Tuesday, November 15, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (අටවන කොටස)



ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසියේදී මුලින් දැනුම් දුන් ප්‍රමාණය මෙන් දහගුණයක බැඳුම්කර නිකුත් නොකර හරියටම දැනුම් දුන් ප්‍රමාණයම නිකුත් කළේනම් ඒ බැඳුම්කර ලන්සුකරුවන් අතර බෙදී යා හැකිව තිබුණු ආකාරය මම පසුගිය කොටසින් ඉදිරිපත් කළෙමි. ඒ අනුව, තරඟකාරී ආයතන දහසයෙන් හයකට කිසියම් බැඳුම්කර ප්‍රමාණයක් ලැබෙන අතර ඉතිරි ආයතන දහයට කිසිවක් නොලැබේ. මෙසේ බැඳුම්කර යම් ප්‍රමාණයක් හිමි කරගන්නා ආයතන අතරින් ලංකා බැංකුවට බැඳුම්කර නිකුතුවෙන් 50.8%ක් ලැබේ.

මෙයින් මා පෙන්වන්නට හදන්නේ කිසිදු අක්‍රමිකතාවක් නොවූවද මුළු නිකුතුවෙන් අඩකට වඩා එක් සමාගමකට ලැබීම ලංකාවේ පවතින වෙන්දේසි ක්‍රමය අනුව සාමාන්‍ය දෙයක් බවයි. ඇත්තටම කියනවානම් මුළු නිකුතුවම එක් ආයතනයකට හිමිවීම වුවද සිදුවන්නට බැරි දෙයක් නොවේ. ඒ, ලංකාවේ එක් ආයතනයකට ලන්සු තැබිය හැකි ලබා ගත හැකි මුළු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය සීමා කර නැති බැවිනි. මා පෙර කොටසක ලියූ පරිදි, ඇමරිකාවේ එක් අයෙකුට තැබිය හැකි මුළු ලන්සු ප්‍රමාණය වෙන්දේසියට ඉදිරිපත් කර ඇති සුරැකුම්පත් ප්‍රමාණයෙන් 35%කට නොවැඩි විය යුතුය.

දැන් අපි වෙන්දේසියේ මෙතෙක් සාකච්ඡා කළ ප්‍රතිඵලයට, එනම් දැනුම් දුන් ප්‍රමාණයම නිකුත් කළ විට ලැබෙන ප්‍රතිඵලයට ආපසු පැමිණියහොත්, මෙහි වාසි හා අවාසි ලබන්නෝ කවුද?

මෙහිදී රජයට සිදු වන වාසිය හෝ අවාසිය ගණනය කළ යුත්තේ වෙනත් විකල්පයකට සාපේක්ෂවය. මා පෙර කොටසින් විස්තර කර පරිදි, සෘජු ක්‍රමයට සාපේක්ෂව වෙන්දේසි ක්‍රමය රජයට වාසිදායකය. සෘජු ක්‍රමය යටතේ ඇමරිකාවේ වෙන්දේසියේදී මෙන් සියලුම බැඳුම්කර විකිණෙන්නේ එකම මිලකටය. ඒ මිලට බැඳුම්කර මිල දී ගන්නේ එසේ මිලදී ගැනීමෙන් ලාභයක් ලැබිය හැකි ආයතනයක් පමණි. ඒ මිලට බැඳුම්කර මිලදී ගෙන ලාභයක් ලැබිය නොහැකිනම් කිසිවකුට සෘජු ක්‍රමයට බැඳුම්කර මිල දී ගැනීමට තර්කානුකූල හේතුවක් නැත. (කෙසේ වුවද, ඇතැම් ආයතන පාඩු ලබමින් වුවත් එසේ කරන අවස්ථා තිබේ. ඒ ගැන පසුව කතා කරමු.) වෙන්දේසි ක්‍රමයේදී බැඳුම්කර ලබාගන්නා ආයතන සියල්ලම අඩුම වශයෙන් සෘජු ක්‍රමය යටතේ ඔවුන් ගෙවිය හැකිව තිබුණු මිල ගෙවති. ඇතැම් ආයතන ඊට වඩා වැඩි මිලක් ගෙවති. ඒ නිසා, වෙන්දේසි ක්‍රමය රජයට වාසිදායකය.

වෙන්දේසියේදී නිකුත් කළේ හරියටම මුලින් දැනුම් දුන් බැඳුම්කර ප්‍රමාණයමයැයි සිතමු. මෙය කිසිසේත්ම අනපේක්ෂිත තත්ත්වයක් නොවේ. ඒ නිසා, අඩුම වශයෙන් ඒ මට්ටම දක්වා ඉදිරිපත් වී ඇති ලන්සු තරඟකාරී ලන්සු ලෙස සැලකිය හැකිය. ඒ නිසා, ඉහත තත්ත්වය යටතේ රජය විසින් ලබාගෙන ඇත්තේ ප්‍රාථමික වෙන්දේසියට සහභාගී වීමේ හිමිකම ඇති ආයතන වලට පමණක් බැඳුම්කර විකිණීමෙන් රජයට ලබාගත හැකිව තිබුණු උපරිම මිලයි. කෙසේවුවද, යම් හෙයකින් මේ බැඳුම්කර වෙන්දේසිය ඇමරිකාවේ මෙන් විවෘත වෙන්දේසියක් වීනම් තරඟය වැඩි වන නිසා රජයට වඩා වැඩිමිලක් ලබාගත හැකිව තිබුනේයැයි උපකල්පනය කළ හැකිය.

පැවති වෙන්දේසි ක්‍රමය යටතේ රුපියල් 104.51 දක්වා වූ මේ මුල් ලන්සු වලින් රජයට අවාසියක් වී නොමැති බව කෝප් කමිටුවේ සියළුම සාමාජිකයින් විසින් එකඟ වී ඇති කරුණකි. එම කමිටුවේ බහුතර සාමාජිකයින් මෙන්ම විගණකාධිපතිවරයා විසින්ද රජයට අවාසි ගෙනදුන් ගණුදෙණු ලෙස සලකන්නේ රුපියල් 104.51ට වඩා අඩු මිලකට විකිණුනු බැඳුම්කරයි.

කෝප් වාර්තාවේ රජයට සිදුවූ අලාභය පිළිබඳ ඇස්තමේන්තු මෙන්ම, යම් හෙයකින් රුපියල් බිලියන විස්සක් දක්වා බැඳුම්කර නිකුත් කළේනම් සිදුවිය හැකිව තිබුණු අලාභය පිළිබඳ ඇස්තමේන්තුවක්ද තිබේ. මේ ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ ඉතා සරල හා වැරදි උපකල්පනයක් මතය. එනම්, රජයට රුපියල් 104.51 බැගින් රුපියල් බිලියන 20 දක්වා බැඳුම්කර මිල දී ගැනීමේ හැකියාවක් තිබුණේය යන පදනමයි.

කෝප් වාර්තාව අනුව මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 62.62 බැගින් රුපියල් මිලියන 100ක් ලන්සු තබන සෙලාන් බැංකුවට එසේ ඉල්ලූ බැඳුම්කර ප්‍රමාණය රුපියල් 104.51 බැගින් සෘජු ක්‍රමයට විකිණීමේ හැකියාවක් මහ බැංකුවට තිබී ඇත. එසේ නොකර වෙන්දේසියේ ලන්සු තැබූ මිලට විකිණුවේනම් රජයට විය හැකිව තිබුණු පාඩුව මුහුණත වටිනාකම රුපියල් 100කට රුපියල් 41.89කි. ඒ අනුව, මෙම ගණුදෙනුවෙන් පමණක් රජයට සිදුවිය හැකිව තිබුණු අවාසිය රුපියල් මිලියන 41.89කි!

යමෙක් කිසියම් භාණ්ඩයක් කිසියම් රුපියල් 62කට මිලදී ගැනීමට සූදානම්ව සිටි පමණින් එම භාණ්ඩය රුපියල් 104කට විකිණෙන විටද අනිවාර්යයෙන්ම මිලදී නොගන්නා බව තේරුම් ගන්නට ආර්ථික විද්‍යා උපාධියක් අවශ්‍ය නැත. මෙවැනි සරල හා වැරදි උපකල්පනයක් මත ගණනය කර ඇති රජයට සිදුවූ අලාභය පිළිබඳ ඇස්තමේන්තුව ගැන තවදුරටත් කතා කිරීම තේරුමක් නැති බව දැන් පැහැදිලි විය යුතුය.

කෙසේ වුවද, රජයට සිදුවූ
අලාභය පිළිබඳ ඇස්තමේන්තුව වැරදි වූ පමණින් රජයට කිසිදු අලාභයක් නොවූ බව හෝ කිසිදු අක්‍රමිකතාවයක් සිදුවීමේ ඉඩකඩක් නොමැති බව අදහස් නොකෙරේ. ගණනය කිරීම් වල තාක්ෂණික වැරදි තිබුණත්, ඉතා විශාල පිරිසකගෙන් සාක්ෂි කැඳවමින් අදාළ සිදුවීමේ පසුබිම් තොරතුරු රැසක් එකතු කර ඉදිරිපත් කිරීම කෝප් කමිටුව විසින් සිදුකර ඇති වටිනා කාර්යයකි. ඔවුන් එය නොකරන්නට ඉකොනොමැට්ටාට මේ විග්‍රහයන් කිසිවක් මෙසේ කරන්නට ඉඩකඩක් ලැබෙන්නේ නැත.

කෝප් කමිටුව විසින් එකතු කර ඇති සාක්ෂි අනුව, හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් අදාළ බැඳුම්කර වෙන්දේසියට අනිසි මැදිහත්වීමක් කර ඇති බවට පැහැදිලි හා සාධාරණ සැකයක් ඇති වේ. එමෙන්ම, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් වසර තුළ ලබා ඇති ලාභ ඉතාම අසාමාන්‍යය. එසේනම්, මේ ලාභ ලැබුවේ රජයේ හෝ වෙනත් පාර්ශ්වයකගේ වියදමින් නොවේද?

මෙය අපි ඉදිරියේදී කතා කරමු.

6 comments:

  1. //මේ ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ ඉතා සරල හා වැරදි උපකල්පනයක් මතය. එනම්, රජයට රුපියල් 104.51 බැගින් රුපියල් බිලියන 20 දක්වා බැඳුම්කර මිල දී ගැනීමේ හැකියාවක් තිබුණේය යන පදනමයි.//
    මේක වැරදියි නේද? විගණකාධිපති ගණන් හදල තියෙන්නේ රජයට සියලු බැඳුම්කර 117.9 වගේ ගානකට (ඔහු උපකල්පනය කරන 9.48%) ට ගන්න තිබුන කියන උපකල්පනය මත කියල මට පෙන්නේ. අඩුගානේ 104.51 මත එහෙමත් නැතිනම් බිලියන 1.308 සඳහා වන 10.46% අනුපාතය මත පදනම් උනානම් යම්කිසි විගනකාධිපතිගේ ගණන් හැදිල්ල ටිකක් හරි සාධාරණයි කියල හිතන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ඔහු ගණන් හදා ඇත්තේ රුපියල් 104.5073 බැගින් ඕනෑම ප්‍රමාණයක් ගත හැකි බව සලකමිනුයි.

      Delete
  2. //යමෙක් කිසියම් භාණ්ඩයක් කිසියම් රුපියල් 62කට මිලදී ගැනීමට සූදානම්ව සිටි පමණින් එම භාණ්ඩය රුපියල් 104කට විකිණෙන විටද අනිවාර්යයෙන්ම මිලදී නොගන්නා බව තේරුම් ගන්නට ආර්ථික විද්‍යා උපාධියක් අවශ්‍ය නැත. මෙවැනි සරල හා වැරදි උපකල්පනයක් මත ගණනය කර ඇති රජයට සිදුවූ අලාභය පිළිබඳ ඇස්තමේන්තුව ගැන තවදුරටත් කතා කිරීම තේරුමක් නැති බව දැන් පැහැදිලි විය යුතුය. //
    ඒක තමයි විගණකාධිපති කිව්වේ 5වසරෙ ළමයෙක් ගාන හැදුවත් හදන්නේ විගණකාධිපති හදපු ක්රමෙටමයි කියල. එතනදිනම් විකනකාධිපති එක්ක මම එකඟයි.

    ReplyDelete
    Replies
    1. දැන් පැහැදිලි ඇතිනේ කරලා තියෙන්නේ කොයි තරම් සරල දෙයක්ද කියලා.
      අලාභය = 104.51 බැගින් විකිණීමට හැකි වුනේනම් ලැබෙන මුදල - ඇත්තටම ලැබුණු මුදල.
      ඕකනම් පහේ පන්තියේ ළමයෙක්ට තේරුම්ගන්න බැරි දෙයක් නෙමෙයි.

      Delete
  3. මගේ පලවෙනි කමෙන්ට් එක වැරදි වගේ. විගණකාධිපති උපකල්පනය කරලා තියෙනේ 104.51 ගානේ ඔක්කොම ගන්න තිබුන කියල තමයි. දැනුයි ගාන හදල බැලුවේ.ඔබ හරි.

    ReplyDelete
    Replies
    1. ඔහු ගණන් හදා ඇත්තේ රුපියල් 104.5073 බැගින් ඕනෑම ප්‍රමාණයක් ගත හැකි බව සලකමිනුයි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.