Thursday, April 26, 2018

එකසිය හැටයි! ලාබයි!!

අවශ්‍ය තරමට වඩා බොහෝ අඩුවෙන් වුවත්, පසුගිය දින කිහිපය තුළ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල තරමක් අවප්‍රමාණය වී ඇති අතර ඩොලරයක විකුණුම් මිල පළමු වරට රුපියල් 159 ඉක්මවා තිබේ. මේ ගැන බොහෝ විවේචනද අහන්නට ලැබේ.

පසුගිය වසරේ මාර්තු 30 දින එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල පළමු වරට ශ්‍රී ලංකා රුපියල් 150 මට්ටම ඉක්මවූ අතර ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව කෙටි විමසුමක් කරමින් ලිපියක් මේ වියුණුවෙහි පල කෙරුණේය. පහතින් ඇත්තේ ඒ ලිපියට සබැඳියකි.

එකසිය පණහයි! ලාබයි!!



ඒ අවස්ථාවේදී මා පෙන්වා දුන් පරිදි 2015 අවසානයේදී ඩොලරයක "සැබෑ" මිල (2001 වසරේදී ක්‍රය ශක්ති සාම්‍යය පැවතුණු සේ සලකමින්) රුපියල් 213ක් පමණ විය. එම ලිපිය සමඟ පළ කළ වගුව අලුත් දත්ත ඇතුළු කොට යාවත්කාලීන කර පහත පළ කර තිබේ.


ඉහත වගුවෙන් පෙන්වා ඇති පරිදි, ලංකාවේ අපනයන තරඟකාරිත්වය 2001 මට්ටමේවත් තබාගනිමින් ගෙවුම් ශේෂ අර්බුදයෙන් යම් තරමකින් හෝ ගොඩ යන්නටනම් රුපියල ඩොලරයට සාපේක්ෂව අඩු වශයෙන් තවත් 45-50%කින් පමණවත් අවප්‍රමාණය විය යුතුය. ජාතික ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන බව හා ඉන්දියානු විරෝධයක් මතුපිටින් පෙන්වන ඇතැම් අය ඒ අතරම එයට තනිකරම ප්‍රතිවිරුද්ධව ජාතික ආර්ථිකය බිඳ දමමින් ඉන්දියාවට හා චීනයට වාසි සැලසෙන පරිදි විණිමය අනුපාතිකය පවතින මට්ටමේම තබාගැනීම වෙනුවෙන්ද හඬ නැඟීම තරම් විහිළුවක් තවත් නැත.

මෙහි උද්ධමනය සේ සලකා තිබෙන්නේ එක් එක් රටෙහි දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකයයි. ඒ වෙනුවට, පාරිභෝගික මිල දර්ශකයන්හි වෙනස්වීම් සලකමින් ගණනය කළහොත් ලැබෙන ඇමරිකන් ඩොලරයේ අගය මීටත් වඩා ඉහළ එකකි.