කිසියම් අක්‍රමිකතාවයක් හේතුවෙන් රජයට අවාසියක් වීදැයි සොයා බැලීමේ පදනම විය යුත්තේ වෙන්දේසියේ නිකුතු ප්‍රමාණය බිලියන 10ක් බව කලින් දැනුම් දුන්නේනම් රජයට මීට වඩා වැඩි මිලකට මේ බැඳුම්කර ප්‍රමාණය විකුණාගත හැකිව තිබුණේද යන්නයි.
පහත ඇති අටවන වගුවෙන් ලන්සු තැබූ එක් එක් ආයතනය විසින් වෙන්දේසියේ ආන්තික මිල වූ රුපියල් 90.17ට වඩා අඩුවෙන් තැබූ ලන්සුත්, ඊට වඩා වැඩියෙන් තැබූ ලන්සුත් වෙන් වශයෙන් දක්වා තිබේ.
කිසියම් ආයතනයක් විසින් රුපියල් 90.17කට හෝ අඩු මිලකට එක් ලන්සුවක් හෝ තබා තිබේනම් එයින් පෙනෙන්නේ එම මුදලට වඩා වැඩියෙන් ඔවුන් තැබිය හැකිව තිබුණු ලන්සු සියල්ලම තබා අවසන් බවයි. එසේනම්, වෙන්දේසියේ නිකුතුව ප්‍රමාණයෙන් වැඩි වුවද මෙම ආයතන විසින් රුපියල් 90.17කට වඩා වැඩි මිල ලන්සු තැබීමේ ඉඩක් නැත. ලන්සු ප්‍රමාණය වැඩිවිය හැකි වුවද, එම ලන්සු වල මිල අදාළ වෙන්දේසියේ ආන්තික මිලටද වඩා අඩු වනු ඇත. ආයතන දහසයෙන් නවයක්ම මෙම ආන්තික මිලට සමාන හෝ අඩු ලන්සු අඩු වශයෙන් එකක් හෝ තබා තිබේ.
දැන් අප විමසිය යුත්තේ ඉතිරි ආයතන හතෙන් කිසිවක් වැඩි ලන්සු ප්‍රමාණයක් ආන්තික මිලට වඩා වැඩි මිලකට තැබිය හැකිව තිබුණේද යන්නයි. මේ ආයතන හතෙන් හතරක්ම ඉදිරිපත් කර ඇත්තේ අවම ලන්සුව වන රුපියල් මිලියන සියයේ ලන්සුවයි. මෙයින් අදහස් වන්නේ එම ආයතන සතුව එදින අතිරික්ත අරමුදල් වැඩි ප්‍රමාණයක් නොතිබුණු බවයි. ඒ නිසා එම ආයතන හතරට වැඩි මිලකට වැඩි බැඳුම්කර ප්‍රමාණයක් විකුණා ගැනීමේ හැකියාවක් තිබුණු බවක්ද නොපෙනේ.
දැන් ඉතිරි වන්නේ තවත් ආයතන තුනකි. ඒ ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදලයි. මෙම ආයතන තුනට වැඩි මිලකට වැඩි බැඳුම්කර ප්‍රමාණයක් විකුණා ගැනීමේ හැකියාවක් තිබී ඇති බව අපට බැහැර කළ නොහැකිය. එවැනි හැකියාවක් තිබුණේනම්, එය එලෙස සිදු නොවීමෙන් රජයට පාඩුවක් සිදු වී තිබේ. කෙසේ වුවද, මෙහි ඇති විශේෂිත තත්ත්වය වන්නේ මේ ආයතන තුනම රජයට සම්බන්ධ ආයතන වීමයි. එමෙන්ම, මෙම වෙන්දේසියේදී කිසියම් අක්‍රමිකතාවයක් වී ඇත්නම් ලංකා බැංකුව හා සේවක අර්ථසාධක අරමුදලද (මහ බැංකුවේ කොටසක් වීම හේතුවෙන්) එහි පාර්ශ්වකරුවන් ලෙස සැකයට බඳුන්ව සිටී.
මෙම ආයතන තුන අතරින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පිළිවෙලින් රුපියල් 104.51, 102.21 හා 101.76 යන මිලගණන් වලට ප්‍රමාණය රුපියල් මිලියන 100 බැගින් වූ ලන්සු තුනක් තබා තිබුණේය. මේ නිසා ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් මීට වඩා බැඳුම්කර මිලදී ගත හැකිව තිබුණානම් ඒ රුපියල් 101.76කට වඩා අඩු මුදලකටය. වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල රුපියල් 96.02ක්ද ආන්තික මිල රුපියල් 90.17ක්ද වූ බැවින් වෙන්දේසියේ නිකුතුව බිලියන දහයක් බව දැන සිටියේනම් ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් විසින් රුපියල් 101.76ට අඩු එහෙත් රුපියල් 90.17ට වැඩි තවත් ලන්සු කිහිපයක් ඉදිරිපත් කරන්නට තිබුණු ඉඩකඩ අපට බැහැර කර නොහැකිය. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ලන්සු ඉදිරිපත් කර තිබුණු රටාව අනුව මෙසේ තැබිය හැකිව තිබුණු ලන්සු රුපියල් මිලියන සීයේ තවත් ලන්සු කිහිපයක් හෝ රුපියල් මිලියන දෙතුන් සීයයක ලන්සු වන්නට ඉඩ තිබුනේයැයි අපට උපකල්පනය කළ හැකිය.
සේවක අර්ථසාධක අරමුදල විසින් තබා ඇති අඩුම මිල ලන්සුව රුපියල් 100.00කි. ඒ මිලට ඔවුන් රුපියල් මිලියන 500ක ලන්සුවක් තබා ඇත. එම අරමුදලද රුපියල් 100.00ට අඩු එහෙත් රුපියල් 90.17ට වැඩි තවත් ලන්සු කිහිපයක් ඉදිරිපත් කරන්නට තිබුණු ඉඩකඩ අපට බැහැර කර නොහැකිය. එහෙත්, මහ බැංකුවෙම දෙපාර්තමේන්තුවක් වන එම අරමුදල රුපියල් බිලියනයක් වෙන්දේසියට ඉදිරිපත් වන විට රුපියල් බිලියන දෙකක්ම ලන්සු තැබුවේ නිකුතුව බිලියන 10ක් දක්වා ඉහළ දමන්නන්ට යම් ඉඩකඩක් ඇති බව දැනගෙනනම් ඔවුන් විසින් මිලදී ගත හැකිව තිබුණු බැඳුම්කර ප්‍රමාණය සඳහා දැනටමත් ලන්සු තබා ඇති බැවින් එම ප්‍රමාණය තවත් වැඩි නොවිය හැකිව තිබුණා වන්නටද පුළුවන. එසේ යම් හෙයකින් සේවක අර්ථසාධක අරමුදලට තම ආයතනයේ වෙනත් දෙපාර්තමේන්තුවක සිදුවන්නට යන දෙය ගැන කිසිදු ඉඟියක් ලැබී නොතිබුනේනම් ඔවුන් තවත් රුපියල් බිලියන දෙක තුනක වුවද ලන්සු තබන්නට ඉඩ තිබුණා වන්නටටත් බැරි නැත.
තෙවනුවට ඉතිරිව ඉන්නේ ලංකා බැංකුවයි. ලංකා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වෙනුවෙන් රුපියල් බිලියන 13ක ලන්සු තැබීමෙන් පෙනෙන්නේ එදින ලංකා බැංකුව සතුව සැලකිය යුතු අතිරික්ත අරමුදල් ප්‍රමාණයක් තිබී ඇති බවයි. ලංකා බැංකුව විසින් ඔවුන් වෙනුවෙන් වෙන්දේසියට තබා ඇති ලන්සු දෙකම මිල වැඩි ලන්සුය. ඒ දෙකෙන් මිල අඩු ලන්සුව වන මිලියන පන්සීයේ ලන්සුවද තබා ඇත්තේ රුපියල් 109.39 බැගිනි. මේ නිසා රුපියල් 109.39කට නොවැඩි මිලකට රුපියල් බිලියන හත අටක හෝ ඊටත් වැඩි අරමුදල් ප්‍රමාණයක් ලංකා බැංකුවෙන් රැස් කරගැනීමට සැලකිය යුතු ඉඩක් තිබී ඇති බව පෙනේ.
එසේනම් කෝප් වාර්තාවේ ඇති රජයට සිදුවූ අලාභය පිලිබඳ ඇස්තමේන්තුවට පදනමක් තිබේද?
කෝප් වාර්තාවේ ගණනය කිරීම් සිදුකර ඇත්තේ රුපියල් බිලියන දහය දක්වාම බැඳුම්කර රුපියල් 104.51 බැගින් විකිණිය හැකිව තිබුනේයයි උපකල්පනය කරමිනි. අනෙකුත් ආයතන බැහැර කිරීමෙන් පසු අප විසින් අවසානයට ඉතිරි කරගත් ආයතන තුන අතරින්ද සේවක අර්ථසාධක අරමුදල හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් රුපියල් 104.51ට වඩා අඩු හෝ සමාන ලන්සු කිහිපයක්ම තබා ඇති බැවින් එම ආයතන වලට වුවද රුපියල් 104.51 බැගින් තවත් බැඳුම්කර විකිණිය හැකිව තිබුණු බවක් අපට නොපෙනේ. නමුත්, වෙන්දේසියේ ආන්තික මිලට වඩා තරමක් හෝ වැඩි මිලකට යම් බැඳුම්කර ප්‍රමාණයක් විකිණිය හැකිව තිබුණු බව අපට බැහැර කළ නොහැකිය.
ලංකා බැංකුව පිලිබඳ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. ලංකා බැංකුව විසින් රුපියල් 104.51 බැගින් කිසියම් බැඳුම්කර ප්‍රමාණයක් මිල දී ගන්නට ඉඩ නොතිබුණු බව අපට ස්ථිරවම කිව නොහැකිය. නමුත්, මේ මිලට ලංකා බැංකුවට රුපියල් බිලියන නවයකම බැඳුම්කර විකිණිය හැකිව තිබුණේය යන්න පිළිගැනීමට අසීරුය. ඒ නිසා කෝප් වාර්තාවේ සඳහන් රජයට සිදු වූ අලාභය අධිතක්සේරුවක් ලෙස සැලකිය හැකිය.
කෝප් වාර්තාවේ ඇස්තමේන්තුව දෝෂසහගත වුවත් රජයට කිසියම් අලාභයක් සිදුවී නැති බවද අපට කිව නොහැකිය. විශේෂයෙන්ම ලංකා බැංකුවටත්, යම් පමණකට සේවක අර්ථසාධක අරමුදලට හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවටත් වැඩි මිලකට තවත් කිසියම් බැඳුම්කර ප්‍රමාණයක් විකිණීමේ ඉඩකඩක් තිබුණා වන්නට සැලකිය යුතු ඉඩක් තිබේ.
එසේ වී නම් ආන්තික පොලී අනුපාතිකය හා බරිත සාමානය පොලී අනුපාතිකය කෙතරම් පහතට වැටිය හැකිව තිබුණේද?
මේ සිද්ධිය හා අදාළව කෝප් වාර්තාවේ හෝ වෙනත් තැනක සලකා බලා නැති කරුණු රැසක් ඇතුළුව කතා කළ හැකි පැති රැසක් ඇතත්, ලිපිමාලාව දැන් මෙගා ටෙලි නාට්‍යයක් මෙන් දිග් ගැසෙමින් පවතින නිසා තවත් තරමක් දුරට ඉදිරියට ගොස් දැනට කෝප් වාර්තාවේ සාකච්ඡා වී ඇති කරුණු විග්‍රහ කර අවසන් කර මේ ලිපි මාලාව ඉක්මනින් අවසන් කළ යුතුය.
ඉදිරි කොටසින් අපි නැවැත්වූ තැන සිට සාකච්ඡාව නැවත ඉදිරියට ගෙන යමු!
ලංකා බැංකුව පර්පෙචුවල් ට්‍රේෂරීස් වෙනුවෙන් ලන්සු තැබීම වැනි දේ අසාමාන්‍ය දෙයක්ද? මෙහිදී බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රේෂරීස් එකට 9% ගානේ ණයක් දී ඇති බවත් ඒ මුදල් පර්පෙචුවල් එක රජයට 12.5% ගානේ ණයට දී පැත්තක ඉඳන් 3% ලාබයක් ලබාගෙන ඇති බවට කෙරෙන තර්කයේ පදනමක් තියෙනවද? මෙවැනි එක් තරව්කරුවෙක් වෙනුවෙන් තවත් තරෙව්කරුවෙකු ලන්සු තැබීමේදී මුදල් හුවමාරුව වන ආකාරය සහ එක් එක් තරෙව්කරුවා එයින් ලාභ ලබන හැටි පැහැදිලි කරනන පුලුවන්නම් වටිනවා.
ReplyDelete//ලංකා බැංකුව පර්පෙචුවල් ට්‍රේෂරීස් වෙනුවෙන් ලන්සු තැබීම වැනි දේ අසාමාන්‍ය දෙයක්ද?//
Deleteමම දන්නා කරුණු අනුවනම් පැහැදිලිවම අසාමාන්‍ය දෙයක්.
//මෙහිදී බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රේෂරීස් එකට 9% ගානේ ණයක් දී ඇති බවත්//
මෙය මෙසේ වී ඇත්නම් එහි කතා කළ යුතු ගොඩක් දේ තිබෙනවා. මෙසේ ලංකා බැංකුව විසින් ණය දුන් පොලී අනුපාතිකය හරියටම සඳහන් මූලාශ්‍රයක් තියෙනවද?
//මම දන්නා කරුණු අනුවනම් පැහැදිලිවම අසාමාන්‍ය දෙයක්.//
Deleteඑහෙම තියන්න බැරිද? නැතිනම් තියන්නේ නැතිද?
මූලාශ්‍රයක් නම් නැහැ.කටකතා තමයි. නමුත් අඩු වශයෙන් 1% මාර්ජින් එකක් තිබුන කියල උපකල්පනය කෙරුවොත්? (3% වෙනුවට). සාමාන්‍යයෙන් මාර්ජින් එකක් තියාගෙන නේද මෙහෙම කරනවා ඇත්තේ.
//එහෙම තියන්න බැරිද? නැතිනම් තියන්නේ නැතිද?//
Deleteඅසාමාන්‍ය කියන වචනය මම භාවිතා කළේ පළ වී ඇති තොරතුරු අනුව මෙවැන්නක් සාමාන්‍යයෙන් සිදුනොවන බව පෙනෙන නිසයි. ඒ හැර එසේ කිරීමට ඇති බාධාවක් මට පෙනෙන්නේ නැහැ.
//මූලාශ්‍රයක් නම් නැහැ.කටකතා තමයි. නමුත් අඩු වශයෙන් 1% මාර්ජින් එකක් තිබුන කියල උපකල්පනය කෙරුවොත්? (3% වෙනුවට). සාමාන්‍යයෙන් මාර්ජින් එකක් තියාගෙන නේද මෙහෙම කරනවා ඇත්තේ.//
මෙය සරල දෙයක්. පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගමට 3.5% හෝ 1% ලෙස ලැබෙන ලාභය ඉතා පැහැදිලියි. දැන් ලංකා බැංකුව විසින් එම සමාගමට ණය දුන්නේ 9% බැගින් ලෙස සැලකුවත් මේ අරමුදල් ලංකා බැංකුව විසින් එකතුකරගෙන තියෙන්නේ 4% පොලියක් ගෙවන ඉතිරි කිරීමේ තැන්පතු හෝ 6%ක් ගෙවන ස්ථිර තැන්පතු අරමුදල් වලින්නම් ලංකා බැංකුවටත් ලාභයක් තියෙනවා. හැබැයි වෙනත් අයෙකුට 9%ට වඩා වැඩි පොලියකට ණය දී වැඩි ලාභයක් ලබා ගැනීමේ අවස්ථාව ලංකා බැංකුව සතුව තිබුණානම් වැඩි ලාභය අත්හැර අඩු ලාභය වෙත ගියේ කියන එක ගැටලුවක්.
ලංකා බැංකුවේ මේ ලංසු තැබීම පිළිබඳව E&Y එකෙන් ෆොරෙන්සික් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා තියෙනවා. කෝප් වාර්තාවේ ඇමුණුමක් විදියටත් ඒක දාල තියෙනවලු.කෝප් වාර්තාවෙමයි කියල තියෙන්නේ. හොයාගන්න පුලුවන්නම් මේ පිළිබඳව වැඩි තොරතුරු දැනගන්න පුළුවන් වෙයි.
Deleteමට දැනගන්න ඕනේ මේ වගේ ලන්සු තැබීමක් වෙනකොට ලංකා බැංකුව සහ මහා බැංකුව අතර නේද ගනුදෙනුව සිද්දවෙන්නේ? ලංකා බැංකුව මාර්ජින් එකක් තියාගෙන PT එකට විකිණීම ද්විතීක වෙළඳපොලේ විකිණීමක් කියලද ගණන් ගැනෙන්නේ? නැතිනම් වෙනම ආකාරයේ ගනුදෙනුවක්ද?
//ලංකා බැංකුවේ මේ ලංසු තැබීම පිළිබඳව E&Y එකෙන් ෆොරෙන්සික් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා තියෙනවා. කෝප් වාර්තාවේ ඇමුණුමක් විදියටත් ඒක දාල තියෙනවලු.කෝප් වාර්තාවෙමයි කියල තියෙන්නේ. හොයාගන්න පුලුවන්නම් මේ පිළිබඳව වැඩි තොරතුරු දැනගන්න පුළුවන් වෙයි.//
Deleteපබ්ලික් ඩොමේන් එකක නැති දෙයක් මට හොයාගන්න විදිහක් නැහැ. මම ඒ සඳහා උත්සාහ කරන්නෙත් නැහැ. හැබැයි මේ ගැන වැඩි තොරතුරක් තියෙනවනම් එය මේ සිද්ධිය විශ්ලේෂණය කරන්න යොදාගත හැකි ඉතාම වටිනා තොරතුරක්. ලංකා බැංකුව ණය ලබා දුන් පදනම අනුව රජයට වූ (හෝ නොවූ) අලාභය වඩා ආසන්නව ඇස්තමේන්තු කළ හැකි වෙනවා. මෙය බොහෝ විට උඩ කමෙන්ට් එකේ මගේ අවධානයට ලක් කෙරුණු උදාහරණය හා මා එයට දැමූ පිළිතුර තරම් සරල නොවන දෙයක් බව මගේ අදහසයි. මේ ණය කෙටිකාලීන ණයක් විය යුතු බව මගේ විශ්වාසයයි. ලංකා බැංකුවෙන් 20%ක වැනි ඉහළ පොලියකට කෙටිකාලීන ණයක් ගත්තත් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට විශාල ලාබයක් ලැබීමේ හැකියාව අඩුවෙන්නේ නැහැ. ඒ නිසා මෙම ණය පොලිය 12.5%ට අඩුවීම අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි.
//මට දැනගන්න ඕනේ මේ වගේ ලන්සු තැබීමක් වෙනකොට ලංකා බැංකුව සහ මහා බැංකුව අතර නේද ගනුදෙනුව සිද්දවෙන්නේ?//
ඔව්.
//ලංකා බැංකුව මාර්ජින් එකක් තියාගෙන PT එකට විකිණීම ද්විතීක වෙළඳපොලේ විකිණීමක් කියලද ගණන් ගැනෙන්නේ? නැතිනම් වෙනම ආකාරයේ ගනුදෙනුවක්ද?//
මෙය ගණන් ගන්න වෙන්නේ ද්විතීක වෙළඳපොලේ විකිණීමක් ලෙසම තමයි. ගනුදෙනුකාර ආයතන වෙනත් (ගනුදෙනුකාර ආයතන නොවන) ආයතන හෝ පුද්ගලයින් වෙනුවෙන් ප්‍රාථමික වෙන්දේසියේ ලන්සු තැබීම වගේම වෙන්දේසියෙන් පසුව වෙනත් ගනුදෙනුකාර ආයතනයක් සමඟ ද්වීතියික වෙළඳපොළ ගනුදෙනුවක යෙදීම ඉතාම සාමාන්‍ය දේවල්. ඒත්, එක් ගනුදෙනුකාර ආයතනයක් වෙනත් ගනුදෙනුකාර ආයතනයක් ආයතනයක් වෙනුවෙන් ප්‍රාථමික වෙන්දේසියේ ලන්සු තැබීම එවැනි සාමාන්‍ය දෙයක් නොවන බවයි ප්‍රසිද්ධ වී ඇති තොරතුරු අනුව පෙනෙන්නේ. මෙය වෙනස් වන්නේ ඒ පදනමින්. හැබැයි එසේ කරන්න බාධාවක් නැහැ. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් (හා යම් හෙයකින් එම සමාගමට අනිසි ලාභයක් ලබා ගන්න හිටපු අධිපතිවරයා විසින් උදවු කළානම් ඔහු විසින්) බොහෝදුරට කර ඇත්තේ පැවති තත්ත්වයේ තිබුණු අඩුපාඩු (anomaly) වලින් ප්‍රයෝජන ගැනීමයි.