Friday, July 28, 2023

ණය ප්‍රතිව්‍යුහගත කිරීම 97%ක් සාර්ථකයි!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වටයේ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබූ ඩොලර් මිලියන 814.7ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 791.4ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති අතර එම අයදුම්පත් සියල්ල  ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබෙනවා. මෙය 97.1%ක සාර්ථකත්වයක්.

නිකුත් කර තිබුණු ඩොලර් මිලියන 837.6ක සංවර්ධන බැඳුම්කර වලින් තනි පුද්ගල ආයෝජකයින් සතු කොටස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ. එම ප්‍රමාණය ඩොලර් මිලියන 22.9ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 2.7%ක්. එම ප්‍රමාණයද සැලකිල්ලට ගතහොත් ප්‍රතිව්‍යුහගත කෙරෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 94.5%ක්. 

සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කිරීමේදී ණයහිමියන්ට විකල්ප තුනක් ලැබුණා. මේ එක් එක් විකල්පය තෝරාගෙන ඇති ප්‍රතිශතය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. එමෙන්ම, කිසිදු විකල්පයක් තෝරා ගෙන නැති 3%කට ආසන්න ණයහිමියන් කවුද යන්නත් පැහැදිලි නැහැ. මොවුන් බොහෝ විට විදේශ ණයහිමියන් විය හැකියි. ඔවුන්ට මුල් ගිවිසුමේ කොන්දේසී අනුව ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙන බැවින් රජයට එරෙහිව නඩු මගට යාමේ අරමුණක් නැත්නම් මෙය තාර්කික නොවන තීරණයක්. එහෙත්, විවිධ හේතු මත මෙවැනි අවස්ථාවකදී 3%ක් වැනි පිරිසක් තාර්කික නොවන ලෙස කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයක්. 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කළ හැකි කාලය අගෝස්තු 11 දක්වා කල් දමා ඇති අතර අගෝස්තු 16 දින ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමට නියමිතයි.

Saturday, July 8, 2023

අඩු වූ අවදානම් අධිභාරය


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳ වූ අවිනිශ්චිතතා ඉවත් වීමෙන් පසුව ද්වීතියක වෙළඳපොළ බැඳුම්කර ඵලදා අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. එම පහත වැටීම ඵලදා වක්‍රය පුරාම දැකිය හැකියි.

වසර-2 බැඳුම්කර:

මේ සතිය - 16.36%

පෙර සතිය - 25.63%

අඩු වීම - 9.57%


වසර-3 බැඳුම්කර:

මේ සතිය - 15.84%

පෙර සතිය - 24.59%

අඩු වීම - 8.75%


වසර-4 බැඳුම්කර:

මේ සතිය - 15.57%

පෙර සතිය - 23.48%

අඩු වීම - 7.91%


වසර-5 බැඳුම්කර:

මේ සතිය - 15.22%

පෙර සතිය - 22.16%

අඩු වීම - 7.94%


වසර-6 බැඳුම්කර:

මේ සතිය - 15.03%

පෙර සතිය - 21.43%

අඩු වීම - 6.40%


වසර-8 බැඳුම්කර:

මේ සතිය - 14.73%

පෙර සතිය - 20.66%

අඩු වීම - 5.93%


වසර-10 බැඳුම්කර:

මේ සතිය - 14.56%

පෙර සතිය - 19.43%

අඩු වීම - 4.87%


වසර-15 බැඳුම්කර:

මේ සතිය - 14.10%

පෙර සතිය - 18.82%

අඩු වීම - 4.72%


වසර-20 බැඳුම්කර:

මේ සතිය - 14.68%

පෙර සතිය - 18.16%

අඩු වීම - 3.48%


වසර-30 බැඳුම්කර:

මේ සතිය - 14.81%

පෙර සතිය - 17.96%

අඩු වීම - 3.15%

මෙසේ ඵලදා අනුපාතික අඩු වීම යනු බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යාමයි. පහත තිබෙන්නේ බැඳුම්කර වර්ග කිහිපයක මිල සතියක් තුළ ඉහළ ගොස් ඇති ආකාරයයි.

බැඳුම්කර වර්ගය: 11.00%2025A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 91.15

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 75.96

වැඩි වීම - 20.0%


බැඳුම්කර වර්ගය: 06.75%2026A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 81.38

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 66.43

වැඩි වීම - 22.5%


බැඳුම්කර වර්ගය: 05.35%2026A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 77.71

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 62.79

වැඩි වීම - 23.8%


බැඳුම්කර වර්ගය: 18.00%2032A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 119.33

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 89.49

වැඩි වීම - 33.3%


බැඳුම්කර වර්ගය: 20.00%2029A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 122.07

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 91.95

වැඩි වීම - 32.8%

මේ අයුරින් බැඳුම්කර මිල එක් වරම විශාල ලෙස ඉහළ යාම යනු බැඳුම්කර හිමියන්ගේ වත්කම් වල අගය ක්ෂණිකව ඉහළ යාමක්. මෙහි වාසිය සේවක අර්ථසාධක අරමුදලට, බැංකු වලට මෙන්ම අනෙකුත් සියලුම බැඳුම්කර හිමියන්ට ලැබෙනවා. කොටස් වෙළඳපොළ තුළ නිරුපණය වන්නට ඇත්තේ මෙසේ වත්කම් ඉහළ යාමේ බලපෑමයි.

පසුගිය වසර අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදල සතු වූ බැඳුම්කර වල වටිනාකම පැවතුණේ ගැනුම් මිලට වඩා 38%ක් හා මුහුණත වටිනාකමට වඩා 40%ක් පහළින්. බැංකු වල අලාභයද (unrealized losses) මීට ආසන්නව පැවතුණා විය යුතුයි. මෙම පාඩුව මුළුමනින්ම ආවරණය වීමටනම් පොලී අනුපාතික තවත් 4%-7%කින් පමණ පහළ යා යුතුයි. 

Monday, June 26, 2023

දවස් පහේදී විය හැකි දේ...


දවස් පහක් බැංකු වහලා කියා කිවුවත් ඇත්තටම වෙලා තියෙන්නේ කොහොමටත් තිබුණු නිවාඩු දින අතරට විශේෂ බැංකු නිවාඩු දිනයක් එකතු කරන එකයි. කොහොම වුනත්, අවසාන ප්‍රතිඵලය විදිහට එක දිගට බැංකු නිවාඩු දින පහක් ලැබෙනවා. මේ දින පහ ඇතුළත රජය විසින් දේශීය ණය ප්‍රතිසංවිධානය කර අවසන් කිරීමට උත්සාහ දරන බව පේනවා. 

මෙහිදී විය හැකි දේ පිළිබඳව විස්තරාත්මක ලිපියක් බදාදා පමණ පළ කරන්න හිතාගෙන හිටියත් ඇතැම් පාඨක ප්‍රතිචාර අනුව මේ ගැන ඊට පෙර යමක් කිව යුතු බව පෙනෙනවා. නිදහසින් පසු කාලයක් තිස්සේ විශාල රජයක් නඩත්තු කරමින් සිදු කළ රාජ්‍ය මැදිහත් වීම් වල ප්‍රතිඵලයක් විදිහට පසුගිය වසරේ මුල් කාලයේ රටේ ආර්ථිකයේ ලොකු කඩා වැටීමක් සිදුවුනා. එයින් පසුව ගත වූ වසරකට වැඩි කාලය තුළ රටේ ආර්ථිකය ස්ථායීත්වය කරා සෑහෙන දුරක් ගමන් කර තිබෙනවා. මෙතෙක් ජයගෙන තිබෙන අභියෝග හා සැසඳූ විට මේ සති අන්තය තුළ පනින්න තිබෙන කඩුල්ල ගොඩක් උස එකක් නෙමෙයි. 

මේ සතිය අවසන් වන විට උද්ධමනය 12% ආසන්න මට්ටමකට පහත වැටී ඇති බව දැන ගන්න ලැබෙයි. ඇතැම් විට ආහාර උද්ධමනය තනි අංකයක් වී තිබිය හැකියි. ඉදිරි මාසය අවසන් වන විට උද්ධමනය කොහොමටත් තනි අංකයක් දක්වා අඩු වෙනවා. මීට සමාන්තරව පොලී අනුපාතිකද පහත වැටීමට තිබෙන ප්‍රධානම බාධාවක් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳව ඇති අවිනිශ්චිතතාවයයි.

දේශපාලනික ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය ගැන කලින් වැඩි දෙයක් කියන්නට නොහැකි වුවත්, අදාළ දේශපාලනික හා නීතිමය කටයුතු අපේක්ෂිත පරිදි අවසන් වුවහොත්, ලොකු වැස්සක් වැස පෑව්වාක් මෙන්, මේ දින පහේ නිවාඩුව අවසන් වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳව කාලයක් තිස්සේ පැවති අවිනිශ්චිතතා ඉවත් වී පොලී අනුපාතික ක්ෂණයකින් පහත වැටෙන්නට ඉඩ තිබෙනවා. 

පසුගිය සතියේදී සාර්ථක ලෙස සැම්බියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කෙරුණා. එහිදී ණය (මුහුණත අගය) කපා හැරීමක් සිදු වූයේ නැහැ. ඊට පෙර චාඩ් රාජ්‍යයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කෙරුණා. එහිදීද ණය (මුහුණත අගය) කපා හැරීමක් සිදු වූයේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලංකාවට ඉදිරිපත්ව ඇති කොන්දේසි ඉහත රටවලට ඉදිරිපත් වූ තරම්ම දැඩි කොන්දේසි නෙමෙයි. ඒ නිසා, ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේදී බොහෝ විට සිදු විය හැක්කේ පරිණත කාලය දිගු කිරීමක් හා පොලී අනුපාතික සීමා කිරීම මගින් ණය වල වත්මන් අගය පහත හෙලා ගනු ලැබීමක් (NPV reduction) පමණයි. 

ලංකාවේ විදේශ ණය වුවද කපා හරිනු ලැබීමේ ඉඩක් ලොකුවට පෙනෙන්නට නොමැති පසුබිමක දේශීය ණය කපා හරිනු ලැබීමක් කිසිසේත්ම සිදු විය නොහැකියි. සිදු වීමට ඉඩ ඇත්තේ පරිණත කාලය දිගු වන පරිදි ස්වේච්ඡා ණය හුවමාරුවක් පමණයි. 

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කෙරෙන බව කලින්ම පැහැදිලිව කියා තිබෙන දෙයක්. මෙය සිදු වන්නේ අලුත් මහ බැංකු පනත සම්මත කර ගනු ලැබීමට සමාන්තරවයි. එම බිල්පත් දිගුකාලීන කල් පිරීමක් සහිත ණය ලෙස පර්වර්තනය කිරීමට හෝ වෙනත් ආකාරයක පරිවර්තනයකට ලක් කිරීමට ඉඩ තිබෙනවා. සති අන්තය අවසන් වෙද්දී මේ ගැන වැඩි විස්තර දැන ගන්න ලැබෙයි. 

දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් වලින් සැලකිය යුතු කොටසක් මිල දී ගෙන තිබෙන්නේ මහ බැංකුව විසිනුයි. ඒ නිසා, එම බිල්පත් ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව වෙළඳපොළේ ඉතිරි වන්නේ සැලකිය යුතු තරම් අඩු බිල්පත් ප්‍රමාණයක්. මූල්‍ය වෙළඳපොළ සුමට ක්‍රියාකාරිත්වය සඳහා මෙන්ම මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහාද යම් බිල්පත් ප්‍රමාණයක් ගනුදෙනු විය යුතුයි. ඒ නිසා, දැනට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හැර අනෙකුත් බිල්පත් හා අදාළව මේ සතිය අවසානයේදී හෝ ඉන් පසුව කිසිදු වෙනසක් සිදු වනු ඇතැයි මා සිතන්නේ නැහැ. මෑතකදී ඝානාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ අවස්ථාවේදීද බිල්පත් සම්බන්ධව කිසිවක් කළේ නැහැ. 

කෙසේ වුවද, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පමණක් ප්‍රතිව්‍යුහගත කළද වාණිජ බැංකු කෙරෙහි යම් තාක්ෂනික බලපෑමක් සිදු විය හැකියි. එක පැත්තකින් වාණිජ බැංකු ඔවුන්ගේ බිල්පත් ඇපයට තබා මහ බැංකුවෙන් ණය ගන්නවා. අනෙක් පැත්තෙන් මහ බැංකුවේ මුදල් තැන්පත් කර ඒ වෙනුවෙන් තාවකාලිකව මහ බැංකුව සතු බිල්පත් වල අයිතිය පවරා ගන්නවා. ඒ නිසා, මහ බැංකුව සතු බිල්පත් වල සිදුවන ආකෘතිමය වෙනසක බලපෑම වාණිජ බැංකු වල ගිණුම් තුළද පිළිබිඹු විය යුතුයි. ඒ අනුව පරිගණක දත්ත යාවත්කාලීන විය යුතුයි. බැංකු නිවාඩු දින තුළ සිදු වුවහොත් මේ වෙනස්කම් අවුලක් නැතිව කර ගැනීම පහසුයි. 

භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ ඉහත තත්ත්වය සෑහෙන තරමකින් පැහැදිලියි. මීට අමතරව භාණ්ඩාගාර බැඳුම්කර යම් ප්‍රමාණයක පරිණත කාලය දිගු වෙන පරිදි ස්වේච්ඡා හුවමාරුවක් සිදු විය හැකියි. ඝානාවේ සිදු වූයේ එවැන්නක්. භාණ්ඩාගාර බැඳුම්කර වැඩි ප්‍රමාණයක අයිතිය තිබෙන්නේ වාණිජ බැංකු හා සේවක අර්ථසාධක අරමුදල සතුවයි. මෙවැන්නක් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ කෙසේ වුවත් වාණිජ බැංකු වල කැමැත්ත ලබා ගැනීම තරමක අභියෝගයක්. විශාල පාඩුවක් වන්නේනම් බැංකු වලින් මේ කැමැත්ත ලැබෙන්නේ නැහැ.

එක්කෝ මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය විසින් මේ පිළිබඳව දැනටමත් වාණිජ බැංකු හා කතා කර අනියම් එකඟතාවයක් ලබාගෙන තිබෙනවා විය හැකියි. එය එසේනම්, සති අන්තයේදී කළ යුතුව තිබෙන්නේ තාක්ෂණික කටයුත්තක් පමණයි. එහෙත්, එවැන්නක් සිදු වී නැත්නම් සති අන්තය තුළ දෙපාර්ශ්වය අතර අදාළ සාකච්ඡා ආරම්භ වීමට ඉඩ තිබෙනවා. වෙනත් රටවල අත්දැකීම් අනුව, මෙවැනි සාකච්ඡා දවසකින් දෙකකින් අවසන් වී නැහැ. ඔය දෙකෙන් කොයි එක සිදු වුනත් බැඳුම්කර හුවමාරුවක් සිදු වනු ඇත්තේ බැංකු වල කැමැත්ත ඇතිව පමණයි. වෙනස තිබෙන්නේ මෙම එකඟතාවය ලබා ගැනීම සඳහා ගත විය හැකි කාලයේ.

කොහොම වුනත්, රටේ බැංකු පද්ධතිය කඩා වැටී රට විසාලා මහනුවරක් වනු දකින්නට කැමති අය රටේ ඕනෑ තරම් සිටින බව බොහෝ දෙනෙකුට රහසක් නෙමෙයි. පාඨක ප්‍රතිචාර දෙස බැලුවත් එවැනි දේශපාලන අභිලාශ ඇති අය හඳුනාගත හැකියි. ඉහත පරිවර්තනය සිදු වන සංක්‍රාන්තික සමය බැංකු පද්ධතිය පිළිබඳ විශ්වාසය බිඳ දැමීම සඳහා කටයුතු කරන සංවිධානාත්මක කල්ලියකට හෝ අසංවිධානත්මක එකමුතුවකට පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි කාලයක්. ඊට අමතරව මෙවැනි සංක්‍රාන්තික අවස්ථාවක මුදල් යහමින් ඇති අයෙකුට තොරතුරු අනෙක් අයට පෙර ලබා ගැනීම මගින් විශාල අනිසි වාසියක් ලැබිය හැකියි. එය වැළැක්විය හැක්කේ අදාළ කටයුතු මුළුමනින්ම අවසන් වන තුරු බැංකු හා කොටස් වෙළඳපොළ වසා තැබීමෙන් පමණයි. 

මහ බැංකුව විසින් පොලී අනුපාතික වෙනස් කරන අවස්ථාවක වුවත් මෙවැනි තත්ත්වයක් තිබෙනවා. කිසිවෙකුට අදාළ තීරණය කලින් දැනගන්නට ඉඩ නොතබා කලින් දැනුම් දී ඇති නිශ්චිත මොහොතක සියල්ලන්ටම එකවර මෙවැනි ප්‍රතිපත්ති තීරණ පිළිබඳව දැනුම් දෙන්නේ ඒ නිසා. ලෝකයේ වෙනත් රටවල මහ බැංකු කටයුතු කරන්නේද එලෙසයි. එතෙක්, මෙම තීරණය ගැන දන්නා මහ බැංකුවේ නිලධාරීන් විසින් දැඩි වගකීමකින් යුතුව තීරණය පිළිබඳ රහස්‍යභාවය රකිනවා.

මහ බැංකුවේ නිලධාරීන් මෙන්ම වාණිජ බැංකු වල අදාළ නිලධාරීන්ද රහස්‍යභාවය අවශ්‍ය පරිදි රැකීම පිළිබඳව ආචාර ධාර්මික පළපුරුද්දක් ඇති අයයි. එහෙත් අවාසනාවකට මෙන් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් සියලු දෙනාම එවැන්නන් නෙමෙයි. එමෙන්ම සාමාන්‍ය මූලධර්මයක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු රහසිගතව නොව, පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතුයි. 

ඉහත කී ප්‍රශ්න දෙකම එනම් ඇතැම් අය අනිසි ලාබ සොයන්නට යාමේ ඉඩකඩ සහ තවත් අය අනිසි බිය පැතිරවීමේ ඉඩකඩ ඇති වන්නේ ස්වේච්ඡා ණය හුවමාරුවක් සිදු විය හැකි සංක්‍රාන්ති කාලය තුළ පමණයි. අදාළ නීතිමය කටයුතු අවසන් වීමෙන් පසුව සිදු වී ඇති දේ සියල්ලන්ටම දැන ගත හැකි නිසා කොටස් වෙළඳපොළ හා බැංකු නැවත විවෘත වීමෙන් පසුව කිසිවෙකුට විශේෂ වාසියක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. 

කෙසේ වුවත්, දින පහක කාලය තුළ අවශ්‍ය නීතිමය කටයුතු අවසන් කර ගැනීමේ දේශපාලනික අභියෝගය මෙන්ම වාණිජ බැංකු හා දැනටමත් එකඟතාවයන් ඇති කරගෙන නැත්නම් එවැනි එකඟතා ඇති කර ගැනීමේ අභියෝගයද ඉතිරිව තිබෙනවා.

Sunday, June 25, 2023

සැම්බියාවට ලැබුණු ණය සහනය


මේ වන විට සොයා ගත හැකි තොරතුරු වලට අනුව, සැම්බියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම එම රටට ඉතාම වාසිදායක අයුරින් සිදු වී තිබෙනවා. මෙහිදී නාමිකව ණය කපා හැරීමක් (haircut) සිදු වී නැතත්, ණය ආපසු ගෙවන කාලය සාමාන්‍ය අගයක් ලෙස වසර 12කින් පමණ කල් දැමීම හා පොලී අනුපාතික දැඩි ලෙස සීමා කිරීම හරහා 40%ක පමණ ණය කප්පාදුවකට සමාන කළ හැකි වාසියක් සැම්බියාවට ලැබී තිබෙනවා. මෙම තොරතුරු නිල තොරතුරු නොවන බවද සටහන් කළ යුතුයි. නිල වශයෙන් මෙම තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. 

ඇති කරගෙන තිබෙන එකඟතාව අනුව, සැම්බියාවට සිය විදේශ ණය ආපසු ගෙවීම සඳහා වසර 20ක කාලයක් ලැබෙනවා. ඒ අනුව, ණය ගෙවා අවසන් කරන්නේ 2043 වසරේදී. මෙම වසර 20න් 14ක්ම, එනම් 2037 වසර දක්වා සැම්බියාව විසින් ගෙවීමට නියමිතව ඇත්තේ 1%ක පොලියක් පමණයි. ඉන් පසුව, ගෙවිය යුතු පොලිය 2.5% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. සැම්බියාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයෙන් ලබා ගෙන ඇති ණය වෙනුවෙන් ගෙවිය යුතු වූ සාමාන්‍ය පොලිය 3.9%ක් පමණ බව සලකා බලද්දී මෙය විශාල පොලී කප්පාදුවක් ලෙස සැලකිය හැකියි. 

ඉදිරි වසර තුනක කාලය තුළ, එනම් 2026දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩ සටහන අවසන් වන තුරු, සැම්බියාව විසින් විදේශ ණය ආපසු ගෙවීමක් සිදු වන්නේ නැහැ. එම කාලය තුළ ආපසු ගෙවන්නේ 1%ක පොලී මුදලක් පමණයි. ඉන්පසු, 2035 දක්වා වසර දොළහක් වසරකට 0.5% බැගින් ණය ආපසු ගෙවීම සිදු වනවා. එහෙත් මෙහිදී ගෙවී අවසන් වන්නේ ප්‍රතිව්‍යුහකරණයට ලක්වන ණය ප්‍රමාණයෙන් 6%ක් පමණක් බැවින්, ඉතිරි ණය ප්‍රමාණය 2036-2043 වසර අට තුළ ගෙවන්නට සිදු වන බවකුයි පෙනී යන්නේ. 

සාමාන්‍ය පොලී අනුපාතිකය 5% සේ සලකා වට්ටම් කළ විට ශුද්ධ වත්මන් අගය (NPV) පදනම මත සැම්බියාවේ ණය බර 40%කින් පමණ පහළ යනවා. කෙසේ වුවද, යම් හෙයකින් සැම්බියාවේ ආර්ථිකය අපේක්ෂා කරන මට්ටමට වඩා හොඳින් වර්ධනය වී ණය ආපසු ගෙවීමේ හැකියාව ඉහළ ගියහොත් ඉහත ගනුදෙනුව ණයහිමියන්ට වඩා වඩා වාසිදායක ලෙස වෙනස් වෙනවා. එහිදී පොලී අනුපාතික 4%ක උපරිමයක් දක්වා ඉහළ යනවා.

ඉහත එකඟතාවයන් ඇති කර ගෙන තිබෙන්නේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟයි. සැම්බියාවේ විදේශ බැඳුම්කරහිමියන් ඇතුළු වාණිජ ණයහිමියන්ටද මෙම පදනම අනුව තමන්ගේ ප්‍රතිලාභ ලබා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා ඉදිරි කාලයේදී ඔවුන්ව එකඟ කරගත යුතුයි.

සැම්බියාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "පොදු රාමුව (common framework)" යටතේ. මේ යටතේ මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කළ, ලෝකයේ දිළිඳුම රටක් වන, චාඩ් රාජ්‍යයට ඒ සඳහා මාස දොළහක කාලයක් ගත වූ අතර සැම්බියාව මාස දහයක කාලයක් තුළ මේ කාර්යය අවසන් කළා. ඝානාවේ හා ඉතියෝපියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම්ද පොදු රාමුව යටතේ සලකා බැලෙන නමුත් වඩා ඉහළ ආදායම් තලයක සිටින ලංකාවට පොදු රාමුව අදාළ වෙන්නේ නැහැ.

පොදු රාමුව අදාළ නොවන නිසා ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඉහත රටවල් තරමටම දැඩි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් ඉහත රටවල් තරමටම විශාල ණය සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අඩු කාලයක් තුළ අවසන් කර ගැනීමේ හැකියාව තිබෙනවා. 

ඉහත හැම රටකම මෙන් ණය තිරසාරත්වය නැති වීමට ප්‍රධාන හේතුව සේ හඳුනාගෙන තිබෙන්නේ රාජ්‍ය ආදායම රටේ ආදායමට අනුපාතිකව ඉහළ මට්ටමක තිබුණත්, රටේ ආදායම පහළ මට්ටමක තිබීම හේතුවෙන් ණය වාරික හා පොලී ගෙවීමට තරම් රජයේ ආදායම ප්‍රමාණවත් නොවීමයි. එම රටවලින් වෙනස්ව ලංකාවේ මූලික ප්‍රශ්නය රටේ ආදායම ණය ගෙවිය හැකි මට්ටමක තිබියදී එම ආදායමෙන් රජය විසින් එකතු කර ගන්නා කොටස ප්‍රමාණවත් නොවීමයි. ඒ නිසා, ඉහත රටවල් සඳහා සකස් කර ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ වලට සාපේක්ෂව, ලංකාව සඳහා වන වැඩපිළිවෙළෙහි වැඩි අවධාරණයක් සිදු කර තිබෙන්නේ රජයේ ආදායම් ඉහළ නංවා ගෙන හැකි ඉක්මණින් ණය ආපසු ගෙවීම කෙරෙහියි. 

Friday, June 23, 2023

සැම්බියාව සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කරයි!


සැම්බියාව විසින් ඔවුන්ගේ ඩොලර් බිලියන 6.3ක ද්විපාර්ශ්වික ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට සමත්ව සිටින බව නිවේදනය කර තිබෙනවා. ඩොලර් බිලියන 22ක ආර්ථිකයක් ඇති සැම්බියාව ඩොලර් බිලියන 32.8ක ණය කන්දක් ගොඩ ගසාගෙන සිටි අතර එයින් ඩොලර් බිලියන 18.6ක් පමණම විදේශ ණයයි. 2020 නොවැම්බර් 13 දින සැම්බියාව විසින් ණය ගෙවීම පැහැර හරිනු ලැබුවා. ඉන් පසුව එකතු වූ නොගෙවු පොලී ඩොලර් බිලියන 1.2ක්ද ඉහත ගණනට ඇතුළත්. 

ඉහත ණය වලින් මේ වන විට ප්‍රතිව්‍යුහගත කරනු ලැබ ඇත්තේ ද්විපාර්ශ්වික ණයයි. එම ණය වසර තුනක සහන කාලයකින් පසුව වසර විස්සක කාලයක් තුළ ආපසු ගෙවීම ඇති කරගෙන තිබෙන එකඟතාවයි. සහන කාලය තුළ පොලිය පමණක් ආපසු ගෙවීමට නියමිතව අතර පොලිය සීමා කිරීමක්ද සිදු වනවා. කෙසේ වුවද, සැම්බියාවේ ආර්ථිකය වඩා යහපත් වුවහොත් සැම්බියාව විසින් වඩා වැඩි පොලියක් ගෙවිය යුතු අතර ණය වාරිකද වඩා කලින් ආපසු ගෙවිය යුතුයි. මේ හා අදාළ විස්තරාත්මක තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නැහැ. 

ඉහත ද්විපාර්ශ්වික ණය වලට අමතරව ඩොලර් බිලියන 6.7ක වාණිජ ණයද මෙම කොන්දේසි යටතේම ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමට නියමිතයි. එහෙත්, කිසිදු ආකාරයක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නැහැ. ඒ සඳහා විදේශ ණයහිමියන්ගේ එකඟත්වය ලැබී තිබෙනවා. 

සැම්බියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට ගියේ පසුගිය අගෝස්තු මාසයේදී. ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමට එතැන් සිට මාස දහයකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. සැම්බියාවේ ලොකුම ද්විපාර්ශ්වික ණයහිමියා වූයේත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම කල් යන්නට ප්‍රධානම හේතුව වූයේත් චීනයයි. 

2048දී ලංකාව මොන වගේ වෙයිද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2048 වන විට ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ ඉලක්කයක් වගේ දෙයක් ගැන ටික දවසකට පෙර කියා තිබුණා. මේ ප්‍රකාශය ගැන දෙආකාරයක විවේචන දැකිය හැකි වුනා. සමහර විචේචන චව්චව් වර්ගයේ සෘණාත්මක විවේචන. ඒ අයට අනුව, මේ වැඩේ කීයටවත් වෙන්නේ නැති වැඩක්. ඒ නිසා ඔය සංවර්ධන සිහිනය විහිළු කතාවක්. අනෙක් පැත්තෙන් තවත් සමහර අයට අනුව, ඔය ඉලක්කයට යන්න 2048 වෙනකම් බලා ඉන්න වෙන එක විහිළුවක්. එතෙක් බලා නොඉඳ මේ ඉලක්කයට ඊට කලින් යා යුතුයි. 

සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ලෙස රටවල් බෙදන එක ටිකක් පරණ කතාවක්. ඊටත් කලින් ඌණ සංවර්ධිත රටවල් ලෙස රටවල් නම් කළ කාලයකුත් තිබුණා. සංවර්ධිත රටක් කියන එකට කිට්ටුවෙන්ම යන වර්තමාන අර්ථදැක්වීම විදිහට ලෝක බැංකුවේ ඉහළ ආදායම් රටවල් කියන වර්ග කිරීම සලකන්න පුළුවන්.

ලෝක බැංකුවේ වත්මන් වර්ගීකරණය අනුව ඉහළ ආදායම්ලාභී රටක් සේ සැලකෙන්නේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 13,205 ඉක්මවන රටවල්. මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, 2022දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3,474ක්. එහෙමනම්, ඔය ආදායම 2048 වන විට ඇමරිකන් ඩොලර් 13,205 දක්වා වැඩි කරගන්න බැරි වෙයිද? එතෙක් බලා නොසිට, ඊට කලින්ම ඔය ඉලක්කයට යන්න බැරිද?

ඒක පුද්ගල ආදායම 2048 වන විට ඩොලර් 13,205 දක්වා වැඩි කර ගන්නනම් 2023 සිට වසර 26ක් තිස්සේ 5.27%ක සාමාන්‍ය වේගයකින් ඒක පුද්ගල ආදායම වැඩි විය යුතුයි. ඒ කියන්නේ ඊට කලින් ඔය ඉලක්කයට යන්නම් වර්ධන වේගය මීටත් වඩා වැඩි විය යුතුයි. 

මේ වෙද්දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2033 පමණ වන තුරු ලංකාවේ ශක්‍ය ආර්ථික වර්ධන වේගය සේ සලකා තිබෙන්නේ 3.1% මට්ටම. ඔය කාලය තුළ රටේ ජනගහණයද වර්ධනය වන නිසා, ආර්ථිකය 3.1% වේගයෙන් වර්ධනය වුනත් ඒක පුද්ගල ආදායම එම වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඊට අමතරව, මුල් වසර කිහිපයේදී 3.1% ආර්ථික වර්ධන වේගය එන්නෙත් නැහැ. මේ වසරේදී වෙන්නේ ආර්ථිකය හැකිලෙන එක. ඒ නිසා, 2048ට ගොඩක් කලින් ඔය ඉලක්කයට යා හැක්කේ හාන්සි පුටු සැලසුමක පමණයි. 

එක දිගටම 3.1% වේගයෙන් ආර්ථිකය වර්ධනය වුනොත්, ජනගහණය වෙනස් නොවුනත්, ඩොලර් 13,205 ඉලක්කයට යන්න අවුරුදු 44ක් යනවා. ඒ කියන්නේ වැඩේ වෙන්නේ 2066 අවුරුද්දේ. 

ලෝක බැංකු දත්ත අනුව, 2001-2021 අතර ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4.91%ක් පමණ වෙනවා. 2001-2021 අතර ජනගහණ වර්ධන වේගය 0.83%ක්. මේ අනුව, ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය වර්ධනය 4.08%ක්. මේ වේගයෙන් වර්ධනය වුනොත්, ලංකාවට ඉහළ ආදායම් රටක් වෙන්න අවුරුදු 34ක් යනවා. ඒ කියන්නේ ඒ වේගයෙන් ගියත් වැඩේ වෙන්නේ 2056 අවුරුද්දේ. 

මේ අවුරුද්දේ රටේ ආර්ථිකය කොහොමටත් හැකිලෙනවා. තව අවුරුදු හතරක් පහක් යනකම් රටේ ලොකු ආර්ථික වර්ධන වේගයක් ඇති වෙන එකක් නැහැ. නමුත්, ඉදිරි දශක දෙක තුන තුළ ඉන්දියාවේ වේගවත් ආර්ථික වර්ධනයක් ඇති වීමට නියමිතයි. මෙම වර්ධන වේගය 6% මට්ටම ඉක්මවන බව පැහැදිලියි. 8% වගේ මට්ටමක් දක්වා වුනත් යන්න පුළුවන්. එහි වාසිය ලංකාවටත් එනවා. 

අනෙක් පැත්තෙන් 2035 පමණ වන විට ලංකාවේ ජනගහන වර්ධනය නැවතී ඇතැම් විට ජනගහණය අඩු වෙන්න පටන් ගන්න වුනත් ඉඩ තිබෙනවා. එහෙම විය හැක්කේ ඇයි කියා මම මේ ලිපියේ විස්තර කරන්න යන්නේ නැහැ. ඒ නිසා, 2030-2035 පමණ වන තුරු ඒක පුද්ගල ආදායම අඩු වේගයකින් වර්ධනය වුවත්, ඉන්පසුව වඩා වැඩි වේගයකින් වර්ධනය කරගෙන  5.27%ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වා ගන්න ඉඩක් ලැබෙයි කියා හිතන එක ධනාත්මක අදහසක් වුවත් මනෝරාජික සිතුවිල්ලක් නෙමෙයි. 

Wednesday, June 21, 2023

අද පොලී අනුපාතික


අපේක්ෂිත පරිදිම, මේ වන විට භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වේගයෙන් පහත වැටෙමින් පවතිනවා. අද පැවති වෙන්දේසියේ මිල ගණන් පහත පරිදියි.

මාස 3 - 23.00%

මාස 6 - 19.49%

මාස 12- 16.99%

මෙහි දැකිය හැකි වැදගත්ම දෙය ඉතා තියුණු ලෙස ඵලදා වක්‍රය පහතට නැඹුරු වී තිබීමයි. එයින් පෙන්නුම් කරන්නේ වේගයෙන් පොලී අනුපාතික පහත වැටීම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවයි.

මාස 3 පොලී අනුපාතිකය 23.00% මට්ටමේ තිබියදී මාස 6 පොලී අනුපාතිකය 19.49% වීමෙන් අදහස් වන්නේ දෙවන මාස 3 තුළ ලබා ගත හැකි ප්‍රතිලාභ අනුපාතිකය 15.98%ක් පමණක් බවයි. එමෙන්ම, මාස 6 පොලී අනුපාතිකය 19.49% මට්ටමේ තිබියදී මාස 12 පොලී අනුපාතිකය 16.99% වීමෙන් අදහස් වන්නේ දෙවන මාස 6 තුළ ලබා ගත හැකි ප්‍රතිලාභ අනුපාතිකය 14.49%ක් පමණක් බවයි.

මේ අතර අද ප්‍රකාශයට පත් කර ඇති ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය 22.1% ලෙස වාර්තා වන අතර ආහාර උද්ධමනය 15.8% දක්වා අඩු වී තිබෙනවා. මෙම ජූනි මාසයේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 12% මට්ටම දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 11% මට්ටම දක්වාත් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කළ හැකි අතර ඉදිරි මාසය වන විට පිළිවෙලින් 8% හා 6% පමණ දක්වා අඩු විය හැකියි. ඒ අනුව, පොලී අනුපාතිකද තව දුරටත් සැලකිය යුතු ලෙස පහත වැටෙන්නට ඉඩ තිබෙනවා.