සූදුවේ ලාභය හැම විටම වාගේ සූදුව මෙහෙයවන්නාටය. මෙසේ නොවන, දිගුකාලීනව ලාභ ලබා දෙන ලොතරැයි තිබේද? එවැනි ලොතරැයිද තිබෙන්නට පුළුවන. කිසියම් ලොතරැයියක අපේක්ෂිත දිනුම් මුදල එම ලොතරැයියේ මිලට වඩා වැඩිනම් එවැනි ලොතරැයියක් වාසිදායක ලොතරැයියකි. මේ 'අපේක්ෂිත දිනුම් මුදල' කියන්නේ දිනුමක් ලැබුනොත් ලැබෙන ත්‍යාග මුදල නොවේ. ලොතරැයියක් මිලදී ගන්නා අවස්ථාවේදී 'සාමාන්‍ය වශයෙන්' තමන්ට ලබා ගැනීමට අපේක්ෂා කළ හැකි දිනුම් මුදලයි. එය ගණනය කරන්නේ කෙසේද?
මෙය පැහැදිලි කිරීම සඳහා අපි දැනට ලංකාවේ විකිණෙන පැරණිම ලොතරැයියක් වන මහජන සම්පත ලොතරැයි දිගින් දිගටම මිල දී ගන්නා හෝ විශාල ප්‍රමාණයක් මිල දී ගන්නා අයෙකුට ලැබෙන්නට ඉඩකඩ ඇති මුදල සොයා බලමු.
මේ වන විට මහජන සම්පත ලොතරැයියක මිල රුපියල් 30ක් වන අතර එහි දිනුම් රටාව මෙසේය.
අංක 6 සමඟ ඉංග්‍රීසි අක්ෂරය නිවැරදි නම් රුපියල් 10,000,000න් ඇරඹෙන සුපිරි ත්‍යාගය
අංක 6 ම නිවැරදි නම් රුපියල් 2,000,000
අවසාන අංක 5 නිවැරදි නම් රුපියල් 100,000
අවසාන අංක 4 නිවැරදි නම් රුපියල් 10,000
අවසාන අංක 3 නිවැරදි නම් රුපියල් 1,000
අවසාන අංක 2 නිවැරදි නම් රුපියල් 100
අවසාන අංක 1 නිවැරදි නම් රුපියල් 30
ප්‍රථම අංක 5 නිවැරදි නම් රුපියල් 10,000
ප්‍රථම අංක 4 නිවැරදි නම් රුපියල් 1,000
ප්‍රථම අංක 3 නිවැරදි නම් රුපියල් 100
ප්‍රථම අංක 2 නිවැරදි නම් රුපියල් 60
ඉංග්‍රීසි අක්ෂරය නිවැරදි නම් රුපියල් 30
මහජන සම්පත ලොතරැයියක 0-9 අතර අංක වලින් අහඹු අංක 6ක් ද, "I" අකුර හැර ඉංග්‍රීසි හෝඩියේ ඉතිරි අකුරු අකුරු 25න් අහඹු ලෙස තෝරාගත් අකුරක්ද මුද්‍රණය කර තිබේ. මේ අනුව අපට එක් එක් වර්ගයේ ත්‍යාගයක් ලැබෙන්නට තිබෙන ඉඩකඩ ගණනය කළ හැකිය.
උදාහරණයක් වශයෙන් අවසාන අංකය ගැලපීමට 1/10ක ඉඩකඩක් ඇති අතර, අවසාන අංක දෙක ගැලපීමට ඇත්තේ 1/100ක ඉඩකඩකි. ඉංග්‍රීසි අක්ෂරය නිවැරදි වීමට 1/25ක ඉඩකඩක් ඇත. අංක හයම ගැලපීමට ඇති ඉඩකඩ 1/1,000,000 වන අතර සුපිරි ත්‍යාගය ලැබෙන්නට ඇති ඉඩකඩ 1/25,000,000ක් පමණි.
එක් දිනුම් වාරයක් තුළ විකිණෙන ලොතරැයි ගණන 2,000,000 ලෙස සැලකුවහොත් ආසන්න වශයෙන් ලොතරැයි 200,000ක අවසාන අංකය ගැලපෙන්නටත්, ආසන්න වශයෙන් ලොතරැයි 20,000ක අවසාන අංක දෙක ගැලපෙන්නටත්, ආසන්න වශයෙන් ලොතරැයි 2ක අවසාන අංක හයම ගැලපෙන්නටත් ඉඩකඩ තිබෙන අතර සුපිරි ත්‍යාගය යමෙකුට ලැබෙන්නට ඉඩ ඇත්තේ ආසන්න වශයෙන් දිනුම් වාර 13කට වරකි. විකිණෙන ලොතරැයි ගණන අඩු වැඩි වන විට ලැබෙන ත්‍යාග ගණනද අඩු වැඩි වුවත් ත්‍යාගයක් ලැබෙන්නට ඇති ඉඩකඩ වෙනස් නොවේ.
මහජන සම්පත ලොතරැයියක අවසාන අංකය ගැලපුනොත් ජයග්‍රාහකයාට රුපියල් 30ක මුදලක් හිමිවන අතර සෑම ලොතරැයිපත් 10කින් එකකටම එවැනි දිනුමක් හිමි වේ. ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි 10ක් විකුණා රුපියල් 300ක ආදායමක් ලබන විට එයින් රුපියල් 30ක් මේ වර්ගයේ ත්‍යාග වෙනුවෙන් වෙන් කරන්නට සිදුවේ. ලොතරැයි මිලදී ගන්නා අයට ඔවුන් ගෙවන මුදලින් 10%ක් තෑගී ලෙස ආපසු ලැබේ.
මේ අයුරින්ම ලොතරැයි 100කින් එකක අවසන් අංක දෙක ගැලපී රුපියල් 100ක ත්‍යාගයක් හිමිවන නිසා මේ ආකාරයේ ත්‍යාග වෙනුවෙන් සෑම රුපියල් 3000කින්ම රුපියල් 100ක් හෙවත් 3.33%ක් වෙන් කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට සිදුවේ. මෙය එකතු කළ විට ලොතරැයි මිල දී ගන්නා අයෙකුගේ අපේක්ෂිත දිනුම් මුදල 13.33% හෙවත් රුපියල් 4 දක්වා ඉහළ යයි. මේ අයුරින් සියළුම ත්‍යාග වල අපේක්ෂිත මුදල එකතු කළ විට මහජන සම්පත ලොතරැයියක් මිලදී ගැනීමෙන් යමෙකුට ලැබිය හැකි 'අපේක්ෂිත ත්‍යාග මුදල' ගණනය කළ හැකිය. මේ මුදල මහජන සම්පත ලොතරැයියක සැබෑ වටිනාකමයි.
පහත වගු දෙකෙන් පෙන්වා ඇත්තේ ජනවාරියේදී මිල වැඩි කිරීමෙන් පසුව මහජන සම්පත ලොතරැයියක සැබෑ වටිනාකම වෙනස් වී ඇති ආකාරයයි. වෙනත් ලොතරැයි වල සැබෑ වටිනාකමද මේ ආකාරයෙන්ම ගණනය කළ හැකිය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය විසින් සඳහන් ඇති කර පරිදිම ජනවාරිය දක්වා ලොතරැයි ආදායමෙන් 50%ක් (රුපියල් 10.00ක්) ත්‍යාග සඳහා වෙන් කර ඇතත් ජනවාරියේ සිට ත්‍යාග සඳහා වෙන්වන්නේ ආදායමෙන් 38.33%ක් (රුපියල් 11.50ක්) පමණි. වෙනත් අයුරකින් කිවහොත් වැඩි කළ රුපියල් 10ක මුදලින් ත්‍යාග මුදල් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් 1.50ක් පමණි. වෙළඳ නියෝජිතයින්ගේ කොමිස් මුදල් වැඩි කර ඇත්තේ ශත 50කින් පමණක් නිසා වැඩිකළ මුදලින් රුපියල් 8කම යන්නේ රජයටය. මේ අනුව රජයට ලොතරැයියකින් ලැබෙන මුදල රුපියල් 6.20 සිට රුපියල් 14.20 දක්වා 129%කින් වැඩි වී තිබේ. (මෙය පෙර ලිපියේ මගේ ඇස්තමේන්තුවට වඩා රුපියල් 3කින් වැඩිය. එකතු කර ඇති රුපියල් පහක එක්සයිස් බද්දට අමතරව වැට් බදු මුදල හා ඒකාබද්ධ අරමුදලට යැවෙන මුදලද ආසන්න ලෙස සමානුපාතිකව (30%) වැඩි වී ඇති බව පෙනේ. කිසියම් හෝ දිනුමක් ඇත්තේ ලොතරැයි වලින් 16%කය. මෙය වෙනස් වී නැත.)
කෙසේ වුවද, මිල වැඩි කිරීම හේතුවෙන් විකිණෙන ලොතරැයි ප්‍රමාණය පෙර ප්‍රමාණයෙන් 43.7%කට වඩා අඩු මට්ටමකට පහත වැටුණොත් රජයට සමස්තයක් ලෙස වන්නේ අලාභයකි. ඉකොනොමැට්ටාගේ කාල වේලා ප්‍රශ්න නිසා වැඩි හැදෑරීමක් නොකර උඩින් පල්ලෙන් දත්ත පරීක්ෂා කළ විට පෙනෙන්නේ ලොතරැයි අලෙවිය පෙර පැවති මට්ටමෙන් 10-30% අතර මට්ටමකට වැටී ඇති බවයි. මේ අනුව, මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජය ලොතරැයි වලින් ලැබූ ආදායම අඩකින් පමණ අඩු වී ඇතැයි සිතිය හැකිය.
මිල වැඩිවීමට දක්වන ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස තාවකාලිකව සිදුවන ඉල්ලුම පහත වැටීම හා වෙළඳ නියෝජිතයින්ගේ විරෝධයේ බලපෑම ඉවත් වෙද්දී අලෙවිය නැවත ඉහළ ගොස් කිසියම් ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇති නමුත් අවසාන ප්‍රතිඵලය ලෙස වුවද රජයට වැඩි ආදායමක් ලැබේයැයි සිතීම අසීරුය.
(Image: http://www.nlb.lk/results-info.php?lot=1)
අස්සයෙක් අල්ලන එක මීට ලාබයි වාගේ
ReplyDeleteඅස්ස රේස් ඇතුළු ගොඩක් සූදු වල දිනීමේ සම්භාවිතාව රජයෙන් විකුණන ලොතරැයි වල එම සම්භාවිතාවට වඩා ගොඩක් වැඩියි. කැසිනෝ වල ගොඩක්ම වැඩියි. අවම මුදල විතරක් වියදම් කරල ආපහු එනවනම් සිගරැට්, මත්පැන්, බුෆේ එක ආදිය එකතු කළහම වාසි වෙන්නත් පුළුවන් (සූදු හා මෙහි අනෙකුත් දේ අනුමත කිරීමක් නෙමෙයි).
Delete