Sunday, August 27, 2017

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයට විසඳුමක්ද?

ලංකාව කලක සිට ණය අර්බුදයක සිරවී සිටින බව දැන් කවුරුත් දන්නා කතාවකි. පසුගිය මාර්තු මාසය අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,702.8ක් විය. එයින් රුපියල් බිලියන 5,626.2ක් දේශීය ණය වූ අතර ඉතිරි රුපියල් බිලියන 4,076.7 විදේශ ණයයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ලංකාවට ණය අර්බුදයෙන් ගොඩ යන්නට හැකි වෙයිද?

මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසියකදී ආසන්න වශයෙන් වසර 10ක පමණ කල් පිරීමේ කාලයක් (වසර 9කුත් මාස 10ක්) සහිත බැඳුම්කර අවසාන වරට (ජූලි 27 දින) නිකුත් කලේ 10.59%ක සඵල පොලී අනුපාතිකයකටය. ඒ අනුව, වසර දහයක කාලයකට දේශීය ණය ලබා ගැනීමේදී රජය විසින් මේ වන විට ගෙවිය යුතු පොලී අනුපාතිකය 10.59%ක් ලෙස සැලකිය හැකිය. මෙහිදී නිකුත් කළ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 11ක් වූ අතර, ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කළේනම් මේ පොලී අනුපාතිකය මීට වඩා වැඩි විය හැකිව තිබුණේය.

පසුගිය මැයි මස 4 වන දින රජය විසින් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක වටිනාකමකින් යුත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කළේය.  ඒ, 6.20%ක පොලී අනුපාතිකයකටය. මේ පොලී අනුපාතිකය රජය විසින් විදේශ ණය ලබා ගැනීමේදී ගෙවිය යුතු පොලී අනුපාතිකය ලෙස සැලකිය හැකිය.

ණය ප්‍රතිව්‍යුගතකිරීම යන්නෙන් අදහස් වන්නේ වඩා වාසිදායක ණයක් ගෙන සාපේක්ෂව අවාසිදායක ණයක් පියවීමයි. උදාහරණයක් ලෙස, ඉදිරි වසර 10 තුළ විණිමය අනුපාතිකය දැනට පවතින මට්ටමේම තිබෙනු ඇතැයි විශ්වාස කළ හැකිනම් 10.59%ක පොලියකට රුපියල් වලින් ණය ගන්නවාට වඩා 6.20%ක පොලියකට ඩොලර් වලින් ණය ගැනීම වාසිදායකය. එහෙත්, විණිමය අනුපාතිකය එසේ ස්ථිරව නොතිබෙන බව අපි දනිමු. පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් යටතේ ඉදිරි වසර 10 තුළ රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු තරමින් පිරිහෙනු ඇති බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු කරුණක් නොවේ. ඒ නිසා, රුපියල් ණය හා ඩොලර් ණය ගැනීමේ වාසි හා අවාසි එතරම් පහසුවෙන් සැසඳිය නොහැකිය.

රජය විසින් අද (අගෝස්තු 27) ඩොලරයක් ණයට ගත්තොත් රජයට ඒ ඩොලරය මාරු කර රුපියල් 151ක් ලබා ගත හැකිය. ඉන් පසු ඒ මුදල රට ඇතුළත කැමති ආකාරයකින් වියදම් කළ හැකිය. එසේ නැත්නම් එම ඩොලරය රුපියල් වලට මාරු නොකර වෙනත් රටකින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම වෙනුවෙන් වැය කළ හැකිය. ඒ දෙකෙන් කුමක් කළත්, වසර 10කින්  පසුව 6.20%ක පොලියද සමඟ ඩොලර් ඩොලර් 1.825ක පමණ මුදලක් ආපසු ගෙවන්නට රජයට සිදු වේ.

අනෙක් අතට රජය විසින් අද රුපියල් 151ක් ණයට ගත්තොත් රජයට ඒ වෙනුවෙන් වසර 10ක් තුළ එකතු වන 10.59%ක පොලියද සමඟ රුපියල් 413.18ක් ආපසු ගෙවන්නට සිදු වේ. එසේනම්, වඩා වාසිදායක මේ විකල්ප දෙකෙන් කොයි එකද?

මෙය තීරණය වන්නේ වසර දහයකට පසු ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා රජය විසින් වැය කළ යුතු රුපියල් ගණන මතය. වසර දහයකට පසු ඩොලරයක විකුණුම් මිල රුපියල් 226.41ක් නම් ඩොලරයේ ණය ආපසු ගෙවන්නට රජයට රුපියල් 413.18ක් වැය කරන්නට වේ. මෙය රුපියල් වලින් ණය ගත්තත් රජයට ගෙවන්නට සිදුවන මුදලයි. රුපියල වසර දහයකින් එතරම් අවප්‍රමාණය වන්නට ඉඩක් නැත්නම් ඩොලර් වලින් ණය ගැනීම රජයට වාසිදායකය. රුපියල ඊට වඩා අවප්‍රමාණය වන්නට ඉඩ ඇත්නම් රුපියල් වලින් ණය ගැනීම වාසිදායකය.

ඉහත කරුණ කවුරුත් නොදන්නා රස රහසක් නොවේ. රාජ්‍ය ණය කළමනාකරණය භාරව සිටින මහා භාණ්ඩාගාරයේ හා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොඳින්ම දන්නා සරල කරුණකි. ඔවුහු නිබඳවම මේ සැසඳීම කරමින් වඩා වාසිදායක ණය මිශ්‍රණයක් පවත්වා ගැනීම සඳහා කටයුතු කරති. ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඔවුන්ට අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නොවේ. 

විදෙස් ණය යනු හැම විටම ඉහත උදාහරණයේ මෙන් ඇමරිකන් ඩොලර් ණයම නොවේ. සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන විට සැසඳීමේ පහසුවට ඇමරිකන් ඩොලර් වලින් ඉදිරිපත් කළත් රජයේ විදෙස් ණය කළඹට පවුම්, යුරෝ, යෙන් වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදලින් ගත් ණයද ඇතුළත්ය.

රජයට ලැබෙන බදු ආදායම් මුළුමනින්ම වාගේ ලැබෙන්නේ රුපියල් වලිනි. එහෙත්, රජයේ ඇතැම් වියදම් කරන්නට වෙන්නේ ඩොලර් වලින් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකිනි. මේ විදේශ ව්‍යවහාර මුදල් රජයට මහ බැංකුවෙන් හෝ වෙනත් බැංකුවකින් මිල දී ගන්නට සිදු වේ. එසේ කළ හැක්කේ රටේ කවරෙකු හෝ විදේශ ව්‍යවහාර මුදල් උපයන්නේනම් පමණි.

රටකට විදේශ ව්‍යවහාර මුදල් ලැබෙන ප්‍රධානම ප්‍රභවය අපනයන ආදායමයි. එසේ ලැබෙන විදේශ ව්‍යවහාර මුදල් ආනයන වියදම් සඳහාද වැය කළ යුතුය. රජයට බැංකු පද්ධතිය හරහා දිගින් දිගටම විදේශ ව්‍යවහාර මුදල් ලබා ගත හැක්කේ රටේ අපනයන ආදායම ආනයන වියදම ඉක්මවන්නේනම් පමණි. එහෙත් අප දන්නා පරිදි ලංකාවේ ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයකට කිට්ටුය. කෙසේ වුවත්, අපනයන වලින් ලැබෙන ප්‍රමාණයට අමතරව ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ලෙසද ලංකාවට සැලකිය තරමින් විදේශ ව්‍යවහාර මුදල් ලැබේ.

පහත වගුවේ ඇත්තේ 2016 වසරේදී ලංකාව සමඟ අඩු වශයෙන් ඩොලර් මිලියන 500ක වෙළඳ පරිමාවක් පවත්වාගෙන ඇති රටවල ආනයන, අපනයන හා වෙළඳ ශේෂයන්ය. මේ වගුව දෙස බැලූ විට ලංකාව හා ලෝකය අතර ඇති ආර්ථික සම්බන්ධතාව කවර ආකාරයේ එකක්ද යන්න ගැන පැහැදිලි අදහසක් ගන්නට පුළුවන.



ලංකාවට වෙළඳාම හරහා වැඩිම විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එරටින් ලැබෙන අපනයන ආදායම ලංකාවේ ඇමරිකන් ආනයන වියදම මෙන් 5.2 ගුණයක් වන අතර පසුගිය වසර තුළ ඇමරිකා එක්සත් ජනපදය සමඟ කළ වෙළෙඳාම නිසා ලංකාවට ඩොලර් මිලියන 2,271ක අතිරික්ත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබී තිබේ.  ඇමරිකාවෙන් ලැබෙන්නේ ඇමරිකන් ඩොලර්ය.

එක්සත් රාජධානියට ලංකාවෙන් යවන අපනයන ප්‍රමාණයද එම රටින් ගෙන්වන අපනයන භාණ්ඩ වල වටිනාකම මෙන් 3.2 ගුණයකි. මේ අනුව, එක්සත් රාජධානිය සමඟ කරන වෙළඳාම නිසාද ලංකාවට ඩොලර් මිලියන 700 ඉක්මවන අතිරික්ත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබී තිබේ.  මෙසේ එක්සත් රාජධානියෙන් ලැබෙන්නේ ස්ටර්ලින් පවුම්ය. මේ ආකාරයෙන්ම ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපීය සංගමයේ රටවල් සමඟ කරන වෙළඳාම නිසා ලංකාවට සැලකිය යුතු යුරෝ ප්‍රමාණයක්ද ලැබේ.

ඇමරිකාවෙන් හා යුරෝපයෙන් විදෙස් වෙළඳාම හරහා ලංකාව ලබාගන්නා අතිරික්ත ඩොලර්, පවුම් හා යුරෝ ප්‍රමාණයට අමතරව එම කලාප වල රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් විසින් 2016 වසර තුළ තවත් ඩොලර් මිලියන 1,815 ක මුදලක් ලංකාවට එවා තිබේ. මේ සියල්ල එකතු කළ විට බටහිර රටවල් සමඟ කරන ගනුදෙනු හරහා ලංකාවට වසරකට ඩොලර් මිලියන 6000-7000ක පමණ අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේයැයි සිතිය හැකිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ වෙළඳාමෙන් ලංකාවට ඩොලර් මිලියන 885ක පමණ ශුද්ධ අවාසියක් සිදු වී ඇතත් මැද පෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රමිකයින් විසින් වසර තුළ ඩොලර් මිලියන 3,889ක පමණ මුදලක් ප්‍රේෂණය කර ඇති බව සැලකූ විට එම කලාපයේ රටවලින්ද ලංකාවට තවත් ඩොලර් මිලියන 3000ක පමණ අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේයැයි සිතිය හැකිය.

මෙසේ ලැබෙන අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ලංකාව විසින් වැය කරන්නේ චීනය හා ඉන්දියාව ප්‍රමුඛ ආසියානු කලාපයේය. චීන ආනයන එහි යවන අපනයන ප්‍රමාණය මෙන් 21 ගුණයකි. ඒ නිසා, චීන ආනයන වෙනුවෙන් ලංකාව ඩොලර් මිලියන 4000 ඉක්මවන අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් සෙවිය යුතුය. ඉන්දියාව සමඟ කරන වෙළඳාම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 3000ක් ඉක්මවා විදේශ ව්‍යවහාර මුදල් සෙවිය යුතුය. මේ දෙරටින් ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන්නේම නැති තරම් වන අතර යම්තාක් දුරකට එහි අනිත් පැත්ත වෙන්නේයැයි සිතිය හැකිය. සිංගප්පූරුව, ජපානය ඇතුළු අනෙකුත් දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් සමඟද ලංකාව විශාල වෙළඳ අවාසියක් පවත්වා ගනී. මේ ඇතැම් රටවලින් ලංකාවට කිසියම් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුණත් ඒ මුදල අදාළ රටවල් සමඟ ඇති ද්විපාර්ශ්වික වෙළඳ අවාසිය පියවන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නැති මුදලකි.

ඉහත විස්තරය සාරාංශගත කළහොත්, ලංකාව විසින් කරන්නේ බටහිර හා මැදපෙරදිග රටවල් සමඟ ගණුදෙනු කර උපයන විදේශ ව්‍යවහාර මුදල් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ වියදම් කිරීමයි. ජාත්‍යන්තර වෙළඳාම තුළ ලංකාව ඇමරිකාව, යුරෝපය හා මැදපෙරදිග රටවල් මත යැපේ. ඒ රටවලට යවන අපනයන නැත්නම් ලංකාවට යන එන මං නැත. අනිත් අතට ඉන්දියාව හා චීනය ඇතුළු ආසියාතික රටවල් ලංකාව මත යැපෙන රටවල්ය. මේ රටවල් සමඟ කරන වෙළඳාමට යම් හෙයකින් බාධා පැමිණුනොත් අමාරුවේ වැටෙන්නේ එම රටවල් මිස ලංකාව නොවේ. ලංකාවේ වෙළඳපොළ කුඩා එකක් වීම වෙනම කරුණකි.

ජපානය සිටින්නේද ඉහත ගොඩවල් දෙකෙන් ඉන්දියාව හා චීනය සිටින ගොඩේය. ජපන් ආනයන වෙනුවෙන් ලංකාව වැය කරන මුදල එරටින් ලැබෙන අපනයන ආදායම මෙන් 5.7 ගුණයකි.

රටවල් දෙකක් අතර සිදුකරන වෙළඳාමේදී දිගින් දිගටම එක් රටකට අවාසියක් වීම සිදු විය නොහැක්කක් නොවුවත්, එසේ වන විට ඒ හරහා ඇති වන අසමතුලිතතාවය බොහෝ විට වෙනත් අයුරකින් මතු වේ. ආර්ථික කරුණු වලට පරිබාහිර දේශපාලනික කරුණු මත පදනම් වෙමින් ඇතැම් බටහිර රටවල් ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීමද එක්තරා දුරකට මේ වෙළඳ අසමතුලිතාවයේ ප්‍රතිඵලයකි.

ලංකාවේ අපනයන ලොකුවට මිලදී නොගන්නා චීනය හෝ ජපානය වැනි රටකට එම රටවලින් ලංකාවට එන ආනයන පරිමාව පවත්වා ගැනීම සඳහා වෙනත් කිසියම් අයුරකින් ලංකාවට අරමුදල් පොම්ප කරන්නට සිදු වේ. එසේ නොකළහොත්, බටහිර හා මැදපෙරදිග රටවලින් ලැබෙන විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණය ලංකාවේ චීන හෝ ජපන් ආනයන ප්‍රමාණය සීමා කරන සාධකයක් බවට පත් වේ. එම රටවලට මේ සීමාව මඟ හරිමින් සිය අපනයන (ලංකාවේ ආනයන) තව දුරටත් වර්ධනය කර ගත හැකි එක් ක්‍රමයක් වන්නේ ලංකාවට ණය ලෙස නැවත අරමුදල් සැපයීම මඟින් වෙළඳ ශේෂයේ හිඟය නිසා ඇති වන අසමතුලිතතාවයෙන් කොටසක් සමනය කිරීමයි. මේ ණය කිසියම් සහනදායී පදනමකින් ලබා දුන්නත් ලංකාවට සිදු කරන අපනයන වලින් ඒ අවාසිය සමනය වන්නේනම් එම රටවලට ප්‍රශ්නයක් නැත. (ඉන්දියාව උත්සාහ කරන්නේනම් එවැනි දෙයක්වත් නොකර දේශපාලනික බලපෑම් හරහාම වැඩේ ගොඩ දා ගැනීමටය.)

ජපානයෙන් හෝ චීනයෙන් ණය ගැනීමෙන් තාවකාලිකව ලංකාවේ රාජ්‍ය ණය ප්‍රශ්නය විසඳා ගත හැකි වුවත්, එම රටවල් ලංකාවේ අපනයන විශාල ලෙස මිලදී නොගැනීම නිසා ලංකාවට යෙන් හෝ යුවාන් පැමිණෙන මාර්ග නැත. ජපානයෙන් ශ්‍රමික ප්‍රේෂණ ලෙස සීමිත මුදලක් පැමිණියත් චීනයෙන් එසේ ලැබෙන්නේද නැත. ඒ නිසා, මේ රටවලින් ලබා ගන්නා ණය ගෙවන්නට ලංකාවට යෙන් හෝ යුවාන් මිලදී ගන්නට වෙන්නේද බටහිර රටවලින් ලැබෙන ඩොලර්, පවුම් හා යුරෝ වැය කරමිනි. ඒ නිසා යෙන් හෝ යුවාන් ණය ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ එම ව්‍යවහාර මුදල් හා ඩොලර්, පවුම්, යුරෝ වැනි ව්‍යවහාර මුදල් අතර විණිමය අනුපාතිකයට ඉදිරියේදී කුමක් වේද යන්නයි.


ඇමරිකන් ෆෙඩරල් සංචිත බැංකුවෙන් දත්ත ලබාගත හැකි, යෙන් විණිමය අනුපාතිකය පාවෙන්නට හරිනු ලැබූ, 1971 වසරේ සිට සමස්තයක් ලෙස ජපන් යෙන් මුදල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අධිප්‍රමාණය විය. 1971 ජනවාරි 1 දින ජපාන යෙන් 1000ක් මිල දී ගැනීමට ඇමරිකන් ඩොලර් 2.875ක් අවශ්‍ය වුවත්, 2012 ජනවාරි 1 දින වන විට ඒ සඳහා ඇමරිකන් ඩොලර් 12.53ක් අවශ්‍ය විය. මෙය 4.36 ගුණයක වැඩි වීමකි.

ලංකාව 1977දී ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ ජපානයෙන් සිදු කරන ආනයන විශාල ලෙස ඉහළ ගියේය. එහෙත් එයට සමාන්තරව ලංකාව ජපානයට සිදුකරන අපනයන ඉහළ ගියේ නැත. මේ හරහා සිදුවූ අසමතුලිතතාවය යම් තරමකින් සමනය වුණේ ජපානයෙන් සහනදායී පොලී අනුපාතිකයකට ලැබුණු ණය නිසාය. කෙසේ වුවද, සහනදායී පොලී අනුපාතිකයකට ණය ලැබීම යනු හැම විටම වාසියක්ම නොවේ. පසුගිය දශක කිහිපය තුළ ජපාන යෙන් මුදල අනෙක් බොහෝ විදෙස් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව විශාල ලෙස අධිප්‍රමාණය වීම නිසා අවසානයේදී ජපානයෙන් ලබාගත් සහනදායී ණය හේතුවෙන් සිදුවුණේ වාසියක් නොව විශාල අවාසියකි. ලංකාවේ රාජ්‍ය ණය බර මේ තරම් වැඩි වීමට ජපානයෙන් ලබාගත් සහනදායී ණයද එක් හේතුවකි.

මෙය පැහැදිලි කිරීම සඳහා 1982 වසරේදී ලංකාව 0.5%ක ඉතා සහනදායී පොලී අනුපාතිකයක් යටතේ වසර 30කින් ආපසු ගෙවීමට ජපානයෙන් යෙන් 1000ක ණයක් ලබා ගත්තේයැයි සිතමු. පොලී අනුපාතිකය ඉතා අඩු නිසා 2012දී ආපසු ගෙවිය යුතුව තිබුණේ ජපන් යෙන් 1161ක් පමණි. 

1982දී ජපන් යෙන් එකක් ශත 8කි. මේ අනුව, ජපන් යෙන් 1000ක් යනු 1982දී රුපියල් 80කි. 2012 වන විට ජපන් යෙන් එකක් රුපියල් 1.60ක් විය. ඒ නිසා, ජපන් යෙන් 1161ක් ආපසු ගෙවන්නට රජය විසින් රුපියල් 1857.60ක් වැය කළ යුතු විය. යෙන් ණය නොගෙන 1982දී 11%ක පොලියට රුපියල් ණය ගත්තේනම් හෝ 2%ක පොලී අනුපාතිකයකට ඩොලර් ණය ගත්තේනම් 2012දී ආපසු ගෙවන්නට වෙන්නේ ආසන්න වශයෙන් මීට සමාන මුදලකි. (කෙසේ වුවත්, 1982දී ආණ්ඩුවට 11%ක පොලී අනුපාතිකයකට දේශීය ණය ගැනීමේ හැකියාවක්නම් නොතිබුණේය.)

ජපාන යෙන් මුදල වෙනත් විදෙස් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව දිගින් දිගටම අධිප්‍රමාණය වීම නිසා ජපන් ණය අඩු පොලියකට ලැබුණත් පෙනෙන තරම්ම වාසිදායක නොවන බව රාජ්‍ය ණය කළමණාකරනය කරන නිලධාරීන් විසින් තේරුම් ගැනීමෙන් පසුව දශකයකට පමණ පෙර එවැනි ණය සීමා කෙරුණේය. 

මේ අතර ද්‍රවශීලතා උගුලක කලක සිටම හිරවී ආර්ථික වර්ධනය නැවතී ඇති ජපානයේ ආර්ථිකය නැවත උත්තේජනය කිරීමට  ජපානය උත්සාහ ගනිමින් සිටියදී මෑත වසර කිහිපය තුළ ජපාන යෙන් මුදල යම් තරමකින් අවප්‍රමාණය විය. ඒ නිසා, මේ වන විට ජපාන ණය පෙර මෙන් ප්‍රශ්නකාරී නැත. තත්ත්වය හඳුනාගනිමින් රජය නැවතත් කිසියම් ප්‍රමාණයකට ජපන් ණය ලබාගෙන තිබේ. එහෙත්, යෙන් විණිමය අනුපාතිකය ඉදිරි කාලය තුළ කෙසේ හැසිරෙනු ඇත්දැයි කිසිවකුට ස්ථිරව කිව නොහැකිය.

ලංකාව අපනයන මඟින් හෝ ප්‍රේෂණ මඟින් යෙන් උපයන්නේනම් විණිමය අනුපාතිකය වෙනස් වීම එතරම් ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලංකාවට යෙන් ණය ආපසු ගෙවන්නට වෙන්නේ ඩොලර්, පවුම් හෝ යුරෝ සමඟ යෙන් හුවමාරු කර යෙන් මිල දී ගැනීම මඟිනි. එසේ තිබියදී, සහනදායී පොලී අනුපාතිකයකට ගන්නට හැකි වුවත් ඕනෑවට වඩා යෙන් ණය ගොඩ ගසාගැනීම යනු ලංකාව විසින් විශාල අවදානමක් ගැනීමකි. හොඳ වෙලාවට මෙතෙක් කල් බලයට පත් වූ රාජ්‍ය නායකයින් කිසිවෙකුට මෙවැනි විහිළු අදහස් පහළ වී නැත.

10 comments:

  1. ත්‍රිවිල් ඩයිවර් ර්කියාවක් කරන මාව හොඳටම බයකර ඇත මටනම් මෙලොදෙයක් අදහා ගන්න බැරි ආකාරයට ලියා ඇත

    ReplyDelete
  2. කඩුවක් අරන් එන ජපනාට වඩා ලියකියවිලි බෑගයක් අරන් එන ජපනා භයානකය.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. "මේ අතර ද්‍රවශීලතා උගුලක කලක සිටම හිරවී ආර්ථික වර්ධනය නැවතී ඇති ජපානයේ ආර්ථිකය නැවත උත්තේජනය කිරීමට ජපානය උත්සාහ ගනිමින් සිටියදී මෑත වසර කිහිපය තුළ ජපාන යෙන් මුදල යම් තරමකින් අවප්‍රමාණය විය"
    තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මෙය විස්තරාත්මකව ලිවිය යුතු දෙයක්. ඉඩක් ලැබුණු විටක පෝස්ට් එකක් දමන්නම්.

      Delete
  5. Very Good one totally agreed just done small calc :) Thanks for this post.--- "මෙය පැහැදිලි කිරීම සඳහා 1982 වසරේදී ලංකාව 0.5%ක ඉතා සහනදායී පොලී අනුපාතිකයක් යටතේ වසර 30කින් ආපසු ගෙවීමට ජපානයෙන් යෙන් 1000ක ණයක් ලබා ගත්තේයැයි සිතමු. පොලී අනුපාතිකය ඉතා අඩු නිසා 2012දී ආපසු ගෙවිය යුතුව තිබුණේ ජපන් යෙන් 1161ක් පමණි.

    1982දී ජපන් යෙන් එකක් ශත 8කි. මේ අනුව, ජපන් යෙන් 1000ක් යනු 1982දී රුපියල් 80කි. 2012 වන විට ජපන් යෙන් එකක් රුපියල් 1.60ක් විය. ඒ නිසා, ජපන් යෙන් 1161ක් ආපසු ගෙවන්නට රජය විසින් රුපියල් 1857.60ක් වැය කළ යුතු විය. යෙන් ණය නොගෙන 1982දී 11%ක පොලියට රුපියල් ණය ගත්තේනම් හෝ 2%ක පොලී අනුපාතිකයකට ඩොලර් ණය ගත්තේනම් 2012දී ආපසු ගෙවන්නට වෙන්නේ ආසන්න වශයෙන් මීට සමාන මුදලකි. (කෙසේ වුවත්, 1982දී ආණ්ඩුවට 11%ක පොලී අනුපාතිකයකට දේශීය ණය ගැනීමේ හැකියාවක්නම් නොතිබුණේය.)

    ජපාන යෙන් මුදල වෙනත් විදෙස් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව දිගින් දිගටම අධිප්‍රමාණය වීම නිසා ජපන් ණය අඩු පොලියකට ලැබුණත් පෙනෙන තරම්ම වාසිදායක නොවන බව රාජ්‍ය ණය කළමණාකරනය කරන නිලධාරීන් විසින් තේරුම් ගැනීමෙන් පසුව දශකයකට පමණ පෙර එවැනි ණය සීමා කෙරුණේය."

    ReplyDelete
  6. Ravi K ජපානෙට ආපු වෙලේ ලංකාවේ සෙට් එක හම්බවෙලා කරපු යෝජනාවක් තමයි ජපානයෙන් අඩු පොලියට ණය ගන්න පුළුවන් නිසා ජපානෙන් අඩුපොලියට ණය අරගෙන ලංකාවේ බැංකුවලට දාන්න කියපු එක. පට්ට මොලේ

    ReplyDelete
    Replies
    1. මෙයට කියන්නේ carry trade කියා. මෙහි අදහස එක් රටකින් අඩු පොලියකට ණය ලබාගෙන වෙනත් රටක ආයෝජනය කිරීමයි. පසුගිය ආණ්ඩුව කාලයේ ඇතැම් බැංකු, වෙනත් ආයතන හා පුද්ගලයින් විසින් මෙය කළා. එසේ කිරීමට පෙළඹුණේ මහ බැංකුව විසින් විණිමය අනුපාතිකය ස්ථිරව තබා ගැනීම හා ඉදිරියේදීද ණය වෙමින් හෝ එසේ කරනු ඇති බවට වූ විශ්වාසයයි. මෙසේ අඩු පොලියට ගත් විදෙස් ණය රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කළ නිසා ඇත්තටම රජයේ දේශීය ණය වලින් කොටසකුත් වක්‍ර ලෙස විදේශ ණය ලෙස සැලකිය හැකි තත්ත්වයකුයි තිබුණේ. එකම වෙනස විණිමය අනුපාතිකය වෙනස් වීමේ (රුපියල පිරිහීමේ) අවදානම මධ්‍යම රජයෙන් වෙනත් ආයතනකට (උදාහරණයක් ලෙස රාජ්‍ය බැංකුවකට) විතැන් වීමයි. ආණ්ඩුව වෙනස් වී රුපියල පිරිහෙන්නට පටන්ගත් විට මෙසේ ලැබූ ලාබ අලාබ බවට පත් වෙන්න පටන්ගත්තා. එවිට මෙය කළ අය ක්ෂණිකව රුපියල් ඩොලර් කරන්න පටන් ගත් නිසා නිල සංචිත පිරිහුණා. පසුගිය කාලයේ ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර වීමට මෙයත් හේතුවක්. මෙය ඊළඟ ලිපියේ කතා කරන මිල බුබුළු අදහසටත් තරමක් කිට්ටු දෙයක්.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.