පර්පෙචුවල් ලාභ (පළමු කොටස)
පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)
පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)
පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)
පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)
පර්පෙචුවල් ලාභ (හයවන කොටස)
මහ බැංකු බැඳුම්කර සිද්ධිය අදාළව මේ වන විට අළුත් කරුණු එළිවෙමින් පවතින අතර, පර්පෙචුවල් ලාභ පිළිබඳව වඩා පරිපූර්ණ අළුත් ප්‍රවාදයක් ඉදිරිපත් වී තිබේ.
සියළු පාර්ශ්වයන්ට සම අවස්ථා ඇති පසුබිමකදී, කිසියම් සමාගමක් හෝ පුද්ගලයින් විසින් ව්‍යාපාරික කටයුත්තකින් ලාභ ලබා ගැනීම වරදක් නොවන අතර එයින් අදහස් වන්නේ එම ලාභ වලට අනුරූපව වෙනත් පාර්ශ්වයක් විසින් පාඩු ලබා ඇති බව නොවේ. තරඟකාරී තත්ත්වයකදී සියළු පාර්ශ්වයන් තමන්ගේ ලාභ හැකිතාක් වැඩි කර ගැනීමට කටයුතු කරන නිසා තමන්ගේ ආයෝජනයට, ගෙන ඇති අවදානමට හෝ සුවිශේෂී දක්ෂතාවයකට සරිලන ලාභ මිස ඊට වඩා වැඩි ලාභ ලබා ගැනීම කිසිවෙකුට පහසුවෙන් කළ නොහැකි දෙයකි.
ඉහත තත්ත්වය ඒ අයුරින්ම පවතින්නේ සියළු පාර්ශ්වයන් සිය ලාභ හැකිතාක් වැඩි කර ගැනීමට කටයුතු කරන්නේනම් පමණි. පෞද්ගලික සමාගමක හිමිකරුවන්ට එසේ නොකරන්නට හේතුවක් නැතත්, රජයට සම්බන්ධ ආයතනයක කටයුතු මේ අයුරින්ම සිදු නොවන්නට ඉඩ තිබේ. ඒ, එවැනි ආයතනයක ලාභ වැඩි කිරීමේ තීරණගන්නා පුද්ගලයින්ට එමඟින් සෘජු වාසියක් නොසැලසෙන බැවිනි.
අළුත් ප්‍රවාදය අනුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉහළ ලාභ ලබා ඇත්තේ මහ බැංකුව විසින් පාලනය කෙරෙන සේවක අර්ථසාධක අරමුදලේ වියදමිනි. ඒ නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ බිලියන ගණනක ලාභ වලට අනුරූපව සේවක අර්ථසාධක අරමුදලට එවැනිම පාඩුවක් සිදුවී තිබේ. එමෙන්ම, මේ 'මගඩියට' පාර්ශ්ව ගණනාවක් සම්බන්ධය.
ප්‍රවාදය අනුව හිටපු මහබැංකු අධිපතිවරයාගේ උදවුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් රුපියල් 90 බැගින් බැඳුම්කර මිලදී ගෙන ඇති අතර ඉතා කෙටි කලක් තුළ එම බැඳුම්කර සේවක අර්ථසාධක අරමුදලට රුපියල් 120 බැගින් විකුණා තිබේ. මේ ගණුදෙනුව කිරීම සඳහා ලංකා බැංකුව විසින් ණය පහසුකම් සපයා ඇත. එමෙන්ම, සේවක අර්ථසාධක අරමුදලට සිය බැඳුම්කර සියල්ල සෘජුවම විකිණීම සැක උපදවන බැවින් එය කර ඇත්තේ වෙනත් ආයතන දෙකක් අතරමැදියන් ලෙස යොදාගනිමිනි.
මේ අළුත් ප්‍රවාදය පැරණි ප්‍රවාදයට වඩා තර්කානුකූල ප්‍රවාදයකි. පැරණි ප්‍රවාදය අනුව, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉහළ ලාභ ලබා ඇත්තේ හිටපු මහබැංකු අධිපතිවරයාගේ උදවුවෙන් අඩු මිලකට, එනම් ඉහළ පොලී අනුපාතිකයකට, දිගුකාලීනව බැඳුම්කර වල ආයෝජනය කිරීම මඟිනි. මේ පළමු ප්‍රවාදය අනුව, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉහළ ලාභ ලබා ඇත්තේ රජයට පාඩු කරවමිනි. කෝප් වාර්තාවේ මෙන්ම විගණකාධිපති වාර්තාවේද විශ්ලේෂණ වල මූලික පදනම වූයේ මෙයයි.
පැරණි ප්‍රවාදය නිවැරදි නොවන බව මා විසින් පෙන්වා දී අවසන්ය. රජය වැඩියෙන් ණය ගන්නවානම්, වැඩි පොලී අනුපාතිකයක්ද ගෙවන්නට සිදුවන බවත්, පොලී ආදායම් මඟින් පමණක් මෙවැනි විශාල ලාභයක් ලැබිය නොහැකි බවත් මගේ පෙර ලිපි වලින් පැහැදිලි කෙරිණි.
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වැනි සමාගමකට ඔවුන් විසින් වාර්තා කර ඇති මට්ටමේ ඉහළ ලාභ ලැබීමේ හැකියාවක් ඇත්තේ අඩු මිලට ගන්නා බැඳුම්කර කෙටිකලක් තුළ වැඩි මිලට විකිණීම නැවත නැවතත් කිරීමෙනි. අනිසි උදවු නොලබමින්, මෙය කළ හැකි ආකාර දෙකකි.
පළමු ක්‍රමය, ප්‍රාථමික වෙන්දේසියේ ලන්සු තැබීමේදී අනෙක් තරඟකරුවන්ට සාපේක්ෂව උපාය මාර්ගිකව හැසිරීමට වැඩි කුසලතාවක් තිබීමයි. මේ මඟින් අඩු මිලට බැඳුම්කර හිමි කරගෙන ප්‍රාථමික වෙන්දේසියෙන් අනතුරුව වහාම වැඩි මිලකට විකිණීමේ හැකියාවක් තරඟකරුවෙකුට තිබේ.
දෙවන ක්‍රමය වන්නේ වෙළඳපොළ පොලී අනුපාතිකයන්ගේ කෙටිකාලීන උච්ඡාවචනයන් පසු හඹමින් පොලී අනුපාතික තාවකාලිකව ඉහළ ගොස් පහත වැටෙන්නට ආසන්න වෙද්දී ක්ෂණිකව බැඳුම්කර මිලදී ගෙන, පොලී අනුපාතික පහත වැටී නැවත ඉහළ යන්නට ආසන්න අවස්ථා වලදී අතේ ඇති මේ බැඳුම්කර ක්‍ෂණිකව විකිණීමයි. මේ සඳහා පොලී අනුපාතික වල ඉදිරි කාලයේ හැසිරීම නිවැරදිව පුරෝකථනය කිරීමේ දක්ෂතාවයක් තිබිය යුතු අතර එය පහසු කටයුත්තක් නොවේ.
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉතා සාර්ථක ලෙස මේ ක්‍රම දෙකම අනුගමනය කර තිබේ. ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස පිටුපස ඔවුන් ලද කිසියම් අයුතු වාසියක් තිබේද යන්න ඉදිරි විමර්ශන වලදී හෙළිවන්නට ඉඩ ඇති බැවින් මා මේ ලෙහෙමින් පවතින මල්ල ඔබන්නට යන්නේ නැත. දැනට මා විසින් සිදුකර ඇති විශ්ලේෂණ සියල්ල සිදුකර ඇත්තේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වී ඇති පිළිගත හැකි තොරතුරු මත පදනම්ව මිස හිතළු මත නොවේ. එය ඉදිරියේදීද එසේම සිදුවනු ඇති අතර අළුතින් එකතු වනු ඇතැයි සිතිය හැකි තොරතුරු මගේ විශ්ලේෂණ සඳහා යොදා ගැනෙනු ඇත.
දෙවන ප්‍රවාදය අනුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් රුපියල් 90 බැගින් (වඩා නිවැරදිව රුපියල් 90.17 බැගින්) මිලදී ගෙන ඇත්තේ රුපියල් මිලියන 3000ක බැඳුම්කර ප්‍රමාණයකි. මේ බැඳුම්කර එම සමාගම වෙනුවෙන් මිලදී ගෙන ඇත්තේ ලංකා බැංකුව විසින් නිසා ලංකා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට නැවත විකුණන්නට ඇත්තේ ඊට වඩා තරමක් හෝ වැඩි මිලකට බව සිතිය හැකිය. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් වෙන්දේසියෙන් සෘජුවම මිලදී ගෙන ඇති රුපියල් මිලියන 2000ක බැඳුම්කර ප්‍රමාණය මිල දී ගෙන ඇත්තේ රුපියල් 91.99-97.88 අතර වඩා ඉහළ මිලකටය. මෙයට අමතරව, ප්‍රාථමික වෙන්දේසියෙන් ගැනුම්කරුවෙකු විසින් බැඳුම්කර මිල දී ගන්නා අවස්ථාවේදී 10%ක රඳවා ගැනීමේ බද්දක්ද ගෙවිය යුතු බව මගේ අදහසයි.
දෙවන ප්‍රවාදය අනුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් කෙටි කලක් තුළ සෘජුව හා වක්‍රව සේවක අර්ථසාධක අරමුදල වෙත රුපියල් 120 බැගින් මේ බැඳුම්කර විකුණුවේද යන්න මා දන්නේ නැත. එවැන්නක් සොයා ගත හැකි විශ්වාස කටයුතු මූලාශ්‍රයක් මා සතුව නැත. එය එසේ සිදුවී ඇත්නම් එහිදී කිසියම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්ද යන්නත්, සේවක අර්ථසාධක අරමුදලට හා/හෝ රජයට එමඟින් අවාසියක් සිදුවී ඇත්ද යන්නත් අදාළ පාර්ශ්වයන් විසින් සොයා බැලිය යුතුය.
කෙසේ වුවත්, එක් කරුණක්නම් පැහැදිලිය. ඉහත ආකාරයේ සිදුවීමක් සිදුවී තිබුණත් ඒ හරහා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලබා ගත හැකි උපරිම ලාභය එම සමාගම විසින් වාර්තාකර ඇති ලාභයට වඩා බෙහෙවින්ම අඩුය. රුපියල් 90 බැගින් මිලදී ගෙන 120 බැගින් විකිණුවේනම් රුපියල් බිලියන 5ක බැඳුම්කර වලින් ලබාගත හැක්කේ රුපියල් බිලියන 1.5ක ලාභයකි. අප දන්නා පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභය එමෙන් හත් අට ගුණයකටත් වඩා වැඩිය. එමෙන්ම, 2015 වෙන්දේසියේදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම බැඳුම්කර මිලදී ගත්තේ රුපියල් 90ට වඩා තරමක් හෝ වැඩි මිලකට බවත්, එයින් ලංකා බැංකුවට හා ප්‍රවාදය අනුව මේ 'මගඩියට' හවුල් වූ අනෙකුත් ආයතන වලටද යම් ලාභයක් වෙන කළ යුතු බවත්, රඳවා ගැනීමේ බදු මුදල් ගෙවිය යුතු බවත් අපි දනිමු.
අදාළ වෙන්දේසිය පැවැත්වෙන අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා විසින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑමක් කළ බව පෙනෙන්නට තිබේ. වෙන්දේසි කාමරයට මහ බැංකු අධිපතිවරයා පැමිණීම සාමාන්‍ය දෙයක් නොවේ. මෙහිදී, ආයතන ප්‍රධානියාගේ බලතල ඉක්මවමින් ඔහු කටයුතු කර ඇත්ද යන්න අදාළ විමර්ශන කරන පුද්ගලයින්ට භාර කටයුත්තකි.
එවැනි විමර්ශනයක ප්‍රතිඵල කවරක් වුවත්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ලබා ඇති සමස්ත ලාභය 2015 පෙබරවාරි 27 දින සිදුවූ අකටයුත්තකට බැර කළ නොහැකිය. එසේනම් මේ දෙවන ප්‍රවාදයෙන් විස්තර කෙරෙන "මගඩිය" අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලයට පෙරත්, ඔහුගේ කාලය තුළත්, ඉන් පසුවත් දිගින් දිගටම සිදුවුණා වන්නට පුළුවන.
මහ බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ප්‍රාථමික ගණුදෙණුකාර සමාගමක් ලෙස පත් කරන්නේ 2013 සැප්තැම්බර් 30 වන දිනයි. එවකට මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේ අජිත් නිවාඩ් කබ්රාල්ය. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ පූර්ණ අයිතිය ඇත්තේ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමටය. අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොහොයුරිය වන සිරෝමි වික්‍රමසිංහ, 2013 දෙසැම්බර් 23 දින පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක් බවට පත් වේ. 2014 පෙබරවාරි 05 දින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සිය රාජ්‍ය සුරැකුම්පත් ගණුදෙනු අරඹයි.
ආණ්ඩුමාරුව සිදුවී, 2015 ජනවාරි 09 දින ඉල්ලා අස්වන තුරු අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කරන අතර, සිරෝමි වික්‍රමසිංහ 2015 මාර්තු 9 දක්වා පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරයි. 2015 ජනවාරි 26 දින අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කෙරෙන අතර 'බෑණාට සැලකීම' ගැන කවුරුත් දන්නා සිදුවීම වෙන්නේ ඉන් මසකට පසුවය. 2016 ජූනි 30 දක්වා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස කටයුතු කරයි.
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම අධික ලාභ ලබන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් වූ දින සිට නොවේ. 2014 මාර්තු අවසානය වන විට මවු සමාගම වූ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගම විසින් යෙදවූ රුපියල් මිලියන 310.3ක ප්‍රාග්ධනයකට පමණක් හිම්කම් කියූ එම සමාගම පළමු වසර තුළ ලබන ලාභය මිලියන 959.5කි. මෙය 309.2%ක ප්‍රතිලාභ අනුපාතිකයකි.
මුල් වසරේ ලාභයෙන් වැඩි කොටසක් සමාගමේ ප්‍රාග්ධනයට එකතු කෙරෙන නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම දෙවන වසර අරඹන්නේ රුපියල් මිලියන 1,065.9ක ප්‍රාග්ධනයක් සමඟිනි. එම වසරේ ඔවුන් ලබන ලාභය රුපියල් මිලියන 5,124.3කි. ප්‍රතිලාභ අනුපාතිකය 480.7%කි.
දෙවන වසරේ අවසානය වෙද්දී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රාග්ධනය රුපියල් මිලියන 6,164.6 දක්වා ඉහළ යයි. මේ ප්‍රාග්ධනය යොදවමින් ඔවුහු ඊළඟ මාස හය තුළ තවත් රුපියල් මිලියන 6,815.3ක ලාභ උපයා තිබේ. එය සමසකට 108.8%ක හෙවත් වසරකට 229.4%ක ප්‍රතිලාභ අනුපාතිකයකි.
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ කාලයේ, විශේෂයෙන්ම 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අනිසි වාසියක් සැලසුණු බව බොහෝ දෙනෙකු විශ්වාස කරති. මේ පිළිබඳ විමර්ශන තවමත් පැවැත්වේ. මේ හා අදාළව ශාක්ෂි දී ඇති ඇතැම් සාක්ෂිකාරියන්ගේ ප්‍රකාශ වල අවංකත්වය ගැන රටේ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ සහතික දීමට ඉදිරිපත් වීමෙන් පෙනෙන්නේ ඔහු මේ සිද්ධිය වී ඇති ආකාරය පිළිබඳව පූර්ව නිගමනයක සිටින බවයි. මෙය යහපත් තත්ත්වයක් නොවේ.
හිටපු අධිපතිවරයාගේ ධුර කාලය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අනිසි වාසියක් ලැබී ඇති බවට මතුවන තර්කය බැහැර කළ නොහැකි වුවත්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ඉහළ ලාභ වලට එකම හේතුව එවැනි අනිසි වාසියක් විය නොහැකිය. අර්ජුන් මහේන්ද්‍රන්ට පෙර අධිපති ධුරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොහොයුරිය පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ පූර්ණ අයිතිය ඇති මවු සමාගමේ අධ්‍යක්ෂවරියකව සිටියද, අදාළ කාලය තුළ එම සමාගමට මහ බැංකුවෙන් කිසිදු අනිසි වාසියක් සැලසුණු බව වාර්තා වී නැත. ඒ කාලය තුළද පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රතිලාභ අනුපාතිකය 309.2% තරම් ඉහළ මට්ටමක පැවතුණේය. එමෙන්ම, අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිධුරයෙන් ඉවත් වීමෙන් පසුවද එම සමාගම 229.4% තරමේ ඉහළ ප්‍රතිලාභ අනුපාතික වාර්තා කරයි.
ඇතැම් විට පර්පෙචුවල් සමාගමේ ලාභ අනිසි ලාභ බව කිසියම් කොමිසමිකින් තීරණය කරනු ලැබ එයින් කොටසක් රජයට පවරා ගැනීම වැනි දෙයක් ඉදිරි කාලයේදී සිදුවන්නට බැරිකමක් නැත. ලංකාවේ කොමිෂන් වාර්තා වලින් කොමිෂන් පත් කරන්නන්ගේ පූර්ව නිගමන පිළිබිඹු වන්නට ඉඩකඩක් නැත්තේ නැත. එය එසේ සිදුවුවත් නොවූවත්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් හෝ වෙනත් එවැනි සමාගමක් විසින් බැඳුම්කර වෙළඳාමෙන් ඉදිරියේද මෙවැනි විශාල ලාභ ලැබීමට ඇති ඉඩකඩ තවමත් වැසී නැත.
පර්පෙචුවල් ට්‍රෙෂරිස්ලා මේ ප්‍රශ්නගත බැදුම්කර සිද්ධියෙන් අනෙක් සමාගම් වලට නැති අනිසි ලාභයක් නිත්‍යානුකුල නොවන ලෙස ඉපයූවා නම් අනෙකුත් බැදුම්කර සිද්දියේ අනෙකුත් සමාගම් නිහඬව ඉන්නේ ඇයි යන්නත් ගැටලුවක්.
ReplyDeleteපර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම යනු අනෙක් ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම් වල පරමාදර්ශයයි. ඔවුන් බලා සිටින්නේ පර්පෙචුවල් සමාගම වගේ වෙන්නටය. පවතින තත්ත්වයන් තුළ වෙනත් අයෙක් මේ අයුරින්ම ක්‍රියා කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.
Deleteඒ කියන්නේ පෙර්පෙචුවල් එක කරලා තියෙන්නේ නීතිය ස්ට්‍රෙච් කිරීමක් කියලද ඔබ කියන්නේ ? නැතිනම් නීතියට පිටින් කටයුතු කිරීමක්ද?
Deleteඔය දෙකෙන් එකක්වත් සිදුවුනා කියන්න දැනට ප්‍රසිද්ධ වී ඇති, මම දන්න පිළිගත හැකි තොරතුරු ප්‍රමාණවත් නැහැ. ඇතැම් විට ඉදිරියේදී එළියට එන කරුණු අනුව මගේ අදහස වෙනස් වෙන්න පුළුවන්. ඒ දෙස විමසිල්ලෙන් බලා ඉන්නේ ඒ නිසයි. ඒ වගේම, හිටපු අධිපතිවරයා විසින් බලපෑමක් කළ බව පෙනෙන්නට තිබෙන නමුත් ලංකාවේ නීතිය අනුව මෙහි ඇති වරද කුමක්ද කියන එක මට පැහැදිලි නැහැ. නඩු පැවරීමක් කිරීමටනම් නිශ්චිත නීතිමය වරදක් හඳුනාගත යුතුයි. පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් කළා කියන වැරදි වලට නඩු නොවැටෙන්නේත් මේ හේතුව නිසා.
Deleteකොමිසමේ සාක්ෂි අවසන් වෙනකම් තාවකාලිකව මේ මාතෘකාව ගැන විස්ලේෂණ ඉදිරිපත් කිරීම නවත්තනවා වගේ අදහසකින්ද මේ ලිපිය ලියල තියෙන්නේ?
ReplyDeleteතව එක ප්‍රශ්නයක්. කොහෙදීද ජනාධිපති සාක්ෂි වල විශ්වසනීයත්වය ගැන දේශනා කරලා තිබුනේ? ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?
කාන්තා දින කතාව අනුව, ජනාධිපතිතුමා සිදුවී ඇති 'නිවැරදි' දෙය 'දනී'. ඔහුට බලා සිටින්නේ ඔහු දන්නා 'නිවැරදි' දෙය තහවුරු කරමින් 'අවංක' ලෙස එළිදරවු කරන සාක්ෂි ලැබෙන තුරුය.
Deletehttp://www.rupavahininews.lk/index.php/local-news/9232-2017-03-09-slfp-women-s-day
http://www.divaina.com/2017/03/12/feature45.html
//තාවකාලිකව මේ මාතෘකාව ගැන විස්ලේෂණ ඉදිරිපත් කිරීම නවත්තනවා වගේ අදහසකින්ද මේ ලිපිය ලියල තියෙන්නේ?//
Deleteබොහෝ දෙනා දන්නා මා නොදන්නා කරුණු (විශේෂයෙන්ම සේ.අ.අ. සමඟ පසුව වූ ගනුදෙනු) වැඩිකල් නොයා ප්‍රසිද්ධ වීමට ඉඩ ඇති බැවින් එතෙක් බලා සිට ඒ කරුණුද දැනගෙන විමර්ශනයට ලක් කිරීම නුවණට හුරු බව පෙනේ. එහෙත්, දැනට ප්‍රසිද්ධ වී ඇති කරුණු වලින් වුවද කියන්නට හැකි ඇතැම් දේ තිබේ. ඒ දේවල් එතෙක් බලා නොසිට ලියන්නට බාධාවක් නැත. විශේෂයෙන්ම මගේ මූලික අරමුණ මේ සිද්ධිය පාදක කර ගනිමින් විෂයයට අදාළ පොදු කරුණු සාකච්ඡා කිරීම නිසා එවැනි දේ තවදුරටත් කරන්නට පුළුවන.
දිවයිනේ ලියා තියන කරුණු අනුව පෙනෙන්නේ,රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වෙන්දේසි ක්‍රමයට කැමැත්තක් තිබිලම නෑ වගේ කියලයි. ඇත්තටම රජයට බිලියන 15 අවශ්‍යව තිබ්බ නම් ඉතිරිය සපය ගන්න වෙන්නෙත් ඩීල් වලින්ම නේද?
ReplyDeleteදැන් ඔය වෙන්දේසි ක්‍රමයට ගිය එක වැරදියි සෘජු ක්‍රමයෙන් දෙන එක තමයි හොඳ කියන කෂ්ටිය, අනෙක් රාජ්‍ය ආයතන වල ප්‍රොජෙක්ට්ස් ටෙන්ඩර් කරන්නේ නැතිව දුන්න කියල ඉඳල හිටලා මර ලතෝනි තියෙනවා ඇහෙන්නේ ඇයි?
Delete//රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වෙන්දේසි ක්‍රමයට කැමැත්තක් තිබිලම නෑ වගේ කියලයි// දැන් වැඩේ පත්තු වී ඇති නිසා සියළු දෙනාම බලන්නේ තමන් ගැලවෙන්නේ කෙසේද කියායි. මේ වෙලාවේ කියන දේවල් වලින් ඊට වඩා දෙයක් නිගමනය කළ නොහැක.
Deleteඉකොනොමැට්ටා,
ReplyDeleteවත්මන් රජය විසින් මෙම වසර තුල හදිසියේ වාහන වෙළෙඳපොළ වෙත හඳුන්වා දී ඇති නව ප්‍රතිපත්ති හේතුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදකයින් ගණනාවක්ම අසීරුතාවයට පත්ව ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබෙනු ඔබ දුටුවාද?
පසුගිය දූෂිත රාජපක්ෂ රෙජීමය සමයේ 100% බැංකු මූල්‍ය පහසුකම් (ලීසිං/ හයර් පර්චේස්) ලබාදීම නවතා 2015 ටිට වත්මන් රජය මීට පෙර මෝටර් රථ සඳහා එහි වටිනාකමෙන් සියයට 70 ක් දක්වා බැංකුවලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාවක් තිබුණද අද වන විට එම අගය මෝටර් රථ සඳහා සියයට 50 ක් දක්වාත් ත්‍රීරෝද රථ සඳහා සියයට 25 ක් දක්වා ත් සීමා කර තිබේ.
ඉන්දියානු මෝටර් රථ නිපදවන්නන් වන මාරුති සුසුකි, රෙනෝල්ට්-ඉන්ඩියා, නිසාන්-ඉන්ඩියා, මහීන්ද්‍රා ඇන්ඩ් මහීන්ද්‍රා, ටාටා මෝටර්ස් සහ බජාජ් ඔටෝ වාහන නිෂ්පාදකයින්ගේ මෝටර් රථ අලෙවිය මේ හේතුවෙන් බරපතළ ලෙස පහළ ගොස් ඇති බව එහි වැඩිදුරටත් වාර්තා වේ.
මෙම තත්ත්වය ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයින් හට සුවිශාල බලපෑමක් එල්ල කර ඇතැයි මෙහි වැඩිදුරටත් සඳහන් වේ. ඔවුන්ගේ ප්‍රධානතම විදේශ වෙලඳපොළ වන්නේ ශ්‍රී ලංකාවයි. සමස්ත වශයෙන් ඉන්දියාවේ 04වන විශාලතම විදේශ වෙළඳපොල ශ්‍රී ලංකාවයි. මේ හරහා ඉන්දියාවට වන හානිය මගහරවා ගැනීමට ඔවුන් මෙරට රජය සමග සාකච්ඡා කරනු ඇති බවට මත පළවේ. මේ ගැන ලිපියක් (පෝස්ට් එකක්) ලියා අපව දැනුවත් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ කියන කරුණු නිවැරදිය. එහෙත්, ඉන්දියාවට පාඩු වීම යනු ලංකාවට වාසියක් වීම නොවේ. ස්වේච්ඡාවෙන් සිදුවන ජාත්‍යන්තර වෙළඳාමෙන් දෙපාර්ශ්වයටම සැලසෙන්නේ වාසියකි. අනික් අතට, මූල්‍ය ආයතන ණය දෙන්නට කැමතිනම්, ගණුදෙනුකරුවන් ණය ගන්නට කැමතිනම් එවැනි ගණුදෙනු වැළැක්වීමෙන් එක් පාර්ශ්වයකටවත් සිදුවන යහපතක් නැත. පසුගිය රජය විණිමය අනුපාතිකය පහළින් තබාගත් නිසා ආනයන ඉල්ලුම වැඩිවිය. දැන් කරන්නේ මේ හේතුවට පිළියම් නොයොදා ඵලය වෙනස් කිරීමට උත්සාහ කිරීමයි. ඒ අතරම පොලී අනුපාතිකද ඉතා ඉක්මණින්ම ඉල්ලුම-සැපයුම සමතුලිත වන 'සැබෑ' පොලී අනුපාතික වලින් වෙනස් වන්නට ඇති ඉඩකඩ පෙනී යයි. ණය ඉල්ලුම පාලනය කළ යුත්තේ පොලී අනුපාතික ඉහළ යන්නට ඉඩ හැරීමෙනි. ආනයන ඉල්ලුම පාලනය කළ යුත්තේ විණිමය අනුපාතිකය නිවැරදි වන්නට හැරීමෙනි. රජයේ ණය/ පොලී වියදම් ගැන පමණක් හිතමින් මේ විචල්‍ය කෘතීම ලෙස පාලනය කිරීම තුළ සිදුවිය හැකි දිගුකාලීන අහිතකර ප්‍රතිඵල කෙටිකාලීන වාසි වලට වඩා බොහෝ වැඩිය.
Delete