Sunday, August 27, 2017

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයට විසඳුමක්ද?

ලංකාව කලක සිට ණය අර්බුදයක සිරවී සිටින බව දැන් කවුරුත් දන්නා කතාවකි. පසුගිය මාර්තු මාසය අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,702.8ක් විය. එයින් රුපියල් බිලියන 5,626.2ක් දේශීය ණය වූ අතර ඉතිරි රුපියල් බිලියන 4,076.7 විදේශ ණයයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ලංකාවට ණය අර්බුදයෙන් ගොඩ යන්නට හැකි වෙයිද?

මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසියකදී ආසන්න වශයෙන් වසර 10ක පමණ කල් පිරීමේ කාලයක් (වසර 9කුත් මාස 10ක්) සහිත බැඳුම්කර අවසාන වරට (ජූලි 27 දින) නිකුත් කලේ 10.59%ක සඵල පොලී අනුපාතිකයකටය. ඒ අනුව, වසර දහයක කාලයකට දේශීය ණය ලබා ගැනීමේදී රජය විසින් මේ වන විට ගෙවිය යුතු පොලී අනුපාතිකය 10.59%ක් ලෙස සැලකිය හැකිය. මෙහිදී නිකුත් කළ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 11ක් වූ අතර, ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කළේනම් මේ පොලී අනුපාතිකය මීට වඩා වැඩි විය හැකිව තිබුණේය.

පසුගිය මැයි මස 4 වන දින රජය විසින් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක වටිනාකමකින් යුත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කළේය.  ඒ, 6.20%ක පොලී අනුපාතිකයකටය. මේ පොලී අනුපාතිකය රජය විසින් විදේශ ණය ලබා ගැනීමේදී ගෙවිය යුතු පොලී අනුපාතිකය ලෙස සැලකිය හැකිය.

ණය ප්‍රතිව්‍යුගතකිරීම යන්නෙන් අදහස් වන්නේ වඩා වාසිදායක ණයක් ගෙන සාපේක්ෂව අවාසිදායක ණයක් පියවීමයි. උදාහරණයක් ලෙස, ඉදිරි වසර 10 තුළ විණිමය අනුපාතිකය දැනට පවතින මට්ටමේම තිබෙනු ඇතැයි විශ්වාස කළ හැකිනම් 10.59%ක පොලියකට රුපියල් වලින් ණය ගන්නවාට වඩා 6.20%ක පොලියකට ඩොලර් වලින් ණය ගැනීම වාසිදායකය. එහෙත්, විණිමය අනුපාතිකය එසේ ස්ථිරව නොතිබෙන බව අපි දනිමු. පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් යටතේ ඉදිරි වසර 10 තුළ රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු තරමින් පිරිහෙනු ඇති බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු කරුණක් නොවේ. ඒ නිසා, රුපියල් ණය හා ඩොලර් ණය ගැනීමේ වාසි හා අවාසි එතරම් පහසුවෙන් සැසඳිය නොහැකිය.

රජය විසින් අද (අගෝස්තු 27) ඩොලරයක් ණයට ගත්තොත් රජයට ඒ ඩොලරය මාරු කර රුපියල් 151ක් ලබා ගත හැකිය. ඉන් පසු ඒ මුදල රට ඇතුළත කැමති ආකාරයකින් වියදම් කළ හැකිය. එසේ නැත්නම් එම ඩොලරය රුපියල් වලට මාරු නොකර වෙනත් රටකින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම වෙනුවෙන් වැය කළ හැකිය. ඒ දෙකෙන් කුමක් කළත්, වසර 10කින්  පසුව 6.20%ක පොලියද සමඟ ඩොලර් ඩොලර් 1.825ක පමණ මුදලක් ආපසු ගෙවන්නට රජයට සිදු වේ.

අනෙක් අතට රජය විසින් අද රුපියල් 151ක් ණයට ගත්තොත් රජයට ඒ වෙනුවෙන් වසර 10ක් තුළ එකතු වන 10.59%ක පොලියද සමඟ රුපියල් 413.18ක් ආපසු ගෙවන්නට සිදු වේ. එසේනම්, වඩා වාසිදායක මේ විකල්ප දෙකෙන් කොයි එකද?

මෙය තීරණය වන්නේ වසර දහයකට පසු ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා රජය විසින් වැය කළ යුතු රුපියල් ගණන මතය. වසර දහයකට පසු ඩොලරයක විකුණුම් මිල රුපියල් 226.41ක් නම් ඩොලරයේ ණය ආපසු ගෙවන්නට රජයට රුපියල් 413.18ක් වැය කරන්නට වේ. මෙය රුපියල් වලින් ණය ගත්තත් රජයට ගෙවන්නට සිදුවන මුදලයි. රුපියල වසර දහයකින් එතරම් අවප්‍රමාණය වන්නට ඉඩක් නැත්නම් ඩොලර් වලින් ණය ගැනීම රජයට වාසිදායකය. රුපියල ඊට වඩා අවප්‍රමාණය වන්නට ඉඩ ඇත්නම් රුපියල් වලින් ණය ගැනීම වාසිදායකය.

ඉහත කරුණ කවුරුත් නොදන්නා රස රහසක් නොවේ. රාජ්‍ය ණය කළමනාකරණය භාරව සිටින මහා භාණ්ඩාගාරයේ හා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොඳින්ම දන්නා සරල කරුණකි. ඔවුහු නිබඳවම මේ සැසඳීම කරමින් වඩා වාසිදායක ණය මිශ්‍රණයක් පවත්වා ගැනීම සඳහා කටයුතු කරති. ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඔවුන්ට අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නොවේ. 

විදෙස් ණය යනු හැම විටම ඉහත උදාහරණයේ මෙන් ඇමරිකන් ඩොලර් ණයම නොවේ. සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන විට සැසඳීමේ පහසුවට ඇමරිකන් ඩොලර් වලින් ඉදිරිපත් කළත් රජයේ විදෙස් ණය කළඹට පවුම්, යුරෝ, යෙන් වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදලින් ගත් ණයද ඇතුළත්ය.

රජයට ලැබෙන බදු ආදායම් මුළුමනින්ම වාගේ ලැබෙන්නේ රුපියල් වලිනි. එහෙත්, රජයේ ඇතැම් වියදම් කරන්නට වෙන්නේ ඩොලර් වලින් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකිනි. මේ විදේශ ව්‍යවහාර මුදල් රජයට මහ බැංකුවෙන් හෝ වෙනත් බැංකුවකින් මිල දී ගන්නට සිදු වේ. එසේ කළ හැක්කේ රටේ කවරෙකු හෝ විදේශ ව්‍යවහාර මුදල් උපයන්නේනම් පමණි.

රටකට විදේශ ව්‍යවහාර මුදල් ලැබෙන ප්‍රධානම ප්‍රභවය අපනයන ආදායමයි. එසේ ලැබෙන විදේශ ව්‍යවහාර මුදල් ආනයන වියදම් සඳහාද වැය කළ යුතුය. රජයට බැංකු පද්ධතිය හරහා දිගින් දිගටම විදේශ ව්‍යවහාර මුදල් ලබා ගත හැක්කේ රටේ අපනයන ආදායම ආනයන වියදම ඉක්මවන්නේනම් පමණි. එහෙත් අප දන්නා පරිදි ලංකාවේ ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයකට කිට්ටුය. කෙසේ වුවත්, අපනයන වලින් ලැබෙන ප්‍රමාණයට අමතරව ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ලෙසද ලංකාවට සැලකිය තරමින් විදේශ ව්‍යවහාර මුදල් ලැබේ.

පහත වගුවේ ඇත්තේ 2016 වසරේදී ලංකාව සමඟ අඩු වශයෙන් ඩොලර් මිලියන 500ක වෙළඳ පරිමාවක් පවත්වාගෙන ඇති රටවල ආනයන, අපනයන හා වෙළඳ ශේෂයන්ය. මේ වගුව දෙස බැලූ විට ලංකාව හා ලෝකය අතර ඇති ආර්ථික සම්බන්ධතාව කවර ආකාරයේ එකක්ද යන්න ගැන පැහැදිලි අදහසක් ගන්නට පුළුවන.



ලංකාවට වෙළඳාම හරහා වැඩිම විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එරටින් ලැබෙන අපනයන ආදායම ලංකාවේ ඇමරිකන් ආනයන වියදම මෙන් 5.2 ගුණයක් වන අතර පසුගිය වසර තුළ ඇමරිකා එක්සත් ජනපදය සමඟ කළ වෙළෙඳාම නිසා ලංකාවට ඩොලර් මිලියන 2,271ක අතිරික්ත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබී තිබේ.  ඇමරිකාවෙන් ලැබෙන්නේ ඇමරිකන් ඩොලර්ය.

එක්සත් රාජධානියට ලංකාවෙන් යවන අපනයන ප්‍රමාණයද එම රටින් ගෙන්වන අපනයන භාණ්ඩ වල වටිනාකම මෙන් 3.2 ගුණයකි. මේ අනුව, එක්සත් රාජධානිය සමඟ කරන වෙළඳාම නිසාද ලංකාවට ඩොලර් මිලියන 700 ඉක්මවන අතිරික්ත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබී තිබේ.  මෙසේ එක්සත් රාජධානියෙන් ලැබෙන්නේ ස්ටර්ලින් පවුම්ය. මේ ආකාරයෙන්ම ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපීය සංගමයේ රටවල් සමඟ කරන වෙළඳාම නිසා ලංකාවට සැලකිය යුතු යුරෝ ප්‍රමාණයක්ද ලැබේ.

ඇමරිකාවෙන් හා යුරෝපයෙන් විදෙස් වෙළඳාම හරහා ලංකාව ලබාගන්නා අතිරික්ත ඩොලර්, පවුම් හා යුරෝ ප්‍රමාණයට අමතරව එම කලාප වල රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් විසින් 2016 වසර තුළ තවත් ඩොලර් මිලියන 1,815 ක මුදලක් ලංකාවට එවා තිබේ. මේ සියල්ල එකතු කළ විට බටහිර රටවල් සමඟ කරන ගනුදෙනු හරහා ලංකාවට වසරකට ඩොලර් මිලියන 6000-7000ක පමණ අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේයැයි සිතිය හැකිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ වෙළඳාමෙන් ලංකාවට ඩොලර් මිලියන 885ක පමණ ශුද්ධ අවාසියක් සිදු වී ඇතත් මැද පෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රමිකයින් විසින් වසර තුළ ඩොලර් මිලියන 3,889ක පමණ මුදලක් ප්‍රේෂණය කර ඇති බව සැලකූ විට එම කලාපයේ රටවලින්ද ලංකාවට තවත් ඩොලර් මිලියන 3000ක පමණ අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේයැයි සිතිය හැකිය.

මෙසේ ලැබෙන අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ලංකාව විසින් වැය කරන්නේ චීනය හා ඉන්දියාව ප්‍රමුඛ ආසියානු කලාපයේය. චීන ආනයන එහි යවන අපනයන ප්‍රමාණය මෙන් 21 ගුණයකි. ඒ නිසා, චීන ආනයන වෙනුවෙන් ලංකාව ඩොලර් මිලියන 4000 ඉක්මවන අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් සෙවිය යුතුය. ඉන්දියාව සමඟ කරන වෙළඳාම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 3000ක් ඉක්මවා විදේශ ව්‍යවහාර මුදල් සෙවිය යුතුය. මේ දෙරටින් ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන්නේම නැති තරම් වන අතර යම්තාක් දුරකට එහි අනිත් පැත්ත වෙන්නේයැයි සිතිය හැකිය. සිංගප්පූරුව, ජපානය ඇතුළු අනෙකුත් දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් සමඟද ලංකාව විශාල වෙළඳ අවාසියක් පවත්වා ගනී. මේ ඇතැම් රටවලින් ලංකාවට කිසියම් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුණත් ඒ මුදල අදාළ රටවල් සමඟ ඇති ද්විපාර්ශ්වික වෙළඳ අවාසිය පියවන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නැති මුදලකි.

ඉහත විස්තරය සාරාංශගත කළහොත්, ලංකාව විසින් කරන්නේ බටහිර හා මැදපෙරදිග රටවල් සමඟ ගණුදෙනු කර උපයන විදේශ ව්‍යවහාර මුදල් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ වියදම් කිරීමයි. ජාත්‍යන්තර වෙළඳාම තුළ ලංකාව ඇමරිකාව, යුරෝපය හා මැදපෙරදිග රටවල් මත යැපේ. ඒ රටවලට යවන අපනයන නැත්නම් ලංකාවට යන එන මං නැත. අනිත් අතට ඉන්දියාව හා චීනය ඇතුළු ආසියාතික රටවල් ලංකාව මත යැපෙන රටවල්ය. මේ රටවල් සමඟ කරන වෙළඳාමට යම් හෙයකින් බාධා පැමිණුනොත් අමාරුවේ වැටෙන්නේ එම රටවල් මිස ලංකාව නොවේ. ලංකාවේ වෙළඳපොළ කුඩා එකක් වීම වෙනම කරුණකි.

ජපානය සිටින්නේද ඉහත ගොඩවල් දෙකෙන් ඉන්දියාව හා චීනය සිටින ගොඩේය. ජපන් ආනයන වෙනුවෙන් ලංකාව වැය කරන මුදල එරටින් ලැබෙන අපනයන ආදායම මෙන් 5.7 ගුණයකි.

රටවල් දෙකක් අතර සිදුකරන වෙළඳාමේදී දිගින් දිගටම එක් රටකට අවාසියක් වීම සිදු විය නොහැක්කක් නොවුවත්, එසේ වන විට ඒ හරහා ඇති වන අසමතුලිතතාවය බොහෝ විට වෙනත් අයුරකින් මතු වේ. ආර්ථික කරුණු වලට පරිබාහිර දේශපාලනික කරුණු මත පදනම් වෙමින් ඇතැම් බටහිර රටවල් ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීමද එක්තරා දුරකට මේ වෙළඳ අසමතුලිතාවයේ ප්‍රතිඵලයකි.

ලංකාවේ අපනයන ලොකුවට මිලදී නොගන්නා චීනය හෝ ජපානය වැනි රටකට එම රටවලින් ලංකාවට එන ආනයන පරිමාව පවත්වා ගැනීම සඳහා වෙනත් කිසියම් අයුරකින් ලංකාවට අරමුදල් පොම්ප කරන්නට සිදු වේ. එසේ නොකළහොත්, බටහිර හා මැදපෙරදිග රටවලින් ලැබෙන විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණය ලංකාවේ චීන හෝ ජපන් ආනයන ප්‍රමාණය සීමා කරන සාධකයක් බවට පත් වේ. එම රටවලට මේ සීමාව මඟ හරිමින් සිය අපනයන (ලංකාවේ ආනයන) තව දුරටත් වර්ධනය කර ගත හැකි එක් ක්‍රමයක් වන්නේ ලංකාවට ණය ලෙස නැවත අරමුදල් සැපයීම මඟින් වෙළඳ ශේෂයේ හිඟය නිසා ඇති වන අසමතුලිතතාවයෙන් කොටසක් සමනය කිරීමයි. මේ ණය කිසියම් සහනදායී පදනමකින් ලබා දුන්නත් ලංකාවට සිදු කරන අපනයන වලින් ඒ අවාසිය සමනය වන්නේනම් එම රටවලට ප්‍රශ්නයක් නැත. (ඉන්දියාව උත්සාහ කරන්නේනම් එවැනි දෙයක්වත් නොකර දේශපාලනික බලපෑම් හරහාම වැඩේ ගොඩ දා ගැනීමටය.)

ජපානයෙන් හෝ චීනයෙන් ණය ගැනීමෙන් තාවකාලිකව ලංකාවේ රාජ්‍ය ණය ප්‍රශ්නය විසඳා ගත හැකි වුවත්, එම රටවල් ලංකාවේ අපනයන විශාල ලෙස මිලදී නොගැනීම නිසා ලංකාවට යෙන් හෝ යුවාන් පැමිණෙන මාර්ග නැත. ජපානයෙන් ශ්‍රමික ප්‍රේෂණ ලෙස සීමිත මුදලක් පැමිණියත් චීනයෙන් එසේ ලැබෙන්නේද නැත. ඒ නිසා, මේ රටවලින් ලබා ගන්නා ණය ගෙවන්නට ලංකාවට යෙන් හෝ යුවාන් මිලදී ගන්නට වෙන්නේද බටහිර රටවලින් ලැබෙන ඩොලර්, පවුම් හා යුරෝ වැය කරමිනි. ඒ නිසා යෙන් හෝ යුවාන් ණය ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ එම ව්‍යවහාර මුදල් හා ඩොලර්, පවුම්, යුරෝ වැනි ව්‍යවහාර මුදල් අතර විණිමය අනුපාතිකයට ඉදිරියේදී කුමක් වේද යන්නයි.


ඇමරිකන් ෆෙඩරල් සංචිත බැංකුවෙන් දත්ත ලබාගත හැකි, යෙන් විණිමය අනුපාතිකය පාවෙන්නට හරිනු ලැබූ, 1971 වසරේ සිට සමස්තයක් ලෙස ජපන් යෙන් මුදල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අධිප්‍රමාණය විය. 1971 ජනවාරි 1 දින ජපාන යෙන් 1000ක් මිල දී ගැනීමට ඇමරිකන් ඩොලර් 2.875ක් අවශ්‍ය වුවත්, 2012 ජනවාරි 1 දින වන විට ඒ සඳහා ඇමරිකන් ඩොලර් 12.53ක් අවශ්‍ය විය. මෙය 4.36 ගුණයක වැඩි වීමකි.

ලංකාව 1977දී ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ ජපානයෙන් සිදු කරන ආනයන විශාල ලෙස ඉහළ ගියේය. එහෙත් එයට සමාන්තරව ලංකාව ජපානයට සිදුකරන අපනයන ඉහළ ගියේ නැත. මේ හරහා සිදුවූ අසමතුලිතතාවය යම් තරමකින් සමනය වුණේ ජපානයෙන් සහනදායී පොලී අනුපාතිකයකට ලැබුණු ණය නිසාය. කෙසේ වුවද, සහනදායී පොලී අනුපාතිකයකට ණය ලැබීම යනු හැම විටම වාසියක්ම නොවේ. පසුගිය දශක කිහිපය තුළ ජපාන යෙන් මුදල අනෙක් බොහෝ විදෙස් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව විශාල ලෙස අධිප්‍රමාණය වීම නිසා අවසානයේදී ජපානයෙන් ලබාගත් සහනදායී ණය හේතුවෙන් සිදුවුණේ වාසියක් නොව විශාල අවාසියකි. ලංකාවේ රාජ්‍ය ණය බර මේ තරම් වැඩි වීමට ජපානයෙන් ලබාගත් සහනදායී ණයද එක් හේතුවකි.

මෙය පැහැදිලි කිරීම සඳහා 1982 වසරේදී ලංකාව 0.5%ක ඉතා සහනදායී පොලී අනුපාතිකයක් යටතේ වසර 30කින් ආපසු ගෙවීමට ජපානයෙන් යෙන් 1000ක ණයක් ලබා ගත්තේයැයි සිතමු. පොලී අනුපාතිකය ඉතා අඩු නිසා 2012දී ආපසු ගෙවිය යුතුව තිබුණේ ජපන් යෙන් 1161ක් පමණි. 

1982දී ජපන් යෙන් එකක් ශත 8කි. මේ අනුව, ජපන් යෙන් 1000ක් යනු 1982දී රුපියල් 80කි. 2012 වන විට ජපන් යෙන් එකක් රුපියල් 1.60ක් විය. ඒ නිසා, ජපන් යෙන් 1161ක් ආපසු ගෙවන්නට රජය විසින් රුපියල් 1857.60ක් වැය කළ යුතු විය. යෙන් ණය නොගෙන 1982දී 11%ක පොලියට රුපියල් ණය ගත්තේනම් හෝ 2%ක පොලී අනුපාතිකයකට ඩොලර් ණය ගත්තේනම් 2012දී ආපසු ගෙවන්නට වෙන්නේ ආසන්න වශයෙන් මීට සමාන මුදලකි. (කෙසේ වුවත්, 1982දී ආණ්ඩුවට 11%ක පොලී අනුපාතිකයකට දේශීය ණය ගැනීමේ හැකියාවක්නම් නොතිබුණේය.)

ජපාන යෙන් මුදල වෙනත් විදෙස් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව දිගින් දිගටම අධිප්‍රමාණය වීම නිසා ජපන් ණය අඩු පොලියකට ලැබුණත් පෙනෙන තරම්ම වාසිදායක නොවන බව රාජ්‍ය ණය කළමණාකරනය කරන නිලධාරීන් විසින් තේරුම් ගැනීමෙන් පසුව දශකයකට පමණ පෙර එවැනි ණය සීමා කෙරුණේය. 

මේ අතර ද්‍රවශීලතා උගුලක කලක සිටම හිරවී ආර්ථික වර්ධනය නැවතී ඇති ජපානයේ ආර්ථිකය නැවත උත්තේජනය කිරීමට  ජපානය උත්සාහ ගනිමින් සිටියදී මෑත වසර කිහිපය තුළ ජපාන යෙන් මුදල යම් තරමකින් අවප්‍රමාණය විය. ඒ නිසා, මේ වන විට ජපාන ණය පෙර මෙන් ප්‍රශ්නකාරී නැත. තත්ත්වය හඳුනාගනිමින් රජය නැවතත් කිසියම් ප්‍රමාණයකට ජපන් ණය ලබාගෙන තිබේ. එහෙත්, යෙන් විණිමය අනුපාතිකය ඉදිරි කාලය තුළ කෙසේ හැසිරෙනු ඇත්දැයි කිසිවකුට ස්ථිරව කිව නොහැකිය.

ලංකාව අපනයන මඟින් හෝ ප්‍රේෂණ මඟින් යෙන් උපයන්නේනම් විණිමය අනුපාතිකය වෙනස් වීම එතරම් ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලංකාවට යෙන් ණය ආපසු ගෙවන්නට වෙන්නේ ඩොලර්, පවුම් හෝ යුරෝ සමඟ යෙන් හුවමාරු කර යෙන් මිල දී ගැනීම මඟිනි. එසේ තිබියදී, සහනදායී පොලී අනුපාතිකයකට ගන්නට හැකි වුවත් ඕනෑවට වඩා යෙන් ණය ගොඩ ගසාගැනීම යනු ලංකාව විසින් විශාල අවදානමක් ගැනීමකි. හොඳ වෙලාවට මෙතෙක් කල් බලයට පත් වූ රාජ්‍ය නායකයින් කිසිවෙකුට මෙවැනි විහිළු අදහස් පහළ වී නැත.

Thursday, August 17, 2017

දුම්වැටි භාවිතය අඩු වෙලාද?


"යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී" ඇති බවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් කර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධව අපි පසුගිය අප්‍රේල් මාසයේදී පැහැදිලි කිරීමක් කළෙමු. එහිදී අප විසින් පෙන්වා දෙනු ලැබුවේ 2016 අවසන් කාර්තුවේදී දුම්කොළ සමාගමේ ආදායම හා දුම්වැටි අලෙවියෙන් රජය ලබන බදු ආදායම පෙර කාර්තුවට සාපේක්ෂව විශාල ලෙස අඩුවී තිබුණත් එයට ප්‍රධාන හේතුව බව පෙනෙන්නේ අලෙවි නියෝජිතයින් විසින් බදු ඉහළ දැමීමට පෙර දුම්වැටි විශාල තොග මිලදී ගෙන ගබඩා කර ගැනීම හේතුවෙන් තෙවන කාර්තුව තුළ දුම්වැටි අලෙවිය විශාල ලෙස ඉහළ යාම බවයි. මේ තොග අවසන් වන විට දුම්වැටි සමාගමේ අලෙවි ආදායම් මෙන්ම රජයේ බදු ආදායමද ඉහළ යනු ඇති බවට අපි අනාවැකි පළ කළෙමු.

දුම්කොළ සමාගම විසින් දින තුනකට පෙර 2017 මුල් අර්ධය සඳහා වන විගණනය නොකළ ගිණුම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව, 2017 පළමු මාස 6 ඇතුළත දුම්කොළ සමාගමේ දළ ආදායම් රුපියල් බිලියන 67.2 දක්වා පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව රුපියල් බිලියන 7.6කින්ද, රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 51.9 දක්වා රුපියල් බිලියන 7.2කින්ද වැඩි වී තිබේ.

පසුගිය වසරේ තෙවන කාර්තුව තුළ දුම්වැටි වෙළඳ නියෝජිතයින් විසින් තොග ගබඩා කර ගැනීම නිසා දුම්වැටි අලෙවිය සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් රජයට ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 28.0 දක්වා ඉහළ ගියේය. බදු වැඩි කිරීමෙන් අනතුරුව, සිවුවන කාර්තුව තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 14.8 දක්වා අඩු වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවුණේ අවශ්‍ය දුම්වැටි තොග කලින්ම අලෙවි වී තිබීමයි. සෞඛ්‍ය ඇමතිවරයා විසින් රටේ දුම්පානය 48%කින් අඩු වී ඇති බව ප්‍රකාශ කළේනම් ඒ සඳහා පදනම් වන්නට ඇත්තේ රජයේ බදු ආදායමේ සිදුවූ ඉහත අඩු වීමයි.

මේ වසරේ දෙවන කාර්තුව තුළ පමණක් දුම්වැටි වලින් රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 28.1කි. මෙය 2016 අවසන් කාර්තුවේ බදු ආදායම මෙන් දෙගුණයකට ආසන්නය. ඒ අනුව, සෞඛ්‍ය ඇමතිවරයාගේ පරණ තර්කය අනුවනම් නිගමනය කළ යුත්තේ රටේ දුම්වැටි භාවිතය සමසක් තුළ දෙගුණ වී ඇති බවයි. 

එහෙත්, එය නිවැරදි තර්කයක් නොවේ. දුම්කොළ සමාගමේ ලාබ හෝ රජයේ බදු ආදායම් මත පදනම්ව රටේ දුම්වැටි භාවිතය වෙනස් වී ඇති ආකාරය නිවැරදිව පුරෝකථනය කිරීම කළ නොහැක්කකි. එහෙත්, දුම්වැටි භාවිතය විශාල ලෙස අඩු වී ඇති බවක්නම් මේ සංඛ්‍යාලේඛණ අනුව නොපෙනේ.

බදු වැඩි කළද දුම්කොළ සමාගමේ ආදායම්, ලාබ මෙන්ම එමඟින් රජය උපයා ඇති බදු ආදායමද වෙනත් වසර වලදී මෙන්ම වැඩි වී ඇති බවනම් පැහැදිලිය. දුම්කොළ සමාගමේ ලාබ ඉහළ යාම නිසා නිෂ්පාදන බදු වලට අමතරව එම සමාගම විසින් රජයට ගෙවන ආදායම් බදුද 2017 පළමු අර්ධය තුළ පෙර වසරේ මුල් අර්ධයට සාපේක්ෂව රුපියල් බිලියනය ඉක්මවා වැඩි වී තිබේ.

Friday, August 11, 2017

මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති


මේ සටහන ලියන්නේ පාඨකයෙකුගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යනු මොනවාදැයි පැහැදිලි කිරීමටය.

සාමාන්‍යයෙන් බොහෝ රටවල ආර්ථිකයන් දිගුකාලීනව වර්ධනය වෙයි. ප්‍රාග්ධනය හා ශ්‍රමය යන නිෂ්පාදක සාධක වර්ධනය වීම ආර්ථික වර්ධනයට හේතු වන නමුත් රටක් සතු මේ නිෂ්පාදන සාධක ප්‍රමාණය සාමාන්‍යයෙන් වසරක් වැනි කාලයක් තුල විශාල ලෙස වෙනස් වන්නේ නැත. ඒ නිසා, නවීන ආර්ථිකයක් වර්ධනය වීමට වැඩි වශයෙන්ම හේතු වන්නේ කාර්යක්ෂමතාවය ඉහළ යාමයි. මෙහිදී කාර්යක්ෂමතාවය වැඩිවීම ලෙස හඳුන්වන්නේ කිසියම් ආර්ථිකයක් විසින් දැනට තිබෙන නිෂ්පාදන සාධක ප්‍රමාණයම උපයෝගී කරගෙන වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලබාගැනීමයි.

කාර්යක්ෂමතාවය වැඩි වන්නේ වෙනස් ලෙස සිතිය හැකි පුද්ගලයින්ගේ ව්‍යවසායකත්වය හරහාය. මෙය සිදුවන්නේ තාක්ෂනය දියුණු වීම හරහාය. මෙහිදී තාක්ෂනය යන වචනයෙන් හඳුන්වන්නේ පරිගණක වැනි දේ පමණක්ම නොවේ. කිසියම් ආයතනයක මානව සම්පත් කළමනාකරණය පිළිබඳ නව අදහසක් වුවද මෙයට ඇතුළත් විය හැකිය. විචල්‍ය සේවා කාල, නිවසේ සිට වැඩ කිරීම වැනි මෑතකාලීන සංකල්ප උදාහරණයි. එහෙත්, බොහෝ විට තාක්ෂණ දියුණුව සිදුවන්නේ නව නිර්මාණ හරහාය. ඒ නිසා තාක්ෂනය දියුණු කිරීමට කිසියම් රටක් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කටයුතු වල ආයෝජනය කළ යුතුය.

නිෂ්පාදන සාධක නිසා සිදුවන ආර්ථික වර්ධනයේත්, තාක්ෂනය නිසා සිදුවන ආර්ථික වර්ධනයේත් එක් විශේෂ වෙනසක් තිබේ. නිෂ්පාදන සාධක එක් රටකින් වෙනත් රටකට සම්ප්‍රේෂණය වූ විට ඒවා මුල් රටට අහිමි වේ. උදාහරණයක් ලෙස ලංකාවේ තිබුණු කර්මාන්ත ශාලාවක් මැලේසියාවට ගෙන ගියොත් හෝ එය ලංකාවට අහිමි වේ. එහෙත්, මැලේසියාවේ ඇති කිසියම් තාක්ෂණයක් ලංකාවට පැමිණීම නිසා මැලේසියාවට එය අහිමි නොවේ. ඒ නිසා, කිසියම් රටක් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කටයුතු වල ආයෝජනය කර තාක්ෂනය වැඩි දියුණු කළ විට අනෙක් රට වලටද එහි වාසිය ලැබේ. 

ඉහත වාසිය වැඩිපුරම තිබෙන්නේ තාක්ෂනය අතින් පසුගාමී, අඩු ආදායම් ලබන රටවලටය. එවැනි රටවලට දියුණු රටවල තාක්ෂනය ලබාගැනීමෙන් වසරක් තුළ කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩි කරගැනීමට හැකියාව තිබේ. ජපානය, කොරියාව හා සිංගප්පූරුව වැනි රටවල ආර්ථිකයන් එක් කාලයක් තුළ ඉතා වේගයෙන් වර්ධනය වුනේ මෙසේ දියුණු රටවල් අනුගමනය කරමින් කෙටි කලක් තුළ කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ බැවිනි.

එහෙත්, ඉහත රටවල ආර්ථිකයන් දියුණු වීමෙන් පසුව දැන් පෙර මෙන් වේගයෙන් එම ආර්ථිකයන් වර්ධනය නොවේ. ඒ, තාක්ෂනය අතින් ඉදිරියටම පැමිණ සිටින රටවලට තාක්ෂනය පහසුවෙන් ලබා ගන්නට පුරෝගාමීන් නැති නිසාය. එසේ පෙරමුණට පැමිණි රටවලට පර්යේෂණ හා වැඩි දියුණු කිරීම් වල ආයෝජනය කරමින් තමන් විසින්ම තාක්ෂනය දියුණු කරගන්නට සිදු වේ. සංවර්ධිත රටවල් වල ආර්ථිකයන් සංවර්ධනය නොවූ රටවල් වල ආර්ථිකයන් තරම් වේගයෙන් වර්ධනය නොවන්නේ ඒ නිසාය.

කෙසේ වුවද, තාක්ෂනය හේතුවෙන් කිසියම් රටක ආර්ථිකය දිගුකාලීනව ආසන්න ලෙස නිශ්චිත වේගයකින් වර්ධනය වුවත් මෙය ඒකාකාරී ලෙස සිදු නොවේ. ඕනෑම රටකට වරින් වර ආර්ථික අවපාත වලට මුහුණ දෙන්නට සිදු වේ. පසුව මේ ආර්ථිකයන් ටික කලක් වේගයෙන් වර්ධනය වී නැවත මුල් තත්ත්වයටම පැමිණෙන නමුත් මෙසේ කෙටිකාලීනව සිදුවන ආර්ථික වර්ධනයේ උච්චාවචනයන් නිෂ්පාදන සාධක වල හෝ තාක්ෂණයේ සිදුවන වෙනස්කම් වලින් පැහැදිලි කළ නොහැකිය. ආර්ථිකයේ මේ කෙටිකාලීන වෙනස්වීම් ව්‍යාපාර චක්‍ර (business cycles) ලෙස හැඳින්වේ.

ව්‍යාපාර චක්‍ර පිළිබඳ කේන්සියානු දැක්ම වන්නේ කිසියම් රටක සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම අසමතුලිතවීම ව්‍යාපාර චක්‍ර වලට හේතු වන බවයි. මේ අදහස අනුව ආර්ථික අවපාතයක් ඇතිවීම පහත පරිදි විස්තර කළ හැකිය.

රටක නිෂ්පාදන සාධක හා තාක්ෂනය තිබෙන ප්‍රමාණය අනුව කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය. එහෙත්, කවර හෝ හේතුවක් නිසා රටේ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම මෙසේ නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණයට වඩා අඩු වී තිබේ. (කවර හෝ කියා කියන්නේ මේ හේතු විස්තර කරන්නට ගොස් කතාව වඩා සංකීර්ණ කළ යුතු නැති නිසාය.) සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදන ශක්‍යතාවයේ තරමට නිෂ්පාදනය කළොත් එම භාණ්ඩ හා සේවා විකුණා ගන්නට නොහැකිව පාඩු ලබන්නට සිදු වේ. ඒ නිසා, ඔවුන් නිෂ්පාදනය කරන්නේ අඩුවෙනි. ඇතැම් සමාගම් වැසී යයි. තවත් සමාගම් වලට සේවකයින් අඩු කිරීමට සිදු වේ. එවිට රටේ නිවාස ඒකක වල ආදායම් තවත් අඩු වී සමස්ත ඉල්ලුම තවත් අඩුවේ. අසමතුලිතතාවය තවත් වැඩි වේ. ඉල්ලුම අඩු නිසා භාණ්ඩ හා සේවා මිල අඩුවී උද්ධමනය අඩු වෙයි. ඇතැම් විට අවධමනයක් ඇති වේ. මේ නිසා සමාගම් වල ලාභ තවත් අඩුවී තවත් සමාගම් වැසී විරැකියාව ඉහළ යයි.

ඇතැම් විට මෙහි අනිත් පැත්තද සිදු වේ. එනම්, රටේ සමස්ත ඉල්ලුම රටේ ශක්‍ය නිෂ්පාදන ධාරිතාව ඉක්මවයි. එවිට, සැපයුමට වඩා ඉල්ලුම වැඩි නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වේ. මේ කතා කරන්නේ මුදල් සැපයුම වැඩි වීම නිසා දිගුකාලීනව උද්ධමනය වැඩි වීමට අමතරව කෙටිකාලීනව සිදුවන සංද්ධියක් ගැනය. ඉහළ මිල ගණන් හා අධික පාරිභෝගික ඉල්ලුම නිසා ධෛර්යමත් වන සමාගම් දැනට සිටින සේවකයින්ට අතිකාල ගෙවමින් හා අලුත් සේවකයින් බඳවා ගනිමින් වැඩිපුර නිෂ්පාදනය කිරීමට පෙළඹේ. එවිට නිවාස ඒකක වල ආදායම් ඉහළ යාමෙන් ඉල්ලුම තවත් වැඩි වේ. විරැකියාව පහළ යද්දී උද්ධමනය ඉහළ යයි. ආර්ථිකය ශක්‍ය මට්ටමට වඩා වැඩියෙන් වර්ධනය වෙයි. බැලූ බැල්මට මෙය හොඳ තත්ත්වයක් මෙන් පෙනුණත් එක්තරා ආකාරයක තාවකාලික අසමතුලිතතාවයක් නිසා සිදුවන්නක් බැවින් ආර්ථිකය කොයි වෙලාවේ හෝ කඩා වැටී නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණේ. මෙවැනි ඕනෑවට වඩා වැඩි ආර්ථික වර්ධනයක් බොහෝ විට කෙළවර වන්නේ විශාල ආර්ථික අවපාතයකින් නිසා මේ තත්ත්වයද සැලකෙන්නේ වලක්වාගත යුතු තත්ත්වයක් ලෙසිනි.

කේන්ස් විසින් යෝජනා කළේ ව්‍යාපාර චක්‍ර වල හානිය අවම කර ගැනීමට රජය ආර්ථිකයට මැදිහත් විය යුතු බවයි. මේ අදහස ලොව පුරා දේශපාලනඥයින් විසින් ඉතා කැමැත්තෙන් වැළඳගත්තේය. අද වන විට ලෝකයේ හැම රටක්ම වාගේ අඩු වැඩි වශයෙන් මේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති පිළිපදී.

මේ අදහස අනුව, රටේ සමස්ත ඉල්ලුම විභව නිෂ්පාදනය ලෙස හැඳින්වෙන ආර්ථිකයේ සාමාන්‍ය නිෂ්පාදන ශක්‍යතා මට්ටමට වඩා පහළ ගිය විට රජය හෝ මහා බැංකුව මැදිහත් වී සමස්ත ඉල්ලුම වැඩි කර එය සමස්ත සැපයුම සමඟ ගැලපිය යුතුය. රජය විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති (fiscal policy) ලෙසත් මහ බැංකුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග මුදල් ප්‍රතිපත්ති (monetary policy) ලෙසත් හැඳින්වේ.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලට අයත් වන්නේ රජය විසින් සහනාධාර ආදිය හරහා නිවාස ඒකක වෙත කිසියම් අයුරකින් මුදල් සම්ප්‍රේෂණය කිරීම හා බදු අඩු කිරීමයි. එවිට, නිවාස ඒකක සතු අරමුදල් ඉහළ යන නිසා සමස්ත ඉල්ලුම වැඩි වනු ඇති බව අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, මෙය කරන විට රජයේ ආදායම් පහළ ගොස් වියදම් වැඩි වන නිසා අයවැය හිඟයක් ඇති වේ. ඒ නිසා, මෙය සමනය කර ගැනීමට ආර්ථික අවපාතය අවසන් වූ පසු පෙර මට්ටමටත් වඩා සහනාධාර කැපීමත්, බදු වැඩි කිරීමත් කරන්නට සිදු වේ. එසේ නොකළහොත් නැවත ආර්ථික අවපාතයක් ඇති වූ විට රජයට සම්පත් හිඟයකට මුහුණ දෙන්නට සිදු වේ.

මුදල් ප්‍රතිපත්ති වලට අයත් වන්නේ මහා බැංකුව විසින් රටේ මුදල් සැපයුම වැඩි කර නිවාස ඒකක සතු අරමුදල් ඉහළ යැවීමයි. මෙය ප්‍රධාන වශයෙන්ම කරන්නේ පොලී අනුපාතික පහළ දැමීම මඟිනි. තවත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගණනාවක් තිබේ. 

පොලී අනුපාතික පහළ ගිය විට ඉතිරිකිරීම් අධෛර්යමත් වන අතර ණය ගැනීම් ඉහළ යයි. ඒ නිසා, නිවාස ඒකක වල වැඩිපුර අරමුදල් රැඳේ. මේ හේතුවෙන් සමස්ත ඉල්ලුම වැඩි වී මිල මට්ටම් ඉහළ යයි. එවිට සමාගම් නැවතත් දිරිමත් වන නිසා නිෂ්පාදනය නැවත ඉහළ යයි. කෙසේ වුවද, නිෂ්පාදනය ශක්‍ය මට්ටමට පැමිණි විට මහ බැංකුව විසින් මෙම ක්‍රියාවලිය ආපසු හරවා එළියට දැමූ අමතර මුදල් ආපසු එකතු කර නොගතහොත් උද්ධමනය පාලනය කරගත නොහැකි තරමට ඉහළ යයි. මේ සඳහා පොලී අනුපාතික ඉහළ දමන්නට සිදුවේ.

ඉහතින් විස්තර කළ පරිදි ව්‍යාපාර චක්‍ර වල බලපෑම අඩු කිරීම සඳහා රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මඟින් කලයුත්තේ ප්‍රති චක්‍රයක් ක්‍රියාත්මක කිරීම වුවත් ප්‍රායෝගිකව රජයයන් හා මහ බැංකු විසින් වැඩිපුර උනන්දු වන්නේ චක්‍රයේ පළමු කොටස ක්‍රියාත්මක කිරීමට පමණි. එමෙන්ම ලංකාව වැනි රටවල රජයයන් විසින් නිවාස ඒකක වෙත මුදල් සම්ප්‍රේෂණය කරනවා වෙනුවට කරන්නේ රජය විසින්ම සෘජුව වියදම් කිරීමයි. ඇත්තටම එහිදී වෙන්නේත් රටේ කිසියම් නිවාස ඒකක ටිකකට මුදල් සම්ප්‍රේෂණය වීමකි. 

රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති චක්‍ර වල පළමු කොටස ආණ්ඩු වල ජනප්‍රියතාවයට හේතු වන නමුත් දෙවන කොටස එසේ නොවේ. ඒ නිසා, එළියට මුදල් දමන තරමට රජය හෝ මහබැංකුව විසින් මුදල් ආපසු ඇතුළට ගන්නේ නැත. මෙහි ප්‍රතිඵලය රජයේ අයවැය හිඟය දිගටම පැවතීමයි හා මුදල් සැපයුම එන්න එන්නම වැඩි වීමයි. දිගින් දිගටම පවතින අයවැය හිඟයක් අවසාන වශයෙන් පියවෙන්නේද මහබැංකුවේ මුදල් වලින් නිසා මෙවැනි තත්ත්වයක අවසාන ප්‍රතිඵලය උද්ධමනය දිගටම ඉහළ මට්ටමක පැවතීම හා විණිමය අනුපාතිකය එන්න එන්නම දුර්වල වීමයි. රුපියල ඩොලරයට සාපේක්ෂව හැම වසරකම වාගේ අවප්‍රමාණය වීමට මෙය ප්‍රධාන හේතුවකි.

(Image: https://www.slideshare.net)

Tuesday, August 1, 2017

ලාංකිකයින් වෛද්‍ය උපාධි ගන්නේ කුමන සරසවි වලින්ද?


සෑම වසරකම විදේශ උපාධිධාරී වෛද්‍යවරුන් විශාල පිරිසක් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර ලංකාවේ වෛද්‍ය වෘත්තියට ඇතුලත් වෙති. මේ සිසුන් අධ්‍යාපනය ලබන්නේ ගුණාත්මක භාවය අතින් කොතැනක ඇති සරසවි වලද? ඒ වෙනුවෙන්, ඔවුන් කොපමණ මුදලක් වැය කරවනවාද?

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දත්ත අනුව, 2005-2010 අතර ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කළ විදේශ උපාධිධාරීන්ගෙන් 61%ක්ම ඔවුන්ගේ වෛද්‍ය උපාධි ලබාගෙන තිබුණේ වෛද්‍ය පීඨ අටකිනි. මේ අටෙන් පහක්ම රුසියන් සරසවි වල වෛද්‍ය පීඨ වන අතර ඉතිරි තුන බංග්ලාදේශ, නේපාල් හා ඉන්දියානු සරසවි වලට අනුබද්ධ වෛද්‍ය පීඨයි.

පහතින් ඇත්තේ මෙසේ ශ්‍රී ලාංකික සිසුන් වැඩිම පිරිසක් වෛද්‍ය උපාධි ලබාගන්නා විදෙස් වෛද්‍ය පීඨ හා ඒ සඳහා වැය කරන මුදලයි. සරසවි ලැයිස්තුගත කර ඇත්තේ 2005-2010 අතර වැඩිම සිසුන් පිරිසක් වෛද්‍ය උපාධි ලබා ලංකාවට පැමිණි අනුපිළිවෙළ අනුවය.

1.  KURSK STATE MEDICAL UNIVERSITY (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 136 ( මුළු සිසුන් ගණනින් 12.6% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 51%
webometrics ශ්‍රේණිගත කිරීම- 10,016
4icu.org ශ්‍රේණිගත කිරීම- 6,492
වසර හයක වියදම- ඩොලර් 37,200 (මෙයට පාඨමාලා ගාස්තු, නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ඇතුළත්ය.)
මූලාශ්‍රය: http://www.kurskeducation.com/fees-structure

2. University of Science and Technology Chittagong (BANGLADESH)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 122 ( මුළු සිසුන් ගණනින් 11.3% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 47%
webometrics ශ්‍රේණිගත කිරීම- 10,359
4icu.org ශ්‍රේණිගත කිරීම- 5,722
වසර හයක වියදම- ඩොලර් 35,900 (පාඨමාලා ගාස්තු හා පීඨයට ගෙවන අනෙකුත් ගාස්තු පමණි. නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ආදිය ඇතුළත් නැත.)
මූලාශ්‍රය: http://ustc.virtualdesignbd.com/index.php/article/load/94

3.  Nizhny Novgorod STATE MEDICAL ACADEMY (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 96 ( මුළු සිසුන් ගණනින් 8.9% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 44%
webometrics ශ්‍රේණිගත කිරීම- 7,153
4icu.org ශ්‍රේණිගත කිරීම- 5,809
වසර හයක වියදම- ඩොලර් 37,620 (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ඇතුළත්ය.)
මූලාශ්‍රය: https://static.secure.website/wscfus/193394/5607696/mbbs-in-russia-nizhny-novgorod-state-medical-university.pdf

4. Manipal College of Medical Sciences (NEPAL)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 76 ( මුළු සිසුන් ගණනින් 7.0% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 71%
webometrics ශ්‍රේණිගත කිරීම-
15,862
4icu.org ශ්‍රේණිගත කිරීම- සොයාගත නොහැකි විය.  
වසර හයක වියදම- ඩොලර් 75,000 (පාඨමාලා ගාස්තු පමණි.)
මූලාශ්‍රය: https://www.manipal.edu.np/mcoms/admission/fee-structure.html

5.  People's Friendship University (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 66 ( මුළු සිසුන් ගණනින් 6.1% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 70%
webometrics ශ්‍රේණිගත කිරීම- 2,178
4icu.org ශ්‍රේණිගත කිරීම- 1,217
වසර හයක වියදම- ඩොලර් 54,300 (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ඇතුළත්යැයි සිතමි. පාඨමාලා ගාස්තු පමණක් ඩොලර් 47,400කි.)
මූලාශ්‍ර: http://www.ruseducation.in/peoples-friendship-university-of-russia.html, http://www.rudn.ru/en_new/?pagec=1362

6. Manipal University (INDIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 64 ( මුළු සිසුන් ගණනින් 5.9% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 58%
webometrics ශ්‍රේණිගත කිරීම- 1,681
4icu.org ශ්‍රේණිගත කිරීම- 1,654
වසර හයක වියදම- ඩොලර් 207,700 (පාඨමාලා ගාස්තු පමණි.)
මූලාශ්‍රය: https://manipal.edu/mu/admission/international-students/undergraduate-admissions0/course-fee.html

7. St. Petersburg State Medical University (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 51 ( මුළු සිසුන් ගණනින් 4.7% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 34%
webometrics ශ්‍රේණිගත කිරීම-  සොයාගත නොහැකි විය.
4icu.org ශ්‍රේණිගත කිරීම- සොයාගත නොහැකි විය.
වසර හයක වියදම- ඩොලර් 28,220 (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම්, වෛද්‍ය රක්ෂණ ගාස්තු හා තවත් අමතර ගාස්තු කිහිපයක් ඇතුළත්ය.)
මූලාශ්‍ර: http://www.medstudies.org/mechnikov/

8. Tver State Medical University (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 49 ( මුළු සිසුන් ගණනින් 4.5% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 35%
webometrics ශ්‍රේණිගත කිරීම-  12,969
4icu.org ශ්‍රේණිගත කිරීම- 4,838
වසර හයක වියදම- ඩොලර් 30,700 පමණ (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම්, වෛද්‍ය රක්ෂණ ගාස්තු හා තවත් අමතර ගාස්තු කිහිපයක් ඇතුළත්ය.)
මූලාශ්‍ර: http://www.medstudies.org/mechnikov/


(Image: http://gmfadmission.in/mbbs-in-abroad/)