Wednesday, November 16, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (නවවන කොටස)

ලංකාවේත්, ඇමරිකාවේත් රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසි ක්‍රියාත්මක වන ආකාරය මම මේ ලිපි මාලාවේ මුලදීම පැහැදිලි කළෙමි. ඇමරිකාවේ වෙන්දේසියට ලන්සු තබන සියල්ලන්ටම රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කෙරෙන්නේ එකම මිලකටය. ඒ මිල වන්නේ අදාළ රාජ්‍ය සුරැකුම්පත් වර්ගය සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත කරන ආන්තික මිලයි.

බොහෝ විට, එම රාජ්‍ය සුරැකුම්පත් වර්ගයේ ද්වීතියික වෙළඳපොළ මිල වන්නේද ආසන්න වශයෙන් ප්‍රාථමික වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම තුලනය කෙරෙන මේ මිලමය. තරඟකාරී වෙළඳපොලක එක සමාන භාණ්ඩයක් වෙනස් මිල ගණන් වලට අලෙවි විය නොහැකිය. ඕනෑම අයෙකුට ප්‍රාථමික වෙළඳපොළ වෙන්දේසියට සහභාගී වීමේ හැකියාව ඇති නිසා ඇමරිකාවේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අනෙකුත් සාමාන්‍ය පුද්ගලයින්ට නොලැබෙන විශේෂ වාසියක් නොලැබේ. ඒ නිසා, එම ආයතන වලට ප්‍රාථමික වෙන්දේසියෙන් සුරැකුම්පත් අඩු මිලට ගෙන ද්වීතියික වෙළදපොළේ වැඩි මිලට විකිණීමේ හැකියාවක් නැත.

ඉහත කී පරිදි ඇමරිකාවේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට ලාබයක් තබාගෙන, ප්‍රාථමික වෙන්දේසියට ඉදිරිපත් වීමේ හිමිකමක් නැති අයට අනෙක් අතට සුරැකුම්පත් විකිණීමේ හැකියාවක් නොමැති නිසා ඔවුන්ට ලාබ උපයන්නට වෙන්නේ වෙනත් ක්‍රම වලිනි. බොහෝ විට මේ 'වෙනත් ක්‍රමය' වන්නේ වෙළෙඳපොළ සාධක වෙනස් වී මිල වැඩි වූ අවස්ථාවක් එළඹෙන තුරු බලා සිට තමන් සතු රාජ්‍ය සුරැකුම්පත් මුදල් කිරීමයි.

ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියෙන් සියළු ගැණුම්කරුවන්ට එකම මිලකට රාජ්‍ය සුරැකුම්පත් නොලැබේ. උදාහරණයක් ලෙස මා මෙම ලිපි මාලාවේ හත්වන කොටස සමඟ පළ කළ වගුව 2 බලන්න. එම ලිපියේ ලියූ පරිදි, 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී මහ බැංකුව විසින් පෙර දැනුම් දුන් පරිදි හරියටම රුපියල් බිලියනයක බැඳුම්කර නිකුත් කළේනම් සිදුවන්නේ මෙවැන්නකි.

"ඇමරිකානු ක්‍රමයේදී සියළුම ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ ආන්තික මිල වුවත්, ලංකාවේ ක්‍රමයේදී එක් එක් ගැනුම්කරුට තමන් තැබූ ලන්සුවේ මිල ගෙවන්නට සිදු වේ. ඒ අනුව, ලංකා බැංකුවට රුපියල් මිලියන 8ක මුහුණත වටිනාකමැති බැඳුම්කර වෙනුවෙන් රුපියල් 119.33ක ඉහළ මිලක්ද, ඉතිරි රුපියල් මිලියන 500 වෙනුවෙන් රුපියල් 109.39ක තරමක් අඩු මිලක්ද ගෙවන්නට සිදු වේ. ලංකා බැංකුව විසින් රුපියල් මිලියන 508ක බැඳුම්කර වෙනුවෙන් ගෙවන මුළු මුදල රුපියල් මිලියන 556.51ක් වන නිසා ලංකා බැංකුව විසින් ගෙවන බරිත සාමාන්‍ය මිල රුපියල් 109.23ක්ද, බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය 10.23%ක්ද වේ.

ඇකුයිටි සිකියුරිටීස් සමාගම රුපියල් 112.01 බැගින්ද, ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් 110.95 බැගින්ද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගනිති. එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල විසින් ආන්තික මිල වන රුපියල් 104.51 ගෙවති."

මෙහි පැහැදිලිව පෙනෙන පරිදි, එක සමාන බැඳුම්කර වෙනුවෙන් එක් එක් ලන්සුකරු ගෙවන්නේ වෙනස් මිල ගණන්ය. මෙය ඇමරිකාවෙන් ලංකාව වෙනස්වන එක් ආකාරයකි. ඇමරිකාවෙන් ලංකාව වෙනස්වන දෙවන ආකාරය වන්නේ ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළදපොළට ලන්සු තැබීමේ අයිතිය ඇති ආයතන දහසයට එම අයිතිය නොමැති වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සුරැකුම්පත් අනෙක් අතට විකුණා ලාබයක් ලැබිය හැකි වීමයි. මේ කටයුත්තේදී කිසියම් තරඟකාරිත්වයක් ඇති වන නිසා ද්වීතියික වෙළදපොළේ තිබිය හැක්කේ (ආසන්න වශයෙන්) එක් ස්ථාවර මිලකි. මේ මිල කුමක්ද?

ප්‍රාථමික වෙන්දේසියේ බැඳුම්කර විකිණුනු අවම මිල රුපියල් 104.51 කි. ඒ නිසා ද්වීතියික වෙළඳපොළ මිල ඊට වඩා අඩු විය නොහැකිය. වෙන්දේසියට සහභාගී වී සුරැකුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සියල්ලෝම මීට වඩා ඉහළ මිලක් ඉල්ලා සිටි අයයි. ඒ නිසා, මේ සුරැකුම්පත් විකුණන්නට වෙන්නේ ප්‍රාථමික වෙළඳපොළට සහභාගී වීමේ හැකියාවක් නොතිබුණු පුද්ගලයෙකුට හෝ ආයතනයකටය.

රුපියල් 112.01 බැගින් බැඳුම්කර මිලදී ගත් ඇකුයිටි සිකියුරිටීස් සමාගම සතයක ලාබයක් තබාගෙන රුපියල් 112.02 කට කිසියම් ගැණුම්කරුවෙකුට බැඳුම්කර විකුණන්නට සැරසෙන්නේයැයි සිතමු. එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමට ඒ මිලට වඩා ශත දෙකක් අඩුවෙන් රුපියල් 112.00 කට එම ගැනුම්කරුට බැඳුම්කර විකුණා රුපියල් 7.49ක ලාබයක් ලැබිය හැකිය. ඒ, ඔවුන් ගෙවා ඇති මිල රුපියල් 104.51ක් පමණක් බැවිනි. එවිට, ඇකුයිටි සිකියුරිටීස් සමාගමට කළ හැකි දෙයක් නැත.

ලංකාවේ ප්‍රාථමික වෙන්දේසියෙන් පසුව අඩු මිලට බැඳුම්කර ගත් අය කිසියම් ලාබයක් තබාගෙන මේ බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ තුළ විකුණන බැවින් ද්වීතියික වෙළඳපොළ මිල වැඩි මිලක් දී එම වෙන්දේසියෙන්ම බැඳුම්කර මිලදී ගත් අයට අවාසියක් සිදුවන මට්ටමකට පහත වැටේ. ද්වීතියික වෙළදපොළ මිල බොහෝ විට අදාළ වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල වූ රුපියල් 108.08 මට්ටමට වැටෙන්නට ඉඩ තිබේ. එසේ වීමේදී, ප්‍රාථමික වෙන්දේසියෙන් බැඳුම්කර ලබාගත් ගැනුම්කරුවන්ගෙන් අඩකට ලාභයක් වන අතර අනෙක් අඩට පාඩුවක් සිදු වේ.

ඉහත උදාහරණයේදී, මේ සමතුලිත මිල රුපියල් 108.08 නම් රුපියල් 109.23ක සාමාන්‍ය මිලක් ගෙවූ ලංකා බැංකුවට රුපියල් 1.15ක අලාභයක්ද, ඇකුයිටි සිකියුරිටීස් සමාගමට රුපියල් 3.93ක අලාභයක්ද, ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගමට රුපියල් 1.87ක අලාභයක්ද සිදුවෙද්දී, එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් 3.57ක ලාබයක් ලැබේ. මේ අනුව, ප්‍රාථමික වෙන්දේසියෙන් රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීම ලාභ මෙන්ම අලාභද සිදුවිය හැකි සූදුවකි.

වෙළදපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ රුපියල් 108.08 මට්ටමේදී නිසා ද්වීතියික වෙළඳපොළ මිල ඒ මට්ටමේ ස්ථාවර වීමට ඉඩ ඇති බව මා කීවත් එය හරියටම එසේම සිදු නොවනු ඇතැයි යමෙකුට කිව හැකිය. කෙසේ වුවද, වෙනත් හේතුවක් නිසා එසේම සිදු වෙයි.

පසුගිය 2015 මාර්තු පමණ දක්වා මහ බැංකුව අනුගමනය කළ ක්‍රමවේදය වූයේ ප්‍රාථමික වෙන්දේසි පැවැත්වෙන දින හැර අනෙකුත් දින වල සෘජු ක්‍රමයට භාණ්ඩාගාර සුරැකුම්පත් අලෙවි කිරීමයි. මෙසේ අලෙවි කළේ අවසන් වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලටය. ඉහත උදාහරණයේ මේ මිල රුපියල් 108.08 කි. දැන් මහා බැංකුවෙන් රුපියල් 108.08 බැගින් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමේ හැකියාව ඕනෑම ප්‍රාථමික ගැනුම්කරුවෙකුට තිබෙන නිසා, වෙනත් අයෙකුගෙන් ඊට වඩා වැඩි මිලකට මිල දී ගන්නට කිසිම උවමනාවක් නැත. ඒ නිසා, ප්‍රාථමික වෙළදපොලෙන් ඊට වඩා වැඩි මිලකට බැඳුම්කර මිලදී ගත් සියල්ලන්ටම පාඩු විඳින්නට සිදුවේ. රුපියල් 108.08 යනු වෙන්දේසියෙන් අලෙවි වූ බැඳුම්කර පරාසයේ මධ්‍යන්‍යය නිසා බැඳුම්කර වලින් හරි අඩක මිල මෙසේ පහත වැටේ.

ඉහත පැහැදිලි කළ පරිදි, ලංකාවේ ප්‍රාථමික වෙන්දේසියෙන් සුරැකුම්පත් මිලදී ගැනීම අවදානම් සහගත සූදුවකි. මේ සූදුව දිනන්නටනම් වෙන්දේසියේ ආන්තික මිල නිවැරදිව අනුමාන කළ යුතුය. එය හරියටම කළ හැකිනම් විශාල ලාභයක් ලැබිය හැකිය. කිසියම් අයුරකින් මහ බැංකුවෙන් ඒ ගැන ඉඟියක් ලැබේනම් ගොඩේ ගොඩය.

"ආවොත් අත තමයි!"

දැන් මෙතැනදී ලාබයක් ලබන ප්‍රාථමික ගනුදෙනුකරුවෙක් හෝ බැංකුවක් ඒ ලාබය ලබාගන්නේ වෙනත් ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුගේ හෝ බැංකුවක වියදමිනි. රජයට මෙයින් කිසිදු විශේෂ වාසියක් හෝ අවාසියක් සිදු නොවේ.

වැඩි ලාබයක් වෙනුවෙන් මේ අවදානම ගන්නට අකැමති, සුළු ආන්තික ලාබයක් තබාගෙන වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට බැඳුම්කර විකුණා සෑහීමකට පත්වෙන වෙනත් ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුට හෝ බැංකුවකට ප්‍රාථමික වෙන්දේසියට ලන්සු තබා මේ අවදානම ගන්නවාට වඩා වෙන්දේසිය අවසන් වීමෙන් පසු සෘජු ක්‍රමයට බැඳුම්කර මිලදී ගැනීම සුරක්ෂිත තීරණයකි.

ඉහත කරුණ නිසා බොහෝ ප්‍රාථමික ගනුදෙනුකරුවන් හා බැංකු වෙන්දේසියට ඉදිරිපත් කරන්නේ රුපියල් මිලියන සීයේ අවම ලන්සුව පමණි. එය කරන්නේ එම අවම ලන්සුව අනිවාර්යයයෙන්ම තැබිය යුතු නිසාය. ගනුදෙනුකරුවෙක් හෝ බැංකුවක් ඊට වඩා වැඩියෙන් ලන්සු තබන්නේ ඉතා සැලකිල්ලෙනි. එවැනි ලන්සු පිටුපස බොහෝ විට වෙනත් හේතුවක් තිබේ.

මෙහිදී මා 'වෙනත් හේතු' කීවද ඒවා නරක අභිලාෂ බව එයින් අදහස් නොවේ. උදාහරණයක් ලෙස සෑම වාණිජ බැංකුවකම සුරැකුම්පත් කළඹ (securities portfolio) ආයෝජන කළඹ (investment portfolio) හා වෙළඳාම් කළඹ (trading portfolio) ලෙස කොටස් දෙකකින් සමන්විතය. මා ඉහත විස්තර කළ තර්කය අදාළ වන්නේ වෙළඳාම් කළඹටය. ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුගේ සුරැකුම්පත් කළඹ බොහෝ විට වෙළඳාම් කළඹකි.


(මතු සම්බන්ධයි) 

12 comments:

  1. //පසුගිය 2015 මාර්තු පමණ දක්වා මහ බැංකුව අනුගමනය කළ ක්‍රමවේදය වූයේ ප්‍රාථමික වෙන්දේසි පැවැත්වෙන දින හැර අනෙකුත් දින වල සෘජු ක්‍රමයට භාණ්ඩාගාර සුරැකුම්පත් අලෙවි කිරීමයි. මෙසේ අලෙවි කළේ අවසන් වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලටය. ඉහත උදාහරණයේ මේ මිල රුපියල් 108.08 කි.//
    ඉතින් මෙච්චරකල් ඒ මිලට සෘජු ක්‍රමයට විකුනන්න ගැනුම්කරුවෝ හිටියද? පෙර ලිපි වල කියූ කරුණු අනුව කිසිවකු ඒ මිලට ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ඔබ අහන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඔබ කවුරු වුනත්, ඔබ මේ ලිපි පෙළ සැලකිල්ලෙන් හා විමර්ශනාත්මකව දිගටම කියවීම මට ලොකු උත්තේජනයක්. එසේ නොවන්නට මේ ලිපි පෙළ මේ වන විට මඟ නැවතී අවසන්.

      ඉතාම සංකීර්ණ වෙළඳපොළක් වන ලංකාවේ බැඳුම්කර වෙළදපොළ ගැන මම පැහැදිලි කරන්නේ බොහෝ විචල්‍ය නියතව තබා හැකි තාක් සරල තැනකින් පටන්ගෙන, මුලින් නොසැලකූ කරුණු එකින් එක එකතු කිරීමේ ක්‍රමයටයි. අදාළ සිද්ධියේ ලාභ අලාභ සෙවීමට වඩා මම මුල් තැන දෙන්නේ යම් කලකට පසුව හෝ මේ ලිපි අධ්‍යාපනික අරමුණකින් කියවන කෙනෙකුට බැඳුම්කර ගැන අවබෝධයක් ලැබිය හැකි ලිපි මාලාවක් ඉතිරි කිරීමයි. අදාළ කරුණු සියල්ලම කතා කරන්නනම් අඩු ගානේ ලිපි තිහ හතළිහක්වත් ලියන්න වෙයි.

      පසුගිය කොටසින් මම එක් අදියරක් අවසන් කළා. ඒ වන තෙක් පැහැදිලි කිරීමේ පහසුව තකා මම රැඳී සිටි එක් උපකල්පනයක් වන්නේ වෙන්දේසියේ ලන්සු වලින් වෙළදපොළ සැබෑ ඉල්ලුම නිරුපණය වී ඇති බවයි. එය එසේනම්, වෙන්දේසියෙන් පසුව වෙන්දේසියේ ආන්තික මිලට (උදා. රු. 104.51) වඩා වැඩි මිලක් වන බරිත සාමාන්‍ය මිලට (උදා. රු. 108.09) සෘජු ක්‍රමය යටතේ බැඳුම්කර මිලදී ගැනීමට ගැණුම්කරුවන් නැති විය යුතුයි. නමුත්, සංඛ්‍යාලේඛණ පෙන්වන්නේ එවැනි ඉතිරි වූ නොසන්සිඳුණු ඉල්ලුමක් (residual demand) පැවැතී ඇති බවයි. එසේනම්, කිසියම් හේතුවක් නිසා වෙන්දේසියේ ලන්සු වලින් වෙළදපොළ සැබෑ ඉල්ලුම නිරුපණය වී නැහැ. වෙනත් අයුරකින් කිවහොත් වෙන්දේසියේ මිලට වඩා වැඩි මිලකට සෘජු ක්‍රමයට කිසියම් බැඳුම්කර ප්‍රමාණයක් විකිණීමේ හැකියාවක් තිබී තියෙනවා. එහෙමනම්, ඇතැම් ලන්සුකරුවන් කිසියම් හේතුවක් නිසා වෙන්දේසියට ඉදිරිපත් කර ඇත්තේ තමන් ගෙවන්නට කැමති නියම මිලට වඩා අඩු මිලක්. ඔවුන් එසේ කරන්නට පෙළඹී ඇත්තේ ඇයි? මා මෙතැන් සිට එකින් එක පිලිවෙලින් සාකච්ඡාවට ගන්නේ ඔවුන්ව එවැනි තැනකට තල්ලු විය හැක්කේ කුමන සාධක නිසාද කියන එකයි. නිවැරදි ඉල්ලුම් වක්‍රය හඳුනා ගැනීම සඳහා ඉල්ලුම් වක්‍රය වෙනස් කරන එවැනි සාධක ගැන සොයා බැලිය යුතුයි. රජයට සිදුවූ අලාභය ගණනය කිරීමේ පදනම විය යුත්තේ මේ නිවැරදි ඉල්ලුම් වක්‍රය කුමක්ද කියන එකයි.

      Delete
    2. ඉතාම හොඳ ප්‍රවේශයක්. මටත් ඕනේ අන්න එතනට යන්න. ආර්ථික විද්‍යාව මගේ සබ්ජෙක්ට් එක නෙමෙයි. ඒත් මේ ගනුදෙනුව ගැන විපක්ෂය නගපු ඝෝෂාව සහ තර්ක හරිම බොළඳයි සහ පරස්පරයි කියල මට හිතුනේ. තවම කිසිම තැනක සම්පූර්ණ චිත්‍රය පලවෙන ලිපියක් මට හම්බ වෙලා නැහැ. ලංකාවේ මිනිස්සුත් බෑන්ඩ් වැගන් එකට නැගල ට්‍රම්පට් ගහන්නම උපන් ජාතියක් නිසා මෙවැනි ලිපි වලින් ඔවුන් ඉන්න මතය වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා තමන් ඉන්න මතය එකින් එක බිඳ වැටෙනකොට ඔවුන් ලිපි කියවීමෙන් ඉවත් වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් අවසානය තෙක් ලියන්න පැත්තක් නොගෙන.

      Delete
  2. ඒ කියන්නේ ඉතිරි බිලියන 9 108.08 ගානේ සෘජු ක්‍රමයට විකුනන්න තිබුන කියන එක නේද? එහෙම බැලුවම විගණකාධිපති කියනවටත් වඩා පාඩුවක් රජයට වෙලා තියෙනවනේ

    ReplyDelete
    Replies
    1. "ඉතිරි බිලියන 9 108.08 ගානේ සෘජු ක්‍රමයට විකුනන්න තිබුන කියන එක" නිවැරදි නැහැ. මහ බැංකුව විසින් මිල තීරණය කළ විට ඒ මිලට විකිණිය හැකි බැඳුම්කර ප්‍රමාණය තීරණය වෙන්නේ ඉල්ලුම් වක්‍රයේ ස්වභාවය අනුවයි. වෙන්දේසියේ ලන්සුවලින් නිරූපණය වුණේ එදින පැවති සැබෑ ඉල්ලුමනම් සෘජු ක්‍රමයට මේ මිලට විකිණීමේ කිසිදු ඉඩකඩක් නැහැ. (එවැනි, තත්ත්වයකදී වුවත් රජයට සම්බන්ධ සේ.අ.අ. වැනි ආයතනයකට හෝ රාජ්‍ය බැංකුවකට අඩු මිලට 'බලෙන්' විකුණන්න බැරිකමක් නැහැ.) නමුත්, වෙන්දේසියට බොහෝ දෙනා ඉදිරිපත් කර ඇත්තේ කෘතීම ලෙස හිතා මතා ඉහළ දැමූ ලන්සුනම් එවැනි ඉඩක් තියෙනවා. වැදගත් කරුණ වන්නේ අපට නොපෙනුණත් කිසියම් සැබෑ ඉල්ලුම් වක්‍රයක් තියෙනවා කියන එකයි. ඒ නිසා, රු. 108.08 මිලට විකිණිය හැකි නිශ්චිත උපරිම බැඳුම්කර ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රමාණය බිලියන 9 ට වඩා අඩුද වැඩිද කියන එක පැවසීම අසීරු කරුණක්. ලිපි පෙළ දිගටම ලියන්න හැකි වුණොත් ඒ ගැන අපි ඉදිරියේදී විමසා බලමු.

      මා පෙර කිවූ පරිදි කෝප් වාර්තාවේ ඇත්තේ ඉතා සරල ගණනය කිරීමක්. විගණකාධිපතිවරයාගේ විශ්ලේෂණ වල සීමාවන් ඔහු විසින්ම වාර්තාවේ සටහන් කර තිබෙනවා. කෝප් වාර්තාවේ ඇතැම් ගණනය කිරීම් වැරදි බව එක් වරම ඇහැට පේනවා. මේවා විෂය දැනුම පිළිබඳ සීමාවන් හෝ නොසැලකිල්ල නිසා තාක්ෂණිකව වඩා ඉදිරියෙන් සිට ඇති බව පෙනෙන එජාප කණ්ඩායමටවත් පෙනී නැහැ. අවශ්‍යනම් මට ඔබට උදාහරණ පෙන්විය හැකියි.

      විගණකාධිපති වාර්තාවේ ඇස්තමේන්තු සරල හා වැරදි වුවත්, ඔහුගේ ක්‍රමවේදයට පදනමක් තියෙනවා. එය නිරීක්ෂණ මත පදනම් වූවක්. 2015 පෙබරවාරි දක්වා ආසන්න වසරක පමණ කාලයක් මහ බැංකුව විසින් නිකුත් කර ඇති සුරැකුම්පත් වලින් 80%කට වඩා නිකුත් කර ඇත්තේ සෘජු ක්‍රමයටයි. එයින් පෙනෙන්නේ වෙන්දේසියෙන් පසුව වෙන්දේසියේ විකුණුනු සුරැකුම්පත් ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් සෘජු ක්‍රමයට විකිණිය හැකිව තිබුණු බවයි. මේ නිරීක්ෂණය මත පදනම් වෙමින්, සෘජු ක්‍රමයට බිලියන 20ක් දක්වා විකිණිය හැකිව තිබුණු බව ඔහු උපකල්පනය කරනවා. ඇතැම් විට, ජවිපෙ ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් හිතන්න ඇත්තේත් මේ අයුරිනුයි. මෙය අප විමසිය යුත්තේ රු. 104.51 මිලට (හෝ රු. 108.09 වැනි වෙනත් මිලකට) එදින වෙළඳපොළේ කොපමණ ඉල්ලුමක් තිබුණේද යන පදනමිනුයි. මෙය ඇස්තමේන්තු කිරීම අසීරු දෙයක් වුවත් අපට උත්සාහයක් දැරිය හැකියි.

      Delete
    2. //තත්ත්වයකදී වුවත් රජයට සම්බන්ධ සේ.අ.අ. වැනි ආයතනයකට හෝ රාජ්‍ය බැංකුවකට අඩු මිලට 'බලෙන්' විකුණන්න බැරිකමක් නැහැ.//
      මේ දෙය කිසිම තේරුමක් නැති දෙයක් නේද? එහෙම කලාම අනාගතයේදී සේ.අ.අ. ට පාඩු කළා, දැන් සේවකයන්ට සල්ලි ගෙවන්න විදියක් නැහැ කියල ඝෝෂා කරන්නෙත් ඔය කට්ටියම නේද ඊට පස්සේ.
      // අවශ්‍යනම් මට ඔබට උදාහරණ පෙන්විය හැකියි.//
      ඉතාම ඕනෑකමින් ඉල්ලසිටිනවා. මේ කියන්නේ පසුගිය ලිපිවල පෙන්වා දුන් ගණනය කිරීමේ දෝෂයට අමතරවද?

      //මෙය අප විමසිය යුත්තේ රු. 104.51 මිලට (හෝ රු. 108.09 වැනි වෙනත් මිලකට) එදින වෙළඳපොළේ කොපමණ ඉල්ලුමක් තිබුණේද යන පදනමිනුයි. මෙය ඇස්තමේන්තු කිරීම අසීරු දෙයක් වුවත් අපට උත්සාහයක් දැරිය හැකියි.//
      බොහොම හොඳයි. ඒ ගැනත් ඉදිරියේදී සාකච්චා කරයි කියල බලාපොරොත්තු වෙනවා.

      ඉහත උත්තරේ නිසා තවත් ගොඩක් ප්‍රශ්න පැනනැගුනත්, ඉදිරි ලිපිත් කියවලම අහන්නම්.

      Delete
    3. //මේ දෙය කිසිම තේරුමක් නැති දෙයක් නේද? එහෙම කලාම අනාගතයේදී සේ.අ.අ. ට පාඩු කළා, දැන් සේවකයන්ට සල්ලි ගෙවන්න විදියක් නැහැ කියල ඝෝෂා කරන්නෙත් ඔය කට්ටියම නේද ඊට පස්සේ.//
      මෙය අඩුම වශයෙන් වසර දහයකට වඩා කාලයක් තිස්සේ සිදුවූ දෙයයි. එය සිදුවීමේ පසුබිමත් ඉදිරියේදී විස්තර කරන්නම්.

      //ඉතාම ඕනෑකමින් ඉල්ලසිටිනවා.//
      මේ එක සරල උදාහරණයක්. කෝප් වාර්තාවේ 5.4 ඡේදයේ (28 පිටුවේ) උඩින්ම ඇති වගුවේ 5,6,7 පේළි වලට යන්න. සේ.අ.අ.ට මුහුණත වටිනාකම රු. මිලියන 500ක් විකුණා ලබා ඇති මුදල (රු. 522,536,500), එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමට මුහුණත වටිනාකම රු. මිලියන 50ක් විකුණා ලබා ඇති මුදලමෙන් (රු. 52,253,650) හරියටම 10 ගුණයක්. ඒ වගේම, NSB Fund Management Company Ltd. වෙත මුහුණත වටිනාකම රු. මිලියන 100ක් විකුණා ලබා ඇති මුදලමෙන් (රු. 104,507,300) හරියටම 5 ගුණයක්. මේ අනුපාත සතයකින්වත් වෙනස් නැති බව බැලූ බැල්මටම ඇහැට පෙනෙනවා. ඒ කියන්නේ මේ ලන්සු තුනේදීම මුහුණත වටිනාකම රුපියල් 100කට ගෙවන්නේ හරියටම රුපියල් 104.5073ක් වන දශමයකවත් වෙනසක් නැති එකම මිලක්. එහෙමනම්, එම වගුවේ අවසන් තීරුවේ ඇති පරිදි මේ ලන්සු තුනට අදාළ බරිත සාමාන්‍ය ඵලදා අනුපාතික 10.2339, 10.2959, 10.4652 ලෙස වෙනස් වෙන්නේ කොහොමද? මෙය ආර්ථික විද්‍යාව හෝ ගිණුම්කරණය නෙමෙයි. සාමාන්‍ය දැනීම හා විචක්ෂණශීලිත්වය පිළිබඳ ප්‍රශ්නයක්.

      //ඉහත උත්තරේ නිසා තවත් ගොඩක් ප්‍රශ්න පැනනැගුනත්, ඉදිරි ලිපිත් කියවලම අහන්නම්.//
      කලින් ඇහුවත් ප්‍රශ්නයක් නැහැ. කලින් වැඩිනම් දැන් පිළිතුරු නොදී පසුව පිළිතුරු දෙන්නම්.

      Delete
    4. ස්තුතියි.
      //එහෙමනම්, එම වගුවේ අවසන් තීරුවේ ඇති පරිදි මේ ලන්සු තුනට අදාළ බරිත සාමාන්‍ය ඵලදා අනුපාතික 10.2339, 10.2959, 10.4652 ලෙස වෙනස් වෙන්නේ කොහොමද? මෙය ආර්ථික විද්‍යාව හෝ ගිණුම්කරණය නෙමෙයි. සාමාන්‍ය දැනීම හා විචක්ෂණශීලිත්වය පිළිබඳ ප්‍රශ්නයක්.//
      මේකනම් වරදක් නෙමෙයි. අනික මේක විගණකාධිපති කරපු ගණනය කිරීමකුත් නෙමෙයි. මහබැංකුවේ ලියකියවිලි වල තිබුන ගනන්මිනුම්. මේ ගණන් හරි. ඔය 10.2339, 10.2959, 10.4652 ගණන් තුනෙන් කියන්නේ සමුච්චිත ඵලදා අනුපාතය.(එම ලන්සුව පිළිගැනීම මගින් එම ලන්සුව දක්වා රජය ගත් මුළු මුදල සඳහා වන ඵලදා අනුපාතය. ඉංගිරිසියෙන්නම් Weighted Average Yield මම හිතන්නේ)

      Delete
    5. පැහැදිලි කිරීම ගැන ස්තුතියි, ඇනෝ. සමුච්චිත (cumulative) අගයක් ලෙස සැලකූ විට මේ ගණන් නිවැරදියි තමයි. වගුවේ ඉදිරිපත් කර ඇති ආකාරය අනුව මට මෙය එක වර පැහැදිලි වුනේ නැහැ. එය මගේ විචක්ෂණශීලිත්වයේ අඩුවක්!

      Delete
    6. ඔව්. කෝප් එකේ වගුව අපැහැදිලි. මහබැංකුවේ ඩොක්යුමෙන්ට් එකනම් ඉතාම පැහැදිලිව තියෙනවා. මම ඒක දැකල තිබුන නිසා ප්‍රශ්නයක් උනේ නැහැ.

      Delete
    7. විගණකාධිපති වාර්තාව ඇතුළු කෝප් වාර්තාවේ ඇමුණුම් අන්තර්ජාලයේ කොහේ හරි තියෙනවද?

      Delete
    8. කෝප් වාර්තාව පාර්ලිමන්ට්.lk වෙබ් සයිට් එකේ තියෙනවා. ඇමුණුම් නම් මටත් තව අහු වුනේ නැහැ. සාක්ෂි සටහන් කියවන්න ආසාවෙන් තමයි මාත් ඉන්නේ. හැබැයි ඩිරෙක්ට් ගන්න පුළුවන් මහිතේ.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.