Wednesday, October 12, 2016

රාජ් රාජරත්නම්

රාජ් රාජරත්නම් ගැන ලංකාවේ මාධ්‍ය වල වරින් වර බොහෝ දේ ලියැවී තිබේ. කොළඹදී ඉපදුනු රාජ් සිය ජීවිතයේ මුල් වසර තෙළෙස ලංකාවේම ගත කළේය. සිය දෙමවුපියන් සමඟ එංගලන්තයට සංක්‍රමණය වන තුරු ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය හැදෑරුවේය. එංගලන්තයේදී පාසැල් අධ්‍යාපනය නිමකළ ඔහු සසෙක්ස් සරසවියෙන් ඉංජිනේරු විද්‍යා මූලික උපාධියක්ද පසුව ඇමරිකාවේ පෙනිසිල්වේනියා සරසවියෙන් කළමනාකරණ පශ්චාත් උපාධියක්ද ලබා ගත්තේය. වර්ෂ 1986දී ඇමරිකානු පුරවැසිභාවය ලබා ගත්තේය.

චේස් බැංකුවේ ණය අංශයේ නිලධාරියෙකු ලෙස සේවය ඇරඹු රාජ් පසුව ආයෝජන බැංකුකරණයේ සහ වත්කම් කළමනාකරණයේ යෙදුණු නීධම් සහ සමාගමේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස සේවයට බැඳී, ක්‍රමයෙන් උසස්වීම් ලබමින් එහි සභාපති වරයා බවට පත්විය. මේ අතර නීධම් සමාගම යටතේ ගොඩ නංවනු ලැබූ අනුසමාගමක් මිලදී ගත් රාජ් එය ගැලියන් සමූහ ව්‍යාපාරය ලෙස නම් කර ඉතා කෙටි කලකින් එම සමාගම දැවැන්ත වත්කම් කළමනාකරණ සමාගමක් බවට පත් කළේය.

ගැලියන් යන නමේ තේරුම විශාල නාවික යාත්‍රාවක් යන්නයි. ගැලියන් සමාගමද එවැන්නක්ම විය. ඒ නිසා මේ සමාගම මෙහෙයවූ කප්පිත්තා වූ රාජ්ගේ වත්කම්ද විශාල ලෙස ඉහළ ගියේය. වර්ෂ 2008 වන විට ඇමරිකාවේ 262 වන ධනවතා වූ රාජ්, 2009 වන විට 236 වන ධනවතා බවට පත් විය. ඒ වන විට ඔහුගේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 1.8ක් විය. මෙය ඒ වන විට ලංකාවේ ඉපදුණු පුද්ගලයෙකු සතු වූ ඉහළම වත්කමයි. ලංකාවේ ආයෝජන සිදුකිරීම සඳහා රාජ් රාජරත්නම්ව පෙළඹවීමට සිදු කෙරුණු උත්සාහයන් ගැන මෙන්ම, එල්ටීටීඊ සංවිධානයට මුදල් ආධාර දීම ගැන චෝදනාද ඒ කාලයේ ලංකාවේ මාධ්‍ය වල කතා කෙරුණේය.

රාජ්ගේ ගැලියන් නැව කෙතරම් විශාල වුවත් රාජ් එය යාත්‍රා කරවූයේ සම්මත නාවික ගමන් මඟක නොවේ. ඒ නිසා මේ යාත්‍රාව ගල්පරයක හැපී විනාශ වුණේ රාජ්ටද බරපතල තුවාල ඇති කරමිනි. 2009 ඔක්තෝබරයේදී අභ්‍යන්තර වෙළඳාම (insider trading) යන වරදට ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය විසින් රාජ්ට එරෙහිව චෝදනා ගොනු කළ අතර දෙවසරක නඩු විභාගයකින් පසුව හරියටම වසර පහකට පෙර 2011 ඔක්තෝබර් 13 දින ඔහුව 11 වසරක සිර දඬුවමකට යටත් කෙරුණේය. ඔහු දැනටත් මේ සිර දඬුවම ගෙවමින් සිටී.

රාජ් රාජරත්නම් නඩුව අඩුම වශයෙන් කරුණු දෙකක් නිසා සුවිශේෂී එකකි. පළමුව, රාජ්ට පැනවුණු දඬුවම මේ වන තුරු අභ්‍යන්තර වෙළඳාම සිදු කිරීම වෙනුවෙන් ලබාදුන් ඉහළම දඬුවමයි. දෙවැන්න රාජ්ට එරෙහිව සාක්ෂි සොයා ගැනීමට එෆ්බීඅයි ආයතනය කටයුතු කළ ආකාරයයි. 

මෑතක් වන තුරුම අභ්‍යන්තර වෙළඳාම යන චචනය ලංකාවේ බොහෝ දෙනෙකුට හුදු පුරුදු වචනයක් නොවීය. මේ වචනය ලංකාවේ බොහෝ දෙනෙකු පළමු වරට අසන්නට ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පසුවය. කලක් තරමක් යටපත්ව තිබූ මේ සිද්ධිය අදාළ සමාගමේ වාර්ෂික ලාභ ඇතුළත් ගිණුම් ප්‍රකාශන ප්‍රසිද්ධ වීමත්, ඉන් අනතුරුව මහ බැංකුවේ අධීක්ෂන වාර්තාවක් මාධ්‍ය වෙත ලැබීමත් සමඟ නැවත වටයකින් කතාබහට ලක්වී ඇත. මේ අළුත් ලිපිලේඛණ වල සඳහන් තොරතුරු සාකච්ඡා කරන්නට පෙර අපි රාජ් රාජරත්නම් සිද්ධිය ඇසුරින් අභ්‍යන්තර වෙළඳාම යන සංකල්පය හඳුනාගනිමු. මෙය මේ සඳහා විශේෂයෙන් තෝරාගත්තේ රාජ් රාජරත්නම් උපතින් ශ්‍රී ලාංකිකයෙකු වීම නිසා නොවේ. රාජ් රාජරත්නම් සිද්ධිය සරසවි පාඨමාලාවල අභ්‍යන්තර වෙළඳාම යන සංකල්පය පැහැදිලි කිරීමට යොදාගන්නා පාඨ ග්‍රන්ථ උදාහරණයක්ද වන බැවිනි.

අභ්‍යන්තර වෙළඳාම හෝ වෙනත් 'වරදක්' වරදක් වන්නේ කිසියම් සමාජයකට, සංස්කෘතියකට හා කාලයකට සාපේක්ෂවය. වැරදි නිරපේක්ෂ නැත. ඉකොනොමැට්ටාගේ පෞද්ගලික අත්දැකීම් අනුව අභ්‍යන්තර තොරතුරු ලබාගැනීම හා ඒ මත සිදුකෙරෙන අභ්‍යන්තර වෙළඳාම යනු ලංකාවේ සංස්කෘතියේ මෙන්ම වෙළදපොළ ගනුදෙනු වලද සාමාන්‍ය අංගයකි. මා දන්නා තරමින් අභ්‍යන්තර වෙළඳාම කරන්නෙකුට දඬුවම් පැමිණවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නැත.

එහෙත්, ඇමරිකාවේ තත්ත්වය එසේ නොවේ. වෙළඳපොල තරඟකාරිත්වය තුලින් කාර්යක්ෂමතාවය කරා යාමට සැදී පැහැදී සිටින ඇමරිකානු සමාජය මේ තරඟකාරිත්වයට බාධා පමුණුවන භාවිතාවන් වැරදි ලෙස හඳුනාගනී. කිසියම් ගනුදෙනුවක් සඳහා උනන්දුවක් දක්වන තරඟකරුවන් අතරෙන් එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට එයට සම්බන්ධ වන අනෙක් තරඟකරුවන්ට නොලැබෙන තොරතුරක් ලැබේනම් ඒ තොරතුරෙන් වාසියක් ගැනීමේ අවස්ථාවක්ද ඇති නිසා අනෙක් තරඟකරුවන්ට අවාසියක් සිදුවේ.

ලංකාවේ පොදු ආයතන වල ටෙන්ඩර් බෝඩ් වල සාමාජිකයෙකුව සිටීමේ සිට පෞද්ගලික ආයතන වල ටෙන්ඩර් පිළියෙළ කිරීම් දක්වා පුළුල් පරාසයක මගේ අත්දැකීම් අනුව ටෙන්ඩරයක් සඳහා ඉදිරිපත් වීමට පෙර ලංකාවේ සැපයුම්කරුවෙකු කරන පළමු දෙය හැකිතාක් අභ්‍යන්තර තොරතුරු සොයාගැනීමයි.  මේ සඳහා සැපයුම්කරුවකු සතුව ඇති පෞද්ගලික සම්බන්ධතා සුලභව යොදා ගැනේ. බොහෝ විට ලංකාවේදී  ටෙන්ඩරයක 'ස්පෙසිෆිකේෂන්' හැදෙන්නේම කිසියම් නිශ්චිත සැපයුම්කරුවෙකු ඉලක්ක කරගනිමිනි. මෙවැනි කටයුතු සඳහා සහභාගී වූ කාලයේදී අභ්‍යන්තර වෙළඳාම ගැන මා දැන් දන්නා දේ කිසිවක් දැන නොසිටියෙමි. මෙවැනි දේ ඇමරිකාවේ සාමාන්‍ය දේවල් නොවේ.

රාජ් රාජරත්නම් තමන් ලංකාවේ සමාජයෙන් උගත් දේ ඇමරිකාවට ගෙන ගියා වන්නට පුළුවන. ඔහු සමඟ පෙනිසිල්වේනියා සරසවියේ උගත් 'බැචාලා' වැනි පෞද්ගලික මිතුරෝ බොහෝ ආයතන වල සේවය කළහ. රාජ් එවැනි ආයතන වල කොටස් මිල දී ගත්තේ මේ මිතුරන් හරහා වෙනත් අයට 'එළියට නොයන' එම සමාගම් වල තොරතුරු ලබාගෙන ඒ තොරතුරු සිය ආයෝජන තීරණ වලට පදනම් කරගනිමිනි. මේ තොරතුරු ලබාගැනීම් රාත්‍රී භෝජන සඳහා හෝ කෝපි කෝප්පයක් සඳහා එක් වද්දී වක්‍රව මෙන්ම ඇතැම් විට සෘජුවමද සිදුවිය. මෙසේ තමන් වරදක් කරන බව දැනුවත්ව හෝ නොදැනුවත්ව පිටතට තොරතුරු ලබාදුන් බොහෝ දෙනෙකු දකුණු ආසියානු සම්භවයක් ඇත්තෝ වූහ.

තමන් විසින්ම අභ්‍යන්තර තොරතුරු එකතු කිරීමෙන් නොනැවතුණු රාජ් සිය සමාගමේ පහළ සේවකයින්ද ඔවුන්ගේ පෞද්ගලික සම්බන්ධතා උපයෝගීකරගෙන එසේ තොරතුරු එක්රැස්කිරීම දිරිමත් කළේය. මෑතකදී වේල්ස් ෆාර්ගෝ ආයතනයේ සිදුවූ ඉලක්ක හඹා යාම පිණිස ව්‍යාජ ගිණුම් තැනීම එම ආයතනයේ ආයතනික සංස්කෘතියේ කොටසක් වූවා සේම වෙනත් සමාගම් වල අභ්‍යන්තර තොරතුරු හඹා යාම ගැලියන් සමාගමේ ආයතනික සංස්කෘතියේ කොටසක් විය. එම සමාගමේ ලාභ හා වත්කම් ඉතා කෙටිකලක් තුළ සීඝ්‍රයෙන් ඉහළ යාමේ රහස වූයේ එයයි.

මෙය එෆ්බීඅයි ආයතනයට ඉව වැටුණත් මෙවැනි සියුම් වරදක් කරන්නෙකු 'බෙල්ල මුලින් අල්ලා ගැනීම' පහසු වැඩක් නොවේ. එෆ්බීඅයි ආයතනය මේ කටයුත්ත පටන් ගත්තේ 1998 තරම් ඈතකදීය. එම වසරේදී ඉන්ටෙල් ආයතනයේ සේවය කළ ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවක් වූ රූමි ඛාන් විසින් කිසියම් තොරතුරක් අඩංගු ලියවිල්ලක් ගැලියන් සමාගමට ෆැක්ස් කරනු එෆ්බීඅයි ආයතනය විසින් රහසිගතව කැමරාගත කර තිබේ. පසුව රාජ් රාජරත්නම් වෙත දැලක් එළීමට එෆ්බීඅයි ආයතනය විසින් මෙම රූමි ඛාන් නමැත්තියව ඉත්තෙකු ලෙස යොදාගැනුණේය. කෙසේ වුවද, රාජ් රාජරත්නම්ට එරෙහිව නිශ්චිත සාක්ෂි එක්රැස් කර ඔහුට හා තවත් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර වරදකරු කිරීමට වසර දොළහක පමණ කාලයක් ගතවිය. මෙහිදී එෆ්බීඅයි ආයතනය විසින් සිදු කළ දුරකතන ටැප් කිරීම් වැනි දේ පෞද්ගලික නිදහස යන පදනමින් අභියෝගයට පවා ලක්විය.

අභ්‍යන්තර වෙළඳාම කිරීමේ වරදට කිසිවෙකු වරදකරු කිරීම ඉතා අමාරු හා කල් ගතවන කටයුත්තකි. එහෙත්, රාජ් රාජරත්නම් අභ්‍යන්තර වෙළඳාම කිරීමට වරදකරු වූ එකම ඇමරිකානුවා නොවේ. පසුගිය වසර කිහිපය තුළ ඇමරිකානුවන් අනූවකට වැඩි ගණනක් මේ වරදට වරදකරු කරනු ලැබ තිබේ. කැමති කෙනෙකුට පහළ සබැඳිය ක්ලික් කර ඩයල් ටික බලාගන්නට පුළුවන.

http://www.bloomberg.com/graphics/2016-insider-trading/


(Image: http://www.cnbc.com/id/100991730)

22 comments:

  1. ලංකාවේ කොටස් වෙලඳ පොළේත් වැරැද්දක් ලෙස සලකනවා. ඔවුනුත් අසාමාන්‍ය ලෙස මිල ඉහල පහළ යාම් වලදී ඊට ආසන්න මිලදී ගැනීම් ආදිය පිලිබඳව විමර්ශණය කරනවා. එමෙන්ම එවන් අභ්‍යන්තර තොරතුරු ඇතැයි සැලකෙන අය එනම් සමාගම් අධ්‍යෂක වරුන්ට සහ සමාගම් වල ප්‍රධාන තනතුරු දරණ නිලධාරීන් සමාගමේ කොටස් වල කරන අයෝජන ගැන සමාගමට දැනුම්දිය යුතුයි. සමාගම ඒවා කොටස් වෙලඳ පොලට දැනුම් දිය යුතුයි. එමෙන්ම ලාභය සඳහා හොඳට හෝ නරකට බලපා හැකි යම් දත්තයක් වේනම් එය කොටස් වෙලඳ පොලට දැන්විය යුතුයි. එවන් තොරතුරක් සමාගම දැනගෙන කොටස් වෙලඳපොලට දැන්වූ දිනයේ සිට දින කීපයක් එම සමාගමේ කොටස් මිලඳී ගැනීමට හෝ විකිණීමට අදාල පුද්ගලයින්ට තහනම්.

    ReplyDelete
    Replies
    1. ඉයන්, මේ හා අදාළව මගේ දැනුම යාවත්කාලීන නැහැ. මට තියෙන ගැටළුව මේවා මේ විදිහටම නොකෙරෙන විට අධිකරණයකින් වරදකරු කර දඬුවමක් පැනවීමේ පූර්වාදර්ශයක් හෝ අඩු වශයෙන් ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලංකාවේ තියෙනවද? මම කියන්නේ නියාමන රෙගුලාසි ගැන නෙමෙයි.

      Delete
  2. A very good article.

    ReplyDelete
  3. ඔටාරා ගේ අප්පොච්චිත් ඔවුවා කොරලා අතේ මාට්ටු වුනා නේ හිටන්!

    http://www.thesundayleader.lk/archive/20030202/issues.htm

    Insider dealing

    The insider dealing case in question revolves around controversial share transactions involving the Aitken Spence conglomerate. A former chairman of the group, Michael Mack, and two directors Norman Gunewardene and Manil de Mel have been accused of insider dealing.

    Their family members are also being investigated over the transactions. They include Gunewardene's children Ajit, Ruchi and Otara of Odel fame as well as Mack's wife and two daughters.

    It was on May 22, last year, that the sorry state of affairs at Aitken Spence was highlighted by its Accountant/Secretary, Ranjan Casie-Chetty. He had informed the board about the heavy losses of their troubled subsidiary-Aitken Spence Garments Pvt. Ltd. He also referred to massive fraud and exchange control violations.

    Shortly after, three members of the Aitken Spence board, their family members and family owned companies disposed of large parcels of their shares.

    Disposing of shares

    On May 30, Gunawardene's children Ajit, Ruchi and Otara sold 60,000 shares. The following day the elder Gunewardene and a private family company, Nordel Investments Pvt. Ltd. disposed of 600,000 shares. Then on June 10, he disposed of another 105,400 shares.

    On that same day, Michael Mack, his wife, their two daughters and a private family company called Luckannon sold 1,002,002 shares.

    What matters now is that further investigations into the transactions be conducted in a fair manner - the accused will have to be prosecuted in accordance with the law.

    The whole issue is an indictment on the manner in which our corporate affairs are conducted. The government may perhaps have to reconstitute the commission and reassess its policy of appointments to top posts in regulatory bodies to ensure that conflict of interest situations do not arise.

    It is imperative that public faith and confidence in our institutions and the market be maintained.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! "අතේ මාට්ටු වෙලා" සිදුවුණු අවසාන ප්‍රතිඵලය කුමක්ද? (මම මේ සිදුවීම ගැන කිසිවක්ම දන්නේ නැහැ. මම හිතන්නේ මේ කාලයේදී මම ඉන්සයිඩර් ට්‍රේඩින් කියන එකවත් හරියට දැනගෙන හිටියේ නැහැ.)

      Delete
  4. එතකොට රාජ් රාජරත්නම්ට තියෙන චෝදනාව හා සමාන චෝදනාවක්ද "අර්ජුන් මහේන්ද්‍රන්" ටත් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. හම් දැන්නෙ තේරුනේ

      Delete
    2. රාජ් රාජරත්නම්ට තියෙන චෝදනාව සමාන කළ හැක්කේ අර්ජුන් ඇලෝසියස්ට තියෙන චෝදනාවටයි. අර්ජුන් මහේන්ද්‍රන්ට ඇති චෝදනාව සමාන කළ හැක්කේ රූමි ඛාන් වැනි රාජ් රාජරත්නම්ට තොරතුරු ලබා දුන් කෙනෙකුට ඇති චෝදනාවටයි. එහෙත්, මහ බැංකුව කියන්නේ ඉන්ටෙල් සමාගම වැනි තවත් එක් පෞද්ගලික සමාගමක් නෙමෙයි. රටේ මුදල් ප්‍රතිපත්තිය නියාමනය හා මූල්‍ය වෙළඳපොළ අධීක්ෂනය කිරීම සඳහා නීතිමය ඒකාධිකාරයක් ඇති ආයතනයක්. එවැනි තැනක මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එය ඉතා සංකීර්ණ තත්ත්වයක්. ලීක් වී ඇති වාර්තාවේ ඇති කරුණු වලින් අභ්‍යන්තර වෙළඳාමක් සිදුවීමේ ඉඩකඩට අමතරව මෙතෙක් කතා නොකෙරුණු තවත් බොහෝ දේවල් පෙනෙනවා.

      Delete
    3. කොහොම වුනත් මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී අභ්‍යන්තර වෙළඳාම යන වරද සිදු වී තිබෙන්නට ඉඩක් ඇතත් ප්‍රායෝගිකව ඒ බව තහවුරු කිරීම ඉතාම අමාරු වැඩක්.

      Delete
    4. දැන් පැහැදිලියි.ඒ වගේම මේ චෝදනාව ඔප්පු කරන්නත් සැහෙන කාලයක් ගතවේවි.ඒත් මේ චෝදනා ගැන නිසි විමර්ශනයක් කිරීම අනිවාර්ය දෙයක වෙන්න ඕන.ඉදිරියටත් මෙවැනි අකටයුතුකම් සිදු නොවෙන්න පුර්වාදර්ශයක් සපයන්න.

      Delete
  5. "...කොහොම වුනත් මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී අභ්‍යන්තර වෙළඳාම යන වරද සිදු වී තිබෙන්නට ඉඩක් ඇතත් ප්‍රායෝගිකව ඒ බව තහවුරු කිරීම ඉතාම අමාරු වැඩක්..."
    Whattt?
    Calling for 1 Billion and accepting bids for 10 Billion with no precedence!
    Asking to hold the auction process to be delayed by 10 mins until SIL gets the certification from Bank of Ceylon.
    PM calling Bank of Ceylon personally to grant the certification!
    People have been hung/got lethal-injection/electric-chair with much lesser evidence!

    ReplyDelete
  6. Perpetual Treasuries 14-month profit exceeds Rs.10bn: leaked CB report


    Perpetual Treasuries Limited (PTL), the controversial primary dealer connected to the family of former Central Bank Governor, Arjuna Mahendran, has recorded a mammoth after-tax profit in excess of Rs.10 billion within a period of 14 months, according to a draft report by the Central Bank, which has been leaked to the public domain by a whistleblower within the bank.

    Based on the published accounts of PTL, Daily Mirror last week reported that the primary dealer recorded an after tax profit of Rs. 5.1 billion for the financial year ended in March 31, 2016, against a Rs.960 million profit during the previous year.

    The revelation sent shock waves across the country’s financial sector, as PTL’s profit was not only extraordinarily high compared to its peers but also well above the profits of some of the mid-size commercial banks in the country.

    However, according to the leaked Central Bank report, for the 14 months from April 2015 to May 2016, PTL has reported an after-tax profit of as much as Rs.10.1 billion. To put things into perspective, during the same period, the cumulative profit after-tax of its peers was just Rs.544 million.

    Yes; It is so hard to prove that there is fraud committed by AM and AA!

    ReplyDelete
  7. රාජරත්නම් වගේ අය ලංකාවේ ඕන තරම් ඉන්නවා . මම කියන්නේ කොටස් වෙළඳපොලේ insider dealing (trading)කරන අය . නමුත් මේසඳහා තිබෙන නීතිය ක්‍රයාත්මක කරන්නේ නෑ. පසුගිය කාලේ කොටස් වෙළඳපොල සභාපතිවරයාට ගෙදර යන්නත් සිදුවුනේ ඔය ගැන පරික්‍ෂණයක් කරන්න ගිගින්. අපේ කොටස් වෙළඳපෙල( stock exchange) එක තැන පල්වෙන්නේ ඔය දුශිතයන්ට විරුද්දව ක්‍රියා කරන්නැති නිසා.

    ReplyDelete
  8. නිශ්චිත සැපයුම්කරුවෙකු වෙනුවෙන් specification හදන්න පුළුවන්ද කියා මම දන්නැ. ගන්න උපකරණය හෝ සේවාව පිළිබඳ හරි specification එකක් හදන්නැතුව . එහෙම කරනවානම් අදාල TEC එක එයට වගකිව යුතුයි. in cases like purchase of an Airplane it may be possible since there are very few Manufacturers . but good manufactures can always quote for any reasonable spec.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ, ලිපියේ අදහස් කරන්නෙ ' නිශ්චිත සැපයුම්කරුවෙකු වෙනුවෙන් specification හදන' බව නෙවෙයි, 'නිශ්චිත සැපයුම්කරුවෙකු ළඟ තියෙන භාණ්ඩයකට ගැලපෙන specification හදන' බවයි. මෙය සිදු කෙරෙන්නේ Tech Dept . එක ත් සම්බන්ධ කරගෙන තමයි.

      Delete
    2. ඇනෝ කියා ඇති දෙයයි මම අදහස් කළේ. තරඟකාරී භාණ්ඩ අතර තිබෙන සියුම් වෙනස්කම් උපයෝගී කරගෙන මෙය කළ හැකිවා පමණක් නොව ලංකාවේදී බොහෝ විට කෙරෙන බව මගේ නිරීක්ෂණයයි.

      Delete
    3. මා මෙහිදී කියන්නේම Tech Spects ගැන.

      Delete
  9. මේකට ගැලපෙන යෙදුම 'අභ්‍යන්තර වෙළඳාම' නෙවෙයි මං හිතන්නේ. 'අභ්‍යන්තර වෙළඳාම' කියන්නේ 'ජාත්‍යන්තර වෙළඳාමේ' අනිත් පැත්ත කියලයි අපි ඉගෙන ගත්තෙ . සමහර විට මේකට අලුත් වචනයක් හදන්න වෙයි. ඕව මොකෝ මේ සිරි ලංකාවෙ තිබිච්ච දේවල් යැ .

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක ඇත්ත, ඇනෝ. මේ යෙදුම නිවැරදි නැහැ. නිවැරදි සිංහල වචනයක් මම දන්නේ නැහැ. දැනගත් විටක වෙනස් කරන්නම්.

      Delete
  10. "...කොහොම වුනත් මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී අභ්‍යන්තර වෙළඳාම යන වරද සිදු වී තිබෙන්නට ඉඩක් ඇතත් ප්‍රායෝගිකව ඒ බව තහවුරු කිරීම ඉතාම අමාරු වැඩක්..."
    නමුත් කිසිම වරදක් සිදුවලා නැතිබව ඉතා පහසුවෙන්ම තහවුරු කළා. මේ සිද්දිය ගැන මුලින්ම එහෙන් මෙහෙන් සද්ද මතුවෙන කොට අගමැති කාර්යාලෙන් පත්කලා නීතිඥයන්ගෙන් සමන්විත කොමිටියක් මේ ගැන හොයා බලන්න. ඒ අය මාමගෙත් බෑනගෙත් ටෙලිපෝන් වාර්තා පරීක්ෂා කරලා බලල ඔප්පු කළා මේ දෙන්නා අතර කිසිම සැක සහිත සන්නිවේදනයක් වෙලා නෑ, ඒ නිසා මෙතන ඔක්කොම නීත්‍යානූකූලයි කියල. ඉතිං ඊට වඩා මොනවාද තව ඔප්පු කරන්න තියෙන්නේ.
    ඕනෙම නං සුජීව සේනසිංහ ගෙන් හරි විස්තර ඉල්ලා ගන්න. එයා මේ ගැන පොතකුත් ප්‍රකාශයට පත් කළා.

    ReplyDelete
  11. ඉකොනෝ අයියා දොස්තරලා ගෙන ලිය ලිය හිටිය, මුකුත් වුනේ නැහැ. රාජ් රාජරත්නම් ගැන ලිව්වා විතරයි අතුරුදහන්.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.