Monday, December 26, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (විසිවන කොටස)

මේ ලියන්නේ බැඳුම්කර ගැන ලියාගෙන ආ ලිපි මාලාවේ විසිවන කොටසයි. අපගේ සාකච්ඡාවට විෂය වූ 2015 පෙබරවාරි 27 බැඳුම්කර වෙන්දේසියෙන් රජයට වූ අලාභය පිළිබඳව කෝප් වාර්තාවේ ප්‍රකාශිතව ඇති විගණකාධිපතිගේ ඇස්තමේන්තු නිවැරදි නොවන බව මා පැහැදිලි කර අවසන් වුවත් සැබෑවටම රජයට සිදුවූ අවාසිය කුමක්ද යන්න මා තවමත් හරියටම පැහැදිලි කර නැත. ඒ සඳහා යොදාගත හැකි විශ්ලේෂණ රාමුවක් මා විසින් පසුගිය කොටස් කිහිපය තුළින් ඉදිරිපත් කර පැහැදිලි කර තිබේ.

කෙසේවුවද, රජයට වූ අලාභය නිශ්චිත ලෙස ඇස්තමේන්තු කිරීම කළ හැකි කටයුත්තක් නොවේ. ඒ සඳහා ඉකොනොමැට්ටාට ඔබේ ප්‍රශ්න කිරීම් හමුවේ යුක්තියුක්ත (justify) කළ හැකි රාමුවක් යොදාගෙන ඇතත්, එම රාමුව යොදාගෙන වුවද ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමේදී තරමක් දැඩි උපකල්පන කරන්නට සිදුවෙයි. ඒවා උපකල්පන පමණි. ඔබ එම උපකල්පන සමඟ එකඟ නොවන්නේනම් ඔබේ උපකල්පන හා මෙහි ඉදිරිපත් කර ඇති රාමුව ඇසුරෙන් ඔබට මේ රජයේ අලාභය ගණන් හදා ගැනීමට පුළුවන.

මෙම වෙන්දේසියේ නිකුතුව රුපියල් බිලියන 10ක් බව මුලින්ම දැනුම් දුන්නේනම් ආන්තික මිල කෙතරම් ඉහළට ගෙන යා හැකිව තිබුණේද?

අප විසින් දහනව වන කොටසින් පැහැදිලි කරගත් පරිදි, මෙය ඇස්තමේන්තු කිරීමේදී අප විසින් අවධානය යොමු කළ යුත්තේ ආයතන තුනක් කෙරෙහි පමණි. එම ආයතන තුනනම් ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදලයි.

ඉහත ආයතන තුන අතරින් විගණකාධිපති වාර්තාවේ පදනම වූ රුපියල් 104.51ට වඩා අඩු ලන්සුවක් ඉදිරිපත් කර නැත්තේ ලංකා බැංකුව පමණි. එම මිල යටතේ පැවති ඉල්ලුම රුපියල් බිලියන 1.3ක් පමණක් නිසා එම මිල ආන්තික මිල විය හැකිව තිබුණේ ලංකා බැංකුව විසින් 104.51 මිලට රුපියල් බිලියන 8.75 ක ලන්සු ඉදිරිපත් කළේනම් පමණි. මෙය සිදුවිය හැකිව තිබුනේයැයි මා සිතන්නේ නැත.


ඉතාම පැහැදිලිව මෙදින ලංකා බැංකුව සතුව රුපියල් බිලියන 13 ඉක්මවන අතිරික්ත අරමුදල් තිබී ඇති බව අපට පෙනී යන්නේ එම ආයතනය විසින් එදින එපමණ මුදලක් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වෙනුවෙන් ලන්සු තබා ඇති බැවිනි. එහෙත්, මේ මුළු මුදලම වැය කර රුපියල් 104.51 වැනි ඉහළ මිලකට වසර තිහක පරිණත කාලයක් සහිත බැඳුම්කර මිල දී ගන්නට ලංකා බැංකුව සූදානම්ව සිටියේයැයි මා සිතන්නේ නැත. ලංකා බැංකුව සතුව මෙතරම් විශාල අතිරික්ත ද්‍රවශීලතාවයක් පැවතියද මේ අතිරික්ත මුදල් කෙටිකාලීන ආයෝජනයක යොදවනු මිස එපමණ දිගු කලක් හිර කර තැබීමේ හැකියාවක් ලංකා බැංකුව සතු වීයැයි මට පෙනී නොයයි.

ලංකා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වෙත ණය දුන් පදනම හරියටම දන්නේනම් මට මේ ගැන වැඩි දෙයක් කියන්නට පුළුවන. එහෙත් කෝප් වාර්තාවේ ඇමුණුම් පරිශීලනය කිරීමේ හැකියාවක් මට නැත. මගේ විශ්වාසය පරිදි බොහෝ විට මේ ණය කෙටිකාලීන ණයක් විය යුතුය. එය එසේනම් සහ ඒ සඳහා අය කර ඇති පොලිය 'කියන තරම්ම' අඩු නැත්නම්, එවැන්නක් ලංකා බැංකුවටද ලාභ ලැබෙන ව්‍යාපාරික තීරණයක් වන්නට වුවද බැරිකමක් නැත. මේ කරුණ ප්‍රසිද්ධ කර නොතිබීමෙන් මෙහි කිසියම් 'අවුලක්' ඇති බව පෙනෙන නමුත් ඒ හේතුවෙන්ම, කෝප් වාර්තාවේ ඇස්තමේන්තු නිවැරදියයි කිව නොහැකිය.



පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් තැබූ ඉහළම ලන්සුව වන රුපියල් 97.88 ඉහත ආයතන තුනේම අඩුම ලන්සු වලටත් වඩා අඩුය. ඒ නිසා එම මිලට මේ ආයතන තුනම තවත් කිසියම් බැඳුම්කර ප්‍රමාණයක් මිලදී ගැනීමේ ඉඩකඩක් තිබුනේයැයි සැලකිය හැකිය. එම මිලට හෝ වැඩියෙන් ඉදිරිපත්ව තිබුණු ලන්සු ප්‍රමාණය රුපියල් බිලියන 3.25කි. එසේනම්, රුපියල් බිලියන 6.8ක ඉතිරි බැඳුම්කර ප්‍රමාණය මේ ආයතන තුන විසින් රුපියල් 97.88ක මිලට මිලදී ගත හැකිව තිබුණේද? එසේ වීමට තිබුණු ඉඩකඩ මා විසින් මුළුමනින්ම බැහැර කරන්නේ නැති වුවත් මෙය සිදුවන්නට තිබුණු ඉඩකඩද විශාල නොවන බව මගේ අදහසයි.

මේ ආයතන තුන විසින් තවත් කොපමණ බැඳුම්කර ප්‍රමාණයක් මිලදී ගත හැකිව තිබුණේද?

වෙන්දේසියේ පිළිගැනුණු රුපියල් බිලියන දහය ඉක්මවූ ලන්සු වලින් බිලියන 3.5ක්ම හරියටම ආන්තික මිලට (හෝ ඉතාම ආසන්න මිලකට) ඉදිරිපත් වූ ලන්සුය. මේ මිල සත දෙක තුනකින් ඉහළට ගෙන ගිය වහාම ඉල්ලුම රුපියල් බිලියන 6.5ක් දක්වා අඩුවේ.

ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල එකතුව රුපියල් 91.99 බැගින් රුපියල් බිලියන 3.5ක බැඳුම්කර මිල දී ගත්තේනම් වෙන්දේසියේ ආන්තික මිල ඒ මට්ටමට ඉහළ යා හැකිව තිබිණි. ඉතා දළ උපකල්පනයක් පමණක් වුවත්, මට හිතෙන්නේ මෙය සිදු විය හැකිව තිබුණු දෙයක් බවයි. රුපියල් 91.99 යනු පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් සෘජුවම තැබූ අඩුම ලන්සුවයි. එම සමාගම විසින් වඩා අඩු ලන්සු තැබුවේ ලංකා බැංකුව හරහාය.

එමෙන්ම, ඉහත ආයතන තුන එක්ව රුපියල් 93.88 බැගින් රුපියල් බිලියන 4.5ක බැඳුම්කර මිල දී ගත්තේනම් වෙන්දේසියේ ආන්තික මිල ඒ මට්ටම දක්වා වුවද ඉහළ යා හැකිව තිබිණි. ලංකා බැංකුවට පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වෙනුවෙන් මුදල් යෙදවීමට තිබුණු හැකියාවත්, සේවක අර්ථසාධක අරමුදල විසින් වෙන්දේසියෙන් පසුව ද්වීතියික වෙළඳපොළෙන් තවත් බැඳුම්කර මිලදීගෙන ඇති බව වාර්තා වී තිබීමද සැලකූ විට මෙයද ඇතැම් විට විය හැක්කක්ව පැවති බව මගේ අදහසයි.

ඊළඟ මිල මට්ටම වන්නේ රුපියල් 95.81 මට්ටමයි. ආන්තික මිල ඒ මට්ටමට ඉහළ යන්නටනම් ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල එක්ව රුපියල් බිලියන 5.2ක බැඳුම්කර එම මිලට මිලදී ගත යුතුව තිබුණි. මා සිතන පරිදි එය සිදුවන්නට තිබුණේ අඩු ඉඩකඩකි.

ලංකා බැංකුව විසින් තවත් රුපියල් බිලියන දෙක තුනකත්, සේවක අර්ථසාධක අරමුදල විසින් තවත් රුපියල් බිලියනයක පමණත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් තවත් රුපියල් මිලියන දෙතුන් සියයකත් බැඳුම්කර මිල දී ගත්තේනම් වඩා වැඩි මිලකට රුපියල් බිලියන 3-4 ප්‍රමාණයක බැඳුම්කර විකිණිය හැකිව තිබුණු බව මා සිතන නමුත් මේ ප්‍රමාණය ඊට වඩා වැඩි වීයැයි මා සිතන්නේ නැත. ඒ අනුව, ආන්තික මිල රුපියල් 92-94 මට්ටමට වැඩි වන්නට කිසියම් ඉඩක් තිබුණු බව මා සිතන නමුත් එම මිල විශාල ලෙස ඉහළ යා හැකිව තිබුනේයැයි මට නොසිතේ.

කෙසේවුවද, මේ කොටසේ මගේ ගණන් හැදීම් පදනම් වන්නේ ඉතා දැඩි උපකල්පන මතය. මේ සරල උපකල්පන නිවැරදි නොවීමට විශාල ඉඩකඩක් තිබේ. එමෙන්ම, වෙන්දේසියේ නිකුතුව බිලියන 10ක් බව පෙර දැනුම් දී තිබුණු තත්ත්වයක් යටතේ වුවද, මේ වෙන්දේසියට බලපෑමක් කළේයැයි චෝදනා එල්ල වී ඇති පාර්ශ්වයන්ට ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල යන ආයතන තුනටම බලපෑම් කිරීමේ හැකියාව තිබුණු බැවින් තත්ත්වයෙහි කිසිදු වෙනසක් නොවීමටද ඉඩ තිබුණේය.

අවසාන වශයෙන් ඉහත රජයේ ආයතන තුන විසින් වැඩි මිලකට වැඩි බැඳුම්කර ප්‍රමාණයක් මිලදී ගත්තේනම්, ඒ හේතුවෙන් රජයට ලැබිය හැකිව තිබුණු අමතර මුදල පහත නවවන වගුවෙන් පෙන්වා තිබේ. අවසාන හරස් තීරු දෙකේ මට්ටමට පොලී අනුපාතික අඩු වන්නටනම් පිළිවෙලින් රුපියල් මිලියන 7,450 හා 8,750 බැගින් අදාල ආන්තික මිල ගෙවා ලංකා බැංකුව විසින් පමණක් මිල දී ගත යුතුව තිබිණි.


මෙහි මා විසින් විශ්ලේෂණය සඳහා උපයෝගී කරගත් පදනම මත විමසන විට, කෝප් වාර්තාවේ හා විගණකාධිපති වාර්තාවේ ඇස්තමේන්තු අනුව රජයට සිදුව ඇති අලාභය වන රුපියල් මිලියන 889.6 නිවැරදි ඇස්තමේන්තුවක් විය හැක්කේ ලංකා බැංකුව විසින් ඉහත මුදලට රුපියල් බිලියන 8.75ක බැඳුම්කර මිලදී ගත හැකිව තිබුණේනම් පමණි. ඒ අනුව බොහෝ දුරට මෙය අධිතක්සේරුවකි.

කෙසේවුවද, මේ අලාභය ඇස්තමේන්තු කළ හැකි වෙනත් පදනම්ද තිබේ. එම වෙනත් පදනම් මත එළඹිය හැකි නිගමන මෙහි නිගමන වලින් වෙනස් වන්නට පුළුවන. එතරම් දුරකට මේ ලිපිපෙළ ඇදගෙන යාමේ අදහසක් නැති නිසා මේ ලිපි මාලාවේ ඇති කරුණු ප්‍රයෝජනයට ගත යුත්තේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ගැනත්, රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසි ක්‍රමය ගැනත් අවබෝධය පුළුල් කිරීමේ අරමුණින් ලියැවුණු ලිපිමාලාවක් වශයෙනි.


අප මෙතෙක් අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන ගියේ මේ බැඳුම්කර වෙන්දේසියේදී රජයට සිදුවූ අලාභය වෙත අවධානය යොමු කරමිනි. බොහෝ දෙනෙකු මෙසේ රජයට සිදුවූවේයැයි කියන අලාභය පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් පසුගිය වසර තුළ ලබා ඇති විශාල ලාභය සමඟ සසඳති. මේ දෙක එකිනෙකට සම්බන්ධ වුවත් ඒ සෘජුව නොවේ. මේ දෙක දෙකකි. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ උපාය මාර්ගික හැසිරීම හා එහි ලාභ ගැනද බොහෝ දේ කතා කළ හැකිය.

ආරම්භයේදී මේ ලිපිපෙළ කියවන්නට තිබුණු උනන්දුව මේ වන විට විශාල ලෙස අඩු වී ඇති බැවින් දැනට මේ ලිපි පෙළ මෙතැනින් අවසන් කරනු ලැබේ. එහෙත්, මේ ලිපි මාලාවේ ඇති අපැහැදිලි තැන් පැහැදිලි කිරීමට අවශ්‍ය වුවහොත් එය තවදුරටත් ඉදිරියට තල්ලුවනු ඇත. එමෙන්ම, පාඨක උනන්දුව නැවත ඉහළ ගියහොත්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ උපාය මාර්ගික හැසිරීම හා එම සමාගම විසින් ලාභ ලබාගෙන ඇති ආකාරයත්, දැනට මෙම ලිපි මාලාවේ සාකච්ඡා කර නැති මහ බැංකුවේ වෙනත් ප්‍රතිපත්ති තීරණ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ කෙරෙහි බලපෑමක් කළ හැකිව තිබුණු ආකාරයත් වෙත අවධානය යොමු කෙරෙමින් මෙම ලිපි පෙළ තවදුරටත් ඉදිරියට ගෙන යෑමේ ඉඩකඩක්ද පවතී.

මෙතෙක් දිගටම රැඳී සිටි මෙන්ම අතරින් පතර කියවූ හා මුලින් කියවන්නට පටන්ගෙන අතහැර
ඔබ සැමට දැමූ ස්තුතියි!

සුබ නත්තලක්!

29 comments:

  1. //මේ කරුණ ප්‍රසිද්ධ කර නොතිබීමෙන් මෙහි කිසියම් 'අවුලක්' ඇති බව පෙනෙන නමුත් ඒ හේතුවෙන්ම, කෝප් වාර්තාවේ ඇස්තමේන්තු නිවැරදියයි කිව නොහැකිය.//
    ඇත්තෙන්ම කියනවනම් නීතියට අනුව මේක තවදුරටත් හංගපු ලියවිල්ලක් නෙමෙයි. පබ්ලික් ඩොක්යුමෙන්ට් එකක්. නමුත් තවම අප්ලෝඩ් කරලා නැහැ මහිතේ සාක්ෂි සටහන් සහ ඇමුණුම්.

    වගුවේ අන්තිම පේලිය වැරදිලාද 459.6 වෙලා තියෙන්නේ?

    //අප මෙතෙක් අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන ගියේ මේ බැඳුම්කර වෙන්දේසියේදී රජයට සිදුවූ අලාභය වෙත අවධානය යොමු කරමිනි. බොහෝ දෙනෙකු මෙසේ රජයට සිදුවූවේයැයි කියන අලාභය පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් පසුගිය වසර තුළ ලබා ඇති විශාල ලාභය සමඟ සසඳති. මේ දෙක එකිනෙකට සම්බන්ධ වුවත් ඒ සෘජුව නොවේ. මේ දෙක දෙකකි. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ උපාය මාර්ගික හැසිරීම හා එහි ලාභ ගැනද බොහෝ දේ කතා කළ හැකිය. //

    මේක ගැන දෙපැත්තක් තියෙනවා. PT එකේ ලැබේ බිලියන 5 කියන එක එකාබද්ධේ කියන බිලියන 60 කියන ගානට වඩා ගොඩක් අඩු නිසා අසතුටු වෙන පිරිසකුත් ඉන්නවා.

    රජයට සිදුවූ අලාබය ගණනය කිරීමේදී //මෙම වෙන්දේසියේ නිකුතුව රුපියල් බිලියන 10ක් බව මුලින්ම දැනුම් දුන්නේනම් ආන්තික මිල කෙතරම් ඉහළට ගෙන යා හැකිව තිබුණේද?// කියන ප්‍රශ්නය මත පදනම්ව ගණන් හැදුවොත් එතෙක් මෙතෙක් මහබැංකුව නිකුත් කල සියලුම බැඳුම්කර නිකුතු වලට ඔය පරීක්ශනේ කරන්න වෙනවා නේද? උදාහරණයක් විදයට 2016 මාර්තු 31 වෙනිදා තිබ්බ වෙන්දෙසියෙදී අවුරුදු 12 බැඳුම්කර බිලියන 10 ප්‍රසිද්ද කරලා බිලියන් 20 අරන් තියෙනවා.
    http://www.cbsl.gov.lk/pics_n_docs/02_prs/_docs/press/press_20160331e.pdf

    නමුත් මේක ගැන කවුරුත් කතා නොකරන්නේ බොහොවිට PT එකට බැඳුම්කර ගන්න බැරිවෙච්ච නිසා. ඒ වෙනුවට 2016 මාර්තු 29 වෙන්දේසිය ගැන විතරක් COPE එකේදී කතා කරනවා. නමුත් මාර්තු 31 වෙනිදා වෙන්දෙසියේත් (සුළුවෙන් හෝ) ඔය කියන විදියෙම පාඩුවක් රජයට වෙනවා කියන එකේ වෙනසක් නැහැ මේ උපකල්පන මත පදනම්ව. නමුත් කවුරුත් කතා කරන්නේ නැහැ දේශපාලන වාසි ගන්න බැරි නිසා.

    ReplyDelete
    Replies
    1. වගුවේ ගණන නිවැරදි කළා. පෙන්නුවට ස්තුතියි! ඉතිරි කරුණු වලට පසුව පිළිතුරු දෙන්නම්!

      Delete
    2. //PT එකේ ලැබේ බිලියන 5 කියන එක එකාබද්ධේ කියන බිලියන 60 කියන ගානට වඩා ගොඩක් අඩු නිසා අසතුටු වෙන පිරිසකුත් ඉන්නවා. //
      බිලියන 60ක් කියන තාර්කික පදනම මොකක්ද? විගණකාධිපති ඇස්තමේන්තුවටනම් නිවැරදි නොවුනත් පදනමක් තියෙනවා. මම හිතන්නේ මේ කියන්නේ මේ වෙන්දේසිය නිසා සමස්ත පොලී අනුපාතික ව්‍යුහයම ඉහළ ගියා කියන කතාව වෙන්න ඇති.

      //රජයට සිදුවූ අලාබය ගණනය කිරීමේදී මෙම වෙන්දේසියේ නිකුතුව රුපියල් බිලියන 10ක් බව මුලින්ම දැනුම් දුන්නේනම් ආන්තික මිල කෙතරම් ඉහළට ගෙන යා හැකිව තිබුණේද? කියන ප්‍රශ්නය මත පදනම්ව ගණන් හැදුවොත් එතෙක් මෙතෙක් මහබැංකුව නිකුත් කල සියලුම බැඳුම්කර නිකුතු වලට ඔය පරීක්ශනේ කරන්න වෙනවා නේද? උදාහරණයක් විදයට 2016 මාර්තු 31 වෙනිදා තිබ්බ වෙන්දෙසියෙදී අවුරුදු 12 බැඳුම්කර බිලියන 10 ප්‍රසිද්ද කරලා බිලියන් 20 අරන් තියෙනවා.//

      මේ ගැන මම මේ විදිහටම හිතන්නේ නැහැ, ඇනෝ. 2016 මාර්තු පමණ දක්වා රාජ්‍ය සුරැකුම්පත් අළෙවි කළ ක්‍රමය සෘජු/වෙන්දේසි ක්‍රමයක් බව තරඟකරුවන් සියල්ලම දැනගෙන හිටියා. ඒ වගේම මහ බැංකුව ඉදිරිපත් කළ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ දක්වා ලන්සු පිළිගැනීම මීට පෙරත් වරින් වර සිදුව ඇති දෙයක්. විශේෂයෙන්ම 2015 පෙබරවාරි වලදී කියපු ගණන මෙන් දහගුණයක් ගැනීමෙන් පසු දෙගුණයක් ගැනීම අනපේක්ෂිත දෙයක් නෙමෙයි. ඒ නිසා ලන්සුකරුවන්ට උපාය මාර්ගිකව හැසිරීමේ අවස්ථාවක් තිබුණා. 2015 පෙබරවාරි 27 තත්ත්වය වෙනස් වෙන්නේ එදින සිදුවූ දෙය අනපේක්ෂිත නිසයි. එදාත් බිලියන 3-4ක් දක්වා පමණක් වැඩි කළානම් එවැනි දෙයක් වෙන්න ඉඩක් නොතිබුණු බවයි මගේ අදහස. මම මේ කියන්නේ 'on average' පදනමකින්. මේ ගැන හරියටම තීරණය කළ හැක්කේ එක් එක් වෙන්දේසියෙන් පසු එම සතිය තුළ සෘජු ක්‍රමයට විකිණූ ප්‍රමාණය සහ මිල පිලිබඳ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පමණයි. අනුපාතය දෙගුණයක් වුවත්, වැඩි වූ ප්‍රමාණය බිලියන දහයක් වන විට එහිත් කිසියම් බලපෑමක් තියෙනවා. මම අලාභයක් වුනාද කියා හොයනවනම් යොදාගන්න දෙවන පදනම මෙයයි. එනම් එක් එක් වෙන්දේසියෙන් පසු තවත් කොපමණ අරමුදල් ප්‍රමාණයක් ඉතිරිව තිබුණද කියන එක. එහෙත් ඒ සඳහා අවශ්‍ය දත්ත මා සතුව නැහැ. කිසියම් අවිනිශ්චිතතාවයක් තිබුණත් එම අවිනිශ්චිතතාවයේ සීමාවන් පිළිබඳව පාර්ශ්වකරුවන්ට අවබෝධයක් ඇත්නම් 'on average' එක පැත්තකට මෙවැනි ලාභයක් හෝ අලාභයක් වෙන්න බැහැ.

      Delete
    3. //ඇත්තෙන්ම කියනවනම් නීතියට අනුව මේක තවදුරටත් හංගපු ලියවිල්ලක් නෙමෙයි. පබ්ලික් ඩොක්යුමෙන්ට් එකක්. නමුත් තවම අප්ලෝඩ් කරලා නැහැ මහිතේ//
      රහසිගත ලියවිලි පහසුවෙන් පරිශීලනය කළ හැකි පරිදි ප්‍රසිද්ධ වී තිබියදී, ප්‍රසිද්ධ ලියවිලි වලට පහසුවෙන් ප්‍රවේශ වීමට නොහැකි වීමෙන් හා එය දුර්මත පැතිරීමට ඉවහල් වීමෙන් පෙනෙන්නේ කොහේ හෝ වගකිවයුතු තැනක ඇති අකාර්යක්ෂමතාවයයි.

      Delete
    4. //මේ ගැන මම මේ විදිහටම හිතන්නේ නැහැ, ඇනෝ. 2016 මාර්තු පමණ දක්වා රාජ්‍ය සුරැකුම්පත් අළෙවි කළ ක්‍රමය සෘජු/වෙන්දේසි ක්‍රමයක් බව තරඟකරුවන් සියල්ලම දැනගෙන හිටියා. //
      2015 පෙබරවාරි වලින් පස්සේ සෘජු ක්‍රමයට අරගෙන නැහැ නේද? එක නිසා 2016 මාර්තු පමණ දක්වා රාජ්‍ය සුරැකුම්පත් අළෙවි කළ ක්‍රමය සෘජු/වෙන්දේසි ක්‍රමයක් (මිශ්‍ර) ක්‍රමයක් කීම වැරදියි කියල හිතෙනවා.
      මම උදාහරණයකට දුන්නේ 2016 මාර්තු මාසේ එක ළඟ දවස් දෙකක තිබුන වෙන්දේසි දෙකක්. (මාර්තු 29 හා 31). දෙකේදීම ප්‍රසිද්ද කර ප්‍රමාණයට වඩා බැඳුම්කර අරගෙන තියෙනවා . බොහෝ දුරට තත්වයන් සමානයි. නමුත් කෝප් වාර්තාවේ රජයට උන පාඩුවක් ගැන කතා කරන්නේ මාර්තු 29 වෙන්දේසිය ගැන පමණයි. කියන විදියට පාඩුව බිලියන 65 වගේ ගානක් මට මතක විදියට මාර්තු 29 වෙන්දේසියේදී. 2015 පෙබරවාරි 27 වෙන්දේසියේදී අදිපති වෙන්දේසි කාමරේට ආවා. මෙච්චරක් ගන්න කිව්වා වගේ බයිලත් මෙතැනදී නැහැ මම හිතන්නේ. නමුත් මාර්තු 31 වෙනිදා සහ මාර්තු 29 වෙනිදා තිබෙන වෙනස (මම හිතන්නේ) PT එකට බැඳුම්කර ගැනීමට හැකිවීම හා නොහැකිවීම පමණයි. දැන් කොහොමද අපි මේ වෙනස පැහැදිලි කරන්නේ?

      Delete
    5. // කියන විදියට පාඩුව බිලියන 65 වගේ ගානක් මට මතක විදියට මාර්තු 29 වෙන්දේසියේදී. //
      වැරදුනා . කෝටි 65 වශයෙන් නිවැරදි විය යුතුයි.

      Delete
    6. //ඇනෝ. 2016 මාර්තු පමණ දක්වා රාජ්‍ය සුරැකුම්පත් අළෙවි කළ ක්‍රමය//
      එය අත්වැරදීමක්, ඇනෝ. ඔබ කියා ඇති පරිදි 2015 ලෙස නිවැරදි විය යුතුයි.

      2015 පෙබරවාරි පැවති තත්ත්වය 2016දී නොපැවති නිසා මේ දෙවන වෙන්දේසියෙන් රජයට පාඩුවක් වුණා කියා මම හිතන්නේ නැහැ. එය කෝප් වාර්තාවේ කතා කරන දෙවන වෙන්දේසියට මෙන්ම ඔබ කියන වෙන්දේසියටත් අදාළයි. හැබැයි සෘජු ක්‍රමය නැවැත්තුවත් මේ පවතින වෙන්දේසි ක්‍රමය තුළ තවදුරටත් මහ බැංකුවට තමන් කැමති ආයතනයකට වාසි සැලසීමේ හැකියාවක් තියෙන නිසා එය පාරදෘශ්‍ය ක්‍රමයක් නෙමෙයි. මහ බැංකුව එසේ නොකළත් කෙනෙක්ට චෝදනා නැඟීමේ හැකියාවක් තියෙනවා. මා ලිපි මාලාවේ පැහැදිලි කර ඇති පරිදි මහ බැංකුවට නිකුතුවේ ප්‍රමාණය ලන්සු ලබාගැනීමෙන් පසුව වෙනස් කරන්න සිදුවී තිබෙන්නේ පොලී අනුපාතික ස්ථාවරව තබා ගැනීම සඳහායි. සම-මිල වෙන්දේසි ක්‍රමයකට මාරු වීමෙන් මේ ගැටළුව මඟ හරවා ගත හැකි බව මගේ අදහසයි. එවිට මේ වෙන්දේසිය දැන් මෙන් සූදුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් අය තමන්ගේ සැබෑ මිලට ආසන්නව ලන්සු තියන්න පෙළඹෙයි.

      Delete
  2. // එය කෝප් වාර්තාවේ කතා කරන දෙවන වෙන්දේසියට මෙන්ම ඔබ කියන වෙන්දේසියටත් අදාළයි. හැබැයි සෘජු ක්‍රමය නැවැත්තුවත් මේ පවතින වෙන්දේසි ක්‍රමය තුළ තවදුරටත් මහ බැංකුවට තමන් කැමති ආයතනයකට වාසි සැලසීමේ හැකියාවක් තියෙන නිසා එය පාරදෘශ්‍ය ක්‍රමයක් නෙමෙයි. මහ බැංකුව එසේ නොකළත් කෙනෙක්ට චෝදනා නැඟීමේ හැකියාවක් තියෙනවා. මා ලිපි මාලාවේ පැහැදිලි කර ඇති පරිදි මහ බැංකුවට නිකුතුවේ ප්‍රමාණය ලන්සු ලබාගැනීමෙන් පසුව වෙනස් කරන්න සිදුවී තිබෙන්නේ පොලී අනුපාතික ස්ථාවරව තබා ගැනීම සඳහායි. සම-මිල වෙන්දේසි ක්‍රමයකට මාරු වීමෙන් මේ ගැටළුව මඟ හරවා ගත හැකි බව මගේ අදහසයි. එවිට මේ වෙන්දේසිය දැන් මෙන් සූදුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් අය තමන්ගේ සැබෑ මිලට ආසන්නව ලන්සු තියන්න පෙළඹෙයි.//
    ඔබ හරි. මෙන්න මේ දේ තමයි විය යුත්තේ. මමනම් මුල ඉඳලම හිතුවේ මේ පවතින ක්‍රමය තුල දැන් ඉන්න ඩීලර්ස්ලා කට්ටියම එකතුවී හොරකම් කරන්න (කරනවානම්) අවශ්‍ය පරිසරය තිබෙන බවයි. එයට විශේෂයෙන් මහබැංකු අධිපතිගේ සහයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. EPF හෝ රාජ්‍ය බැංකු වලට පාඩු වෙන විදියට අනිත් දීලර්ස්ලට ලන්සු තියන්න ඕන තරම් අවස්තාව තියෙනවා එම බැංකු/EPF වල නිලධාරීන්ගේත් සහය ඇතිව.
    මෙතැනදී හර්ෂ ද සිල්වා කියපු අප්පුඩි කතාව ඒ වගේ එකක් මහිතේ. ඇත්තටම මොකද ලංකාව ඇමරිකාවේ වගේ සමමිල ක්‍රමයකට නොයන්නේ. අඩුම වශයෙන් සාමාන්‍ය ජනතාවට සහභාගී වෙන්න පුළුවන් විදියට මේ වෙළඳපොල තවත් ඕපන් නොකරන්නේ ඇයි? එහෙම උනානම් රජයටත් මීට වඩා ලේසියෙන් අවශ්‍ය මුදල් ලබා ගන්න ඕන තරම් හැකියාව තිබෙද්දිත් මේ ක්‍රමය පවත්වාගෙන යන්නේ අතලොස්සක් (පැවති සහ පවතින රජයන්ගේ) ගජ මිතුරන්ට වාසි සැලසීමේ අරමුණකින්ද?

    ReplyDelete
    Replies
    1. //මේ ක්‍රමය පවත්වාගෙන යන්නේ අතලොස්සක් (පැවති සහ පවතින රජයන්ගේ) ගජ මිතුරන්ට වාසි සැලසීමේ අරමුණකින්ද?// හිතමතාම එවැනි දෙයක් කරනවාද නැද්ද කියන එක හරියටම කියන්න බැරි වුනත්, අවසාන වශයෙන් ඔබ කියන දෙය තමයි වෙන්නේ. පෞද්ගලික ව්‍යවසායකයින් හැමවිටම පවතින තත්ත්වය තුළ ලාභ ලැබීමට ඇති අවස්ථා වලින් ප්‍රයෝජන ගන්නවා. මේ කටයුතු වල නිරත වන ආයතන වලින් එම කටයුතු වල යෙදෙන පුද්ගලයින්ට ලාභයෙන් කොටසක් කොමිෂන් එකක් ලෙස ලැබෙන විට ආයතනයේ ලාභ ඉහළ දැමීම සඳහා හැකි හැම දෙයක්ම කරන්න ඔවුන් උනන්දු වෙනවා. සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන හා රාජ්‍ය බැංකු වල මේ තීරණ ගන්නා නිලධාරීන්ට එසේ ආයතනයේ ලාභ වැඩි කළා කියා ලැබෙන දෙයක් නැති නිසා ඔවුන් අදාළ ආයතන වල ලාභ වැඩි කිරීමට උනන්දු වන්නේ අඩුවෙන්. මෙහි වාසියත් අනෙකුත් ආයතන වලට ලැබෙනවා.

      Delete
  3. Thank you for enlightning on very complex subject. Apologies, as I cannot comment in Sinhala owing to computor setting. -Kalinga

    ReplyDelete
  4. ඉකො,
    බොහොම ස්තුතියි මෙම ලිපි මලාවට. මම මේ ලිපි මාලව කොටස් අතර එහා මෙහා යමින් මෙහි මූලික සිද්දන්ත සහ ඔබේ ගනනය කිරීමේ පදනම ඉගෙන ගනිමින් සිටිමි.
    මා තේරුම් ගත් විදිහට ඔබේ මූලික පදනම වී ඇත්තේ රුපියල් බිලියන 10ක් මෙදින වෙන්දේසි කලේ නම් එහි ආන්තික මිල ගනන් කුමක් විය හැකිව තිබුනිද ඒ අනුව අලාබය කීයද යන්නයි.
    නමුත් ඩිව් ගේ සහ හඳුන්නෙත්තිගේ මූලික තර්කය වූයේ, මුදල් මංඩලය සැලසුම් කර තිබුනේ එදින බිලියන 1ක් ගැනීමට පමනක්ය යන්නය. එය ඔප්පු කිරීම සඳහා ලිඛිත සහ වාචික සාක්ශි එම පරීක්ශන දෙකේදීම ඔවුන් සොයා ගෙන ඇති බව කියවේ. මේ වාර්තා සම්පූර්නයෙන්ම කියවා නැති බැවින් මෙහි සත්‍ය අසත්‍ය තාවය ගැන නොදනී. හර්ශ සිල්වාද මෙය අභියෝගයට ලක් කලේ නැත.
    එවිට අර්ජුන් (මාමා) ගේ මැදිහත් වීම මත ගන්නා ලද අතිරේක බිලියන 9 ම අනවශ්‍ය මිළදී ගැනීමක් බවය. ඒ අනුව ඔවුන්ගෙ ගනනය කිරීම වඩා නිවැරදියි නේද ? වඩා යනුවෙන් මම අදහස් කලේ මෙම පදනම අනුව වුවද ඔවුන් භාවිතා කලේ යයි කියන සූත්‍රය නිවැරදි නොවන බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. //මා තේරුම් ගත් විදිහට ඔබේ මූලික පදනම වී ඇත්තේ රුපියල් බිලියන 10ක් මෙදින වෙන්දේසි කලේ නම් එහි ආන්තික මිල ගනන් කුමක් විය හැකිව තිබුනිද ඒ අනුව අලාබය කීයද යන්නයි.//
      ඔබ නිවැරදියි.

      //නමුත් ඩිව් ගේ සහ හඳුන්නෙත්තිගේ මූලික තර්කය වූයේ, මුදල් මංඩලය සැලසුම් කර තිබුනේ එදින බිලියන 1ක් ගැනීමට පමනක්ය යන්නය. එය ඔප්පු කිරීම සඳහා ලිඛිත සහ වාචික සාක්ශි එම පරීක්ශන දෙකේදීම ඔවුන් සොයා ගෙන ඇති බව කියවේ.//

      //එවිට අර්ජුන් (මාමා) ගේ මැදිහත් වීම මත ගන්නා ලද අතිරේක බිලියන 9 ම අනවශ්‍ය මිළදී ගැනීමක් බවය. ඒ අනුව ඔවුන්ගෙ ගනනය කිරීම වඩා නිවැරදියි නේද ?//

      ඇනෝ, මේ ගැන අදහස් දැක්වීමේදී මම පෞද්ගලිකව හිතන ආකාරයත්, දන්නා තොරතුරුත් ටිකක් දුරට එකතු වෙනවා. එවැනි දේ ගැන ඔබට එකඟ නොවී සිටිය හැකියි. එහෙත් මගේ ලිපි මාලාවේ මූලික ආකෘතිය එවැනි දේ නිසා වෙනස් වෙන්නේ නැහැ. මුලින් එක්රැස් කිරීමට සැලසුම් කළ ප්‍රමාණයට වඩා විශාල අරමුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරයට 'හදිසියේම' අවශ්‍ය වීම අළුත් දෙයක් නෙමෙයි. මගේ ලිපි මාලාවේ ලියා ඇති පරිදි කලකට පෙර මෙවැනි හදිසි අරමුදල් බොහෝ විට අවශ්‍ය වුණේ යුද්ධය හා ආශ්‍රිත හදිසි වියදම් පියවා ගැනීමට. රජයට ලැබීමට නියමිතව තිබුණු කිසියම් ආදායමක් නියමිත වෙලාවට නොලැබීම වැනි දෙයක් මතත් මෙය විය හැකියි. මුදල් මණ්ඩලය රැස් වෙන්නේ කලින් සැලසුම් කළ නියමිත දින වලදී නිසාත්, එසේ රැස් වූ විට කතා කරන්නේ කලින් සකස් කළ න්‍යාය පත්‍රයක ඇති දේ නිසාත් හදිසියේ ඇති වන තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම බොහෝ විට මුදල් මණ්ඩලය දක්වා යන දෙයක් නෙමෙයි. මා දන්නා තරමින් වෙන්දේසියකදී මිල දී ගන්නා බැඳුම්කර ප්‍රමාණය වැනි එදිනෙදා කරුණක් මුදල් මණ්ඩලය විසින් ගන්නා හෝ ගතයුතු ප්‍රතිපත්ති තීරණයක් නෙමෙයි. අදාළ කමිටුව විසින් ගන්නා තීරණයක්. ඇතැම් විට මුදල් මණ්ඩලය විසින් ගත යුතු තීරණ වුවත් හදිසියේ ගත යුතු වූ විට එම තීරණ ගෙන පසු අනුමැතිය ලබා ගැනීම සිදුවෙනවා. මේ දවසෙන් පසුව රජය විසින් දිගින් දිගටම ලබා ගෙන ඇති විශාල ණය ප්‍රමාණය සැලකූ විට රජයට අතිරේක අරමුදල් අවශ්‍ය වුනේ නැහැ කියන එක පිළිගන්න අමාරුයි. මේ බිලියන 9 අතිරේක මුදලක්නම් වෙන්දේසියෙන් පසුව භාණ්ඩාගාරය විසින් බිලියන 9ක ණය ආපසු ගෙවීමයි සිදුවිය යුත්තේ. නමුත්, සිදුවී ඇත්තේ එය නොවෙයි. දිගින් දිගටම තවත් ණය ලබා ගැනීමයි. ඒ නිසා පැහැදිලිවම රජයට අරමුදල් අවශ්‍යතාවයක් තිබී තියෙනවා. කෙසේවුවත්, මේ අරමුදල් අවශ්‍යතාවය හරියටම එදින වසර තිහක බැඳුම්කර විකිණීම හරහා සොයාගත යුතුව තිබුණු බව එයින් අදහස් වන්නේ නැහැ. ඒ නිසා මේ බිලියන 9 අනවශ්‍ය මිලදී ගැනීමක් කියන එකටත් පදනමක් තිබෙනවා. ප්‍රසිද්ධ වී තිබෙන තොරතුරු පමණක් මත පදනම්ව මේ බිලියන 9 අවශ්‍යද නැද්ද කියන නිගමනයට මට එන්න බැහැ.

      ඉහත කරුණු පැත්තකින් තියලා "අර්ජුන් (මාමා) ගේ මැදිහත් වීම මත ගන්නා ලද අතිරේක බිලියන 9 ම අනවශ්‍ය මිළදී ගැනීමක්" කියා අපි උපකල්පනය කරමු. එසේ උපකල්පනය කළත් රජයට සිදුවූ අලාභය ගණනය කරන්න කිසියම් පදනමක් අවශ්‍යයි. මෙහිදී කෝප් වාර්තාවේ හා විගණකාධිපති වාර්තාවේ යොදාගෙන ඇති පදනම වන්නේ රුපියල් 104.51 බැගින් මේ අමතර බිලියන 9ම නිකුත් කළ හැකිව තිබුණු බවයි. මෙය මා මුල කොටසක පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව, මම මෙහිදී යොදාගෙන තියෙන්නේ ඔවුන්ගේ ආකෘතියමයි. මා මෙහි පෙන්වා දී තිබෙන්නේ බිලියන 10ක් දක්වා යාමේදී ආන්තික මිල (බිලියන 1ක් ගන්නා විට ආන්තික මිල වන) රුපියල් 104.51 මට්ටමේම තබා ගත හැකි බව සිතීම ඉතාම සරල හා වැරදි උපකල්පනයක් බවයි. නැවතත් කියනවානම්, මේ බිලියන 9 අනවශ්‍ය මිලදී ගැනීමක් බව ඔවුන් කිවුවත් (එය සැබෑ බව අපි උපකල්පනය කළත්) ඔවුන්ගේ ගණනය කිරීම් පදනම් වී තිබෙන්නේ රුපියල් 104.51 බැගින් අමතර බිලියන 9ම මිලදී ගත හැකිව තිබුණේය යන පදනම මතයි. මෙය කිසිසේත්ම නිවැරදි නැහැ.

      Delete
  5. ඉකෝ,
    පැහදිලි කිරීමට ස්තුතියි.
    නමුත් ඔබේ තර්කය නිවැරදි වන්නේ එදින තවත් බිලියන 9ක එනම් සම්පූර්න වශයෙන් බිලියන 10 ක් අවශ්‍යතාවයක්(genuine requirement) තිබුනා නම් පමනි. වෙනත් විදිහකින් කියනවානම් එදින බ්ලියන 10ක් වෙන්දේසි නොකලේ නම් අවසාන බිලියනය වෙනුවෙන් ඔතරම් පහත අගයක් හිමි වන්නේ නැහැ නේද ?
    තවත් පැහැදිලි කලොත් එදින එක් බිලියනයක් පමනක් වෙන්දේසි කොට තවත් සතියකින් තවත් බිලියනයක් වෙන්දේසි කලේ නම් ඔබේ ගනනයේ දෙවෙනි බිලියන්යටද රු119-104 (Post5, Table 01) කට ආසන්න ඉල්ලුමක් ලැබිය හැකිව තිබුනා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔබ සමඟ මුළුමනින්ම නොවුණත් යම්තාක් දුරකට එකඟයි.

      //නමුත් ඔබේ තර්කය නිවැරදි වන්නේ එදින තවත් බිලියන 9ක එනම් සම්පූර්න වශයෙන් බිලියන 10 ක් අවශ්‍යතාවයක්(genuine requirement) තිබුනා නම් පමනි. වෙනත් විදිහකින් කියනවානම් එදින බ්ලියන 10ක් වෙන්දේසි නොකලේ නම් අවසාන බිලියනය වෙනුවෙන් ඔතරම් පහත අගයක් හිමි වන්නේ නැහැ නේද ?//

      මෙහි ඔබ කියන කරුණ සෑහෙන දුරට නිවැරදියි. මම මේ ලිපි පෙළ නැවැත්වූ තැන වන විට අලාභය ගණනය කිරීම කළේ බිලියන 10 ක් කලින් දැනුම් දී එදිනම නිකුත් කළේනම් කියන පදනම මතයි. අඩු වශයෙන් රුපියල් බිලියන 10ක අරමුදල් අවශ්‍යතාවයක් එදින රජයට පැවති බව එහිදී උපකල්පනය කෙරෙනවා. වෙනත් පදනම් මතත් මෙවැනි ගණනය කිරීම් කළ හැකියි. ඒ සඳහා වැය කළ යුතු කාලයට සාපේක්ෂව කියවන්නන්ගේ උනන්දුවක් නැති නිසාත්, ඒ සඳහා අවශ්‍ය දත්ත (අදාළ කාලයේ පැවති අනෙකුත් වෙන්දේසි වල ලන්සු) මා සතුව නැති නිසාත් එතරම් දුරකට ගියේ නැහැ. ඒ වගේම මා පෙර විස්තර කළ පරිදි කෝප් වාර්තාවේ හා විගණකාධිපති වාර්තාවේ අලාභ ගණනය කර ඇති පදනම වන්නේත් මෙයමයි.

      යම් හෙයකින් එදින රජය විසින් ලබාගත්තේ අනවශ්‍ය බිලියන 10ක ණයක්නම් එයින් අදහස් වන්නේ මේ බිලියන 10
      මහා භාණ්ඩාගාරය විසින් වියදම් නොකර වසර තිහක් නිකරුණේ ගිණුමක රඳවාගෙන සිටින බවයි. එවැන්නක් වුණානම් මේ ණය වෙනුවෙන් ගෙවන සම්පූර්ණ පොලී මුදලම රජයට වන අලාභයක්. එය ඉතා විශාල මුදලක්. රජයට මුදල් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියන එක කිසිසේත්ම පිළිගත නොහැකියි. නමුත්, මේ මුදල් අවශ්‍යතාවය සතියකින් (හෝ සති කිහිපයකින් ) කල් දමා ගත හැකිව තිබුණු එකක් නොවෙයි කියා මට ස්ථිරවම කියන්න බැහැ. ඇතැම් විට මේ මුදල් වියදම් නොකර සතියක් හෝ සති කිහිපයක් ගිණුමක තිබුණා විය හැකියි. දැන් ඔබේ ප්‍රශ්නය වන්නේ මේ බිලියන 10 එදිනම නිකුත් නොකර කොටස් වශයෙන් බිලියනය බැගින් සතිපතා නිකුත් කළානම් මීට වඩා වැඩි මිලකට විකිණිය හැකිව තිබුණාද යන්න විය යුතුයි.

      //තවත් පැහැදිලි කලොත් එදින එක් බිලියනයක් පමනක් වෙන්දේසි කොට තවත් සතියකින් තවත් බිලියනයක් වෙන්දේසි කලේ නම් ඔබේ ගනනයේ දෙවෙනි බිලියන්යටද රු119-104 (Post5, Table 01) කට ආසන්න ඉල්ලුමක් ලැබිය හැකිව තිබුනා නේද ?//
      මෙවැන්නක් වෙන්න ඉඩක් තිබුණා කියා මම හිතන්නේ නැහැ. පෙබරවාරි 27 දින රු, 119-104 මිලකට බිලියන 1.3ක් විකිණිය හැකිව තිබුණා. ඊට වඩා විකුණන්න හැකියාව තිබුණේ අඩු මිලකටයි. දැන් ඔබ සිතන්නේ පෙබරවාරි 27 බිලියනයක් විකුණා සතියකට පසු (මාර්තු 6 කියමු) නැවත බිලියනයක් විකුණුවානම් පෙබරවාරි 27 තිබුණු විදිහේම ඉල්ලුමක් (හයවන කොටස වගුව 1) තියෙයි කියලයි. එසේ වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. වසර 30ක බැඳුම්කරයක ආයෝජනය කරනවා කියන්නේ වසර තිහකට මුදල් හිර කිරීමක්. කිසියම් ආයතනයක් විසින් මෙවැනි දීර්ඝ කාලයකට හිර කරන්නේ තමන් සතු අරමුදල් වලින් ඉතා සීමිත කොටසක් පමණයි. එය කරන්නෙත් තමන් අපේක්ෂා කරන මිල ලැබෙනවනම්. කිසියම් හෙයකින් පෙබරවාරි 27 දින නිකුත් කළේ බිලියනයක් පමණක්නම් වෙන්දේසියෙන් පසු ඉතිරිවන නොසන්සිඳුණු ඉල්ලුම වන්නේ පළමු වගුවේ හත්වන පේලියෙන් පහළ කොටසයි. වෙන්දේසියේදී බිලියන 1.3ක් නිකුත් කර අනෙක් අතට තව බිලියනයක් වෙන්දේසි කළොත් ලැබෙන ඉහළම ලන්සුව වන්නේ 103.12. දෙවන වර රු, 119-104 අතර ලන්සු ලැබෙන්නේ නැහැ. සතියක් යන විට මේ තත්ත්වය තරමක් දුරට දෙපැත්තටම වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව උපරිම ලන්සු මිල 103.12ට වඩා වැඩි වෙන්න හෝ අඩු වෙන්න යන දෙකම විය හැකියි. මාස තුනක භාණ්ඩාගාර බිල්පත් වැනි කෙටිකාලීන ආයෝජන සඳහා වන ඉල්ලුම සතියකදී සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි වුවත් 30 අවුරුදු බැඳුම්කර සඳහා වන ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයන් තුළදී සතියක් තුළ විශාල ලෙස වෙනස් වෙන්න තියෙන්නේ අඩු ඉඩකඩක්. ඒ නිසා ඔබ යෝජනා කරන පරිදි මේ බැඳුම්කර කොටස් වශයෙන් සතිපතා නිකුත්කර රුපියල් 104-119 අතර ඉහළ මිලක් ලබා ගැනීමේ හැකියාව ඉතා අඩුයි. එවිට සිදුවන්නේ සතිපතා ආන්තික මිල ක්‍රමයෙන් ඉහළ යාමයි. නමුත්, එසේ කළානම් රජයට කිසියම් හෝ ලාභයක් ලැබීමේ ඉඩකඩක් තිබුණු බව බැහැර කළ නොහැකියි.

      Delete
    2. ඉකො,
      දීර්ග පිලිතුරට බොහොම ස්තුතියි. මේ ලිපි මලාව කියවා ගෙන යාමේදි නැගුනු මූලික ප්‍රශ්නයක් තමා මා මේ ඉදිරිපත් කලේ.
      මා තවමත් මෙය මුල සිට අගටත් අග සිට මුලටත් කියවමින් සිටිමි. මාගේ මූලික විශය ආර්තික විද්‍යව නොවන නිසා ඒ සඳහා දිග කාලයක් වැය වේ. ඒ නිසා ඉදිරියටත් විටින් විට ප්‍රශ්න ඇසීමට බලපොරොත්තු වෙමි.
      ඔබේ වෑයමට සහ කාලයට නැවතත් මගේ ස්තුතිය

      Delete
    3. අපැහැදිලි තැන් ඇත්නම් පසුව හෝ අහන්න, ඇනෝ. කවුරු හෝ කැමැත්තෙන් කියවනවානම් ලියපු එකට වටිනාකමක් තියෙනවා.

      Delete
  6. මේ ලිපියේ අලාබය සෙවීමට පදනම වෙලා තියෙන්නේ බිලියන 10ම මුලින් ප්‍රසිද්ද කලානම් ලැබිය හැකිව තිබූ ආන්තික මිල සෙවීමයි. ඒ සඳහා පාදක කරගන්නේ බිලියන 1ක් සඳහා ලැබුණු සැබෑ ලන්සු පිළිබඳ දත්ත.
    මට අහන්න ඕන ප්‍රශ්නය මෙයයි. ඔබත් බලල තියෙනවා ඇති මෙන්න මේ වීඩියෝව.

    https://www.youtube.com/watch?v=0k3DXB6D2p4

    සෘජු ක්‍රමය සාධාරණීකරණය කිරීම සඳහා මෙහි ගෙනෙන ප්‍රධාන තර්කයක් තමයි මුදල් ගොඩක් අවශ්‍ය වෙලාවක අවශ්‍ය මුළු මුදලම මුලින් දැන්වීම් පලකලොත් තැරැව්කරුවෝ අඩු ලන්සු තියනවා . එයින් රජයට පාඩු වෙනවා කියන එක. ඒක නිසා අවශ්‍ය මුළු මුදලෙන් සුළු කොටසක් පමණක් ප්‍රසිද්ද කරලා ඉතිරිය සෘජු ක්‍රමයට විකුනනවා කියන්න තමයි උත්සාහ කරන්නේ.
    ඔය කියන විදියට බිලියන 10ම මුලින් ප්‍රසිද්ද කලානම් බිලියන 1 සඳහා ලැබුණු ලන්සු වල දත්ත භාවිතා කරන්න බැහැ නේද පාඩුව හොයන්න? වෙනම ලන්සු සෙට් එකක් නේද එතකොට ලැබෙන්නේ. බොහෝ විට උපරිම මිලේ ලන්සුව මීට වඩා අඩු වෙන්න තිබුනා. (මොන විදියට බැලුවත් අපිට උපකල්පන විතරයි කරන්න පුළුවන්. තිබෙන්නේ එම උපකල්පන සැබෑ වීමේ සම්භාවිතාවය පමණයි).

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක බලල නැහැ, ඇනෝ. මම සාමාන්‍යයෙන් වීඩියෝ බලන්න වැඩිය කාලය යොදවන්නේ නැහැ. වීඩියෝ එක නොබලාම පිළිතුරක් දිය හැකි වුවත්, ඉඩක් ලැබුණු විට එය බලලම පිළිතුරක් දෙන්නම්.

      Delete
    2. මම මේ වීඩියෝ එකේ මුල් විනාඩි 8 පමණක් බැළුවා. මෙය දේශපාලනික අරමුණකින් කරුණු පවා විකෘති කර හැදූ වීඩියෝවක්. දේශපාලනික අරමුණින් වීඩියෝ හැදීමේත්, තමන්ට වාසිදායක වන පරිදි කරුණු විශ්ලේෂණය කිරීමේත් වරදක් නැහැ. එවැනි පක්ෂපාතී විශ්ලේෂණ වල විශ්ලේෂණය ඉවත් කර කරුණු උකහාගත හැකියි. එහෙත්, හිතාමතා කරුණු විකෘති කිරීමට තරම් දුර ගිය වීඩියෝ එකක් වෙනුවෙන් කාලය යොදවන්න මම කැමති නැහැ. මේ තියෙන්නේ මා නැරඹු මුල් කොටසේ පමණක් ඇති විකෘති කරුණු.
      1. පර්පෙචුවල් සමාගම හැර අනෙක් ආයතන සියල්ලම තබා ඇත්තේ මිලියන 500 නොඉක්මවන ලන්සු බව. ලංකා බැංකුවේ 508 ආසන්න වශයෙන් සමාන නිසා අත හැරියත් සෙලාන් බැංකුවේ සහ EPF එකේ ලන්සු මීට වඩා ගොඩක් විශාලයි.
      2. අනෙක් සමාගම් සියල්ල අඩු පොලියට ලන්සු තියද්දී පර්පෙචුවල් සමාගම පමණක් 12.5% ගිණි පොලියට බිලියන 15ක ලන්සු තියා ඇති බව. සියළු සමාගම් වල ලන්සු (හා අදාළ පොලී) අස්වාභාවික නොවන පරාසයක පැතිර ඇති බව මම පෙන්වා දී තිබෙනවා. අස්වාභාවික වන්නේ පර්පෙචුවල් සමාගම විසින් බිලියන 15ක විශාල ලන්සු ප්‍රමාණයක් තැබීම මිස ලන්සු මිල නෙමෙයි. ඒ ලන්සු සියල්ල තබා තියෙන්නේ එකම මිලකට නෙමෙයි. මෙය අවිනිශ්චිතතාවය හමුවේ උපාය මාර්ගික හැසිරීමක්. (අභ්‍යන්තර තොරතුරු ලැබුණත් තවදුරටත් අවිනිශ්චිතතාවයක් තියෙනවා).
      3. වීඩියෝව අනුව වෙන්දේසිය ප්‍රමාද කරන්නේ පර්පෙචුවල් සමාගම වෙනුවෙන් ලංකා බැංකුවේ ලන්සු ගෙන්වා ගැනීමටයි. කෝප් වාර්තාව අනුව පෙනෙන්නේ මෙය වැරදි ප්‍රකාශයක් බවයි.

      කරුණු පවා විකෘති කරන වීඩියෝ එකක විශ්ලේෂණ වලට වැඩි බරක් තැබිය යුතු නැහැ, වීඩියෝ එකේ කරුණු ඉදිරිපත් කිරීමනම් (presentation) ආකර්ශනීය ලෙස (බොරු වුනත්) කර තිබෙනවා.

      //මුදල් ගොඩක් අවශ්‍ය වෙලාවක අවශ්‍ය මුළු මුදලම මුලින් දැන්වීම් පලකලොත් තැරැව්කරුවෝ අඩු ලන්සු තියනවා .// මෙහි යම් ඇත්තක් තියෙනවා. මෙයට හේතුව නිකුතුව විශාල වන තරමට අසමමිල වෙන්දේසියක තරඟකරුවන් මුහුණ දෙන අවිනිශ්චිතතාවය වැඩිවීම සහ ඒ වෙනුවෙන් අවදානම් අධිභාරයක් (risk premium) එකතු කිරීමයි. මේ ප්‍රශ්නය දැනටත් තියෙනවා. සෘජු ක්‍රමය මේ ප්‍රශ්නයට පැලැස්තර විසඳුමක් මිස සැබෑ විසඳුමක් නෙමෙයි. සමමිල වෙන්දේසියකට යාමෙන් මේ ප්‍රශ්නය විසඳිය හැකියි.

      පිළිතුරේ ඉතිරි කොටස පසුව දමන්නම්.

      Delete
    3. බොහොම ස්තුතියි. ඉතිරියත් දමන්න.

      Delete
    4. //ඒක නිසා අවශ්‍ය මුළු මුදලෙන් සුළු කොටසක් පමණක් ප්‍රසිද්ද කරලා ඉතිරිය සෘජු ක්‍රමයට විකුනනවා කියන්න තමයි උත්සාහ කරන්නේ.//
      සමහර විට මහා භාණ්ඩාගාරයේ/මහ බැංකුවේ නිලධාරිනුත් මෙලෙස හිතනවා ඇති. නමුත්, මෙය ප්‍රශ්නයේ මුල හඳුනා නොගෙන ලබාදුන් අසාර්ථක විසඳුමක් බවයි මගේ අදහස. දැන් මෙලෙස සෘජු ක්‍රමයට විකුණන්නේ කාටද? වෙන්දේසියට ඉදිරිපත් වන අයටමයි. එහෙමනම් වෙන්දේසියේදී වැඩි පොලියක් ඉල්ලන ආයතනයක් සෘජු ක්‍රමයට අඩු පොලියකට විකුණන්න හැකියි කීමේ අවුලක් තියෙන්න ඕනෑ නේද? විශේෂයෙන්ම, වරක් දෙවරක් නොව දිගටම මෙය මෙලෙස සිදු වෙනවනම්. වෙන්දේසියට බිලියන 10ක් ඉදිරිපත් කිරීමෙන් පසු ලන්සු මිල මහ බැංකුව හිතන ගණනට වඩා අඩුනම් මුළු ප්‍රමාණයම නිකුත් නොකර අඩු ප්‍රමාණයක් නිකුත් කිරීම වගේම මුළු වෙන්දේසියම අවලංගු කර දැමීමත් මහ බැංකුවට කළ හැකි හා කාලයක් තිස්සේ කර ඇති දෙයක්. ඒ නිසා මෙසේ ඕනෑවට වඩා වැඩි ලන්සු තැබීමට ලන්සු තබන ආයතන වලට ඇති පෙළඹීම සීමා වෙනවා. වෙන්දේසියට සාපේක්ෂව සෘජු ක්‍රමයේ ඇති වාසිය වන්නේ ලන්සුකරුවන් මුහුණ දෙන අවිනිශ්චිතතාවය අඩුවීමයි. ඒ වගේම වෙන්දේසියේ ප්‍රමාණය වැඩිවන තරමට අවිනිශ්චිතතාවය වැඩි වනවා. මේ වෙනුවෙන් එකතුවන යම් අවදානම් අධිභාරයක් අඩුවීම හැරුණු විට සෘජු ක්‍රමයෙන් රජයට ලැබෙන ලොකු වාසියක් නැහැ. සමමිල වෙන්දේසි ක්‍රමයකට යාමෙන් මේ අවදානම හා අදාළ අවදානම් අධිභාරය නැති කරගත හැකියි.

      //ඔය කියන විදියට බිලියන 10ම මුලින් ප්‍රසිද්ද කලානම් බිලියන 1 සඳහා ලැබුණු ලන්සු වල දත්ත භාවිතා කරන්න බැහැ නේද පාඩුව හොයන්න?//
      බැහැ. මම උත්සාහ කර ඇත්තේ "බිලියන 10ම මුලින් ප්‍රසිද්ද කලානම්" ලැබෙන්න තිබුණු ලන්සු ගැන ඇස්තමේන්තුවක් කිරීමයි. ඒ සඳහා අප පටන් ගත යුත්තේ ලැබී තියෙන ලන්සු වලින්. ඔබ කියා ඇති පරිදිම "මොන විදියට බැලුවත් අපිට උපකල්පන විතරයි කරන්න පුළුවන්. තිබෙන්නේ එම උපකල්පන සැබෑ වීමේ සම්භාවිතාවය පමණයි". නමුත් අපට අඩු සම්භාවිතාවක් තිබෙන උපකල්පන බැහැර කළ හැකියි. මා කර ඇත්තේ එයයි. අවසාන වශයෙන් නිශ්චිත ලෙස අලාභය ගණනය කිරීමක් කර නැත්තේ එය කළ නොහැක්කක් නිසා. නමුත් වැඩි සම්භාවිතාවක් ඇති පරාසයක් අපට ඇස්තමේන්තු කළ හැකියි.

      //බොහෝ විට උපරිම මිලේ ලන්සුව මීට වඩා අඩු වෙන්න තිබුනා.//
      උපරිම මිලට තබා ඇත්තේ සාපේක්ෂව ඉතාම සුළු මුදලක් (මිලියන 8ක්). මෙය කිසියම් සුවිශේෂී හේතුවක් මත තැබූ ලන්සුවක් විය හැකියි. මම හිතන්නේ ඔබ මෙය කියන එකේ පදනම වෙන්නේ බිලියන 10ක් වුනානම් ආන්තික මිල අඩුවෙන්න ඉඩ තිබෙන බව සිතා වැඩි මිල ලන්සු තැබූ අය එසේ නොතියනු ඇතැයි සිතීම විය යුතුයි. තරමක් දුරට එය එසේ වීමේ ඉඩක් තිබෙනවා.

      Delete
    5. පැහැදිලි කිරීමට ස්තුතියි.
      //වෙන්දේසියට බිලියන 10ක් ඉදිරිපත් කිරීමෙන් පසු ලන්සු මිල මහ බැංකුව හිතන ගණනට වඩා අඩුනම් මුළු ප්‍රමාණයම නිකුත් නොකර අඩු ප්‍රමාණයක් නිකුත් කිරීම වගේම මුළු වෙන්දේසියම අවලංගු කර දැමීමත් මහ බැංකුවට කළ හැකි හා කාලයක් තිස්සේ කර ඇති දෙයක්.//
      මෙන්න මේ දේ තමයි වෙන්දේසියෙන් සියලු මුදල් ගත්තම පාඩුවක් වෙනවා කියන එකට දෙන්න පුළුවන් උත්තරේ මට හිතෙන විදියට. කොතනින්ද සීමාව අඳින්නේ. බිලියන 10ක් වෙන්දේසියෙන් ගත්තම පාඩුවක් වෙනවනම් බිලියන 1ක් ගත්තම පාඩුවක් වෙන්නේ නැතිද මිලියන 100ක් වෙන්දේසියෙන් ගැනීමට සාපේක්ෂව?

      Delete
  7. හෙලෝ,
    පුද්ගලයෙකු, ආයතන, ආයතන ආදිය සඳහා ණය ලබා දෙන පුද්ගල ණය දෙන ණයකරුවෙකු වන ජොෂ් හව්ලි මහතා කිසිදු සාධාරණ අයකිරිමකින් තොරව 2% පොලී අනුපාතයකින් .... ඔබේ ණය ගෙවීම සඳහා ඔබට ක්ෂණික ණයක් අවශ්යද? ඔබේ ව්යාපාරය දියුණු කිරීමට ණයක් අවශ්යද? බැංකු හා අනෙකුත් මූල්ය ආයතන විසින් ඔබව ප්රතික්ෂේප කර තිබේද? ඔබට ඒකාබද්ධ ණය හෝ උකසක් අවශ්යද? ඔබගේ මූල්යමය ගැටලු අතීතයේ අතීතය බවට පත් කිරීම සඳහා අප මෙහි සිටින නිසා, ඔබගේ සියළු ගැටලු අවසන් වී ඇත.
    වැඩි විස්තර සඳහා ඊමේල් හරහා (Joshhawleyloanfirm@gmail.com) අපව අමතන්න.

    සත්තකින්ම!

    ReplyDelete

  8. ආයුබෝවන්, මම නීත්යානුකූල හා විශ්වාසනීය සමාගමක නීත්යානුකූල හිමිකරු වන HEINRICH ADAMI මහතා, මම විවේචනාත්මක කොන්දේසි සහ තේරුම්ගත හැකි කොන්දේසි සහ කොන්දේසි ලබා දෙමි. වටිනාකම් සහ ව්යාපාර දර්ශනය පාරිභෝගික සේවා සඳහා ඉතා දැඩි කැපවීමකි, ඉතා උසස් සදාචාර ප්රමිති, අඛණ්ඩතාව සහ විවෘත සන්නිවේදනය. මගේ ගනුදෙනුකරුවන්ට තොරතුරු ලබා දෙන නිදහස් ප්රවාහය දුප්පත් අයට මුදල් ලබා දීම. ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න: [privateloaninvestors@gmail.com] ආකෘති පත්රය පුරවා අප වෙත අප වෙත පැමිණෙන්න * පළමු නම: __________ * නම: ___________ * රැකියාව: __________ * ලිංගය: _________________ * රට: _____________ * මාසික ආදායම: ______ * : _______ * කාලය: ____________ * දුරකථන අංකය: _______ අපගේ ස්වාමීන්ව ඔබ ආරක්ෂා කරයි. සමගම,
    āyubōvan, mama nītyānukūla hā viśvāsanīya s

    ReplyDelete
  9. පෞද්ගලික ණය දැන් අඩු මිල 2% නත්තලට පෙර ඔබේ ව්යාපාර ආරම්භ කිරීමට හදිසි අවස්ථාව ඔබට නත්තල් ණය අවශ්යද? ඔබ සමාගමට හා පුද්ගලයන්ට සෑම දෙයක්ම පිරිනමයි. එබැවින් ඔබට පැය 12 හදිසි හදිසි ණයක් අවශ්ය නම් එය ප්රමාදයකින් තොරව අනුමත කළ හැකිය. නත්තල් නය දැන් 2% ක අඩු පොලී අනුපාතයක් යටතේ: අප අමතන්න [privateloaninvestors@gmail.com] සමාගමේ නම: පුද්ගලික ක්රෙඩිට් සමාගම විද්යුත් ලිපිනය: [privateloaninvestors@gmail.com] කොම්පියුස් පීප්ල්ස් Ed: 517219 ඔබ කැමතිද සියලු හොදම පුද්ගලික ණය ... Wattab +2347010852818

    ReplyDelete
  10. ඔබේ ණය දැන් පැය 48 ක් තුළ ලබා ගන්න

    සුබ දවසක්

    ඔබට ව්‍යවසායකයෙකු වීමට අවශ්‍යද, ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හෝ මහල් නිවාසයක් මිලට ගැනීමට හෝ ඔබ මූල්‍යමය විසඳුමක සිටීද, ඔබේ උදව් දැන් පැමිණේ, ඔබේ සිහිනය නැති වී තිබේද, සූදානම් වීමට උත්සාහ කරමින්, ඔබේ සිහින මැරෙන්නට ඉඩ නොදෙන්න, ෆ්‍රෙඩ් මහතා අමතන්න තවත්, ඉක්මන් සහ විශ්වාසදායක ණයක් සඳහා.

    අපි පහත දැක්වෙන ආකාරයේ ණය ලබා දෙන්නෙමු:

    1 ව්‍යාපාර ණය

    වෙළඳ
    ණය 3 වන මහල් නිවාසය

    ණය 4. ස්වයංක්‍රීය

    ණය 5. වාහන ණය ආදිය.

    100,000.00 සිට 500,000,000,000.00 දක්වා 3% ක පොලී අනුපාතයක් සමඟ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බැරෑරුම් සහ අවංක ගනුදෙනුකරුවන් සඳහා අපි ණය ලබා දෙන්නෙමු.

    අපගේ විද්‍යුත් තැපෑලෙන් (fredmorefinance@gmail.com) ඉක්මනින් අප අමතන්න.

    (fredmorefinance@hotmail.com)

    Whatssap අංකය: +919654763221

    අත්සන් කර ඇත

    අධ්‍යක්ෂක

    ෆ්‍රෙඩ් මහතා තවත්

    ReplyDelete
  11. සුභ දවසක් මගේ ජීවිතයේ මේ සැබෑ ජීවිත කතාව කියවන හැමෝම. මම ක්වේසි ජෙරිකා ප ough ් නම් වන අතර මම ජීවත් වන්නේ ඇමරිකාවේ, දරුවන් දෙදෙනෙකු සිටින තනි මවකි. මම අන්තර්ජාලය තුළ බොහෝ වංචාකරුවන්ට සම්බන්ධ වී ඇති අතර, මගේ වෙහෙස මහන්සියෙන් උපයා ගත් මුදල්, ඒකාබද්ධ ණයක් සොයමින්, එක් විශ්වාසවන්ත රාත්‍රියක් වන තුරු මම යාච් ed ා කළෙමි. දෙවියන් වහන්සේ මාව අන්තර්ජාලයේ මෙම ණය සමාගමට යොමු කළේ බෙවර්ලින් ණය සමාගම, ඊමේල් beverlynloancompany@gmail.com ඔවුන් මාස 8 කට පසු අන්තර්ජාලය හරහා බොහෝ ව්‍යාජ ණය දෙන්නන් සම්බන්ධ කර ගැනීමෙන් පසු මට ඩොලර් 20,000.00USD ක මුදලක් ලබා දී ඇත, කරුණාකර, සමාගම නීත්‍යානුකූල බවට කිසිදු සහතිකයක් හෝ තහවුරු කිරීමකින් තොරව පෙරගෙවුම් ගාස්තුවකින් ණය ලබා ගැනීමට ප්‍රවේශම් වන්න. මට වඩාත් අවශ්‍ය වූ විට මෙම ණය සමාගම මගේ ගැලවීමට පැමිණියේය, මුලදී මම ඔවුන්ව විශ්වාස නොකරමි, නමුත් ඔවුන්ගේ ඉල්ලීම සපුරාලීමෙන් පසු මම සන්තෝෂවත් කාන්තාවක් වීමි. එය ජීවිතයේ වැදගත්ම දෙයයි. අද මම මගේ ණය තහවුරු කර ගන්නා අතර මගේ මහල් නිවාසය ගැන ආඩම්බර වෙමි. මගේ මව සහ මිතුරන් දෙදෙනා මෙම දීමනාවෙන් ප්‍රතිලාභ ලබා ඇති අතර, මෙම ත්‍යාගශීලී දීමනාවෙන් මුළු රටම ප්‍රයෝජන ලබා ගැනීමට මම කැමැත්තෙමි. මෙය මට සහාය වූ ණය සමාගම සඳහා ය, ස්තූතියි, මෙන්න ඔවුන්ගේ සම්බන්ධතා තොරතුරු beverlynloancompany@gmail.com.

    ReplyDelete
  12. හෙලෝ; මම එලිසා රිවේරා, මම ණය නිලධාරියෙක් වන අතර මම මූල්‍ය වෙළඳපොළ සේවය නියෝජනය කරමි. කිසියම් හේතුවක් නිසා ඔබට මූල්‍ය ආධාර අවශ්‍යද? ඔබේ පිළිතුර ඔව් නම්, මගේ ණය වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා අද මගේ සමාගම හා සම්බන්ධ වීමට නිදහස් වන්න; විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්න
    (financialmarketservice@gmail.com).

    ඇයි අපි අහන්නේ ඇයි අපි? අපගේ මාර්ගගත ප්‍රාග්ධන වැඩසටහන අන් සියල්ලටම වඩා වෙනස් බව දැන් ඔබ දැනගත යුතුය.
    මෙන්න අපගේ කාරක ප්‍රාග්ධන වැඩසටහන වෙනස් වන්නේ කුමක් ද යන්න පමණි.

    ඉක්මන් අයදුම් කිරීමේ ක්‍රියාවලිය
    පැය 24 ක් වැනි කෙටි කාලයක් තුළදී
    ඩොලර් 500,000 දක්වා ලබා ගන්න
    ස්වයංක්‍රීය ගෙවීම්
    - අවශ්‍ය නැත
    ඉතා වැදගත්, සැඟවුණු ගාස්තු නොමැත
    - හොඳ ප්‍රවෘත්ති යනු වසංගතය අපගේ වේගවත් සේවා ණය දීමනාවයි.


    අනපේක්ෂිත මූල්‍ය සිදුවීම් සිදුවන බව අපට වැටහී ඇති අතර, අපි මෙහි පැමිණියේ උදව් කිරීමට ය.
    ඔබට ණය තහවුරු කර ගැනීමට, අනපේක්ෂිත වෛද්‍ය වියදම් ගෙවීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවුලේ නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය වුවත්, ඔබගේ හේතු කුමක් වුවත්, අපි තේරුම් ගනිමු.
    මූල්‍ය වෙළඳපොළ සේවයේ අපගේ ඉලක්කය වන්නේ කාලෝචිත ආකාරයකින් පුද්ගලික ණය, ව්‍යාපාර ණය සහ උකස් ණය 2% ක දැරිය හැකි පොලී අනුපාතයකට ලබා දීමයි.
    සම්පූර්ණ විස්තර සඳහා විද්‍යුත් තැපෑලෙන් අදම අප හා සම්බන්ධ වන්න
    financialmarketservice@gmail.com

    අවංකවම

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.