Wednesday, March 8, 2017

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටෙන්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම විසින් ලංකාවට විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමෙන් පසුව සිදුකරන දෙවන සමාලෝචනය මේ වන විට අවසන් කර තිබේ. පසුගිය දෙසතියක පමණ කාලය පුරා සිදු කළ මේ සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව දූත කණ්ඩායම විසින් ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය වසරේ මැද වන විට ඉතා දරුණු තත්ත්වයකට පත්ව තිබුණු ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ ආර්ථිකය, විශේෂයෙන්ම විදේශ අංශය, ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2016 ජූනි සිට තෙවසරක කාලයක් තුළ ලංකාවට ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියන 1.5ක පමණ විස්තීර්ණ ණය පහසුකම හේතුවෙනි. මෙම ණය මුදලින් ඩොලර් මිලියන 168ක් පමණ වූ පළමු වාරිකය ආරම්භයේදීම ලබාදුන් අතර ඉතිරි මුදල් තවත් වාරික පහකින් ලබා දීමට නියමිතව පැවතිණි. පසුගිය නොවැම්බර් මාසයේදී සිදු කෙරුණු පළමු සමාලෝචනයෙන් අනතුරුව ඩොලර් මිලියන 162ක් පමණ වූ දෙවන වාරිකයද මුදා හැරුණේය. තෙවන වාරිකය මුදා හැරීමට පෙර මේ දෙවන සමාලෝචනය සිදු කෙරේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචන වාර්තාව සමස්තයක් ලෙස මිශ්‍ර එකක් වුවත්, ආර්ථිකයේ ඇතැම් අංශ හා අදාළ ප්‍රගතිය පිළිබඳව අරමුදලේ නිලධාරීන් සෑහීමට පත්ව ඇති බවක් නොපෙනේ.

විණිමය අනුපාතිකය කෘතීම ලෙස ඕනෑවට වඩා පහළින් තබා ගැනීමට උත්සාහ කිරීම නිසා ලංකාවට වරින් වර ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දීමට සිදුවේ. පසුගිය දශක දෙක තුන තුළ ලංකාවට මුහුණ දුන් ගෙවුම් ශේෂ අර්බුද ගණනාවකින්ම ආර්ථිකය කඩා නොවැටී බේරුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම් හා සමගාමීව සිදුවුණු ආර්ථික ප්‍රතිසංස්කරණ වල උදවුවෙනි. මේ හැම විටෙකම සිදුවුණු ප්‍රධානම ප්‍රතිපත්ති වෙනස වූයේ රුපියල අවශ්‍ය මට්ටමට පිරිහෙන්නට හැර විදේශ අංශය නිවැරදි කරනු ලැබීමයි. පෙර අවස්ථා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුවද රාජ්‍ය මූල අංශය සැලකිය යුතු ප්‍රගතියක් නොපෙන්වුවත්, මහ බැංකුවේ විෂය පථයට අයත් මුදල් හා විදේශ අංශ නිසි ලෙස කළමනාකරණය කිරීම නිසා සමස්තයක් ලෙස ආර්ථිකයේ ප්‍රගතියක් දකින්නට හැකිවිය. මෙවර මේ තත්ත්වයේ කිසියම් වෙනසක් පෙනේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචන වාර්තාව මෙවර විශේෂ අවධානය යොමු කරන්නේ මහ බැංකුවේ විෂය පථය යටතේ ඇති මුදල් හා විදේශ අංශ වෙතටය. එක් අතෙකින් නැඟී එන උද්ධමන අවදානම් පෙනෙන්නට තිබෙන අතර, දැකිය හැකි ප්‍රවණතාව නියඟයේ බලපෑම හා එකතු කළ අගය මත බදු (වැට්) වැඩි කිරීම වැනි සැපයුම් සාධක වලටම ලඝු කළ නොහැකිය. උද්ධමන පීඩන පිළිබඳව සුපරීක්ෂාකාරීව අධීක්ෂණය කර, උද්ධමනය හෝ ණය වර්ධනය පහළ යෑමක් නොවන්නේනම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස විසින් මහ බැංකුව දිරිමත් කරන්නේ එබැවිනි.

තවදුරටත්, වඩාත්ම ගැටළුකාරී හා අවදානම් සහගත තත්ත්වයක පවතින්නේ විදේශ අංශයයි. මහ බැංකුව විසින් තවමත් විණිමය අනුපාතිකය පහළ වැටීම සීමා කරමින් සිටින බව පෙනෙන්නට ඇති අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ විදෙස් සංචිත ක්‍රමයෙන් පහළ යයි. විදේශ විණිමය අනුපාතිකයෙහි නම්‍යශීලිත්වය පවත්වා ගැනීම පිණිස මහ බැංකුව විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි දූත පිරිස අදහස් කරන්නේ එබැවිනි.

'නියම' මට්ටමට එන්නටනම් රුපියලේ විදේශ අගය තවදුරටත් විශාල ලෙස පිරිහිය යුතුය. මෙය ක්ෂණිකව සිදුවන්නට ඉඩ නොහැර පමා කිරීමෙන් සිදුවන්නේ අර්බුදය තවත් උග්‍ර වීම පමණි. රජයට කෙටිකාලීනව විදේශ ණය වාරික ගෙවන්නට ඇත්නම් මහ බැංකුව විසින් කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය වන ඩොලර් හැකිතාක් වෙළඳපොළෙන් මිලදී ගැනීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියලේ විදේශ අගය පිරිහෙනු ඇතත්, එයින් දිගුකාලීනව සැලසෙනු ඇත්තේ යහපතකි.

පසුගිය රජය විසින් ලබාගත් ණය ගැන ඕනෑවටත් වඩා කතා කෙරී ඇතත් පසුගිය රජය වත්මන් ආර්ථික අර්බුදයට පාර කැපුවේ වැඩිපුර ණය ගැනීම හේතුවෙන්ම නොවේ. ණය ගැනීම පැත්තෙන් පසුගිය රජය කළේ පෙර රජයයන් අනුගමනය කළ ක්‍රියාමාර්ගයම ඉදිරියට ගෙනයාමයි. පසුගිය රජය විසින් ආර්ථිකයට සිදුකළ දැවැන්තම හානිය සිදුකළේ විදේශ විණිමය ප්‍රතිපත්තිය හරහාය. ජාතික ආර්ථිකයක් ගැන ප්‍රසිද්ධියේ කතා කළත්, පසුගිය රජයේ විදේශ විණිමය ප්‍රතිපත්තිය හරහා සිදුකළේ ජාතික ආර්ථිකය ක්‍රමයෙන් විනාශ කර දැමීමයි. මෙහි වාසිය වැඩියෙන්ම ගත්තේ ඉන්දියාව වූ අතර ඉන්දියාව සමඟ පැවති වෙළඳ ගිවිසුම් වලින් ලංකාවට වාසියක් ගැනීමට නොහැකි වූයේද පැවති විදේශ විණිමය ප්‍රතිපත්තිය හේතුවෙනි.

ආණ්ඩු මාරුවෙන් පසු රුපියල කිසියම් ප්‍රමාණයකින් වැටෙන්නට ඉඩහැර ඇතත් එසේ සිදුවූ අවප්‍රමාණය වීම අවශ්‍ය නිවැරදි වීමට වඩා බෙහෙවින්ම අඩුය.

රුපියල අවප්‍රමාණය වන විට රුපියල් වලින් සිදු කෙරෙන විදෙස් ආයෝජන හේතුවෙන් සිදුවන ප්‍රාග්ධන ප්‍රවාහ වල දිශානතිය  ආපසු හැරෙනු ඇති නමුත් එය මේ වන විටත් සෑහෙන දුරකට සිදුවී අවසන් බැවින් තවත් හානි වෙන්නට දෙයක් නැත. නියම මට්ටමට පැමිණ රුපියල ස්ථාවර වූ පසු නැවතත් කෙටිකාලීන ප්‍රාග්ධන ආයෝජන සිදුවනු ඇත. එමෙන්ම, රුපියල අවප්‍රමාණය වන විට රජය විසින් පෙර ලබාගෙන ඇති විදේශ ණය වල රුපියල් අගය ඉහළ යන නිසා ණය වැඩිවන බව පෙනුණත්, මේ ණය ආපසු ගෙවන්නට වෙන්නේ ඩොලර් වලින් නිසා එයින් එතරම් හානියක් සිදු නොවේ. විණිමය අනුපාතිකය නිවැරදි වීම නිසා ජංගම ගිණුම් ශේෂය කෙරෙහි ඇතිවිය හැකි හිතකර බලපෑම දිගුකාලීනව විදෙස් ණය වාරික ගෙවීමට පිටිවහලක් වනු ඇත.

22 comments:

  1. කොයිල් වගේ....

    ගොඩ ඒමක් නෑ වගේ කියලා තමා තේරුනේ

    ReplyDelete
    Replies
    1. ගොඩ එන්නටනම් රුපියල තවත් සැලකිය යුතු ලෙස වැටෙන්නට හැරිය යුතුය.

      Delete
    2. ඊට පස්සේ...!!? රුපියලආයේ නැගිටීවි ද ? රුපියල වැ‍ටුනම ගොඩ යන්නේ කොහොම ද කියලා පොඩ්ඩක පැහැදිලි කරෑකි ද ?

      Delete
    3. ගොඩයනවා කියන්නේ හැම දෙයින්ම සුඛිත මුදිත වීමක් නෙමෙයි. වැටෙන්න ඉඩ තියෙන ලොකු වලක නොවැටී බේරීමක් පමණයි. රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ හැරිය පසු එය නැවත තිබුණු තැනට එන්න ඉඩක් නැහැ. නමුත් රුපියල අවප්‍රමාණය වීම වැළැක්විය නොහැකි දෙයක්. එය කලින්ම වෙන්න ඉඩ ඇරියම සිදුවන හානිය අඩු කරගත හැකියි.

      බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ආනයන වැඩි වීම හා අපනයන අඩුවීම නිසා ඩොලර් හිඟයක් ඇති බව හා ඒ නිසා රුපියල දිගටම අවප්‍රමාණය වන බව. එය කතාවේ එක් පැත්තක් පමණයි. වැඩිපුර කතා නොකෙරෙන කතාවේ අනික් පැත්ත රුපියල ඕනෑවට වඩා ශක්තිමත්ව තබා ගැනීම නිසා ආනයන වැඩි වීම හා අපනයන අඩුවීම සිදුවන බව. රුපියල වැටෙන කොට දේශීය අපනයනකරුවන්ට ලැබෙන ආදායම වැඩි වන නිසා ඔවුන් දිරිමත් වෙනවා. ඒ වගේම රටින් පිටත සිටින අයට ලංකාවේ නිපදවන දේ මිල අඩු ලෙස පෙනෙන නිසා අපනයන වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් ආනයනය කරන භාණ්ඩ වල මිල ඉහළ යන නිසා ආනයන අඩු වෙනවා. දේශීය නිෂ්පාදකයින්ට රට ඇතුළේ ආනයන නිසා ඇති වන තරඟය අඩුවෙනවා. විදෙස් ශ්‍රමිකයන්ගේ පවුල් වලට වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබෙනවා. සංචාරකයින්ට ලංකාව වඩා ආකර්ශනීය වෙනවා. ලංකාවේ ශ්‍රමය ඩොලර් වලින් ලාබ වන නිසා සෘජු විදේශ ආයෝජන එන්න තියෙන ඉඩ වැඩි වෙනවා. නමුත්, රුපියල් වලින් ශ්‍රමිකයින්ට ලැබෙන වැටුප් අඩුවෙන්නේ නැහැ. මේවායේ ප්‍රතිඵල ලෙස දිගුකාලීනව ගෙවුම් ශේෂ අර්බුදයෙන් ගොඩ එන එක පහසු වෙනවා. තේ, ඇඟළුම් ආදී කර්මාන්ත වලට සම්බන්ධ හා විදෙස් ශ්‍රමික ස්ථර වල මෙය වාසිදායක නමුත්, මධ්‍යම පාන්තිකයින්ට වාහන ආනයනය හා විදෙස් සංචාර ආදිය සඳහා වැඩි මුදලක් වැය කරන්න වෙන නිසා ඔවුන් මෙයට කැමති නොවිය හැකි වුවත් රටට එන ඩොලර් හැකි තාක් ඉතිරි කරගෙන ඩොලර් තවත් ඇද ගැනීම සඳහා අනිවාර්යයෙන්ම දැන් නොකළත් පසුව හෝ රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ හරින එක කරන්න වෙනවා. දැන්ම කළ තරමට හානිය අඩුයි.

      Delete
    4. කවදාවත් නොහිතපු පැත්තක්.. ඉස්සර මම රට ඉන්නකොට රුපියල අවප්‍රමාණය වීම ගැන පුද්ගලිකව සතු‍ටු වුනත් රටක් හැටියට බැලුවම පාඩුයි නේද කියලාත් හිතුවා.. ඒත් මෙහෙම බැලුවම ඒකෙ ඒ හැටි අවුලක් නෑ දිගුකාලිනව සළකා බලනකොට..

      ස්තූතියි ඉකොනො...

      Delete
    5. "රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ හැරිය පසු එය නැවත තිබුණු තැනට එන්න ඉඩක් නැහැ."

      ඉතින් මෙහෙම අපනයන ආදායම දිගින් දිගටම වැඩි වුනොත් දිගුකාලීනව රුපියල ආපහු උඩට එන එකක් නැද්ද ?

      Delete
    6. දැනට තියෙන ආනයන අපනයන පරතරය සැලකූ විට එවැනි තැනකට යන එක සිහිනයක් වගේ. ටිකක් වැටෙන්න ඉඩ හරින්න පුළුවන් වුනත් අවශ්‍ය තරමට රුපියල වැටෙන්න දෙන බවකුත් පෙනෙන්නේ නැහැ. කොහොම වුණත් රුපියල සැලකිය යුතු තරම් වැටෙන්න ඇර ස්ථාවර වූ පසු අඩුම වශයෙන් එය දිගෙන් දිගටම වැටෙන එකක් නැහැ.

      Delete
    7. තෙල් ආනයනය කරන්න වැය වෙන මුදලුත් රුපියල කඩ වැටීම නිසා ඉහළ යන්න පුළුවන් නේද ?හැබැයි ඉකනෝගේ පැහැදිලි කිරීම් එක්ක මටත් හිතෙනවා කෙටි කාලීන වාසි බලාගෙන කෘතිමව රුපියල ශක්තිමත් කරනවාට වඩා යන අතකට යන්න ඉඩ දෙන එක හොඳයි කියලා.

      Delete
    8. තෙල් වලට ගෙවන්නේ ඩොලර් වලින්නේ, මනෝජ්. රුපියල් වලින් වැඩි වුණත් ඩොලර් වලින් ගණන වෙනස් වෙන්නේ නැහැ. දේශීය තෙල් මිල වැඩිවන නිසා තෙල් භාවිතය තරමකින් හෝ අඩුවී ඩොලර් ඉතුරු වෙන එකයි එයිනුත් වෙන්නේ. තෙල් මත රුපියල් වලින් අය කරන බදුත් වැඩි වන නිසා රජයේ බදු ආදායමත් බොහෝ විට වැඩි වෙයි.

      Delete
  2. රුපියල කඩා වැටෙනවා පෙනි පෙනිම කොටස් වෙලෙඳ පොලේ මිලගනන් ඉහල නොයන්නේ ඇයි? තමන් අතේ තියන මුදලින් අද වටිනා ඉදෙස් විනිමය උපයන බ්ලූ චිප් එකක කොටස් ගත්තොත් එය ට ගෙවන මුදල අනාගතේ වැඩි විය යුතු වුවත්, සිදු වන්නේ සියලු කොටස් මිල පහලයෑමයි..

    ඊට හේතුව මොකද්ද හිටන්?

    ReplyDelete
    Replies
    1. සා රස මේ ප්‍රශ්නය ඇසුවේ මොන අරමුණකින්ද කියන එක පැහැදිලි නැතත් මෙය වැදගත් ප්‍රශ්නයක්.
      1. රුපියල ඉදිරියේදී තවත් සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම ඉතා පැහැදිලි කරුණක් නිසා කොටස් වෙළඳපොළ සමස්ත අගය තරමක් ඉහළ යන තත්ත්වයකදී වුවත් විදෙස් ආයෝජකයෙකුට සිදුවන්නේ පාඩුවකි. ඒ නිසා, විදෙස් ආයෝජකයින් විසින් මේ වෙලාවේ කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරනු වෙනුවට කරන්නේ තියෙන ආයෝජන විකුණා මුදල් බැහැර ගෙන යාමයි. මා මේ පිළිබඳ දත්ත පරීක්ෂා කර නැත. පවතින තත්ත්වය අනුව සිදුවන්නට ඉඩ ඇති දෙයයි.
      2. සාමාන්‍යයෙන් රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන අවදානම් රහිත ලෙස සැලකෙන අතර කොටස් වෙළඳපොළ ආයෝජන වල අවදානම විශාලය. එසේ තිබියදීත් කොටස් වෙළදපොළ ආයෝජන කිරීමට හේතුව එහි ඇති අධික ප්‍රතිලාභයි. ආයෝජන ඇදගැනීම සඳහා මේ ප්‍රතිලාභ අනුපාතික රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික වලට වඩා සැලකිය යුතු තරම් වැඩි විය යුතුය. මේ දිනවල රාජ්‍ය සුරැකුම්පත් (බැඳුම්කර) වල දිගුකාලීනව ආයෝජනය කිරීමෙන් 13-14%මට්ටමේ ඉතා විශාල පොලී අනුපාතිකයක් ලබා ගත හැකි අතර පවතින තත්ත්වය අනුව මේ පොලී අනුපාතික තවත් වැඩි වනු මිස අඩුවීමේ ප්‍රවණතාවයක් පෙනෙන්නට නැත. මෙහි විශේෂත්වය වන්නේ මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක්, කොටස් වෙළඳපොළ ආයෝජන වලට සාපේක්ෂව ඉතාම අඩු අවදානමක් යටතේ වසර 30ක් පමණ දිගු කාලයක් පුරාවටම ලබා ගත හැකි වීමයි. මේ සමඟ තරඟ කිරීමටනම් සමාගම් කොටස් සඳහා 20-25% මට්ටමේවත් ලාභාංශ ගෙවිය යුතුය. ඒ සඳහා සමාගම් ඉදිරි වසර 30ක පමණ කාලය තුළ එක දිගටම එවැනි විශාල ලාභ ලැබිය යුතුය. මෙය සිදුවන්නට ඉඩකඩ අඩු විශාල ප්‍රගතියකි. ඒ නිසා අවදානම සැලකූ විට මේ වෙලාවේ සමාගම් කොටස් වල ආයෝජනය කිරීම (සමස්තයක් ලෙස) බැඳුම්කර වල ආයෝජනය කිරීම තරම් ආකර්ශනීය නැත. මේ හේතුවෙන් කොටස් වෙළදපොළ වර්ධනය නැවතී තිබේ. ඔය අතර හොඳ ආයෝජන විය හැකි ඇතැම් සමාගම් තිබෙන්නට පුළුවන.

      Delete
  3. කව්ද කියන්නෙ රුපියල අවප්‍රමාණ වෙනව කියල.
    රුපියලට එදත් ශත සීයයි අදත් ශත සීයයි.
    - මීට ලලිත් ඇතුලත්මුදලි

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ ඇනෝ මුලින්ම ලංකාවේ රුපියලක් නිකුත් කරන කොට රුපියලට ඇමරිකන් සත 56ක් තිබුණා. අවරුදු 100ක් යන කොට සත 14ට අඩු වුණා. දැන් ඇමරිකන් සත දෙකකට රුපියල් 3ක් ගන්න පුළුවන්.

      http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_7.html

      Delete
    2. ඒ වගේම ඇනෝ වසර 155කට පෙර රුපියලකින්, හාල් කිලෝ 9ක්, පාන් රාත්තල් 11ක් හෝ පොල් ගෙඩි 26ක් මිලදී ගැනීමේ හැකියාව තිබුණා.

      http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_11.html

      Delete
  4. ජාතික අභිමානය හා සම්බන්ධ විෂයයක්නේ, ඉතින් ඒ අභිමානයට කෙළවෙන තුරුම බලා ඉන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ පවා ගොඩක් අය විණිමය අනුපාතිකය ජාතික අභිමානයට සම්බන්ධ දෙයක් ලෙස හිතනවා. ඒත් ඇත්තටම එය නිකම් අංකයක් පමණයි. විණිමය අනුපාතිකය තිබිය යුතු ගණනට වඩා අඩුවෙන් පැවතීම වගේම වැඩියෙන් තිබීමත් රටකට හානිකරයි. ගෙවුම් ශේෂ අර්බුද එන්නේ විණිමය අනුපාතිකය නියම තැන නොතිබීම නිසා.

      Delete
  5. එහෙනම් ඇයි පත්වූ හැම රජයක්ම රුපියල නියතව තබාගන්න උත්සාහ කරන්නේ?
    රුපියල පාවෙන්නට ඉඩ හැරීමෙන් එහි ඇති වලංගු භාවය අඩු වෙනවද? ( නිරන්තරයෙන් අඩුවන නිසා රට තුල ගනුදෙනු වලටත් විදෙස් මුදල් ඒකක භාවිතයට ගන්න මහජනයා පුරුදුවෙන්න පුළුවන්)

    ReplyDelete
    Replies
    1. //එහෙනම් ඇයි පත්වූ හැම රජයක්ම රුපියල නියතව තබාගන්න උත්සාහ කරන්නේ?//
      හොඳ ප්‍රශ්නයක්, ඇනෝ. මෙය කිසිම තේරුමක් නැති වැඩක්. එය කරන්න එක හේතුවක් වන්නේ රුපියල අවප්‍රමාණය වීම නරක දෙයක් ලෙස බොහෝ දෙනෙක් සිතීම. මෙය මානසික ප්‍රශ්නයක් පමණයි. දෙවැනි හේතුව රුපියල අවප්‍රමාණය වීමේ ඇතැම් අහිතකර ප්‍රතිඵල (විශේෂයන්ම ආනයන භාණ්ඩ වල මිල ඉහළ යාම) ක්ෂණික වුවත් හිතකර ප්‍රතිඵල ඊට සාපේක්ෂව දිගුකාලීන වීම. ඒ නිසා රුපියල කෘතිමව ශක්තිමත්ව තබා ගැනීමෙන් තුවාලයක් කසන විට දැනෙන ආකාරයේ සනීපයක් ලබන්න පුළුවන්. පසුගිය රජය කාලයේ ආර්ථිකයේ තිබුණු ප්‍රධාන ගැටළුව ණය වැඩිපුර ගැනීම නෙමෙයි. විණිමය අනුපාතිකය පාලනය කිරීම හරහා ආර්ථිකයේ තිබුණු දුර්වලතා කෘතීම ලෙස වසා දමා හොඳ තත්ත්වයක් පෙන්වීම. මෙය පිරමිඩ් ක්‍රමයක් වැනි දෙයක්. ටික කලකින් කඩා වැටෙනවා. දැන් සිදුවෙමින් තිබෙන්නේ එයයි. ආණ්ඩුව වෙනස් නොවුනත් මේ කාලය වන විට මෙය සිදුවනවා.

      //රුපියල පාවෙන්නට ඉඩ හැරීමෙන් එහි ඇති වලංගු භාවය අඩු වෙනවද?//
      කිසිසේත්ම නැහැ. ඩොලරය, යුරෝව, යෙන්, බ්‍රිතාන්‍ය පවුම, කැනේඩියන් හා ඕස්ට්‍රේලියන් ඩොලර් වැනි සියළුම ශක්තිමත් මුදල් ඒකක වල අගය තීරණය වන්නේ වෙළඳපොළ සාධක මතයි.ඇත්තටම වෙන්නේ වලංගු භාවය වැඩිවීමක් කියන්න පුළුවන්.

      //නිරන්තරයෙන් අඩුවන නිසා රට තුල ගනුදෙනු වලටත් විදෙස් මුදල් ඒකක භාවිතයට ගන්න මහජනයා පුරුදුවෙන්න පුළුවන්//
      එසේ වෙන්නේ රුපියල දිගටම වැටෙන විට නෙමෙයි. එය කෘතිමව තබා ගත් විටයි. ගනුදෙනු වලට විදෙස් මුදල් ඒකක භාවිතය පටන් ගැනුණු හැම රටකම එය වුණේ දේශීය මුදල් ඒකකයේ අගය කෘතිමව තබාගෙන සිටීම නිසා ඇත්තටම රජය කියන අගය එහි නොතිබීමේ හේතුවෙන්. කොහොම වුණත් ලංකාවේ රුපියල තවම ඒ තත්ත්වයටම වැටිලා නැහැ. හැම විටම වාගේ අවශ්‍ය වෙලාවට නොකළත් පසුවී හෝ නිවැරදි කිරීමක් කරන නිසා. ප්‍රශ්නය තියෙන්නේ මෙසේ හැම විටම විණිමය අනුපාතිකය නිවැරදි වෙන්න අරින්නේ හානිය වුනාට පසුව වීමයි.

      Delete
    2. බොහොම ස්තුතියි...

      Delete
  6. රුපියෙල පිරිහෙන්න ඉඩප්‍රස්ථාව වැඩි හින්දා, දේශීය අයෝජකයන්ට ස්ථාවර තැන්පත් වෙනුවට, ඉඩම් වැනි දේ වලට ආයෝජනය කිරීම තේරූමක් තියෙනවද

    ReplyDelete
    Replies
    1. රුපියල පිරිහෙන එක දේශීය ආයෝජකයින්ට එතරම් බලපාන්නේ නැහැ. විණිමය අනුපාතිකය හෙවත් රුපියලේ වෙනත් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂ වටිනාකම හෙවත් රුපියලේ බාහිර අගය බලපාන්නේ රටින් පිටත සිටින අයට සහ රටින් පිටත සිටින අය සමඟ ගණුදෙණු කරන අයටයි. රට තුළ සිටින අයට බලපාන්නේ රුපියලේ අභ්‍යන්තර අගය හෙවත් රටේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව එහි වටිනාකමයි. ඒ නිසා රට තුළ සිටින කෙනෙකුට වඩා අදාළ ප්‍රශ්නය වන්නේ උද්ධමනයට ගැලපීමෙන් පසුව ප්‍රමාණවත් පොලී අනුපාතිකයක් ලැබෙනවද කියන කරුණයි. දැනට ලංකාවේ පොලී අනුපාතික උද්ධමන අනුපාතිකයට වඩා සැලකිය යුතු ලෙස වැඩියි. ඇතැම් විට ඉඩම් මිල වඩා වේගයෙන් ඉහළ යනවා විය හැකිවුවත් හදිසියකට මුදල් කර ගැනීම අපහසුවීමේ ද්‍රවශීලතා අවදානමට ඔබට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මේ විකල්පය ගැන සිතිය යුත්තේ ඔබට දිගුකාලයක් මුදල් හිර කළ තැබිය හැකිනම් පමණයි. ඔබ සිටින්නේ රටින් පිටනම්, විණිමය අනුපාතිකය පිරිහුණොත්, ඉඩම් වල ආයෝජනය කළත් විකුණා ලබා ගන්නා රුපියල් විදේශ ව්‍යවහාර මුදලකට පරිවර්තනය කළ පසු නැවතත් ලැබෙන්නේ අඩු මුදලක් නිසා විශේෂ වාසියක් නැහැ. ඉඩම්වල ආයෝජනය හොඳ විකල්පයක් වන්නේ රටේ උද්ධමනය වේගයෙන් ඉහළ යන විටයි. උද්ධමනය වැඩි වෙමින් පැවතියත් තවමත් තත්ත්වය එතරම්ම නරක නැහැ.

      Delete
    2. ස්තූතියි ඉකෝන් පැහැදිලි කිරීමට

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.