Showing posts with label කෘෂිකර්මය. Show all posts
Showing posts with label කෘෂිකර්මය. Show all posts

Monday, February 1, 2016

ලාභය වරදක්ද?


මා හයවන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදී මගේ පියා ලැබූ ස්ථාන මාරුවක් සමඟ අපි තවත් වරක් පදිංචිය වෙනස් කළෙමු. මෙවර අප වාසයට පැමිණි  කුලී නිවසේ සැලකිය යුතු තරම් ලොකු ගෙවත්තක්ද තිබුණේය. වසරක් පමණ ගතවන විට වත්ත පුරා කෙසෙල් වගාවක් ව්‍යාප්ත කර ගැනීමට මට හැකිවිය. මෙය සාපේක්ෂව සරල කාර්යයක් විය.

අප වාසයට පැමිණෙන විටත් වත්තේ කෙසෙල් පඳුරු තුනක් තිබුණේය. එකක් ඇඹුල් කෙසෙල් පඳුරකි. අනෙත්වා සීනි කෙසෙල්ය. සීනි කෙසෙල් ඉතා වේගයෙන් පඳුරු දමන කෙසෙල් වර්ගයකි. වැඩි සාත්තුවක් නොලැබූ මේ කෙසෙල් පඳුරු වල විවිධ ප්‍රමාණයේ කෙසෙල් ගස් සෑහෙන ප්‍රමාණයක් තිබුණේය. පඳුරු ඕනෑවට වඩා ලොකු වූ නිසා ඒවායේ වැටුණේ මන්දපෝෂණයට ලක් වූ කෙට්ටු කෙසෙල්කැන්ය. මේ එක් කෙසෙල්කැනක ඇවරි හතර පහකට වඩා හැදුනේ නැත.

මට කරන්නට තිබුණේ පහසු කටයුත්තකි. ඒ, මේ වැඩිපුර කෙසෙල් පැල ප්‍රවේශමෙන් උදුරාගෙන වත්තේ වෙනත් තැනක සිටවීමයි. වත්තේ තිබුණු වැලි සහිත ලෝම පසේ කෙසෙල් පැලයක් සිටවීමට ප්‍රමාණවත් වලක් කපා ගැනීමට විශාල මහන්සියක් දැරිය යුතු නොවීය. අලවංගුවක් සහ උදැල්ලක් යොදාගනිමින් මේ කාර්යය කිරීම ආරම්භයේදී තරමක් වෙහෙසකර වුවත්, එක දිගටම කරද්දී ශිල්පීය ප්‍රාගුණ්‍යය වර්ධනය වී වැඩේ පහසු වුණේය. මුලදීනම් කෙසෙල් පැල කිහිපයක අලය තුවාල විය. මේ අයුරින් සීනි කෙසෙල් පඳුරු දහයක් පමණත්, ඇඹුල් කෙසෙල් පඳුරු දෙක තුනකුත් අළුතින් හදා ගැනීමට හැකි විය.

වසරක් පමණ යනවිට මහන්සියේ ප්‍රතිඵල ටික ටික ලැබෙන්නට විය. තවත් ටික කලක් යද්දී මේ කෙසෙල් පැල පඳුරු දමා ඇතැම් මාස වල කෙසෙල්කැන් දෙක තුනක්ම කපා ගත හැකි තරමට වැඩේ නැගලා ගියේය. ඇඹුල් කෙසෙල් පැලයක් ඉඳහිට වඳ බැස්සත් සීනි කෙසෙල් සාමාන්‍යයෙන් වඳ බසින්නේත් නැත.

ලොකුවට හැදුණු කෙසෙල්කැනක් නිවස කිට්ටුවම තිබුණු සිල්ලර කඩයට විකිණිය හැකිය. මෙහිදී, මා මුලින්ම එහි ගොස් කෙසෙල්කැනක් පැසී ඇති බව කියා එය අවශ්‍යදැයි විමසිය යුතුය. කඩේ කෙසෙල්කැන් තුන හතරක් එල්ලා ඇත්නම් මේ ප්‍රශ්නය ඇසීමේත් තේරුමක් නැත. එසේ පෙනෙන්නට නැතත්, මිලදී ගත් නොඉදුණු කෙසෙල්කැන් කඩය පිටුපස තිබිය හැකිය. කෙසේ වුවත්, බොහෝ විට "දවස් දෙක තුනකින් ගුණසිරිව එවන්නම්!" වැනි සතුටුදායක පිළිතුරක් ලැබුණේය.

මේ කියූ ලෙසින්ම දින දෙකතුනකින් වක් පිහියකින් පිටේ දාඩිය සූරමින් ගුණසිරි පැමිණේ. ඔහු කඩේ මුදලාලිගේ සේවකයාය.

"කෝ, අර කෙහෙල්කැනක් තියෙනවයි කිවුව නේද?"

කෙසෙල් පඳුර පෙන්වූ විට ගුණසිරි සීරුමාරුවට කෙසෙල්කැන කපාගනී.

"මේ කෙහෙල් කඳ කොහාටද දාන්න ඕනෑ?"

වත්තේ මායිමක් පෙන්නූ විට ඒ වැඩෙත් ඔහු කරදෙයි. ඉන්පසු, වැඩි කතාවක් නැතිව කෙසෙල්කැන උරහිසට ගන්නා ගුණසිරි බර අඩි තබමින් ඉක්මන් ගමනින් ආපසු යයි.

"එන්නං!"

"ගිහිං එන්නං" කියන එක කෙටි කර ඒ කියන්නේ "යන්නං" කියන එකය.

ඇතැම් විට මා පාසැල් ගොස් පැමිණෙන විට උදය වරුවේ මේ ටික සිදු වී තිබේ. ගෙදර එන විට කෙසෙල්කැන නැත. සිදුවී ඇති දෙය කාගෙන්වත් අහන්නට අවශ්‍ය නැත.

මේ වැඩේ අවසන් වූ පසු කරන්නට තවත් වැඩක් තිබේ. ඒ අලවංගුවක් ගෙන ඉතිරි වී ඇති කෙසෙල් අලය ගලවා දැමීමයි. එසේ නොකළොත් කෙසෙල් පඳුර වඳ බහින්නට ඉඩ තිබේ.

කෙසෙල්කැනට ලැබෙන මුදල තවමත් අවිනිශ්චිතය. ගුණසිරිව එවන විට මුදලාලි කෙසෙල්කැන දැකලාවත් නැත. මේ ගැන මුලින්ම විමසන විට එහි ප්‍රමාණය ගැනද ඔහු විමසයි.

"ලොකු එකක්ද?"

මේ ප්‍රශ්නයට කොහොමත් පිළිතුරු දෙකක් තිබුණේ නැත. මගේ කෙසෙල්කැන් කොහොමත් ලොකුය. ඒ නිසා ලැබෙන පිළිතුරෙන් මුදලාලිට වැඩක් නැත. කඩේ කෙසෙල්කැනක් පෙනෙන්නට ඇත්නම් ප්‍රමාණය විස්තර කිරීම පහසුය.

"අර ඇඹුලට වඩා පොඩ්ඩක් විතර පොඩියි!"

ඒ පොඩ්ඩේ තරම මුදලාලිට දැනගන්නට ලැබෙන්නේ ගුණසිරි කෙසෙල්කැන කරෙන් බෑවාට පසුවය.

"අර කෙහෙල් කැනේ සල්ලි?"

ගණන් එකතු කරමින් සිටින මුදලාලි ඔළුව උස්සා බලයි.

"පොඩ්ඩක් ඉන්න"

මුදලාලි කතාබහක් නැතුව කඩය පිටුපසට යයි. ඒ ඔහු පසුපස පැමිණීමට කරන සංඥාවකි.

"එකසිය විසිතුනක් තියෙනවා. ගණන් කරල බලන්න."

මේ කෙසෙල්කැනේ ගෙඩි ගණන ගණන් කිරීමට මට ලැබෙන පළමු අවස්ථාවයි. කෙසෙල්කැන කරකවමින් ගෙඩි ගණන් කිරීමට ටික වෙලාවක් ගතවේ. ඇත්තටම ගෙඩි එකසිය තිස්හයක් ඇත. ඒත්, මල් ඇවරියේ නවයට මුදල් ලැබෙන්නේ නැත. ඩබල් ගෙඩි හතරකි. ඒවා දෙකකට ගණන් ගැනෙන්නේද නැත.

"හරි!"

ගාණ හදන විට තුනද හැලී එකසිය විස්සට රවුම් වෙයි. කෙසෙල් ගෙඩියකට සත විසිපහක් හෝ තිහක් ලැබේ.

රුපියල් තිහක් හෝ තිස්හයක් ලොකු ගණනකි. මෙය උපයා ගැනීමට මා ලොකු මහන්සියක් වී නැත. කෙසෙල් පඳුරෙන් පැලයක් ගලවා වෙනත් තැනක සිටෙවුවා පමණි. ඒ වුණත්, ඩබල් ගෙඩි හතර සහ මල් ඇවරියේ ගෙඩි නමය ගැනනම් දුකය. ඒ ටිකත් ගණන් කළානම් තවත් රුපියල් තුන හතරක් එකතු වේ. ඩබල් ගෙඩි කොහොමත් විකුණන්නේ තනි ගෙඩියේ ගාණටය. ඊටත්, ඒ ගෙඩි විකිණීමත් වඩා අමාරු විය යුතුය. ඩබල් ගෙඩි කන්නේ පිරිමි විතරය. "බඩේ නිඹුල්ලු හැදෙන නිසා" ගෑණු ඒවා කන්නේ නැත. එතකොට මල් ඇවරිය? ඇයි ඒක අතාරින්නේ? සමහර විට මුදලාලිගේ ලාබය මේ මල් ඇවරිය සහ රවුම් කිරීමේදී අත හැරිය ගෙඩි තුන විය හැකිය. ඒ මනුස්සයටත් කීයක් හරි තියෙන්න එපායැ...

කෙසෙල්කැන කඩය ඉදිරිපස එල්ලෙන්නේ ටික දවසක් ගත වී එහි මුල් ඇවරි පාට වැටෙන විටය. කඩේ ඉදිරිපිට රස්තා පාර දාන තරුණයෙකු සමහර විට මෙය එල්ලන විටම ඉඳුල් කරයි.

"මුදලාලි, කෙහෙල් ගෙඩියක් කෑවා!"

කෙසෙල් ලෙල්ල කුණු ගොඩට විසි කරන මේ තරුණයා සාක්කුවට අත දමයි.

"රුපියලක් දෙන්න!"

සීනි රාත්තලක් අරගෙන ආපසු යන්නට හදන මගේ කන් එකවර විශාල වේ. නිකං අකුණක් ගැහුවා වගේය.

"මොනව රුපියලක්? යකෝ එතකොට මේ කෙහෙල්කැනෙන් මුදලාලිට රුපියල් සීයකටත් වැඩිය හම්බවෙනවනේ? මොන අසාධාරණයක්ද ඒ?"

කෙහෙල්ගෙඩි විකිණෙන්නේ ඒ කාලයේ නිහාල් නෙල්සන්ගේ කැසට් විකිණුනා වගේය. කෙසේවුවද, කෙසෙල්කැනේ පුෂ්ටිමත් ගෙඩි විකිණෙද්දී එහි සාරසොබාවද ටික ටික අඩුවේ. ඒ දෙස ඇහැ ගහන පිරිසද ක්‍රමයෙන් අඩු වී ගොස්, කළෙක බැබලි බැබලී තිබුණු මේ කෙසෙල්කැන අර පහුගිය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ ගාණට වැටේ. දැන් අර රස්තා තරුණයෙකු කෙහෙල් ගෙඩියක් කඩා ගත්තත් ඒ, කෙහෙල්කැන වට කිහිපයක් කරකවා තෝරා බේරා ගැනීමෙන් පසුවය.

"කීයද මුදලාලි කෙහෙල් ගෙඩියක්?"

මෙවැනි තරුණයෙකු දැන් කෙහෙල් ගෙඩියක් එකවරම කඩාගන්නේත් නැත.

"සත පණහක් දෙන්නකෝ!"

සත පණහක්? ඒ මොකද? මුදලාලිට තිබුණනේ රුපියල ගානේ විකුණන්න? කලින් රුපියල ගානෙනේ විකුණුවේ? 


කඩේ එල්ලා තිබුණත් මේ මගේ කෙසෙල් පඳුරේ හැදුණු කෙසෙල් ගෙඩියකි. කෙසෙල් ගෙඩිය බාල්දු වීම ගැන මට ඇත්තේ කණගාටුවකි. එතකොට මුදලාලිට හිතපු තරම් ලාබයක් නැද්ද?

තවත් ටික දවසක් යන විට වේලී ඇකිලුනු කෙහෙල්කැනේ බණ්ඩාර වහල්ල වටේ තැනින් තැන ඉතිරි වී ඇති, ඉදී බෙරි වුනු කෙහෙල් ගෙඩි එල්ලා වැටෙන්නට පටන්ගන්නේ ව්‍යාඝ්‍රයෙකුව ගිල දැම්මත් ඔළුව උස්සාගත නොහැකි තරමේ අබල දුබල කමක් ප්‍රදර්ශනය කරමිනි. මේ දෙස බලන කෙනෙකු දැන්නම් තවත් නැත. මේ අළුත් කෙසෙල් කැනක් එහි එල්ලීමට කාලයයි. කාලො අයං තෙ නවො කදලිඵලාය!

ඉතිරි වී ඇති කෙසෙල් ගෙඩිද සමඟ වේලී ඇකිලුනු බණ්ඩාර වහල්ල කුණු ගොඩට විසිවේ. කපුටන්ට ආහාර වන ඉතිරි කෙසෙල් ගෙඩි වලින් මුදලාලිට කිසිදු මුදලක් නොලැබේ.

***

අයෙකුගේ නිෂ්පාදනයක් අඩු මිලට මිල දී ගෙන වෙනත් අයෙකුට වැඩි මුදලකට විකුණන ව්‍යවසායකයෙකු නීතිමය වරදක් නොකරයි. එහෙත්, එවැන්නෙකු කරන්නේ සදාචාරාත්මක වරදක්ද? මෙය බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නයකි. පහතින් ඇත්තේ මා වෙනත් තැනෙක පළ කළ ලිපියකට ප්‍රතිචාරයක් ලෙස පාඨකයෙකු ඇසු ප්‍රශ්නයක් සහ එයට මා ලබා දුන් පිළිතුරයි. (මෙහි පළවන්නේ ආර්ථික විද්‍යාවට අදාළ කොටස පමණි.)



"නීතිය විසින් සමහර වැරදි සම්බන්ධයෙන් සිදුකරන අර්ථකතනයන් මාහට ගැටලුකාරිය උදාහරණයක් ලෙස යම් පුද්ගලයකුගෙන් දේපලක් සොරකම් කිරීම හෝ වංචනිකව ලබා ගැනීම හෝ මංකොල්ල කෑම අපරාධමය වරදක්ය. එහෙත් පුද්ගලයකුට යම් ව්‍යාපාරයක් සදහා මුදල් යොදවා එම ව්‍යාපාරයට සම්බන්ධ ශ්‍රමිකයින්ට මුදල් ගෙවිමෙන් පසු භාණ්ඩ විකුණා විශාල ලාභයක් ලැබීම වරදක් නොවේය. (උදා - එක් මිනිසකු සකස් කරන භාණ්ඩයක් එම පුද්ගලයාගෙන් රු 100කට ගෙන එම භාණ්ඩය රු 25 වියදම්කර ප්‍රවාහනය කර තවත් පුද්ගලයකුට රු 250කට විකුණයි. විකිණිම කරන පුද්ගලයාට රු 50ක් ගෙවා රු 100 යෙදවු ආයෝජකයා රු 175ක් නැවත තමන් අතට ලබා ගනියි (ලාභය රු 75) මෙම ක්‍රියාව මගින් වරදක් සිදුවන බවක් නීතීය පිලිගන්නේ නැත. මෙම ලාභය වෙනුවෙන් යම් බදු මුදලක් පමණක් රජය ලබා ගනියි. මට ඇති ගැටලුවනම් ආයෝජනය කරන පුද්ගලයා යොදවන්නේ මුදල් පමණි. ලාභය යනු ඔහුගේ ශ්‍රමය වෙනුවෙන් වන කොටසද නැතිනම් යම් වරදක් එතැන සිදුවන්නේද? (ආයෝජකයින් මුදල් යොදවන්නේ පාඩු ලැබීමට නොවේ, සමහර ආයෝජකයින් පාඩු ලබයි, සමස්ථයක් ලෙස සම්පුර්ණ ආයෝජනයන් සැලකිමේදි ඇත්තේ සමස්ථ ලාබයක්ය)"

මා මේ බ්ලොග් එක ඇරඹුවේම මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කිරීමටය. එක් අතෙකින් මෙවැනි සරල දේවල් මුලින් විස්තර නොකිරීම ගැන මට මා ගැනම කණගාටුවක් තිබේ. අනෙක් අතට, වෙනත් කරුණු ගැන නොලිවුවානම්, ඇතැම් විට මේ ප්‍රශ්නය අසන්නට ඔබ මෙහි එන්නේද නැත. 

ඔබේ විස්තරය ඉතා පැහැදිලි, හොඳ විස්තරයකි. ඒ නිසා විශ්ලේෂණය කිරීම පහසුය. 'වරදක්' යන වචනය ගත්තොත් මෙය සාපේක්ෂ සංකල්පයකි. ඔබ වරදක් සේ දකින දෙයක් මා එසේ නොදකින්නට පුළුවන. එවිට පුද්ගල සම්බන්ධතා සුමට ලෙස සිදුනොවේ. මෙය අප දෙදෙනාටම ප්‍රශ්නයකි. වරද කුමක්ද යන කරුණ ගැන අප දෙදෙනා එකඟතාවයකට පැමිණීම මෙයට විසඳුමකි. උදාහරණයක් ලෙස පන්සල් ගෙනයාමට අවසරයකින් තොරව ඔබේ වත්තේ මල් කැඩීම මා වරදක් ලෙස නොදකිද්දී ඔබ එසේ දැකිය හැකිය. නීතිය යනු සමාජයක් මෙසේ එකඟ වන කරුණු සමූහයකි. යම් කරුණක් සම්බන්ධව බොහෝ දෙනෙකුට සම්මුතියකට පැමිණීම අපහසුය. ඒ නිසා, එක් පුද්ගලයෙකු වරදක් ලෙස දකින දෙයක් අදාළ සමාජයේ නීතිය අනුව වරදක් නොවිය හැකිය. 

එහෙත්, ඒ සමාජයේ බොහෝ දෙනෙකු වරදක් ලෙස සිතන දෙයක් එහි නීතිය අනුවද වරදක් බවට පත්වේ. ඉහත උදාහරණයේ ඇති කරුණ නීතිමය වරදක් නොවූවත් සදාචාරාත්මක වරදක් ලෙස ඔබ සලකනවා විය හැකිය. ආගමික හෝ සදාචාරාත්මක වැරදි හැමවිටම නීතිමය වැරදි සමඟ ස
ම්පාත නොවේ. 


දැන් ඉහත කරුණට ආපසු ආවොත්, මෙවැන්නක් වරදක්යයි ඔබ සිතනවානම් ඔබ එවැනි ලාභයක් ලැබෙන කටයුත්තක නොයෙදීමට ඉඩ තිබේ. එවැන්නක් කළද, වරදකාරී හැඟීමකින් එය කරනු ඇත. ඒ නිසා, එය සැබවින්ම ඔබට අනුව වරදකි. එහෙත්, එසේ නොසිතන අයට එය වරදක් නොවේ. මෙය නීතිමය වරදක් වී නැත්තේ එය සදාචාරාත්මක වරදක් බව බොහෝ දෙනෙකු නොසිතන නිසාය. එසේ නොවන්නේ ඇයිද යන කරුණ මට ආර්ථික විද්‍යා මූලධර්ම ඇසුරෙන් පැහැදිලි කළ හැකිය.

මම මේ විදිහට නම් ටිකක් යොදාගන්නම්.
සෝමලතා- භාණ්ඩය සකස්කර රු 100ට විකුණයි.
රාමන්- රුපියල් 25කට භාණ්ඩය ප්‍රවාහනය කරයි.
පැට්‍රීෂියා- රුපියල් 250කට භාණ්ඩය මිල දී ගනී.
නවුෆර්- රුපියල් 50ක කුලියකට ඉහත ගනුදෙනුව සඳහා මැදිහත් වේ.
රත්නායක- පැත්තක සිට රුපියල් 100ක් යොදවා රුපියල් 75ක ලාභයක් ලබයි.
භාණ්ඩය- කෙසෙල්කැනක් යැයි සිතමු.

තවමත් මෙහි ඇත්තේ ඔබ සඳහන් කළ කරුණු පමණි. මේ කතාවේ රත්නායක ආයෝජකයාගේ සහ ව්‍යවසායකයාගේ කාර්යයන් දෙකම කරයි. 

දැන් අපි මේ ගනුදෙනුවෙන් එක් එක් පුද්ගලයාට ලැබෙන ලාභය බලමු.

 
සෝමලතා- කෙසෙල්කැන රු 100ට විකුණන්නේ එසේ කිරීමෙන් ඇයට ලාභයක් ලැබෙන නිසාය. ලාභයක් නැත්නම් ඇයට මෙය ප්‍රතික්ෂේප කළ හැකිය. ඇගේ නිෂ්පාදන වියදම සහ ශ්‍රමයේ වටිනාකම රුපියල් 75ක් නම් ඇයට රුපියල් 25ක ලාභයක් තිබේ. 

 
රාමන්- රුපියල් 25කට කෙසෙල්කැන ප්‍රවාහනය කර දෙන්නේ ඒ ගණනට ප්‍රවාහනය කර දීමෙන් ඔහුට ලාභයක් ලැබෙන නිසාය. රාමන් මෙය කර තියාගෙන යයි. ඔහු එදින එය නොකළොත් ඔහුට වෙනත් වැඩක් නොලැබේ. ඒ නිසා රාමන්ට ලැබෙන වාසිය රුපියල් 25කි.

 
පැට්‍රීෂියා- රුපියල් 250කට භාණ්ඩය මිල දී ගනී. ඇයට ගෙදර උත්සවයකට කෙසෙල්කැනක් අවශ්‍යය. මේ කෙසෙල්කැන ඇයට නොලැබුනානම් ඇයට වෙනත් අයෙකුගෙන් කෙසෙල්කැනක් මිලදී ගැනීමට රුපියල් 275ක් වැයවේ. ඒ නිසා ඇගේ ලාභය රුපියල් 25කි.

 
නවුෆර්- රුපියල් 50ක කුලියකට ඉහත ගනුදෙනුව සඳහා මැදිහත් වේ. රත්නායක මේ සඳහා ඔහුට කතා කරන විට නවුෆර් රුපියල් 25ක කුලියකට වෙනත් වැඩක් භාර ගැනීමට සූදානම් වුණා පමණි. මේ වැඩෙන් ඔහුට වැඩිපුර රුපියල් 25ක් ලැබේ.

 
රත්නායක- සෝමලතාට රුපියල් 100ක් අතින් ගෙවයි. රාමන්ට සහ නවුෆර්ට ගෙවන්නේ පැට්‍රීෂියාගෙන් ලබාගත් මුදලිනි. ඒ අනුව, ඔහු රුපියල් 100ක් ආයෝජනය කර රුපියල් 75ක ලාභයක් ලබයි. එය ලබා ගැනීම සඳහා රත්නායක කළේ කුමක්ද?

-රත්නායක අවදානමක් ගත්තේය. ප්‍රවාහනය කරන විට පැට්‍රීෂියා රුපියල් 275කට වෙනත් අයෙකුගෙන් කෙසෙල්කැනක් මිල දී ගෙන තිබුණානම් සිදුවන්නේ කුමක්ද?
වෙනත් කෙනෙකුට කෙසෙල්කැන විකුණන්නට වෙන්නේ රුපියල් 200කට යැයි සිතමු. මේ අවදානම 50%ක් යැයි
සිතමු. එසේ වුණානම් ඔහුගේ ලාභය රුපියල් 25ක් පමණි. ඒ කියන්නේ ඔහුගේ අපේක්ෂිත ලාභය වූයේ රුපියල් 50කි. (25 සහ 75 සාමාන්‍ය අගය). දැන් ඔහුගේ රුපියල් 75න් 25ක් ඒ අනුව ලැබුණේ ඔහුගේ 'වෙලාව හොඳ' නිසාය. (සම්භාවිතාව අනුවය) මෙය රුපියල් 25ක පාඩුවක් විය හැකිව තිබුණි.

 
-මේ රුපියල් 100 පොලියට දුන්නානම් ඔහුට රුපියල් 25ක් ලබාගන්නට තිබුණේය. (වෙනත් අයුරකින් කියනවානම්, මේ රුපියල් 100 ඔහුගේම මුදල් නොවී, ඔහු ගත්තේ සැබෑ ආයෝජකයා වන හේමලතාගෙන් පොලියටනම් ඔහු හේමලතාට රුපියල් 25ක් ගෙවිය යුතුය.)

 
-ඉතිරි රුපියල් 25 ඔහුට ලැබෙන්නේ ඔහු ව්‍යවසායකයෙකු වශයෙන් කළ ඉතාම වැදගත් කාර්යය නිසාය. ඔහුට ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගත හැකි විය. ඒ නිසා, සෝමලතා, රාමන්, පැට්‍රීෂියා, නවුෆර්, හේමලතා යන පස් දෙනාටම රුපියල් 25 බැගින් වාසි විය. ඔහුට රුපියල් 50ක වාසියක්ද සිදුවිය.

ව්‍යවසායකයා කියන්නේ ඉතාම වැදගත් පුද්ගලයෙකි. රැකියා ජනනය කරන්නේ ව්‍යවසායකයාය. ඔහු කිසිම සදාචාරාත්මක වරදක් නොකරයි. ඒ බව බොහෝ දෙනෙකු නිවැරදිව තේරුම් ගන්නා නිසා ව්‍යවසායකත්වය මඟින් මුදල් ඉපැයීම කිසිදු රටක (මා දන්නා පරිදි) නීතිමය වරදක් නොවේ. රටක් දියුණු වන්නේ මෙවැනි ව්‍යවසායකන් වැඩි වූ තරමටය.

මේ කොටසේ ඔබට අපැහැදිලි හෝ අවුල් සහගත යමක් ඇත්නම් කරුණාකර අහන්න. මට මෙය තවදුරටත් පැහැදිලි කළ හැකිය. 


(මෙයින් අනතුරුව මේ පාඨකයා ඔහු සිතන ආකාරය වැඩි දුරටත් පැහැදිලි කර තිබුණේය. ඒ ගැන ඉදිරියේදී අදහස් දක්වමි.)