය නොහැකිය. එසේ කළද, වාහනයේ කල්බදු වාරික ආදිය ගෙවිය යුතු නිසා එසේ කිරීමෙන් අලාභය තවත් ඉහළ යන බැවිනි. කෙසේ වුවත්, කල් යාමේදී කිසියම් පිරිසක් කර්මාන්තයෙන් ඉවත් වන නිසා සැපයුම පහත වැටී මිල ඉහළ යයි. එවිට ආර්ථික ලාභ නැවතත් ශුන්‍ය මට්ටමටම පැමිණේ. එය සිදුවන තුරු කර්මාන්තයේ රැඳී සිටීමට කිසියම් හෝ මෙහෙයුම් ලාභයක් තිබීම ප්‍රමාණවත්ය.

ත්‍රිරෝද රථ සේවා ගාස්තු තීරණය වන්නේ එම කර්මාන්තයේ ඉල්ලුම හා සැපයුම මත වුවත්, ඉන්ධන මිල ඉහළ ගොස් නිෂ්පාදන පිරිවැය වැඩි වූ විට සැපයුම පහත වැටී මිල ඉහළ යයි. එවිට පාරිභෝගිකයින්ට ත්‍රිරෝද රථ සේවා ලබා ගැනීම සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වේ. ඉහත උදාහරණයේදී සිදු වූ එකම වෙනස ඉන්ධන මිල වැඩි වීම නිසා සේවා ගාස්තුව රුපියල් 105ක් දක්වා වැඩි වූ විට මෙහෙයුම් ලාභය නැවතත් රුපියල් 80ක් වී ආර්ථික ලාභ ශුන්‍ය වේ.

මෙය මෙසේ සිදු වෙද්දී පාරිභෝගිකයෙකුට තමන් කලින් ලබාගත් භාණ්ඩ හා සේවාවන් ඒ ප්‍රමාණයන්ගෙන්ම ලබා ගැනීමට පෙරට වඩා වැඩි මුදලක් වැය කරන්නට සිදු වේ. ඒ නිසා, රටේ මුදල් ඉල්ලුම ඉහළ යයි. එසේ වැඩි වූ ඉල්ලුමට සරිලන පරිදි මහබැංකුව විසින් අලුතින් මුදල් සංසරණයට එකතු කළහොත් භාණ්ඩ හා සේවා සඳහා කලින් වූ ඉල්ලුම එලෙසම පවතී.

මෙසේ තිබියදී ඉන්ධන මිල පෙර මට්ටමටම නැවත පහත වැටුනොත් සිදුවන්නේ කුමක්ද? එවිට ත්‍රිරෝද රථ සේවා සපයන්නන්ගේ මෙහෙයුම් ලාභය ක්ෂණිකව රුපියල් 85ක් දක්වා ඉහළ යයි. දැන් ආර්ථික ලාභය රුපියල් පහක් බවට පත් වේ. මේ රුපියල් පහ සියලු දිගුකාලීන වියදම් ආවරණය කිරීමෙන් පසු අත ඉතිරි වන සුපිරි ලාභයකි. ත්‍රිරෝද රථ කර්මාන්ත කරුවෝ මේ අමතර බෝනස් ලාබය වෙනත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වියදම් කරති. එවිට, අනෙකුත් භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඒවායේ මිල ඉහළ යයි. සුපිරි ලාභ දකින වෙනත් අය අලුතින් ත්‍රිරෝද රථ කර්මාන්තයට එකතු වන අතර ඔවුන් උපයන ආදායමද අනෙකුත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වියදම් කෙරේ. අවසන් ප්‍රතිඵලය වන්නේ රටේ අනෙකුත් භාණ්ඩ හා සේවා බොහොමයකම මිල අඩු වැඩි වශයෙන් ඉහළ යාමයි.

රටේ සියලුම භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගොස් ඇති නිසා ත්‍රිරෝද රථ කරුවෙකුට කලින් ලැබූ රුපියල් අසූවක මෙහෙයුම් ලාභය ප්‍රමාණවත් නැත. ඔහුගේ හෝ ඇයගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ශුන්‍ය ආර්ථික ලාභ ලැබීමට දැන් රුපියල් අසූ පහක මෙහෙයුම් ලාභයක් අවශ්‍ය වේ. ඒ නිසා, ඉන්ධන මිල පහත වැටුණත් ත්‍රිරෝද රථ සේවා ගාස්තු පහත නොවැටේ. මේ අයුරින්ම, තිරිඟු පිටි මිල ඉහළ යාම නිසා වැඩි වූ මුදල් ඉල්ලුම සපුරමින් මහ බැංකුව විසින් අලුත් මුදල් සංසරණයට එකතු කළහොත් තිරිඟු පිටි මිල පහළ ගිය විට පාන් බනිස් වල මිල ගණන් නැවත අඩු වන්නේ නැත.

එසේනම්, තෙල් මිල ඉහළ යද්දී මහ බැංකුව විසින් මුදල් සැපයුම නොවෙනස්ව තබා ගත්තොත් සිදු වන්නේ කුමක්ද? ඉන්ධන මිල ඉහළ යාම නිසා මෙහෙයුම් ලාභ අඩු වී ත්‍රිරෝද රථ සපයන්නන් කිහිප දෙනෙකු කර්මාන්තයෙන් බැහැර වේ. ඔවුන් දැන් ආදායම් නූපයන බැවින් රටේ අනෙකුත් භාණ්ඩ හා සේවා සඳහා ඔවුන්ගෙන් වූ ඉල්ලුම අඩු වේ. ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ ගියහොත් ඒ හේතුව නිසා ත්‍රිරෝද රථ සේවා පාරිභෝගිකයින්ට වෙනත් භාණ්ඩ හා සේවා සඳහා වැය කරන්නට අත ඉතිරි වන මුදල් ප්‍රමාණය අඩු වීම නිසා සිදු වන්නේද ඒ දෙයමය. සැපයුම එසේම තිබියදී ඉල්ලුම අඩු වීමෙන් රටේ බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල පහත වැටේ. ඉන්ධන හා ඉන්ධන මත පාදක වන නිෂ්පාදන වල මිල පමණක් ඉහළ යයි. විවිධ භාණ්ඩ හා සේවා වල සාපේක්ෂ මිල වෙනස් වුණත් සමස්තයක් ලෙස රටේ මිල මට්ටම වෙනස් නොවේ. ඒ නිසා උද්ධමනයක් නැත.

ඉන්ධන මිල නැවත පහත ගියහොත් නැවතත් මෙහෙයුම් ලාභ ඉහළ යන නිසා ත්‍රිරෝද රථ කර්මාන්තයට අලුත් පිරිස් ආකර්ශනය වී මිල පහත වැටේ. එවිට පාරිභෝගිකයින් අත ඉතිරි වන මුදල් වෙනත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වැය කෙරෙන බැවින් ඒවායේ මිල පෙර මට්ටමට ඉහළ යයි. සාපේක්ෂ මිල වෙනස් වුණත් සමස්තයක් ලෙස රටේ මිල මට්ටම වෙනස් නොවේ.

ඉන්ධන වැනි ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගිය විට රටේ මිල මට්ටම සමස්තයක් ලෙස ඉහළ යන්නේ මහ බැංකුව විසින් වැඩි වන මුදල් ඉල්ලුම සපුරමින් අලුතින් මුදල් සංසරණයට එකතු කරන නමුත් ඉන්ධන මිල නැවත පහත වැටුණු විට එසේ එකතු කළ අමතර මුදල් ආපසු එකතු කර නොගන්නා බැවිනි. මෙය අඩු වැඩි වශයෙන් ලෝකයේ හැම මහ බැංකුවක්ම කරන දෙයකි. ඒ නිසා, ඉන්ධන මිල වැඩි වීම නිසා සිදුවන දෙවන වටයේ මිල වැඩිවීම් බොහෝ විට ඉන්ධන මිල පහත වැටුනද නැවත පහත වැටෙන්නේ නැත.

(Image: https://www.indiamart.com/rapmotorsindia/three-wheeler-passenger-auto.html)

Monday, February 13, 2017

හාල් මිල, ජීවන වියදම හා උද්ධමනය

මේ දවස් වල ලංකාවේ හාල් හොඳටම ගණන්ය. හාල් විතරක් නොව පොල්ද ගණන්ය. වසර කිහිපයකට වරක් ඇති වන වියලි කාලගුණය සමඟ වී හා පොල් නිෂ්පාදනය පහත වැටී, ලංකාවේ නිපදවන හාල් වර්ග වල හා පොල් වල මිල ඉහළ යාම අමුතු දෙයක් නොවේ. ඇතැම් වසර වල මෙහි අනිත් පැත්තද මේ අයුරින්ම සිදු වේ. එහෙත්, හාල් පොල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍යයක් ගණන් යද්දී මෙන් මිල අඩුවන විට ඒ ගැන වැඩිපුර අවධානය යොමු වෙන්නේ නැත.

හාල් හා පොල් කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආහාර වේලේ මූලික කොටස් දෙකකි. වෙන මොනවා නැතත් බොහෝ ලාංකිකයින්ට හාල් හා පොල්නම් නැතුවම බැරිය. ඒ නිසා, මිල වැඩි වුනත් හාල් හා පොල් සඳහා ලංකාවේ තිබෙන ඉල්ලුම එතරම් අඩු වෙන්නේ නැත.

හාල් හා පොල් ගණන් ගිය විට බොහෝ දෙනෙකුගේ ජීවන වියදම වැඩි වේ. බොහෝ දෙනෙකුගේ කියා කීවේ හාල් හා පොල් නොකන අයත් සිටිය හැකි බැවිනි. හාල් හා පොල් මිල ඉහළ යාම නිසා හාල් හා පොල් නොකන අයගේ ජීවන වියදමට බලපෑමක් නොවේ. ජීවන වියදම කියන්නේ එක් එක් පුද්ගලයාට, වඩා නිවැරදිව කිවුවොත් පවුල් ඒකකයකට සාපේක්ෂ දෙයකි. ජීවන වියදම ඉහළ යාම කියා හඳුන්වන්නේ කිසියම් පුද්ගලයෙකුට හෝ පවුල් ඒකකයකට සාමාන්‍යයෙන් අවශ්‍ය වන භාණ්ඩ මල්ලේ මිල ඉහළ යාම නිසා ඇතිවන අපහසුතාවයයි.

උද්ධමනය කියන්නේත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම හා සම්බන්ධ දෙයකි. එහෙත්, උද්ධමනය හා ජීවන වියදම ඉහළ යාම කියන්නේ එකක් නොව දෙකකි. උද්ධමනය කියන්නේ පොදුවේ කිසියම් රටක භාණ්ඩ හා සේවා වල මිලට සාපේක්ෂව එම රටේ මුදල් ඒකකයේ අගය අඩු වීමයි. හැමවිටම වාගේ උද්ධමනයට හේතු වෙන්නේ වැඩියෙන් මුදල් අච්චු ගැසීමයි. මේ මුදල් අච්චු ගැසීම කුමක්ද කියා පෙර පැහැදිලි කර තිබේ. උද්ධමනය රටක් තුළ එකම මුදල් ඒකකය භාවිතා කරන පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පවුලෙන් පවුලට වෙනස් නොවේ. උද්ධමනය වැඩි වීම රටේ සියල්ලන්ටම පොදුවේ බලපායි.

උද්ධමනය මැනීම සඳහා පහසුවට පාරිභෝගික මිල දර්ශක යොදා ගත්තත්, පාරිභෝගික මිල දර්ශකයකින් ඇත්තටම මනින්නේ රටේ යම්කිසි කණ්ඩායමක ජීවන වියදමෙහි සිදුවන වෙනස් වීමයි. රටේ මුදල් සැපයුම වැඩි වීම හැර වෙනත් හේතු නිසාද ඇතැම් භාණ්ඩ වල මිල ඉහළ ගොස් ජීවන වියදම වැඩි වුනත් බොහෝ විට මෙවැනි මිල වැඩිවීම් කෙටිකාලීනය. එහෙත්, උද්ධමනය යනු දිගුකාලීනව සිදුවන ක්‍රියාවලියකි.

අප කවුරුත් දන්නා පරිදි මේ දවස් වල හාල් හා පොල් මිල ඉහළ ගොස් ඇත්තේ නිෂ්පාදනය අඩු වීම නිසා මිස රටේ මුදල් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් නොවේ. මුදල් ප්‍රමාණය වැඩිවීමේ බලපෑම සෑම භාණ්ඩයකට හා සේවාවකටම එකසේ බලපායි. මෙය එවැනි තත්ත්වයක් නොවේ.
(මුදල් සැපයුම වැඩි වීමේ ප්‍රතිඵල පසුව තැපෑලෙන් ලැබෙන්නට පුළුවන.) 

මුදල් සැපයුම සමාන්තරව වැඩි නොවේනම් කිසියම් භාණ්ඩයක හෝ භාණ්ඩ කිහිපයක මිල වැඩි වීම සාමාන්‍යයෙන් උද්ධමනකාරී තත්ත්වයක් ඇති නොකරයි. ඒ වෙනුවට සිදුවන්නේ වෙනත් භාණ්ඩ කිහිපයක මිල අඩු වීමෙන් රටේ සාමාන්‍ය මිල මට්ටම කිසියම් සමතුලිතතාවයකට පැමිණීමයි.

රටේ සාමාන්‍ය පවුලකට ආහාර සඳහා වියදම් කළ හැක්කේ නිශ්චිත මුදලකි. මේ මුදල සමාන්තරව වැඩි නොවේනම්, හාල් හා පොල් මිල ඉහළ ගිය විට එම පවුලට සිය පරිභෝජන මට්ටම පවත්වා ගැනීම අසීරු වේ. එවිට, හාල් හා පොල් පරිභෝජනය අඩු කරන්නට සිදුවේ. එහෙත්, ලංකාවේ බොහෝ දෙනෙකුට මෙය කළ නොහැකි දෙයකි. ඒ නිසා ඔවුන්ට සිදුවන්නේ මෙතෙක් පරිභෝජනය කළ වෙනත් දේවල් වලින් කිසියම් ප්‍රමාණයක් කපා හරින්නටය.

ලංකාවේ හාල් හා පොල් වැඩිපුර ආහාරයට ගන්නා බහුතර ජනතාව දිනපතා මස්, මාළු කන්නේ නැත. ඔවුන්ගේ ආහාර වේලට සාමාන්‍යයෙන් බොහෝ විට එකතු වන්නේ බිත්තරයක් හා එළවළු කිහිපයකි. කෑම සඳහා සාමාන්‍යයෙන් වෙන් කරන මුදලින් වැඩි කොටසක් හාල් හා පොල් වෙනුවෙන්ම පමණක් වියදම් වූ විට ඔවුන්ට වෙනදා මෙන් එළවළු හා බිත්තර වැනි දේ මිල දී ගන්නට ප්‍රමාණවත් මුදලක් අතේ ඉතිරි නොවේ. ඒ නිසා එළවළු හා බිත්තර මිල දී ගන්නට වෙන්නේ වෙනදාට වඩා අඩුවෙනි. හාල් හා පොල් ඇත්නම් සම්බෝලයක් හදාගෙන හෝ බඩ පිරෙන්නට බත් ටිකක් කන්නට පුළුවන.

බොහෝ දෙනෙක් මේ අයුරින් එළවළු හා බිත්තර මිල දී ගැනීම සීමා කරන විට ඒවාට ඇති ඉල්ලුම අඩු වේ. අනෙක් අතට, නියඟය නිසා වී වැවිය නොහැකි ඇතැම් කුඹුරු වල එළවළු වැවීම හේතුවෙන් එළවළු සැපයුම වැඩි වේ. රටේ ඉල්ලුම අඩුවුන බව කිකිළියන් දන්නේ නැති නිසා බිත්තර නිෂ්පාදනයද අඩු වෙන්නේ නැත. දැන් මේ එළවළු හා බිත්තර විකුණා ගන්නට විදිහක් නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ එළවළු හා බිත්තර වල මිල අඩුවීමයි. එවිට, නැවතත් හාල් හා පොල් වලින් බඩ පුරවාගන්නා අඩු හා පහළ මැදි ආදායම් ලබන පවුල් වලට එළවළුවක් බිත්තරයක් සමඟ කෑම කන්නට ඉඩක් ලැබේ.

පහළ හා පහළ මැදි ආදායම් ලබන පවුල් මෙන් හාල් හා පොල් වලට ආහාර වේලේ ලොකු බරක් නොදමන ඉහළ මැදි ආදායම් ලබන පවුල් වලට හාල් හා පොල් මිල ඉහළ යාම දැනෙන්නේ අඩුවෙනි. ඔවුන් අඩු ආදායම් ලබන පවුල් වලට සාපේක්ෂව එළවළු හා මස් මාළු වැඩිපුර ආහාරයට ගනිති. එළවළු හා බිත්තර මිල අඩු වීම නිසා දැන් මේ අයට තමන් පෙර ආහාර සඳහා වියදම් කළ මුදලින් කොටසක් ඉතිරි වේ. එම ඉතිරිය ඔවුහු මස් මාළු ආදිය මිලදී ගැනීමට වැය කරති. ඒ නිසා අඩු ආදායම් ලබන අයගේ මස් මාළු ඉල්ලුම අඩු වුනත්, ඉහළ ආදායම් ලබන අයගේ ඉල්ලුම වැඩි වන නිසා සමස්තයක් ලෙස සිදුවන්නේ ඉල්ලුම වැඩි වීමකි. ඒ නිසා, එළවළු හා බිත්තර වල මෙන් මස් හා මාළු වල මිල අඩු නොවේ. ඇතැම් විට තරමක් මිල වැඩි වේ. විශේෂයෙන්ම මාළු සැලකූ විට අඩු ආදායම් පවුල් වල තේරීම වන මිල අඩු පොඩි මාළු වර්ග වල මිල තරමක් හෝ අඩු වන්නටත්, ඉහළ ආදායම් ලබන අයගේ තේරීම වන මිල අධික ලොකු මාළු වර්ග වල මිල තරමක් වැඩි වන්නටත් ඉඩ ඇති බව අපට පෙනේ.

මේ සියල්ලේ ශුද්ධ ප්‍රතිඵලය ලෙස, සැපයුම් සාධක මත හාල් හා පොල් මිල විශාල ලෙස වැඩි වුවත් උද්ධමනයෙහි සැලකිය යුතු වෙනසක් නොවේ. පහත වගුවේ ඇත්තේ පසුගිය වසරක කාලය තුළ ලංකාවේ ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් වෙනස් වී ඇති ආකාරයයි.



 (Image: https://nohopenofear.net/2012/03/12/eat-this-it-will-please-and-sustain-you-sri-lanka/)

Monday, December 12, 2016

රටකට ඕනෑ කොපමණ මුදලක්?



පසුගිය ලිපියකට ප්‍රතිචාර දැක්වූ එක් පාඨකයෙකු කිසියම් රටක් 'අළුතින් සල්ලි අච්චු ගැසීමේ' ක්‍රියාපටිපාටිය ගැන විස්තර කරන මෙන් ඉල්ලා සිටියේය. මේ ලිපිය එම ඉල්ලීමට ප්‍රතිචාරයකි.

කිසියම් මොහොතක රටක ආර්ථිකය තුළ සංසරණය වන නිශ්චිත මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණයක් තිබේ. මේ අතර ඉරුණු, පොඩි වුණු, අපවිත්‍ර වුණු නෝට්ටුද තිබේ. අතින් අත ගොස් කිසියම් බැංකුවක් හරහා මෙසේ හොඳ තත්ත්වයේ නැති මුදල් නෝට්ටුවක් මහ බැංකුවට පැමිණි විට මහ බැංකුව විසින් එවැනි මුදල් නෝට්ටු විනාශ කර අළුත් මුදල් නෝට්ටු සංසරණයට එක් කරයි. මෙසේ කිරීමෙන් රටේ මුදල් සැපයුම (ආර්ථිකය තුළ සංසරණය වන මුළු මුදල් ප්‍රමාණය) වෙනස් නොවේ. ඒ නිසා, මෙහිදී සිදුවන්නේ අළුතින් සල්ලි අච්චු ගැසීමක් නොවේ. (මෑතකදී වාර්තා වී තිබුණු පුවතකට අනුව මහ බැංකුවේ සේවකයින් පිරිසක් විසින් ආදේශක ලෙස අළුතින් නෝට්ටු නිකුත් කිරීමෙන් පසු මෙසේ විනාශ කළ යුතු අපවිත්‍ර වූ නෝට්ටු විනාශ නොකර තමන් වෙත තබා ගනිමින් වංචාවක් සිදුකර තිබුණේය. එවැනි විටෙකනම් රටේ මුදල් සැපයුම වැඩි වේ.)

අළුතින් මුදල් අච්චු ගැසීමක් ලෙස සැලකෙන්නේ කිසියම් අයුරකින් මහ බැංකුව විසින් ආර්ථිකයට පවතින ප්‍රමාණයට අමතරව අළුත් මුදල් නෝට්ටු හෝ කාසි නිකුත් කළ විටය. මෙය සිදුවන්නේ මහ බැංකුව විසින් කිසියම් පිරිවැයක් දරන විටෙකදීය.

මහ බැංකුවේ සේවකයින්ට වැටුප් ගෙවන විටත්, මහ බැංකුවට අලුතින් පරිගණකයක් මිලදී ගන්නා විටත්, මහ බැංකුව විසින් පුවත්පත් දැන්වීමක් දමන විටත් වැය කරන්නේ රජයේ වෙනත් ආයතනයක එවැනි පිරිවැයක් දැරෙන විට සිදුවනවාක් මෙන් මහජනතාවගේ බදු මුදල් නොවේ. අළුතින් මුද්‍රණය කළ මුදල්ය. ඒ නිසා මහ බැංකුවේ පිරිවැය වැඩිවන හැමවිටම රටේ මුදල් සැපයුම වැඩි වේ.

මෙහි අනිත් පැත්තද සිදුවේ. මහ බැංකුව විසින් ඔවුන්ගේ වාර්ෂික වාර්තාවේ පිටපතක් හෝ වෙනත් ප්‍රකාශනයක් විකුණන සෑම විටෙකම රටේ සංසරණයට නිකුත් කර ඇති මුදල් වලින් කිසියම් කොටසක් ආපසු මහ බැංකුවට පැමිණ සංසරණයෙන් ඉවත් වන නිසා රටේ මුදල් සැපයුම අඩුවේ.

ඉහත විස්තර කළ පරිදි මහ බැංකුව විසින් උපයන හා වැයකරන සෑම සතයක්ම රටේ මුදල් සැපයුමට බලපෑමක් කළත් රටේ මුදල් සැපයුම ප්‍රධාන වශයෙන්ම විචලනය වන්නේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත්) මිලදී ගැනීම හා විකිණීම කරන විටය. 


රටේ මුදල් සැපයුම වැඩි කරන්නට අවශ්‍ය වූ විට මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී. රටේ මුදල් සැපයුම අඩු කරන්නට අවශ්‍ය වූ විට මහ බැංකුව තමන් සතු භාණ්ඩාගාර බිල්පත් විකුණයි.

මුදල් සැපයුම වැඩි කිරීම උද්ධමනයට හේතු වන බව අප දන්නා දෙයකි. එසේනම්, මහ බැංකුවක් අළුතින් සල්ලි අච්චු ගසා මුදල් සැපයුම වැඩි කරන්නේ ඇයි?

රටේ ආර්ථිකයක් නිසි ලෙස ක්‍රියාත්මක වීමටනම් යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. රටක මහ බැංකුවක් මුදල් සැපයුම වැඩි කරන්නේ මේ මුදල් අවශ්‍යතාවය සැපිරෙන පරිදිය. එසේනම්, මේ ප්‍රමාණය කොපමණද?

මෙය ඇස්තමේන්තු කිරීම සඳහා අපට මුදල් අවශ්‍ය වන්නේ කුමකටද යන්න විමසීමට සිදුවේ. මුදල් අවශ්‍ය වන්නේ ගනුදෙනු සඳහාය. රටකට ගනුදෙනු සඳහා කොපමණ මුදලක් අවශ්‍යද?

රතු කැකුළු කිලෝවක් රුපියල් අසූවනම් කිලෝ දෙකක් මිලදී ගන්නට රුපියල් එකසිය හැටක් අවශ්‍ය වේ. බිත්තරයක් රුපියල් පහළොවනම් බිත්තර පහක් ගන්නට රුපියල් හැත්තෑ පහක් අවශ්‍ය වේ. මේ දෙකම ගන්නට රුපියල් දෙසිය තිස්පහක් අවශ්‍ය වේ. ඉහත අයුරින් රටේ සෑම අයෙකුටම මිල දී ගැනීමට අවශ්‍ය සියළුම දේ සඳහා අවශ්‍ය තර
ම් මුදල් සැපයුමක් රටේ තිබිය යුතුය.

රටේ සියළුම දෙනා විසින් කරන ගනුදෙනු පිලිබඳ සංඛ්‍යාලේඛණ එකතු කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවේ. එහෙත්, මේ ගනුදෙනු ප්‍රමාණය ආසන්න වශයෙන් ඇස්තමේන්තු කරන්නට බැරිකමක් නැත.

රටේ කවුරු හෝ මිල දී ගන්නේ වෙනත් කවුරු හෝ විසින් නිෂ්පාදනය කළ භාණ්ඩයක් හෝ සේවාවකි. ඒ නිසා, රටේ සමස්ත නිෂ්පාදනය ඇස්තමේන්තු කළ හැකිනම් හා එක් එක් භාණ්ඩයේ සාමාන්‍ය මිල දන්නේනම් රටේ සිදුවන මුළු ගනුදෙනු ප්‍රමාණය ඇස්තමේන්තු කළ හැකිය. රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ලෙස ඇස්තමේන්තු කරන්නේ කිසියම් කාලයක් තුළ රටක සිදුවන සමස්ත නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකමයි. මෙම අගය රටේ වසරක් තුල සිදුවන ගනුදෙනු ප්‍රමාණයට සමාන ලෙස සැලකිය හැකිය. ඒ නිසා, එම ගනුදෙනු ප්‍රමාණය කිරීමට අවශ්‍ය තරම් මුදල් සැපයුමක් රටේ තිබිය යුතුය.

කෙසේ වුවද, වසරක් වැනි කාලයක් තුල එකම රුපියල් සීය ගනුදෙනු සඳහා කිහිප වරක්ම යෙදවේ. ඒ ගනුදෙනුවක් සිදුවන සෑම විටෙකම මේ රුපියල් සීය වෙනත් අයකුගේ අතට යාමත් ඔහු හෝ ඇය එම මුදල් නෝට්ටුවම නැවතත් ගනුදෙනු සඳහා භාවිතා කිරීමත් සිදුවන බැවිනි. මෙසේ යම්කිසි කාලයක් තුළ මුදල් නෝට්ටුවක් අතින් අත යන වාර ගණන 'මුදල් ප්‍රවේගය' ලෙස හැඳින්වේ. ලංකාවේ මුදල් නෝට්ටුවක් වසරක් තුළ මෙසේ අතින් ඇත මාරු වන වාර ගණන තුන් වරක් පමණ වේ.

දැන් අපට රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය (M) සොයාගත හැකිය. රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතය මුදල් ප්‍රවේගයෙන් බෙදූ විට පිළිතුර ලැබේ.

රටක මුදල්
ප්‍රවේගය සාමාන්‍යයෙන් විශාල ලෙස විචලනය නොවේ. එහෙත්, රටේ සමස්ත නිෂ්පාදනය සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යයි. මෙසේ සමස්ත නිෂ්පාදනය හෙවත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වීම සරලව රටේ ආර්ථික වර්ධනය ලෙස හැඳින්වේ. ආර්ථිකය වර්ධනය වන විට ඒ අනුපාතයෙන්ම රටේ ගනුදෙනු ප්‍රමාණයද ඉහළ යන නිසා එම ගණුදෙනු සුමට ලෙස කිරීමට රටට අවශ්‍ය මුදල් ප්‍රමාණයද ඉහළ යයි. ඒ නිසා රටක ආර්ථික වර්ධනය වන අනුපාතයෙන් මුදල් සැපයුම වැඩි කළ විට මිල මට්ටම ඉහළ නොයයි. එහෙත්, ආර්ථිකය වර්ධනය වන වේගයට වඩා වැඩියෙන් මුදල් සැපයුම වැඩි කළ විට එම වැඩිපුර මුදල් සැපයුමට සරිලන ඉල්ලුමක් නැති නිසා සිදුවන්නේ මිල මට්ටම ඉහළ යාමය.

උදාහරණයක් ලෙස රටේ ආර්ථික වර්ධනය 6%ක් වෙද්දී, මුදල් සැපයුම 10%කින් වර්ධනය වුවහොත්, 4%ක 'වැඩිපුර' මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වන නිසා මිල මට්ටම 4%කින් වැඩි වේ. එනම්, උද්ධමනය 4%ක් වේ. යම් හෙයකින් මුදල් සැපයුම 20%කින් වර්ධනය වුවහොත් උද්ධමනය 14%ක් පමණ වනු ඇත.

මහ බැංකුව වසර මුලදී අදාළ වසර සඳහා මුදල් සැපයුම තීරණය කරද්දී රටේ ආර්ථික වර්ධනය සැලකිල්ලට ගන්නා අතර, එයට අමතරව කිසියම් මට්ටමක 'තිබුණට කමක් නැති' උද්ධමන මට්ටමක් සලකමින් මුදල් සැපයුම වැඩිකළ යුතු ප්‍රමාණය තීරණය කරයි. මා සිතන පරිදි අඩු වශයෙන් අසූව දශකයේ මුල පමණ සිට 2006 වසර පමණ වන තුරු මහ බැංකුව මේ 'තිබුණට කමක් නැති' උද්ධමන මට්ටම 9%-10% පමණ ලෙස සැලකුවේය. ඉන්පසු කාලයේදී මහා බැංකුව මේ මට්ටම 5%-6% මට්ටම දක්වා ගෙන ආවේය.

මහ බැංකුව මෙසේ වසර මුල යම් කිසි මට්ටමකට වඩා මුදල් සැපයුම වැඩි නොකිරීමට තීරණය කළත් බොහෝ වසර වල එම මට්ටමද ඉක්මවා මුදල් සැපයුම වැඩි කරයි. මෙසේ කිරීමට පෙළඹෙන්නේ රජයේ අයවැය හිගය ඇස්තමේන්තුවට වඩා වැඩි වී වැඩිපුර රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කෙරෙන විට පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යන්නට නොදී එම සුරැකුම්පත් ප්‍රමාණය විකුණාගන්නට බැරිවන විට මහ බැංකුවට අළුතින් මුද්‍රණය කළ මුදල් යොදවා රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගන්නට සිදුවන බැවිනි. මෙයට අමතරව, බොහෝ වසර වල ලංකාවේ ආර්ථික වර්ධන වේගය වසර මුලදී බලාපොරොත්තු වන මට්ටමට යන්නේ නැත. මේ කරුණු දෙකේම ප්‍රතිඵලය වන්නේ මුලින් හිතුවාට වඩා වැඩි උද්ධමන මට්ටමක් ඇති වීමයි.

කෙසේ වුවද, තෙල් මිල අඩුවීම වැනි බාහිර සාධක නිසා මුදල් සැපයුම වැඩිවද්දීත් උද්ධමනය අඩු මට්ටමක පැවතෙන්නට පුළුවන.


(Image: http://www.therepublicsquare.com/business/2013/05/inflation-in-sri-lanka-according-to-cal-research-figures/)

Sunday, July 31, 2016

වැට් වැඩි වන විට බඩු මිල වැඩි වන්නේ ඇයි?


වැට් වැනි බදු වැඩි වන විට බඩු මිල ඉහළ යාම බොහෝ දෙනෙකුට පෙනෙන පරිදි සරල කරුණකි. එහි මහා ලොකු නොතේරෙන දෙයක් බැලූ බැල්මට පෙනෙන්නට නැත. එහෙත්, ඇත්තටම මෙය පෙනෙන තරම්ම සරල දෙයක් නොවේ.

මා පෙර ලිපියකින් පැහැදිලි කර පරිදි කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අළුතින් බද්දක් පැනවූ විට හෝ පවතින බද්දක් වැඩි කළ විට, ඒ බද්දේ බර බොහෝ විට සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා මත නොපැටවී, පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යයි. මෙසේ බෙදී යන අනුපාතය තීරණය වන්නේ අදාළ භාණ්ඩය සඳහා වන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය ප්‍රධාන කරුණු කිහිපයක් මතය. ඒ අනුව, සෛද්ධාන්තිකව අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක මිල බදු ඉහළ දැමීමෙන් පසුවද නොවෙනස්ව පැවතිය හැකිය.

උදාහරණයක් ලෙස කිසියම් වෛද්‍යවරයෙකු විසින් සපයන සේවාවක් සඳහා එම වෛද්‍යවරයාගේ පාරිභෝගිකයින් විසින් දැනට අය කරන මිල වන රුපියල් දහස ගෙවන්නට කැමති වුවත් ඊට වඩා සතයක්වත් ගෙවන්නට සූදානම් නැත්නම්, එම සේවාව සඳහා අය කරන මිල මත පැනවෙන බද්දක බරෙන් කොටසක් සිය පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමේ හැකියාවක් අදාළ වෛද්‍යවරයාට නැත. ඒ නිසා එවැනි වෛද්‍යවරයෙකුට අදාළ බද්දේ බර සම්පූර්ණයෙන්ම දරාගැනීමට සිදුවේ.

රටේ සියළුම (හෝ බොහොමයක්) භාණ්ඩ හා සේවා මත හදිසියේම වැට් වැනි බද්දක් පැනවූ විට හෝ එවැනි බද්දක් වැඩි කළ විට සිදු වන්නේ කුමක්ද?

උදාහරණයක් ලෙස හදිසියේම රටේ සියළු භාණ්ඩ හා සේවා මත 10%ක වැට් බද්දක් පැනවූයේයැයි සිතමු. මේ බද්ද භාණ්ඩ හා සේවාවන්හි මිලට සෘජුවම එකතු වී රටේ බඩු මිල 10%කින් ඉහළ යාමේ හැකියාවක් පවතීද?

මෙය තේරුම් ගැනීමේ පහසුව සඳහා එය එසේ වීයැයි අපි මොහොතකට සිතමු. දැන් කිසියම් පුද්ගලයෙකු විසින් පෙර මිල දී ගත් භාණ්ඩ හා සේවාවන් ඒ අයුරින්ම මිලදී ගැනීම සඳහා ඔහුට හෝ ඇයට 10%ක් වැඩිපුර ගෙවන්නට සිදුවේ. මේ පුද්ගලයාගේ ආදායම නිශ්චිතනම් සහ පෙර එය මුළුමනින්ම වියදම් කළේනම්, මෙසේ වැඩි වූ පිරිවැය හමුවේ මුල් පරිභෝජන මට්ටම පවත්වා ගත හැක්කේ ණය වීමෙන් පමණි.

රටක එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් ගණනාවකට මේ අයුරින් වෙනකෙකුට ණය වී සිය පරිභෝජන මට්ටම පවත්වා ගත හැකිය. එහෙත්, කෙනෙකු රුපියලක් ණයට ගන්නා හැම විටකම රුපියලක් ණයට දෙන්නට අයෙක්ද සිටිය යුතුය. මෙසේ ණය දීම නිසා අත ඇති මුදල් සීමා වන නිසා ඒ පුද්ගලයාට සිය පරිභෝජනය අඩු කිරීමට සිදු වේ. මේ අනුව, රටේ සෑම භාණ්ඩයක හා සේවාවකම මිල එක් වර ඉහළ ගියහොත්, පුද්ගල ආදායම් වෙනස් නොවන පසු බිමක, භාණ්ඩ හා සේවා සඳහා වන සමස්ත ඉල්ලුම අනුපාතිකව අඩු විය යුතුය.

මෙසේ ක්ෂණිකව භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම අඩු වූ විට රටක භාණ්ඩ හා සේවා අතිරික්තයක් ඇති වේ. එවිට, නිෂ්පාදකයෝ මිල අඩු කිරීම මඟින් අළුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වති. ඒ නිසා, වැඩි වූ බද්දේ බර හේතුවෙන් රටේ භාණ්ඩ හා සේවාවන්හි සැලකිය යුතු මිල වැඩි වීමක් සිදු නොවේ. ඒ අනුව, වැට් වැඩි වූ රටේ බඩු මිල අනුපාතිකව වැඩි වේනම්, රටේ සමස්ත ඉල්ලුම නොවෙනස්ව පවත්වා ගත හැකි තරමේ ආදායම් වැඩි වීමක්ද සිදු විය යුතුය.

එය එසේ සිදු වනවාද?

මෙය තීරණය වන්නේ වැඩි කළ වැට් මුදල් හරහා රජය විසින් එකතු කර ගන්නා ආදායම වියදම් කරන ආකාරය අනුවය. උදාහරණයක් ලෙස, ඒ මුදලින් පැරණි විදෙස් ණයක් පියවේනම් රට තුළ එවැනි ආදායම් වැඩි වීමක් නොවේ. එහෙත්, එම මුදලින් රටේ (මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය සේවකයින් වැනි) කිසියම් පිරිසකගේ වැටුප් වැඩි කෙරේනම් හෝ රාජ්‍ය සේවකයින් අළුතින් බඳවා ගැනේනම්, එම පිරිසගේ ආදායම් වැඩි වී මිල දී ගැනීමේ හැකියාව වැඩි වන නිසා සමස්ත ඉල්ලුම ඉහළ ගොස් බඩු මිලද වැඩි වේ. එවිට අවසාන වශයෙන් සිදු වන්නේ මේ පිරිසගේ වැඩි වූ පරිභෝජනය වෙනුවෙන් රටේ ඉතිරි කොටසට සිය පරිභෝජනය අඩු කරන්නට සිදු වීමයි.

වැට් වැඩි කළ විට බඩු මිල ඉහළ යාමට හේතු වන්නේ එම වැඩි කිරීමම නොවේ. රජය විසින් එසේ එකතු කර ගන්නා මුදල් නැවත කිසියම් පිරිසක් වෙත සම්ප්‍රේෂණය වී, ඔවුන්ගේ ආදායම් වැඩි වී රටේ සමස්ත ඉල්ලුමද ඉහළ යාමයි. එහෙත්, කණගාටුවට කරුණ වන්නේ වැට් වැඩි කිරීමට එරෙහි වන පිරිස්ම, රජයේ වියදම් වැඩි කරවන ඉල්ලීම්ද දිගින් දිගටම කිරීමයි.

රජය බදු පනවන්නේ සිය වියදම් ආවරණය කර ගැනීමටය. බදු මඟින් මේ වියදම් ආවරණය කර ගැනීම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි. එමඟින් බඩු මිල ඉහළ යා හැකිය.

රජයේ වියදම් එසේම පවතිද්දී ඉහළ දැමූ බද්දක් නැවත පහත හෙළූ විට හෝ ඉවත් කළ විට කුමක් සිදු වේද? මෙය දේශපාලනික වශයෙන් ජනප්‍රිය කටයුත්තක් විය හැකිය. එහෙත්, බද්ද අහෝසි කළ පමණින් එය පැනවීමට මුල් වූ රජයේ ආදායම් වියදම් පරතරය වෙනස් නොවේ. ප්‍රායෝගිකව මේ අඩුව පිරවෙන්නේ එතරම් පාරදෘශ්‍ය ක්‍රමයක් නොවන 'සල්ලි අච්චු ගැසීමෙනි'.

සල්ලි අච්චු ගැසීම හෙවත් මහ බැංකුවට රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලෙවි කිරීම සිදු කර ලැබෙන ආදායම වියදම් කළ විට සිදු වන්නේද රටේ කිසියම් සීමිත පිරිසකගේ ආදායම් වැඩි වී, සමස්ත ඉල්ලුම ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමයි. ඒ නිසා, වැට් බද්ද අඩු හෝ අහෝසි කළ විට සිදු වේයැයි පෙනෙන භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වීම මායාවක් පමණි.


(Image: www.hirunews.lk)

Thursday, July 28, 2016

මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමයි!

අද (ජූලි 28) සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් (0.5% බැගින්) පිළිවෙලින්, 7% සහ 8.5% දක්වා ඉහළ නංවා තිබේ. මේ මඟින් අදහස් කරන්නේ රටේ ණය ඉල්ලුම අඩු කර, භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඩු කිරීම මඟින් ඉදිරියේදී ඇති විය හැකි උද්ධමන තර්ජනයට මුහුණ දීමට සූදානම් වීමටය.

නැඟී එන උද්ධමන තර්ජනය මහ බැංකුව විසින් නිවැරදිව හඳුනා ගෙන ඒ සඳහා ගත හැකි ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගයක් ගෙන තිබේ. කෙසේ වුවද, උද්ධමනය තර්ජනයක් බවට පත් වීමට හේතු වූ ප්‍රධාන සාධක වල දිශානතියනම් වෙනස් වන අයුරක් නොපෙනේ.

සැලකිය යුතු ලෙස බදු ඉහළ නැංවීමෙන් පසුවත්, රජයේ ආදායම් හා වියදම් පරතරය දිනෙන් දින ඉහළ යනු මිස අඩු වන බවක් නොපෙනේ. මේ අඩුව පිරවෙන්නේ දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම මඟින් ලබා ගන්නා ණය වලිනි. එහෙත්, මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණිය හැක්කේ ඒවා සඳහා රට තුළ (හෝ රටින් පිටත) ඉල්ලුමක් ඇත්නම් පමණි. එසේ නොමැති විට, 'කාටවත් ඕනෑ නැති' මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මිල දී ගන්නට වෙන්නේ රටේ මහ බැංකුවටය. මහ බැංකුවට අළුතින් මුදල් මුද්‍රණය කිරීමේ හැකියාව ඇති නිසා රටේ සල්ලි නැතත් මහ බැංකුවේ සල්ලි නැති වෙන්නේ නැත.

පසුගිය 2015 අවසානයේ සිට 2016 මාර්තු අවසානය දක්වා ගත වූ තෙමස තුළ පමණක් රජය විසින් මහ බැංකුවෙන් ලබාගෙන ඇති ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 229.9 සිට රුපියල් බිලියන 406.6 දක්වා රුපියල් බිලියන 176.7 කින් (එනම් 77%කින්) වැඩි වී තිබේ. මෙය ඉතා විශාල වැඩි වීමක් බව නොකිවමනාය. එතැන් සිට ගත වී ඇති සිවුමස තුළ මෙසේ අළුතින් මුද්‍රණය කර රජය හරහා සංසරණයට එකතු වී ඇති මුදල් ප්‍රමාණය තවත් වැඩි වී තිබිය හැකිය.

මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණා රජයට තාවකාලිකව ගොඩ යන්නට පුළුවන. එහෙත්, එහි ප්‍රති විපාකය වන්නේ ගොනු පසු පස එන ගැල මෙන් වසරකට හෝ දෙකකට පසුව නැඟ එන උද්ධමනයයි. රටේ නිෂ්පාදනය වැඩි නොවන පසුබිමක, රජය විසින් මහ බැංකුවෙන් ලබා ගන්නා අළුත් මුදල් වියදම් කරන්නට පටන් ගත් විට රටේ ඇති නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයට ඇති ඉල්ලුම වැඩි වී මිල ඉහළ යයි. මෙයින් පීඩාවට පත් වන්නේ රජයට මෙන් මහ බැංකුවේ මුද්‍රණ යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාවක් නොමැති, දුක් මහන්සියෙන් වැඩ කර මුදලක් උපයාගත යුතු රටේ සාමාන්‍ය ජනතාවයි.

උද්ධමනයට මූලික හේතුව රටේ සමස්ත නිෂ්පාදනයට වඩා සමස්ත ඉල්ලුම වැඩි වීම නිසා, නිෂ්පාදනය වැඩි කළ නොහැකි පසුබිමක උද්ධමනය පාලනය කළ හැක්කේ ඉල්ලුම අඩු කිරීමෙනි. රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය අඩු කිරීමෙන් සමස්ත ඉල්ලුම අඩු කළ හැකිය. පොලී අනුපාතික ඉහළ දැමූ විට රටේ ජනතාවගේ (සහ සමාගම් වල) ණය ඉල්ලුම අඩු වේ. එවිට, ඔවුන් අත වියදම් කිරීමට ඇති මුදල් සීමා වන නිසා භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමද අඩු වේ. එමෙන්ම, තැන්පතු පොලී වැඩි වන විට සාමාන්‍ය ජනතාවගේ බැංකු තැන්පතු වැඩි වන නිසා එයින් සිදුවන්නේද වියදම් කරන මුදල් ප්‍රමාණය අඩු වීමයි.

කෙසේ වුවද, පොලී අනුපාතික ඉහළ දැමූ පමණින් රජයේ වියදම් අඩු වන්නේ නැත. ඒ නිසා භාණ්ඩ හා සේවා සඳහා වන රජයේ ඉල්ලුම අඩු වන්නේද නැත. එක් අතකින්, පොලිය ඉහළ දැමූ විට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණා ගැනීම පහසු වෙයි. අනෙක් අතින්, තැන්පතු ලෙස බැංකු කරා ඇදෙන මුදල් වලින් සැලකිය යුතු කොටසක් බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන නිසා රජයට දේශීය ණය ලබා ගැනීම පහසු වේ. ඒ නිසා, අවසාන වශයෙන් වෙන්නේ රජයේ වියදම් වෙනුවෙන් රටේ ජනතාවගේ වියදම් සීමා කරන්නට සිදු වීමයි.

රටේ ජනතාවගේ වියදම් අඩු වනු යනු සමාගම් වල ආදායම් අඩු වීමයි. එමෙන්ම, ණය පොලී අනුපාතික ඉහළ ගිය විට රටේ පෞද්ගලික ආයෝජනද අඩු වේ. මෙහි සමස්ත ප්‍රතිපලය වන්නේ ආර්ථික වර්ධනය තවත් සීමා වීමයි. වත්මන් ආර්ථික වර්ධන වේගය ලංකාවේ ආර්ථික වර්ධන
වේගයේ දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩුවෙන් ඇති අවස්ථාවක උද්ධමන තර්ජනයට මුහුණ දීම සඳහා ආර්ථික වර්ධනයට තව දුරටත් බාධා පමුණුවන ක්‍රියා මාර්ගයක් ගැනීමට මහ බැංකුවට සිදු වී තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයකි. මෙයින් පෙනෙන්නේ රටේ වත්මන් ආර්ථික උපාය මාර්ග කෙතරම් දුර්වල හා අවුල් සහගතද යන්නයි. 

මේ සිදුවන්නේ හත් පොළේ ගා ගැනීමක්ද?

(Image: english.readsrilanka.com)

Tuesday, April 26, 2016

2015 මහ බැංකු වාර්තාව එළි දකී!


පසුගිය 2015 වසර සඳහා වූ මහ බැංකු වාර්ෂික වාර්තාව එළි දක්වා තිබේ. 2015 යනු පැවති රජය මෙන්ම මහ බැංකුවේ අධිපතිවරයාද වෙනස් වීමෙන් පසුව ගෙවුණු පළමු වසරයි.

මේ ලිපියෙන් මහ බැංකු වාර්තාවේ ඇති කරුණු පිළිබඳව පුළුල් විග්‍රහයක් කිරීමට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එහි බොහෝ දෙනෙකු බලා සිටින ප්‍රධානම කරුණු අතරින් ආර්ථික වර්ධනය දෙස පළමුව බැලූ විට පසුගිය වසරේ ලංකාවේ ආර්ථිකය 4.8%කින් වර්ධනය වී තිබේ. මෙය 1977දී ලංකාවට නිදහස් ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පවත්වාගත් සාමාන්‍ය වර්ධන වේගයට වඩා අඩු අගයකි.

මහ බැංකුවේ ප්‍රවෘත්ති නිවේදනය අනුව "රාජ්‍ය අයවැයෙහි වියදම් විශාල ලෙස ඉහළ යාම, ද.දේ.නි.හි ප්‍රතිශතයක් ලෙස 4.4%ක් වූ ඉලක්කගත අයවැය හිඟය 7.4% දක්වා ඉහළ යෑමට" හා "මධ්‍යම රජයේ ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 76.0% දක්වා ඉහළ යෑමට" හේතු වී තිබේ. 2014 අවසාන වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9ක් වූ අතර වසර අවසානය වෙද්දී මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503.2ක් දක්වා 15%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. 2014 අවසානයේදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රජයේ ණය ප්‍රමාණය 70.7% මට්ටමේ පැවතුණි. වෙනත් අයුරකින් කිවහොත් රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය වසර මුල වූ රුපියල් 355,799 සිට රුපියල් 405,571 දක්වා ඉහළ ගොස් ඇත.

2015 මුලදී ඉදිරිපත් කළ රාජ්‍ය මූල්‍ය කළමණාකරන වාර්තාවෙන් අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 4.4% දක්වා අඩුකර ගැනීමටද රාජ්‍ය ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 72% මට්ටමේ පවත්වා ගැනීමටත් සැලසුම් කර තිබුනද රජය මේ ඉලක්ක සපුරාගැනීමට අසමත්ව ඇති බව මහ බැංකු පුවත් නිවේදනය පෙන්වා දෙයි. පොලී ගෙවීමේ වියදම් ඉවත් කර හදන ප්‍රාථමික ගිණුමේ හිඟයද 2014දී පැවති 1.5% සිට 2.9% දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම, වසර තුළ ගෙවුම් තුලනය ඩොලර් මිලියන 1,489කින් "පිරිහීමත් සමඟ රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය 2014 වසරේ තිබූ ඩොලර් බිලියන 8.2හි සිට 2015 වසර අවසානය වන විට ඩොලර් බිලියන 7.3ක් දක්වා" අඩු වී තිබේ.

බැංකු අංශයෙන් රජයට ලබා දෙන ණය මුලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණය ඉක්මවා "රුපියල් බිලියන 326කින් සැලකිය යුතු ලෙස" වැඩි වී ඇති අතර වසර තුල මහ බැංකුව විසින් රටේ ආර්ථිකයට අළුතින් සංචිත මුදල් රුපියල් බිලියන 95.5ක පමණ මුදලක් පොම්ප කර තිබේ. මේ අනුව, රටේ පුළුල් මුදල් සැපයුම පෙර වසරේ පැවති 13.4% වර්ධනය සැලකිය යුතු ලෙස ඉක්මවමින් 17.8%කින් වර්ධනය වී තිබේ.

සමස්තයක් වශයෙන් පසුගිය වසරේ ආර්ථික වර්ධනයන් පිළිබඳව මහ බැංකු වාර්තාවෙන් පෙන්වන චිත්‍රය එතරම් හොඳ නැති බව කිව යුතු නොවේ.

(Image: www.cbsl.lk)

Wednesday, January 20, 2016

ඇමරිකන් ඩොලරයද බාල්දු වේ!

පසුගිය වසර 153ක කාලය තුළ ලංකාවේ ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල වැඩි වී ඇති ආකාරය අපි පසුගිය ලිපියකින් විමසා බැලුවෙමු. එහිදී, අපට පෙනී ගියේ බොහොමයක් ආහාර ද්‍රව්‍ය වල මිල මේ කාලය තුළ දහස් ගුණයකටත් වැඩියෙන් ඉහළ ගොස් ඇති බවයි.

ආහාර ද්‍රව්‍ය වල මිල දහස් ගුණයකටත් වැඩියෙන් වැඩිවීම යනු රුපියලේ අගය දහස් ගුණයකටත් වැඩියෙන් අඩුවීමයි. වෙනත් විදිහකින් කිවහොත් අද රුපියල් පණහක් ඒ කාලයේ සතපහක් තරම්වත් නොවටිනා බවයි. රුපියල හොඳටම බාල්දු වී ඇති බවයි.

රුපියල මෙසේ දිගින් දිගටම බාල්දු වෙන්නේ උද්ධමනය නිසාය. උද්ධමනයට හේතුව රටේ නිෂ්පාදනය වැඩිවන ප්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් සැපයුම වැඩි වීමයි. මෙසේ දිගින් දිගටම ඕනෑවට වැඩියෙන් මුදල් මුද්‍රණය කර සංසරණයට එකතු කරන්නේ රජයේ අයවැය හිඟය පියවා ගැනීමටය. රජයේ අයවැය හිඟය පියවා ගැනීමට මුදල් අළුතින් මුද්‍රණය කිරීමට සිදුවන්නේ රජයේ වියදම ආදායම ඉක්මවද්දී  මේ අඩුව පිරවීමට ණය ගැනීමට මහ බැංකුව වෙත හැරෙනු හැර වෙනත් මාර්ගයක් නැති වූ විටය.

රුපියල මෙසේ එන්න එන්නම බාල්දු වෙද්දී ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවිය යුතු මිල හෙවත් විණිමය අනුපාතිකය එන්න එන්නම වැඩිවේ. ඒ කියන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වන බවයි. එහෙමනම් රුපියල වගේ ඩොලරය බාල්දු වෙන්නේ නැද්ද? ඇමරිකාවේ ඔය කියන උද්ධමන, අයවැය හිඟ නැද්ද?

ඇත්තටම රුපියල වගේම ඩොලරයද බාල්දු වේ. ඇමරිකාව වගේම ලෝකයේ තවත් බොහොමයක් රටවල අයවැය හිඟයන් පවතී. ඒ වගේම උද්ධමනයද පවතී. ඒ නිසා රුපියල වගේම අනෙකුත් මුදල් ඒකකත් බාල්දු වේ. මෙය පැහැදිලි වන්නේ කාලයත් සමඟ ඩොලරයකින් මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණයට සිදුවූ දෙය, එහෙමත් නැත්නම් ඇමරිකාවේ බඩුමිල ඉහළ ගිය ආකාරය විමසා බැලූ විටය.

ලංකාවේ ලක්මිණිපහණ පුවත්පත ඇරඹුණු කාලයට කිට්ටුව 1860දී ඇමරිකාවේ බඩුමිල මෙහි තිබේ. පසුගිය නොවැම්බරයේදී ඇමරිකාවේ බඩුමිල මෙහි තිබේ. පහත වගුවේ ඇත්තේ මේ වසර 155 තුළ ඇමරිකාවේ ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල සංසන්දනයකි.



මේ අනුව පෙනී යන්නේ අදාළ කාලය තුළ ඇමරිකාවේ බඩුමිල සාමාන්‍ය වශයෙන් 26 ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි. මේ බඩු මල්ලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය 26 ගුණයකින් බාල්දු වී ඇති බවයි. අද ඩොලරයක් එදා නිකල් එකක් තරම්වත් නොවටිනා බවයි.

ඇමරිකානු ඩොලරයත් මෙසේ බාල්දු වී ඇත්නම් මේ නිකලයක් නොවටින ඩොලරය හමුවේ අපේ රුපියලට ඔළුව නමන්නට වී ඇත්තේ ඇයි?

ඩොලරය බාල්දු වී ඇතත් රුපියල තරමට බාල්දු වී නැත. රුපියලේ වටිනාකම 1066 ගුණයකින් අඩුවන විට ඩොලරයේ වටිනාකම අඩුවී ඇත්තේ 26 ගුණයකින් පමණි. ඒ කියන්නේ රුපියල ඩොලරයට වඩා 40 ගුණයකින් පමණ (1066/26) වැඩිපුර බාල්දු වී තිබේ.

රුපියල ඩොලරයට වඩා 40 ගුණයකින් බාල්දුවන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම 40 ගුණයකින් අඩුවේ. එවිට විණිමය අනුපාතිකය 40 ගුණයකින් වැඩිවේ.

රුපියල බාල්දු වුණත්, එසේ බාල්දු වෙන්නේ ඩොලරය බාල්දු වන තරමටමනම් විණිමය අනුපාතිකය වෙනස් නොවේ. ශ්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරයට, බ්‍රිතාන්‍ය පවුමට හා ජපන් යෙන් එකට සාපේක්ෂව බොහෝ සේ බාල්දු වී තිබුණත් ඉන්දියානු, පකිස්තානු හා බංග්ලාදේශ මුදල් ඒකක වලට සාපේක්ෂව ඒ තරම්ම බාල්දුවී නැත්තේ මේ කාලය තුළ ඒ රටවල මුදල් ඒකකද ලංකාවේ රුපියල තරමටම නැතත් ඒ කිට්ටුවට බාල්දු වී ඇති නිසාය.