Wednesday, April 26, 2017

2016 මහ බැංකු වාර්තාව නිකුත් වේ!


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2016 වසර සඳහා අදාළ වාර්ෂික වාර්තාව අද දින නිකුත් කර තිබේ. මේ එහි අඩංගු කරුණු වල ඉතාම කෙටි සාරාංශයකි.

-පසුගිය වසරේ මූර්ත ආර්ථික වර්ධනය 4.4%ක මන්දගාමී එකකි.
-වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 4%කි. උද්ධමන පීඩන මතු වෙමින් පවතී.
-රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 3,835 දක්වා අඩුවී තිබේ.
-සේවා වියුක්ති අනුපාතය 4.4% මට්ටමට අඩුවී තිබේ.
-වෙළඳ හිඟය ඇමරිකන් ඩොලර් 9,090 දක්වා ඉහළ ගොස් තිබේ. අපනයන අඩුවීම හා වසරේ අවසන් කාර්තුව තුළ ආනයන විශාල ලෙස ඉහළ යාම මීට හේතු වී තිබේ.
-රුපියල අඩු මට්ටමක තබා ගැනීම සඳහා මහ බැංකුව විසින් වසර තුල ඇමරිකන් ඩොලර් මිලියන 768ක සංචිත විකුණා තිබේ. වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ සංචිත වත්කම් ඩොලර් බිලියන 6.0 දක්වා පහත වැටී තිබේ.
-රජයේ විදේශීය ණය ප්‍රමාණය ඉහළ යාම නිසා රටේ විදේශ ණය ප්‍රමාණය වසර තුළ ඩොලර් බිලියන 44.8 සිට 46.6 දක්වා ඉහළ ගොස් තිබේ.
-රජයේ බදු ආදායම 8%කින් ඉහළ ගොස් තිබේ.
-රජයේ පුනරාවර්තන වියදම් 3.3%කින් ඉහළ ගොස් තිබේ.
-රාජ්‍ය ආයෝජන 1.5%කින් පහළ ගොස් ඇත.
-රජයේ අයවැය හිඟයෙන් වැඩි ප්‍රමාණයක් (61.2%ක්) විදේශීය මූලාශ්‍ර වලින් මූල්‍යනය කර තිබේ.
-මධ්‍යම රජයේ ණය ප්‍රමාණය දදේනි ප්‍රතිශතයක් ලෙස 79.3% දක්වා ඉහළ ගොස් තිබේ.
-වසර අවසානය වන විට මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,387.3 දක්වා ඉහළ ගොස් ඇත.
-දේශීය ණය රුපියල් බිලියන  5,341.5 දක්වා 7.7%කින්ද, විදේශීය ණය රුපියල් බිලියන 4,045.8 දක්වා 14.2%කින්ද ඉහළ ගොස් ඇත.
-වසර තුළ සංචිත මුදල් 27.1%කින් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. සංචිත මුදල් වැඩිවීම යනු මහ බැංකුව විසින් අළුත් සල්ලි එළියට දැමීමයි.

ඉඩ ලැබෙන පරිදි මේ එක් එක් කරුණ ගැන ඉදිරියේදී කතා කරමු!

Wednesday, April 19, 2017

බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන්නේ කොහොමද?

මෙය බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන ආකාරය පිළිබඳ ඉතා සරල පැහැදිලි කිරීමකි. 

කිසියම් රටක නිෂ්පාදකයෝ හතර දෙනෙක් සිටිති.

අමල්: කිරි ගොවියෙකි. ප්‍රාග්ධනය ලෙස එළදෙනක් සිටී. එළදෙන ඔහුගේ වත්තේ තණකොළ කයි. අමල්ගේ ප්‍රාග්ධන හා ශ්‍රම වියදම් ගැන සලකා ඔහු කිරි බෝතලයක් රුපියල් සීයකට විකුණයි.

කමල්: මී කිරි නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් මී කිරි හට්ටියක් හදන්නට පුළුවන. මී කිරි හට්ටියක් රුපියල් 110කට අලෙවි කළ හැකිය.

බිමල්: යෝගට් නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් යෝගට් කෝප්පය දෙකක් සැදිය හැකිය. එක් කෝප්පයක් රුපියල් 60කට අලෙවි කළ හැකිය.

චමල්: කල්කිරි නිෂ්පාදනය කරන්නෙකි. ඔහුට අළුත් කිරි බෝතලයකින් කලකිරි බෝතලයක් සැදිය හැකිය. එහෙත්, පාරිභෝගිකයින් අළුත් කිරි වලට තරම් කල් කිරි වලට කැමති නැත. ඒ නිසා ඔහුට කල් කිරි බෝතලයක් විකිණිය හැක්කේ රුපියල් 90කටය.

රජයේ මැදිහත්වීමක් නැත්නම් අමල් කිරි නිපදවනු ඇත. කමල් මීකිරිද, බිමල් යෝගට්ද නිපදවනු ඇත. චමල් කල් කිරි නිපදවීමට යොමු නොවනු ඇත.

-අමල් නිපදවන කිරි බෝතලයකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 100ක දායකත්වයක් ලැබේ.
-කමල් නිපදවන මීකිරි හට්ටියකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 10ක දායකත්වයක් ලැබේ.
-බිමල් නිපදවන යෝගට් කෝප්ප දෙකකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 20ක දායකත්වයක් ලැබේ.
-චමල්ගෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වයක් නැත.

දැන් රජය විසින් කිරි බෝතලයකට රුපියල් 5ක බදු මුදලක් අය කළොත් (ඉල්ලුම වෙනස්වීම නොසලකා) වෙන්නේ කුමක්ද?
-අමල්ට කිරි බෝතලයකින් ලැබෙන්නේ රුපියල් 100කි. ඔහුගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය රුපියල් 5කට සීමා වේ.
-බිමල්ටද කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 15කට සීමා වේ.
-චමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-මී කිරි හා යෝගට් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අඩුවේ.
-එහෙත්, රජයට බදු ලෙස ලැබෙන මුදල් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නිසා සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට බලපෑමක් නැත.

කෙසේ වුවද, මෙය මෙසේ සිදුවීමටනම් රජය විසින් කිරිවලින් ලබාගත් මුදල් වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් වැය කළ යුතුය.

උදාහරණයක් ලෙස, රජයට බදු මුදල් වැය කරමින් චමල්ට කිරි මිලදී ගැනීම සඳහා රුපියල් 10ක සහනාධාරයක් ලබා දිය හැකිය. දැන් ඔහුට කිරි බෝතලයක් මිලදී ගැනීමේදී වැය වන්නේ රුපියල් 90ක් පමණක් නිසා ඔහු කල් කිරි නිපදවන නමුත් විකුණුම් මිලද රුපියල් 90ක්ම නිසා ඔහු කිසිදු අගයක් එකතු නොකරයි. අවසාන වශයෙන් මෙහිදී දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙයි. ඒ රජය විසින් බදු ලෙස අයකරගත් මුදල් අකාර්යක්ෂම (අගය එකතු කිරීමක් නොකරන) කර්මාන්තයක් දිරිමත් කිරීම පිණිස වැය කර ඇති බැවිනි.

දැන් රජය මේ බදු මුදල කිරි බෝතලයකට රුපියල් 15 දක්වා වැඩි කළොත් වෙන්නේ කුමක්ද?

-අමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු මී කිරි නිෂ්පාදනය කිරීම නවත්වයි.
-බිමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 5කට සීමා වේ.
-චමල්ට වැඩි මුදලක් සහනාධාර ලෙස ලැබෙන නිසා ඔහු කිසියම් අගය එකතු කිරීමක් කරන බව දැකිය හැකි වනු ඇත. එහෙත්, සහනාධාරය ඉවත් කළ විට අගය එකතු කිරීම සෘණ අගයකි.

බදු වැඩි වීම නිසා කමල් නිෂ්පාදනයෙන් ඉවත් වී ඇත. මෙය හඳුන්වන්නේ බදු නිසා අතුරුදහන්වන නිෂ්පාදිතය (Deadweight Loss of Taxation) ලෙසය. ආණ්ඩුව බදු ලෙස එක් අයෙක්ගෙන් එකතු කර ගන්නා මුදල් අන්තිමේදී වෙනත් අයෙක් වියදම් කරන නිසා එසේ වියදම් කරන කොටස අවසානයේදී රටේ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක්ව පවතී. එහෙත්, මේ 'අතුරුදහන්වන නිෂ්පාදිතය' පාරිභෝගිකයාට හෝ නිෂ්පාදකයාට හෝ රජයට යන කිසිදු පාර්ශ්වයකට නොලැබී නැත්තටම නැති වී යයි, බදු වල ඇති ලොකුම ප්‍රශ්නය මේ  අතුරුදහන්වන නිෂ්පාදිතයයි.

Monday, April 17, 2017

ආර්ථික වර්ධනය, බදු හා සහනාධාර

පසුගිය 2016 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය 4.4%ක් විය. මේ ආර්ථික වර්ධනය යනු වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතය හෙවත් එකතු කළ අගය වැඩි වීමයි. මේ එකතු කළ අගය ගණනය කරන්නේ එක් එක් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදිත වල අවසන් වෙළඳපොළ අගයෙන් එහි අමුද්‍රව්‍ය වියදම් අඩු කිරීමෙනි.

කෙසේවුවද රජය විසින් ලබාදෙන සහනාධාර නිසා මේ අමුද්‍රව්‍ය වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් ලැබේනම් මේ වෙනසට හේතුව අගය එකතු වීමක් නොවීමට පුළුවන. ඒ නිසා, නියම ආර්ථික වර්ධනය ගණනය කිරීමටනම් එවැනි සහනාධාර වල වටිනාකම අඩු කළ යුතුය.

අනෙක් අතට, රජය මඟින් අය කරන බදු නිසා අමුද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වී ඇත්නම් සැබෑ එකතු කළ අගය නොපෙනී යන්නට පුළුවන. ඒ නිසා අමුද්‍රව්‍ය සඳහා ගෙවූ බදු මුදල් එකතු කළ අගයට එකතු විය යුතුය.

පසුගිය වසරේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල එකතු කළ අගයට බදු මුදල් එකතු කර, සහනාධාර මුදල් අඩු කර දළ දේශීය නිෂ්පාදිතය ගණනය කර ඇත්තේ පහත සඳහන් පරිදිය.



Friday, April 7, 2017

2016 ආර්ථික වර්ධනය

පසුගිය 2016 වසර සඳහා වන මහ බැංකු වාර්තාව තවමත් නිකුත් වී නැතත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තු මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව, පසුගිය 2016 වසර තුළ ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 4.4%කින් වර්ධනය වී තිබේ.



ලංකාවට නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන් වසර ලෙස සැලකෙන 1977 සිට 5.25%ක පමණ සාමාන්‍ය වර්ධනයක් පෙන්වූ ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය බොහෝ වසර වලදී 5% ඉක්මවන වර්ධනයක් පෙන්වූයේය. ජවිපෙ විසින් ආර්ථික වර්ධනයට තිරිංග දැමූ 1987-89 කාලයේදී හැර, 1977 වසරෙන් පසුව කිසිදු විටෙක ලංකාවේ ආර්ථික වර්ධනය එක දිගට සිවු වසරක් 5% මට්ටමට අඩුවෙන් පැවතුණේ නැත. එහෙත්, පසුගිය 2016 වසරේදී පිටපිටම හතරවන වරටත් ලංකාවේ ආර්ථික වර්ධනය 5% සීමාවට පහළින් නැවතී තිබේ.


පසුගිය වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය මේ මට්ටමට පහත වැටීමට එක් හේතුවක් වී ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික අංශය 4.2%කින් හැකිලීමයි. එයට සාපේක්ෂව, කර්මාන්ත අංශය 6.7%කින්ද, සේවා අංශය 4.2%කින්ද වර්ධනය වී තිබේ. 




කෘෂිකාර්මික අංශය තුළ වී නිෂ්පාදනය 31%කින්ද, අනෙකුත් ධාන්‍ය නිෂ්පාදනය 10.5%කින්ද, තේ නිෂ්පාදනය 11.2%කින්ද, රබර් නිෂ්පාදනය 10.7%කින්ද පහත වැටී තිබේ. කෙසේ වුවද, ලංකාවේ ආර්ථිකයෙන් 7.5%ක් පමණක් වන කෘෂිකාර්මික අංශයෙන් සමස්ත ආර්ථික වර්ධනයට සිදුකෙරෙන බලපෑම එතරම්ම විශාල නැත. ලංකාවේ ආර්ථිකයෙන් 57%ක් වන සේවා අංශයට හා 27.1%ක් වන කර්මාන්ත අංශයට අයත් බොහෝ අනු අංශ කිසියම් ප්‍රමාණයකින් වර්ධනය වී ඇති නිසා කෘෂිකාර්මික අංශයේ හැකිලීම හමුවේ වුවද, සමස්තයක් ලෙස ආර්ථිකය 4.4%කින් වර්ධනය වී තිබේ.