Friday, November 18, 2016
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (එකොළොස්වන කොටස)
මේ තත්ත්වයට වෙන්දේසියට ඉදිරිපත්වන ආයතනයක් මුහුණ දෙන්නේ කෙසේද?
මෙහිදී, ලන්සුකරුවන්ට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ.
1. ඔවුන්ට අනෙක් තරඟකරුවන්ට සාපේක්ෂව උපාය මාර්ගික වීමෙන් වැඩි ලාභයක් ලැබිය හැකිය. මෙහිදී, වඩාත්ම උපායමාර්ගික වූ ආයතනය ලාභ ලබයි. අනෙකුත් ආයතන වලට පාඩු සිදුවේ. තරඟකරුවන් අතර සිදුවන උපාය මාර්ගික ක්‍රීඩාවේ ප්‍රතිඵලය ලෙස රජයට උපරිම වාසියක් ලැබේ. මෙය පසුගිය ලිපිය සමඟ ඉදිරිපත් කළ වගු වලින් පෙනෙන ආකාරයේ තත්ත්වයකි.
2. ඔවුන්ට එකතු වී කාටලයක් ලෙස ක්‍රියා කළ හැකිය. මෙහිදී, සැපයුම්කරු වන රජයේ (සහ එහි නියෝජිතයා ලෙස කටයුතු කරන මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ) ඒකාධිකාරයට එරෙහිව ඉල්ලුම්කරුවන් විසින් කණ්ඩායමක් ලෙස එකතු වී ප්‍රති-ඒකාධිකාරයක් ගොඩ නඟයි. එවිට ඇති වන්නේ මේ ඒකාධිකාර දෙක අතර ද්වන්ධ සටනකි. මෙවැනි තත්ත්වයක් යටතේ මිල තීරණය වන්නේ වඩා නොඉවසිලිමත් (impatient) වන්නේ කුමන පාර්ශ්වයද යන කරුණ මතයි. බොහෝ විට සල්ලි හදිස්සිය තියෙන්නේ රජයට නිසා රජයට වැඩි පොලියක් ගෙවන්නට සිදුවන්නට ඉඩ තිබේ. එමෙන්ම, ඔවුන්ට ප්‍රාථමික වෙන්දේසියට සහභාගී වීමේ හැකියාවක් නැති තනි පුද්ගලයින් හා අනෙකුත් සමාගම් වෙතද සිය ඒකාධිකාරය පවත්වා ගැනීමෙන් ලාභ ලැබිය හැකිය.
3. වෙන්දේසියට ක්‍රියාශීලී ලෙස සහභාගී නොවී හෝ එය මඟ හැර සිටිය හැකිය.
ඇත්තටම සිදුවන්නේ මේ තුනේම මිශ්‍රණයකි.
මේ තත්ත්වය තේරුම් ගැනීමට අපි මේ කරුණු එකින් එක සලකා බලමු. ඊට පෙර අපි මේ තීරණ ගන්නේ මොන වගේ පුද්ගලයින්ද කියා විමසා බැලිය යුතුය.
ලංකාවේ ප්‍රාථමික ගණුදෙනුකාර සමාගම් පහළොවකි. මේ සමාගම් වලින් අටක් ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි බැංකුවකට සම්බන්ධය. ඉතිරි හත එවැනි සම්බන්ධයක් නැති පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වැනි තනි සමාගම්ය. මෙවැනි තනි ප්‍රාථමික ගණුදෙනුකාර ආයතනයක සාමාන්‍යයෙන් සේවය කරන්නේ ඉතා සුළු සේවක පිරිසකි. එය මේ කර්මාන්තයේ ස්වභාවයයි. ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව වැනි ආයතනයක රට පුරා ඇති ශාඛා වල ඉතා විශාල සේවක පිරිසක් හිටියත්, එම බැංකු වල භාණ්ඩාගාර ඒකකයේ සේවය කරන්නේ සීමිත පිරිසකි. බැංකුවකට එවැනි ඒකක ඇත්තේ එකකි. මෙවැනි භාණ්ඩාගාර ඒකකයක් තනිව ගත් කළ ප්‍රාථමික ගණුදෙනුකාර සමාගමකට සමහර කරුණු අතින් සමානය.
ප්‍රාථමික වෙන්දේසියට ඉදිරිපත් වීමට අමතරව ප්‍රාථමික ගණුදෙනුකාර සමාගම් හා බැංකු වල භාණ්ඩාගාර ඒකක එදිනෙදා බොහෝ විට නිරතව සිටින්නේ ද්වීතියික වෙළදපොළ කටයුතු වලය. මේ ද්වීතියික වෙළදපොළ ගනුදෙනු වලින් විශාල ප්‍රමාණයක් සිදුවන්නේ ඔවුනොවුන් අතරය. මෙසේ කිරීමේදී, මේ සීමිත ආයතන කිහිපයේ සේවය කරන සීමිත පුද්ගලයින් පිරිසට එකිනෙකා හා දුරකථනයෙන් කතා කරන්නට සිදුවේ. ඒ හරහා ඔවුහු පෞද්ගලික දැන හැඳුනුම්කම්ද ගොඩනඟා ගනිති. මේ අනුව, මේ අය එක්තරා සංවෘත සමූහයකි. ඒ සංවෘත සමූහය තුළ තවත් කුඩා කල්ලි ආදියද නැතුවා නොවේ.
සුරැකුම්පත් ගණුදෙනු වල නිරත වන අයට බොහෝ විට ඔවුන් ලබන ලාභ අනුව කොමිස් මුදලක් ලැබේ. එමෙන්ම, එක දිගට පාඩු ලබන ගණුදෙනුකරුවෙකුට (Dealer) රස්සාව නැති වීමේ ඉඩකඩක්ද තිබේ. මෙසේ රස්සාව නැති වුණොත් ඔවුන්ට නැවත රස්සාවක් හොයාගන්නට වෙන්නේද මේ ආයතන වලින් එකකමය. ලොකු පාඩුවක් ලබා රස්සාව නැති කරගත් විට වෙනත් තැනක රස්සාවට යාමද පහසු නැත. එමෙන්ම, වැඩිපුර ලාභ ලබන අයෙකුට වෙනත් ආයතන වලින් රැකියා පිරිනැමීමද සිදුවිය හැක්කකි. ඇතැම් විට ප්‍රධාන බැංකුවක ප්‍රධාන ගනුදෙනුකරු (Chief Dealer) එයින් ඉවත්ව තමන්ගේම ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් පටන්ගන්නට වුවත් ඉඩ තිබේ.
මෙකී නොකී කරුණු ඉදිරිපත් කරමින් ඉකොනොමැට්ටා වටින් ගොඩින් එන්නට හදන්නේ උඩින් ලියූ පළමු ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් මේ ආයතන එකිනෙකා සමඟ තරඟ කිරීමේ ඉඩකඩ එතරම් විශාල නොවන බව කියන්නටයි. අද එක ආයතනයක සේවය කරන අයෙකු හෙට වෙනත් තැනකට යන්නට ඉඩ ඇති නිසාත්, මේ අය බොහෝ විට සමාජ ජීවිතයේදී එකට හමුවන නිසාත් ආයතන අතර තරඟය ඉක්මවා බොහෝ විට මානුෂීය සම්බන්ධතා මතු වෙයි. මේ අනුව, දිගින් දිගටම පාඩු ලබා රස්සාව නැති කරගන්නට යන සගයෙකුට ලාභ පෙන්වීමට උදවු වීමට වෙනත් අයෙකු පාඩු ලබමින් ගණුදෙනුවක් කිරීම වුවත් සිදුවන්නට නොහැකි දෙයක් නොවේ. ඒ වගේම, තමන්ගේ ආයතනයේ අතිරික්ත ද්‍රවශීලතාවයක් (ආයෝජනයකට යෙදවිය හැකි, වෙනත් යමකට හිර වී නැති අරමුදල්) නොමැති විටක දක්නට ලැබෙන ලාභ ලැබීමේ අවස්ථාවක් ගැන වෙනත් ආයතනයක සේවය කරන සගයෙකුට දැනුම් දෙන්නට ඉඩ තිබේ. මෙය වෙනත් බොහෝ වෘත්තීන්ටද පොදු තත්ත්වයකි.
ප්‍රාථමික ගනුදෙනුකරුවෝ බොහෝ විට පොදු වාසි තකා කණ්ඩායමක් ලෙස කටයුතු කරති. එහෙත්, මෙහි ව්‍යතිරේඛ තිබේ. ප්‍රාථමික වෙන්දේසියට ඉදිරිපත් වීමේ හිමිකම ඇති සේවක අර්ථසාධක අරමුදල පාලනය කරන්නෝ මහ බැංකු සේවකයෝය. මා දන්නා තරමින් ඔවුන්ට ඔවුන්ගේ ලාභ මත කොමිස් මුදලක් නොලැබේ. එමෙන්ම, ඔවුන් දිගටම පාඩු ලැබුවද රැකියාව නැති වීමේ අවදානමක් නැත. රාජ්‍ය බැංකු වලද මේ රැකියාව නැතිවීමේ අවදානම නැති තරම්ය. ඔවුන්ටද කොමිස් මුදලක් ලැබෙන්නේදැයි මා දන්නේ නැත. ලැබුණත් එය වෙනත් පෞද්ගලික සමාගම් වල මට්ටමේ නැති බව මගේ අදහසයි. (මේ කරුණු ගැන මා යාවත්කාලීන නැති නිසා හරියටම කිව නොහැක). ඒ නිසා, විශාල ප්‍රාග්ධනයක් හා ආයෝජන හැකියාවක් ඇති රජයට සම්බන්ධ මේ ආයතන අනෙකුත් ආයතන මතුපිටට නොපෙනෙන පරිදි එකතු වී කාටලයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව සීමා කරයි.
ඉහත කරුණු වලට අමතරව මේ ආයතන අතර ඔවුන්ගේ අරමුදල් වල ආවස්ථික පිරිවැයේ වෙනස්කම්ද තිබේ. ප්‍රාථමික වෙළෙන්දෙකුට ලාභ ලැබිය හැක්කේ සුරැකුම්පතක් මිලදී ගත් මිලට වඩා වැඩියෙන් වෙනත් අයෙකුට විකිණීමෙනි. එසේ නැත්නම් තමන් සතුව තබාගෙන කල් පිරුණු විට ලබන පොලී ආදායමෙනි. මොවුන් සතුව ඇත්තේ සීමිත ප්‍රාග්ධනයක් නිසා අරමුදල් සොයා ගැනීමට ඔවුන්ට තනි පුද්ගල හෝ ආයතනික පාරිභෝගිකයින් අවශ්‍ය වේ. මෙවැනි අරමුදල් හිමිකරුවෙකුට තෝරා ගැනීමට ප්‍රාථමික වෙළෙන්දන් ගණනාවක් සිටින නිසා ඔවුන් වෙනුවෙන් සුරැකුම්පත් ගණුදෙනු කිරීමේදී වැඩි කොමිස් මුදලක් තබා ගැනීම පහසු නැත. ඔවුන්ට අරමුදල් ලැබෙන්නේ ද්වීතියික වෙළදපොල මිලට ඉතාම ආසන්නවය. මේ නිසා ප්‍රාථමික වෙළෙන්දෙකුට සිය ලාභ වැඩි කර ගැනීමට විශාල මහන්සියක් දරන්නට සිදුවේ. ඒ නිසා, ඔවුන් පොලී අනුපාතික වල සුළු වෙනසකට පවා ඉතා සංවේදීය.
අනෙක් අතට, සේවක අර්ථසාධක අරමුදලට කිසිදු මහන්සියක් නැතිව නිශ්චිත අරමුදල් ප්‍රමාණයක් එකතුවේ. ලැබෙන පොලිය අඩුවුණා කියා කිසිවෙකුට තමන්ගේ අර්ථසාධක අරමුදල් බැහැර ගෙනයා නොහැක. මේ අරමුදල් හිමිකරුවන්ට මහ බැංකුව විසින් ගෙවන පොලී අනුපාතික භාර ගනු හැර වෙන කළ හැකි දෙයක් නැත. ඒ නිසා, සිය ආයෝජන වෙනුවෙන් ලැබෙන පොලී අනුපාතික වෙනස් වුනා කියා අර්ථසාධක අරමුදල මෙහෙයවන්නන්ට බලපෑමක් නොවේ.
වාණිජ බැංකු වලට ඇත්තේ මේ දෙකේ අතරමැදි තත්ත්වයකි. ඔවුන් අරමුදල් රැස්කරගන්නේ රාජ්‍ය සුරැකුම්පත් ඉල්ලා සිටින පාරිභෝගිකයින්ගෙන්ම නොවේ. බොහෝ විට තැන්පතුකරුවන්ගෙනි. මේ තැන්පතු පොලී විශාල ලෙස අඩු කළහොත් පාරිභෝගිකයින් වෙනත් බැංකුවකට යන්නට ඉඩ තිබේ. එහෙත්, සාමාන්‍යයෙන් බැංකු තමන්ගේ අරමුදල් සඳහා දරන ආවස්ථික පිරිවැය වන බැංකු පොලිය රාජ්‍ය සුරැකුම්පත් වලින් ලැබිය හැකි පොලියට වඩා අඩුය. උදාහරණයක් ලෙස ජංගම ගිණුම් ශේෂ මත පොලියක් ගෙවන්නේම නැත.
ඉහත වෙනස්කම් නිසා සේවක අර්ථ සාධක අරමුදලට සහ බැංකු වලට, විශේෂයෙන්ම රාජ්‍ය බැංකු වලට සුරැකුම්පත් වෙන්දේසියට සහභාගී වී පාඩු විඳීමේ අවදානම ගන්නට එතරම්ම අමාරු නැත. එහෙත්, ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට එය කිරීම වඩා අසීරුය.
තෙවන විකල්පයද ඇතැම් ආයතන විසින් ප්‍රායෝගිකව අනුගමනය කරන එකකි. කෙසේ වුවද, එය කළ හැක්කේ රුපියල් මිලියන සීයේ අවම සීමාවට යටත්වය.
(මතු සම්බන්ධයි)
6 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
මෙන්න මේ දෙවන හේතුව නිසා තමයි මම පෙර ලිපියක කිව්වේ ඇමරිකාවේ ක්‍රමය වගේ ආන්තික මිලට හැමෝටම දෙන ක්‍රමය ලංකාවට ගැලපෙන්නේ නැහැ කියල හැමෝටම වෙළඳපල විවෘත කරන්නේ නැතිනම්.
ReplyDeleteඔබ මතු කරන තර්කයට පදනමක් තියෙනවා. ඒ නිසා, මට එයට එකඟව හෝ එරෙහිව බරපතල ලෙස පෙනී සිටින්න බැහැ. මෙය න්‍යාය ඇසුරින් පමණක් හෝ තර්කනයෙන් පමණක් තීරණය කළ නොහැකි, පසුගිය කාලයේ වෙළඳපොළ දත්ත ගැඹුරු ලෙස හැදෑරීමෙන් (empirically) පමණක් හරියටම තීන්දුවක් දිය හැකි කරුණක්. වෙනත් අයුරකින් කිවුවොත් මේ අයගේ ඒකාධිකාරයේ විශාලත්වය (market power) පිළිබඳ ප්‍රමාණාත්මක (quantitative) ප්‍රශ්නයක්. ඒ නිසා, අපි දැනට හැම පැත්තක් ගැනම විවෘතව සිටිමින් මේ විමසුම කරමු.
Deleteඔව්. මමත් කියන්නේ අනිවාර්යයෙන් එහෙම වෙනවා කියන එක නෙමෙයි. එහෙම වෙන්න ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් ලංකාව වගේ අයියා මල්ලි සංස්කෘතිය තියෙන හැමෝම හැමදෙනාම එකිනෙකා අඳුනන පරිසරයක් තියෙන රටක.
Deleteආන්තික මිලටම විකුනනව. නමුත් ලන්සු තබන ලද අගය Standard Dev. එකේ අනුපතය අනුව distribustion (Z) එක සිද්ද වෙන විදිහට සූත්‍රයක් හදල ඕක විසඳන්ඩ පුළුවන්.
Deleteනමුත් ඕකේ පැන නගින ගැටළු උසාවි ගියාම 11 වසරෙන් පසුව නිකමටවත් Statistics ඉගෙන ගත්තු නැති අම්මන්ඩියෙකුට තනි තීරන ගන්ඩ බරි විදිහට නීතිත් හදන්ඩ ඕනේ. එහෙම නොවුනොත් z-score වගේ විහිළුවට ලක් වෙනව
ඉතිරි කොටස් තවම මගද?
ReplyDeleteමෙය අපට දීර්ඝ සති අන්තයක්, ඇනෝ. පෞද්ගලික සහ වෘත්තීයමය වැඩ කටයුතු දෙකක හිර වී සිටින නිසා බ්ලොග් වෙනුවෙන් කාලය යොදවන්න තරමක් අපහසුයි. දින කිහිපයකින් ඉතිරි කොටස් වලට එනවා.
Delete