Thursday, August 17, 2017

දුම්වැටි භාවිතය අඩු වෙලාද?


"යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී" ඇති බවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් කර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධව අපි පසුගිය අප්‍රේල් මාසයේදී පැහැදිලි කිරීමක් කළෙමු. එහිදී අප විසින් පෙන්වා දෙනු ලැබුවේ 2016 අවසන් කාර්තුවේදී දුම්කොළ සමාගමේ ආදායම හා දුම්වැටි අලෙවියෙන් රජය ලබන බදු ආදායම පෙර කාර්තුවට සාපේක්ෂව විශාල ලෙස අඩුවී තිබුණත් එයට ප්‍රධාන හේතුව බව පෙනෙන්නේ අලෙවි නියෝජිතයින් විසින් බදු ඉහළ දැමීමට පෙර දුම්වැටි විශාල තොග මිලදී ගෙන ගබඩා කර ගැනීම හේතුවෙන් තෙවන කාර්තුව තුළ දුම්වැටි අලෙවිය විශාල ලෙස ඉහළ යාම බවයි. මේ තොග අවසන් වන විට දුම්වැටි සමාගමේ අලෙවි ආදායම් මෙන්ම රජයේ බදු ආදායමද ඉහළ යනු ඇති බවට අපි අනාවැකි පළ කළෙමු.

දුම්කොළ සමාගම විසින් දින තුනකට පෙර 2017 මුල් අර්ධය සඳහා වන විගණනය නොකළ ගිණුම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව, 2017 පළමු මාස 6 ඇතුළත දුම්කොළ සමාගමේ දළ ආදායම් රුපියල් බිලියන 67.2 දක්වා පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව රුපියල් බිලියන 7.6කින්ද, රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 51.9 දක්වා රුපියල් බිලියන 7.2කින්ද වැඩි වී තිබේ.

පසුගිය වසරේ තෙවන කාර්තුව තුළ දුම්වැටි වෙළඳ නියෝජිතයින් විසින් තොග ගබඩා කර ගැනීම නිසා දුම්වැටි අලෙවිය සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් රජයට ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 28.0 දක්වා ඉහළ ගියේය. බදු වැඩි කිරීමෙන් අනතුරුව, සිවුවන කාර්තුව තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 14.8 දක්වා අඩු වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවුණේ අවශ්‍ය දුම්වැටි තොග කලින්ම අලෙවි වී තිබීමයි. සෞඛ්‍ය ඇමතිවරයා විසින් රටේ දුම්පානය 48%කින් අඩු වී ඇති බව ප්‍රකාශ කළේනම් ඒ සඳහා පදනම් වන්නට ඇත්තේ රජයේ බදු ආදායමේ සිදුවූ ඉහත අඩු වීමයි.

මේ වසරේ දෙවන කාර්තුව තුළ පමණක් දුම්වැටි වලින් රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 28.1කි. මෙය 2016 අවසන් කාර්තුවේ බදු ආදායම මෙන් දෙගුණයකට ආසන්නය. ඒ අනුව, සෞඛ්‍ය ඇමතිවරයාගේ පරණ තර්කය අනුවනම් නිගමනය කළ යුත්තේ රටේ දුම්වැටි භාවිතය සමසක් තුළ දෙගුණ වී ඇති බවයි. 

එහෙත්, එය නිවැරදි තර්කයක් නොවේ. දුම්කොළ සමාගමේ ලාබ හෝ රජයේ බදු ආදායම් මත පදනම්ව රටේ දුම්වැටි භාවිතය වෙනස් වී ඇති ආකාරය නිවැරදිව පුරෝකථනය කිරීම කළ නොහැක්කකි. එහෙත්, දුම්වැටි භාවිතය විශාල ලෙස අඩු වී ඇති බවක්නම් මේ සංඛ්‍යාලේඛණ අනුව නොපෙනේ.

බදු වැඩි කළද දුම්කොළ සමාගමේ ආදායම්, ලාබ මෙන්ම එමඟින් රජය උපයා ඇති බදු ආදායමද වෙනත් වසර වලදී මෙන්ම වැඩි වී ඇති බවනම් පැහැදිලිය. දුම්කොළ සමාගමේ ලාබ ඉහළ යාම නිසා නිෂ්පාදන බදු වලට අමතරව එම සමාගම විසින් රජයට ගෙවන ආදායම් බදුද 2017 පළමු අර්ධය තුළ පෙර වසරේ මුල් අර්ධයට සාපේක්ෂව රුපියල් බිලියනය ඉක්මවා වැඩි වී තිබේ.

4 comments:

  1. බදු ආදායම වැඩි වෙලානං රාජිත පරාදයි..

    සාමාන්‍යායන් ඒක වෙන්නැ මං කිව්වේ දුං වැටි විකිණීම අඩු වෙන එක.. ඒක අඩු උනත් නොගිනිය හැකි ගානකින් තමා..

    ReplyDelete
    Replies
    1. දුම්වැටි භාවිතය අඩු කිරීමට අවංක උවමනාවක් තිබෙනවානම් කළ යුත්තේ දුම්වැටි වලින් බදු ලෙස අය කරන මුදලින් සැලකිය යුතු කොටසක් දුම්වැටි භාවිතය හා අදාළ සමීක්ෂණ හා පර්යේෂණ වලටත්, දුම්වැටි වල හානි ගැන ප්‍රචාරණය කිරීමටත් වැය කිරීමයි.

      Delete
  2. සිකරට් එක රුපියල් සීය කරත් බොන එකා බොනවා......

    ReplyDelete
    Replies
    1. මිල වැඩි වූ විට කිසියම් පිරිසක් දුම්වැටි භාවිතයෙන් ඉවත් වුණත් ඒ ප්‍රමාණය ඉතා සීමිතයි. ඔවුන්ගෙනුත් වැඩි දෙනෙක් බීඩි වලට යොමු වෙන එකයි වෙන්නේ. මෙහි එකම යහපත අලුතින් භාවිතය අරඹන අය අධික මිල නිසා අධෛර්යමත් වීමයි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.