Wednesday, November 30, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දොළොස්වන කොටස)

ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ තේරුම් ගැනීම සඳහා මේ දෙවර්ගයේ රාජ්‍ය සුරැකුම්පත් ඉල්ලුම හා සැපයුම ඇති වන ආකාරය තේරුම්ගත යුතුය. මේ වෙළඳපොළේ සැපයුම තනිකරම පැමිණෙන්නේ එක් ප්‍රභවයකිනි. ඒ, රජයට ණය ගැනීමට ඇති අවශ්‍යතාවයයි.

ලංකාවේ රජය දශක ගණනාවක සිට සෑම වසරකම බදු හා වෙනත් බදු නොවන වෙනත් මාර්ග වලින් උපයන ආදායමට වඩා වියදම් කරයි. මෙසේ ආදායමට වඩා වියදම් කිරීමේදී ඇතිවන අයවැය හිඟය පියවා ගැනීමට ණය ලබා ගන්නට සිදුවේ.

රජයේ ණය අවශ්‍යතාවයෙන් කොටසක් රටෙන් පිටත මුලාශ්‍ර වලින් ලබා ගැනේ. මෙසේ ලබා ගන්නා විදේශ ණය වලින් අයවැය හිඟයෙන් කොටසක් පියවෙන අතර, ඉතිරිය පියවෙන්නේ දේශීය ණය වලිනි. දේශීය ණය ලබාගන්නා ප්‍රධානම ක්‍රමය භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමයි.

වාර්ෂික අයවැය ඇස්තමේන්තු වල ඉදිරිපත් කෙරෙන රජයේ අයවැය හිඟය වසර තුළදී මෙසේ දේශීය හා විදේශීය ප්‍රභව වලින් මූලනය කරගත යුතුය. එහෙත්, මේ ණය ගැනීම වසරේ කවර දිනෙක හෝ කරන්නට නුපුළුවන. රාජ්‍ය අයවැය හිඟය මූලනය කළ යුත්තේ මාස්පතා මෙන්ම දිනපතා රජයේ ආදායම් මෙන්ම වියදම් වෙනස් වන රටාව සමඟ ගලපමිනි.

රජයේ ආදායම් වසරේ සෑම දිනකම සමානව නොලැබේ. ආදායම් ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ බදු හරහා නිසා මේ ආදායම් ලැබෙන්නේ බදු මුදල් ගෙවීමට නියමිත අවසන් දිනයට (deadline) ආසන්නවය. වැට් වැනි වක්‍ර බදු පාරිභෝගිකයින් විසින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා අවස්ථාවේදී ගෙවන නමුත් මේ ආදායම සමාගම් විසින් රජයට ගෙවන්නේ මසකට හෝ දෙසතියකට වරකි. වෙනත් බොහෝ බදුද මෙසේම දෙසතියකට, මසකට හෝ කාර්තුවකට වරක් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් එකතු කෙරේ. මේ ආදායම් ලැබීම් හැකිතාක් සුමට වන පරිදි පිණිස ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික බදු කාල සටහනක් සදා තිබේ. රටේ ජාතික ආදායම ඇස්තමේන්තු වලින් වෙනස් වන විට මෙසේ එකතු වන බදු මුදල්ද ඇස්තමේන්තුගත මුදලට වඩා වෙනස් වේ. රේගුව විසින් එකතු කරන විදේශ වෙළඳාම මත පනවන බදු වසර පුරා එකතු වන නමුත් ආනයන හා අපනයන සිදුවන රටාව අනුව වෙනස් වේ. 


මේ ආකාරයෙන්ම රජයේ වාර්ෂික වියදම්ද වසර පුරා පැතිර පවතී. රජයේ සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සෑම මසකම නිශ්චිත දිනක ගෙවිය යුතුය. රජයට නියමිත දින වැටුප් ගෙවා ගන්නට බැරි වුණොත් එය විශාල ප්‍රශ්නයකි. ඇතැම් විට මේ වියදම් සාමාන්‍ය රටාව අනුව එන දිනයට පෙර වැය කළ යුතුය. අප්‍රේල් මාසය උදාහරණයකි. ප්‍රාග්ධන වියදම් දැරිය යුතු දින සම්බන්ධව තරමක නම්‍යතාවයක් තිබේ. එවැනි වියදම් දින, සති හෝ මාස ගණනක් කල් දමන්නට බැරිම නැත. රජයේ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ලැබෙන ආකාරය ගැන මෙය කියවන ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රවල සිටින අයට අමුතුවෙන් විස්තර කළ යුතු නැත. කෙසේ වුවද, විශාල ප්‍රාග්ධන ආයෝජන සඳහා බොහෝ විට එක වර විශාල මුදලක් වැය කළ යුතුය.

ලංකාවේ රජයේ දෛනික මුදල් අවශ්‍යතා අතර පසුගිය ණය වාරික හා පොලී ගෙවීම් ඉහළින්ම තිබේ. මේ මුදල් හරියටම නියමිත දිනම ගෙවිය යුතුය. එවැනි ගෙවීමක් වරක් පැහැර හැරියොත් එය ලංකා රජයේ නියමිත වේලාවට ණය ආපසු ගෙවීමේ දිගුකාලීන වාර්තාවට කළු පැල්ලමකි. දශක ගණනක සිට ණයෙන්ම දුවන, තවත්  චිරාත් කාලයක් ණයෙන්ම දුවන්නට බලාගෙන සිටින ලංකා රජය එවැනි කළු පැල්ලමක් වැටෙනවාට කිසිසේත්ම කැමති නැත.

දැන් මා විස්තර කළ පරිදි රජයේ වියදම් පැත්තේ ඇති බොහෝ අයිතමයන් හරියටම නිශ්චිත දිනක ස්ථිරවම වැය කළ යුතු ආකාරයේ වියදම්ය. පසුගිය ණය වාරික, පොලී ගෙවීම් හා රාජ්‍ය සේවක වැටුප් ඒ අතර ඉදිරියෙන්ම තිබේ. ගෙවිය යුතු දිනය මෙන්ම ගෙවිය යුතු මුදලද නිශ්චිත මුදලකි. මේ වියදම් වලට සාපේක්ෂව රජයේ ආදායම් සම්බන්ධව ඇත්තේ අවිනිශ්චිතතාවයකි. බදු ආදායම් ප්‍රමාණ මෙන්ම ලැබෙන දිනද දළ වශයෙන් ඇස්තමේන්තු කළ හැකි වුවත්, මේ ඇස්තමේන්තු බොහෝ විට වෙනස් වේ.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් මා පෙර විස්තර කළ රජයේ අපේක්ෂිත ආදායම් හා වියදම් ගලපමින් වසර තුළ ආදායම් වියදම් හිඟය උච්ඡාවචනය වන ආකාරය අනුව ණය ගැනීමේ කාල සටහනක් පිළියෙළ කළ යුතුය. මෙය සරල කටයුත්තක් නොවේ.

ඉහත කී ලෙස ණය අවශ්‍යතාවය වෙනස් වන ආකාරය ඇස්තමේන්තු කිරීමෙන් පසුව ණය ගන්නා ආකාරය තීරණය කළ යුතුය. මෙහිදී, විදේශ ණය වලට ප්‍රමුඛතාවයක් ලැබේ. එයට හේතු කිහිපයකි. පළමුව, විදේශ ණය ගැනීම සාපේක්ෂව අමාරුය. දෙවනුව, විදේශ ණය හරියටම අවශ්‍ය දවසටම ගන්නට නුපුළුවන. ඒ නිසා කිසියම් පෙර සූදානමක් අවශ්‍යය. තෙවනුව, විදේශ ණය ගන්නා විට 'සොච්චම් ණය කෑලි' ගැනීම ප්‍රායෝගික නැත. ණය ලබාගැනීම සඳහා ලොකු මහන්සියක් දැරිය යුතු නිසා එකවර ලොකු කුට්ටියක්ම ණය ගත යුතුය. දේශීය ණය වෙළදපොළ වෙත යොමුවන්නේ මෙසේ අපේක්ෂිත විදේශ ණය ලබා ගැනීමෙන් පසුවද ඉතිරි වන හිස්තැන් පුරවා ගැනීමටය.

රජය වසර පුරා කිසියම් දේශීය ණය ප්‍රමාණයක් ගන්නවා යනුවෙන් අදහස් වන්නේ වසර තුළ ටික ටික ණය ගැනීම නිසා වසර අවසානය වන විට එම ණය ප්‍රමාණය එකතු වනවා යන්නම නොවේ. වසර මැද ඇතැම් දිනවල රජයේ ණය ප්‍රමාණය වසර අවසන් වන විට ගණනද ඉක්මවා විශාල ලෙස ඉහළ යයි. රජයේ ආදායම් හා වියදම් රටාව අනුව සමස්තයක් ලෙස වියදම ආදායමට වඩා වැඩි වුවත්, කිසියම් අරමුදල් අතිරික්තයක් තිබෙන දවස්ද තිබේ. එවැනි දිනවල මේ මුදල් නිකරුණේ ළඟ තබා ගෙන නොඉඳ ණය වලින් කොටසක් ගෙවා, දින කිහිපයකින් නැවත අරමුදල් අවශ්‍ය වන විට ආපසු ණය ගැනීමෙන් රජයේ පොලී වියදම් අඩු කරගත හැකිය. ඇත්තටම රජය එසේ කරයි. එමෙන්ම, ලොකු විදේශ ණය මුදලක් (හෝ රාජ්‍ය දේපලක් විකිණීමෙන් වැනි දෙයකින් ලැබෙන ලොකු මුදලක්) එක වර ලැබුණු විට ඒ මුළු මුදලම එක වර වියදම් කරන්නට අවශ්‍ය නොවන නිසා තාවකාලිකව දේශීය ණය වලින් කොටසක් පියවන්නට පුළුවන. එමෙන්ම, ලොකු විදේශ ණයක් ළඟ එන විට දේශීය වෙළදපොලෙන් දිගුකාලීන ණය නොගෙන, කෙටිකාලීන ණයක් ගැන පෙර කී විදේශ ණය අතට ලැබෙන තුරු රෝලක් දාගත හැකිය.

මේ සියල්ල එකතු කළ විට රජයේ දේශීය ණය අවශ්‍යතාවය පිලිබඳ චිත්‍රය සිතේ ඇඳගන්නට බැරිකමක් නැත. යම් අරමුදල් ප්‍රමාණයක් වසර ගණනාවක් වැනි දිගු කාලයකට අවශ්‍ය වන අතර ඇතැම් මුදල් අවශ්‍යතා කෙටිකාලීනය. මෙවැනි දිගුකාලීන ණය අවශ්‍යතා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්ද, කෙටිකාලීන අවශ්‍යතා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන්ද සපුරා ගත හැකිය. මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එක් එක සතිය තුළ වෙන්දේසි කරන රාජ්‍ය සුරැකුම්පත් වල පරිණත කාලය තීරණය කරන්නේ ඉහත විස්තර කළ පරිදි රජයේ ණය අවශ්‍යතා සමඟ කාල ගැලපුම් කරමිනි.

මුදල් අමාත්‍යංශය හා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එක්ව විසින් වසර මුලදී අදාළ වසර සඳහා ණය වැඩසටහන පිළියෙළ කළත් මෙය ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම පහසු නැත. අපේක්ෂිත ආදායම් බොහෝ විට ඒ අයුරින්ම නොලැබේ. ලැබුණත් අපේක්ෂිත දිනටම නොලැබේ. එමෙන්ම, බොහෝ විට වියදම් ඇස්තමේන්තු ඉක්මවා යයි. ඇතැම් විට අනපේක්ෂිත වියදම් දරන්නට සිදු වේ. යුද්ධය පැවති කාලයේ බොහෝ විට මෙවැනි අනපේක්ෂිත වියදම් ඇති වූයේ යුද්ධයට හා අදාළවය. කොළඹට එල්ටීටීඊ ප්‍රහාර එල්ල වන විට හෝ උතුරේ හමුදා කඳවුරකට දරුණු ප්‍රහාරයක් එල්ල වන විට ආරක්ෂක මණ්ඩලය රැස් වී අළුතින් ආයුධ මිලදී ගැනීමට ක්ෂණිකව තීරණය කරයි. මේ වෙනුවෙන් ක්ෂණිකව වැය කරන්නට අරමුදල් අවශ්‍ය වේ. ඒ අරමුදල් කෙසේ හෝ සෙවිය යුතුය. (මෙවැනි අවස්ථා වලදී පිට
ට පෙනෙන පරිදි යුද්ධයට කිසි සම්බන්ධයක් නොමැති බොහෝ පිරිස්ද වක්‍රව යුද්ධයට දායක වී තිබේ.) ඡන්දයක් ලං වන විට ආණ්ඩුවේ ලොකු තැන් ලොකු වියදම් වලට පෙළඹේ. මේවාද වසර මුල හදන ණය වැඩ සටහනේ නැත.

රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළදපොළේ සැපයුමෙහි ප්‍රභවය එක් තැනක් වුවත්, මෙකී නොකී බොහෝ හේතු නිසා භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් සැපයුම (හෙවත් දළ ප්‍රකාශයක් ලෙස රජයේ දේශීය ණය ඉල්ලුම) වසර පුරා බොහෝ සේ උච්ඡාවචනය වේ. මේ අයුරින්ම, මේ භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් සඳහා වන ඉල්ලුමද වසර පුරා වෙනස් වේ. ඒ සඳහා හේතු වන කරුණු මෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම ඇති වන ආකාරය ඉදිරි ලිපියකින් කතා කරමු.

Friday, November 18, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (එකොළොස්වන කොටස)

මා පෙර ලිපියෙන් (දහවන කොටසින්) පැහැදිලි කළ පරිදි, ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියට ලන්සු තැබීම අතුරේ යාමකි. වෙන්දේසියෙන් සුරැකුම්පත් කිසිවක් හිමි නොවුවහොත් ලාභයක් හෝ අලාභයක් සිදු නොවේ. (මෙය පසුගිය කොටසේ විස්තර කළ සාධකය පමණක් සලකමින් කරන ප්‍රකාශයකි. වෙනත් සාධක ගැන අපි පසුව වෙනම කතා කරමු.) එහෙත්, සුරැකුම්පත් හිමිවුවහොත් දිනක් තුල මිලියන ගණනක විශාල ලාභයක් ලැබෙන්නට හෝ එවැනිම අලාභයක් සිදුවන්නට ඉඩ තිබේ.

මේ තත්ත්වයට වෙන්දේසියට ඉදිරිපත්වන ආයතනයක් මුහුණ දෙන්නේ කෙසේද?

මෙහිදී, ලන්සුකරුවන්ට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ.

1. ඔවුන්ට අනෙක් තරඟකරුවන්ට සාපේක්ෂව උපාය මාර්ගික වීමෙන් වැඩි ලාභයක් ලැබිය හැකිය. මෙහිදී, වඩාත්ම උපායමාර්ගික වූ ආයතනය ලාභ ලබයි. අනෙකුත් ආයතන වලට පාඩු සිදුවේ. තරඟකරුවන් අතර සිදුවන උපාය මාර්ගික ක්‍රීඩාවේ ප්‍රතිඵලය ලෙස රජයට උපරිම වාසියක් ලැබේ. මෙය පසුගිය ලිපිය සමඟ ඉදිරිපත් කළ වගු වලින් පෙනෙන ආකාරයේ තත්ත්වයකි.

2. ඔවුන්ට එකතු වී කාටලයක් ලෙස ක්‍රියා කළ හැකිය. මෙහිදී, සැපයුම්කරු වන රජයේ (සහ එහි නියෝජිතයා ලෙස කටයුතු කරන මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ) ඒකාධිකාරයට එරෙහිව ඉල්ලුම්කරුවන් විසින් කණ්ඩායමක් ලෙස එකතු වී ප්‍රති-ඒකාධිකාරයක් ගොඩ නඟයි. එවිට ඇති වන්නේ මේ ඒකාධිකාර දෙක අතර ද්වන්ධ සටනකි. මෙවැනි තත්ත්වයක් යටතේ මිල තීරණය වන්නේ වඩා නොඉවසිලිමත් (impatient) වන්නේ කුමන පාර්ශ්වයද යන කරුණ මතයි. බොහෝ විට සල්ලි හදිස්සිය තියෙන්නේ රජයට නිසා රජයට වැඩි පොලියක් ගෙවන්නට සිදුවන්නට ඉඩ තිබේ. එමෙන්ම, ඔවුන්ට ප්‍රාථමික වෙන්දේසියට සහභාගී වීමේ හැකියාවක් නැති තනි පුද්ගලයින් හා අනෙකුත් සමාගම් වෙතද සිය ඒකාධිකාරය පවත්වා ගැනීමෙන් ලාභ ලැබිය හැකිය.

3. වෙන්දේසියට ක්‍රියාශීලී ලෙස සහභාගී නොවී හෝ එය මඟ හැර සිටිය හැකිය.

ඇත්තටම සිදුවන්නේ මේ තුනේම මිශ්‍රණයකි.

මේ තත්ත්වය තේරුම් ගැනීමට අපි මේ කරුණු එකින් එක සලකා බලමු. ඊට පෙර අපි මේ තීරණ ගන්නේ මොන වගේ පුද්ගලයින්ද කියා විමසා බැලිය යුතුය.

ලංකාවේ ප්‍රාථමික ගණුදෙනුකාර සමාගම් පහළොවකි. මේ සමාගම් වලින් අටක් ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි බැංකුවකට සම්බන්ධය. ඉතිරි හත එවැනි සම්බන්ධයක් නැති පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වැනි තනි සමාගම්ය. මෙවැනි තනි ප්‍රාථමික ගණුදෙනුකාර ආයතනයක සාමාන්‍යයෙන් සේවය කරන්නේ ඉතා සුළු සේවක පිරිසකි. එය මේ කර්මාන්තයේ ස්වභාවයයි. ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව වැනි ආයතනයක රට පුරා ඇති ශාඛා වල ඉතා විශාල සේවක පිරිසක් හිටියත්, එම බැංකු වල භාණ්ඩාගාර ඒකකයේ සේවය කරන්නේ සීමිත පිරිසකි. බැංකුවකට එවැනි ඒකක ඇත්තේ එකකි. මෙවැනි භාණ්ඩාගාර ඒකකයක් තනිව ගත් කළ ප්‍රාථමික ගණුදෙනුකාර සමාගමකට සමහර කරුණු අතින් සමානය.

ප්‍රාථමික වෙන්දේසියට ඉදිරිපත් වීමට අමතරව ප්‍රාථමික ගණුදෙනුකාර සමාගම් හා බැංකු වල භාණ්ඩාගාර ඒකක එදිනෙදා බොහෝ විට නිරතව සිටින්නේ ද්වීතියික වෙළදපොළ කටයුතු වලය. මේ ද්වීතියික වෙළදපොළ ගනුදෙනු වලින් විශාල ප්‍රමාණයක් සිදුවන්නේ ඔවුනොවුන් අතරය. මෙසේ කිරීමේදී, මේ සීමිත ආයතන කිහිපයේ සේවය කර
සීමිත පුද්ගලයින් පිරිසට එකිනෙකා හා දුරකථනයෙන් කතා කරන්නට සිදුවේ. ඒ හරහා ඔවුහු පෞද්ගලික දැන හැඳුනුම්කම්ද ගොඩනඟා ගනිති. මේ අනුව, මේ අය එක්තරා සංවෘත සමූහයකි. ඒ සංවෘත සමූහය තුළ තවත් කුඩා කල්ලි ආදියද නැතුවා නොවේ.

සුරැකුම්පත් ගණුදෙනු වල නිරත වන අයට බොහෝ විට ඔවුන් ලබන ලාභ අනුව කොමිස් මුදලක් ලැබේ. එමෙන්ම, එක දිගට පාඩු ලබන ගණුදෙනුකරුවෙකුට (
Dealer) රස්සාව නැති වීමේ ඉඩකඩක්ද තිබේ. මෙසේ රස්සාව නැති වුණොත් ඔවුන්ට නැවත රස්සාවක් හොයාගන්නට වෙන්නේද මේ ආයතන වලින් එකකමය. ලොකු පාඩුවක් ලබා රස්සාව නැති කරගත් විට වෙනත් තැනක රස්සාවට යාමද පහසු නැත. එමෙන්ම, වැඩිපුර ලාභ ලබන අයෙකුට වෙනත් ආයතන වලින් රැකියා පිරිනැමීමද සිදුවිය හැක්කකි. ඇතැම් විට ප්‍රධාන බැංකුවක ප්‍රධාන ගනුදෙනුකරු (Chief Dealer) එයින් ඉවත්ව තමන්ගේම ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් පටන්ගන්නට වුවත් ඉඩ තිබේ.

මෙකී නොකී කරුණු ඉදිරිපත් කරමින් ඉකොනොමැට්ටා වටින් ගොඩින් එන්නට හදන්නේ උඩින් ලියූ පළමු ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් මේ ආයතන එකිනෙකා සමඟ තරඟ කිරීමේ ඉඩකඩ එතරම් විශාල නොවන බව කියන්නටයි. අද එක ආයතනයක සේවය කරන අයෙකු හෙට වෙනත් තැනකට යන්නට ඉඩ ඇති නිසාත්, මේ අය බොහෝ විට සමාජ ජීවිතයේදී එකට හමුවන නිසාත් ආයතන අතර තරඟය ඉක්මවා බොහෝ විට මානුෂීය සම්බන්ධතා මතු වෙයි. මේ අනුව, දිගින් දිගටම පාඩු ලබා රස්සාව නැති කරගන්නට යන සගයෙකුට ලාභ පෙන්වීමට උදවු වීමට වෙනත් අයෙකු පාඩු ලබමින් ගණුදෙනුවක් කිරීම වුවත් සිදුවන්නට නොහැකි දෙයක් නොවේ. ඒ වගේම, තමන්ගේ ආයතනයේ අතිරික්ත ද්‍රවශීලතාවයක් (ආයෝජනයකට යෙදවිය හැකි, වෙනත් යමකට හිර වී නැති අරමුදල්) නොමැති විටක දක්නට ලැබෙන ලාභ ලැබීමේ අවස්ථාවක් ගැන වෙනත් ආයතනයක සේවය කරන සගයෙකුට දැනුම් දෙන්නට ඉඩ තිබේ. මෙය වෙනත් බොහෝ වෘත්තීන්ටද පොදු තත්ත්වයකි.

ප්‍රාථමික ගනුදෙනුකරුවෝ බොහෝ විට පොදු වාසි තකා කණ්ඩායමක් ලෙස කටයුතු කරති. එහෙත්, මෙහි ව්‍යතිරේඛ තිබේ. ප්‍රාථමික වෙන්දේසියට ඉදිරිපත් වීමේ හිමිකම ඇති සේවක අර්ථසාධක අරමුදල පාලනය කරන්නෝ මහ බැංකු සේවකයෝය. මා දන්නා තරමින් ඔවුන්ට ඔවුන්ගේ ලාභ මත කොමිස් මුදලක් නොලැබේ. එමෙන්ම, ඔවුන් දිගටම පාඩු ලැබුවද රැකියාව නැති වීමේ අවදානමක් නැත. රාජ්‍ය බැංකු වලද මේ රැකියාව නැතිවීමේ අවදානම නැති තරම්ය. ඔවුන්ටද කොමිස් මුදලක් ලැබෙන්නේදැයි මා දන්නේ නැත. ලැබුණත් එය වෙනත් පෞද්ගලික සමාගම් වල මට්ටමේ නැති බව මගේ අදහසයි. (මේ කරුණු ගැන මා යාවත්කාලීන නැති නිසා හරියටම කිව නොහැක). ඒ නිසා, විශාල ප්‍රාග්ධනයක් හා ආයෝජන හැකියාවක් ඇති රජයට සම්බන්ධ මේ ආයතන අනෙකුත් ආයතන මතුපිටට නොපෙනෙන පරිදි එකතු වී කාටලයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව සීමා කරයි.

ඉහත කරුණු වලට අමතරව මේ ආයතන අතර ඔවුන්ගේ අරමුදල් වල ආවස්ථික පිරිවැයේ වෙනස්කම්ද තිබේ. ප්‍රාථමික වෙළෙන්දෙකුට ලාභ ලැබිය හැක්කේ සුරැකුම්පතක් මිලදී ගත් මිලට වඩා වැඩියෙන් වෙනත් අයෙකුට විකිණීමෙනි. එසේ නැත්නම් තමන් සතුව තබාගෙන කල් පිරුණු විට ලබන පොලී ආදායමෙනි. මොවුන් සතුව ඇත්තේ සීමිත ප්‍රාග්ධනයක් නිසා අරමුදල් සොයා ගැනීමට ඔවුන්ට තනි පුද්ගල හෝ ආයතනික පාරිභෝගිකයින් අවශ්‍ය වේ. මෙවැනි අරමුදල් හිමිකරුවෙකුට තෝරා ගැනීමට ප්‍රාථමික වෙළෙන්දන් ගණනාවක් සිටින නිසා ඔවුන් වෙනුවෙන් සුරැකුම්පත් ගණුදෙනු කිරීමේදී වැඩි කොමිස් මුදලක් තබා ගැනීම පහසු නැත. ඔවුන්ට අරමුදල් ලැබෙන්නේ ද්වීතියික වෙළදපොල මිලට ඉතාම ආසන්නවය. මේ නිසා ප්‍රාථමික වෙළෙන්දෙකුට සිය ලාභ වැඩි කර ගැනීමට විශාල මහන්සියක් දරන්නට සිදුවේ. ඒ නිසා, ඔවුන් පොලී අනුපාතික වල සුළු වෙනසකට පවා ඉතා සංවේදීය.

අනෙක් අතට, සේවක අර්ථසාධක අරමුදලට කිසිදු මහන්සියක් නැතිව නිශ්චිත අරමුදල් ප්‍රමාණයක් එකතුවේ. ලැබෙන පොලිය අඩුවුණා කියා කිසිවෙකුට තමන්ගේ අර්ථසාධක අරමුදල් බැහැර ගෙනයා නොහැක. මේ අරමුදල් හිමිකරුවන්ට මහ බැංකුව විසින් ගෙවන පොලී අනුපාතික භාර ගනු හැර වෙන කළ හැකි දෙයක් නැත. ඒ නිසා, සිය ආයෝජන වෙනුවෙන් ලැබෙන පොලී අනුපාතික වෙනස් වුනා කියා අර්ථසාධක අරමුදල මෙහෙයවන්නන්ට බලපෑමක් නොවේ.

වාණිජ බැංකු වලට ඇත්තේ මේ දෙකේ අතරමැදි තත්ත්වයකි. ඔවුන් අරමුදල් රැස්කරගන්නේ රාජ්‍ය සුරැකුම්පත් ඉල්ලා සිටින පාරිභෝගිකයින්ගෙන්ම නොවේ. බොහෝ විට තැන්පතුකරුවන්ගෙනි. මේ තැන්පතු පොලී විශාල ලෙස අඩු කළහොත් පාරිභෝගිකයින් වෙනත් බැංකුවකට යන්නට ඉඩ තිබේ. එහෙත්, සාමාන්‍යයෙන් බැංකු තමන්ගේ අරමුදල් සඳහා දරන ආවස්ථික පිරිවැය වන බැංකු පොලිය රාජ්‍ය සුරැකුම්පත් වලින් ලැබිය හැකි පොලියට වඩා අඩුය. උදාහරණයක් ලෙස ජංගම ගිණුම් ශේෂ මත පොලියක් ගෙවන්නේම නැත.

ඉහත වෙනස්කම් නිසා සේවක අර්ථ සාධක අරමුදලට සහ බැංකු වලට, විශේෂයෙන්ම රාජ්‍ය බැංකු වලට සුරැකුම්පත් වෙන්දේසියට සහභාගී වී පාඩු විඳීමේ අවදානම ගන්නට එතරම්ම අමාරු නැත. එහෙත්, ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට එය කිරීම වඩා අසීරුය.

තෙවන විකල්පයද ඇතැම් ආයතන විසින් ප්‍රායෝගිකව අනුගමනය කරන එකකි. කෙසේ වුවද, එය කළ හැක්කේ රුපියල් මිලියන සීයේ අවම සීමාවට යටත්වය.

(මතු සම්බන්ධයි)

Thursday, November 17, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහවන කොටස)


මා පෙර කොටසේ විස්තර කළ පරිදි, මහ බැංකුව විසින් පෙර දැනුම් දුන් ආකාරයට හරියටම රුපියල් බිලියනයක ලන්සු භාර ගත්තේයැයි සිතමු. එසේනම්, රුපියල් 100ක මුහුණත වටිනාකමක් සඳහා බරිත සාමාන්‍ය මිල වන්නේ රුපියල් 108.09කි. වෙන්දේසියෙන් පසුව, ද්වීතියික වෙළඳපොළ මිල මේ මට්ටමේ හෝ ඉතා ආසන්න මට්ටමක ස්ථාවර වීමේ විශාල ඉඩකඩක් පවතී. එසේ වූ විට මේ මිලට වඩා වැඩි මිලක් ගෙවූ ගැණුම්කරුවන්ට අවාසියක්ද, අඩුවෙන් ගෙවූ අයට ක්ෂණික වාසියක්ද ලැබේ. මේ වාසිය හෝ අවාසිය ලාභ අලාභ ගිණුමට යන සැබෑ (realized) වාසියක් හෝ අවාසියක් වන්නේ ද්වීතියික වෙළඳපොළ මිලට තමන් සතු බැඳුම්කර විකුණුවහොත් පමණි. එසේ විකිණුවේ නැත්නම්, මෙය බැඳුම්කරය විකිණීමේදී සිදුව හැකි (unrealized) වාසියක් හෝ අවාසියකි.

පහත වගුවේ ඇත්තේ මෙසේ හරියටම බිලියනයක ලන්සු භාර ගත්තේනම් එක් එක් ආයතනයට ලංකාවේ වෙන්දේසි ක්‍රමය නිසා ක්ෂණිකව සිදුවන වාසිය හෝ අවාසියයි.



එසේ නොවී, යම් හෙයකින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ විකල්ප යෝජනාව ක්‍රියාත්මක කර බිලියන 2.608ක බැඳුම්කර නිකුත් කළේනම් ඇති විය හැකි තත්ත්වය පහත ඇති සිවු වන වගුවේ තිබේ. එසේ කළේනම් ආන්තික මිල රුපියල් 104.51 සිට 102.21 දක්වාත්, බරිත සාමාන්‍ය මිල රුපියල් 108.09 සිට 104.75 දක්වාත් පහත වැටේ. මා මේ කොටසින් කතා කරන්නේ මෙසේ නිකුත් කරන බැඳුම්කර ප්‍රමාණය වෙනස් කළ විට රජයට සිදුවන අලාභය (හෝ ලාභය) ගැන නොවේ. එවැනි විමසුමක් අපි පසුවට තබමු. මා මේ කොටසින් කතා කරන්නේ වෙන්දේසියට ලන්සු තබන ආයතන වලට එයින් සිදුවන බලපෑම ගැනයි.



දැන් ඉහත තෙවන හා සිවුවන වගු සැසඳීමෙන් අපට මහ බැංකුව නිකුත් කරන බැඳුම්කර ප්‍රමාණය බිලියනයේ සිට බිලියන 2.608 දක්වා වැඩි කළ විට එක් එක් ලන්සුකරුට සිදුවන බලපෑම පෙනේ.

-ලංකා බැංකුවේ අලාභය රුපියල් මිලියන 7.4 සිට මිලියන 24.4 දක්වා තෙගුණය ඉක්මවා වැඩි වේ.
-ඇකුයිටි සිකියුරිටීස් සමාගමේ අලාභය රුපියල් මිලියන 1.96 සිට මිලියන 3.63 දක්වා 85%කින් වැඩි වේ.
-ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගමේ අලාභය රුපියල් මිලියන 2.9 සිට මිලියන 6.2 දක්වා දෙගුණය ඉක්මවා වැඩි වේ.
-එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ ලාභය ඉතාම සුළු ලෙස 0.9% කින් වැඩි වේ.
-ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ලාභය රුපියල් මිලියන 1.9 සිට මිලියන 2.8 දක්වා 47%කින් වැඩි වේ.
-සේවක අර්ථසාධක අරමුදලේ ලාභය රුපියල් මිලියන 9.4 සිට මිලියන 26.6 දක්වා තෙගුණයකට ආසන්නව වැඩි වේ.
-කලින් කිසිදු ලාභයක් නොලැබූ මහජන බැංකුවට රුපියල් මිලියන 2.5ක ලාභයක්ද, නැට්වෙස්ට් සිකියුරිටීස් සමාගමට රුපියල් මිලියන 1.3ක ලාභයක්ද ලැබේ.
-අනෙක් ආයතන වල තත්ත්වයේ වෙනසක් නොවේ.

මෙයින් මා පෙන්වන්නට උත්සාහ කරන්නේ ප්‍රාථමික වෙන්දේසියෙන් පසු භාර ගන්නා ලන්සු ප්‍රමාණය අනුව, ලන්සු තැබූ ආයතන වල ලාභ හෝ අලාභ කිහිප ගුණයකින් වෙනස් විය හැකි බවයි. මේ උදාහරණයේ නොපෙනුණත්, මෙසේ ප්‍රමාණය වෙනස් කිරීමෙන් ඇතැම් විට කිසියම් ආයතනයක ලාභයක් අලාභයකට හැරවෙන්නටද පුළුවන. ඒ අනුව, මහ බැංකුව විසින් සිය අභිමතය පරිදි ප්‍රාථමික වෙන්දේසියේ නිකුතුවේ ප්‍රමාණය තීරණය කිරීම තුළ එය කරන අයට අවශ්‍යනම් කිසියම් ආයතනයකට වැඩි වාසියක් හෝ අවාසියක් සිදුවන පරිදි එය කිරීමේ හැකියාවක් තිබේ.

මෙය මහ බැංකුව විසින් එසේ කරන බවට චෝදනාවක් නොවේ. මගේ උත්සාහය වන්නේ මේ ක්‍රමය පාරදෘශ්‍ය නොවන ක්‍රමයක් බව පෙන්වීමයි.

අපේ සාකච්ඡාවට මුල් වූ 2015 පෙබරවාරි වෙන්දේසියේදී රුපියල් බිලියන 10.058ක බැඳුම්කර නිකුත් කෙරිණි. මෙසේ කිරීමේදී ආන්තික මිල රුපියල් 90.17 දක්වාත්, බරිත සාමාන්‍ය මිල රුපියල් 96.02 දක්වාත් පහත වැටුණි. මෙය එක් එක් ලන්සුකරුට බලපෑ ආකාරය පහත (පස්වන) වගුවේ පෙන්වා තිබේ.



බැඳුම්කර නිකුතු ප්‍රමාණය රුපියල් බිලියනයේ සිට රුපියල් බිලියන 10.058 දක්වා ඉහළ නැංවීම නිසා සිදු වූ ප්‍රතිඵල සමහරක් මෙසේය.
-පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට රුපියල් මිලියන 222.3ක ලාභයක් ලැබීමේ හැකියාවක් ඇති විය.
-සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 9.4ක ලාභය රුපියල් මිලියන 124.2ක අලාභයකට හැරවිණි.
-රුපියල් මිලියන 7.4ක් වූ ලංකා බැංකුවේ අලාභය රුපියල් මිලියන 68.7 දක්වා වැඩි වේ.
-රුපියල් මිලියනයකට ආසන්න ලාභයක් ලබන්නට සිටි එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ ලාභය රුපියල් මිලියන 7.8 ක අලාභයකට හැරවිණි.
-රුපියල් මිලියන 1.9ක ලාභයක් ලබන්නට සිටි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ලාභය රුපියල් මිලියන 11.9 ක අලාභයකට හැරවිණි.
-පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අමතරව වැඩි ලන්සු තැබූ කැපිටල් එලායන්ස්, එච්එස්බීසී, වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස්, සෙලාන් බැංකුව හා පෑන් ඒෂියා බැංකුව යන ආයතනද කිසියම් ලාභයක් ලබයි.
-අඩු ලන්සු තැබූ මහජන බැංකුව හා නැට්වෙස්ට් සිකියුරිටීස් ආයතන වලටද අලාභයකට මුහුණ දීමට සිදු වේ.

මේ අනුව, අප මෙතෙක් විශ්ලේෂණය සඳහා යොදාගත් පදනම පමණක් සැලකූ විට නිකුතු ප්‍රමාණය ඉහළ යාමේ ශුද්ධ වාසියෙන් වැඩිම කොටස පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලැබෙද්දී එහි බරපැනෙන් විශාල කොටසක් දරන්නට වෙන්නේ සේවක අර්ථසාධක අරමුදලට හා රාජ්‍ය බැංකු තුනටය.

Wednesday, November 16, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (නවවන කොටස)

ලංකාවේත්, ඇමරිකාවේත් රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසි ක්‍රියාත්මක වන ආකාරය මම මේ ලිපි මාලාවේ මුලදීම පැහැදිලි කළෙමි. ඇමරිකාවේ වෙන්දේසියට ලන්සු තබන සියල්ලන්ටම රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කෙරෙන්නේ එකම මිලකටය. ඒ මිල වන්නේ අදාළ රාජ්‍ය සුරැකුම්පත් වර්ගය සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත කරන ආන්තික මිලයි.

බොහෝ විට, එම රාජ්‍ය සුරැකුම්පත් වර්ගයේ ද්වීතියික වෙළඳපොළ මිල වන්නේද ආසන්න වශයෙන් ප්‍රාථමික වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම තුලනය කෙරෙන මේ මිලමය. තරඟකාරී වෙළඳපොලක එක සමාන භාණ්ඩයක් වෙනස් මිල ගණන් වලට අලෙවි විය නොහැකිය. ඕනෑම අයෙකුට ප්‍රාථමික වෙළඳපොළ වෙන්දේසියට සහභාගී වීමේ හැකියාව ඇති නිසා ඇමරිකාවේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අනෙකුත් සාමාන්‍ය පුද්ගලයින්ට නොලැබෙන විශේෂ වාසියක් නොලැබේ. ඒ නිසා, එම ආයතන වලට ප්‍රාථමික වෙන්දේසියෙන් සුරැකුම්පත් අඩු මිලට ගෙන ද්වීතියික වෙළදපොළේ වැඩි මිලට විකිණීමේ හැකියාවක් නැත.

ඉහත කී පරිදි ඇමරිකාවේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට ලාබයක් තබාගෙන, ප්‍රාථමික වෙන්දේසියට ඉදිරිපත් වීමේ හිමිකමක් නැති අයට අනෙක් අතට සුරැකුම්පත් විකිණීමේ හැකියාවක් නොමැති නිසා ඔවුන්ට ලාබ උපයන්නට වෙන්නේ වෙනත් ක්‍රම වලිනි. බොහෝ විට මේ 'වෙනත් ක්‍රමය' වන්නේ වෙළෙඳපොළ සාධක වෙනස් වී මිල වැඩි වූ අවස්ථාවක් එළඹෙන තුරු බලා සිට තමන් සතු රාජ්‍ය සුරැකුම්පත් මුදල් කිරීමයි.

ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියෙන් සියළු ගැණුම්කරුවන්ට එකම මිලකට රාජ්‍ය සුරැකුම්පත් නොලැබේ. උදාහරණයක් ලෙස මා මෙම ලිපි මාලාවේ හත්වන කොටස සමඟ පළ කළ වගුව 2 බලන්න. එම ලිපියේ ලියූ පරිදි, 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී මහ බැංකුව විසින් පෙර දැනුම් දුන් පරිදි හරියටම රුපියල් බිලියනයක බැඳුම්කර නිකුත් කළේනම් සිදුවන්නේ මෙවැන්නකි.

"ඇමරිකානු ක්‍රමයේදී සියළුම ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ ආන්තික මිල වුවත්, ලංකාවේ ක්‍රමයේදී එක් එක් ගැනුම්කරුට තමන් තැබූ ලන්සුවේ මිල ගෙවන්නට සිදු වේ. ඒ අනුව, ලංකා බැංකුවට රුපියල් මිලියන 8ක මුහුණත වටිනාකමැති බැඳුම්කර වෙනුවෙන් රුපියල් 119.33ක ඉහළ මිලක්ද, ඉතිරි රුපියල් මිලියන 500 වෙනුවෙන් රුපියල් 109.39ක තරමක් අඩු මිලක්ද ගෙවන්නට සිදු වේ. ලංකා බැංකුව විසින් රුපියල් මිලියන 508ක බැඳුම්කර වෙනුවෙන් ගෙවන මුළු මුදල රුපියල් මිලියන 556.51ක් වන නිසා ලංකා බැංකුව විසින් ගෙවන බරිත සාමාන්‍ය මිල රුපියල් 109.23ක්ද, බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය 10.23%ක්ද වේ.

ඇකුයිටි සිකියුරිටීස් සමාගම රුපියල් 112.01 බැගින්ද, ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් 110.95 බැගින්ද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගනිති. එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල විසින් ආන්තික මිල වන රුපියල් 104.51 ගෙවති."

මෙහි පැහැදිලිව පෙනෙන පරිදි, එක සමාන බැඳුම්කර වෙනුවෙන් එක් එක් ලන්සුකරු ගෙවන්නේ වෙනස් මිල ගණන්ය. මෙය ඇමරිකාවෙන් ලංකාව වෙනස්වන එක් ආකාරයකි. ඇමරිකාවෙන් ලංකාව වෙනස්වන දෙවන ආකාරය වන්නේ ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළදපොළට ලන්සු තැබීමේ අයිතිය ඇති ආයතන දහසයට එම අයිතිය නොමැති වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සුරැකුම්පත් අනෙක් අතට විකුණා ලාබයක් ලැබිය හැකි වීමයි. මේ කටයුත්තේදී කිසියම් තරඟකාරිත්වයක් ඇති වන නිසා ද්වීතියික වෙළදපොළේ තිබිය හැක්කේ (ආසන්න වශයෙන්) එක් ස්ථාවර මිලකි. මේ මිල කුමක්ද?

ප්‍රාථමික වෙන්දේසියේ බැඳුම්කර විකිණුනු අවම මිල රුපියල් 104.51 කි. ඒ නිසා ද්වීතියික වෙළඳපොළ මිල ඊට වඩා අඩු විය නොහැකිය. වෙන්දේසියට සහභාගී වී සුරැකුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සියල්ලෝම මීට වඩා ඉහළ මිලක් ඉල්ලා සිටි අයයි. ඒ නිසා, මේ සුරැකුම්පත් විකුණන්නට වෙන්නේ ප්‍රාථමික වෙළඳපොළට සහභාගී වීමේ හැකියාවක් නොතිබුණු පුද්ගලයෙකුට හෝ ආයතනයකටය.

රුපියල් 112.01 බැගින් බැඳුම්කර මිලදී ගත් ඇකුයිටි සිකියුරිටීස් සමාගම සතයක ලාබයක් තබාගෙන රුපියල් 112.02 කට කිසියම් ගැණුම්කරුවෙකුට බැඳුම්කර විකුණන්නට සැරසෙන්නේයැයි සිතමු. එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමට ඒ මිලට වඩා ශත දෙකක් අඩුවෙන් රුපියල් 112.00 කට එම ගැනුම්කරුට බැඳුම්කර විකුණා රුපියල් 7.49ක ලාබයක් ලැබිය හැකිය. ඒ, ඔවුන් ගෙවා ඇති මිල රුපියල් 104.51ක් පමණක් බැවිනි. එවිට, ඇකුයිටි සිකියුරිටීස් සමාගමට කළ හැකි දෙයක් නැත.

ලංකාවේ ප්‍රාථමික වෙන්දේසියෙන් පසුව අඩු මිලට බැඳුම්කර ගත් අය කිසියම් ලාබයක් තබාගෙන මේ බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ තුළ විකුණන බැවින් ද්වීතියික වෙළඳපොළ මිල වැඩි මිලක් දී එම වෙන්දේසියෙන්ම බැඳුම්කර මිලදී ගත් අයට අවාසියක් සිදුවන මට්ටමකට පහත වැටේ. ද්වීතියික වෙළදපොළ මිල බොහෝ විට අදාළ වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල වූ රුපියල් 108.08 මට්ටමට වැටෙන්නට ඉඩ තිබේ. එසේ වීමේදී, ප්‍රාථමික වෙන්දේසියෙන් බැඳුම්කර ලබාගත් ගැනුම්කරුවන්ගෙන් අඩකට ලාභයක් වන අතර අනෙක් අඩට පාඩුවක් සිදු වේ.

ඉහත උදාහරණයේදී, මේ සමතුලිත මිල රුපියල් 108.08 නම් රුපියල් 109.23ක සාමාන්‍ය මිලක් ගෙවූ ලංකා බැංකුවට රුපියල් 1.15ක අලාභයක්ද, ඇකුයිටි සිකියුරිටීස් සමාගමට රුපියල් 3.93ක අලාභයක්ද, ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගමට රුපියල් 1.87ක අලාභයක්ද සිදුවෙද්දී, එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් 3.57ක ලාබයක් ලැබේ. මේ අනුව, ප්‍රාථමික වෙන්දේසියෙන් රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීම ලාභ මෙන්ම අලාභද සිදුවිය හැකි සූදුවකි.

වෙළදපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ රුපියල් 108.08 මට්ටමේදී නිසා ද්වීතියික වෙළඳපොළ මිල ඒ මට්ටමේ ස්ථාවර වීමට ඉඩ ඇති බව මා කීවත් එය හරියටම එසේම සිදු නොවනු ඇතැයි යමෙකුට කිව හැකිය. කෙසේ වුවද, වෙනත් හේතුවක් නිසා එසේම සිදු වෙයි.

පසුගිය 2015 මාර්තු පමණ දක්වා මහ බැංකුව අනුගමනය කළ ක්‍රමවේදය වූයේ ප්‍රාථමික වෙන්දේසි පැවැත්වෙන දින හැර අනෙකුත් දින වල සෘජු ක්‍රමයට භාණ්ඩාගාර සුරැකුම්පත් අලෙවි කිරීමයි. මෙසේ අලෙවි කළේ අවසන් වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලටය. ඉහත උදාහරණයේ මේ මිල රුපියල් 108.08 කි. දැන් මහා බැංකුවෙන් රුපියල් 108.08 බැගින් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමේ හැකියාව ඕනෑම ප්‍රාථමික ගැනුම්කරුවෙකුට තිබෙන නිසා, වෙනත් අයෙකුගෙන් ඊට වඩා වැඩි මිලකට මිල දී ගන්නට කිසිම උවමනාවක් නැත. ඒ නිසා, ප්‍රාථමික වෙළදපොලෙන් ඊට වඩා වැඩි මිලකට බැඳුම්කර මිලදී ගත් සියල්ලන්ටම පාඩු විඳින්නට සිදුවේ. රුපියල් 108.08 යනු වෙන්දේසියෙන් අලෙවි වූ බැඳුම්කර පරාසයේ මධ්‍යන්‍යය නිසා බැඳුම්කර වලින් හරි අඩක මිල මෙසේ පහත වැටේ.

ඉහත පැහැදිලි කළ පරිදි, ලංකාවේ ප්‍රාථමික වෙන්දේසියෙන් සුරැකුම්පත් මිලදී ගැනීම අවදානම් සහගත සූදුවකි. මේ සූදුව දිනන්නටනම් වෙන්දේසියේ ආන්තික මිල නිවැරදිව අනුමාන කළ යුතුය. එය හරියටම කළ හැකිනම් විශාල ලාභයක් ලැබිය හැකිය. කිසියම් අයුරකින් මහ බැංකුවෙන් ඒ ගැන ඉඟියක් ලැබේනම් ගොඩේ ගොඩය.

"ආවොත් අත තමයි!"

දැන් මෙතැනදී ලාබයක් ලබන ප්‍රාථමික ගනුදෙනුකරුවෙක් හෝ බැංකුවක් ඒ ලාබය ලබාගන්නේ වෙනත් ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුගේ හෝ බැංකුවක වියදමිනි. රජයට මෙයින් කිසිදු විශේෂ වාසියක් හෝ අවාසියක් සිදු නොවේ.

වැඩි ලාබයක් වෙනුවෙන් මේ අවදානම ගන්නට අකැමති, සුළු ආන්තික ලාබයක් තබාගෙන වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට බැඳුම්කර විකුණා සෑහීමකට පත්වෙන වෙනත් ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුට හෝ බැංකුවකට ප්‍රාථමික වෙන්දේසියට ලන්සු තබා මේ අවදානම ගන්නවාට වඩා වෙන්දේසිය අවසන් වීමෙන් පසු සෘජු ක්‍රමයට බැඳුම්කර මිලදී ගැනීම සුරක්ෂිත තීරණයකි.

ඉහත කරුණ නිසා බොහෝ ප්‍රාථමික ගනුදෙනුකරුවන් හා බැංකු වෙන්දේසියට ඉදිරිපත් කරන්නේ රුපියල් මිලියන සීයේ අවම ලන්සුව පමණි. එය කරන්නේ එම අවම ලන්සුව අනිවාර්යයයෙන්ම තැබිය යුතු නිසාය. ගනුදෙනුකරුවෙක් හෝ බැංකුවක් ඊට වඩා වැඩියෙන් ලන්සු තබන්නේ ඉතා සැලකිල්ලෙනි. එවැනි ලන්සු පිටුපස බොහෝ විට වෙනත් හේතුවක් තිබේ.

මෙහිදී මා 'වෙනත් හේතු' කීවද ඒවා නරක අභිලාෂ බව එයින් අදහස් නොවේ. උදාහරණයක් ලෙස සෑම වාණිජ බැංකුවකම සුරැකුම්පත් කළඹ (securities portfolio) ආයෝජන කළඹ (investment portfolio) හා වෙළඳාම් කළඹ (trading portfolio) ලෙස කොටස් දෙකකින් සමන්විතය. මා ඉහත විස්තර කළ තර්කය අදාළ වන්නේ වෙළඳාම් කළඹටය. ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුගේ සුරැකුම්පත් කළඹ බොහෝ විට වෙළඳාම් කළඹකි.


(මතු සම්බන්ධයි) 

Tuesday, November 15, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (අටවන කොටස)



ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසියේදී මුලින් දැනුම් දුන් ප්‍රමාණය මෙන් දහගුණයක බැඳුම්කර නිකුත් නොකර හරියටම දැනුම් දුන් ප්‍රමාණයම නිකුත් කළේනම් ඒ බැඳුම්කර ලන්සුකරුවන් අතර බෙදී යා හැකිව තිබුණු ආකාරය මම පසුගිය කොටසින් ඉදිරිපත් කළෙමි. ඒ අනුව, තරඟකාරී ආයතන දහසයෙන් හයකට කිසියම් බැඳුම්කර ප්‍රමාණයක් ලැබෙන අතර ඉතිරි ආයතන දහයට කිසිවක් නොලැබේ. මෙසේ බැඳුම්කර යම් ප්‍රමාණයක් හිමි කරගන්නා ආයතන අතරින් ලංකා බැංකුවට බැඳුම්කර නිකුතුවෙන් 50.8%ක් ලැබේ.

මෙයින් මා පෙන්වන්නට හදන්නේ කිසිදු අක්‍රමිකතාවක් නොවූවද මුළු නිකුතුවෙන් අඩකට වඩා එක් සමාගමකට ලැබීම ලංකාවේ පවතින වෙන්දේසි ක්‍රමය අනුව සාමාන්‍ය දෙයක් බවයි. ඇත්තටම කියනවානම් මුළු නිකුතුවම එක් ආයතනයකට හිමිවීම වුවද සිදුවන්නට බැරි දෙයක් නොවේ. ඒ, ලංකාවේ එක් ආයතනයකට ලන්සු තැබිය හැකි ලබා ගත හැකි මුළු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය සීමා කර නැති බැවිනි. මා පෙර කොටසක ලියූ පරිදි, ඇමරිකාවේ එක් අයෙකුට තැබිය හැකි මුළු ලන්සු ප්‍රමාණය වෙන්දේසියට ඉදිරිපත් කර ඇති සුරැකුම්පත් ප්‍රමාණයෙන් 35%කට නොවැඩි විය යුතුය.

දැන් අපි වෙන්දේසියේ මෙතෙක් සාකච්ඡා කළ ප්‍රතිඵලයට, එනම් දැනුම් දුන් ප්‍රමාණයම නිකුත් කළ විට ලැබෙන ප්‍රතිඵලයට ආපසු පැමිණියහොත්, මෙහි වාසි හා අවාසි ලබන්නෝ කවුද?

මෙහිදී රජයට සිදු වන වාසිය හෝ අවාසිය ගණනය කළ යුත්තේ වෙනත් විකල්පයකට සාපේක්ෂවය. මා පෙර කොටසින් විස්තර කර පරිදි, සෘජු ක්‍රමයට සාපේක්ෂව වෙන්දේසි ක්‍රමය රජයට වාසිදායකය. සෘජු ක්‍රමය යටතේ ඇමරිකාවේ වෙන්දේසියේදී මෙන් සියලුම බැඳුම්කර විකිණෙන්නේ එකම මිලකටය. ඒ මිලට බැඳුම්කර මිල දී ගන්නේ එසේ මිලදී ගැනීමෙන් ලාභයක් ලැබිය හැකි ආයතනයක් පමණි. ඒ මිලට බැඳුම්කර මිලදී ගෙන ලාභයක් ලැබිය නොහැකිනම් කිසිවකුට සෘජු ක්‍රමයට බැඳුම්කර මිල දී ගැනීමට තර්කානුකූල හේතුවක් නැත. (කෙසේ වුවද, ඇතැම් ආයතන පාඩු ලබමින් වුවත් එසේ කරන අවස්ථා තිබේ. ඒ ගැන පසුව කතා කරමු.) වෙන්දේසි ක්‍රමයේදී බැඳුම්කර ලබාගන්නා ආයතන සියල්ලම අඩුම වශයෙන් සෘජු ක්‍රමය යටතේ ඔවුන් ගෙවිය හැකිව තිබුණු මිල ගෙවති. ඇතැම් ආයතන ඊට වඩා වැඩි මිලක් ගෙවති. ඒ නිසා, වෙන්දේසි ක්‍රමය රජයට වාසිදායකය.

වෙන්දේසියේදී නිකුත් කළේ හරියටම මුලින් දැනුම් දුන් බැඳුම්කර ප්‍රමාණයමයැයි සිතමු. මෙය කිසිසේත්ම අනපේක්ෂිත තත්ත්වයක් නොවේ. ඒ නිසා, අඩුම වශයෙන් ඒ මට්ටම දක්වා ඉදිරිපත් වී ඇති ලන්සු තරඟකාරී ලන්සු ලෙස සැලකිය හැකිය. ඒ නිසා, ඉහත තත්ත්වය යටතේ රජය විසින් ලබාගෙන ඇත්තේ ප්‍රාථමික වෙන්දේසියට සහභාගී වීමේ හිමිකම ඇති ආයතන වලට පමණක් බැඳුම්කර විකිණීමෙන් රජයට ලබාගත හැකිව තිබුණු උපරිම මිලයි. කෙසේවුවද, යම් හෙයකින් මේ බැඳුම්කර වෙන්දේසිය ඇමරිකාවේ මෙන් විවෘත වෙන්දේසියක් වීනම් තරඟය වැඩි වන නිසා රජයට වඩා වැඩිමිලක් ලබාගත හැකිව තිබුනේයැයි උපකල්පනය කළ හැකිය.

පැවති වෙන්දේසි ක්‍රමය යටතේ රුපියල් 104.51 දක්වා වූ මේ මුල් ලන්සු වලින් රජයට අවාසියක් වී නොමැති බව කෝප් කමිටුවේ සියළුම සාමාජිකයින් විසින් එකඟ වී ඇති කරුණකි. එම කමිටුවේ බහුතර සාමාජිකයින් මෙන්ම විගණකාධිපතිවරයා විසින්ද රජයට අවාසි ගෙනදුන් ගණුදෙණු ලෙස සලකන්නේ රුපියල් 104.51ට වඩා අඩු මිලකට විකිණුනු බැඳුම්කරයි.

කෝප් වාර්තාවේ රජයට සිදුවූ අලාභය පිළිබඳ ඇස්තමේන්තු මෙන්ම, යම් හෙයකින් රුපියල් බිලියන විස්සක් දක්වා බැඳුම්කර නිකුත් කළේනම් සිදුවිය හැකිව තිබුණු අලාභය පිළිබඳ ඇස්තමේන්තුවක්ද තිබේ. මේ ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ ඉතා සරල හා වැරදි උපකල්පනයක් මතය. එනම්, රජයට රුපියල් 104.51 බැගින් රුපියල් බිලියන 20 දක්වා බැඳුම්කර මිල දී ගැනීමේ හැකියාවක් තිබුණේය යන පදනමයි.

කෝප් වාර්තාව අනුව මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 62.62 බැගින් රුපියල් මිලියන 100ක් ලන්සු තබන සෙලාන් බැංකුවට එසේ ඉල්ලූ බැඳුම්කර ප්‍රමාණය රුපියල් 104.51 බැගින් සෘජු ක්‍රමයට විකිණීමේ හැකියාවක් මහ බැංකුවට තිබී ඇත. එසේ නොකර වෙන්දේසියේ ලන්සු තැබූ මිලට විකිණුවේනම් රජයට විය හැකිව තිබුණු පාඩුව මුහුණත වටිනාකම රුපියල් 100කට රුපියල් 41.89කි. ඒ අනුව, මෙම ගණුදෙනුවෙන් පමණක් රජයට සිදුවිය හැකිව තිබුණු අවාසිය රුපියල් මිලියන 41.89කි!

යමෙක් කිසියම් භාණ්ඩයක් කිසියම් රුපියල් 62කට මිලදී ගැනීමට සූදානම්ව සිටි පමණින් එම භාණ්ඩය රුපියල් 104කට විකිණෙන විටද අනිවාර්යයෙන්ම මිලදී නොගන්නා බව තේරුම් ගන්නට ආර්ථික විද්‍යා උපාධියක් අවශ්‍ය නැත. මෙවැනි සරල හා වැරදි උපකල්පනයක් මත ගණනය කර ඇති රජයට සිදුවූ අලාභය පිළිබඳ ඇස්තමේන්තුව ගැන තවදුරටත් කතා කිරීම තේරුමක් නැති බව දැන් පැහැදිලි විය යුතුය.

කෙසේ වුවද, රජයට සිදුවූ
අලාභය පිළිබඳ ඇස්තමේන්තුව වැරදි වූ පමණින් රජයට කිසිදු අලාභයක් නොවූ බව හෝ කිසිදු අක්‍රමිකතාවයක් සිදුවීමේ ඉඩකඩක් නොමැති බව අදහස් නොකෙරේ. ගණනය කිරීම් වල තාක්ෂණික වැරදි තිබුණත්, ඉතා විශාල පිරිසකගෙන් සාක්ෂි කැඳවමින් අදාළ සිදුවීමේ පසුබිම් තොරතුරු රැසක් එකතු කර ඉදිරිපත් කිරීම කෝප් කමිටුව විසින් සිදුකර ඇති වටිනා කාර්යයකි. ඔවුන් එය නොකරන්නට ඉකොනොමැට්ටාට මේ විග්‍රහයන් කිසිවක් මෙසේ කරන්නට ඉඩකඩක් ලැබෙන්නේ නැත.

කෝප් කමිටුව විසින් එකතු කර ඇති සාක්ෂි අනුව, හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් අදාළ බැඳුම්කර වෙන්දේසියට අනිසි මැදිහත්වීමක් කර ඇති බවට පැහැදිලි හා සාධාරණ සැකයක් ඇති වේ. එමෙන්ම, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් වසර තුළ ලබා ඇති ලාභ ඉතාම අසාමාන්‍යය. එසේනම්, මේ ලාභ ලැබුවේ රජයේ හෝ වෙනත් පාර්ශ්වයකගේ වියදමින් නොවේද?

මෙය අපි ඉදිරියේදී කතා කරමු.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (හත්වන කොටස)


ලන්සුකරුවන් විසින් තබන තරඟකාරී ලන්සු අනුව නිදහසේ බැඳුම්කර වල මිල තීරණය වීමට ඉඩ නොහැර, ලන්සු පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිකුතුවේ ප්‍රමාණය වෙනස් කිරීම මඟින් වක්‍ර ලෙස සමතුලිත මිල වෙනස් කිරීම පාරදෘශ්‍ය ක්‍රමයක් නොවේ. එවැනි ක්‍රමයක් සම්මතය ලෙස පවතින විට අක්‍රමිකතා සිදුවීමේ ඉඩකඩ වැළැක්වීම අසීරුය. ආන්දෝලනයට තුඩුදුන් 2015 පෙබරවාරි 27 දින පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසියේදී මුලින් දැනුම් දුන් පරිදි රුපියල් බිලියනයක පමණක් බැඳුම්කර නිකුත් කළේනම් එය කළ යුතුව තිබුණු ආකාරය පහත වගුවේ දැක්වේ. ඇමරිකාවේ භාණ්ඩාගාරය වෙන්දේසියෙන් පසුව ලන්සුකරුවන් අතර බැඳුම්කර බෙදාහරින්නේ මේ අයුරිනි.

මෙහිදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන ආන්තික මිල වන්නේ මුහුණත අගය රුපියල් 100ක් සඳහා රුපියල් 104.51කි. ඒ මිල ඉල්ලුම හා සැපයුම සමතුලිත කරන මිලයි. ඊට වඩා වැඩි ලන්සු හතරක් ඉදිරිපත් වී ඇති අතර ඒ ලන්සු හතරේ එකතුව රුපියල් මිලියන 658කි. මෙසේ ආන්තික මිලට වඩා වැඩි ලන්සු ඉදිරිපත් කළ ආයතන වලට බැඳුම්කර වෙන්කිරීමෙන් පසු අඩුව රුපියල් මිලියන 342කි.

ආන්තික මිල වන රුපියල් 104.51 ට ලන්සු තුනක් ඉදිරිපත් වී ඇති අතර ඒ ලන්සු තුනේ එකතුව රුපියල් 650කි. මේ ප්‍රමාණය ඉතිරි වී ඇති ඉල්ලුම වන රුපියල් මිලියන 342 ඉක්මවන නිසා කිසියම් ක්‍රමයකට ගැණුම්කරුවන් අතර බැඳුම්කර වෙන්කිරීමක් කළ යුතුය. මෙය කළ හැකි සාධාරණම ක්‍රමය වන්නේ ඉල්ලන ප්‍රමාණයෙන් සමාන අනුපාතයක් එක් එක් ලන්සුකරුට වෙන් කිරීමයි. ඉතිරිව ඇති සැපයුම (රුපියල් මිලියන 342) ආන්තික මිල යටතේ වන ඉල්ලුමෙන් (රුපියල් මිලියන 650) 52.6%ක් නිසා ආසන්නම රුපියල් මිලියනයට රවුම් කර ඉල්ලුමෙන් 52.6%ක් එක් එක් ලන්සුකරුට වෙන් කිරීමෙන් මුලින් දැනුම් දුන් පරිදි හරියටම රුපියල් බිලියනයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළ හැකිය.

ඇමරිකානු ක්‍රමයේදී සියළුම ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ ආන්තික මිල වුවත්, ලංකාවේ ක්‍රමයේදී එක් එක් ගැනුම්කරුට තමන් තැබූ ලන්සුවේ මිල ගෙවන්නට සිදු වේ. ඒ අනුව, ලංකා බැංකුවට රුපියල් මිලියන 8ක මුහුණත වටිනාකමැති බැඳුම්කර වෙනුවෙන් රුපියල් 119.33ක ඉහළ මිලක්ද, ඉතිරි රුපියල් මිලියන 500 වෙනුවෙන් රුපියල් 109.39ක තරමක් අඩු මිලක්ද ගෙවන්නට සිදු වේ. ලංකා බැංකුව විසින් රුපියල් මිලියන 508ක බැඳුම්කර වෙනුවෙන් ගෙවන මුළු මුදල රුපියල් මිලියන 556.51ක් වන නිසා ලංකා බැංකුව විසින් ගෙවන බරිත සාමාන්‍ය මිල රුපියල් 109.23ක්ද, බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය 10.23%ක්ද වේ.

ඇකුයිටි සිකියුරිටීස් සමාගම රුපියල් 112.01 බැගින්ද, ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් 110.95 බැගින්ද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගනිති. එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල විසින් ආන්තික මිල වන රුපියල් 104.51 ගෙව
ති.

රුපියල් බිලියනයක (මිලියන 1000ක) මුහුණත වටිනාකමැති භාණ්ඩාගාර බැඳුම්කර විකුණා රජය ලබන මුදල රුපියල් මිලියන 1,080.89ක් වන අතර රජය වෙත ලැබෙන බරිත සාමාන්‍ය මිල රුපියල් 108.09ක්ද, බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය 10.38%ක්ද වේ.

යම් හෙයකින්, කෝප් කමිටුව යෝජනා කරන පරිදි, වෙන්දේසි ක්‍රමයට නොගොස් සෘජු ක්‍රමයට මේ මුදල උපයා ගන්නට මහ බැංකුව උත්සාහ කළේයැයි සිතමු. ඒ අනුව, වෙන්දේසියේදී ලැබිය හැකිව තිබුණු මිල වන රුපියල් 108.09 බැගින් මිල නියම කර භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කළේනම් ඒවා මිල දී ගන්නට ඉදිරිපත් වන්නේ ලංකා බැංකුව, ඇකුයිටි සිකියුරිටීස් සමාගම හා ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම පමණි. විකිණිය හැකි මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් මිලියන 658ක් පමණි. රුපියල් බිලියනයක භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමටනම්, රුපියල් 104.51 නොඉක්මවන මිලක් නියම කරන්නට සිදු වේ. එය වෙන්දේසියෙන් ලැබෙන බරිත සාමාන්‍ය මිල වන රුපියල් 108.09ට වඩා රුපියල් 3.58කින් අඩු මිලකි. වෙනත් අයුරකින් කිවහොත් එසේ රුපියල් බිලියනයක බැඳුම්කර විකිණුවේනම් සිදුවන අලාභය රුපියල් මිලියන 35.8කි.

Monday, November 14, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (හයවන කොටස)


ආන්දෝලනයට ලක්වූ බැඳුම්කර වෙන්දේසියේදී යම් අක්‍රමිකතාවයක් වීනම් එමඟින් රජයට සිදු වූ අලාභය ගණනය කිරීම සඳහා මුලින්ම එදින වෙන්දේසියට ඉදිරිපත් වූ ලන්සු වල ස්වභාවය හැදෑරිය යුතුය. මේ වන විට මාධ්‍ය වෙත ලැබී ඇති සහ අන්තර්ජාලයෙන් බාගත කරගත හැකි කෝප් වාර්තාව  ඇතුළු ලේඛණ වල ඇති දත්ත ඇසුරින් ඉකොනොමැට්ටා විසින් කරන ලද ගණනය කිරීම් අනුව පිළියෙළ කෙරුණු මේ ලන්සු පිළිබඳ විස්තර පහත වගුවේ ඉදිරිපත් කර තිබේ. රවුම් කිරීම් නිසා මේ ගණන් සැබෑ ගණන් වලින් ඉතා සුළුවෙන් වෙනස් විය හැකිය.





ඉහත වගුවෙන් පෙනෙන පරිදි 2015 පෙබරවාරි මස 27 දින වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු තිස් අවුරුදු බැඳුම්කර සඳහා එම වෙන්දේසියට ලන්සු තැබීමේ හැකියාව ඇති ප්‍රාථමික ගණුදෙනුකරුවන් 15 දෙනා සහ සේවක අර්ථසාධක අරමුදල විසින් තබා ඇති ලන්සු මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 119.33 සිට රුපියල් 62.62 (ආසන්න ශතයට) දක්වා පරාසයක විහිදේ. එදින ඉදිරිපත් වී ඇති ලන්සු තිස්හයෙන් දහතුනක් අධිමිල ලන්සුද, දෙකක් සමමිල ලන්සුද, ඉතිරි විසිඑක අවමිල ලන්සුද වේ. අදාළ ඵලදා අනුපාතික 9.35% සිට 18% අතර පරාසයක විහිදේ. මේ ඵලදා අනුපාතික ගණනය කර ඇත්තේ රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීමෙන් පසුවය.

විවිධ ලන්සුකරුවන් තමන් සතු මුදල් වලට අපේක්ෂා කරන පොලිය (ඵලදා අනුපාතික) වෙනස් නිසා ඒ අය ඉදිරිපත් කරන මිල ගණන්ද මෙසේ වෙනස් වීම ස්වභාවිකය. මා මේ ලිපි මාලාවේ තෙවන කොටසින් පැහැදිලි කළ පරිදි අවුරුදු තිහක් වැනි දීර්ඝ කාලයකින් කල් පිරෙන බැඳුම්කරයක මිල පොලී අනුපාතිකයේ සුළු වෙනසකට වුවත් සැලකිය යුතු ලෙස සංවේදී වේ. ඉදිරිපත් වන මිලගණන් මෙවැනි විශාල පරාසයක පැතිරෙන්නේ ඒ නිසාය.

මේ වගුව ඇසුරෙන් මුලින්ම පැහැදිලි කළ යුත්තේ, රජයට (හෝ රජයේ නියෝජිතයා ලෙස කටයුතු කරන මහ බැංකුවට) නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය සහ පොලී අනුපාතිකය යන විචල්‍ය දෙකම එකවර තීරණය කිරීමේ හැකියාවක් නොමැති බවයි. මුලින් දැනුම් දුන් පරිදිම රුපියල් බිලියනයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළේනම් රුපියල් 100ක මුහුණත වටිනාකමක් රුපියල් 119.33-104.51 අතර අධි මිලකට විකිණිය හැකිව තිබිණි. අදාළ ඵලදා අනුපාතික 10.75% නොඉක්මවනු ඇත. එහෙත්, යම් හෙයකින් රුපියල් බිලියන තුනක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්නේනම් ඒ මිලටම නිකුත් කළ නොහැකි වන අතර රුපියල් 100 (සමමිල) දක්වා මිල අඩු කරන්නට සිදුවේ. එවිට ඵලදා අනුපාතික වල උපරිම සීමාව 11.25% දක්වා ඉහළ යයි. කෙසේ වුවද, ලංකාවේදී බැඳුම්කර නිකුත් කරන්නේ ඇමරිකාවේදී මෙන් එකම මිලකට නොවන නිසා රුපියල් 119.33 වැනි අධිමිලක් ලන්සු තැබූවන්ට තමන් ලන්සු තැබූ මුදලම ගෙවන්නට වෙයි.

(මතු සම්බන්ධයි)

Sunday, November 13, 2016

අයවැය නව නිෂ්පාදනය- නාට්‍ය විචාරයක්

අයවැය නාට්‍යයේ අළුත් නිෂ්පාදනය පාර්ලිමේන්තුවේදී රඟදැක්විණි. වෙනදා වගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පිටපත ලියා තිබුණු අතර මුදල් ඇමතිවරයා සුපුරුදු පරිදි දෙබස් වරද්දමින් ප්‍රධාන චරිතය රඟපෑවේය. ඉකොනොමැට්ටා ආර්ථික විද්‍යාව මිස නාට්‍ය විචාරය හදාරා නැතත් මේ නාට්‍යය ගැන මොනවා හෝ නොලියාම බැරිය.

ප්‍රේක්ෂකයින්ගේ විසිල් බලාගෙන පිටපතට එකතු කර ඇති මුං ඇට, කඩල ජෝක් කෑලි වලින් අවධානය බිඳ නොගෙන අපි කෙලින්ම නාට්‍යයේ මූලික තේමාවට යමු.

රාජ්‍ය අයවැයක මූලික අරමුණ එළඹෙන වසරේ රජයේ ආදායම් වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමයි. පහත ඇත්තේ අයවැයේ හරය වන රජයේ ආදායම් වියදම් වල සාරාංශයයි.



මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය ඇස්තමේන්තු අනුව එළඹෙන 2017 වසරේදී රජයේ ආදායම මේ වසරට සාපේක්ෂව 26.5%කින් වැඩි වනු ඇත. මේ අනුව, බදු ආදායම 27.2%කින්ද, අනෙකුත් ආදායම් හා ප්‍රදාන 22.6%කින්ද වැඩි වීමට නියමිතය.

ආදායම 26.5%කින් වැඩි වෙද්දී රජය සිය වියදම් වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ 17%කින් පමණි. එයින්ද, පුනරාවර්තන වියදම් 9.9%කින් සුළුවෙන් වැඩි වන්නට ඉඩ හැරෙනු ඇති අතර ප්‍රාග්ධන වියදම් 41.6%කින් වැඩි කෙරෙනු ඇත. මේ අතරින් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් කෙරෙන ආයෝජන 22.6%කින්ද, යටිතලපහසුකම් ආයෝජන 47.3%කින්ද වැඩි කෙරෙනු ඇත. මෙසේ පුනරාවර්තන වියදම් සීමා කර ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම නිසා ඉදිරි වසර වලදී රජයේ ආදායම් වැඩිවී අයවැය හිඟය ක්‍රමයෙන් අඩුවනු ඇත.

බැලූ බැල්මට අයවැයේ මූලික ආකෘතියේ කියන්නට වැරැද්දක් නැත. එහෙත්, ප්‍රශ්නය තියෙන්නේ මේ සංඛ්‍යාලේඛණ තියෙන්නේ අයවැය නාට්‍ය පිටපතේ මිස සැබෑ ලෝකයේ නොවීමයි.

රාජ්‍ය ආදායම් 26.5%කින් වැඩි කර ගැනීම ප්‍රායෝගිකව ලඟා විය හැකි ඉලක්කයක් නොවේ. සාමාන්‍යයෙන් රටේ ආර්ථිකය වර්ධනය වන විට රජයේ ආදායම එම වේගයෙන් හෝ තරමක් වැඩි වේගයකින් වර්ධනය වේ. මේ අනුව, රජයේ ආදායමේ 5-6% ප්‍රමාණයේ වර්ධනයක් සිදු වනු ඇත. එමෙන්ම, උද්ධමනය හේතුවෙන් මිල මට්ටම් ඉහළ යන විට එයට අනුපාතිකව හෝ තරමක් අඩු වේගයකින් රජයේ ආදායම් ඉහළ යයි. මෙයද එක් කළ විට 10%ක පමණ ආදායම් වර්ධනයක් ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවේ. බදු ඉහල දැමීම මඟින් මේ ප්‍රතිශතය තවත් තරමක් වැඩි කර ගත හැකිවුවත්, 26.5% මට්ටමට යාම හිතන තරම් පහසු කරුණක් නොවේ.

ලංකාවේ බදු බොහොමයක්ම වක්‍ර බදුය. මේ බදු වැඩි කරන විට ඉල්ලුම අඩුවන නිසා බදු වැඩි කරන අනුපාතයෙන්ම බදු ආදායම් වැඩි නොවේ. ඕනෑවට වඩා බදු වැඩි කළොත් බදු ආදායම අඩු වන්නට වුවද පුළුවන. ප්‍රායෝගිකව රජයේ ආදායම් වැඩි වේයැයි සිතිය හැක්කේ 10-12% පමණ ප්‍රමාණයකිනි. එසේනම්, අයවැය හිඟය අපේක්ෂිත මට්ටමේ පවත්වාගනිමින් ඇස්තමේන්තුගත වියදම් ඒ අයුරින්ම කළ නොහැකි නිසා ඒ වියදම් වලින් කොටසක් කපන්නට සිදු වනු ඇත. මෙසේ කිරීමේදී, ප්‍රායෝගිකව කතුරට අහුවෙන්නේ නාස්තිකාර පුනරාවර්තන වියදම් නොවේ. කිසියම් හෝ අනාගත ප්‍රතිලාභයක් ලබාදෙන ප්‍රාග්ධන වියදම්ය. මෙය අද ඊයේ නොව වසර ගණනාවක් තිස්සේම ලංකාවේ සිදුවන දෙයකි.

මුදල් ඇමති වසරකට වරක් අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරයි. නාට්‍ය විචාරකයෝ මේ යෝජනා විශ්ලේෂණය කරති. කෙසේ වුවද, ඒ යෝජනා කියන හැටියට ක්‍රියාත්මක නොවේ. කිසිවකු පසු විපරමක් නොකරති. ඊළඟ වසරේ නැවතත් මේ දෙයම සිදු වේ.

පහතින් ඇත්තේ 2015 නොවැම්බරයේදී වත්මන් මුදල් ඇමති වරයා විසින් ඉදිරිපත් කළ 2016 වසර සඳහා වූ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තු හා එම ඇස්තමේන්තු 2016 නොවැම්බර් වන විට වෙනස් වී ඇති ආකාරයයි. සෑම වසරකම සිදුවන මේ දෙය මෙවරද එසේම සිදුවන්නට ලොකු ඉඩක් තිබේ. 



මේ වසරේ රජයේ ආදායම 38.5%කින් වැඩිවනු ඇතැයි 2015 නොවැම්බර් අයවැය කතාවේදී කියවුණත් වසරකට පසු කියන විදිහට ආදායම වැඩිවීමට නියමිතව ඇත්තේ 9.4%කින් පමණි. මුල් ඇස්තමේන්තුවට සාපේක්ෂව රජයේ ආදායම 19%කින් අඩු වී ඇත. එසේනම්, වියදමද අඩු නොකර නොහැක. කෙසේ වුවද, වියදම අඩුවන්නේ 16.5%කින් පමණි. එයින්ද, පුනරාවර්තන වියදම් අඩුවන්නේ මුල් ඇස්තමේන්තුවට වඩා 4.5%කින් පමණි. ප්‍රාග්ධන වියදම් 42.4%කින් අඩු වී ඇති අතර අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කර ඇත්තේ මුලින් කිවු ගණනට වඩා 45.2%ක් අඩුවෙනි. යටිතලපහසුකම් ආයෝජනද 41.5%කින් අඩු වී ඇත. එසේනම්, ලබන වසරේදී කියන විදිහටම කටයුතු සිදුවෙයිද?

නාට්‍ය පිටපතක් පමණක්ම වන ලංකාවේ අයවැය ගැන කතා කරන්නට කාලය යෙදවීමත් තේරුමක් නැති වැඩකි.


(Image: http://www.asiantribune.com/node/88206)

Thursday, November 10, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පස්වන කොටස)

පහත උපුටා ගැනීම් කෝප් වාර්තාවේ 3.2 ඡේදයෙනි (ලේඛණයේ 12 වන පිටුව).

"බැඳුම්කර වෙන්දේසියන්හිදී ගනුදෙනුකරුවන් විසින් මහා බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන පොලී අනුපාතික මත පදනම්ව විවිධ මිලගණන් යටතේ ලන්සු ඉදිරිපත් කරනු ලබයි. එම ලන්සු අධි මිලකට එනම් මුහුණත වටිනාකමට වඩා වැඩි මිලකට, සම මිලට එනම් මුහුණත වටිනාකමට සමාන වූ මිලකට සහ අව මිලකට එනම් මුහුණත වටිනාකමට වඩා අඩු වූ මිලකටද ඉදිරිපත් කරනු ලබයි."

මෙසේ අධිමිල, සමමිල හා අවමිල ලන්සු ඉදිරිපත් වීමේ පදනම හා ප්‍රායෝගිකව ඉදිරිපත් වූ එවැනි ලන්සු පිලිබඳ උදාහරණ මගේ පසුගිය ලිපියේ මා ඉදිරිපත් කර තිබේ.

"මෙහිදී ඔවුන් අධි මිලට ඉල්ලුම් කළහොත් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය පොලී අනුපාතිකයට වඩා පහළ අගයක් ගන්නා අතර සම මිලට ඉල්ලුම් කළහොත් පොලී අනුපාතිකයට සමාන අගයක්ද අව මිලට ඉල්ලුම් කළහොත් පොලී අනුපාතයට වඩා ඉහළ අගයක්ද ගනු ලබයි."

මෙය සාමාන්‍යයෙන් සිදු විය යුතු තත්ත්වයයි. මෙය සිදුවන ආකාරය මා පෙර කොටසින් දැනටමත් පැහැදිලි කර අවසන්ය. කෙසේවුවද, මා විසින් මතු විස්තර කරන පරිදි ලංකාවේ මෙය මෙලෙසම සිදු නොවේ. ඒ, රජය මඟින් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර උපයන පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද හේතුවෙන් මේ තත්ත්වයේ විකෘතියක් සිදු වන බැවිනි.

උදාහරණයක් ලෙස 2015 පෙබරවාරි මස 27 දින වෙන්දේසි කළ තිස් අවුරුදු බැඳුම්කර වල කූපන් පොලී අනුපාතිකය 12.5%ක් වූ බැවින් සමමිල ලන්සුවකට අනුරූප ඵලදා අනුපාතිකය 12.5%ක් විය යුතුය. වෙනත් අයුරකින් කිවහොත් 12.5%ක ඵලදා අනුපාතිකයක් බලාපොරොත්තු වන තරඟකරුවකු ඉහත මූලධර්මය අනුව රුපියල් 100ක මුහුණත වටිනාකමක් වෙනුවෙන් හරියටම රුපියල් 100කට ලන්සු තැබිය යුතුය. එහෙත් පෙර කී වෙන්දේසියට තරඟකරන ලංකා බැංකුව, එච්එස්බීසී, පෑන් ඒෂියා බැංකුව, කැපිටල් එලයන්ස්, වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස් වැනි ආයතන 12.5%ක පමණ ඵලදා අනුපාතිකයක් ලබා ගැනීමේ අරමුණින් රුපියල් 100ක මුහුණත වටිනාකමක් ඉල්ලා සිටින්නේ ඊට වඩා බෙහෙවින්ම අඩු රුපියල් 90.17ක් පමණ වූ අවමිලකටය.

මෙසේ කූපන් පොලී අනුපාතිකයට සමාන ඵලදා අනුපාතිකයක් ලබාගැනීමට වුවත් අවමිලට ලන්සු තබන්නට වෙන්නේ පොලී ආදායමෙන් 10%ක් රඳවාගැනීමේ බද්ද ලෙස නැවත රජයට ගෙවිය යුතු බැවිනි. ඒ අනුව, එදින සමමිලට ලන්සු තබා භාණ්ඩාගාර බිල්පත් හිමිකරගන්නා නැට්වෙල්ත් සිකියුරිටීස් සමාගමට හා සේවක අර්ථසාධක අරමුදලට ඇත්තටම ලැබෙන ඵලදා අනුපාතිකය වන්නේ කූපන් පොලී අනුපාතිකය වන 12.5%න් 10%ක රඳවා ගැනීමේ බදු මුදල් ඉවත් කළ විට ලැබෙන 11.25%ක පොලී අනුපාතිකයයි. මේ අනුව, කූපන් පොලියට සමාන ඵලදා අනුපාතිකයක් ලබා ගැනීම සඳහා කූපන් පොලී අනුපාතිකයට වඩා 1/9කින් වැඩි 13.89%ක පොලී අනුපාතිකයකට අනුරූප රුපියල් 90.20කට ආසන්න මිලක් ලන්සු තබන්නට ලන්සු තබන්නෙකුට සිදු වේ. ලංකා බැංකුව, එච්එස්බීසී, පෑන් ඒෂියා බැංකුව, කැපිටල් එලයන්ස්, වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස් වැනි ආයතන විසින් එදින කර ඇත්තේ මෙයයි.

ඇත්තටම රාජ්‍ය සුරැකුම්පත් පොලිය මත මෙසේ අය කෙරෙන රඳවාගැනීමේ බද්දෙන් සිදුවන ප්‍රයෝජනවත් කාර්ය භාරයක් නැත. වෙන්දේසියට සහභාගී වන ආයතන ලන්සු තබන්නේ මේ බදු වියදම් ඉවත් කළ පසු තමන් බලාපොරොත්තු වන ඵලදා අනුපාතිකය ලැබෙන පරිදිය. ඒ නිසා, මෙහිදී සිදුවන්නේ රජය විසින් 10%ක වැඩිපුර පොලී මුදලක් ගෙවා එය නැවත ආපසු ගැනීමකි. ඇත්තටම කියනවානම් කූපන් පොලී මුදල් ගෙවන්නේම මේ රඳවා ගැනීමේ බද්ද අඩු කරගෙන නිසා අඩුවශයෙන් මෙහිදී එවැනි මුදල් හුවමාරුවක් හෝ සිදු නොවේ. එය රජයේ ගිණුම් වල ආදායම් හා වියදම් ලෙස දෙපැත්තටම ලියවෙන සටහන් දෙකක් පමණි.

එසේනම් මේ බද්ද මෙසේ අය කර ගැනීමේ අරමුණ කුමක්ද? එය සරල සංඛ්‍යාලේඛණ විජ්ජාවක් පමණි. (මෙය වත්මන් රජයේ සොයාගැනීමක් නොවේ.) මෙසේ කිරීමෙන් නාමිකව රජයේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස තරමක් වැඩියෙන් පෙන්වන්නට පුළුවන. එහෙත්, මේ ආදායම 'නැති ආදායමකි'. එයින් ලැබෙන එකම ප්‍රයෝජනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන පොඩ්ඩක් අන්දන්නට හැකි වීම පමණි.

කෝප් වාර්තාවේ සඳහන් පරිදි භාණ්ඩාගාර බිල්පතක් අධිමිලට, අවමිලට හෝ සමමිලට වෙන්දේසි වීමත් රජයට එමඟින් සිදුවන පාඩුව හෝ ලාභයත් අතර සෘජු සම්බන්ධයක් නැත. මෙය තීරණය වන්නේ අදාළ බැඳුම්කරයේ කූපන් පොලී අනුපාතිකය සහ වෙළඳපොළ සාධක මත රජය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය අනුවය. මේ කරුණ අදාළ කෝප් වාර්තාවේම එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් නිවැරදිව පැහැදිලි කර තිබේ. මෙය තවදුරටත් පැහැදිලි කිරීමට පහත උදාහරණ තුන දෙස බලමු.

1. වසර 30 ක බැඳුම්කරයක කූපන් පොලිය 12.5%කි. මෙය මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 100ක් ලෙස සම මිලට විකිණේ.
2. වසර 30 ක බැඳුම්කරයක කූපන් පොලිය 12.75%කි. මෙය මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 101.94ක් ලෙස අධි මිලට විකිණේ.
3. වසර 30 ක බැඳුම්කරයක කූපන් පොලිය 12.25%කි. මෙය මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 98.06ක් ලෙස අව මිලට විකිණේ.

ඉහත අවස්ථා තුනේදී රජය විසින් ලබාගන්නා ණය ප්‍රමාණය සමානනම්, වැය කළ යුත්තේ සමාන පිරිවැයකි. අවස්ථා තුනේදීම (පහසුව තකා රඳවාගැනීමේ බද්දේ බලපෑම නොසලකා හැර) භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතිකය සමානය. ඒ නිසා, රාජ්‍ය සුරැකුම්පත් අධිමිලට විකිණීමෙන් රජයට වාසි ලැබිය හැකිනම් කරන්නට තියෙන්නේ කූපන් පොලී අනුපාතිකය අපේක්ෂිත සමතුලිත වෙළදපොළ මිලට වඩා වැඩි කිරීමය. එසේ කිරීමෙන් රජයේ පිරිවැය අඩුනොවන බව හා රජයට වාසි නොසැලසෙන බව කිව යුතු නැත. රාජ්‍ය සුරැකුම්පත් අධිමිලට විකිණීමෙන් රජයට වාසි ලැබිය හැකි බව හා අවමිලට විකිණීමෙන් පාඩු සිදුවන බව පදනමක් නැති, තාක්ෂණිකව වැරදි තර්කයකි. 


රජයට පාඩු වීම හෝ නොවීම මෙයට සෘජුව අදාළ නොවන, වෙනත් මූලධර්ම මත ඇස්තමේන්තු කළ යුතු දෙයකි. 

Tuesday, November 8, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (සිවුවන කොටස)

පසුගිය ලිපි වල මා හැම විටම උදාහරණ ලෙස ගත්තේ ආයෝජකයෙකුට ප්‍රතිලාභයක් ලෙස මුල් මුදල හා පොලිය කල්පිරීමේ කාලය අවසානයේදී ලැබෙන, ඒ හැර වෙනත් ප්‍රතිලාභ නැති, රාජ්‍ය සුරැකුම්පත් පමණි. ලංකාවේ මෙන්ම ඇමරිකාවේත් භාණ්ඩාගාර බිල්පත් වැටෙන්නේ මේ කාණ්ඩයටය. ඇතැම් බැඳුම්කරද ස්වභාවයෙන් මේ ආකාරයේ විය හැකිය. මෙවැනි ආකාරයේ සුරැකුම්පතක මිල එහි මුහුණත වටිනාකමට වඩා වැඩි වීමේ ඉඩක් සාමාන්‍යයෙන් නැත (එසේ වන විශේෂ අවස්ථා ඉතා කලාතුරකින් තිබිය හැකිය).

ලංකාවේ මෙන්ම ඇමරිකාවේත් නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර බොහොමයක් අයත් වන්නේ මේ පළමු කාණ්ඩයෙන් තරමක් වෙනස් '
කූපන් බැඳුම්කර' කාණ්ඩයටය. මේ කූපන් බැඳුම්කර මුල් මාදිලියේ සුරැකුම්පත් වලින් වෙනස් වන ප්‍රධාන කරුණ වන්නේ එවැනි බැඳුම්කර කල් පිරෙන තුරු වාර්ෂිකව නිශ්චිත 'පොලී මුදලක්' ප්‍රතිලාභයක් ලෙස ලැබෙන බැවිනි. උදාහරණයක් ලෙස පසුගිය 2015 පෙබරවාරි 27 දින  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය වෙනුවෙන් නිකුත් කළ ආන්දෝලනයට ලක් වූ තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගන්නා අයෙකුට මුහුණත වටිනාකමෙහි සෑම රුපියල් 100ක් වෙනුවෙන්ම රුපියල් 12.50ක් වාර්ෂිකව ලබා ගැනීමේ හැකියාව තිබුණේය. මේ කූපන් ගෙවීම් වසරකට වාරික දෙකක් ලෙස රුපියල් 6.25 බැගින්, කල් පිරෙන තුරු සෑම වසරකම මාර්තු 1 සහ සැප්තැම්බර් 1 දින වල ගෙවන්නට නියමිතව තිබුණේය. කල් පිරෙන දින අවසන් වාරිකය වන රුපියල් 6.25 මුල් මුදලට එකතු වී රුපියල් 106.25ක් අතට ලැබේ.

මේ කූපන් ගෙවීම් යන නමෙන් සිහිපත් කරන්නේද රාජ්‍ය සුරැකුම්පත් වල මුල් යුගයයි. රාජ්‍ය සු
රැකුම්පතක් කඩදාසි සහතිකයක් වූ ඒ කාලයේ ඒ සහතිකයේම පැත්තක ඉරා වෙන්කර ගත හැකි පරිදි කූපන් මුද්‍රණය කර තිබුණු අතර නියමිත දින මෙවැනි කූපනයක් ඉරාගෙන භාණ්ඩාගාරයට ඉදිරිපත් කර අදාළ 'පොලී මුදල' ලබා ගත හැකි විය.

භාණ්ඩාගාර බැඳුම්කරයක 'කූපන් පොලී අනුපාතිකය' ලෙස සරලව හැඳින්වුවත් මේ පොලී අනුපාතිකය බොහෝ විට ආයෝජකයෙකුට ලැබෙන 'සැබෑ' පොලී අනුපාතිකය නොවේ. පැටලීමක් නොවන්නට ඵලදා අනුපාතිකය (yield rate) ලෙස බොහෝ විට හැඳින්වෙන මේ  'සැබෑ' පොලී අනුපාතිකය තීරණය වන්නේ කිසියම් ආයෝජකයෙකු භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගැනීමේදී ගෙවන මුදල මතය.

යම් හෙයකින් කිසියම් ආයෝජකයෙකු භාණ්ඩගාර බැඳුම්කරයක් මිලදී ගැනීමේදී හරියටම එහි මුහණත වටිනාකමම ගෙවූයේනම් එම පුද්ගලයා උපයන සැබෑ පොලී අනුපාතිකය හෙවත් ඵලදා අනුපාතිකය කූපන් පොලී අනුපාතිකයට සමානය. එහෙත්, මේ බැඳුම්කරයම එහි මුහුණත වටිනාකමට වඩා අඩුවෙන් මිලදී ගත්තේනම් එම පුද්ගලයා උපයන සැබෑ පොලී අනුපාතිකය හෙවත් ඵලදා අනුපාතිකය කූපන් පොලී අනුපාතිකයට වඩා වැඩිය.

මෙය උදාහරණයකින් පැහැදිලි කිරීම සඳහා කිසියම් අයෙක් ප්‍රාථමික වෙන්දේසියේදී මුහුණත වටිනාකම රුපියල් 100ක් මිලදී ගත්තේ රුපියල් 90කට යැයි සිතමු. මිලදී ගත් මුදල කවරක් වුවත් කූපන් පොලී ගෙවන්නේ මුහුණත වටිනාකම මත නිසා මේ පුද්ගලයාට වසරකට රුපියල් 12.50ක් පොලිය ලෙස ලැබේ. එය 13.89%ක පමණ (=12.5/90) පොලියකි. එමෙන්ම කල් පිරෙන දින පොලියට අමතරව මුහුණත වටිනාකම වන රුපියල් 100ක් ආපසු ලැබෙන නිසා තමන් ආයෝජනය කළ මුල්මුදල වන රුපියල් 90ට අමතරව තවත් රුපියල් 10ක්ද ලැබෙන නිසා ඵලදා අනුපාතිකය 13.89%ටත් වඩා සුළු වශයෙන් වැඩි වන අතර 13.90% පමණ වේ.

භාණ්ඩාගාර බිල්පතක් වැනි, කූපන් ගෙවීම් වැනි කල් පිරීමට පෙර ලැබෙන ප්‍රතිලාභ කිසිවක් නැති, පළමු කාණ්ඩයේ සුරැකුම්පතක් එහි මුහුණත වටිනාකම ගෙවා මිලදී ගන්නා අයෙකුට කිසිදු පොලී මුදලක් ලබා ගැනීමේ හැකියාවක් නැත. ඒ නිසා එවැනි සුරැකුම්පතක් එහි මුහුණත වටිනාකමට වඩා වැඩි මිලකට මිලදී ගැනීම තේරුමක් නැති වැඩකි. එහෙත්, කූපන් පොලී ගෙවන බැඳුම්කරයක් එහි මුහුණත වටිනාකම ගෙවා මිලදී ගන්නෙකුට එහි කූපන් පොලී අනුපාතිකයට සමාන සැබෑ පොලියක් ලැබෙන නිසා මුහුණත වටිනාකමම ගෙවා එවැන්නක් මිලදී ගැනීම එවැනි අනිවාර්යයෙන් පාඩු ලබන අදහසක් නොවේ.

ඇත්තටම, භාණ්ඩගාර බැඳුම්කරයක් කිසියම් අයෙකු එහි මුහුණත වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවා වුවද මිලදී ගන්නට ඉඩ තිබේ. එවිට ලැබෙන සැබෑ පොලිය කූපන් පොලී අනුපාතිකයට වඩා අඩු වුවත්, එවැන්නෙකු තවදුරටත් කිසියම් පොලී ආදායමක් උපයයි.

උදාහරණයක් ලෙස කිසියම් අයෙකු භාණ්ඩාගාර බිල්පතක රුපියල් 100ක මුහුණත වටිනාකමක් රුපියල් 105ක් ගෙවා මිලදී ගත්තේයැයි සිතමු. දැන් මේ පුද්ගලයාට වාර්ෂිකව ලැබෙන පොලිය වන රුපියල් 12.50 මුල් ආයෝජනයේ අනුපාතිකයක් ලෙස 11.90%ක් පමණ වේ. එමෙන්ම කල් පිරීමේදී මේ පුද්ගලයාට ආපසු ලැබෙන්නේ ආයෝජනය කළ මුදලට වඩා රුපියල් 5ක් අඩුවෙන් නිසා සැබෑ පොලී අනුපාතිකය හෙවත් ඵලදා අනුපාතිකය 11.89%ක් පමණ වේ. මෙය කූපන් පොලී අනුපාතිකය වූ 12.5%ට වඩා අඩු පොලී අනුපාතිකයක් වුවත් නරක එකක් නොවේ. ඒ නිසා, භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකට ඉදිරිපත් කෙරෙන ලන්සු මුහුණත වටිනාකමට වඩා අඩු, සමාන හෝ වැඩි වන්නට පුළුවන. පසුගිය 2015 පෙබරවාරි 27 දින පැවැත්වුණු ආන්දෝලනයට ලක්වූ බැඳුම්කර වෙන්දේසියට රුපියල් 100ක මුහුණත වටිනාකමක් වෙනුවෙන් ලංකා බැංකුව විසින් රුපියල් 119.26 වැනි ඉහළ ලන්සුත්, සෙලාන් බැංකුව විසින් රුපියල් 62.62 වැනි පහළ ලන්සුත්, පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගම විසින් 97.88-91.99 පරාසයේ ලන්සු කිහිපයකුත්, නැට්වෙල්ත් සිකියුරිටීස් සමාගම හා සේවක අර්ථසාධක අරමුදල විසින් මුහුණත වටිනාකමට සමාන ලන්සුත් තබන්නේ ඔවුන් සතුව ඇති තොරතුරු හා ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන්ට සාපේක්ෂව ඔවුන් ඇස්තමේන්තු කරන හොඳම ලන්සු මෙවැනි පුළුල් පරාසයක පැතිරෙන නිසාය.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අතර මෙහි විස්තර කළ වෙනස්කම් තිබුණත් පෙර ලිපි වලින් කතා කළ අනෙකුත් සියළු කරුණු භාණ්ඩාගාර බැඳුම්කර වලටත් අදාළය. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙන්දේසියේ විකිණෙන්නේද භාණ්ඩාගාර බිල්පත් විකිණෙන ආකාරයටම වන අතර ලංකාවේ වෙන්දේසියේදී ජයග්‍රාහකයින් විසින් ගෙවිය යුත්තේ සමතුලිත මිල නොව තමන්ගේ ලන්සු මිලයි. ඒ නිසා, හැකි තරම් අඩු මිලක් ගෙවා වෙන්දේසියෙන් බැඳුම්කර මිලදී ගන්නෝ එහි සැබෑ ජයග්‍රාහකයෝ වෙති. එමෙන්ම, වෙළඳපොළ පොලී අනුපාතික වෙනස්වීම අනුව කල් පිරෙන තුරු නොසිට භාණ්ඩාගාර බිල්පතක් ද්වීතියික වෙළඳපොළෙහි විකුණා විශාල ලාභයක් කෙටි කලකින් ඉපැයීමේ අවස්ථාවද ඇතැම් අයට තිබේ.

මේ කරුණු ගැන වැඩිපුර දේවලුත්, රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියට රඳවාගැනීමේ බද්ද බලපාන ආකාරයත් ඊළඟ ලිපියෙන් කතා කරමු.

Monday, November 7, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (තෙවන කොටස)


භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ගැන ලිපි මාලාවේ පළමු ලිපියෙන් මම භාණ්ඩාගාර බිල්පත් ගැන සරල හැඳින්වීමක් කළෙමි. ඒ අනුව, භාණ්ඩාගාර බිල්පතක් අනන්‍යව හඳුනාගත හැකි කරුණු වන්නේ එහි කල් පිරෙන දිනය හා මුහුණත වටිනාකමයි. ඒ හැර, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුණු නිශ්චිත පොලී අනුපාතික නැත. භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කිරීමෙන් ලැබෙන පොලිය තීරණය වන්නේ එය මිල දී ගැනීමේදී ගෙවන මුදල අනුවය. (බැඳුම්කර ගැන අපි පසුව කතා කරමු.)

කල් පිරීමට වසරක් ඇති, මුහුණත වටිනාකම රුපියල් මිලියන 100ක් වන භාණ්ඩාගාර බිල්පතක් ඔබ රුපියල් මිලියන 90කට මිල දී ගතහොත් ඔබට ලැබෙන මුළු පොලී මුදල රුපියල් මිලියන 10ක් වන අතර පොලී අනුපාතිකය 10/90= 11.11% ක් වේ. එම බිල්පතම ඔබ රුපියල් මිලියන 91කට මිල දී ගතහොත් ඔබට ලැබෙන මුළු පොලී මුදල රුපියල් මිලියන 9ක් වන අතර පොලී අනුපාතිකය 9/91= 9.89% ක් වේ.

ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළඳපොළ කටයුතු සිදු වන ආකාරයත්, ලංකාවේ එය සිදු වන ආකාරය ඇමරිකානු ක්‍රමයෙන් වෙනස් වන ආකාරයත් මම දෙවන ලිපියේ පැහැදිලි කළෙමි. මේ ක්‍රම දෙකේදීම, කිසියම් ලන්සු තබන්නෙකු විසින් තමන් අපේක්ෂා කරන පොලී අනුපාතිකය අනුව මුහුණත වටිනාකම ඒකක 100ක් සඳහා ගෙවන්නට කැමති මිල ලන්සු තබයි. ඒ මිල පහත පරිදි ගණනය කළ හැකිය.

P = F /(1+r)

මෙහි P යනු කිසියම් ආයෝජකයෙකු දකින බිල්පතේ වත්මන් වටිනාකම වන අතර F යනු වසරකින් අතට ලැබෙන මුදලක් වන භාණ්ඩාගාර බිල්පතේ මුහුණත වටිනාකමයි. අදාළ මුදල ගෙවා බිල්පත මිලදී ගන්නා ආයෝජකයාට ලැබෙන පොලී අනුපාතිකය r වේ. උදාහරණයක් ලෙස 10%ක පොලියක් ලබා ගැනීම සඳහා (r = 10/100 = 0.1), රුපියල් 100ක මුහුණත වටිනාකමක් ආසන්න වශයෙන් රුපියල් 90.91කට මිල දී ගත යුතුය (=100/(1+0.1)). එමෙන්ම, 5%ක පොලියක් ලබා ගැනීම සඳහා (r = 5/100 = 0.05), රුපියල් 100ක මුහුණත වටිනාකමක් ආසන්න වශයෙන් රුපියල් 95.24කට මිල දී ගත යුතුය (=100/(1+0.05)). 


ඉහත සමීකරණය මඟින් අනාගතයේ ලැබෙන මුදලක අද වටිනාකම සොයා ගත හැකිය. මේ මුදල ලැබෙන්නේ වසරකින් නොව වසර n කාලයකින්නම් අදාළ සමීකරණය මෙවැන්නකි.

P = F /(1+r)^n

දැන් අපි ඉහත සමීකරණය යොදාගෙන ප්‍රතිලාභය ලෙස පිළිවෙලින් වසර දෙකකින් හා තුනකින් මුහුණත වටිනාකම රුපියල් 100ක් පමණක් ලැබෙන සුරැකුම්පත් මිලදීගෙන 10% ක පොලියක් ලැබීම සඳහා අද එම සුරැකුම්පත් මිලදී ගත යුතු මිල සොයා බලමු.

කල්පිරෙන්නේ වසර දෙකකින්නම් එම මිල රුපියල් 82.64 කි (100/1.1^2).

කල්පිරෙන්නේ වසර තුනකින්නම් එම මිල රුපියල් 75.13 කි (100/1.1^3).

අද රුපියල් 751,314.80 ක් ගෙවා රුපියල් මිලියනයක මුහුණත වටිනාකමක් හා වසර තුනක කල් පිරීමේ කාලයක් ඇති (කල්පිරීමේදී ලැබෙන මුහුණත වටිනාකම හැර වෙනත් ප්‍රතිලාභයක් නැති) සුරැකුම්පතක් මිලදී ගන්නා අයෙකුට වසර තුනක් අවසානයේදී සිය මුල් ආයෝජනයට පොලිය ලෙස රුපියල් 248,685.20ක මුදලක් ලැබේ. එහෙත්, ඒ කල් පිරුණු පසුවය. මුහුණත වටිනාකම පමණක් ප්‍රතිලාභයක් ලෙස හිමිවන සුරැකුම්පතක කල් පිරෙන දිනට පෙර වටිනාකම හැමවිටම එහි මුහුණත වටිනාකමට වඩා අඩුය.

දැන් ඉහත කී සුරකුම්පතේ වසරකට පසු වටිනාකම කොපමණද?

ඉතා පැහැදිලිවම එහි වටිනාකම එහි මුහුණත වටිනාකමට වඩා අඩු විය යුතුය. මුල් වසර සඳහා රුපියල් 751,314.80ක ආයෝජනය මත 10%ක පොලියක් ලැබී ඇතැයි සැලකුවහොත් මේ වටිනාකම රුපියල් 826,446.28ක් (751,314.80*1.10) විය යුතුය. මෙසේ සුරැකුම්පතක වටිනාකම තක්සේරු කරන ගිණුම්කරණ ක්‍රමවේදය හැඳින්වෙන්නේ එකතු වූ පොලිය පදනම (accrued interest basis) යනුවෙනි.

කලකට පෙර ගිණුම්කරණයේදී ප්‍රචලිතව තිබුණු ඉහත ක්‍රමවේදය එතරම් නිවැරදි ක්‍රමවේදයක් නොවේ. ඒ, සුරැකුම්පතක් කල් පිරීමට පෙර එහි නියම වටිනාකම ලෙස සැලකිය හැක්කේ එම අවස්ථාවේදී ඒ සුරැකුම්පත විකිණිය හැකි මිල බැවිනි. මේ පදනම මත සුරකුම්පතක වටිනාකම ගණනය කරන ක්‍රමවේදය වෙළදපොළ මිල පදනම (mark to market basis) ලෙස හැඳින්වේ.

දැන් මේ වෙළදපොළ මිල කුමක්ද?

වසරකට පෙර නිකුත් කළ තෙවසරක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතක් කල් පිරීමට තවත් ඉතිරිව ඇත්තේ දෙවසරක් පමණි. ඒ නිසා, එය එදින නිකුත් කරන දෙවසරකින් කල් පිරෙන, සමාන මුහුණත වටිනාකමක් ඇති සුරැකුම්පතකින් කිසිම අයුරකින් වෙනස් නැත. ඒ නිසා, වසරකට පෙර නිකුත් කළ තෙවසරක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතක හෝ වසර තුනකට පෙර නිකුත් කළ වසර පහක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතක වෙළඳපොළ මිල එදින අළුතින් නිකුත් කළ දෙවසරක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතක මිලට සමානය.

දැන් අපි පහත උදාහරණය බලමු.

ඔබ වසර තුනක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතක් 10%ක පොලියට මිල දී ගත්තේය. එනම් මුහුණත වටිනාකම රුපියල් මිලියනයක් රුපියල් 751,314.80කටය (1,000,000/1.1^3). වසරකට පසු නිකුත් කරන දෙවසරක කල් පිරීමේ කාලයක් ඇති සුරැකුම්පතකට ලැබෙන පොලිය 5%කි. එනම් එහි මිල රුපියල් 907,029.48 කි (1,000,000/1.05^2). ඒ අනුව, වසරකට පෙර රුපියල් 751,314.80කට මිලදී ගත් සුරැකුම්පත කල් පිරෙන්නට වසර දෙකක් ඉතිරිව තිබියදී රුපියල් 907,029.48කට විකිණිය හැකිය. එසේනම්, ඇත්තටම ලැබුණු පොලිය කීයද?

එය 20.72% (=907,029.48/751,314.80-1) කි!

සුරැකුම්පතක් මිලදී ගැනීමෙන් පසු වෙළඳපොළ පොලී අනුපාතික අඩු වුවහොත්, කල් පිරීමට පෙර සුරැකුම්පත අලෙවි කර තමන්ට කල් පිරීමේදී ලැබෙන්නට නියමිත ප්‍රතිලාභයට වඩා විශාල ප්‍රතිලාභයක් ලැබිය හැකිය. සුරැකුම්පත කල් පිරෙන්නේ දිගු කාලයකට පසුවනම් ඉතාම සුළු පොලී අනුපාතික වෙනසකින් වුවද ලාභය විශාල ලෙස වැඩි වේ.

හදිසියේම දවසක් ඇතුළත වසරක කල් පිරීමේ කාලයක් ඇති භාණ්ඩාගාර බිල්පතක සඵල පොලී අනුපාතිකය 10% සිට 9% දක්වා 1%කින් අඩු වුනේයැයි සිතමු. දැන් ඔබට ඔබ රුපියල් 909,090.91 (=1,000,000/1.10) කට මිලදී ගත් භාණ්ඩාගාර බිල්පතක් අනෙක් අතට රුපියල් 917431.19 (=1,000,000/1.09) කට විකිණිය හැකිය. එමඟින් ඔබ දිනකට උපයන පොලිය රුපියල් 8,340.28 කි. මෙය දිනකට 0.92%ක් හෙවත් වසරකට 2703% ක ප්‍රතිලාභයකි!

වසර 30ක් වැනි දිගු කාලයකින් කල් පිරෙන සුරැකුම්පතක වටිනාකම ඉතා සුළු පොලී අනුපාතික වෙනසකට වුවත් විශාල ලෙස සංවේදී වේ.

(මතු සම්බන්ධයි)

Friday, November 4, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දෙවන කොටස)


පසුගිය ලිපියෙන් මම ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළඳපොළෙහි කටයුතු සිදුවන ආකාරයත්, ලංකාවේ එය සිදුවන ආකාරය ඇමරිකාවේ සිදුවන ආකාරයෙන් වෙනස්වන ආකාර කිහිපයක් ගැනත් කතා කළෙමි. මෙහිදී, මා ඇමරිකාවෙන් පටන්ගන්නේ ලංකාවට සාපේක්ෂව ඇමරිකානු ක්‍රමය වඩා හොඳයයි සිතන නිසා ලංකාවේ ක්‍රමයේ ඇති සාපේක්ෂ අඩුපාඩු පෙන්වා දීමටය. වෙනත් රටවල් ගැන කතා නොකරන්නේ ලංකාව හා ඇමරිකාව හැර වෙනත් රටවල මේ කටයුත්ත සිදුවන ආකාරය ගැන මා වැඩි හැදෑරීමක් කර නොමැති නිසාය.

ලංකාවේ නැති, ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියේ එක් ලක්ෂණයක් වන්නේ තරඟකාරී නොවන ලන්සු ඉදිරිපත් කිරීමේ හැකියාවයි. එහෙත් ප්‍රායෝගිකව වෙන්දේසියට ඉදිරිපත්වන මෙවැනි ලන්සු ප්‍රමාණය මුළු ලංසු ප්‍රමාණයෙන් 1% කටත් අඩුය. උදාහරණයක් ලෙස අවසන් වරට එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් වසරක කල් පිරීමේ කාලයක් ඇති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කළේ පසුගිය ඔක්තෝබර් මස 11 වෙනිදාය. මේ වෙන්දේසිය සඳහා ඩොලර් බිලියන 20 ක ($ 20,000,000,000) මුහුණත වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කෙරුණේය. ඒ සඳහා ඉදිරිපත් කෙරුණු තරඟකාරී නොවන ලන්සු ප්‍රමාණය ඩොලර් 169,708,300ක් පමණක් විය. මෙය මුළු අවශ්‍යතාවයෙන් 0.85%ක් පමණි. ඉතිරි 99.15% ම නිකුත් කෙරුණේ තරඟකාරී පදනමකිනි. මෙය සුවිශේෂී තත්ත්වයක් නොවේ. සාමාන්‍ය තත්ත්වයයි. ඒ නිසා මෙතැන් සිට මා කරන පැහැදිලි කිරීම් වලදී විශේෂ වැදගත් කමක් නැති තැන්වල මේ තරඟකාරී නොවන ලන්සු නොසලකා හරිමි.

තරඟකාරී නොවන ලන්සු ඉදිරිපත් කරන්නන් එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් (වෙළඳපොළ ඉල්ලුම මත) තීරණය කරන ඕනෑම පොලී අනුපාතිකයක් භාරගැනීමට සූදානම් නිසා ඔවුන් ඉල්ලන බිල්පත් ප්‍රමාණය මුලින්ම වෙන් කිරීමෙන් පසු පෙර කී අවසන් වෙන්දේසියට ඉදිරිපත් කළ ඩොලර් බිලියන 20ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයෙන් ඉතිරිවන්නේ ඩොලර් 19,830,291,700 ක බිල්පත් පමණි. මේ බිල්පත් මිලදී ගැනීම සඳහා එමෙන් 3.5 ගුණයක පමණ එනම් ඩොලර් 69,109,210,000 ක පමණ තරඟකාරී ලන්සු ඉදිරිපත් වී තිබුණේය. ඒ පහත පරිදිය.

ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින්:                                 $ 57,995,000,000
වෙනත් අය විසින් ප්‍රාථමික ගණුදෙනුකරුවන් හරහා:      $10,634,000,000
වෙනත් අය විසින් සෘජුවම:                                                 $440,210,000

ඔවුන් එකිනෙකා ඉදිරිපත් කළ මිල ගණන් (ඩොලර් 100ක මුහුණත් වටිනාකමක් සඳහා) 99.37 සිට ක්‍රමයෙන් අඩුවන වෙනස් මිල ගණන්ය. ප්‍රාථමික ගණුදෙනුකරුවන් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නේ වෙනත් අයට නැවත විකුණා ලාභයක් ලබා ගැනීමට නිසා ඔවුන් බොහෝ විට බලන්නේ අඩු මිලකට මේ සුරැකුම්පත් ගන්නටය. ඔවුන්ට සාපේක්ෂව වෙනත් ආයෝජකයෝ වැඩි මිලක් ගෙවීමට ඉදිරිපත් වෙති.

ඉහත පරිදි වැඩි ලන්සු ප්‍රමාණයක් ලැබුණත් එක්සත් ජනපද භාණ්ඩාගාරය මුලින් වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් (හෝ අඩු ප්‍රමාණයක්) නිකුත් කරන්නේ නැත. එසේ කිරීම දූෂණ වලට දොර ඇරීමකි. ප්‍රායෝගික හේතු මත නිකුත් කරන සුරැකුම්පත් ප්‍රමාණය වෙනස් විය හැක්කේ ඉතාම සුළු වශයෙනි. උදාහරණයක් ලෙස ඉහත වෙන්දේසියේදී නිකුත් කළ මුළු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඩොලර් 20,000,186,300 කි. මෙය මුලින් ඉදිරිපත් කළ ගණනට වඩා වැඩි වන්නේ 0.00093%කින් පමණි. (ලංකාවේදීනම් මෙය 1000% දක්වා වැඩිවන්නට  මෙන්ම 0%ක් වන්නටද පුළුවන් බව අපි දනිමු.)

ඉහත බිල්පත් වෙන් කෙරුණේ පහත පරිදිය.

ප්‍රාථමික ගණුදෙනුකරුවන් වෙත:                                            $10,606,268,000 (18.3%)
ප්‍රාථමික ගණුදෙනුකරුවන් හරහා පැමිණි වෙනත් අය වෙත:        $8,784,000,000 (82.6%)
සෘජුව පැමිණි වෙනත් අය වෙත:                                                   $480,210,000 (91.7%)

ඉහත සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි, ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට ලැබී ඇත්තේ ඔවුන් ඉල්ලා සිටි සුරැකුම්පත් ප්‍රමාණයෙන් පහෙන් එකකටත් වඩා අඩුවෙනි. එහෙත් වෙනත් අයට ඉල්ලා සිටි ප්‍රමාණයට ආසන්නවම බිල්පත් ලැබී තිබේ.

මෙය මෙසේ සිදුවන්නේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට වෙනස් ලෙස සැලකීම නිසා නොවේ. ඉහත වෙන්දේසියෙන් පසු එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් කළේ, ඩොලර් 100ක මුහුණත වටිනාකමක් සඳහා ඩොලර් 99.312444 කට වඩා වැඩි මුදලක් ගෙවන්නට ඉදිරිපත් වන අයට ඔවුන් ඉල්ලා සිටි මුළු බිල්පත් ප්‍රමාණය නිකුත් කිරීමයි. ප්‍රාථමික ගණුදෙනුකරුවන්  බොහෝ විට ලන්සු තබා ඇත්තේ මේ ගණනට වඩා අඩුවෙන් නිසා ඔවුන්ගේ ලන්සු බොහොමයක්ම පිළිගැනී නැත.

දැන් එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් මේ මිල, එනම් 99.312444, තීරණය කළේ කෙසේද? එය ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලයි. ඒ මිල මීට වඩා වැඩි කළහොත් වෙන්දේසියට ඉදිරිපත් කළ මුළු බිල්පත් ප්‍රමාණය විකුණාගත නොහැකි වේ. අඩු කළහොත්, බිල්පත් මිලදී ගන්නට වැඩි පිරිසක් ඉදිරිපත් වන නිසා බිලියන 20ක බිල්පත් ඔවුන් අතර බෙදා දිය යුතු ආකාරය ගැටළුකාරී වේ. 'නියම මිල' තීරණය කළ පසු ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිසා මෙවැනි ප්‍රශ්න පැන නොනඟී.

මා දැන් මෙය සරල උදාහරණයකින් නැවතත් පැහැදිලි කරන්නම්. බිලියන විස්සක (එනම් ඩොලර් මිලියන 20,000ක) භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉදිරිපත් වූ මිල ගණන් පහත පරිදියයි සිතමු. ගණන් සියල්ල ඩොලර් මිලියන වලිනි (දැන් ඉදිරිපත් කරන ගණන් සැබෑ ගණන් නොවේ.)

99.37      2000
99.36      2000
99.35      2000
99.34      2000
99.33      2000
99.32      5000
99.31   10000
99.30   15000
99.29   10000
99.28     5000
99.27     2000
99.26     2000
99.25     2000
99.24     2000
99.22     2000
99.21     2000


මෙය ඇත්තටම, ආර්ථික විද්‍යා භාෂාවෙන්, එක්සත් ජනපද භාණ්ඩාගාරය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රයයි. එයින් පිළිබිඹු වන්නේ අදාළ දින අදාළ පරිණත කාලය සහිත සුරැකුම්පත් සඳහා ඇති ඉල්ලුමයි. එක්සත් ජනපද භාණ්ඩාගාරයට මේ ඉල්ලුම වෙනස් කිරීම අපහසුය. ඔවුන්ට කළ හැක්කේ සැපයුම තීරණය කිරීම පමණි. එවිට, ස්වයංක්‍රීයව මිල තීරණය වේ.

එක්සත් ජනපද භාණ්ඩාගාරය විකුණන්නේ ඩොලර් මිලියන 2000ක සුරැකුම්පත් පමණක්නම් 99.37කට විකිණිය හැකිය. මේ මිල 99.33 දක්වා අඩු කළ විට ඩොලර් මිලියන 10000ක සුරැකුම්පත්ද, 99.32කට ඩොලර් මිලියන 15000ක සුරැකුම්පත්ද විකිණිය හැකිය. කලින් දැනුම් දුන් පරිදි ඩොලර් මිලියන 20000ක සුරැකුම්පත් විකිණීමටනම් 99.31 දක්වා මිල පහත හෙළිය යුතුය. එම මිලට, ඇත්තටම ඩොලර් මිලියන 25000ක් වුවත් විකිණිය හැකිය. එහෙත්, එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් වෙන්දේසි කරන බව පෙර දැනුම් දී ඇත්තේ ඩොලර් මිලියන 20,000ක සුරැකුම්පත් පමණක් නිසා කිසියම් වෙන් කිරීමක් සිදු කළ යුතුය. එය සිදු කෙරෙන්නේ පහත පරිදිය.

-99.32ක් හෝ වැඩි මිලක් යෝජනා කළ අයට ඔවුන් ඉල්ලූ මුළු බිල්පත් ප්‍රමාණයම ලැබේ.
-99.30ක් හෝ අඩු මිලක් යෝජනා කළ අයට කිසිවක් නොලැබේ.
-99.31ක් යෝජනා කළ අයට ඉල්ලූ ප්‍රමාණයෙන් 50%ක් ලැබේ.
-කෙසේවුවද, වැඩි මිලක් යෝජනා කළ අයටද සමතුලිත මිල වන 99.31ටම බිල්පත් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

ලංකාවේදී මෙය සිදුවන ආකාරයේ ඇති තවත් ප්‍රධාන වෙනස් කමක් වන්නේ එක් එක් ගැනුම්කරුට බිල්පත් නිකුත් කරන්නේ ඔවුන් යෝජනා කළ මිලට මිස සමතුලිත මිලට නොවීමයි. බැලූ බැල්මටම පෙනෙන්නේ මෙය රජයට වාසිදායක බවයි.

ඇමරිකානු ක්‍රමය අනුව බිල්පත් සියල්ලම අලෙවි වන්නේ 99.31කට වුවත් ලංකාවේ ක්‍රමයට මේ මිල 99.37-99.31 අතර වෙනස් වන එකකි. ඒ අනුව ඉහත උදාහරණයේ බිල්පත් විකිණෙන බරිත සාමාන්‍ය මිල 99.3325කි.

බැලූ බැල්මටම පෙනෙන පරිදි රජයට වැඩි මිලකට බිල්පත් විකුණාගත හැකිය. එහෙත්, මෙහිදී සිදුවන දෙය මීට වඩා සංකීර්ණ එකකි.

මේ බිල්පත් මිලදී ගන්නා ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ මූලික අරමුණ වෙනත් අයට බිල්පත් විකුණා ලාභයක් ලැබීමයි. මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 99.37කට මිලදීගත් ප්‍රාථමික ගැනුම්කරුවකු ලාභයක් ලබන්නට ඊට වඩා වැඩි මිලකට මේ බිල්පත් විකිණිය යුතුය. එහෙත්, එම බිල්පත්ම 99.31කට මිලදීගත්  ප්‍රාථමික ගැනුම්කරුවකුට 99.32 වැනි මුදලකට වුවත් මේ බිල්පත් විකිණිය හැකි නිසා බොහෝ විට ද්විතියික වෙළඳපොළ මිල 99.31-99.37 අතර 99.34 වැනි අගයක් වීමට ඉඩ තිබේ. එවිට, 99.37 වැනි මිලකට මිලදී ගත් ප්‍රාථමික ගැනුම්කරුවකුට සිදුවන්නේ තමන්ගේ බිල්පත් පාඩුවට විකිණීමටය. මේ නිසා, වෙන්දේසියට ඉදිරිපත් වීමේදී බිල්පත් හිමි වීමේ අවස්ථාව ලැබෙන තරමේ ඉහළ මිලක් යෝජනා කරන අතරම, එම අවස්ථාව යාන්තමින් ලැබෙන තරමේ හැකිතාක් අඩු මිලක් ඉදිරිපත් කිරීමටද ඔවුන්ට සිදුවේ.

ඇමරිකානු ක්‍රමය යටතේ මෙය මෙසේ සිදු නොවේ. ඔබ කොතරම් වැඩි මිලක් යෝජනා කළත් වෙනත් අයෙකුට ලබාගත හැකි අවම මිලම ඔබටත් ලැබෙන නිසා ලන්සු තබන්නන් හැම විටම බලන්නේ බිල්පත් හිමි කර ගැනීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට හැකි උපරිම ලන්සුව තැබීමටය.

ලංකාවේ ක්‍රමයේදී සිදුවන ජයග්‍රාහකයාගේ ශාපය (winner's curse) නිසා වෙන්දේසියේදී ඉහළ ලන්සු තැබීම අධෛර්යමත් වන අතර සියල්ලන්ම උත්සාහ කරන්නේ වෙන්දේසියේ තීරණාත්මක (cutoff) මිලට හැකිතාක් ආසන්න මිලක් යෝජනා කිරීමටය. මෙය පහසු නැත. ප්‍රශ්නය වඩාත් සංකීර්ණ වන්නේ ලංකාවේ ප්‍රාථමික වෙන්දේසියට මහ බැංකුව විසින් ඉදිරිපත් කරන සුරැකුම්පත් ප්‍රමාණය ලන්සු ලබා ගැනීමෙන් පසුව ලන්සු තබන්නනට සාපේක්ෂව අහඹු ලෙස (මහ බැංකුවේ අභිමතය පරිදි) අඩු හෝ වැඩි කරන බැවිනි. මේ නිසා ලන්සු තබන්නනට ඉතා විශාල අවිනිශ්චිතතාවයකට මුහුණ දෙන්නට සිදුවේ. මේ අවිනිශ්චිතතාවය අවම කර ගත හැකි, නීත්‍යානුකූල නොවන ක්‍රමයක් වන්නේ කෙසේ හෝ මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබාගැනීමයි. එසේ කළ හැකි අයෙකුට විශාල ලාභයක් ලැබීමේ අවස්ථාව තිබේ. මෙය ඇමරිකාවේ හෝ එංගලන්තයේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසි ක්‍රමය තුළ නොමැති තත්ත්වයකි.

මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රාථමික ගණුදෙනුකරුවන් අතර විශාල ඉල්ලුමක් ඇති වන්නේ ඉහත පදනමිනි.

(මතු සම්බන්ධයි)
 

නැවත දැනුම්දෙන තුරු කමෙන්ට්ස් ඉකොනොමැට්ටාගේ අනුමැතියට යටත් කර ඇති අතර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි තෝරාගත් කමෙන්ට්ස් පමණක් ඉඩක් ලැබුණු විට පල කෙරෙනු ඇත.

(Image: Wikipedia)

Wednesday, November 2, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පළමු කොටස)

රජයක් ආදායමට වඩා වියදම් කරන විට එම ආදායම් වියදම් පරතරය පියවා ගැනීම සඳහා ණය ගන්නට සිදුවේ. මේ ණය විදේශ ණය හා දේශීය ණය ලෙස වර්ග කළ හැකිය. දේශීය ණය ප්‍රධාන වශයෙන්ම ලබා ගන්නේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මඟිනි.

කල් පිරීමේ කාලය වසරකට වඩා වැඩි රාජ්‍ය සුරැකුම්පතක් භාණ්ඩාගාර බැඳුම්කරයක් ලෙසත්, එම කාලය වසරක් හෝ අඩු කාලයක් වන සුරැකුම්පතක් භාණ්ඩාගාර බිල්පතක් ලෙසත් හැඳින්වේ. සාමාන්‍යයෙන් දින 91, 182 හෝ 364 කින් කල් පිරෙන පරිදි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙන අතර, වසර 2, 3, 5, 10, 15, 20 හෝ 30 වැනි කාලයකින් කල් පිරෙන පරිදි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ. සුරැකුම්පතක කල් පිරීමේ කාලය මෙවැනි රවුම් ගණනක් නොවන්නටද පුළුවන. මෙහිදී කල් පිරීමේ කාලය ලෙස හඳුන්වන්නේ සුරැකුම්පතක් මිලදී ගන්නා අයෙකුට රජය විසින් එහි මුහුණත වටිනාකම ගෙවීමට ගත වන කාලයයි.

මුහුණත වටිනාකම යනු රාජ්‍ය සුරැකුම්පත් මුද්‍රිත සහතිකව පැවති කාලයේ මුදල් නෝට්ටු වල හෝ ස්ථිර තැන්පතු සහතික වල මෙන් එම සුරැකුම් සහතිකපත් වල මුහුණතේ මුද්‍රණය කර තිබුණු මුදලයි. මේ වන විට රාජ්‍ය සුරැකුම්පතක් යනු විද්‍යුත් ලේඛණයක් පමණක් වුවත් මුහුණත වටිනාකම යන යෙදුම තවමත් භාවිතා වේ.

රාජ්‍ය ආදායම් වියදම් පරතරය කාලයත් සමඟ වෙනස්වන රටාව හා ගලපමින්, පොලී වියදම අවම වන පරිදි භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර වැනි රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම සාමාන්‍යයෙන් රටක රාජ්‍ය භාණ්ඩාගාරයේ කටයුත්තකි. කිසියම් ඓතිහාසික හේතුවක් නිසා ලංකාවේ මහා භාණ්ඩාගාරය වෙනුවෙන් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම හා කළමනාකරණය කිරීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.

වසරකින් කල් පිරෙන, මුහුණත වටිනාකම රුපියල් මිලියන 100ක් වන භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගන්නා අයෙකුට වසරකින් පසු එම බිල්පත කල් පිරෙන දින රුපියල් මිලියනක් ලැබේ. ඒ නිසා, කල් පිරෙන දින එහි වටිනාකම එහි මුහුණත වටිනාකමට හරියටම සමානය.

අනාගතයේ ලැබෙන රුපියල් මිලියන 100ක් වෙනුවෙන් අද රුපියල් මිලියන 100ක් ගෙවන්නට කිසිදු ආයෝජකයෙකු සූදානම් නැත. ඒ නිසා භාණ්ඩාගාර බිල්පතක් කිසි විටෙකත් එහි මුහුණත වටිනාකමට අලෙවි කළ නොහැකිය. එවැන්නක් හැම විටෙකම අලෙවි වන්නේ මුහුණත වටිනාකමට වඩා අඩු මුදලකටය.

වසරකින් ලැබෙන රුපියල් 100ක් සඳහා ඔබ අද ගෙවන්නට සූදානම් මුදල කුමක්ද? මෙයට සෑම දෙනෙකුටම එකඟ විය හැකි නිශ්චිත පිළිතුරක් නැත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. අයෙකුට එය රුපියල් 95ක්ද, තවත් අයෙකුට රුපියල් 90ක්ද, තෙවැන්නෙකුට රුපියල් 88ක්ද විය හැකිය. යමෙකු භාණ්ඩාගාර බිල්පතක් මිලදී ගන්නට පෙළඹෙන්නේ ඔහුගේ හෝ ඇයගේ මුදලේ කාල වටිනාකම් සමඟ සැසඳීමෙන් පසු ලාභයක් ලැබේනම් පමණි.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී රජයට වඩාත්ම වාසිදායක වන්නේ මුහුණත වටිනාකමට හැකිතාක් ආසන්න මුදලකට ඒවා අලෙවි කිරීමට හැකි වන තරමටය. මේ විකිණුම් මිල වැඩි වූ තරමට ගෙවිය යුතු පොලිය අඩු වේ. ඇත්තටම මේ පොලිය සෘජුව ගණනය වන්නේ නැත. එය තීරණය වන්නේ භාණ්ඩාගාර බිල්පතක් අලෙවි වන මිල අනුවය.

රුපියල් මිලියන 100ක මුහුණත වටිනාකමක් හා වසරක පරිණත කාලයක් ඇති භාණ්ඩාගාර බිල්පතක් රුපියල් මිලියන 90කට අලෙවි වූයේයැයි සිතමු. මෙහිදී, ඇත්තටම රජයට ලැබෙන මුදල රුපියල් මිලියන 90ක් පමණක් වන අතර, එම මුදල සඳහා වසරකින් පසු රුපියල් මිලියන 10ක් පොලිය ලෙස ගෙවිය යුතුය. ඒ අනුව, පොලී අනුපාතිකය 10/90= 11.11%ක් වේ.

මෙම බිල්පතම රුපියල් මිලියන 91කට විකිණිය හැකි වීනම් රජයට වහාම ලැබෙන මුදල රුපියල් මිලියන 91 දක්වා වැඩිවන අතරම ගෙවිය යුතු පොලියද  රුපියල් මිලියන 9 දක්වා අඩුවේ. එවිට, පොලී අනුපාතිකය 9/91=9.89%ක් පමණි.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම ඒවා වැඩිම මිලකට අලෙවි කිරීම මඟින් අඩුම පොලියක් ගෙවිය හැකි මඟකි. බොහෝ දෙනෙකු ලන්සු තබන විට අනාගත මුදලේ වත්මන් කාල වටිනාකම වැඩි අය ඒ අතර සිටීමේ ඉඩකඩද වැඩිය.

ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියට ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අමතරව වෙනත් ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකටද සෘජුව සහභාගී විය හැකිය. මෙසේ සහභාගී විය හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැනි ක්‍රමය වනුයේ වෙන්දේසියේදී තීරණය වන කවර හෝ මිලකට තමන් මිලදී ගැනීමට සූදානම් භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉදිරිපත් කිරීමයි. මෙය තරඟකාරී නොවන ලන්සුවක් ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් මෙවැනි තරඟකාරී නොවන ලන්සු ඉදිරිපත් වන්නේ 1%ක පමණ ඉතා සීමිත ප්‍රමාණයකි.

දෙවන ක්‍රමය තරඟකාරී ලන්සු ක්‍රමයයි. මෙහිදී, මිලදී ගැනීමට සූදානම් බිල්පත් ප්‍රමාණය මෙන්ම ඒ වෙනුවෙන් අපේක්ෂා කරන පොලිය හෝ ඩොලර් 100ක මුහුණත වටිනාකමක් වෙනුවෙන් ගෙවීමට සූදානම් මිලද ඉදිරිපත් කළ යුතුය. එක් අයෙකුට මෙවැනි තරඟකාරී ලන්සු ඉදිරිපත් කළ හැක්කේ වෙන්දේසියට ඉදිරිපත් කර ඇති බිල්පත් ප්‍රමාණයෙන් 35% නොඉක්මවන ප්‍රමාණයට පමණි. මෙහි අරමුණ එක් අයෙකුට පොලී අනුපාතික පාලනය කිරීමට ඇති හැකියාව අවම කිරීමයි.

දැන් අපි වෙන්දේසියෙන් පසු ඇමරිකාවේ මේ බිල්පත් තරඟකරුවන් අතර වෙන් කරන ආකාරය විමසා බලමු. ලැබුණු ලන්සු (ඩොලර් මිලියන) පහත පරිදියැයි සිතමු.

තරඟකාරී නොවන- 30
99.9% - 970
99.8% - 4,000
99.7% - 5,000
99.6% -  10,000
99.5 - 10,000
99.4% - 10,000
99.3% - 10,000
99.2% - 10,000
99.1% - 10,000
.....

වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඩොලර් මිලියන 60,000ක් යැයි සිතමු. මේ ප්‍රමාණය අලෙවි කළ හැකි උපරිම මිල වනුයේ මුහුණත වටිනාකමින් 99.2%කි. ඊට වඩා මිලකට මුළු බිල්පත් ප්‍රමාණයම විකුණන්නට තරම් ඉල්ලුමක් නැත. ඒ නිසා, එම මිල හෝ වැඩි මිලක් ගෙවන්නට  සූදානම් වූ සියල්ලන්ටම (තරඟකාරී නොවන ලංසුකරුවන්ද ඇතුළුව) තමන් ඉල්ලූ බිල්පත් ප්‍රමාණය මුහුණත වටිනාකමින් 99.2%ක මිලකට නිකුත් කෙරේ.

ලංකාවේ මෙය සිදුවන ආකාරයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් තිබේ.

-වෙන්දේසියට සහභාගී විය හැක්කේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට, වාණිජ බැංකු වලට හා සේවක අර්ථසාධක අරමුදල වැනි සීමිත ආයතන ගණනකට පමණි.
-එක් අයෙකුට ලන්සු තැබිය හැකි උපරිම සීමාවක් නැත.
-මහ බැංකුව සිය අභිමතය පරිදි වෙන්දේසියට ඉදිරිපත් කළ සුරැකුම්පත් ප්‍රමාණය, එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් හෝ අඩු ප්‍රමාණයක් නිකුත් කිරීමට මෙන්ම ලන්සු ලබා ගැනීමෙන් පසු වෙන්දේසිය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමටද ඉඩ තිබේ.
-සුරැකුම්පත් විකුණන්නේ එක් එක් ආයතනය විසින් ලන්සු තැබූ මිලට මිස සියල්ලන්ටම එකම මිලකට නොවේ.

බැඳුම්කර හා අදාල තාක්ෂනික කරුනුත්, ද්වීතියික වෙළඳපොළ මිල තීරණය වන ආකාරයත් ලංකාවේ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ භූමිකාව ගැනත් ඉඩ ලැබුණු විටක කතා කරමු.


නැවත දැනුම්දෙන තුරු කමෙන්ට්ස් ඉකොනොමැට්ටාගේ අනුමැතියට යටත් කර ඇති අතර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි තෝරාගත් කමෙන්ට්ස් පමණක් ඉඩක් ලැබුණු විට පල කෙරෙනු ඇත.

(Image: Wikipedia)