Thursday, November 10, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පස්වන කොටස)

පහත උපුටා ගැනීම් කෝප් වාර්තාවේ 3.2 ඡේදයෙනි (ලේඛණයේ 12 වන පිටුව).

"බැඳුම්කර වෙන්දේසියන්හිදී ගනුදෙනුකරුවන් විසින් මහා බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන පොලී අනුපාතික මත පදනම්ව විවිධ මිලගණන් යටතේ ලන්සු ඉදිරිපත් කරනු ලබයි. එම ලන්සු අධි මිලකට එනම් මුහුණත වටිනාකමට වඩා වැඩි මිලකට, සම මිලට එනම් මුහුණත වටිනාකමට සමාන වූ මිලකට සහ අව මිලකට එනම් මුහුණත වටිනාකමට වඩා අඩු වූ මිලකටද ඉදිරිපත් කරනු ලබයි."

මෙසේ අධිමිල, සමමිල හා අවමිල ලන්සු ඉදිරිපත් වීමේ පදනම හා ප්‍රායෝගිකව ඉදිරිපත් වූ එවැනි ලන්සු පිලිබඳ උදාහරණ මගේ පසුගිය ලිපියේ මා ඉදිරිපත් කර තිබේ.

"මෙහිදී ඔවුන් අධි මිලට ඉල්ලුම් කළහොත් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය පොලී අනුපාතිකයට වඩා පහළ අගයක් ගන්නා අතර සම මිලට ඉල්ලුම් කළහොත් පොලී අනුපාතිකයට සමාන අගයක්ද අව මිලට ඉල්ලුම් කළහොත් පොලී අනුපාතයට වඩා ඉහළ අගයක්ද ගනු ලබයි."

මෙය සාමාන්‍යයෙන් සිදු විය යුතු තත්ත්වයයි. මෙය සිදුවන ආකාරය මා පෙර කොටසින් දැනටමත් පැහැදිලි කර අවසන්ය. කෙසේවුවද, මා විසින් මතු විස්තර කරන පරිදි ලංකාවේ මෙය මෙලෙසම සිදු නොවේ. ඒ, රජය මඟින් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර උපයන පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද හේතුවෙන් මේ තත්ත්වයේ විකෘතියක් සිදු වන බැවිනි.

උදාහරණයක් ලෙස 2015 පෙබරවාරි මස 27 දින වෙන්දේසි කළ තිස් අවුරුදු බැඳුම්කර වල කූපන් පොලී අනුපාතිකය 12.5%ක් වූ බැවින් සමමිල ලන්සුවකට අනුරූප ඵලදා අනුපාතිකය 12.5%ක් විය යුතුය. වෙනත් අයුරකින් කිවහොත් 12.5%ක ඵලදා අනුපාතිකයක් බලාපොරොත්තු වන තරඟකරුවකු ඉහත මූලධර්මය අනුව රුපියල් 100ක මුහුණත වටිනාකමක් වෙනුවෙන් හරියටම රුපියල් 100කට ලන්සු තැබිය යුතුය. එහෙත් පෙර කී වෙන්දේසියට තරඟකරන ලංකා බැංකුව, එච්එස්බීසී, පෑන් ඒෂියා බැංකුව, කැපිටල් එලයන්ස්, වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස් වැනි ආයතන 12.5%ක පමණ ඵලදා අනුපාතිකයක් ලබා ගැනීමේ අරමුණින් රුපියල් 100ක මුහුණත වටිනාකමක් ඉල්ලා සිටින්නේ ඊට වඩා බෙහෙවින්ම අඩු රුපියල් 90.17ක් පමණ වූ අවමිලකටය.

මෙසේ කූපන් පොලී අනුපාතිකයට සමාන ඵලදා අනුපාතිකයක් ලබාගැනීමට වුවත් අවමිලට ලන්සු තබන්නට වෙන්නේ පොලී ආදායමෙන් 10%ක් රඳවාගැනීමේ බද්ද ලෙස නැවත රජයට ගෙවිය යුතු බැවිනි. ඒ අනුව, එදින සමමිලට ලන්සු තබා භාණ්ඩාගාර බිල්පත් හිමිකරගන්නා නැට්වෙල්ත් සිකියුරිටීස් සමාගමට හා සේවක අර්ථසාධක අරමුදලට ඇත්තටම ලැබෙන ඵලදා අනුපාතිකය වන්නේ කූපන් පොලී අනුපාතිකය වන 12.5%න් 10%ක රඳවා ගැනීමේ බදු මුදල් ඉවත් කළ විට ලැබෙන 11.25%ක පොලී අනුපාතිකයයි. මේ අනුව, කූපන් පොලියට සමාන ඵලදා අනුපාතිකයක් ලබා ගැනීම සඳහා කූපන් පොලී අනුපාතිකයට වඩා 1/9කින් වැඩි 13.89%ක පොලී අනුපාතිකයකට අනුරූප රුපියල් 90.20කට ආසන්න මිලක් ලන්සු තබන්නට ලන්සු තබන්නෙකුට සිදු වේ. ලංකා බැංකුව, එච්එස්බීසී, පෑන් ඒෂියා බැංකුව, කැපිටල් එලයන්ස්, වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස් වැනි ආයතන විසින් එදින කර ඇත්තේ මෙයයි.

ඇත්තටම රාජ්‍ය සුරැකුම්පත් පොලිය මත මෙසේ අය කෙරෙන රඳවාගැනීමේ බද්දෙන් සිදුවන ප්‍රයෝජනවත් කාර්ය භාරයක් නැත. වෙන්දේසියට සහභාගී වන ආයතන ලන්සු තබන්නේ මේ බදු වියදම් ඉවත් කළ පසු තමන් බලාපොරොත්තු වන ඵලදා අනුපාතිකය ලැබෙන පරිදිය. ඒ නිසා, මෙහිදී සිදුවන්නේ රජය විසින් 10%ක වැඩිපුර පොලී මුදලක් ගෙවා එය නැවත ආපසු ගැනීමකි. ඇත්තටම කියනවානම් කූපන් පොලී මුදල් ගෙවන්නේම මේ රඳවා ගැනීමේ බද්ද අඩු කරගෙන නිසා අඩුවශයෙන් මෙහිදී එවැනි මුදල් හුවමාරුවක් හෝ සිදු නොවේ. එය රජයේ ගිණුම් වල ආදායම් හා වියදම් ලෙස දෙපැත්තටම ලියවෙන සටහන් දෙකක් පමණි.

එසේනම් මේ බද්ද මෙසේ අය කර ගැනීමේ අරමුණ කුමක්ද? එය සරල සංඛ්‍යාලේඛණ විජ්ජාවක් පමණි. (මෙය වත්මන් රජයේ සොයාගැනීමක් නොවේ.) මෙසේ කිරීමෙන් නාමිකව රජයේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස තරමක් වැඩියෙන් පෙන්වන්නට පුළුවන. එහෙත්, මේ ආදායම 'නැති ආදායමකි'. එයින් ලැබෙන එකම ප්‍රයෝජනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන පොඩ්ඩක් අන්දන්නට හැකි වීම පමණි.

කෝප් වාර්තාවේ සඳහන් පරිදි භාණ්ඩාගාර බිල්පතක් අධිමිලට, අවමිලට හෝ සමමිලට වෙන්දේසි වීමත් රජයට එමඟින් සිදුවන පාඩුව හෝ ලාභයත් අතර සෘජු සම්බන්ධයක් නැත. මෙය තීරණය වන්නේ අදාළ බැඳුම්කරයේ කූපන් පොලී අනුපාතිකය සහ වෙළඳපොළ සාධක මත රජය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය අනුවය. මේ කරුණ අදාළ කෝප් වාර්තාවේම එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් නිවැරදිව පැහැදිලි කර තිබේ. මෙය තවදුරටත් පැහැදිලි කිරීමට පහත උදාහරණ තුන දෙස බලමු.

1. වසර 30 ක බැඳුම්කරයක කූපන් පොලිය 12.5%කි. මෙය මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 100ක් ලෙස සම මිලට විකිණේ.
2. වසර 30 ක බැඳුම්කරයක කූපන් පොලිය 12.75%කි. මෙය මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 101.94ක් ලෙස අධි මිලට විකිණේ.
3. වසර 30 ක බැඳුම්කරයක කූපන් පොලිය 12.25%කි. මෙය මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 98.06ක් ලෙස අව මිලට විකිණේ.

ඉහත අවස්ථා තුනේදී රජය විසින් ලබාගන්නා ණය ප්‍රමාණය සමානනම්, වැය කළ යුත්තේ සමාන පිරිවැයකි. අවස්ථා තුනේදීම (පහසුව තකා රඳවාගැනීමේ බද්දේ බලපෑම නොසලකා හැර) භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතිකය සමානය. ඒ නිසා, රාජ්‍ය සුරැකුම්පත් අධිමිලට විකිණීමෙන් රජයට වාසි ලැබිය හැකිනම් කරන්නට තියෙන්නේ කූපන් පොලී අනුපාතිකය අපේක්ෂිත සමතුලිත වෙළදපොළ මිලට වඩා වැඩි කිරීමය. එසේ කිරීමෙන් රජයේ පිරිවැය අඩුනොවන බව හා රජයට වාසි නොසැලසෙන බව කිව යුතු නැත. රාජ්‍ය සුරැකුම්පත් අධිමිලට විකිණීමෙන් රජයට වාසි ලැබිය හැකි බව හා අවමිලට විකිණීමෙන් පාඩු සිදුවන බව පදනමක් නැති, තාක්ෂණිකව වැරදි තර්කයකි. 


රජයට පාඩු වීම හෝ නොවීම මෙයට සෘජුව අදාළ නොවන, වෙනත් මූලධර්ම මත ඇස්තමේන්තු කළ යුතු දෙයකි. 

4 comments:

  1. හරියට හරි. හඳුන්නේත්තිලා කවද කාපු ටකරන්ද.

    ReplyDelete
  2. //ඒ නිසා, රාජ්‍ය සුරැකුම්පත් අධිමිලට විකිණීමෙන් රජයට වාසි ලැබිය හැකිනම් කරන්නට තියෙන්නේ කූපන් පොලී අනුපාතිකය අපේක්ෂිත සමතුලිත වෙළදපොළ මිලට වඩා වැඩි කිරීමය. එසේ කිරීමෙන් රජයේ පිරිවැය අඩුනොවන බව හා රජයට වාසි නොසැලසෙන බව කිව යුතු නැත.//
    මම හිතන්නේ මේ ජෙප්පන්ගේ තර්කෙට පදනම තමයි රජයට විකුණන මිල තීරණය කරන්න පුළුවන්කම තියෙද්දී වෙළඳපලට තීරණය කරන්න දෙන්නේ අහවල් එකකටද කියල. උන් හිතන විදියේ සහ ප්‍රතිපත්ති වල අවුලක් ඕක.

    ReplyDelete
    Replies
    1. රජයට මිල තීරණය කළ හැකියි. එසේ නැත්නම් ප්‍රමාණය තීරණය කළ හැකියි. ඒත්, මේ දෙකම එකවර කරන්න බැහැ. පසුගිය කාලයේ පොලී අනුපාතික ඉහළ ගියේ රජය විසින් ගන්නා ණය ප්‍රමාණය ඉහළ ගිය නිසා. වැඩියෙන් ණය ගන්නනම් වැඩි පොලියක් ගෙවන්න වෙනවා. ගෙවන්නේ අඩු පොලියක්නම් අවශ්‍ය ණය ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. මේ දෙකම කළ හැකි එකම ක්‍රමය රජයේම පාලනය යටතේ ඇති සේවක අර්ථසාධක අරමුදල හෝ ලංකා බැංකුව වැනි ආයතනයකට අඩු පොලියකට සුරැකුම්පත් විකිණීමයි. 'ඩිරෙක්ට් ප්ලේස්මන්ට්' කියා කරන්නේ එයයි. බොහෝ විට මෙහිදී වක්‍ර ලෙස සිදුවන්නේ පොලිය සමතුලිත මිලට වඩා අඩුවෙන් පවත්වා ගැනීමේ අමතර පිරිවැය අර්ථසාධක ගිණුම් හිමිකරුවන් හෝ රාජ්‍ය බැංකු වල මුදල් තැන්පත් කර ඇති අය වැනි පැත්තක ඉන්න තෙවන පාර්ශ්වයකට දැරීමට සිදුවීමයි. ජවිපෙ නිදහස් වෙළදපොලක් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් නොවන නිසා ඔවුන් වෙනස් විදිහකට හිතීම තේරුම් ගන්න අපහසු නොවුනත්, අයවැය යෝජනා දෙස බැලූ විට නිදහස් වෙළදපොලක් වෙනුවෙන් පෙනී සිටින එජාපය හිතන විදිහත් වැඩි වෙනසක් නැති බවයි පෙනෙන්නේ.

      Delete
    2. යූඑන්පී එකෙත් අඩු වැඩි වශයෙන් ඉන්නේ බයියෝම තමා. ලඟකදී අර දයා ගමගේ බුවා බුදුපිළිම බදාගෙන ශෝ එකක් පෙන්නුවේ. ඔක්කොම බයිස්ල

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.