Wednesday, April 19, 2017

බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන්නේ කොහොමද?

මෙය බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන ආකාරය පිළිබඳ ඉතා සරල පැහැදිලි කිරීමකි. 

කිසියම් රටක නිෂ්පාදකයෝ හතර දෙනෙක් සිටිති.

අමල්: කිරි ගොවියෙකි. ප්‍රාග්ධනය ලෙස එළදෙනක් සිටී. එළදෙන ඔහුගේ වත්තේ තණකොළ කයි. අමල්ගේ ප්‍රාග්ධන හා ශ්‍රම වියදම් ගැන සලකා ඔහු කිරි බෝතලයක් රුපියල් සීයකට විකුණයි.

කමල්: මී කිරි නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් මී කිරි හට්ටියක් හදන්නට පුළුවන. මී කිරි හට්ටියක් රුපියල් 110කට අලෙවි කළ හැකිය.

බිමල්: යෝගට් නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් යෝගට් කෝප්පය දෙකක් සැදිය හැකිය. එක් කෝප්පයක් රුපියල් 60කට අලෙවි කළ හැකිය.

චමල්: කල්කිරි නිෂ්පාදනය කරන්නෙකි. ඔහුට අළුත් කිරි බෝතලයකින් කලකිරි බෝතලයක් සැදිය හැකිය. එහෙත්, පාරිභෝගිකයින් අළුත් කිරි වලට තරම් කල් කිරි වලට කැමති නැත. ඒ නිසා ඔහුට කල් කිරි බෝතලයක් විකිණිය හැක්කේ රුපියල් 90කටය.

රජයේ මැදිහත්වීමක් නැත්නම් අමල් කිරි නිපදවනු ඇත. කමල් මීකිරිද, බිමල් යෝගට්ද නිපදවනු ඇත. චමල් කල් කිරි නිපදවීමට යොමු නොවනු ඇත.

-අමල් නිපදවන කිරි බෝතලයකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 100ක දායකත්වයක් ලැබේ.
-කමල් නිපදවන මීකිරි හට්ටියකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 10ක දායකත්වයක් ලැබේ.
-බිමල් නිපදවන යෝගට් කෝප්ප දෙකකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 20ක දායකත්වයක් ලැබේ.
-චමල්ගෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වයක් නැත.

දැන් රජය විසින් කිරි බෝතලයකට රුපියල් 5ක බදු මුදලක් අය කළොත් (ඉල්ලුම වෙනස්වීම නොසලකා) වෙන්නේ කුමක්ද?
-අමල්ට කිරි බෝතලයකින් ලැබෙන්නේ රුපියල් 100කි. ඔහුගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය රුපියල් 5කට සීමා වේ.
-බිමල්ටද කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 15කට සීමා වේ.
-චමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-මී කිරි හා යෝගට් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අඩුවේ.
-එහෙත්, රජයට බදු ලෙස ලැබෙන මුදල් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නිසා සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට බලපෑමක් නැත.

කෙසේ වුවද, මෙය මෙසේ සිදුවීමටනම් රජය විසින් කිරිවලින් ලබාගත් මුදල් වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් වැය කළ යුතුය.

උදාහරණයක් ලෙස, රජයට බදු මුදල් වැය කරමින් චමල්ට කිරි මිලදී ගැනීම සඳහා රුපියල් 10ක සහනාධාරයක් ලබා දිය හැකිය. දැන් ඔහුට කිරි බෝතලයක් මිලදී ගැනීමේදී වැය වන්නේ රුපියල් 90ක් පමණක් නිසා ඔහු කල් කිරි නිපදවන නමුත් විකුණුම් මිලද රුපියල් 90ක්ම නිසා ඔහු කිසිදු අගයක් එකතු නොකරයි. අවසාන වශයෙන් මෙහිදී දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙයි. ඒ රජය විසින් බදු ලෙස අයකරගත් මුදල් අකාර්යක්ෂම (අගය එකතු කිරීමක් නොකරන) කර්මාන්තයක් දිරිමත් කිරීම පිණිස වැය කර ඇති බැවිනි.

දැන් රජය මේ බදු මුදල කිරි බෝතලයකට රුපියල් 15 දක්වා වැඩි කළොත් වෙන්නේ කුමක්ද?

-අමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු මී කිරි නිෂ්පාදනය කිරීම නවත්වයි.
-බිමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 5කට සීමා වේ.
-චමල්ට වැඩි මුදලක් සහනාධාර ලෙස ලැබෙන නිසා ඔහු කිසියම් අගය එකතු කිරීමක් කරන බව දැකිය හැකි වනු ඇත. එහෙත්, සහනාධාරය ඉවත් කළ විට අගය එකතු කිරීම සෘණ අගයකි.

බදු වැඩි වීම නිසා කමල් නිෂ්පාදනයෙන් ඉවත් වී ඇත. මෙය හඳුන්වන්නේ බදු නිසා අතුරුදහන්වන නිෂ්පාදිතය (Deadweight Loss of Taxation) ලෙසය. ආණ්ඩුව බදු ලෙස එක් අයෙක්ගෙන් එකතු කර ගන්නා මුදල් අන්තිමේදී වෙනත් අයෙක් වියදම් කරන නිසා එසේ වියදම් කරන කොටස අවසානයේදී රටේ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක්ව පවතී. එහෙත්, මේ 'අතුරුදහන්වන නිෂ්පාදිතය' පාරිභෝගිකයාට හෝ නිෂ්පාදකයාට හෝ රජයට යන කිසිදු පාර්ශ්වයකට නොලැබී නැත්තටම නැති වී යයි, බදු වල ඇති ලොකුම ප්‍රශ්නය මේ  අතුරුදහන්වන නිෂ්පාදිතයයි.

8 comments:

  1. රාජ්‍ය අංශයේ ව්යාපාරනම් සේරමල චමල්ල.
    ඒත් පුද්ගලික අංශයේ චමල්ල ඉන්න විදියක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. සහනාධාර මත යැපෙන කර්මාන්ත එසේ වෙන්න පුළුවන්. බොහෝ විට මේ උදාහරණයේ මෙන් බදු ලෙස අයකරගන්නා මුදල් සහනාධාර ලෙස ආපසු ලැබෙන්නෙත් නැහැ. පසුගිය ලිපිය බැලුවොත් ඇත්ත ගණන් පෙනෙනවා.

      Delete
  2. ඇඩම් ස්මිත් පොත ලියන කොට මේ සප්ලයි ඩිමාන්ඩ් කර්ව් එක තිබ්බේ නැති හින්දා කථාව පැහැදිලි කරන්න පරිච්ඡේද ගානක් ලිවවයි කියනවනේ.....

    මොන උනත් ඉකොන් ගේ පැහැදිලි කිරීම සරලයි....පැහැදිලියි....ඒකට ස්තූතියි...

    ඒ වගේම ඉකොන් කලින් ලිපියක පැහැදිලි කල විදිහට ටැක්ස් ගැහුවම පරිභෝජනයතෙහෙම නැත්නං ඩිමාන්ඩ් එකත් වෙනස් වන නිසා, මහපොලොවෙදි මේ කාරණය මීට වඩා වෙනස් වෙනවා නේද

    ReplyDelete
    Replies
    1. ඒ කාලයේ ලියූ පොත් ගොඩක් ඒ වගේ. දාස් කැපිටාල් මුල් පරිච්ඡේද ගණනක තියෙන දේ අද පර්යේෂණ පත්‍රිකාවක පේලි කිහිපයකින් ලියන දෙයක්. එය ඒ කාලයේ ක්‍රමය. හැබැයි ඒ ක්‍රමය එක අතකින් හොඳයි. දැනුම එක් කණ්ඩායමකට පමණක් සීමා වෙන්නේ නැහැ. ඔබ කියන පරිදි ඉල්ලුම අනුව මෙය වෙනස් වෙනවා තමයි. නමුත් මේ අතුරුදහන් වීම එලෙසම වෙනවා. ඉල්ලුම අඩුවන එකට මේ කෙටි ලිපියේ බරක් නොදැම්මත් උඩ රූපයේ එයත් තියෙනවා.

      Delete
  3. ඒක නෙමෙයි ඉකෝන්.....දල ජාතික නිශ්පාදනය ගණනය කරන්න ගන්න පාදක වර්ශය අනුවත් මේ වගේ 'අතුරුදහන් නිශ්පාදන' වෙන්න පුලුවන්ද? මෑතකදි කියවපු හර්ශ ඩි සිල්වාගේ ලිපියක්ට අනුව මට ඒ වගේ දෙයක් තේරුම් ගිය හින්දා...පොර ඒක ලියලා තිබ්බේ නාලක ගොඩ හේවා වර්තමාන රජය පාදක වර්ශය වෙනස කරලා 2011 අර්තික වර්දන වේගය 7 ඉදන් 4.9 ට බැස්සුවා කියනකථාවට පිලිතුරු ලෙස

    ReplyDelete
    Replies
    1. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ වසරක් තුළ රටක නිෂ්පාදනය කළ සියළුම භාණ්ඩ හා සේවා වල වටිනාකම. මෙය හරියටම මනින එක පහසු දෙයක් නොවන බව පැහැදිලියිනේ. එසේ කරන්නනම් රටේ සිදුවන හැම ගනුදෙනුවක්ම කොහේ හෝ වාර්තා වී තියෙන්න ඕනෑ. එහෙම නැති නිසා කරන්නේ ආර්ථිකයේ එක් එක් අංශ වෙනවෙනම ගෙන ඇස්තමේන්තු හදා ඒවා එකතු කිරීමයි. උදාහරණයක් ලෙස වී නිෂ්පාදනය වගේ දෙයක්. මේවාත් හරියටම මනින්න අමාරුයි. කෙසේ වුවත්, මේ අගය නිවැරදි බව තහවුරු කර ගත හැකි එක් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි තනි පුද්ගලයින්ට වෙනස් වුනත් මුළු රටේම ගණන් එකතු කළ විට. මුළු නිෂ්පාදනයේ වටිනාකම= මුළු ආදායම=මුළු වියදම. මොකද එක් අයෙකුගේ ආදායමක් කියන්නේ හැම විටම වෙනත් අයෙකුගේ වියදමක්. ඒ වගේම සමස්ත නිෂ්පාදන වල වටිනාකම කාගේ හෝ ආදායම් විය යුතුයි. ඒ නිසා මේ ක්‍රම තුනටම ගණන් හදා සංසන්දනය කිරීමෙන් අඩුපාඩු හදාගත හැකියි. (මම දන්නා තරමින් ලංකාවේ ක්‍රම දෙකකට පමණයි හදන්නේ) කෙසේ හෝ හදා අවසන් වුනාට පසුව ආර්ථික වර්ධනය ගණන් බලන විට තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. නිෂ්පාදනය වැඩි නොවුනත් මිල වැඩි වීම නිසා වර්ධනයක් පෙනෙන්න පුළුවන්. ඒ නිසා උද්ධමනයේ බලපෑම ඉවත් කළ යුතු වෙනවා. දදේනි වගේම උද්ධමනයත් මැනීමේදී වැරදෙන්න හේතු ගණනාවක් තියෙනවා. පාදක වර්ෂය වෙනස් කිරීමෙන් වඩා හොඳ ඇස්තමේන්තුවක් ලබාගත හැකියි. මෙසේ කරන විට දදේනි ලොකුවට වෙනස් නොවුණත් එය 1-2% පමණ වෙනස් වූ විට ආර්ථික වර්ධනය ලෙස මනින අංකය විශාල ලෙස වෙනස් වෙනවා. මෙහිදී සිදුවී තිබෙන්නේ එයයි. පාදක වර්ෂය කාලයක් වෙනස් නොකර හිටියොත් වෙනස් කරන විට වඩා විශාල වෙනසක් විය හැකියි. සමහර විට මෙහිදී වුණේ පාදක අංකය වෙනස් කළ විට ආර්ථික වර්ධනය අඩුවෙන් පෙනෙන නිසා ආණ්ඩුව වෙනස් වන තුරු පරණ පාදක වර්ෂය මත හැදූ ගණන්ම ඉදිරිපත් කිරීම වෙන්න පුළුවන්. කොහොම වුනත්, පාදක වර්ෂය වෙනස් වූ විට ආර්ථික වර්ධනය 7% සිට 4.9%ට වැටුනා කියා සැබෑ ලෝකයේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ කිසිදු හොඳ හෝ නරක වෙනසක් වෙන්නේ නැහැ. එය සංඛ්‍යාලේඛණ වල පමණක් සිදුවන වෙනසක්. මම මේ ලිපියේ කතා කළ අතුරුදහන් වීම ඇත්තටම වෙන දෙයක්.

      Delete
  4. මේ වගේ දෙයක් ප්‍රයොගිකද ?
    https://web.facebook.com/hadawathinamasrilankikayi/videos/1401207639926223/

    ReplyDelete
    Replies
    1. මෙය බලන්න තවම වෙලාවක් ලැබුණේ නැහැ. ඉඩ ලැබුණු විටක බලන්නම්!

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.