Saturday, December 17, 2016

ඇමරිකානු ෆෙඩරල් සංචිත පොලී අනුපාතික තවත් ඉහළට...

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික තව දුරටත් ඉහළ දමන බව පසුගිය බදාදා (දෙසැම්බර් 14) නිවේදනය කළේය. මේ අනුව ෆෙඩරල් ඉලක්ක පොලී අනුපාතික පසුගිය වසර පුරා පැවති 0.25-0.50% මට්ටමේ සිට 0.50-0.75% මට්ටම දක්වා පාදක අංක 25කින් ඉහළ දමනු ලැබීය. ඉහත තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, න්‍යායාත්මකව සිදුවිය යුතු පරිදිම, ඇමරිකානු බැඳුම්කර ඵලදා අනුපාතික ක්ෂණිකව ඉහළ යාමත්, ඇමරිකානු ඩොලරය තවදුරටත් ශක්තිමත් වීමත් කොටස් වෙළඳපොළ මිලගණන් පහත වැටීමත් නිරීක්ෂණය කළ හැකි විය.

දශකයකට පෙර ෆෙඩරල් පොලී අනුපාතික 5.25% තරම් ඉහළ මට්ටමක පැවතියේය. ඇමරිකාව මුහුණ දුන් ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින් මෙම ෆෙඩරල් පොලී අනුපාතිකය කෙටි කාලාන්තර තුළ වරින් වර පහත හෙලනු ලැබූ අතර, 2008 දෙසැම්බර් මස 16 වන දින නාමික පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වා අඩු කෙරිණි. එතැන් සිට වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතියේ 0-0.25% මට්ටමේය. මෙසේ ශුන්‍ය මට්ටම ආසන්නේ පැවති පොලී අනුපාතික වසරකට පෙර, පසුගිය දෙසැම්බරයේදී 0.25-0.50% මට්ටම දක්වා ඉහළ නැංවිනි. ෆෙඩරල් සංචිත බැංකුවේ අළුත්ම තීරණය වසරකට පෙරගත් තීරණයේම දිගුවක් වන අතර ලබන වසර තුළ මෙම පොලී අනුපාතික තවත් කිහිප වරක් ඉහළ දැමීමට සිදුවිය හැකි බව ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිනී ජැනට් යෙලන්ගේ අදහසයි.

දරුණු ආර්ථික අවපාතයක් පසුකරමින් ආ ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට සිය නිෂ්පාදනය එහි විභව මට්ටම දක්වා වර්ධනය කරගෙන ඇති අතර ඉතා ඉහළ මට්ටමක පැවති විරැකියා අනුපාතිකයද පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ ස්වභාවික විරැකියා අනුපාතිකය ලෙස දැනට සැලකෙන 4.8% මට්ටමද ඉක්මවා 4.6% මට්ටමට පහත වැටී තිබේ. පසුගිය මාසයේ උද්ධමනය වූ 1.7% ඇමරිකාවේ දිගුකාලීන සාමාන්‍ය උද්ධමනය වන 2% මට්ටමට වඩා පහළින් පැවතියත් සාමාන්‍ය මට්ටමට වඩා පහළින් ඇති ඉන්ධන මිලේ බලපෑම සලකා බලමින් උද්ධමනය ඉදිරියේදී අපේක්ෂිත මට්ටම ඉක්මවීමට ඇති ඉඩකඩ ගැන ෆෙඩරල් සංචිත බැංකුව සැලකිලිමත් වී තිබේ.

ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින් 2008 දෙසැම්බරයේදී ෆෙඩරල් පොලී අනුපාතික ශුන්‍ය මට්ටම දක්වාම පහත හෙලීමෙන් පසුවද ඇමරිකානු ආර්ථිකය එහි විභව මට්ටම කරා නැවත නොපැමිණියේය. ද්‍රවශීලතා උගුලක් ලෙස හඳුනා ගැනෙන මෙවැනි අවස්ථාවකදී රටේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා මහ බැංකුවක පොලී අනුපාතික තවදුරටත් පහත හෙලීමේ ඉඩකඩක් නොමැති බැවින් මුදල් ප්‍රතිපත්තිය සෑහෙන දුරකට අකර්මන්‍ය වේ. මේ අනුව, එතැන් සිට ඇමරිකාවට බොහෝ දුරට රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යොදාගනිමින් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගියේය. කෙසේවුවද, 2009දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8% මට්ටමට ඉහළ ගිය ඇමරිකාවේ අයවැය හිඟය පසුගිය (2015) වසර වන විට 2.4% මට්ටම දක්වා අඩු කරගැනීමට ඇමරිකානු රජය සමත් විය.

ඇමරිකානු රජයට සාමාන්‍යයෙන් ණය ගැනීම අපහසු කාර්යයක් නොවේ. ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් වල ස්ථාවරත්වය සලකමින් ලොව පුරා ආයෝජකයෝ 'ඇමරිකානු රජයට ණය දෙන්නට' පොරකති. එහෙත්, ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාතික ඉතාම අඩු මට්ටමක පැවති පසුගිය කාලයේ මෙසේ ඇමරිකා එක්සත් ජනපද රජයට ණය දීම හෙවත් ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම වෙන කාල වලදී තරම් ආකර්ශනීය වූයේ නැත. ඒ කාලයේදී අනෙක් ප්‍රධාන ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වීමද සිදු වූ නිසා ඇමරිකාවෙන් පිටත ආයෝජකයින්ට මේ ශුන්‍යයට ආසන්න පොලී අනුපාතික ඉතා ප්‍රබල බලපෑමක් කළේය. ඒ හේතුවෙන්, අවදානම වැඩි වුවත් ඉහළ පොලී අනුපාතිකයක් ලබා දෙන වෙනත් වෙළඳපොළවල් මේ ආයෝජකයන්ට ආකර්ශනීය විය.

ඉහත තත්ත්වයේ වාසිය ඒ කාලයේදී ලංකාවටද ලැබුණු අතර ලංකාවේ රජය විසින් නිකුත් කළ රාජ්‍ය සුරැකුම්පත් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී ගැනීමට විදේශ ආයෝජකයෝ ඉදිරිපත් වූහ. මෙය ලංකාවට විදේශ විණිමය ආකර්ශනය කිරීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් හේතු විය. කෙසේවුවද, මෙසේ පැමිණි අරමුදල් ප්‍රවාහ තාවකාලික අරමුදල් ප්‍රවාහ මිස දිගුකාලීන ආයෝජන නොවීය.

පසුගිය දෙසැම්බරයේදී ෆෙඩරල් සංචිත බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් කිරීමත් සමඟ ලංකාවට තිබූ පෙර කී වාසිදායක තත්ත්වය කණපිට හැරුණු අතර ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර තිබූ විදේශිකයින් බොහෝ දෙනෙකු එම ආයෝජන විකුණා දමා හෝ කල් පිරුණු පසු මුදල් කර වඩා සුරක්ෂිත මූල්‍ය වෙළඳපොළවල් කරා ආපසු රැගෙන ගියහ. පසුගිය කාලයේ ලංකාවේ විදේශ ණය යම් තරමකින් අඩුවූයේ (හෝ ඉහළ යාම සීමාවූයේ) මේ හේතුවෙනි. මේ තත්ත්වය ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයද උග්‍ර කළේය.

ෆෙඩරල් සංචිත බැංකුව මෙසේ වසරක සිට සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් සිටියත් ඔවුන් සිය ස්ථාවරය තවදුරටත් හඳුනාගන්නේ ලිහිල් (accommodative) ප්‍රතිපත්තියක් වශයෙනි. වෙනත් අයුරකින් කිවහොත් ඇමරිකාව තවමත් සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන්නට පටන්ගෙන නැත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව කිසියම් වෙනසක් වෙන්නට ඉඩක් ඇතත්, ඉදිරි වසර තුළ ඇමරිකානු පොලී අනුපාතික තවදුරටත් ඉහළ යාමට ඇති ඉඩකඩ ඉතා විශාලය.

පොලී අනුපාතික ඉහළ යන විට ඇමරිකානු ආයෝජන වඩා ආකර්ශනීය වන නිසා අරමුදල් ප්‍රවාහ ඇමරිකාවට ඇදී ඇමරිකානු ඩොලරය වඩාත් ශක්තිමත් වේ. මේ තත්ත්වය ඇමරිකාවේ ආනයන ඉල්ලුම ඉහළ නංවන නිසා ඇමරිකාවට අපනයනය කරන රටවලට කිසියම් වාසියක්ද සැලසේ. මේ අතින් ලංකාවේ ඇඟළුම් වැනි කර්මාන්ත වලට වාසියක් සැලසෙනු ඇතත්, අනෙක් පැත්තෙන් ආනයන වියදම් හා ණය පොලී අනුපාතික ඉහළ යාමත්, ණය ගැනීම වඩා අපහසු වීමත් නිසා සමස්තයක් ලෙස රටේ උද්ධමනය හා ගෙවුම් ශේෂ හිඟය වෙත ඇති කරනු ඇත්තේ අහිතකර බලපෑමකි.


(Image: http://thestudentlawyer.com/2016/02/12/janet-yellen-cautious-over-us-interest-rates/)

2 comments:

  1. ලෝකයේ සංසරණයවන ඇමරිකානු ඩොලර් ඇමරිකාව විසින් මුද්‍රණය කරන ඒවාද ? එහෙනම් ඇමරිකාවට ඩොලර් ප්රින්ට් කරල පෝසත්වෙන්න පුළුවන් නේද? ඩොලර් ඉල්ලුම අනුව ? . මේක මෝඩ ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් මට ඕනැ මේ ගැන ඔබගෙන් පොඩි විග්‍රහයක් !.

    ReplyDelete
    Replies
    1. මෝඩ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඇමරිකාව විසින් නිකුත් කර ඇති මුළු ව්‍යවහාර මුදල් ප්‍රමාණය රටේ ජනගහණයෙන් බෙදූ විට එක් අයෙක් අතේ සාමාන්‍ය වශයෙන් ඩොලර් 4000ක් පමණ තිබිය යුතුයි. සමීක්ෂන ප්‍රතිඵල අනුව සහ මගේ පෞද්ගලික අත්දැකීම් අනුව සාමාන්‍ය ඇමරිකානුවෙක් අතේ තියෙන්නේ ඩොලර් 100කටත් වඩා අඩු මුදලක්. හැම තැනකදීම වගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් හා චෙක්පත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙන නිසා වැඩි මුදලක් අතේ තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙසේ නිකුත් කර ඇති මුදල් වලින් 75%ක් පමණම ඩොලර් 100 නෝට්ටු. නමුත්, මේ ප්‍රතිශතයට සාපේක්ෂව ඇමරිකාවේදී ඩොලර් 100 නෝට්ටු භාවිතා වෙන්නේ ඉතාම අඩුවෙන්. ලංකාවේදී ඩොලර් 100 නෝට්ටු ඊට වඩා අතගාලා තියෙනවා. ඇමරිකාව විසින් නිකුත් කර ඇති ව්‍යවහාර මුදල් වලින් අඩකට වැඩි ප්‍රමාණයක් සහ ඩොලර් 100 වැනි වැඩි වටිනාකම් නෝට්ටු වලින් තුනෙන් දෙකක් පමණ තියෙන්නේ ඇමරිකාවෙන් පිටතයි. ඩොලර් 100 නෝට්ටුවක මුද්‍රණ වියදම (ඇමරිකන්) ශත 14යි. ඉතිරි ඩොලර් 99.86ම ලාබ. මේ ලාභය හැඳින්වෙන්නේ seigniorage revenue ලෙසයි. ඇමරිකාවෙන් පිටත පවතින ඇමරිකන් ඩොලර් ඉල්ලුම නිසා ඇමරිකාවට විශාල ලාභයක් ලැබෙනවා.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.