Monday, September 19, 2016

ලංකාවට වෛද්‍යවරු ප්‍රමාණවත්ද?

ඉල්ලුම් සැපයුම් බලවේග නිදහසේ තුලනය වන වෙළඳපොළක් නොවන ලංකාවේ වෛද්‍යවරුන් සඳහා වන වෙළඳපොළ කිහිප අයුරකින්ම නියාමනයට ලක්වන්නකි. පළමුව වෛද්‍ය අධ්‍යාපනයේ මිල සුබසාධනය කිරීම හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම වැඩි කර තිබේ. දෙවනුව, එහිම ප්‍රමාණය සීමා කිරීම මඟින් ඉල්ලුම හා සැපයුම අතර විශාල පරතරයක් ඇති කර තිබේ. තෙවනුව, වෛද්‍යවරුන්ට රැකියා සැපයීම කෙරෙහි ඇති රාජ්‍ය ඒකාධිකාරය උපයෝගී කර ගනිමින් රටේ වෛද්‍ය වෘත්තිකයින් ප්‍රමාණය හා ඔවුන්ට ගෙවන මිල පාලනය කර තිබේ. මේ අතර, දැනට රාජ්‍ය සේවයේ රැකියා කරන වෛද්‍ය වෘත්තිකයෝ කාටලයක් ලෙස ක්‍රියා කරමින් මෙසේ රජය විසින් පවත්වාගෙන යනු ලබන මිල හා ප්‍රමාණ රෙගුලාසිකරණයට බලපෑම් කරති. කෙසේ වුවද, ඔවුහු මේ වෙළඳපොළේ ඇති රාජ්‍ය ඒකාධිකාරය බිඳීමට උත්සාහ නොකරති. මෙවැනි අච්චාරුවක් වී ඇති වෙළඳපොලක පවතින සමතුලිතතාවය විශ්ලේෂණය කිරීම තරමක් සංකීර්ණ වැඩකි.

ලංකාවට වෛද්‍යවරු ප්‍රමාණවත්ද යන ප්‍රශ්නයට ඇත්තේ සාපේක්ෂ පිළිතුරකි. උදාහරණයක් ලෙස, ලෙඩ වීම දෙවියන්ගේ කැමැත්ත නිසා හෝ කර්මය නිසා වන බවත්, ප්‍රතිකාර ගැනීම යනු ඒ බලවේග වලට විරුද්ධ වීමක් බවත් සමාජයේ හැම දෙනාම සිතනවානම් රටකට වෛද්‍යවරු අවශ්‍යම නැත. එහෙත්, ලෝකයේ වැඩි දෙනෙකු එසේ නොසිතති. ඒ නිසා ලෝකයේ හැම රටකම වෛද්‍යවරුන් සඳහා කිසියම් ඉල්ලුමක් ඇත. ලංකාවේ ප්‍රමාණවත් තරමට වෛද්‍යවරු සිටිනවාද යන්න විමසීමේදී කිසියම් අයෙකුට ආනුභාවික දත්ත ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍යනම් කළ යුතු හොඳම දෙය වෙනත් රටවල හා කලාප වල පවතින තත්ත්වය සමඟ සැසඳීමයි.

පහතින් ඇත්තේ එවැනි අවශ්‍යතාවයක් ඇති අයෙකුට මූලාශ්‍ර කර ගත හැකි සංසන්දනාත්මක ලෝක බැංකු දත්ත අනුව එක් එක් තෝරාගත් රටේ හෝ කලාපයේ ජනගහණයෙන් දස ලක්ෂයකට සිටින වෛද්‍යවරු ගණනයි. වරහන් තුල ඇත්තේ වඩාත්ම යාවත්කාලීන දත්තය හා අදාළ වසරයි. තෝරාගත් රටවල් අතර නිදහස් සෞඛ්‍ය පහසුකම සියල්ලන්ටම ඇති හා නැති සංවර්ධිත රටවල්, පැරණි හා වත්මන් සමාජවාදී රටවල්, මුස්ලිම් රටවල්, කලාපීය රටවල් හා අඩු ආදායම් රටවල් ඇතුළත්ය.

ශ්‍රී ලංකාව -  680 (2010)
ඉන්දියාව - 743 (2011)
පකිස්තානය - 827 (2010)
මාල දිවයින - 1,415 (2010)
දකුණු ආසියාව - 675 (2011)
පහළ මැදි ආදායම් රටවල් - 754 (2011)
ලෝකය - 1,539 (2011)

චීනය - 1,940 (2012)
කියුබාව - 6,723 (2010)
රුසියාව - 4,309 (2010)
යුක්‍රේනය - 3,543 (2013)

ඇමරිකා එක්සත් ජනපදය - 2,452 (2011)
කැනඩාව - 2,068 (2010)
එක්සත් රාජධානිය - 2,809 (2013)
ජපානය - 2,297 (2010)
ඕස්ට්‍රේලියාව - 3,273 (2011)
ස්වීඩනය - 3,926 (2011)
සිංගප්පූරුව - 1,950 (2013)

සවුදි අරාබිය - 2,491 (2012)
කටාර් - 7,739 (2010)

උගන්ඩාව - 117 (2011)
සිම්බාබ්වේ -  83 (2011)

කිසියම් කර්මාන්තයක සුපිරි ලාභ ලැබීමේ ඉඩකඩක් පවතීනම් එයින් අදහස් වන්නේ එම කර්මාන්තයේ සැපයුම් හිඟයක් පවතින බවයි. යම් කර්මාන්තයක් කෙරෙහි අළුත් ව්‍යවසායකයන් විශාල ලෙස ආකර්ෂණය වන්නේනම් එයින් පෙන්නුම් කරන්නේ එම කර්මාන්තයේ සුපිරි ලාභ ඇති බවයි. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ වලට ඇතුළු වීමට ඇති විශාල තරඟය අමතක කළත්, මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබාගෙන මෙම කර්මාන්තයට පිවිසීමට ඇති විශාල ඉල්ලුමෙන් පෙනෙන්නේ මෙම කර්මාන්තයෙහි ආයෝජනයට හා අවදානමට සරිලන නිසි ලාභ ඉක්මවන සුපිරි ලාභ ඇති බවයි.


(Image: okpolicy.org)

17 comments:

  1. ඉහත ලැයිතුවේ රටවල වෛද්‍යවරයෙක් වෙන්න කොච්චර කාලයක් වෛද්‍ය විද්‍යාව හැදැරිය යුතුද? ලංකාවේ ඉස්සර කලා වගේ අඩු කාලයක් පුහුණුවූ සහකාර වෛද්‍ය වරුන් (නිළධාරීන්) වෙන රටවල නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේනම් අවම අවුරුදු 9ක් ගතවේ. මුලින්ම වසර 4ක උපාධියක් හැදෑරීමෙන් පසු වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ පරීක්ෂණයෙන් සමත්ව තවත් වසර 4ක් ඉගෙනීමෙන් පසු සීමාවාසික පුහුණුවද සම්පූර්ණ කළ යුතුය. ඉන් පසුවද වැඩි දෙනෙකු තමන්ගේ විශේෂිත අංශයේ වසර 2ක් පමණ උගනිති. මේ අයුරින්ම ඇමරිකාවේ නීතිඥයෙකු වීමටද වසර 4ක දෙවන උපාධියක් හැදෑරිය යුතුය. වෙනත් බොහෝ රටවලද මේ කාලය ලංකාවට වඩා වැඩි මිස අඩු නොවන බව මගේ අදහසයි. අඩුම වශයෙන් එම කාලයමවත් විය යුතුයැයි සිතමි.

      Delete
    2. කැනඩාවේ ද මේ තත්වය පවතී. මුලික උපාධියක් අවසන් කිරීමෙන් අනතුරුව, වෛද්‍ය උපාධිය හැදෑරිය යුතුවේ. මේ සඳහා අවුරුදු 8-9 අතර කාලයක් ගතවේ. එසේම මෙතරම් දිගු පාඨමාලාවක් හැදෑරීමට තමාගේ ශ්‍රමය කාලය සහ විශාල මුදලක් වැයකිරිමටද සිදුවේ. ඒ සඳහා සහන ණය ක්‍රමයක් ඇති නමුත්, මාගේ වැටහීම පරිදි, ඒ මුදල නැවත ගෙවීමට වසර දහයක් වත් අවශ්‍යවේ. එසේම වෛද්‍යවරුන්ට රජයේ රැකියා සැපයිමක් නොමැත. එක්තරා කාලසීමාවක්, ප්‍රධාන රෝහල් වල සේවය කලයුතුය. එසේම, වෛද්‍ය වෘත්තිය ඉතා අපහසු කාර්‍යයකි . රෝගියාට ඇති අයිතිවාසිකම් බොහෝමය. එනිසා, තමාගේ ඒකායන බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වීමට අවශ්‍යතාවය ඇති අයවලුන් හැර, අනෙක් අය මේ වෘත්තිය තෝරා නොගනී. මන්ද, මීට වඩා බොහෝ කෙටිකාලින පාඨමාලා හැදෑරීමෙන්, ආර්ථික වශයෙන් ස්ථාවර වීමට ඉක්මනින් හැකි බැවිනි.

      Delete
    3. ඔව්, හර්මන්. කැනඩාවේත් වෛද්‍ය උපාධිය දෙවන උපාධියක්. ලංකාවට කිට්ටු ආදායම් මට්ටමක් ඇති ආසියාතික රටක් වන පිලිපීනය වැනි තැන්වලත් තියෙන්නේ එවැනි තත්ත්වයක්. ඔබේ කමෙන්ට් එකේ වැදගත්ම කොටස මේකයි.

      //එනිසා, තමාගේ ඒකායන බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වීමට අවශ්‍යතාවය ඇති අයවලුන් හැර, අනෙක් අය මේ වෘත්තිය තෝරා නොගනී. //

      අධ්‍යාපනයේ පිරිවැය තමන් විසින්ම දරන විට යමෙක් එය කරන්නේ හරියටම එයින් තමන්ට ලැබෙන වාසියේ ප්‍රමාණයටයි. ඒ නිසා අන්තිමේදී කවර විෂයයක් ඉගෙන ගත්තත් ගන්නා අවදානම සහ ආයෝජනයේ ප්‍රතිඵල ලැබෙන්න යන කාලය සැලකූ විට මොනවා කළත් විශේෂ වාසියක් නැහැ. වෛද්‍ය වෘත්තියෙකු ලොකු ආදායමක් ලැබුවත් කර ඇති ආයෝජනයට සාපේක්ෂව ප්‍රතිලාභ අනුපාතිකය ගොඩක් වැඩි නැහැ. ඒ නිසා ඇත්තටම ඒ වෘත්තියට කැමැත්තක් නැති කෙනෙක්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පෙළඹීමක් ඇති වන්නේ නැහැ.

      Delete
  2. // ---රාජ්‍ය විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ සිසුන් “දේශප්‍රේමීන්“ බවත් ඔවුන් පොදු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් කැපවී සිටින බවත්ය. මෙම “දේශප්‍රේමීන්“ ගෙන් අති බහුතරය වෛද්‍ය පීඨයන්ට ප්‍රවේශ වන්නේ ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, සහ ඇමරිකාවට සංක්‍රමණය වීමේ බලාපොරොත්තුවෙනි. වසර 2013 සැප්තැම්බරයේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 374 ක නියැදියක් ආශ්‍රිතව කරන ලද පර්යේෂනයකින් මේ බව තහවුරු වී තිබේ.
    ලක්ෂිත ද සිල්වා, කේෂානි සමරසේකර ඇතුළු පිරිසක් මෙම පර්යේෂනය සිදුකළ අතර ඔවුන්ගේ පර්යෝෂන පත්‍රිකාව ‘වෛද්‍ය බුද්ධිගලනය‘ නමින් වසර 2014 දෙසැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කෙරිණ.
    මෙරට රජයේ වෛද්‍ය පීඨයක සිසුවෙකුට මූලික එම්.බී.බී.එස්. උපාධියක් ලබා ගැනීම සඳහා රජය රුපියල් ලක්ෂ 75 ක් පමණ වැය කරයි. ඒ මෙරට පොදු ජනතාවගේ බදු මුදල් ය. එසේ මූලික වෛද්‍ය උපාධිය ලබා ගන්නා “දේශප්‍රේමීන්“ ගෙන් 56% ක් විදේශ රටවලට සංක්‍රමණය වීමට තීරණය කරන බව එකී පර්යේෂන පත්‍රිකාවේ දැක්වේ. ඒ අතරින් 23.8% ක් විදේශ ගත වීමට ශපථ කරති. විදේශ ගත වීමට තීරණය කර තිබෙන සිසුන් අතරින් 68% කගේ අරමුණ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමයි. තවත් 48% කට අවශ්‍ය වන්නේ වඩාත් ඉහළ ආදායමක් ලබා ගැනීමයි//

    ReplyDelete
    Replies
    1. මා අද අනිත් පැත්තේ මේ සමීක්ෂණය ගැනත් ලිවුවා, ඇනෝ. එයින්ම ගත් තොරතුරු මත ලියූ තවත් සටහනක් පළවීමට නියමිතව තියෙනවා.

      http://economatta.blogspot.com/2016/09/blog-post_19.html

      //කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වසර, සිවුවන වසර හා පූර්ව-සීමාවාසික පුහුණුව ලබන 'වෙන්ඩ දොස්තරලා' 374 දෙනෙකු යොදාගෙන සිදු කළ සමීක්ෂණයකට අනුව මේ නියැදියෙන් 89 දෙනෙකු (23.8%) විදෙස් රටකට සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටිති. මොවුන්ගෙන් තුනෙන් එකක් පමණ (34.8%) ලංකාවේදී පශ්චාත් උපාධියක් ලබාගැනීමෙන් පසුවත්, තවත් 46%ක් සීමාවාසික පුහුණුව අවසන් කළ වහාම හෝ තවත් අවුරුද්දක් දෙකක් ලංකාවේ සේවය කර ආරම්භක ප්‍රාග්ධනයක් සොයා ගැනීමෙන් පසු පශ්චාත් උපාධි සඳහා නොරැඳී විදේශගත වීමට සූදානමෙන් සිටිති. කිසියම් දිනක ලංකාවේ සේවය කිරීමේ අවස්ථාවද නැති කරගනිමින් සීමාවාසික පුහුණුව නොලබාම රටින් පිටවීමට බලා සිටින කිහිපදෙනෙක්ද (6.7%) මේ අතර සිටිති. මේ වෙන්ඩ දොස්තරලාගේ ජනප්‍රියම ගමනාන්ත වන්නේ ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය හා එංගලන්තයයි.

      ඉහත කී ලෙස රටින් පිට වීමට තීරණය කර සිටින කණ්ඩායමට අමතරව තවත් සැලකිය යුතු පිරිසක් (32.4%) දෙපැත්තට වැනි වැනී සිටින අයයි. ලංකාවේ සිටීමට තීරණය කර ඇති අයගෙන්ද 17.3%ක් මුලින් සංක්‍රමණය වීමේ අදහසින් සිට පවුලේ ඥාතීන් හා සමීපව සිටීමේ උවමනාව ප්‍රධාන වෙනත් හේතු මත මුල් අදහස වෙනස් කරගත් අයයි.//

      Delete
    2. ලංකාවේ වෛද්යවරුන් කෙරේ දක්වන ආකල්පය අමුතුම මාදිලියේ එකක් බව කිව යුතුය.

      එක් අතකින් වෛද්‍ය වෘත්තිය අනිත් රැකියා වලට වඩා වෙනසක් නැති, විශේෂ පහසුකම් (කාර් පර්මි වැනි ) ලබා නොදිය යුතු, එතරම් වැදගත් කමක් හෝ පිලිගැනීමක් නැති රැකියාවක් බව කීමට මහන්සි වෙති ( සමහරුන්ට අනුව දොස්තර වැඩේ නර්ස්ගෙන් කර ගත හැක ). උදාහරන ලෙස ලංකාවේ පීඨවලින් බිහිවන වෛද්‍යවරුන්ට විදේශ ගත වීමට තරම් පිලිගැනීමක් නැති බව ප්‍රසිද්දියේ කියා ඇත.

      නමුත් ඒ අතරම වෛද්‍යවරු මහජනයාගේ මුදලින් ඉගෙන ගන්නා බවත්, ඒ මුදල් වංචා කරනිසා රට පනින බවත් චෝදනා කරති. මේ අමුතුම චෝදනාව එන්නේ අනිවාර්යෙන් ලංකාවේ සේවය කිරීමට බැඳී නැති අනෙකුත් උපාධිදාරීන් (ඉංජිනේරු, විද්‍යා, පරිගනක විද්‍යා ආදී ) දහස් ගනනක් රටේ වැඩි කලක් නොසිට පිට රට යන තත්වයක් මත වීම මෙහි ඇති ලොකුම විකාරය බව කිව යුතුය.

      එසේම වෛද්‍යවරු රටක රැඳීමට ඔවුන්ට රටේ ලැබෙන හේතු වේ. උදාහරන ලෙස මේ වන විට එංගලන්තේ වෛද්‍යවරු විදේශ ගත වීම වැඩි වී ඇත. තිබෙන වැඩ වැඩි වීම, පඩිය සාපේක්ෂව අඩු වීම හා මහජනයාගෙන් ලැබෙන අයහපත් ප්‍රතිචාර ආදිය නිසා වඩා හිතකර ඔස්ට්‍රේලියාව හෝ එක්සත් ජනපදය වැනි රටවලට වෛද්යවරු යාමට පටන් ගෙන ඇත.

      එංගලන්තේ වෛද්‍ය අධ්‍යාපනයද සහනාධාර මත තිබෙන්නකි. එංගලන්තේ වෛද්ය සේවයද සෑහෙන දුරට රාජ්‍ය එකාධිකාරයක් මත සහන ලෙස ලැබෙන්නකි. එසේ රජය මත රඳා නොපවතින එක්සත් ජනපදයේ වෛද්ය පහසුකම් මිල අධික නමුත් වියදමය සරිලන නැති සේවයක් සහිත රටකි. නමුත් වෛද්‍යවරුන්ට නම් එක්සත් ජනපද ඉහල වැටුප් ලැබෙන බොහෝ සැපදායක තැනකි.

      Delete
    3. //ලංකාවේ වෛද්යවරුන් කෙරේ දක්වන ආකල්පය අමුතුම මාදිලියේ එකක් බව කිව යුතුය.//
      වෙනත් කරුණු හා අදාළවද මෙවැනි මෙවැනි අතාර්කික "තර්ක" අඩු නැතුව ඉදිරිපත් වේ. මෙවැනි අය කරන්නේ තමන්ගේ පූර්ව විනිශ්චය තහවුරු කිරීම සඳහා මොනවා හෝ කීමයි. මේ කරුණ ගත්තොත් දැනට වැඩි පිරිසක් දරන ස්ථාවරය සේ පෙනෙන වෛද්‍යවරුන්ගේ ක්‍රියාපිළිවෙල වැරදියයි කියන ඇතැම් අය මෙන්ම ඇතැම් වෛද්‍යවරුද මේ අයුරින් තමන්ගේ වාසියට අතාර්කික අදහස් දමා ගසති. මෑතකදී පාසැල් ප්‍රශ්නය ගැන වෛද්‍ය සංගමය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණේ ඔවුන් ඉල්ලන්නේ රජයට කිසිදු පිරිවැයක් දරන්නට නොවන දෙයක් බවයි. මෙහිදී ඔවුහු තමන් මේ දෙය ලබාගන්නා විට (පාසැල් වල කෝටාව) වෙනත් පිරිසකට "ආවස්ථික පිරිවැයක්" දරන්නට වන බව නොකියති.

      //නමුත් ඒ අතරම වෛද්‍යවරු මහජනයාගේ මුදලින් ඉගෙන ගන්නා බවත්, ඒ මුදල් වංචා කරනිසා රට පනින බවත් චෝදනා කරති.// මෙය වැරදි චෝදනාවකි. රට තුළ රැඳී සිටීම හෝ සංක්‍රමණය වීම ඕනෑම පුද්ගලයෙකුගේ අයිතියකි. එහෙත්, රජය සමඟ කිසියම් ගිවිසුමක් ඇත්නම් එය කඩ කිරීම වරදකි. පළමුව, මේ "මහජනයා" කවුද කියන ප්‍රශ්නය මතුවේ. මෙසේ කියන අයට අනුව, "මහජනයා" යනු සරසවි යාමට නොහැකි වූ අයයි. එය නිවැරදි නැත. ඔය කියන මහජනයාගේ මුදල් වලට සරසවි යන අයගේ හා ඒ අයගේ දෙමවුපියන්ගේ මුදල්ද අයිතිය. මේ සියළු දෙනාගේම මුදල් යොදවා සීමිත පිරිසකට ලබා දෙන වාසියක් දිනා ගැනීමේ තරඟයෙන් පිරිසක් පැරදී ඇති අතර පිරිසක් ජයගෙන තිබේ. මෙසේ කියන බොහෝ අය මේ වාසිය ලබා ගැනීමට උත්සාහ කර තරඟයෙන් පැරදුණු අය මිස ඒ අවස්ථාව මුල සිටම ප්‍රතික්ෂේප කළ අය නොවේ. අයෙක් ලොතරැයියක් දිනූ පසු පැරදුනු අය "ඔය අපේ සල්ලි" කීම තේරුමක් නැති දෙයකි. දෙවනුව, නිදහස් අධ්‍යාපනය යනු දැනට රැකියාවක් කරන වැඩිම වයස්ගත අය පවා ඉපදෙන විටම තිබුණු තත්ත්වයක් මිස ඔවුන් බලහත්කාරයෙන් හෝ "රටට සේවය කිරීමේ පොරොන්දුව මත" ලබා ගත් දෙයක් නොවේ. රජයේ සරසවියකට යන අය කරන්නේ පවතින තත්ත්වය යටතේ තමන්ට ගත හැකි වඩාත්ම වාසිදායක දෙය කිරීමයි. නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම් ඔවුන් ඒ තත්ත්වය යටතේද තමන්ට ගත හැකි වඩාත්ම වාසිදායක තීරණය ගනු ඇත. එය පුද්ගල ස්වභාවයයි. ඒ නිසා මෙහි වැරැද්දක් තිබේනම් ඒ වැරැද්ද තිබෙන්නේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමයේ මිස එම ක්‍රමයෙන් වාසි ගන්නා පුද්ගලයන්ගේ නොවේ.

      //එසේම වෛද්‍යවරු රටක රැඳීමට ඔවුන්ට රටේ ලැබෙන හේතු වේ.// මේ ඡේදයේ ඇති කරුණු වලට එකඟයි.

      //එසේ රජය මත රඳා නොපවතින එක්සත් ජනපදයේ වෛද්ය පහසුකම් මිල අධික නමුත් වියදමය සරිලන නැති සේවයක් සහිත රටකි. නමුත් වෛද්‍යවරුන්ට නම් එක්සත් ජනපද ඉහල වැටුප් ලැබෙන බොහෝ සැපදායක තැනකි.//
      ඇමරිකාවේ එංගලන්තයේ තරම් අධ්‍යාපනය සුබසාධනය නොකෙරුණත් එය සැලකිය යුතු තරමකට සිදු වේ. වෘත්තිකයින් ලෙස ඇමරිකාවේ වැඩිම ආදායමක් ලබන්නේ වෛද්‍යවරුන්ය. එහෙත්, ඔවුන් ඒ වෙනුවෙන් කළ යුතු ආයෝජනය, ගන්නා අවදානම හා වැඩි පැය ගණනක් වැඩ කිරීම යන කරුණු සැලකූ විට මෙහි සැලකිය යුතු විශේෂයක් නැත. ළමා රෝග වැනි ඇතැම් අංශ වල ලැබෙන ආදායම සිදුකරන ආයෝජනයට හා අවදානමටද ප්‍රමාණවත් නැත. ඇමරිකාවේ බොහෝ විට වෛද්‍යවරයෙකු වන්නේ එම වෘත්තියට කැමති කෙනෙකි. එසේ නොවන කෙනෙකුට වෛද්‍යවරයෙකු වීම වාසිදායක දෙයක් නොවේ. (මේවා අනුභාවික දත්ත මත කියන දේවල් මිස මා හිතන දේවල් නොවේ.) එමෙන්ම, වෛද්‍යවරුන් අතර සැලකිය යුතු ආදායම් විෂමතා තිබේ. ඇමරිකාවේ වෛද්‍යවරුන්ගෙන් අඩක්ම තමන්ගේ ආදායම ගැන සෑහීමකට පත් නොවෙති. (එහෙත්, එයින්ද වැඩි දෙනෙකු එම වෘත්තිය තෝරා ගැනීම ගැන සතුටු වෙති.) මා හිතන පරිදි ලංකාවේ වෛද්‍යවරුන් අතරද විශාල අදායම් විෂමතා තිබේ. කොටසක් විශාල ආදායම් ලැබුවද, යම් පිරිසකගේ ප්‍රධාන ආදායම රජයෙන් ලැබෙන වැටුප බව මගේ අදහසයි. එහෙත්, ලංකාව හා අදාළ දත්ත මා සතු නැති නිසා වැඩි යමක් කිව නොහැකිය.

      Delete
  3. ලාභය වගේද ඉකෝ ළමයෙක් ඩොකෙක් වෙන්න කන කට්ටයි, ඊට පස්සේ කන කට්ටයි එක්ක බැලුවම.. මට නම් පවු කියලා හිතෙනවා.. හම්බ කරන සල්ලි වලින් ජිවිතේ සතුට විඳින්න ලැබෙන ඉඩ අඩු කම දැක්කම.....

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක ඇත්ත. මේ කන කට්ට අමතක කර සංසන්දනය කිරීම නිවැරදි නැහැ. ඒත්, වෘත්තියට ඇතුළු වීමට ඇති විශාල ඉල්ලුමෙන් පෙනෙන්නේ මේ කට්ට කෑමෙන් අනතුරුවත් ඉතිරිවන සැලකිය යුතු වාසි ඇති බවයි.

      Delete
    2. මට නම් හිතෙන්නේ ඉකෝ වාසිය තියෙන්නේ "මම දොස්තර කෙනෙක්", "මගේ පුතා/දුව/බැනා/ලේලි දොස්තර කෙනෙක්" , "මගේ වයිෆ් දොස්තර කෙනෙක්" , "මගේ හස්බන්ඩ් දොස්තර කෙනෙක්" වගේ කියන සාමාජ තල වල ඉහළ පිලිගැනීම ගන්න අර කට්ට කෑම අමතක කිරීම..ඔය සමාජයේ ඉහළ පිලිගැනීම සහ තමන්ට ගෙයක් වාහනයක් අනිත් වරප්‍රසාද ඕනම් රස්සාවකින් ලැබුනොත් මේ තියන ඉල්ලුම අඩු වෙලා දොස්තර කෙනෙක් වෙන්න විතරක් කට්ට කන්න කැමැති අය විතරක් ඔය කට්ට කාවි.. කවුද ඉකෝ අකැමැති ලේසියෙන් ජිවිතේ දිනන්න..සමාජයේ ඉහළට එන්න. කාගෙත් පිළිගැනිම ලබාගන්න.. කැපිලා පේන්න..මේ මට හිතෙන දේ ඉකෝ..

      Delete
    3. මේ ඉහළ පිළිගැනීමද ලංකාවේදී දොස්තරලා ලබන වාසියේ කොටසකි. වෘත්තියට ඇති ඉල්ලුමට මුදල් වාසි මෙන්ම මෙවැනි මුදල් නොවන වාසිද හේතු වේ.

      Delete
  4. මේ ඉකොනෝ ඉදිරිපත් කරලා තියෙන දත්ත දිහා බැලුවම පේනවා ලංකාවේ ජනගණයට සාපේක්ෂව වෛද්‍යවරු අඩු බව කලාපයේ අනෙක් රටවල් එක්ක බැලුවමත්.මේ ඉල්ලුම නිසාත් වෛද්‍යවරුන්ට රටතුල තියෙන සුවිශේෂී තත්වයන් නිසාත් බොහෝ දෙනෙක් තමන්ගේ ඉලක්කයක් බවට පත් කරගන්නවා වෛද්‍යවරයකු වීම.ඒ වෙනුවෙන් කිසියම් පිරිවැයක් දරන්න උනත් ඔවුන් ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. ඒ තරම් දෙයක් ඕනෑත් නැහැ. වෛද්‍යවරුන් ළඟ තියෙන පෝලිම්ම හොඳ සාක්ෂියක්.

      Delete
  5. බ්‍රිතාන්‍ය ක්‍රමයේ සියලු දෙනා පශ්චාත් පුහුනුව ලබා consultant/ surgeon (පශ්චාත් උපාධි සඳහා ගතවන අවම කාලය අවුරුදු 8) or GP (පශ්චාත් උපාධි සඳහා ගතවන අවම කාලය අවුරුදු 5) බවට පත් විය යුතුය. නමුත් ලංකාවේ පශ්චාත් පුහුනුවට ඇති ඉඩ කඩ සීමිතය. මම දන්නා ආකාරයට PGIM යනුවෙන් ගැඳින්වෙන කොළඹ වි.වි. ආයතනය මේ සඳහා ඇති එකම ආයතනය වේ.

    පශ්චාත් පුහුනුව අනිවාර්‍ය නිසා බ්‍රිතාන්‍ය වෛද්‍ය අධ්‍යාපන ලංකාවේ තරම් අසීරු නොවන බවට කතාවක් ඇත.

    වෛද්‍යවරයෙකු වීමට ඇති උනන්දුව ගත් විට එය මුදල් මතම රඳා නොපවතින බව මගේ හැඟීමයි. වෛද්‍යවරයකු වීම කුමන රටේ වුවද ගෞරවනීය වෘත්තියකි. එසේම ඕනම රටක හොඳ ආර්තික තත්වයක් ලැබිය හැකි රැකියාවකි. ආර්ථික තත්වයට වඩා දෙයක් මෙහි ඇති බව මට හිතෙන්නේ මුදල් සෙවීමට නම් මෙයට වඩා ලේසි වැදගත් ක්‍රම තිබෙන බැවිනි.


    වෛද්ය උපාධි ගත් කල එය අනිත් බොහෝ උපාධි වලින් වෙනස් වන්නේ ප්‍රායෝගික පැත්තට එහි ඇති බර බව නිසාය. සිසුන් 2/3 වසර වල සිට වාට්ටු වලට යාමට පටන් ගන්නා අතර සමහරවෙලාවට රාත්‍රී 10 හෝ 12 වෙනතුරු රෝහලේ සිටිති. සමහරවෙලාවට සෙනසුරාදාත් මේ ක්‍රියාව කල යුතුය.

    මේ රෝහලේ ගත කරන කාලය බොහෝ විට ප්‍රසන්න කාලයක් නොවේ. අපහාස උපහාස බැනුම් ගුටි ටොකු යනාදිය මේ කාලය තුල සාමාන්‍ය දේවල් වේ. රෝහල් වාට්ටු හෝ සායන තුල ලෙඩ්ඩු හෝ අනිත් සේවකයන් මැද්දේම මේ ව්දින්නට සිදු වේ ( මේ ලඟදී වාට්ටුව මැද දන ගස්සා තිබූ වෛද්‍ය සිසුවෙක් ගැනත් අසන්නට ලැබුනි ). එසේම ඉතාමත් සුලු කාරනයකට පවා "ෆේල්" (repeat) කිරීම මෙහිදී කරනු ලැබේ .මගේ දැනුමේ තරමට මේ තරම් දැඩි නීති යටතේ තිබෙන වෙනත් උපාධි නොමැත.


    ලංකාවේ වෛද්යවරුන් කෙරේ දක්වන ආකල්පය අමුතුම මාදිලියේ එකක් බව කිව යුතුය.

    එක් අතකින් වෛද්‍ය වෘත්තිය අනිත් රැකියා වලට වඩා වෙනසක් නැති, විශේෂ පහසුකම් (කාර් පර්මි වැනි ) ලබා නොදිය යුතු, එතරම් වැදගත් කමක් හෝ පිලිගැනීමක් නැති රැකියාවක් බව කීමට මහන්සි වෙති ( සමහරුන්ට අනුව දොස්තර වැඩේ නර්ස්ගෙන් කර ගත හැක ). උදාහරන ලෙස ලංකාවේ පීඨවලින් බිහිවන වෛද්‍යවරුන්ට විදේශ ගත වීමට තරම් පිලිගැනීමක් නැති බව ප්‍රසිද්දියේ කියා ඇත.

    නමුත් ඒ අතරම වෛද්‍යවරු මහජනයාගේ මුදලින් ඉගෙන ගන්නා බවත්, ඒ මුදල් වංචා කරනිසා රට පනින බවත් චෝදනා කරති. මේ අමුතුම චෝදනාව එන්නේ අනිවාර්යෙන් ලංකාවේ සේවය කිරීමට බැඳී නැති අනෙකුත් උපාධිදාරීන් (ඉංජිනේරු, විද්‍යා, පරිගනක විද්‍යා ආදී ) දහස් ගනනක් රටේ වැඩි කලක් නොසිට පිට රට යන තත්වයක් මත වීම මෙහි ඇති ලොකුම විකාරය බව කිව යුතුය.

    එසේම වෛද්‍යවරු රටක රැඳීමට ඔවුන්ට රටේ ලැබෙන හේතු වේ. උදාහරන ලෙස මේ වන විට එංගලන්තේ වෛද්‍යවරු විදේශ ගත වීම වැඩි වී ඇත. තිබෙන වැඩ වැඩි වීම, පඩිය සාපේක්ෂව අඩු වීම හා මහජනයාගෙන් ලැබෙන අයහපත් ප්‍රතිචාර ආදිය නිසා වඩා හිතකර ඔස්ට්‍රේලියාව හෝ එක්සත් ජනපදය වැනි රටවලට වෛද්යවරු යාමට පටන් ගෙන ඇත.

    එංගලන්තේ වෛද්‍ය අධ්‍යාපනයද සහනාධාර මත තිබෙන්නකි. එංගලන්තේ වෛද්ය සේවයද සෑහෙන දුරට රාජ්‍ය එකාධිකාරයක් මත සහන ලෙස ලැබෙන්නකි. එසේ රජය මත රඳා නොපවතින එක්සත් ජනපදයේ වෛද්ය පහසුකම් මිල අධික නමුත් වියදමය සරිලන නැති සේවයක් සහිත රටකි. නමුත් වෛද්‍යවරුන්ට නම් එක්සත් ජනපද ඉහල වැටුප් ලැබෙන බොහෝ සැපදායක තැනකි.

    මගේ මතය හැටියටනම් ලංකාව තුල වෛද්‍ය අධ්‍යාපනය, බ්‍රිතාන්‍ය වෛද්‍ය අධ්‍යාපනයට සමාන කිරීමෙන් (පශ්චාත් උපාධි අවස්ථා වැඩි කිරීමෙන් ) ගොඩක් ගැටලු විසඳිය හැක. එසේම බොහෝ රටවල විකිනිය හැකි දක්ෂතා සහිත කොටසක් වන වෛද්‍යවරුන්ට ලැබෙන පහසුකම් කැපීමෙන් හෝ හතර අතේ බැනීමෙන් ලංකාවේ වෛද්ය සේවය වඩා යහපත් කල හැකිද යන්න මට සැක සහිතය .

    ඕස්ට්‍රලියාවේ සතියකට පැය 37 ගනනේ වැඩ කර වසරකට ලක්ෂ 55 හොයා ගත හැකි කනිෂ්ඨ වෛද්‍යවරයෙකුට ලංකාවේ මීට වඩා බොහෝ අඩු පඩියකට ලබමින් අයහපත් තත්ව යටතේ අනාගත බලාපොරොත්තු අඩුවෙන් සතුටින් සිටිය හැකිදැයි සැක සහිතය.

    ReplyDelete
    Replies
    1. //වෛද්‍යවරයෙකු වීමට ඇති උනන්දුව ගත් විට එය මුදල් මතම රඳා නොපවතින බව මගේ හැඟීමයි. වෛද්‍යවරයකු වීම කුමන රටේ වුවද ගෞරවනීය වෘත්තියකි. එසේම ඕනම රටක හොඳ ආර්තික තත්වයක් ලැබිය හැකි රැකියාවකි. ආර්ථික තත්වයට වඩා දෙයක් මෙහි ඇති බව මට හිතෙන්නේ මුදල් සෙවීමට නම් මෙයට වඩා ලේසි වැදගත් ක්‍රම තිබෙන බැවිනි.//
      මේ උනන්දුවට (ඉල්ලුමට) ඇති හේතු අතර මුදල් වාසි මෙන්ම මුදල් නොවන වාසිද ඇතුළත්ය. අනෙත් සියළුම විකල්ප වලට වඩා මේ වෘත්තියෙන්, මුදල් හා/හෝ මුදල් නොවන වාසි ලබා ගැනීමේ හැකියාවක් නැත්නම් යමෙක් වෛද්‍යවරයෙකු වන්නට සිතන්නේ නැත.

      //මේ රෝහලේ ගත කරන කාලය බොහෝ විට ප්‍රසන්න කාලයක් නොවේ. අපහාස උපහාස බැනුම් ගුටි ටොකු යනාදිය මේ කාලය තුල සාමාන්‍ය දේවල් වේ. රෝහල් වාට්ටු හෝ සායන තුල ලෙඩ්ඩු හෝ අනිත් සේවකයන් මැද්දේම මේ ව්දින්නට සිදු වේ ( මේ ලඟදී වාට්ටුව මැද දන ගස්සා තිබූ වෛද්‍ය සිසුවෙක් ගැනත් අසන්නට ලැබුනි ). එසේම ඉතාමත් සුලු කාරනයකට පවා "ෆේල්" (repeat) කිරීම මෙහිදී කරනු ලැබේ .මගේ දැනුමේ තරමට මේ තරම් දැඩි නීති යටතේ තිබෙන වෙනත් උපාධි නොමැත.//
      අනූව දශකයේදී පමණ මා දුටු සංඛ්‍යාලේඛනයකට අනුව අඩුම සමත් අනුපාතිකයක් තිබුණේ කොළඹ නීති පීඨයේය. දෙවැනියට අඩුවෙන්ම තිබුණේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේය. මේ ගණන් මතක හැටියට 40%ට තරමක් අඩුවෙන් හා තරමක් වැඩියෙන් විය. දැන් තත්ත්වය දන්නේ නැත. අනෙත් දේවල් වෙනත් ඇතැම් රැකියා හා අදාළවද සිදුවේ. නිවැරදි සංසන්දනය කිරීමක් සඳහා දත්ත හෝ ප්‍රමාණවත් පෞද්ගලික අත්දැකීම් නැත.

      Delete
    2. //එසේම බොහෝ රටවල විකිනිය හැකි දක්ෂතා සහිත කොටසක් වන වෛද්‍යවරුන්ට ලැබෙන පහසුකම් කැපීමෙන් හෝ හතර අතේ බැනීමෙන් ලංකාවේ වෛද්ය සේවය වඩා යහපත් කල හැකිද යන්න මට සැක සහිතය . //
      වෛද්‍යවරුන් බොහෝ විට තේරුම් නොගන්නා දෙයක් තිබේ. ඒ කාටලයක් ලෙස ක්‍රියාකිරීමෙන් ඔවුන්ට අවාසිද ඇති බවයි. කාටලයක් ලෙස කටයුතු කිරීමේදී සිදුවන්නේ කුසලතා වලින් වැඩි හා අඩු සියල්ලන්ටම අතරමැදි මිලක් ලැබීමයි. මෙය කුසලතා අඩු අයට වාසිදායක වුවත් කුසලතා වැඩි අයට අවාසිදායකය. එවිට, රටින් පිටවන්නේ හෝ රජයේ සේවයෙන් ඉවත්ව පෞද්ගලික වෛද්‍ය සේවා පමණක් සපයන්නේ (on average) කුසලතා වැඩි පිරිසයි. ඒ පිරිස ඉවත් වූ විට ඉතිරි වන සංචිතයේ කුසලතා අඩු නිසා ඔවුන්ටද අවසාන වශයෙන් සැලකිය යුතු වාසියක් නොලැබේ. උසස් අධ්‍යාපන හා වෛද්‍ය ක්ෂේත්‍ර වල රාජ්‍ය ඒකාධිකාරය නැති වී තරඟකාරිත්වයක් ඇති වුවහොත් එම ක්ෂේත්‍ර වල සිටින දක්ෂ අයට සැලකිය යුතු වාසියක් ලැබේ. (වෘත්තීය සමිති වල සිටින අයට ඒ වාසිය නොලැබෙන්නට පුළුවන.) එහෙත්, මේ අයට එය තේරුම් ගැනීම අපහසු බව පෙනේ. ටෙලිකොම් වැනි ක්ෂේත්‍ර වල රාජ්‍ය ඒකාධිකාරය නැති වීමෙන් පසු ඉංජිනේරුවන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ.

      //ඕස්ට්‍රලියාවේ සතියකට පැය 37 ගනනේ වැඩ කර වසරකට ලක්ෂ 55 හොයා ගත හැකි කනිෂ්ඨ වෛද්‍යවරයෙකුට ලංකාවේ මීට වඩා බොහෝ අඩු පඩියකට ලබමින් අයහපත් තත්ව යටතේ අනාගත බලාපොරොත්තු අඩුවෙන් සතුටින් සිටිය හැකිදැයි සැක සහිතය.//
      මේ සැසඳීම නිවැරදි නොවන්නේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටින වෛද්‍යවරුන් හා ලංකාවේ සිටින අය බොහෝ අංශ වලින් (කුසලතා, ආකල්ප, අවදානම් ගැනීමේ හැකියාව, සමාජ තත්ත්වය කෙරෙහි ඇති ලැදි බව, මහන්සි වී වැඩ කිරීමේ හැකියාව) වෙනස් පිරිස් බැවිනි. දැනුම හා පුහුණුව ලොකුවට වෙනස් නැති විය හැකිය. ඔබට මේ එක් එක් කණ්ඩායමේ සිටින ඔබේ මිතුරන් 10 දෙනෙකු ගැන හිතුවොත් මේ වෙනස පැහැදිලි වනු ඇත.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.