Sunday, October 29, 2017

ආර්ථික විද්‍යාව වඩා මානුෂික කළ රිචඩ් තේලර්


මෙයට දශක දෙකකට පමණ පෙර ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනු ප්‍රමුඛ අපේක්ෂිකාවගේ උද්‍යෝග පාඨය වූයේ ධනවාදයට මානුෂික මුහුණුවරක් දීමයි. මෙමඟින් ඈ විසින් ජනගත කළ අදහස වූයේ ධනවාදය මානුෂික නොවන බවයි.

ධනවාදය අමුතුවෙන් මානුෂික කරන්නට අවශ්‍ය නැත. ධනවාදයේ පදනමම මානුෂික වීමයි. එය "වඩා හොඳ" සමාජයක් තැනීමේ අරමුණින් මිනිස් ස්වභාවය කෘතීම ලෙස වෙනස් කරන්නට උත්සාහ කරන අමානුෂික ක්‍රමයක් නොවේ. මිනිස් ස්වභාවය හඳුනාගනිමින් එයට ඉඩදෙන ක්‍රමයකි.

ඉහත අපේක්ෂිකාවට එම උද්‍යෝග පාඨය ඉදිරිපත් කරන්නට වුනු පසුබිම තේරුම් ගැනීමට අපහසු නැත. නිදහසින් පසු මාරුවෙන් මාරුවට ලංකාව පාලනය කළ සමාජවාදී ආණ්ඩු විසින් ප්‍රචලිත කර තිබුණේත්, තවමත් ප්‍රචලිත කරන්නේත් එම අදහසයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හා කලා කෘති ආදිය හරහා ජනගත කරන ප්‍රමුඛ මතයද එයයි.

ලංකාවේ සමාජවාදී ආණ්ඩු වලට ප්‍රතිසංස්කරණ නොකර තව දුරටත් ඉදිරියට යන්නට නොහැකි මට්ටමට ආර්ථිකය වරින් වර බිඳ වැටෙන විට ඇතැම් ධනවාදී ප්‍රතිසංස්කරණ ගෙන ආවත් ආර්ථිකයේ රාජ්‍ය මූලික මධ්‍යගත සැලසුම් ස්වභාවය මේ දක්වාත් එසේම පවතී. ජේ ආර් ජයවර්ධන විසින් නොකරම බැරි නිසා ආර්ථිකය යම් තරමකින් විවෘත කළත් එහි රාජ්‍ය මූලික ස්වභාවය හැත්තෑ හතේදී තබා අද දක්වාත් වෙනස් වී නැත.

ජේ ආර් විසින් හඳුන්වාදුන් සීමිත ප්‍රතිසංස්කරණ හේතුවෙන් වුවද ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත්තේය. මේ සීමිත ප්‍රතිසංස්කරණ වලට පවා මුලදී විරෝධය දැක්වූ ශ්‍රීලනිපයට දශක දෙකක් පමණ විපක්ෂයේ සිටීමෙන් පසු තව දුරටත් සිය පක්ෂයේ යල් පැනගිය ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යා නොහැකි බව අවබෝධ වී තිබුණේය.

ඉහත සඳහන් කළ ජනාධිපති අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා කුමාරණතුංග විසින් අදාළ උද්‍යෝග පාඨය ඉදිරිපත් කරන්නට ඇත්තේ තම පක්ෂය විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කළ ප්‍රතිසංස්කරණ ආපසු නොහරවන බවට පොරොන්දුවක් නොදී ඇයට ඉදිරි ගමනක් ගැන සිතිය නොහැකිව තිබුණු නිසා මිස ධනවාදය අමානුෂිකයැයි ඇය සිතූ නිසා නොවිය හැකිය.

ධනවාදය තුළ පිළිගැනෙන මූලික මිනිස් ස්වභාවයක් වනුයේ මිනිසුන් ස්ව අභිමතාර්ථය පිණිස කටයුතු කරන බවයි. එසේ කටයුතු නොකරන සත්ත්ව වර්ගයක් පරිණාමීය ක්‍රියාවලිය තුළදී වඳවී නොයා ඉතිරි විය නොහැකිය. මෙයින් අදහස් වන්නේ මිනිසුන්ට සාමූහිකව කටයුතු කරන්නට ස්වභාවික පෙළඹීමක් නැති බව හෝ අනෙක් මිනිසුන්, ගහවැල, සතුන් ඇතුළු ස්වභාව ධර්මය ගැන සැලකිලිමත් වන්නට පෙළඹීමක් නැති බව නොවේ. මිනිස්සු ඒ සියලු දේ කරති. එහෙත්, ඒ හැමවිටම වාගේ සෘජුව හෝ වක්‍රව මුල් වන්නේ ස්ව අභිමතාර්ථයයි.

ආර්ථික විද්‍යාවේදී පිළිගැනෙන සරල මූලධර්මයක් වන්නේ මිනිසුන් තාර්කික තීරණ ගන්නා බවයි. තාර්කික තීරණයක් යනු තමන්ගේ යහපත පිණිස හේතු වන තීරණයි.

කෙසේ වුවද, අප කවුරුත් දන්නා පරිදි ඕනෑම කෙනෙක් තාර්කික නොවන "මෝඩ" තීරණ ගන්නා අවස්ථා තිබේ. එමෙන්ම, බොහෝ විට අතාර්කික තීරණම ගන්නා සුළු පිරිසක්ද අප අතර සිටිති. එසේනම්, මිනිසුන් තාර්කික තීරණ ගන්නේය යන උපකල්පනය නිවැරදිද?

ඉහත උපකල්පනය මත පදනම්ව කරන විශේලේෂණ නිවැරදි වීම සඳහා සෑම පුද්ගලයෙකුම සෑම අවස්ථාවකදීම තාර්කික තීරණ ගැනීම අත්‍යවශ්‍ය නැත. පුද්ගලයින් බහුතරයක් බොහෝ අවස්ථා වල තාර්කික තීරණ ගැනීම ප්‍රමාණවත්ය. පුද්ගලයින් බහුතරයක් බොහෝ අවස්ථා වල තාර්කික තීරණ ගැනීම මානුෂික ස්වභාවයයි.

කෙසේ වුවත්, ඇතැම් තත්ත්වයන් යටතේ බොහෝ මිනිසුන් අතාර්කික ලෙස හැසිරෙති. මේ බව ආර්ථික විද්‍යාඥයින් මුල සිටම දැන සිටියත් තාර්කික තීරණ මෙන් නොව අතාර්කික තීරණ පුරෝකථනය කිරීම අසීරුය. ඒ නිසා පුද්ගලයින්ගේ අතාර්කික තීරණ ආකෘතිගත කිරීම අසීරුය.

මෙවර ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබූ චිකාගෝ සරසවියේ මහාචාර්ය රිචඩ් තේලර් මේ අසීරු කටයුත්තට අත ගැසූ අයෙකි. නොබෙල් ත්‍යාගය කියා කීවත් වෙනත් විෂයයන් සඳහා ලබා දෙන නොබෙල් ත්‍යාගයන්ට සමාන්තරව ආර්ථික විද්‍යාව සඳහා ලබා දෙන ත්‍යාගය පිරිනමන්නේ ස්වීඩනයේ මහ බැංකුවයි. රිචඩ් තේලර් විසින් මෙසේ ලැබූ ත්‍යාග මුදල ස්වීඩිෂ් ක්‍රෝනා මිලියන නවයක්, එනම් රුපියල් මිලියන 160ක පමණ මුදලකි.

රිචඩ් තේලර් විසින් පෙන්වා දුන්නේ මිනිසුන්ගේ ඇතැම් අතාර්කික තීරණ වුවද පුරෝකථනය කිරීමේ හැකියාවක් ඇති බවයි. මේ සඳහා ඔහු මනෝ විද්‍යාවේ මූලධර්ම ආර්ථික විද්‍යාව සමඟ බද්ධ කළේය. චර්යාත්මක ආර්ථික විද්‍යාව බිහිවන්නේ මිනිසුන්ගේ මෙවැනි අතාර්කික ලෙස පෙනෙන හැසිරීම් විග්‍රහ කරමිනි.

චර්යාත්මක ආර්ථික විද්‍යාවේදී හඳුනා ගැනෙන, මිනිසුන් තාර්කික නොවන ලෙස හැසිරීමට හේතුවන කරුණු කිහිපයක් පහත දැක්වේ.

සීමිත විශ්ලේෂණ හැකියාව: මිනිසුන් බොහෝ තීරණ ගන්නේ ලොකුවට විශ්ලේෂණ කරමින් නොවේ. හදිසියට තීරණ ගැනීමේදී සියලුම කරුණු සලකා බලන්නට වෙලාවක් නැත. එමෙන්ම, මිනිසුන් යනු පරිගණක නොවේ. ඒ නිසා බොහෝ මිනිසුන්ට මනසින් ලොකු ගණනය කිරීම් කළ නොහැකිය. මේ නිසා, තමන්ට හොඳම දෙය කියා සිතා මිනිසුන් විසින් ඇතැම් විට තෝරාගන්නේ හොඳම දෙය නොවේ. ලොතරැයි වලට ඇති ඉල්ලුම උදාහරණයකි.

සාධාරණත්වය පිළිබඳ අදහස: මිනිසුන් මූලික වශයෙන් ස්ව අභිමතාර්ථය පිණිස කටයුතු කළත් ඔවුන්ට සාධාරණත්වය පිළිබඳ හැඟීමක්ද තිබේ. ආර්ථික විද්‍යා විද්‍යාගාර පර්යේෂණ වලින් පෙනෙන පරිදි මිනිසුන්ට ඉඩ ලැබුණු පමණින් ඔවුන් දොඩම් ගොඩම බදා ගන්නේ නැත. තමන්ට යම් අවාසියක් වුවත් වෙනත් අයගේ යහපත සලකමින් එය විඳ දරා ගන්නට බොහෝ මිනිසුන් කැමතිය. යාචකයෙකුට කීයක් හෝ දෙන හැම දෙනාම එසේ කරන්නේ ප්‍රදර්ශනාත්මකව හෝ පිං පිණිසම නොවේ.

ස්වයං පාලනය පිළිබඳ ගැටළු: තමන්ගේ ඇතැම් තීරණ තමන්ගේ අයහපතට හේතුවන බව දැන සිටියත් එවැනි තීරණ නොගෙන සිටීම ඇතැම් මිනිසුන්ට අපහසුය. සුරා පොදක් තොල ගන්නට හෝ පැණිරස කන්නට ඇති කැමැත්ත උදාහරණයි.

තරමක් පමා වී වුවත් රිචඩ් තේලර්ට අපේ සුබ පැතුම්!