Friday, March 3, 2017

මහ බැංකුවෙන් ගැසට් එක ගැන නිවේදනයක්!

මුදල් අමාත්‍යංශය විසින් මාධ්‍ය අවධානයට ලක් කෙරුණු ගැසට් පත්‍රය පිළිබඳව මහ බැංකුව විසින් පුවත්පත් නිවේදනයක්  නිකුත් කර තිබේ.

"ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වෙන්දේසි ක්‍රමය මත පදනම් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම 1997 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. භාණ්ඩාගාර බැඳුම්කර, ප්‍රාථමික අලෙවිකරුවන් හරහා වෙන්දේසියේ නිකුත් කිරීම ආරම්භ වීමත් සමඟ භාණ්ඩාගාර බැඳුම්කරවල මිල සහ ප්‍රමාණය වෙළඳපොළ බලපෑම් හරහා තීරණය කෙරිණි. එම නිසා අදාළ ගැසට් නිවේදනයන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලින් පසුව ඉදිරිපත් වුවද දිනය සහ ගැසට් නිවේදන අංකය කලින් වෙන්කර ගන්නා ලද ඒවා විය. ශ්‍රී ලංකා මහ බැංකුව පවත්නා නීතිමය අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා පහත සඳහන් පියවරයන් ගන්නා ලදී.

(අ) එක් එක් මූල්‍ය වර්ෂයක් සඳහා වූ විසර්ජන පනත යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් අනුමත කරන ලද සීමාව තුළ යම් වර්ෂයක දී සිදු කරන ලද මුළු ණය ගැනීම් ප්‍රමාණය පවත්වාගෙන යන ලදී.


(ආ) මුදල් අමාත්‍යංශය මගින් සපයනු ලබන තොරතුරු මත පදනම්ව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හරහා රැස්කර ගත යුතු මුදල, පොලී අනුපාතය, වෙන්දේසි දිනය, පියවිය යුතු දිනය සහ කල්පිරීම් ඇතුළු සියලුම තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව භාෂා තුනෙන්ම ජාතික පුවත්පත්වල සහ එහි වෙබ් අඩවියෙහි ප්‍රකාශයට පත් කරනු ලබයි.


(ඇ) එක් එක් වෙන්දේසිය අවසාන වූ වහාම එම වෙන්දේසිට අදාළ ප්‍රතිපල ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය හරහා පොදු මහජනතාවගේ දැන ගැනීම පිණිස  බෙදා හැරේ.

නව භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩයක් නිකුත් කිරීමට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පවතින කාණ්ඩයන් නැවත විවෘත කිරීමක් ද සිදු කරන අතර ඒවා පිළිගත් ජාත්‍යන්තර ණය කළමනාකරණ පරිචයන්ට අනුකූලව කල්පිරීමට ඉතිරිව ඇති කාලසීමාව මත පදනම්ව නිකුත් කෙරේ. එම නිසා, සලකා බලන මූල්‍ය වර්ෂය තුළ අලුතින් නිකුත් කරන ලද මෙන්ම නැවත විවෘත කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ තොරතුරු කිසියම් වර්ෂයකට අදාල ගැසට් නිවේදනයෙහි අන්තර්ගත වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පණතේ නම් කරන ලද නීතිමය අවශ්‍යතාවයනට අනුකූලව කටයුතු කර ඇති බව තහවුරු කර සිටී.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පූර්ණ නෛතික අධිකාරීත්වයකින් සහ බලාත්මක බවකින් යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොදු මහජනතාව වෙත සහතික වේ.

මීට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතට අදාළ යෝග්‍ය සංශෝධනයන් කිරීමට ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශයන් සිදු කරනු ඇත.
"

මහ බැංකුව විසින් පසුගිය කාලය පුරා ක්‍රියාකර ඇති ආකාරයේ ඇති අඩුපාඩු වසා ගැනීමේ අරමුණින් නිකුත් කර ඇති මේ නිවේදනයේ කියැවී ඇත්තේ මහ බැංකුවට කියන්නට අවශ්‍ය කොටස පමණි.

පළමුව, මහ බැංකුව විසින් මේ නිවේදනය මඟින් භාණ්ඩාගාර බැඳුම්කර වල නෛතික වලංගුතාවය පිළිබඳ සහතිකයක් දී තිබේ. එය මේ වෙලාවේ කල් නොයවා කිරීම වැදගත්ය. ඇතැම් වෙබ් අඩවි වල ප්‍රචාරය කර තිබුණු පරිදි මේ බැඳුම්කර වල නෛතික වලංගු භාවයක් නොමැති බැවින් දැන් ආණ්ඩුවට පොලී මුදල් නොගෙවා සිටින්නට පුළුවන.

හෙජින් ගනුදෙනුව සිදුකිරීමෙන් පසුව ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය අනුව මෙවැනි දේවල් වුවත් වෙන්නට බැරිකමක් නැතත් එවැන්නක් සිදු වන්නට ඇත්තේ නොගිණිය හැකි තරමේ ඉඩකඩකි. යම් හෙයකින් ආණ්ඩුව බැඳුම්කර සඳහා පොලී නොගෙවා හිටියොත් හෝ එවැනි සඳහනක් හෝ කලහොත් ආණ්ඩුව ඉන්පසු ණය අරගෙන හමාරය. ඒ නිසා, ආණ්ඩුව එවැන්නක් කවදාවත් කරන්නේ නැත.

කෙසේවුවද, මේ සිදුවී ඇති දේ නිසා ආණ්ඩුවට නීතිමය ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවන්නට බැරිකමක් නැත. කිසියම් අයෙකු මේ ගැන ප්‍රශ්න කරමින් නඩුවක් ගොනු කිරීම සිදුවිය හැක්කකි. සිදුවිය හැකි නරකම තත්ත්වයන් යටතේ උසාවියකින් මේ බැඳුම්කර වල වලංගු භාවය ප්‍රශ්න කළත්, ආණ්ඩුවට පණතක් සම්මත කරගෙන වැඩේ ගොඩදාගන්නට පුළුවන. කවුරු හෝ නඩුවක් ගොනුකරන්නට ඉඩ ඇතත්, උසාවියකින් එවැනි තීන්දුවක් දෙන්නට ඉඩකඩක් තිබීමේ හැකියාවක් වුවද පෙනෙන්නට නැත.

දැන් මේ ගැසට් පසුදාතම් දමා නිකුත් කිරීම ගැන මහ බැංකුව කියන කතාව කුමක්ද?

පුවත්පත් නිවේදනය අනුව, වෙන්දේසි ක්‍රමය මත පදනම් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම 1997 වර්ෂයේ දී ආරම්භ වී ඇති අතර එයින් පසුව භාණ්ඩාගාර බැඳුම්කරවල මිල සහ ප්‍රමාණය වෙළඳපොළ බලපෑම් හරහා තීරණය කෙරී ඇති බැවින් පවතින නීතියට අනුගත වීමේ හැකියාවක් මහ බැංකුවට තිබී නැත. ඒ නිසා, මහ බැංකුව විසින් කර ඇත්තේ මහ බැංකුවට කළ හැකි හොඳම දෙයයි. මහ බැංකුව කියන පරිදි පුවත්පත් හා මහ බැංකු වෙබ් අඩවිය හරහා තොරතුරු ප්‍රසිද්ධ කිරීම මඟින් මහා බැංකුව විසින් නීතිය අනුගමනය නොකළත්, නීතිය මඟින් අපේක්ෂා කළ දෙය ඉටු කර තිබේ. නීතියේ අරමුණ මහබැංකුව විසින් ඉටු කර ඇති නිසා මහ බැංකුවේ වැරැද්දක් නැත. වැරැද්ද තියෙන්නේ නීතියේය. ඒ නිසා, මහ බැංකුව විසින් ඉදිරියේදී නීතිය වෙනස් කිරීමට කටයුතු කරනු ඇත.

මහ බැංකුව මේ කියන්නේ ඇත්තද?

මේ කියන නීතිය, එනම් ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම් ආඥා පණත 2004 වසරේදී සංශෝධනය කෙරුණු අතර මහ බැංකුව එම සංශෝධනය කිරීමේදී මූලිකත්වය ගත් ආයතනයකි. ඒ වන විට, මේ වෙන්දේසි ක්‍රමය ආරම්භ වී අවුරුදු හතක්ම ගතවී අවසානය. මෙවැනි ප්‍රශ්නයක් තිබුණානම් නීතිය ඒ වෙලාවේ සංශෝධනය කරන්නට මහ බැංකුවට පුළුවන්කම තිබුණේය. එහෙත්, මහ බැංකුව එසේ නොකළේය.

එයින් පසුව, දැන් තවත් වසර 13ක් ගෙවී ඇති අතර මේ වසර 20 පුරාවටම නීතිය වෙනස් කරගැනීමට මහ බැංකුවට මතක් වුණේ නැත. දැන් හදිසියේම එය මතක් වී ඇත!

නීතියේ ඇත්තටම ඔය කියන විදිහේ වැරැද්දක් නැත. නීතිය අනුව, පොලී අනුපාතික කලින් දැනුම් දෙන්නටද අවශ්‍ය නැති අතර පොලී අනුපාතික තීරණය කරන ක්‍රමවේදය ප්‍රසිද්ධ කිරීම ප්‍රමාණවත්ය. මහ බැංකුව එසේ නොකරන්නේ එදා මෙන්ම අදත් මහ බැංකුවට එවැනි ක්‍රමවේදයක් නැති බැවිනි.

වෙන්දේසියකදී මිල හා ප්‍රමාණය යන දෙකම එකවර තීරණය කිරීම පාරදෘශ්‍ය ක්‍රමයක් නොවේ. එවැනි ක්‍රමයක් පවතින විට තමන්ට අවශ්‍ය අයෙකුට 'සැලකිල්ලක්' කිරීමට මහ බැංකුවට නීතියෙන්ම ඉඩක් ලැබේ. ඒ නිසා, කළ යුත්තේ දැනට පවතින වැරදි ක්‍රමය නීතිගත කිරීම නොව පවතින නීතියට අනුගත වීමයි.

ආයතනික ක්‍රියාපටිපාටියක වැරැද්දක් තිබීම පුද්ගලයෙකු අතින් වැරැද්දක් සිදුවනවාට වඩා අතිශයින්ම හානිකරය. මුදල් ඇමතිලා මෙන්ම, මහ බැංකු අධිපතිලාද වෙනස් වේ. එවිට, පුද්ගලයින් වශයෙන් ඔවුන්ගෙන් සිදුවෙමින් පැවති වැරදි නැවත තවදුරටත් එසේම සිදු නොවේ. එහෙත්, ආයතනික ක්‍රියාපටිපාටියක ඇති වැරදි එසේ පුද්ගලයා මාරු වූ පමණින් නිවැරදි නොවේ. ඉදිරියේදී හෝ මහ බැංකුව විසින් කළ යුත්තේ මේ ගැසට් නිවේදනය වෙන්දේසි පැවැත්වීමට පෙර ප්‍රසිද්ධ කිරීමයි.

මෙහිදී එල්ලවී ඇති චෝදනාව වන්නේ සෘජු ප්‍රදාන ලෙස සිදු කළ නිකුතුද, වෙන්දේසි නිකුතු අස්සේම සඟවනු පිණිස මහ බැංකුව මෙසේ වසරකට පසු ගැසට් නිවේදන නිකුත් කළ බවයි. මහ බැංකුව සිය පුවත්පත් නිවේදනයේ ඒ ගැන කිසිවක් නොකියන්නට පරිස්සම් වී තිබේ.

සෘජු ප්‍රදාන ලෙස විකිණූ බැඳුම්කර පුවත්පත් වල ප්‍රසිද්ධ කර නැත. එක් එක් වෙන්දේසිය වෙනවෙනම ගැසට් නොකර එකම වර්ගයක බැඳුම්කර සියල්ල එකවර ගැසට් කිරීමෙන් මේ සෘජු ප්‍රදාන වෙන්දේසි නිකුතු අතර සැඟවිය හැකිය. මහ බැංකුව විසින් පසුදාතම් දමා ගැසට් නිවේදන මුද්‍රණය කර ඇත්තේ ඒ සඳහා වන්නට පුළුවන. එසේ නැතුව, නීතියේ අරමුණ ඇත්තටම ඉටුකර තිබේනම් ගැසට් නිවේදනයට පරණ දිනයක් දැමීමේ අවශ්‍යතාවයක් නැත. මෙසේ පරණ දිනයක් දැමූ විට පසු කාලයකදී මේ ගැසට් පරිශීලනය කරන අයෙකුට පෙනී යන්නේ වෙන්දේසි පැවැත්වීමට පෙර වසර මුලදී සියළු විස්තර ගැසට් කරමින් මහ බැංකුව පාරදෘශ්‍ය ලෙස කටයුතු කර ඇති බවයි. එහෙත්, ඇත්ත එය නොවේ.


(Image: Lankainformation.lk)

9 comments:

  1. රටේ මහ බැංකුවේ තත්ත්වේ මෙහෙමනම් හැමතැනම යන්නේ හකුරු න්‍යාය කියලා හිතාගත්තෑකි....

    ReplyDelete
    Replies
    1. රටේ මිනිසුන් බොහෝ විට ඇඟිලි දික්කරන්නේ (වගේම ක්‍රෙඩිට් එක දෙන්නෙත්) දේශපාලනඥයින්ට වීමත්, දේශපාලනඥයින් (විශේෂයෙන්ම ඇමති වරුන්) බොහෝ දෙනෙක් තමන්ගේ විෂයයන් ගැන ප්‍රාමාණික දැනුමක් නැති අය වීමත් නිසා නිලධාරීන්ට තාක්ෂණික හේතු ඉදිරිපත් කර තමන්ගේ වැරදි හා අකාර්යක්ෂමතාවයන් වසා ගන්නට ඉඩක් ලැබී තිබෙනවා.

      Delete
  2. So sad. What those bunch of clowns working in Central Bank do? Just only getting six figure luxurious salaries from poor tax payers money while doing utter blunders & just letting the government to extreme losses? What a pity? God save mother Lanka.

    ReplyDelete
    Replies
    1. I don't criticize all what they have done, Ano. But, in this case, the Central Bank has not done their job prudently and they try to cover it up.

      Delete
  3. ප්‍රශ්නගත බැඳුම්කර සිදුවීම නිසා සිදු වෙච්චි යහපතක් කියලා හරි කියන්න පුළුවන් මහා බැංකුව තමන්ගේ වැරදි,නිවැරදි කර ගන්න ඉදිරියටත් ක්‍රියා කලහොත්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම රටේ බොහෝ දෙනෙක්ට ආවරණය වී තිබුණු මහ බැංකුවේ කටයුතු සිදුවන ආකාරය, බැඳුම්කර හා අදාළ කරුණු ආදිය බොහෝ දෙනෙක් දැන ගැනීමත් යහපත් දෙයක්.

      Delete
  4. වෙන කරන්න දෙයක්‌ තිබුණේ නෑ බිලියන 10 ක ලංසු පිළිගන්න අර්ජුන මට නියෝග කළා

    ඉකොනෝ මහතා, ඔබ මිට ඉහත සහන කළා අර්ජුන් මහේන්ද්‍රන් මුදල් මණ්ඩලයට පැමිණ කෙතරම් මුදලකට බැදුම්කර නිකුත් කලයුතුද වගට නියෝග කල බවද සාක්ෂි නැති කියා. ඉහත සබැදියේ එම සාක්ෂිය මුදල් මණ්ඩලයේ ප්‍රධානි දී තිබෙනවා. දැන් ඔබගේ ස්ථාවරය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ වැදගත් ලිපි පෙළකට කැලෑ පත්තර වල තියෙන මගුල් දාල වන කරන්න එපා.

      Delete
    2. //ඉකොනෝ මහතා, ඔබ මිට ඉහත සහන කළා අර්ජුන් මහේන්ද්‍රන් මුදල් මණ්ඩලයට පැමිණ කෙතරම් මුදලකට බැදුම්කර නිකුත් කලයුතුද වගට නියෝග කල බවද සාක්ෂි නැති කියා. ඉහත සබැදියේ එම සාක්ෂිය මුදල් මණ්ඩලයේ ප්‍රධානි දී තිබෙනවා. දැන් ඔබගේ ස්ථාවරය කුමක්ද?//

      ඇනෝ, මම මෙසේ කියූ බවට ඔබට අදහසක් ඇති කර ඇති කොටස තරහ නැතුව පුලුවන්නම් උපුටා දක්වනවද? මම එවැන්නක් කියූ බවක් මට මතක නැහැ. වෙනත් දෙයක් එසේ තේරුණා විය හැකියි.

      දීපා සෙනෙවිරත්න මහත්මිය මුදල් මණ්ඩලයේ ප්‍රධානි නෙමෙයි. ඇය හිටපු රාජ්‍ය ණය අධිකාරී. කොහොම වුණත් ඔබ මතු කරන කරුණට එය අදාළ නැහැ. හිටපු අධිපති තුමා විසින් "Why don't you go for 10?" කියා (හෝ ආසන්න අරුතක් ඇති දෙයක්) ඇසූ බව කෝප් කමිටුවටත් සාක්ෂි දී තිබුණනේ. ඒ අතරම මෙහි නම සඳහන් ආචාර්ය ආසිම් විසින් මහ බැංකුව විසින් ගත් තීරණය අදාළ කමිටුව විසින් පැවති වෙළඳපොළ තත්ත්වයන් සලකා ගත් තීරණයක් බව පැවසූ බවත් එහිම සඳහන් වෙනවා. මහ බැංකු අධිපතිගෙන් කමිටුවට බලපෑමක් සිදුවූ බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. එය නීතියෙන් වරදක්ද නැද්ද යන්න තීරණය වෙන්නේ අනෙක් නිලධාරීන් විසින් ලබා දෙන සාක්ෂි ඇතුළු තවත් බොහෝ කරුණු මතයි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.