Sunday, June 23, 2024

ක්‍රය ශක්ති සාම්‍යය


"ක්‍රය ශක්ති සාම්‍යය" කියන සංකල්පය පැහැදිලි කරමින් ලිපියක් ලියන මෙන් ඉල්ලීම් කිහිපයක් වරින් වර ඇවිත් තිබෙනවා. ක්‍රය ශක්ති සාම්‍යය ගැන පසු ගිය වසර ගණනාවත් තුළ ලිපි ගණනාවක කතා කර තිබෙනවා. නමුත් මේ ගැන මූලික දැනුමක් නැති, අලුතෙන් අපව කියවන්න පටන් ගත් අය වෙනුවෙන් මූලික සංකල්පය පැහැදිලි කරමින් අලුත් ලිපියක් පළ කිරීම අවශ්‍යතාවයක් පේන්න තිබෙනවා. මේ ලිපිය ලියන්නේ මේ ගැන දැනටමත් හොඳ අවබෝධයක් තිබෙන අය වෙනුවෙන් නෙමෙයි. 

අපි මෙවැනි තැනකින් පටන් ගනිමු. මේ වෙද්දී ඇමරිකන් ඩොලරයක මිල ආසන්න වශයෙන් රුපියල් 300ක් පමණ වෙනවා. එයින් අදහස් වන්නේ ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියලක වටිනාකම මෙන් 300 ගුණයක් බවයි. ඇමරිකන් ඩොලරයක වටිනාකම කියන්නේ කුමක්ද? රුපියලක වටිනාකම කියන්නේ කුමක්ද?

ඇමරිකන් ඩොලරයක නෝට්ටුවකින් හෝ රුපියලක කාසියකින් අපට සෘජු ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසාම, මේ වගේ කාසි හා නෝට්ටු වල නෛසර්ගික වටිනාකමක් නැති තරම්. මෙවැනි මුදලක වටිනාකමක් තිබෙන්නේ ඒවා සමඟ හුවමාරු කර භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාවක් තිබීම නිසායි. ක්‍රය ශක්තිය (purchasing power) කියන වචනයෙන් අදහස් වෙන්නේ කිසියම් මුදලක ඇති භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ ශක්තිය.

කිසියම් මුදල් ඒකකයක ක්‍රය ශක්තිය ඇසුරෙන් අපට එම මුදල් ඒකකයේ වටිනාකම තක්සේරු කරන්න පුළුවන්. උදාහරණයක්‌ විදිහට කීල්ස් සුපර් වෙළඳසැලක බිත්තර දහයක මිල රුපියල් 650ක් පමණ වෙනවා. ඒ කියන්නේ රුපියල් 650ක් සමඟ බිත්තර දහයක් හුවමාරු කර ගන්න පුළුවන්. බිත්තර කියන්නේ සෘජු ප්‍රයෝජනයක් තිබෙන දෙයක්. රුපියල් වගේ නෙමෙයි. 

රුපියල් වලට සෘජු වටිනාකමක් නැතත්, රුපියල් සමඟ හුවමාරු කර සෘජු වටිනාකමක් තිබෙන බිත්තර ලබා ගන්න පුළුවන්. ඒ නිසා, බිත්තර වලට සාපේක්ෂව රුපියල් වල වටිනාකම අර්ථදක්වන්න පුළුවන්.

බිත්තර 10 = රුපියල් 650

බිත්තර 1 = රුපියල් 65

බිත්තර 2 = රුපියල් 130

බිත්තර 12 = රුපියල් 780

රුපියල් වලට වගේම ඇමරිකන් ඩොලර් වලටත් තිබෙන්නේ නාමික වටිනාකමක්. රුපියල් සමඟ හුවමාරුවට කීල්ස් සුපර් වෙළඳසැලකින් බිත්තර ලබා ගත හැකිවාක් මෙන්ම ඇමරිකන් ඩොලර් සමඟ හුවමාරුවට ඇමරිකාවේ වෝල්මාට් වැනි සුපිරි වෙළඳසැලකින් බිත්තර ලබාගන්න පුළුවන්. 

ඇමරිකානු ඩොලර් 2.06ක මුදලකට වෝල්මාට් සුපිරි වෙළඳසැලකින් බිත්තර දුසිමක් මිල දී ගත හැකියි. මේ අනුසාරයෙන් අපට බිත්තර වලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක වටිනාකම අර්ථ දක්වන්න පුළුවන්.

බිත්තර 12 = ඇමරිකන් ඩොලර් 2.06

දැන් ඔය ඇමරිකාවේ වෝල්මාට් බිත්තර සහ ලංකාවේ කීල්ස් බිත්තර අතර ලොකු වෙනසක් නැහැනේ. කොයිවත් බිත්තර. එහෙමනම්, ඇමරිකාවෙන් ගත්තත් ලංකාවෙන් ගත්තත් බිත්තර දුසිමක වටිනාකම සමාන විය යුතුයි. ඕක තමයි ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මයේ පදනම.

ඇමරිකාවේ බිත්තර 12 = ලංකාවේ බිත්තර 12

නමුත් අපි ඇමරිකාවේ හා ලංකාවේ මේ බිත්තර හුවමාරු වෙන විදිහ ගැන දන්නවා.

ඇමරිකාවේ බිත්තර 12 =  ඇමරිකන් ඩොලර් 2.06

ලංකාවේ බිත්තර 12 = රුපියල් 780

එහෙමනම් අපිට පහත නිගමනයට එන්න පුළුවන්.

ඇමරිකන් ඩොලර් 2.06 = රුපියල් 780

ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 780/2.06 = රුපියල් 379

මෙයින් අදහස් වෙන්නේ කුමක්ද? ඇමරිකාවේ හා ලංකාවේ බිත්තර සමාන සේ සලකලා බිත්තර වල වටිනාකමට සාපේක්ෂව විණිමය අනුපාතය ගණනය කළොත් ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 379ක් විය යුතුයි.

නමුත් ඇමරිකන් ඩොලරයක වෙළඳපොළ මිල රුපියල් 379ක් නෙමෙයිනේ. එය රුපියල් 300ක්. එහෙමනම් රුපියල් වල හා ඇමරිකන් ඩොලර් වල වටිනාකම් සංසන්දනය කරන එකේ මොකක් හරි අවුලක් තිබෙනවා.

හැබැයි ඔය මිල ගණන් වල මොකක් හරි අවුලක් තියෙන්නත් පුළුවන්නේ. ඒ නිසා, වඩා නිවැරදි වෙළඳපොළ විණිමය අනුපාතයද නැත්නම් බිත්තර විණිමය අනුපාතයද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඒ නිසා අපි බිත්තර වෙනුවට වෙන දෙයක් අරගෙන බලමු.

ලංකාවේ පැට්‍රෝල් ලීටරයක මිල = රුපියල් 355

ඇමරිකාවේ පැට්‍රෝල් ගැලුමක සාමාන්‍ය මිල = ඇමරිකන් ඩොලර් 3.447

ඇමරිකාවේ පැට්‍රෝල් ලීටරයක සාමාන්‍ය මිල = ඇමරිකන් ඩොලර් 3.447/3.785 = 0.911

මේ අනුව, 

ඇමරිකන් ඩොලර් 0.911 = රුපියල් 355

ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 355/0.911 = රුපියල් 389.68

මේකත් බිත්තර විණිමය අනුපාතයට කිට්ටුවෙන් යනවා. ඒ කියන්නේ බිත්තර මිල අනුව බැලුවත්, පැට්‍රෝල් මිල අනුව බැලුවත්, ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වෙළඳපොළ වටිනාකම තිබෙන්නේ ඕනෑවට වඩා වැඩි මට්ටමක. රුපියලේ සැබෑ ක්‍රය ශක්තිය පෙනෙන මට්ටමට වඩා අඩුයි.

වෙනත් ආකාරයකින් පැහැදිලි කළොත්, ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 300 ලෙස සැලකුවොත්, රුපියල් 618ක මුදලකට ඇමරිකාවෙන් බිත්තර 12ක් මිල දී ගන්න පුළුවන්. නමුත් ලංකාවේ බිත්තර මිල ඊට වඩා වැඩියි. ඒ කියන්නේ බිත්තර මිල අනුව රුපියල පෙනෙන තරම්ම ශක්තිමත් නැහැ. 

අපි තවත් උදාහරණයක් ලෙස කොකා කෝලා ලීටර 2 බෝතලයක් සලකමු. මෙහි කීල්ස් මිල රුපියල් 450ක් වන අතර වෝල්මාට් මිල ඇමරිකන් ඩොලර් 1.98ක්. ඒ අනුව විණිමය අනුපාතය කුමක් විය යුතුද?

ඇමරිකන් ඩොලර් 1.98 = රුපියල් 450

ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 450/1.98 = රුපියල් 227

මේ උදාහරණයේදී ඉහත තත්ත්වය කණපිට හැරිලා. කොකා කෝලා ලීටර 2 බෝතලයක මිල අනුව බැලුවොත් රුපියලක සැබෑ ක්‍රය ශක්තිය පේනවට වඩා ගොඩක් වැඩියි.ඩොලරය රුපියල් 300 සේ සැලකුවොත් ඇමරිකාවෙන් කොකා කෝලා ලීටර 2 බෝතලයක් මිල දී ගන්න රුපියල් 594ක් යනවා. නමුත් ලංකාවෙන් රුපියල් 450කට මිල දී ගන්න පුළුවන්. 

පොදුවේ සේවා මිල ගණන් දෙස බැලූ විට දැකිය හැක්කේත් මීට සමාන තත්ත්වයක්. ඒ කියන්නේ රුපියලේ සැබෑ ක්‍රය ශක්තිය වෙළඳපොළ විණිමය අනුපාතය තුළින් පිළිබිඹු වෙනවාට වඩා වැඩි බව. ඇතැම් වෙබ් අඩවි වල (උදාහරණයක් විදිහට www.mylifeelsewhere.com), ඇමරිකාවේ භාණ්ඩ හා සේවා ගණනාවක් අරගෙන මෙවැනි සංසන්දනයන් කර තිබෙනවා. පහත තිබෙන්නේ එම වෙබ් අඩවියෙන් ලබා ගත් තොරතුරු කිහිපයක්. මම මේ මිල ගණන් වල නිරවද්‍යතාවය පරීක්ෂා කර නැහැ. 

වතුර බෝතලයක්:

ලංකාවේ රුපියල් 100.65යි 

ඇමරිකාවේ ඩොලර් 1.98යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 50.83


පාන් ගෙඩියක්:

ලංකාවේ රුපියල් 177.88යි 

ඇමරිකාවේ ඩොලර් 3.43යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 51.86යි.


කිරි ගැලුමක්:

ලංකාවේ රුපියල් 1823.21යි 

ඇමරිකාවේ ඩොලර් 3.93යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 463.92යි.


වොක්ස්වාගන් ගොල්ෆ් 1.4 මෝටර් රථයක්:

ලංකාවේ රුපියල් 10,066,459යි 

ඇමරිකාවේ ඩොලර් 31,580යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 318.76යි.


සැතපුම් පහක ටැක්සි ගාස්තුව:

ලංකාවේ රුපියල් 938යි 

ඇමරිකාවේ ඩොලර් 17.71යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 52.96යි.


50mbps අන්තර්ජාල සම්බන්ධතාවක්:

ලංකාවේ රුපියල් 4280යි 

ඇමරිකාවේ ඩොලර් 67.34යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 63.56යි.


පෞද්ගලික පෙර පාසැලක මාසික ගාස්තුව:

ලංකාවේ රුපියල් 7546යි 

ඇමරිකාවේ ඩොලර් 1344යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 5.61යි.


සමස්තයක් ලෙස ගත්තහම බිත්තර, පැට්‍රෝල් වැනි පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් අනුව රුපියලේ ක්‍රය ශක්තිය වෙළඳපොළ විණිමය අනුපාතය තුලින් පිළිබිඹු වෙනවාට වඩා අඩු වුනත්, වෙනත් බොහොමයක් භාණ්ඩ හා සේවා මිල ගණන් අනුව රුපියලක ක්‍රය ශක්තිය පේනවාට වඩා ගොඩක් වැඩියි. 

වෙනත් විදිහකට කිවුවොත් ඇමරිකන් ඩොලරයක් ලංකාවේදී වටින තරමට ඇමරිකාවේදී වටින්නේ නැහැ. ඒ නිසා, රුපියල් 300 බැගින් ගෙවා ඇමරිකන් ඩොලර් මිල දී ගෙන ඇමරිකාවට එන කෙනෙකුට ඒ ඩොලර් ටිකෙන් ලංකාවේදී රුපියල් වලින් මිල දී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිල දී ගන්න බැහැ. අනෙක් අතට ලංකාවට ඇවිත් 300 අනුපාතයට ඩොලර් රුපියල් කරන කෙනෙකුට ඇමරිකාවේදී මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මිල දී ගන්න පුළුවන්. විශේෂයෙන්ම සේවා හා අදාළව. 

මෙයින් පෙනී යන්නේ වෙළඳපොළ විණිමය අනුපාතය යොදාගෙන රට රටවල ජීවන තත්ත්වය සංසන්දන්දය කරන එක වැරදි බවයි. උදාහරණයක් විදිහට නාමික (වෙළඳපොළ) විණිමය අනුපාතය අනුව ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 81,632ක්. ලංකාවේ එම අගය ඩොලර් 3,830ක් පමණයි. මෙම ගණන් අතර අනුපාතය 21.3ක්. ඒ කියන්නේ ඇමරිකානුවෙකුට ශ්‍රී ලාංකිකයෙකු මෙන් 21.3 ගුණයක භාණ්ඩ හා සේවා පරිභෝජනය කළ හැකිද? ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වය 21.3 ගුණයකින් අඩුද?

සරල පිළිතුර නැහැ. ඉතා පැහැදිලිවම ඇමරිකානුවෙකුගේ ජීවන තත්ත්වය ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වයට වඩා වැඩියි. ඇමරිකානුවෙකුගේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාවත් වඩා වැඩියි. හැබැයි අනුපාතය 21.3ක් තරම් ඉහළ එකක් නෙමෙයි.

උදාහරණයක් විදිහට ඇමරිකාවේ පෞද්ගලික පෙර පාසැලක මාසික ගාස්තුව ඩොලර් 1344 වෙද්දී ලංකාවේ එම ගාස්තුව රුපියල් 7546ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකාවේ ඩොලර් එකකින් කරන වැඩේට ලංකාවේදී වැය වන්නේ රුපියල් 5.61ක් පමණයි. රුපියල් 300ක් යන්නේ නැහැ. 

එහෙමනම් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාව අනුව ඇමරිකානුවෙකුගේ ජීවන තත්ත්වය ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වයට වඩා කොයි තරම් වැඩිද? 

මෙය නිවැරදිව සංසන්දනය කිරීම සඳහා "ක්‍රය ශක්ති සාමාන්‍ය විණිමය අනුපාතය" යොදා ගන්නවා. මෙය ඉහත භාණ්ඩ හා සේවා මිල ගණන් සසඳා හදාගත් විණිමය අනුපාත වල බරිත සාමාන්‍ය අගයක්. මේ විණිමය අනුපාතය ඇසුරෙන් රට රටවල ඒක පුද්ගල ආදායම් නැවත ඇස්තමේන්තු කළ හැකියි. මෙම අගය ක්‍රය ශක්ති සාම්‍ය ඒක පුද්ගල ආදායම ලෙස හැඳින්වෙනවා. 

ලෝක බැංකු දත්ත අනුව 2022 ලංකාවේ ක්‍රය ශක්ති සාම්‍ය ඒක පුද්ගල ආදායම ඩොලර් 14,099ක්. නමුත් නාමික විණිමය අනුපාතය අනුව එම අගය 3,354ක් පමණයි. ඒ කියන්නේ ලංකාවේ සැබෑ ජීවන තත්ත්වය වෙළඳපොළ විණිමය අනුපාතයෙන් පිළිබිඹු වෙනවාට වඩා 4.2 ගුණයකින් වැඩියි. වෙනත් විදිහකින් කිවුවොත් ඩොලරයක ක්‍රය ශක්ති සාමාන්‍ය විණිමය අනුපාතය 4.2 ගුණයකින් අඩුයි. ඒ කියන්නේ ඇමරිකානුවෙකුගේ ජීවන තත්ත්වය ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වයට සාපේක්ෂව 5.1 ගුණයකින් මිසක් 21.3 ගුණයකින් වැඩි නැහැ. 

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.