Saturday, December 1, 2018

කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රාතිහාර්ය සිදුවන හැටි!

නොවැම්බර් 30න් අවසන් වූ සති 5 තුළ කොටස් වෙළඳපොළෙහි වූ විදේශ ආයෝජන වලින් රුපියල් බිලියන 8.6ක් ඉවත් කරගෙන තිබෙනවා. නමුත් මේ සති පහ ඇතුළත සියළු කොටස් මිල දර්ශකය ඒකක 187.37කින් එනම් 3.21%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය පැහැදිලි කරන්නේ කොහොමද?

පළමුවෙන්ම අපි සියළු කොටස් මිල දර්ශකය කියන්නේ කුමක්ද කියා හදුනාගත යුතුයි. මෙයින් නිරූපණය වන්නේ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර තිබෙන සමාගම් කොටස් සියල්ලේම වෙළඳපොළ අගයයි. මේ අගය මේ වන විට රුපියල් බිලියන 2,823.9ක්. සියළු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ පහළ යන්නේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය සේ හැඳින්වෙන ඉහත අගය අඩු වැඩි වන විටයි.

සියළු කොටස් මිල දර්ශකයේ අගයේ එක් ඒකකයකින් රුපියල් මිලියන 469.15ක පමණ මුදලක් නිරූපණය වෙනවා. එය ඒකක 187.37කින් ඉහළ යාමෙන් අදහස් වෙන්නේ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර තිබෙන සමාගම් කොටස් සියල්ලේ වෙළඳපොළ අගය රුපියල් බිලියන 87.9කින් වැඩි වී ඇති බවයි.

කොළඹ කොටස් වෙළඳපොළේ සමාගම් 297ක් ලැයිස්තුගත කර තිබෙනවා. මේ සමාගම් අතරින් ඇතැම් සමාගම් වල කොටස් වල මුළු වටිනාකම කොටස් වෙළඳපොළේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයට සාපේක්ෂව ගොඩක් වැඩියි. ඒ නිසා, ඒ සමාගමක කොටස් මිලේ සුළු වෙනසක් වුවත් මිල දර්ශකයට ලොකුවට දැනෙනවා. නමුත්, වෙනත් ඇතැම් සමාගම් වල මිල විශාල ලෙස වෙනස් වුවත් එය මිල දර්ශකයට දැනෙන්නේ නැහැ.

උදාහරණයක් විදිහට ලංකා දුම්කොල සමාගමේ කොටස් වල වටිනාකම කොළඹ කොටස් වෙළඳපොළේ කොටස් සියල්ලේ වටිනාකමින් 10%කටත් වඩා වැඩියි. ඒ නිසා දුම්කොල සමාගමේ කොටසක මිල 1% කින් ඉහළ ගියොත් සියළු කොටස් මිල දර්ශකය ඒකක 6 කින් පමණ ඉහළ යනවා. නමුත්, අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් සමාගමේ කොටසක් 100%කින් වැඩි වුනත් සියළු කොටස් මිල දර්ශකය ඉහළ යන්නේ ඒකක 0.6 කින් පමණයි.

වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ ගොඩක් තැන් වල වගේම කොළඹ කොටස් වෙළඳපොළේ සමාගම් අතරත් "ලොක්කෝ'" සීමිත පිරිසක් ඉන්නවා. සියළු කොටස් මිල දර්ශකය හසුරවන්නේ ඒ සමාගම් කිහිපයේ කොටස් හිමියන් විසින්. 

සියළු කොටස් මිල දර්ශකයේ වෙනස්වීම් වලින් 33%ක්ම තීරණය වෙන්නේ සමාගම් හයක මිල ගණන් මතයි. 50%කටත් වඩා  තීරණය වෙන්නේ සමාගම් 14ක් මතයි. 67%කටත් වඩා  තීරණය වෙන්නේ සමාගම් 30 ක් මතයි. ඉතිරි සමාගම් 267 හිම බලපෑම 33%කට ආසන්නයි. 

පහත වගුවේ පෙන්වා තිබෙන්නේ කොළඹ කොටස් වෙළඳපොළේ ලොකුම සමාගම් 30 සහ ඒ එක් එක් සමාගම සියළු කොටස් මිල දර්ශකයෙන් කොපමණ ප්‍රතිශතයක් නියෝජනය කරනවද කියන එකයි.



හරි. දැන් එක දෙයක් පැහැදිලි ඇතිනේ. කොළඹ කොටස් වෙළඳපොළේ සමහර සමාගම් වල කොටස් මිලේ පොඩි වෙනසක් වුනත් සියළු කොටස් මිල දර්ශකය සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. නමුත්, වෙනත් ඇතැම් සමාගම් වල මිල කොයි තරම් විචලනය වුනත් සියළු කොටස් මිල දර්ශකයට දැනෙන්නේ නැහැ.

ඒ නිසා දැන් අපි මේ ලොක්කෝ දිහාවට අවධානය යොදවමු. මේ සමාගම් වල මිල ගණන් වෙනස් වෙන්නේ ආර්ථික විද්‍යා මූලධර්ම අනුවමද?

ආර්ථික විද්‍යා මූලධර්ම අනුවනම් කොටස් මිල විචලනය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. විශාල ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් ගොඩක් ඉන්න විට ඒ එක් අයෙකුට මිල මත බලපෑම් කරන්න බැහැ. නමුත්, කොළඹ කොටස් වෙළඳපොළ කියන්නේ ඔය වගේ තැනක්ද?

කොළඹ කොටස් වෙළඳපොළ ඔය වගේ තැනක් නෙමෙයි. එය කොටස් වෙළඳපොළකට වඩා සූදු පිටියක් බව මම බය නැතුව කියනවා. මෙතැන වැඩිපුරම තියෙන්නේ ගේම්. ඒ නිසා, එහි මිල ගණන් ඉහළ පහළ යන්නේ අදාළ සමාගම් වල ලාභ අපේක්ෂා වෙනස් වන රටාව අනුව පමණක් නෙමෙයි. ගේම් කාරයෝ ටික දෙනෙක් තමන්ගේ වාසියට මේ මිල ගණන් හසුරුවනවා. හොඳ ගේම් කාරයෙක්ට කොළඹ කොටස් වෙළඳපොළ හරහා ලොකු පෝසතෙක් වෙන්න පුළුවන්. එහෙම පෝසත් වූ අය ඉන්නවා.හැබැයි මෙය නීති විරෝධී වැඩක් නොවන බවත් කියන්න ඕනෑ.

කොටස් වෙළඳපොළේ දවසකට ගනුදෙනු කොපමණ වෙනවද? මේ ගණන බොහෝ විට තුන් දාහකට අඩුයි. ඒ කියන්නේ එක සමාගම් කොටසක් හා අදාළව සාමාන්‍යයෙන් දවසකට ගනුදෙනු දහයක්වත් වෙන්නේ නැහැ. ඒ ගනුදෙනු වලිනුත් යම් ප්‍රමාණයක් බොරු ගනුදෙනු. මේ බොරු ගනුදෙනු මොනවාද කියලා මම නිශ්චිත තොරතුරු එක්ක පැහැදිලි කරන්නම්.

ඊයේ දිනයේ කොටස් වෙළඳපොළ ගණුදෙනු 4,127ක් සිදු වී තිබෙනවා.මේ ගණුදෙනු වලින් අවම වශයෙන් 97කදීම හුවමාරු වී තිබෙන්නේ එක් කොටසක් පමණයි. මේ ඇතැම් ගනුදෙනුවක වටිනාකම ශත ගණනක්. කොටස් 2,3 ආදී ගනුදෙනුත් සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. මේ විදිහට සතගාණක නැත්නම් රුපියලක දෙකක ගනුදෙනුවක් කරන්න කවුරු හෝ මහන්සි වෙන්නේ ඇයි? 

මේවා ඔක්කොම බොරු ගනුදෙනු. ඒ කියන්නේ නීත්‍යානුකූල නොවන ගනුදෙනු කියන එක නෙමෙයි. මේක තමයි කොළඹ කොටස් වෙළඳපොළේ සූදුව. 

අපි හිතමු කාට හරි (අපි පෙරේරා කියමු) සම්පත් බැංකුවේ කොටස් වලින් 30%ක් තියෙනවා කියලා. මෙය රුපියල් බිලියන 20ක පමණ ආයෝජනයක්. දැන්  අවශ්‍ය වෙනවා තව කොටස් 21%ක් මිල දී ගෙන සම්පත් බැංකුවේ සභාපති වෙන්න. ඉතිරි කොටස් 21% කුණු කොල්ලෙට ගන්න ඔහු සැලසුම් කරන්නේ මේ විදිහටයි.

සම්පත් බැංකුවේ කොටසක් රුපියල් 240යි. දැන් පෙරේරා කරන්නේ උදේ පාන්දරම තමන්ගේ කොටස් වලින් එකක් රුපියල් 230කට විකුණනවා. රුපියල් 10ක් පාඩුයි. නමුත් ඕක මොකක්ද? ඉන්පසු වරින් වර රුපියල් 225 හා 220 මිල ගණන් වලට නැවතත් එක් කොටස බැගින් විකුණනවා.

මේ ප්‍රවණතාව දෙස බලා සිට සම්පත් කොටස් මිල වැටෙන බව තේරුම් ගන්නා සුළු ආයෝජකයෙක් තමන්ගේ කොටස් 100ක් රුපියල් 220 ගානේ විකුණනවා. පෙරේරා මේ කොටස් 100 මිල දී අරගෙන තවත් කොටසක් රුපියල් 215 ගානේ විකුණනවා. එවිට තවත් අය සම්පත් කොටස් විකුණන්න පෙළඹෙනවා. මේ විදිහට තමන්ට අවශ්‍ය කොටස් ප්‍රමාණය මිල දී ගත්තට පස්සේ පෙරේරා මේ වැඩේම අනිත් පැත්තට කරනවා. එහෙම කරලා මිල ඉහළ දමනවා. ඉන්පසුව හැකිනම් විදේශ ආයෝජකයෙක් හොයාගෙන ගෙඩිය පිටින්ම විකුණලා දමනවා.

උඩ ඡේද දෙකේ තිබෙන්නේ ඇත්තටම සිදු වූ දෙයක් නොවුණත්, ඇත්තටම සිදුවන දෙයට ආසන්නව සමාන දෙයක්. දැන් අපි සැබෑ ගනුදෙනු දෙසම බැලුවොත් ඊයේ දිනයේ ලංකා දුම්කොළ සමාගමේ කොටස් ගනුදෙනු 8ක් සිදු වී තිබෙනවා. ගනුදෙනු වූ කොටස් ගණන 1,751ක්. එක් එක් ගනුදෙනුවේ කොටස් ප්‍රමාණය පහත ආකාරයටයි.

1
100
33
2
14
1
100
1500

මේ ගනුදෙනු 8න් අඩු වශයෙන් 3ක්ම බොරු ගනුදෙනු බව පැහැදිලියි. ඇතැම් විට මුල හතම වුවත් බොරු ගනුදෙනු විය හැකියි. ඒ ගනුදෙනු වල ඉලක්කය අවසන් ගනුදෙනුව වෙන්න පුළුවන්.

මේ අතරින් පළමු ගනුදෙනුව නිසා දුම්කොළ සමාගමේ කොටසක මිල රුපියල් 19.90කින් ඉහළ යනවා. කවුරු හෝ විසින් හිතාමතාම වැඩි මිලකට මේ කොටස මිල දී ගත්තා වෙන්න පුළුවන්. පාඩුව රුපියල් 20ක්වත් නැහැනේ. නමුත්, මේ රුපියල් විස්ස පාඩු කරගෙන කරපු ගනුදෙනුව නිසා කොළඹ කොටස් වෙළඳපොළේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,727.7කින් ඉහළ යනවා. සියළු කොටස් මිල දර්ශකය ඒකක 7.9කින් ඉහළ යනවා. 

පහුගිය ඔක්තෝබර් 26 ඉඳලා සියළු කොටස් මිල දර්ශකය ඉහළ ගිහින් තියෙන්නේ ඒකක 187.37 කින්. ඔය වගේ ප්‍රතිඵලයක් ගන්න රුපියල් 20 ගානේ කී පාරක් පාඩු විඳින්න ඕනෑද කියලා ගණන් හදාගන්න.

සියළු කොටස් මිල දර්ශකය හැම වෙලාවෙම ඉහළ පහළ යන්නේ ඔය විදිහට කියා මම කියන්නේ නැහැ. හොර ගනුදෙනු වලින් පමණක්ම කොටස් වෙළඳපොළ පාලනය කරන්න බැහැ. නමුත්, කොළඹ කොටස් වෙළඳපොළ තියෙන්නේ එක කල්ලියක් අතේ නිසා ඔය වගේ වැඩ බොහොම සාමාන්‍යයි.

රුපියල අවප්‍රමාණය වීම පෙනෙද්දී විදේශිකයෝ තමන්ගේ කොටස් හදිසියේ විකුණලා යන කොට හැකි ඉක්මණින් විකුණන්න හදනවා මිසක් මිල ගැන එතරම් තකන්නේ නැහැ, වඩා වැදගත් වන්නේ රුපියල තවත් වැටෙන්න පෙර රුපියල් ඩොලර් කිරීම බව ඔවුන් දන්නවා. ඒ නිසා, විදේශ ආයෝජන ඉවත් වන විට කොටස් මිල ඉහළ යන්න හේතුවක් නැහැ. 

නමුත්, සැලසුම්  සහගත ලෙස ඉහත කී ආකාරයේ හොර ගනුදෙනු කරලා කොටස් වෙළඳපොළ දර්ශක ඉහළ යන බව පෙන්වන එක ඒ තරම් අමාරු නැහැ. අපි හිතමු විදේශිකයෙක් රුපියල් 20ක් අඩුවෙන් කොටස් මිලියන 10ක් විකිණුවා කියලා. දවස ඉවර වෙන්න කලින් රුපියල් 20ක් වැඩියෙන් (පෙර කී ගනුදෙනුව සිදු වෙන්න කලින් මිලට) එක කොටසක් මිල දී ගත්තහම සියළු කොටස් මිල දර්ශකය නැවත තිබුණු තැන. තව රුපියල් 10ක් වැඩියෙන් ගෙවලම ඒ කොටස ගත්තනම් සියළු කොටස් මිල දර්ශකය ඉහළ ගිහින්. ඔන්න ඔහොමයි පත්තරේ විස්තරේ.

ඇතැම් දේශපාලනික වෙනස්කම් වෙද්දී කොළඹ කොටස් වෙළඳපොළ දර්ශක වල හිතාගන්න අමාරු ප්‍රාතිහාර්ය වෙන්නේ අහම්බෙන් නෙමෙයි.

19 comments:

  1. බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට.

    ReplyDelete
  2. මට මතක් වුනේ මොන්ත ක්‍රිස්තෝ කතාව. බොරු ප්‍රවෘත්ති යවලා, කොටස් මිල වෙනස් කරලා දොංග්ලාර්ව බිමටම සමතලා කරලා දානවා.. කොටස් වෙළදපලක් කියන්නේ තනිකරම සූදු පලක් තමා...

    ReplyDelete
  3. කොටස් වෙළඳපොලේ හැසිරීම නිවැරදිව පෙන්වන වෙනත් දර්ශක සහ මැජික් වැඩ පෙන්වාදිය හැකි දර්ශකත් ඇතිනේද?

    යුනිලීවර් සමගම ඉහත ලයිස්තුවේ නැත්තේ ඔවුන් කොටස් වෙළඳපොලේ ආයෝජනය කර නැතිද? නැතිනම් ඔවුන්ගේ පිරිවැටුම පහල වැටිලාද එසේත් නතිනම් ඔවුන් කුඩා සමාගම් සමුහයක් ලෙස වෙන වෙනම ආයෝජනය කර තියේද?

    ReplyDelete
    Replies
    1. 1. එවැන්නක් ඇතැයි කියා මම හිතන්නේ නැහැ. මෙවැනි දේ සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.
      2. මා දන්නා තරමින් යුනිලීවර් සිලෝන් සමාගම මුළුමනින්ම අයිති එහි මවු සමාගමට. එහි කොටස් ලන්ඩන් කොටස් වෙළඳපොළේදී හුවමාරු වෙනවා. ලංකාවේ යුනිලීවර් කොටස් හිමියන් සිටීදැයි මා දන්නේ නැහැ. මා වැරදි වෙන්න පුළුවන්.

      Delete
  4. ඇමරිකාවේ තියෙන්නේ එක කොටස් වෙලන්දපොලක්ද ප්‍රාන්තවලත් වෙන වෙනම පුංචි ඒවා තියේද?

    ReplyDelete
    Replies
    1. මෙය ප්‍රාන්ත මට්ටමින් සිදුවන්නක් නෙමෙයි. ප්‍රධානම කොටස් වෙළඳපොළ නිවුයෝර්ක් කොටස් වෙළඳපොළ. එය ලෝකයේ ලොකුම කොටස් වෙළඳපොළයි. කොකාකෝලා, මැක්ඩොනල්ඩ්ස්, වෝල්මාර්ට් ආදී පැරණි සමාගම් ලැයිස්තුගත කර තිබෙන්නේ එහියි. NASDAQ (National Association of Securities Dealers Automated Quotations) ලෝකයේ දෙවන විශාලතම කොටස් වෙළඳපොළයි. එහි ගනුදෙනු සිදුවන්නේ විද්‍යුත් ක්‍රමයටයි. ඇත්තටම කියනවානම් ගනුදෙනු සිදුවන කම්පියුටර් නෙට්වර්ක් එකක්. මයික්‍රෝසොෆ්ට්, ඇමසන්, ෆේස්බුක්, ඇපල් ආදී සාපේක්ෂව අලුත් තාක්ෂණික අංශයේ සමාගම් බොහොමයක් ලැයිස්තුගත කර තිබෙන්නේ NASDAQ එකේ. මේ දෙකේම ඇමරිකන් නොවන සමාගම් විශාල ප්‍රමාණයක්ද ලැයිස්තුගත කර තිබෙනවා. ශ්‍රී ලාංකික සමාගමක් වන වර්චුසා එක ලැයිස්තුගත කර තිබෙන්නත් එහි. ඊට අමතරව AMEX (ඇමරිකන් කොටස් වෙළඳපොළ) හා තව කිහිපයක් තිබෙනවා.

      Delete
  5. ස්තුතියි පැහැදිලි කිරීමට

    ReplyDelete
  6. ඉකොන්ගේ සමහර දේවල් හරි. හැබැයි ඔය දුම්කොළ සමාගමේ උදාහරණය නම් වැරදියි. දැන් එක කොටසක මිල වෙනස් උනාට ASI එක වෙනස් වෙන්නේ නැහැ.අඩුම තරමේ කොටස් 100 වත් trade වෙන්න ඕන. නැත්නම් ඒක ASI එකට බලපාන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ASPI එක හදන කොට කොටස් 100ට අඩු ගනුදෙනු නිසා සිදු වූ මිල වෙනස්වීම් නොසලකා හරිනවා කියලද ඔබ කියන්නේ? (මම එවැනි දෙයක් නොදන්න නිසා අහන්නේ)

      Delete
  7. ඔව් . 2010 න් හෝ 2011 න් පසුව. ඔබ සදහන් කල දේ යම්තාක් දුරකට හෝ පාලනය කිරීමට මෙය යොදා ගන්නා ගත්තා .තවද දිනයක අවසානයේ කොටසක මිල ලෙස අවසාන පැයේ මධ්‍යන අගය ද ගනු ලබනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇනෝ! මෙය මා දැන සිටියේ නැහැ. මේ කරුණින් පෙනෙන්නේ පවතින තත්ත්වය SEC එක විසින් හඳුනාගෙන තිබෙන බවයි. ඔබ සඳහන් කරන ක්‍රියාමාර්ග නිසා කිසියම් පාලනයක් වෙනවා ඇති. නමුත්, තවමත් කුඩා ගණුදෙනු විශාල ප්‍රමාණයක් සිදුවීමෙන් පෙනෙන්නේ ඒ ක්‍රියාමාර්ග තිබුණත් වැඩේ වෙන බවයි. කොටස් 100ක ගනුදෙනුවක් කියන්නෙත් මේ වැඩේට සම්බන්ධ අයට සුළු මුදලක්.

      Delete
  8. ඇත්ටටම මට නම් ලංකාවේ කොටස් වෙළදපොල හරිම අප්‍රසන්න තැනක්. තනිකරම දේශපාලන උවමනාවට පස් හය දෙනක් කරන සුදුවක්...
    ඉකො, ඉතාමත් හොද ලිපියක් තවත් ලංකාවේ කොටස් වෙළඳපොළෙ ගැන ලියන්න කියල ඉල්ලා සිටිනවා...

    ReplyDelete
  9. ඔය විදියට තමන්ට ඕන ඕන විදියට කොටස් විකුනන්න පුලුවන්ද? සාමාන්‍යයෙන් ඉල්ලුම හා සැපයුම අනුව නේද මිල තීරණේ වෙන්නේ.
    උදාහරණයක් විදියට වෙළඳපොලේ රුපියල් 100ට ඉල්ලුම තියෙන කොටස් මම රුපියල් 120ට විකුනන්න දාල මගේ හිතවතෙකුට කියල ඒක වැඩි මිලට මිලදී ගන්නවන්න පුලුවන්ද? එහෙම අවස්ථාවක මගේ රුපියල් 120 කොටස් මිලදී ගන්න කලින් ඔහු ඊට අඩු ගණන් වලට තියෙන කොටස් මිලදී ගෙන ඉවර වෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ඉල්ලුම සැපයුම සමතුලිත වීමට විශාල ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් ප්‍රමාණයක් සිටිය යුතුයි. එක කොටසකින් දවසකට ගනුදෙනු වෙන්නේ හත අටකට නොවැඩි ප්‍රමාණයක් නිසාත්, කොළඹ කොටස් වෙළඳපොළේ ගණුදෙනු එසැණින් පියැවෙන තාක්ෂනය නිසාත් මෙය කළ හැකියි. කෙටි කාලයක් ඇතුළත විකුණුම් හා මිලදී ගැනීම් ඇණවුම් දෙක දැමීම පමණයි අවශ්‍ය වෙන්නේ.

      Delete
    2. වොලයුම් ඒක අඩු නිසා කරන්න පුළුවන් වැඩක්.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.