Wednesday, August 31, 2016

ආණ්ඩුව නැත්නම් ආයෝජන නැද්ද?

ලංකාව විසින් දශක ගණනක් පුරා දිගින් දිගටම ලබා ගත් විදෙස් ණය හේතුවෙන් මේ වන විට ලංකාව ණය උගුලක පැටලී සිටින බව රජය විසින් නිල වශයෙන්ම පිළිගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් පහසුකමේ උදවුවෙන් තාවකාලිකව ගොඩ දාගෙන සිටියත් දිගුකාලීනව ප්‍රශ්නය එසේමය.

ලංකාව ණය උගුලක පැටලුනේ රටේ ආදායම ඉක්මවා වියදම් කළ බැවිනි. එසේ කරන්නට සිදුවුනේ සුබසාධන වියදම් වැඩි නිසා බව කියවෙතත්, ලංකාව මෙන් ලෝකයට ණය නැති අධික සුබසාධන වියදම් සහිත රටවල්ද තිබේ. වෙනස තියෙන්නේ සුබසාධනය වෙනුවෙන් වියදම් කිරීමේ නොව සුබසාධනය හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් ආදායමට වඩා වියදම් කිරීමෙහිය.

ලංකාවට මෙසේ ආදායමට වඩා වියදම් කිරීමට සිදුවී තිබීම සාධාරණීකරනය කෙරෙන එක් තර්කයක් වන්නේ රටේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කරන මට්ටමට ආයෝජන කිරීමට තරම් ප්‍රාග්ධනය රට තුල නැති බවයි. ඒ නිසා ණය ගන්නට සිදුවේ. (නැත්නම් ආයෝජකයින් පස්සේ යන්නට සිදුවේ.)

තර්කයක් ලෙස ඉහත කතාවේ වැරැද්දක් නැත. ණය ගැනීම යනු පුද්ගලයෙකු හෝ රටක් කිසිවිටක නොකළ යුතු මහා නරක දෙයක් නොවේ. ණය ගැනීමේ ප්‍රතිපලය තීරණය වන්නේ එසේ ගත් ණය වියදම් කරන ආකාරය අනුවය. ණය ගත් විට ගෙවන්නට වෙන්නේ පොලියත් සමඟය. එහෙත්, ගත් ණය ආයෝජනය කර ලැබෙන ආදායම ණය හා පොලිය ගෙවා තවත් ගණනක් ඉතිරි කර ගැනීමටත් ප්‍රමාණවත්නම් ණය ගැනීමෙන් දිගුකාලීනව සිදුවන්නේ යහපතකි. අළුතින් ණය ගන්නා හැම විටකම ලංකාවේ රජය ණය ලබා දෙන්නන්ට කියන්නේත්, රටේ ජීවත් වන අයට කියන්නේත් එය එසේ වන බවයි.

පහත කොටස මගේ පසුගිය ලිපියෙනි.

"ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?

පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?"


රටවැසියන්ගේ පරිභෝජන මට්ටම පවත්වා ගැනීමට ඉඩ දෙන අතරම, ජාතික ඉතිරි කිරීම් ඉක්මවා දිගින් දිගටම ආයෝජන ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ලංකාවට හැකිවී තිබෙන්නේ දිගින් දිගටම විදෙස් ණය ගැනීම මඟිනි. මෙසේ දිගින් දිගටම ආදායම ඉක්මවා විදෙස් ණය ගැනීම හේතුවෙන් විදෙස් ණය මල්ල අවුරුදු පතා ලොකු වේ.

පහත පළමු ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ ලංකාවේ ආයෝජන අනුපාතය හා ජාතික ඉතිරිකිරීම් අනුපාතයයි. ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු රටේ ජාතික ආදායමෙන් පරිභෝජන වියදම් ඉවත් කළ විට ඉතිරි වන කොටසයි. බාහිර ප්‍රාග්ධනය රට තුළට නොපැමිණේනම් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉතිරිවන්නේ මේ කොටස පමණි.





ප්‍රස්ථාරයේ පෙනෙන පරිදි ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම රටේ ජාතික ඉතිරිකිරීම් ඉක්මවා ආයෝජන සිදු කර තිබේ. ඒ ණය ගැනීම මඟිනි. එසේනම්, එහි ඇති වරද කුමක්ද?

පළමුව බැලිය යුත්තේ මෙසේ ණය ලබා ගනිමින් ආයෝජන සිදු කිරීමෙන් වැඩක් සිදුවී ඇත්ද යන්නයි. ආයෝජන අනුපාතය හා ජාතික ආදායම වර්ධනය වීම අතර ඇති සම්බන්ධය එක් වසරකට සීමා වූ සරල සම්බන්ධයක් නොවේ. එහෙත්, එක් එක් වසර තුළ මේ විචල්‍යයන් දෙකේ හැසිරීම සරල ලෙස හැදෑරීමෙන් වුවද එසේ 'වැඩක් වී ඇති බව' පැහැදිලිය.




පහත දෙවන ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි යම් වසරක් තුළ ලංකාවේ ආයෝජන අනුපාතය 10%කින් වැඩිවන විට ආර්ථික වර්ධනය 1.5%කින් පමණ වැඩි වී තිබේ. ණය වෙනුවෙන් ගෙවන පොලිය ආදායම් වර්ධනයට වඩා අඩුනම් වැඩේ නරක නැත. එසේනම්, කළ යුත්තේ ණය වී හෝ ආයෝජනය කිරීමද? ලංකාවේ ආණ්ඩු ලෝකයට ණය නොවේනම් රටට ගොඩ යාමට වෙන විදිහක් නැද්ද?

රටක ජාතික ඉතිරිකිරීම් හැදෙන්නේ කොටස් දෙකකිනි. ඒ පෞද්ගලික ඉතිරි කිරීම් හා රාජ්‍ය ඉතිරි කිරීම්ය. පෞද්ගලික ඉතිරිකිරීම් යනු ගෘහස්ථ ඒකක වල පුද්ගලයින් විසින් බදු ගෙවීමෙන් අනතුරුව කරන (ශුද්ධ) ඉතිරි කිරීම් හා සමාගම් මඟින් බදු ගෙවීමෙන් පසුව (ලාභ ලාභාංශ ලෙස බෙදා නොදී) කරන ඉතිරි කිරීම්ය. රාජ්‍ය ඉතිරි කිරීම් යනු රජයේ බදු හා වෙනත් ආදායම් වලින් රජයේ වියදම් පියවූ පසු ඉතිරි වන කොටසයි.

ලංකාවේ රාජ්‍ය ආදායම වියදමට වඩා අඩු නිසා රාජ්‍ය ඉතිරි කිරීම් සෘණ අගයකි. ඒ නිසා ලංකාවේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු පෞද්ගලික ඉතිරිකිරීම් අනුපාතයෙන් අයවැය හිඟය අඩු කළ විට ඉතිරිවන කොටසයි. වෙනත් විදිහකින් කියනවානම් රජයේ අයවැය හිඟය ශුන්‍ය වී රාජ්‍ය ඉතිරි කිරීම්ද ශුන්‍ය වුවහොත් රටේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය පවතින අගයට වඩා බොහෝ වැඩි වනු ඇත.

පහත තෙවන ප්‍රස්ථාරයේ පෙන්වා ඇත්තේ ලංකාවේ පෞද්ගලික ඉතිරි කිරීම් අනුපාතය සහ ආයෝජන අනුපාතයයි. එසේනම්, රටට විදෙස් ණය අවශ්‍ය වී තියෙන්නේ රට තුළ ප්‍රාග්ධනය නැති නිසාද? එසේ නැත්නම් පෞද්ගලික අංශයට අකාර්යක්ෂම රජයක් නඩත්තු කිරීමට සිදු වී ඇති නිසාද? 



Monday, August 22, 2016

නැති සල්ලි වියදම් කරන්නේ කොහොමද?


 
වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරය ගැන අපි පෙර ලිපි දෙකකින් කතා කළෙමු. එහිදී, මම තා සරල ආකෘතියක් වන චක්‍රීය ප්‍රවාහ ආකෘතිය හඳුන්වා දුන්නෙමි. මේ ආකෘතිය අනුව, පුද්ගලයකුට තමන් සතු නිෂ්පාදන සාධක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය 'කුලියට දී' ආදායමක් ලබා ගත හැකිය. ඒ අනුව, ව්‍යාපාර අංශයේ කාර්යක්ෂමතාව වෙනස් නොවේනම්, පුද්ගලයෙකුට  සිය ආදායම වැඩි කර ගත හැක්කේ තමන් සතු නිෂ්පාදන සාධක වැඩි කර ගැනීමෙනි.

කෙසේවුවද, ශ්‍රම සාධකය ප්‍රමාණාත්මකව වැඩි කර ගැනීම අපහසුය. මිනිසෙකුට වැය කළ හැකි භෞතික ශ්‍රමය වැඩි කළ හැක්කේ ඉතා සීමිතවය. එවිට ඉතිරි වන්නේ ප්‍රාග්ධනයයි. ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ කෙසේද?

පුද්ගලයෙකුට සිය ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ ලැබෙන ආදායමෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කිරීම මඟිනි. පුද්ගල ඒකක රැසක එකතුවක් ලෙස සැලකිය හැකි රටකටද මේ කරුණ අදාළය. මෙසේ ඉතිරි කළ යුත්තේ පුද්ගලයෙකුගේ හෝ රටක ආදායමෙන් කොපමණ කොටසක්ද?

යමෙකුගේ ආදායමෙන් වැඩි කොටසක් ඉතිරි කිරීම යනු වත්මන් පරිභෝජනය දැඩි ලෙස සීමා කිරීමකි. යමෙකු එසේ කිරීමට පෙළඹෙන්නේ එසේ කිරීමෙන් අනාගත පරිභෝජනය වැඩි කර ගැනීමේ අරමුණෙනි. කෙසේවුවද, පුද්ගලයෙකු මෙය කරන්නේ සිය වත්මන් පරිභෝජනය හා අනාගත පරිභෝජනය කිසියම් අයුරකින් සමතුලිත වන ලෙසිනි. වැඩිපුර ඉතිරිකර, වැඩිපුර ආයෝජනය කිරීමෙන් අනාගත ආදායම් ඉහළ නංවාගෙන අනාගත පරිභෝජනය වැඩි කර ගත හැකිය. එහෙත්, අද ඉතිරි කළ පමණින්ම අනාගත ආදායම් වැඩි වෙනවාද?

මෙය තීරණය වන්නේ ඉතිරි කරන ප්‍රමාණය අනුවය. පුද්ගලයෙකු හෝ රටක් සතු ප්‍රාග්ධනය සදාකාලිකවම එලෙසම පවතින්නේ නැත. කාලයත් සමඟ ප්‍රාග්ධන සම්පත් ක්ෂය වී යයි. මෙය භෞතික සම්පත් වලට මෙන්ම මානව සම්පත් වලටද පොදුය. ඒ නිසා, එසේ අඩුවන ප්‍රාග්ධන සම්පත් නැවත ප්‍රතිස්ථාපනය නොකළහොත් පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් තත්ත්වයද කාලයත් සමඟ ක්ෂය වෙයි. මෙය වලක්වා ගැනීමටනම් අඩුම වශයෙන් එසේ ක්ෂය වන ප්‍රාග්ධනය නැවත ප්‍රතිස්ථාපනය කළ හැකි මට්ටමටවත් ඉතිරි කිරීම් අවශ්‍ය වේ. ආයෝජන වැඩි කිරීමෙන් ආදායම් ඉහළ නංවා ගත හැක්කේ මේ මට්ටම ඉක්මවා ඉතිරි කර ආයෝජනය කිරීමෙනි. එහෙත්, ඒ සඳහා වත්මන් පරිභෝජනය කැප කළ යුතුය.

ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?

පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?

අනෙක් පැත්තෙන් මෙයින් පෙනෙන්නේ අපේ ආනයන අපනයන පරතරයයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.4කි. අප නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා පරිභෝජනය (හෝ ආයෝජනය) කරනවානම් එසේ කිරීමට හැකි වන පරිදි භාණ්ඩ හා සේවා රට තුළට පැමිණිය යුතුය. ආනයන අපනයන අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින්නේ අපේ නිෂ්පාදනය (ආදායම්) හා වියදම් අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින බැවිනි. මේ පරතරය තිබෙන තුරු අපට කොහෙන් හෝ විදේශ විණිමය හොයන්නට සිදුවේ. විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වලින් එයින් කොටසක් පියවේ. ඉතිරිය පියවෙන්නේ දිගින් දිගටම වැඩි වන විදෙස් ණය වලිනි.

ආයෝජන අඩුකිරීම යනු අනාගත ආර්ථික වර්ධනයට රිදවීමකි. පරිභෝජනය අඩු කරන්නට සමාජය සූදානම් නැත. එසේනම්, පවතින තත්ත්වය තුළ, පරිභෝජනය අඩු නොකර ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා රජයන් විසින් දිගින් දිගටම විදෙස් ණය ගැනීමේ වරදක් තිබේද? වෙනත් විදිහකට කියනවානම්, ලංකාවේ රජයන්ට දිගින් දිගටම විදෙස් ණය ගන්නට වී තිබෙන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය මට්ටමට ආයෝජන කිරීමට තරම් දේශීය ඉතිරි කිරීම් නැති නිසාද?

මේ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු. 


(Image: www.financialexpress.com)

Monday, August 1, 2016

මිල පාලනය නිසා නැඟී එන උද්ධමනය නොපෙනී යයිද?

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින්යැයි පවසමින් රජය අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් මිල පාලනයට ලක් කර තිබේ. මේ මිල පාලනය ගැන කෙටියෙන්ම කියන්නට තියෙන්නේ "ඕක කවදාවත් හරියන්නේ නැති දෙයක් !" යන්නයි. ඉදිරි දෙවසරක පමණ කාලය තුළ මේ මිල පාලනය පවත්වාගෙන යන බවද කියැවී තිබුණේය.

මේ වන විට මිල පාලනයට ලක් කර ඇති භාණ්ඩ සියල්ලේම පාහේ මිල සාමාන්‍යයෙන් තීරණය වන්නේ තරඟකාරී වෙළඳපොළ තත්ත්වයකට ඉතා ආසන්න තත්ත්වයන් යටතේය. ඒ නිසා සාමාන්‍යයෙන් ඒ භාණ්ඩ වල ඉල්ලුම හා සැපයුම මනාව සමතුලිත වන අතර භාණ්ඩ හිඟයක් (හෝ නිෂ්පාදන අතිරික්තයක්) නොපවතී. මිල පාලනය යටතේ සිදුවන්නේ
වෙළඳපොළ මිල මට්ටම නිදහස් වෙළඳපොළෙහි සමතුලිත මිලට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමට බල කිරීමයි.

යම් භාණ්ඩයක මිල එහි නියම මිලට වඩා කෘතීම ලෙස පහත හෙලනු ලැබූ විට ඒ සඳහා වන ඉල්ලුම වඩාත් වැඩිවීමත්, සැපයුම වඩාත් අඩුවීමත් හේතුවෙන් ඉල්ලුම හා සැපයුම අසමතුලිත වී භාණ්ඩ හිඟයක් ඇති වේ. මේ තත්ත්වය මේ වන විටද රට තුළ ඇති වී ඇති බව පුවත්පත් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, සුපිරි වෙළඳසැල් වල මෙන්ම සතොස ශාඛා වලද දැනටම මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙමින් පවතී. "පොතේ හැටියට" භාණ්ඩයක මිල අඩු වුවත් ඒ මිලට ගන්නට කඩේ බඩු නැත්නම් සිදුවන්නේ පාරිභෝගික ජනතාවට සහන සැලසීම නොව ඔවුන්ගේ අසහනය තවදුරටත් වර්ධනය වීමයි.

රටේ භාණ්ඩ වල මිල පොදුවේ ඉහළ යන්නේනම් එයින් පෙනෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සමස්ත භාණ්ඩ සැපයුම (නිෂ්පාදනය + ආනයන - අපනයන) අතර පරතරයක් ඇති බවයි. රටේ ඇති භාණ්ඩ තොගයට සාපේක්ෂව මුදල් තොගය වැඩි වූ විට මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිය. උද්ධමනය කියන්නේද මෙයමය. මිල පාලනය උද්ධමනයට විසඳුමක් නොවේ.

උද්ධමනය යනු කිසියම් රටක මුදල් ඒකකයට සාපේක්ෂව එම රටේ භාණ්ඩ හා සේවාවන්හි මිල පොදුවේ ඉහළ යාමයි. එය හරියටම මනින්නටනම් රට තුළ අළෙවි වන සියළුම භාණ්ඩ හා සේවාවන්හි මිල නිරන්තරෙන් නිරීක්ෂණය කළ යුතුය. මෙය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බැවින්, සාමාන්‍යයෙන් උද්ධමනය මනිනු ලබන්නේ රටේ ආර්ථිකය නියෝජනය වන පරිදි තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක මිල වෙනස්වීම නිරීක්ෂණය කිරීම මඟිනි. රට තුළ බහුලව විකිණෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට මේ භාණ්ඩ
පැසෙහි ලොකු බරක් තිබේ.

කිසියම් හෙයකින් උද්ධමනය මැනීම සඳහා නියැදියක් ලෙස උපයෝගී කර ගන්නා භාණ්ඩ හා සේවාවන්හි මිල රටේ අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩිවීමට අනුරූප ලෙස වැඩි නොවේනම්, උද්ධමනය ලෙස මැනෙන අගය සැබෑ උද්ධමනයට වඩා අඩු අගයකි. එමඟින් රටේ සැබෑ උද්ධමනය සැඟවී යා හැකිය.

රජයේ අයවැය පරතරය පියවීම සඳහා මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම හේතුවෙන් රටේ මුදල් සැපයුම වැඩි වී උද්ධමනකාරී තත්ත්වයක් ඇති වන්නට ඉඩ ඇති අවස්ථාවක, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය කිරීම හේතුවෙන් උද්ධමනය ලෙස නිල වශයෙන් මනින අගය අඩුවෙන් පෙනේනම් පාරිභෝගික ජනතාවට සහන ලැබීම කෙසේ වුවත් රජයටනම් සැලසෙන්නේ වාසියකි.