Friday, May 11, 2018

තෙල් අඩුවන විට ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොවන්නේ ඇයි?


තෙල් මිල වැඩි වන විට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යයි. එහෙත්, තෙල් මිල අඩු වන විට ත්‍රිරෝද රථ ගාස්තු පහළ නොයයි. මේ අයුරින්ම, තිරිඟු පිටි මිල ඉහළ යන විට පාන්, බනිස්, ආප්ප ආදියේ මිල ඉහළ යන නමුත් මෙසේ වැඩි වූ මිල තිරිඟු පිටි මිල නැවත පහළ ගියත් අඩු වන්නේ නැත. එහෙම වෙන්නෙ ඇයි?

කෙටි පිළිතුර වන්නේ මෙයට හේතුව මහ බැංකුව විසින් දිගින් දිගටම අලුතින් මුදල් සංසරණයට එකතු කිරීම බවයි. එහෙත්, එය හරියටම වෙන්නේ කොහොමද? මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි නොකර නිශ්චිතව තබා ගත්තොත් තෙල් මිල අඩු වන විට ත්‍රිරෝද රථ ගාස්තු පහළ යයිද?

පාන්, බනිස්, ආප්ප ආදියේ මිල හෝ ත්‍රිරෝද රථ ගාස්තු තීරණය වන්නේ තනිකරම නිෂ්පාදන පිරිවැය මත පදනම්ව නොවේ. ඉල්ලුම හා සැපයුම මතය. නිෂ්පාදකයින් මෙන්ම පාරිභෝගිකයින්ද විශාල පිරිසකගෙන් සමන්විත, කර්මාන්තයට ඇතුළු වීමට හෝ එයින් පිටවීමට විශාල බාධා නැති, පාන්, බනිස්, ආප්ප ආදිය නිෂ්පාදනය කිරීම මෙන්ම ත්‍රිරෝද රථ සේවා සැපයීමද තරඟකාරී පදනමක සිදු වන්නේයැයි සැලකිය හැකිය.

තරඟකාරී වෙළඳපොළක නිෂ්පාදකයින්ට සාමාන්‍ය ලාභ මිස සුපිරි ලාභ ලැබිය නොහැකිය. ඒ නිසා, නිෂ්පාදකයින්ට ලැබෙන්නේ ඔවුන්ගේ ආවස්ථික පිරිවැයට අනුරූප ආර්ථික ලාභ පමණි. මේ ලාභය සුපිරි ලාභයක් බවට පත් වුවහොත් අලුත් පිරිස් කර්මාන්තයට ඇදී විත්, තරඟය නිසා මිල පහත වැටේ. එවිට සුපිරි ලාභ නැති වී යයි.

ඉන්ධන මිල ඉහළ ගිය විට ත්‍රිරෝද රථ සේවා සපයන්නන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ආර්ථික ලාභය සෘණ අගයක් බවට පත් වේ. එසේ වුවද, මෙහෙයුම් වියදම් ආවරණය වන්නේනම් නිෂ්පාදකයෙකුට කෙටිකාලීනව කර්මාන්තයේ දිගටම රැඳී සිටිය හැකිය.

උදාහරණයක් වශයෙන් කිලෝමීටර හතරක ගමනකට සාමාන්‍ය ගාස්තුව රුපියල් සියයක්යැයි සිතමු. මේ ගමන සඳහා වැය වන ඉන්ධන වල පිරිවැය රුපියල් විස්සකට වඩා වැඩි නොවේ. ඒ අනුව, මේ සේවාව සැපයීමෙන් නිෂ්පාදකයාට රුපියල් අසූවක පමණ මෙහෙයුම් ලාභයක් ලැබිය හැකිය. එහෙත්, සේවාසපයන්නාගේ ශ්‍රමයේ පිරිවැය හා ත්‍රිරෝද රථය වෙනුවෙන් වැය කර ඇති ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැය ඇතුළු අනෙකුත් වියදම් සැලකූ විට මෙහි ආර්ථික ලාභය ශුන්‍යයකි. එය එසේ නොවේනම්, අලුත් සේවා සපයන්නෙකු අඩු මිලට මේ සේවාව නොසපයන්නට හේතුවක් නැත.

හදිසියේම ඉන්ධන මිල 25%කින් ඉහළ ගියහොත් මෙහෙයුම් වියදම රුපියල් පහකින් ඉහළ යයි. එවිට මෙහෙයුම් ලාභය රුපියල් පහක අලාභයක් බවට පත් වේ. එහෙත්, එසේ වුනා කියා සේවා සපයන්නකුට වහාම රැකියාවෙන් ඉවත් විය නොහැකිය. එසේ කළද, වාහනයේ කල්බදු වාරික ආදිය ගෙවිය යුතු නිසා එසේ කිරීමෙන් අලාභය තවත් ඉහළ යන බැවිනි. කෙසේ වුවත්, කල් යාමේදී කිසියම් පිරිසක් කර්මාන්තයෙන් ඉවත් වන නිසා සැපයුම පහත වැටී මිල ඉහළ යයි. එවිට ආර්ථික ලාභ නැවතත් ශුන්‍ය මට්ටමටම පැමිණේ. එය සිදුවන තුරු කර්මාන්තයේ රැඳී සිටීමට කිසියම් හෝ මෙහෙයුම් ලාභයක් තිබීම ප්‍රමාණවත්ය.

ත්‍රිරෝද රථ සේවා ගාස්තු තීරණය වන්නේ එම කර්මාන්තයේ ඉල්ලුම හා සැපයුම මත වුවත්, ඉන්ධන මිල ඉහළ ගොස් නිෂ්පාදන පිරිවැය වැඩි වූ විට සැපයුම පහත වැටී මිල ඉහළ යයි. එවිට පාරිභෝගිකයින්ට ත්‍රිරෝද රථ සේවා ලබා ගැනීම සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වේ. ඉහත උදාහරණයේදී සිදු වූ එකම වෙනස ඉන්ධන මිල වැඩි වීම නිසා සේවා ගාස්තුව රුපියල් 105ක් දක්වා වැඩි වූ විට මෙහෙයුම් ලාභය නැවතත් රුපියල් 80ක් වී ආර්ථික ලාභ ශුන්‍ය වේ.

මෙය මෙසේ සිදු වෙද්දී පාරිභෝගිකයෙකුට තමන් කලින් ලබාගත් භාණ්ඩ හා සේවාවන් ඒ ප්‍රමාණයන්ගෙන්ම ලබා ගැනීමට පෙරට වඩා වැඩි මුදලක් වැය කරන්නට සිදු වේ. ඒ නිසා, රටේ මුදල් ඉල්ලුම ඉහළ යයි. එසේ වැඩි වූ ඉල්ලුමට සරිලන පරිදි මහබැංකුව විසින් අලුතින් මුදල් සංසරණයට එකතු කළහොත් භාණ්ඩ හා සේවා සඳහා කලින් වූ ඉල්ලුම එලෙසම පවතී.

මෙසේ තිබියදී ඉන්ධන මිල පෙර මට්ටමටම නැවත පහත වැටුනොත් සිදුවන්නේ කුමක්ද? එවිට ත්‍රිරෝද රථ සේවා සපයන්නන්ගේ මෙහෙයුම් ලාභය ක්ෂණිකව රුපියල් 85ක් දක්වා ඉහළ යයි. දැන් ආර්ථික ලාභය රුපියල් පහක් බවට පත් වේ. මේ රුපියල් පහ සියලු දිගුකාලීන වියදම් ආවරණය කිරීමෙන් පසු අත ඉතිරි වන සුපිරි ලාභයකි. ත්‍රිරෝද රථ කර්මාන්ත කරුවෝ මේ අමතර බෝනස් ලාබය වෙනත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වියදම් කරති. එවිට, අනෙකුත් භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඒවායේ මිල ඉහළ යයි. සුපිරි ලාභ දකින වෙනත් අය අලුතින් ත්‍රිරෝද රථ කර්මාන්තයට එකතු වන අතර ඔවුන් උපයන ආදායමද අනෙකුත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වියදම් කෙරේ. අවසන් ප්‍රතිඵලය වන්නේ රටේ අනෙකුත් භාණ්ඩ හා සේවා බොහොමයකම මිල අඩු වැඩි වශයෙන් ඉහළ යාමයි.

රටේ සියලුම භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගොස් ඇති නිසා ත්‍රිරෝද රථ කරුවෙකුට කලින් ලැබූ රුපියල් අසූවක මෙහෙයුම් ලාභය ප්‍රමාණවත් නැත. ඔහුගේ හෝ ඇයගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ශුන්‍ය ආර්ථික ලාභ ලැබීමට දැන් රුපියල් අසූ පහක මෙහෙයුම් ලාභයක් අවශ්‍ය වේ. ඒ නිසා, ඉන්ධන මිල පහත වැටුණත් ත්‍රිරෝද රථ සේවා ගාස්තු පහත නොවැටේ. මේ අයුරින්ම, තිරිඟු පිටි මිල ඉහළ යාම නිසා වැඩි වූ මුදල් ඉල්ලුම සපුරමින් මහ බැංකුව විසින් අලුත් මුදල් සංසරණයට එකතු කළහොත් තිරිඟු පිටි මිල පහළ ගිය විට පාන් බනිස් වල මිල ගණන් නැවත අඩු වන්නේ නැත.

එසේනම්, තෙල් මිල ඉහළ යද්දී මහ බැංකුව විසින් මුදල් සැපයුම නොවෙනස්ව තබා ගත්තොත් සිදු වන්නේ කුමක්ද? ඉන්ධන මිල ඉහළ යාම නිසා මෙහෙයුම් ලාභ අඩු වී ත්‍රිරෝද රථ සපයන්නන් කිහිප දෙනෙකු කර්මාන්තයෙන් බැහැර වේ. ඔවුන් දැන් ආදායම් නූපයන බැවින් රටේ අනෙකුත් භාණ්ඩ හා සේවා සඳහා ඔවුන්ගෙන් වූ ඉල්ලුම අඩු වේ. ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ ගියහොත් ඒ හේතුව නිසා ත්‍රිරෝද රථ සේවා පාරිභෝගිකයින්ට වෙනත් භාණ්ඩ හා සේවා සඳහා වැය කරන්නට අත ඉතිරි වන මුදල් ප්‍රමාණය අඩු වීම නිසා සිදු වන්නේද ඒ දෙයමය. සැපයුම එසේම තිබියදී ඉල්ලුම අඩු වීමෙන් රටේ බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල පහත වැටේ. ඉන්ධන හා ඉන්ධන මත පාදක වන නිෂ්පාදන වල මිල පමණක් ඉහළ යයි. විවිධ භාණ්ඩ හා සේවා වල සාපේක්ෂ මිල වෙනස් වුණත් සමස්තයක් ලෙස රටේ මිල මට්ටම වෙනස් නොවේ. ඒ නිසා උද්ධමනයක් නැත.

ඉන්ධන මිල නැවත පහත ගියහොත් නැවතත් මෙහෙයුම් ලාභ ඉහළ යන නිසා ත්‍රිරෝද රථ කර්මාන්තයට අලුත් පිරිස් ආකර්ශනය වී මිල පහත වැටේ. එවිට පාරිභෝගිකයින් අත ඉතිරි වන මුදල් වෙනත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වැය කෙරෙන බැවින් ඒවායේ මිල පෙර මට්ටමට ඉහළ යයි. සාපේක්ෂ මිල වෙනස් වුණත් සමස්තයක් ලෙස රටේ මිල මට්ටම වෙනස් නොවේ.

ඉන්ධන වැනි ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගිය විට රටේ මිල මට්ටම සමස්තයක් ලෙස ඉහළ යන්නේ මහ බැංකුව විසින් වැඩි වන මුදල් ඉල්ලුම සපුරමින් අලුතින් මුදල් සංසරණයට එකතු කරන නමුත් ඉන්ධන මිල නැවත පහත වැටුණු විට එසේ එකතු කළ අමතර මුදල් ආපසු එකතු කර නොගන්නා බැවිනි. මෙය අඩු වැඩි වශයෙන් ලෝකයේ හැම මහ බැංකුවක්ම කරන දෙයකි. ඒ නිසා, ඉන්ධන මිල වැඩි වීම නිසා සිදුවන දෙවන වටයේ මිල වැඩිවීම් බොහෝ විට ඉන්ධන මිල පහත වැටුනද නැවත පහත වැටෙන්නේ නැත.

(Image: https://www.indiamart.com/rapmotorsindia/three-wheeler-passenger-auto.html)